MN 03-03-10 දේවදුත සුත්‍රය

 

 

§ 1.  මා විසින් මෙසේ අසන ලදී.
එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ, ජේතවන නම් වූ  අනේපිඩු සිටුහුගේ ආරාමයෙහි වැඩවාසය කරණසේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ දවසෙක, ‘මහණෙනි!”යි, භික්ෂූන්ට ආමන්ත්‍රණය කොට වදාළසේක. ඒ භික්ෂූහු ‘පින්වතුන් වහන්සැයි’ භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.

§ 2 . “මහණෙනි, අභිමුඛයෙහි දොරටු ඇති ගෙවල් දෙකක් වෙත්. මනා සේ ඇස් පෙනෙන පුරුෂයෙක් ඒ ගෙවල් දෙක මැද සිට බලා ඉන්නේ නම් එක් ගෙයකින් නික්ම අනෙක්  ගෙට ඇතුල් වන්නාවූද, ඒ ගෙට පිවිසීම පිණිස අනික් ගෙයින් නික්මෙන්නවුත්, එක ගෙයකින් අනෙක් ගෙට මාරු වන්නවුත් , ඔබ මොබ  හැසිරෙන්නාවූත් , මිනිසුන් දක්නේය., මහණෙනි, එපරිද්දෙන්ම මම  මිනිස් ඇස ඉක්ම පැවැත්තාවූ දිවැසින්, එක් ජීවිතයකින්  චුත වන්නාවූද, (දැන් දැන් චුත වෙතැයි කිව හැකි තරම් ලංවූ මරණ ඇත්තා වුද), යලි  උපදින්නාවූද (= ගන්නා ලද ප්‍රති සන්ධි ඇත්තා වුද), එකෙනෙහි අළුතින් උපන්නාවූ ද, හීන වුද ( ජාති කුල භෝගාදීන් ගේ වශයෙන්  ලෝකයා විසින් ගරහන ලද්දාවුද , හෙළා දක්නා ලද්දා වුද), ප්‍රණීත වුද (= ජාත්යාදීන් ගේ වශයෙන් ලෝකයා විසින් පුදන ලද්දා වුද, ගරු සත්කාර කරණ ලද්දා වුද), මන වඩන රූප ශෝභා ඇත්තා වුද , අප්‍රියකර විරුප වර්ණයෙන් යුක්ත වුද, ගරු සත්කාර කරන ලද්දා වුද, , හීනවූද, ප්‍රණීතවූද, යහපත් වර්ණ ඇත්තාවූද, අයහපත් වර්ණ ඇත්තාවූද, සුගතිවලට පැමිණියාවූද, නොහොත් ආට්‍යයවූ මහත් උපභෝග සම්පත් ඇත්තාවූ ද, නොහොත් දිළිඳු වූ ස්වල්ප ආහාර පාන ඇත්තාවූ ද, කම් වූ පරිද්දෙන් පැමිණියා වුද, (විපාක දිය යුතු ක්‍රමයෙන් රැස් කරන ලද ඒ ඒ කර්ම බලයෙන් ඒ ඒ භවයට ගියාවුද ) සත්වයන් මසැසින් මෙන් බලමි.(කෙසේද යත්) 

මේ පින්වත් සත්වයෝ කාය සුචරිතයෙන් යුක්ත වූවාහුය. වාක් සුචරිතයෙන් යුක්ත වූවාහුය. මනො සුචරිතයෙන් යුක්ත වූවාහුය. ආර්‍ය්‍යයන්ට පරිභව නොකළාහුය. සම්‍යක් දෘෂ්ටික වූවාහුය. සම්‍යක් දෘෂ්ටි කර්ම සමාදානයෙන් යුක්ත වූවාහුය. ඔව්හු මරණින් මතු (ශෝභන ගති ඇති හෙයින්) සුගති නම් වූ (රූපාදී  පංච කාමයන්ගෙන් මනා කොට අග්‍ර හෙයින්)  ස්වර්ග  නම් වූ ලෝකයන්හි උපන්නාහුය.

§ 4. මේ පින්වත් සත්වයෝ කාය සුචරිතයෙන් යුක්ත වූවාහුය. වාක් සුචරිතයෙන් යුක්ත වූවාහුය. මනෝ සුචරිතයෙන් යුක්ත වූවාහුය. ආර්‍ය්‍යයන්හට පරිභව නොකර ලෝය. සම්‍යක් දෘෂ්ටික වූවාහුය. සම්‍යක් දෘෂ්ටි කර්ම සමාදානයෙන් යුක්ත වූවාහුය. ඔව්හු ශරීරයාගේ භේදයෙන් මරණින් මතු යලි  මිනිසුන් අතරම මේ මනුෂ්‍ය ලෝකයෙහිම උපන්නාහුය.

§ 5. “ මේ පින්වත් සත්වයෝ කාය දුශ්චරිතයෙන් යුක්ත වූවාහුය. වාක් දුශ්චරිතයෙන් යුක්ත වූවාහුය. මනෝ දුශ්චරිතයෙන් යුක්ත වූවාහුය. ආර්‍ය්‍යයන්හට පරිභව කලාහුය. මිථ්‍යා දෘෂ්ටි කර්ම සමාදානයෙන් යුක්ත වූවාහුය. මිථ්‍යා දෘෂ්ටික වූවාහුය. ඔව්හු ශරීරයාගේ කාය  භේදයෙන් (උපාදින්නක්ඛන්ධ පංචකය අත් හැරීමෙන් නොහොත් ජීවිතෙන්ද්රියාගේ උපච්චේදයෙන්) මරණින් මත්තෙහි (=චුති චිත්තයෙන් පසු) ප්‍රේත විෂයෙහි උපන්නාහුය.

§ 6. මේ පින්වත් සත්වයෝ කාය දුශ්චරිතයෙන් යුක්ත වූවාහුය. වාක් දුශ්චරිතයෙන් යුක්ත වූවාහුය. මනෝ දුශ්චරිතයෙන් යුක්ත වූවාහුය. ආර්‍ය්‍යයන්හට පරිභව කලාහුය. මිථ්‍යා දෘෂ්ටි කර්ම සමාදානයෙන් යුක්ත වූවාහුය. මිථ්‍යා දෘෂ්ටික වූවාහුය. ඔව්හු ශරීරයාගේ කාය  භේදයෙන් (උපාදින්නක්ඛන්ධ පංචකය අත් හැරීමෙන් නොහොත් ජීවිතෙන්ද්රියාගේ උපච්චේදයෙන්) මරණින් මත්තෙහි (=චුති චිත්තයෙන් පසු) තිරිසන් යෝනියෙහි උපන්නාහුය.

§ 7 . මේ පින්වත් සත්වයෝ කාය දුශ්චරිතයෙන් යුක්ත වූවාහුය. වාක් දුශ්චරිතයෙන් යුක්ත වූවාහුය. මනෝ දුශ්චරිතයෙන් යුක්ත වූවාහුය. ආර්‍ය්‍යයන්හට පරිභව කරන්නාහුය. මිථ්‍යා දෘෂ්ටික වූවාහුය. මිථ්‍යා දෘෂ්ටි කර්ම සමාදානයෙන් යුක්ත වූවාහුය. ඔව්හු ශරීරයාගේ භේදයෙන් මරණින් මත්තෙහි (ස්වර්ගමෝක්ෂ සම්පත්තියට හේතු වූ අය සංඛ්‍යාත කුශල කර්මයෙන් අපගත හෙයින්  හෝ  සුඛයාගේ හට ගැන්මට හේතු වූ අය සංඛ්‍යාත  සුචරිත කර්මයන්ගේ අභාවයෙන් හෝ) අපාය නම් වූ (දුකට පිළිසරණ වන බැවින් හෝ ද්වේශ බහුලතාවෙන් නොහොත් දුෂ්ඨ වූ කර්මයෙන් නිපන් බැවින් හෝ) දුග්ගති නම් වූ (කරණ ලද පව්කම් ඇත්තවුන් ඒ පව්කම්වලට වසඟ වූ බවිබ් තමන්ට වසඟ නොව (=තමන්ගේ කැමැත්තෙන් තොරව) පතිත වන බැවින් හෝ විනිපාත නම්  වූ (සුක්හාස්වාදයෙන් තොර වූ)  නිරයෙහි උපන්නාහුය යි කියායි. 

hell-1

දිවැස් :- දෙවියන්ගේ සුචරිත කර්මයෙන් පහළ වූ පිත්, සෙම් ලේ වා ආදීන් උපද්‍රිත නොවූ උපක්ලේශ දෝෂයන්ගෙන් මිදුණු බැවින් දුර පිහිටියාවූ ද සියුම් වුද අරමුණු පිළිගැනීමෙහි සමර්ථ වූ ප්‍රසාද චක්ෂුසය වැනි නුයි “දිව ඇස” නම් වේ. දිව්‍යය විහාරය යැයි කියන ලද චතුර්ථ ධ්‍යාන බලයෙන් ලබන ලද බැවින්ද යන මේ අර්ථයෙන් හෝ දිව ඇස නම් වේ. ආලෝක කසින වැඩීමෙන් පැමිණිය යුතු බැවින් , තමාගේ ද ඥානාලෝකය පැතිර යන බැවින් මහත් ආලෝක ඇති බැවින් හෝ දිව ඇස නම් වේ.

2. ආර්යෝපවාදය _- බුද්ධ ප්‍රත්‍යෙකබුද්ධ ශ්‍රාවක සන්ක්යාත ආර්යයන්ට හෝ යටත් පිරිසෙයින් ගිහි සෝවාන් පුද්ගලයන්ට හෝ අනර්ථ කැමැති ව පාරාජික සඛ්‍යාත අන්තිම වස්තුවකින් හෝ ශමත විදර්ශනා ධ්‍යාන භාවනාදී ගුණ නැසීමෙන් හෝ උපවාද කිරීම = ආක්‍රෝෂ පරිභව කිරීම් = ගැරහීම, ආර්යෝප්වාද නම් වේ. මෙහි අන්තිම වස්තුවෙන් උපවාද කිරීම නම්, “මොවුන්ට මහණ දමක් නැත. මොහු මහණහු නොවෙති”යි කියා ගැරහීම යි.ගුණ නැසීමෙන් උපවාද කිරීම් නම් මොවුන්ට ධ්‍යානයක්- විමොක්ෂයක් මාර්ගයක් ඵලයක් නැති කියා ගරහීමයි. මෙසේ උපවාද කිරීමෙහිදී ආර්ය භාවය දැනීම හෝ නොදැනීම පමණ නොවෙයි. උපවාද කරණු ලබන්නේ  ආර්යයෙක් නම් ඒ බව දනිතත් නොදනිතත් උපවාද කරන්නහු හට අකුශලය සිද්ධ වෙයි. එහෙත් ආර්ය භාවය නොදැන දුෂ්ඨ නොවූ සිතින් ආර්ය ගුණ නැතැයි හඟවන්නෙකුට (ගුණ නැසීමක් නොවන හෙයින් ) ආර්යෝපවාදය නොවේ යැයි කියති. ඒ වනාහි සඟ සැපද මග පලද අවුරණ (=වළහන) ආනත්ර්යකර්මය බඳුවූ අතිශයින් බැරෑරුම් වූ ආකුශල කර්මයකි. එහෙත් එයට පිළියම් ඇත. එනම් උපවාද කරනුලැබූ ආර්‍යයන් වහන්සේ කමා කරවා ගැනීමයි. (ආනන්තාය්යාකර්මයට නම් පිලියමක් නොම ඇත්තේය. එය හැඟවීම පිණිස මේ කථා වස්තුවකුදු වෙයි.

§  පෙර එක ගමෙක එක මහා තෙරුන් වහන්සේ නමක්සහ තරුණ භික්ෂු නමක් පිඬු පිණිස වැඩියාහුය. උන් වහන්සේලා පළමුවැන් ගෙන්ම කෙනෙස්සක් පමණ උණුසුම් කැඳ ලැබුහ. මහා තෙරුන් වහන්සේට ද මහත් පීඩා දෙන බදා රුජාවක් වෙයි. ර්හෙයින් සිසිල් වන්නට පළමු , ලැබූ කැඳීත්ත වැළඳුව හොත් රෝගයට ප්‍රත්‍ය වන්නේයැයි සිතා මිනිසුන් විසින් එළිපතක් සස්නා පිණිස ගෙනවිත් දමා තිබු දඬු කඳක් මතුයෙහි වැඩ හිඳ කැඳීත්ත වැළඳුහ. තරුණ භ්කිශුව එයට පිළිකුල් කෙරෙමින් “මේ මහල්ලා ඉතා මහත් බඩ සයින් පෙලෙන්නා වන. එහෙයින් අපට ලජ්ජා විය යුත්තක් (මහණකු විසින් මෙබන්දක් කරණ ලදැයි කියා අපට හිස් ඔසවනු නොහැකි දෙයක් ) කළේය’යි කීය. ඒ මහා තෙරුන් වහන්සේ ද කොට නිමවන ලද සිව් මග කිස ඇත්තෙකි. (රහතුන් වහන්සේ නමකි.) ඇතුළුගම පිඬු සිඟා විහාරයට ගොස් තෙරුන් වහන්සේ තරුණ භික්ෂුව  අමතා සෝවාන් වූවකු බව දැනම, “ඇවැත්නි, තොපට මෙසස්නෙන් පිහිටෙක් ඇද්දැ?යි පිලිවිස්සාහ. සස්නෙහි පිහිට නම් චතුස්සත්‍යවබෝධය යි සලකා “එසේය, ස්වාමිනි! ඇත. මම සොවාන්මි”යි තරුණ භික්ෂු නම පිළිවදන් දින. “ඇවැත්නි, එහෙනම් මතු මාර්ගත්‍රය පිණිස වෑයම්  නොකරව, තොප විසින් රහත් තෙර නමකට උපවාද කරණ  ලදැ”යි  මහා තෙරුන් වහන්සේ කීහ. තරුණ භික්ෂු තෙම වහාම මහතෙරුන් කමා කරවුයේය. එයින් ඒ භික්ෂු නමගේ මතු මාර්ගඵලාවබෝධයට  ආවරනයෙක් නොවීය.

§ 8 යමෙක් ආර්යයෙකුට උපවාද කෙරේද, ඔහු විසින් ඒ ආර්යයා වෙත පැමිණ තමා වැඩිමහළු නම් උක්කුටිකවැ හිඳ ඇඳිලි බැඳ ගෙන එසේම කියා කමා කරවා ගත යුතුයි. ආර්යයන් වහන්සේ යම් දෙසකට ගිය සේක් නම් තමාම එහි ගොස් හෝ සද්විහාරිකයෙකු යවා හෝ කම කරවා ගත යුතුය. ආර්යයා වෙත යන්නටවත් කෙනෙකු යවන්නටත් නොහැකි නම් ඒ විහාරයෙහි වසන භික්ෂුන් සමීපයට ගොස් පෙර කී පරිද්දෙන් හිඳ  , “මම අසුවල් ආයුෂ්මතුන් හට මෙබඳු මෙබඳු වචන කීයෙමි. මට ආයුෂ්මත් තෙමේ කමා කෙරේවා!”යි කමා කරවා ගත යුතුයි. ඒ ආර්යයන් වහන්සේ හුදෙකලාව හැසිරෙන සේක් නම් වසන තැනක් හෝ ගිය තැනක් හෝ දැන ගන්නට නොහැකි නම් එක නුවණැති භික්ෂු නමක් වෙත පැමිණ, “මම අසුවල් ආයුෂ්මතුන් හට මෙබඳු මෙබඳු වචන කීයෙමි. එය සිහිකරන මට විපිළිසර ඇති වෙයි. එහෙයින් කුම් කෙරෙම්දැයි පිලිවිසිය යුතුයි.. “ඔබ විපිළිසර නුවුව මැනව. උන් වහන්සේ ඔබට කමාකරන සේකැයි ඒ ප්‍රඥාවත් භික්ෂු තෙමේ කීයේ නම් ඒ ආයර්යයා ගිය දෙසට නැමී ඇඳිලි බැඳ ගෙන ‘කමා කෙරේවා ‘යි කිව යුතුයි. ඉදින් ආර්යයන් වහන්සේ පිරිනිවී සේක් නම් පිරිනිවී තැනට හෝ සොහොනට හෝ ගොස් කමා කරවිය යුතුයි. එසේ කල කල්හි ස්වර්ගාවරණයක් හෝ මාර්ගාවරනයක්  හෝ නොවෙයි.

Hell 2 Hortus_Deliciarum_

 මිත්‍යා දෘෂ්ඨිය.:- මිත්‍යා දෘෂ්ඨිය වැනි අතිශයින් මහා සාවද්‍ය වූ අනෙකුත් අකුසලයෙක් නොමැත්මය. වදාළේ මැ නො:-

“නාහං  භික්කවේ අඥන් එකධම්මපි සමනුපස්යාමි යන්.
එවන් මහා සාවජ්ජන් යතියිදන් භික්ඛවේ මිච්චා දිට්ඨි,
මිච්චා දිට්ඨි පරමානි භික්ඛවේ  වජ්ජානි” ති.

මිත්‍යා දෘෂ්ඨිය වැනි අතිශයින්ම මහත්
වැරදි සහිත වූ අනෙකක් බුදු ඇසින් මම නොදකිමි  english-version-icon

යනු එහි අදහසයි. ආනන්තර්ය  කර්ම ද මහා සාවද්‍ය යි. එහෙත් ඔවුන්ගේ පරිච්චේදයෙක් ඇත. මවුන් මැරීම, පියන් මැරීම, රහතන් මැරීම්, බුදුන් ඇඟින් ලේ සෙලවීම යන ආනන්තර්ය කර්ම  කළාහු නිරයෙහි උපදිත්. සංඝ භේදය කොළො නිරයෙහි  කල්පයක්  පැසෙත්. මෙසේ පරිච්චේදයෙක් ඇත, කෙළවරක් ඇත. නියත මිත්‍යා දුෂ්ටිය  පිළිබඳව වනාහි එබඳු පරිච්චේදයෙක් නැත. කල්ප විනාශයෙහි අන්‍යය මහජනයා බඹලොව උපදනා කල්හිත් නියත මිත්‍යා දෘෂ්ටිකයා බඹලොව නොඉපිද පිට  සක්වලෙක  උපදනා බවද එය දැවෙන කල්හි අහසෙහි එක් තැනෙක  පැසෙන බවද කියන ලදී.

§ සතර අපාය :- සතර අපායෙහි උපදින්නාහු යයි දක්වන ලද මේ ද්විතිය අර්ථයෙහි අපාය, විනිපාත, දුගගති, නිරය ශබ්දයන් ගෙන් පිලිවෙලින් තිරච්චානි යෝනි, පෙතති විසය, ඇසුර කය, නිරය යන සතර ගන්නා ලදහ.

නිරයං උප්පන්නා (නිරයෙහි උපන්නාහුය):- භාග්‍යවතුන් වහන්සේ ඇතැම් දේශනාවක් නිරය විස්තරයෙන් පටන් ගෙන දිව්‍යලෝක විස්තරයෙන් අවසන් කරණ සේක. ඇතැම් දේශනාවක් දිව්‍යලෝකදේශනාවක් විස්තරයෙන් පටන් ගෙන නිරය  විස්තරයෙන් අවසන් කරණ සේක. ස්වර්ග සම්පත්තිය  විස්තර වශයෙන් වදාරනු කැමති සේක් නම් නිරය, තිරිසන් යෝනිය හා ප්‍රේත විෂයහි වූ දුක් ද , මනුෂ්‍ය ලෝක සම්පත්තිය කෙටියෙන් වදාරා  ස්වර්ග සම්පත්තිය ම විස්තර කරන සේක. නිරය දුක    විස්තර වශයෙන් වදාරනු කැමති සේක් සෙසු දෙව්ලො මිනිස් ලෝ සැප ද , තිරිසන් යෝනිය හා ප්‍රේත විෂයහි වූ දුක් ද , මනුෂ්‍ය ලෝක සම්පත්තිය ද කෙටියෙන් වදාරා  නිරය දුක ම විස්තර කරන සේක. භාග්‍යවතුන් වහන්සේ විසින් මේ සුත්‍රයෙහි නිරය  දුක  විස්තර කරන ලද හෙයින් දෙව් ලොවින් පටන් ගෙන නිරයෙන් අවසන් කොට වදාළ බව දත යුත්, දෙව්ලෝ ආදිය බිළිබඳ වූ ස්වල්ප දයක්ම් මෙහි ඇතුලත්ය. විස්තර නිරය පිලිබඳ ව මයි.

§ 3 . මහණෙනි , යම පල්ලහු විසින් නිරයේ උපන්නාවූ ඒ සත්වයා එකෙක් එක් අතකින්ද  අනෙක් අනෙක් අතකින්ද  අල්වාගෙන ගොස් යම රජුට දක්වත්:- 
“දේවයන් වහන්ස, මේ පුරුෂයා  මවු හට උවැටන් නොකලේය. නොරැක්කේය . රන්නෙක් විය. පියා හට උවැටන් නොකලේය පියා නොරැක්කේය.   ශ්‍රමනයන් වහන්සේලාට  උවැටන් නොකලේය.   රහතන් වහන්සේ ලා හට උවැටන් නොකලේය. . දේවයන් වහන්සේ මොහුට දඬුවම්  නියම කරන සේක්වා”යි .කියයි.

hell-3

මහණෙනි යමරජ තෙමේ ඒ නිරිසතා ගෙන් පළමුවන දේව දුතයා පිළිබඳව කරුණු විචාරයි.
යමරජු: –  එම්බා පුරුෂය , මිනිසුන් අතරෙහි පහල වූ පළමුවන දේව දුතයා තෝ නුදුටුවෙහිද?  නිරිසතා:- නුදුටුවෙමි ස්වාමිනි. 
යමරජු:-  “මිනිසුන් අතරෙහි, උඩ බලා හොත්, ස්වකීය මල මුත්‍රයෙහිම  තැවරුණු ළදරුවෙකු තෝ නුදුටුවෙහිද?”
නිරිසතා: දිටිමි ස්වාමිනි.
යමරජු: – මද නුවනක් ඇතත් මහළු වූ තට  ‘මමත් ඉපදීම ස්වභාව කොට ඇත්තේ වෙමි. උත්පත්තිය නොඉක්මවුයේ වෙමි. එහෙයින් මම කයෙන්  වචනයෙන් හා සිතින් යහපතක් කෙරෙමැයි මෙබඳු අදහස් තට පහල නුවූයේද?
නිරිසතා: “නැත ස්වාමිනි. පමා වීමි, ස්වාමිනි.” 

යමරජු:  තෝ ප්‍රමාදයෙන් යහපතක් නොකෙලෙහිය. තාගේ ඒ මේ පාප කර්මයෝ තාගේ මව විසින් නොකරන ලදී. පියා  විසින්ද නොකරන ලදී. සොහොයුරෙකු  විසින්ද  නොකරන ලදී.. සොහොයුරියක  විසින්ද  නොකරන ලදී. මිත්‍රාමාත්‍යයන්  විසින් ද නොකරන ලදී. නෑ ලේ සහ ලේ නෑයන්  විසින් ද නොකරන ලදී. මේ වනාහි තා විසින්ම කරණ ලදී. තොම මෙහි විපාක විඳු!”
නිරයපල්ලෝ(=යම පල්ලෝ):- “මොහු නම් යන්ත්‍රරූපම වෙති.”යි ඇතැම් ආචාර්යවරයෝ කියති. එහෙත් “යම පල්ලෝ ඇතැ”යි අභිධර්මයෙහි පුර්වෝක්ත මතය ප්‍රතික්ෂිප්තය. මිනිස් ලෙව්හි කම් කටුලු  කරන්නවුන් ඇත්තාක් මෙන්ම නිරයෙහි යමපල්ලොද ඇත්තා හු මැයි. 

යමරජු:  යම රජ නම් වෛමානික ප්‍රේත රාජයෙකැයි කියනු ලැබේ. ඇතැම් කලෙක්හි හෙතෙමේ දෙව් සැප විඳියි. හෙතෙමේ දැහැමි  ය. එකෙකුදු නොවේ. සිව් දොරටුහි සිව් දෙනෙකි.

දේවදුත :- දේව යනු මරහුට ද නමකි.එකල මරහු ගේ දුතයෝ දේව දුතයෝ නම් හුයි. බාල – ජරා ජීර්ණ -ව්‍යාධිතාදීහු” තා මරහු වෙතට පැමිණිය යුතු ය.” යි චෝදනා කරනවුන්  වැනි වෙත්. දෙවියන් වැනි දුතයෝ හෝ දෙවදුත නම් වෙති. දෙවියෙකු අහසේ සිට, ” තෝ අසුවල් දිනයෙහි මැරෙන්නෙහිය” යයි කියත තොත් ඔහුගේ වචනය ඇදහිය යුතුය. එපරිද්දෙන්ම බාලාදීහු ද ” තෝත් මෙබඳු ස්වභාව ඇත්තෙහිය” යි චෝදනා කරන්නවුන් වැනි වෙති. විශුද්ධි දේවයන්ගේ දුතයෝ හෝ දේවදුත නම් වෙති. සියලු විශුද්ධිදේව සංඛ්‍යාත බෝසත්හු  ජීර්ණ-ව්යාධිත – මෘත- ප්‍රවෘධිතයන් දැකම ගිහි ගෙන් නික්මෙති.

” පළමුවැනි දෙවදුතයා දුටුවෙහුදැ”යි විචාල කල්හි “නැතැ”යි කියන්නේ තමා වෙත පැමිණි එබන්දෙකු තමන් නුදුටු බැවිනි. තමාගේ අදහස් නොවැටහුණු බව යමරජ තෙමේ එයින් නිශ්චය කෙරෙයි. එහෙයින් එය අවබෝධ කරවනු පිණිස “මිනිසුන් අතුරෙහි ළදරුවෙකු නුදුටුවෙහිදැ” යි  ප්‍රශ්න කෙරෙයි. [මත්තෙහි දක්වනු ලබන ප්රාභිභුතාදීන් පිළිබඳව ද මෙසේ මැ දත යුතු.]
උඩ බලා සයනය කරන ළදරු තෙමේ සෙස්සාහු හට මෙසේ කියන්නකු වැන්න.
“පින්වත්නි, මටත් තොපට මෙන් අත් පා ඇත. එහෙත් මම ස්වකීය මළ මුත්‍රයෙහි තැවරුනේ 
 වෙමි. ස්ව ශක්තියෙන් නැගිට නහන්නටද  නොහැකි වෙමි. කිලිටි වූ මා නහවා පිරිසිදු කරව යැයි  කියන්නටද නොහැකි වෙමි. මා මෙබඳු වුයේ ඉපදීමෙන් නොමිදුනු   බැවිනි. මා පමණක් නොව තෙපි දු උප්පත්ති ස්වභාවයෙන් නොමිදුනාහුය. මට මෙන්ම තොපටත් නැවත ඉපැත්මක් ඇති වන්නේය. එහෙයින් කල් ඇතිවම පින් දහම් කරව යැයි කියායි.

§ 4 .  ඉක්බිති යම රජ තෙමේ දෙවන දෙවදුතයා පිළිබඳව කරුණු විචාරයි.
යමරජු:- එම්බල පුරුෂය, මිනිසුන් අතුරෙහි පහල වූ දෙවන දෙවදුතයා තෝ නුදුටුහිද? 
නිරිසතා:- නුදුටුයෙමි ස්වාමිනි.
යමරජු:  එම්බා පුරුෂය, ජරාවී  ගිය, ගොනැස් මෙන් වක් වූ, මැදින් බිඳුනා වූ, සැරයටියක් නැතිව ඇවිද ගන්නට නොහැකි,  අත්  පා  වෙවුලන්නාවූ, ජරාතුර බවු,  තරුණ බව ඉක්මවූ , දත් වැටුණු, තල කැලෑලින්ගැවසී ගත්  සම ඇති  ස්ත්‍රියක හෝ පුරුෂයෙකු හෝ නුදුටියේහිද? 
නිරිසතා:- දිටිමි ස්වාමිනි.
යමරජු:  මද නුවනක් ඇතත් මහළු වූ තට,  “මමත් ජරාව ස්වභාව කොට ඇත්තේ වෙමි. එහෙයින් මම කයෙන්  වචනයෙන් හා සිතින් යහපතක් කෙරෙමැ”යි මෙබඳු අදහස් තට පහල නුවූයේද?
නිරිසතා:– “නැත ස්වාමිනි. මම පමා වීමි, ස්වාමිනි.” 

” දෙවැනි දෙවදුතයා දුටුවෙහුදැ”යි විචාල කල්හි “නැතැ”යි කියන්නේ තමා වෙත පැමිණි එබන්දෙකු තමන් නුදුටු බැවිනි. තමාගේ අදහස් නොවැටහුණු බව යමරජ තෙමේ එයින් නිශ්චය කෙරෙයි. එහෙයින් එය අවබෝධ කරවනු පිණිස “ම්නිසුන් අතුරෙහි ජරාවට පත් මිනිසෙකු නුදුටුවෙහිදැ” යි  ප්‍රශ්න කෙරෙයි.

ජරාවෙන් දිරා ගිය සත්ව තෙමේ සෙස්සාහු හට මෙසේ කියන්නාක්  වැන්න. “පින්වත්නි , මා දෙස බලව්.මමත් පෙර තොප මෙන් තරුණ වීමි. අත් පා වල ශක්තිය ඇත්තෙක් වීමි. බලව්. ඒ සියළු ශක්තීහු පිරිහී ගියහ. අත් පා වලින් කටයුතු කිස දැන් කට නොහැකි වෙයි. . [මත්තෙහි දක්වනු ලබන ප්රාභිභුතාදීන් පිළිබඳව ද මෙසේ මැ දත යුතු.] මා ජරාවෙන් නොමිදුනෙකු බැවින් මට මෙසේ  විය. පින්වත්නි මේ ටික සිදුවන්නේ මට පමණක් නොවෙයි. තොපටත් මෙහෙමයි. එහෙයින් මේ ටික සිදු වීමට පෙර යහපතක් කර ගනිව්” යැයි කියායි

§ 5. ඉක්බිති යමරජ තෙමේ තුන්වන දේව දුතයා පිළිබඳව කරුණු විචාරයි: 
යමරජු:- එම්බල පුරුෂය, මිනිසුන් අතුරෙහි පහල වූ තුන්වන දෙවදුතයා තෝ නුදුටුහිද? 
නිරිසතා:- නුදුටුයෙමි ස්වාමිනි.

යමරජු:  එම්බා පුරුෂය  හටගත් ලෙඩ  ඇති , දුකට පැමිණි, දැඩි ගිලන් බව ඇති, තමාගේ මල මුත්‍රයෙහි තැවරුණු, සයනය කරණ, අන්‍යයන් විසින් නැගිටුවනු ලබන, අන්‍යයන් විසින් හොවවනු ලබන ස්ත්‍රියක හෝ පුරුෂයෙකු හෝ තෝ මිනිසුන් අතුරෙහි නුදුටුයෙහිද ?
නිරිසතා:- දුටුයෙමි ස්වාමිනි.
යමරජු:-  මමත් ව්‍යාධිය  ස්වභාව කොට ඇත්තේ වෙමි. ව්‍යාධිය නොඉක්මවුයේ වෙමි. එහෙයින් මම කයින්  වචනයෙන් හා සිතින් යහපතක් කෙරෙමැ යි මෙබඳු අදහසක් තට පහළ නොවීද? එහෙයින් මම කයෙන්  වචනයෙන් හා සිතින් යහපතක් කෙරෙමැ” යි මෙබඳු අදහස් තට පහල නුවූයේද?
නිරිසතා:- “නැත ස්වාමිනි. පමා වීමි, ස්වාමිනි.

රෝගයෙන් පීඩිත වූ තැනැත්තේ සෙස්සවුන් හට මෙසේ කියයන්නකු වැන්න.:
“පින්වතුනි, බලව් මමත් පෙර තොප මෙන් ලෙඩ නැත්තෙක් වීමි. දැන් මම ලෙඩින් පෙලෙමි. ස්වකීය මල මුත්රහිම තැවරුණේ වෙමි. නැගිටින්නටත් නොහැකි වෙමි. මට අත් පා ඇතත් එයින් වැඩ ගත නොහැකිය. ලෙඩ හැදීමෙන් මට මේ සියල්ල සිදු විය.  ලෙඩ හැදෙන්නේ මට පමණක් නොවෙයි. තොපටත් හැදෙයි. සැක නැත. එදාට තොපටත් සිදුවන්නේ මේ ටික මැයි. එහෙයින් කල් ඇතිව පිණක් කර ගත හොත් යෙහෙකැ”යි කියා යි.

§ 6. ඉක්බිති යමරජ තෙමේ  සිව්වන දේව දුතයා පිළිබඳව කරුණු විචාරයි.

යමරජු:- එම්බල පුරුෂය, මිනිසුන් අතුරෙහි පහල වූ සිව් වන දෙවදුතයා තෝ නුදුටුහිද? 
නිරිසතා:- නුදුටුයෙමි ස්වාමිනි.

යමරජු:- තෝ මිනිසුන් අතර සිටියදී අපරාධ කල සොරකු අල්වාගෙන රාජ පුරුෂයන් විසින්  නොයෙක් කම්කටොලු කරවන්නාවූ,

impaling

  • එනම්: කටු සැමිටියෙන් තලවන්නවා වූද, වේවැල්වලින් තලවන්නවා වුද, මුගුරු වලින් තලවන්නවා වුද,
  • අත කප්පවන්නවා වුද, පය කප්පවන්නවා වුද, අත පය දෙකම කප්පවන්නවා වුද, කණ කප්පවන්නවා වුද, නාසය කප්පවන්නවා වුද, කන්නාස දෙකම කප්පවන්නවා වුද,
  • හිස් කබල ගලවා ගිනියම් කල යවටක් ගෙන හිස් මුල් උතුරා යන පරිදි හිසේ දැමීම් සංඛ්‍යාත බිලංගථාලික  නම් කම් කටුල්ල කරවන්නා වුද,
  • උත්තරෝෂ්ට දෙකන් සිළු  ගලවලුයෙහි පටන් සම සිඳ  සියළු කෙස් එක් කිරීමෙන් ගැටයක් කොට දණ්ඩකින් වෙලා කෙස් සහිත සම උපුටා ඉක්බිති බොරළු උලා  සක් ගෙඩියෙහි වර්ණය වැනි කිරීම් සංඛ්‍යාත සංඛමුන්ඩික නම් කම්කටුල්ල කරවන්නාවූ ද,
  • යකඩුවෙන් මුඛය විවුර්ත කොට මුව තුල පහනක් දැල්වීම නොහොත් ලේ වැගිර මුව පුරා යන පරිදි දෙකන් සිළුයෙහි පටන් මුඛය නියනකින් සැරීම් සංඛ්‍යාත නම් රාහු මුඛ නම් කම් කටුල්ල කරවන්නාවූ ද,
  • සියළු සිරුර තෙල් පිළියෙන් වෙලා ගිනි දැල්වීම් සංඛ්‍යාත ජෝතිමාලක නම් කම් කටුල්ල කරවන්නාවූ ද,
  •  අත් තෙල් පිළියෙන් වෙලා පන්දමක් මෙන් දැල්වීම් සංඛ්‍යාත හත්තපජ්ජෝතික කම් කටුල්ල කරවන්නා වූ ද
  • ග්රිවයේ පටන් සම උගුලා බැඳ  කෙන්යෙඩිහි වළලු කොට තබා යොතකින් බැඳ තමාගේ සම් වැටියම පෑගී පෑගී වැටී යන පරිදි එහා මෙහා ඇදීම්  සංඛ්‍යාත එරක වත්තික  නම් කම්කටුල්ල කරවන්නාවූ ද,
  • ග්රීවයෙහි පටන් සම උගුලා කටියෙහි තබා උඩ කොටසෙහි සමින් යට සිරුර වැසී ගොස් වැහැරී සිවුරක් ඇන්දකු වැනි කරවීම් සංඛ්‍යාත  චීරක වාසික  නම් කම් කටුල්ල කරවන්නා වූ ද,
  • බිම හොවා දෙදන දෙවැලමිට   යවුල් ගසා යවුල් සතරින් මනා කොට බිම පිහිටි කල වට කොට ගිනි දැල්වීම් සංඛ්‍යාත එණේයයක නම් කම්කටුල්ල කරවන්නාවූ ද,
  • දෙපස අඬු ඇති  බිළි කටුවලින් පැහැර සම, මස් , නහර උපුටා හැරීම් සංඛ්‍යාත බලිසමන්සික නම් මස් කම් කටුල්ල කරවන්නා වූ ද,
  • සියළු සිරුර තියුණු පිහියා වලින් කහවනු පමණට ලියා හරනා කහාපනක කම් කටුල්ල කරවන්නා වූ ද ,
  • සම් මස් , නහර ගැලවී ගොස් ඇට සැකිල්ල පමණක්ම ඉතිරිවන පරිදි සියල් සිරුර කෙඳි ලා කොස්සන් කාඩි ගැල්වීම් සංඛ්‍යාත  බාරාපතච්චික කම් කටුල්ල කරවන්නා වූ ද ,
  • එක් ඇලයකින් බිම හොවා කන් සිදුරෙන් යවුලක් ගසා පොළව හා ඒකාබද්ධ කොට දෙපා අල්වා ගෙන වට සී සෑරවීම් සන්ක්යාත පලිඝපලිවත්තික කම් කටුල්ල කරවන්නා වූ ද, දක්ෂයෙකු විසින්  සිවිය හා සම නොසිඳෙන පරිදි අතකොළු වලින් තලා ඇට බිඳ සුණු විසුනු කිරීමෙන් පිදුරු බිස්සක් මෙන් කිරීම් සංඛ්‍යාත පලාලපීඨක කම් කටුල්ල කරවන්නා වූ ද ,
  • කකියවන ලද තෙල් ඉස්වන්නාවුද, දවස් කිහිපයක් ආහාර නොදී සිටි අතිශයින් බඩ  සයින් පීඩිත වූ  මොහොතකින් ඇට සැකිල්ල පමණක්  ඉතිරි කරන බල්ලන් ලවා කවන්නාවුද,
  • ජීවත්වන්නහුම හුල හිඳුවන්න වුද, කඩුවෙන් හිස කප්පවන්නවුද, රජුන් නුදුටුහිද?

නිරිසතා: දුටුයෙමි ස්වාමිනි .
යමරජු:-  මමත් මෙබඳු දඬුවම්ව්‍ විඳීමට සුදුස්සෙක්ව උපන්නෙමි.   ස්වභාව කොට ඇත්තේ වෙමි. දඬුවම්නොඉක්මවුයේ වෙමි. එහෙයින් මම ක් වචනයෙන් හා සිතින් නපුර කිරීමෙන් වෙන්ව යහපතක් කෙරෙමැ යි මෙබඳු අදහසක් තට පහළ නොවීද? 
නිරිසතා:– නැත ස්වාමිනි.

යමරජු:–  ලෝකයෙහි යම් කෙනෙක් පව්කම් කෙරෙත් නම් ඔහු තුමු ඉහතාත්ම භාවහිම මෙබඳු කම්කටුලු කරණු ලබන්නාහ. පරලොවදී වින්ද යුතු දුක් රැස කියනුම කවරේද? එහෙයින් ක්, වචනයෙන් හා සිතින් යහපතක් ම පමණක් කෙරෙමැ යි මෙබඳු අදහසක් තට පහළ නොවීද?

නිරිසතා:- “නැත ස්වාමිනි. පමා වීමි, ස්වාමිනි. මෙහි කම්කටුලු හෝ කම් කටුලු කරන්නෝ හෝ දේව දුතයෝ නම් වෙති. කම්කටුලු  සෙස්සවුන් හට මෙසේ කියන්නවුන් වැනි වේ:
අපි වනාහි ගසෙකැ ගලෙකැ හෝ එබඳු අන් තැනෙකැ පහල නොවම්හ. (ගස් ගල් ආදියට දෙතිස් කම් කටුලු ආදී වධ කරන්නෝ නැත්තාහුමය. එහෙයින් මෙසේ කී හු.)
තොප වැන්නහුගේ සිරුරෙහිම පහළ වම්හ. එහෙයින් අපගේ පහළ වීමට පළමු කොට පින් දහම් කර ගනිව්”
යැයි කියාය.

කම්කටුලු” දේව දුතයන් වුයේ එසේ හික්මවන හෙයිනි. කම් කටුලු කරන්නෝද මෙසේ අවවාද කරන්නවුන් වැනි වෙති. “අපි දෙතිස් කම් කටුලු කරන්නමෝ වෘක්ශපර්වතාදීන් කෙරෙහි නොකරහම්හ. තොප වැනි සත්වයන්ගේ ශරීරයෙහිම කරම්හ. එහෙයින් අප තොපට මේ දෙතිස් වධ දීමට පළමු කොට පින් දහම් කර ගනිව්” යි කියා යි. ඔවුන් දෙවදුතයන් වැනි වුයේ එහෙයිනි.

§ 7 . . ඉක්බිති යමරජ තෙමේ  පස් වන දේව දුතයා පිළිබඳව කරුණු විචාරයි.
යමරජු:  එම්බා පුරුෂය මිනිසුන් අතර පහළවන්න වූ පස් වන දේව දුතයා තෝ නුදුටුහිද? 
නිරිසතා:– නුදුටුයෙමි ස්වාමිනි.

යමරජු:  එම්බා පුරුෂය, මැරී එක දවසක් ගත වූ හෝ, දෙදවසක් ගත වූ හෝ, තුන් දවසක් ගත වූ හෝ, ඉදීම ගියාවූ හෝ, නිල් වූ හෝ, පූයා වැගිරෙන්නාවූ හෝ ස්ත්රියකු හෝ පුරුෂයෙකු තෝ නුදුටුයෙහිද? 
නිරිසතා:- දුටුයෙමි ස්වාමිනි.

යමරජු:-  මමත් මරණය  ස්වභාව කොට ඇත්තේ වෙමි. මරණය නොඉක්මවුයේ වෙමි. එහෙයින් මම කල් ඇතිවම  පිණක් කර ගතහොත් යෙහෙකැ ” යි මෙබඳු අදහස් තට පහල නුවූයේද?
නිරිසතා:- අනේ නැත ස්වාමිනි. 

යමරජු:  මෘත ශරීරය  ජීවත්වන්නවුන් හට මෙසේ අවවාද කරන්නකු වැන්න.: පින්වත්නි, අමුසොහොනට ඇද දමන්නට සුදුසු පරිදි ඉදිමීම් ආදී ස්වභාවයට පැමිණියාවූ මා දෙස බලව්. මරණයෙන් නොමිදුනු බැවින් ම්ම් මෙබඳු ස්වභාවයකට  පත්වීමි. මා පමණක් නොව තෙපිදු මරණයෙන් නොමිදුනාහුය. මට මෙන්ම තොපිටත් මරණය පැමිනෙන්නේය. එහෙයින් එයට පළමු පිණක් කර ගනිවු” යයි කියයි.

දෙවදුතයන් පිළිබඳව මේ කරුණු පිළිවිසීම කවරෙක් ලබාද? කවරෙක් නොලබාදයත්:-
යමකු යමකු විසින්විසින් බොහෝ අකුසල් කරන ලද්දේ නම් හෙතෙම මරණයෙන් අනතුරුව නිරයෙහි උපදිනේමය. යමකු විසින් ස්වල්ප පාපයක්  කරණ ලද්දේ නම් මේ දෙවදුතයන් සම්බන්ධ කරුණු  පිලිවිසින්නේ ඔහුගෙනි. සොර බඩු සහිතවම  සොරෙකු අල්වා ගත හොත්  ඔහුට දඬුවම් කරුණු  මිස නඩු විසඳීමෙන් පලක් නැත. එහෙත් සාක්ශ්‍යා විභාගාදිය කොට දඬුවම් පැමිණවිය යුතු අවස්තාවක් එළඹ සිටි කල්හි සොරා වුවද උසාවිය ඉදිරියට පමුණුවනු ලැබේ. පුර්වෝක්ත කාරණයද  එසේ දත යුතුය. අල්ප වූ පාප කර්මයක් කළා හු ඒ පව්කම තුමුම සිහි කෙරෙත්. අන්‍යයන් විසින් සිහි කරවනු ලබන කල්හි වනාහි හොඳින් සිහි කෙරෙත් මැයි.

පෙර දීඝජයන්තු නම් ද්‍රවිඩ මිනිසෙක් එක් දවසක් සුමනගිරි විහාරයෙහි  ආකාශ චෛත්‍යයට රන්වන් වස්ත්‍රයක් පිදීය. කාල ක්‍රියා කිරීමෙන් පසු  හෙතෙමේ උත්තද නිරය සමීපයෙහි උපන්නේ අපායෙහි ගිනි දැල්  පැන නගින හඬ අසන කල්හි  තමා සෑයට වස්ත්‍රයක්  පිදු බව සිහි කළේය. එහෙයින් ඉන් වහා චුතව ස්වර්ගයෙහි උපන. හෙතෙමේ අන්‍යයයෙකුගේ සිහිපත් කරවීමක් නැතිවම තමන්ගේ කුශල කර්මය සිහි කළේය.

යමරජු දෙවදුතයන් සම්බන්ධව කරුණු දක්වමින් පිලිවිසින්නේ එසේ සිහිපත් කට නොහැකි වුවන්ගෙනි.සමහරෙක් පළමු දෙවදුතයා සම්බන්ධ කරුනේහිදී ම තමාගේ පිංකම සිහිකොට එයින් ගොස් දෙව්ලොව උපදියි. සමහරු පස්වන දේවදුතයා සම්බන්ධව කාරනා දැක්වූ කල්හි දු පින්කම් සිහි නොකෙරෙත්. යාම රජ ය්ජෙමේ පවුන් කල කුසල් සිහිපත් කරවයි.

එක් අමාත්‍යවරයෙක් එක් දවසක් සමන් මල් මිටක් ස්වර්ණමාලි මහා චෛත්‍ය රාජයාණන් වහන්සේට පුජා කළේය. පුජාකොට යාම රජු හට පින් දුන්නේය. පසු කලෙක්හි මරණයට පත් වූ හෙතෙමේ අකුශල කර්මයක් හේතු කොටගෙන නිරයෙහි උපන්නේ යම රජු වෙත පමුණුවන ලද්දේය. ඉක්බිත් යමරජු තෙමේ දේව දුතයන් පස් දෙනා පිළිබඳවම කරුණු දක්වා ඔහු කල පින් කම් සිහිපත් කරවන්නට උත්සාහ කෙළේය. එහෙත් එකකුදු සිහිපත් කරන්නට ඕ හට නොහැකි  වූ වේය.ඉක්බිති යමරජ තෙමේ, “ඇයි නුඹ එක් දවසක් මහ සෑයට සමන් මල් දමක් පුදා මට පින් දුන් බව සිහි නොකෙරේදැ”යි විචාළේය. එකල්හි එය සිහිකොට දෙව්ලොවට ගියේය. යාම රජ තෙමේ මෙසේ තමන් විසින් කරුණු දැක්වූ කල්හි දු  සිහිපත් නොකරන පුද්ගලයා සම්නන්ධව “අනේ! මේ සත්ව තෙමේ අප්‍රමාණ කාලයක් මහදුක් විඳින්නේය” යි සලකා තුෂ්නිම්භූත වෙයි.

hell-7

§ 8. යම රජ තෙමේ පස්වන දේව දුතයා සම්බන්ධව කරුණු විචාරා තුෂ්නිම්භූත වෙයි. ඉක්බිති යමපල්ලෝ ඒ නිරිසතා හට  “පංච විබද්ධන” (දෑත  දෙපය පපුව යන පස් පලින් බැඳීම) නම් වූ  කම් කටුල්ල කෙරෙත්. කෙසේද යත්:-
තුන්ගවූ පමණ වූ ශරීරය ගිනිගෙන දිලියෙන යපොලොවෙහි උඩ බලා සිටින පරිදි සයනය කරවා නහඹ  තල් කඳ සා ගිනි ගෙන දිලියෙන යවුලක්  දෙවන අතෙහි (= වමතෙහි ගසත්). ගිනි ගෙන දිලියෙන යවුලක්  දෙවන පයෙහි ගසත්. ගිනි ගෙන දිලියෙන යවුලක්  දෙවන පයෙහි (= වම් පයෙහි ගසත්). ගිනි ගෙන දිලියෙන යවුලක් ලමැද ගසත්. ඒ තිරිසන් තෙමේ එහි තීව්‍ර  වූ කර්කශ වූ දුක්ඛ වේදනාවන් විඳියි. යම් තාක් ඔහු විසින් පුර්වයෙහිදී කරන ලද  ප්‍රාණ ඝාතාදී  වූ ඒ අකුශල කර්මය ක්‍ෂය නොවේද (=නො ගෙවේද) ඒ තාක් කාලක්‍රියා නොකරන්නේය.

§ 9  . මහණෙනි, නිරය පාලයෝ ඒ (තුන් ගවු පමණ වූ) නිරී සතා (යපොලොවෙහි) හොවා (ගෙයක පලයක් පමණ වූ ගිනිගෙන දිලියෙන) කෙටේරි වලින් (ලේ ගඟක් කෙරෙමින්) පළත්. (ලොහෝ පොළොවෙන් ගිනි දැල් නැගී පැළු  පැළු තැන් වෙළාගෙන  දවයි. මහත් වූ දුක් උපදියි. පලන්නාහු දු දැවයක් මෙන්  නුල් ගසා අට්ඨංස කොට (= පැති අටක් ඇති වෙන පරිදි) ද ජලංස කොට (= පැති සයක් ඇති වන පරිදි) ද පලත්.

(ඉක්බිති) පා උඩුකුරු කොට හිස යටිකුරු කොට තබා (මහකුළු පමණ තල ඇති ) වෑව වලින් සසිත්. සසින්නාහු දු සම පටන් ඇට දක්වා  සසිත් මය. සැසි සැසි තැන් නැවත මස් හට ගැනීමෙන්ප්‍   ප්‍රකුර්තිමත් වේ.

(ඉක්බිති   ඒ නිරී සතා අවයව සහිතව හැම පසින් ගිණි ගෙන දිලියෙන) රථයෙහි යොදා (බැඳ ) ගිනි ගත්ත වූ හාත් පසින් දිලියෙන්නාවූ ගිනි සිලින් දිලියෙමින් එකප්‍රභ වූ යපොලොවෙහි ඉදිරියට ද ගමන් කරවත්. (දක්කා  ගෙන යත්) පෙරලාද ගමන් කරවත්. (ඉක්බිති) ගිණි ගත්තාවූ හාත් පසින් දිලියෙන්නාවූ  ගිනිසෙලින් දිලියෙමින් එක ප්‍රභව වූ මහා කුටාගාර ප්‍රමාණ වූ අන්ග්ගාර පර්වතයට  (මහ සොල්දර ගෙයක් පමණ වූ ගිණි අඟුරු කන්දකට) ගිණිගෙන දිලියෙන යකඩ  මුගුරු වලින් තල තලා නංවන්නාහුද  වෙත්. බස්වන්නාහුද  වෙති. (නැවත ඒ නිරී සතා) පා උඩු කුරු කොට හිස යටිකුරු කොට අල්වා ගෙන කකියවන ලද්දා වූ ගිනි ගත්තාවූ හාත්පසින් දිලියෙන්නාවූ ගිනි සිලින් දිලියෙමින් එකප්‍රභාවූ නිරයෙහි දමත්. හෙතෙමේ එහි පෙණ නග නගා පැසෙයි. පැසෙන්නේ ද වරක් ගින්නෙන් කකියන සැලියක බහාලු සහල් සෙයින් එක් වරෙකැ උඩට නැගෙන්නේය, එක් වරෙකැ යටට බස්නේය. එක් වරෙකැ සරසට යන්නේය. හෙතෙමේ එහි දුක් වූ තීව්‍ර වූ කර්කශවූ වේදනාවන් විඳියි. යම් තාක් ඔහු විසින් පුර්වයෙහි කරණ ලද ප්‍රාණඝාතා දී වූ ඒ අකුශල කර්මය ක්‍ෂය නොවේද (=නොගෙවේද) ඒ තාක් කාලක්‍රියා නොකරන්නේය.

§10. මහණෙනි!  නිරය පාලයෝ ඒ මේ නිරිසතා (අවිච්) මහා නරකයෙහි බහා පියත්. ඒ අවීචි මහා නරකය වනාහි :-

§11.  සතර කොණක් ඇත්තේය. සතර දොරටුවක් ඇත්තේය. (මේ නරකය එක් අන්තක්කල්පයක් ආයුෂ අත්තෙය්. නිරයාභ්යන්තරය දිගපුලුලින්  සියක් යොදුන් ඇත්තේය. යපොලොවද යපියනද එක් එක් න්හිත්තියද නව යොදුන් බොළය, ජටාලාන්තරය තුන් සිය අටළොස් යොදුන් ය, වට නව සිය සිව් පනස් යොදුන්ය. උත්සදනිරය හා සමග දස දහසක් යොදුන් ඇත්තේය යයි කියා දන්නවුන් විසින්) කොට්ඨාස  වශයෙන් පමණ කරණ ලද්දේය. යපවුරම කෙලවර කොට අත්තෙය්ස්. (= යපවුරකින් පිරිකෙව් කරණ ලද්දේය.) යපටකින් වසන ලද්දේය.

§ 12. ඒ නරකයාගේ භුමිය අයෝමය වන්නේය, දිලිසෙන්නේය. තේජසින් යුක්තය; (හෙද මඳ යහනක් පැතිරෙන්නේ නොවෙයි.) හාත් පසින් සියක් යොදුන් තැන් හැම  කල්හි පැතිර සිටිනේය. [හාත්පස යොදුන් සියයක් තැන් සිට බලන්නාහු ගේ පවා ඇ යමකගොල  (=ගුලි දෙකක්) මෙන් පිටතට නික්මෙයි. 

නරකයෝ අට  දෙනෙක් වෙත්. සඥජීවය, කාල සුත්‍රය, සංඝාතය, රෞරවය, මහා රෞරවය,  තාපය, ප්‍රතාපය, අවිචිය  යන මොහුයි.

මෙහි සංජිව නම්, යම පලුන් විසින් ගිණි ගෙන  දිලියෙන නන්  අවි රැගෙන කඩ කඩ කොට සිඳින ලද සත්වයන් නැවත නැවත දිවි ඇති වන නරකයයි.

කාල සුත්‍ නම්, යම පලුන් විසින් ප්‍රජවලිත වූ විවිධ ආයුධ රැගෙන මහ හඬින් හඬා දිවගෙන  ගොස් නිරී සතුන් දිලිසෙන යපොලෝව පැහැර හෙලා දැවයක්  මෙන් නුල් ගසා ගිනිගෙන දිළියෙන පොරෝවින් හඬව හඬවා චතුරංශ (=සතරැස්), ෂඩන්ෂ  (=සඇස්), අශ්ටංශ (= අටැස්), ශොඩශාංශ (=සොලොසැස්)  කොට සස්නා නරකය යි.

සංඝාත නම්, අයෝමය (=යමුවා)_පර්වතයෙන් සතුන් සුන් සුන් කොට මිරිකන (=පොඩිකරන) නරකයි. ඒ කෙසේ වේද යත්: ඒ නිරයෙහි සත්වයෝ නව යොදුන් ඝන වූ දිලියෙන යපොලොවෙහි කටි  ප්‍රදේශය දක්වා ගැලී  නිශ්චලව සිටිති. එකල්හි පෙරදිගින් ප්‍රජවලිත  අයෝමය පර්වතයෙක්  පැන නැගී සෙන හඬ සෙයින් ගුගුරමින් අවුත් ඒ සත්වයන් තලමින් සුන් කෙරෙමින් ගොස් අවරදිග සිටියි. සෙසු දිසා වලිනිදු මෙසේමය. ඇතැම්විට දෙදිගින් පර්වත දෙකක් අවුත් නිරිසතුන් උක් දණ්ඩක් මෙන් මිරිකයි.

රෞරව නම්, නව දොරින් ඇතුළට වැදී  සකල ශරීරය තම්බන ක්ෂාර ධුමයෙන් ගුගුරමින් පැසෙන සතුන් ඇති නරකය යි.

මහා රෞරව නම්, ලේවන්  ගිනි දැලින් පිරුනාවු දැඩි දුකින් මදනා ලද සත්වයන් ඇති නරකය යි.

තාප නම් යමපලුන් විසින් ගින්නෙන් දිලියෙන යපොලවෙහි දිලියෙන යවුල් හි හිඳුවන ලද සත්වයන් දිලිහි දිලිහී නිශ්චලව හින්ද පැසෙන නරකයයි.

hell 8

ප්‍රතාප නම්, ප්‍රකර්ශයෙන් (අතිශයින් ) තැවෙන නිරිසතුන් ඇති නරකය යි. ඒ කෙසේ වේද යත් :- බිහිසුනු රුප  ඇති රාක්ෂසයෝ  බිහිසුණු හඬින් හඬා ප්‍රජවලිත ආයුධයෙන් පැහැර සත්වයන් ගිනි ගෙන දිලියෙන  අයන්පර්වතයට  නංවති. ඔවුන් පර්වත මධ්‍යයෙහි සිටි කල්හි කර්මජ වූ (= කර්මයෙන් ඇතිවූ) වාතය හමයි. එයින් ඒ සත්හු එහි සිටිය නොහි උඩුකුරු පා ඇතිව යටිකුරු හිස් ඇතිව වැටෙති. එකල්හි දිලියෙන යපොලොවින් නහඹ තල් කඳ පමණ  යවුල් නැගේ. සත්ත්වයෝ ඒ මත්තෙහි වැටී එයින් විනි විඳ ගිය සිරුරු ඇත්තෝ වෙති. ඒ යවුල් ද දිලියෙයි, සත්වයෝ ද දිලියෙයි. යපොලොවද දිලියෙයි. මෙසේ ප්‍රකර්ශයෙන් තැවෙති.

මහා නරකය තෙමේ ගිනි දැල් වලිනුදු සත්වයන් ගෙනුදු දුක්ඛයෙනුදු විචි (=අතර) නැති බැවින් අවීචි නම් වී. එහි පෙරදිග භිත්තියෙන් ගිනි දැල් පැන නැගී  සියලු නිරය පුරවමින් සියක් යොදුන් තැන් පැතිර සිටියි. සෙසු දිසායෙනුදු මෙසේ මය, මේ ගිනි දැල් වලින් අතර නැති පරිදියි.

ඒ නිරය තුල සියක් යොදුන් පමණ තැන නළයෙ කැ පුරාලු ඊයම් සුණු සෙයින් සතුන් ගෙන් අතර නැත. “මෙතැන සත්වයෝ ඇත. මෙතැනැ නැතැ”යි කියන්නට සුදුසු තැනෙක් නැත. හේවා, සිට, හිඳ, ඇවිද පැසෙන සතුන්ගේ ගනනෙක් නැත. යන්නවුන් හට සිටියවුන්ගෙන් ද හුන්නවුන් ගෙන්ද හොත්තවුන් ගෙන් ද බාධාවක් නැත.  මෙසේ සත්වයන්ගෙන් අතර නැත්තේය.

එහි සත්වයන් හට කාය ද්වාරයෙහි උපේක්ෂා සහගත චිත්තයෝ සදෙනෙක් උපදිති. එක් දුක්ඛ සහගත චිත්තයෙක් උපදියි. එතෙකුදු වුව දිවග මී බිඳු සයක් තබා එක් තඹ ලොහො බිඳක් තැබූ කලැ දැවීම ම බලවත් වන බැවින් ඒ මී බිඳින් කම් නැත්තාක් මෙන් උපේක්ෂා සහගත චිත්තයන් උපදනා කල්හි දු දුක්ඛ සහගත චිත්තයම බලවත් වන බැවින් දුකින් අතරක් නැත. මෙසේ දුක්ඛයෙන් අතර නැත්තෙය.

මේ අෂ්ඨ මහා නරකයෙහි  එක් එක් ද්වාරයෙහි සතර සතර උත්සද නරකයෝ වෙති.මේ නියායෙන් එකෙකි මහා නරකයෙහි සොළොස් සොළොස් උත්සද නරක වන බැවින් එක් සිය අට විස්සක් වෙයි. මහා නරක හා සමග එක්සිය සතිසෙක් වේ. මේ අෂ්ඨ මහා නරකයෝ පව්කල සතුන්ගෙන් පරිපුර්ණය හ. ඝෝරය. දාරුණය හ. දක්නට අසන්නටද භයානක ය හ.

§.ආයුෂ:

ඔවුන්ගේ ආයුෂ කොතෙක් ද යත් :-
(i) මනුෂ්‍ය ප්‍රමාණයෙන් පනස් හවුරුද්දක් චතුම්හාරාජික දෙවියන් හට එක් දවසෙක් වෙයි.
එදවසින් තිස් දවස් මසෙක් වෙයි. එමසින් දොලොසක් මසක් හවුරුද්දෙක් වෙයි.
ඒ හවුරුද්දෙන් එහි දෙවියන් හට පන් සියයක් හවුරුද්දට ආයුෂය. මනුෂ්‍ය ප්‍රමාණයෙන්  හවුරුදු අනු ලක්ෂයෙකි. ඒ දිව්‍යාශ වූ අවුරුදු පන්සියය සංජිව නරකයෙහි එක් දවසෙක් වෙයි.
එදවසින් තිස් දවස් මස් වෙයි. එමසින් දොළොස් මස් හවුරුද්දෙක් වෙයි. එ හවුරුද්දෙන් ඒ සංජීව නරකයෙහි පන්සියයක් හවුරුද්දට ආයුෂය.

(ii) මනුෂ්‍ය ප්‍රමාණයෙන් සියක් හවුරුදු තව්තිසා වැසි දෙවියන් හට එක් දවසෙක් වෙයි. එදවසින් එහි දෙවියන් හට පුර්වෝක්ත ක්‍රමයෙන් දහසක් හවුරුද්දට ආයුෂය. මනුෂ්‍ය ගණනයෙන් හවුරුදු තුන් කෙළ සැට ලක්ෂයකි. (3,60,00,000) එපමණ කාලයෙක් කාල සුත්‍ර නරකයට එක් දවසෙකි. එදවසින්  ඒ  නරකයෙහි දහසක් හවුරුද්දක් ආයුෂය.

(iii) මනුෂ්‍ය වර්ෂ ප්‍රමාණයෙන්  දෙසියයක් හවුරුදු  යාම දෙව් ලොව දෙවියන් හට එක් දවසෙක් වෙයි.එදවසින් ඒ දෙවියන් හට දෙදහසක් හවුරුද්දට ආයුෂය. මනුෂ්‍ය ගණනින් හවුරුදු  තුදුස් කෙල හතලිස් ලක්ෂයෙකි. (14,40,00,000) එපමණ කාලයෙක්  සංඝාත නරකයෙහි එක් දවසෙකි  ඒ දවසින් එනරකයෙහි හවුරුදු 2000 ක් අවුරුද්දට ආයුෂය.

(iv) මනුෂ්‍ය වර්ෂ ප්‍රමාණයෙන්  හාර සියයක් හවුරුදු  තුසි පුරයෙහි  දෙවියන් හට එක් දවසෙක් වෙයි.එදවසින් ඒ දෙවියන් හට හාර දහසක් හවුරුද්දට ආයුෂය. මනුෂ්‍ය ගණනින් හවුරුදු  සත් පනස් කෙළ සැට ලක්ෂයෙකි. (57,60,00,000) එපමණ කාලයෙක්  රෞරව නරකයෙහි එක් දවසෙකි  ඒ දවසින් එනරකයෙහි හවුරුදු 4000 ක් අවුරුද්දට ආයුෂය.

(v) .මනුෂ්‍ය වර්ෂ ප්‍රමාණයෙන්  අට සියයක් හවුරුදු  නිර්මාණ රති දෙව් ලොවේ හි  දෙවියන් හට එක් දවසෙක් වෙයි. එදවසින් ඒ දෙවියන් හට අට  දහසක් හවුරුද්දට ආයුෂය. මනුෂ්‍ය ගණනින් හවුරුදු  දෙසිය තිස්  කෙළ සතලිස්  ලක්ෂයෙකි. (230 ,40,00,000) එපමණ කාලයෙක්  මහා රෞරව නරකයෙහි එක් දවසෙකි  ඒ දවසින් එනරකයෙහි හවුරුදු 8000 ක් අවුරුද්දට ආයුෂය.

(vi) මනුෂ්‍ය වර්ෂ ප්‍රමාණයෙන්  එක් දහස් සසියයක් හවුරුදු  පරිනිර්මිත වෂවර්ති දෙව්ලොව  දෙවියන් හට එක් දවසෙක් වෙයි.එදවසින් ඒ දෙවියන් හට සොළොස්  දහසක් හවුරුද්දට ආයුෂය. මනුෂ්‍ය ගණනින් හවුරුදු  වවසිය එක්විසි කෙළ සැට ලක්ෂයෙකි. (9,21,60,00,000) එපමණ කාලයෙක්  තාප  නරකයෙහි එක් දවසෙකි  ඒ දවසින් එනරකයෙහි හවුරුදු සොළොස් දහස (16,000) ක් අවුරුද්දට ආයුෂය. මෙසේ පිලිවෙලින් සදෙව් ලොව දෙවියන්ගේ සම්පුර්ණ ආයුෂ  සන්ජීවාදී නිරයන් සයෙහි සත්වයන් හට එක් දවසක් බැගින් වේ යැයි දත යුතු.

(vii) ප්‍රතාප නම් සත්වන නරකයෙහි  සත්වයන්ගේ ආයුෂය අන්තක්කල්පයෙකින් අර්ධයෙකි. අවීචි මහා නරකයෙහි එක් අන්තක්කල්පයකට ආයුෂ වෙයි. අවීචි මහා නරකයෙහි අවයව වූ අර්බුදාදී  නරකයෝ දශ දෙනෙක් වෙති. ඔවුනගේ ආයුෂ මෙසේ දත යුතු. 

වදාළේ මැ  නො:- සේයයතාපි…..

මගධ නැලියෙන් සතර නලියෙක් තල, කොසොල් නැලියෙන් එක් නැලියෙක් වෙයි. ඒ නැලියෙන් සතර නැලියෙක් කොසොල් ලහස්සෙන් එක් ලහස්සක් වෙයි. ඒ ලහස්සෙන් සතර ලහස්සක් එක් ද්‍රෝනයෙක් වෙයි. ඒ ද්‍රෝනයෙන් සතර ද්‍රෝනයෙක් එක් ඛානියෙක් වෙයි. ඒ ඛානියෙන් සතර  ඛානියෙක් එක්  ඛාරියෙක් වෙයි. ඒ ඛාරියෙන් විසි ඛාරියෙක් එක් වාහයෙක් එවෙයි. ඒ තිළ වාහයෙන් හවුරුදු සියයකට වරක් එක් එක් තල ඇටයක් හැර ගණුත් ඒ තිලවාහයෙහි තල ඇට ගෙවෙයි.

අර්බුද නරකයෙහි ආයුෂ නොගෙවේ. නිරර්බුධ නරකයෙහි එමෙන් විසි ගුණයෙකි. අහහ නරකයෙහි ආයුෂ එමෙන් විසි ගුණයෙකි. කුමුද  නරකයෙහි ආයුෂ එමෙන් විසි ගුණයෙකි. සෞඝන්ධික නරකයෙහි ආයුෂ එමෙන් විසි ගුණයෙකි. උත්පල නරකයෙහි ආයුෂ එමෙන් විසි ගුණයෙකි. පුණ්ඩරීක නරකයෙහි ආයුෂ එමෙන් විසි ගුණයෙකි. පද්ම නරකයෙහි ආයුෂ එමෙන් විසි ගුණයෙකි. කෞකාලික හික්ෂු තෙමේ සැරියුත් මුගලන් දෙනාම කෙරෙහි ආඝාත බැඳ මේ පද්ම නරකයෙහි උපන්නේය.

§13 .  මහණෙනි! ඒ අවීචි මහා නරකයාගේ පුර්ව භිත්තියෙන් ගිනි දැල් පැන නැගී පශ්චිම භිත්තිය පැහැර ( ඒ විනිවිද එයින් පිටත සියක් යොදුන් තැන් පැතිර) සිටී. පශ්චිම භිත්තියෙන් ගිනි දැල් පැන  නැගී පුර්ව භිත්තිය පැහැර ( ඒ විනිවිද එයින් පිටත සියක් යොදුන් තැන් පැතිර) සිටී. උතුරු භිත්තියෙන් ගිනිදැල් පැන නැගී දකුණු භිත්තිය පැහැර ( ඒ විනිවිද එයින් පිටත සියක් යොදුන් තැන් පැතිර) සිටී. දකුණු භිත්තිඑන් ගිනි දැල් පැන නැගී උතුරු භිත්තිය පැහැර ( ඒ විනිවිද එයින් පිටත සියක් යොදුන් තැන් පැතිර) සිටී. යටින් ගිනිදැල් පැන නැගී මත්තෙහි හැපී ( ඒ විනිවිද එයින් පිටත සියක් යොදුන් තැන් පැතිර) සිටී. උඩින් ගිනි දැල් පන නැගී යට භුමිය පැහැර ( ඒ විනිවිද එයින් පිටත සියක් යොදුන් තැන් පැතිර) සිටී. (මෙසේ ජ්වලාන්තරයෙන් අවීචි මහා නරකය තුන් සිය අටළොස් යොදුනෙකි.  වටා නවසිය සුපනස් යොදුනෙකි. උත්සද නිරය හා  සමග  දස දහස් යොදුනෙකි.) මෙහි තීව්‍ර කටුක දුක් අනුභව කරනුයේ කර්ම  බලයෙන් මිය නොයේ.

§14. මෙසේ සදෙසින් පැතිරෙන ගිනි දැල් අතුරෙහි පැසෙන සත්වයා හට අනෙක වර්ෂ කොටි ශත සහශ්‍රයක් ගියකල ඒ මහා නරකයෙහි පුර්වද්වාරය විවර වෙයි. හේ එදෙසට සීග්‍රව දිවෙයි. දුවන ඔහුගේ සිවි දයි. සම දයි. මස් දයි. නහර දයි. ඇට ඇවිල ගෙන දිලියෙයි. ඔහු තුබූ පියවර  සිවියේ පටන් ගෙන ගිනියම් කල යකඩ කබලෙක් හි බහාලු වෙඬරු පිඬු සෙයින් ඇට දක්වා දයි. හේ මෙසේ වර්ෂ කොටි ශත සහශ්‍රයෙන් ගොස් සම්ප්‍රාප්ත  වී නම් ඒ ද්වාරය වැසේ. හේ එහි තීව්‍ර කටුක දුක් අනුභව කරණුයේ කර්ම ශක්තීන් මිය නොයේ.

§ 15- 17.  මෙසේ සදෙසින් පැතිරෙන ගිනි දැල් අතුරෙහි පැසෙන සත්වයා හට අනෙක වර්ෂ කොටි ශත සහශ්‍රයක් ගිය කලෑ ඒ මහා නරකයෙහි පශ්චිම ද්වාරය විවර වෙයි.හේ එදෙසට සීග්‍රව දිවෙයි. දුවන ඔහුගේ සිවි දයි. සම දයි. මස් දයි. නහර දයි. ඇට ඇවිල ගෙන දිලියෙයි. ඔහු තුබූ පියවර  සිවියේ පටන් ගෙන ගිනියම් කල යකඩ කබලෙක් හි බහාලු වෙඬරු පිඬු සෙයින් ඇට දක්වා දයි. හේ මෙසේ වර්ෂ කොටි ශත සහශ්‍රයෙන් ගොස් සම්ප්‍රාප්ත  වී නම් ඒ ද්වාරය වැසේ. හේ එහි තීව්‍ර කටුක දුක් අනුභව කරණුයේ කර්ම ශක්තීන් මිය නොයේ.

(දේවදත්ත තෙමේ සදෙසින් ඇවිල පැතිර පවත්නා ගිනිදැල් අතුරෙහි උපන. ඔහුගේ සියක් යොදුන් පමන වූ  සිරුර වෙයි. දෙපා ගොප් ඇට දක්වා ලොහො පොළොවෙහි ගලින. දැන් මිණි බහන් (=මැණික් කටුව) දක්වා දෙපස ලෝහ භිත්තියෙහි පිවිසියේය. අධෝභාගයෙන් එක් යවුලක් පිවිස ශරීරය විනිවිද ගොස් උඩ ලොහෝ පියස්සට වනි. පුර්ව දිග භිත්තියෙන් යවුලක් පැන නැගී ලය විනිවිද ගොස් පශ්චිම දිග භිත්තියට වැනි. උතුරුදිග භිත්තියෙන් යවුලක් නික්ම ඉල ඇට විනිවිද ගොස් දකුණු දිග භිත්තියට වනි. නිශ්චල වූ තථාගතයන් වහන්සේ කෙරෙහි අපරාධ කළ දේවදත්ත තෙමේ මෙසේ නිශ්චලව පැසෙයි)

§ 18 . මෙසේ සදෙසින් පැතිරෙන ගිනි දැලින් ආකුල වූ  අවීචි මහා නරකයෙහි පැසෙන සත්වයා හට එක් අන්තක්කල්පයක් ගිය කලැ පුර්වද්වාරය විවර වෙයි. හේ සීග්‍ර ජවයෙන් එදෙසට දිවෙයි. එසේ දුවන ඔහුගේ සිවි දයි. සම දයි. මස් දයි. නහර දයි. ඇට ඇවිල ගෙන දිලියෙයි. ඔහු තුබූ පියවර  සිවියේ පටන් ගෙන ගිනියම් කල යකඩ කබලෙක් හි බහාලු වෙඬරු පිඬු සෙයින් ඇට දක්වා දයි. හේ මෙසේ වර්ෂ කොටි ශත සහශ්‍රයෙන් ගොස් සම්ප්‍රාප්ත  වී දැවෙමින්න දිව ගොස් ඒ  ද්වාරයෙන් නික්මෙයි.

§ 19.. ඒ මහා නරකයට අනතුරුව සියක් යොදුන් පමණ මහා ගුඨ නරකය වෙයි. හේ එහි හෙයි. ඔහු එහි හෙන කලැ එක් පයෙක් මහා නරකයෙහි වෙයි. එක් පයෙක් මහා ගුඨ නරකයෙහි වෙයි. මෙසේ සියක් යොදුන් දුර දීම හිස පැලී යන පමණ දුර්ඝන්ධ වූ කකියන ගුඨ නරකයෙහි හුණු සත්වයා හිඳී (=ඉදිකටු) වැනි මුව ඇති ඇත් හිස් පමණ වූ එක් ඔරු නැව් පමණ වූ මහ පනුවෝ වටා ගෙන හාත්පසින් සිවිය සිඳීති. සිවිය සිඳ මස් සිඳීති. මස් සිඳ නහර සිඳීති. නහර සිඳ ඇට සිඳිති.  ඇට සිඳ ඇට මිදුළු කති. හේ එහි තීව්‍ර කටුක දුක් විදිනේ   කර්ම ශක්තියෙන් මිය නොයේ.

§  20.   ඒ මහා ගුඨ නරකයට අනතුරුව කුක්කුල (=ගිණි අඟුරු) නරකය  වෙයි.  ගුඨ නරකයෙහි අනෙක වර්ෂ කොටි ශත සහශ්‍රයක් පැසුණු ඒ සත්ව තෙමේ එයින් ගොස් සියක් යොදුන් පමණ වූ කුටාඝාර ප්‍රමාණ අන්ඝාරයෙන් සම්පුර්ණ වූ ගිනි අලුයෙන් වැසුණු එකී කුක්කුල නරකයෙහි හෙයි. එහි හුණු හුනුවෝ අමු නම් ධනය රාශියෙක් හි බහා ලු  හී වැල්සෙයින් පත්ලෙහිම ගැලෙති. හේ එහි තීව්‍ර කටුක දුක් විදිනේ කර්ම ශක්තියෙන් මිය නොයේ.

§  21 . ඒ කුක්කුල නරකයට අනතුරුව  මහත් වූ කටු ඉඹුල් වනයෙක්  වෙයි. හේ යොදුන් පමණ උසය. සොලොසන්ගුල් පමණ දිග කටු ඇත්තේය. ඇවිල ගත් ගිනි ඇත්තේය. ගිනි ගෙන දිලියෙන්නේය. ගිනි දැල් සහිත එහි වූ  භයානක රාක්ෂසයෝ පුර්වෝක්ත  කුක්කුල නරකයෙහි වර්ෂ කොටි ශත සහශ්‍රයෙන් පැසුණු ඒ සත්වයා ගිනි ගෙන දිලිසෙන යමුගුරු වලින් පැහැර පැහැර  එයට නංවත්. ඔවුන් නැගෙන කල් හි  එහි කටු අධෝමුඛ වේ. බස්නා කල්හි ඌර්ධවමුඛ වේ. ඒ සත්ව තෙමේ එහි තීව්ර කටුක දුක් විඳිනේ කර්ම ශක්තීන් මිය නොයේ. . hell-10 katu

§  22 . ඒ ඉඹුල්කටු වනයට අනතුරු ව මහත් වූ අසිපත්‍ර (=කඩු වැනි තියුණු පත්‍ර ඇති) වනයෙක් වෙයි. පුර්වෝක්ත කටුඉඹුල්වනයෙහි අනෙක වර්ෂ කොටි ශත සහශ්‍රයෙහි පැසුණු ඒ සත්න්ව තෙමේ එයට ප්‍රවිෂ්ඨ වෙයි. ඔහුගේ කර්ම ශක්තියෙන්ම පහළවූ  වාතයෙන් චංචල වී ඒ වනයෙන් වැටෙන පත්‍රයෝ ඔහුගේ අත්ද සිඳිති. පාද සිඳිති. අත් පාද සිඳිති. කන්ද සිඳිති. නාසාද සිඳිති. කන් නාසා ද සිඳිති. පුවරුවෙක්හි තබා කොටන මස් හෙයින්  සියළු සිරුර නිරන්තරයෙන් වස්නා ආයුධ වර්ෂණයෙන් කෙටෙයි. ඉදින් නැගිට පලා යන්නේ වී නම් යපවුරත් පැන  නැගී වටා ලයි. යට මුවහත් දැලි පිහියා තල උඩුකුරුව නිරන්තරයෙන් පහළ වේ. හේ එහි තීව්ර කටුක දුක් විඳින්නේ කර්ම ශක්තීන් මිය නොයේ.

§  23. ඒ අසිපත්‍ර වනයට අනතුරුව තඹ ලෝදියෙන් පිරුණු  වේතරණී නම් මහ ගඟක් වෙයි. එහි අයෝමය වූ කරවැල්හා පියුම් පත් ඇත්තේය. යට මුවහත් දැලි පිහියාය.දෙපස ගිනිගෙන දිලියෙන වේවැල් හා කුස තනය. පුර්වෝක්ත අසිපත්‍ර වනයෙහි අනෙක වර්ෂ කොටි සහස්‍රයෙහි පැසුණු ඒ සත්ව තෙමේ ඒ  වේතරණී නදියෙහි හෙයි. හේ එහි දිය සුලියෙක් හි ගැලී පාතාලයට බැස එහි වූ දැලි පිහියා මුවහතින් සිදී බොහෝ කලකට පසුව උඩට නැගෙයි. ඉක්බිති ගඟ දිය පහරෙහි උදහටද පහලටද ගෙන යනු ලබන්නේ තියුණු වූ පොකුරු පතින් කඩනු ලැබෙයි. කරවැල් කටුවෙන් විදිනු ලැබෙයි. කුශ තෘණයෙන් සිඳිනු ලැබෙයි. වේවැලින් අදිනු ලැබෙයි. හේ එහි තීව්‍ර කටුක දුක් විදිනේ කර්ම ශක්තීන් මිය නොයේ.

§ 24 මෙසේ  කාරම්දිය සහිත වූ  වේතරණී නදියෙහි අනෙක වර්ෂ කොටි සහස්‍රයක් පැසුණු ඒ සත්වයා  නිරයෙහි සිටි යමපල්හු  ගිනිගෙන දිලිසෙන බිලිකටු බහා ගන්වා නගා ගෙන ගින්නෙන් දිලියෙන ලොහෝ පොළොවෙහි හොවා, “එම්බා පුරුෂය, කුමක් කැමැත්තෙහි දැයි පිලිවිසිති. හේ “ස්වාමිනි, බඩගිනි ඇත්තෙමි”යි උත්තර දෙයි. ඉක්බිති යමපල්හු ගිනි ගෙන දිලිසෙන ලොහොගුලි ගිනිගෙන දිලිසන ලොහො පැසින්  ලං කෙරෙති. නිරී සතා ඒ ලොහොගුලි බව දැන  භයින් ත්‍රස්තව ඇස් මුව පියා ගනියි. එකල්හි යම පල්ලු  ගිනි ගෙන දිලියෙන යහඩුවෙන් මුඛය විවෘත කොට ගිනියම් වූ ලොහො ගුලි  ඔහුගේ මුඛයේ බහා ලත්. එය ඔහුගේ තොල්ද දවයි. මුඛයද දවයි. ගෙලද දවයි. ලයද දවයි.අතුනු ද අතුනු බහන් ද රැගෙන අධොභාගයෙන් නික්ම යෙයි. හේ එහි තීව්ර කටුක  දුක් විදිනේ කර්ම ශක්තින් මිය නොයේ,

hell-6

§ 25  . මෙසේ අනෙක වර්ෂ කොටි සහස්‍රයෙහි පස්නා වූ ඔහුගෙන් යාම පල්ලු “එම්බා පුරුෂය , කුමක් කැමැත්තෙහි දැයි පිලිවිසිති. හේ “ස්වාමිනි පිපාසා ඇත්තෙමි” උත්තර දෙයි. ඉක්බිති යමපල්හු ගිනි ගෙන දිලිසෙන ලොහො හැන්දෙන් එසේම   ගිනිගෙන දිලිසන ලොහො දිය  ලං  කෙරෙති. නිරී සතා ඒ ලොහො දිය බව දැන  භයින් වෙවුලා  ඇස් මුව පියා ගනියි. එකල්හි යම පල්ලු  ගිනි ගෙන දිලියෙන යහඩුවෙන් මුඛය විවෘත කොට කකාළ ලෝදිය මුඛයෙහි වත් කෙරෙති. එය ඔහුගේ තොල්ද දවයි. මුඛයද දවයි. ගෙලද දවයි. ලයද දවයි.අතුනු ද අතුනු බහන් ද රැගෙන අධොභාගයෙන් නික්ම යෙයි. හේ එහි තීව්ර කටුක  දුක් විදිනේ කර්ම ශක්තින් මිය නොයේ,

මෙසේ නිරිසත්තු පංචවිධ බන්ධනයෙහි පටන් ගෙන ලෝදිය බීම දක්වා අනුලෝම වශයෙන්ද, ලෝදිය බීමෙන්  පටන්ගෙන පංචවිධ බන්ධනය දක්වා ප්‍රතිලෝම වශයෙන්ද ප්‍රමානාතික්‍රාන්ත වූ නිරය දුක් විඳිති.එහි ඇතැම් නිරී සත්තු පංචවිධ බන්ධන කර්ම  පම්නෙකින් ම නිරය දුකින් මිදෙති. ඇතැම් නිරිසත්තු ද්විතිය තෘතියාදී කර්ම පමණෙකින් නිරය දුකින් මිදෙති. ඇතැම් නිරිසත්තු තඹලෝදිය පීමෙන් නිරය දුකින් මිදෙති. කර්මය ගෙවී අවසන් නුවූ කල්හි යමපල් හු ඔවුන් ගෙන නැවත ද අවීචි මහා නරකයෙහි ම  බහා ලති.

§  26  මහණෙනි, යමපල්ලෝ ඒ මේ නිරිසතා නැවත මහා නිරයෙහි බහා ලති. මහණෙනි පෙර වූ දෙයක් කියමි. යමරජු හට මෙබඳු අදහස් විය. ලොකයෙහි යම් මිනිස්සු පව් කම් කෙරෙද්ද ඔහු තුමු මෙබඳු නන් වැදෑරුම් වූ වධ බන්ධන කරනු ලබත්. මම මිනිසත් බවක් ලබන්නෙම් නම්, අර්හත්  වූ සම්‍යක් සම්බුද්ධ තථාගතයන් වහන්සේත් ලෝකයෙහි පහල වන සේක් නම්,  මමත් ඒ තථාගතයන් වහන්සේ පර්යුපාසනය කරන්නෙම්  නම්, ඒ භාග්‍යවතුන් වහන්සේත්  මට ධර්ම දේශනා කර වදාරන සේක් නම්, මමත් ඒ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය දැන ගන්නෙම් නම් ඉතා යෙහෙකැයි කියා යි. මහණෙනි ඒ වනාහි අන්‍ය ශ්‍රමණයෙකු ගේ හෝ බ්‍රාහ්මණයෙකුගේ සමීපයෙන් අසා නොකියමි. වැලිදු යමක් මා විසින් දන්නා ලද්දේද මා විසින් දක්නා ලද්දේද මා විසින් ප්‍රකට කොට දක්නා ලද්දේද එයම කියමි.

§ 27. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක. මෙසේ වදාරා දෙවි මිනිසුන් හට අනුශාසනය කරන්නාවූ සුගතයන් වහන්සේ යලි මේ (ගාථා) ද වදාළ සේක.

§ 28. දෙවදුතයන් විසින් ව්හොදනා කරන ලද්දාවූ යම් මනුෂ්‍යයෝ කුශල ධර්ම සම්පාදනයෙහි ප්‍රමත්ත වෙත් ද, ඔහු තුමු හීන ආත්මභාවයන්ට පැමිණ දීර්ඝ කාලයක් මුළුල්ලෙහි ශෝක කෙරෙති.

§ 29 මේ ලෝකයෙහි ශාන්ත වූ යම් කිසි සත් පුරුෂයෝ දෙවදුතයන් විසින් චෝදනා කරණ ලද්දාහු කිසි කලෙක්හි ආර්ය ධර්මයෙහි පමා නොවෙත්ද,

§ 30 උහු තුමු උප්පත්තියට හා මරණයට කාරණ වූ තෘෂ්ණා දෘෂ්ටින් දැඩි කොට ගැනීමෙහි භය දැක කාමොපාදානාදී චතුර්විධ උපාදානයන්  ගෙන් වෙන්ව උප්පත්ති මරණයන් ගෙන් ක්ෂය වූ නිර්වාණයට පැමිණෙති.

§ 31 නිර්භය භාවයට පැමිණියාවූ සිඛිත වූ ඉහතාත්ම භාවයෙහිම සියලු කෙලෙසුන් සන්සිදීමෙන් නිවියා වූ සියලු වෛර හා භය ඉක්ම සිටියා වූ ඔහු තුමු  සියලු දුක් ඉක්මවුවාහු නම් වෙති.

බුද්ධ ධර්ම සංඝ යන රතනත්‍රයට වරද කළාහු, මව්පියන් සිල්වතුන් මැරුවාහු, රට වැස්සන්ට පීඩා කල රජ දරුවෝ, හොර වෙළෙන්දෝ, බොරු සාක්කි කීවො, දුශ්ශීල භික්ෂුහු,  මිත්‍යාදෘෂ්ඨි ගත්තාහු,  ගැබ් හෙලු ස්ත්‍රීහු,  පරස්ත්‍රී සේවනය කල පුරුෂයෝ , පර පුරුෂ සේවනය කල ස්ත්‍රීහු, ස්වාමි පුරුෂයා හට හා නැදී මයිලන්හට නින්දා කළාහු,  හුරු, මුව, එළු, තිරෙළු ආදී සිව් පාවුන් මැරුවාහු, මත්ස්‍යයන් මැරුවාහු, පක්ෂීන් මැරුවාහු,  මිනිසුන් මැරුවාහු, සොරකම් කළාහු, මිත්‍රභේදය කළාහු, බේබද්දෝ,  බොරු කීවෝ, පරුෂ වචන කීවෝ, සම්ඵප්‍රලාප බිනුවෝ, ධර්මය වැඩවා ගෙන ප්‍රකාශ කළාහු, සිල් නොරක්නා දුර්ජනයෝ,පුර්වෝක්ත උත්සද නිරය සහිත වූ මහා නරකයෙහි ඉපිද අනෙක වර්ෂ කොටි සහස්‍රයෙහි පැසෙත්.

පෙර රුහුණු රට ගාමෙන්ඩවාල මහා විහාරය පිලිබඳ ගොදුරු ගම්හි වැදී පවුලෙකැ උපන්නාවූ එක්තරා පුරුෂයෙක් විය. හෙතෙමේ දවස් පතා සිය ගණන් කෙමින් උගුල් ආදීන් බොහෝ සතුන් මරා එයින් ජීවිකාව කෙරෙයි. මේ අතර එක් දවසක් ගෙන්ම ගිනි හා ලුණු ගෙන වනයට ගොස් මුවකු මරා අඟුරෙන් පලහා මස් කා පිපාසිත වුයේ පැන් බොනු පිණිස ගාමන්ඩවාල මහා විහාරයට පැමිණියේය. පැමිණ පැන් මළුවෙහි කල දාසයෙක් හි පැවස දුරු කර ගැනීමට තරම් පැන් ටිකක් නො ලැබ මෙපමණ භික්ෂුන් වසන විහාරයෙහි “අසරනයෙකුට පිපාසා දුරු කර ගැනීමට වතුර විකක් නැතැයි භික්ෂුන්ට දොස් කියන්නට පටන් ගත්තේය. විහාරවාසී චුල්ල පිණ්ඩපාතික තිස්ස ස්ථවිරයන් වහන්සේ ඒ අසා ඔහු සමීපයට එළඹ  පිරුණු පැන් කළ දසය දැක “මෙතෙමේ ජීවමාන ප්රෙතයෙකැ”යි සිතා, “උපාසකය, පැන් බොනු කැමැත්තෙහි නම් බෝව”යි කියා කළය ඔසවා ඔහුගේ දෝතට වත් කළ සේක. කර්ම විපාකයාගේ ආශ්චර්‍යය බැලුව මැනව! බොන බොන දිය ගිනියම් කල යකබලෙක්හි ලුවක් මෙන් වහා නැසෙයි. පැන් කළ දසය නිම වන තුරු පානය කොටද ඔහුගේ පිපාසාව නොසන්සින්දුනේ මය.

ඉක්බිති මහා ස්ථවිරයන් වහන්සේ ඕ හට “උපාසකය, තා විසින් ඉතා දරුණු පව් කම් කරන ලද්දේ වන. දැනුදු ප්‍රේතයෙක් වෙහිය. මත්තෙහි විපාකය ඉතා භයානක විය හැකිය” යි වදාළ සේක. ඒ අසා හෙතෙමේ මහත් සංවේගයට පැමිණ මහා තෙරුන් වැඳ සත්ව ඝාතනය  පිණිස වූ සියළු උපකරණයන් සිඳ බිඳ දමා ගෙදරට ගොස් අඹු දරුවන්ද බලාබන්ධනගත මෘග පකෂින් මුදා හැර නැවත තෙරුන් වහන්සේ කරා එළඹ තමා පැවිදි කරන ලෙස ආයාචනය කෙළේය. තෙරුන් වහන්සේද පැවිදි බව රැකීමෙහි දුෂ්කරත්වය නන් අයුරින් වදාළ නමුත් හෙතෙමේ “මෙබඳු ප්‍රත්‍යක්ෂ කාරණයක් දැකීමෙන් පසුත් පැවිදි නොවී කෙසේ ගිහි ගෙයි විසිය හැකි දැයි කියා යාඥා කොට පැවිදි බව ලාඅ ගත්තේය. ඉක්බිති වත් පිළිවෙත් සරුව බුද්ධ ධර්මය ඉගෙනීමෙහි යෙදී සිටින අතර එක දවසක් දේවදුත සුත්‍රයෙහි ආ “තමෙන භික්කවේ නිරය පාලා පුන මහා නිරයෙ පක්ඛ්පන්ති” යනු අසන්නට ලැබුනේය. මෙහි මුලින් විස්තර කල පරිදි අවීචි මහා නරකයෙහි අනෙකවර්ෂ කොටිශත සහශ්‍රයක් දුක් වින්ද ඉන් පසු පංචවිධ බන්ධන කර්මය පටන් ලෝදිය පොවනු ලැබීම  අවසන් කොට ඇති, සිතිය නොහැකි තරම් තීව්‍ර ඝෝර දුක් අනුභව කළ නිරිසතා නැවතද මහා නිරයෙහි බහා පියන බව එයින් දක්වන ලදී.

ඒ අසා, “ස්වාමින් වහන්ස, මහා නිරය ඉතා භයානකදැ”යි විචාළේය.”ඇවැත්නි එසේය. භයානකය්”යි මහා තෙරුන් වහන්සේ උත්තර දුන් සේක. “ස්වාමිනි එය බැලිය හැකි දැ?”යි විචාළේය.මහා තෙරුන් වහන්සේ”ඇවැත්නි, බැලිය නොහැක්ක. දුටුවාක් මෙන් දැන ගැනීම පිණිස එක් කරුණක් දක්වන්නෙමි “යි සාමනේරයන් ලවා ගල් තලයෙක්හි අමු දර ගොඩක් රැස් කරවූ සේක. ඉක්බිති සෘද්ධි බලයෙන් මහා නිරයෙන් කදෝ පැනියෙකු පමණ වූ ගිනි පුපුරක් ගෙනවුත් පුර්වෝක්ත නවක භික්ෂුන් බලා හින්දදීම අමු දර ගොඩට දැමු සේක. ගිනි පුපුරා දරගොඩට වැටීමද  දරගොඩ දා හළු වී යාමද පෙර පසු නොව එක විටම විය. නවක භික්ෂු තෙමේ ඉක්බිති කමටහන් ලබා ගෙන විවිකස්තානයකටගොස් භාවනා කොට සිව් පිලිසිඹියා  හා සමග අරහත්වයට පැමිණියේය.

පින්වත්නි, නිරය දුක නම් මෙසේ  අතිශයින් භයානකය. නිරයෙහි උත්පත්තිය ලැබූ කල එයින් මිදී මිනිසත් බවක් ලබා පින්කම් කරන්නට ඔහු තුමු කැමැති වෙති. පින්කම් කිරීමේ ප්‍රයෝජනයත්, නොකිරීමේ දෝසයත් ඔවුනට වැටහෙන්නේ එවිටය. එහෙත් එයින් මිදී කවදා මිනිසත් බවක් ලැබිය හැකිද? කවදා පින්කම් කිරීමට අවකාශ ලැබේද? දැන් තොපට පින්කම් කිරීමට හැම අතින්ම යෝග්‍ය වන පරිදි මිනිසත්බව ද ලැබී ඇත. බුද්ධෝත්පාද- ක්‍ෂණ  සම්පත්‍යාදීන්ද තොප සම්පුර්ණය. මෙහි මුලින් සඳහන් කරන ලද දේව දුතයෝද  තොප විසින් දක්නා ලදහ. එහෙයින්පින් දහම් කිරීමෙහි පමා නොවව්. දවසක් වත් පමා නොවව්, හිස ගිනි ගත්තෙකු කොතරම් වෙන කටයුතු ඇතත් එම ගිනි නිවා ගැනීමෙහි ඉක්මන් වන්නාක් මෙන් තෙපිදු හෙටට කල් නොදමා අද – අදම පින්කම් කිරීමෙහි ඉක්මන් වව. මරණය කවදා පැමිණේ දැයි කාට කිව හැකිද? එහෙයින් සත්පුරුශයෙනි, මොහොතක් වත් පමා නොවව්. යමරජු ඉදිරියට පැමිණි කල දෙවදුතයන් දක්නා ලද දැයි විචාල කල්හි තොප විසින් ‘නැත’යි නොකිය හැක්කේය. දෙවදුතයන් හමුවූ බව හා ඔවුන්ගේ තත්වය මෙසේ නොයෙක් අයරින් තොපට දැන ගන්නට සැලැස්වූ බවද නොදැන හෝ මතක නැති වීමකින්  නොව තොපගේ නොසලකිල්ලෙන්මස් කුශල සම්පාදනය නොකළ බවද යමරජ හට වහා වැටහෙනු නිසැකය. එකල තොපට කිසි කලෙකත් සමාවක් බලාපොරොත්තු විය නොහැකිය. තොප කල දෙහි විපාක තොප විසින්ම මිස තොපගේ මවුපියන් විසින් වත් නෑ මිතුරන් විසින් වත් වින්ද නොහැකිය. ඒ බව තරයේ සලකව්. තමන්ගේ හිසට තමන්ගේ අතින්ම ගෙන ගිණි අඟුරු දමා නොගනිව්. තමන් කරණ කර්මයෙහි විපාක තමන්ම විඳින බව දැන දැන ද පව්කම් කරන්නෝ තමන්ගේ හිසට තමන්ගේ අතින්ම ගෙන ගිණි අඟුරු දමා ගන්නවුන් වැනි වෙති. තෙපි එබඳු අඥානයෝ නොවන්නාහුය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.