AN 10-17- ජානුස්සෝනි වග්ග II

AN 10-17-06.
අධම්මා ධම්ම සූත්‍රය
Talk by Ven Lenawa Mangala Thero

§ 1, “මහණෙනි,
අධර්මයද දතයුතුය. ධර්මයද, අනර්ත්‍ථයද දතයුතුය.
අර්ත්‍ථයද, අධර්මයද දැන, ධර්මයද, අනර්ත්‍ථයද දැන, අර්ත්‍ථයද දැන,
අර්ත්‍ථය යම්සේද, ධර්මය යම්සේද, එසේ පිළිපැදිය යුතුය.

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සුගතයන් වහන්සේ මෙය වදාරා, හුනස්නෙන් නැගිට වෙහෙරට වැඩි සේක.

§ 2. ඉක්බිති මේ ධර්මය අසා සිටියාවූ භික්ෂුන් සිතන්නේ , භාග්‍යවතුන් වහන්සේ විසින් කෙටියෙන් වදාළ මේ ඝාම්භිර ධර්මයෙහි විස්තාර්ථය කව්රුන් වහන්සේ වෙතින් විමසා දැන ගන්නමෝ දැයි කතිකා කරනුවේ මෙසේ අදහස් කළහ.

ආයුෂ්මත් මහාකච්චාන ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ විසින්මද මනාව වර්ණනා කරන ලද්දේය. සම්භාවනා කරණ ලද්දේය. භාග්‍යවතුන් වහන්සේ විසින් විස්තර වශයෙන් අන්‍ර්‍ථය නොබෙදන ලද, කොටින් වදාරණ ලද ධර්‍මයෙහි විස්තර වශයෙන් නුවණැති සබ්‍රම්සරුන්ට අර්ථය බෙදා දක්වන්නට සුදුසුය. ඒකාන්තයෙන් අපි ආයුෂ්මත් මහාකච්චාන ස්ථවිරයන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණෙන්නමු. පැමිණ, ආයුෂ්මත් මහාකච්චාන ස්ථවිරයන් වහන්සේගෙන් මේ කාරණය විචාරන්නෙමු නම් යෙහෙකැයි සිතූහ. අපට ආයුෂ්මත් මහාකච්චාන ස්ථවිරයන් වහන්සේ යම්සේ ප්‍රකාශ කරන්නේද, එසේ අපි දරන්නෙමු’ යි කීවාහුය.

“ඉක්බිති ඒ භික්‍ෂූහු ආයුෂ්මත් මහාකච්චාන ස්ථවිරයන් වහන්සේ වෙත පැමිණ, ආයුෂ්මත් මහාකච්චාන ස්ථවිරයන් වහන්සේ සමග සතුටුවූවාහුය. සතුටුවියයුතුවූ, සිහිකටයුතුවූ, කථාව කොට ආයුෂ්මත් මහාකච්චාන ස්ථවිරයන් වහන්සේට, මෙසේ කීහ.
“ඇවැත්නි, මහාකච්චානයෙනි, අපට භාග්‍යවතුන් වහන්සේ, ‘මහණෙනි, අධර්මයද දතයුතුය. ධර්මයද දතයුතුය. අනර්ථයද, අර්ථයද දතයුතුය. අධර්මයද, ධර්මයද දැන, අනර්ථයද, අර්ථයද දැන, ධර්මය, අර්ථය යම්සේද, එසේ පිළිපැදිය යුතුයයි කොටින් වදාරා වදාරා විස්තර වශයෙන් අර්ථය නොබෙදා, ආසනයෙන් නැගිට විහාරයට ඇතුළුවූ සේකැ” යි කීවාහුය. අප කෙරෙහි අනුකම්පාවෙන්, ආයුෂ්මත් මහාකච්චාන ස්ථවිරයන් වහන්සේ මේ ධර්මය බෙදා දක්වන සේක්වා” යි කීහ.

§ 3. “ඇවැත්නි, දැව අරටුවෙන් ප්‍රයෝජන ඇති, දැව සොයන පුරුෂයෙක් යම් සේ හරය සෙවීමෙහි හැසිරෙන්නේ පවත්නාවූ, මහා අරටුවෙක් ඇත්තාවූ මහත් වෘක්‍ෂයක්හුගේ මුල නොබලා , කඳ නොබලා, අතුකොළ අතර හරය සෙවීම සුදුසු යැයි සිතන්නේ නම් මේ කාරණයද එබඳු සේ යැයි දතයුතුයි.
“ආයුෂ්මතුන්ට බුදුන් හමුවෙහි සිට පැහැදිලි කිරීමක් කරන ලෙස නොඉල්වා ඒ භාග්‍යවතුන් වහන්සේ ඉක්මවා අපගෙන් මේ කාරණය ඇසිය යුතු කොට සිතව්ද. ඇවැත්නි, ඇසවූ, නුවණවූ, ධර්මයවූ, බ්‍රහ්මවූ, වාදීවූ, නියාමකවූ, අර්ථය තීරණය කරන්නාවූ, අමෘතය දෙන්නාවූ, ධර්මයට ස්වාමීවූ, තථාගතවූ, ඒ භාග්‍යවතුන් වහන්සේ දත යුත්ත දනී, දැක්ක යුත්ත දකී, තෙපි භාග්‍යවතුන් වහන්සේ කරාම ගොස් මෙය විචාරන්නාහු නම්, එයට මේ කාලය වේ. අපගේ භාග්‍යවතුන් වහන්සේ ඔබහට ප්‍රකාශ කරන්නේ යම්සේද, එසේ එය දරව්” යයි කීයේය.

§4, “ඇවැත්නි, මහාකච්චාන ස්ථවිරයෙනි, ඇසවූ, නුවණවූ, ධර්මයවූ, බ්‍රහ්මවූ, වාදීවූ, නියාමකවූ, අර්ථය තීරණය කරන්නාවූ, අමෘතය දෙන්නාවූ, ධර්ම ස්වාමීවූ, තථාගතවූ, භාග්‍යවතුන් වහන්සේ ඒකාන්තයෙන් දත යුත්ත දනී, දැක්ක යුත්ත දකී, යම්බඳුවූ අපි භාග්‍යවතුන් වහන්සේ කරාම පැමිණ මෙයම විචාරන්නෙමු නම්, එයට මෙම කාලය විය. භාග්‍යවතුන් වහන්සේ අපට ප්‍රකාශ කරන්නේ යම්සේද, එය එසේ දරන්නෙමු.

“එතකුදු වුවත් ආයුෂ්මත් මහාකච්චාන ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ විසින්ම බොහෝ සේ වර්‍ණනා කරණ ලද්දේ, ප්‍රශංසා කරණ ලද්දේය. ආයුෂ්මත් මහාකච්චාන ස්වාමින් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ විසින් විස්තර වශයෙන්, අර්ථය නොබෙදන ලද, කොටින් වදාරණ ලද, ධර්මයෙහි අර්ථය නුවණැති සබ්‍රම්සරුන්ට විස්තර වශයෙන් බෙදන්නට දක්ෂය. ආයුෂ්මත් මහාකච්චාන ස්ථවිරයන් වහන්සේ මේ බරක්කොට නොගෙන මේ ධර්ම පරියාය විස්තර සේ බෙදා දක්වත්වා” යි කීවාහුය.

§5. “ඇවැත්නි, එසේ නම් අසව්. හොඳට මෙනෙහි කරව්. කියන්නෙමි” යි වදාළ සේක. “ඇවැත්නි, එසේය” යි ඒ භික්‍ෂූහු ආයුෂ්මත් මහාකච්චාන ස්ථවිරයන්ට පිළිතුරු දුන්හ.ආයුෂමත් මහාකච්චායන ස්වාමින් වහන්සේ, “ඇවැත්නි, අපගේ භාග්‍යවතුන් වහන්සේ මෙසේ යමක් කොටින් වදාරා විස්තර නොකොට අස්නෙන් නැගිට විහාරයට වැඩි සේක්ද,
ඇවැත්නි, අධර්මයද, ධර්‍මයද දත යුතුය. අනර්ත්‍ථයද, අර්ත්‍ථයද දත යුතුය. අධර්මයද, ධර්මයද දැන, අනර්ත්‍ථයද, අර්ත්‍ථයද දැන, ධර්මය අනුව, අර්ත්‍ථය අනුව, එසේ පිළිපැදිය යුතුය.

“ඇවැත්නි, අධර්මය කවරේද? ධර්මය කවරේද? අනර්ත්‍ථය කවරේද? අර්ත්‍ථය කවරේද?

§ 6.1. මහණෙනි, ප්‍රාණ ඝාතනය අධර්මයයි. ප්‍රාණ ඝාතයෙන් වෙන්වීම හෙවත් විරමණය ධර්මයයි. පර පන නැසීමට අයත් නොයෙක් ලාමක අකුශල ධර්‍මයෝ පහළවෙත්නම් ඒ අනර්තයයි. පර පන නොනසා අභය දීමට නොයෙක් කුශල ධර්මයෝ වැඩීමෙන් සම්පූර්‍ණවීමට යත් නම් මේ අර්ත්‍ථයයි.

§ 6.2. “ඇවැත්නි, අන් සතු දෑ ගැනීම අධර්මයයි. එසේ අන් සත්තක් සතු කර ගන්නට විෂම ලෝභයෙන් සිතීම අධර්‍මයයි. අන් සතු දෑ අප ගැනුම වැරදි බව නිවැරැදි සිතීම ධර්‍මයයි. වැරදි සිතීම නිසා අභිජ්ජාවෙන් නොයෙක් ලාමක අකුශල ධර්‍මයෝ පහළවෙත් නම් මේ අනර්ත්‍ථයයි. නිවැරැදි සිතීම නිසා අනභිජ්ජා ප්‍රත්‍යයෙන් නොයෙක් කුශල ධර්මයෝ වැඩීමෙන් සම්පූර්‍ණභාවයට යත්. මේ අර්ත්‍ථයයි. [අභිජ්ජාව = තමන්ගේ නොවන හෝ අනුන් සතු දෙයක් මට ඇත්නම් හොඳයැයි සිතීම්]

§ 6.3 . “ඇවැත්නි, වැරදි කථාව අධර්‍මයයි. නිවැරැදි කථාව ධර්‍මයයි. වැරදි කථාව නිසා නොයෙක් ලාමක අකුශල ධර්‍මයෝ පහළවෙත්. මේ අනර්ත්‍ථයයි. නිවැරැදි කථාව නිසා නොයෙක් කුශල ධර්මයෝ වැඩීමෙන් සම්පූර්‍ණ බවට යත්. මේ අර්ත්‍ථයයි.

§ 6. 4. “ඇවැත්නි, වැරදි ක්‍රියාව අධර්‍මයයි. යහපත් ක්‍රියාව ධර්‍මයමයි. වැරදි ක්‍රියාව නිසා නොයෙක් ලාමක අකුශල ධර්‍මයෝ පහළවෙත්. මේ අනර්ත්‍ථයයි. නිවැරැදි ක්‍රියාව නිසා නොයෙක් කුශල ධර්මයෝ වැඩීමෙන් සම්පූර්‍ණබවට යත්. මේ අර්ත්‍ථයයි.

§ 6. 5. “ඇවැත්නි, වැරදි පැවැත්ම අධර්‍මයයි. නිවැරැදි පැවැත්ම ධර්‍මයයි. වැරදි පැවැත්ම නිසා නොයෙක් ලාමක අකුශල ධර්‍මයෝ පහළවෙත්. මේ අනර්ත්‍ථයයි. නිවැරැදි පැවැත්ම නිසා නොයෙක් කුශල ධර්මයෝ වැඩීමෙන් සම්පූර්‍ණවීමට යත්. මේ අර්ත්‍ථයයි.

§ 6. 6. “ඇවැත්නි, වැරදි වෑයම අධර්‍මයයි. නිවැරැදි වෑයම ධර්‍මයමයි. වැරදි වෑයම නිසා නොයෙක් ලාමක අකුශල ධර්‍මයෝ පහළවෙත්. මේ අනර්ත්‍ථයයි. නිවැරැදි වෑයම නිසා නොයෙක් කුශල ධර්මයෝ වැඩීමෙන් සම්පූර්‍ණභාවයට යත්. මේ අර්ත්‍ථයයි.

§ 6. 7. “ඇවැත්නි, වැරදි සිහිය අධර්‍මයයි. නිවැරැදි සිහිය ධර්‍මයයි. වැරදි සිහිය නිසා නොයෙක් ලාමක අකුශල ධර්‍මයෝ පහළවෙත්. මේ අනර්ත්‍ථයයි. නිවැරැදි සිහිය නිසා නොයෙක් කුශල ධර්මයෝ වැඩීමෙන් සම්පූර්‍ණබවට යත්. මේ අර්ත්‍ථයයි.

§ 6. 8. “ඇවැත්නි, වැරදි සිත එකඟකිරීම අධර්‍මයයි. නිවැරැදි සිත එකඟකිරීම ධර්‍මයයි. වැරදි සිත එකඟකිරීම නිසා නොයෙක් ලාමක අකුශල ධර්‍මයෝ පහළවෙත්. මේ අනර්ත්‍ථයයි. නිවැරැදි සිත එකඟකිරීම නිසා නොයෙක් කුශල ධර්මයෝ වැඩීමෙන් සම්පූර්‍ණබවට යත්. මේ අර්ත්‍ථයයි.

§ 6. 9. “ඇවැත්නි, වැරදි නුවණ අධර්‍මයයි. නිවැරැදි නුවණ ධර්‍මයයි. වැරදි නුවණ නිසා නොයෙක් ලාමක අකුශල ධර්‍මයෝ උපදිත්. මේ අනර්ත්‍ථයයි. නිවැරැදි නුවණ නිසා නොයෙක් කුශල ධර්මයෝ වැඩීමෙන් සම්පූර්‍ණභාවයට යත්. මේ අර්ත්‍ථයයි.

§ 6.10. “ඇවැත්නි, වැරදි මිදීම අධර්‍මයයි. යහපත් මිදීම ධර්‍මයයි. වැරදි මිදීම නිසා නොයෙක් ලාමක අකුශල ධර්‍මයෝ පහළවෙත්. මේ අනර්ත්‍ථයයි. නිවැරැදි මිදීම නිසා නොයෙක් කුශල ධර්මයෝ පහළවෙත්. මේ අර්ත්‍ථයයි.

§ 7 . “ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ, ‘මහණෙනි, අධර්මයද දත යුතුය. ධර්මයද දතයුතුය. අනන්‍ර්‍ථයද, අර්ත්‍ථයද දතයුතුය. අධර්‍මයද, ධර්‍මයද දැන, අනන්‍ර්‍ථයද, අන්‍ර්‍ථයද දැන, අධර්‍මය යම්සේද, අන්‍ර්‍ථය යම්සේද, එසේ පිළිපැදිය යුතුය’ යි යන යමක් සංක්‍ෂෙපයෙන් වදාළ, මේ දේශනාවේ අර්ථය මෙසේ විස්තර වශයෙන් දනිමි.
ඇවැත්නි, බලාපොරොත්තු වන්නාවූ කෙපිද භාග්‍යවතුන් වහන්සේ කරා ගොස් මේ කාරණය අසවු. භාග්‍යවතුන් වහන්සේ යම් සේ විස්තර කරණ සේක්ද, එසේ දරවු.“ඇවැත්නි, එසේය” යි ඒ භික්‍ෂූහු ආයුෂ්මත් මහාකච්චාන ස්ථවිරයන්ගේ වචනයට සතුටුව, අනුමෝදන්ව, හුන් අසුන්වලින් නැගිට භාග්‍යවතුන් වහන්සේ කරා ගියහ. ගොස් භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙය කීහ

.“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ, ‘මහණෙනි, අධර්මයද දත යුතුය. ධර්මයද දතයුතුය. අනන්‍ර්‍ථයද, අර්ත්‍ථයද දතයුතුය. අධර්‍මයද, ධර්‍මයද දැන, අනන්‍ර්‍ථයද, අන්‍ර්‍ථයද දැන, අධර්‍මය යම්සේද, අන්‍ර්‍ථය යම්සේද, එසේ පිළිපැදිය යුතුය’ යි යන යමක් සංක්‍ෂෙපයෙන් වදාරා, විස්තර වශයෙන් තේරුම්කර නොදී, අස්නෙන් නැගිට විහාරයට වැඩි සේක්ද, ඉක්බිති මේ ආයුෂ්මත් මහාකච්චාන ස්ථවිර තෙම භාග්‍යවතුන් වහන්සේ විසින්මද මනාව වර්ණනා කරන ලද්දේය. සම්භාවනා කරණ ලද්දේය. භාග්‍යවතුන් වහන්සේ විසින් විස්තර වශයෙන් අන්‍ර්‍ථය නොබෙදන ලද, කොටින් වදාරණ ලද ධර්‍මයෙහි විස්තර වශයෙන් නුවණැති සබ්‍රම්සරුන්ට අර්ථය බෙදා දක්වන්නට සුදුසුය. ඒකාන්තයෙන් අපි ආයුෂ්මත් මහාකච්චාන ස්ථවිරයන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණෙන්නමු. පැමිණ, ආයුෂ්මත් මහාකච්චාන ස්ථවිරයන් වහන්සේගෙන් මේ කාරණය විචාරන්නෙමු නම් යෙහෙකැයි සිතූහ. අපට ආයුෂ්මත් මහාකච්චාන ස්ථවිරයන් වහන්සේ යම්සේ ප්‍රකාශ කරන්නේද, එසේ අපි දරන්නෙමු’ යි කීවාහුය.“ස්වාමීනි, ඉක්බිත්තෙන් වනාහි අපි, ආයුෂ්මත් මහාකච්චානයන් කරා ගොස් මේ කාරණය විචාළෙමු. ස්වාමීනි, ඒ අපට ආයුෂ්මත් මහාකච්චානයන් විසින් මේ ආකාරයෙන්, මේ පදයෙන්, මේ අකුරින් අදහස මනාව බෙදන ලද්දේය.

“මහණෙනි, යහපත.
මහණෙනි, යහපත.
මහණෙනි, මහාකච්චායන තෙමේ පණ්ඩිතය. මහාකච්චාන තෙමේ මහත් ප්‍රඥා ඇත්තේය. මහණෙනි, තෙපි මා කරා පැමිණ විචාළාහු නම් මමද මේ කාරණය මහාකච්චානයන් ප්‍රකාශ කළා සේ ප්‍රකාශ කරන්නෙමි. මෙහි අදහස මෙය මය. මෙය එසේ දරවු” යැයි වදාළ සේක.

AN 10-17-07.
අත්‍ථානත්‍ථ සූත්‍රය

§ 1. “මහණෙනි,
අධර්මයද දතයුතුය. ධර්මයද, අනර්ත්‍ථයද දතයුතුය. අර්ත්‍ථයද, අධර්මයද දැන, ධර්මයද, අනර්ත්‍ථයද දැන, අර්ත්‍ථයද දැන, අර්ත්‍ථය යම්සේද, ධර්මය යම්සේද, එසේ පිළිපැදිය යුතුය. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සුගතයන් වහන්සේ මෙය වදාරා, හුනස්නෙන් නැගිට වෙහෙරට වැඩි සේක.

§ 2. ඇවැත්නි, සතුන් මැරීම අධර්මයයි. සතුන් මැරීමෙන් වෙන්වීම ධර්මයයි. සතුන් මැරීම නිසා යම් ඒ නොයෙක් ලාමක අකුශල ධර්‍ම කෙනෙක් හටගනිත්ද, මේ අනර්ථයයි. සතුන් මැරීමෙන් වෙන්වීම නිසා නොයෙක් කුශල ධර්මයෝ වැඩීමෙන් සම්පූර්ණත්‍වයට යත්ද, මේ අර්ථයයි.

ඇවැත්නි, නුදුන් දේ ගැනීම අධර්මයයි. නුදුන් දේ ගැනීමෙන් වෙන්වීම ධර්මයයි. නුදුන් දේ ගැනීම නිසා යම් ඒ නොයෙක් ලාමක අකුශල ධර්‍ම කෙනෙක් හටගනිත්ද, මේ අනර්ථයයි. නුදුන් දේ ගැනීමෙන් වෙන්වීම නිසා නොයෙක් කුශල ධර්මයෝ වැඩීමෙන් සම්පූර්ණත්‍වයට යත්ද, මේ අර්ථයයි.

ඇවැත්නි, කාමයන්හි වරදවා හැසිරීම අධර්මයයි. කාමයන්හි වරදවා හැසිරීමෙන් වෙන්වීම ධර්මයයි. කාමයන්හි වරදවා හැසිරීම නිසා යම් ඒ නොයෙක් ලාමක අකුශල ධර්‍ම කෙනෙක් හටගනිත්ද, මේ අනර්ථයයි. කාමයන්හි වරදවා හැසිරීමෙන් වෙන්වීම නිසා නොයෙක් කුශල ධර්මයෝ වැඩීමෙන් සම්පූර්ණත්‍වයට යත්ද, මේ අර්ථයයි.

ඇවැත්නි, බොරු කීම අධර්මයයි. බොරු කීමෙන් වෙන්වීම ධර්මයයි. බොරු කීම නිසා යම් ඒ නොයෙක් ලාමක අකුශල ධර්‍ම කෙනෙක් හටගනිත්ද, මේ අනර්ථයයි. බොරු කීමෙන් වෙන්වීම නිසා නොයෙක් කුශල ධර්මයෝ වැඩීමෙන් සම්පූර්ණත්‍වයට යත්ද, මේ අර්ථයයි.

ඇවැත්නි, කේළාම් කීම අධර්මයයි. කේළාම් කීමෙන් වෙන්වීම ධර්මයයි. කේළාම් කීම නිසා යම් ඒ නොයෙක් ලාමක අකුශල ධර්‍ම කෙනෙක් හටගනිත්ද, මේ අනර්ථයයි. කේළාම් කීමෙන් වෙන්වීම නිසා නොයෙක් කුශල ධර්මයෝ වැඩීමෙන් සම්පූර්ණත්‍වයට යත්ද, මේ අර්ථයයි.

ඇවැත්නි, ඵරුෂ වචන කීම අධර්මයයි. ඵරුෂ වචන කීමෙන් වෙන්වීම ධර්මයයි. ඵරුෂ වචන කීම නිසා යම් ඒ නොයෙක් ලාමක අකුශල ධර්‍ම කෙනෙක් හටගනිත්ද, මේ අනර්ථයයි. ඵරුෂ වචන කීමෙන් වෙන්වීම නිසා නොයෙක් කුශල ධර්මයෝ වැඩීමෙන් සම්පූර්ණත්‍වයට යත්ද, මේ අර්ථයයි.

ඇවැත්නි, ප්‍රලාප දෙඩීම අධර්මයයි. ප්‍රලාප දෙඩීමෙන් වෙන්වීම ධර්මයයි. ප්‍රලාප දෙඩීම නිසා යම් ඒ නොයෙක් ලාමක අකුශල ධර්‍ම කෙනෙක් හටගනිත්ද, මේ අනර්ථයයි. ප්‍රලාප දෙඩීමෙන් වෙන්වීම නිසා නොයෙක් කුශල ධර්මයෝ වැඩීමෙන් සම්පූර්ණත්‍වයට යත්ද, මේ අර්ථයයි.

ඇවැත්නි, තෘෂ්ණාව අධර්මයයි. තෘෂ්ණාවෙන් වෙන්වීම ධර්මයයි. තෘෂ්ණාව නිසා යම් ඒ නොයෙක් ලාමක අකුශල ධර්‍ම කෙනෙක් හටගනිත්ද, මේ අනර්ථයයි. තෘෂ්ණාවෙන් වෙන්වීම නිසා නොයෙක් කුශල ධර්මයෝ වැඩීමෙන් සම්පූර්ණත්‍වයට යත්ද, මේ අර්ථයයි.

ඇවැත්නි, ක්‍රෝධය අධර්මයයි. ක්‍රෝධයෙන් වෙන්වීම ධර්මයයි. ක්‍රෝධය නිසා යම් ඒ නොයෙක් ලාමක අකුශල ධර්‍ම කෙනෙක් හටගනිත්ද, මේ අනර්ථයයි. ක්‍රෝධයෙන් වෙන්වීම නිසා නොයෙක් කුශල ධර්මයෝ වැඩීමෙන් සම්පූර්ණත්‍වයට යත්ද, මේ අර්ථයයි.

ඇවැත්නි, වැරදි දැකීම අධර්මයයි. වැරදි දැකීමෙන් වෙන්වීම ධර්මයයි. වැරදි දැකීම නිසා යම් ඒ නොයෙක් ලාමක අකුශල ධර්‍ම කෙනෙක් හටගනිත්ද, මේ අනර්ථයයි. වැරදි දැකීමෙන් වෙන්වීම නිසා නොයෙක් කුශල ධර්මයෝ වැඩීමෙන් සම්පූර්ණත්‍වයට යත්ද, මේ අර්ථයයි.

§ “මහණෙනි, අධර්‍මයද දතයුතුය. ධර්‍මයද දත යුතුය. අනර්ත්‍ථයද දතයුතුය. අර්ත්‍ථයද දතයුතුය. අධර්‍මයද, ධර්‍මයද දැන, අනර්ත්‍ථයද, අර්ත්‍ථයද දැන, ධර්මයවූ පරිදි, අර්ත්‍ථය වූ පරිදි, පිළිපැදිය යුතුයයි මෙසේ යමක් වදාරණ ලද නම් එය මේ සඳහාම වදාරණ ලදී.

AN 10-17-08.
තිවිධ පාණාතිපාත සූත්‍රය

§ 1, “මහණෙනි, මම සතුන් මැරීමද, ලෝභය හේතුකොටත්, ද්වේෂය හේතුකොටත්, මෝහය හේතුකොටත්යයි තුන් වැදෑරුම් කොට කියමි.

“නුදුන් දෙය ගැනීමද, ලෝභය හේතුකොටත්, ද්වේෂය හේතුකොටත්, මෝහය හේතුකොටත්යයි තුන් වැදෑරුම් කොට කියමි.

කාමයන්හි වැරදි හැසිරීමද, ලෝභය හේතුකොටත්, ද්වේෂය හේතුකොටත්, මෝහය හේතුකොටත්යයි තුන් වැදෑරුම් කොට කියමි.

බොරු කීමද, ලෝභය හේතුකොටත්, ද්වේෂය හේතුකොටත්, මෝහය හේතුකොටත්යයි තුන් වැදෑරුම් කොට කියමි.

කේළාම් කීමද, ලෝභය හේතුකොටත්, ද්වේෂය හේතුකොටත්, මෝහය හේතුකොටත්යයි තුන් වැදෑරුම් කොට කියමි.

පරුෂ වචන කීමද, ලෝභය හේතුකොටත්, ද්වේෂය හේතුකොටත්, මෝහය හේතුකොටත්යයි තුන් වැදෑරුම් කොට කියමි.

හිස් වචන කීමද, ලෝභය හේතුකොටත්, ද්වේෂය හේතුකොටත්, මෝහය හේතුකොටත්යයි තුන් වැදෑරුම් කොට කියමි.

දැඩි ලෝබකමද, ලෝභය හේතුකොටත්, ද්වේෂය හේතුකොටත්, මෝහය හේතුකොටත්යයි තුන් වැදෑරුම් කොට කියමි.

ක්‍රෝධයද, ලෝභය හේතුකොටත්, ද්වේෂය හේතුකොටත්, මෝහය හේතුකොටත්යයි තුන් වැදෑරුම් කොට කියමි. වැරැදි දැකීමද, ලෝභය හේතුකොටත්, ද්වේෂය හේතුකොටත්, මෝහය හේතුකොටත්යයි තුන් වැදෑරුම් කොට කියමි.

§ 2. “මහණෙනි, මෙසේ වනාහි ලෝභය කර්මයන්ට මුල්වේ. ද්වේෂය කර්මයන්ට මුල්වේ. මෝහය කර්මයන්ට මුල්වේ.

“ලෝභය නැතිවීමෙන් කර්මයන්ගේ මුල නැතිවිම වේ. ද්වේෂය නැතිවීමෙන් කර්මයන්ගේ මුල නැතිවිම වේ. මෝහය නැතිවීමෙන් කර්මයන්ගේ මුල නැතිවිම වේ” යයි වදාළ සේක.

AN 10-17-09.
සපරික්කමන ධම්ම සූත්‍රය

“මහණෙනි, මේ ධර්‍මය පරික්‍රමණ සහිතය. මේ ධර්මය පරික්‍රමණ රහිත වේ. මහණෙනි, කෙසේ නම් මේ ධර්මය පරික්‍රමණ සහිත වේද, පරික්‍රමණ රහිත වේද?“මහණෙනි, සතුන් මරන්නාට, සතුන් මැරීමෙන් වෙන්වීම පරික්‍රමණය වේ. නුදුන් දෙය ගන්නාට නුදුන් දෙය ගැනීමෙන් වෙන්වීම පරික්‍රමණය වේ. කාමයන්හි වැරදි හැසිරීම් ඇත්තාට, කාමයන්හි වැරදි හැසිරීමෙන් වෙන්වීම පරික්‍රමණය වේ. බොරු කියන්නාට, බොරු කීමෙන් වෙන්වීම පරික්‍රමණය වේ. කේළාම් කියන්නාට, කේළාම් කීමෙන් වෙන්වීම පරික්‍රමණය වේ. ඵරුෂ වචන කියන්නාට, ඵරුෂ වචනයෙන් වෙන්වීම පරික්‍රමණය වේ. හිස් වචන කියන්නාට, හිස් වචන කීමෙන් වෙන්වීම පරික්‍රමණය වේ. දැඩි ලෝභකම ඇත්තාට, දැඩි ලෝභකම නොවීම පරික්‍රමණය වේ. ක්‍රොධ ඇත්තාට, ක්‍රෝධය නොවීම පරික්‍රමණය වේ. වැරදි දැකීම් ඇත්තාට නිවැරුදි දැකීම පරික්‍රමණය වේ.”

AN 10-17-10.
චුන්‍දසොචෙය්‍ය සූත්‍රය

§ 1. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ පාවානුවර චුන්‍ද නම් කර්‍මාර (ලෝකරු) පුත්‍රයාගේ අඹ වනයෙහි වාසය කරණ සේක. ඉක්බිති චුන්‍ද කර්‍මාර පුත්‍ර තෙම, භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය.

§ 2. එකත්පසෙක සිටි චුන්‍ද කර්‍මාර පුත්‍රයාට භාග්‍යවතුන් වහන්සේ, “චුන්‍දය, ඔබ කවරෙකුගේ පිරිසිදුකම රුචි කෙරෙහිදැ” යි ඇසූ සේක.

“ස්වාමීනි, පසු බිම්හි සිටින (ද්විජව උපන්) කෙණ්ඩි දරණ, සෙවෙල් මල්දම් ඇති, ගිනි දෙවියා පුදන, දියෙහි ගිලෙන බමුණෝ පිරිසිදුකම් පණවත්ද, මම ඒ පිරිසිදුකම රුචිකරමි” යි කීයේය.
“චුන්‍දය, පසු බිම්හි සිටි, කෙණ්ඩි දරණ, සෙවෙල් මාලා ඇති, ගිනි පුදන, දියේ ගිලෙන බමුණෝ කෙසේ නම් පිරිසිදුකම් පණවත්දැ” යි ඇසූ සේක.
“ස්වාමීනි, පසු බිම්හි සිටි, කෙණ්ඩි දරණ, සෙවෙල් මාලාකොට ඇති, ගිනි පුදන, දියෙහි ගැලෙන, ඒ බ්‍රාහ්මණයෝ ශ්‍රාවකයන් මෙසේ සමාදන් කරවත්.

“එම්බා පුරුෂය, ඔබ මෙහි එව. කලින්ම සයනයෙන් නැගිටින්නේම, පෘථුවිය ස්පර්ශ කරන්නෙහිය. ඉදින් පෘථුවිය ස්පර්ශ නොකරන්නෙහි නම්, තෙත් ගොම ස්පර්‍ශ කරන්නෙහිය. ඉදින් තෙත් ගොම ස්පර්‍ශ නොකරන්නෙහි නම්, අමු තණ ස්පර්ශ කරන්නෙහිය. ඉදින් අමු තණ ස්පර්ශ නොකරන්නෙහි නම්, ගිනි පුදන්නේය. ඉදින් ගිනි නොපුදන්නේ නම්, ඇඳිලි බැඳ හිරු වඳින්නේය. ඉදින් ඇඳිලි බැඳ හිරු නොවඳින්නේ නම්, සවස් කාලය තුන්වෙනිකොට ජලයෙහි ගිලෙන්නෙහිය.’ ස්වාමීනි, මෙසේ වනාහි, පසු බිම්හි සිටි, කෙණ්ඩි දරණ, සෙවෙල් මාලා ඇති, ගිනි පුදන, දියෙහි ගිලෙන, බමුණෝ පිරිසිදුකම පණවත්. මම ඔවුන්ගේ පිරිසිදුකම රුචි කරමි” යි කීයේය.
“චුන්‍දය, පසු බිම්හි සිටි, කෙණ්ඩි දරණ, සෙවෙල් මාලාකොට ඇති, ගිනි පුදන, දියේ ගිලෙන, බ්‍රාහ්මණයෝ අන් පරිද්දෙකින් පිරිසිදුකම් පණවත්. ආර්‍ය්‍ය විනයෙහි අන් පරිද්දෙකින් පිරිසිදුබව වේ.” –
“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ආර්‍ය්‍ය විනයෙහි පිරිසිදුබව යම් පරිද්දෙකින් වේද, එසේ ධර්‍ම දේශනා කරනු මැනවි.”“චුන්‍දය, එසේ නම් අසව, යහපත්කොට මෙනෙහි කරව. කියන්නෙමි” යි වදාළ සේක.
“ස්වාමීනි, එසේය” යි චුන්‍ද කර්‍මාර පුත්‍ර තෙම භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නේය.
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

  • “චුන්‍දය, තුන් පරිද්දෙකින් කයේ අපිරිසිදුබව වේ.
  • සතර පරිද්දෙකින් වචනයේ අපිරිසිදුබව වේ.
  • තුන් පරිද්දෙකින් සිතින් අපිරිසිදුකම වේ.

චුන්‍දය, කෙසේ කයින් ත්‍රිවිධ අපිරිසිදුබව වේද, චුන්‍දය,
මේ ලෝකයෙහි ඇතැම් කෙනෙක් සියලු සතුන් කෙරෙහි රෞද්‍රවූයේ, ලේ වැකුණු අත්ල ඇත්තේ, ගැටීමෙහි, ගැලීමෙහි ඇළුනේ, දයාවට නොපැමුණුනේ, සතුන් මරන්නේ වෙයි. ගමට අයත්වූද, වනයට අයත්වූද, අනුන්ගේ යම් වස්තුවක්, උපකරණයක් වේද, නොදෙනලද්දේ, එය සොර සිතින් ගනියිද, නුදුන් දෙය ගන්නේ වේ. මව රක්නා, පියා රක්නා, සහෝදරයා රක්නා, සහෝදරිය රක්නා, ඤාතීන් රක්නා, ධර්‍මය රක්නා, ස්වාමියන් ඇති, දඬුවම් නියම කළ, යටත් පිරිසෙයින් මල් වැල නමුත් පළඳවන ලද, යම් ඒ තැනැත්තියක් වේද, එබඳුවූවන් කෙරෙහි හැසිරීමට පැමිණෙන්නේ, කාමයන්හි වැරදි හැසිරීම් ඇත්තේ වේද, චුන්‍දය, මෙසේ වනාහි කයින් තුන් වැදෑරුම් අපිරිසිදුකම දත යුතුය.“චුන්‍දය, කෙසේ වචනයෙන් සතර වැදෑරුම් අපිරිසිදුකම වේද, චුන්‍දය, මේ ලෝකයෙහි ඇතැම් කෙනෙක් බොරු කියන්නේ වේද, සභාවකට ගියේ හෝ, පිරිසකට ගියේ හෝ, නෑයන් මැදකට ගියේ හෝ, පිරිස් මැදකට ගියේ හෝ, රජ කුලයක් මැදට ගියේ හෝ, පමුණුවන ලද්දේ හෝ, “එම්බා පුරුෂය, එව, යමක් දන්නෙහි නම් එය කියන්නෙහිය” යි කියයි. හෙතෙම නොදන්නේ හෝ දනිමියි කියයි. දන්නේ හෝ නොදනිමියි කියයි. නොදක්නේ හෝ දකිමියි කියයි. දන්නේ හෝ නොදන්නෙමියි කියයි. මෙසේ තමන් හේතුකොටගෙන හෝ, අන්‍යයන් හේතුකොටගෙන හෝ, ආමිසාදී කිසිවක් බලාපොරොත්තුවෙන් හෝ, දැන දැන බොරු කීවා වේද,“පිසුණු කියන්නේ වේද. මොවුන්ගේ බිඳීම පිණිස මෙයින් අසා අසවල් තැන කියන්නේ වේ. ඔවුන්ගේ බිඳීම පිණිස, අසවල් තැන අසා මොවුන්ට කියන්නේ වේ. මෙසේ සමගිවූවන් බිඳුවන්නේ, බිඳුනවුන්ට උදවු දෙන්නේ, කොටස් කිරීමෙහි නියුක්තවූයේ, කොටස් කිරීමෙහි ඇලුනේ, කොටස් කරණ වචන කියන්නේ වේ.“ඵරුෂ වචන කියන්නේ වේ. යම් ඒ වචනයක් ගැට සහිතද, අනුන්ට කටුකද, අනුන් ගැටෙන්නේද, ක්‍රෝධයට කිට්ටුද, එකඟකමට විරුද්‍ධද, එබඳු වචන කියන්නේ වේ.“ප්‍රලාප දොඩන්නේ වේ. නොකල්හි කියන්නේ, නොවූ දේ කියන්නේ, අයහපතින් කියන්නේ, අධර්‍මයෙන් කියන්නේ, නොහික්මීමෙන් කියන්නේ. සිතේ තබා නොගතයතු, නොකල්හි කරුණු රහිතව සීමාවක් නැති, අයහපත හා මිශ්‍ර වචන කියන්නේ වේ. චුන්‍දය, මෙසේ වනාහි වචනයේ සිවු වැදෑරුම් අපිරිසිදුබව වේ.“චුන්‍දය, කෙසේ සිතින් තුන් වැදෑරුම් අපිරිසිදුබව වේද? චුන්‍දය, මේ ලෝකයෙහි ඇතැම් කෙනෙක් තද තෘෂ්ණා ඇත්තේ වේද, අනුන්ගේ යම් ඒ වස්තූපකරණයක් වේද, යම් හෙයකින් අනුන්ගේ එය, ‘මට වන්නේ නම් යහපතැ’ යි එය දැඩි ලෙස ආශා කරණ ලද්දේ වේද,“මේ සත්ත්‍වයෝ නසිත්වා, බඳිත්වා, නැතිවෙත්වා, විනාශ වෙත්වායි නොවෙන්නාහු හෝ වෙත්වායි දූෂිතවූ චිත්ත සංකල්පනා ඇත්තේ, පෙරළුනු සිත් ඇත්තේ වේද,“දුන් දෙයෙහි විපාක නැත. පුදන ලද්දේ විපාක නැත. හෝම කරණ ලද්දේ විපාක නැත. යහපත්කොට කරණ ලද කර්‍මයන්ගේ ඵලයක් විපාකයක් නැත. මෙලොව නැත. පරලොව නැත. මවු නැත. පියා නැත. ඕපපාතික සත්ත්‍වයෝ නැත. යමෙක් මෙලොවද, පරලොවද, තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන, ප්‍රත්‍යක්‍ෂකොට දන්වත්ද, එබඳු ලෝකයෙහි යහපත් මාර්‍ගයට ගියාවූ, යහපත් මාර්‍ගයට පැමිණි, ශ්‍රමණ බ්‍රාහ්මණයන් නැතැයි පෙරළුනු දැකීම් ඇති, මිත්‍ථ්‍යාදෘෂ්ටිකයෙක් වේද, චුන්‍දය, මෙසේ වනාහි සිතේ ත්‍රිවිධ අපිරිසිදුකම දතයුතුයි.“චුන්‍දය, මේ දශ අකුශල කර්‍ම පථයෝය. චුන්‍දය, යම් මේ අකුශල කර්‍ම පථ දහයෙන් යුක්තවූයේ, කල් ඇතුවම සයනයෙන් නැගිටින්නේ, ඉදින් පෘථිවිය අතගායිද, අපිරිසිදුම වේ. ඉදින් පෘථිවිය අතනොගෑවේද අපිරිසිදුම වේ. ඉදින් තෙත් ගොම ඇල්ලූයේද අපිරිසිදුම වේ. නිල් තෘණ ඇල්ලූවේද අපිරිසිදුම වේ. ඉදින් ගිනි පිදූයේද අපිරිසිදුම වේ. ඉදින් ගිනි නොපිදූයේද අපිරිසිදුම වේ. ඉදින් ඇඳිලි බැඳ හිරු වැන්නේද අපිරිසිදුම වේ. ඉදින් ඇඳිලි බැඳ හිරු නොවැන්දේද අපිරිසිදුම වේ. ඉදින් සවස තුන්වැනිකොට ජලයෙහි ගිලෙයිද අපිරිසිදුම වේ. ඉදින් සවස තුන්වැනිකොට ජලයෙහි නොගිලුනේද අපිරිසිදුම වේ. ඊට හේතුව කවරේද, චුන්‍දය, මේ දශ අකුශල කර්ම පථයෝ අපිරිසිදුම වෙත්. අපිරිසිදුබව කරන්නාහුද වෙත්. චුන්‍දය, මේ දශ අකුශල කර්‍ම පථයන්ගේ යුක්තවීම් හේතුවෙන් නිරය පෙනෙයි. තිරිසන් යෝනිය පෙනෙයි. ප්‍රේත ලෝකය පෙනෙයි. අනිකුදු යම් දුගතීහු පෙනෙත්.“චුන්‍දය, කයින් පිරිසිදුබව තුන් වැදෑරුම් වේ. වචනයෙන් පිරිසිදුබව සතර වැදෑරුම් වේ. සිතින් පිරිසිදුබව තුන් වැදෑරුම් වේ. චුන්‍දය, ත්‍රිවිධ කයින් පිරිසිදුබව කෙසේ වේද? චුන්‍දය, මේ ලෝකයෙහි ඇතැම් කෙනෙක් සතුන් මැරීම අත්හැර, සතුන් මැරීමෙන් වෙන්වූයේ වේ. බහා තබන ලද දඬු ඇත්තේ, බහා තබන ලද ආයුධ ඇත්තේ, පාපයට බිය ඇත්තේ, දයාවට පැමිණියේ, සියළු ප්‍රාණීන් කෙරෙහි හිතවත් අනුකම්පාවෙන් වාසය කරයි.“නුදුන් දෙය ගැනීම අත්හැර, නුදුන් දෙය ගැනීමෙන් වෙන්වූයේ වේ. ගමෙහි හෝ, අරණ්‍යයෙහි හෝ, අනුන්ගේ යම් තමා නොඅයත් වස්තුවක් හෝ උපකරණයක් හෝ වේද, නුදුන්, සොරකම් කළ යුතු එය නොගන්නේ වේ. කාම මිත්‍ථ්‍යාචාරය අත්හැර, කාම මිත්‍ථ්‍යාචාරයෙන් වෙන්වූයේ වේ. යම් ඒ මව විසින් රකින, පියා විසින් රකින, ස්ත්‍රිය, සහෝදරයා විසින්, සහෝදරිය විසින්, ඤාතීන් විසින් රකින ස්ත්‍රිය, ධර්‍මයා රකින ස්ත්‍රිය, ස්වාමියා ඇති ස්ත්‍රිය, දඬුවම් කළ ස්ත්‍රිය, යටත් පිරිසෙයින් මල්මාලාවකින් වෙන්කළ ස්ත්‍රිය යන එබඳු ස්ත්‍රීන් කෙරෙහි හැසිරීමට නොපැමිණියේ වේ. චුන්‍දය, මෙසේ වනාහි තුන් වැදෑරුම්වූ කායික පිරිසිදුකම වේ.“චුන්‍දය, කෙසේ වචනයෙන් සතර වැදෑරුම් පිරිසිදුකම වේද, චුන්‍දය, මේ ලෝකයෙහි ඇතැම් කෙනෙක් බොරු නොකියන්නේ වේද, සභාවකට ගියේ හෝ, පිරිසකට ගියේ හෝ, නෑයන් මැදකට ගියේ හෝ, පිරිස් මැදකට ගියේ හෝ, රජ කුලයක් මැදට ගියේ හෝ, පමුණුවන ලද්දේ හෝ, “එම්බා පුරුෂය, එව, යමක් දන්නෙහි නම් එය කියන්නෙහිය” යි කියයි. හෙතෙම නොදන්නේ හෝ නොදනිමියි කියයි. දන්නේ හෝ දනිමියි කියයි. නොදක්නේ හෝ නොදකිමියි කියයි. දක්නේ හෝ දක්නෙමියි කියයි. මෙසේ තමන් හේතුකොටගෙන හෝ, අන්‍යයන් හේතුකොටගෙන හෝ, ආමිසාදී කිසිවක් බලාපොරොත්තුවෙන් හෝ, දැන දැන බොරු නොකියන්නේ වේද?“පිසුණු නොකියන්නේ වේද. මොවුන්ගේ බිඳීම පිණිස මෙයින් අසා අසවල් තැන නොකියන්නේ වේ. ඔවුන්ගේ බිඳීම පිණිස, අසවල් තැන අසා මොවුන්ට නොකියන්නේ වේ. මෙසේ සමගිවූවන් නොබිඳුවන්නේ, බිඳුනවුන්ට උදවු නොදෙන්නේ, කොටස් කිරීමෙහි නොඇලුනේ, කොටස් කිරීමෙහි යුක්ත නුවූයේ, කොටස් කිරීමෙහි නොඇලුනේ, කොටස් කරණ වචන නොකියන්නේ වේ.“ඵරුෂ වචන නොකියන්නේ වේ. යම් ඒ වචනයක් ගැට සහිතද, අනුන්ට කටුකද, අනුන් ගැටෙන්නේද, ක්‍රෝධයට කිට්ටුද, එකඟකමට විරුද්‍ධද, එබඳු වචන නොකියන්නේ වේ.“ප්‍රලාප දොඩන්නේ නොවේ. නොකල්හි නොකියන්නේ, නොවූ දේ නොකියන්නේ, අයහපතින් නොකියන්නේ, අධර්‍මයෙන් නොකියන්නේ, නොහික්මීමට නොකියන්නේ. සිතේ තබා නොගතයතු, නොකල්හි කරුණු රහිතව සීමාවක් නැති, අයහපත හා මිශ්‍ර වචන නොකියන්නේ වේ. චුන්‍දය, මෙසේ වනාහි වචනයේ සිවු වැදෑරුම් පිරිසිදුබව වේ.“චුන්‍දය, කෙසේ සිතින් තුන් වැදෑරුම් පිරිසිදුබව වේද? චුන්‍දය, මේ ලෝකයෙහි ඇතැම් කෙනෙක් තද තෘෂ්ණා ඇත්තේ නොවේද, අනුන්ගේ යම් ඒ වස්තූපකරණයක් වේද, යම් හෙයකින් අනුන්ගේ එය, ‘මට වන්නේ නම් යහපතැ’ යි එය දැඩි ලෙස ආශා නොකරණ ලද්දේ වේද,“මේ සත්ත්‍වයෝ නසිත්වා, බඳිත්වා, නැතිවෙත්වා, විනාශ වෙත්වායි නොවෙන්නාහු හෝ වෙත්වායි දූෂිතවූ චිත්ත සංකල්පනා නැත්තේ, පෙරළුනු සිත් නැත්තේ වේ.“දුන් දෙයෙහි විපාක නැත. පුදන ලද්දේ විපාක නැත. හෝම කරණ ලද්දේ විපාක නැත. යහපත්කොට කරණ ලද, නපුරුකොට කරණ ලද, කර්‍මයන්ගේ ඵලයක් විපාකයක් නැත. මෙලොව නැත. පරලොව නැත. මවු නැත. පියා නැත. ඕපපාතික සත්ත්‍වයෝ නැත. යමෙක් මෙලොවද, පරලොවද, තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන, ප්‍රත්‍යක්‍ෂකොට දන්වත්ද, එබඳු ලෝකයෙහි යහපත් මාර්‍ගයට ගියාවූ, යහපත් මාර්‍ගයට පැමිණි, ශ්‍රමණ බ්‍රාහ්මණයන් නැතැයි පෙරළුනු දැකීම් ඇති, මිත්‍ථ්‍යාදෘෂ්ටිකයෙක් නොවේද, චුන්‍දය, මෙසේ වනාහි සිතේ ත්‍රිවිධ පිරිසිදුකම දතයුතුයි.“චුන්‍දය, මේ දශ කුශල කර්‍ම පථයෙන් යුක්තවීම හේතුකොට ගෙන දෙවියෝ පෙනෙත්. මනුෂ්‍යයෝ පෙනෙත්. යම් අන්කිසි සුගතීහු පෙනෙත්. මෙසේ වදාළ කල්හි චුන්‍ද කර්මාර පුත්‍ර තෙම (මෙහි 3 අඞ්ගුත්තර නිකායේ 7 නිපාතයේ 7 වර්‍ගයේ 13 සූත්‍රයේ 27 ඡේදය යෙදිය යුතුයි.)

AN 10-17-11. (ජානුස්සෝණී)
පෙතදාන සූත්‍රය

§ 1. “දිනෙක ජානුස්සෝණී බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේ සොයා පැමිණ,භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිට මෙසේ කීය.,

“පින්වත් ගෞතමයන් වහන්ස, අපි බ්‍රාහ්මණයෝ වෙමු. ‘මේ දානය පරලොව ගිය නෑ සහ ලේ නෑයන්ට පැමිණේවා. මේ දානය පරලොව ගිය නෑ සහ ලේ නෑයෝ වළඳත්වා’ යි පතමින් අපි දන් දෙමු. මතක බත් දෙමු. පින්වත් ගෞතමයන් වහන්ස, කිමෙක්ද, ඒ දානය පරලොව ගිය ඒ නෑ සහ ලේ නෑයන්ට ලැබෙත් ද?, කිමෙක්ද, පරලොව ගිය ඒ නෑ සහ ලේ නෑයන්ට ඒ දානයේ ඵලයක් පැමිණේදැ” යි ඇසීය.

“බමුණ, ස්ථානයෙහි ලැබෙයි. අස්ථානයෙහි නොලැබේය” යි වදාළ සේක.
“භවත් ගෞතමයන් වහන්ස, ස්ථානය කවරේද, අස්ථානය කවරේදැ” යි බ්‍රාහ්මණ තෙමේ ඇසූයේය.

§ 2, “බමුණ, මේ ලෝකයෙහි ඇතැමෙක් සතුන් මරන්නේ වේද, අන් සතු දේ ගන්නේ වේද, කාමයෙහි වරදවා හැසිරෙන්නේ වේද, බොරු කියන්නේ වේද, කේළාම් කියන්නේ වේද, ඵරුෂ වචන කියන්නේ වේද, ප්‍රලාප දොඩන්නේ වේද, විෂම ලෝභය ඇත්තේ වේද, කෝපවූ සිත් ඇත්තේ වේද, මිත්‍යාදෘෂ්ටික වේද, ඔහු කරජකායයාගේ (ශරීරය) බිඳීමෙන් මරණින් මතු නරකයෙහි උපදී. නරකයෙහි සත්ත්‍වයන්ගේ යම් කිසි ආහාරයක් වේද, හෙතෙම එහිදී ඉන් යැපෙයි. ඉන් යැපෙමින් හෙතෙම එහි සිටියි. ඔබ දෙන දානයෙන් ඔහුට ඵලක් නොලැබෙන අස්තානයක් වේ නම් මේ එම අස්තානයකි.

§ 3. “බමුණ, මේ ලෝකයෙහි ඇතැම් කෙනෙක් සතුන් මරන්නේ වේද, නුදුන් දේ ගන්නේ වේද, කාමයෙහි වරදවා හැසිරෙන්නේ වේද, බොරු කියන්නේ වේද, කේළාම් කියන්නේ වේද, ඵරුෂ වචන කියන්නේ වේද, ප්‍රලාප දොඩන්නේ වේද, විෂම ලෝභය ඇත්තේ වේද, කෝපවූ සිත් ඇත්තේ වේද, මිත්‍යාදෘෂ්ටික වේද, හෙතෙම ශරීරය බිඳීමෙන් මරණින් මතු තිරිසන් අපායෙහි උපදී. තිරිසන් යෝනියෙහි සත්ත්‍වයන්ට යමක් ආහාර වේද, ඉන් හෙතෙම එහි යැපෙයි.එසේ යැපෙමින් ඉන් ඔහු එහි සිටියි. ඔබ දෙන දානයෙන් ඔහුට ඵලක් නොලැබෙන අස්තානයක් වේ නම් මේ එම අස්තානයකි..

§4 . “බමුණ, මේ ලෝකයෙහි ඇතැම් කෙනෙක් සතුන් මැරීමෙන් වෙන්වූයේ වේද, නුදුන් දේ ගැනී මෙන් වෙන්වූයේ වේද, කාමයන්හි වරදවා හැසිරීමෙන් වෙන්වූයේ වේද, බොරු කීමෙන් වෙන්වූයේ වේද, කේළාම් කීමෙන් වෙන්වූයේ වේද, ඵරුෂ වචනයෙන් වෙන්වූයේ වේද, ප්‍රලාප දෙඩීමෙන් වෙන්වූයේ වේද, විෂම ලෝභය නැත්තේ වේද, ක්‍රෝධ සිත් නැත්තේ වේද, සම්‍යක්දෘෂ්ටිකද, හෙතෙම ශරීරය බිඳීමෙන් මරණින් මතු මනුෂ්‍යයන් අතර උපදී. මනුෂ්‍යයන්ගේ යමක් ආහාර වේද, ඉන් හෙතෙම එහි යැපෙයි. ඉන් ඔහු එහි සිටියි. ඔබ දෙන දානයෙන් ඔහුට ඵලක් නොලැබෙන අස්තානයක් වේ නම් මේ එම අස්තානයකි.

§ 5, “බමුණ, මේ ලෝකයෙහි ඇතැම් කෙනෙක් සතුන් මැරීමෙන් වෙන්වූයේ වේද, නුදුන් දේ ගැනී මෙන් වෙන්වූයේ වේද, කාමයන්හි වරදවා හැසිරීමෙන් වෙන්වූයේ වේද, බොරු කීමෙන් වෙන්වූයේ වේද, කේළාම් කීමෙන් වෙන්වූයේ වේද, ඵරුෂ වචනයෙන් වෙන්වූයේ වේද, ප්‍රලාප දෙඩීමෙන් වෙන්වූයේ වේද, විෂම ලෝභය නැත්තේ වේද, ක්‍රෝධ සිත් නැත්තේ වේද, සම්‍යක්දෘෂ්ටිකද, හෙතෙම ශරීරය බිඳීමෙන් මරණින් මතු දෙවියන් අතර උපත ලබයි. දෙවියන්ගේ යම් ආහාරයක් වේද, ඉන් හෙතෙම එහි යැපෙයි. ඉන් ඔහු එහි සිටියි. ඔබ දෙන දානයෙන් ඔහුට ඵලක් නොලැබෙන අස්තානයක් වේ නම් මේ එම අස්තානයකි.

§ 6. “බමුණ, මේ ලෝකයෙහි ඇතැම් කෙනෙක් සතුන් මරන්නේ වේද, නුදුන් දේ ගන්නේ වේද, කාමයෙහි වරදවා හැසිරෙන්නේ වේද, බොරු කියන්නේ වේද, කේළාම් කියන්නේ වේද, ඵරුෂ වචන කියන්නේ වේද, ප්‍රලාප දොඩන්නේ වේද, දැඩි ලෝභකම ඇත්තේ වේද, කෝපවූ සිත් ඇත්තේ වේද, මිත්‍යාදෘෂ්ටික වේද, හෙතෙම ශරීරය බිඳීමෙන් මරණින් මතු ප්‍රෙත ලෝකයෙහි උපදී. ප්‍රේත ලෝකයට ගිය සත්ත්‍වයන්ගේ ආහාරය යමක්ද, ඉන් හෙතෙම එහි යැපෙයි. ඉන් හෙතෙම එහි සිටියි. ඔහුගේ මිත්‍රයෙක්, අමාත්‍යයෙක් හෝ නෑයෝ හෝ සහලේ නෑයෝ හෝ මෙයින් යමක් පමුණුවත්ද, ඉන් හෙතෙම එහි යැපෙයි. ඉන් හෙතෙම එහි සිටී. ඔබ දෙන දානයෙන් ඔහුට ඵලක් නොලැබෙන අස්තානයක් වේ නම් මේ එම අස්තානයකි.”

§ 7. “භවත් ගෞතමයන් වහන්ස, ඉදින් ඒ නෑ සහ ලේ නෑ ඒ ප්‍රේතයන් එතැනට නොපැමිණියේ නම් සවරෙක් ඒ දානය වළඳාදැ” යි ඇසීය.
“බමුණ, ඔහුගේ අනිකුත් නෑ සහලේ නෑ ප්‍රේතයෝ එතැනට පැමිණියාහුද, ඔවුහු ඒ දානය වළඳත්ය” යි වදාළ සේක.
“භවත් ගෞතමයන් වහන්ස, ඉදින් නෑ සහලේ නෑ ඒ ප්‍රේතයන්ද එතැනට නොපැමිණියේ වේද, නෑ සහලේ නෑ අනිකුදු ප්‍රේතයෝ එතැනට නොපැමිණියාහු වෙත්ද, කවරෙක් ඒ දානය වළඳාදැ” යි ඇසීය.
“බමුණ, මෙපමණ දීර්‍ඝ කාලයකින් යම් මේ නෑ සහලේ නෑ ප්‍රේතයන්ගෙන් යම් ඒ තැන හිස්වූයේ වේද, මෙය නොසිදුවන්නකි. එයට ඉඩක් නැත. බ්‍රාහ්මණය, ඇරත් දානය දීම දායකයාටද නිෂ්ඵල නොවන්නේය.”

§ 8. “පින්වත් ගෞතමයන් වහන්ස!
අස්ථානහි උපදනාවූ උනාට වුනට අප දෙන්නාවූ දානයෙන් ඵලයක් නොවෙමද?
බමුණ, අස්තානයේ දීද දාන ඵල පරිකල්පය මෙසේ වදාරමි, කෙසේද යත්

බමුණ,
මේ ලෝකයෙහි ඇතැම් කෙනෙක් සතුන් මරන්නේ වේද, නුදුන් දේ ගන්නේ වේද, කාමයෙහි වරදවා හැසිරෙන්නේ වේද, බොරු කියන්නේ වේද, කේළාම් කියන්නේ වේද, ඵරුෂ වචන කියන්නේ වේද, ප්‍රලාප දොඩන්නේ වේද, විෂම ලෝභය ඇත්තේ වේද, කෝප වන්නා වූ සිත් ඇත්තේ වේද, මිත්‍යා දෘෂ්ටික වේද, හෙතෙම ශ්‍රමණයෙකුට හෝ බ්‍රාහ්මණයෙකුට හෝ ආහාරපාන, වස්ත්‍ර, යාන, වාහන, මල්ගඳ විලවුන්, සයනාසන, ආවාස, පහන් දෙන්නේ වේද, හෙතෙම ශරීරය බිඳීමෙන් මරණින් මතු ඇතුන් අතරෙහි උපදී. එනමුත් හෙතෙම තොපගේ දානය නිසා එහිදී ආහාර පාන නොයෙක් මල්මාලා සැරසීම ලබන්නේ වේ.

§ 9. “බමුණ, මේ ලෝකයෙහි ඇතැම් කෙනෙක් සතුන් මරන්නේ වේද, නුදුන් දේ ගන්නේ වේද, කාමයෙහි වරදවා හැසිරෙන්නේ වේද, බොරු කියන්නේ වේද, කේළාම් කියන්නේ වේද, ඵරුෂ වචන කියන්නේ වේද, ප්‍රලාප දොඩන්නේ වේද, විෂම ලෝභකම ඇත්තේ වේද, කෝපවූ සිත් ඇත්තේ වේද, මිත්‍යාදෘෂ්ටික වේද, හෙතෙම ඉන් කායයාගේ බිඳීමෙන් මරණින් මතු ඇතුන් අතරෙහි උපදීද, හෙතෙම ශ්‍රමණයෙකුට හෝ බ්‍රාහ්මණයෙකුට හෝ ආහාරපාන, වස්ත්‍ර, යාන, වාහන, මල්ගඳ විලවුන්, සයනාසන, ආවාස, පහන් දෙන්නේ වේද, ඉන් හෙතෙම එහි ආහාරපාන, නොයෙක් මල්මාලා සැරසීම ලබන්නේ වේ.

“බමුණ, මේ ලෝකයෙහි ඇතැම් කෙනෙක් සතුන් මරන්නේ වේද, නුදුන් දේ ගන්නේ වේද, කාමයෙහි වරදවා හැසිරෙන්නේ වේද, බොරු කියන්නේ වේද, කේළාම් කියන්නේ වේද, ඵරුෂ වචන කියන්නේ වේද, ප්‍රලාප දොඩන්නේ වේද, දැඩි ලෝභකම ඇත්තේ වේද, කෝපවූ සිත් ඇත්තේ වේද, මිත්‍යාදෘෂ්ටික වේද, හෙතෙම ශ්‍රමණයෙකුට හෝ බ්‍රාහ්මණයෙකුට හෝ ආහාරපාන, වස්ත්‍ර, යාන, වාහන, මල්ගඳ විලවුන්, සයනාසන, ආවාස, පහන් දෙන්නේ වේද, හෙතෙම කායයාගේ බිඳීමෙන් මරණින් මතු අශ්වයන් අතරෙහි උපදී.

§ “බමුණ, මේ ලෝකයෙහි ඇතැම් කෙනෙක් සතුන් මරන්නේ වේද, නුදුන් දේ ගන්නේ වේද, කාමයෙහි වරදවා හැසිරෙන්නේ වේද, බොරු කියන්නේ වේද, කේළාම් කියන්නේ වේද, ඵරුෂ වචන කියන්නේ වේද, ප්‍රලාප දොඩන්නේ වේද, දැඩි ලෝභකම ඇත්තේ වේද, කෝපවූ සිත් ඇත්තේ වේද, මිත්‍යාදෘෂ්ටික වේද, හෙතෙම ශ්‍රමණයෙකුට හෝ බ්‍රාහ්මණයෙකුට හෝ ආහාරපාන, වස්ත්‍ර, යාන, වාහන, මල්ගඳ විලවුන්, සයනාසන, ආවාස, පහන් දෙන්නේ වේද, හෙතෙම කායයාගේ බිඳීමෙන් මරණින් මතු ගවයන් අතරෙහි උපදී.

“බමුණ, මේ ලෝකයෙහි ඇතැම් කෙනෙක් සතුන් මරන්නේ වේද, නුදුන් දේ ගන්නේ වේද, කාමයෙහි වරදවා හැසිරෙන්නේ වේද, බොරු කියන්නේ වේද, කේළාම් කියන්නේ වේද, ඵරුෂ වචන කියන්නේ වේද, ප්‍රලාප දොඩන්නේ වේද, දැඩි ලෝභකම ඇත්තේ වේද, කෝපවූ සිත් ඇත්තේ වේද, මිත්‍යාදෘෂ්ටික වේද, හෙතෙම ශ්‍රමණයෙකුට හෝ බ්‍රාහ්මණයෙකුට හෝ ආහාරපාන, වස්ත්‍ර, යාන, වාහන, මල්ගඳ විලවුන්, සයනාසන, ආවාස, පහන් දෙන්නේ වේද, ඒ කරණකොට හෙතෙම බල්ලන් හා උපදී.

“බමුණ, මේ ලෝකයෙහි ඇතැම් කෙනෙක් සතුන් මැරීමෙන් වෙන්වූයේ වේද, නුදුන් දේ ගැනී මෙන් වෙන්වූයේ වේද, කාමයන්හි වැරදි හැසිරීමෙන් වෙන්වූයේ වේද, බොරු කීමෙන් වෙන්වූයේ වේද, කේළාම් කීමෙන් වෙන්වූයේ වේද, ඵරුෂ වචන කීමෙන් වෙන්වූයේ වේද, හිස් වචන කීමෙන් වෙන්වූයේ වේද, විෂම ලෝභය නැත්තේ වේද, ක්‍රෝධ සිත් නැත්තේ වේද, නිවැරැදි දැක්ම ඇත්තේ වේද, එයින් හෙතෙම ශරීරය බිඳීමෙන් මරණින් පසු මිනිස් ලොව උපදී නම් . හෙතෙම මහණ බමුණන්ට යම් කෑමක්, බීමක්, වස්ත්‍රයක්, වාහනයක්, මල්-සුවඳ-විලවුන්, ඇඳන්, ගෙවල්, පහන් දෙන්නේ වේද, එයින් හෙතෙම එහි මනුෂ්‍යවූ පස්-කම් ගුණ ලබන්නේ වේ.

“බමුණ, මේ ලෝකයෙහි ඇතැම් කෙනෙක් සතුන් මැරීමෙන් වෙන්වූයේ වේද, නුදුන් දේ ගැනී මෙන් වෙන්වූයේ වේද, කාමයන්හි වැරදි හැසිරීමෙන් වෙන්වූයේ වේද, බොරු කීමෙන් වෙන්වූයේ වේද, කේළාම් කීමෙන් වෙන්වූයේ වේද, ඵරුෂ වචන කීමෙන් වෙන්වූයේ වේද, හිස් වචන කීමෙන් වෙන්වූයේ වේද, දැඩි ලෝභකම නැත්තේ වේද, ක්‍රෝධ සිත් නැත්තේ වේද, නිවැරැදි දැක්ම ඇත්තේ වේද, එයින් හෙතෙම ශරීරය බිඳීමෙන් මරණින් පසු“දෙවියන් අතර උපදී. දිව්‍යවූ පස්-කම් ගුණ ලබන්නේ වේ.

“බ්‍රාහ්මණය, ඇරත් දායකයාටද නිෂ්ඵල නොවේ.“පින්වත් ගෞතමයන් වහන්ස, පුදුමයි, අද්භූතයි. පින්වත් ගෞතමයන් වහන්ස, යමකදී දායක තෙමේ නිෂ්ඵලවූයෙක් වේද, (එවැනි) දානයන් දීමෙන් කම් නැත්මය. මළවුන් පිදීමෙන් කම් නැත.

“බ්‍රාහ්මණය, මෙය මෙසේමයි. බ්‍රාහ්මණය මෙය මෙසේමයි. බ්‍රාහ්මණය, දායකයාත් නිෂ්ඵලවූවෙක් නොවේ.”

“පින්වත් ගෞතමයන් වහන්ස, ඉතා යහපත, පින්වත් ගෞතමයන් වහන්ස, (මෙහි 3 අඞ්ගුත්තර නිකායේ 7 නිපාතයේ 7 වර්‍ගයේ 13 සූත්‍රයේ 27 ඡේදය යෙදිය යුතුයි.)

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.