SN 05-02-04 නීවරණ වග්ගය

SN 05-02-04-01.
අප්පමාද මූලක සූත්‍රය

§ 2 . “මහණෙනි, කුසල කොට්ඨාසයට අයත්වූ කුසල පාක්ෂිකවූ යම්කිසි කුසල ධර්මයක් වෙත්ද, ඒ සියල්ල අප්‍රමාදය මුල්කොට ඇත්තාහ. අප්‍රමාදය පාදක කොට ඇත්තාහ. අප්‍රමාදය ඒ ධර්මයන්ට ප්‍රධානයයි කියනු ලැබේ.

මහණෙනි, අප්‍රමාදවූ භික්ෂුව සප්ත බොධ්‍යංගයන් වඩන්නේය. සප්ත බොධ්‍යංගයන් නැවත නැවත පුරුදු කරන්නේය. මහණෙනි, අප්‍රමාදවූ භික්ෂුව කෙසේ සප්ත බොධ්‍යංගයන් වඩයිද? කෙසේ නැවත නැවත පුරුදු කරයිද?

§ 3. “මහණෙනි, මේ සස්නෙහි භික්ෂුව විවේකය ඇසුරු කළාවූ, විරාගය ඇසුරු කළාවූ, නිරෝධය ඇසුරු කළාවූ, නිවන් පිණිස නැමුණාවූ සති සම්බොජ්ඣංගය වඩයිද,
“මහණෙනි, විරා………නැමුණාවූ ධම්මවිචය සම්බොජ්ඣංගය වඩයිද,
“ ……විරිය සම්බොජ්ඣංගය වඩයිද,
“ ……පීති සම්බොජ්ඣංගය වඩයිද,
“ ……පස්සද්ධි සම්බොජ්ඣංගය වඩයිද,
“ …..සමාධි සම්බොජ්ඣංගය වඩයිද,
“……උපෙක්ඛා සම්බොජ්ඣංගය වඩයිද,

§ 4.  “මහණෙනි,
අප්‍රමාදවූ භික්ෂුව මෙසේ සප්ත බොධ්‍යංගයන් වඩයි. සප්ත බොධ්‍යංගයන් නැවත නැවත පුරුදු කෙරේයයි” වදාළසේක.

SN 05-02-04-02.
යොනිසොමනිසිකාර මූලක සූත්‍රය

§ 1. මා විසින් මෙසේ අසන ලදී.
එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටුහු විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩ වසන සේක් දිනක් භික්ෂුන් අමතා මෙසේ වදාළ සේක. .

§ 2, “මහණෙනි, කුසල කොට්ඨාශයෙහිවූ, කුසල පාක්ෂිකවූ යම්කිසි කුසල ධර්මයක් වෙත්ද, ඒ සියල්ල නුවණින් මෙනෙහි කිරීම මුල්කොට ඇත්තාහ. නුවණින් මෙනෙහි කිරීම හැසිරීම්කොට ඇත්තාහ. නුවණින් මෙනෙහි කිරීම ඒ ධර්මයන්ට ප්‍රධානයයි කියනු ලැබේ. මහණෙනි, නුවණින් මෙනෙහි කරන්නාවූ භික්ෂුව සප්ත බොධ්‍යංගයන් වඩන්නේය. සප්ත බොධ්‍යංගයන් නැවත නැවත පුරුදු කරන්නේය යන මේ කාරණය කැමතිවිය යුතුය. නුවණින් මෙනෙහි කිරීමෙන් යුක්තවූ මහණතෙම කෙසේ සප්ත බොධ්‍යංගයන් වඩන්නේද? සප්ත බොධ්‍යංගයන් නැවත නැවත පුරුදු කරන්නේද?

§ 3. “මහණෙනි, මේ සස්නෙහි භික්ෂුව විවේකය ඇසුරු කළාවූ, විරාගය ඇසුරු කළාවූ, නිරෝධය ඇසුරු කළාවූ, නිවන් පිණිස නැමුණාවූ සති සම්බොජ්ඣංගය වඩයිද,
“මහණෙනි, විරා………නැමුණාවූ ධම්මවිචය සම්බොජ්ඣංගය වඩයිද,
“ විරිය සම්බොජ්ඣංගය වඩයිද,
“ පීති සම්බොජ්ඣංගය වඩයිද,
“ පස්සද්ධි සම්බොජ්ඣංගය වඩයිද,
“ සමාධි සම්බොජ්ඣංගය වඩයිද,
“උපෙක්ඛා සම්බොජ්ඣංගය වඩයිද,
“මහණෙනි, මෙසේ වනාහි නුවණින් මෙනෙහි කිරීමෙන් යුක්තවූ මහණතෙම සප්ත බොජ්ඣංගයන් වඩන්නේය. සප්ත බොධ්‍යංගයන් නැවත නැවත පුරුදු කරන්නේය.”

SN 05-02-04-03.
උපක්කිලෙස සුත්තං
පඤ්චෝපක්කිලෙස සූත්‍රය

§ 1. මා විසින් මෙසේ අසන ලදී.
එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටුහු විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩ වසන සේක් දිනක් භික්ෂුන් අමතා මෙසේ වදාළ සේක. .

§2. “මහණෙනි, යම් කෙළෙසීමකින් කිලිටුවූ රන් ගුලියක් මෘදුනොවේද, කටයුත්තට යොග්‍ය නොවේද, බැබලීමක් නැත්තේද, බිඳෙන සුලුද, පහසුවෙන් වැඩකළ නොහැකිද එවැනි කිලුටු පසක් ස්වර්ණයට (රන්වලට) ඇත්තේය. ඒ පස කවරේදයත්?

  • මහණෙනි, යකඩ ස්වර්ණයාගේ කිලුටකි. එයින් කිලුටුවූ ස්වර්ණය මෘදුද නොවෙයි, කර්මණ්‍යද නොවෙයි. බැබලීම නැත. බිඳෙන සුලුය, වැඩ කිරීමට පහසු නොවෙයි.
  • මහණෙනි, ලෝභය ස්වර්ණයාගේ කිලුටකි. එයින් කිලුටුවූ ස්වර්ණය මෘදුද නොවෙයි, කර්මණ්‍යද නොවෙයි. බැබලීමක්ද නැත. බිඳෙන සුලුය, වැඩට පහසු නොවෙයි. මහණෙනි,
  • සුදු ඊයම් ස්වර්ණයාගේ කිලුටකි. එයින් කිලුටුවූ ස්වර්ණය මෘදු නොවෙයි. බැබලීමක් නැත. බිඳෙන සුලුය, වැඩට පහසු නැත.
  • මහණෙනි, කලු ඊයම් ස්වර්ණයාගේ කිලුටකි. එයින් කිලුටුවූ ස්වර්ණය මෘදුද නොවෙයි. කර්මණ්‍යද නොවෙයි. බැබලීමක්ද නැත බිඳෙන සුලුය. වැඩට පහසු නැත.
  • මහණෙනි රිදී ස්වර්ණයාගේ කිලුටකි. එයින් කිලුටුවූ ස්වර්ණය මෘදුද නොවෙයි, කර්මණ්‍යද නොවෙයි. බැබලීමක්ද නැත. බිඳෙන සුලුය, වැඩට පහසු නොවේ. මහණෙනි, මෙම පස ස්වර්ණයාගේ උපක්ලෙශයෝය.
See the source image

මේ පසින් කිලුටුවූ ස්වර්ණය මෘදුද නොවේද, කර්මණ්‍යද නොවේද, බැබලීමක් නැත්තේද, බිඳෙන සුලුද, වැඩට නොපහසුද,

§3. මහණෙනි, එපරිද්දෙන් කෙලෙසුන්ගෙන් කිලුටුවූ සිත මෘදුන් නොවේ, කර්මණ්‍ය නොවේ, පිරිසිදු නොවේ, අරමුණෙහි සුණුවිසුණු වන හෙයින් බිඳෙන සුලුවේ, ආශ්‍රවයන් නැතිකිරීම පිණිස මනාකොට සිත එකඟ නොවේ. සිත කිලුටු කරන්නාවූ එවැනි ධර්මයෝ මේ පසකි. ඒ පස කවරේදයත්?

  • “මහණෙනි, කාමච්ඡන්දය සිතේ කිලුටකි. එයින් කිලුටුවූ සිත මෘදු නොවෙයි, කර්මණ්‍ය නොවෙයි, පිරිසිදු නොවෙයි, අරමුණෙහි නොරඳන බැවින් බිඳෙයි, ආශ්‍රවයන්ගේ නැති කිරීම පිණිස සිත එකඟ නොවෙයි.
  • “මහණෙනි, ව්‍යාපාදය සිතේ කිලුටකි. එයින් කිලුටුවූ සිත මෘදු නොවෙයි, කර්මණ්‍ය නොවෙයි, පිරිසිදු නොවෙයි, අරමුණෙහි නොරඳන බැවින් බිඳෙයි, ආශ්‍රවයන්ගේ නැති කිරීම පිණිස සිත එකඟ නොවෙයි.
  • “මහණෙනි, කයේ හා සිතේ අලස ගතිය (ථිනමිද්ධය) සිතේ කිලුටකි. එයින් කිලුටුවූ සිත මෘදු නොවෙයි, කර්මණ්‍ය නොවෙයි, පිරිසිදු නොවෙයි, අරමුණෙහි නොරඳන බැවින් බිඳෙයි, ආශ්‍රවයන්ගේ නැතිකිරීම පිණිස සිත එකඟ නොවෙයි.
  • “මහණෙනි, සිතේ නොසන්සුන් ගතිය හා පසුතැවීම් (උද්ධච්චකුක්කුච්චය) සිතේ කිලුටකි. කිලුටුවූ සිත මෘදු නොවෙයි, කර්මණ්‍ය නොවෙයි, පිරිසිදු නොවෙයි, අරමුණෙහි නොරඳන බැවින් බිඳෙයි, ආශ්‍රවයන්ගේ නැතිකිරීම පිණිස සිත එකඟ නොවෙයි.
  • “මහණෙනි, බුද්ධාදී අට තැන්හි සැකය සිතේ කිලුටකි. එයින් කිලුටුවූ සිත මෘදු නොවෙයි, කර්මණ්‍ය නොවෙයි, පිරිසිදු නොවෙයි, අරමුණෙහි නොරඳන බැවින් බිඳෙයි, ආශ්‍රවයන්ගේ නැතිකිරීම පිණිස සිත එකඟ නොවෙයි.

“මහණෙනි, මේ පස වනාහි චිත්තයාගේ උපක්ලෙශයෝය. ඒ උපක්ලෙශයන්ගෙන් කිලුටුවූ සිත මෘදු නොවෙයි, කර්මණ්‍ය නොවෙයි, පිරිසිදු නොවෙයි, අරමුණෙහි නොරඳන බැවින් බිඳෙන සුලුය, ආශ්‍රවයන්ගේ නැතිකිරීම පිණිස මනා කොට සිත එකඟ නොවේයයි” වදාළසේක.

SN 05-02-04-04.
අනුපක්කිලෙසසුත්තං
4. අනුපක්කිලෙස සූත්‍රය

§ 1.මා විසින් මෙසේ අසන ලදී.
එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටුහු විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩ වසන සේක් දිනක් භික්ෂුන් අමතා මෙසේ වදාළ සේක. .

§ 2 . “මහණෙනි කුසල ධර්මයන් ආවරණය නොකරන්නාවූ කුසල ධර්මයන් නොවසන්නාවූ, සිත කිලිටු නොකරන්නාවූ, වඩන ලද්දාවූ, නැවත නැවත පුරුදු කරන ලද්දාවූ, අර්හත් මාර්ගඵල ප්‍රත්‍යක්ෂ කිරීම පිණිස පවත්නාවූ බොජ්ඣංග ධර්ම සතක් වෙත්. ඒ සත කවරේද යත්?

“මහණෙනි, වඩන ලද්දාවූ, බහුල කරන ලද්දාවූ, කුසල් ආවරණය නොකරන්නාවූ කුසල් නොවසන්නාවූ සති සම්බොජ්ඣංගය අර්හත් මාර්ගඵල ප්‍රත්‍යක්ෂ කිරීම පිණිස පවතියි.
“මහණෙනි, වඩන ලද්දාවූ, බහුල කරන ලද්දාවූ, කුසල් ආවරණය නොකරන්නාවූ කුසල් නොවසන්නාවූ ධම්මවිචය සම්බොජ්ඣංගය අර්හත් මාර්ගඵල ප්‍රත්‍යක්ෂ කිරීම පිණිස පවතියි.
“මහණෙනි, වඩන ලද්දාවූ, බහුල කරන ලද්දාවූ, කුසල් ආවරණය නොකරන්නාවූ කුසල් නොවසන්නාවූ විරිය සම්බොජ්ඣංගය අර්හත් මාර්ගඵල ප්‍රත්‍යක්ෂ කිරීම පිණිස පවතියි.
“මහණෙනි, වඩන ලද්දාවූ, බහුල කරන ලද්දාවූ, කුසල් ආවරණය නොකරන්නාවූ කුසල් නොවසන්නාවූ පීති සම්බොජ්ඣංගය අර්හත් මාර්ගඵල ප්‍රත්‍යක්ෂ කිරීම පිණිස පවතියි.
“මහණෙනි, වඩන ලද්දාවූ, බහුල කරන ලද්දාවූ, කුසල් ආවරණය නොකරන්නාවූ කුසල් නොවසන්නාවූ පස්සද්ධි සම්බොජ්ඣංගය අර්හත් මාර්ගඵල ප්‍රත්‍යක්ෂ කිරීම පිණිස පවතියි.
“මහණෙනි, වඩන ලද්දාවූ, බහුල කරන ලද්දාවූ, කුසල් ආවරණය නොකරන්නාවූ කුසල් නොවසන්නාවූ සමාධි සම්බොජ්ඣංගය අර්හත් මාර්ගඵල ප්‍රත්‍යක්ෂ කිරීම පිණිස පවතියි.
“මහණෙනි, වඩන ලද්දාවූ, බහුල කරන ලද්දාවූ, කුසල් ආවරණය නොකරන්නාවූ කුසල් නොවසන්නාවූ උපෙක්ඛා සම්බොජ්ඣංගය අර්හත් මාර්ගඵල ප්‍රත්‍යක්ෂ කිරීම පිණිස පවතියි.

මහණෙනි, වඩන ලද්දාවූ, බහුල කරන ලද්දාවූ, කුසල් ආවරණය නොකරන්නාවූ කුසල් නොවසන්නාවූ මේ බොධ්‍යංග ධර්ම සත අර්හත් මාර්ගඵලයන් ප්‍රත්‍යක්ෂ කිරීම පිණිස පවතිත්යයි” වදාළසේක.

SN 05-02-04-05.
අයොනිසො මනසිකාර සූත්‍රය

§ 1. මා විසින් මෙසේ අසන ලදී.
එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටුහු විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩ වසන සේක් දිනක් භික්ෂුන් අමතා මෙසේ වදාළ සේක. .

§ 2. “මහණෙනි,

  • නුවණින් මෙනෙහි නොකරන්නාහට නූපන්නාවූ කාමච්ඡන්දය උපදියි. උපන්නාවූ කාමච්ඡන්දයා බහුල බවට මහත්බවට පත් වෙයි.
  • නුවණින් මෙනෙහි නොකරන්නාහට නූපන්නාවූ ව්‍යාපාදය (අසන්තෝෂය) උපදියි. උපන්නාවූ ව්‍යාපාදය බහුල බවට මහත්බවට පත් වෙයි.
  • නුවණින් මෙනෙහි නොකරන්නාහට නූපන්නාවූ ථිනමිද්ධය උපදියි. උපන්නාවූ ථිනමිද්ධය බහුල බවට මහත්බවට පත් වෙයි.
  • නුවණින් මෙනෙහි නොකරන්නාහට නූපන්නාවූ උද්ධච්චකුක්කුච්චය උපදියි. උපන්නාවූ උද්ධච්චකුක්කුච්චය බහුලබව පිණිස, මහත්බව පිණිස පවතියි.
  • නුවණින් මෙනෙහි නොකරන්නාහට නූපන්නාවූ විචිකිච්ඡාව උපදියි. උපන්නාවූ විචිකිච්ඡාව බහුල බව පිණිස, මහත් බව පිණිස පවතියි.
  • “මහණෙනි, නුවණින් මෙනෙහි කරන්නා හට නූපන්නාවූ සති සම්බොජ්ඣංගය උපදවයි. උපන්නාවූද සති සම්බොජ්ඣංගය වැඩීමට සම්පූර්ණබවට පැමිණෙයි.
  • නූපන්නාවූ ධම්මවිචය සම්බොජ්ඣංගය උපදියි. උපන්නාවූ ධම්මවිචය සම්බොජ්ඣංගය වැඩීමට සම්පූර්ණබවට පැමිණෙයි.
  • නුවණින් මෙනෙහි කරන්නා හට නූපන්නාවූ විරිය සම්බොජ්ඣංගය උපදියි. උපන්නාවූද විරියසම්බොජ්ඣංගය වැඩීමට සම්පූර්ණබවට පැමිණෙයි.
  • නුවණින් මෙනෙහි කරන්නා හට නූපන්නාවූ පීති සම්බොජ්ඣංගය උපදියි. උපන්නාවූ පීති සම්බොජ්ඣංග වැඩීමට සම්පූර්ණබවට පැමිණෙයි.
  • නුවණින් මෙනෙහි කරන්නා හට නූපන්නාවූ පස්සද්ධි සම්බොජ්ඣංගය උපදියි. උපන්නාවූ පස්සද්ධි සම්බොජ්ඣංගය වැඩීමට සම්පූර්ණබවට පැමිණෙයි.
  • නූපන්නාවූ සමාධි සම්බොජ්ඣංගය උපදියි. උපන්නාවූ සමාධි සම්බොජ්ඣංගය වැඩීමට සම්පූර්ණ බවට පැමිණෙයි.
  • නුවණින් මෙනෙහි කරන්නා හට නූපන්නාවූ උපෙක්ඛා සම්බොජ්ඣංගය උපදියි. උපන්නාවූ උපෙක්ඛා සම්බොජ්ඣංගය වැඩීමට සම්පූර්ණ බවට පැමිණේයයි” වදාළසේක.
SN 05-02-04-06.
යොනිසොමනසිකාර සුත්තං
6. අපරිහාන සූත්‍රය

§ 1. මා විසින් මෙසේ අසන ලදී.
එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටුහු විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩ වසන සේක් දිනක් භික්ෂුන් අමතා මෙසේ වදාළ සේක. .

§ 2. “මහණෙනි, වඩනලද්දාවූ නැවත නැවත පුරුදුකරන ලද්දාවූ මේ බොජ්ඣංග සත දියුණුව පිණිස නොපිරිහීම පිණිස පවතිත්. ඒ සත කවරේද යත්?

“සති සම්බොජ්ඣංගය, ධම්මවිචය සම්බොජ්ඣංගය විරිය සම්බොජ්ඣංගය, පීති සම්බොජ්ඣංගය, පස්සද්ධි සම්බොජ්ඣංගය, සමාධි සම්බොජ්ඣංගය සහ උපෙක්ඛා සම්බොජ්ඣංගය යන සතය. මහණෙනි, වඩන ලද පුරුදු කරන ලද මේ සප්ත බොජ්ඣංගයෝ දියුණුව පිණිස, නොපිරිහීම පිණිස පවතිත් යයි” වදාළසේක.

SN 05-02-04-07.
බුද්ධිසුත්තං / ආවරණ සූත්‍රය

§ 1. මා විසින් මෙසේ අසන ලදී.
එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටුහු විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩ වසන සේක් දිනක් භික්ෂුන් අමතා මෙසේ වදාළ සේක. .

§ 2. “මහණෙනි, කුසල් ආවරණය කරන්නාවූ කුසල් වසන්නාවූ, සිත කෙලෙසන්නාවූ, නුවණ දුර්වල කරන්නාවූ, ධර්මයෝ පසක්වෙත්. ඒ පස කවරේදයත්,

මහණෙනි,
1.කාමච්ඡන්ද කුසල් ආවරණය කරන්නාවූ, කුසල් වසන්නාවූ සිතකෙළසන්නාවූ නුවණ දුර්වලකරන්නාවූ ධර්මයකි.
2. ව්‍යාපාදය කුසල් ආවරණය කරන්නාවූ, කුසල් වසන්නාවූ සිත කෙළසන්නාවූ, ප්‍රඥාව දුර්වලකරන්නාවූ, ධර්මයකි.
3. “මහණෙනි, ථිනමිද්ධය කුසල් ආවරණය කරන්නාවූ, කුසල් වසන්නාවූ, කෙළසන්නාවූ, ප්‍රඥාවදුර්වල කරන්නාවූ ධර්මයකි.
4. “මහණෙනි, උද්ධච්චකුක්කුච්චය කුසල් ආවරණය කරන්නා වූ කුසල් වසන්නාවූ සිත කෙලසන්නාවූ ප්‍රඥාව දුර්වලකරන්නා වූ ධර්මයකි.
5. “මහණෙනි, විචිකිච්ඡාව කුසල් ආවරණය කරන්නාවූ කුසල් වසන්නාවූ, සිත කෙලසන්නාවූ, ප්‍රඥාව දුර්වල කරන්නාවූ ධර්මයකි.
මහණෙනි, මොව්හු පස්දෙන කුසල් ආවරණය කරන්නාවූ, කුසල් වනසන්නාවූ, ප්‍රඥාව දුර්වලකරන්නාවූ ධර්මයෝවෙති.

§ 3. “මහණෙනි, කුසල් ආවරණය නොකරන්නාවූ, නොවසන්නාවූ සිත නොකෙලෙසන්නාවූ, වඩන ලද්දාවූ, නැවත නැවත පුරුදුකරන ලද්දාවූ මේ බොධ්‍යංග ධර්ම සත අර්හත් මාර්ගඵල පිණිස පවතිත්. ඒ කවර සත්දෙනෙක්ද යත්;

“මහණෙනි, කුසල් ආවරණය නොකරන්නාවූ, නොවසන්නාවූ, සිත නොකෙලසන්නාවූ, වඩනලද්දාවූ, නැවත නැවත පුරුදු කරනලද්දාවූ, සති සම්බොජ්ඣංගය අර්හත් මාර්ග ඵල පිණිස පවතිත්.
“මහණෙනි, කුසල් ආවරණය නොකරන්නාවූ, නොවසන්නාවූ, සිත නොකෙලසන්නාවූ, වඩන ලද්දාවූ, නැවත නැවත පුරුදුකරන ලද්දාවූ ධම්මවිචය සම්බොජ්ඣංගය අර්හත් මාර්ගඵල පිණිස පවතිත්.
“මහණෙනි, කුසල් ආවරණය නොකරන්නාවූ, නොවසන්නාවූ, සිත නොකෙලෙසන්නාවූ, වඩන ලද්දාවූ නැවත නැවත පුරුදු කරන ලද්දාවූ විරිය සම්බොජ්ඣංගය අර්හත් මාර්ගඵල පිණිස පවතිත්.
“මහණෙනි, කුසල් ආවරණය නොකරන්නාවූ, නොවසන්නාවූ, සිත නොකෙලෙසන්නාවූ, වඩන ලද්දාවූ නැවත නැවත පුරුදු කරන ලද්දාවූ පීති සම්බොජ්ඣංගය අර්හත් මාර්ගඵල පිණිස පවතිත්.
“මහණෙනි, කුසල් ආවරණය නොකරන්නාවූ, නොවසන්නාවූ, සිත නොකෙලෙසන්නාවූ, වඩන ලද්දාවූ නැවත නැවත පුරුදුකරන ලද්දාවූ පස්සද්ධි සම්බොජ්ඣංගය අර්හත් මාර්ගඵල පිණිස පවතිත්.
“මහණෙනි, කුසල් ආවරණය නොකරන්නාවූ, නොවසන්නාවූ, සිත නොකෙලෙසන්නාවූ, වඩනලද්දාවූ නැවත නැවත පුරුදු කරන ලද්දාවූ, සමාධි සම්බොජ්ඣංගය අර්හත් මාර්ගඵල පිණිස පවතිත්.
“මහණෙනි, කුසල් ආවරණය නොකරන්නාවූ, නොවසන්නාවූ, සිත නොකෙලෙසන්නාවූ, වඩනලද්දාවූ, නැවත නැවත පුරුදුකරන ලද්දාවූ, උපෙක්ඛා සම්බොජ්ඣංගය අර්හත් මාර්ගඵල පිණිස පවතිත්.
“මහණෙනි, වඩනලද්දාවූ, බහුලකරන ලද්දාවූ, කුසල් ආවරණය නොකරන්නාවූ නොවසන්නාවූ සිත නොකෙලෙසන්නාවූ, මේ බොධ්‍යංග ධර්ම සත, අර්හත් මාර්ග ඵලයන් ප්‍රත්‍යක්ෂ කිරීම පිණිස පවතිත්” යනුයි.

SN 05-02-04-08.
ආවරණනාවරණ සූත්‍රය

§ 1. මා විසින් මෙසේ අසන ලදී.
එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටුහු විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩ වසන සේක් දිනක් භික්ෂුන් අමතා මෙසේ වදාළ සේක. .

§ 2. “මහණෙනි, ආර්යශ්‍රාවකයා යම් කලෙක අර්ථයෙන් යුක්තව මෙනෙහිකොට මුළු සිත යොමුකොට කන්යොමා ධර්මය අසයිද,

  • එකල ඔහුට පඤ්ච නීවරණයෝ නොවෙත්.
  • එකල්හි සප්ත සම්බොජ්ඣංගයෝ වැඩීමෙන් සම්පූර්ණ වීමට පැමිණෙත්.
  • ඔහුට එකල්හි කවර පඤ්ච නීවරණ කෙනෙක් නොවෙත්ද?
  • කාමච්ඡන්ද නීවරණය එකල්හි නැත
  • ව්‍යාපාද නීවරණය එකල්හි නැත.
  • ථින මිද්ධ නීවරණය එකල්හි නැත.
  • උද්ධච්චකුක්කුච්ච නීවරණය එකල්හි නැත.
  • විකිකිච්ඡා නීවරණය එකල්හි නැත.
    මේ පඤ්ච නීවරණයෝ එකල්හි නොවෙත්.
  • “කවර සප්ත බොධ්‍යංග කෙනෙක් වැඩීමට සම්පූර්ණ වීමට පැමිණෙද්ද?
  • සති සම්බොජ්ඣංගය එකල්හි වැඩීමට සම්පූර්ණවීමට පැමිණෙයි.
  • ධම්මවිචය සම්බොජ්ඣංගය එකල්හි වැඩීමට සම්පූර්ණවීමට පැමිණෙයි.
  • විරිය සම්බොජ්ඣංගය එකල්හි වැඩීමට සම්පූර්ණවීමට පැමිණෙයි.
  • පීති සම්බොජ්ඣංගය එකල්හි වැඩීමට සම්පූර්ණවීමට පැමිණෙයි.
  • පස්සද්ධි සම්බොජ්ඣංගය එකල්හි වැඩීමට සම්පූර්ණවීමට පැමිණෙයි.
  • සමාධි සම්බොජ්ඣංගය එකල්හි වැඩීමට සම්පූර්ණවීමට පැමිණෙයි.
  • උපෙක්ඛා සම්බොජ්ඣංගය එකල්හි වැඩීමට සම්පූර්ණවීමට පැමිණෙයි.

“මහණෙනි, ආර්යශ්‍රාවකයෙක් යම් කලෙක අර්ථයෙන් යුක්තව මෙනෙහිකොට මුළු සිතින් යොමුකොට කන් යොමා ධර්මය අසයිද, ඔහුට එකල්හි මේ පඤ්ච නීවරණයෝ ඇති නොවෙත්. එකල්හි මේ සප්ත බොධ්‍යංගයෝ වැඩීමට සම්පූර්ණ වීමට පැමිණෙත්.

SN 05-02-04-09.
මහාරුක්ඛොපම සූත්‍රය

§ 1, මා විසින් මෙසේ අසන ලදී.
එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටුහු විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩ වසන සේක් දිනක් භික්ෂුන් අමතා මෙසේ වදාළ සේක. .

Fichier:Sous-bois de la forêt de Bannoncourt.JPG — Wikipédia

§2. මහණෙනි,
යම් කුඩා ගස් යටකර ගෙන වැඩුණාහුද ඒ ගස නැමී පාත්වී වැටීයේද එවැනි කුඩා බීජ ඇත්තාවූ මහත් කඳ ඇත්තාවූ ගස් යටකරගන්නාවූ මහා වෘක්ෂයෝ වෙත්. මහණෙනි, ඒ මහා වෘක්ෂයෝ කවරහුද? ඇසටුය, නුගය, පුලිලය, ඉඹුල්ය, කච්ඡකය, කපිත්ථනය (වඳුරු තන හා සමාන ඵල ඇති ගස් වර්ගයක්) යන මොහුය. මහණෙනි, මේ කුඩා බීජ ඇත්තාවූ මහත් කය ඇත්තාවූ ගස් යට කරන්නාවූ මහා වෘක්ෂයන් විසින් යටකරන ලද ගස් නැමී පාත්වී ඇදවැටෙත්ද මහණෙනි, එපරිද්දෙන් මෙහි යම් කුලපුත්‍රයෙක් යම්බඳුවූ කාමයන් හැරදමා ගිහිගෙයින් නික්ම පැවිදි වෙයිද, හෙතෙම එවැනිවූ කාමයන්ගෙන් හෝ ඊට වැඩිතරම් කාමයන්ගෙන් හෝ යටකරන ලදුව නැමී පාත්වී ඇදවැටෙන්නේය.

§3, “මහණෙනි, සිත යටකරන්නාවූ ආවරණය කරන්නාවූ වසන්නාවූ ප්‍රඥාව දුර්වල කරන්නාවූ මේ ධර්මයෝ පස්දෙනෙක් වෙත්. ඒ පස කවරේදයත්, මහණෙනි, කාමච්ඡන්දය සිත යට කරන්නාවූ ආවරණය කරන්නාවූ නුවණ දුර්වල කරන්නෙකි. මහණෙනි, ව්‍යාපාදය සිත යට කරන්නාවූ ආවරණය කරන්නාවූ වසන්නාවූ නුවණ දුර්වල කරන්නෙකි. මහණෙනි, ථින මිද්ධය සිත යට කරන්නාවූ ආවරණය කරන්නාවූ වසන්නාවූ නුවණ දුර්වල කරන්නකි. මහණෙනි, උද්ධච්ච කුක්කුච්චය සිත යට කරන්නාවූ ආවරණය කරන්නාවූ වසන්නාවූ නුවණ දුර්වල කරන්නකි. මහණෙනි, විචිකිච්ඡාව සිත යටකරන්නාවූ ආවරණය කරන්නාවූ වසන්නාවූ නුවණ දුර්වල කරන්නකි. මහණෙනි, මේ පස් දෙන සිත යට කරන්නාවූ ආවරණය කරන්නාවූ වසන්නාවූ නුවණ දුර්වල කරන්නාහුය.

§ 4, “මහණෙනි, වඩන ලද්දාවූ, බහුල කරන ලද්දාවූ සිත යට නොකරන්නාවූ ආවරණය නොකරන්නාවූ නොවසන්නාවූ මාර්ගඵල ධර්මයන් ප්‍රත්‍යක්ෂ කිරීම පිණිස පවත්නාවූ මේ බොධ්‍යංග ධර්ම සතකි. ඒ සත කවරේද යත්?
“මහණෙනි, වඩනලද්දාවූ බහුලව කරනලද්දාවූ, සිත මැඩගෙන නොසිටින්නාවූ,
සතිසම්බොධ්‍යංගය අර්හත් මාර්ග ඵලයන් ප්‍රත්‍යක්ෂකිරීම පිණිස පවතියි.
“….. ධම්මවිචය සම්බොධ්‍යංගය අර්හත් මාර්ග ඵලයන් ප්‍රත්‍යක්ෂ කිරීම පිණිස පවතියි.
“….., විරිය සම්බොධ්‍යංගය අර්හත් මාර්ග ඵලයන් ප්‍රත්‍යක්ෂ කිරීම පිණිස පවතියි.
“…., පීති සම්බොධ්‍යංගය අර්හත් මාර්ග ඵලයන් ප්‍රත්‍යක්ෂ කිරීම පිණිස පවතියි.
“….., පස්සද්ධි සම්බොධ්‍යංගය අර්හත් මාර්ග ඵලයන් ප්‍රත්‍යක්ෂ කිරීම පිණිස පවතියි.
“……, සමාධි සම්බොධ්‍යංගය අර්හත් මාර්ග ඵලයන් ප්‍රත්‍යක්ෂ කිරීම පිණිස පවතියි.
“……., උපෙක්ඛා සම්බොධ්‍යංගය අර්හත් මාර්ග ඵලයන් ප්‍රත්‍යක්ෂ කිරීම පිණිස පවතියි.
“මහණෙනි, වඩන ලද්දාවූ බහුලව කරනලද්දාවූ, ආවරණයක් නොවූ, වැසීමක් නොවූ, සිත මැඩගෙන නොසිටින්නාවූ මේ සප්ත බොධ්‍යාංගයෝ අර්හත් මාර්ග ඵලයන් ප්‍රත්‍යක්ෂ කිරීම පිණිස පවතිත්” යනුයි.

SN 05-02-04-10.
නීවරණ අන්ධකරණ සූත්‍රය

§ 1 , මා විසින් මෙසේ අසන ලදී.
එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටුහු විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩ වසන සේක් දිනක් භික්ෂුන් අමතා මෙසේ වදාළ සේක. .

§ 2. “මහණෙනි, අන්ධභාවය ඇති කරන්නාවූ, නුවණැස නැති කරන්නාවූ, අඥාන බව ඇති කරන්නාවූ, ප්‍රඥාව නැති කරන්නාවූ, දුක්ඛ පාක්ෂිකවූ, නිවන් පිණිස නොපවත්නාවූ මේ නීවරණ ධර්මයෝ පස්දෙනෙක් වෙත්. ඒ පස කවරේදයත්?
“මහණෙනි, කාමච්ඡන්ද නීවරණය අන්ධභාවය ඇතිකරන්නකි. නුවණැස නැතිකරන්නකි. අඥාන බව ඇතිකරන්නකි. ප්‍රඥාව දුරුකරන්නකි. දුක්ඛ පාක්ෂිකය. නිවන් පිණිස නො පවතින්නකි.
“මහණෙනි, ව්‍යාපාද නීවරණය අන්ධභාවය ……කි.
“මහණෙනි, ථිනමිද්ධ නීවරණය අන්ධ……කි.
“මහණෙනි, උද්ධච්චකුක්කුච්ච නීවරණය …..කි.
“මහණෙනි, විචිකිච්ඡා නීවරණය …….කි.
“මහණෙනි, මේ නීවරණයෝ පස්දෙන වනාහි අන්ධභාවය ඇතිකරන, නුවණැස නැති කරන, අඥානබව ඇතිකරන ප්‍රඥාව නැතිකරන දුක්ඛපාක්ෂිකවූ නිවන් පිණිස නොපවත්නාවූ ධර්මයෝවෙති.

“මහණෙනි, නුවණැස ඇතිකරන, ඥානය ඇතිකරන ප්‍රඥාව දියුණුකරන, දුක්ඛ පාක්ෂිකනොවූ නිවන් පිණිස පවත්නාවූ මේ බොධ්‍යංගයෝ සත්දෙනෙක් වෙත්. ඒ සත කවරේදයත්;
“මහණෙනි, සති සම්බොජ්ඣංගය නුවණැස ඇතිකරන, ඥානය ඇතිකරන, ප්‍රඥාව දියුණුකරන, දුක්ඛපාක්ෂික නොවූ නිවන් පිණිස පවතින ධර්මයකි.
“මහණෙනි, ධම්මවිචය සම්බොජ්ඣංගය නුවණැස ඇතිකරන, ඥානය ඇතිකරන, ප්‍රඥාව දියුණුකරන, දුක්ඛපාක්ෂික නොවූ නිවන් පිණිස පවතින ධර්මයකි.
“මහණෙනි, විරිය සම්බොජ්ඣංගය නුවණැස ඇතිකරන, ඥානය ඇතිකරන, ප්‍රඥාව දියුණුකරන, දුක්ඛපාක්ෂික නොවූ, නිවන් පිණිස පවතින ධර්මයකි.
“මහණෙනි, පීති සම්බොජ්ඣංගය නුවණැස ඇතිකරන, ඥානය ඇතිකරන, ප්‍රඥාව දියුණුකරන, දුක්ඛපාක්ෂිකනොවූ, නිවන් පිණිස පවතින ධර්මයකි.
“මහණෙනි, පස්සද්ධි සම්බොජ්ඣංගය නුවණැස ඇතිකරන, ඥානය ඇතිකරන, ප්‍රඥාව දියුණුකරන, දුක්ඛපාක්ෂිකනොවූ, නිවන් පිණිස පවතින ධර්මයකි.
“මහණෙනි, සමාධි සම්බොජ්ඣංගය නුවණැස ඇතිකරන, ඥානය ඇතිකරන, ප්‍රඥාව දියුණුකරන, දුක්ඛපාක්ෂික නොවූ නිවන් පිණිස පවතින ධර්මයකි.
“මහණෙනි, උපෙක්ඛා සම්බොජ්ඣංගය නුවණැස ඇති කරන, ඥානය ඇතිකරන, ප්‍රඥාව දියුණුකරන, දුක්ඛපාක්ෂික නොවූ නිවන්පිණිස පවතින ධර්මයකි.
“මහණෙනි, මේ බොධ්‍යාංගයෝ සත්දෙන නුවණැස ඇති කරන, ඥානය ඇතිකරන, ප්‍රඥාව දියුණුකරන, දුක්ඛපාක්ෂික නොවූ නිවන් පිණිස පවතින ධර්මයෝ වෙත්යයි” වදාළසේක.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.