MN 03-02-09 කායගතා සති සූත්‍රය

§1 .මා විසින් මෙසේ අසන ලදී.
එක් කලක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ ජේතවන ආරාමයෙහි වැඩ වෙසෙති. එකල්හි එක් සවස් වරුවෙක්හි පිණ්ඩපාතයෙන් පසු , උපස්ථාන සාලාවෙහි (ආගන්තුකාදීන්ට සත්කාරකරන ශාලාවෙහි) රැස්ව හුන්නාවූ, බොහෝ භික්ෂූන් අතරෙහි මේ අතුරු කථාව ඇතිවීය. ‘

(දතයුතු සියල්ල) දන්නාවූ (දැක්ක යුතු සියල්ල) දක්නාවූ, අර්හත්වූ සම්‍යක් සම්බුද්ධවූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් යම් වඩන ලද්දාවූ, පුරුදු කරන ලද්දාවූ, කායගතා සතියක් මහත්ඵල ඇත්තීයයි මහානිසංස ඇත්තී යයි වදාරණ ලද්දේද, ඇවැත්නි, එය ආශ්චර්‍ය්‍යයකි, ඇවැත්නි, එය පුදුමයකි, යනුයි.

ඒ භික්ෂූන්ගේ, මේ අතුරු කථාව අවසාන නොවූයේ වේද, එකල්හි භාග්‍යවතුන් වහන්සේ සවස් කාලයෙහි ඵලසමාපත්තියෙන් නැගී සිටියේ (ආගන්තුකාදීන්ට) සත්කාර කරන ශාලාව යම් තැනෙක්හිද, එතැන්හි වැඩිසේක. වැඩ පනවන ලද ආසනයෙහි වැඩහුන් සේක. වැඩහිඳ භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ට කථාකළහ. “මහණෙනි, දැන් වනාහි කිනම් කථාවකින් යුක්තව හුන්නාහුද? ඔබලාගේ කිනම් අතුරු කථාවක් අවසන් නොවූයේ දැයි” ඇසූහ.“ස්වාමීනි, මෙහි සවස් වරුවෙහි පිණ්ඩපාතයේ යෑමෙන් වැලකුනාවූ, උපස්ථාන ශාලාවෙහි රැස්වී හුන්නාවූත අප අතරෙහි මේ අතුරු කථාව ඇතිවිය. ‘දන්නාවූ දක්නාවූ, අර්හත්වූ, සම්‍යක් සම්බුද්ධවූ භාග්‍යවතුන් වහන්සේ විසින් වඩන ලද්දාවූ පුරුදු කරන ලද්දාවූ, යම් මේ කායගතා සතියත් මහත්ඵල ඇත්තීයයි මහානිසංස ඇත්තීයයි වදාරණ ලද්දේ වේද, ඇවැත්නි, එය ආශ්චර්‍ය්‍යය, ඇවැත්නි, එය පුදුමය’ ස්වාමීනි, අපේ මේ කථාව අවසන් නොවූයේ විය. එකල්හි භාග්‍යවතුන් වහන්සේ වැඩිසේකැයි” කීහ.

§2. “මහණෙනි, කෙසේ වඩන ලද, කෙසේ පුරුදු කරන ලද කායගතා සතිය මහත්ඵල වන්නීද, මහානිසංස වන්නීද, මහණෙනි, මේ ශාසනයෙහි වනයකට ගියාවූ හෝ රුක් මුලකට ගියාවූ හෝ, හිස් ගෙයකට ගියාවූ හෝ මහණතෙම අරමිණියා ගොතා, ඇඟ කෙළින් තබා සිහිය ඉදිරිපත්කොට තබාගෙන හිඳින්නේය. හෙතෙම සිහියෙන්ම හුස්ම ගනී. සිහියෙන්ම හුස්ම පිටකරයි. දිගට හුස්ම ගන්නේ හෝ දිගට හුස්ම ගන්නෙමියි දැනගනියි. දිගට හුස්ම පිටකරන්නේ හෝ දිගට හුස්ම පිටකරන්නෙමියි දැනගනියි. කොටින් හුස්ම ගන්නේ හෝ කොටින් හුස්ම ගන්නෙමියි දැනගනියි. කොටින් හුස්ම පිටකරන්නේ හෝ කොටින් හුස්ම පිටකරන්නෙමියි දැනගනියි. සියලු ආශ්වාස ප්‍රශ්වාස කය දැනගනිමින් හුස්ම ගන්නෙමියි හික්මෙයි. සියලු ආශ්වාස ප්‍රශ්වාස කය දැනගනිමින් හුස්ම පිටකරන්නෙමියි හික්මෙයි. ආශ්වාස ප්‍රශ්වාසයන් තුනිකරමින් හුස්ම ගන්නෙමියි හික්මෙයි. ආශ්වාස ප්‍රශ්වාසයන් තුනීකරමින් හුස්ම පිටකරන්නෙමියි හික්මෙයි. මෙසේ අප්‍රමාදව කෙළෙස් තවන වීරිය ඇතිව නිවන කරා යවනලද සිතැතිව වාසය කරන්නාවූ, ඒ මහණහුගේ යම් ඒ පඤ්චකාමය ඇසුරුකොට පවත්නාවූ ඊට දුවන කල්පනාවෝ වෙත්ද, ඔව්හු දුරුවෙත්. ඔවුන්ගේ දුරුවීමෙන් තමා තුළම සිත රඳා සිටියි, නැවතී හිඳියි, එකඟවෙයි. මනාකොට පිහිටයි. මහණෙනි, මෙසේද මහණතෙම කායගතා සතිය වඩයි.

§3 ‘මහණෙනි, නැවතද මහණතෙම යන්නේ හෝ යන්නෙමියි දැනගනියි. සිටියේ හෝ සිටින්නෙමියි දැන ගනියි. හුන්නේ හෝ හුන්නෙමියි දැනගනියි. සැතපෙන්නේ හෝ සැතපෙන්නෙමියී දැන ගනියි. යම් මේ ලෙසකින් වනාහි ඒ මහණහුගේ කය පිහිටුවන ලද්දේ වෙයිද, ඒ ඒ ලෙසින් ඔහු දැනගනියි. මෙසේ නොපමාවූ, කෙළෙස් තවන වීරිය ඇත්තාවූ, නිවන කරා යවනලද සිතැතිව වාසය කරන්නාවූ, ඒ මහණහුගේ යම් ඒ පඤ්චකාමය ඇසුරුකොට පවත්නාවූ ඊට දුවන කල්පනාවෝ (වෙත්ද) ඔව්හු දුරුවෙත්. ඔවුන්ගේ තමා තුළම සිත රඳා සිටියි, නැවතී හිඳියි. එකඟ වෙයි. මනාකොට පිහිටයි. මහණෙනි, මෙසේද මහණතෙම කායගතා සතිය වඩයි.“මහණෙනි, නැවතද මහණතෙම ඉදිරියට යාමෙහිද ආපසු ඊමෙහිද නුවණින් මනාකොට දැන කරන්නේ වෙයි. ඉදිරිය බැලීමෙහිද අවට බැලීමෙහිද නුවණින් මනාකොට දැන කරන්නේ වෙයි. අත් පා හැකිලීමෙහිද දිගු කිරීමෙහිද නුවණින් මනාකොට දැන කරන්නේ වෙයි. පාත්‍රා, දෙපට සිවුරු, තනිපොට සිවුරු, දැරීමෙහිද නුවණින් මනාකොට දැන කරන්නේ වෙයි. කෑමෙහිද, බීමෙහිද, අවුලුපත් කෑමෙහිද, රස විඳීමෙහිද, නුවණින් මනාකොට දැන කරන්නේ වෙයි. මළමුත්‍ර පහකිරීමෙහිද නුවණින් මනා කොට දැන කරන්නේ වෙයි. යාමෙහිද, සිටීමෙහිද, හිඳීමෙහිද, නිදීමෙහිද, නිදිමැරීමෙහිද, කථාකිරීමෙහිද, කථා නොකිරීමෙහිද නුවණින් මනාකොට දැනකරන්නේ වෙයි. මෙසේ නොපමාව කෙළෙස් තවන වීරිය ඇතිව, නිවන කරා යවන ලද සිතැතිව වාසය කරන්නාවූ, ඒ මහණහුගේ යම් පඤ්ච කාමය ඇසුරුකොට පවත්නාවූ, ඊට දුවන කල්පනාවෝ වෙත්ද, ඔව්හු දුරුවෙත්. ඔවුන්ගේ දුරු වීමෙන් තමා තුළම සිත රඳා සිටියි, නැවතී හිඳියි, එකඟවෙයි, මනාකොට පිහිටයි. මහණෙනි, මෙසේද කායගතා සතිය වඩයි.“මහණෙනි, නැවතද මහණතෙම පාද තලයෙන් උඩ හිසකේ මුදුනෙන් යට හම කෙළවරකොට ඇති නානාවිධ අසූචියෙන් පිරුණාවූ, මේ කයම නුවණින් බලයි. මේ කයෙහි කෙස්, ලොම්, නිය, දත්, සම, නහර, ඇට, ඇටමිදුලු, වකුගඩුව, හෘදයමාංශය, අක්මාව, දළබුව, බඩදිව, පෙණහල්ල, බඩවැල, අතුණුබහණ, නොදිරූ ආහාරමළ, හිස්මොළය, පිත, සෙම, සැරව, ලේ, ඩහදිය, මේදතෙල, කඳුලු, වුරුණු තෙල, කෙළ, සොටු, සඳමිදුලු සහ මූත්‍ර ඇත්තේය, (කියායි.) මහණෙනි, නොයෙක් ආකාරවූ ධාන්‍යයන්ගෙන් මුව දක්වා පුරවන ලද, උඩ යට දෙපැත්තෙන් කටවල් දෙකක් ඇති මල්ලක් වේද? කිනම් ධාන්‍යවලින් (පුරවන ලද මල්ලක්) ද යත්:- හැල්වී, මාවී, මුං, මෑ, තල සහ සහල් (යන මේ ධාන්‍ය වලිනි.) ඇස් ඇති පුරුෂයෙක් ඒ ධාන්‍ය පිරූ මල්ල ලිහා, මේ හැල්ය, මේ මාවීය, මේ මුංය, මේ මෑය, මේ තලය, මේ සහල් යයි යම්සේ මෙනෙහි කරන්නේ වේද, එපරිද්දෙන්ම මහණෙනි, (මහණතෙම) පාද තලයෙන් උඩ හිසකේ මුදුනෙන් යට හම කෙළවරකොට ඇති, නානාවිධ අසුචියෙන් පිරුණාවූ, මේ කයම නුවණින් බලයි. මේ කයෙහි කෙස්, ලොම්, නිය, දත්, සම, නහර, ඇට, ඇටමිදුලු, වකුගඩුව, හෘදය මාංශය, අක්මාව, දළබුව, බඩදිව, පෙණහල්ල, බඩවැල, අතුණු බහණ, නොදිරූ ආහාර, මළ, හිස්මොළය, පිත, සෙම, සැරව, ලේ, ඩහදිය, මේදතෙල, කඳුලු, වුරුණු තෙල්, කෙළ, සොටු, සඳමිදුලු, සහ මූත්‍ර ඇත්තේය. (කියයි.) මෙසේ නොපමාව කෙළෙස් තවන වීරිය ඇතිව, නිවන කරා යවන ලද සිතැතිව වාසය කරන්නාවූ ඒ මහණහුගේ යම් ඒ පඤ්චකාමය ඇසුරුකොට පවත්නාවූ ඊට දුවන කල්පනාවෝ වෙත්ද, ඔව්හු දුරුවෙත්. ඔවුන්ගේ දුරුවීමෙන් තමා තුළම සිත රඳාසිටියි. නැවතී හිඳියි. එකඟවෙයි. මනාකොට පිහිටයි. මහණෙනි, මෙසේද මහණතෙම කායගතා සතිය වඩයි.

§4 මහණෙනි, නැවතද මහණතෙම යම් ඉදිරියව්වකින් සිටියාවූ යම් ආකාරයකින් තබනලද්දාවූ, මේ කයම ධාතු වශයෙන් නුවණින් සිහි කරන්නේය. (කෙසේද) මේ කයෙහි “පඨවි” ධාතුව ඇත්තේය. ආපෝධාතුව ඇත්තේය. තේජෝ ධාතුව ඇත්තේය. වායෝ ධාතුව ඇත්තේය. (කියයි.) මහණෙනි, යම්සේ දක්ෂවූ ගවයන් මරන්නෙක් හෝ ගවයන් මරවන්නෙකගේ අතවැසියෙක් හෝ ගවයකු මරා සතර මං සන්ධියක කොටස් වශයෙන් වෙන් වෙන්කොට බෙදා උන්නේ වේද, මහණෙනි, එමෙන් මහණතෙම යම් ඉරියව්වකින් සිටියාවූ යම් ආකාරයකින් තබන ලද්දාවූ මේ කයම ධාතුවශයෙන් සිහි කරන්නේය. මේ කයෙහි පඨවි ධාතුව ඇත්තේය. ආපෝ ධාතුව ඇත්තේය. තේජෝ ධාතුව ඇත්තේය. වායෝ ධාතුව ඇත්තේය. (කියායි) මෙසේ නොපමාව කෙළෙස් තවන වීරිය ඇතිව, නිවන කරා යවන ලද සිතැතිව වාසය කරන්නාවූ ඒ මහණහුගේ යම් ඒ පඤ්චකාමය ඇසුරුකොට පවත්නාවූ ඊට දුවන කල්පනාවෝ වෙත්ද, ඔව්හු දුරුවෙත්. ඔවුන්ගේ දුරුවීමෙන් තමා තුළම සිත රඳා සිටියි. නැවතී හිඳියි. එකඟවෙයි. මනාකොට පිහිටයි. මහණෙනි, මෙසේද මහණතෙම කායගතා සතිය වඩයි.“මහණෙනි, නැවතද මහණතෙම මැරී එක් දවසක් ගියාවූ හෝ දෙදවසක් ගියාවූ හෝ තුන් දවසක් ගියාවූ හෝ ඉදිමුණාවූ, නිල්වූ, සැරව වැගිරෙන්නාවූ අමුසොහොනෙහි දමනලද ශරීරයක් යම්සේ දක්නේද, ඒ මහණතෙම මේ කය ඒ හා සමාන කර බලන්නේය. (කෙසේද) මේ කයද, මෙබඳු ස්වභාව ඇත්තේය. මේ ස්වභාවයට පැමිණෙන්නේය. මේ ස්වභාව නොයික්ම සිටියේය. (කියයි) මෙසේ නොපමාව කෙළෙස් තවන වීරිය ඇතිව, නිවන කරා යවන ලද සිතැතිව වාසය කරන්නාවූ, ඒ මහණහුගේ යම් ඒ පඤ්චකාමය ඇසුරු කළාවූ ඊට දුවන කල්පනාවෝ වෙත්ද, ඔව්හු දුරුවෙත්. ඔවුන්ගේ දුරුවීමෙන් තමා තුළම සිත රැඳී සිටියි, නැවතී හිඳියි, එකඟවෙයි, මොනවට පිහිටයි. මහණෙනි, මෙසේ මහණතෙම කායගතා සතිය වඩයි.“මහණෙනි, නැවතද මහණතෙම කපුටන් විසින් කනු ලබන්නාවූ හෝ උකුස්සන් විසින් කනු ලබන්නාවූ හෝ ගිජුලිහිණියන් විසින් කනු ලබන්නාවූ හෝ බල්ලන් විසින් කනු ලබන්නාවූ හෝ හිවලුන් විසින් කනු ලබන්නාවූ හෝ නොයෙක ප්‍රාණීන් විසින් කනු ලබන්නාවූ හෝ ශරීරයක් යම්සේ දක්නේද, ඒ මහණතෙම මේ මළ කයම තම කය හා සමාන කරන්නේය. (කෙසේද) මෙ කයද, මෙබඳු ස්වභාවය ඇත්තේය. මෙබඳු ස්වභාවයට පැමිණෙන්නේය. මෙබඳු ස්වභාව නොයික්ම සිටින්නේය. (කියායි) මෙසේ නොපමාව කෙළෙස් තවන වීරිය ඇතිව නිවන කරා යවන ලද සිතැතිව වාසය කරන්නාවූ ඒ මහණහුගේ යම් පඤ්චකාමය ඇසුරු කළාවූ ඊට දුවන කල්පනාවෝ (වෙත්ද) ඔව්හු දුරුවෙත්. ඔවුන්ගේ දුරුවීමෙන් තමා තුළම සිත රැඳී සිටි. නැවතී හිඳියි. එකඟ වෙයි. මනාකොට පිහිටයි. මහණෙනි, මෙසේද මහණතෙම කායගතා සතිය වඩයි.

§5 .“මහණෙනි, නැවතද මහණතෙම ලේ මස් සහිතවූ නහර වැලින් බැඳුනාවූ ඇටසැකිල්ලක්ද මස් නැති ලේ තැවරුණු, නහරින් බැඳුනු ඇටසැකිල්ලක්ද මස් ලේ පහවූ නහර වලින් බැඳුනු, ඇටසැකිල්ලක්ද (නහර) සම්බන්ධයෙන් වෙන්වූ, එක දිසාවක පා ඇටද එක් දිසාවක කෙණ්ඩා ඇටද එක් දිසාවක කලවා ඇටද, එක් දිසාවක කටි ඇටද, එක් දිසාවක පිටකටුද, එක් දිසාවක හිස් කබලද ඇත්තාවූ, දිශා අනු දිසාවන්හි විසුරුණු ඇට කැබලි ඇත්තාවූ, අමු සොහොනෙහි දමන ලද ශරීරයක් යම්සේ දක්නේද, ඒ මහණතෙම මේ මළ කයම තම කය හා සමාන කරන්නේය. (කෙසේද) මේ කයද මෙබඳු ස්වභාව ඇත්තේය. මෙබඳු ස්වභාවයට පැමිණෙන්නේය. මෙබඳු ස්වභාව නොයික්ම සිටියේය. (කියායි). මෙසේ නොපමාව කෙළෙස් තවන වීරිය ඇතිව නිවන කරා යවන ලද සිතැතිව, වාසය කරන්නාවූ ඒ මහණහුගේ යම් ඒ පඤ්චකාමය ඇසුරු කළාවූ ඊට දුවන කල්පනාවෝ (වෙත්ද) ඔව්හු දුරුවෙත්. ඔවුන්ගේ දුරුවීමෙන් තමා තුළම සිත රැඳී සිටියි. නැවතී හිඳියි. එකඟ වෙයි. මනාකොට පිහිටයි. මහණෙනි, මෙසේද මහණතෙම කායගතා සතිය වඩයි.“මහණෙනි, නැවතද මහණතෙම හක්ගෙඩියක් පාටට සමාන ස්වභාව ඇති සුදුවූ ඇට ඇත්තාවූ, ඇට ගොඩක්වූ, අවුරුදු ගණනක් ඉකුත්වූ, පිළිකුල්වූ, සුණුවූ ඇට ඇත්තාවූද අමුසොහොනෙහි දමන ලද ශරීරයක් යම්සේ දක්නේද ඒ මහණතෙම මේ මළ කයම තම කය හා සමාන කරන්නේය. (කෙසේද) මේ කයද මෙබඳු ස්වභාව ඇත්තේය මෙබඳු ස්වභාවයට පැමිණෙන්නේය. මෙබඳු ස්වභාව නොයික්ම සිටියේය. (කියායි.) මෙසේ නොපමාව, කෙළෙස් තවන වීර්‍ය්‍ය ඇතිව, නිවන කරා යවන ලද සිතැතිව, වාසය කරන්නාවූ ඒ මහණහුගේ යම් ඒ පඤ්චකාමය ඇසුරුකළාවූ ඊට දුවන කල්පනාවෝ (වෙත්ද) ඔව්හු දුරුවෙත්. ඔවුන්ගේ දුරුවීමෙන් තමා තුළම සිත රැඳී සිටියි. නැවතී හිඳියි. එකඟ වෙයි. මොනවට පිහිටයි. මහණෙනි, මෙසේද මහණතෙම කායගතා සිහිය වඩයි.

§6 .“මහණෙනි, නැවතද මහණතෙම කාමයන්ගෙන් වෙන්ව, අකුශල ධර්මයන්ගෙන් වෙන්ව, විතර්ක සහිත විචාර සහිත, විවේකයෙන් උපන් ප්‍රීතිය සහ සැපය ඇති ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරයි. ඒ මහණතෙම මේ කයම විවේකයෙන් උපන් ප්‍රීතියෙන් සහ සැපයෙන් තෙමයි, වගුරුවයි, පුරවයි, පතුරුවයි, ඔහුගේ මුළු කයේ විවේකයෙන් උපන් ප්‍රීතිය සහ සැපය නොපැතුරුණු කිසි තැනෙක් නොවන්නේය. මහණෙනි, යම්සේ දක්ෂ නහවන්නෙක් හෝ නහවන්නෙකුගේ අතවැසියෙක් හෝ ලෝහ තලියෙහි නහන කල්ක බහා දියෙන් තෙම තෙමා මිශ්‍රකොට හනන්නේය. ඔහුගේ ඒ නාන සුණු පිඩ තෙතමනේ යුක්තවූයේ, තෙතමනෙන් බැඳුණේ ඇතුළත සහ පිටත පැතිරෙන ලද්දේ වේද, නොවැගිරෙන්නේ වේද, එසේම මහණෙනි, මහණතෙම මේ කයම විවේකයෙන් උපන් ප්‍රීතියෙන් සහ සැපයෙන් තෙත් කරයි, වගුරුවයි, පුරවයි, පතුරුවයි, ඔහුගේ මුළු කයේ විවේකයෙන් උපන් ප්‍රීතිය සහ සැපය නොපැතුරුණු කිසි තැනක් නොවන්නේය. මෙසේ නොපමාව කෙළෙස් තවන වීර්‍ය්‍ය ඇතිව නිවන කරා යවන ලද සිතැතිව වාසය කරන්නාවූ ඒ මහණහුගේ යම් ඒ පඤ්චකාමය ඇසුරු කළාවූ ඊට දුවන කල්පනාවෝ ආශාවෝ වෙත්ද, ඒවා දුරු වෙත්. ඔවුන්ගේ දුරුවීමෙන් තමා තුළම සිත බැඳී සිටියි. නැවතී හිඳියි. එකඟ වෙයි. මනාව පිහිටයි, මහණෙනි, මෙසේද මහණතෙම කායගතා සිහිය වඩයි.‘මහණෙනි, නැවතද මහණතෙම විතර්ක විචාරයන්ගේ සංසිඳුවීමෙන් ඇතුළත පහදන්නාවූ, සිත එකඟ කරන්නාවූ විතර්ක රහිත, විචාර රහිත, සමාධියෙන් උපන් ප්‍රීතිය සහ සැපය ඇති දෙවෙනි ධ්‍යානයට පැමිණ වාසය කරයි. ඒ මහණතෙම මේ කයම සමාධියෙන් උපන් ප්‍රීතියෙන් හා සැපයෙන් තෙමයි, වගුරුවයි, පුරවයි, පතුරුවයි. ඔහුගේ මුළු කයෙහි සමාධියෙන් උපන් ප්‍රීතිය සහ සැපය නොපැතුරුණු කිසි තැනක් නොවන්නේය.මහණෙනි, ජලයෙන් පිරුණාවූ විලක්වේද, ඒ නැගෙන හිර දිසාවෙන්ද, ජලමාර්ගයක් නොවන්නේද, බස්නාහිර දිසාවෙන්ද, ජලමාර්ගයක් නොවන්නේද, උතුරු දිසාවෙන්ද ජල මාර්ගයක් නොවන්නේද, දකුණු දිසාවෙන්ද ජලමාර්ගයක් නොවන්නේද, වැස්සද කලින් කල මනාකොට වසින්නේවේද, ඉක්බිති ඒ දිය විලෙන්ම සිහිල් ජල ධාරාවන් මතුවී ඒ දිය විලම සිහිල් ජලයෙන් තෙමෙන්නේද, වගුරුවන්නේද, පුර වන්නේද, පතුරුවන්නේද, ඒ සියලු දිය විලේ සිහිල් දියෙන් නොපැතුරුණු කිසිතැනක් නැත්තේද මහණෙනි, එපරිද්දෙන් මහණ තෙම මේ කය සමාධියෙන් හටගත් ප්‍රීතියෙන් හා සැපයෙන් තෙමයි වගුරුවයි, පුරවයි, පතුරුවයි. ඔහුගේ මුළු කයෙහි ප්‍රීතියෙන් හා සැපයෙන් නොපැතුරුණාවූ කිසි තැනක් නැත්තේය. මෙසේ නොපමාව කෙළෙස් තවන වීර්‍ය්‍ය ඇතිව, නිවනකරා යවනලද සිතැතිව වාසය කරන්නාවූ ඒ මහණහුගේ යම් ඒ පඤ්චකාමය ඇසුරු කළාවූ ඊට දුවන කල්පනාවෝ වෙත්ද, ඒවා ඔව්හු දුරුවෙත්. ඔවුන්ගේ දුරු වීමෙන් තමා තුළම සිත රැඳී සිටියි. නැවතී හිඳියි, එකඟ වෙයි, මනාකොට පිහිටයි. මහණෙනි, මෙසේද මහණ තෙම කය අනුව ගියාවූ සිහිය වඩයි.

§7. “මහණෙනි, නැවතද මහණතෙම ප්‍රීතියද ඉක්මවීමෙන් උපෙක්ෂාවෙන් යුක්තව සිහියෙන් යුක්තව නුවණින් යුක්තව වාසය කරයි. කයින් සැපයද විඳියි. ආර්‍ය්‍යයෝ යම් ධ්‍යානයක් උපෙක්ෂාවෙන් යුක්ත වූයේ සිහියෙන් යුක්තවූයේ සැපවිහරණ ඇත්තේයයි කියත්ද, ඒ තුන්වන ධ්‍යානයට පැමිණ වාසය කරයි. හෙතෙම මේ කයම ප්‍රීතිය රහිත සැපයෙන් තෙමෙන්නේය. වගුරුවන්නේය, පුරවන්නේය. පතුරු වන්නේය. ඔහුගේ මුළු කයේ ප්‍රීතිය රහිත සැපය නොපැතුරුණු කිසිම තැනක් නොවෙයි. මහණෙනි, යම්සේ මානෙල් විලක හෝ පියුම් විලක හෝ හෙළ පියුම් විලක හෝ දියෙහි හටගත්, දියෙහි වැඩුණු, දිය අනුව උස්වූ ඇතුලෙහි ගිලී වැඩෙන්නාවූ, කිසියම් උපුල් හෝ පියුම් හෝ හෙළ පියුම් හෝ (වෙත්ද) ඒවා අගසිට මුල දක්වාත් මුල සිට අග දක්වාත් සිසිල් දියෙන් තෙමුණාහූ, වැගුරුණාහු, පිරුණාහු, පැතුරුනාහු වෙත්ද. ඒ සියලු උපුල්වල හෝ පියුම්වල හෝ හෙළ පියුම් වල හෝ සිසිල් දිය නොපැතුරුණු කිසිම තැනක් නොවන්නේය. මහණෙනි, එසේම මහණතෙම මෙම කයම ප්‍රීතිය රහිත සැපයෙන් තෙමයි, වගුරයි, පුරවයි, පතුරුවයි. ඔහුගේ මුළු කයේ ප්‍රීතිය රහිත සැපය නොපැතුරුණු කිසි තැනක් නොවෙයි. මෙසේ නොපමාව කෙළෙස් තවන වීර්‍ය්‍ය ඇතිව, නිවණ කරා යවනලද සිතැතිව වාසය කරන්නාවූ ඒ මහණහුගේ යම් ඒ පඤ්චකාමය ඇසුරු කළාවූ ඊට දුවන්නාවූ කල්පනාවෝ වෙත්ද, ඒවා දුරු වෙත්. ඔවුන්ගේ දුරු වීමෙන් තමා තුළම සිත රැඳී සිටියි, නැවතී හිඳියි, එකඟ වෙයි, මනා කොට පිහිටයි. මහණෙනි, මෙසේද මහණ තෙම කය අනුව ගියාවූ සිහිය වඩයි.“මහණෙනි, නැවත මහණ තෙම සැපයද නැති කිරීමෙන් දුකද නැති කිරීමෙන් පළමුවම සොම්නස් දොම්නස් දෙක අතුරුදන් කිරීමෙන් දුක් නැත්තාවූද, සැප නැත්තාවූද උපෙක්ෂාවෙන් හටගත් සිහිය පිළිබඳ පිරිසුදු බැව් ඇති, සතර වන ධ්‍යානයට පැමිණ වාසය කරයි. ඒ මහණතෙම මේ කයම පිරිසිදුවූ, හාත්පස පිරිසිදුවූ සිතින් පතුරුවා හුන්නේ වෙයි. ඔහුගේ මුළු කයේ පිරිසිදුවූ හාත්පස පිරිසිදුවූ, සිත නොපැතුරුණු කිසි තැනක් නොවන්නේය. මහණෙනි, යම් පුරුෂයෙක් සුදු රෙද්දකින් හිස සහිතව පොරොවාගෙන හුන්නේ වේද, ඔහුගේ මුළු කයේ සුදුරෙද්ද නොපැතුරුණු කිසි තැනක් නැත්තේ වේද, මහණෙනි, එසේම හෙතෙම මෙම කයම පිරිසිදුවූ, හාත්පස පිරිසිදුවූ, සිතින් පතුරුවා හුන්ගේ මුළු කයේ පිරිසිදුවූ, හාත්පස පිරිසිදුවූ, සිත නොපැතුරුණු කිසිතැනක් නොවෙයි. මෙසේ නොපමාව, කෙළෙස් තවන වීරිය ඇතිව නිවන කරා යවන ලද සිතැතිව, වාසය කරන්නාවූ, ඒ මහණහුගේ යම් ඒ පඤ්චකාමය ඇසුරු කළාවූ ඊට දුවන කල්පනාවෝ වෙත්ද, ඔව්හු දුරුවෙත්. ඔවුන්ගේ දුරුවීමෙන් තමා තුළම සිත රැඳී සිටියි නැවතී හිඳියි, එකඟ වෙයි. මනා කොට පිහිටයි. මහණෙනි, මෙසේද මහණතෙම කය අනුව ගියාවූ සිහිය වඩයි.

§8. මහණෙනි, යම් කිසිවෙකු විසින් කය අනුව ගියාවූ සිහිය වඩන ලද්දීද, පුරුදු කරන ලද්දීද, ඔහුගේ ඒ කය අනුව ගියාවූ සිහියට අෂ්ට විද්‍යාවට අයත් කුශල ධර්මයෝ නම් ඒ සියල්ල ඇතුලත් වෙත්.“මහණෙනි, යම්සේ යමෙකු විසින් ආපො කසිණ සමාපත්තියෙන් හෝ දිබ්බචක්ඛුඥානයෙන් හෝ මහා සමුද්‍රය ස්පර්ශ කරන ලද්දේද, ඒ මහා සමුද්‍රය කරා ගමන් කරන්නාවූ යම්කිසි කුඩා ගංගාවෝ වෙත් නම් ඒ සියල්ල ඒ මහමූදට ඇතුලත් වෙත්. මහණෙනි, එසේම කිසිවෙකු විසින් කායගතා සතිය වඩන ලද්දීද, පුරුදු කරන ලද්දීද, ඔහුගේ ඒ කායගතා සතියෙහි යම් ඒ අෂ්ට විද්‍යාවට අයත් කුශල ධර්මයෝ වෙත් නම් ඒ සියල්ල ඇතුළත් වන්නාහුය. මහණෙනි, යම්කිසිවෙකු විසින් කායගතා සතිය නොවඩන ලද්දීද, පුරුදු නොකරන ලද්දීද, මාරතෙමේ ඔහුගේ සිදුරු දකියි. මාරතෙමේ ඔහුගේ කෙළස් ඉපදීම පිණිස පවත්නා හේතු දකියි. මහණෙනි, යම්සේ පුරුෂයෙක් බරවූ ගලක් තෙත්වූ මැටි ගොඩක හෙලන්නේය මහණෙනි, කුමක් සිතව්ද ඒ බර ගල ඇතුල් වීමට තෙත මැටි ගොඬේසිදුරක් ලබන්නේද?” “එසේය. ස්වාමීනි, ලබන්නේය.” “මහණෙනි, එසේම යමෙකු විසින් කායගතා සතිය නොවඩන ලද්දීද, පුරුදු නොකරන ලද්දීද, මාර තෙමේ ඔහුකරා ඇතුළත් වීමට ඔහුගේ සිදුරු ලබන්නේය. මාර තෙමේ ඔහුගේ කෙලස් ඉපදීමට හේතු දකින්නේය.“මහණෙනි, වේලුනු දරලීයක් වෙයි. ඉක්බිති පුරුෂයෙක් ගිනිගානා දණ්ඩක් ගෙන ‘ගිනි උපදවන්නෙමි, උණුසුම පහළ කරන්නෙමි’යි එන්නේය. මහණෙනි, කුමක් සිතව්ද, ඒ පුරුෂයා මේ වියලි දරලීය ගිනිගානා දණ්ඩ ගෙන පිරිමදින්නේය. ගිනි නිපදවන්නේද? උණුසුම පහළ කරන්නේද?” “එසේය. ස්වාමීනි,” “මහණෙනි, එසේම යමෙකු විසින් කායගතා සතිය නොවඩන ලද්දේද, පුරුදු නොකරන ලද්දීද, මාරතෙම ඔහුගේ සිදුරු දකියි, මාරතෙම ඔහුගේ කෙළෙස් ඉපදීමට හේතු දකියි.“මහණෙනි, යම්සේ දිය නැත්තාවූ, හිස්වූ, ආධාරයෙහි (දරණුයෙහි) තබන ලද්දාවූ, මහදිය සැලියක් (වේද) ඉක්බිති පුරුෂයෙක් දිය බරක් ගෙන එන්නේය. මහණෙනි, කුමක් සිතව්ද, ඒ පුරුෂයා ජලය වත්කිරීමට ලබන්නේද?” ‘එසේය ස්වාමීනි,” මහණෙනි, යම්කිසිවෙකු විසින් කායගතා සතිය නොවඩන ලද්දීද, පුරුදු කරන ලද්දීද, මාරතෙමේ ඔහුගේ සිදුරු දකියි. ඔහුගේ කෙළෙස් ඉපදීමට හේතු දකියි.

§9 . “මහණෙනි, යම්කිසිවෙකු විසින් කායගතා සතිය වඩන ලද්දීද, පුරුදු කරන ලද්දීද, මාරතෙම ඔහුගේ සිදුරු නොදකියි. මාර තෙම ඔහුගේ කෙළෙස් ඉපදීමට හේතු නොදකියි. මහණෙනි, යම්සේ පුරුෂයෙක් සැහැල්ලුවූ නූල් ගුලියක් සියල්ල අරටුවෙන් නිමවූ, දොර පලුවක් උඩ දමන්නේද මහණෙනි, කුමක් සිතව්ද, ඒ සැහැල්ලුවූ නූල් ගුලිය සියල්ල අරටුවෙන් නිමවූ දොරපලුයෙහි සිදුරක් ලබන්නේද?” “ස්වාමීනි, එය නොවේමය.” “මහණෙනි, එසේම යම්කිසිවෙකු විසින් කායගතා සතිය වඩනලද්දීද, පුරුදු කරන ලද්දීද, ඒ මහණෙකුගේ සිදුරක් මාරයා නොලබයි. ඔහුගේ කෙලෙස් ඉපදීමට හේතුවක් මාරයා නොදකියි.“මහණෙනි, යම්සේ තෙත්වූ අමු ලීයක් ඇත්තේය. ඉක්බිති පුරුෂයෙක් ගිනිගානා දණ්ඩක් ගෙන ගිනි නිපදවන්නෙමි. උණුසුම් පහළ කරන්නෙමියි එන්නේය. මහණෙනි, කුමක් සිතම්ද, ඒ පුරුෂයා මේ තෙත්වූ අමුලීය ගිනි ගානා දණ්ඩ ගෙන පිරිමැදීමෙන් ගිනි නිපද වන්නේද? උණුසුම පහළ කරන්නේද?” “ස්වාමීනි, එය නොවේ.” “මහණෙනි, මෙසේම යම් කිසිවෙකු විසින් කායගතා සතිය වඩන ලද්දීද, ඒ මහණහුගේ සිදුරක් මාරයා නොලබයි. ඔහුගේ කෙලෙස් ඉපදීමට හේතුවක් මාරයා නොදකින්නේය.“මහණෙනි, යම්සේ දිය පිරුණාවූ, ගැට්ට ලඟට පිරුණාවූ කපුටකු විසින් බිය හැකි තරමට පිරුණාවූ ආධාරයෙහි (දරණුයෙහි) තබන ලද්දාවූ මහ දිය සැළියක් (වේද) ඉක්බිති පුරුෂයෙක් දිය බරක් ගෙන එන්නේය. මහණෙනි, කුමක් සිතව්ද, ඒ පුරුෂයා දිය වත් කිරීමට ලබන්නේද?” “ස්වාමීනි, එය නොවේ” “මහණෙනි, මෙසේම යම් කිසිවෙකු විසින් කායගතා සතිය වඩන ලද්දීද, ඔහුගේ සිදුරක් මාරයා නොලබයි. ඔහුගේ කෙලෙස් ඉපදීමට හේතුවක් මාරයා නොලබයි.

§10. “මහණෙනි, යම් කිසිවෙකු විසින් කායගතා සතිය වඩනා ලද්දීද, බහුල කරන ලද්දීද, හෙතෙම නුවණින් දැන ප්‍රත්‍යක්ෂ කළයුතු යම් යම් ධර්මයක් වේද, එය නුවණින් දැන ප්‍රත්‍යක්ෂ කිරීම පිණිස සිත නමයි. ඒ ඒ තන්හි කරුණු ඇති ඇති කල්හි ප්‍රත්‍යක්ෂ කිරීමට පැමිණෙයි. ඇති ඇති කල්හි ප්‍රත්‍යක්ෂ කිරීමට පැමිණෙයි. මහණෙනි යම්සේ පිරුණාවූ, දිය ගැට්ට ළඟට ඇත්තාවූ, කපුටකු විසින් බිය හැකි තරම් පිරුණාවූ, ආධාරයෙහි (දරුණුයෙහි තබන ලද්දාවූ, දිය සැළියක් (වේද) ඒ මේ සැළිය බලවත් පුරුෂයෙක් යම් යම් තැනකින් තමන්ගේ දිය එන්නේද?”“එසේය, ස්වාමීනි,”“මහණෙනි, එසේම යම් කිසිවෙකු විසින් කායගතා සතිය වඩන ලද්දීද, පුරුදු කරන ලද්දීද, හෙතෙම නුවණින් දැන ප්‍රත්‍යක්ෂ කළයුතු යම් යම් ධර්මයක් වේද (එය) නුවණින් දැන ප්‍රත්‍යක්ෂ කිරීම පිණිස සිත නමයි. ඒ ඒ තන්හි කරුණු ඇති ඇති කල්හි ප්‍රත්‍යක්ෂ බවට පැමිණෙයි.“මහණෙනි, යම් බැම්මක් බඳින ලද, පිරුණාවූ ගැට්ට ලඟට දිය පිරුණාවූ කපුටකු විසින් බිය හැකි තරමට පිරුණාවූ, සමභූමියෙහිවූ, හතරැස් පොකුණක් වේද, බලවත් පුරුෂයෙක් ඒ මේ පොකුණේ යම් යම් පැත්තකින් බැම්ම බිඳින්නේ දිය එන්නේද?”“එසේය, ස්වාමීනි,”“මහණෙනි, එසේය යම් කිසිවෙකු විසින් කායගතා සතිය වඩන ලද්දීද, බහුල කරන ලද්දීද, හෙතෙම නුවණින් දැන ප්‍රත්‍යක්ෂ කළයුතු යම් යම් ධර්මයක් වේද, (එය) නුවණින් දැන ප්‍රත්‍යක්ෂ කිරීම පිණිස සිත නමයි. ඒ ඒ තන්හි කරුණු ඇති ඇති කල්හි ප්‍රත්‍යක්ෂ බවට පැමිණෙයි.“මහණෙනි, යම්සේ සතර මංසන්ධියක යහපත් තැනක කෙවිට පහත හෙළන ලද අශ්වයන් යෙදූ උතුම් රියක් (වේද) ඒ රථයට දක්ෂවූ අසුන් හික්මවන්නාවූ රියැදුරෙක් නැඟී වමතින් සම්පටිය ගෙන දකුණතින් කෙවිට ගෙන යම් කිසි කැමති තැනකට පදවන්නේද, මහණෙනි, එසේම යම් කිසිවෙකු විසින් කායගතා සතිය වඩන ලද්දීද, බහුල කරන ලද්දීද, හෙතෙම නුවණින් දැන ප්‍රත්‍යක්ෂ කළයුතු යම් යම් ධර්මයක් වේද (එය) නුවණින් දැන ප්‍රත්‍යක්ෂ කිරීම පිණිස සිත නමයි. ඒ ඒ තන්හිදී කරුණු ඇති ඇති කල්හි ප්‍රත්‍යක්ෂ බවට පැමිණෙයි.

§11. “මහණෙනි, සේවනය කරන ලද්දාවූ වඩන ලද්දාවූ පුරුදු කරන ලද්දාවූ, යානාවක් මෙන් කරන ලද්දාවූ, පිහිටක් බවට පමුණුවන ලද්දාවූ, නැවත නැවත කරන ලද්දාවූ, පුරුදුකරන ලද්දාවූ, මනාකොට වීර්‍ය්‍යකරන ලද්දාවූ, කායගතා සතියෙහි මේ ආනිසංස දසයක් කැමතිවිය යුත්තාහ. කවර දසයක්ද යත්? (කුශල ධර්මයන්හි) නොඇලීමද, (කම් සැපයෙහි) ඇල්මද මැඩපැවත්වන්නේ වෙයි. ඒ (කුශල ධර්මයන්හි) නොඇලීම නොඉවසයි. උපන් (කුශල ධර්මයන්හි) නො ඇල්ම මැඩ වාසයකරයි. භයානක අරමුණු මැඩපවත්වන්නේ වෙයි. ඒ භයානක අරමුණු නොඉවසයි. උපන් භයානක අරමුණු මැඩ වාසය කරයි. ශීතයාගේද, උෂ්ණයාගේද, සාගින්නේද, පිපාසයාගේද, මැස්සන්ගේද, මදුරුවන්ගේද, වාතයේද, අවු රශ්මියේද, සර්පයන්ගේද ස්පර්ශය ඉවසන්නේ වෙයි. නොමනාසේ කියන ලද, නපුරුකොට කියනලද, වචන ඉවසන්නේ වෙයි. උපන්නාවූ, දුක්වූ, තියුණුවූ, කුරිරුවූ, කටුකවූ, නොමිහිරිවූ, අමනාපවූ, දිවි නසන්නාවූ, ශරීර වේදනාව ඉවසන්නෙක් වෙයි.“පිරිසිදු සිතෙහි හටගත්තාවූ, මේ ආත්මයෙහි සැප වාසය ඇත්තාවූ, (රූපාවචර) ධ්‍යාන සතර කැමතිසේ ලබන්නේ, පහසුවෙන් ලබන්නේ, අමාරුවක් නැතිව ලබන්නේ, නොයෙක් අයුරින් යුත් ඍධිවිධි අනුභව කරයි. (විඳියි.) (කෙසේද) එකෙක්ව බොහෝසේ වෙයි. බොහෝසේව එකෙක් වෙයි. ප්‍රකට බවටද, මුවහ බවටද අහසෙහි මෙන් බිත්තිය විනිවිද ගෙනද, පවුර විනිවිද ගෙනද, පර්වතය විනිවිද ගෙනද, නොහැපෙමින් යයි. දියෙහි මෙන් පොළොවෙහිද කිමිඳීම් මතුවීම් කරයි. පොළොවෙහි මෙන් දියෙහි, දිය නොබිඳ ගමන් කරයි. පක්ෂියෙකු මෙන් අහසෙහිද, අරමිණියා ගොතා හිඳගෙන යයි. මෙසේ මහත් ඍද්ධි ඇති, මෙසේ මහත් ආනුභාව ඇති මේ සඳ හිරු දෙදෙන අතින් අතගායි, පිරිමදියි. බඹලොවතෙක් ශරීරයෙන් වසඟ බව පවත්වයි. පිරිසිදුවූ, මිනිස් කණ ඉක්ම පැවැත්තාවූ දිව කණින් දිව්‍යමයවූද, මනුෂ්‍යමයවූද, දුරවූද, ලඟවූද දෙවැදෑරුම් ශබ්දයන් අසයි.

§12. “අන්‍ය සත්වයින්ගේ, අන්‍ය පුද්ගලයින්ගේ, සිත තම සිතින් පිරිසිඳ දනියි. (කෙසේද) රාග සහිත සිත රාග සහිත සිතයයි දනියි. රාග රහිත සිත රාග රහිත සිත යයි දනියි. ද්වේෂ සහිත සිත ද්වේෂ සහිත සිතයයි දනියි. ද්වේෂ රහිත සිත ද්වේෂ රහිත සිතයයි දනියි. මෝහ සහිත සිත මෝහ සහිත සිතයයි දනියි. මෝහ රහිත සිත මෝහ රහිත සිත යයි දනියි. හැකුලුනු සිත හැකුලුනු සිතයයි දනියි. මහත් බවට ගිය සිත මහත් බවට ගිය සිතයයි දනියි. මහත් බවට නොගිය සිත මහත් බවට නොගිය සිතයයි දනියි. (ලෞකික සිත්අතුරෙන්) උසස්වූ සිත (ලෞකික සිත් අතුරෙන්) උසස්වූ සිතයයි දැන ගනියි. (ලෞකික සිත් අතුරෙන්) උසස් නොවූ සිත (ලෞකික සිත් අතුරෙන්) උසස් නොවූ සිතයයි දැන ගනියි. සමාධි ගතවූ සිත සමාධිගතවූ සිත යයි දැනගනියි. සමාධිගත නොවූ සිත සමාධිගත නොවූ සිතයයි දැනගනියි. (කෙළෙසුන් කෙරෙන්) මිදුනු සිත (කෙළෙසුන් කෙරෙන්) මිදුනු සිතයයි දැනගනියි. (කෙළෙසුන් කෙරෙන්) නොමිදුනු සිත (කෙළෙසුන් කෙරෙන්) නොමිදුනු සිතයයි දැන ගනියි. නන්වැදෑරුම්වූ පෙර විසූ තැන් සිහිකරයි.“ඒ කවරේදයත්:- එක් ජාතියක්ද, ජාති දෙකක්ද ජාති තුනක්ද, ජාති හතරක්ද, ජාති පහක්ද, ජාති දහයක්ද, ජාති විස්සක්ද, ජාති තිහක්ද, ජාති හතළිසක්ද, ජාති පණසක්ද, ජාති සියයක්ද, ජාති දහසක්ද, ජාති ලක්ෂයක්ද, නොයෙක් ජාතිලක්ෂ ගණන්ද, අසවල් තැන වූයෙම් මෙබඳු නම් ඇත්තේ, මෙබඳු ගොත්‍ර ඇත්තේ, මෙබඳු වර්ණ ඇත්තේ, මෙබඳු ආහාර ඇත්තේ, මෙබඳු සැප දුක් විඳින්නේ, මෙබඳු ආයුෂ කෙළවරකොට ඇත්තේවීමි. මම එයින් චූත වූයෙමි. අසවල් තැන උපනිමි. එහිද මෙබඳු නම් ඇත්තේවීමි. මෙබඳු ගොත්‍ර ඇත්තේ වීමි. මෙබඳු වර්ණ ඇත්තේ වීමි. මෙබඳු ආහාර ඇත්තේ වීමි. මෙබඳු සැප දුක් වින්දේ වීමි. මෙබඳු ආයුෂ කෙළවරකොට ඇත්තේ වීමි. ඒ මම එයින් චුත වූයෙම් මෙහි උපන්නෙමි. මෙසේ ආකාර සහිතව, දැක්වීම් සහිතව නානා ප්‍රකාරවූ, පෙර විසූ ආත්ම සිහිකරයි. පිරිසිදුවූ මිනිසත් බව ඉක්මෙව්වාවූ, දිව ඇසින් බලන්නේ මැරෙන්නාවූද, උපදින්නාවූද, හීනවූද, උසස්වූද, යහපත් වර්ණ ඇත්තාවූද, දුර්වර්ණවූද, යහපත් ගති ඇත්තාවූද, අයහපත් ගති ඇත්තාවූද, කම්වූ පරිදි මිය පරලොව යන්නාවූද, සත්වයන් දැනගනියි.
“කෙළෙස් (ආශ්‍රව) නැති කිරීමෙන් ආශ්‍රව රහිතවූ සමාධියෙන් මිදීමත් ප්‍රඥාවෙන් මිදීමත්, මේ ජාතියේදීම විශේෂ නුවණින් දැන, ප්‍රත්‍යක්ෂකොට ඊට පැමිණ වාසය කරයි. මහණෙනි, සේවනය කරන ලද්දාවූ, වඩන ලද්දාවූ, බොහෝ කරන ලද්දාවූ, යානාවක් මෙන් කරන ලද්දාවූ, පිහිටක් කරන ලද්දාවූ, නැවත නැවත කරන ලද්දාවූ, පුරුදු කරන ලද්දාවූ, වීර්‍ය්‍ය කරන ලද්දාවූ, කායගතා සතියෙහි මේ ආනිසංසයෝ දස දෙන කැමතිවිය යුත්තාහ.” මෙය භාග්‍යවතුන් වහන්සේ වදාළසේක. සතුටු සිතැති ඒ භික්ෂුහු භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවට සතුටුවූහ

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.