MN 03-01-06-ආනෙඤ්ජ සප්පාය සූත්‍රය

1007: ආනෙඤ්ජ” යනු සතරවන ධ්‍යානයෙන් ලැබෙන්නාවූ අධ්‍යාත්මික ඵලයන් හැඳින්වෙන විශේෂණ නාමයකි.

පුජ්‍ය පුහුල්වැල්ලේ සාරද හිමි කල දේසනාව

§ 1. මා විසින් මෙසේ අසනලදී.
එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ කුරුරට කම්මස්සදම්ම නම්වූ නියම් ගම වැඩ වසන සේක. එකල්හි වරක් භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ට ‘මහණෙනි’ යි ඇමතු සේක. ‘පින්වතුන් වහන්සැයි’ ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළේය.

§ 2. “මහණෙනි කාමයන්ගේ ආශ්වාදයෝ වහා ඇතිව නැතිවන හෙයින් අනිත්‍යය ය. සාරයක් නැති හෙයින් හිස්ය. විනාශවන ස්වභාවය ඇත්තාහුය. මහණෙනි, ඒ ආස්වාදය මායාවකින් කරණ ලද්දක් වැනිය. අඥානයන් විසින් මගේය මගේය කියනු ලබන්නාහුය. මෙලොව ඇත්තාවූ යම් කාම ගුණයෝ වෙත්ද, පරලොව ඇත්තාවූ යම් දිව්‍යකාම ගුණයෝ වෙත්ද, මෙලොව ඇත්තාවූ යම් මනුෂ්‍ය කාම සංඥාවෝ වෙත්ද, පරලොව ඇත්තාවූ යම් දිව්‍යකාම සංඥාවෝ වෙත්ද, මේ දෙකොටසම මාරයාටම අයත් වේ. ඒ මාරයාගේ ස්ථාන වේ. මාරයා දමන ඇම වෙයි. මාරයාගේ දඩ බිම් වෙයි. මාරයාගේ කොරටු (ගාල්) වෙයි.

මේ කාමයන් අරමුණු කොට සිත්හි හටගන්නාවූ අභිජ්ජාව නම් විෂම ලෝභයද, නොකැමැත්ත, අසතුට, අමනාපය, තරහව,ක්‍රෝධය ලෙස ගන්නා වූ ව්‍යාපාදය ද , අන්‍යයන්ට වැඩියෙන් කිරීමයයි කියනලද සාරම්භයද යන අකුසලයෝ මේ කාමයන් නිසා ඇතිවෙත්. කාමය නිසා පවතිත්. ඒ අකුසලයෝ මේ ශාසනයෙහි ප්‍රතිපදා පුරන්නට හික්මෙන්නාවූ ආර්‍ය්‍ය ශ්‍රාවකයාගේ අන්තරාය පිණිස හටගනිත්.

මහග්ගතවූ ප්‍රත්යවෙක්ෂය

§ 3. “මහණෙනි, එය දන්නාවූ ආර්‍ය්‍යශ්‍රාවකයා මෙසේ ප්‍රත්‍යවේක්ෂ කරයි.

.
‘මේ ජීවිතයෙහි මා විඳින්නාවූ කාම ආශ්වාදයෝ වෙත්ද, පරලෙව්හි ඇත්තාවූ යම් කාම ගුණයෝ වෙත්ද, මේ ජීවිතයෙහි ඇත්තාවූ සම්පරායික යම් කාමසංඥාවෝ වෙත්ද, පරලෙව්හි ඇත්තාවූ යම් කාම සංඥාවෝත් වෙත්ද මේ දෙකොටසම මාරයාට යටත්ය. මාරයාට අයත්ය. මේ මාරයාගේම ස්ථානයවේ. මාරයා විසින් දමනලද ඇමවේ. මේ මාරයාගේ ගාල් කොටුව වේ.

මේ කාමයන් අරමුණු කොට සිත්හි හටගන්නාවූ අභිජ්ජාව නම් ලෝභයද, නොකැමැත්ත, අසතුට, අමනාපය, තරහව, ක්‍රෝධය ලෙස ගන්දනා වූ ව්‍යාපාදය , අන්‍යයන්ට වැඩියෙන් කිරීමයයි කියනලද සාරම්භයද යන අකුසලයෝ මේ කාමයන් නිසා ඇතිවෙත්. කාමය නිසා පවතිත්. ඒ අකුසලයෝ මේ ශාසනයෙහි ප්‍රතිපදා පුරන්නට හික්මෙන්නාවූ ආර්‍ය්‍ය ශ්‍රාවකයාගේ අන්තරාය පිණිස හටගනිත්.

මම විපුලවූ මහග්ගතවූ සිතින් කාමගුණ ලෝකයට ඇති කැමැත්ත මැඩ පවත්නා සිතින් ධ්‍යාන අරමුණු අධිෂ්ඨාන කොට වාසය කරන්නෙම් නම් ඉතා යෙහෙක, එසේ මහග්ගත සිතින් යුතුව පටිපදාවේ හැසිරෙන මගේ සිතට කාම, ව්‍යාපාද , සාරම්භාදී අරමුණු පල නොවන්නේය. ඔවුනගේ ප්‍රහාණයෙන් ලෝකෝත්තර විෂයෙහි මහග්ගත ද, අප්‍රමාන ද, සුභාවිත ද වන්නේය. මෙසේ ඔහුගේ සිත අරහත් බවට හේතුවූ විදර්ශනාවෙහි හෝ ධ්‍යානයට හේතුවූ උපචාර සමාධියෙහි1010 හෝ පහදියි.
[1010;-අටුවාව දක්වන අයුරු මේ පැහැදීම යනු අරහත් භාවයට හේතුභූත වන විපස්සනා ඥානය හෝ සතරවන ධ්‍යාන යට ම පත්වන නොසෙල්වෙන සමාධියයි.]

මෙසේ පැහැදීම ඇති කල්හි මේ ජීවිතයෙහි ම ඔහු ආනෙඥඥ වූ නොහොත් කම්පා නොවන ධ්‍යාන සමාධියට පැමිණෙයි. ප්‍රඥාවෙන් හෝ මිදෙයි. (රහත් වෙයි) නැතහොත් ශරීරයාගේ බිඳීමෙන් මරණින් මත්තෙහි යම් කාරණයකින් ඒ භික්ෂුව උපදින්නාවූ විපාක විඤ්ඤාණයක් වේද, එය කුසල චතුර්ථධ්‍යානයට සමානවූවක් වන්නේය. මහණෙනි, මේ පළමුවන කම්පා කෙලෙසුන්ගෙන් කම්පා නොවන ආනේඥ ධ්‍යාන සමාධියට සමවදියි. මේ චතුර්ථ ධ්‍යානයට හිත වූ ප්‍රතිපදාවයයි කියනු ලැබේ.1011
[1011:- අටුවාව පැහැදිලි කරන්නේ මෙම ඡේදයේ සිව්වන ධ්යානයට ළඟා වීමෙන් පසු අරහත් බව අවබෝධ කර ගැනීමට නොහැකි වූ කෙනෙකුගේ නැවත ඉපදීමේ ක්‍රියාවලිය විස්තර කරන බවයි. “පුනර්ටභවයට තුඩුදෙන විඥාණය” (සම්වත්තනිකාරි විඥානය ) යනු මෙම පුද්ගලයා නැවත ඉපදෙන විඥානය වන අතර, මෙය සිව්වන ධ්‍යානය ට සමවැදීමට සකස් වූ විඥානය බඳුම වේ. එසේ හෙයින් ඔහු සිව් වන ධ්‍යානය ලත් කෙනෙකු පුනර්භවය ලබන තලයක ඉපැදුම ලබයි.]

මෙය, භික්ෂූන් වහන්සේලා, නොබිඳිය හැකි අරහත්බවට යොමු කළ පළමු මාර්ගය ලෙස ප්‍රකාශයට පත් කෙරේ.

§ 4. “මහණෙනි, නැවතද අනිකක් කියමි.
ආර්‍ය්‍යශ්‍රාවක තෙම මෙසේද ප්‍රත්‍යාවේක්ෂ කරයි.
‘මේආත්මයෙහිවූ යම් කාමයෝත් වෙත්ද, අනාගතයෙහි වන්නාවූ පරලෙව්හිවූ යම් කාමයෝ වෙත්ද, මේ ජීවිතයෙහි යම් කාම සංඥාවෝත් වෙත්ද, පරලෙව්හිවූ යම් කාම සංඥාවෝ වෙත්ද, ඒ සියල්ල සතරමහා භුතයෝද සතර මහා භුතයන් නිසා පවත්නා උපාදාය රූප නිසා හටගත්තාවූ ඒවා වේ.

මෙසේ චතුර්ථ ධ්‍යානයට පිළිපන්නාවූ, චතුර්ථ ධ්යානයෙහිම බහුල කොට වාසය කරන්නාවූ ඔහුගේ සිත ආකාසානඤ්චායතනයට පැමිණෙයි. එසේ පැහැදීම ඇතිකල්හි මේආත්මයෙහි ආකාසානඤ්චායතනයට හෝ පැමිණෙයි. ප්‍රඥාවෙන් හෝ මිදෙයි, (රහත් වෙයී.) ශරීරයාගේ බිඳීමෙන් මරණින් මත්තෙහි යම් කාරණයකින් ඒ භික්ෂුව උපදින්නාවූ විපාක විඤ්ඤාණයක් වේද එය ආකාසානඤ්චායතන කුසල චිත්තයට අනුව වන්නේය.

“මහණෙනි, මේ දෙවෙනිවූ කෙලෙසුන්ගෙන් කම්පානොවන ධ්‍යාන සමාධියට හිතවූ ප්‍රතිපදාවයයි කියනු ලැබේ.

§ 5 . “මහණෙනි, නැවත අනිකක්ද කියමි.
ආර්‍ය්‍ය ශ්‍රාවකයා මෙසේ ද ප්‍රත්‍යවේක්ෂා1012 කරයි.
[1012 අටුවාව:- මේ ප්‍රත්යාවෙක්ෂය ආකාසානඤ්චායතන ට සමවැදී ආර්ය ශ්‍රාවකයා කරන්නාවූ ප්‍රත්යවෙක්ෂය වේ. පුර්ණ විමුක්තිය නොලැබුවේ නම් ඔහු ආකාසානඤ්චායතන තලයක නැවත පහල වීම වේ.]

මෙලොවවූ යම් කාමයෝත් වෙත්ද, පරලොවවූ යම් කාමයෝත් වෙත්ද, යම් මෙලොවවූ කාම සංඥාවෝත් වෙත්ද, යම් පරලොවවූ කාම සංඥාවෝත් වෙත්ද, යම් මෙලොවවූ රූපයෝත් වෙත්ද, යම් පරලොවවූ රූපයෝත් වෙත්ද, යම් මෙලොවවූ රූපසංඥාවෝත් වෙත්ද, යම් පරලොවවූ රූප සංඥාවෝත් වෙත්ද, මේ දෙකොටසම අනිත්‍යය, යමක් අනිත්‍යයද, එයට එය සතුටුවන්නට නුසුදුසුය. මමය මාගේයයි කීමට නුසුදුසුය, තෘෂ්ණාවෙන් අල්ලා ගැනීමට නුසුදුසුය.

මෙසේ පිළිපන්නාවූ එය බහුල කොට වාසය කරන්නාවූ ඔහුගේ සිත විඤ්ඤාණඤ්චායතන හේතුවෙහි පහදියි. පැහැදීම ඇතිකල්හි හෝ විඤ්ඤාණඤ්චායතන සමාධියට පැමිණෙයි. ප්‍රඥාවෙන් හෝ මිදෙයි. (රහත් වෙයි) ශරීරයාගේ භෙදයෙන් මරණින් මතු යම් කාරණයකින් ඔහු උපදින්නාවූ විපකවිඤ්ඤාණය කුසල විඤ්ඤානඤ්චායතනයට සමාන වෙයි. මේ තුන්වන කෙළෙසුන්ගෙන් කම්පා නොවන ධ්‍යාන සමාධියට හිතවූ ප්‍රතිපදාවයයි කියනු ලැබේ.

§ 6. “මහණෙනි, නැවත අනිකක්ද කියමි.
ආර්‍ය්‍ය ශ්‍රාවකයා මෙසේ ප්‍රත්‍යවේක්ෂා කරයි.
‘මෙලොවවූ යම් කාමයෝත් වෙත්ද, පරලොවවූ යම් කාමයෝත් වෙත්ද මෙලොවවූ යම් කාම සංඥාවෝත් වෙත්ද, පරලොවවූ යම් කාම සංඥාවෝත් වෙත්ද, මෙලොවවූ යම් රූපයෝත් වෙත්ද, පරලොවවූ යම් රූපයෝත් වෙත්ද, මෙලොවවූ යම් රූප සංඥාවෝත් වෙත්ද, පරලොවවූ යම් රූපසංඥාවෝත් වෙත්ද, යම් කම්පා නොවන ධ්‍යාන සංඥාවෝත් වෙත්ද, යම් තැනක ඒ සියලු සංඥාවෝ ඉතිරි නොවී නිරුද්ධ වෙත්ද, ඒ ආකිඤ්චඤ්ඤායතන සමාධිය ශාන්තය එය ප්‍රණීත ය.

මෙසේ පිළිපන්නාවූ එය බහුල කොට වාසය කරන්නාවූ ඔහුගේ සිත ආකිඤ්චඤ්ඤායතන සමාධියට පත්වෙයි. ඔහු සිත එහි පහදියි. පැහැදීම ඇතිකල්හි මේ ජීවිතයෙහිම ඔහු ආකිඤ්චඤ්ඤායතන සමාධියට පැමිණෙයි. නැතිනම් ප්‍රඥාවෙන් හෝ මිදෙයි. (රහත්වෙයි) ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු යම් කාරණයකින් ඔහුගේ උත්පත්තියගෙන දෙන්නාවූ විපාක විපාකවිඤ්ඤාණය ආකිඤ්චඤ්ඤායතන කුසල විඤ්ඤාණයට ගැලපෙන්යනේය.

මහණෙනි, මේ පළමුවැනි ආකිඤ්චඤ්ඤායතන සමාධියට හිතවූ ප්‍රතිපදාවයයි කියනු ලැබේ.

§ 7. “මහණෙනි, නැවත අනිකක්ද කියමි.
ආර්‍ය්‍ය ශ්‍රාවකයා වන ආරණ්‍යයකට පැමිණියේ වේද හෝ වෘක්ෂමූලයට පැමිණියේ හෝ වේද හෝ සූණ්‍යාගාරයකට පැමිණියේ හෝ වේද ඔහු මෙසේ ප්‍රත්‍යවේක්ෂ කරයි .

මෙය මමය යන දෙයකින් හෝ මගේය යන දෙයකින් හෝ තොර වේ. සූන්‍ය වේ, මෙසේ ප්‍රත්‍යවේක්ෂ කරන්නා වූ එය බහුලකොට වාසය කරන්නාවූ ඔහුගේ සිත ආකිඤ්චඤායතන සමාධි හේතුවෙහි පහදියි. පැහැදීම ඇති කල්හි, මේ ජීවිතයෙහිම ආකිඤ්චඤායතන සමාධියට පැමිණෙයි. නැතහොත් ප්‍රඥාවෙන් හෝ මිදෙයි. (රහත් වෙයි) ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු ඔහුගේ යලි උත්පත්තිය සිදුවන විපාක විඤ්ඤාණය කුසල විඤ්ඤාණයට සමාන වෙයි.
මහණෙනි, මේ දෙවෙනි අකිඤ්චඤ්ඤායතන සමාධියට හිතවූ ප්‍රතිපදාවයයි කියනු ලැබේ.

§ 8 . මෙසේ වදාළ කල්හි ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය.
“ස්වාමීනි, මේ ශාසනයෙහි භික්ෂුවක් මෙසේ ප්‍රත්‍යවේක්ෂ කරන්නේ වෙයි.
ඉදින් මා විසින් පෙර කර්ම රැස් නොකරණ ලද්දේ නම් මාගේ මේ විපාක භවය නොපවත්නේය.
ඉදින් දැන් කර්ම රැස් නොකරන්නේ නම් මතු විපාක භවය නොපවත්නේය.
දැන් යම් පඤ්චස්කන්ධයක් ඇත්තේද, එය දුරු කරමි
” යි මෙසේ විදර්ශනා උපෙක්ෂාව ලබයි.”
ස්වාමීනි, මේ මහණහු පිරිනිවියේද?”

“ආනන්දය, මෙහි ඇතැම් මහණෙක් පිරිනිවන් පාන්නේය. මෙහි ඇතැම් මහණෙක් පිරිනිවන් නොපාන්නේයයි” වදාළේය.

§ 9. “ස්වාමීනි, ඇතැම් මහණෙක් පිරිනිවන් පාන්නේද, ඇතැම් මහණෙක් පිරිනිවන් නොපාන්නේද, ඊට හේතු කවරේද? ප්‍රත්‍ය කවරේද?”

“ආනන්දය, මේ ශාසනයෙහි මහණතෙම මෙසේ ප්‍රත්‍යාවේක්ෂ කරන්නේ වේ.
මා විසින් පෙර කර්ම රැස් නොකරණ ලද්දේ නම් මාගේ දැන් විපාක භවය නොපවතින්නේය. ඉදින් දැන් කර්ම රැස් නොකරන්නේ නම් මාගේ මතු විපාක භවය නොවන්නේය. දැන් යම් පඤ්චස්කන්ධයක් ඇත්තේද, එය දුරු කරමියි, මෙසේ විදර්ශනා උපේක්ෂාව ලබයි.

හෙතෙම ඒ උපෙක්ෂාවට මමය මාගේයයි සතුටු වෙයි. මමය මාගේයයි කියායි. මමය මාගේයයි තෘෂ්ණාවෙන් බැස ගනියි. ඒ උපෙක්ෂාවට සතුටුවන්නාවූ මමය යනාදීන් කියන්නාවූ තෘෂ්ණාවෙන් බැස ගත්තාවූ උපේක්ෂාව විඤ්ඤාණය ඇසුරු කරනලද්දේ වෙයි. එය දැඩිකොට අල්වා ගැනීමයි. ආනන්දය, දැඩිකොට අල්වා ගැනීම සහිතවූ මහණහු පිරිනිවන් පාන්නේ නොවෙයි.”

“ස්වාමීනි, දැඩිකොට අල්වාගන්නාවූ ඒ මහණහු කුමක් දැඩිසේ අල්වා ගනීද?”
“නෙවසඤ්ඤානාසඤ්ඤායතනයයි” වදාළේය.

“ස්වාමීනි, ඒ මහණතෙම වනාහි දැඩිකොට අල්වාගනු ලබන ශ්‍රේෂ්ඨවූ භවය අල්වා ගනියි.”
“ආනන්දය, ඒ මහණතෙම දැඩි කොට අල්වා ගනු ලබන ශ්‍රේෂ්ඨවූ භවය අල්වා ගන්නේය. ආනන්දය, යම් මේ නෙවසඤ්ඤානාසඤ්ඤායතනයක්වේද, මෙය වනාහි දැඩිව අල්වාගනු ලබන ශ්‍රේෂ්ඨ භවයයි.

§ 10 .ආනන්දය, මේ ශාසනයෙහි මහණතෙම මෙසේ පිළිපන්නේවෙයි.
‘පෙර මා විසින් කර්ම රැස් නොකරන ලද්දේ නම් දැන් මාගේ විපාක භවය නොවන්නේය. දැන් කර්ම රැස් නොකෙළේ නම් මතු මාගේ විපාක භවය නොවන්නේය. දැන් යම් පඤ්චස්කන්ධයක්වේද, එය දුරුකරමියි මෙසේ විදර්ශනානොපෙක්ෂාව ලබයිද හෙතෙම ඒ උපෙක්ෂාවට මමය මාගේයයි සතුටු නොවෙයි. මමය මාගේයයි නොකියයි. එහි තෘෂ්ණාවෙන් බැසගෙන නොසිටියි. ඒ උපෙක්ෂාවට සතුටු නොවන්නාවූ මමය මාගේයයි නොකියන්නාවූ එහි බැසගෙන නොසිටින්නාවූ ඔහුගේ එය ඇසුරු කළාවූ විඤ්ඤාණය නොවෙයි. එය දැඩිකොට අල්වාගැනීම නොවෙයි. ආනන්දය, දැඩිව අල්වාගැනීම නැත්තාවූ පිරිනිවන් පාන්නේ යයි” වදාළසේක.

§ 11 . “ස්වාමීනි, ආශ්චර්‍ය්‍යය. ස්වාමීනි, අද්භූතය, ස්වාමීනි. ඒ ඒ සමාපත්තිය, ඇසුරුකොට භාග්‍යවතුන් වහන්සේ විසින් ඕඝයන්ගේ එතර කිරීම වදාරණලදී. ස්වාමීනි, ආර්‍ය්‍යවූ විමොක්ෂය කවරේද?”

“ආනන්දය, මේ ශාසනයෙහි ආර්‍ය්‍යශ්‍රාවකයා මෙසේ කල්පනා කරයි. මෙලොවවූ යම් කාමයෝත් වෙත්ද, පරලොවවූ යම් කාමයෝත් වෙත්ද, මෙලොවවූ යම් කාම සංඥාවෝත් වෙත්ද, පරලොවවූ යම් කාම සාඥාවෝත් වෙත්ද, මෙලොවවු යම් රූපයෝත් වෙත්ද, පරලොවවූ යම් රූපයෝත් වෙත්ද, මෙලොවවූ යම් රූප සංඥාවෝත් වෙත්ද, පරලොවවූ යම් රූප සංඥාවෝත් වෙත්ද, යම් කම්පා නොවන ධ්‍යාන සංඥාවෝත් වෙත්ද, යම් ආකිඤ්චඤ්ඤායතන සංඥාවෝත් වෙත්ද, යම් නෙවසඤ්ඤානාසඤ්ඤායතන සංඥාවෝත්, වෙත්ද, මේ සියල්ල සක්කාය නම්වේ. ඒ සක්කාය නම්වූ ත්‍රෛභූමික සංස්කාරයන් කෙරෙන් දැඩිසේ අල්වා ගැනීමක් නැතිව චිත්තයාගේ යම් මිදීමක් වේද, එය අමෘතය නම්වේ.

“ආනන්දය,
මෙසේ මා විසින් කම්පා නොවන ධ්‍යාන සමාධියට හිතවූ ප්‍රතිපදාව දේශනා කරණලදී.
ආකිඤ්චඤ්ඤායතන සමාධියට හිතවූ ප්‍රතිපදාව දේශනා කරණ ලදී.
නෙවසඤ්ඤානාසඤ්ඤායතන සමාධියට හිතවූ ප්‍රතිපදාව දේශනා කරණලදී.
ඒ ඒ සමාධි ඇසුරුකොට ඔඝයන්ගේ එතර කිරීම දේශනා කරණලදී.
ආර්‍ය්‍යවූ විමොක්ෂය දේශනා කරණලදී.
ආනන්දය, ශ්‍රාවකයනට වැඩකැමතිවූ අනුකම්පා ඇත්තාවූ ශාස්තෘහු විසින් අනුකම්පා උපදවා කටයුතු යමක් වේද, මා විසින් එය තොපට කරණලදී.

ආනන්දය, නොයෙක් තැන වෘක්ෂමූල වෙත්, නොයෙක් තැන සූන්‍යාගාර වෙත්, ආනන්දය, ධ්‍යාන වඩව්. (සමාධිය උපදවව්.) ප්‍රමාද නොවව්. පසුව පසුතැවිලි නොවව්. මේ තොපට කරන්නාවූ අපගේ අනුශාසනාව වේයයි” භාග්‍යවතුන් වහන්සේ වදාළේය.

සතුටු සිත් ඇති ආනන්ද ස්ථවිරතෙම භාග්‍යවතුන් වහන්සේගේ වචනය සතුටින් පිළිගත්තේය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.