MN 02-02-04 මහා මාලුංක්‍ය සූත්‍රය

64 ඕරම්භාගිය සංයෝජනා

§1 . මා විසින් මෙසේ අසන ලදී.
එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවත් නුවර අනේපිඬු මහ සිටුහු තනවා පුජාකළ ජේතවන නම්වූ ආරාමයෙහි වැඩ වාසය කළහ. එකල්හි දිනක් භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි”යි භික්ෂූන්ට කථාකළහ. “ස්වාමීනි”යි භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළහ.

§ 2 . “මහණෙනි, තොපි මා විසින් තොපට උගන්වා වදාළ ඔරම්භාගීය649 සංයොජනයන් පහ මතකයේ (යට කොටසයයි කියනු ලබන කාම ලෝකය භජනය කරන සංයොජනයන්) දරන්නාහුද” යි අසා වදාළ සේක.

649:- සංයෝජන: සසර දුකින් මිදෙන්නට නො දී සත්ත්වයන් සංසාරයෙහි බැඳ තබන රැහැන් වන බැවින් මේ කාම රාගාදි ධර්මයෝ සංයෝජන නම් වෙති. ආශ්‍ර‍වාදියෙහි භව නාමයෙන් දැක්වූ රූපාරූප තණ්හා දෙක මෙහි ඕරම්භාගිය (රූපරාග) සංයෝජනය – උද්දම්රූභාගිය (රූපරාග) සංයෝජනය කියා දෙකක් කොට දක්වා තිබේ. මේ පළමු ඕරම්භාගිය සංයෝජනා පහ කාම ලෝක දසයෙහි මනු ලොව, දේව ලෝක, නිරය, තිරිසන් ලොව, ප්‍රේත ලොව ආදී උපත සලසයි.
කාමරාග සංයෝජන – රූපරාග සංයෝජන – අරූපරාග සංයෝජන යන මේ තුන ම ධර්ම වශයෙන් ගන්නා කල්හි එක ම ලෝභ චෛතසිකය ය. දිට්ඨි සංයෝජන – සීලබ්බතපරාමාස සංයෝජන යන දෙකින් ගැනෙන්නේ ද එක ම දෘෂ්ටි චෛතසිකය ය.
එබැවින් චෛතසික ධර්ම වශයෙන් ඇත්තේ සංයෝජන නවයෙකි. ලෝභය – ද්වේෂය – මෝහය – දෘෂ්ටිය – මානය – විචිකිත්සාව – ඖද්ධත්‍යය – ඊර්ෂ්‍යාව – මාත්සර්‍ය්‍යය යන මේවා සංයෝජන නවය ය.ඕරම්භාගිය සංයෝජන: කාම ලෝකයන්හි නැවත උප්පත්තියට ආධාරවන්නාවූ සංයෝජන පහ මේය. අනාගාමි ඵලය සාක්ෂාත් කිරීමෙන්ම මේ සංයෝජනා දුරු වේ.

“ස්වාමීනි, මම භාග්‍යවතුන් වහන්සේ විසින් දෙසනලද පඤ්ච ඔරම්භාගීය සංයෝජනයන් මේ ආකාරයෙන් සිතින් දරමි.”

  • “ස්වාමීනි, ආත්මයක් ඇත යන සක්කාය දිට්ඨිය භාග්‍යවතුන් වහන්සේ විසින් ඔරම්භාගීය සංයෝජනය වශයෙන් දේශනා කරන ලදී.
  • විචිකිච්ඡාව ඔරම්භාගිය සංයොජනයක් වශයෙන් වදාළ බව මම දරමි ස්වාමීනි,
  • සීලබ්බත පරමාසය ඔරම්භාගීය සංයෝජන වශයෙන් භාග්‍යවතුන් වහන්සේ විසින් දෙසනාකළබව මම දරමි.
  • කාමච්ඡන්දය ඔරම්භාගීය සංයෝජන වශයෙන් භාග්‍යවතුන් වහන්සේ විසින් දෙසනාකළ බව මම දරමි.
  • ව්‍යාපාදය ඔරම්භාගීය සංයෝජන වශයෙන් භාග්‍යවතුන් වහන්සේ විසින් දෙසනාකළබව මම දරමි.

. ස්වාමීනි, මම භාග්‍යවතුන් වහන්සේ විසින් මෙසේ දෙසන ලද පඤ්චඔරම්භාගීය සංයෝජනයන් මෙසේ දරමි.”

§ 3. “මාලුංක්‍ය පුත්‍රය!
තොප එසේ දරන්නේ මා විසින් කවරෙකුට දෙසන ලද පඤ්ච ඔරම්භාගිය සංයොජනයන් ද?650

[650: අප සම දෙනා අදද කට පාඩමෙන් කියවන මේ පංච ඕරම්භාගිය සංයෝජනා නිවැරදිව කියූ මේ භික්ෂුන්වහන්සේට මෙසේ භාග්‍යවතුන් වහන්සේ පරිභව කිරීම ට හේතු කුමක්දැයි බොහෝ අවධානයෙන් සැලකිය යුතුය. කෙටියෙන් ගත් කල ශාස්ත්‍ර අද්‍යයන ලෙස ඉගැන්මෙන් පමණක් මේ ඉගැන්වීමේ ඵලයක් නොවන බවත් සතිය වඩා ලබන ධ්‍යාන සමාපත්තිය තුලින් තමාම විදර්ශනා කොට මේ ධර්මය දැක්ක හැකි බවත් මේ සුත්‍රයෙන් දැක්වේ.]

මාලුංක්‍ය පුත්‍රය, ඔබ එසේ කී විට අන්‍ය දෘෂ්ටික පැවිද්දෝ ළදරු උපමාවෙන් ඔබගේ කීමට දොස් නගන්නාහු නොවෙත්ද?

ළදරුවාගේ උපමාව

අනුසෙති ත්වෙවස්ස සක්යකාදිට්ඨානුසයෝ “ ක්ලේශයන් තෙවැදෑරුම් ලෙස දැක්වේ. අනුසය මට්ටමේ , පරිඋට්ඨාන මට්ටමේ සහ වීතික්කම මට්ටමේ ලෙසය. අනුසය මට්ටමේ ඇති කෙලෙස් සිතෙහි අළු යට ඇති අඟුරු ලෙස අක්‍රිය පවතී. පරිඋට්ඨාන කෙලෙස් විටෙක් සක්‍රියව උඩට මතුව මනස දිෂිත කරයි. වීතික්කම අකුසල් විටක මතු වී කාය සහ වචී අකුසල් සඳහා පාදක වේ. භාග්‍ය වතුන් වහන්සේ මාලුන්ක්‍යපුත්ත හිමියන් දුන් පිළිතුර සාවද්‍යයි දේශනා කලේ විදර්ශනා වඩා පහ නොකළේ නම් මේ ලෙස ක්ලේශයන් අවිද්යාමානවා අනුසය ලෙස තිබිය හැකි නිසාය.

මාලුංක්‍ය පුත්‍රය,
උඩුකුරුව නිදන බිළිඳු කුඩා දරුවෙකුට ස්වකීය ශරීරයක් ඇත යන හැඟීමක් නැත.
ඔහුට මම යන දෘෂ්ටියක් සක්කාය දිට්ඨිය ක් කෙසේ උපදීද?
ඔහුට අනුශය වසයෙන් පමණක් පවත්නා සක්කාය දෘෂ්ටියම ඇත්තේය.

මාලුංක්‍ය පුත්‍රය,
උඩුකුරුව නිදන බිලිඳු කුඩා දරුවෙකුට ධර්මයෝයයි හැඟීමක් නැත.
ඉදින් ධර්මයන්හි සැකයක් විචිකිච්චාව කොයින් උපදීද?
ඔහුට අනුශය වශයෙන් පවත්නා විචිකිච්ඡාවම ඇත්තීය.

මාලුංක්‍ය පුත්‍රය,
උඩුකුරුව නිදන බිලිඳු කුඩා දරුවෙකුට සීලය මේ යැයි හැඟීමක් නැත.
ඔහුට වරදවා ගන්නා සීලයක් ව්‍රතයක් කොහින් උපදීද?
අනුශය වශයෙන් පවත්නා සීලබ්බතපරාමාසයම ඇත්තේය.

මාලුංක්‍ය පුත්‍රය,
උඩුකුරුව නිදන බිළිඳු කුඩා දරුවෙකුට කාමයයි හැඟීමක් නැත.
ඔහුට කාමයෙහි කැමැත්ත කොහින් උපදීද?
ඔහුට අනුශය වශයෙන් පවත්නා කාමච්ඡන්දයම ඇත්තේය

මාලුංක්‍ය පුත්‍රය,
උඩුකුරුව නිදන බිළිඳු දරුවෙකුට සත්වයෝයයි හැඟීමක් නැත.
එවිට සත්වයන් කෙරෙහි අමනාපයක් කො
යින් උපදින්නේද?
ඔහුට අනුශය වශයෙන් පවත්නා ව්‍යාපාදයම ඇත්තේය.

මාලුංක්‍ය පුත්‍රය, අන්‍ය දෘෂ්ටික පැවිද්දෝ මේ ළදරු උපමාවෙන් තොපගේ කීමට දොස් නගන්නාහු නොවෙත්ද?”

§ 4. මෙසේ කී කල්හි ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය.

“භාග්‍යවතුන් වහන්සේ අපහට අනුකම්පාවෙන් මේ පඤ්චඔරම්භාගීය සංයොජනයන් ගැන අපට උගන්වා වදාරන්නේ නම් මේ එයට කාලයයි. භාග්‍යවතුන් වහන්සේගෙන් අසා ගත් ලෙසම භික්ෂූහු ඒ සිත් දරත්, (-ඉගෙණ ගණිත්) භාග්‍යවතුන් වහන්ස, මේ එයට කාලයයි. සුගතයන් වහන්ස, මේ එයට කාලයයි.”
“ආනන්දය, එසේ නම් අසව, හොඳින් සිත්හි දරව. කියන්නෙමි,”
“එසේය, ස්වාමීනි”යි ආනන්ද ස්ථවිරතෙම භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නේය. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළෝය.

§ 5.1 . “ආනන්දය, මේ ලෝකයෙහි ආර්‍ය්‍යයන් නොදක්නා, ආර්‍ය්‍ය ධර්මයෙහි අදක්ෂ, ආර්‍ය්‍ය ධර්මයෙහි නොහික්මුනු, නොදක්නා සත්පුරුෂ ධර්මයෙහි අදක්ෂ, සත්පුරුෂ ධර්මයෙහි නොහික්මුණු, නූගත් පෘථග්ජනයා සත්කාය දෘෂ්ටියෙන් මඩනාලදුව උපන් සත්කාය දෘෂ්ටිය ඇති සිතින් වාසය කරයිද, උපන් සත්කාය දෘෂ්ටිය නැතිකිරීම සැටි නොදනීද, නිතර ඒ පිළිගැනීමෙන් දැඩි වූ, ශක්තිමත්වූ , දුරුකිරීමට අපහසුවූ ඔහුගේ සක්කාය දිට්ඨිය ඔරම්භාගීය සංයෝජනයක් වෙයි.

§ 5.2. “සැකයෙන් මඩනාලදුව, උපන් විචිකිච්චාව ඇති සිතින් වාසය කරයිද, උපන් සැකයේ නැති කිරීම ඇතිසැටියෙන් නොදනීද, ශක්තිමත්වූ දුරුකිරීමට අපහසුවූ ඔහුගේ විචිකිච්ඡාව ඕ හට ඔරම්භාගීය සංයෝජනයක් වෙයි.

§ 5.3. “සීලබ්බත පරාමාසයෙන් මඩනා ලදුව, උපන් සීලබ්බත පරමාශය ඇති සිතින් වාසය කරයිද. උපන් ශීලව්‍රත පරාමාශයේ නැති කිරීම ඇතිසැටියෙන් නොදනීද, ශක්තිමත්වූ දුරු කිරීමට අපහසුවූ ඔහුගේ සීලබ්බත පරාමාසය ඔරම්භාගීය සංයොජනයක් වෙයි.

§ 5. 4. “කාම රාගයෙන් මඩනා ලදුව, උපන් කාම රාගයෙන් යුත් සිතින් වාසය කරයිද, උපන් කාම රාගයේ නැති කිරීම ඇතිසැටියෙන් නොදනීද, ශක්තිමත්වූ දුරු කිරීමට අපහසුවූ ඔහුගේ ඡන්ද රාගය ඔරම්භාගීය සංයෝජනයක්වේ.

§ 5.5 “අසන්තෘප්ත සිතින් මඩනා ලදුව, උපන් අකමැත්තෙන් , නොමනාපයෙන්, තරහින්, කෝපයෙන් යුත් සිතින් වාසය කරයිද, උපන් ව්‍යාපාද සිත නැති කිරීම නොදනී, ශක්තිමත්වූ දුරු කිරීමට අපහසුවූ ඔහුගේ ව්‍යාපාදය ඔරම්භාගීය සංයෝජනයක් වෙයි.

§6.1. “ආනන්දය, ලෝකයෙහි ආර්‍ය්‍යයන් දක්නා ආර්‍ය්‍ය ධර්මයෙහි දක්ෂ ආර්‍ය්‍ය ධර්මයෙහි හික්මුනු සත්පුරුෂයන් දක්නා සත්පුරුෂ ධර්මයෙහි දක්ෂ සත්පුරුෂ ධර්මයෙහි හික්මුනු උගත් ආර්‍ය්‍ය ශ්‍රාවකයා සත්කායදෘෂ්ටියෙන් නොමඩනා ලද, සත්කායදෘෂ්ටිය නූපන් සිතින් වාසය කරයිද, උපන් සත්කාය දෘෂ්ටි නැති කිරීම ඇතිසැටියෙන් දනීද අනුශය සහිතවූ ඔහුගේ ඒ සත්කායදෘෂ්ටිය නැතිවී යන්නේය.

[නීවරණය සහ අනුසය දෙකක් නොව එකම ක්ලේශ මල්ලේ අවස්ථා දෙකකි. අනුසය ලෙස පවතින්නේද සන්තානයේ අඩංගුව පවත්නා සක්‍යත්වයට නොපැමිණි නීවරණ ධර්ම මය.]

§6.2. “සැකයෙන් නොමඬනා ලද, සැකය නූපන් සද්ධා සිතින් වාසය කරයි. උපන් සැකයක නැති කිරීම ඇතිසැටියෙන් දනී. ඔහුගේ අනුශය සහිතවූ ඒ සැකය නැතිවීයයි,

§ 6.3. “ශීලව්‍රත පරාමාශයෙන් නොමඩනා ලද, ශීලව්‍රත පරාමාශය නූපන් සිතින් වාසය කරයි. උපන්නාවූ ශීලව්‍රත පරාමාශයේ නැති කිරීම ඇතිසැටියෙන් දනී. ඔහුගේ අනුශය සහිතවූ ඒ ශීලව්‍රත පරාමාශය නැතිවී යන්නේය.

§ 6. 4 . “කාම රාගයෙන් නොමඩනා ලද, නූපන් කාම රාගය ඇති සිතින් වාසය කරයි. උපන් කාම රාගයේ නැති කිරීම ඇතිසැටියෙන් දනී, ඔහුගේ අනුශය සහිත ඒ කාම රාගය නැතිවී යයි.

§ 6.5. “ව්‍යාපාදයෙන් නොමඩනා ලද, නූපන් කෝපය ඇති සිතින් වාසය කරයි. උපන් කෝපයේ නැති කිරීම ඇතිසැටියෙන් දනී, ඔහුගේ අනුශය සහිත ඒ කෝපය නැතිවීයයි.

§ 7. “ආනන්දය, පඤ්චොරම්භාගීය සංයෝජනයන් නැති කිරීමට යම් මගක්, යම් පිළිපැදීමක් ප්‍රතිපදාවක් වේද ඒ මගට ඒ ප්‍රතිපදාවට නොපැමිණ පඤ්චොරම්භාගීය සංයෝජනයන් දැනගන්නේය හෝ දක්නේය හෝ පහකරන්නේය හෝ යන මේ කාරණය සිදු නොවන්නකි.

§ 8. “ආනන්දය, යම්සේ මනා හරය ඇති මහ ගසක පොත්ත නොසිඳ එලය නොසිඳ අරටුව පමණක් ලබා ගන්නේය යන්න සිදු නොවන්නේය., ආනන්දය, එපරිද්දෙන්ම පඤ්චොරම්භාගීය සංයෝජනයන් නැතිකිරීමට යම් මගක් යම් ප්‍රතිපදාවක්වේද ඒ මගට ඒ ප්‍රතිපදාවට නොපැමිණ පඤ්චොරම්භාගීය සංයෝජනයන් දැනගන්නේය හෝ දකින්නේය හෝ නැතිකරන්නේය යනු සිදු නොවන්නකි.

“ආනන්දය, පඤ්චොරම්භාගීය සංයොජනයන්ගේ නැති කිරීමට යම් මගක් යම් පිළිපැදීමක් වේද, ඒ මගට ඒ පිළිපැදීමට පැමිණ පඤ්චොරම්භාගීය සංයොජනයන් දැන ගන්නේය, කියා හෝ දකින්නේය කියා හෝ නැති කරන්නේය, කියා හෝ කියත් ද යන මේ කාරණය සිදුවන්නකි.

. “ආනන්දය, යම්සේ හරය ඇති මහ ගසක පොත්ත සිඳ එලය කපා අවසන අරටුව කපා ගන්නේය යන කාරණය සිදුවන්නක් වේද, ආනන්දය, එමෙන් පඤ්චොරම්භාගීය සංයෝජනයන් නැති කිරීමට වන් මගට, ප්‍රතිපදාවට පැමිනීමෙන් පඤ්චොරම්භාගීය සංයොජනයන් දැන ගන්නේය හෝ දකින්නේය හෝ නැති කරන්නේය යන කාරණය සිදුවන්නකි.

§ 9 “ආනන්දය, කවුඩෙකුට කර නොනමා පානය කළහැකිසේ දෙඉවුර සමව දිය පිරීගිය දෙගොඩ තලා යන සේ පිරුණු ගංගාවක්වේද, දුබල මිනිසෙක් “මම මේ ගංගාවේ දිය පහර අතින් සිඳගෙන පහසුවෙන් පිහිනා සරස එතරට යන්නෙමි’යි කියා එන්නේද ඔහුට ගංගාව තරණය කර පිහිනා පහසුවෙන් සරස එතරට යන්ට නොහැකි වන්නේය.

“ආනන්දය, එමෙන්ම යම්කිසිවෙකුට සක්කාය දෘෂ්ටිය නැති කිරීමට ධර්මය දේශනා කරණ කල්හි එහි බැස නොගනීද, නොපහදීද, රැඳව නොසිටීද, (කෙළෙසුන් ගෙන්) නොමිදේද, පෙර කී ඒ දුබල මිනිසා යම්සේද ඔවුහුද එසේද දත යුත්තාහ.

“ආනන්දය, යම්සේ පෙර කී ගංගාවේ දිය පහර අතින් සිඳගෙන පහසුවෙන් එතර යන්ට රිසි ශක්තිමත් මිනිසෙකු ට හැකි වන්නේද . ආනන්දය, එමෙන් යම්කිසි වෙකුට සක්කාය දෘෂ්ටිය නැති කිරීමට ධර්මය දේශනා කරන කල්හි ඔහු සිත එහි බැසගනියිද, පහදීද, සිටීද, (කෙළෙසුන්ගෙන්) මිදේද, ඒ බලවත් මිනිසා යම්සේද, ඔහුද එසේයැයි දත යුත්තාහ.

ඔර්ම්භාගී සංයෝජන සිඳින මග

§ 9 “ආනන්දය, පඤ්චොරම්භාගිය සංයොජනයන් නැති කිරීමේ මාර්ගය කවරේද? ප්‍රතිපදාව කවරීද?

“ආනන්දය, මේ ශාසනයෙහි භික්ෂුව

  • උපධි විවේකයෙන් (-පස්කම් ගුණයෙන් වෙන් වීමෙන්-)
  • අකුසල ධර්මයන්ගෙන් වෙන්ව (-නීවරණයන් දුරලීමෙන්)
  • ශරීරයේ අලස බව සංසිඳවීමෙන්,
  • කාමයන්ගෙන් වෙන්වම,
  • අකුශලයන්ගෙන් තොරව,
  • විතර්ක සහිතවූ විචාර සහිතවූ විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති ප්‍රථම ධ්‍යානය පැමිණ වාසය කරයි.

ඒ පුද්ගලයා එහි රූපයට අයත්
වේදනාවට අයත් සංඥාවට අයත්
සංස්කාරයන්ට අයත්
විඥානයට අයත්
යමක් වේද, ඒ ධර්මයන් අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් රෝගයක් වශයෙන්, ගඩක් වශයෙන්, හුලක් වශයෙන්, දුකක් වශයෙන් ආබාධයක් වශයෙන්, තමාට අයත් නොවන දෙයක් වශයෙන්, බිඳෙන දෙයක් වශයෙන්, සූන්‍ය වශයෙන් අනාත්ම වශයෙන් දකී.

ඔහු ඒ ධර්මයන්ගෙන් සිත ඉවත් කරයි. ඔහු ඒ ධර්මයන්ගෙන් සිත ඉවත් කොට යම් මේ සියලු සංස්කාරයන්ගේ සංසිඳීමක් වේද, සියලු උපධීන්ගේ දුරලීමක් වේද, තෘෂ්ණාව නැති කිරීමක් වේද, නොඇලීමක් වේද, නැති කිරීමක් වේද, නිර්වාණයක් වේද, මෙය සාන්තය, මෙය ප්‍රණීතයයි අමෘතය නම් නිර්වාණයෙහි සිත යොදවයි.

ඔහු එහි සිටියේ ආශ්‍රවයන් ක්ෂයකිරීමට පැමිණෙයි. ආශ්‍රවයන් ක්ෂයකිරීමට නොපැමිණියේ නම් ඒ ධර්මයෙහිම ඇලීමෙන් ඒ ධර්මයෙහි කැමතිවීමෙන් පඤ්චොරම්භාගිය සංයොජනයන් නැති කිරීමෙන් ඔපපාතික වෙයි. එහි පිරිනිවෙයි. ඒ ලෝකයෙන් නැවත මෙහි නොඑන ස්වභාවය ඇත්තේ වෙයි. ආනන්දය, පඤ්චොරම්භාගිය සංයොජනයන් නැති කිරීම පිණිස මේ මාර්ගයයි මේ ප්රතිපදාව යි.

§ 10. “ආනන්දය, නැවත අනිකක් කියමි.
භික්ෂුව විතර්ක විචාරයන් සංසිඳවීමෙන් සිතේ සතුට ඇතිකරන සිතේ එකඟ බව ඇති කරණ අවිතර්ක අවිචාර සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සැප ඇති ද්විතීය ධ්‍යානයට පැමිණ වාසය කරයි. ඒ පුද්ගලයා එහි රූපයට අයත් වේදනාවට අයත් සංඥාවට අයත් සංස්කාරයන්ට අයත් විඥානයට අයත් යමක්වේද, ඒ ධර්මයන් අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, රෝග වශයෙන්, ගඩක් වශයෙන්, හුලක් වශයෙන්, දුකක් වශයෙන්, ආබාධයක් වශයෙන් තමන්ට අයත් නොවූවක් වශයෙන්, විනාශවන්නක් වශයෙන්, සූන්‍ය වශයෙන්, අනාත්ම වශයෙන් දකී.

ඔහු ඒ ධර්මයන්ගෙන් සිත ඉවත් කරයි. ඔහු ඒ ධර්මයන්ගෙන් සිත ඉවත්කොට යම් මේ සියලු සංස්කාරයන්ගේ දුරලීමක් වේද, තණ්හාව නැති කිරීමක් වේද, නොඇලීමක් වේද, නිරුද්ධ කිරීමක් වේද, නිර්වාණයක් වේද මෙය ශාන්තය මෙය ප්‍රණීතය නිර්වාණයයි සිත යොදවයි. ඔහු එහි සිටියේ ආශ්‍රවයන් නැතිකිරීමට පැමිණෙයි. ඉදින් ආශ්‍රවයන් නැති කිරීමට නොපැමිණියේ නම් ඒ ධර්මයෙහි ඇලීමෙන්, ඒ ධර්මය කැමතිවීමෙන් පංච ඔරම්භාගිය සංයෝජනයන් නැති කිරීමෙන් ඔපපාතික වෙයි. එහි පිරිනිවෙයි. ඒ ලෝකයෙන් මෙහි නොඑයි. ආනන්දය, පංච ඔරම්භාගිය සංයොජනයන් නැති කිරීමට මේ මාර්ගයයි, මේ පිළිපැදීමයි.

§ 11 . “ආනන්දය, නැවත අනිකක්ද කියමි.
භික්ෂුව ප්‍රීතියේද නොඇලීමෙන් උපෙක්ෂා ඇත්තේ වාසය කරයිද, සිහියෙන් යුක්තවූයේ නුවණින් යුක්ත වූයේ ශරීරයෙන් සුවය විඳින්නේද යම් ඒ ධ්‍යානයක් උපෙක්ෂා ඇත්තේ සිහි ඇත්තේ සැප විහරණ ඇත්තේයයි ආර්‍ය්‍යයෝ කියද්ද, ඒ තෘතීය ධ්‍යානයට පැමිණ වාසය කරයි. ඒ පුද්ගලයා එහි රූපයට අයත්, වේදනාවට අයත්, සංඥාවට අයත්, සංස්කාරයන්ට අයත්, විඥානයට අයත් යමක් වේද, ඒ ධර්මයන් අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, රොග වශයෙන්, ගඩක් වශයෙන්, හුලක් වශයෙන්, දුකක් වශයෙන්, ආබාධයක් වශයෙන්, තමන්ට අයත් නොවූවක් වශයෙන්, විනාශවන්නක් වශයෙන්, සූන්‍ය වශයෙන්, අනාත්ම වශයෙන් දකී. ඔහු ඒ ධර්මයන් ගෙන් සිත ඉවත් කරයි.

ඔහු ඒ ධර්මයන්ගෙන් සිත ඉවත් කොට, යම් මේ සියලු සංස්කාරයන්ගේ දුරලීමක් වේද, තණ්හාව නැති කිරීමක් වේද, නොඇලීමක් වේද, නිරුද්ධ කිරීමක් වේද, නිර්වාණයක් වේද මෙය ශාන්තය මෙය ප්‍රණීතය නිර්වාණයයි සිත යොදවයි. ඔහු එහි සිටියේ ආශ්‍රවයන් ක්ෂය කිරීමට පැමිණෙයි. ඉදින් ආශ්‍රවයන් ක්ෂය කිරීමට නොපැමිණියේ නම්, ඒ ධර්මයෙහි ඇලීමෙන් ඒ ධර්මයෙහි කැමති වීමෙන් පංචඔරම්භාගිය සංයොජනයන් නැති කිරීමෙන් ඔපපාතික වෙයි. එහි පිරිනිවෙයි. ඒ ලෝකයෙන් මෙහි නොඑයි ආනන්දය, පංච ඔරම්භාගිය සංයොජන නැති කිරීමට මේ ධර්මයයි, මේ පිළිපැදීමයි.

§ 12. “ආනන්දය, නැවත අනිකක්ද කියමි.
භික්ෂුව සැපය දුරු කිරීමෙන්ද, දුක දුරු කිරීමෙන්ද පළමුව සොම්නස් දොම්නස් දෙදෙනාගේ නැසීමෙන් දුක්ද නොවූ සැපද නොවූ උපෙක්ෂා සිහියෙන් පිරිසිදු බව ඇති සතරවන ධ්‍යානයට පැමිණ වාසය කරයි. ඒ පුද්ගලයා එහි රූපයට අයත් වේදනාවට අයත්, සංඥාවට අයත්, සංස්කාරයන්ට අයත්, විඥානයට අයත් යමක් වේද, ඒ ධර්මයන් අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, රෝග වශයෙන්, ගඩක් වශයෙන්, හුලක් වශයෙන්, දුකක් වශයෙන්, ආබාධයක් වශයෙන්, තමන්ට අයත් නොවූවක් වශයෙන්, විනාශ වන්නක් වශයෙන්, සූන්‍ය වශයෙන් අනාත්ම වශයෙන් දකී. ඔහු ඒ ධර්මයන්ගෙන් සිත ඉවත් කරයි.

ඔහු ඒ ධර්මයන් ගෙන් සිත ඉවත් කොට, යම් මේ සියලු සංස්කාරයන්ගේ දුරලීමක් වේද, තණ්හාව නැති කිරීමක් වේද, නො ඇලීමක් වේද, නිරුද්ධ කිරීමක් වේද, නිර්වාණයක් වේද, මෙය ශාන්තය, මෙය ප්‍රණීතය, නිර්වාණයයි සිත යොදවයි. ඔහු එහි සිටියේ ආශ්‍රවයන් ක්ෂය කිරීමට පැමිණෙයි. ඉදින් ආශ්‍රවයන් ක්ෂය කිරීමට නොපැමිණේ නම්, ඒ ධර්මයෙහි ඇලීමෙන්, ඒ ධර්මයෙහි කැමැත්තෙන්, පංච ඔරම්භාගිය සංස්කාරයන් නැති කිරීමෙන් ඔපපාතික වෙයි එහි පිරිනිවෙයි. ඒ ලෝකයෙන් මෙහි නොඑයි. ආනන්දය, පංච ඔරම්භාගිය සංයොජනයන් නැති කිරීමට මේ මාර්ගයයි, මේ පිළිපැදීමයි.

§ 13. “ආනන්දය, නැවත අනිකක්ද කියමි.
භික්ෂුව සර්වප්‍රකාරයෙන් රූප සංඥාවන් ඉක්මවීමෙන් ප්‍රතිඝ සංඥාවන් දුරලීමෙන් ඥානත්ත සංඥාවන් මෙනෙහි නොකිරීමෙන් ‘ආකාශය අනන්තය’යි ආකාසානඤ්චායතනයට පැමිණ වාසය කරයි. ඔහු එහි වේදනාවට අයත් සංඥාවට අයත් සංස්කාරයට අයත් විඥානයට අයත් යමක් වේද, ඒ ධර්මයන් අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, රෝග වශයෙන්, ගඩක් වශයෙන්, හුලක් වශයෙන්, දුකක් වශයෙන්, ආබාධයක් වශයෙන්, තමන්ට අයත් නොවූවක් වශයෙන්, විනාශ වන්නක් වශයෙන්, සූන්‍ය වශයෙන් අනාත්ම වශයෙන් දකී.

ඔහු ඒ ධර්මයන්ගෙන් සිත ඉවත් කරයි. ඔහු ඒ ධර්මයන්ගෙන් සිත ඉවත්කොට යම් මේ සියලු සංස්කාරයන්ගේ දුරලීමක්වේද, තණ්හාව නැතිකිරීමක් වේද, නො ඇලීමක් වේද, නිරුද්ධ කිරීමක් වේද, නිර්වාණයක් වේද, මෙය ශාන්තය, මෙය ප්‍රණීතය, නිර්වාණයයි සිත යොදවයි. ඔහු එහි සිටියේ ආශ්‍රවයන් ක්ෂය කිරීමට පැමිණෙයි. ඉදින් ආශ්‍රවයන් ක්ෂය කිරීමට නොපැමිණියේ නම් ඒ ධර්මයෙහි ඇලීමෙන් ඒ ධර්මයෙහි කැමැත්තෙන් පංච ඔරම්භාගිය සංයොජනයන් නැති කිරීමෙන් ඔපපාතික වෙයි. එහි පිරිනිවෙයි. ඒ ලෝකයෙන් නොඑන ස්වභාව ඇත්තේ වෙයි. ආනන්දය, පඤ්චොරම්භාගිය සංයොජනයන් නැති කිරීමට මේ මාර්ගයයි, මේ පිළිපැදීමයි.

§ 14. “ආනන්දය, නැවත අනිකක්ද කියමි.
භික්ෂුව සර්වප්‍රකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්මවා විඤ්ඤාණය අනන්තයයි විඤ්ඤාණඤ්චායතනයට පැමිණ වාසය කරයි. ඔහු එහි වේදනාවට අයත් සංඥාවට අයත්, සංස්කාරයන්ට අයත්, විඥානයට අයත්, යමක් වේද, ඒ ධර්මයන් අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, රොග වශයෙන්, ගඩක් වශයෙන්, හුලක් වශයෙන්, දුකක් වශයෙන්, ආබාධයක් වශයෙන්, තමන්ට අයත් නොවූවක් වශයෙන්, විනාශවන්නක් වශයෙන්, සූන්‍ය වශයෙන්, අනාත්ම වශයෙන් දකී.

ඔහු ඒ ධර්මයන්ගෙන් සිත ඉවත් කරයි. ඔහු ඒ ධර්මයන් ගෙන් සිත ඉවත් කොට යම් මේ සියලු සංස්කාරයන්ගේ දුරලීමක් වේද, තණ්හාව නැති කිරීමක් වේද, නො ඇලීමක් වේද, නිරුද්ධ කිරීමක් වේද, නිර්වාණයක් වේද, මෙය ශාන්තය, මෙය ප්‍රණීතය, නිර්වාණයයි, සිත යොදවයි. ඔහු එහි සිටියේ ආශ්‍රවයන් ක්ෂය කිරීමට පැමිණෙයි. ඉදින් ආශ්‍රවයන් ක්ෂය කිරීමට නොපැමිණියේ නම්, ඒ ධර්මයෙහි ඇලීමෙන්, ඒ ධර්මයෙහි කැමැත්තෙන් පංච ඔරම්භාගිය සංයොජනයන් නැති කිරීමෙන් ඔපපාතික වෙයි. එහි පිරිනිවෙයි. ඒ ලෝකයෙන් නැවත නොඑන ස්වභාවය ඇත්තේ වෙයි. ආනන්දය, පඤ්ච ඔරම්භාගිය සංයොජනයන් නැති කිරීමට මේ මාර්ගය වෙයි. මේ පිළිපැදීම වෙයි.

§ 15 . “ආනන්දය, නැවත අනිකක්ද කියමි.
භික්ෂුව සර්වප්‍රකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා කිසිවක් නැතැයි ආකිඤ්චඤ්ඤායතනයට පැමිණ වාසය කරයි. ඔහු එහි වේදනාවට අයත්, සංඥාවට අයත්, සංස්කාරයන්ට අයත්, විඥානයට අයත් යමක් වේද, ඒ ධර්මයන් අනිත්‍යවශයෙන්, දුක් වශයෙන්, රෝග වශයෙන්, ගඩක් වශයෙන්, හුලක් වශයෙන්, දුකක් වශයෙන්, ආබාධයක් වශයෙන්, තමන්ට අයත් නොවූවක් වශයෙන්, විනාශ වන්නක් වශයෙන්, සූන්‍ය වශයෙන් අනාත්ම වශයෙන් දකී. ඔහු ඒ ධර්මයන් ගෙන් සිත ඉවත් කරයි.

ඔහු ඒ ධර්මයන් ගෙන් සිත ඉවත් කොට යම් මේ සියලු සංස්කාරයන්ගේ දුරලීමක් වේද, තණ්හාව නැතිකිරීමක් වේද, නො ඇලීමක් වේද, නිරුද්ධ කිරීමක් වේද, නිර්වාණයක් වේද, මෙය ශාන්තය, මෙය ප්‍රණීතය, නිර්වාණයයි සිත යොදවයි. ඔහු එහි සිටියේ ආශ්‍රවයන් ක්ෂය කිරීමට පැමිණෙයි. ඉදින් ආශ්‍රවයන් ක්ෂය කිරීමට නොපැමිණියේ නම් ඒ ධර්මයෙහි ඇලීමෙන්, ඒ ධර්මයෙහි කැමැත්තෙන් පංච ඔරම්භාගිය සංයොජනයන් නැති කිරීමෙන් ඔපපාතික වෙයි. එහි පිරිනිවෙයි. ඒ ලෝකයෙන් නොඑන ස්වභාව ඇත්තේ වෙයි. ආනන්දය, පඤ්ච ඔරම්භාගිය සංයොජනයන් නැති කිරීම පිණිස මේ මාර්ගය වේ. මේ පිළිපැදීම වේ.

§ 16 . “ස්වාමීනි, ඉදින් පංච ඔරම්භාගිය සංයොජනයන් නැති කිරීමට මේ මාර්ගය, මේ ප්‍රතිපදාව වේ නම් කවර හෙයින් ඇතැම් භික්ෂූහු චිත්ත විමුත්තිය ඇත්තාහු, ඇතැම් භික්ෂූහු පඤ්ඤා විමුත්තිය ඇත්තාහු වෙත්ද, ආනන්දය, ඒ කාරණයෙහි මම ඔවුන්ගේ ඉන්ද්‍රියන් පිළිබඳව ඇති වෙනස් බවයයි කියමි.”

§ 17. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ.
සතුටු සිත් ඇති ආනන්ද ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගේ කීමට සතුටු වූහ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.