MN 03-01-04. සාමගාම සූත්‍රය

ශාසන යේ පරිහානිය අන්තර්ධානය ගැන අද බොහෝ දෙනා මත වාද ඉදිරිපත් කරති. මේ සම්බුද්ධ සාසනයේ පිරීහීමක් වෙන්නේ නම් ඒ සිදුවන්නේ අධර්මය ධර්මය ලෙස ප්‍රකට කරවීම හා මිනිසුන් එසේ අධර්මය ධර්මය සේ පිළිගැනීම නිසා පමණක් බව භාග්‍යවතුන් වහන්සේ මේ සුත්‍රයේදී වදාරයි.. සංඝයාගේ විනය පිරිහීම සාසන පරිහානියට තරම් වන කාරණයක් නොවන බවත් සංඝයාගේ ආරවුල් සන්සින්දුවා ගන්නට මේ ආර්ය සාසනයේ යොදා ඇති නොයෙක් මාර්ගයන් ගැනද මේ සුත්‍රයේ ලඝුවෙන් දැක්වේ.

එහෙත් අද ලංකාවේ බොහෝ සංඝයා වහන්සේ තම තමන් තේරුම් ගත්තේ මෙසේ යයි සුත්‍ර ධර්ම දෙසනා විකෘති ලෙස ඉදිරිපත් කරයි. ලාභ සත්කාර හා ප්‍රසිද්ධිය තකා මිනිසුන් තමන් වෙත නවා ගැනීමට මෙසේ අධර්මය ධර්මය ලෙස ඉදිරිපත් කිරීම මේ සුත්‍රයේ සඳහන් වන පරිදි සාසනයේ විනාසයේ මුල් කරුණයි. ඒ භික්ෂුන් නිවැරදි කර සාසනය පිරිසිදුව පවත්වා ගන්නට අනෙක් මහා ස්ථවිරයන්ට මේ සුත්රයේ සහ අනෙකුත් විනය පිටකයේ ස්ථානවල නොයෙක් ක්‍රියා කාරකම් භාග්‍යවතුන් වහන්සේ පෙන්වා ඇත. දැන්වත් මේ සඳහා රාජ්‍ය අනුග්‍රහය ද ගෙන සාසන ශුද්ධියක් කිරීමට කාලයයි.

§ 1. මා විසින් මෙසේ අසනලදී.
එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ ශාක්‍ය ජනපදයෙහිවූ “සාම” නම් ගමෙහි වැඩවසනසේක.

§ 2. එකල්හි “නිගණ්ඨනාත පුත්‍ර ” නම් ජෛන ශාස්තෘන් වහන්සේ පාවා නම් නුවර දී කාලක්‍රියා කළේය. ඔහුගේ මරණින් පසු ඔහුගේ ශ්‍රාවකයෝ දෙකොටසකට බෙදී ඔවුනොවුන් කෝලාහල කරමින් කළහ කරමින් දබර කරන්නට වන976. [976:- දීඝ නිකායේ 29 වන සුත්‍රය පාසාදික සුත්රය භාග්‍යවතුන් වහන්සේ ගෙන් පසු සංඝ සාමග්‍රිය ආරක්ෂා කර ගැනීම ගැන දක්වයි.]

‘නුඹ මේ ධර්ම විනය නොදන්නෙහිය, මම මේ ධර්ම විනය දනිමි. නුඹ කෙසේ මේ ධර්ම විනය දන්නෙහිද, නුඹ එහි වරදවා පිළිපන්නෙහිය. මම මනාකොට පිළිපන්නේ වෙමි. මම ශාස්තෘන් ගේ ධර්මය හරියටම අවබෝධ කෙළෙමි. නුඹට එහි අවබෝධයක් නොවේ. නුඹ පළමු කිය යුත්ත පසුව කීයෙහිය. පසුව කිය යුත්ත පළමු කීයෙහිය. තා විසින් පුරුදු නොකරණ ලද්ද, විවාදයට පැමිණ නැවතුනේය. තට වාදය නගන ලද්දේය. නිග්‍රහ කරණ ලද්දේවෙහිය. වාදයෙන් මිදීම පිණිස හැසිරෙව්, ඉදින් හැකි වන්නෙහි නම් අවුල් හරවයි.’ කියමින් එකම වධයක් මෙන් නිගණ්ඨනාත පුත්‍රයාගේ අතවැස්සන් මෙසේ දබර කෙරෙයි.

මේ නිගණ්ඨනාත පුත්‍රයාගේ සුදුවත් හඳනාවූ ගිහි ශ්‍රාවකයෝ මේ කලහය දැක නිගණ්ඨනාත පුත්‍රයාගේ අත වැස්සන් කෙරෙහි කළකිරුණහ. නොඇළුනු ස්වභාව ඇත්තාහුය, එම සසුනෙහි පසුබස්නා ස්වභාව ඇත්තාහු වෙත්. යහපත පිණිස නොකියන ලද්දාවූ යහ ඵලයක්න විද්පු‍යාමාන නොවන්නාවූ, නෛර්‍ය්‍යානික නොවූ, සංසිඳීම පිණිස නොපවත්නාවූ, සම්‍යක් සම්බුද්ධ නොවූවකු විසින් කියන ලද්දාවූ පිහිට නොසලසන්නාවූ පිළිසරණ නැත්තාවූ ධර්ම විනයක සැටි මෙසේ යැයි දුටහ.

§ 2. එසඳ “චුන්ද” සාමණේරයන් වහන්සේ978 [ සාරිපුත්ත මහා ස්වාමින් වහන්සේ ගේ බාලම සොහොයුරා ] පාවා නුවර වස් වසන ලදුව මේ සිදුවීම් දකින්නේ “අහෝ ශාස්තෘන් නැති කල්හි සාසනය මේසේ වැනසෙන්නේය. භගවත් ගෞතමයන් ගේ සාසනයටද මෙසේ වේදෝ හෝ”යි සන්වෙගවත් වුයේ සාම ගමට ගොස් ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වෙත පැමිණ මේ සිද්ධියද තමන් මේ බුද්ධ සාසනය ටද මෙසේ වේදෝ යි සංවේගයට පත් බවද කීය.

මෙසේ කී කල්හි ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙම චුන්ද සමණුද්දෙසයන්ට “ඇවැත් චුන්දය, මේ කථා පුවත භාග්‍යවතුන් වහන්සේට දන්වන්නට වටනේමය. ඇවැත් චුන්දය, අප භාග්‍යවතුන් වහන්සේ කරා එළඹ මේ කාරණය භාග්‍යවතුන් වහන්සේට කියමුයි” කීයා දෙදෙනා වහන්සේම භාග්‍යවතුන් වහන්සේ වෙත ගොස් වන්දනා කොට මෙපුවත දන්වා වදාළහ. ඉදින් ආනන්ද ආයුෂ්මතුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙසේ ද කීය.

“ස්වාමීනි, මේ සිද්ධිය නිසා අපටද මෙසේ අදහසක් ඇති විය. “අහෝ භාග්‍යවතුන් වහන්සේගේ ඇවෑමෙන් සංඝයා අතර එබඳු වාද විවාදයෙක් නොම උපදීවා. එසේ වාද විවාද වුවොත්ය ඒ බොහෝදෙනාට අවැඩ පිණිස බොහෝ දෙනාට අලාභය පිණිස බොහෝ දෙනාට අනර්ථ පිණිස දෙවි මිනිසුන්ට අහිත පිණිස දුක් පිණිස වන්නේය” කියායි.

§3. “ආනන්දය, තොප මේ ගැන කුමක් සිතන්නේද ,
මා විසින් නුවණින් අවබෝධකොටගත් යම් ධර්ම පරියායක් තොපට දේශනා කරණ ලද්දේද, එනම්,
(i) සතර සතිපට්ඨානයෝය,
(ii) සතර සම්‍යක් ප්‍රධානයෝය,
(iii) සතර ඍද්ධි පාදයෝය,
(iv) පඤ්චෙන්ද්‍රියයෝය,
(v) පඤ්ච බලයෝය,
(vi) සප්ත බොධ්‍යංගයෝය,
(vii) ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගය
යන මේවාය.

§4 ආනන්දය, මා විසින් උගන්වන ලද්දාවූ මේ ධර්ම පරියායන් වෙනත් ආකාරකින් දැක්කාවූ යැයි කියන්නාවූ භික්ෂුන් දෙනමක් පමණකුදු ඔබ දැක ඇත්තේද?
“නැත ස්වාමිනි ඒ ධර්ම පරියායන් වෙනත් ආකාරයක වෙතැයි කියන්නාවූ කිසි භික්ෂුවක් මා නොදිටිමි. සියලු භික්ෂුන් මේ සියලු ධර්මයන් එකම ආකාරයෙන් වටහා ගත්තේ වෙති. ඒ ගැන මාර්ගය හෝ ප්‍රතිපදාව ගැන ඔවුනතර කිසිදු වාදයක් නැත.

.“ස්වාමීනි, එසේ වුවද යම් භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේ ඇවෑමෙන් “ආජීවය” නිමිත්තෙන්979 හෝ ප්‍රාතිමොක්ඛය හේතුකොටගෙන හෝ විවාද කරන්නාහු නම් , ඒ විවාදය බොහෝදෙනාට අවැඩ පිණිස බොහෝදෙනාට දුක පිණිස බොහෝදෙනාට අනර්ථ පිණිස දෙවි මිනිසුන්ට අහිත පිණිස වන්නේයයි” ආනන්ද ස්ථවිරයන් කීය. [979: – භාග්‍යවතුන් වහන්සේ ජීවත්ව සිටියදී පවා මෙවන් වාද ඇති වූ බව මජ්ජිම නිකායේ කොසඹී සුත්‍රයේ දැක්වේ.]

.“ආනන්දය, ආජීවය හේතුකොටගෙන හෝ ප්‍රාතිමොක්ෂය හේතුකොටගෙන හෝ වාදයක්, විවාදයෙක් වේද, ඒ ඉතා සුළු වූ අල්ප වූ අවැදගත් වූ එකකි. ආනන්දය, මාර්ගය හෝ ප්‍රතිපදාව ගැන හෝ සංඝයා අතර විවාදයෙක් උපදින්නේද, ඒ විවාදය බොහෝදෙනාට අවැඩ පිණිස බොහෝදෙනාට අනර්ථය පිණිස දෙවි මිනිසුන්ට අහිත පිණිස දුක් පිණිස වන්නේයයි” වදාළේය.

වීවාද මුල

§5 . “ආනන්දය, විවාදයට මුල්වන්නාවූ කරුණු සයක් වෙත්.
කවර සයක්ද යත්?

§5 ආනන්දය, මේ ශාසනයෙහි මහනෙකු
(i) ඉක්මන් කෝප ඇත්තෙක්වේද එකට එක කරන්නෙක් වේද,
හෙතෙම ශාස්තෘන් වහන්සේ කෙරෙහි ගෞරව නොකරන්නෙක්ව, යටහත් පැවතුම් නැත්තෙක්ව වාසය කරයි. ධර්මය කෙරෙහිද ගෞරව නොකරන්නෙක්ව, යටහත් පැවතුම් නැත්තෙක්ව වාසය කරයි. සංඝයා කෙරෙහිද ගෞරව නොකරන්නෙක්ව, යටහත් පැවතුම් නැත්තෙක්ව වාසය කරයි. ශීලයද සම්පූර්ණ නොකරන්නෙක් වෙයි. ආනන්දය, යම් මහණෙක් ශාස්තෘන් වහන්සේ කෙරෙහි ගෞරව නොකරන්නේද, යටහත් පැවතුම් නැත්තෙක්ව වාසය කෙරේද, ධර්මය කෙරෙහි ගෞරව නැත්තේ යටත් පැවතුම් නැත්තේ වාසය කෙරේද, සංඝයා කෙරෙහි ගෞරව නොකරන්නෙක්ව, යටහත් පැවතුම් නැත්තෙක්ව වාසය කෙරේද, ශීලය සම්පූර්ණ නොකරන්නෙක් වේද, හෙතෙම සංඝයා අතර වාද විවාද උපදවයි. ඒ විවාදය බොහෝදෙනාට අවැඩ පිණිස, බොහෝදෙනාට දුක පිණිස, බොහෝදෙනාට අනර්ථ පිණිස, දෙවි මිනිසුන්ට අහිත පිණිස, දුක් පිණිස පවතියි.

ආනන්දය, ඉදින් තෙපි මේ විවාදයට මුල් කරුණවන අමනාපය, තරහව, කෝපය තමා කෙරෙහි හෝ පිටත්හි හෝ දකින්නාහුද, ආනන්දය, එහි තෙපි ඒ ලාමකවූ විවාද මූලය පහකිරීම පිණිස උත්සාහ දැරිය යුතුය. ආනන්දය, ඉදින් තෙපි මේ විවාදමූලය තමා කෙරෙහි හෝ පිටත්හි හෝ නොදක්නහු නම්, ආනන්දය, එහි තෙපි ඒ ලාමකවූ විවාද මූලය මත්තෙහි හටනොගැණීම පිණිස පිළිපදිය යුතුය.. මෙසේ මේ ලාමකවූ විවාද මූලයේ දුරුකිරීම වේ. මෙසේ මේ ලාමකවූ විවාද මූලයෙහි මතු හටගැනීම නොවේ

(ii) (මක්ඛය). “ආනන්දය, මහණකු ගුණමකු වූයේද (අනුන්ගේ ගුණ මැකීම) : බොහෝ විට තමනට උදව්වක් කල ශ්රමණයෙකු ගැන නරක කීම, සබ්‍රහ්මචරින්ගේ කිසිදු හොඳක් නොදැක, නරක පමණක් දැකීම වේද. …………….. මෙසේ මේ ලාමක විවාද මූලයාගේ මත්තෙහි නොහටගැනීම වේ.

(iii) පලාසය “ආනන්දය, මහණකු තමාට වඩා උසස් මහණෙකු (සමාජ පිළිගැන්මෙන්, ටානාන්තරයෙන්) තමා හා සමයයි සිතීම, තමාගේ දායකයන් සබ්රහ්මචරින්ගේ දායකයන්ට වඩා හොඳයි සිතීම, මෙය බොහෝ විට ඇතිවන්නේ මක්ඛය ද සමගමය. හිත කෙලෙසන්නකි.

(iv) මච්චරිය (තමාගේ ඇති සම්පත් සැඟවීම): පලාසය සමගම ඇතිවෙන මේ ධර්මය තමන්ගේ දේ සැගවීම, නැති බවක් පෙන්වීම, තමන්ගේ සතුට සැපය රැකගන්නට නිත්‍ය ලෙස තබාගන්නට හැකි යයි, ඇතිවෙන ධර්මතාව.

(v) ඉච්චා: අනුන් හෙලා දකින සුළු ගතිය , තමන් ප්‍රධානියා ලෙස අනුන් සිතා ගනිත්වායි කැමැත්ත

(vi) සටෝ “ආනන්දය, මහණකු කෛරාටිකවූයේද අනුන් මායාවෙන් රවටාද (මායාවී) ,……..

යුග ග්‍රාහ ප්‍රදාස ඇත්තේ වේද ……

(vii) පාපී සිතුවිලි හා මිථ්‍යාදෘෂ්ටි ඇත්තේ වෙයිද…..

(viii) තමාගේ දෘෂ්ටියම පමණක් අදහන්නේ අන් මතයක් නොපිලි ගනීද

. හෙතෙම ශාස්තෲන් වහන්සේ කෙරෙහි ගෞරව නැත්තේ යටහත් පැවතුම් නැත්තේ වාසය කරයි. ධර්මය කෙරෙහිද ගෞරව නැත්තේ යටහත් පැවතුම් නැත්තේ වාසය කරයි. සංඝයා කෙරෙහිද ගෞරව නැත්තේ යටහත් පැවතුම් නැත්තේ වාසය කරයි. ශික්ෂාවෙහිද සම්පූර්ණ කිරීම ඇත්තේ නොවෙයි. ආනන්දය, යම් ඒ මහණෙක් තෙම ශාස්තෲන් වහන්සේ කෙරෙහි ගෞරව නැත්තේ යටත් පැවතුම් නැත්තේ වාසය කෙරේද, ධර්මය කෙරෙහි ගෞරව නැත්තේ යටත් පැවතුම් නැත්තේ වාසය කෙරේද, සංඝයා කෙරෙහි ගෞරව නැත්තේ යටත් පැවතුම් නැත්තේ වාසය කෙරේද, ශික්ෂාවෙහි සම්පූර්ණ කිරීම ඇත්තේ නොවේද, හෙතෙම සංඝයා කෙරෙහි යම් විවාදයක් බොහෝදෙනාට අවැඩ පිණිස, බොහෝදෙනාට නොසැප පිණිස, බොහෝදෙනාට අනර්ථ පිණිස, දෙවි මිනිසුන්ට අහිත පිණිස, දුක් පිණිස වේද, එබඳු විවාද උපදවයි.

ආනන්දය, ඉදින් තෙපි මෙබඳු විවාදයට මුල් කරුණු තමා කෙරෙහි හෝ පිටත්හි හෝ දකින්නාහුද, ආනන්දය, තෙපි ඒ ලාමකවූ විවාදමූලය දුරුකිරීමට උත්සාහ කල යුත්තේමය.

. ආනන්දය, ඉදින් තෙපි මෙබඳු විවාද මූලය තමා කෙරෙහි හෝ පිටත්හි හෝ නොදක්නාහු නම් ආනන්දය, තෙපි ඒ ලාමකවූ විවාදමූලයාගේම මත්තෙහි නොහටගැනීම පිණිස පිළිපදින්නාහුය. මෙසේ මේ ලාමකවූ විවාද මූලයාගේ දුරුකිරීම වේ. මෙසේ මේ ලාමක විවාද මූලයාගේ මත්තෙහි නොහටගැනීම වේ.

. ආනන්දය, මේ වනාහි විවාදයට මුල් වන කාරනා සය වෙත්.

අධිකරණ සතර

හොර්නර් මහත්මා ගේ පරිවර්තනයේ අධිකරණ යනු නීතිමය ප්‍රශ්න විභාග කිරීම ලෙස දැක්වේ. මේ පාලි වචනය අපේ රටේ උසාවි සහ නීතිමය ප්‍රශ්න විසඳාලන ආයතන සඳහා බොහෝ කලක සිට භාවිතා වන්නේ එය අද සිංහල වචනයක් ලෙස පාවිච්චි වේ.

§ 6-‘ආනන්දය, අධිකරණ සතරක් වෙත්.
(a) ප්‍රතිපදාව හෝ විනය ගැන විවාද විසදුමට අධිකරණය, (විවාදාධිකරණය)
(b) සීල විපත්ති ආදීන් චොදනා කිරීම් පිළිබඳ අධිකරණය, (අනුවාදාධිකරණය)
(c) සප්ත ආපත්ති ස්කන්ධයන් පිළිබඳවූ අධිකරණය, (ආපත්තාධිකරණය)
(d) අවලොකන ආදී කටයුතු පිළිබඳ අධිකරණය, (කිච්චාධිකරණය)
ආනන්දය, මේ වනාහි අධිකරණයෝ සතර වෙත්.

§ 7 “ආනන්දය, උපන් අධිකරණයන්ගේ විසඳුම පිණිස සමථය පිණිස සංසිඳීම පිණිස අධිකරණ සමථ විසඳීම් ආකාර සතක් වෙත්. [විනය පිටකයේ 4 වන පොතේ විස්තර සහිතව සදහන් වේ.]

සම්මුඛා විනය දිය යුත්තේය.
සති විනය දියයුත්තේය.
අමුළ්හ විනය දියයුත්තේය.
ප්‍රතිඥාවෙන් කරවිය යුතුයි.
යෙභුය්‍යසිකාවය,
තස්සපාපිය්‍යසිකාය,
තිණවත්ථාරකය, යන සතයි.

. § 7.1. “ආනන්දය, කෙසේ නම් සම්මුඛා විනය වේද?

ආනන්දය, මේ ශාසනයෙහි භික්ෂූහු අධර්මය ධර්මයයි කියමින් හෝ ධර්මය අධර්මයයි කියමින් හෝ අවිනය විනයයි කියමින් හෝ විනය අවිනයයි කියමින් මත දෙසයිද, කලහ කෙරෙත්ද, ආනන්දය, එකල සියලුම ජ්‍යෙෂ්ඨ භික්ෂූන් විසින් සමගිව රැස්විය යුතුයි.
එසේ රැස්ව ධර්ම විනය පරීක්ෂාකර බැලියයුතුයි.
ධර්ම නීතිය අනුව චුදිත භික්ෂුව ගේ ප්‍රකාශ පරීක්ෂාකොට බලා යම් ආකාරයකින් ධර්ම නීතිය හා සමවේද, ඒ ආකාරයෙන් ඒ අධිකරණය, කලහය, සංසිඳවිය යුතුයි.
ආනන්දය, මෙසේ සංසිඳුවීම සම්මුඛා විනය නම් සංසිඳුවීමවේ. මෙසේ මේ ශාසනයෙහි සමහර අධිකරණයන්ගේ සංසිඳීම සම්මුඛා විනයයෙන් වේ.

§ 7,2 – “ආනන්දය, කෙසේනම් යෙභුය්‍යසිකා නම් සංසිඳවීම වේද,

ආනන්දය, ඉදින් ඒ භික්ෂූහු ඒ අධිකරණය ඒ ආවාසයෙහි ජ්‍යෙෂ්ඨ භික්ෂුන් වහන්සේලාට සංසිඳවන්ට නොහැකිවෙත් නම්, ආනන්දය, ඒ භික්ෂූන්ට වඩා වැඩි ප්‍රමාණයක් භික්ෂූහු සිටිනා ආවාසයක් තෝරාගෙන එහි යා යුත්තේය.
එහි සියල්ලන්ම සමගිව රැස්විය යුතුයි.
රැස්ව ධර්මය හා විනය අනුව එම චෝදනාව යලි පරීක්ෂාකර බැලිය යුතුයි.
ධර්ම විනය අනුව පරීක්ෂාකර බලා යම් ආකාරයකින් ධර්ම විනය හා සමවේද, ඒ ආකාරයෙන් ඒ අධිකරණය සංසිඳවිය යුතුයි. ආනන්දය, යෙභුය්‍යසිකා නම් සංසිඳවීම මෙසේ වේ. මේ ශාසනයෙහි ඇතැම් අධිකරණයන්ගේ සංසිඳීම මෙසේද වේ. එනම්, යෙභුය්‍යසිකාවෙනි.

§ 7.3 “ආනන්දය, කෙසේ නම් සතිවිනය නම් සංසිඳවීම වේද,

ආනන්දය, මේ ශාසනයෙහි මහණකු තවත් මහණෙකුට පාරාජිකාවකින් හෝ පාරාජිකාවට ලංවූ ඇවතකින් හෝ මෙබඳු ගරු ඇවතකින් ‘ආයුෂ්මත් තෙමේ පාරාජිකාවකට හෝ පාරාජිකාවට ලංවූ ඇවතකට හෝ මෙබඳු ගරු ඇවතකට පැමිණි බව මතකදැයි’ චෝදනා කරන්නේය .එවිට හෙතෙම ඇවැත්නි, මට පාරාජිකාවකට හෝ පාරාජිකාව ලංවූ ඇවතකට හෝ මෙබඳු ගරු ඇවතකට පැමිණි බවක් මට සිහි නොවෙමියි’ කියන්නේද, ආනන්දය, ඒ භික්ෂූහුහට සතිවිනය නම් පිළිවෙතින් සතිය විමසීම කොට සංසිඳවීම දිය යුත්තේය.

ආනන්දය, සතිවිනය නම් සංසිඳවීම මෙසේ වේ. මෙසේද වනාහි මේ සස්නෙහි ඇතැම් අධිකරණයන්ගේ සංසිඳීමවේ. එනම්, සතිවිනයයෙනි.

§ 7.4 -“ආනන්දය, කෙසේ නම් අමූළ්හ විනය නම් සංසිඳවීම වේද,

ආනන්දය, මේ ශාසනයෙහි මහණකු තවත් මහණෙකුට පාරාජිකාවකින් හෝ පාරාජිකාවට ලංවූ ඇවතකින් හෝ මෙබඳුවූ ගරු ඇවතකින් ‘ආයුෂ්මත් තෙමේ පාරාජිකාවකට හෝ පාරාජිකාව ලංවූ ඇවතකට හෝ මෙබඳු ගරු ඇවතකට පැමිණි බව මතකදැයි චොදනා කරන්නේය. හෙතෙම ‘ඇවැත්නි, මම පාරාජිකාවකට හෝ පැමිණියේ පාරාජිකාව ලංවූ ඇවතකට හෝ මෙබඳු ගරු ඇවතකට පැමිණිබව මතක නැතැයි කියන්නේය. හෙතෙම ඔහුට අවුල් හැරීම වැඩියක් අවුල් කෙරෙයි.

‘ආයුෂ්මත් තෙමේ යහපත්වම දැන ගනු මැනව. ඉදින් පාරාජිකාවකට හෝ පාරාජිකාවට ලංවූ ඇවතකට හෝ මෙබඳු ගරු ඇවතකට පැමිණි බව සිහි කෙරෙහිදැයි’ කියායි හෙතෙම මෙසේ කියයි. ‘ඇවැත්නි, මම වනාහි උමතු බවට, චිත්තයාගේ පෙරළීමට පැමිණියෙමි. ඒ උමතුවූ මා විසින් ශ්‍රමණයන්ට නුසුදුසුවූ බොහෝ දේ කරන ලදී. නුසුදුසු වචන කියනලදී. නුසුදුසු ක්‍රියා කරනලදී. මට එය මතක නැත. මුලාවූ මා විසින් එය කරණලදැයි’ කියන්නේය.

ආනන්දය, ඒ භික්ෂුහට අමූළ්හ විනය නම් සංසිඳුවීම දිය යුතුයි. ආනන්දය, මෙසේ වනාහි අමූළ්හ විනය නම් සංසිඳවීම වේ. මෙසේද වනාහී මේ ශාසනයෙහි ඇතැම් අධිකරණයන්ගේ සංසිඳීම වේ. එනම්ත අමූළ්හ විනයයෙනි.

§ 7 5- “ආනන්දය, කෙසේ නම්, පටිඤ්ඤාත කරණය සංසිඳවීම වේද,

ආනන්දය, මේ ශාසනයෙහි යම් මහණකු චොදනා කරණ ලද්දේ හෝ චෝදනා නොකරණ ලද්දේ හෝ මහණකු ඇවත සිහි කරයිද, ප්‍රකාශ කරයිද, ප්‍රකට කෙරේද, ආනන්දය, ඒ භික්ෂුව විසින් වැඩිමහලු භික්ෂුවක් කරා පැමිණ සිවුර එකාංශ කොට පොරවා පා වැඳ උක්කුටුකයෙන් ඉඳ ඇඳිලි බැඳගෙණ ‘ස්වාමීනි, මම මෙනම් ඇවතකට පැමිණියෙමි. එය දේශනා කරමියි’ මෙසේ කියයුතු වන්නේය.
වැඩි මහලු භික්ෂුව ‘ඇවත දක්නෙහිදැයි අසයි.’ හෙතෙම දක්නෙමියි කියන්නේය.
‘මත්තෙහි සංවරයට පැමිණෙන්නෙහිදැයි’ වැඩිමහල් තෙරුන් වහන්සේ අසයි.
‘සංවරයට පැමිණෙන්නෙමියි’ හෙතෙම කියන්නේය.
ආනන්දය, පටිඤ්ඤාතකරණය නම් සංසිඳවීම මෙසේ වේ.
මෙසේද ඇතැම් අධිකරණයන්ගේ සංසිඳීමවේ. එනම්, පටිඤ්ඤාත කරණයෙනි.

§ 7.6 -“ආනන්දය, කෙසේ නම්, තස්සපාපිය්‍යසිකා නම් සංසිඳවීම වේද?

ආනන්දය, මේ ශාසනයෙහි මහණෙක් තවත් මහණෙකුට ‘පාරාජිකාවකින් හෝ පාරාජිකාවට ලංවූ ඇවතකින් හෝ මෙබඳුවූ ගරු ඇවතකින් ආයුෂ්මත් තෙමේ පාරාජිකාවකට හෝ පාරාජිකාවකට ලංවූ ඇවතකට හෝ මෙබඳු ගරු ඇවතකට පැමිණියා මතකදැයි’ චොදනා කරන්නේය.
හෙතෙම මෙසේ කියයි. ‘ඇවැත්නි, මම පාරාජිකාවකට හෝ පාරාජිකාවට ලංවූ ඇවතකට හෝ මෙබඳු ගරු ඇවතකට පැමිණියා මට මතක නැතැයි’ කියන්නේය. හෙතෙම ඔහුට අවුල් හරින්නහු වැඩියක් අවුල් කෙරෙයි. ‘ආයුෂ්මත් තෙමේ, ඉදින් පාරාජිකාවකට හෝ, පාරාජිකාවට ලංවූ ඇවතකට හෝ මෙබඳු ගරු ඇවතකට පැමිණිබව මතක් වෙහිදැයි මනාකොටම දැනගනුවයි’ කියයි.
‘ඇවැත්නි, මට පාරාජිකාවකට හෝ පාරාජිකාවට ලංවූ ඇවතකට හෝ මෙබඳු ගරු ඇවතකට පැමිණි බව මතක නැත. ඇවැත්නි, මෙබඳු කුඩා ඇවතකට පැමිණිබව මතකයයි’ කියායි.
හෙතෙම අවුල් හරින්නහු වඩාත් අවුල් කෙරෙයි. ‘ආයුෂ්මත් තෙමේ ඉදින් පාරාජිකාවකට හෝ පාරාජිකාවට ලංවූ ඇවතකට හෝ මෙබඳු ගරු ඇවතකට පැමිණි බව මතකදැයි’ මනාකොට දැන ගනුවයි’ කියායි.
හෙතෙම මෙසේ කියයි. ‘ඇවැත්නි, මම වනාහි මෙනම් සුලු ඇවතකට පැමිණ නොඅසනලදුවම ප්‍රකාශ කරන්නෙමි. කිමෙක්ද? මම පාරාජිකාවකට හෝ පාරාජිකාවට ලංවූ ඇවතකට හෝ මෙබඳු ගරු ඇවතකට පැමිණ අසන ලදුව ප්‍රකාශ නොකරන්නෙම්දැ’යි කියන්නේය. හෙතෙම මෙසේ කියයි.
. ‘ඇවැත්නි, නුඹ වනාහි මෙනම් සුලු ඇවතකට පැමිණ නො අසන ලදුව ප්‍රකාශ නොකරන්නෙහිය, කිමෙක්ද, ඔබ පාරාජිකාවකට හෝ පාරාජිකාවට ලංවූ ඇවතකට හෝ මෙබඳු ගරු ඇවතට පැමිණ අසන ලදුව ප්‍රකාශ කරන්නෙහිද? ආයුෂ්මත් තෙමේ ඉදින් පාරාජිකාවකට හෝ පාරාජිකාවට ලංවූ ඇවතකට හෝ මෙබඳු ගරු ඇවතකට පැමිණි බව සිහි වන්නෙහිදැයි මනාකොටම දැනගනුවයි’ කියන්නේය.
ඒ භික්ෂු තෙමේ ‘ඇවැත්නි, මට පාරාජිකාවකට හෝ පාරාජිකාවට ලංවූ ඇවතකට හෝ මෙබඳු ගරු ඇවතට පැමිණි බව මතකය, ඉක්මන් කම නිසා හෝ අනිකක් කියනු කැමතිව මා විසින් මෙසේ අනිකක් කීම නිසා හෝ මට පාරාජිකාවකට හෝ පාරාජිකාවට ලංවූ ඇවතකට හෝ මෙබඳු ගරු ඇවතට පැමිණි බව මතක නැතැයි’ කියනලදී.

ආනන්දය, තස්සපාපිය්‍යසිකා නම් සංසිඳවීම මෙසේ වේ. මෙසේද ඇතැම් අධිකරණයන්ගේ සංසිඳීම වේ. එනම්, තස්ස පාපිය්‍යසිකාවෙනි.

§7.7 -“ආනන්දය, කෙසේ නම් තිණවත්ථාරක නම් සංසිඳවීම වේද?

ආනන්දය, මේ ශාසනයෙහි දබර කරන්නාවූ කලහ කරන්නාවූ විවාදයට පැමිණ වාසය කරන්නාවූ භික්ෂූන්ගේ බොහෝවූ ශ්‍රමණයන්ට නුසුදුසුවූ කියන ලද දෙය හා කරණලද දෙය පුරුදු කරණ ලද්දේ වෙයි. ආනන්දය, ඒ සියලුම භික්ෂූන් සමගිව රැස්විය යුතුයි. රැස්ව එක්පක්ෂයෙහිවූ භික්ෂූන්ගෙන් ඉතා දක්ෂවූ භික්ෂුවක් විසින් හුනස්නෙන් නැගිට සිව්රු ඒකාංස කොට ඇඳිළි බැඳගෙන සංඝයාහට මෙසේ දැන්විය යුත්තේය.

‘ස්වාමීනි, රැස්ව සිටින සියලු සංඝයා වහන්සේ මා කියන්නක් අසත්වා. හටගත් දබර ඇත්තාවූ හටගත් කලහ ඇත්තාවූ විවාදයට පැමිණ වාසය කරන්නාවූ අපගේ මේ බොහෝවූ ශ්‍රමණයන්ට නුසුදුසුවූ කියන ලද්දාවූද, කරන ලද්දාවූද, පුරුදු කරණ ලද්දාවූද දේවෙයි.‘ඉදින් සංඝයාට පැමිණි කල් ඇත්තේ නම්, මම මේ ආයුෂ්මතුන්ලාගේ යම් ඇවතකුත් වේද, තමන්ගේ යම් ඇවතකුත්වේද, මහත් වරද සහ ගිහියන් පිළිබඳ වරද හැර යම් සෙසු සියලු ඇවැත් මේ ආයුෂ්මතුන්ලාගේ ප්‍රයෝජනය පිණිසද, තමන්ගේ ප්‍රයෝජනය පිණිසද, සංඝයා මධ්‍යයෙහි තිණවත්ථාරක කර්මයෙන් දේශනා කරන්නෙමියි.’ (කියයුතුය)

“ඉක්බිති අනික් පක්ෂයෙක්හිවූ භික්ෂූන්ගෙන් ඉතා දක්ෂවූ භික්ෂුවක් විසින් හුනස්නෙන් නැගිට සිව්ර එකාංශ කොට පොරවා ඇදිළි බැඳගෙණ සංඝයාහට දැන්විය යුත්තේය.
‘ස්වාමීනි, මේ රැස්වූ සංඝ සමාගම මා කියන්නක් අසන සේක්වා. දබර කරන්නාවූ කලහ කරන්නාවූ විවාදයට පැමිණ වාසය කරන්නාවූ අපගේ ඒ බොහෝ වූ ශ්‍රමණයන්ට නුසුදුසුවූ කියන ලද්දාවූද, කරණ ලද්දාවූද, පුරුදු කරණ ලද්දාවූද දේවෙයි. ඉදින් සංඝයාට පැමිණි කල් ඇත්තේ නම්, මම මේ ආයුෂ්මතුන්ලාගේ යම් ඇවතකුත් වේද, තමාගේ යම් ඇවතකුත් වේද, මහත් වරද සහ ගිහියන් පිළිබඳ වරද හැර සෙසු සියලු වරද මේ ආයුෂ්මතුන්ලාගේ ප්‍රයෝජනය පිණිසද, තමාගේ ප්‍රයෝජනය පිණිසද, සංඝයා මධ්‍යයෙහි තිණවත්ථාරක කර්මයෙන් දෙසන්නෙමියි’ (කිය යුතුය).

“ආනන්දය, මෙසේ තිණවත්ථාරක නම් සංසිඳවීම වේ. මෙසේද වනාහි මේ ශාසනයෙහි ඇතැම් අධිකරණයන්ගේ සංසිඳීමවේ. එනම්, තිණවත්ථාරකයෙනි.

§ 8– “ආනන්දය,
ප්‍රියබව ඇතිකරන්නාවූ ගරුබව ඇති කරන්නාවූ සමගියෙන් රැස්වීම පිණිස විවාද නොකිරීම පිණිස සමගිය පිණිස එක්වීම පිණිස සිහිකටයුතු ධර්ම සයක් මේ සාසනයෙහි පවතිත්. එක්ව මහණදම් පුරන්නවුන් කෙරෙහි ඉදිරියෙහිද නොඉදිරියෙහිද (දුරින් සිටිනා සබ්‍රහ්මචාරීන් කෙරෙහිද) කලයුතු සංග්‍රහ සයක් මේ සසුනෙහි වෙයි.

කවර සයක්දයත්?

8.1. ආනන්දය, මේ ශාසනයෙහි මහණහුගේ මෛත්‍රී කාය කර්මය එළඹ සිටියේ වෙයිද. ප්‍රියබව ඇති කරන්නාවූ ගරුබව ඇතිකරන්නාවූ මේ සිහිකටයුතු ධර්මයද රැස්වීම පිණිස විවාද නොකිරීම පිණිස සමගිය පිණිස එක් වීම පිණිස පවතියි.

8.2. “ආනන්දය, නැවතද අනිකක් කියමි එකට මහණදම් පුරන භික්ෂුන් කෙරෙහි ඉදිරියෙහිද නොඉදිරියෙහි භික්ෂුහුගේ මෛත්‍රි වාග් කර්මය එළඹ සිටියේ වෙයි. ප්‍රිය කරන්නාවූ, ගරුකරන්නාවූ, මේ සිහිකටයුතු ධර්මයද සංග්‍රහය පිණිස විවාද නොකිරීම පිණිස සමගිය පිණිස එකඟ බව පිණිස පවතියි.

8.3. “ආනන්දය, නැවත අනිකක් කියමි. සබ්‍රම්සරුන් අභිමුඛයෙහිද අනභිමුඛයෙහිද භික්ෂුවගේ මෛත්‍රි මනොකර්මය එළඹ සිටියේ වෙයි. ප්‍රියබව කරන්නාවූ ගරුබව කරන්නාවූ මේ සිහි කටයුතු ධර්මයද, රැස්වීම පිණිස විවාද නොකිරීම පිණිස සමගිය පිණිස එක්වීම පිණිස පවතියි.

8.4. “ආනන්දය, නැවත අනිකක්ද කියමි. මහණතෙම යම් ඒ ධාර්මිකවූ දැහැමින් ලබනලද්දාවූ යටත් පිරිසෙයින් (පාත්‍රපර්යාපන්න මාත්‍රයකුදු) පාත්‍රයෙහි ඇතුළත් වූවක් පමණවූද ලැබීමක් වෙත්ද, එබඳුවූ ලැබීම් සිල්වත්වූ සබ්‍රම්සරුන් හා බෙදා හදා සමව බෙදා වළඳන්නෙක් වේද, ප්‍රියබව ඇති කරන්නාවූ ගරු බව ඇති කරන්නාවූ මේ සිහි කටයුතුවූ ධර්මයද, රැස්වීම පිණිස අවිවාද පිණිස සමගිය පිණිස එක්වීම පිණිස පවතියි.

8.5. “ආනන්දය, නැවතද අනිකක්ද කියමි. මහණ තෙම කඩනොවූ සිදුරු නොවූ කබර නොවූ කැළල් නොවූ දාසකමින් මිදුනාවූ නුවණැත්තන් විසින් පසස්නා ලද්දාවූ තෘෂ්ණා දෘෂ්ටි දෙකින් අල්වා නොගන්නා ලද්දාවූ සමාධිය පිණිස පවත්නාවූ යම් සීලයෝ වෙත්ද, එබඳු සීලයන් වඩන්නාවූ මහණහු සිය සබ්‍රම්සරුන් හා ඉදිරියෙහිද නොඉදිරියෙහිද සීලයෙන් සමාන බවට පැමිණ වාසය කරයිද ප්‍රියබව ඇතිකරන්නාවූ ගරුබව ඇතිකරන්නාවූ මේ සිහි කටයුතුවූ ධර්මයද රැස්වීම පිණිස අවිවාදය පිණිස සමගිය පිණිස එක්වීම පිණිස පවතියි.

8.6. “ආනන්දය, නැවත අනිකක්ද කියමි. මහණහු තමන් පිළිපදින්න වූ යම් ආර්‍ය්‍යවූ නෛර්‍ය්‍යාණිකවූ එය පිළිපදින්නාහුගේ දුක් නැසීම පිණිස පවත්නාවූ යම් ප්‍රඥාවක් වෙයිද එබඳු ප්‍රඥාවෙන් සබ්‍රම්සරුන් හා ඉදිරියෙහිද නොඉදිරියෙහිද සමාන බවට පැමිණ වාසය කරයිද, ප්‍රියබව ඇතිකරන්නාවූ ගරුබව ඇතිකරන්නාවූ මේ සිහිකටයුතු ධර්මයද රැස්වීම පිණිස අවිවාදය පිණිස එක්වීම පිණිස පවතියි.

ආනන්දය, ප්‍රියබව ඇතිකරන්නාවූ ගරුබව ඇතිකරන්නාවූ මේ සිහි කටයුතු ධර්ම සය රැස්වීම පිණිස අවිවාදය පිණිස සමගිය පිණිස එක්වීම පිණිස පවතිත්. ආනන්දය, ඉදින් තෙපි මේ සිහිකටයුතු ධර්ම සය සමාදන්ව පවත්නාහු නම්, ආනන්දය, තෙපි නොඉවසන්නාවූ කුඩා වරද ඇත්තාවූ හෝ මහත් වරද ඇත්තාවූ යම් වචනයක් දකිව්ද?”
“ස්වාමීනි නැත”
“ආනන්දය, එහෙයින් මේ සිහි කටයුතු ධර්ම සය සමාදන්ව පවතිව්.
එය තොපට බොහෝ කලක් හිත පිණිස සැප පිණිස වන්නේය.

”භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළේය.
සතුටු සිත් ඇත්තාවූ ආයුෂ්මත් ආනන්දස්ථවිර තෙම භාග්‍යවතුන් වහන්සේගේ වචනය සතුටින් පිළිගත්තේය.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.