MN 02-03-10. වෙඛණස්ස සූත්‍රය

සත්වයා උපතේ සිට මරණය තෙක් ප්‍රීතියම සතුටම සොයමින් යයි. බොහෝ දෙනා සිතන්නේ දකින්නේ සතුට ඇත්තේ පංච කාම සැප විඳින්නට හැකි තරමට බවය. මේ පස් කම් සැපය ලබන්නා “අහෝ මේ සැපයක්ම වේ” යැයි කලාතුරකින් ලබන පස්කම් සැපයක් නිසා මුලා වෙයි.. මේ මිච්චාදිට්ඨියට පාදක වුයේ “මම” ක් ඉන්නේයැයි ඇති ආත්ම දෘෂ්ඨියයි. වෙඛනස්ස ඇදුරු තුමාට කල මේ දේසනාව මේ ගම්භිර ධර්මය දැන ඉගෙනීමට ප්‍රමාණවත් නොවෙතත් කාම සැපයට වඩා උතුම් සැපයක් වන බව අසන්නාට හඳුන්වා දෙයි.

පුජ්‍ය පුහුල්වැල්ලේ සාරද හිමි කල දේසනාව

§ 1.මා විසින් මෙසේ අසන ලදී.
එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවන නම්වූ අනේපිඩු මහ සිටුහු සාදවා පුජා කල ආරාමයෙහි වැඩ විසූහ. එකල්හි වේඛණස නම් පරිබ්‍රාජක ආචාර්යයා භාග්‍යවතුන් වහන්සේ දකින්නට අවුත් භාග්‍යවතුන් වහන්සේ සමග සතුටුවියයුතු සිහිකටයුතු කථාකොට නිමවා එකත් පසක සිටියේය. [සකුළුදායි සුත්‍රයෙහි සඳහන් වන සකුළුදායි පරිබ්‍රාජක යා මේ වෙඛනස්ස ආචාර්ය තුමා ගේ ශිෂ්‍යයෙකු බව අටුවාවේ සඳහන් වෙයි.]

§ 2. එකත් පසක සිටියාවූ වේඛණස නම් ආචාර්යවරයා භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි එසේ සිට ‘මෙය උතුම්ම සැපය වේ” යැයි ’, ප්‍රීති වාක්‍ය පැවැත්වූයේය.

[අයං පරමෝ වන්නෝ” හි වන්නෝ යන වචනයෙහි තේරුම ‘චවි වර්ණය’ නොවන බව මම සිතමි. අභිවාදන සීලිස්ස හි ආයු වන්නෝ සුඛං බලං යන්නෙහිද සමේ පැහැය නොව වෙනත් යමක් බව සිතමි. මේ සුත්‍රයෙහි ඉංගිරිසි පරිවර්තනවල වන්නෝ වචනය splendour ලෙස දක්වා ඇත. එයද වටහා ගන්නට පහසු නොවේ. මේ වන්නෝ යන්නට ගැලපෙන සිංහල වචනයක් ඔබ දන්නේ නම් කරුණාකර මෙහි comment වල ලියන්න.]

‘කච්චානය . ඒ උතුම් සැපය කවරේදැයි භාග්‍යවතුන් වහන්සේ ඇසූහ.
“භවත් ගෞතමයන් වහන්ස, යම් වින්දනයකට ට වඩා උතුම්වූද ප්‍රණීතවූද අනික් විඳීමක් නැත්තේද එය උතුම් සැපය වේ”යි.

“කච්චානය, යම් සැපයකට වඩා උතුම්වූද උසස්වූද අනික් සැපයක් නැත්තේද ඒ සැපය කුමක්ද?”
“භවත් ගෞතමයන් වහන්ස, යම් සැපයකට වඩා ඉතා උතුම්වූද ඉතා උසස්වූද අනික් සැපයක් නැත්තේද එය උතුම්ම සැපය වෙයි”,

“කච්චාණය යම් සැපයකට වඩා උතුම්වූද උසස්වූද අනික් සැපයක් නැත්තේනම් එය උතුම් සැපයයි කියන්නෙහි නම් තොපගේ මේ කීම දිගින්දිගට කියා ගෙන යාමක් මිස තේරුමක් අර්ථයක් නොදක්වන්නෙහිය.

§ 3. කච්චානය, යම් පුරුෂයෙක් යම් රූමත් ගැහැණියක් දැක “මම , ඇයට කැමැත්තෙමි ඇයම පතමියි”. කියන්නේය.
එවිට ඒ ඇසු මිනිසුන් ඔහුගෙන් මෙසේ අසන්නාහුය.
පින්වත් පුරුෂය, නුඹ ප්‍රිය කරන ඒ කල්‍යාණිය ක්ෂත්‍රීය ස්ත්‍රීයක් හෝ බ්‍රාහ්මණ ස්ත්‍රීයක් හෝ වෛශ්‍ය ස්ත්‍රියක් හෝ ශුද්‍ර ස්ත්‍රීයක් හෝ වේයයි දන්නෙහිද,?”
මෙසේ අසන ලද කල ඔහු ‘නැතැයි’ කියන්නේය.

එවිට මිනිසුන් ඔහුගෙන් නැවත අසන්නේ
එම්බල පුරුෂය, නුඹ කැමැති ඒ කල්‍යාණිය ගේ නාමය දන්නෙහිද, ඇයගේ ගෝත්‍රය හෝ දන්නෙහිදැ“යි, මෙසේ අසන ලද්දේ ‘නැතැයි’ කියන්නේය.

එවිට මිනිසුන් නැවත අසන්නේ ” යහළුව ඇය උස් සිරුරක් ඇති තැනැත්තියක් හෝ මිටි තැනැත්තියක් හෝ මධ්‍යම තැනැත්තියක් හෝ වේද?යයිද , “කලුපාට තැනැත්තියක් හෝ එලලුපාට තැනැත්තියක් හෝ දුඹුරුපාට ඇත්තියක් හෝ වේයයි, දන්නෙහිද?”,යි මෙසේ අසන ලද්දේ “නැතැ”යි කියන්නේය.

‘අසවල් ගමෙහි හෝ නියම් ගමෙහි හෝ නගරයෙහි හෝ ඇය වසන්නේ යයි, දන්නෙහිදැයි, අසනලද්දෙද ,’ නැතැයි කියන්නේය’.

ඔහුට මිනිසුන් අසන්නේ ” එම්බල පුරුෂය, නුඹ ඒ ගැහැණිය ගැන කිසිවක්ම නොදැන ම ඇයට කැමති වූ වෙහිද, ඇය පතන්නෙහිද ?

මෙසේ අසන ලද්දේ ඔහු ‘එසේයයි’ කියන්නේය.

කච්චානය, ඒ පුරුෂයාගේ කථාව හිස් කථාවක් නොවන්නේද?”
“භවත් ගෞතමයන් වහන්ස, ඒකාන්තයෙන් එසේ ඇති කල්හි ඒ පුරුෂයාගේ කථාව හිස්වූවක් වේයයි’ කීය.

“කච්චානය, යම් සැපයකට වඩා ඉතා උතුම්වූද ප්‍රණීතවූද අනික් සැපයක් නැත්තේ නම් එය උතුම් සැපයයි නුඹ කියන්නෙහි නම් ඒ සැපයද නොදක්වන්නෙහි නම් ඔබගේ ඒ කථාවද එසේම හිස්ය .

Glittering Diamond On Red Velvet Stock Photo - Download Image Now - iStock

§ 4 .“භවත් ගෞතමයන් වහන්ස, යහපත්වූද, දීප්තිමත්වූද අටැස් ඇත්තාවූ මනාව ඔපදමන ලද්දාවූ වෛඩූර්ය මාණික්‍යය පඩුවන් කම්බිලියෙහි බහන ලද්දේ යම්සේ බබලයි ද ඒ බඳු ස්වභාව ඇත්තා වූ ආත්මය මරණෙන් මත්තෙහිද උවදුරු රහිතව පවත්නේය.

“කච්චානය, ඒ කුමකැයි හඟින්නෙහිද, ඒ වෛඩූර්ය මාණික්‍යය පඬුවන් කම්බිලියෙහි තබන ලද්දේ එහි ආලෝකය පැතිරේද, දිලිසේද අතිෂයෙන් බබලයිද, ඝනාන්ධකාරවූ රාත්‍රියක දී යම් කණ මැදිරියෙක් පතුරන එළියක් වේද, මේ ආලෝක දෙකින් කවර ආලෝකයක් අතිශයින් බබලන්නේත් අතිශයින් ප්‍රණීතවූයේ වේද”?

“භවත් ගෞතමයන් වහන්ස, රාත්‍රි ඝනාන්ධකාරයෙහි යම් මේ කණමැදිරියෙක් වේද? මෙම මේ වර්ණ දෙක අතුරෙන් අතිශයින් බබලන්නේත් අතිශයින් ප්‍රණීතවූයේත් කණ මැදිරි එලියම වෙයි.”

“කච්චානය, ඒ කුමකැයි හඟින්නෙහිද?
රාත්‍රි ඝනාන්ධකාරයෙහි යම් කණමැදිරියෙක් වේද, රාත්‍රි ඝනාන්ධකාරයෙහි යම් තෙල් පහනක් දැල්හෝවූයේ වේද, මේ දෙකින් කවර එලියක් අතිශයින් දීප්තිමත් වේද අතිශයින් ප්‍රයෝජනවත් වූයේ වේද”?
“භවත් ගෞතමයන් වහන්ස, රාත්‍රී ඝනාන්ධකාරයෙහි දැල්වූ තෙල් පහන මේ දෙක අතුරෙන් අතිශයින් දීප්තිමත් වේ අතිශයින් ප්‍රයෝජනවත් වූයේ ත් වෙයි.”

“කච්චානය, ඒකුමකැයි හඟින්නෙහිද?
රාත්‍රි ඝනාන්ධකාරයෙහි තෙල් පහනක් දැල්වූයේ වේද, තවෙකෙක් මහ ගිණි මැලයක් ඇවිලූවෙ වේද , මේ දෙකින් කවරක් අතිශයින් දීප්තිමත් වේද අතිශයින් ප්‍රයෝජනවත් වූයේත්වේද?”

“භවත් ගෞතමයන් වහන්ස, රාත්‍රි ඝනාන්ධකාරයෙහි දැල්වෙන මහ ගිනි මැලය මේ දෙකින් අතිශයින් බබලන්නේත් අතිශයින් ප්‍රණීතද වූයේ වේයි”.

“කච්චානය, ඒ කුමකැයි හඟින්නෙහිද?
රාත්‍රි ඝනාන්ධකාරයෙහි මහ ගිනි මැලයක් හෝ වේද, අළුයම් කාලයෙහි වැස්ස නැති, වලාකුල් නැති අහසෙහි පායන උදා තරුව හෝ වේද, මේ ආලෝක දෙක අතුරෙන් කවරක් අතිශයින් දීප්තිමත් වේද අතිශයින් ප්‍රයෝජනවත් වූයේ වෙයිද?”

” භවත් ගෞතමයන් වහන්ස, අළුයම් කාලයෙහි වැස්ස නැති වලාකුල් නැති අහසෙහි පායන උදා තරුව , මේ දෙකින් වඩා බබලන්නේත් වඩා ප්‍රණීතවූයේත් වෙයි”

“කච්චායනය, ඒ කුමකැයි හඟින්නෙහිද?
රාත්‍රි අළුයම් කාලයෙහි වැස්ස නැති, වලාකුල් නැති අහසෙහි උදා තරුව වේද, එ පසළොස්වක් රාත්‍රීයෙහි වැස්ස නැති වලාකුල් නැති අහසෙහි මධ්‍යම රාත්‍රියෙහි චන්ද්‍රයා වේද, මේ දෙකින් කවරක් අතිශයින් දීප්තිමත් වේද අතිශයින් ප්‍රයෝජනවත් වූයේත්වේද?”
” භවත් ගෞතමයන් වහන්ස, පසළොස්වක්හි වැස්ස නැති, වලාකුල් නැති, අහසෙහි මධ්‍යම රාත්‍රිකාලයෙහි ඇති චන්ද්‍රයා, මේ දෙකින් වඩා දීප්තිමත් වේ අතිශයින් ප්‍රයෝජනවත් වූයේත්වේ?”

“කච්චායනය, ඒ කුමකැයි හඟින්නෙහිද?
එදවස්හි පසළොස්වක්හි, වැස්ස නැති, වලාකුල් නැති අහසෙහි මධ්‍යම රාත්‍රිකාලයෙහි චන්ද්‍රයා වේද, වර්ෂා මාසයන්හි අන්තිම මාසයවූ සරත් කාලයෙහි වැස්ස නැති වලාකුල් නැති අහසෙහි ඉරමුදුන් ව ඇති සූර්යයා හෝ වේද, මේ දෙකින් කවරක් අතිශයින් දීප්තිමත් වේද අතිශයින් ප්‍රයෝජනවත් වූයේත්වේද?”

“භවත් ගෞතමයන් වහන්ස, මේ සූර්යයා , මේ දෙකින් ඉතා බබලන්නේත් ඉතා ප්‍රණීත වූයේත් වෙයි.

කච්චායනය, මේ චන්ද්‍රයාගේ හෝ සූර්යයාගේ ආලෝකයට වඩා ප්‍රභාවෙන් යුක්තවන්නා වූ දෙවියෝ බොහෝ වෙති. මම ඔවුන් දනිමි. එතකුදු වුවත් මම යම් ප්‍රභාවකට වඩා ඉතා උතුම්වූද, ඉතා ප්‍රණීතවූද අන්‍යවූ ප්‍රභාවයක් නැත්තේයයි නොකියමි.
කච්චායනය එතකුදු වුවත් නුඹ යම් ආලෝකයක් කණාමැදිරියෙකුටත් වඩා අතිශයින් හීනවූයේද, අතිශයින් පිළිකුල් වූයේද, ඒ උතුම් ප්‍රභාව යැයි කීයෙහිය.

§ 5.. “කච්චායනය, කාම ගුණ පසක් වෙත්.
කවර පසක්ද යත්?

  • ඇසින් දැකිය යුතුවූ ඉෂ්ටවූ කාන්තවූ මනාපවූ ප්‍රිය ස්වභාව ඇත්තාවූ කම්සැප එලවන්නාවූ ඇලුම් කටයුතුවූ රූපයෝය,
  • කණින් දතයුතුවූ, ඉෂ්ටවූ, කාන්තවූ, මන වඩන්නාවූ, ප්‍රියස්වභාව ඇත්තාවූ, කම්සැප එලවන්නාවූ, ඇලුම් කටයුතුවූ ශබ්දයෝද,
  • නාසයෙන් දතයුතුවූ ඉෂ්ටවූ කාන්තවූ, මන වඩන්නාවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කම්සැප එලවන්නාවූ, ඇලුම් කටයුතුවූ ගන්ධයෝද,
  • දිවෙන් දතයුතුවූ, ඉෂ්ටවූ, කාන්තවූ, මන වඩන්නාවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කම්සැප එලවන්නාවූ, ඇලුම් කටයුතුවූ රසයෝද,
  • කයෙන් දතයුතුවූ, ඉෂ්ටවූ, කාන්තවූ, මන වඩන්නාවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කම්සැප එලවන්නාවූ, ඇලුම් කටයුතුවූ, ස්පර්ශයෝද යන මේවායි.

කච්චායනය, මේවා පඤ්චකාම ගුණයෝ වෙත්.
කච්චායනය, පංච ඉන්ද්‍රියයන් ට අරමුණු වන කාම වස්තු නිසා සත්වයන්ගේ සිත සොම්නස් වෙයි. සතුටට පත් වෙයි. මේ පස්කම් ගුණයන් නිසා යම් සැපක් සොම්නසක් උපදීද, සත්වයෝ ඒ ප්‍රීතිය සොම්නස විඳීද මෙය කම්සැපයයි කියනු ලැබේ. මෙසේ කාම ගුණයන් කරණකොට කාම සැපය ඇති වේ. එසේ නමුත් කච්චායනය මේ කාම සැපයට වඩා ශ්‍රේෂ්ඨ වුද උතුම් වුද අනෙක් සැපයක් ඇත්තේමය.

.ඉමේ පංච කාම ගුණේ පටිච්ච උප්පජ්ජිති සුඛං සොම්නස්සං
ඉදං වුච්චති කාම සුඛං,
කාම සුඛා කාමග්ගසුඛං තත්ථ අගගමක්ඛයතිති.

මෙසේ වදාළ කල්හි වේඛනස නම් පරිව්‍රාජකයා සතුටට පත්ව භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීයේය.

[වෙඛනස්ස , පරිභ්‍රජිකයකු වුවද දැඩි සේ කාම සැපයෙහි ලොල් වූ වෙක් බව අටුවාව දක්වයි.]


“භවත් ගෞතමයන් වහන්ස, ආශ්චර්ය. භවත් ගෞතමයන් වහන්ස, පුදුමය. භවත් ගෞතමයන් වහන්සේ විසින් කාමගුණයන් කරණකොට කාම සැපය වේ. කාම සැපයට වඩා කාමයෙන් අග්‍ර සැපය (නිවණ) උතුම්යයි කියනු ලැබේය යන කීම මනාව කියන ලද්දකි.”

එවිට භාග්‍යවතුන් වහන්සේ ඔහු කාමය හැර අන් සුවයක් නොදන්නා බව ඔහුටම හඟවනු පිණිස මෙසේ වදාළ සේක.
” කච්චායනය, අන්‍ය දෘෂ්ටියක් ඇත්තාවූ අන්‍ය ඇදහීම් ඇත්තාවූ, අනික් ධර්මයක් කැමති වන්නාවූ, අන් ධර්මයක යෙදෙන්නාවූ, අන් ගුරුවරුන් ඇත්තාවූ තොපට කාමයන් හෝ කාම සැපය හෝ මිස කාමයෙන්ගෙන් වෙන්වූ අග්‍ර සැපය දැනගැනීම දුෂ්කර වේ.

කච්චායනය, සියළු ආශ්‍රව ක්ෂය කළාවූ ඇත්තාවූ, , බ්‍රහ්මචර්යාව වැස නිම කළාවූ, සතර මගින් කළයුතු කටයුතු කොට නිමවූ, කෙලෙස් බර බහා තබනලද, පිළිවෙළින් පැමිණියාවූ අර්හත්වයට පත් වූ , භවයෙහි බැඳීම් නැති කළාවූ, මනාකොට නුවණින් දැන කෙලෙසුන් කෙරෙන් මිදුනාවූ භික්ෂුහු වෙත්ද, ඔව්හු කාමයන්ද, කාම සැපයද, කාමයෙන් වෙන්වූ කාම සැපයට අග්‍ර සැපයද දන්නාහුයයි” (වදාළේය.)

§ 6. මෙසේ වදාළ කල්හි වෙඛනස පරිව්‍රාජක කිපියේ නොසතුටුවූයේ භාග්‍යවතුන් වහන්සේටම ක්‍රොධ කරමින් භාග්‍යවතුන් වහන්සේටම ගරහමින් භාග්‍යවතුන් වහන්සේට කියනු ලබන්නේ
“ශ්‍රමණ ගෞතම තෙමේද සත්‍ය නොදන්නෙක්ය”යි කියමින් භාග්‍යවතුන් වහන්සේට මෙසේද කීයේය.

“ මේ ලෝකයෙහි සමහර මහණ බමුණෝ අතීතයද නොදන්නාහුය, අනාගතයද නොදක්නාහුය. එසේද වුවත් ඔව්හු තමන් ජාතිය ක්ෂය කරන ලද්දීය. බ්‍රහ්මචර්යාව වැස නිමවන ලද්දේය. සතර මගින් කටයුත්ත කරන ලද්දේය. මෙන් මතු කළ යුතු අනිකක් නැතැයි දනිමුයි ප්‍රකාශ කෙරෙත්. ඔවුන්ගේ මේ කීම සිනහවටම කරුණක් බවට පැමිණෙයි. හිස් වචන පමණක් බවටම පැමිණෙයි. ”

“කච්චායනය, යම් මහණ බමුනෙක් අතීතය නොදන්නාහු අනාගතය නොදක්නාහු, ජාතිය ක්ෂය කරණ ලද්දීය. බ්‍රහ්මචර්යාව වැස නිමවන ලද්දේය. සතර මගින් කළයුත්ත කරණ ලද්දේය. මින්පසු කළ යුතු අනිකක් නැතැයි දනිමුයි ප්‍රකාශ කෙරෙත්නම් ඒ ඒ මහණ බමුණන්ගේ කීම් කිරීම් ධර්මයට අනුවම විසඳීම් කල හැක්කේය.

එසේ වුවද කච්චානය, තවද අතීතය ගැන කථා තිබේවා, අනාගතය ගැන කථා තිබේවා, කෛරාටික නොවූ මායා නැත්තාවූ ඍජු ස්වභාව ඇති නුවණැති පුරුෂයෙක් පැමිණෙත්වා, මම ඔහුට අනුශාසනා කරමි. මම ධර්මය දේශනා කරමි. අනුශාසනා කළ පරිද්දෙන් ඔහු පිළිපදිනු ලබන්නේ නම් වැඩි කල් නොයවාම නොබෝ කලකින්ම ඔහු අවිද්‍යා (නොදැනීම්) බැම්මෙන් මිදුනේ වෙයි. ඒ බව තෙමේම දන්නේය. තෙමේම දක්නේය.

කච්චානය, යම්සේ බාලවූ, උඩුකුරුව සයනය කරන්නාවූ ළදරු වෙක් අත් පා සහ බෙල්ල නූල් බැමිවලින් (ඔහුගේ ආරක්ෂාව පිණිස) බඳනා ලද්දේ, ඔහු වැඩිවියට පැමිණ ඉන්ද්‍රයයන් මේරූ කල්හි ඒ බැමිවලින් මිදෙන්නේද, හෙතෙම මිදුනේ වෙමියි බැඳීමක් නැතැයි දන්නේද,

කච්චානය, එපරිද්දෙන්ම කෛරාටික නොවූ අවංක වූ මායා නැත්තාවූ ඍජු ස්වභාව ඇති නුවණැති පුරුෂයෙක් පැමිණෙත්වා, මම ඔහුට අනුශාසනා කරමි. මම ධර්මය දේශනා කරමි. එසේ අනුශාසනා කරණ ලද්දේ, එසේ පිළිපදින්නේ නොබෝ කලකින්ම ඔහු තමන් මනා කොට අවිද්‍යා බැම්මෙන් මිදුනේ වෙමියි’ තෙමේම දන්නේය, තෙමේම දක්නේයයි, (වදාළේය.)

§ 7. මෙසේ වදාළ කල්හි වෙඛනස පරිව්‍රාජකයා භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීයේය.

“භවත් ගෞතමයන් වහන්ස,
ඉතා යහපත. භවත් ගෞතමයන් වහන්ස, ඉතා යහපත.
ස්වාමීනි, යම්සේ යටිකුරු කොට තබන ලද්දක්, උඩුකුරු කරන්නේ හෝ වේද,
වසා තබන ලද්දක් වැසුම් අරින්නේ හෝ වේද
මංමුළාවූවෙකුට මග කියන්නේ හෝ වේද,
අන්ධකාරයෙහි ඉන්නා ඇස් ඇත්තෝ රූප දකිත්වායි තෙල් පහනක් දරන්නේ හෝ වේද,
එපරිද්දෙන්ම භාග්‍යවතුන් වහන්සේ විසින් නොයෙක් ආකාරයෙන් ධර්මය දේශනා කරන ලද්දේය.

ස්වාමීනි, මම භාග්‍යවතුන් වහන්සේද, ධර්මයද, භික්ෂු සංඝයාද සරණ කොට යමි. භවත් ගෞතමයන් වහන්සේ මා අද පටන් දිවිහිමි කොට සරණ ගියාවූ උපාසකයෙකැයි, දරණ සේක්වා.” යි කියා වෙස්සනඛ පරිබ්‍රාජිකයා භාග්‍යවතුන් වහන්සේ වන්දනා කළහ.

READ IN ENGLISH : ඉංග්‍රීසියෙන් ලිවූ මුල් පිටපත

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.