AN 04-03. උරුවෙල වර්‍ගය

AN 04-03-01. සද්‍ධම්ම ගරුක සූත්‍රය

§ 1. එක් කාලයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර ජේතවනයෙහි අනේපිඬු සිටුහුගේ අරමෙහි වාසය කරණ සේක. එකල්හි දිනක භාග්‍යවතුන් වහන්සේ, ’’මහණෙනි’’ යි කියා භික්‍ෂූන් ආමන්ත්‍රණය කළ සේක. ’’පින්වතුන් වහන්ස’’, කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.

§ 2. ’’මහණෙනි, මම සම්බුද්ධත්වය අවබෝධ කල මුල් දිනයක උරුවෙල රටෙහි, නෙරඤ්ජරා නදී තීරයෙහි, අජපාල නුග රුක මුල සමාධිමත්ව, හුදෙකලාව නිදහස්ව  විවේකව හුන්නාවූ  මට මෙබඳු  කල්පනාවක් පහළ විය. තමා විසින් ගරු කටයුතු ගුරු භක්තියෙන් පිදියයුතු අනෙකෙකු නැත්තා සිතින් විඳිය හැකි සොම්නස නොවිඳියි. එසේ හිඳුම දුකකි. මම කවර නම් ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ ගරු සත්කාරකොට, පරමාදර්ශ කොට , ආශ්‍රයකොට වාසය කරම්ද?
’’මහණෙනි, ඒ සිතුවිල්ල විමසන මට මෙසේ දැකුම විය.

(i) , මම සම්පූර්‍ණ නොවූ සීලක්ඛන්‍ධයාගේ සම්පූර්‍ණ කිරීමක් ඇවැසි වේ නම් ඒ අසම්පුර්නවූ  සීලය සම්පුර්ණ කිරීමට උපදෙස් ගන්නට සුදුසු, අනෙක් ශ්‍රමණයෙකු හෝ බ්‍රාහ්මණයෙකු හෝ සොයා  සත්කාරකොට, ගරුකාරකොට, ඇසුරු කොට වාසය කරන්නෙම් නම් ඒ කල හැක්කකි. එසේ නමුත්  දෙවියන්, මරුන්, බඹුන්  අනන්ත ශ්‍රමණ බ්‍රාහ්මණයන් අතරද  මට වඩා ශීලයෙන් වැඩිවූ හෝ සමවූ , අනික් ශ්‍රමණයෙකු හෝ බ්‍රාහ්මණයෙකු හෝ නුවණැසින් නොදුටිමි. [CLIK: දීඝ නිකායේ බ්‍රහ්මජාල සුත්‍රය 7 චුල සීලය , 8 මැදුම් සීලය, 9 මහා සීලය කියවන්න)

(ii) ’’මම සම්පූර්‍ණ නොවූ සමාධික්ඛන්‍ධයාගේ සම්පූර්‍ණ කිරීමක් ඇවැසි වේ නම් ඒ අසම්පුර්නවූ  සමාධිය සම්පුර්ණ කිරීමට උපදෙස් ගන්නට සුදුසු, අනෙක් ශ්‍රමණයෙකු හෝ බ්‍රාහ්මණයෙකු හෝ සොයා  සත්කාරකොට, ගරුකාරකොට, ඇසුරු කොට වාසය කරන්නෙම් නම් ඒ කල හැක්කකි. එසේ නමුත්  දෙවියන්, මරුන්, බඹුන් ද අනන්ත ශ්‍රමණ බ්‍රාහ්මණයන් අතරද  මට වඩා සමාධියෙන් වැඩිවූ හෝ මා හා  සමවූ , අනික් ශ්‍රමණයෙකු හෝ බ්‍රාහ්මණයෙකු හෝ නුවණැසින් නොදුටිමි.

(iii)  සම්පූර්‍ණ නොවූ ප්‍රඥාස්ඛන්‍ධයාගේ සම්පූර්‍ණ කිරීමක් ඇවැසි වේ නම් ……. නොදුටිමි..
(iv) ’’මම සම්පූර්‍ණ නොවූ විමුක්ති ස්ඛන්‍ධයාගේ සම්පූර්‍ණ …… නොදකිමි.
’’ එසේ හෙයින් මහණෙනි, මා විසින් අවබෝධ කරණ ලද ධර්‍මය ශ්‍රේෂ්ඨ බව දැක, ඒ ධර්‍මය මම සත්කාරකොට, ගරුකාරකොට, ආශ්‍රයකොට වාසය කරන්නෙම් නම් යෙහෙකැයි යන මේ සිත ඇතිවිය.

§ 3. . ’’මහණෙනි, එකල්හි සහම්පතී මහා බ්‍රහ්මයන්, ඔහුගේ සිතින් මගේ සිතෙහි පහළවූ අදහස දැන, යම් සේ බලවත් පුරුෂයෙක් හැකුලූ අත දිග හරින්නේද, දිගු කළ අත හකුථවන්නේද, එසේ සැනෙකින්ම  බ්‍රහ්ම ලෝකයෙන් අන්තර්ධාන වී මගේ ඉදිරියෙහි පහළවිය. මහණෙනි, ඉක්බිති සහම්පතී බ්‍රහ්ම තෙම උතුරු සථව ඒකාංශකොට පෙරවා, දකුණු දන මඩල පොළොවෙහි ඇන,  ඇඳිලි බැඳ වැඳ නමස්කාර කොට මෙසේ කීය. 
“භාග්‍යවතුන් වහන්ස, එය එසේමය. සුගතයන් වහන්ස, එය එසේමය. ස්වාමීනි, අතීත කාලයෙහි යම්  අර්‍හත් සම්බුදු කෙනෙක් වූවාහුද, උන්වහන්සේලාද ධර්‍මයම සත්කාරකොට ගරුකාරකොට, ආශ්‍රයකොට වාසය කළාහුය.

ස්වාමීනි, අනාගත කාලයෙහි යම් ඒ අර්‍හත් සම්බුදු කෙනෙක් වන්නාහුද, උන්වහන්සේලාද ධර්‍මයම සත්කාරකොට ගරුකාරකොට, ආශ්‍රයකොට වාසය කරත්.

ස්වාමීනි, දැන් අර්‍හත් සම්‍යක් සම්බුද්‍ධවූ භාග්‍යවතුන් වහන්සේද ධර්‍මයම සත්කාරකොට, ගරුකාරකොට, ආශ්‍රයකොට වාසය කෙරෙත්වා. සහම්පතී මහා බ්‍රහ්ම රාජයා මෙසේ කීයේය. මෙසේ කියා නැවතද මෙසේ කීයේය. 

‘යෙ ච අතීතා සම්බුද්ධා, 
යෙ ච බුද්ධා අනාගතා; 
යො චෙතරහි සම්බුද්ධො,
බහූනං   සොකනාසනො.
‘‘සබ්බෙ සද්ධම්මගරුනො,
වීහරිංසු  විහරන්ති ච;
අථොපි විහරිස්සන්ති, 
එසා බුද්ධාන ධම්මතා.
‘‘තස්මා හි අත්තකාමෙන ,
 මහත්තමභිකඞ්ඛතා;
 සද්ධම්මො ගරුකාතබ්බො, 
සරං බුද්ධාන සාසන’’න්ති.

’අතීත කාලයෙහි යම් සම්බුදු කෙනෙක් වූවාහුද,
අනාගත කාලයෙහි යම් බුදු තෙනෙක් වන්නාහුද,
බොහෝ දෙනාගේ ශොක නසන වර්‍තමාන යම් බුදුවරයෙක් වේද,
ඒ සියලු දෙනා වහන්සේම සද්‍ධර්‍ම ගරුකව වාසය කළාහුය.
වාසය කරත්. යලිදු වාසය කරන්නාහුය.
මේ බුදුවරයන්ගේ ධර්‍මතාවයයි.
එසේ හෙයින් වැඩ කැමැත්තහු විසින්,
උසස් බව කැමති වන්නවුන් විසින්
බුදුවරුන්ගේ අනුශාසනය සිහි කරමින්
සද්‍ධර්‍මයට ගරු කළ යුතුයි.’’

. ’’මහණෙනි, සහම්පතී බ්‍රහ්මතෙම මෙසේ කියා මා වැඳ ගරුකොට එහිම අතුරුදහන් විය.

§ 4. මහණෙනි, ඉක්බිති මම බ්‍රහ්මයාගේ ඉල්ලීම දැන, එය මටද සුදුසුවූ හෙයින් , මා විසින් අවබෝධ කළ ඒ ධර්‍මයම සත්කාරකොට, ගරුකාරකොට, ආශ්‍රයකොට, වාසය කළෙමි. මහණෙනි, යම් කලෙක මේ සස්නෙහි සංඝයාද මහත් බවට උසස් බවට පැමිණියේද, එකල්හි සංඝයා කෙරෙහිද මගේ ගෞරවය මෙසේම ඇත්තේ වීය.’’

AN 04-03-02. බුද්‍ධාපචායන සූත්‍රය

§ 1. ’’මහණෙනි, ’’මහණෙනි, මම සම්බුද්ධත්වය අවබෝධ කල මුල් කාලයේ දිනයක, උරුවේලාවෙහි, නේරඤ්ජරා නදී තීරයෙහි, අජපල් නුග රුක මුල වැඩ වසන විට වයසෙන් බොහෝ හවුරුදු ගෙවුවාවූ , සිරුරෙන් දිරූ, වෘද්‍ධවූ, මහළුවූ, වයසට පැමිණි බ්‍රාහ්මණයෝ පිරිසක් එතැනට පැමිණ මා සමග සතුටු වූහ. සතුටුවිය යුතුවූ, සිහි කටයුතුවූ, කථාකොට නිමවා එකත් පසෙක සිටියාහුය.

[පරිවර්තකගේ සටහන: : මේ සුත්‍රයෙහි යම් කිසි නොගැලපීමක් පෙනේ. සිදුවීම දක්වා ඇත්තේ සම්බුද්ධත්වයට පැමිණීමෙන් ඉතා කිට්ටු දිනයක් බ්වුවක් ලෙසය. මේ භාග්‍යවතුන් වහන්සේ ධර්ම දේශනා කිරීම පටන් ගන්නට පෙරය. ඉසිපතනයේ මිගදායෙහි පංච වග්ග තාපසයන්ට කල දෙසනව්වෙන් පසුව භාග්‍යවතුනගේ තොරතුරු අන්‍ය පරිබ්‍රාජකයන් සහ ලෝකයා දැන ගත්තද, මේ කියවෙන දිනවල එසේ ප්‍රස්ද්ධියක් නොවූ කලෙක මෙසේ වැඩිහිටි බමුණන් අවුත් මේ ප්‍රශ්නයක් ඇසීම සැක මුසුය. ධර්ම චාරිකා පටන් ගෙන් කලකට පසුව මෙම ප්‍රශ්නයම ඇසු බව අංගුත්තර නිකායේ අට්ඨක නිපාතයෙහි 11 වන වෙරන්ජා සුත්‍රයෙහි දැක්වේ..බොහෝ විට මෙම සුත්‍රය වෙරන්ජා සුත්රහිම පිළිඹිබුවක් විය හැක.]

’’මහණෙනි, ඒ බ්‍රාහ්මණයෝ, මෙසේ ඇසුහ.
’භවත් ගෞතමයන් වහන්ස, ඔබ , වයසින් වෘද්‍ධවූ, ජේෂ්ඨ බමුණන් නොවඳියි කියාද, උපස්ථාන නොකරයි කියාද, අසුනින් නිමන්ත්‍රණ (හිඳීමට කීම) නොකෙරෙයි කියාද, අප විසින් අසන ලදී. ගෞතමයනි! එය එසේමද? ඔබ එසේ පැවතුම් ඇත්තේ නම් , එය නුසුදුසුය.’’
’’මහණෙනි, ඒ මට මේ ආයුෂ්මත්හු ස්ථවිරයන් හෝ (වැඩිමහල්ලා) ස්ථවිර බවට පත්කරණ ධර්ම හෝ නොදනිති. මහණෙනි, ඉදින් උත්පත්තියෙන් අසූ වයස්වූ හෝ අනූ වයස්වූ හෝ වර්‍ෂ සියයක්වූ හෝ වෘද්ධයෙක් වේද, හෙතෙම නොකල්හි කියන්නේ වේද, නොවූවත් කියන්නේද, අනර්ත්‍ථයෙන් කියන්නේද, අධර්මයෙන් කියන්නේද, නොහික්මීමෙන් කියන්නේ වේද, හෘදයෙහි තබා නෙගත යුතු වචනය කියන්නේද, කරුණු සහිතව නොකියන්නේද, සීමා නොදක්වා කියන්නේද, ලෞකික, ලෝකොත්තර අර්ත්‍ථය නැතිව කියන්නේද, හුදෙක් ඔහු අන්‍ධබාල ස්ථවිරයෙකි යන සංඛ්‍යාවටම පැමිණෙයි.
’’මහණෙනි, ඉදින් තරුණවූ, ලපටිවූ, කථ කෙස් ඇති, යහපත් යෞවනයෙන් යුක්ත, පළමුවෙනි වයසෙහි සිටි බාලයෙක් වේද, හෙතෙම සුදුසු කාලයෙහි කියයිද, අර්ත්‍ථයෙන් කියයිද, ධර්මයෙන් කියයිද, විනයෙන් කියයිද, සුදුසු කාලයෙන් කරුණු සහිතව කියයිද, සීමා දක්වා කියයිද, අර්ත්‍ථ සහිතව කියයිද, හෘදයෙහි තැන්පත් කර ගත යුතු වචන කියයිද, හුදෙක් හෙතෙම පණ්ඩිත ස්ථවිරයෙකි යන සංඛ්‍යාවට යයි.
’’මහණෙනි, මේ ස්ථවිර බව ඇතිකරණ ධර්‍ම සතරකි. කවර සතරක්ද යත්? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම සීලයෙන් යුක්ත වේද, ප්‍රාතිමොක්‍ෂ සීලයෙන් සංවරව වෙසෙයිද, ආචාරයෙන් හා ගෝචරයෙන් යුක්තද, සුලු වරදෙහිද බිය දක්නා සුථ වේද, ශික්‍ෂා පදයන් දැඩිව ගෙන හික්මේද, ඇසූ දේ දරන්නේද, ඇසූ දේ රැස්කරණ තැනද යම් ඒ ධර්‍ම කෙනෙක් මුල, මැද, අග යහපත්ද, අර්ත්‍ථ සහිතද, ව්‍යඤ්ජන සහිතද, හැම ලෙසින්ම සම්පූර්‍ණද, පිරිසිදු බ්‍රහ්මචර්‍ය්‍යාව ප්‍රකාශ කරයිද, ඔහු විසින් එබඳු ධර්මයෝ බොහෝ අසන ලද්දාහුද, දරන ලද්දාහුද, වචනයෙන් පුරුදු කරණ ලද්දාහුද, සිතින් සලකන ලද්දාහුද, ප්‍රඥාවෙන් ප්‍රතිවෙධ කරණ ලද්දාහුද, පිරිසිදු සිතින් ලැබුවාවූ මේ ආත්මයෙහි සැප විහරණ ඇති මේ ධ්‍යාන සතර කැමති පරිදි ලබන්නේ වේද, පහසුවෙන් ලබන්නේ වේද, නිදුකින් ලබන්නේ වේද, ආශ්‍රවයන්ගේ ක්‍ෂය කිරීමෙන් ආශ්‍රව රහිත අර්‍හත ඵල සමාධියද, අර්‍හත් ඵල ප්‍රඥාවද, මේ ආත්මයෙහිම තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන, ප්‍රත්‍යක්‍ෂකොට ඊට පැමිණ වාසය කරයිද, මහණෙනි, මේ ස්ථවිරභාවය ඇතිකරණ ධර්‍ම සතරය.
’’යමෙක් විසුරුණු සිතින් බොහෝ ප්‍රලාප දොඩවයිද, ලාමක දෘෂ්ටි ඇති, ඇලය රහිත, එකඟ නොවූ සිත් ඇති, අසද්ධර්‍මයෙහි ඇලුණු, මෘගයෙකු වැනි හෙතෙම ස්ථිරභාවයෙන් දුරව සිටියේය. යමෙක් ශීලයෙන් යුක්තද, ශ්‍රද්‍ධාවත්ද, වැටහීමෙන් යුක්තද, නුවණින් යුක්තද, සංයමද, ප්‍රඥාවෙන් අර්ත්‍ථය දනීද, සුයලු ධර්‍මයන්ගේ පරතෙරට ගියේද, රාගාදී හුල් රහිතද, වැටහෙන ප්‍රඥා ඇත්තේද,
’’ඉපදීම, මරණය දෙක ප්‍රහීණ වූයේද, සියලු බ්‍රහ්මචර්‍ය්‍යයෙන් යුක්තද, යමෙකුට ආශ්‍රවයෝ නැද්ද, ඔහු මම ථෙරයයි කියමි. මහණතෙම ආශ්‍රවයන් ක්‍ෂයවීමෙන් ස්ථවිරයයි කියනු ලැබේ.’’

AN 04-03 -02 . බුද්‍ධාපචායන සූත්‍රය

§ 1. “මහණෙනි, තථාගතයන් වහන්සේ විසින් ලෝකය (දුකඛ සත්‍යය) මනාව අවබෝධ කරණ ලදී. තථාගතයන් වහන්සේ ලෝකයෙන් වෙන්වූහ. මහණෙනි, ලෝකයට හේතුව තථාගතයන් වහන්සේ විසින් මනාව අවබෝධ කරණ ලදී. ලෝකයට හේතුව තථාගතයන් වහන්සේ විසින් ප්‍රහීණ කරණ ලදී. මහණෙනි, ලොක නිරෝධය තථාගතයන් වහන්සේ විසින් ප්‍රතිවේධ කරණ ලදී. ලොක නිරෝධය තථාගතයන් වහන්සේ විසින් ප්‍රත්‍යක්‍ෂ කරණ ලදී. මහණෙනි, ලොක නිරෝධගාමිනී ප්‍රතිපදාව තථාගතයන් වහන්සේ විසින් මනාව අවබෝධ කරණ ලදී. ලොක නිරෝධගාමිනී ප්‍රතිපදාව තථාගතයන් වහන්සේ විසින් වඩන ලදී.

§ 2 .“මහණෙනි, මරුන් සහිත, බඹුන් සහිත, දෙවි මිනිසුන් සහිත, ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත ප්‍රජාවෙහි දෙවියන් සහිත ලෝකයාගේ යම් රූපායතනයක් වේද, ශබ්දායතනයක් වේද, ගන්‍ධ රස පොට්ඨබ්බායතනයක් වේද, සැප දුක් ආදී ධර්‍මාරම්මණයක් වේද, සොයා හෝ නොසොයා පැමිණි, යමක් වේද, සොයන ලද්දක් වේද, සිතින් හැසිරෙන ලද්දක් වේද, ඒ සියල්ල තථාගතයන් වහන්සේ විසින් මනාව අවබෝධ කරණ ලදී. එසේ හෙයින් තථාගතයයි කියනු ලැබේ.

§ 3.“මහණෙනි, යම් රාත්‍රියක තථාගත තෙම අවබෝධ කරයිද, යම් රාත්‍රියක පිරිනිවෙයිද, මේ අතරෙහි යමක් වදාරයිද, කථාකරයිද, දක්වයිද, ඒ සියල්ල එසේම වේ. අනික් විධියකින් නොවේ. එසේ හෙයින් තථාගතයයි කියනු ලැබේ. මහණෙනි, තථාගත තෙම යම්සේ කියන්නේද, එසේම කරන්නේ වෙයි. යම්සේ කරන්නේද, එසේම කියන්නේ වෙයි. මෙසේ යම්සේ කියන්නේද, එසේ කරන්නේද, යම්සේ කරන්නේද, එසේ කියන්නේද. එහෙයින් තථාගතයයි කියනු ලැබේ.

§ 4.“මහණෙනි, මරුන් සහිත, බඹුන් සහිත, දෙවි මිනිසුන් සහිත, ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත ප්‍රජාවෙහි දෙවි මිනිසුන් සහිත ලෝකයන් තථාගත තෙම සියල්ලන් මැඩ පවත්වන්නේය. කවරකු විසිනුත් මැඩ පැවැත්විය නොහැක. ඒකාන්තයෙන් දක්නේය. වශඟයෙහි පවත්වන්නේය. එහෙයින් තථාගතයයි කියනු ලැබේ.

§ 5. “සියලු ලෝකය දැන, ත්‍රිවිධ ලෝකය යම්සේද, එසේ අවිපරීතකොට දැන, සියලු ලෝකයෙහි නොඇලුනේ, සියලු ලෝකයෙහි තෘෂ්ණා දෘෂ්ටි දෙකින් තොරවූයේ, සියලු ගැට මුදන්නාවූ, සියල්ල මැඩ පවත්වන්නාවූ, ප්‍රඥාවත්වූ, උන්වහන්සේ කිසිවකින් බිය නැති, පරම ශාන්ත නිවන ස්පර්‍ශ කෙළේ වේ.

§ 6.“ආශ්‍රවයන් ක්‍ෂය කළාවූ, දුක් නැත්තාවූ, සිඳිනලද සැක ඇත්තාවූ, සියලු කර්‍මයන් ක්‍ෂය කළාවූ, බුදුරජ තෙම, නිවන අරමුණුකොට ඇත්තාවූ ඵල විමුක්තියෙන් මිදුනේ වෙයි. ඒ භාග්‍යවත් තෙම බුද්‍ධය. උන්වහන්සේ අනුත්තරවූ සිංහ නම්. දෙවියන් සහිත ලෝකයාට ශ්‍රේෂ්ඨ ධර්‍ම චක්‍රය පැවැත්වූයේය.

§ 7.“එහෙයින් යම් දෙවියෝද, මනුෂ්‍යයෝද, බුදුන් සරණ ගියාහුද, ඔවුහු එක්ව පහවූ දැවීම් ඇති උන්වහන්සේ නමස්කාර කරත්. දැමුණේය. දමනය කරන්නවුන්ට ශ්‍රේෂ්ඨය. සංසිඳුනේය. සංසිඳෙන්නවුන්ට ඎෂිය. මිදුනේය. මිදෙන්නවුන්ට අග්‍රය. එතෙර විය. එතෙර වන්නවුන්ට උතුමි. දෙවියන් සහිත ලෝකයෙහි නුඹ වහන්සේට සමාන පුද්ගලයෙක් නැතැයි මෙසේ මහත්වූ වීතසාරදයන් වහන්සේ වඳිත්.”

AN 04-03-03. ලොකවිජානන සූත්‍රය

§ 1. “එක් කාලයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සාකේත නුවර කාලකාරාමයෙහි වාසය කරණ සේක. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ , “මහණෙනි” යි කියා භික්‍ෂූන් ඇමතූ සේක. ඒ භික්‍ෂූහු, “පින්වතුන් වහන්සැ” යි භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

§ 2.“මහණෙනි, මරුන් සහිත, බඹුන් සහිත, ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත, දිව්‍ය මනුෂ්‍යයන් සහිත ප්‍රජාවෙහි, දෙවියන් සහිත ලෝකයෙහි යම් රූපායතනයක් ඇද්ද, යම් ශබ්දායතනයක් ඇද්ද, ගන්‍ධරස ඵොට්ඨබ්බායතනයක් ඇද්ද, සැප දුක් ආදී ධර්‍මාරම්මණයක් වේද, සොයා හෝ නොසොයා පැමිණෙන ලද්දක් ඇද්ද, සොයන ලද්දක් වේද, සිතින් හසුරුවන ලද්දක් වේද,“ඒ සියල්ල මම මනාව අවබෝධ කෙළෙමි. එය තථාගතයන් විසින් ප්‍රකටව දැන ගන්නා ලදී. ඒ ෂඩ්ද්වාරික අරමුණු කරා තථාගත තෙමේ තෘෂ්ණා දෘෂ්ටි දෙකින් මහණෙනි, මරුන් සහිත, බඹුන් සහිත, ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත, දිව්‍ය මනුෂ්‍යයන් සහිත ප්‍රජාවෙහි, දෙවියන් සහිත ලෝකයෙහි යම් රූපායතනයක් ඇද්ද, යම් ශබ්දායතනයක් ඇද්ද, ගන්‍ධරස ඵොට්ඨබ්බායතනයක් ඇද්ද, සැප දුක් ආදී ධර්‍මාරම්මණයක් වේද, සොයා හෝ නොසොයා පැමිණෙන ලද්දක් ඇද්ද, සොයන ලද්දක් වේද, සිතින් හසුරුවන ලද්දක් වේද, එය මම දනිමියි කියන්නෙම් නම් එය මගේ මුසාවක් වන්නේය.

§ 3.“මහණෙනි, මරුන් සහිත, බඹුන් සහිත, ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත, දිව්‍ය මනුෂ්‍යයන් සහිත ප්‍රජාවෙහි, දෙවියන් සහිත ලෝකයෙහි යම් රූපායතනයක් ඇද්ද, යම් ශබ්දායතනයක් ඇද්ද, ගන්‍ධරස ඵොට්ඨබ්බායතනයක් ඇද්ද, සැප දුක් ආදී ධර්‍මාරම්මණයක් වේද, සොයා හෝ නොසොයා පැමිණෙන ලද්දක් ඇද්ද, සොයන ලද්දක් වේද, සිතින් හසුරුවන ලද්දක් වේද, එය මම දනිමියිද, නොදනිමියිද කියන්නේ නම් එයද එවැනිම මුසාවකි. එය මම නොම දනිමි. නොද දනිමියි කියන්නේ නම් එය මගේ දෝෂයකි.

§ 4.“මහණෙනි, මෙසේ තථාගත තෙම දැක්ක යුත්ත දැක, දක්නා ලද්ද තෘෂ්ණාදී වශයෙන් නොහඟියි. නොදක්නා ලද්ද දක්නෙමියි නොහඟියි. දක්නා ලද්දද, නොදක්නා ලද්දද, නොහඟියි. දක්නෙකු නොහඟියි. ඇසිය යුත්ත අසා, අසනලද්ද නොහඟියි. නොඇසිය යුත්ත නොහඟියි. ඇසිය යුත්තද, නොඇසිය යුත්තද, නොහඟියි. අසන්නෙකු නොහඟියි. නාසය, දිව, කය යන තුනෙන් දැනගතයුත්ත දැන නොහඟියි. නාසය, දිව, කන යන තුනෙන් නොදැක ගත යුත්ත නොහඟියි. නාසය, දිව, කය යන තුනෙන් දැනගත යුත්තද, නොදැන ගතයුත්තද නොහඟියි. දැනගන්නා නොහඟියි. දතයුත්ත දැන, දතයුත්තෙහි නොහඟියි. නොදතයුත්තෙහි නොහඟියි. දත යුත්තද, නොදතයුත්තද නොහඟියි. දන්නා නොහඟියි. මහණෙනි, මෙසේ වනාහි තථාගතයන් වහන්සේ දිට්ඨ, සුත, මුත, විඤ්ඤා.වූ ධර්‍මයන්හි එක සමානමය. එනිසා තාදීය. ඒ තාදීභාවයෙන් අතිශයින් උතුම්වූ හෝ ප්‍රණීතවූ හෝ අනික් තාදී පුද්ගලයෙක් නැතැයි කියමි.

§ 5.“අනුන් ඇදහීමෙන් සත්‍යයයි නිෂ්ටාවට පැමිණ ගන්නා ලද යම්කිසි දක්නා ලද්දක් හෝ අසන ලද්දක් හෝ දන්නා ලද්දක් හෝ තමාම සිහි කොට ගත් ග්‍රහණ ඇති දෘෂ්ටි ගතිකයන් කෙරෙහි ඇත්තක් හෝ බොරුවක් හෝ අනිකක් උතුම්කොට නොඅදහන්නේය. ඔවුන් අතරෙහි තාදී නොවේ. මේ දෘෂ්ටිය නමැති හුල බොධි මූලයෙහිම දැක, යම් තැනෙක්හි ලැගුනාවූ සත්ත්‍වයෝ නිමාවට ගියාහුද, එය එසේ දනිමි. දකිමි. තථාගතයන්ට එසේ තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් බැසගැන්මක් නැත.”

AN 04-03-04. කාලකාරාම සූත්‍රය

§ 1. “එක් කාලයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සාකේත නුවර කාලකාරාමයෙහි වාසය කරණ සේක. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ , “මහණෙනි” යි කියා භික්‍ෂූන් ඇමතූ සේක. ඒ භික්‍ෂූහු, “පිනවතුන් වහන්සැ” යි භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

§ 2.“මහණෙනි, මරුන් සහිත, බඹුන් සහිත, ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත, දිව්‍ය මනුෂ්‍යයන් සහිත ප්‍රජාවෙහි, දෙවියන් සහිත ලෝකයෙහි යම් රූපායතනයක් ඇද්ද, යම් ශබ්දායතනයක් ඇද්ද, ගන්‍ධරස ඵොට්ඨබ්බායතනයක් ඇද්ද, සැප දුක් ආදී ධර්‍මාරම්මණයක් වේද, සොයා හෝ නොසොයා පැමිණෙන ලද්දක් ඇද්ද, සොයන ලද්දක් වේද, සිතින් හසුරුවන ලද්දක් වේද,“ඒ සියල්ල මම මනාව අවබෝධ කෙළෙමි. එය තථාගතයන් විසින් ප්‍රකටව දැන ගන්නා ලදී. ඒ ෂඩ්ද්වාරික අරමුණු කරා තථාගත තෙමේ තෘෂ්ණා දෘෂ්ටි දෙකින් මහණෙනි, මරුන් සහිත, බඹුන් සහිත, ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත, දිව්‍ය මනුෂ්‍යයන් සහිත ප්‍රජාවෙහි, දෙවියන් සහිත ලෝකයෙහි යම් රූපායතනයක් ඇද්ද, යම් ශබ්දායතනයක් ඇද්ද, ගන්‍ධරස ඵොට්ඨබ්බායතනයක් ඇද්ද, සැප දුක් ආදී ධර්‍මාරම්මණයක් වේද, සොයා හෝ නොසොයා පැමිණෙන ලද්දක් ඇද්ද, සොයන ලද්දක් වේද, සිතින් හසුරුවන ලද්දක් වේද, එය මම දනිමියි කියන්නෙම් නම් එය මගේ මුසාවක් වන්නේය.

§ 3.“මහණෙනි, මරුන් සහිත, බඹුන් සහිත, ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත, දිව්‍ය මනුෂ්‍යයන් සහිත ප්‍රජාවෙහි, දෙවියන් සහිත ලෝකයෙහි යම් රූපායතනයක් ඇද්ද, යම් ශබ්දායතනයක් ඇද්ද, ගන්‍ධරස ඵොට්ඨබ්බායතනයක් ඇද්ද, සැප දුක් ආදී ධර්‍මාරම්මණයක් වේද, සොයා හෝ නොසොයා පැමිණෙන ලද්දක් ඇද්ද, සොයන ලද්දක් වේද, සිතින් හසුරුවන ලද්දක් වේද, එය මම දනිමියිද, නොදනිමියිද කියන්නේ නම් එයද එවැනිම මුසාවකි. එය මම නොම දනිමි. නොද දනිමියි කියන්නේ නම් එය මගේ දෝෂයකි.

§ 4.“මහණෙනි, මෙසේ තථාගත තෙම දැක්ක යුත්ත දැක, දක්නා ලද්ද තෘෂ්ණාදී වශයෙන් නොහඟියි. නොදක්නා ලද්ද දක්නෙමියි නොහඟියි. දක්නා ලද්දද, නොදක්නා ලද්දද, නොහඟියි. දක්නෙකු නොහඟියි. ඇසිය යුත්ත අසා, අසනලද්ද නොහඟියි. නොඇසිය යුත්ත නොහඟියි. ඇසිය යුත්තද, නොඇසිය යුත්තද, නොහඟියි. අසන්නෙකු නොහඟියි. නාසය, දිව, කය යන තුනෙන් දැනගතයුත්ත දැන නොහඟියි. නාසය, දිව, කන යන තුනෙන් නොදැක ගත යුත්ත නොහඟියි. නාසය, දිව, කය යන තුනෙන් දැනගත යුත්තද, නොදැන ගතයුත්තද නොහඟියි. දැනගන්නා නොහඟියි. දතයුත්ත දැන, දතයුත්තෙහි නොහඟියි. නොදතයුත්තෙහි නොහඟියි. දත යුත්තද, නොදතයුත්තද නොහඟියි. දන්නා නොහඟියි.

§ 5.මහණෙනි, මෙසේ වනාහි තථාගතයන් වහන්සේ දිට්ඨ, සුත, මුත, විඤ්ඤා.වූ ධර්‍මයන්හි එක සමානමය. එනිසා තාදීය. ඒ තාදීභාවයෙන් අතිශයින් උතුම්වූ හෝ ප්‍රණීතවූ හෝ අනික් තාදී පුද්ගලයෙක් නැතැයි කියමි.“අනුන් ඇදහීමෙන් සත්‍යයයි නිෂ්ටාවට පැමිණ ගන්නා ලද යම්කිසි දක්නා ලද්දක් හෝ අසන ලද්දක් හෝ දන්නා ලද්දක් හෝ තමාම සිහි කොට ගත් ග්‍රහණ ඇති දෘෂ්ටි ගතිකයන් කෙරෙහි ඇත්තක් හෝ බොරුවක් හෝ අනිකක් උතුම්කොට නොඅදහන්නේය. ඔවුන් අතරෙහි තාදී නොවේ. මේ දෘෂ්ටිය නමැති හුල බොධි මූලයෙහිම දැක, යම් තැනෙක්හි ලැගුනාවූ සත්ත්‍වයෝ නිමාවට ගියාහුද, එය එසේ දනිමි. දකිමි. තථාගතයන්ට එසේ තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් බැසගැන්මක් නැත.”

AN 04-03-05. බ්‍රහ්මචරියවාස සූත්‍රය

§ 1. “මහණෙනි, මම ජනයා විස්මය පත් කරවනු පිණිස, ජනයාගෙන් ප්‍රශංසා ලබන පිණිස, ලාභ, සත්කාර, කීර්ති, අනුසස් පිණිස බ්‍රහ්මචර්‍ය්‍යයෙහි නොහැසිරෙමි. වාදයන්ගෙන් ජය ගැනීම පිණිස මා මෙසේ ජන තෙම දනීවායි මේ බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි වසන්නේ නොවේ. හුදෙක් මහණෙනි, සංවරය පිණිස, ප්‍රහාණය පිණිස, විරාගය පිණිස, නිරෝධය පිණිස බ්‍රහ්මචර්‍ය්‍යයෙහි වසන්නේය.

§ 2.“ඒ භාග්‍යවතුන් වහන්සේ සංවරය පිණිසද, ප්‍රහාණය පිණිසද, නිර්‍වාණයට පැමිණීම පිණිස මේ බ්‍රහ්මචර්‍ය්‍යය දේශනා කළ සේක. මහත්‍වයට ගිය මහර්ෂීන් විසින් අනුගමනය කළ මේ මාර්ගය බුදුන් දේශනා කළ පරිදි යම් කිසිවෙක් එහි පිළිපදිත්ද, ශාස්තෲන් වහන්සේ අනුශාසනය කරන්නාවූ ඔවුහු දුක් කෙළවර කරන්නාහුය.”

AN 04-03-06. ධම්ම විරූහන සූත්‍රය

§ 1. “මහණෙනි, යම් ඒ මහණ තෙම කුහකද, ක්‍රෝධයෙන් හා මානයෙන් තදද, ලාභ සත්කාර ගරුකොට කියාද, සිංහ (අඟ) නම් ප්‍රකට කෙලෙස් ඇද්ද, නැග සිටි මාන ඇත්තාහුද, එකඟ නොවූ සිත් ඇත්තාහුද, මහණෙනි, ඒ භික්‍ෂූහු මා විසින් මමත්‍වය නොකරණ ලදහ. මහණෙනි, ඒ භික්‍ෂූහු මේ ධර්‍ම විනයෙන් පහවූහ. ඔවුහු මේ ධර්‍ම විනයෙහි, වෘද්ධියට, වැඩීමට, විපුලත්‍වයට නොපැමිණෙත්.

§ 2.“මහණෙනි, යම් ඒ භික්‍ෂුකෙනෙක් කුහක නොවෙත්ද, ලාභය පිණිස ගරු නම්බු දී කථා නොකරද්ද, ධෛර්‍ය්‍යවත්ද, තද නොවූවාහුද, සංසුන් සිත් ඇත්තාහුද, මහණෙනි, ඒ භික්‍ෂූහු මා විසින් මමත්‍වය කරණ ලදහ. මේ ධර්‍ම විනයෙන් පහ නොවූවාහුද වෙත්. ඔවුහු මේ ධර්‍ම විනයෙහි වෘද්ධියට, වැඩීමට, විපුලත්‍වයට පැමිණෙත්.

§ 3.“කුහකවූ, තදවූ, අනුන් පහත්කොට කථා කරන්නාවූ, මාන නමැති අං ඇති, ඔසවන ලද මාන නල ඇති, අසංයමවූ ඔවුහු සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින් දෙසන ලද ධර්‍මයෙහි නොවැඩෙත්. කුහක නොවූ, ලාභ බලාපොරොත්තුවෙන් කථා නොකරණ, ධෛර්‍ය්‍යවත්වූ, තද නොවූ, එකඟ සිත් ඇති ඔවුහු සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින් දේශිතවූ ධර්‍මයෙහි වැඩෙත්.”

AN 04-03-07. අප්පසුලභ සූත්‍රය

§ 1. “මහණෙනි, සුලුවූද, සුලභවූද, නිවරදවූද මේ සතර දෙනෙක් වෙත්.
කවර සතර දෙනෙක්ද යත්.

§ 2.“මහණෙනි, සිවුරු අතුරෙන් පාංශුකූල චීවරය සුලුද, සුලභද, නිවැරදිද වේ.
මහණෙනි, භොජනයන්ගෙන් පිණ්ඩපාත භොජනය, සුලුද, සුලභද, නිරවද්‍යද වේ.
මහණෙනි, සේනාසන අතුරෙන් වෘක්‍ෂ මූල සේනාසනය, සුලුද, සුලභද, නිරවද්‍යද වේ.
මහණෙනි, බෙහෙත් අතුරින් ගොමුත්‍රය, සුලුද, සුලභද, නිවරදද වේ.

මහණෙනි, මේ සතර සුලුද, සුලභද, නිරවද්‍යද වෙත්.

§ 2 .“මහණෙනි, යම් කලක පටන් භික්‍ෂුව සුලු දෙයින් සතුටුවූයේ වේද, සුලභ දෙයින් සතුටුවූයේ වේද, මේ ඔහුගේ එක්තරා ශ්‍රමණ භාවයට සුදුසු අංගයකැයි කියනු ලැබේ.

“සුලුද, සුලභවූද සෙනසුන්, සිවුරු, පියයුතු පානය, බුදියයුතු අහර යන නිර්දෝශ දෙයින් සතුටු භික්‍ෂුවගේ සිතට බාධාවක්, (දුකක්) නොවේ. දිශාවන්හි නොගැටේ. අප්‍රමාද සතුටු සිත් ඇති භික්‍ෂුවට පැවිදිකමට අනුලෝමවූ යම් ධර්‍ම කෙනෙක් වදාරණ ලද්දාහුද, ඔව්හු ලබන ලද්දාහ.”

AN 04-03-08. (මහා) අරියවංශ සූත්‍රය

§ 1. “මහණෙනි, මේ ආර්‍ය්‍යවංස සතර අග්‍රයයි දත යුත්තාහ. බොහෝ පැරණියයි දත යුත්තාහ. වංශය (පරපුර) යයි දත යුත්තාහ. අථත් දෙයක් නොවේයයි දත යුත්තාහ. බැහැර නොකරණ ලද්දාහ. පෙර බුදුවරයන් විසිනුදු අත් නොහරින ලදහ. දැනුදු අත් නොහරිත්. අනාගතයෙහිත් අත්නොහරින්නාහ. ශ්‍රමණයන් විසිනුදු, බ්‍රහ්මණයන් විසිනුදු, නුවණැත්තන් විසිනුදු ගර්‍හා නොකරණ ලද්දාහ. කවර සතර දෙනෙක්ද යත්?

§ 2.“මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම ලැබුණු යම්කිසි සිවුරකින් සතුටුවූයේ වේද, ලැබුණු යම්කිසි සිවුරක් ගැන සතුටුවීමෙහි ගුණ කියන්නේ වේද, සිවුරක් නිසා නුසුදුසු සෙවීමකට නොපැමිණෙයි. සිවුරු නොලැබීම හේතුකොටගෙන නොතැවෙයි. සිවුරු ලැබද, එහි නොඇලුණේ, මුසපත් නොවූයේ, නොගිලුණේ, ආදීනව දකිමින්, සසරින් නික්මීමේ නුවණින් යුක්තව පරිභොග කරයිද, ලැබුණු යම්කිසි සිවුරකින් සතුටුවීමෙන් තමන් උසස්කොට නොසිතයිද, අනුන් පහත්කොට නොසිතයිද,“ලද දෙයින් සතුටුවීමෙහි දක්‍ෂවූයේ, අලස නොවූයේ, නුවණින් හා සිහියෙන් යුක්තවූයේ වෙයි. මහණෙනි, මේ මහණ තෙම අග්‍රයයි දත යුතු පැරණි ආර්‍ය්‍ය වංශයෙහි සිටියේය.

§ 3.“මහණෙනි, නැවතද භික්‍ෂු තෙමේ ලැබුණු යම්කිසි පිණ්ඩපාතයකින් සතුටුවූයේ වේද, ලැබුණු යම්කිසි පිණ්ඩපාතයකින් සතුටුවීමේ ගුණ කියන්නේ වේද, පිණ්ඩපාත හේතුවෙන් නුසුදුසු සෙවීමකට නොපැමිණේද පිණ්ඩපාතය නොලැබීම නිසා නොතැවෙයිද. පිණ්ඩපාතය ලැබද, එහි නොඇලුණේ, තෘෂ්ණාවෙන් මුසපත් නුවූයේ, නොගිලුණේ, ආදීනව දකිමින්, සසරින් මිදීමේ නුවණින් යුක්තව වළඳයිද, ඒ ලැබුණු යම්කිසි පිණ්ඩපාතයකින් සතුටුවීමෙන් තමන් උසස්කොට නොසිතයිද, අනුන් පහත්කොට නොසිතයිද, හෙතෙමේ“ලද දෙයින් සතුටුවීමෙහි දක්‍ෂවූයේ, අලස නොවූයේ, නුවණින් හා සිහියෙන් යුක්තවූයේ වෙයි. මහණෙනි, මේ මහණ තෙම අග්‍රයයි දත යුතු පැරණි ආර්‍ය්‍ය වංශයෙහි සිටියේය.

§ 4.“මහණෙනි, නැවතද භික්‍ෂු තෙමේ ලැබුණු යම්කිසි සෙනසුනකින් සතුටුවූයේ වේද, ලැබුණු යම්කිසි සෙනසුනකින් සතුටුවීමේ ගුණ කියන්නේ වේද, සෙනසුන් හේතුවෙන් නුසුදුසු සෙවීමකට නොපැමිණේද සෙනසුනක් නොලැබීම නිසා නොතැවෙයිද. සෙනසුන ලැබද, ලෝභ නුවූයේ, තෘෂ්ණාවෙන් මුසපත් නුවූයේ, නොගිලුණේ, ආදීනව දකිමින්, සසරින් මිදීමේ නුවණින් පරිභොග කරයිද, ඒ ලැබුණු යම්කිසි සේනාසනයකින් සතුටුවීමෙන් තමන් උසස්කොට නොසිතයිද, අනුන් පහත්කොට නොසිතයි,“ලද දෙයින් සතුටුවීමෙහි දක්‍ෂවූයේ, අලස නොවූයේ, නුවණින් හා සිහියෙන් යුක්තවූයේ වෙයි. මහණෙනි, මේ මහණ තෙම අග්‍රයයි දත යුතු පැරණි ආර්‍ය්‍ය වංශයෙහි සිටියේය.

§ 5.“මහණෙනි, නැවතද භික්‍ෂුතෙම භාවනාවෙහි කැමැත්ත ඇත්තේ වේද, භාවනාවෙහි ඇලුනේ වේද, කෙලෙස් ප්‍රහාණයෙහි කැමැත්ත ඇත්තේද, කෙලෙස් ප්‍රහාණයෙහි ඇලුනේ වේද, ඒ භාවනාවෙහි කැමැත්තෙන්, භාවනාවෙහි ඇල්මෙන්, කෙලෙස් පහ කිරීමෙහි කැමැත්තෙන්, කෙලෙස් පහ කිරීමෙහි ඇල්මෙන්, තමා උසස් කොට නොසිතයි. අනුන් පහත් කොට නොසිතයි.“හෙතෙමේ එහි දක්‍ෂ වූයේ නොමැළි වූයේ. මනාව දන්නා නුවණින්ද, සිහියෙන්ද යුක්තවූයේ වෙයි. මහණෙනි, මේ මහණ තෙම අග්‍රයයි දතයුතු පුරාණ ආර්‍ය්‍ය වංශයෙහි සිටියේය.

§ 6.“මහණෙනි, මේ ආර්‍ය්‍ය වංශ සතර අග්‍රයයි දත යුත්තාහ. බොහෝ පැරණියයි දත යුත්තාහ. වංශයයි දත යුත්තාහ. අළුත් දෙයක් නොවේයයි දත යුත්තාහ. බැහැර නොකරණ ලද්දාහ. පෙර බුදුවරයන් විසිනුදු ඉවත් නොකරණ ලදහ. දැනුදු අත් නොහරිත්. අනාගතයෙහිත් අත් නොහරිත්. ශ්‍රමණයන් විසින්ද, බ්‍රාහ්මණයන් විසින්ද, නුවණැත්තන් විසින්ද, ගර්‍හා නොකරණ ලදී.

§ 7.“මහණෙනි, මේ සතර ආර්‍ය්‍ය වංශයෙන් යුක්තවූ භික්‍ෂුව ඉදින් පෙරදිග වසන්නේද, හෙතෙමේම අරතිය (සසුන්හි නොඇල්ම) යටපත් කරයි. අරතිය තොමෝ ඔහු යටපත් නොකරයි. ඉදින් පච්ඡිම දිශාවෙහි වාසය කරන්නේද, හෙතෙමේම අරතිය යටපත් කරයි. අරති තොමෝ ඔහු යටපත් නොකරයි. උතුරු දිශාවෙහි ඉදින් වසන්නේද, හෙතෙමේම අරතිය යටපත් කරයි. අරති තොමෝ ඔහු යටපත් නොකරයි. දකුණු දිසාවෙහි වසන්නේද, හෙතෙමේ අරතිය යටපත් කරයි. අරති තොමෝ ඔහු යටපත් නොකරයි. ඊට හේතු කවරේද? ප්‍රාඥ තෙමේ, අරතියද, පඤ්ච කාම ගුණයන්හි ඇලීමද, අභිභවනය කරන්නේය.“අරති තොමෝ වීර්‍ය්‍යවන්තයා අභිභවනය නොකරයිද, එහෙයින් අරතිය ධීරයා යටපත් නොකරයි. ධීර තෙමේ අරතිය අභිභවනය කරයිද, එහෙයින් ධීරයා අරතිය මඩින්නේ නම් වේ. සියලු ත්‍රෛභූමික ධර්‍මයන් පිරිසිඳ, කෙලෙසුන් පහකොට සිටි ඔහු, කවර නම් රාග, දෝෂ, මෝහයෙක් වලක්වන්නේද? ජාම්බොනද ස්වර්‍ණයක් වැනි ඔහුට කවරෙක් නින්‍දා කිරීමට සුදුසුද? ඔහුට දෙවියෝද ප්‍රශංසා කරත්. බ්‍රහ්මයා විසිනුදු ප්‍රශංසා කරණ ලදී.”

AN 04-03-09. ධම්මපද චතුක්ක සූත්‍රය

§ 1. “මහණෙනි, අග්‍රයයි දතයුතු, පැරණිවූ වංශයයයි දතයුතුවූ, අළුත් දෙයක් නොවූ බැහැර නොකරත්ද, පෙර බුදුවරයන් විසිනුදු බැහැර නොකළාහුද, දැනුදු අත් නොහරිත්. අනාගතයෙහිත් බැහැර නොකරන්නාහුය. ශ්‍රමණයන් විසින්ද, බ්‍රාහ්මණයන් විසින්ද, නුවණැත්තන් විසින්ද ගර්‍හා නොකරණ ලද මේ ධර්‍ම කොට්ඨාස සතරක් වෙත්.
කවර සතරක්ද යත්.

§ 2.“මහණෙනි, අනභිද්‍යාව (අලෝභය) යන ධර්‍ම පදය අග්‍රයයි දත යුතුය.“පැරණියයි දත යුතුය. වංශයයයි දත යුතුය. අළුත් දෙයක් නොවේ. බැහැර නොකට යුතුය. අත් නොහරින ලදී. දැනුදු අත් නොහරියි. මත්තෙහිද අත් නොහරින්නේය. ශ්‍රමණයන් විසින්ද, බ්‍රාහ්මණයන් විසින්ද, නුවණැත්තන් විසින්ද ගර්‍හා නොකරණ ලදී.

§ 3.“මහණෙනි, අව්‍යාපාද යන ධර්‍ම පදය අග්‍රයයි දත යුතුයි.“පැරණියයි දත යුතුය. වංශයයයි දත යුතුය. අළුත් දෙයක් නොවේ. බැහැර නොකට යුතුය. අත් නොහරින ලදී. දැනුදු අත් නොහරියි. මත්තෙහිද අත් නොහරින්නේය. ශ්‍රමණයන් විසින්ද, බ්‍රාහ්මණයන් විසින්ද, නුවණැත්තන් විසින්ද ගර්‍හා නොකරණ ලදී.

§ 4.“මහණෙනි, සම්මාසති යන ධම්ම පදය අග්‍රයයි දත යුතුයි.“පැරණියයි දත යුතුය. වංශයයයි දත යුතුය. අළුත් දෙයක් නොවේ. බැහැර නොකට යුතුය. අත් නොහරින ලදී. දැනුදු අත් නොහරියි. මත්තෙහිද අත් නොහරින්නේය. ශ්‍රමණයන් විසින්ද, බ්‍රාහ්මණයන් විසින්ද, නුවණැත්තන් විසින්ද ගර්‍හා නොකරණ ලදී.

§ 5. “මහණෙනි, සම්මා සමාධි යන ධර්‍ම පදය අග්‍රයයි දත යුතුයි.“පැරණියයි දත යුතුය. වංශයයයි දත යුතුය. අළුත් දෙයක් නොවේ. බැහැර නොකට යුතුය. අත් නොහරින ලදී. දැනුදු අත් නොහරියි. මත්තෙහිද අත් නොහරින්නේය. ශ්‍රමණයන් විසින්ද, බ්‍රාහ්මණයන් විසින්ද, නුවණැත්තන් විසින්ද ගර්‍හා නොකරණ ලදී.

“මහණෙනි, මේ ධර්‍ම පද සතර අග්‍රයයි දත යුත්තාහ. බොහෝ පැරණියයි දත යුත්තාහ. වංශයයි දතයුත්තාහ. අළුත් දෙයක් නොවේයයි දතයුත්තාහ. බැහැර නොකට යුත්තාහ. පෙරද අත් නොහරින ලදහ. දැනුදු අත් නොහරිත්. අනාගතයෙහිත් අත් නොහරින්නාහ. ශ්‍රමණයන් විසින්ද, බ්‍රාහ්මණයන් විසින්ද, නුවණැත්තන් විසින්ද ගර්‍හා නොකරණ ලදී.“තෘෂ්ණා විරහිතව, ව්‍යාපාද රහිත සිතින් වාසය කරන්නේය. සිහි ඇත්තේ, අධ්‍යාත්මය යටපත්ව තැබූයේ එකඟ සිත් ඇත්තේ වන්නේය.”

AN 04-03-10. සප්පීනියා තීර සූත්‍රය

§ 1. . එක් කාලයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර ගිජ්ඣකූට පර්‍වතයෙහි වාසය කරණ සේක. එකල්හි වනාහි බොහෝ ප්‍රසිද්‍ධ ප්‍රසිද්‍ධ පරිබ්‍රාජකයෝ සප්පීනියා ගං ඉවුරෙහි පරිබ්‍රාජකාරාමයෙහි වාසය කරත්. ඒ කවරහුද? අන්තභාර පරිබ්‍රාජකයාද, වරධර පරිබ්‍රාජකයාද, සකුළුදායී පරිබ්‍රාජකයාද, අනිකුත් ප්‍රසිද්‍ධ ප්‍රසිද්‍ධ පරිබ්‍රාජකයෝද වෙත්,

§ 2.“ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සවස් කාලයෙහි ඵල සමවතින් නැඟී සිටි සේක්, සප්පීනියා තොට පරිබ්‍රාජකාරාමය යම් තැනෙක්හිද, එහි වැඩි සේක. වැඩ පණවන ලද අස්නෙහි වැඩහුන් සේක. වැඩහුන් භාග්‍යවතුන් වහන්සේ, ඒ පරිබ්‍රාජකයන්ට මේ කරුණු වදාළ සේක.

§ 2. “පරිබ්‍රාජකවරුනි, අග්‍රයයි දතයුතු, පැරණිවූ වංශයයයි දතයුතුවූ, අළුත් දෙයක් නොවූ බැහැර නොකරත්ද, පෙර බුදුවරයන් විසිනුදු බැහැර නොකළාහුද, දැනුදු අත් නොහරිත්. අනාගතයෙහිත් බැහැර නොකරන්නාහුය. ශ්‍රමණයන් විසින්ද, බ්‍රාහ්මණයන් විසින්ද, නුවණැත්තන් විසින්ද ගර්‍හා නොකරණ ලද මේ ධර්‍ම කොට්ඨාස සතරක් වෙත්. කවර සතරක්ද යත්.

§ 3.“පරිබ්‍රාජකවරුනි, අනභිද්‍යාව (අලෝභය) යන ධර්‍ම පදය අග්‍රයයි දත යුතුය.“පැරණියයි දත යුතුය. වංශයයයි දත යුතුය. අළුත් දෙයක් නොවේ. බැහැර නොකට යුතුය. අත් නොහරින ලදී. දැනුදු අත් නොහරියි. මත්තෙහිද අත් නොහරින්නේය. ශ්‍රමණයන් විසින්ද, බ්‍රාහ්මණයන් විසින්ද, නුවණැත්තන් විසින්ද ගර්‍හා නොකරණ ලදී.“පරිබ්‍රාජකවරුනි, අව්‍යාපාද යන ධර්‍ම පදය අග්‍රයයි දත යුතුයි.“පැරණියයි දත යුතුය. වංශයයයි දත යුතුය. අළුත් දෙයක් නොවේ. බැහැර නොකට යුතුය. අත් නොහරින ලදී. දැනුදු අත් නොහරියි. මත්තෙහිද අත් නොහරින්නේය. ශ්‍රමණයන් විසින්ද, බ්‍රාහ්මණයන් විසින්ද, නුවණැත්තන් විසින්ද ගර්‍හා නොකරණ ලදී.

§ 4. “පරිබ්‍රාජකවරුනි, සම්මාසති යන ධම්ම පදය අග්‍රයයි දත යුතුයි.“පැරණියයි දත යුතුය. වංශයයයි දත යුතුය. අළුත් දෙයක් නොවේ. බැහැර නොකට යුතුය. අත් නොහරින ලදී. දැනුදු අත් නොහරියි. මත්තෙහිද අත් නොහරින්නේය. ශ්‍රමණයන් විසින්ද, බ්‍රාහ්මණයන් විසින්ද, නුවණැත්තන් විසින්ද ගර්‍හා නොකරණ ලදී.“පරිබ්‍රාජකවරුනි, සම්මා සමාධි යන ධර්‍ම පදය අග්‍රයයි දත යුතුයි.“පැරණියයි දත යුතුය. වංශයයයි දත යුතුය. අළුත් දෙයක් නොවේ. බැහැර නොකට යුතුය. අත් නොහරින ලදී. දැනුදු අත් නොහරියි. මත්තෙහිද අත් නොහරින්නේය. ශ්‍රමණයන් විසින්ද, බ්‍රාහ්මණයන් විසින්ද, නුවණැත්තන් විසින්ද ගර්‍හා නොකරණ ලදී.

§ 5.“පරිබ්‍රාජකයෙනි, යමෙක් ‘මම මේ අනභිද්‍යා ධර්ම පදය ප්‍රතික්‍ෂෙප කොට අභිජ්ඣා බහුලවූ කාමයන්හි තියුණු රාග ඇති, ශ්‍රමණයෙකු හෝ බ්‍රාහ්මණයෙකු හෝ පනවන්නෙමි’ යි මෙසේ කියන්නේ නම්, මම ඔහුට ඒ වචනයේදී ඒවා කියවා ප්‍රකාශ කෙරේවා, ඔහුගේ ආනුභාවය බලමි’ යි මෙසේ කියන්නෙමි.

‘පරිබ්‍රාජකයෙනි, හෙතෙමේ ඒකාන්තයෙන් අනභිධ්‍යා ධර්‍ම පදය ප්‍රතික්‍ෂෙප කොට, අභිද්‍යා බහුලකොට ඇති, කාමයන්හි තියුණු රාග ඇති, ශ්‍රමණයෙකු හෝ බ්‍රාහ්මණයෙකු හෝ පනවන්නේය යන මීට හේතු නැත්තේය.

§ 6.“පරිබ්‍රාජකයෙනි, යමෙක් ‘මම මේ අව්‍යාපාද ධර්‍ම පදය ප්‍රතික්‍ෂෙප කොට ව්‍යාපාද සිත් ඇති, දූෂ්‍යවූ සිත් ඇති ශ්‍රමණයෙකු හෝ බ්‍රාහ්මණයෙකු හෝ පනවන්නෙමි’ යි මෙසේ කියන්නේ නම්, ඒ මම එහි ඔහුට ‘ඒවා කියවා ප්‍රකාශ කෙරේවා, ඔහුගේ ආනුභාවය දකිමි’ යි මෙසේ කියන්නෙමි. ‘පරිබ්‍රාජකයෙනි, හෙතෙම ඒකාන්තයෙන් අව්‍යාපාද ධර්‍ම පදය ප්‍රතික්‍ෂෙප කොට, ව්‍යාපාද සිත් ඇති, දූෂ්‍යවූ සිත් ඇති ශ්‍රමණයෙකු හෝ බ්‍රාහ්මණයෙකු හෝ පනවන්නේය යන මීට හේතු නැත.

“පරිබ්‍රාජකයෙනි, යමෙක් ‘මම මේ සම්මා සති ධර්‍ම පදය ප්‍රතික්‍ෂෙප කොට මුළා සිහි ඇති, සම්‍යක් ප්‍රඥාව නැති, ශ්‍රමණයෙකු හෝ බ්‍රාහ්මණයෙකු හෝ පනවන්නෙමි’ යි මෙසේ කියන්නේ නම්, ඒ මම එහි ඔහුට ‘ඒවා කියවා ප්‍රකාශ කෙරේවා, ඔහුගේ ආනුභාවය දනිමි’ යි මෙසේ කියන්නෙමි. ‘පරිබ්‍රාජකයෙනි, හෙතෙම ඒකාන්තයෙන් සම්මා සති ධර්‍ම පදය ප්‍රතික්‍ෂෙප කොට, මුළා සිහි ඇති, සම්‍යක් ප්‍රඥා නැති, ශ්‍රමණයෙකු හෝ බ්‍රාහ්මණයෙකු හෝ පනවන්නේය යන මීට හේතු නැත්තේය.”.

§ 7.“පරිබ්‍රාජකයෙනි, යමෙක් ‘මම මේ සම්මා සමාධි ධම්ම පදය අත්හැර සමාධිගත නුවූ සිත් ඇති, විසුරුණු සිත් ඇති, අනික් ශ්‍රමණයෙකු හෝ බ්‍රාහ්මණයෙකු හෝ පනවන්නෙමි’ යි මෙසේ කියන්නේ මම ඔහුට එහිදී ‘ඒවා කියවා ප්‍රකාශ කෙරේවා, ඔහුගේ ආනුභාවය දකිමි’ යි මෙසේ කියන්නේය. ‘පරිබ්‍රාජකයෙනි, හෙතෙමේ ඒකාන්තයෙන් සම්මා සමාධි ධර්ම පදය ප්‍රතික්‍ෂෙප කොට, අසමාහිතවූ, විසුරුණු සිත් ඇත්තාවූ, ශ්‍රමණයෙකු හෝ බ්‍රාහ්මණයෙකු හෝ පනවන්නේය යන මීට හේතු නැත්තේය. පරිබ්‍රාජකයෙනි, යමෙක් මේ ධර්‍ම පද සතර ගරහිය යුතුයයි, ප්‍රතික්‍ෂෙප කළ යුතුයයි සිතන්නේද, ඔහුට මෙලොවම කරුණු සහිතව ගැරහිය යුතු තැනම වාද සතරක් පැමිණෙත්. කවර සතර දෙනෙක්ද යත්.
“ඉදින් පින්වත් තෙමේ අනභිද්‍යා ධම්මපදයට ගරහන්නේද, ආක්‍රොශ කරන්නේද, අභිජ්ඣා බහුලකොට ඇති, කාමයන්හි තියුණුවූ රාග ඇති, යම් ශ්‍රමණ බ්‍රාහ්මණ කෙනෙක් ඇද්ද, ඔහු පින්වත්හුගේ පිදිය යුත්තෝය. ඔවුහු පින්වතාගේ ප්‍රශංසා කටයුත්තෝය. ඉදින් පින්වත් තෙම අව්‍යාපාද ධර්‍මපදයට ගර්හා කරයිද, ආක්‍රොශ කෙරේද, ව්‍යාපාද සිත් ඇති, දූෂ්‍යවූ සිත් ඇති, යම් ඒ ශ්‍රමණ බ්‍රාහ්මණ කෙනෙක් ඇද්ද, ඔවුහු පින්වතාගේ පිදිය යුත්තෝය. ඔවුහු පින්වතාගේ ප්‍රශංසා කටයුත්තෝය. පින්වත, ඉදින් සම්මා සති ධම්මපදයටද ගරහයිද, ආක්‍රොශ කරයිද, මුලා සිහි ඇති, සම්‍යක් ප්‍රඥාව නැති, යම් ශ්‍රමණ බ්‍රාහ්මණ කෙනෙක් ඇද්ද, ඔවුහු පින්වතාගේ පිදිය යුත්තෝය. ඔවුහු පින්වතාගේ ප්‍රශංසා කටයුත්තෝය. ඉදින් සම්මාසමාධි ධම්මපදයට ගරහයිද, ආක්‍රොශ කරයිද, සමාහිත සිත් නැති, විසුරුණු සිත් ඇති, යම් ඒ ශ්‍රමණ බ්‍රාහ්මණ කෙනෙක් ඇද්ද, ඔවුහු පින්වත්හුගේ පිදිය යුත්තෝය. ඔවුහු පින්වත්හුගේ ප්‍රශංසා කටය්‍රත්තෝය. (යනුයි.)“පරිබ්‍රාජකයෙනි, යමෙක් මේ ධර්‍මපද සතර ගැරහිය යුතුකොට, ප්‍රතික්‍ෂෙප කළයුතු කොට සිතන්නේද, ඔහුට මෙලොවම කරුණු සහිත, ගැරහිය යුතු වාදයෝ සතර දෙනෙක් පැමිණෙත්. පරිබ්‍රාජකයෙනි, යමෙක් අහෙතුක වාද ඇති, අකිරිය වාද ඇති, නාස්තික වාද ඇති, උක්කල ජනපදවාසී වස්ස, භඤ්ඤ යන දෙදෙනෙක් වූවාහුද, ඔවුහුද මේ ධර්ම පද සතර නොගැරහිය යුතුකොට, ප්‍රතික්‍ෂෙප නොකළයුතුකොට සිතුවාහුය. ඊට හේතු කවරේද?

නින්‍දා භය නිසාය සහ උපවාද භය නිසාය.“හැමකල්හි ව්‍යාපාද නැත්තේ, සිහි ඇත්තේ, අධ්‍යාත්මයෙහි මනා සමාධියෙන් යුක්තවූයේ, අභිජ්ඣා විනය නම් අර්හත්‍වයෙහි හික්මෙන්නේ අප්‍රමත්තයයි කියනු ලැබේ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.