MN 02-02-08 නලකපාන සූත්‍රය

§ 1. මාගේ ඇසීම මෙසේය,
එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ කොසොල් ජනපදයෙහි නලකපාන නම් ගමේ කෑල (-එරබඳු) වනයෙහි වාසය කළහ.

§ 2. ඒ කාලයෙහි බොහෝ ප්‍රසිද්ධ ප්‍රසිද්ධ කුල පුත්‍රයෝ භාග්‍යවතුන් වහන්සේ උදෙසා ශ්‍රද්ධාවෙන් ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වූවාහු වෙත්. ආයුෂ්මත් අනුරුද්ධ, ආයුෂ්මත් නන්දිය, ආයුෂ්මත් කිම්බිල, ආයුෂ්මත් භගු, ආයුෂ්මත් කුණ්ඩධාන, ආයුෂ්මත් රෙවත, ආයුෂ්මත් ආනන්ද (සහ) වෙනත් ප්‍රසිද්ධ ප්‍රසිද්ධ කුල පුත්‍රයෝ එසේ වූ සමහරෙක් වෙත්.

§ 3. ඒ කාලයෙහි දිනක් භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් විසින් පිරිවරණ ලද්දේ එළිමහනෙහි වැඩහුන්නේ ඒ කුල පුත්‍රයන් අරබයා භික්ෂූන්ට කථාකොට, මෙසේ විචාල සේක

“මහණෙනි, ඔබ කුලපුත්‍රයෝ මා උදෙසා ශ්‍රද්ධාවෙන් ගිහිගෙන් නික්ම, සස්නෙහි පැවිදි වූවාවූ භික්ෂූහු වෙති. නුඹලා දැන් කැමැත්තෙන් හා සතුටින් බ්‍රහ්මචර්යාවෙහි හැසිරෙන්නාහුද?”
මෙසේ ඇසු කල්හි ඒ භික්ෂූහු නිශ්ශබ්ද වූහ. දෙවෙනි වරටත් භාග්‍යවතුන් වහන්සේ ඒ කුල පුත්‍රයන් අරබයා භික්ෂූන්ට, කථාකොට, “මහණෙනි, යම් කුල පුත්‍රයෝ මා උදෙසා ශ්‍රද්ධාවෙන් ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වූවාහුද, මහණෙනි, ඒ භික්ෂූහු බ්‍රහ්මචර්යාවෙහි සතුටින් ඇලුනාහුද” දෙවෙනි වරත් ඒ භික්ෂූහු නිශ්ශබ්ද වූහ.
තුන්වෙනි වරත් භාග්‍යවතුන් වහන්සේ ඒ එම ප්‍රශ්නය ඇසුවත් තුන් වන වරත් ඒ භික්ෂූහු නිශ්ශබ්ද ව සිටියෝය.

§ 4. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේට, මම ඒ කුලපුත්‍රයන්ගෙන් වෙන් වෙන්වම අසන්නෙම් නම් යෙහෙකැයි අදහස් විය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන්ට කථා කළහ.
“අනුරුද්ධයෙනි, තොප මහන දම්හි සතුටින් හැසිරෙන්නාහු ද?”
“ස්වාමීනි, ඒකාන්තයෙන්ම අපි බ්‍රහ්මචර්යාවෙහි සතුටින්ම හැසිරෙන්නෝ වමු”
“අනුරුද්ධයෙනි, යහපත, යහපත, අනුරුද්ධයෙනි, තොපි බ්‍රහ්මචර්යාවෙහි කැමතිවන්නාහු නම් එය ශ්‍රද්ධාවෙන් ගිහිගෙන් නික්ම පැවිදිවූ තොප වැනි කුලපුත්‍රයන්ට, සුදුසුය. අනුරුද්ධයෙනි, හොඳ තරුණ වයසින් යුත්, මුල් වයසෙහි සිටි, කලු කෙස් ඇතිව හුන් තොපි නොයෙක් කම්සැප අනුභව කරන්නට හැකිව සිටි තොප ඒ කම් සැප නොතකා ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වූවාහුය,

අනුරුද්ධයෙනි, තොපි රජුන්ට බියෙන් පැනගොස් ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වූවාහු නොවෙති,
සොරුන්ට බයව පැනගොස් ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදිවූවාහු නොවෙති,
ණයෙන් පීඩාවී ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වූවාහු නොවෙති,
බයෙන් පීඩාවී ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වූවාහු නොවෙති.
ජීවත්වන්ට පහසු මගක් සොයා ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදිවූවාහු නොවෙති.

අනුරුද්ධයෙනි,: ‘ඉපදීමෙන්, ජරාමරණ දෙකින් සොකයන්ගෙන්, වැලපීම්වලින්, දුක්වලින්, දොම්නස්වලින්, උපායාසයන්ගෙන් යුක්ත වූයෙමි, දුකට බැසගතිමි, දුකින් මඩනා ලද්දෙමි. මේ සියලු දුක් රාශියේ අවසානය දක්ක හොත් යෙහෙකැ’යි, අවබෝධයෙන් තොපි ශ්‍රද්ධාවෙන් ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වූවාහු නොවෙත්ද?”

“එසේය, ස්වාමීනි.”
§ 6 .“අනුරුද්ධයෙනි, මෙසේ අවබෝධයෙන් පැවිදිවූ කුලපුත්‍රයා විසින් කුමක් කළ යුතු වන්නේද?
අනුරුද්ධයෙනි, ශ්‍රමණ ජීවිතයෙහි ඔහු කාමයන්ගෙන් වෙන්වූ ඔහු, අකුශල ධර්මයන්ගෙන් වෙන්වූ ප්‍රීතියකට සැපයකට688 හෝ නොපැමිණෙයිද, ඊට වඩා උසස් අනික් සැපයකට නොපැමිණෙයිද,

[688: කාමයන්ගෙන් වෙන්ව ලබන්නාවූ ප්‍රීති ප්‍රමෝදයෙන් යුක්ත සැපය පළමු හා දෙවන ධ්‍යානයන් ගේ සැපය ලෙසද ගත මනාය. තෙවෙනි හා සිව් වෙනි ධ්යානයන්ගේ ඇති සැපයද මාර්ග ඵලයන් ලද සිතක ප්‍රීති ප්‍රමෝදය “ඊට වඩා උසස් අනෙක් සැපය ලෙස ගත හැක. ]

එසේ වූ කල්හි විවිධ අරමුණු කෙරෙහි ඇතිවන්නා වූ ආසාවන් ඔහුගේ සිත තුල ඇතිවේ සිතෙහි ලැගුම් ගනී. අප්‍රිය අරමුණු කෙරෙහි අසතුට අමනාපය ඇති වන්නේය. ඒ අසතුට ව්‍යාපාදය තෙක් වැඩෙයි. ඒ ව්‍යාපාදය ඔහු සිත මැඩගෙන සිටී. ථිනමිද්ධයද ඔහුගේ සිත මැඩගෙන සිටී, උද්ධච්ච කුක්කුච්චයද, ඔහුගේ සිත මැඩගෙන සිටී, විචිකිච්ඡාවද, ඔහුගේ සිත මැඩගෙන සිටියි. නොඇල්මද ඔහුගේ සිත මැඩගෙන සිටී. අලසකමද, ඔහුගේ සිත මැඩගෙණ සිටියි.

අනුරුද්ධයෙනි, කාමයන්ගෙන් වෙන්වූ අකුශලයන්ගෙන් වෙන්ව ප්‍රීති සැපය හෝ එයින් අන්‍යවූ සැපයක් හෝ නොලබන්නේ නම් [ධ්‍යානයන් නොවැඩේ නම් ] මෙසේ වන්නේය.

“අනුරුද්ධයෙනි, කාමයන්ගෙන් වෙන්වූ අකුශල ධර්මයන්ගෙන් වෙන්වූ ප්‍රීතිසැපයට හෝ පැමිණේද, ඊට වඩා උසස් අනික් සැපයකට හෝ පැමිණේද, ඔහුගේ සිත ආසාවෙන් මිදෙයි. ලෝභයෙන් අල්වාගෙණ නොසිටී. ඔහුගේ සිත ව්‍යාපාදයෙන් මිදෙයි. ඔහුගේ සිත ථීනමිද්ධයෙන් අල්වාගෙණ නොසිටී. ඔහුගේ සිත උද්ධච්ච කුක්කුච්චයෙන් අල්වාගෙණ නොසිටී. ඔහුගේ සිත විචිකිච්ඡාවෙන් අල්වාගෙණ නොසිටී. ඔහුගේ සිත නොඇල්මෙන් අල්වාගෙණ නොසිටී. ඔහුගේ සිත අලසබවෙන් අල්වාගෙණ නොසිටී. අනුරුද්ධයෙනි, කාමයන්ගෙන් වෙන්වූ අකුශල ධර්මයන්ගෙන් වෙන්වූ ප්‍රීති සැපයට හෝ පැමිණෙයිද, ඊට වඩා උසස් සැපයකට හෝ පැමිණෙයිද ඔහුට මෙසේ බ්‍රහ්ම චරියාවට ඇවැසි සිතෙහි දාන්ත බව ඇති වන්නේය.

§ 7. “අනුරුද්ධයෙනි, ඔබ තථාගතයන් ගැන මෙසේ සිතන්නේද ?
“තථාගතයන් වහන්සේ විසින් සිත කෙලෙසන, නැවත භවයේ ඉපදීම ඇතිකරණ, පීඩා සහිත, දුක් විපාක ඇති, නැවත ඉපදීම ජරාව මරණය ඇතිකරණ, ක්ලේශ ආශ්‍රවයෝ ප්‍රහීන නොකළාහුය. තථාගතයන් වහන්සේ සේවනය කළ යුතු කොටස දැන සේවනය කරයි. ඉවසිය යුතු කොටස දැන ඉවසයි. දුරුකළ යුතු කොටස දැන දුරුකරයි. සංසිඳවිය යුතු කොටස දැන සංසිඳවයි.”689 කියා මා කෙරෙහි තොපි මෙසේ සිතව්ද?

“නැත ස්වාමීනි, තථාගතයන් වහන්සේ ගැන අප එසේ නොසිතමු. සිත කෙලෙසන, නැවත ඉපදීම ඇතිකරණ පීඩා සහිත, දුක් විපාක ඇති, නැවත ඉපදීම, ජරාව, මරණය ඇතිකරණ සියළු ආශ්‍රවයෝ තථාගතයන් වහන්සේ ප්‍රහීණ කල සේක. එහෙයින් තථාගතයන් වහන්සේ සේවනය කළ යුතු කොටස දැන සේවනය කරයි. ඉවසිය යුතු කොටස දැන ඉවසයි. දුරු කළ යුතු කොටස දැන දුරුකරයි. සංසිඳවිය යුතු කොටස දැන සංසිඳවයි කියා අප සිතමු.“

.“අනුරුද්ධයෙනි, යහපත, යහපත, අනුරුද්ධයෙනි, කෙලෙසන, නැවත ඉපදීම ඇතිකරණ, පීඩා සහිත දුක් විපාක ඇති, නැවත ඉපදීම, ජරාව, මරණය ඇතිකරණ, සියළු ආශ්‍රවයෝ, තථාගතයන් වහන්සේගේ ප්‍රහීණ වූවාහුය. මුල් සුන්කරණ ලද්දාහුය. මස්තකය සිඳින ලද තල්ගසක් සියළු මුල් විනාශ කරණ ලද්දාහුය. නැවත ඉපදීමක් නැතිකරණලද්දාහුය. අනුරුද්ධයෙනි, යම්සේ මස්තකය සිඳින ලද තල්ගස නැවත කිසිදා නොවැඩේ ද, අනුරුද්ධයෙනි, එමෙන්ම කෙලෙසන නැවත ඉපදීම ඇතිකරණ, පීඩා සහිත, දුක් විපාක ඇති නැවත ඉපදීම ජරාව මරණය ඇතිකරණ ආශ්‍රවයෝ තථාගතයන් වහන්සේ විසින් පහකරන ලද්දාහුය. මුලුසුන් කරණලද්දාහුය. මස්තකය සිඳින තල් වත්තක් මෙන් කරණ ලද්දාහුය. විනාශකරන ලද්දාහුය. නැවත ඉපදීම නැතිකරණ ලද්දාහුය. එහෙයින් තථාගතයන් වහන්සේ සේවනය කළ යුතු කොටස දැන සේවනය කරයි. ඉවසිය යුතු කොටස දැන ඉවසයි. දුරු කළ යුතු කොටස දැන දුරුකරයි. සංසිඳවිය යුතු කොටස දැන සංසිඳවයි කියා තථාගතයන් වහන්සේ කෙරෙහි මේ අදහස වන්නේය.

§ 8. “අනුරුද්ධයෙනි, ඒ කුමකැයි සිතන්නහුද?
කවර ප්‍රයොජනයක් බලාපොරොත්තුවෙන් තථාගතයන් වහන්සේ කාලක්‍රියා කළ සිය ශ්‍රාවකයන් ‘අසුවලා අසුවල් තැන පහළවිය, අසුවලා අසුවල් තැන පහළවිය ’යි ඉකුත්වූ පිළිබඳ උප්පත්තීන් ප්‍රකාශ කරයිද?”
[ඉපදුනේය ” යන යෙදුම වෙනුවට “පහළ වුනේය ” (reappeared) යොදා ඇත්තේ සියළු ජනන තලයන්ටම යෙදෙන පරිදිය. ]
“ස්වාමීනි, අප භාග්‍යවතුන් වහන්සේ උගැන්වූ ධර්මයෝ මුල් කොට ඇත්තාහ. භාග්‍යවතුන් වහන්සේ ආදිකොට ඇත්තාහ. භාග්‍යවතුන් වහන්සේ පිහිටකොට ඇත්තාහ. ස්වාමීනි, මේ කරුණ පිළිබඳවද අර්ථය භාග්‍යවතුන් වහන්සේම අපට කියාදෙනසේක්නම් යහපති. භාග්‍යවතුන් වහන්සේගෙන් අසා දැනගන්නා සේ භික්ෂූහු දරත්” යයි (කීවාහුය.)

“අනුරුද්ධයෙනි, තථාගතයන් මිනිසුන් රැවටීම පිණිස, ( පිරිකර පිණිස රැවටීම), මිනිසුන් උසස් කොට තැබීම පිණිස, මිනිසුන් අතර ප්‍රසිද්ධ වීම පිණිස, මිනිසුන් පුදුම කරවනු පිණිස, ජනයන් පොළඹවනු පිණිස, ලාභ සත්කාර කීර්තිය පිණිස ‘මා ජනයා මෙසේ දැන හැඳිනගණිවා’යි ‘අසුවලා අසුවල් තැන උපන්නේය. අසුවලා අසුවල් තැන උපන්නේය’යි ඉකුත්වූ මැරීගිය ශ්‍රාවකයන් පිළිබඳ උප්පත්තිය ප්‍රකාශ නොකරයි.

අනුරුද්ධයෙනි, ශ්‍රද්ධාව නිසාම මහණවුන, බොහෝ කුලපුත්රයන් මේ සාසනයේ බඹසර රැකි ඒ ශ්‍රාවකයන් එසේ ප්‍රනීත ජන්ම ලාභයන් ලැබූ බව අසා මහත් සතුටට පත් වේ. ප්‍රතිපදාවේ හැසිරීමට වද වඩාත් උනන්දු වෙයි. අනුරුද්ධයෙනි, ඔවුන්ට එය බොහෝ කලක් හිත සැප පිණිස වෙයි.

§ 10. “අනුරුද්ධයෙනි, මේ ශාසනයෙහි භික්ෂුවක් තථාගතයන් විසින් මෙසේ ප්‍රකාශ කලේ යැයි අසයි. කෙසේද යත්: ‘මෙනම් දෑරු භික්ෂුව කාලක්‍රියා කෙළේය. ‘ඒ භික්ෂුව යලි කිසිදු උපතකට පත් නොවන්නේයැයි (අරහත් බැව්හි පිහිටියේයයි’) ප්‍රකාශ කරණ ලද්දේයයි අසයි.

ඒ ආයුෂ්මත්තෙම එසේ සඳහන් කරන ලද භික්ෂුව දැක ඇත්තේය. ඔහු ගැන අසා හෝ ඇත්තේය. ඔහු මෙබඳු සීලයක් ඇතිව සිටි කෙනෙක. මෙබඳු සමාධියකට පත් වන්නට සමත් වූ කෙනෙක. මෙබඳු ශ්‍රද්ධාවක් ඇතිව සිටි කෙනෙක. මෙසේ වූ ත්‍යාගශීලි කෙනෙක. මෙසේ වූ ප්‍රඥාවක් ඇතිව සිටි කෙනෙක.බව ඒ ආයුෂ්මතුන් එසේ දන්නේ වේ. ඔහු ඒ භික්ෂුව මෙසේ භවයෙන් මිදුනේයයි, අසනලද්දේ, ඒ ආයුෂ්මත්හුගේ ශ්‍රද්ධාවද, ශීලයද, උගත් බවද, ත්‍යාගයද, ප්‍රඥාවද සිහි කරමින් ඒ අනුව තමාගේ සීලයද සමාධියද ප්‍රඥාවද වඩා ගන්නට සිත මෙහෙයවයි. අනුරුද්ධයෙනි මෙසේද භික්ෂුවගේ සැපවිහරණය වේ.

§ 11. “අනුරුද්ධයෙනි, මේ ශාසනයෙහි භික්ෂුවක් තථාගතයන් විසින් මෙසේ ප්‍රකාශ කලේ යැයි අසයි. කෙසේද යත්: ‘මෙනම් දෑරු භික්ෂුව කාලක්‍රියා කෙළේය භාග්‍යවතුන් වහන්සේ විසින් ඒ භික්ෂුව කාමලෝකය භජනය කරන ඕරම්භාගිය සංයොජන පස නැති කිරීමෙන් ඔහු සුද්ධාවාස තලයෙක පහළ වූ යේය”යි අසයි.

ඒ ආයුෂ්මත්තෙම එසේ සඳහන් කරන ලද භික්ෂුව දැක ඇත්තේය. ඔහු ගැන අසා හෝ ඇත්තේය. ඔහු මෙබඳු සීලයක් ඇතිව සිටි කෙනෙක. මෙබඳු සමාධියකට පත් වූ කෙනෙක. මෙබඳු ශ්‍රද්ධාවක් ඇතිව සිටි කෙනෙක. මෙසේ වූ ත්‍යාගශීලි කෙනෙක. මෙසේ වූ ප්‍රඥාවක් ඇතිව සිටි කෙනෙක. ඒ ආයුෂ්මතුන් එසේ දන්නේ වේ. ඔහු ඒ භික්ෂුව මෙසේ ශුද්ධාවාසයක පහළ වුයේය යි, අසනලද්දේ, ඒ ආයුෂ්මත්හුගේ ශ්‍රද්ධාවද, ශීලයද, උගත් බවද, ත්‍යාගයද, ප්‍රඥාවද සිහි කරමින් ඒ අනුව තමාගේ සීලයද සමාධියද ප්‍රඥාවද වඩා ගන්නට සිත මෙහෙයවයි. අනුරුද්ධයෙනි මෙසේ භික්ෂුවගේ සැපවිහරණය වේ.

§ 12. “අනුරුද්ධයෙනි, මේ ශාසනයෙහි භික්ෂුවක්, ‘ තථාගතයන් විසින් මෙසේ ප්‍රකාශ කලේ යැයි අසයි. කෙසේද යත්: ‘මෙනම් දෑරු භික්ෂුව කාලක්‍රියා කෙළේය භාග්‍යවතුන් වහන්සේ විසින් ‘ඒ භික්ෂුව සංයොජන (භවබන්ධන) තුනක් නැතිකිරීමෙන්, රාග ද්වේෂ මෝහයන් තුනී කිරීමෙන් සකෘදාගාමීව මේ ලෝකයට එක් වරක්ම (උප්පත්ති වශයෙන්) පැමිණ දුක් කෙළවර කරන්නේයයි ප්‍රකාශ කරණ ලද්දේයයි’ අසයි.

‘ ඒ ආයුෂ්මත්තෙම එසේ සඳහන් කරන ලද භික්ෂුව දැක ඇත්තේය. ඔහු ගැන අසා හෝ ඇත්තේය. ඔහු මෙබඳු සීලයක් ඇතිව සිටි කෙනෙක. මෙබඳු සමාධියකට පත් වූ කෙනෙක. මෙබඳු ශ්‍රද්ධාවක් ඇතිව සිටි කෙනෙක. මෙසේ වූ ත්‍යාගශීලි කෙනෙක. මෙසේ වූ ප්‍රඥාවක් ඇතිව සිටි කෙනෙක. ඒ ආයුෂ්මතුන් එසේ දන්නේ වේ ඒ ආයුෂ්මත්තෙම මෙසේ සකෘදාගාමි ඵලය ලැබීය”යි අසන ලද්දේ ද, ඒ භික්ෂුව ඒ ආයුෂ්මත්හුගේ ශ්‍රද්ධාවද, ශීලයද, උගත්බවද, ත්‍යාගයද, ප්‍රඥාවද, සිහිකරමින් ඒ ඵලය ලැබීම පිණිස සිතයොදවයි. අනුරුද්ධයෙනි, මෙසේද භික්ෂුවට සැපවිහරණය වේ.

§ 13. “අනුරුද්ධයෙනි, මේ ශාසනයෙහි භික්ෂුවක් ‘මෙනම් භික්ෂුව කාලක්‍රියා කෙළේය. භාග්‍යවතුන් වහන්සේ විසින් ඒ භික්ෂුව සංයොජන (භවබන්ධන) තුනක් නැති කිරීමෙන් සෝවාන්ව, අපායෙහි උපදින ස්වභාවය නැත්තෙක්ව නියමයෙන්ම නිවන් පිහිටකොට ඇත්තෙක් වීයයි. ප්‍රකාශ කරණ ලද්දේය’යි, අසයි.

‘ ඒ ආයුෂ්මත්තෙම එසේ සඳහන් කරන ලද භික්ෂුව දැක ඇත්තේය. ඔහු ගැන අසා හෝ ඇත්තේය. ඔහු මෙබඳු සීලයක් ඇතිව සිටි කෙනෙක. මෙබඳු සමාධියකට පත් වූ කෙනෙක. මෙබඳු ශ්‍රද්ධාවක් ඇතිව සිටි කෙනෙක. මෙසේ වූ ත්‍යාගශීලි කෙනෙක. මෙසේ වූ ප්‍රඥාවක් ඇතිව සිටි කෙනෙක. ඒ ආයුෂ්මතුන් එසේ දන්නේ වේ

මෙසේ සෝවාන්ව, අපායෙහි උපදින ස්වභාවය නැත්තෙක්ව නියමයෙන්ම නිවන් පිහිටකොට ඇත්තෙක් වීයයි යි’ අසන ලද්දේ ද. ඒ භික්ෂුවද ඒ ආයුෂ්මත්හුගේ ශ්‍රද්ධාවද, ශීලයද, උගත්බවද, ත්‍යාගයද, ප්‍රඥාවද, සිහිකරමින් ඒ බව පිණිස සිතයොදවයි. අනුරුද්ධයෙනි මෙසේද භික්ෂුවට සැප විහරණය වේ.

§ 14. “අනුරුද්ධයෙනි, මේ ශාසනයෙහි භික්ෂුණියක් ‘මෙනම් භික්ෂුණිය කාලක්‍රියා කළාය. භාග්‍යවතුන් වහන්සේ විසින් ‘ඒ භික්ෂුණිය රහත් බැව්හි පිහිටියායයි ප්‍රකාශ කරණ ලද්දේයයි, අසයි.

‘ඒ භික්ෂුණිය තමා විසින්ම දක්නා ලද්දී හෝ වෙයිද, ඒ නැගනිය මෙබඳු සිල් ඇත්තීය. ඒ නැගනිය මෙබඳු ස්වභාව ඇත්තීය. ඒ නැගනිය මෙබඳු නුවණ ඇත්තීය. ඒ නැගනිය මෙබඳු හැසුරුම් ඇත්තීය. ඒ නැගනිය මෙසේ භවයෙන් මිදුනීයයි’ අසන ලද්දී හෝ වෙයිද. ඒ භික්ෂුණියගේ ශ්‍රද්ධාවද, ශීලයද, උගත්බවද, ත්‍යාගයද, ප්‍රඥාවද, සිහිකරමින් ඒ බව පිණිස සිත යොදවයි. අනුරුද්ධයෙනි, මෙසේද භික්ෂුණියට සැප විහරණය වේ.

§ 15. “අනුරුද්ධයෙනි, මේ ශාසනයෙහි භික්ෂුණියක් ‘මෙනම් භික්ෂුණිය කාලක්‍රියා කළාය. භාග්‍යවතුන් වහන්සේ විසින් ඒ භික්ෂුණිය, කාම ලෝකය භජනය කරණ සංයොජන පස නැතිකිරීමෙන් ඔපපාතිකව එහි පිරිනිවෙන ඒ ලෝකයෙන් මෙහි නොඑන ස්වභාව ඇත්තේයයි’ ප්‍රකාශ කරණ ලද්දීය.

ඒ භික්ෂුණිය තමා විසින් දක්නා ලද්දී හෝ වෙයිද, ඒ නැගණිය ‘මෙබඳු සිල් ඇත්තීය, ඒ නැගනිය මෙබඳු ස්වභාව ඇත්තීය, ඒ නැගනිය මෙබඳු නුවණ ඇත්තීය, ඒ නැගනිය මෙබඳු හැසිරීම් ඇත්තීය, ඒ නැගනිය මෙසේ අනාගාමි ඵලය සාක්ෂාත් කලේ යැයි අසන ලද්දී ඒ භික්ෂුණිය ඒ භික්ෂුණියගේ ශ්‍රද්ධාවද, සීලයද, උගත්බවද, ත්‍යාගයද, ප්‍රඥාවද සිහි කරමින්, ඒ බව පිණිස සිත යොදවයි. අනුරුද්ධයෙනි, මෙසේද භික්ෂුණියට සැපවිහරණය වේ.

§ 16. “අනුරුද්ධයෙනි, මේ ශාසනයෙහි භික්ෂුණියක් ‘මෙනම් භික්ෂුණිය කාලක්‍රියා කළාය. භාග්‍යවතුන් වහන්සේ විසින් ඒ භික්ෂුණිය සංයොජන (භවබන්ධන) තුන නැති කිරීමෙන් රාග දොස මෝහයන්ගේ තුනීකිරීමෙන් සකෘදාගාමීව මේ ලෝකයට එකවරක්ම (උප්පත්ති වශයෙන්) පැමිණ දුක් කෙළවර කරන්නීයයි ප්‍රකාශ කරණ ලද්දීයයි, අසයි.

, ඒ භික්ෂුණිය තමා විසින්ම දක්නා ලද්දී හෝ වෙයිද, ඒ නැගනිය මෙබඳු සිල් ඇත්තීය. ඒ නැගනිය මෙබඳු ස්වභාව ඇත්තීය, ඒ නැගනිය මෙබඳු නුවණ ඇත්තීය, ඒ නැගනිය මෙබඳු හැසිරීම් ඇත්තීය, ඒ නැගනිය මෙසේ සකෘදාගාමීව භවයෙන් මිදුනීය’යි, අසන ලද්දී, ඒ භික්ෂුණිය ඒ භික්ෂුණියගේ ශ්‍රද්ධාවද, සීලයද, උගත් බවද, ත්‍යාගයද, ප්‍රඥාවද සිහිකරමින්, ඒ බව පිණිස සිත යොදවයි. අනුරුද්ධයෙනි, මෙසේද භික්ෂුණියට සැපවිහරණය වේ.

§ 17. “අනුරුද්ධයෙනි, මේ ශාසනයෙහි භික්ෂුණියක් ‘මෙනම් භික්ෂුණිය කාලක්‍රියා කළාය. භාග්‍යවතුන් වහන්සේ විසින් ඒ භික්ෂුණිය සංයොජන (භවබන්ධන) තුනක් නැතිකිරීමෙන් සෝවාන්ව සතර අපායෙහි ඉපදීමට නොපැමිණෙන්නියක්ව නියමයෙන්ම නිවන් පිහිටකොට ඇත්තියක් වීයයි ප්‍රකාශ කරණ ලද්දීයයි අසයි,

ඒ භික්ෂුණිය තමා විසින්ම දක්නා ලද්දී හෝ වෙයිද, ඒ නැගනිය මෙබඳු සිල් ඇත්තීය, ඒ නැගනිය මෙබඳු ස්වභාව ඇත්තීය, ඒ නැගනිය මෙබඳු නුවණ ඇත්තීය, ඒ නැගනිය මෙබඳු හැසිරීම් ඇත්තීය. ඒ නැගනිය මෙසේ සෝවාන් ඵලයට පත්ව මෙසේ භවයෙන් මිදුනීයයි අසන ලද්දී ද, ඒ භික්ෂුණිය ඒ භික්ෂුණියගේ ශ්‍රද්ධාවද, සීලයද, උගත් බවද, ත්‍යාගයද, ප්‍රඥාවද, සිහිකරමින් ඒ බව පිණිස සිත යොදවයි. අනුරුද්ධයෙනි, මෙසේද භික්ෂුණියට සැප විහරණය වේ.

§ 18. “අනුරුද්ධයෙනි, මේ ශාසනයෙහි උපාසකයෙක් ‘මෙනම් උපාසකයා කාලක්‍රියාකළේය. භාග්‍යවතුන් වහන්සේ විසින් ඒ උපාසකයා කාමලෝකය භජනය කරන සංයොජන පස නැතිකිරීමෙන් ඔපපාතිකව එහි පිරිනිවෙන, ඒ ලෝකයෙන් මෙහි නොඑන ස්වභාව ඇත්තේයයි ප්‍රකාශ කරණ ලද්දේයයි’ අසයි,

ඒ උපාසකයා තමා විසින්ම දක්නා ලද්දේ හෝ වෙයිද, ‘ඒ උපාසකයා මෙබඳු සිල් ඇත්තෙක, ඒ උපාසකයා මෙබඳු ස්වභාව ඇත්තෙක, ඒ උපාසකයා මෙබඳු නුවණ ඇත්තෙක, ඒ උපාසකයා මෙබඳු හැසිරීම් ඇත්තෙක, ඒ උපාසකයා මෙසේ භවයෙන් මිදුනේයයි’ අසන ලද්දේ හෝ වෙයිද, ඒ උපාසකයා ඒ උපාසකයාගේ ශ්‍රද්ධාවද, සීලයද, උගත් බවද, ත්‍යාගයද, ප්‍රඥාවද සිහිකරමින් ඒ බව පිණිස සිත යොදවයි. අනුරුද්ධයෙනි, මෙසේද උපාසකයාට සැපවිහරණය වේ.

§ 19. “අනුරුද්ධයෙනි, මේ ශාසනයෙහි උපාසකයෙක් ‘මෙනම් උපාසකයා කාලක්‍රියා කෙළේය. භාග්‍යවතුන් වහන්සේ විසින් ඒ උපාසකයා සංයොජන තුනක් නැතිකිරීමෙන් රාග, දොස, මෝහයන්ගේ තුනී කිරීමෙන් සකෘදාගාමීව මේ ලෝකයට එක්වරක්ම (උප්පත්ති වශයෙන්) පැමිණ දුක් කෙළවර කරන්නේයයි ප්‍රකාශ කරණ ලද්දේයයි’ අසයි.

, ඒ උපාසකයා තමා විසින්ම දක්නා ලද්දේද, ‘ඒ උපාසකයා මෙබඳු සිල් ඇත්තෙක, ඒ උපාසකයා මෙබඳු ස්වභාව ඇත්තෙක, ඒ උපාසකයා මෙබඳු නුවණ ඇත්තෙක, ඒ උපාසකයා මෙබඳු හැසිරීම් ඇත්තෙක, ඒ උපාසකයා මෙසේ භවයෙන් මිදුනේ යයිද,’ අසන ලද්දේ හෝ වෙයිද. ඒ උපාසකයා ඒ උපාසකයාගේ ශ්‍රද්ධාවද සීලයද, උගත් බවද, ත්‍යාගයද, ප්‍රඥාවද සිහිකරමින් ඒ බව පිණිස සිත යොදවයි. අනුරුද්ධයෙනි, මෙසේද උපාසකයාහට සැපවිහරණය වේ.

§ 20. “අනුරුද්ධයෙනි, මේ ශාසනයෙහි උපාසකයෙක් ‘මෙනම් උපාසකයා කාලක්‍රියා කෙළේය. භාග්‍යවතුන් වහන්සේ විසින් ඒ උපාසකයා සංයොජන (භව බන්ධන) තුනක් නැති කිරීමෙන් සෝවාන්ව, අපාය ලෝකයන්හි ඉපදීමට නොපැමිණෙන්නෙක්ව නියමයෙන්ම නිවන් පිහිට කොට ඇත්තෙක් වීයයි ප්‍රකාශ කරණ ලද්දේයයි’ අසයි

ඒ උපාසකයා තමා විසින්ම දක්නා ලද්දේ හෝ වෙයිද, ‘ඒ උපාසකයා මෙබඳු සිල් ඇත්තෙක, ඒ උපාසකයා මෙබඳු ස්වභාව ඇත්තෙක, ඒ උපාසකයා මෙබඳු හැසිරීම් ඇත්තෙක, ඒ උපාසකයා මෙසේ භවයෙන් මිදුනේයයි,’ අසන ලද්දේ හෝ වෙයිද, ඒ උපාසකයා ඒ උපාසකයාගේ ශ්‍රද්ධාවද, සීලයද, උගත් බවද, ත්‍යාගයද, ප්‍රඥාවද, සිහිකරමින් ඒ බව පිණිස සිත යොදවයි. අනුරුද්ධයෙනි, මෙසේද උපාසකයාට සැපවිහරණය වේ.

§ 21. “අනුරුද්ධයෙනි, මේ ශාසනයෙහි උපාසිකාවක් ‘මෙනම් උපාසිකාව කාලක්‍රියා කළාය. භාග්‍යවතුන් වහන්සේ විසින් ඒ උපාසිකාව කාම ලෝකය භජනය කරන සංයොජන පස නැතිකිරීමෙන් ඔපපාතිකව එහි පිරිනිවෙන ඒ ලෝකයෙන් මෙහි නොඑන ස්වභාව ඇත්තීයයි ප්‍රකාශ කරණ ලද්දීයයි අසයි.

‘ඒ උපාසිකාව තමා විසින්ම දක්නා ලද්දීද, ‘ඒ උපාසිකාව මෙබඳු සිල් ඇත්තීයයිද, ඒ උපාසිකාව මෙබඳු ස්වභාව ඇත්තීයයිද, ඒ උපාසිකාව මෙබඳු නුවණ ඇත්තීයද, ඒ උපාසිකාව මෙබඳු හැසිරිම් ඇත්තීය. ඒ උපාසිකාව මෙසේ භවයෙන් මිදුනීයයි,’ අසන ලද්දේ හෝ වෙයිද. ඒ උපාසිකාව, ඒ උපාසිකාවගේ ශ්‍රද්ධාවද, සීලයද, උගත්කමද, ත්‍යාගය හා ප්‍රඥාවද සිහිකරමින් ඒ බව පිණිස සිත යොදවයි. අනුරුද්ධයෙනි, මෙසේද උපාසිකාවට සැපවිහරණය වේ.

§ 22 . “අනුරුද්ධයෙනි, මේ ශාසනයෙහි උපාසිකාවක් ‘මෙනම් උපාසිකාව කාලක්‍රියා කළාය. භාග්‍යවතුන් වහන්සේ විසින් ඒ උපාසිකාව සංයොජන (-භවබන්ධන) තුන නැතිකිරීමෙන් රාග, ද්වේස, මෝහයන්ගේ තුනී කිරීමෙන් සකෘදාගාමීව මේ ලෝකයට එක වරක්ම (උප්පත්ති වශයෙන්) පැමිණ දුක් කෙළවර කරන්නීයයි ප්‍රකාශ කරණ ලද්දීයයි’ අසයි

ඒ උපාසිකාව තමා විසින්ම දක්නා ලද්දී හෝ වෙයිද, ‘ඒ උපාසිකාව මෙබඳු සිල් ඇත්තීය, ඒ උපාසිකාව මෙබඳු ස්වභාව ඇත්තීය, ඒ උපාසිකාව මෙබඳු නුවණ ඇත්තීය, ඒ උපාසිකාව මෙබඳු හැසිරීම් ඇත්තීය, ඒ උපාසිකාව මෙසේ සකෘදාගාමීව භවයෙන් මිදුනීයයි’ අසන ලද්දේ ද, ඒ උපාසිකාවගේ ශ්‍රද්ධාවද, සීලයද උගත් බවද, ත්‍යාගයද, ප්‍රඥාවද සිහිකරමින් ඒ බව පිණිස සිත යොදවයි. අනුරුද්ධයෙනි, මෙසේද උපාසිකාවට සැපවිහරණය වේ.

§ 23. “අනුරුද්ධයෙනි, මේ ශාසනයෙහි උපාසිකාවක් ‘මෙනම් උපාසිකාව කාලක්‍රියා කළාය. භාග්‍යවතුන් වහන්සේ විසින් ඒ උපාසිකාව සංයොජන (-භවබන්ධන) තුනක් නැති කිරීමෙන් සෝවාන්ව, අපාය ලෝකයන්හි ඉපදීමට නොපැමිණෙන්නියක්ව, නියමයෙන්ම නිවන් පිහිටකොට ඇත්තියක් වීයයි ප්‍රකාශ කරණ ලද්දීයයි’ අසයි.

ඒ උපාසිකාව තමා විසින් දක්නා ලද්දී හෝ වෙයිද, ‘ඒ උපාසිකාව මෙබඳු සිල් ඇත්තීය, ඒ උපාසිකාව මෙබඳු ස්වභාවඇත්තීය, ඒ උපාසිකාව මෙබඳු නුවණ ඇත්තීය, ඒ උපාසිකාව මෙබඳු හැසිරීම් ඇත්තීය, ඒ උපාසිකාව මෙසේ භවයෙන් මිදුනීයයි අසන ලද්දේ හෝ වෙයිද, ඒ උපාසිකාව, ඒ උපාසිකාවගේ ශ්‍රද්ධාවද, සීලයද, උගත් බවද, ත්‍යාගයද, ප්‍රඥාවද, සිහි කරමින් ඒ බව පිණිස සිත යොදවයි අනුරුද්ධයෙනි, මෙසේද උපාසිකාවට සැපවිහරණය වේ.”

§ 24. අනුරුද්ධයෙනි, තථාගතයන් මිනිසුන් රැවටීම පිණිස, ( පිරිකර පිණිස රැවටීම), මිනිසුන් උසස් කොට තැබීම පිණිස, මිනිසුන් අතර ප්‍රසිද්ධ වීම පිණිස, මිනිසුන් පුදුම කරවනු පිණිස, ජනයන් පොළඹවනු පිණිස, ලාභ සත්කාර කීර්තිය පිණිස ‘මා ජනයා මෙසේ දැන හැඳිනගණිවා’යි ‘අසුවලා අසුවල් තැන උපන්නේය. අසුවලා අසුවල් තැන උපන්නේය’යි ඉකුත්වූ මැරීගිය ශ්‍රාවකයන් පිළිබඳ උප්පත්තිය ප්‍රකාශ නොකරයි.

එසේ තථාගතයන් විසින් අසුවල් ශ්‍රාවකයා අසුවල් තලයක පහළ වී යැයි, අසුවල් ඵලයක් ලැබී යැයි දේශනා කරන්නේ ශ්රද්ධාව නිසාම මහණවුන, බොහෝ කුලපුත්රයන් ප්‍රතිපදාවේ හැසිරීමට වඩ වඩාත් උනන්දු කිරීම පිණිස වෙයි. අනුරුද්ධයෙනි, ඔවුන්ට එය බොහෝ කලක් හිත සැප පිණිස වෙයි.

භාග්‍යවතුන් වහන්සේ මෙය දෙසූ සේක.

සතුටු සිත් ඇති ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගේ වචනයට සතුටු විය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.