MN 03-03-08 උපක්ලෙශ සූත්‍රය

පුජ්‍ය පුහුල්වැල්ලේ සාරද හිමි කල ධට්මදෙසනාව

භාග්‍යවතුන් වහන්සේගේ ඒ බුද්ධ කෘතිය ඉටු කරන අතර නොයෙකුත් බාධක අවහිරතා පිටතින් මෙන්ම සසුන තුලින්ද මතුවිය. ඒ සිද්ධියක් සහිත වූ කාල පරිච්චේදයකදී වූ සිදුවීම් මේ සුත්‍ර ධර්මයේ වාර්තා වෙ. ඒ හැරෙන්නට මෙහි වැදගත්ම සඳහන වන්නේ භාවනා මාර්ගයට පිලිපන්නෙකු කෙසේ සිය ආරාමයේදී සබ්‍රහ්මචාරින් සමග කෙසේ හැසිරිය යුතුද යන්නත් භාවනාවේදී සිය නිමිත්ත පිළිබඳව යෝගී භික්ෂුවකට මුහුණ දෙන්නට වන දුෂ්කරතා කිහිපයක් ගැන සිය අත් දැකීමෙන්ම අනුරුද්ධ ස්වාමින් වහන්සේට දන්වමින් තමන් වහන්සේ කෙසේ ඒ උපක්ලේශයන් මැඩ ගත්තේදැයි කල උපදේශයන්ය.

§ 1. මා විසින් මෙසේ අසන ලදී.
එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ කොසඹෑ නුවර සමීපයෙහිවූ ඝෝෂිතාරාමයෙහි වැඩවාසය කරණ සේක.

§ 2 . එකල්හි කොසඹෑ නුවර භික්ෂූන් අතර යම් වාදයක් හටගෙන සියළු භික්ෂුන් දෙපිරිසකට බෙදී කල කෝලාහල කරන්නාහු ය. [විස්තර කොසම්බිය සුත්‍රය කියවා දැනගන්න]

§ 3. එකල්හි එක් භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේ සොයා පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක් පැත්තක හිඳ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළේය.
“ස්වාමීනි, කොසඹෑ නුවර භික්ෂූහු දබරකර ගනිමින්, කෝලාහල කර ගනිමින්, වාදකර ගනිමින්, ඔවුනොවුන්ට, නපුරු වචනවලින් පවා ආක්‍රෝෂ පරිභව කර ගනිති. “ස්වාමීනි, ඒ භික්ෂූහු කෙරෙහි අනුකම්පා කොට ඒ අරගලය සංසිඳුවනු පිණිස භාග්‍යවතුන් වහන්සේ එහි වැඩමවන්නේ නම් මැනවි”

එවිට භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්ද භාවයෙන් ඒ ආරාධනය ඉවසා වදාළ සේක. [භාග්‍යවතුන් වහන්සේද අනෙකුත් ආර්යයන් වහන්සේලාද යම් ආරාධනාවක් ලත් කල මුවින් නොබැණ නිශ්ශබ්දව ඉඳීමෙන් එම ආරාධනය පිළිගත් බව හඟවයි..]

§ 4 . ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ කළහ කරන්නාවූ භික්ෂූහු හුන් තැනට . වැඩ ඒ භික්ෂූන්ට මෙසේ වදාළ සේක.
මහණෙනි, මේ නුසුදුසුය, දබර නොකරව්, කලහ නොකරව්, කෝලාහල නොකරව්, විරුද්ධ වාද නොකරව්,” කියායි.

එසේ වදාළ කල්හි එක් භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීයේය..
“ස්වාමීනි, ධර්මස්වාමීවූ භාග්‍යවතුන් වහන්සේ ඉවසන සේක්වා. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ වෙහෙස නොවත්වා. භාග්‍යවතුන් වහන්සේ ඵල සමාපත්ති සැප විහරණයෙහි යෙදී වාසය කරණ සේක්වා. අපි මේ දබරයෙන් කලහයෙන් කෝලාහලයෙන් විරුද්ධ වාදයෙන් ම මේ විසඳා ගන්නෙමු” කියායි.

දෙවනුවද තෙවනුවද භාග්‍යවතුන් වහන්සේ ඒ භික්ෂූන්ට දබර කෝලාහල නවතන ලෙස අවවාද කලද දෙවනුවත් තෙවනුවත් ඒ භික්ෂුහු භාග්‍යවතුන් වහන්සේ ගේ කීම පිළිනොගෙන තමන් ම මේ විසඳා ගන්නා බවත් භාග්‍යවතුන් වහන්සේ මෙයට මැදහත් නොවී තමන් වහන්සේ ගේ ධ්‍යාන ඵල විඳිනු යහපත් බවත් කීහ.

§ 5 . ඉදින් භාග්‍යවතුන් වහන්සේ පෙරවරු කාලයෙහි හැඳ පාසිවුරු ගෙන කොසඹෑ නුවරට පිඬු පිණිස වැඩිසේක. කොසඹෑ නුවර පිඬු පිණිස හැසිර, බතින් පසුව, පිණ්ඩපාතයෙන් වැළකුණේ සෙනසුන තැන්පත් කොට තබා පාසිවුරු ගෙන වැඩ සිටියේම මේ ගාථාවන් වදාළසේක. [ පළමු ගාතා දෙක හැර අනෙක් ගාථා හතම ධම්මපදයෙහි අඩංගු කොට ඇත.]

§ 6
[1] “තමනගේ අනුවන කම නොමදැන 
එක්වර සැම   කෑ මොර   දෙන
සඟ සසුනම බිඳ පිරිහන 
වරද  තමන්ගේ බව නොම දැන.
[2] “අව සිහියෙන් කරනා දොස්ඇති 
අරුත් සුන් හිස් නපුරු ඵල ඇති 
දොඩමින් වදන් මුළු  සසුනම වනසති 
මන්ද  නොදැන මේ ලෙස උන් හැසිරෙති
[3] බැන වැදුනෙය මට පහරයි  දුන්නේ , 
මා පරදා  මගේ වස්තුය ගන්නේ 
නිබඳ සිතා ක්‍රෝධයම වඩන්නේ
කිසිදා     වෛරය නැත සංසිඳුනේ.
[4] බැන්නත් ගැසුවත් තම දෙය ගත්තත්
තරහ නොගෙන  සිත කරගෙන තැන්පත්,
ඉන්නට ඉවසා හැකිනම් නම් නැණවත් 
ඔහු තුල වෛරය කිසිදා  නොපවත් 
[5] “කිසිදා වෛරයෙන් වෛරය    නොසන්සිඳේ
වෛරය වෛර නොකිරීමෙන්ම    සන්සිඳේ,
බුදුවරු දෙසු දහමකි නොනැසෙන    නිබඳේ,
මෙය නොනැසෙනා දහමක් ලෙස   ලොවේ රැඳේ
[6] “කල කෝලහල කරන්නන්  මේ ලොව වසන,
“අපි  කරනා දෙයින්  අපම නැසෙන්නෙමු යැ’යි නොදැන,
අරගල වලින් පිරිහී යන  බව  දක්නා   දන්න,
නුවණැති දනෝ වැළකෙති අරගල වලින

[7] “ඇට බිඳ පණ නසා මිනිසුන් නසන
අනුනගෙ දේම උදුරා සොරකම් කරන
සොරු රැල පවා ඉන්නේ නීති සමගියෙන,
තොප හට මන්ද නැත්තේ එකමුතු නුවණ .

[8] “තැනට සුදුසු නුවනින් යුතු මිතුරන් කලණ
ලබන කෙනෙක් වේ නම් නොවී යුතු උරණ
උන් හා එක්ව වැඩියුතු යහ දහම් ගුණ
නොබිඳ මිතු දම් ද බඹසර වඩම්න

[9] “නොලදො ත් මිතුරෙක් වඩනට පිළිවෙත් නැනැති ,
මහා ජන රජු සේ හැරී රජබව හා පිරිස වන වැද
පිරි ලෙව් ඇත් රජුන් නික්මුණ සේ සිය කැලෙනි
පිරිසෙන් නික්ම බඹසර රැකුම කල යුතු වෙ නීති

[10] “ නොහිඳ එකට අනුවණයා සමග නොදත් සුමග
තනිව වැඩුම පිළිවෙත් පහසුය යමින් අරි අට මග
පාරිලෙය්‍යක ඇතු මෙන් යන සිය රැල අතැර
නුවනැතියා යතිය තනිවම පස් පව් දුරැර.”

§ 7 . ගොශිතාරාමයෙන් පිටව යාමට පෙර තමන් වහන්සේ සිටගෙනම සිට මේ ගාථාවන් වදාරා භග්‍යවතුන් වහන්සේ “බාලක ලොණකාර” නම් ගම ට යාමට පිටත්ව වැඩි සේක.

එසමයෙහි ආයුෂ්මත් භගු ස්ථවිරයන් “බාලක ලොණකාර” ගමෙහි වාසය කෙරෙයි. ආයුෂ්මත් භගු ස්ථවිරයන් වඩින්නාවූ භාග්‍යවතුන් වහන්සේ දුරදීම දැක, ආසනයක් පැනවීය. පා දෝනා දිය තැබීය. භාග්‍යවතුන් වහන්සේ පනවන ලද අස්නෙහි වැඩහුන් සේක. වැඩහිඳ පා සේදීය. ආයුෂ්මත් භගු ස්ථවිරයන්ද භාග්‍යවතුන් වහන්සේ වැඳ, එක් පැත්තක හුන්නේය. එක් පැත්තක හුන් ආයුෂ්මත් භගු ස්ථවිරයන්ගෙන් භාග්‍යවතුන් වහන්සේ මෙසේ සුව දුක් අසා වදාළ සේක.

“මහණ කෙසේද ? ඔබ සුවයෙන් පහසුවෙන්ම මෙහි වැඩ සිටින්නේද? ඔබට පහසුවෙන් පිණ්ඩපාතය ලැබෙන්හිනෙද?”
“භාග්‍යවතුන් වහන්ස, එසේය. මම මෙහි පහසුවෙන් වසමි. ස්වාමීනි, ආහාරයෙන්ද අඩු පාඩුවක් නොවෙති ” යි කීය.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් භගු ස්ථවිරයන් දැහැමි කථාවෙන් කරුණු දක්වා (එහි) සමාදන් කරවා ධර්ම මාර්ගයෙහි උනන්දු කරවා එම වීමුක්ති මාර්ගයෙහි යාමට, පිළිවෙත් පිරීමට උන්වහන්සේගේ සිත් තෙද ගන්වා, වීර්යයෙහි සිත් පහදවා හුනස්නෙන් නැගිට “බටහිර බට වනය ” නම් උයන ” වෙත. වැඩිසේක.

§ 8. එසමයෙහි ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන්ද, ආයුෂ්මත් නන්දිය ස්ථවිරයන්ද , ආයුෂ්මත් කිම්බිල ස්ථවිරයන්ද එම උයනෙහි භාවනාවෙහි යෙදී බඹසර වෙසෙති.
[චේද §8 සිට §15 දක්වා MN 01-04-01 චුලගොසිංග සුත්‍රයේ දැක්වෙන පරිදිම වෙතත් මේ උපකිලෙස සුත්‍රය චුල ගොසිංග සුත්‍රයට පෙර සිදුවීමක් බව පෙනෙන්නේ මෙම ස්වාමින් වහන්සේලා ගොසිංග සුත්‍රයේදී අරහත් භාවයට පත් ව සිටින මුත් මෙහිදී මේ තුන් නම ඒ සඳහා පිළිවෙත් පුරන බව මෙහි දක්වා තිබීමෙන් ය..]

උයන්පල්ලා උයන දෙසට වඩිනා භාග්‍යවතුන් වහන්සේ දුරදීම දැක, භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය. “ශ්‍රමණය, මේ උයනට නොපිවිසෙව, මෙහි කුලපුත්‍රයෝ තිදෙනෙක් බවුන් වඩමින් වෙසෙති. ඔවුන්ට අපහසුවක් බාධාවක් නොකළ මැනව” කියායි.
[බුදු රජාණන් වහන්සේ ගැන බොහෝ බෞද්ධයන් දරනා නොයෙක් මිත්‍යා මත මේ සිද්ධියෙන් මිත්‍යාවන් බව ඔප්පු වෙ. එනම් භාග්‍යවතුන් වහන්සේ සාමාන්‍ය මිනිසුන්ට වඩා වෙනස් පෙනීමක් ඇති බව රැස් විහිදවමින් වඩිනා බව අසු රියනක් උස ශරීරයක් ඇති බව ආදී කතා ප්‍රබන්ධ බවත් උන් වහන්සේ සාමාන්‍ය ශ්‍රමණයෙකුට සමාන ශරීරයක් දැරූ බව උයන් පල්ලාට බුදුන් වහන්සේ හඳුනා ගන්නට නොහැකි වීමෙන් පෙනේ]

ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේට උයන් පාලකයා භාග්‍යවතුන් වහන්සේ ට මෙසේ කියනු අසා, වනපාලකයාට මෙසේ කීය. “ඇවැත්නි, වන පාලකය, භාග්‍යවතුන් වහන්සේ නොවලක්වව. ඒ අපගේ ශාස්තෘවූ භාග්‍යවතුන් වහන්සේ වඩිනා සේක” කියායි.

§  9. ඉක්බිති ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවෝ, ආයුෂ්මත් නන්දිය ස්ථවිරයන්ද ආයුෂ්මත් කිම්බිල ස්ථවිරයන්ද වෙත පැමිණ මෙසේ භාග්‍යවතුන් වහන්සේ පැමිණ ඇති බව දන්වා ඔවුන් සමගම ඉදිරියට ගොස් භාග්‍යවතුන් වහන්සේ පිළිගත්හ.

§  10. “එකනමක් භාග්‍යවතුන් වහන්සේගේ පාසිවුරු ගත්තේය. එකනමක් අසුන් පැණවීය. එකනමක් පාදෝනා පැන් තැබීය. භාග්‍යවතුන් වහන්සේ පනවන ලද ආසනයෙහි වැඩහිඳ, පා සේදූ සේක. ඒ ආයුෂ්මත්වරුද, භාග්‍යවතුන් වහන්සේ වන්දනා කොට , එක් පැත්තක හුන්නාහුය.

. එක් පැත්තක හුන්නාවූ ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන්ගෙන් භාග්‍යවතුන් වහන්සේ මෙසේ අසා වදාළ සේක. [එක් භික්ෂුවකට වැඩි පිරිසක් අමතද්දී එපිරිසෙන් ජේෂ්ඨ භික්ෂුවගේ නම් කියා ඇමතීමෙන් මුළු පිරිසම ආමන්ත්‍රණය බුදුන් වහන්සේගේ සිරිත විය.]
“අනුරුද්ධයිනි, නුඹලා පහසුවෙන් සුවයෙන් මෙහි වැඩ සිටින්නේද?
ඔබලාට පහසුවෙන් පිණ්ඩපාතය ලැබෙන්හිනෙද?”
“භාග්‍යවතුන් වහන්ස, එසේය. අපි මෙහි පහසුවෙන් වසමු. ස්වාමීනි, අපට ආහාරයෙන් අඩු පාඩුවක් නොවෙති ” යි කීය.”

§  11. “අනුරුද්ධයිනි, නුඹලා තිදෙන එකමුතුව සමගිව, සතුටු සිතැතිව, වාද විරුද්ධ කම් නැතිව, කිරි හා දිය මෙන් එක්ව, ඔවුනොවුන් කෙරෙහි කරුණාවෙන් හා මෛත්‍රියෙන් වාසය කරහුද?”
“එසේය ස්වාමීනි, අපි තිදෙනා ඒකාන්තයෙන් ම එකමුතුව, සමගිව, සතුටු සිතැතිව, වාද විවාද රහිතව, කිරි හා දිය මෙන් එක්සත්ව, ඔවුනොවුන් කෙරෙහි ප්‍රියව වාසය කරමු.”

“අනුරුද්ධයිනි, තෙපි කෙසේ සමගිව, සතුටු සිතැතිව, විවාද රහිතව, කිරි හා දිය මෙන් එක්සත්ව කෙසේ වසත් ද?” , ඔවුනොවුන් දෙස ප්‍රිය ඇස්වලින් බලමින් කෙසේ වනාහි වාසය කරව්ද?”

§ 12 . “ස්වාමීනි, මට මෙසේ සිතෙයි. ‘මම මෙබඳුවූ සබ්‍රහ්මචාරීන් සමග වෙසෙම්ද එය, ඒකාන්තයෙන් මට ලාභයකි. ඒකාන්තයෙන් මා විසින් ලාභයක් ලබන ලදී.’
ස්වාමීනි, මේ ආයුෂ්මතුන් කෙරෙහි මෛත්‍රී සහගත කාය කර්ම ප්‍රසිද්ධියේත්, අප්‍රකටවත් මා පවත්වමි. එසේම මෛත්‍රී සහගත වාග් කර්ම ප්‍රසිද්ධියේත්, අප්‍රකටවත් මා පවත්වමි මෛත්‍රී සහගත මනෝ කර්ම ප්‍රසිද්ධියේත්, අප්‍රකටවත් මා පවත්වමි.
[ප්‍රසිද්ධියෙත් = අන්‍යයන්ට පෙනෙන ලෙස/ දැකිය හැකි ලෙස, අප්‍රකටව = අනුනට නොපෙනෙන ලෙස නොදකින ලෙස ]

ස්වාමීනි, මට මෙසේද සිතෙයි.
‘මා මට කරන්නට සිත් වන දෙය වෙනුවට මේ ආයුෂ්මතුන් වහන්සේ ලා කරන්නට අදහස් කල දෙය කරමි.’ කියායි.’ ස්වාමීන්වහන්ස, අපේ ශරීර වෙන් වෙන්වූ ඒවා නමුත් සිත නම් එකක්මයයි හඟිමි.

ආයුෂ්මත් නන්දිය තෙමේද, ආයුෂ්මත් කිම්බිල තෙමේද, භාග්‍යවතුන් වහන්සේට මෙසේම සැල කළාහුය.

“ස්වාමීනි, අපි මෙසේ සමගිව, සතුටු සිතැතිව, විවාද රහිතව, කිරි හා දිය මෙන් එක්සත්ව ඔවුනොවුන් කෙරෙහි කරුණාවෙන් හා මෛත්‍රී සහගත සිතින් යුතුව වාසය කරමුයි” කීවාහුය.

§13.   ‘අනුරුද්ධයිනි, යහපති, යහපති. අනුරුද්ධයිනි, තෙපි අප්‍රමාදව, කෙලෙස් තවන වීර්‍ය්‍ය ඇතිව, සිවු මගට යොදවන ලද සිත් ඇතිව වාසය කරව්ද?”
“ස්වාමීනි, එසේමය. අපි ඒකාන්තයෙන් අප්‍රමාදව කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව සිවු මගට යොදවන ලද සිත් ඇතිව වාසය කරමු.”

§14.   “අනුරුද්ධයිනි, තෙපි කෙසේ නම් අප්‍රමාදව, කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව, සිව් මගට පමුණුවන ලද සිතැතිව, වාසය කරව්ද?”
“ස්වාමීනි, අපගෙන් යමෙක් පිඬු පිණිස ගොස් ගමින් පෙරළා පළමුව මෙහි එයිද, හෙතෙම සියල්ලන්ටම අසුන් පනවයි. බීමට පැන් හා පරිභෝග කටයුතු පැන් ගෙනත් තබයි. ඉතුරු ආහාර දමන භාජනය සූදානම් කොට තබයි. යමෙක් පසුව එයිද, ඔහු සෙස්සන් වළඳා ඉතිරි ආහාර යක් වේද, ඉඳින් කැමති නම් ඒ වළඳයි. ඉදින් අකමැති නම් එය ගෙන ගොස් තණ පැලෑටි නැති තැනක දමයි. සතුන් නැති දියෙහි හෝ පාකොට හරියි.

හෙතෙම පාවිචියට ගත් ආසන තිබුලෙස තැන් පත් කොට තබයි. පැන් බඳුන් හිස්කොට සෝදා තැන්පත් කොට තබයි. ඉතිරිවූ බත් දමන භාජනය පෙර කී ලෙස හිස්කොට සෝදා තැන්පත් කොට තබයි. දන් ශාලාව හමදී. යමෙක් පැන් තාලිය නොහොත් බොන පැන් කළය හිස්ව තිබෙනු දකීද, හෙතෙම ඒ දියෙන් පුරවා තබයි. ඉදින් ඒ පැන් කළ හෝ බඳුන් තනිව ඔසවා යාමට නොහැක්කේ නම් ඔහු අනෙකෙක් ගේ සහාය ඇවැසි බව අතින් සංඥා කොට දක්වා දෙදෙනා සමගම ඒ කිස නිම කරමු. කෙසේ නමුත් අප කෙලෙසවත් එකිනෙකා සමග කතා නොකොටම සතිය පවත්වමු. නමුත් සෑම පස්දිනකටම වරක් අප එක්ව මුළු රැය මුළුල්ලේම ධර්මය සාකච්චා කරමු.

ස්වාමීනි, අපි මෙසේ අප්‍රමාදව, කෙලෙස් තවන වීර්‍ය්‍ය ඇතිව, සිව් මගට යොමු කල ලද සිතැතිව වාසය කරමු.”

[අසමගිව දබර කල කෝසැඹී යෙ ඝෝශිතාරාම යෙන් පිටව ආ භාග්‍යවතුන් වහන්සේ ඒ භික්ෂුන් ගේ අසමගිය නිසාම මේ ප්‍රශ්නය අසන්නට ඇත.]

§  15 . ‘අනුරුද්ධයිනි, යහපති, යහපති. අනුරුද්ධයිනි, මෙසේ අප්‍රමාදව, කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව, සිව් මගට යොමන ලද සිතැතිව, වාසය කරන තොප විසින් සාමාන්‍ය මනුෂ්‍ය ධර්මයනට වැඩි ආර්‍ය්‍යභාවයට පත් වුවනට විශේෂි වූ යම් විහරණයක්වූ ඥානදර්ශන විශේෂයක් අවබෝධ කරන ලද්දේ වේද?” [වෙන වචනවලින් ඇසුවොත් ඔබ වහන්සේලා ලබා ගත් ධ්‍යාන යන් වේද ? සිව් ඵලයන් ගෙන් කිසිවක් ලැබීද යනුයි.]

[මෙතන සිට මේ සුත්‍රය 31 චූල ගොසිංග සුත්‍රයෙන් වෙනස් වෙයි. ]

භාවනා නිමිති


“ස්වාමීනි, මෙසේ අප්‍රමාදව, කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව, සිව් මගට යවනලද සිතැතිව, භාවනා කරන අපි (පරිකර්මයන්ගේ ඕභාස) ප්‍රභාව ද [ධ්‍යානයනට සිත පත් වන විට දකිනා ආලෝකයද] සතරවන ධ්‍යානයට සිත නංවත් දී ලබනා ආලෝක කසින ප්‍රභාව දිව්‍ය චක්සුසය ට පෙරම නිමිත්තක් සේ දැක්කෙමු. එහෙත්, ඒ නිමිත්ත (ආලෝකය)ද, සුළු වේලාවකින් අතුරුදහන් වෙයි. ඊට කාරණය නොදනිමු.”
[නිමිත්ත :- භාවනාවෙහි යෙදෙන යෝගියා ගේ සිත සමාධියට පත්ව බොහෝ සන්සුන්ව ගියකළ ධ්‍යාන සිත් පහල වෙන්නට පෙර ඔහුට යම් යම් නිමිති දර්ශනය වීම ස්වභාවයයි. නිමිත්තක් ලෙස යම් ආලෝකයක් වර්ණයක් හෝ යම් දර්ශනයක් වෙන්නට පිළිවන.
ආනාපාන භාවනාවේදී හමුවන පළමු නිමිත්ත “පටිභාග නිමිත්ත” ලෙස හැඳින් වෙ. සමථ භාවනාවට නිමිති වශයෙන් ගත හැකි කර්මස්ථාන සතළිහක් ධර්ම ග්‍රන්ථයහින් දක්වා ඇත. දස කසිණ, දස අසුභ, දස අනුස්සති, සතර අප්පමඤ්ඤා ආහාරේ පටික්කූල සංඤ්ඤාව චතුධාතු වවත්ථාන සතර ආරුප්ප යනු එම සතළිස් කර්මස්ථානයන්ය. මෙම සතළිස් කර්මස්ථානයන්ගෙන් එකක් ගෙන භාවනා කරන විට නීවරණ ධර්ම යටපත් කොට එක අරමුණකට සිත නංවා ගැනීමට හැකිවෙයි.
තම චරිතයට ගැළපෙන කර්මස්ථානයක් ගෙන භාවනා කිරීම පරිකර්ම අවස්ථාව යැයි කියනු ලැබේ. දිගටම පරිකර්ම අවස්ථාවේ නියැළී සිටින විට උග්ගහ නිමිත්ත ඇතිවේ. එනම් අන් ස්ථානයකට ගියද නිමිත්ත පේන තත්ත්වයට පත්වීමයි. තවදුරටත් භාවනා කරන විට නිමිත්ත ඉතා පැහැපත්ව ඒ මැදින් කලාමැදිරියෙක් තරම ආලෝකයක් මතු වෙයි. එය පටිභාග නිමිත්ත වශයෙන් හැඳින්වේ. පරිකර්ම, උපචාර, අර්පණා යනුවෙන්ද අවස්ථා තුනකි. දෑස් පියා ගත්තද නිමිත්ත පෙනෙන තුරු භාවනා කිරීම පරිකර්ම අවස්ථාවයි. පංච නීවරණ ධර්මයන් යටපත් කොට කසිණාලෝකය උපදවා ධ්‍යාන ලබා ගැනීම තෙක් පවත්වාගෙන යාම උපචාර නම්වෙයි’. උපදවා ගත් ප්‍රතිභාග නිමිත්ත ස්ථීරත්වයට පත්වීම අර්පණා අවස්ථාවයි….]

“අනුරුද්ධයිනි, ඊට කාරණය තොප විසින් පිරික්සා දැනගත යුතුය. [නිමිත්ත පටිවිජ්ජිත කල යුතුය. පාලනයට දක්ෂ විය යුතුය. නිමිත්තම විදක්සනා කල යුතු වෙයි.]

අනුරුද්ධයිනි, සම්‍යක් සම්බොධියෙන් පෙර, බොධිසත්ව වූ සමයේ මමද (පරිකර්මයන්ගේ) ආලෝකයද, දිවැසින් මෙන් රූපද නිමිති ලෙස දුටිමි.. ඒ ඒ ආලෝකයත් දකිනා රූප ආදී නිමිතිත් සුළු වේලාවකින් අතුරුදන් විය. [ආනාපාන සති භාවනාවේදී සිත සමාධියට පත් වූ විට දකිනා උග්ගහ නිමිති වලාකුල් ආදී ලා ආලෝක ද බෝල බෝල වැනි රුපද නිමිති වෙයි.] එවිට මගේ සමාධියද නැතිවිය.

§  16.. විචිකිච්චාව
§  17. අසතිමත් බව
§  18 . ථීනමිද්ධය
§  19  භය සන්ත්‍රාසය
§  20 උප්පීලනය  
§  21 කාය දරත බව
§  22 දැඩිව කරන ලද වීර්‍ය්‍යය
§  23  ලිහිල් වූ වීර්‍ය්‍යය
§  24  තණ්හාව
§  25. . නානත්ත සංඥාව
§  26. රූපයන් පිලිබඳ අතිනිජ්ජායනතාව

. §  16. විචිකිච්චාව
“අනුරුද්ධයිනි, මට මේ අදහස ඇති විය.
‘මා දුටු නිමිති ඉක්මනින්ම , ‘අතුරුදන් වේ නම් ඊට හේතු කවරේද? ප්‍රත්‍යය කවරේද?’ කියායි

අනුරුද්ධයිනි, මට මේ අදහස විය.
‘මට ඇතිවන්නාවූ සැකය නිසා [මේ ආලෝකය, පෙනෙන්නාවූ දර්ශණය සැබවින්ම නිමිත්තක් දෝ නිමිත්තක් නො වෙයි දෝ ඇති විචිකිච්චාව ) විචිකිච්චාව ( සැකය) ඇති නිසා සිත සැලුනි .

මේ විචිකිච්චාව හේතු කොටගෙන මගේ සමාධිය නැතිවිය. සමාධිය නැතිවූ කල්හි නිමිත්ත අතුරුදහන් වෙයි. ඒනිසා මම සිත නැගුන ඒ සැකය දුරු කොටගෙන මේ මම දකින්නේ භාවනාවෙහි නිමිති බව දැන භාවනාවේ යෙදුනෙමි.

§  17. අසතිමත් බව
අනුරුද්ධයිනි, මම අප්‍රමාදවූයේ, කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇත්තේ, සිව්මගට යවන ලද සිතැතිව භාවනා කරන්නේ මේ දකින්නේ නිමිත්තක්ම බව අවබෝධකොට විචිකිච්චාව තොර කොට භාවනාවේ යෙදුනෙමි. එවිට යලි ආලෝකයද, රූපද නිමිත්තක් සේ දකිමි. හඳුනමි. එසේ වුවද යලිත් සුළු මොහොතකින් මාගේ එම නිමිත්ත , අතුරුදහන් වෙයි.

අනුරුද්ධයිනි, එවිට මට මේ අදහස විය. ‘යමකින් මාගේ නිමිත්ත අතුරුදහන්වේ නම් ඊට හේතු කවරේද? ප්‍රත්‍යය කවරේද?’ කියායි.

“අනුරුද්ධයිනි, එවිට මට මේ අදහස විය. ‘මම දැන් කිසිවක් මෙනෙහි නොකරන්නෙමි. යන “අසතිමත් බව” මා තුල වේ යැයි දිටිමි.. අසතිමත් බව’ හේතුකොට මාගේ සමාධිය නැතිවිය. සමාධිය නැතිව ගිය කල්හි ආලෝකය ආදී නිමිති අතුරුදහන් වෙයි.

[නිමිත්ත කෙරෙහි සතිමත් වීමෙන් මුල කර්මස්ථානය කෙරෙහි වැඩි අවධානයක් යෙදීමෙන් මගේ භාවනා කර්මස්ථානය වන ආනපානය හුස්ම ගැන යෙදිය යුතු අවධානය යෙදීම් වැලකේ යැයි බලෙන්ම සිත නිමිත්තෙන් ගලවා හුස්මට යොමු කිරීම නිමිත්තට ඇති අසතිමත් බවය.

ස්වාභාවිකවම නිමිත්ත ඇසුරු කරන සතිය ඉබේටම ඉන් ගිලිහී භාවනා කර්මස්තානට පත්වෙන තුරු යෝගියා ඉවසිය යුතු වෙයි.; බ්‍රහ්මවංස මහතෙරුන් මෙසේ නොකළ යුතු බවත් නිමිත්තෙහි ඇලුන සිත නොබෝ වේලාවකින්ම එහි නොඇලී යලි මුල් කර්මස්තානයට බසින බව කියයි.]

ඒසේම මම නැවත සැකය නූපදින්නේ නම් සතිමත් බව ගිලිහී නොයා නම් එසේ මා සමාධියෙහි නොසිස්ව සිටියෙමි’ කියා මම එහි සිත් නංවා භාවනාවේ යෙදුනෙමි..

§  18. ථීනමිද්ධය
අනුරුද්ධයිනි, එසේ අප්‍රමාදවූයේ, කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇත්තේ, සිව් මඟට යවන ලද සිතැතිව, භාවනා කරන්නේ ආලෝක ද, රූප දැකීමද ආදී නිමිති යලි දැක ගනිමි. එනමුත් නැවතද මාගේ ඒ නිමිති අතුරුදහන් විය.. අනුරුද්ධයිනි, මට මේ අදහස විය. ‘යමකින් මාගේ ආලෝකය ආදී නිමිති අතුරුදහන්වේ නම් ඊට හේතු කවරේද? ප්‍රත්‍යය කවරේද?’ කියායි.

“අනුරුද්ධයිනි, මට මේ අදහස විය. ‘මට ථීනමිද්ධය නිසා මෙසේ නිමිත්ත අතුරුදහන් විය .
ථීනමිද්ධය හේතුකොට ගෙන මාගේ සමාධිය පහවිය. සමාධිය පහව ගිය කල්හි ආලෝකය, රූපාදී නිමිති , අතුරුදහන් විය කියයි. නැවත මම ථිනමිද්ධය නූපදිනැ ලෙස ද, සතිය උපදින්නේද, [ථීනමිද්ධය නැතිකිරීමේ හොඳම ක්‍රමය නිමිත්ත දෙස දැඩි ඕනෑකමින් බලා සිට එම වර්ණ සටහනේ හෝ ආලෝකයේ දීප්තිමත්ම තැනට සිත් යොමු කිරීම වේ. මෙයින් සිත දැඩි සේ උත්තේජන වී ථිනය මිද්ධ ය නොහොත් අලස බව දුරු වෙයි.] ථිනමිද්ධය නූපදිනැ ලෙස ද, එසේ සිත් දැඩි කොට භාවනා කලෙමි.

§  19 .භය (සන්ත්‍රාසය)
අනුරුද්ධයිනි, ඒසේ මම නැවත භාවනා කරන්නේ නිමිති යලි , දැක ගනිමි. එසේ වුව නැවත ද මාගේ ඒ ආලෝක, රූප දර්ශන ආදී නිමිති ද අතුරුදහන් විය.’

අනුරුද්ධයිනි, ඒ මට මේ අදහස විය ‘යමකින් මාගේ නිමිත්ත යලි අතුරුදහන් වේනම් ඊට හේතු කවරේද? ප්‍රත්‍යය කවරේද?’ කියායි.

“අනුරුද්ධයිනි, මට මේ අදහස විය. ‘මට භය ඇතිවුන නිසා මෙසේ නිමිත්ත ගිලිහී යන්නට ඇත..

[භය:-
ආලෝක නිමිත්තේ අති මහත් ප්‍රභාව ක්‍රමයෙන් ඉතා දැඩිව පෙනෙන්ට වූ විට තමන් ට ඒ නිමිත්ත පාලනය කරන්නට නොහැකි බව ඔහු දකී.යෝගියාගේ අත්ත සංඥාව දුර්වල කරන්නට නිමිත්තේ මේ මහා ආලෝකය සමත් වෙ. යෝගියාට තමන් මේ භාවනාවේ පාලකයා නොවන බව මෙසේ දකින ඔහු බියට පත් වෙ. මේ බිය ඔහුගේ ප්‍රගතිය වලක්වයි.

මේ සුත්‍රය ඉංගිරිසි බසින් විස්තර කරන අජාන් බ්‍රහ්මවංසෝ ස්වාමින් වහන්සේ ගේ දේශනාව ඔබට මේ සියළු උපක්ලේශ ගැන දැනගන්නට මහත් උදව්වක් වෙනු ඇත.]

මේ භය. තැතිගැන්ම හේතුකොට ගෙන මගේ සමාධිය පහවිය. සමාධිය පහව ගිය කල්හි ආලෝකයද, රූප දර්ශනයද ආදී නිමිති අතුරුදහන් වෙයි.’

අනුරුද්ධයිනි, යම් පුරුෂයෙක් දීර්ඝ ගමනක යාමට මාර්ගයට පිළිපන්නේ මුත් ඔහු යන මග දෙපස මන්පහරන සොරු රැක උන්නාහු නම් ඔහුට ඒ මිනීමරන සොරු දෙපස ඉන්නවා දැකීමෙන් ඒ හේතුකොට ගෙන බිය තැතිගැන්ම උපදින්නේය

[සොරුන් ඉන්නේ මගියා සතු වටනා දේ උදුරා ගන්නටය. යෝගියා සතු වටනා දෙය ලෙස ඔහු සිතා සිටියෙ මම කියා කෙනෙක් ඉන්නවාය මේ භාවනා කරන්නේ මමය යන හැගීම ය. භාවනාවේ දී මේ මමක් නැති බව යන්තමින් හෝ දැනෙන විට සිටගෙන සිටින බිම ගිලා බසින්නාක් මෙන් හෝ පය තබා සිටි ගල් කුල පොලොව යටට කිඳා ගියා සේ දැනී මහත් සන්ත්‍රාසයකට යෝගියා පත් වෙ. එනම් ආත්ම සඥාව හීන වීමෙන් යෝගියා භයට සන්ත්‍රාසයට පත් වෙ. ඔහුගේ නිමිත්ත පිරිහේ.]

. අනුරුද්ධයිනි, ‘එපරිද්දෙන්ම මටත් තැතිගැන්ම ඇති විය. තැතිගැන්ම හේතුකොට, මාගේ සමාධිය පහවිය. සමාධිය පහවගිය කල්හි ආලෝකයද, රූප දර්ශනයද, අතුරුදහන් විය. මම නැවත විචිකිච්ඡාව නූපදින්නේද, අමනසිකාරය නූපදින්නේද, ථීනමිද්ධය නූපදින්නේද, තැති ගැන්ම නූපදින්නේද, ඒ ලෙස මම එසේ කරන්නෙමි’ කියා නැවත අරමුණ වැඩුවෙමි.

[ කිසි විටෙක තමන්ට පාලනය කල හැක්කක් මෙහි නැති බව තමන් මෙහි නැති බවත් මෙනෙහි කිරීම වටී.
[i] තම ගුරුවරයා මේ තත්වයේ මීට පෙර වූ බවත් තවත් බොහෝ දෙනා මින් පෙර මේ තත්වයට පත් වූ බවත් මතක් කර ගැනීමෙන් මේ භය වලක්වා ගන්නට හැක..
[ii] කුඩා ළදරුවෙකු මුලින්ම පිහිනීමට හුරුකරන පියා දරුවාට ඇති භය ක්‍රමක්‍රමයෙන් දුරු කරවයි. මුළින දරුවාගේ එක් ඔයක් වතුරට දමා අනතුරක් නැතිබව පෙන්වා දෙයි. ඉන් පසු ක්‍රමයෙන් සිය මුලු ශරීරයම දියේ බැස උන්නත් අනතුරක් නොවන බව පෙන්න දී දරුවාගේ දියට ඇති බිය දුරු කරවයි. එසේම යෝගියාද නිමිත්ත කෙරෙහි වරින් වර යාමෙන් බැඳීමෙන් නිමිත්තට ඇති සන්ත්‍රාසය දුරු කර ගනී.
[iii] නිමිත්තට සිත් යෙදීමෙන් ඉතා මහත් ප්‍රීතියක් ඇති බව සියල්ලන් කියන නිසා වුවක් උනාවේ යි සිතමින් යලි නිමිත්තම මෙනෙහි කිරීම.
මේ තුන් ක්‍රමයන් එකක් පහසුවෙන්ම අනුගමනය කිරීමෙන් මේ භය නම් උපකිලේසයෙන් නිදහස් වීමට හැක.]

Infant Swimming: What Are the Benefits?

§  20 . උප්පීලනය [අධික ප්‍රීතිය]
“අනුරුද්ධයිනි, මම අප්‍රමාදව, කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව, සිව් මඟට යවන ලද සිතැතිව, නැවත එසේ භාවනා කරන්නේ නිමිති ලෙස ආලෝකයද, රූප දර්ශනයද, දැනගනිමි. එනමුදු නැවත මාගේ ඒ ආලෝකයද, රූප දර්ශනයද අතුරුදහන් විය. අනුරුද්ධයිනි, මට මේ අදහසවිය. ‘යමකින් නිමිත්ත අතුරුදහන් වේනම් ඊට හේතු කවරේද? ප්‍රත්‍යය කවරේද?” කියායි.

“අනුරුද්ධයිනි, ඒ මට මේ අදහස විය. ‘මට ඇතිවූ උප්පීලනය [අධික ප්‍රීතිය] හේතුකොට මාගේ සමාධිය පහවිය. සමාධිය පහවූ කල්හි ආලෝකයද, රූප දර්ශනයද අතුරුදහන්විය.’

අනුරුද්ධයිනි, යම්සේ පුරුෂයෙක් එක් නිදන් පළක් සොයන්නේ එක් උත්සාහයකින්ම නිදන් පොළවල් පහක් ලබන්නේද, ඔහුට ඒ හේතුකොට අධික ප්‍රීතිය උපදින්නේය. මෙතුවක් කල් භාවනා කල මම කිසිදු නිමිත්තක් නොදුටුවෙමි. එහෙත් මම අද දැන් මේ නිමිත්ත දුටුවෙමි. ඒ නිසා යෝගියාගේ සිත ඉපිල යයි. මහා ප්‍රීතියට පත් වෙ.

අනුරුද්ධයිනි, එපරිද්දෙන්ම මට අධික ප්‍රීතිය පහළවිය. අධික ප්‍රීතිය කරණකොට ගෙන මාගේ සමාධිය නැතිවිය. සමාධිය පහවූ කල්හි ආලෝකයද, රූප දර්ශනයද අතුරුදහන් වෙයි. [Elation = අධි ප්‍රීතිය ] දැන් යෝගියා මේ නිමිත්ත ගැන යෝනිසෝ මනසිකාරයෙන් සිතිය යුතුය. මේ නිමිත්ත නැවත නොපෙනෙන්නට ඉඩ ඇත. දැක්කොත් දකින්නෙමි. නොදක්කොත් ඉන් කම්පා නොඑමි. නිමිත්තෙන් ගිලිහුන සිත මුල කර්මස්තානයට යොදමි’යි භාවනාවට යෙදිය යුතු.]

§  21 කායික වෙහෙස / කාය දරත බව
ඉදින් මම නැවත මට වූ විචිකිච්ඡාව සිඳ, සිත් හි සතිමත් බව වඩා, ථීනමිද්ධය නූපදින්ද , තැතිගැන්මෙක් නූපදින්නේද, බලවත් ප්‍රීතිය හැර දමා භාවනා කලෙමි. අනුරුද්ධයිනි, මම එසේ අප්‍රමාදවූයේ, කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇත්තේ, සිව් මඟට යවන ලද සිතැතිව, වාසය කරන්නේ ආලෝකයද, රූප දර්ශනයද, ආදී නිමිති දැනගනිමි. එනමුත් නැවත මාගේ ඒ ආලෝකයද, රූප දර්ශනයද ආදී නිමිති අතුරුදහන් විය.

අනුරුද්ධයිනි, ඒ මට මේ අදහස විය. ‘යමකින් මාගේ ආලෝකයද, රූප දර්ශනයද අතුරුදහන් වේනම් ඊට හේතු කවරේද? ප්‍රත්‍යය කවරේද?’ කියායි.“
අනුරුද්ධයිනි, ඒ මට මේ අදහස විය.
‘මට කායික දරත බව ඇතිවිය. ඒ කායික දෘඩ බව හේතුකොට ගෙන මාගේ සමාධිය පහවිය.
[කාය දරත බව : දැඩි ලෙස වෑයම් කිරීම ම බර ගතියට හේතුවය. නිමිත්ත බරක් ලෙස දැනේ. අමාරුවෙන් අත්වූ නිමිත් ඉතා දැඩිව අල්ලාගෙන සිටීම මේ කාය දරත චිත්තොපක්ලේශය වෙයි. stiffness, lack of buoyancy තම සිතින් මේ නිමිත්ත කෙරෙහි ඇති ආසාව කැමැත්ත අත හැරීම මේ උපක්ලේශයෙන් යෝගියා මීදී යාමට ඉඩ දෙයි.]

ඉදින් මම නැවත මට වූ විචිකිච්ඡාව සිඳ, සිත් හි සතිමත් බව වඩා, ථීනමිද්ධය නූපදින්ද , තැතිගැන්මෙක් නූපදින්නේද, බලවත් ප්‍රීතියක් නූපදින ලෙස , භාවනා කලෙමි.

§  22 දැඩිව කරන ලද වීර්‍ය්‍යය
. අනුරුද්ධයිනි, මම එසේ අප්‍රමාදවූයේ, කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇත්තේ, සිව් මඟට යවන ලද සිතැතිව, වාසය කරන්නේ ආලෝකයද, රූප දර්ශනයද, ආදී නිමිති දැනගනිමි. එනමුත් නැවත මාගේ ඒ ආලෝකයද, රූප දර්ශනයද ආදී නිමිති අතුරුදහන් විය.
සමාධිය පහව ගිය කල්හි, ආලෝකයද, රූප දැකීමද වැනි නිමිති අතුරුදහන් වෙයි. මම යම්සේ මට නැවත විචිකිච්ඡාව නූපදින්නේද, අමනසිකාරය නූපදින්නේද, ථීනමිද්ධය නූපදින්නේද, තැතිගැන්ම නූපදින්නේද අධික ප්‍රීතිය නූපදින්නේද, කායික පීඩාව නූපදින්නේද එසේ කරන්නෙමි.’

“අනුරුද්ධයිනි, මම එසේ අප්‍රමාදවූයේ, කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇත්තේ, සිව් මඟට යවන ලද සිතැතිව, වාසය කරන්නේ, ආලෝකයද, රූප දර්ශනයද ආදී නිමිති දැනගනිමි. මාගේ ඒ ආලෝකයද, රූප දර්ශනයද අතුරුදහන් වෙයි.

අනුරුද්ධයිනි, ඒ මට මේ අදහස විය. ‘යමකින් මාගේ ආලෝකයද, රූප දර්ශනයද ආදී නිමිති අතුරුදහන් වේනම් ඊට හේතු කවරේද? ප්‍රත්‍යය කවරේද?’ කියායි.

“අනුරුද්ධයිනි, මට මේ සිත විය.
‘මම අතිශයින් දැඩිව පටන්ගන්නා ලද වීර්‍ය්‍යය ඇතිව භාවනා කලෙමි. ’ කියායි. දැඩිව කරන ලද වීර්‍ය්‍යය හේතුකොට ගෙන, මාගේ සමාධිය පහවිය. සමාධිය පහවූ කල්හි ආලෝකයත්, රූප දර්ශනයත්, අතුරුදහන් වෙයි.

අනුරුද්ධයෙනි, යම්සේ පුරුෂයෙක් ඉතා සියුම් සිරුරක් ඇති කුඩා වටු කුල්ලෙක් සිය මිටින් ඉතා දැඩිව සිරකොට අල්ලා ගත හොත් ඒ කුඩා කුරුල්ලා මැරී යනු ඇත.

අනුරුද්ධයිනි, එපරිද්දෙන්ම මට දැඩිව පටන්ගන්නා ලද වීර්‍ය්‍යය හේතුකොට ගෙන ඉතා තදින් නිමිත්ත ග්‍රහණය කල මාගේ සමාධිය පහවිය. සමාධිය පහවූ කල්හි, ආලෝකයත්, රූප දර්ශනයත් අතුරුදහන් වෙයි. ඒ මම යම්සේ මට නැවත විචිකිච්ඡාව නූපදින්නේද, අමනසිකාරය නූපදින්නේද, ථීනමිද්ධය නූපදින්නේද, තැතිගැන්ම නූපදින්නේද, බලවත් ප්‍රීතිය නූපදින්නේද, කායික පීඩාව නූපදින්නේද, අධික වීර්‍ය්‍යය නූපදින්නේ මම නිමිත්ත දැඩිව මෙනෙහි නොකලෙමි. ඒ නිමිත්ත හාත්පසින් වුමසන්නට නොඑලඹුනෙමි.

ද මම එසේ භාවනා කරන්නෙමි.

§  23 . ලිහිල් වූ වීර්‍ය්‍යය
“අනුරුද්ධයිනි, මම අප්‍රමාදවූයේ, කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇත්තේ, සිව් මගට යවන ලද සිතැතිව, වාසය කරන්නේ ආලෝකයද, රූප දර්ශනයද නිමිති සේ දැනගනිමි.

එනමුදු නැවත මාගේ ඒ නිමිති අතුරුදහන් විය . අනුරුද්ධයිනි, මට මේ අදහස විය. ‘යමකින් මාගේ ආලෝකයද, රූප දර්ශනයද ආදී නිමිති අතුරුදහන් වේනම් ඊට හේතුව කවරේද? ප්‍රත්‍යය කවරේද?’ කියායි.

“අනුරුද්ධයිනි, ඒ මට මේ සිත් විය. ‘මගේ වීර්‍ය්‍යය ලිහිල් විය, යනුවෙනි. ඉතා ලිහිල් වීර්‍ය්‍යය හේතු කොටගෙණ මගේ සමාධිය පහවිය. සමාධිය පහවූ කල්හි ආලෝකයද, රූප දර්ශනයද ආදී නිමිති ද අතුරුදහන් විය.’

අනුරුද්ධයිනි, යම් පුරුෂයෙක් ඉතා ලිහිල්ව වටුකුරුල්ලා සිය මිටෙහි අල්වා ගත්තෙ ඔහු ඉතා සුළුවෙන් ඌ අල්ලා ගෙන සිටීද බුරුල් ව සිර කල නිසා ඒ කුරුල්ලා පහසුවෙන් මිනිසාගේ මිටින් මිදී පියඹා යයි. අනුරුද්ධයිනි, එපරිද්දෙන්ම මගේ වීර්‍ය්‍යය ලිහිල් වීමෙන් ඒ හේතුකොටගෙන මාගේ සමාධිය පහවිය. සමාධිය පහවූ කල්හි, ආලෝකයද, රූප දර්ශනයද ආදී නිමිති අතුරුදහන් වෙයි.

ඒ නිසා මම, යම්සේ මම නැවත විචිකිච්ඡාව නූපදින ලෙස , අමනසිකාරය නූපදින ලෙසද, ථීනමිද්ධය නූපදින ලෙසද , තැතිගැන්ම නූපදින ලෙසද , අධික ප්‍රීතිය නූපදින ලෙසද , කායික දරත බව නූපදින ලෙසද , අධික වීර්‍ය්‍යය නූපදින ලෙසද , වීරිය ඉතා ලිහිල් නොකොට ද, එසේ භාවනා කරන්නෙමි.

§  24. ධ්‍යානයට ඇති තණ්හාව
“අනුරුද්ධයිනි, මම එසේ අප්‍රමාදවූයේ, කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇත්තේ, සිව් මඟට යවනලද සිතැතිව, භාවනා කරන්නේ නිමිති යලි දැන ගනිමි. එසේ මුත් නැවත මාගේ ඒ ආලෝකයද, රූප දර්ශනද ආදී නිමිති අතුරුදහන් විය..

අනුරුද්ධයිනි, ඒ මට මේ අදහස විය. ‘යමකින් නිමිත්ත අතුරුදහන් වේ නම් ඊට හේතු කවරේද? ප්‍රත්‍යය කවරේද?’ කියායි.

අනුරුද්ධයිනි, මට මේ අදහස විය. මට ධ්‍යානයට ඇති තණ්හාව නොහොත් දැඩි කැමැත්ත ඇති විය යනුයි. මේ නිමිත්ත නොව මට ඕනෑකරන්නේ ධ්‍යානය ය. වහ වහා මගේ ධ්‍යානය වඩා ගන්නට මට ඕනෑය යන සිත නිසා නිමිත්ත ගිලිහී යැයි. ඒ තෘෂ්ණාව හේතුකොට ගෙන මාගේ සමාධිය පහවිය. සමාධිය පහවූ කල්හි, ආලෝකයද, රූප දර්ශනය ආදී නිමිතිද අතුරුදහන් විය.. ඒ වටහාගත් මම මේ නිමිත්ත මා ලදිමි. මෙය ඉතා වටනේය. මම මේ නිමිත්ත සමග සතුටින් සිටිමි. ධ්‍යානයක් වේවා නොවේවා මම ඊට ආසා නොවෙමි’ යි ධ්‍යානයන් කෙරෙහි ඕනෑකම අත් හැලෙමි.

මම, නැවත විචිකිච්ඡාව නූපදින ලෙස , අමනසිකාරය නූපදින ලෙසද, ථීනමිද්ධය නූපදින ලෙසද , තැතිගැන්ම නූපදින ලෙසද , අධික ප්‍රීතිය නූපදින ලෙසද , කායික දරත බව නූපදින ලෙසද , අධික වීර්‍ය්‍යය නූපදින ලෙසද , වීරිය ඉතා ලිහිල් නොකොට ද, නොලැබූ ධ්‍යානයන් කෙරෙහි තෘෂ්ණාව නොවඩා භාවනා කලෙමි.

§  25. . නානත්ත සංඥාව
“අනුරුද්ධයිනි, මම අප්‍රමාදවූයේ, කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇත්තේ, සිව්මඟට යවනලද සිතැතිව, වාසය කරන්නේ ආලෝකයද, රූප දර්ශනද ආදී නිමිති යලි දැනගනිමි. එනමුදු නැවතත් ඒ නිමිති අතුරුදහන් විය..

අනුරුද්ධයිනි, ඒ මට මේ අදහස විය. ‘යමකින් මාගේ ආලෝකයද, රූප දර්ශනයද, අතුරුදහන් වේ නම් ඊට හේතු කවරේද? ප්‍රත්‍යය කවරේද?’ කියායි.

අනුරුද්ධයිනි, ඒ මට මේ අදහස විය. ‘මට නානත්ත සංඥාව පහළවිය යනුයි. නානත්ත සංඥාව යනු දකිනා නිමිත්ත ඉතා වෛවර්ණ ඉතා වෙනස් ආකාර ඇති ව බොහෝ සිත් ඇද බැඳ ගන්නා ලෙස බොහෝ විස්තරාංග සහිතව නිමිති දර්ශනය වීමයි. මෙසේ සඥා වෙහි නානත්වය හේතුකොට මාගේ සමාධිය පහවිය. සමාධිය පහවූ කල්හි, ආලෝකයද, රූප දර්ශනයද ආදී සියළු නිමිති ක්‍රමයෙන් අතුරුදහන් විය.

[මින් ගැලවීම පිණිස ඒ නානත්ත නිමිත්ත මුළුමනින් ගෙන ඒ දිගුවට කෙටියට ආදී ලෙස විමර්ශනය කිරීම “විසුද්ධි මග්ග” යෙදී කියා ඇතත් ඒ නිසුදුසු බවත් ඊට වඩා ඒ නානත්ත නිමිත්තේ ඉතා කුඩා කොටසක් පමණක් විධාරණ කරමින් ගොස් තව තවත් ලෙස ඒ කුඩා කරමින් ඒ නිමිත්තේ යම් කුඩා ම කොටසක් පමණක් විචාරණ කරන ලෙස බ්‍රහ්මවංසෝ ස්වාමින් වහන්සේ උපදෙස් දෙයි.]

ඉදින් මම විචිකිච්ඡාව නූපදින ලෙස , අමනසිකාරය නූපදින ලෙසද, ථීනමිද්ධය නූපදින ලෙසද , තැතිගැන්ම නූපදින ලෙසද , අධික ප්‍රීතිය නූපදින ලෙසද , කායික දරත බව නූපදින ලෙසද , අධික වීර්‍ය්‍යය නූපදින ලෙසද , වීරිය ඉතා ලිහිල් නොකොට ද, නොලැබූ ධ්‍යානයන් කෙරෙහි තෘෂ්ණාව නොවඩා නානත්ත සංඥාව නූපදින ලෙසද භාවනා කලෙමි .’

§  26 . රූපයන් පිලිබඳ අතිනිජ්ජායනතාව
“අනුරුද්ධයිනි, මම අප්‍රමාද වූයේ, කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇත්තේ, සිව් මඟට යවනලද සිතැතිව, භාවනා කරන්නේ, විටෙක ආලෝකය නොහොත් ඔභාව අතුරුදහන් වෙයි. එනමුත් එවිට රුප දර්ශන දකින්නට හැකි වෙයි. සමහර විටෙක ආලෝකය දකිමි එවිට රූප දර්ශන අතුරු දහන් විය. එසේ එක් පුරා දිනයක් හෝ පුරා දිනයක් හා රාත්‍රියක් මෙසේ විය,. එසේම විටෙක රූප දර්ශනයන් දනිමි. එනමුත් ආලෝකය අතුරුදහන් වෙයි. එසේ එක් පුරා දිනයක් හෝ පුරා දිනයක් හා රාත්‍රියක් මෙසේ විය,.

අනුරුද්ධයිනි, ඉදින් මට මෙසේ අදහස් විය . ‘යම් හෙයකින් මාගේ ආලෝකය හා රූප දර්ශන මෙසේ වරින්වර එකිනෙක අතුරුදහන් වීමටද වරකට ආලෝක හෝ ඕභාස පෙනීමටද හේතුව කුමක්ද? ප්‍රත්‍යය කුමක්ද?’

අනුරුද්ධයිනි, මට මේ අදහස ඇතිවිය. ‘මට පෙනෙනා නිමිති පිළිබඳ අතිනිජ්ජායනතාව ඇති විය. [එනම් නිමිති වල කොටස් ගැන අතිශයින් අනන්ත ලෙස නැවත නැවත සිතා බලන බව ය යනුයි]. රූපයන් පිළිබඳ අතිශයින් නැවත නැවත සිතා බලන බව හේතුකොටගෙන රූප නිමිත්ත අතුරුදහන් විය, ආලෝක නිමිත්ත පිලිබඳ නැවත නැවත සිත යොමන කල ආලෝක නිමිත්ත අතුරුදහන් විය. ඒ සැම විටම සමාධිය පහවිය. සමාධිය පහව ගිය කල්හි ආලෝකයත් රූප දර්ශනයත් අතුරුදහන් වෙයි.

යම්සේ මට නැවත විචිකිච්ඡාව නූපදින්නීද, අමනසිකාරය නූපදින්නේද, ථීනමිද්ධය නූපදින්නේද, තැතිගැන්ම නූපදින්නේද, අධික ප්‍රීතිය නූපදින්නේද, කායික පීඩාව නූපදින්නේද, අධික වීර්‍ය්‍යය නූපදින්නේද, ඉතා ලිහිල් වීර්‍ය්‍යය නූපදින්නේද, අධික තෘෂ්ණාව නූපදින්නේද, නානත්ත සංඥාව නූපදින්නීද, රූපයන් පිළිබඳ අතිශයින් නැවත නැවත සිතා බලන බව නූපදින්නේද එසේ කරන්නෙමි.’

§  27 . “අනුරුද්ධයිනි,
විචිකිච්ඡාව භාවනාවට බාධාකරන උපක්ලේශ ධර්මයක්යයි මෙසේ දැන, මේ දකින්නේ නිමිති බව සැක නැතිව අවබෝධ කිරීමෙන් විචිකිච්ඡාව දුරු කෙළෙමි.
සතිමත් නොවීම (අසතිය) සිත කෙළෙසන ධර්මයක්යයි මෙසේ දැන, සිත කෙළෙසන්නාවූ අසතිය දුරු කෙළෙමි.
ථීනමිද්ධය සිත කෙළසන ධර්මයක්යයි දැන, ථීනමිද්ධය දුරු කෙළෙමි.
බිය උපක්ලෙශයක්යයි දැන, තැතිගැන්ම දුරු කෙළෙමි.
අධික ප්‍රීතිය උපක්ලේශ ධර්මයක්යයි දැන, අධික ප්‍රීතිය දුරු කෙළෙමි.
කායික පීඩාව උපක්ලේශ ධර්මයක්යයි මෙසේ දැන, කායික පීඩාව දුරු කෙළෙමි.
දැඩිව පටන්ගන්නාලද වීර්‍ය්‍යය උපක්ලේශ ධර්මයක්යයි දැන, අධික වීර්‍ය්‍යය දුරු කෙළෙමි. ඉතා ලිහිල් වීර්‍ය්‍යය උපක්ලේශ ධර්මයක්යයි දැන, ඉතා ලිහිල් වීර්‍ය්‍යය දුරු කෙළෙමි. තෘෂ්ණාව උපක්ලේශ ධර්මයක්යයි දැන, අධික තෘෂ්ණාව දුරු කෙළෙමි.
නානත්ත සංඥාව උපක්ලේශ ධර්මයක්යයි දැන, නානත්ත සංඥාව දුරු කෙළෙමි.
රූපයන් අතිශයින් නැවත නැවත සිතා බලන බව උපක්ලේශ ධර්මයක්යයි දැන, රූපයන් අතිශයින් නැවත නැවත සිතා බලන බව දුරු කෙළෙමි.

§ 31 “අනුරුද්ධයිනි, මම පමා නොවූයේ, කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇත්තේ, සිව්මඟට යවනලද සිතැතිව වාසය කරමින් ආලෝකය දැනගනිමි. රූප නොදකිමි. යම්හෙයකින් රූප දකිම්ද, හුදෙක් රාත්‍රියද, හුදෙක් දාවලද, හුදෙක් රෑ දාවල්ද, ආලෝකය නොහඳුනමි. අනුරුද්ධයිනි, ඒ මට මෙය අදහස් විය. ඒ මම ආලෝකය හඳුනම්ද, රූප නොදක්නෙම්ද, ඊට හේතු කවරේද? ප්‍රත්‍යය කවරේද? ඒ කාලයෙහි රූප දකිමි. හුදෙක් රෑද, හුදෙක් දාවල්ද, හුදෙක් රෑ දාවල් දෙක්හිද ආලෝකය නොහඳුනමි. අනුරුද්ධයිනි, ඒ මට මේ අදහස ඇතිවිය. ‘මම යම් සමයෙක්හි රූප විෂය මෙනෙහි නොකොට, ආලෝක විෂය මෙනෙහි කෙරෙම්ද, ඒ කාලයෙහි ආලෝකය හඳුනමි. රූප නොදකිමි. යම් කලක ආලෝක විෂය මෙනෙහි නොකොට, රූප විෂය මෙනෙහි කෙරෙම්ද, එකල රූප දකිමි. හුදෙක් රෑද, හුදෙක් දාවල්ද, හුදෙක් රෑ දාවල්ද ආලෝකය නොහඳුනමි.’

“අනුරුද්ධයිනි, ඒ මම අප්‍රමාදව, කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව, සිව්මගට යවනලද සිතැතිව, වාසය කරන්නේ සුළු කර්මස්ථානයෙහිවූ ආලෝකය හඳුනමි. සුළු කර්මස්ථානයෙහිවූ රූප දක්නෙමි. අප්‍රමාණ කර්මස්ථානයෙහිවූ, ආලෝකය හඳුනමි. හුදෙක් රෑද, හුදෙක් දවල්ද, හුදෙක් රෑ දාවල්ද, අප්‍රමාණ කර්මස්ථානයෙහිවූ රූපයන් දක්නෙමි. අනුරුද්ධයිනි, ඒ මට මේ අදහස ඇතිවිය. ‘ඒ මම සුළු කර්මස්ථානයෙහිවූ ආලෝකය හඳුනම්ද, සුළු කර්මස්ථානයෙහිවූ රූපයන් දක්නෙම්ද, අප්‍රමාණ කර්මස්ථානයෙහිවූ ආලෝකය හඳුනම්ද, හුදෙක් රෑද, හුදෙක් දවල්ද, හුදෙක් රෑ දාවල්ද අප්‍රමාණ කර්ම ස්ථානයෙහිවූ රූපයන් දක්නෙම්ද, ඊට හේතු කවරේද? ප්‍රත්‍යය කවරේද?’

අනුරුද්ධයිනි, ඒ මට මේ අදහස විය. ‘යම් කලෙක සමාධිය කුඩාද? එසමයෙහි මගේ දිවැසද කුඩාය. ඒ මම ස්වල්ප මාත්‍රවූ, දිවැසින් ස්වල්ප මාත්‍රවූද ආලෝකය හඳුනමි. ස්වල්පමාත්‍රවූ රූපයන්ද දකිමි. යම් කලෙක සමාධිය අප්‍රමාණද එකල මගේ දිවැසද අප්‍රමාණය. ඒ මම අප්‍රමාණවූ දිවැසින් අප්‍රමාණවූ ආලෝකයද හඳුනමි. හුදෙක් රෑද, හුදෙක් දවල්ද, හුදෙක් රෑ දාවල්ද, අප්‍රමාණවූ රූපයන් දක්නෙමි.

§ 32. “අනුරුද්ධයිනි,
විචිකිච්ඡාව චිත්තොප ක්ලෙශයයි මෙසේ දැන, විචිකිච්ඡා චිත්තොපක්ලෙශය ප්‍රහීණවීද,
අමනසිකාරය චිත්තොපක්ලෙශයයි මෙසේ දැන, අමනසිකාර චිත්තොපක්ලෙශය ප්‍රහීණවීද, ථීනමිද්ධය චිත්තොපක්ලෙශයයි මෙසේ දැන, ථීනමිද්ධ චිත්තොපක්ලෙශය ප්‍රහීණවීද, තැතිගැන්ම චිත්තොපක්ලෙශයයි මෙසේ දැන, චිත්තොපක්ලෙශයවූ තැතිගැන්ම ප්‍රහීණවීද අධික ප්‍රීතිය චිත්තොපක්ලෙශයයි මෙසේ දැන, අධික ප්‍රීති චිත්තොපක්ලෙශය ප්‍රහීණවීද, කායික දරතය චිත්තයාගේ උප ක්ලෙශයයි මෙසේ දැන, කායික පීඩා චිත්තොප ක්ලෙශය ප්‍රහීණවීද,
අධික වීර්‍ය්‍යය, චිත්තොපක්ලෙශයයි මෙසේ දැන, අධික වීර්‍ය්‍ය චිත්තොපක්ලෙශය ප්‍රහීණවීද, ඉතා ලිහිල් වීර්‍ය්‍යය චිත්තයාගේ උප ක්ලෙශයයි මෙසේ දැන, ඉතා ලිහිල් වීර්‍ය්‍ය චිත්තොපක්ලෙශය ප්‍රහීණවීද,
තෘෂ්ණාව චිත්තොප ක්ලෙශයයි මෙසේ දැන, අධික තෘෂ්ණා චිත්තොපක්ලෙශය ප්‍රහීණවීද, නානත්ත සංඥාව චිත්තොපක්ලෙශයයි මෙසේ දැන, නානත්ත සංඥා චිත්තොපක්ලෙශය ප්‍රහීණවීද,
රූපයන් පිළිබඳව අතිශයින් නැවත නැවත සිතා බලන බව චිත්තොපක්ලෙශයයි මෙසේ දැන, රූපයන් පිළිබඳව අතිශයින් නැවත නැවත සිතා බලන චිත්තොපක්ලෙශය ප්‍රහීණවීද.

§ 33. අනුරුද්ධයිනි, මට මේ අදහස විය. මාගේ සිතට යම් උපක්ලෙශයෝ වෙත්ද, ඔව්හු මට ප්‍රහීණය. එබැවින් මම දැන් විධි තුනකින් යුත් සමාධිය වඩමි’ කියායි.

“අනුරුද්ධයිනි,
මම විතර්ක සහිත, විචාර සහිත සමාධිය වැඩුවෙමි.
විතර්ක රහිත විචාරය පමණක් ඇති සමාධිය වැඩුවෙමි.
විතර්ක රහිත විචාර රහිත සමාධිය වැඩුවෙමි.

ප්‍රීති සහිත සමාධිය වැඩුවෙමි.
ප්‍රීති රහිත සමාධිය වැඩුවෙමි.
සුඛ සහගත සමාධිය වැඩුවෙමි.
උපෙක්ෂා සහගත සමාධිය වැඩුවෙමි.

අනුරුද්ධයිනි, යම් හෙයකින් මා විසින් විතර්ක සහිත, විචාර සහිත, සමාධිය වඩන ලද්දේද, විතර්ක රහිත විචාරය පමණක් ඇති සමාධිය වඩන ලද්දේද, විතර්ක රහිත විචාර සමාධිය වඩන ලදද, ප්‍රීති සහිත සමාධිය වඩන ලදද, ප්‍රීති රහිත සමාධිය වඩන ලදද, සුඛ සහගත සමාධිය වඩන ලදද, උපෙක්ෂා සහගත සමාධිය වඩන ලදද මට ඥාන දර්ශනය පහළවිය. මාගේ චිත්ත විමුක්තියද කෝප නොවීය. මේ අන්තිම උපැත්මය. දැන් පුනරුත්පත්තියක් නැත.”

භාග්‍යවතුන් වහන්සේ මේ සූත්‍රය වදාළසේක.
සතුටු සිතැති අනුරුද්ධ ආයුෂ්මත් වහන්සේද භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව සතුටින් පිළිගත්තේය.

READ ENGLISH VERSION

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.