MN 03-02-02 ඡබ්බ සොධන සූත්‍රය

[ස‍ටහන: අරහත් භාවය ලැබුවෙකු එය ප්‍රසිද්ධියේ නොකිව යුතු යැයි මතයක් ලංකාවේ ඇත. එමතුදු නොව තමා ලැබූ කිසිම ආර්ය ඵලයක් ප්‍රකාශ නොකළ යුතු යෑයි සිංහල බෞද්ධයෝ කියති. භාග්‍යවතුන් වහන්සේ දේශනා කර ඇති ,මේ සුත්‍රයෙහි සඳහන් වන්නේ තමන් ලැබූ අරහත් භාවය ප්‍රකාශ කිරීම තහනම් කිරීම නොව ඒ භික්ෂුවගේ සහ බ්‍රහ්මචාරීන් වහන්සේලා ඒ භ්ක්ෂුව කල ප්‍රකාශය පිලිබඳ විනිශ්චය කිරීමට ටෝදාගත යුතු සය වැදෑරුම් ප්‍රශ්න මාලාවකි. විමුක්තිය ලත් රහත් තෙර නමක් කෙබඳු පිළිතුරු දෙයි දැයි මෙහි දැක්වේ.]

පුජ්‍ය බෝගහපුර දේවමිත්ත හිමිහල සුත්‍ර විවරණය පහත දැක්වේ

§ 1. මා විසින් මෙසේ අසනලදී.
එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතනම් රජකුමරුගේ උයනෙහි අනේපිඬු සිටුතුමා විසින් කරවන ලද ආරාමයෙහි (ජේතවනාරාමයෙහි) වැඩවසන සේක. එහිදී දිනෙක භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’ කියා භික්ෂූන්ට කථාකළ සේක. ඒ භික්ෂුහු ‘ස්වාමීනි’ යි. භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.

§ 2. “මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂුවක් යම් විටෙක,
” යලි ඉපදීම නැවැත්වීමි . බ්‍රාහ්මචර්‍ය්‍යාව වැස නිම කරන ලද්දේය. කටයුතු දෑ කොට අවසානය, මත්තෙහි කළයුතු අනිකක් නැතැයි, දනිමි” යි කියා සිය අරහත් බව ප්‍රකාශ කෙරේද, මහණෙනි, ඔහුගේ ඒ ප්‍රකාශය අසා සෙසු භික්ෂූහු අප්‍රසාදයක් නොදැක්විය යුතුය, ඔහුගේ ප්‍රකාශය හිස් යැයි ප්‍රතික්ෂෙපද නොකළ යුතුය. සතුටු නොවී බැහැරද නොකොට මෙසේ ඔහුගෙන් ප්‍රශ්නයක් ඇසිය යුතුය.

“ඇවැත්නි, භාග්‍යවත්වූ සියල්ල දන්නාවූ, සියල්ල නුවණැසින් දක්නාවූ, අර්හත්වූ අප සම්‍යක් සම්බුදුරජාණන් වහන්සේ මැනවින් ප්‍රකාශ කරණලද ව්‍යවහාරයෝ සතරකි.
ඒ සතර කුමක්ද?
දක්නාලද දෙය දක්නාලද පරිදි කීමය,
අසනලද දෙය අසනලද පරිදි කීමය,
(නාසය, දිව, ශරීරය යන මෙයින්) දැන ගන්නාලද දෙය දැන ගන්නා ලද පරිදි කීමය,
(මනසින්) දැනගන්නාලද දෙය දැනගන්නා ලද පරිදි කීමය යනුයි..

[1057:-ගන්නා සියලු අරමුණු පිලිබදව කැමැත්තක් අකමැත්තක් හෝ අන් කිසිං චිත්ත සංඛාරයකින් තොරව උපාදානයකින් තොරව දැකීමයි, ඇසීමයි , දැනීමයි ආදී ලෙස අරමුණ දැකීම]

§ 3. “ඇවැත්නි, සියල්ල දන්නාවූ, සියල්ල නුවණින් දක්නාවූ, භාග්‍යවත්වූ, අර්හත්වූ, ඒ සම්‍යක් සම්බුදුරජාණන් වහන්සේ විසින් මැනවින් ප්‍රකාශ කරණලද මේ සතර ව්‍යවහාරයෝ වෙති.

ආයුෂ්මතුන්ගේ සිත මේ සතර ව්‍යවහාරයන් කෙසේ දන්නාවූ කෙසේ දක්නාවූ තෘෂ්ණාදෘෂ්ටි වශයෙන් නොගෙණ ආශ්‍රවයන්ගෙන් මිදුනේද? කියායි.

“මහණෙනි, ආශ්‍රවයන් ක්ෂය කළාවූ බ්‍රහ්මචර්‍ය්‍යාව වැස නිමවනලද, කටයුතු දෑ කොට අවසන්වූ, බහා තබනලද බර ඇති, ස්වකීයාර්ථට පැමිණි, භව බැඳුම් ක්ෂය කළ, මැනවින් දැන කෙලෙස් බැම්මෙන් මිදුනාවූ භික්ෂුවගේ පිළිතුර මේ ආකාර වෙයි.

(i).”ඇවැත්නි, මම දක්නාලද දෙයෙහි (රාග වශයෙන්) නොපැමින්නේ, (ද්වේෂ වශයෙන්) ඉවත් නොවන්නේ (තෘෂ්ණා දෘෂ්ටි වශයෙන්) නොඇලුනේ (ඡන්ද රාගයෙන්) නොබැඳුනේ (කාම රාගයෙන්) මිදුනේ සියළු කෙලසුන්ගෙන් වෙන්වූයේ (කෙලෙස් වශයෙන් හෝ අරමුණු වශයෙන් හෝ) සීමාවක් නොකරණලද සිතින් යුක්තව වසමි.

(ii). ඇවැත්නි, මම අසන ලද්දෙහි නොඇලී ඒ ශබ්දය නිසා නොකිපී ඒ අරමුණෙන් ඉවත් නොවන්නෙමි , තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් ඇසුරු නොකෙළේ, කාම රාගයෙන් නොබැඳුනේ ඡන්දරාගයෙන් මිදුනේ, කෙලෙසුන්ගෙන් වෙන්වූයේ, කෙලෙසුන්ගෙන් හෝ ආරම්මණයන්ගේ සීමාවක් නොකරණලද සිතින් යුක්තව වසමි.

(iii). ඇවැත්නි, මම නාසය, දිව, සිරුර යන මේ දොරටු වලින් දැනගන්නාලද ආරම්මණයන්ද ඇලීම් වශයෙන් නොගන්නමි. කිපීම් වශයෙන් ඉවත් නොකරන්නෙමි. තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් ඇසුරු නොකරන්නෙමි. කාමරාගයෙන් ඡන්දරාගයෙන් නොබැඳුනමි. මිදුනෙමි, කෙලෙසුන්ගෙන් වෙන්වූයේමි, කෙලෙසුන්ගෙන් හෝ ආරම්මණයන්ගේ සීමාවක් නොකරණ ලද සිතින් යුක්තව වසමි.

(iv) ඇවැත්නි, මම සිතින් දැන ගන්නාලද දෙයෙහිද (රාග වශයෙන්) නොඑළඹෙන්නේ (ද්වේෂයෙන්) ඉවත් නොවන්නේ (තෘෂ්ණා දෘෂ්ටි වශයෙන්) නොඇලෙන්නේ, (ඡන්දරාගයෙන්) නොබැඳුනේ (කාමරාගයෙන්) මිදුනේ, (සියළු කෙලෙසුන්ගෙන්) වෙන්වූයේ (කෙලෙස් වශයෙන් හෝ අරමුණු වශයෙන් හෝ) සීමාවක් නොකරණලද සිතින් යුක්තව වසමි.

ඇවැත්නි, මේ සතර ව්‍යවහාරයන්හි මෙසේ දන්නාවූ, මෙසේ දක්නාවූ මාගේ සිත තෘෂ්ණා දෘෂ්ටිවශයෙන් නොගෙණ ආශ්‍රවයන් කෙරෙන් මිදුනේ වෙයි කියායි.

“මහණෙනි, එසේ පිළිතුරු දුන්නාවූ ඒ භික්ෂුවගේ කීම යහපතැයි කියා ඔබ පිළිගත යුතුයි. ඒ අනුව සතුටු වියයුතුයි. යහපතැයි එම කීම පිළිගෙණ ඒ අනුව සතුටුව අනුමෝදන් විය යුතුය.

(මුල් ප්‍රශ්නයට ඔහු දුන් පිළිතුරෙන් සෑහීමට පත්නොවේ නම්) මතුද ප්‍රශ්නයක්, ඇසිය යුතුයි.

§ 4. , ඇවැත්නි, භාග්‍යවත්වූ, සියල්ල දන්නාවූ, සියල්ල නුවණැසින් දක්නාවූ අර්හත්වූ ඒ සම්‍යක් සම්බුදුරජාණන් වහන්සේ විසින් මැනවින් ප්‍රකාශ කරණලද උපාදානස්කන්ධයෝ පසෙකි.
ඒ කවර පසෙක්දයත්?
රූප උපාදානස්කන්ධය,
වේදනා උපාදානස්කන්ධය,
සංඥා උපාදානස්කන්ධය,
සංස්කාර උපාදාන
ස්කන්ධ විඥාන උපාදානස්කන්ධය
යන මේ පසයි.

ඇවැත්නි, මේ පඤ්ච උපාදානස්කන්ධයෝ භාග්‍යවත්වූ සියල්ල දන්නාවූ, සියල්ල දක්නාවූ, අර්හත්වූ සම්‍යක් සම්බුද්ධ රජාණන් වහන්සේ විසින් මැනැවින් ප්‍රකාශ කරණ ලදහ.“

මේ පඤ්ච උපාදානස්කන්ධයන් කෙරෙහි කෙසේ දන්නාවූ කෙසේ දක්නාවූ ආයුෂ්මතුන්ගේ සිත තෘෂ්ණාදෘෂ්ටි වශයෙන් නොගෙන ආශ්‍රවයන්ගෙන් මිදුනේද කියායි.

“මහණෙනි, ක්ෂීණාශ්‍රවවූ, වැස නිමවනලද බ්‍රහ්මචර්‍ය්‍යා ඇති කටයුතු දැ කොට අවසන්වූ, බහා තබනලද බර ඇති පැමිණි තමන්ගේ අර්ථය ඇති, ක්ෂය කළ භව බැඳුම් ඇති, මැනවින් දැන මිදුනාවූ භික්ෂුවගේ විසඳීම මේ ආකාර වෙයි.

“ඇවැත්නි, මම රූපය දුර්වලය නො ඇලිය යුත්තක අස්වැසිලි රහිතවූවකැයි දැන රූපයෙහි මමය මාගේ යයි ගන්නා චිත්තයාගේ සිටීමය, බැසගැනීමය, අනුසය වශයෙන් පැවැත්මයි කියනලද මේ තෘෂ්ණා දෘෂ්ටීහු වෙත්ද, ඔවුන්ගේ ක්ෂය වීමෙන්, නොඇලීමෙන්, වැලැක්වීමෙන්, හැරලීමෙන් අතහැර දැමීමෙන් මාගේ සිත මිදුනේයයි දනිමි.

ඇවැත්නි, මම වේදනාව දුර්වලය, නොඇලිය යුත්තක, අස්වැසිලි රහිතවූ වෙකැයි දැන වේදනාවෙහි මමය මාගේයයි සිත පිහිටන්නාවූ බැසගන්නාවූ අනුසය වශයෙන් පවත්නාවූ යම් තෘෂ්ණා දාෂ්ටීහු වෙත්ද, ඔවුන්ගේ ක්ෂය වීමෙන්, නොඇලීමෙන්, වැලැක්මෙන්, හැරලීමෙන් අතහැර දැමීමෙන් මාගේ සිත මිදුනේයයි දනිමි.

ඇවැත්නි, මම වනාහි සංඥාව දුර්වලය, නොඇලිය යුත්තක, අස්වැසිලි රහිත වූවෙකැයි දැන, සංඥාවෙහි මමය මගේයයි සිත පිහිටන්නාවූ බැසගන්නාවූ, අනුසය වශයෙන් පවත්නාවූ යම් තෘෂ්ණා දෘෂ්ටීහු වෙත්ද, ඔවුන්ගේ ක්ෂය වීමෙන්, නොඇලීමෙන්, වැලැක්වීමෙන්, හැරලීමෙන්, අතහැර දැමීමෙන් මාගේ සිත මිදුනේයයි දනිමි.

ඇවැත්නි, මම වනාහි සංස්කාරයන් දුර්වලය, නොඇලිය යුත්තක, අස්වැසිලි රහිතවූයෙකැයි දැන සංස්කාරයන්හි මමය මාගේයයි සිත පිහිටන්නාවූ බැස ගන්නාවූ, අනුසය වශයෙන් පවත්නාවූ, යම් තෘෂ්ණා දෘෂ්ටීහු වෙත්ද, ඔවුන්ගේ ක්ෂය වීමෙන්, නොඇලීමෙන්, වැලැක්වීමෙන් හැරලීමෙන්, අතහැර දැමීමෙන් මාගේ සිත මිදුනේ යයි දනිමි.

ඇවැත්නි, මම වනාහි විඤ්ඤාණය දුර්වලය, නො ඇලිය යුත්තක, අස්වැසිලි රහිත වූවකැයි දැන විඤ්ඤාණයෙහි මමය මාගේයයි ගන්නා චිත්තයාගේ සිටීමය, ඇතුළත්වීමය අනුශය වශයෙන් පැවැත්මයයි කියනලද යම් තාෂ්ණා දෘෂ්ටීහු වෙත්ද, ඔවුන්ගේ ක්ෂය වීමෙන් නොඇලීමෙන් වැලැක්වීමෙන් හැරලීමෙන්, අතහැර දැමීමෙන් මාගේ සිත මිදුනේයයි දනිමි.“

ඇවැත්නි, මෙසේ වනාහි පඤ්චඋපාදානස්කන්ධයන් කෙරෙහි දන්නාවූ මෙසේ දක්නාවූ මාගේ සිත තෘෂ්ණා දෘෂ්ටිවශයෙන් නොගෙණ ආශ්‍රවයන් කෙරෙන් මිදුනේය. කියායි.“

ඇවැත්නි, ඒ භික්ෂුවගේ කීම යහපතැයි කියා පිළිගත යුතුයි. ඒ අනුව සතුටු විය යුතුයි. යහපතැයි එම කීම පිළිගෙණ ඒ අනුව සතුටුව ( ප්‍රශ්නයට ඔහු දුන් පිළිතුරෙන් සෑහීමට පත්නොවේ නම්) මතුද ප්‍රශ්නයක් ඇසිය යුතුයි.

§ 5. “ඇවැත්නි, භාග්‍යවත්වූ, සියල්ල දන්නාවූ, සියල්ල නුවණැසින් දක්නාවූ, අර්හත්වූ ඒ සම්‍යක් සම්බුදුරජානන් වහන්සේ විසින් මෙම ධාතු සය මැනවින් ප්‍රකාශ කරණලදී.

කවර නම් සයක්ද යත්?
පඨවි ධාතුය, ආපො ධාතුය, තෙජො ධාතුය, වායො ධාතුය ආකාස ධාතුය, විඤ්ඤාණ ධාතුය යන සයයි.

ඇවැත්නි, භාග්‍යවත්වූ සියල්ල දන්නාවූ සියල්ල නුවණැසින් දක්නාවූ අර්හත් වූ, ඒ සම්‍යක් සම්බුදුරාජාණන් වහන්සේ විසින් මෙම ධාතු සය මැනවින් ප්‍රකාශ කරණලදහ.

ඉදින් සිය අරහත් බව ප්‍රකාශ කළාවූ ඒ භික්ෂුවගෙන් ඔබ මෙසේ ප්‍ර ශ්න කලයුතු වෙයි
“මේ ධාතු සයෙහි කෙසේ දන්නාවූ කෙසේ දක්නාවූ ආයුෂ්මතුන්ගේ සිත තාෂ්ණා දෘෂ්ටි වශයෙන් නොගෙණ ආශ්‍රවයන්ගෙන් මිදුනේද?” කියායි.

“මහණෙනි ක්ෂීණාශ්‍රවවූ වැස නිමවනලද බ්‍රහ්මචර්‍ය්‍යා ඇති කටයුතු දැ කොට අවසන්වූ බහා තබනලද බර ඇති පැමිණි තමාගේ අර්ථය ඇති ක්ෂය කළ භව බැඳුම් ඇති මැනවින් දැන මිදුනාවූ භික්ෂුවගේ පිළිතුර මේ ආකාරවේ.

(i)‘ඇවැත්නි, මම පඨවි ධාතුව මම නොවේයයි නුවණින් බැස ගතිමි. පඨවි ධාතුව ඇසුරුකොටද තමා නැත්තේය. පඨවි ධාතුව ඇසුරු කොට පවත්නා මමය මාගේ යයි ගන්නාවූ චිත්තයාගේ සිටීමය, ඇතුළත් වීමය, අනුශය වශයෙන් පැවැත්මයයි කියනලද යම් ඒ තෘෂ්ණා දෘෂ්ටීහු වෙත්ද ඔවුන්ගේ ක්ෂය වීමෙන් නොඇලීමෙන් වැළැක්මෙන්, හැරලීමෙන්, අතහැර දැමීමෙන් මාගේ සිත මිදුණේ යයි දනිමි.

(ii) “ඇවැත්නි, මම ආපෝධාතුව ආත්මයයි නො ගනිමි. ආපෝධාතුව ඇසුරුකොට ආත්මයක් ඇතැයි නොගනිමි. ආපෝ ධාතුව ඇසුරුකොට මමය මාගේයයි සිත පිහිටන්නාවූ, බැසගන්නාවූ, අනුශය වශයෙන් පවත්නාවූ යම් ඒ තෘෂ්ණා දෘෂ්ටීහු වෙත්ද, ඔවුන්ගේ ක්ෂය වීමෙන් නොඇලීමෙන් වැලැක්මෙන්, හැරවීමෙන්, අතහැර දැමීමෙන් මාගේ සිත ‘මිදුනේයයි දනිමි.

(iii) ඇවැත්නි, මම තෙජෝධාතුව ආත්මයයි නොගතිමි තෙජො ධාතුව ඇසුරුකොට, ආත්මයක් ඇතැයිද නොගතිමි. තේජෝධාතුව ඇසුරුකොට ආත්මයයි නොගතිමි. ආපෝධාතුව ඇසුරුකොටද ආත්මයක් ඇතැයි නොගතිමි. ආපෝධාතුව ඇසුරුකොට මමය මාගේයයි සිත පිහිටුවන්නාවූ බැසගන්නාවූ අනුශය වශයෙන් පවත්නාවූ යම් ඒ තෘෂ්ණා දෘෂ්ටීහු වෙත්ද, ඔවුන්ගේ ක්ෂය වීමෙන් නොඇලීමෙන් වැලැක්මෙන්, හැරවීමෙන් අතහැර දැමීමෙන් මාගේ සිත මිදුණේ යයි දනිමි.

(iv) ඇවැත්නි, මම වායෝධාතුව ආත්මයයි නොගනිමි. වයෝධාතුව ඇසුරුකොට, ආත්මයක් ඇතැයිද නොගතිමි. වායෝධාතුව ඇසුරුකොට ආත්මයයි නොගතිමි. ආපෝධාතුව ඇසුරුකොටද ආත්මයක් ඇතැයි නොගතිමි. ආපෝධාතුව ඇසුරුකොට මමය මාගේ යයි සිත පිහිටන්නාවූ බැසගන්නා වූ අනුශය වශයෙන් පවත්නාවූ, යම් ඒ තෘෂ්ණා දෘෂ්ටීහු වෙත්ද, ඔවුන්ගේ ක්ෂය වීමෙන් නොඇලීමෙන්, වැලැක්මෙන් හැරවීමෙන්, අතහැර දැමීමෙන් මාගේ සිත මිදුනේයයි දනිමි. ඇවැත්නි,

(v) මම ආකාස ධාතුව ආත්මයයි නොගතිමි. ආකාස ධාතුව ඇසුරුකොට, ආත්මයක් ඇතැයිද නොගතිමි. ආකාස ධාතුව ඇසුරුකොට ආත්මයයි නොගතිමි. ආපෝ ධාතුව ඇසුරුකොටද ආත්මයක් ඇතැයි නොගනිමි. ආපෝ ධාතුව ඇසුරුකොට මමය මාගේයයි සිත පිහිටුවන්නාවූ බැස ගන්නාවූ අනුශය වශයෙන් පවත්නාවූ යම් ඒ තෘෂ්ණා දෘෂ්ටීහු වෙත්ද, ඔවුන්ගේ ක්ෂය වීමෙන් නොඇලීමෙන්, වැලැක්මෙන් හැරවීමෙන්, අතහැර දැමීමෙන් මාගේ සිත මිදුනේයයි දනිමි.

(vi) “ඇවැත්නි, මම විඤ්ඤාණධාතුව තමා නොවේයයි නුවණින් බැසගතිමි. විඤ්ඤාණධාතුව ඇසුරුකොටද තමා නැත්තේය. විඤ්ඤාණධාතුව ඇසුරුකොට පවත්නා මමය මාගේයයි ගන්නා චිත්තයාගේ ඇතුළත්වීමය අනුශය වශයෙන් පැවැත්මයයි කියනලද යම් ඒ තෘෂ්ණා දෘෂ්ටීහු වෙත්ද, ඔවුන්ගේ ක්ෂය වීමෙන් නොඇලීමෙන්, වැලැක්මෙන්, හැරලීමෙන්, අත්හැර දැමීමෙන් මාගේ සිත මිදුණේයයි දනිමි.“

ඇවැත්නි, මෙසේ මේ ධාතු සයෙහි දන්නාවූ මෙසේ දක්නාවූ මාගේ සිත තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් නොගෙණ ආශ්‍රවයන් කෙරෙන් සිත මිදුනේය කියායි.

“ඇවැත්නි, ඒ භික්ෂුවගේ කීම යහපතැයි කියා පිළිගත යුතුයි. ඒ අනුව සතුටුවිය යුතුයි. යහපතැයි ඒ කීම පිළිගෙණ ඒ අනුව සතුටුව ( ප්‍රශ්නයට ඔහු දුන් පිළිතුරෙන් සෑහීමට පත්නොවේ නම් ) මතුද ප්‍රශ්නයක් ඇසිය යුතුයි.

§ 6. “ඇවැත්නි, භාග්‍යවත්වූ, සියල්ල දන්නාවූ, සියල්ල නුවණැසින් දක්නාවූ අර්හත්වූ ඒ සම්‍යක් සම්බුදු රජාණන් වහන්සේ විසින් මේ සය වැදෑරුම්වූ අධ්‍යාත්මික බාහිර ආයතනයෝ මැනවින් ප්‍රකාශ කරණ ලදහ. කවර නම් සයක්ද යත්?

ඇසද රූපයෝද, කණද ශබ්දයෝද, නාසයද ගන්ධයෝද, දිවද රසයෝද, කයද ස්පර්ශයෝද, සිතද ධර්මයෝද යන මේ සයයි.

“ඇවැත්නි, භාග්‍යවත්වූ සියල්ල දන්නාවූ සියල්ල නුවණැසින් දක්නාවූ අර්හත්වූ ඒ සම්‍යක් සම්බුදු රජාණන් වහන්සේ විසින් මේ සය වැදෑරුම්වූ ආධ්‍යාත්මික බාහිර ආයතනයෝ මැනවින් ප්‍රකාශ කරණ ලදහ.

මේ සය වැදෑරුම්වූ ආධ්‍යාත්මික බාහිර ආයතනයන් කෙසේ දන්නාවූ, කෙසේ දක්නාවූ ආයුෂ්මතුන්ගේ සිත ඒ තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් නොගෙණ ආශ්‍රවයන් ගෙන් මිදුණේද කියායි.

‘මහණෙනි, ක්ෂීණාශ්‍රවවූ, වැස නිමවනලද බ්‍රහ්මචර්‍ය්‍යා ඇති කටයුතු දෑ කොට අවසන්වූ බහා තබනලද බර ඇති පැමිණි තමාගේ අර්ථය ඇති ක්ෂය කළ බව බැඳුම් ඇති මැනවින් දැන මිදුනාවූ භික්ෂුවගේ විසඳීම මේ ආකාරවේ.

(i) “ඇවැත්නි, ඇසෙහිද, රූපයෙහිද, චක්ඛුවිඤ්ඤාණයෙහිද, චක්ඛුවිඤ්ඤාණයෙන් දැනගතයුතු ධර්මයන් කෙරෙහිද, යම් කැමැත්තෙක් වේද, යම් ඇලීමක් වේද, යම් සතුටු වීමක් වේද, යම් තණ්හාවක් වේද, මමය මාගේයයි ගන්නා චිත්තයාගේ සිටීමය, බැස ගැනීමය. අනුශය වශයෙන් පැවැත්මයි කියනලද යම් තෘෂ්ණාදෘෂ්ටීහු වෙත්ද ඔවුන්ගේ ක්ෂයවීමෙන්, නොඇලීමෙන්, වැළැක්වීමෙන්, හැරලීමෙන්, අතහැර දැමීමෙන් මාගේ සිත මිදුනේ වේයයි දනිමි.

(ii) “ඇවැත්නි, කණෙහිද, ශබ්දයෙහිද, සොත විඤ්ඤානයෙහිද, ශ්‍රොත විඥානයෙන් දතයුතුවූ ධර්මයන්හිද, යම් තෘෂ්ණා ඡන්දයක් වේද, යම් ඇලීමෙක් වේද, යම් සතුටුවීමක් වේද, යම් තෘෂ්ණාවක් වේද, මමය මාගේයයි ගන්නා චිත්තයාගේ සිටීමය බැස ගැණීමය, අනුශය වශයෙන් පැවැත්මයයි කියනලද යම් තෘෂ්ණා දෘෂ්ටීහු වෙත්ද, ඔවුන්ගේ ක්ෂය වීමෙන්, නොඇලීමෙන්, වැලැක්මෙන්, හැරලීමෙන් අතහැර දැමීමෙන් මාගේ සිත මිදුණේයයි දනිමි.“

ඇවැත්නි, මේ සය වැදෑරුම් ආධ්‍යාත්මික බාහිර ආයතනයන් කෙරෙහි මෙසේ දන්නාවූ, මෙසේ දක්නාවූ මාගේ සිත තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් නො ගෙණ ආශ්‍රවයන් කෙරෙන් සිත මිදුනේය කියායි.

“ඇවැත්නි, ඒ භික්ෂුවගේ කීම යහපතැයි කියා පිළිගත යුතුයි. ඒ අනුව සතුටුවිය යුතුයි. යහපතැයි ඒ කීම පිළිගෙණ ඒ අනුව සතුටුව ( ප්‍රශ්නයට ඔහු දුන් පිළිතුරෙන් සෑහීමට පත්නොවේ නම් ) මතුද ප්‍රශ්නයක් ඇසිය යුතුයි.

§ 7 “මේ විඤ්ඤාණ සහිත වූ කයෙහිද, බාහිරවූ සියළු ආරම්මණයන්හිද, කෙසේ දන්නාවූ කෙසේ දක්නාවූ ආයුෂ්මතුන්ගේ මමය මාගේ යයි ගන්නාවූ මානානුශයයෝ මැනවින් උදුරා දමන ලද්දාහුද? කියායි.

“මහණෙනි, ක්ෂීණාශ්‍රව වූ වැස නිමවන ලද බ්‍රහ්මචර්‍ය්‍යාව ඇති කටයුතු දෑ කොට අවසන් වූ බහා තබන ලද බර ඇති පැමිණි තමාගේ අර්ථය ඇති ක්ෂය කළ භව බැඳුම් ඇති, මැනවින් දැන මිදුනාවූ භික්ෂුවගේ විසඳීම් මේ ආකාර වෙයි.“

ඇවැත්නි, ‘මම පෙර ගිහිව වසන්නේ නො දන්නෙක් වීමි. මට තථාගතයන් වහන්සේ හෝ තථාගත ශ්‍රාවක කෙනෙක් හෝ දහම් දෙසූහ. මම ඒ ධර්මය අසා තථාගතයන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව ලැබුවෙමි. ඒ ශ්‍රද්ධා ලාභයෙන් යුක්තවූ ඒ මම මෙසේ සිතිමි. කෙලෙස් දූවිලි වැදෙන මගවූ, ගිහිගෙයි විසීම අවහිරයකි. පැවිද්ද (නිදහස්වූ) අවකාශ ඇතියෙයි ගිහිගෙයි වසන්නහු විසින් එකාන්තයෙන් සම්පූර්ණවූ, එකාන්තයෙන් පිරිසිදුවූ, ලියවන ලද හක්ගෙඩියක් මෙන් පිරිසිදුවූ බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි හැසිරෙන්ට පහසු නොවේ. මම කෙස් රැවුල් බා කසාවත් හැඳ ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදිවන්නෙම් නම් ඉතා යහපත්ය කියායි.“

ඇවැත්නි, ‘ඒ මම පසු කාලයෙහි ස්වල්පවූ හෝ මහත්වූ හෝ වස්තු හැර, ස්වල්පවූ හෝ මහත්වූ හෝ නෑ සමූහයා හැර, කෙස් රැවුල් බා කසාවත් හැඳ ගිහිගෙයින් නික්ම ශාසනයෙහි පැවිදිවීමි.‘

මෙසේ පැවිදිවූ ඒ මම භික්ෂූන්ගේ ශික්ෂාවෙන් හා ආජිවයෙන් යුක්තවූයේ ප්‍රාණඝාතය හැර ප්‍රාණඝාතයෙන් වෙන්වූයේ වීමි. බහා තබනලද දඬු ඇත්තේ, බහා තබන ලද අවි ඇත්තේ, ලජ්ජාවෙන් යුක්තවූයේ දයා සහිත වූයේ සියළු ප්‍රාණීන් කෙරෙහි හිතානු කම්පා ඇතිව විසීමි.

‘නුදුන්දෙය ගැනුම හැර නුදුන් දෙය ගැණුමෙන් වෙන් වීමි. දුන්දෙය ගන්නේ දුන්දෙය බලාපොරොත්තු වන්නේ සොරසිත් රහිතවූ පිරිසිදු වූවෙක්ව විසීමි.‘

මෛථුන සෙවනය දුරුකොට, මෛථූන නම්වූ ග්‍රාම ධර්මයෙන් වෙන්වූයේ බ්‍රහ්මචාරී වීමි.

මුසාවාදය හැර මුසාවාදයෙන් වෙන්වූයේ වීමි. සත්‍යය කියන්නෙක්, සත්‍යයෙන් සත්‍යය ගලපන්නෙක්, ස්ථිර කථා ඇත්තෙක් ඇදහියයුතු කථා ඇත්තෙක්, ලෝකයාට බොරු කියන්නෙක්, නොවීමි.

කේළාම් වචනය හැර කේළාම් වචනයෙන් වෙන්වූයේ වීමි.

මොවුන්ගේ භෙදය පිණිස මෙතනින් අසා එතැන නොකියන්නෙක් ඔවුන්ගේ භෙදය පිණිස එතනින් අසා මෙතැන නොකියන්නෙක් මෙසේ වෙන්වූවන්ගේ සමගිය ඇතිකරන්නෙක්, සමගි වූවන්ගේ සමගිය තව තවත් දියුණු කරන්නෙක් සමගියෙහි ඇළුනෙක් සමගියෙහි යෙදුනෙක් සමගියෙහි සතුටු වූවෙක් සමගිය ඇතිකරන්නාවූ වචනය කියන්නෙක් වීමි.‘

පරුෂ වචනය හැර පරුෂ වචනයෙන් වෙන්වූයේ වීමි. යම් ඒ වචනයක් ප්‍රියවේද, කණට මිහිරිවේද, ප්‍රෙම කළයුතුද, හදපතුළටම යන සුළුද, පුරවැසියන් විසින් ව්‍යවහාර කරන්නේද, බොහෝ දෙනා කැමතිවන්නහුද, බොහෝ දෙනාගේ මන වඩන්නේද, එබඳුවූ වචනය කියන්නෙක්වීමි.‘

හිස් වචන කීමහැර හිස් වචන කීමෙන් වෙන්වූයේ වීමි. සුදුසු කාලයෙහි කියන සුළුවූ, සිදුවූ දෙය කියන සුළුවූ, අර්ථවත් දෙය කියන සුළුවූ, ධර්මයෙන් යුත් දෙය කියන සුළුවූ, විනයෙන් යුත් දෙය කියන සුළුවූ විනයෙන් යුත් දෙය කියන සුළුවූ නිධානයක් මෙන්වූ, සිතේ තබාගැනීමට සුදුසුවූ, සුදුසු කල්හි කරුණු සහිතව අර්ථවත්වූ, ප්‍රමාණවත් වචන කියන්නෙක් වීමි.

ඒ මම පැලවෙන්නාවූ නිල් තණ පැලෑටි යනාදිය කැඩීමෙන් බිඳීමෙන් වෙන්වූයේ වීමි.

රාත්‍රි භෝජනයෙන් වැළකුණේ ඒක භක්තික වීමි.

නැටීම්, ගැයීම්, වැයීම් විසුළු දැකීමෙන් වෙන්වූයේ වීමි.

සැරසීමට හා අලංකාරයට කරුණුවු මල් ගඳ විලවුන් දැරීමෙන් වෙන්වූයේ වීමි.

උස් ආසන මහ ආසනවලින් වෙන් වූයේ වීමි.

රන් රිදී (මසු කහවණු) පිළිගැන්වීමෙන් වෙන්වූයේ වීමි.

අමු ධාන්‍ය පිළිගැණීමෙන් වෙන්වූයේ වීමි.

අමු මස් පිළිගැණීමෙන් වෙන්වූයේ වීමි.

ස්ත්‍රීන් හා කන්‍යාවන් පිළිගැණීමෙන් වෙන්වූයේ වීමි.

දාසි දාසයන් පිළිගැණීමෙන් වෙන්වූයේ වීමි.

එළු බැටළුවන් පිළිගැණීමෙන් වෙන්වූයේ වීමි. කුකුළන් හූරන් පිළිගැණීමෙන් වෙන්වූයේ වීමි. ඇත් ගව අස් වෙළඹුන් පිළිගැණීමෙන් වෙන්වූයේ වීමි.

කෙත් වත් පිළිගැණීමෙන් වෙන් වූයේ වීමි.

දූතයන් විසින් කරණු ලබන පණිවුඩ පණත් ගෙණ යාමෙන් වෙන්වූයේ වීමි.

තරාදි ලොහො සේරු ආදියෙන් කරණ සොර වෙළඳාමෙන් වෙන්වූයේ වීමි’

අල්ලස් ගැණීම්, රැවටුම්, රන්වැනි දෙය රන්ය යනාදීන් කරණ වඤ්චා යන මේ වංකකම්වලින් වෙන්වූයේවීමි.‘

අත් පා කැපීම්, මැරීම්, බැඳීම්, සැඟවී මුළාකිරීම්, ගම් පැහැරීම්, බලයෙන් ගැනීම් ආදියෙන් වෙන්වූයේ වෙමි.‘

ඒ මම කයට පොහොනා තරම්වූ සිවුරෙන්ද කුසට පොහොනා තරමවූ පිණ්ඩපාතයෙන්ද සතුටු වූයේ වීමි.

යම් යම් තැනකට ගියෙම්ද (සිවුරු පිරිකර) රැගෙණම ගියෙමි. යම්සේ පක්ෂියෙක්, තෙම යම් යම් තැනකට පියාඹායේද, පියාපත් බර සහිතවම පියාඹායේ. ඇවැත්නි, එපරිද්දෙන්ම මම කය පොහොනා සිවුරින් කුස පොහොනා පිණ්ඩපාතයෙන් සතුටුවූයේ වීමි. යම් යම් තැනකට ගියෙමි. (ඒ ඒ තැනට සිවුරු පිරිකර) රැගෙනම ගියෙමි.‘

ඒ මම මේ ආර්‍ය්‍යවූ ශීලස්කන්ධයෙන් සමන්විත වූයේ අධ්‍යාත්මිකවූ නිවැරදි සුවය වින්දෙමි.

මම ඇසින් රූප දැක නිමිති වශයෙන් නොගන්නේ, අනු ව්‍යඤ්ජන වශයෙන් නොගන්නේ වීමි. යම් හෙයකින් ඒ නිමිති ගැණීම හේතුකොටගෙණ චක්ඛුන්ද්‍රිය අසංවර කළවුන් අනුව ලෝභය හා දොම්නස් නම්වූ පවිටු අකුසල ධර්මයෝ වහනය වෙත්ද, එහෙයින් ඇසේ සංවරය පිණිස, පිළිපැද්දෙමි. ඇස රැක්කෙමි ඇසෙහි සංවරයට පැමිණියෙමි.

කණින් ශබ්දය අසා ලකුණු වශයෙන් නොගන්නේ, කුඩා ලකුණු වශයෙන් නොගන්නේවීමි යම් හෙයකින් ඒ නිමිති ගැණීම හේතුකොටගෙණ සෝතෙන්ද්‍රිය අසංවර කළවුන් අනුව ලෝභ දොස යන පවිටු අකුශල ධර්මයන් වහනය වෙත්ද, එහෙයින් ඔහුගේ සංවරය පිණිස පිළිපැද්දෙමි.

නාසයෙන් ගන්ධය දැන ලකුණු වශයෙන් කුඩා ලකුණු වශයෙන් නොගන්නේ වීමි. යම් හෙයකින් ඒ ලකුණු වශයෙන් කුඩා ලකුණු වශයෙන් ගැනීම හේතුකොටගෙණ ඝාණෙන්ද්‍රිය ලකුණු වශයෙන් නොගන්නේ, කුඩා ලකුණු වශයෙන් නොගන්නේ, වීමි.

යම් හෙයකින් ඒ නිමිති ගැණීම හේතුකොටගෙණ සොතෙන්ද්‍රිය සංවර කළවුන් අනුව ලෝභ දොස යන පවිටු අකුශල ධර්මයන් වහනය වෙත්ද, එහෙයින් ඔහුගේ සංවරය පිණිස පිළිපැද්දෙමි.

දිවෙන්ද රස විඳ ලකුණු වශයෙන් නොගන්නේ. කුඩා ලකුණු වශයෙන් නොගන්නේ වීමි. යම් හෙයකින් ඒ ලකුණු වශයෙන් ගැනීම කුඩා ලකුණු වශයෙන් ගැනීම හේතුකොටගෙණ ජිව්හෙන්ද්‍රිය ලකුණු වශයෙන් නොගන්නේ කුඩා ලකුණු වශයෙන් නොගන්නේ වීමි. යම් හෙයකින් ඒ නිමිති ගැනීම හේතුකොටගෙණ ජිව්හා ඉන්ද්‍රිය සංවර කළවුන් අනුව ලෝභ දොස යන පවිටු අකුසල ධර්මයන් වහනය වෙත්ද, එහෙයින් ඔහුගේ සංවරය පිණිස පිළිපැද්දෙමි.

කයින් ස්පර්ශය ස්පර්ශකොට ලකුණු වශයෙන් නොගන්නේ, කුඩා ලකුණු වශයෙන් නොගන්නේ, වීමි. යම් හෙයකින් ඒ නිමිති ගැනීම හේතුකොටගෙණ කායෙන්ද්‍රිය ලකුණු වශයෙන් නොගන්නේ, කුඩා ලකුණු වශයෙන් නොගන්නේ වීමි. යම් හෙයකින් ඒ නිමිති ගැනීම හේතු කොටගෙණ කාය ඉන්ද්‍රිය සංවර කළවුන් අනුව ලෝභ දොස යන පවිටු අකුශල ධර්මයන් වහනය වෙත්ද, එහෙයින් ඔහුගේ සංවරය පිණිස පිළිපැද්දෙමි.

මනසින් ධර්මය (ධර්මා ලම්බනය) දැන නිමිති වශයෙන් නොගන්නේ අනු ව්‍යඤ්ජන වශයෙන් නොගන්නේ වීමි. යම් හෙයකින් ඒ නිමිති ගැනීම හේතුකොට මනින්ද්‍රිය අසංවර කළ වුන් අනුව ලෝභය හා දොම්නස නම් පවිටු අකුශල ධර්මයෝ වහනය වෙත්ද එහෙයින් සිතේසංවරය පිණිස පිළිපැද්දෙමි. මනින්ද්‍රිය රැක්කෙමි. මනින්ද්‍රියෙහි සංවරයට පැමිණියෙමි.

එසේ මම මේ ආර්‍ය්‍යවූ ඉන්ද්‍රිය සංවරයෙන් යුක්තවූයේ අධ්‍යාත්මිකවූ කෙලෙස් හා අමිශ්‍රවූ සුවය වින්දෙමි.

‘ මම ඉදිරියට යාමෙහිද, ආපසු ඊමෙහිද, සතියෙන් යුක්තවූයේවීමි. ඉදිරිපස බැලීමෙහිද හැරී බැලීමෙහිද නුවණින් යුක්තවීමි. (අත්පා) දිගු කිරීමෙහිද, හැකිලීමෙහිද, සතියෙන් යුක්තවීමි. සඟලසිවුර පාත්‍රසිව්රු දැරීමෙහිද නුවණින් යුක්ත වීමි. අනුභව කිරීමෙහි, පීඹෙහි, කෑමෙහි රසවිඳ ගැන්මෙහි සතියෙන් යුක්තවීමි. මලමුත්‍ර කිරීමෙහි නුවණින් යුක්තවීමි. යාමෙහි සිටීමෙහි හිඳීමෙහි නිදීමෙහි නිදිමැරීමෙහි කීමෙහි, නිශ්ශබ්දවීමෙහි සතියෙන් යුක්තවීමි.

‘ මම මේ ආර්‍ය්‍ය වූ සීලස්කන්ධයෙන්ද සමන්විත වූයේ මේ ආර්‍ය්‍යවූ ඉන්ද්‍රිය සංවරයෙන්ද සමන්විත වූයේ මේ ආර්‍ය්‍යවූ සිහිනුවණින්ද යුක්ත වූයේ අරණ්‍යය, වෘක්ෂ මූලය, පර්වතයක කඳුරැළිය, ගිරිගුහාවය, සොහොනය, කැලෑවෙහිය, දුරසෙනසුනය (අභ්‍යවකාසය) එලිමහනය පිදුරුගොඩය යන විවේක සෙනසුනක් භජනය කෙළෙමි.

‘මම සවස් කල පිණ්ඩපාතයෙන් පෙරළා අවුත් අරමිනිය ගොතා හිඳ කය කෙළින් තබා සතිය පෙරටුකොට එලවා හුන්නෙමි. මම ස්කන්ධ ලෝකයෙහි ආශාව දුරු කොට පහවූ ආශාවෙන් යුත් සිතින් විසීමි. ආශාවෙන් සිත මුදා පිරිසිදු කෙළෙමි.
ක්‍රෝධය හැර ක්‍රෝධයෙන් තොරවූ සිත් ඇත්තේ සියළු සත්වයන් කෙරෙහි අනුකම්පා ඇතිව විසීමි.
ව්‍යාපාද දොෂයෙන් සිත පිරිසිදු කෙළෙමි.
ථීනමිද්ධය හැර පහවූ ථීනමිද්ධය ඇත්තේ ආලෝක සඥාවෙන් යුක්තවූයේ සතියෙන් හා ප්‍රඥාවෙන් යුක්තවූයේ විසීමි. ථීනමිද්ධයෙන් සිත පිරිසිදු කෙළෙමි.
උද්ධච්චකුක්කුච්චය හැර ඇතුළත සංසිඳවූ සිත් ඇත්තේ උද්ධච්චකුක්කුච්ච රහිතව විසීමි. උද්ධච්චකුක්කුච්චයෙන් සිත පිරිසිදු කෙළෙමි.
විචිකිච්ඡාව හැර එතර කළ විචිකිච්ඡා ඇත්තේ සැක රහිත වූයේ විසීමි. කුශල ධර්මයන්හි වූ සැකයෙන් සිත පිරිසිදු කෙළෙමි.

මම මේ ප්‍රඥාව දුර්වල කරන්නාවූ සිත කිලිටි කරන්නාවූ පඤ්ච නීවරණයන් හැර කාමයන්ගෙන් වෙන්ව, අකුශල ධර්මයන්ගෙන් වෙන්ව විතර්ක සහිතවූ විචාර සහිතවූ විවේකයෙන් හටගත් ප්‍රීති සුඛ ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ විසීමි.

විතර්ක විචාරයන්ගෙන් සංසිඳීමෙන් ඇතුළත පහද වන්නාවූ සිත එකඟ කරන්නාවූ විතර්ක රහිතවූ විචාර රහිත වූ සමාධියෙන් හටගත් ප්‍රීති සුඛය ඇති දූතියධ්‍යානයට පැමිණ විසීමි.

ප්‍රීතියෙන්ද වෙන්වීමෙන් උපෙක්ෂා සහිතවූයේ විසීමි. සිහියෙන් යුක්ත වූයේ ප්‍රඥාවෙන් යුක්ත වූයේ සුඛයද, කයින් වින්දෙමි. උපේකෂා සහිත වූයේ සිහියෙන් යුක්තවූයේ සුවසේ වෙසේයයි ඒ යම් ධ්‍යානයකට ආර්‍ය්‍යයෝ කියත්ද, ඒ තෘතියධ්‍යානයට පැමිණ විසීමි.

සුඛයද පහ කිරීමෙන් දුක්ඛයද පහ කිරීමෙන් පළමුවම සොම්නස් දොම්නස් දෙදෙනාගේ දුරු කිරීමෙන් දුක්ද නොවූ සැපද නොවූ උපෙක්ෂාවෙන් හා සිහියෙන් පිරිසිදුවූ චතුර්ථ ධ්‍යානයට පැමිණ වාසය කෙළෙමි.

‘මම මෙසේ සිත සමාධිගතවූ කල්හි පිරිසිදුවූ කල්හි කෙලෙස් රහිත වූ කල්හි උපක්ලේෂ රහිතවූ කල්හි මෘදුවූ කල්හි, කර්මණ්‍ය වූ කල්හි නිශ්චල වූ කල්හි නොසැලෙන බවට පැමිණියාවූ කල්හි ආශ්‍රවයන්ගේ ක්ෂය පිණිස සිත නැමීමි.

‘මම මේ දුකයයි තත්වූ පරිදි දැනගත්තෙමි මේ දුක්ඛ සමුදය (දුක් ඉපදීමේ හේතුව) යයි තත්වූ පරිදි දැනගත්තෙමි. මේ දුක්ඛ නිරෝධය (දුක් නැතිවීම) යයි තත්වූ පරිදි දැන ගත්තෙමි. මේ දුක්ඛ නිරෝධ ගාමිණී ප්‍රතිපදාව (දුක් නැති කිරීමේ ප්‍රතිපත්තිය) යයි තත්වූ පරිදි දැන ගත්තෙමි.

මේ ආශ්‍රවයෝ යයි තත්වූ පරිදි දැන ගත්තෙමි. මේ ආශ්‍රව ඉපදීමේ හේතුව (ආසව සමුදය) යයි තත්වූ පරිදි දැන ගත්තෙමි. මේ ආශ්‍රව නැතිවීම (ආසව නිරෝධ) යයි තත්වූ පරිදි දැනගත්තෙමි. මේ ආශ්‍රව නිරෝධයට යන ප්‍රතිපදාව (ආසව නිරෝධ ගාමිණී පටිපදා) යයි තත්වූ පරිදි දැන ගත්තෙමි.

‘මෙසේ දන්නාවූ මෙසේ දක්නාවූ මාගේ සිත කාමාශ්‍රවයන්ගෙන්ද මිදුනේය. භවාශ්‍රවයන්ගෙන්ද මිදුනේය. අවිද්‍යාශ්‍රවයන්ගෙන්ද සිත මිදුනේය. මිදීමෙහි මිදුණේය යන නුවණ පහළ විය. නැවත නැවත ඉපදීම නැති විය. බ්‍රහ්මචර්‍ය්‍යාව වැස නිමවන ලදි, කටුයතු දෑ කරණ ලදි. මේ (දුක් නැතිකිරීම) මින්මතු කළ යුත්තක් නැතැයි දැනගතිමි.

“ඇවැත්නි, ‘මේ විඤ්ඤාණ සහිත කයෙහිද බාහිරවූ සියළු නිමිතින්ද මෙසේ දන්නාවූ මෙසේ දක්නාවූ මාගේ මමය මාගේයයි ගන්නා මානානුශයෝ මැනවින් උපුටා දමන ලදහ’ කියායි.

“ඇවැත්නි, ඒ භික්ෂුවගේ කීම යහපතැයි කියා පිළිගත යුතුයි. ඒ අනුව සතුටු විය යුතුයි. යහපතැයි ඒ කීම පිළිගෙණ ඒ අනුව සතුටුව මෙසේ කියයුතු වන්නේය. “යම් හෙයකින් එබඳු ආයුෂ්මත්වූ බ්‍රහ්මචාරී කෙනෙක් දකිමුද, ඇවැත්නි, එය අපට ලාභයකි. ඇවැත්නි, එය අපට මනාවූ ලාභයකි.”

භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක.
සතුටුවූ ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ වචනය සතුටින් පිළිගත්තාහුය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.