MN 02-03-04 දීඝනඛ සුත්‍රය

දීඝනඛ

§ 1. මා විසින් මෙසේ අසන ලදී.
එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර ගිජ්ජකූට පර්වතයෙහිවූ සූකරක්ඛත නම් ලෙණෙහි වැඩ වාසය කළහ. එකල්හි දිනෙක දීඝනඛ නම් පරිව්‍රාජකයෙක්730 භාග්‍යවතුන් වහන්සේ වැඩ හුන් තැනට පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු විය යුතුවූ සිහි කටයුතුවූ කථාව කොට නිමවා එක් පැත්තක සිටියේය.

730: දීඝනඛ සැරියුත් ස්වාමින්වහන්සේගේ ගිහි කල ඔහුගේ (මස්සිනා වන ) ඥාති සොහොයුරෙකි. ඔහුගේ ගෝත්‍ර නාමය අග්ගිවෙස්සනය. නියපොතු රවුල් නොකපන ඔහුගේ දිගු නිය නිසා මිනිසුන් ඔහු දීඝනඛ ලෙස හැඳින්වූහ.
මේ සිදුවීම වුයේ සැරියුත් ස්වාමින්වහන්සේ පැවිදිව දෙසතියකට පමණ පසුව බවත් සැරියුත් හිමියන් එවිට සෝතාපත්ති ඵලයෙහි පමණක් සිටි බවත් මතක් කර ගනිමු.

දිට්ඨිය VIEW: මේ වචනයේ අර්ථය හොඳින් වටහාගැන්ම වැදගත්ය. දල වශයෙන් එය පිළිගැනීම, අදහස, මතය, ඇදහීම ලෙස සඳහන් කරත්. සියල්ලන්ම කවර හෝ දෙයක් ගැන කිසියම් අදහසක් මතයක් දරයි. එය දිට්ඨියක් වන්නේ ඒ ගැන ඒ මතය ගැන දැඩි දිශ්වාසයකින් අල්ලා ගැනීමෙන් යයි සමහර දේශකයෝ කියත්. “අන්‍යය ඉගැන්වීම් මම සම්පුර්ණයෙන්ම පිළිනොගනිමි. බැහැර කරමි” යන්න දීඝනඛ ගේ මතය විය. මේ දිට්ඨියක් ලෙස රාමුවකට දමා ගත්තොත් භාග්‍යවතුන් වහන්සේ ඔහුට මෙයද දිට්ඨියක් බව පෙන්වා දුන් සේක.

§2. එක් පැත්තක සිටියාවූ දීඝනඛ නම් පරිව්‍රාජකයන් භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීවේය. “භවත් ගෞතමයන් වහන්ස, ‘සියලු ආගම් ශාස්තෘන් රකින දෙසන දෘෂ්ටින් කිසිවක් මට රුචි නොවේ’ ඒ කිසිම දෘෂ්ටියක් මම නොපිළිගනිමි” යි කීය. “අග්ගිවෙස්සනය731, ‘කිසි දෘෂ්ඨියක් මට රුචි නොවේය’ යි කියන තොපගේ ඒ දෘෂ්ටිය තොපට රුචි නොවේදැයි?” ඇසූහ.

[731: දීඝනඛ පරිබ්රාජිකයා සියල්ල මරණයෙන් කෙළවර වන බව කියන උච්චේද වාදියෙක් බව අටුවාව සඳහන් කරතත් ඒ ස්ථිර කිරීමට තරම් කාරණයක් සඳහන් නොවේ. සබ්බං මෙ නා කම්මති යන ඔහුගේ කියවීම මජ්ජිම නිකායේ සන්ඳක සුත්රයේ සඳහන් ආඳන් ලිස්සනවා සේ ඇසු දෙයට පිළිතුර නොව අගක් මුලක් නැති වෙනස් වෙනස් මත දෙසන සියලු ශාස්තෘන් තමන් නොපිළිගන්නා බව දක්වන්නට කල ප්‍රකාශයක් ලෙස ගත හැක.]

“භවත් ගෞතමයන් වහන්ස, ඉදින් මේ දෘෂ්ටිය මට එසේ මෙයද රුචි වන්නේ නම් ඒ ‘සියල්ල මට රුචිනොවේ’ යන දෘෂ්ටියද එබඳු ලෙසම රුචි වන්නේය.”

§ 3 . “අග්ගිවෙස්සනය,

  • සියල්ල මට රුස්සන්නේය. මට නුරුස්නා මතයක් දෘෂ්ඨියක් නැත. ආදී මත ඇති මහණ බමුණෝ වෙති.
  • කිසි වෙනෙකෙකුගේ මතයක් මට නොරුස්නේය යන මතයක් ඇති මහණ බමුණෝ වෙති.
  • ඇතැම් අයගේ මතයක් විටෙක මට රුස්සන්නේය. විටෙක මට නොරුස්නේය යන දිට්ඨි ඇති මහණ බමුණෝ ද වෙති.

§ 4. “අග්ගිවෙස්සනය, ඔවුන් අතුරෙන් ‘සියල්ල මට රුචි වේයයි,’ යම් මහණ බමුණෝ වාද ඇත්තේද මෙබඳු දෘෂ්ටි ඇත්තෝ වෙත්ද, ඔවුන්ගේ මේ දෘෂ්ටිය කාම රාග වශයෙන් ඔවුන් සසරට සමීප කරවයි. සංයොජන වශයෙන් ඔවුන් සසරට සමීප කරවයි. තෘෂ්ණා දෘෂ්ටි දෙකින් අභිනන්දන සතුටුවීම් වශයෙන් ඔවුන් සසරට සමීප කරවයි. තෘෂ්ණා දෘෂ්ටි දෙක්හි ගිලීම් වශයෙන් ඔවුන් සසරට සමීප කරවයි.. (අභිනන්දති, අභිවඩති, අජ්ජෝසාය තිට්ඨති)

අග්ගිවෙස්සනය, යම් මහණ බමුණෝ ‘සියල්ල මට රුචි නොවේය.’ යන මෙබඳු වාද ඇත්තෝ මෙබඳු දෘෂ්ටි ඇත්තෝ වෙත්ද, ඔවුන්ගේ ඒ දෘෂ්ටිය සසර නොඇල්මට අසංරාගයට සමීපවේ. සසර නොබැඳීමට අසංයෝගයට සමීපවේ. තෘෂ්ණා දෘෂ්ටි දෙකින් සතුටු නොවීමට අනභිනන්දතියට සමීපවෙයි. තෘෂ්ණා දෘෂ්ටි දෙක්හි නොගිලීමට අනජ්ජෝසානායට ආසන්න වෙයි. අනුපාදානයට ලං කෙරෙයි.

මෙසේ වදාළ කල්හි දීඝනඛ නම් පරිව්‍රාජක තෙම, “භවත් ගෞතමයන් මාගේ අදහස අනුමත කරයි. මාගේ දෘෂ්ටිය අනුමත කෙරෙයි. භවත් ගෞතම වහන්සේ මාගේ දෘෂ්ටිය ඉතා උසස් බව දකී”. යි හඬ නගා සතුටින් කීය.

§ 5 එකල්හි භාග්‍යවතුන් වහන්සේ ඔහුට මෙසේ දේශනා කල සේක.
“අග්ගිවෙස්සනය, යම් මහණ බමුණෝ ‘සමහරක් දිට්ඨි මට රුචිවෙයි. සමහරක් මට රුචි නොවේය’ යන මෙබඳු වාද ඇත්තෝ මෙබඳු දෘෂ්ටි ඇත්තෝ වෙත්ද, යම් දෘෂ්ටියක් ඔවුන්ට රුචි වේද, ඒ දෘෂ්ටින් රාග වශයෙන් ඔවුන් සසරට සමීප කරවයි. සංයෝජන වශයෙන් ඔවුන් සසරට සමීප කරවයි. තණ්හා දිට්ඨි (ලෝභය හා වැරදි දැකීම්) වශයෙන් ඔවුන් සසරට සමීප කරවයි. තණ්හා දිට්ඨි දෙක්හි ගිලීම් වශයෙන් සසරට ළං කරවයි.

යම් දෘෂ්ටියක් ඔවුන්ට රුචි නොවේද ඔවුන්ගේ ඒ දෘෂ්ටිය සසර නොඇල්මට අසංරාගයට සමීපවේ. සසර නොබැඳීමට අසංයෝගයට සමීපවේ. තෘෂ්ණා දෘෂ්ටි දෙකින් සතුටු නොවීමට අනභිනන්දතියට සමීපවෙයි. තෘෂ්ණා දෘෂ්ටි දෙක්හි නොගිලීමට අනජ්ජෝසානායට ආසන්න වෙයි. අනුපාදානයට ලං කෙරෙයි.

“අග්ගිවෙස්සනය, ඔවුන් අතුරෙන් යම් මහණ බමුණකු ‘සියල්ල මට රුචි වේයයි,’ මෙබඳු වාද ඇත්තෝ මෙබඳු දෘෂ්ටි ඇත්තෝ වෙත්ද, එහිදී ඔහු නුවණ ඇතිව මෙසේ කල්පනා කරයි.
‘සියල්ල මට රුචිවේය’ යන මේ මාගේ දෘෂ්ටිය, මම දැඩි වශයෙන් අල්වාගෙන මෙයම සත්‍යය, අනික් සියළු මත සිස්යයි කියම් ද , ඉන් මට දෙයාකාරයකින් ගැටුම් කොලාහල උපදින්නේය.

§ 6. ‘සියල්ල මට රුචි නොවේයයි’. වාද ඇත්තෝ ද , ‘සමහරක් මට රුචි වේ. සමහරක් මට රුචි නොවේයයි’ යන වාද ඇත්තෝද මට විරුද්ධවන්නේය. එසේ විරුද්ධව වචන කීම වන්නේය. විරුද්ධ වචන කීම ඇති කල්හි කෝලාහල පහරදීම වන්නේය. පහරදීම ඇති කල්හි හිංසාව වන්නේය. මෙසේ හෙතෙම කොලාහලයද විවාදයද පහරදීමද හිංසාවද තමාට ඇතිවන බව දැන ඒ දෘෂ්ටියද දුරු කරයි. අනික් දෘෂ්ටියක්ද නොගනියි. මෙසේ මේ දෘෂ්ටීන්ගේ ප්‍රහානයවේ. මෙසේ මේ දෘෂ්ටීන්ගේ දුරලීම වේ.

§ 7. “අග්ගිවෙස්සනය, ඒ ආකාරයෙන්ම අනෙක් මත දෙක දරන්නවුන් ඒ ඒ දිට්ඨි ඇත්තවුන් සිය මතය පමණක් ඇත්තය. සත්‍යය. සෙසු මතයන් දෙක සාවද්‍යයි කී කල ගැටුම්, බැනුම්, දොසාරෝපණ , කළහ , පහර දීම්, හිංසා සිදුවන්නේය. මෙසේ හෙතෙම කලහයද, විවාදයද, පහරදීමද, හිංසාවද, තමාට උපදින බව දකිමින් ඒ දෘෂ්ටියද හැරදමයි. අනික් දෘෂ්ටියක්ද අල්වා නොගනියි. මෙසේ මේ දෘෂ්ටීන්ගේ දුරු කිරීම වේ. මේ දෘෂ්ටීන්ගේ දුරලීම වේ.

තමාගේ මතය ප්‍රතික්ෂේප නොකර ඔහුට සියල්ල ප්‍රතික්ෂේප කළ නොහැකි අතර, මෙය ඔහුට පිළිගත හැකි දෙයක් යන ප්‍රතිවිරුද්ධ ස්ථාවරයයි. කෙසේ වෙතත්, බුදුන් වහන්සේගේ ප්‍රශ්නයේ ගම්‍යතාවය දීඝනඛ හඳුනාගත්තද, තමාට වෙනත් කිසිවක් පිළිගත නොහැකි යැයි ඔහු දිගින් දිගටම අවධාරනය කරයි

රුපය

§ 8 “අග්ගිවෙස්සනය, සතර මහා භූතයන් ගෙන් හටගත් මවුපිය සම්භවයෙන් හටගත්, බතින් හා කොමුපිඩුවලින් වැඩුණු මේ රූපය අනිත්‍යය. ඇඟඉලීමය, පිරිමැදීමය, බිඳීමය,වෙනස්වීම, විනාසය, ස්වභාවකොට ඇත්තාවූ රූප සමූහයක් වන මේ කය අනිත්‍ය වශයෙන් දුක්වශයෙන් රොගවශයෙන් ගඩක් වශයෙන් හුලක් වශයෙන් ලාමකවූවක් වශයෙන් ආබාධයක් වශයෙන් අන්‍යවූවක් වශයෙන් නැසීම් වශයෙන් සූන්‍යවශයෙන් අනාත්ම වශයෙන් දැක්ක යුතුය.

එසේ මේ කය අනිත්‍ය වශයෙන් දුක්වශයෙන් රොග වශයෙන් ගඩක් වශයෙන්…… ..දක්නාවූ ඔහුගේ කය පිළිබඳව යම් ඇල්මෙක්, කයෙහි යම් ස්නෙහයෙක්, කය අනුව යාමක් වේද, එය දුරුවෙයි.’

වේදනා

§ 9 . “අග්ගිවෙස්සනය,
සත්වයා තුන් ආකාරයකින් ලෝකය විඳින්නේ වෙයි. සැප වේදනාය, දුක් වේදනාය, දුක්ද නොවූ සැපද නොවූ වේදනාවය යන වේදනා (විඳීම්) තුනයි.
අග්ගිවෙස්සනය, යම් කලෙක්හි සැපවූ වේදනාව විඳීද, එකල්හි දුක්වූ වේදනාව නො විඳියි.
අග්ගිවෙස්සනය, යම් කලෙක්හි දුක්වූ වේදනාව විඳීද, එකල්හි සැපවූ වේදනාවක් නොම විඳියි.
දුක්ද නොවූ සැපද නොවූ වේදනාවක් නොවිඳයි. එකල්හි දුක්වූ වේදනාවම විඳියි
අග්ගිවෙස්සනය, යම් කලෙක්හි දුක්නොවූ සැපද නොවූ වේදනාව විඳීද, එකල්හි සැපවූ වේදනා නොම විඳියි.
දුක්වූ වේදනාව නොවිඳියි. එකල්හි දුක්ද නොවූ සැපද නොවූ වේදනාවම විඳියි.

අග්ගිවෙස්සනය, විදර්ශනාවෙන් මෙසේ දක්නාවූ ආර්ය ශ්‍රාවකයා සැප වින්දනය කෙරෙහිද කලකිරෙයි. දුක් වින්දනය කෙරෙහිද කලකිරෙයි. දුක්ද නොවූ සැපද නොවූ වින්දනය කෙරෙහිද කලකිරෙයි.

කලකිරෙන්නේ වින්දනයේ නොඇලෙයි.
නොඇලීමෙන් ඔහු කැමැත්තෙන් මිදෙයි.
ආසාවෙන් මිදුනු කල්හි මිදුනේය යන දැනීම වේ.
ජාතිය ක්ෂය කරණ ලද්දීය, බ්‍රහ්මචර්ය වැස නිමවන ලද්දේය. සතර මගින් කළ යුත්ත කරන ලදී. මේ ආත්මභාවය පිණිස කළයුතු අනිකක් නැතැයි දැනගනියි.

අග්ගිවෙස්සනය, මෙසේ මිදුනු සිත් ඇත්තාවූ භික්ෂුව කිසිවෙකු සමගත් විරුද්ධව කථා නොකෙරෙයි. කිසිවෙකු සමගත් විවාද නොකෙරෙයි. ලෝකයෙහි යම් ව්‍යවහාරයක් වේද, ඒ ව්‍යවහාරයෙන් ව්‍යවහාර කරයි. දෘෂ්ටි වශයෙන් නොගනියි.

අග්ගිවෙස්සනය, සැප වේදනාවද අනිත්‍යය, සකස් කරන ලදී (සංඛතය.), හේතුප්‍රත්‍යයන් ගෙන් හටගන්නීය. ක්ෂය වන ස්වභාව ඇත්තීය. විනාසය ස්වභාව කොට ඇත්තීය. විරාගය ස්වභාව කොට ඇත්තීය, නිරෝධය ස්වභාව කොට ඇත්තීය.

අග්ගිවෙස්සනය, දුක් වේදනාවද අනිත්‍යය, සකස් කරනලද්දීය. ප්‍රත්‍යයෙන් හටගත්තීය. ක්ෂයවීම ස්වභාව කොට ඇත්තීය, විනාසය ස්වභාව කොට ඇත්තීය, විරාගය ස්වභාව කොට ඇත්තීය, නිරෝධය ස්වභාව කොට ඇත්තීය,

අග්ගිවෙස්සනය, දුක්ද නොවූ සැපද නොවූ වේදනාවද අනිත්‍යය සකස් කරන ලද්දීය, ප්‍රත්‍යයෙන් හටගත්තීය, ක්ෂයවන ස්වභාව ඇත්තීය, විනාසවන ස්වභාව ඇත්තීය, විරාග ස්වභාව ඇත්තීය, නිරෝධය ස්වභාව කොට ඇත්තීය,

§ 10 . එකල්හි ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගේ පිටුපසින් සිට භාග්‍යවතුන් වහන්සේට පවන් සලමින් සිටියේ වෙයි. සිය ඥාති සොහොයුරාට දේශනා කලාවූ මේ ධර්මය ඇසු ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන්ට මෙබඳු අදහස් විය.
‘භාග්‍යවතුන් වහන්සේ සිය නුවණින් දැන ඒ ඒ ධර්මයන්ගේ දුරු කිරීම අපට වදාළේය. සුගතයන් වහන්සේ අපට නුවණින් දැනම මේ ධර්මයන්ගේ දුරලීම වදාළේයයි. මෙසේ මෙනෙහි කරන්නාවූ ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේගේ සිත තෘෂ්ණා දෘෂ්ටීන්ගෙන් අලවා නොගෙන ආශ්‍රවයන්ගෙන් මිදුනේය.

දීඝනඛ පරිව්‍රාජකයාහට යම් කිසිවක් ඉපදීම ස්වභාව කොට ඇත්තේද, ඒ සියල්ල නිරුද්ධවීම ස්වභාවකොටම ඇත්තේයයි කෙලෙස් රජස් මල රහිතවූ සැක පහවූ, ධර්ම චක්ෂුස ( දහම් ඇස = සෝවාන් මාර්ගඥානය) පහලවූයේය.

§ 11. ඉක්බිති දීඝනඛ පරිව්‍රාජකයා ධර්මය දැක්කේය. ධර්මයට පැමිණියේය. ධර්මය විනිවිද ගියේය. සැක දුරූ කර ගත්තේය. ධර්මයට පැමිණියාවූයේ දැනගන්නාලද ධර්මය ඇත්තේ බැසගත්තාවූ ධර්මය ඇත්තේ දුරු කළාවූ විචිකිච්ඡා ඇත්තේ පහවූ සැකය ඇත්තේ විසාරද බවට පැමිණියේ ශාස්තෘ ශාසනයෙන් පිට අන් පිහිටක් නොසොයන බවට පැමිණියේ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීවේය.

“භවත් ගෞතමයන් වහන්ස, ඉතා යහපත, භවත් ගෞතමයන් වහන්ස, ඉතා යහපත, භවත් ගෞතමයන් වහන්ස, යම්සේ යටිකුරු කොට තබන ලද්දක් උඩුකුරු කරන්නේද, වසා තබන ලද්දක වැසුම් අරින්නේද, මංමුළාවූවෙකුට මග කියන්නේද අන්ධකාරයෙහි හෝ ‘ඇස් ඇත්තෝ රූප දකිත්වායි තෙල් පහනක් දරන්නේද, මෙපරිද්දෙන් භවත් ගෞතමයන් වහන්සේ විසින් නොයෙක් ආකාරයෙන් ධර්මය දේශනා කරණලදී.

මම භවත් ගෞතමයන් වහන්සේ සරණ කොට යමි. ධර්මයද භික්ෂු සංඝයාද (සරණ කොට යමි) භවත් ගෞතමයන් වහන්සේ මා අද පටන් දිවිහිම් කොට සරණගියාවූ උපාසකයෙකැයි දරණ සේක්වායි” කීය.

PS: ිිිි සියලු සත්වයන් හැම විටම යම් මතයකින් යම් දිට්ඨියකින් යුතු වේ. අනෙකෙකුගේ දිට්ටිය තමා දරන දිට්ටියට නොගැලපේ නම් අසමාන නම් ඒ හා ගැටීම පෘථග්ජන ස්වභාවයයි. භාග්‍යවතුන්වහන්සේ ගේ ඉගැන්වීමේ හරය ලෙස දැකිය හැක්කේ “අනුන් දරන මත හා නොගැටීම” යයි කෙනෙකුට කිව හැක. අනුන්ගේ දිට්ඨි නිවැරදි නම් සම්මා දිට්ඨිය (නිවැරදි දැකීම) යයි කියා දෙයක් භාග්‍යවතුන් වදාළේ ඇයි දැයි අසන්නට හැක. සම්මා දිට්ඨියේ හරි තේරුම් “නිවැරදි දැකීම” නොව “සුදුසුම දැකීම්” ලෙස සැලකිය හැක. කුමට සුදුසුම ද? නිර්වානාවබෝධය සඳහා සුදුසුම මනස් ස්වභාවය.. ලෙස. …
තවත් කෙනෙකු මෙම සුත්‍රය අසා ඕනෑම දිට්ඨියක් ආත්ම සංඥාවම පෝෂණය කරණ නිසා දිට්ඨිය හා නොගැටීම අනාත්ම සංඥාව වැඩීමට ආධාර වේ යයි කිව හැක. රුප වේදනා සංඥා විදර්ශනාවම විමුක්තියට මග සලසන බව මේ සුත්‍රය කියවා ගත හැකි ඵලය ලෙස සලකමි.

https://kalyanadhamma.wordpress.com/

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.