MN 03-04-07. සළායතන විභංග සූත්‍රය

§ 1, මා විසින් මෙසේ අසන ලදී.
එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම්වූ අනේපිඬු මහසිටුහුගේ ආරාමයෙහි වැඩවසනසේක. එකල්හි දිනක් භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ට “මහණෙනි” කියා ආමන්ත්‍රණය කළසේක. “පින්වතුන් වහන්සැයි,” ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළේය.

§2. “මහණෙනි, ෂඩායතනයන්ගේ විස්තර නුඹ වහන්සේලාට දේශනා කරන්නෙමි. එය මනා අවධානයෙන් අසව්. හොඳින් සිත් දරාගනිවූ. කියන්නෙමි” යනුයි. “එසේය ස්වාමීනියි” ඒ භික්ෂූහු භාග්‍යවතුන්වහන්සේට පිළිතුරු දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළේය.

§ 3 , උද්දේසය

“ආධ්‍යාත්මික ආයතන සය තත්වූ පරිද්දෙන් දතයුතුය.
බාහිර ආයතන සයද තත්වූ පරිද්දෙන් දතයුතුය
විඤ්ඤාණ කාය සයද තත්වූ පරිද්දෙන් දතයුතුය.
ස්පර්ශ කාය සයද තත්වූ පරිද්දෙන් දතයුතුය.
මනො පවිචාර (විතර්ක විචාර) අටළොසද තත්වූ පරිද්දෙන් දත යුතුය.
සත්ව පද සතිසද තත්වූ පරිද්දෙන් දතයුතුය.

එසේ දැන මෙය නිසා මෙය දුරුකරව්.
ආර්‍ය්‍ය ශාස්තෘන් වහන්සේ සතිපට්ඨාන තුනක් සේවනය කෙරේ, එසේ සතිපට්ඨාන තුනක් සේවනය කරන්නාවූ ආර්‍ය්‍යයන්වහන්සේ ජනයාට උගන්වන්නට අනුශාසනා කරන්ට සුදුසුවෙයි. හෙතෙම දමනය කළයුත්තවුන් දමනය කරන්නවුන් අතුරෙන් නිරුත්තරවූ පුරිසදම්මසාරථි යයි කියනු ලැබේ.
මෙය සළායතන විභංගයාගේ උද්දේසයයි. ( සාරාංසය යි.)

§ 4 “ආධ්‍යාත්මික ආයතන සය දතයුතුය ‘ යි,[The six internal bases] කියනලද්දේ . කුමක් සඳහා ද?
චක්ඛායතනය, සොතායතනය, ඝානායතනය, ජිව්හායතනය කායායතනය, මනායතනය, යන මෙම . ආධ්‍යාත්මික ආයතන සය දත යුතු යයි. මේ සඳහා කියන ලදී.

§ 5. බාහිර ආයතන සය [The six external bases] දත යුතුයයි, කුමක් සඳහා කියන ලදද?
රූපායතනය සද්දායතනය, ගන්ධායතනය, රසායතනය, පොට්ඪබ්බායතනය, ධම්මායතනය, යන මෙම බාහිරවූ ආයතන සය දතයුතුයයි, මෙසේ ඒ යමක් කියනලද නම් එය මේ සඳහා කියනලදී.

§ 6. විඤ්ඤාණ කාය සය [The six classes of consciousness ]දතයුතුයයි, කුමක් සඳහා කියනලදද?
චක්ඛු විඤ්ඤාණය, සොත විඤ්ඤාණය, ඝාන විඤ්ඤාණය, ජිව්හා විඤ්ඤාණය, කාය විඤ්ඤාණය, මනො විඤ්ඤාණය, යන මේ විඤ්ඤාණ කාය සය දතයුතුයයි, මෙසේ මේ සඳහා කියනලදී.

§ 7. “පොට්ඪබ්බකාය සය [six classes of contact] දතයුතුයයි, කුමක් සඳහා කියනලදද?
චක්ඛුසම්ඵස්සය, සොත සම්ඵස්සය, ඝාන සම්ඵස්සය, ජිව්හා සම්ඵස්සය, කාය සම්ඵස්සය මනො සම්ඵස්සය, යන මෙම . ඵස්ස කාය සය දත යුතු හෙයින් මෙසේ කියන ලදී.

§ 8 .“මනොපවිචාර (විතර්ක-විචාරයෝ) –mental explorationඅටළොස දතයුතු යයි, කුමක් සඳහා කියන ලදද?


[MA: Mental exploration (manopavicara) is applied thought and sustained thought. One explores (or examines, upavicarati) the object by the occurrence of sustained thought (vicara), and applied thought is associated with the latter]


ඇසින් රූපයක් දැක ඇතිවන චක්ඛු සම්පස්සය සොම්නසට කරුණුවූ රූපය අනුව හැසිරෙයි. විමසයි. දොම්නසට කරුණුවූ රූපය අනුව හැසිරෙයි. උපෙක්ෂාවට කරුණුවූ රූපය අනුව හැසිරෙයි.
කණින් ශබ්දය අසා සොම්නසට කරුණුවූ, ශබ්දය අනුව හැසිරෙයි. දොම්නසට කරුණුවූ, ශබ්දය අනුව හැසිරෙයි. මැදහත් බවට කරුණුවූ, ශබ්දය අනුව විමසයි. හැසිරෙයි.
නැහැයෙන් ගඳ ආඝ්‍රාණය කොට සොම්නසට කරුණුවූ, ගන්ධය අනුව හැසිරෙයි. දොම්නසට කරුණුවූ, ගන්ධය අනුව හැසිරෙයි. මැදහත් බවට කරුණුවූ, ගන්ධය අනුව විමසයි. හැසිරෙයි.
දිවෙන් රස විඳ සොම්නසට කරුණුවූ, රසය අනුව හැසිරෙයි. දොම්නසට කරුණුවූ, රසය අනුව හැසිරෙයි. මැදහත් බවට කරුණුවූ, රසය අනුව විමසයි. හැසිරෙයි.
කයින් ස්පර්ශ කළයුත්ත ස්පර්ශකොට සොම්නසට කරුණුවූ ධර්මානරමුණ අනුව හැසිරෙයි. දොම්නසට කරුණුවූ, ධර්මාරමුණ අනුව හැසිරෙයි. මැදහත් බවට කරුණුවූ ධර්මාරමුණ අනුව විමසයි. හැසිරෙයි.
සිතින් ධර්මය දැන සොම්නසට කරුණුවූ ධර්මය අනුව හැසිරෙයි. දොම්නසට කරුණුවූ, ධර්මය අනුව හැසිරෙයි. උපෙක්ෂාවට කරුණුවූ, ධර්මය අනුව විමසයි. හැසිරෙයි.

මෙසේ සොමනස්සුපවිචාරයෝ සයක්ද,
දොමනස්සුප විචාරයෝ සයක්ද,
උපෙක්ෂොපවිචාරයෝ සයක්ද යන
මනොපවිචාරයෝ අටළොසක් දතයුතුයයි.

මේ සඳහා කියනලදී.

§ 9. “සත්වයන්ගේ පදයෝ (වට්ට-විවට්ට වශයෙන් සත්වයන්ගේ පැවැත්මට හේතු)

[MA: These are positions (පද ) for beings who are intent on the round of existence and for those intent on the cessation of the round.]

සතිසක් දත යුතුයයි, කුමක් සඳහා කියන ලදද?

(අ).ගෙහසිතවූ (පස්කම්ගුණ ඇසුරු කළාවූ) සොමනස්සයෝ සයක් වෙත්.
(ආ).නෛෂ්ක්‍රම්‍ය ඇසුරුකළාවූ (විදර්ශනාව ඇසුරු කළාවූ) සොමනස්සයෝ සයක් වෙත්.
(ඇ).ගෙහසිතවූ දොමනස්සයෝ සයක් වෙත්.
(ඈ).නෛෂ්ක්‍රම්‍ය ඇසුරු කළාවූ දොමනස්සයෝ සයක් වෙත්.
(ඉ).කාම ගුණයන් ඇසුරු කළාවූ උපෙක්ෂා සයක් වෙත්.
(ඊ).නෛෂක්‍රම්‍යය ඇසුරු කළාවූ උපෙක්ෂා සයක් වෙත්.

කාම ගුණයන් නොහොත් ගෘහ වාසි ගේහසිත නම් පස් කම් සැපයෙහි ඇලුන ප්රුතක්ජනයාගේ ලක්ෂණ ද නෛෂ්කර්මය ඇසුරු කල යනු විපස්සනාව වඩනවුන්ගේ ලක්ෂනද වේ,

§ 10. “ කාම ගුණයන් ඇසුරු කළාවූ සොම්නස් හය කවරහුද?

(අ) චක්ෂුර්විඥානයෙන් දැනගන්නාවූ කැමතිවූ මනාපවූ සිත සතුටු කරන්නාවූ තෘෂ්ණාවෙන් යුක්තවූ රූපයන්ගේ ලැබීම ලාභයක් වශයෙන් සලකන්නාහටද පූර්වයෙහි ලබන ලද ඉකුත්වූ නිරුද්ධවූ වෙනස්වූ (රූපය) සිහි කරන්නහුටද සොම්නසක් උපදියි. මෙබඳු යම් සොම්නසක් වේද, මෙය ගෙහසිත (කාම ගුණයන් ඇසුරු කළාවූ) සොම්නසයයි කියනු ලැබේ.

(ආ). සොත විඥානයෙන් දැනගන්නාවූ තමන් කැමැති වන්නාවූ, මන වඩන්නාවූ, සතුටු වන්නාවූ, ලෝකාමිෂ සංඛ්‍යාත තෘෂ්ණාවෙන් යුක්තවූ, ශබ්දයන්ගේ ලැබීම හෝ ලැබීම් වශයෙන් දක්නහුටද පූර්වයෙහි හෝ ලබන ලද ඉකුත්වූ, නිරුද්ධවූ, වෙනස්වූ, (ශබ්දය) සිහි කරන්නහුටද සොම්නස උපදියි. මෙබඳු යම් සොම්නසක් වේද, මෙය කාම ගුණයන් ඇසුරු කළාවූ, සොම්නසයයි කියනු ලැබේ.

(ඇ). ඝාණ විඤ්ඤාණයෙන් දැනගන්නාවූ ගන්ධයන්ගේ (ගන්ධය) කැමැති වන්නාවූ, මන වඩන්නාවූ, සතුටු වන්නාවූ ලෝකාමිෂ සංඛ්‍යාත තෘෂ්ණාවෙන් යුක්තවූ, ගන්ධයන්ගේ ලැබීම හෝ ලැබීම් වශයෙන් දක්නහුටද පූර්වයෙහි හෝ ලබනලද ඉකුත්වූ, නිරුද්ධවූ, වෙනස්වූ, (ගන්ධය) සිහිකරන්නහුටද, සොම්නස උපදියි. මෙබඳු යම් සොම්නසක් වේද, මෙය කාම ගුණයන් ඇසුරු කළාවූ, සොම්නසයයි කියනු ලැබේ.

(ඈ). ජිව්හා විඤ්ඤාණයෙන් දැනගන්නාවූ, “රසයන්ගේ” (රසය) කැමති වන්නාවූ, මන වඩන්නාවූ, සතුටු වන්නාවූ, ලෝකාමිෂ සංඛ්‍යාත තෘෂ්ණාවෙන් යුක්තවූ, රසයන්ගේ ලැබීම හෝ ලැබීම් වශයෙන් දක්නහුටද පූර්වයෙහි හෝ ලබනලද ඉකුත්වූ, නිරුද්ධවූ, වෙනස්වූ, (ගන්ධය) සිහිකරන්නහුටද, සොම්නස උපදියි. මෙබඳු යම් සොම්නසක් වේද, මෙය කාම ගුණයන් ඇසුරු කළාවූ, සොම්නසයයි කියනු ලැබේ.

(ඉ). කාය විඥානයෙන් දතයුතුවූ, “ස්පර්ශ කළයුත්තවුන්ගේ” (ස්පර්ශ කළයුත්ත) කැමති වන්නාවූ, මන වඩන්නාවූ, සතුටු වන්නාවූ, ලෝකාමිෂ සංඛ්‍යාත තෘෂ්ණාවෙන් යුක්තවූ, ස්පර්ශයන්ගේ ලැබීම හෝ ලැබීම් වශයෙන් දක්නහුටද පූර්වයෙහි හෝ ලබනලද, ඉකුත්වූ, නිරුද්ධවූ, වෙනස්වූ, ස්පර්ශය සිහිකරන්නහුටද සොම්නස උපදියි, මෙබඳු යම් සොම්නසක් වේද, මෙය කාම ගුණයන් ඇසුරු කළාවූ, සොම්නසයයි කියනු ලැබේ.

(ඊ ). මනො විඥානයෙන් දතයුතුවූ කැමතිවූ, මන වඩන්නාවූ, සතුටු වන්නාවූ, සිත පිනවන්නාවූ, තෘෂ්ණාවන්ගෙන් යුක්තවූ, ධර්මයන්ගේ ලැබීම ලැබීම් වශයෙන් සලකන්නහුටද පූර්වයෙහි ලබනලද, ඉකුත්වූ නිරුද්ධවූ වෙනස්වූ (ධර්මාරමුණ) සිහිකරන්නහුටද සොම්නස උපදියි. මෙබඳු යම් සොම්නසක් වේද, මෙය කාම ගුණයන් ඇසුරු කළාවූ සොම්නසයයි කියනු ලැබේ.
මේ ගේහසිත (කාම ගුණයන් ඇසුරු කළාවූ) සොම්නස් හය වෙත්.

§ 11. “. ‘ නෙක්ඛම්මසිත (නෛෂ්ක්‍රම්‍යය ඇසුරු කළාවූ) සොම්නස් හය කවරහුද?
(අ) . රූපයන්ගේම අනිත්‍ය බව වෙනස්වීම, නොඇල්ම, නිරුද්ධවීම, දැන පූර්වයෙහි යම් රූපයෝ වූවාහුද දැන් යම් රූපයෝ වෙත්ද, ඒ සියලු රූපයෝ අනිත්‍යයහ, දුක්ය, විපරිනාම ස්වභාව ඇත්තාහයි, මෙසේ මෙය තත්වූ පරිද්දෙන් මනා නුවණින් දක්නහුට සොම්නස උපදියි.
මෙබඳු සොම්නසක්, නෛෂ්ක්‍රම්‍යය ඇසුරු කළාවූ සොම්නසයයි කියනු ලැබේ.

(ආ). ශබ්දයන්ගේම අනිත්‍යබව, වෙනස්වීම, විරාගය, නිරෝධය දැන පූර්වයෙහිවූද, මේ කාලයෙහිවූද, ශබ්දයෝ වෙත්ද, සියලු ඒ ශබ්දයෝ අනිත්‍යයහ, දුක්යහ, විපරිනාම ස්වභාව ඇත්තාහයි, මෙසේ මෙය තත්වූ පරිද්දෙන් මනා නුවණින් දක්නහුට සොම්නස උපදියි. මෙබඳු සොම්නසක්, නෛෂ්ක්‍රම්‍යය ඇසුරු කළාවූ, සොම්නසයයි කියනු ලැබේ.

(ඇ).. ගන්ධයන්ගේම අනිත්‍ය බව, වෙනස්වීම, විරාගය, නිරෝධය, දැන, පූර්වයෙහිවූද, මේ කාලයෙහි වූද, ගන්ධයෝ වෙත්ද, සියලු ඒ ගන්ධයෝ අනිත්‍යයහ, දුක්යහ, විපරිනාම ස්වභාව ඇත්තාහයි, මෙසේ මෙය තත්වූ පරිද්දෙන් මනා නුවණින් දක්නහුටද සොම්නස උපදියි. මෙබඳු සොම්නසක්, නෛෂ්ක්‍රම්‍යය ඇසුරු කළාවූ, සොම්නසයයි කියනු ලැබේ.

(ඈ). රසයන්ගේ අනිත්‍ය බව, වෙනස්වීම, විරාගය, නිරෝධය දැන, පූර්වයෙහිවූද, මේ කාලයෙහිවූද, රසයෝ වෙත්ද, සියලු ඒ රසයෝ අනිත්‍යයහ, දුක්යහ, විපරිනාම ස්වභාව ඇත්තාහයි, මෙසේ මෙය තත්වූ පරිද්දෙන් මනා නුවණින් දක්නහුට සොම්නස උපදියි. මෙබඳු සොම්නසක්, නෛෂ්ක්‍රම්‍යය ඇසුරු කළාවූ, සොම්නසයයි කියනු ලැබේ.

(ඉ). ස්පර්ශ යන්ගේ අනිත්‍ය බව, වෙනස්වීම, විරාගය, නිරෝධය දැන, පූර්වයෙහිවූද, මේ කාලයෙහිවූද, ස්පර්ශයෝ වෙත්ද, සියලු ඒ ස්පර්ශයෝ අනිත්‍යයහ, දුක්යහ, විපරිනාම ස්වභාව ඇත්තාහයි, මෙසේ මෙය තත්වූ පරිද්දෙන් මනා නුවණින් දක්නහුට සොම්නස උපදියි. මෙබඳු සොම්නසක්, නෛෂ්ක්‍රම්‍යය ඇසුරු කළාවූ, සොම්නස යයි කියනු ලැබේ.

(ඊ ), ධර්මයන්ගේම අනිත්‍ය බව, වෙනස්වීම, විරාගය, නිරෝධය, දැන පූර්වයෙහි යම් ධර්මායතනයෝ වූවාහුද, දැන යම් ධර්මායතනයෝ වෙත්ද, ඒ සියලු ධර්මයෝ අනිත්‍යයෝය, දුක්ඛයෝය, විපරිනාම ස්වභාව ඇත්තාහුයයි, මෙසේ තත්වූ පරිද්දෙන් යහපත් නුවණින් දක්නහුට සොම්නස උපදියි. මෙබඳු සොම්නසක් , නෙක්ඛම්ම සිත (නෛෂ්ක්‍රම්‍යය ඇසුරු කළාවූ) සොම්නස යයි කියනු ලැබේ.

මේ නෛෂ්ක්‍රම්‍යය ඇසුරු කළාවූ සොම්නස් හය වෙත්.

§ 12. “ “ කාමගුණයන් ඇසුරු කළාවූ දොම්නස් හය කවරහුද?
(අ). චක්ෂුර්විඥානයෙන් දැනගන්නාවූ, ඉෂ්ටවූ, කාන්තවූ, මනාපවූ, මනොරම්‍යවූ ලොකාමිෂයන්ගෙන් යුක්තවූ. රූපයන්ගේ නොලැබීම හෝ නොලැබීම් වශයෙන් දක්නහුට පූර්වයෙහි හෝ නොලැබූ, ඉක්ම ගියාවූ, නිරුද්ධවූ, වෙනස්වූ (රූපය) සිහිකරන්නහුට දොම්නස උපදියි. මෙබඳු දොම්නසක් , කාමගුණයන් ඇසුරු කළාවූ දොම්නසයයි කියනු ලැබේ.

(ආ). සොත විඥානයෙන් දැනගන්නාවූ, ඉෂ්ටවූ, කාන්තවූ, මනාපවූ, සතුටු වන්නාවූ, තෘෂ්ණාවෙන් යුක්තවූ, ශබ්දයන්ගේ නොලැබීම හෝ නොලැබීම් වශයෙන් දක්නහුටද, පූර්වයෙහි හෝ නොලද්දාවූ, ඉක්ම ගියාවූ, නිරුද්ධවූ, වෙනස්වූ, (රූපය) සිහිකරන්නහුටද දොම්නස උපදියි. මෙබඳුවූ දොම්නසක් , කාමගුණයන් ඇසුරු කළාවූ දොම්නසයයි කියනු ලැබේ.

(ඇ). ඝ්‍රාණවිඥානයෙන් දැනගන්නාවූ, ඉෂ්ටවූ, කාන්තවූ, මනාපවූ, සතුටු වන්නාවූ, තෘෂ්ණාවෙන් යුක්තවූ, ගන්ධයන්ගේ නොලැබීම හෝ නොලැබීම් වශයෙන් දක්නහුටද, පූර්වයෙහි හෝ නොලද්දාවූ, ඉක්ම ගියාවූ, නිරුද්ධවූ, වෙනස්වූ, (ගන්ධය) සිහිකරන්නහුටද දොම්නස උපදියි. මෙබඳුවූ දොම්නසක්, කාමගුණයන් ඇසුරු කළාවූ, දොම්නසයයි කියනු ලැබේ.

(ඈ). ජිව්හා විඥානයෙන් දැනගන්නාවූ, ඉෂ්ටවූ, කාන්තවූ, මනාපවූ, සතුටුවන්නාවූ, තෘෂ්ණාවෙන් යුක්තවූ, රසයන්ගේ නොලැබීම හෝ නොලැබීම් වශයෙන් දක්නහුටද, පූර්වයෙහි හෝ නොලද්දාවූ, ඉක්ම ගියාවූ, නිරුද්ධවූ, වෙනස්වූ, (රසය) සිහිකරන්නහුටද, දොම්නස උපදියි. මෙබඳුවූ දොම්නසක්, කාමගුණයන් ඇසුරු කළාවූ දොම්නසයයි කියනු ලැබේ.

(ඉ). කාය විඥානයෙන් දැනගන්නාවූ, ඉෂ්ටවූ, කාන්තවූ, මනාපවූ, සතුටු වන්නාවූ, තෘෂ්ණාවෙන් යුක්තවූ, ස්පර්ශයන්ගේ නොලැබීම හෝ නොලැබීම් වශයෙන් දක්නහුටද, පූර්වයෙහි හෝ නොලද්දාවූ, ඉක්ම ගියාවූ, නිරුද්ධවූ, වෙනස්වූ, (ස්පර්ශය) සිහිකරන්නහුටද දොම්නස උපදියි. මෙබඳුවූ දොම්නසක්, කාමගුණයන් ඇසුරු කළාවූ දොම්නසයයි කියනු ලැබේ.

(ඊ ). මනො විඥානයෙන් දැනගන්නාවූ, ඉෂ්ටවූ, කැමතිවන්නාවූ, මනාපවූ, සතුටු වන්නාවූ, තෘෂ්ණාවෙන් යුක්තවූ, ධර්මායතනයන්ගේ නොලැබීම හෝ නොලැබීම් වශයෙන් දක්නහුටද, පූර්වයෙහි හෝ නොලද විරූ ඉකුත්වූ, නිරුද්ධවූ, වෙනස්වූ, (ධර්මය) දක්නහුට දොම්නස උපදියි. මෙබඳුවූ දොම්නසක්, කාමගුණයන් ඇසුරු කළාවූ දොම්නසයයි කියනු ලැබේ.
මොහු සදෙන කාමගුණයන් ඇසුරු කළාවූ දොම්නස් වෙත්.

§ 13. “ “ නෛෂ්ක්‍රම්‍යයන් ඇසුරු කළාවූ දොම්නස් හය කවරහුද?
(අ), රූපයන්ගේ අනිත්‍ය බව, වෙනස්වීම නොඇල්ම වැළැක්ම දැන, පූර්වයෙහිද මේ කාලයෙහිද, යම් රූපයෝ වෙත්ද, ඒ සියලු රූපයෝ අනිත්‍යයහ, දුක්යහ, පෙරළෙන ස්වභාව ඇත්තාහයි, මෙසේ මෙය තත්වූ පරිද්දෙන් යහපත් ප්‍රඥාවෙන් දැක නිරුත්තරවූ විමොක්ෂයන්හි (රහත් බැව්හි) ප්‍රාර්ථනා තබයි. මේ කාලයෙහි ආර්‍ය්‍යයෝ යම් රහත් බවකට පැමිණ වාසය කරත්ද, කවර කලෙක්හි නම් මම ඒ රහත් බවට පැමිණ වාසය කරන්නෙම් දැයි, මෙසේ නිරුත්තරවූ විමොක්ෂයන්හි (රහත්බැව්හි) ප්‍රාර්ථනාව පිහිටු වන්නහුට ඒ ප්‍රාර්ථනා හේතුවෙන් දොම්නස උපදියි. මෙබඳු යම් දොම්නසක් වේද, මෙය නෛෂ්ක්‍රම්‍ය ඇසුරු කළාවූ දොම්නසයයි කියනු ලැබේ.

(ආ). ශබ්දයන්ගේ අනිත්‍ය බව, වෙනස්වීම, නොඇලීම, නැතිවීම දැන, පූර්වයෙහිද, මේ කාලයෙහිද, යම් ශබ්දයෝ වෙත්ද, ඒ සියලු ශබ්දයෝ අනිත්‍යයහ, දුක්යහ, පෙරළෙන ස්වභාව ඇත්තාහයි මෙසේ මෙය තත්වූ පරිද්දෙන් මනා විපස්සනා ප්‍රඥාවෙන් දැක, නිරුත්තරවූ විමොක්ෂය (රහත් බැව්) ප්‍රාර්ථනා කරයි. පෙර කලද අදද මේ සාසනයෙහි ආර්‍ය්‍යයෝ යම් රහත් බවකට පැමිණ වාසය කරත්ද, කවර කලෙක්හි නම් මම ඒ රහත් බවට පැමිණ වාසය කරන්නෙම් දැයි, මෙසේ නිරුත්තරවූ විමොක්ෂයන්හි (රහත් බැව්හි) ප්‍රාර්ථනාව පිහිටුවන්නහුට ප්‍රාර්ථනා හේතුවෙන් දොම්නස උපදියි. මෙබඳු දොම්නසක්, නෛෂ්ක්‍රම්‍යය ඇසුරු කළාවූ දොම්නසයයි කියනු ලැබේ.

(ඇ). ගන්ධයන්ගේ අනිත්‍ය බව, වෙනස්වීම, නොඇලීම, නැතිවීම දැන, පූර්වයෙහිද, මේ කාලයෙහිද, සියලු ගන්ධයෝ අනිත්‍යයහ, දුක්යහ, පෙරළෙන ස්වභාව ඇත්තාහයි මෙසේ මෙය තත්වූ පරිද්දෙන් යහපත් ප්‍රඥාවෙන් දැක, නිරුත්තරවූ, විමොක්ෂයන්හි (රහත් බැව්හි) ප්‍රාර්ථනාව තබයි. මේ කාලයෙහි ආර්‍ය්‍යයෝ යම් රහත් බවකට පැමිණ වාසය කරත්ද, කවර කලෙක්හි නම් මම ඒ රහත් බවට පැමිණ වාසය කරන්නෙම් දැයි, මෙසේ නිරුත්තරවූ, විමොක්ෂයන්හි (රහත් බැව්හි) ප්‍රාර්ථනාව පිහිටුවන්නහුට ප්‍රාර්ථනාව හේතුවෙන් දොම්නස උපදියි. මෙබඳු යම් දොම්නසක් වේද, මෙය නෛෂ්ක්‍රම්‍යය ඇසුරු කළාවූ දොම්නසයයි කියනු ලැබේ.

(ඈ). රසයන්ගේ අනිත්‍ය බව, වෙනස්වීම, නොඇලීම, නැතිවීම දැන, පූර්වයෙහිද, මේ කාලයෙහිද, සියලු රසයෝ අනිත්‍යයහ, දුක්යහ, පෙරළෙන ස්වභාව ඇත්තාහයි මෙසේ මෙය තත්වූ පරිද්දෙන්, යහපත් ප්‍රඥාවෙන් දැක, නිරුත්තරවූ, විමොක්ෂයන්හි (රහත් බැව්හි) ප්‍රාර්ථනාව තබයි. මේ කාලයෙහි ආර්‍ය්‍යයෝ යම් රහත් බවකට පැමිණ වාසය කරත්ද, කවර කලෙහි නම් මම ඒ රහත් බවට පැමිණ වාසය කරන්නෙම් දැයි, මෙසේ නිරුත්තරවූ, විමොක්ෂයන්හි (රහත් බැව්හි) ප්‍රාර්ථනාව පිහිටුවන්නහුට ප්‍රාර්ථනා හේතුවෙන් දොම්නස උපදියි. මෙබඳු දොම්නස , නෛෂ්ක්‍රම්‍යය ඇසුරු කළාවූ දොම්නසයයි කියනු ලැබේ.

(ඉ) .ස්පර්ශයන්ගේ අනිත්‍ය බව, වෙනස්වීම, නොඇලීම, නැතිවීම දැන, පූර්වයෙහිද, මේ කාලයෙහිද, යම් ස්පර්ශයෝ වෙත්ද, ඒ සියලු ස්පර්ශයෝ අනිත්‍යයහ, දුක්යහ, පෙරළෙන ස්වභාව ඇත්තාහයි, මෙසේ මෙය තත්වූ පරිද්දෙන්, යහපත් ප්‍රඥාවෙන් දැක, නිරුත්තරවූ, විමොක්ෂයන්හි (රහත් බැව්හි) ප්‍රාර්ථනාව තබයි. මේ කාලයෙහි ආර්‍ය්‍යයෝ යම් රහත් බවකට පැමිණ වාසය කරත්ද, කවර කලෙක්හි නම් මම ඒ රහත් බවට පැමිණ වාසය කරන්නෙම් දැයි මෙසේ නිරුත්තරවූ, විමොක්ෂයන්හි (රහත් බැව්හි) ප්‍රාර්ථනාව පිහිටු වන්නහුට ප්‍රාර්ථනා හේතුවෙන් දොම්නස උපදියි. මෙබඳු දොම්නස, නෛෂ්ක්‍රම්‍යය ඇසුරු කළාවූ දොම්නසයයි කියනු ලැබේ.

(ඊ). ධර්මයන්ගේ අනිත්‍ය බව, වෙනස්වීම, නොඇලීම, නැසීම, දැන පූර්වයෙහිද, මේ කාලයෙහිද, සියලු ධර්මායතනයෝ අනිත්‍යයහ, දුක්යහ, පෙරළෙන ස්වභාව ඇත්තාහයි, මෙසේ මෙය තත්වූ පරිද්දෙන් යහපත් ප්‍රඥාවෙන් දැක, නිරුත්තරවූ විමොක්ෂයන්හි (රහත් බැව්හි) ප්‍රාර්ථනාව පිහිටුවයි. ආර්‍ය්‍යයෝ මේ කාලයෙහි යම් රහත් බවකට පැමිණ වාසය කෙරෙත්ද, කවර කලෙක්හි නම්, මම ඒ රහත් බවට පැමිණ වාසය කරන්නෙම් දැයි, මෙසේ නිරුත්තරවූ විමොක්ෂයන්හි (රහත් බැව්හි) ප්‍රාර්ථනාව තබන්නහුට ප්‍රාර්ථනාව නිසා දොම්නස උපදියි. මෙබඳු දොම්නස, නෛෂ්ක්‍රම්‍යය ඇසුරු කළාවූ දොම්නසයයි කියනු ලැබේ.

මේ සය ආකාර වූ දෝමනස්සයන් නෛෂ්ක්‍රම්‍යය ඇසුරු කළාවූ දොම්නස් වෙත්.

§ 14. කාමගුණයන් ඇසුරු කළාවූ උපෙක්ෂා සය කවරහුද යත්?

(අ) .ඇසින් රූප දැක බාලවූ මූඪවූ පෘථග්ජනවූ ක්ෂීණාශ්‍රව නොවූ, රහත් නොවූ ආදිනව නොදක්නා සුළුවූ අශ්‍රැතවත් පෘථග්ජනයාහට අඥානකම නිසා උපදනා උපෙක්ෂාව උපදියි. මෙබඳු උපෙක්ෂාව, රූපය නොඉක්මවයි. එහෙයින් ඒ උපෙක්ෂාව කාමගුණ නිශ්‍රිත උපෙක්ෂායයි කියනු ලැබේ.

(ආ), කණින් ශබ්ද අසා බාලවූ, මූඪවූ, පෘථග්ජනවූ, ක්ෂීණාශ්‍රව නොවූ, රහත් නොවූ, ආදීනව නොදන්නාවූ, ඇසූපිරූතැන් නැති, පෘථග්ජනයා හට නොදැනීමෙන් උපදනා මැදහත් බව උපදියි. මෙබඳුවූ උපෙක්ෂාව, ශබ්දය නොයික්මවයි. එහෙයින් ඒ උපෙක්ෂාව කාමගුණ ඇසුරු කළාවූ, උපේක්ෂාව යයි කියනු ලැබේ.

(ඇ). නාසයෙන් ගඳ දැන බාලවූ, මූඪවූ, පෘථග්ජනවූ, ක්ෂීණාශ්‍රව නොවූ, රහත් නොවූ, ආදීනව නොදන්නාවූ, ඇසූපිරූ තැන් නැති, පෘථග්ජනයාහට නොදැනීමෙන් උපදනා මැදහත් බව උපදියි. මෙබඳුවූ උපෙක්ෂාව, ශබ්දය නොයික්මවයි. එහෙයින් ඒ උපෙක්ෂාව කාමගුණ ඇසුරු කළාවූ, උපෙක්ෂාව යයි කියනු ලැබේ.

(ඈ), දිවෙන් රසවිඳ බාලවූ, මූඪවූ, පෘථග්ජනවූ, ක්ෂීණාශ්‍රව නොවූ, රහත් නොවූ, ආදීනව නොදන්නාවූ, ඇසූපිරූතැන් නැති පෘථග්ජනයාහට නොදැනීමෙන් උපදනා මැදහත් බව උපදියි. මෙබඳුවූ උපෙක්ෂාව රසය නොයික්මවයි. එහෙයින් ඒ උපෙක්ෂාව කාමගුණ ඇසුරු කළාවූ, උපෙක්ෂාවයි කියනු ලැබේ.

(ඉ), කයින් ලබන්නාවූ ස්පර්ශය විඳ බාලවූ, මූඪවූ, පෘථග්ජනවූ, ක්ෂීණාශ්‍රව නොවූ, රහත් නොවූ, ආදීනව නොදන්නාවූ, ඇසූපිරූතැන් නැති පෘථග්ජනයාහට නොදැනීමෙන් උපදනා මැදහත් බව උපදියි. මෙබඳුවූ උපෙක්ෂාව ස්පර්ශය නොයික්මවයි. එහෙයින් ඒ උපෙක්ෂාව කාමගුණ ඇසුරු කළාවූ උපෙක්ෂාවයයි කියනු ලැබේ.

(ඊ). සිතින් ධර්මාරම්මණ දැන බාලවූ, මූඪවූ, පෘථග්ජනවූ, ක්ෂීණාශ්‍රව නොවූ, රහත් නොවූ, ආදීනව නොදන්නා සුළුවූ, ඇසූපිරූතැන් නැති පෘථග්ජනයාහට අඥානකමින් හටගන්නා උපෙක්ෂාව උපදියි. මෙබඳු උපෙක්ෂාව, ධර්මාරම්මණය නොඉක්මවයි. එහෙයින් ඒ කාමගුණ නිශ්‍රිත උපෙක්ෂායයි කියනු ලැබේ.
මොහු සදෙන කාමගුණ නිශ්‍රීත උපෙක්ෂාවෝ වෙත්.

§ 15 . නෛෂ්ක්‍රම්‍යයන් ඇසුරු කළාවූ උපෙක්ෂාවෝ සදෙන කවරහුදයත්?
(අ) .රූපයන්ගේ අනිත්‍ය බව, වෙනස් වීම, නොඇලීම, නිරුද්ධවීම, දැන පූර්වයෙහිද, මේ කාලයෙහිද රූපයෝ වෙත්ද, ඒ සියලු රූපයෝ අනිත්‍යයෝය, දුක්ඛයෝය, විපරිනාම ස්වභාව ඇත්තාහුයයි, මෙසේ මෙය තත්වූ පරිද්දෙන් යහපත් ප්‍රඥාවෙන් බලන්නහුට උපෙක්ෂාව උපදියි. ඒ උපෙක්ෂාව රූපය ඉක්මවයි. එහෙයින් ඒ උපෙක්ෂාව නෛෂ්ක්‍රම්‍යයන් ඇසුරු කළාවූ උපෙක්ෂායයි කියනු ලැබේ.

(ආ). ශබ්දයන්ගේ අනිත්‍ය බව, වෙනස්වීම, නොඇලීම, නිරුද්ධවීම දැන, පූර්වයෙහිද, මේ කාලයෙහිද, සියලු ශබ්දයෝ අනිත්‍යයෝය, දුක්ඛයෝය, විපරිනාම ස්වභාවය ඇත්තාහුයයි, මෙසේ මෙය තත්වූ පරිද්දෙන් යහපත් නුවණින් දක්නහුට (විදර්ශනා ඥාන සම්ප්‍රයුක්තවූ) උපෙක්ෂාව උපදියි. මෙබඳු උපෙක්ෂාව නෛෂ්ක්‍රම්‍යය ඇසුරු කළාවූ උපෙක්ෂාවයයි කියනු ලැබේ.

(ඇ). ගන්ධයන්ගේ අනිත්‍ය බව, වෙනස්වීම, නොඇලීම, නිරුද්ධවීම දැන, පූර්වයෙහිද, මේ කාලයෙහිද, සියලු ගන්ධයෝ අනිත්‍යයෝය, දුක්ඛයෝය, විපරිනාම ස්වභාවය ඇත්තාහුයයි, මෙසේ මෙය තත්වූ පරිද්දෙන්, යහපත් නුවණින් දක්නහුට (විදර්ශනා ඥාන සම්ප්‍රයුක්තවූ) උපෙක්ෂාව උපදියි. මෙබඳු උපෙක්ෂාව නෛෂ්ක්‍රම්‍යයන් ඇසුරු කළාවූ උපෙක්ෂාවයයි කියනු ලැබේ.

(ඈ). රසයන්ගේ අනිත්‍ය බව, වෙනස්වීම, නොඇලීම, නිරුද්ධවීම දැන, පූර්වයෙහිද, මේ කාලයෙහිද, සියලු රසයෝ අනිත්‍යයෝය, දුක්ඛයෝය, විපරිනාම ස්වභාවය ඇත්තාහුයයි, මෙසේ මෙය තත්වූ පරිද්දෙන්, යහපත් නුවණින් දක්නහුට (විදර්ශනා ඥාන සම්ප්‍රයුක්තවූ) උපෙක්ෂාව උපදියි. මෙබඳු උපෙක්ෂාව නෛෂ්ක්‍රම්‍යයන් ඇසුරු කළාවූ උපෙක්ෂාවයයි කියනු ලැබේ.

(ඉ). ස්පර්ශයන්ගේ අනිත්‍ය බව, වෙනස්වීම, නොඇලීම, නිරුද්ධවීම දැන, පූර්වයෙහිද, මේ කාලයෙහිද, සියලු ස්පර්ශයෝ අනිත්‍යයෝය, දුක්ඛයෝය, විපරිනාම ස්වභාවය ඇත්තාහුයයි, මෙසේ මෙය තත්වූ පරිද්දෙන්, යහපත් නුවණින් දක්නහුට (විදර්ශනා ඥාන සම්ප්‍රයුක්තවූ) උපෙක්ෂාව උපදියි. මෙබඳු උපෙක්ෂාව නෛෂ්ක්‍රම්‍යයන් ඇසුරු කළාවූ උපෙක්ෂාවයයි කියනු ලැබේ.

(ඊ), ධර්මාරම්මණයන්ගේ අනිත්‍ය බව, වෙනස්වීම, නොඇලීම, නිරුද්ධවීම දැන, පූර්වයෙහිද, මේ කාලයෙහිද, ධර්මාරම්මණයෝ වෙත්ද, ඒ සියලු ධර්මාරම්මණයෝ අනිත්‍යයෝය, දුක්ඛයෝය, විපරිනාම ස්වභාව ඇත්තාහුයි, මෙසේ මෙය තත්වූ පරිද්දෙන් යහපත් නුවණින් දක්නහුට (විදර්ශනා ඥාන සම්ප්‍රයුක්තවූ) උපෙක්ෂාව උපදියි. මෙබඳු උපෙක්ෂාව උපෙක්ෂාව ධර්මාරම්මණ ඉක්මවයි. එහෙයින් ඒ උපෙක්ෂාව නෛෂ්ක්‍රම්‍යයන් ඇසුරු කළාවූ උපෙක්ෂායයි කියනු ලැබේ.

මොහු සදෙන නෛෂ්ක්‍රම්‍යයන් ඇසුරු කළාවූ උපෙක්ෂාවෝ වෙත්.

“සත්වයන්ගේ පදයෝ සතිස දතයුත්තාහුයයි, මේ සඳහා කියන ලදී.

§ 16. “මෙය නිසා මෙය දුරුකරව් යයි කුමක් සඳහා කියන ලදද?

මහණෙනි, නෛෂ්ක්‍රම්‍යයන් ඇසුරු කළාවූ සොම්නස් හයක් වෙත්ද, ඔවුන් නිසා ඔවුන්ට පැමිණ, යම් කාමගුණ නිශ්‍රිත සොම්නස් හයක් වෙත්ද ඔවුන් දුරුකරව්. ඔවුන් ඉක්මවව්. මෙසේ මොවුන්ගේ දුරුකිරීම වේ. මෙසේ මොවුන්ගේ ඉක්මවීම වේ.

මහණෙනි, නෛෂ්ක්‍රම්‍යයන් ඇසුරු කළාවූ දොම්නස් සයක් වෙත්ද, ඔවුන් නිසා ඔවුන්ට පැමිණ යම් කාමගුණයන් ඇසුරු කළාවූ දොම්නස් සයක් වෙත්ද ඔවුන් දුරුකරව්. ඔවුන් ඉක්මවව්. මෙසේ මොවුන්ගේ දුරුකිරීම වේ. මෙසේ මොවුන්ගේ ඉක්මවීම වේ.

මහණෙනි, නෛෂ්ක්‍රම්‍යයන් ඇසුරු කළාවූ යම් උපෙක්ෂා සයක් වෙත්ද, ඔවුන් නිසා ඔවුන්ට පැමිණ යම් කාමගුණයන් ඇසුරු කළාවූ උපෙක්ෂා සයක් වෙත්ද, ඔවුන් දුරුකරව්. ඔවුන් ඉක්මවව්. මෙසේ මොවුන්ගේ දුරුකිරීම වේ. මෙසේ මොවුන්ගේ ඉක්මවීම වේ.

“මහණෙනි, එහි නෛෂ්ක්‍රම්‍යයන් ඇසුරු කළාවූ යම් සොම්නස් සයක් වෙත්ද, ඔවුන් නිසා ඔවුන්ට පැමිණ නෛෂ්ක්‍රම්‍යයන් ඇසුරු කළාවූ යම් දොම්නස් සයක් වෙත්ද, ඔවුන් දුරුකරව්, ඔවුන් ඉක්මවව්. මෙසේ මොවුන්ගේ දුරුකිරීම වේ. මෙසේ මොවුන්ගේ ඉක්මවීම වේ.

මහණෙනි, නෛෂ්ක්‍රම්‍යයන් ඇසුරු කළාවූ උපෙක්ෂා සය නිසා ඔවුන්ට පැමිණ නෛෂ්ක්‍රම්‍යයන් ඇසුරු කළාවූ යම් සොම්නස් සයක් වෙත්ද, ඔවුන් දුරු කරව්. ඔවුන් ඉක්මවව්. මෙසේ මොවුන්ගේ දුරුකිරීම වේ. මෙසේ මොවුන්ගේ ඉක්මවීම වේ.

§ 17 මහණෙනි, නානාත්වවූ (අනෙකප්‍රකාරවූ) නොයෙක් අරමුණු ඇසුරු කළාවූ උපෙක්ෂාවක් ඇත්තේය.
එකත්වවූ එක් අරමුණක් ඇසුරු කළාවූ උපෙක්ෂාවක් ඇත්තේය.

i. මහණෙනි, නානාත්වවූ නොයෙක් අරමුණු ඇසුරු කළාවූ උපෙක්ෂාව කවරද?

මහණෙනි, රූපයන්හි උපෙක්ෂාව ඇත්තේය.
ශබ්දයන්හි ඇත්තේය.
ගන්ධයන්හි ඇත්තේය.
රසයන්හි ඇත්තේය.
ස්පර්ශයන්හි ඇත්තේය.
මහණෙනි, මේ උපෙක්ෂාව නානාත්වවූ නොයෙක් අරමුණු ඇසුරු කළාවූ උපෙක්ෂාව වේ.

ii. “මහණෙනි, ඒකත්වවූ එක අරමුණක් ඇසුරු කළාවූ උපෙක්ෂා කවරීද?

මහණෙනි, ආකාසානඤ්චායතනය ඇසුරු කළාවූ උපෙක්ෂාවක් ඇත්තේය.
විඤ්ඤාණඤ්චායතනය ඇසුරුකළාවූ උපෙක්ෂාවක් ඇත්තේය.
ආකිඤ්චඤ්ඤායතනය ඇසුරු කළාවූ උපෙක්ෂාවක් ඇත්තේය.
නෙවසඤ්ඤානාසඤ්ඤායතනය ඇසුරු කළාවූ උපෙක්ෂාවක් ඇත්තේය.
මහණෙනි, මේ උපෙක්ෂාව එකත්වවූ එක අරමුණක් ඇසුරු කළාවූ උපෙක්ෂාව වේ.

මහණෙනි, එකත්වවූ එක අරමුණක් ඇසුරු කළාවූ උපෙක්ෂාවක් වේද, ඒ නිසා එයට පැමිණ යම් මේ නානාත්වවූ නොයෙක් අරමුණු ඇසුරු කළාවූ උපෙක්ෂාවක් වේද, එය දුරුකරව්. එය ඉක්මවව්. මෙසේ මේ උපෙක්ෂාවගේ දුරුකිරීම වේ. මෙසේ මේ උපෙක්ෂාවගේ ඉක්මවීම වේ.

මහණෙනි, තෘෂ්ණා රහිත බව නිසා තෘෂ්ණා රහිත බවට පැමිණ යම් එකත්වවූ එක අරමුණක් ඇසුරු කළාවූ උපෙක්ෂාවක් වේද, එය දුරු කරව්. එය ඉක්මවව්. මෙසේ මේ උපෙක්ෂාවෙන් දුරුකිරීම වේ. මෙසේ මේ උපෙක්ෂාවගේ ඉක්මවීම වේ.

මෙය නිසා මෙය දුරුකරව්යයි මෙසේ යමක් කියන ලදද, එය මේ සඳහා කියන ලදී.

§ 18 .“ආර්‍ය්‍ය පුද්ගලයන් වහන්සේ යම් සතිපට්ඨාන තුනක් සේවනය කෙරේද, (සංඝයාට) සමූහයාට අනුශාසනා කරන්ට සුදුසු වේයයි කියන ලදී.
කුමක් සඳහා මෙය කියන ලදද?
මහණෙනි, මේ ශාසනයෙහි ශාස්තෘන් ශ්‍රාවකයන්ට අනුකම්පා ඇත්තේ ශ්‍රාවකයනට වැඩ කැමැත්තේ අනුකම්පා පිණිස, මෙය තොපට වැඩ පිණිස, මෙය තොපට සැප පිණිස වේයයි ධර්මය දේශනා කරයි.“

උන්වහන්සේගේ ඒ ධර්මය ශ්‍රාවකයෝ අසනු නො කැමැති වෙත්ද, කන් නොඑලවත්ද, දැනගැණීම පිණිස සිත නොපිහිටුවත්ද, ශාස්තෲන් වහන්සේගේ අනුශාසනාවෙන් ඉක්ම පවතිත්ද, මහණෙනි, එහි තථාගතයන් නොම සතුටු සිත් ඇත්තේ වෙයි. සතුටු සිත් ඇති බව ප්‍රකාශ නොකරයි. ද්වේෂය වෑස්සීමක් නැතිව සිහියෙන් යුක්තව නුවණින් යුක්තව වාසය කරයි. මහණෙනි, ආර්‍ය්‍යවූ සම්‍යක් සම්බුද්ධයන් යම් සතිපට්ඨානයක් සේවනය කරයිද, යම් සතිපට්ඨානයක් සේවනය කරන්නාවූ ආර්‍ය්‍යවූ ශාස්තෘතෙම සමූහයාට අනුශාසනා කරන්ට සුදුසුවූ මේ පළමු වැනි සතිපට්ඨානයයි කියනු ලැබේ.

§ 19. “මහණෙනි, නැවත අනිකක්ද කියමි. ශාස්තෘතෙම අනුකම්පා ඇත්තේ, වැඩ කැමැත්තේ, අනුකම්පා පිණිස මෙය තොපට වැඩ පිණිස මෙය තොපට සැප පිණිසයයි, ශ්‍රාවකයන්ට ධර්මය දේශනා කරයි. උන්වහන්සේගේ ධර්මය ඇතැම් ශ්‍රාවකයෝ අසනු කැමැති නොවෙත්. කන් නොඑලවත්. දැන ගැණීමට සිත නොපිහිටුවත්. ශාස්තෲන් වහන්සේගේ අනුශාසනාවෙන් වෙන්ව පවතිත්. ඇතැම් ශ්‍රාවකයෝ අසනු කැමැති වෙත්. කන් එලවත්. දැනගැණීම පිණිස සිත පිහිටුවත්. ශාස්තෲන් වහන්සේගේ අනුශාසනා වෙන් වෙන්ව නොපවතිත්. මහණෙනි, එහි තථාගතතෙම සතුටු සිත් ඇත්තේද නොමවේ. සතුටු සිත් ඇති බවද ප්‍රකාශ නොකරයි. නොසතුටු සිත් ඇත්තේද නොවෙයි. නොසතුටු සිත් ඇති බවද ප්‍රකාශ නොකරයි. සතුටු සිත් ඇති බවද නොසතුටු සිත් ඇති බවද යන ඒ දෙකම දුරු කොට හෙතෙම මධ්‍යස්ථවූයේ සිහියෙන් යුක්තව නුවණින් යුක්තව වාසය කරයි. මහණෙනි, ආර්‍ය්‍යතෙම යම් සතිපට්ඨානයක් සේවනය කරයිද, ආර්‍ය්‍යවූ ශාස්තෘතෙම යම් සතිපට්ඨානයක් සේවනය කරන්නේ සමූහයාට අනුශාසනා කරන්ට සුදුසුවූ මේ දෙවැනි සතිපට්ඨානයයි කියනු ලැබේ.

§ 20.“මහණෙනි, නැවත අනිකක්ද කියමි. ශාස්තෘ තෙම අනුකම්පා ඇත්තේ, වැඩ කැමැත්තේ, අනුකම්පා පිණිස මෙය තොපට හිත පිණිසය, මෙය තොපට සැප පිණිසයයි, ශ්‍රාවකයන්ට ධර්මය දේශනා කරයි. උන්වහන්සේගේ ධර්මය ශ්‍රාවකයෝ අසනු කැමැති වෙත්. කන් එලවත්. දැන ගැණීමට සිත පිහිටුවත්. ශාස්තෲන් වහන්සේගේ අනුශාසනාවෙන් බැහැරව නොපවතිත්. මහණෙනි, එහි තථාගත තෙම සතුටු සිත් ඇත්තේද වෙයි. සතුටු සිත් ඇති බවද ප්‍රකාශ කරයි. ආශාව වෑස්සීමෙන් තොරව සිහියෙන් යුක්තව, නුවණින් යුක්තව වාසය කරයි. මහණෙනි, ආර්‍ය්‍ය තෙම යම් සතිපට්ඨානයක් සේවනය කරයිද, ආර්‍ය්‍යවූ ශාස්තෘතෙම යම් සතිපට්ඨානයක් සේවනය කරන්නේ සමූහයාට අනුශාසනා කරන්ට සුදුසු තුන්වැනි සතිපට්ඨානයයි කියනු ලැබේ.

“ආර්‍ය්‍යවූ සම්‍යක් සම්බුද්ධ තෙම යම් සතිපට්ඨාන තුනක් සේවනය කෙරේද, ආර්‍ය්‍යවූ ශාස්තෘතෙම යමක් සේවනය කරන්නේ, සමූහයාට අනුශාසනා කරන්ට සුදුසුවේයයි, මෙසේ යමක් කියන ලදද, එය මේ සඳහා කියන ලදී.

§ 21 . ““හෙතෙම දමනය කළ යුත්තන් දමනය කරන්නවුන් අතුරෙන් නිරුත්තරවූ පුරුෂයන් දමනය කිරීමෙහි සාර්ථ වාහකයෙකු බඳුයි කියනු ලැබේයි,
කුමක් සඳහා කියන ලදද?

මහණෙනි, ඇතුන් දමනය කරන්නෙකු විසින් දමනය කළාවූ ඇතා මෙහෙයවන ලද විට උහු එකම දිසාවකට දුවයි-පූර්ව දිසාවට හෝ පශ්චිම දිසාවට හෝ උතුරු දිසාවට හෝ දකුණු දිසාවට හෝ (දුවයි). මහණෙනි, අසුන් දමනය කරන්නෙකු විසින් දමනය කළාවූ අසු මෙහෙයවන ලද විට , උහු එකම දිසාවකට පූර්ව දිසාවට හෝ පශ්චිම දිසාවට හෝ උතුරු දිසාවට හෝ දකුණු දිසාවට හෝ දුවයි.
මහණෙනි, ගවයන් දමනය කරන්නෙකු විසින් දමනය කළාවූ ගවයා මෙහෙයවන ලද්දේ එකම දිසාවකට පූර්වදිසාවට හෝ පශ්චිම දිසාවට හෝ උතුරු දිසාවට හෝ දකුණු දිසාවට හෝ දුවයි.
මහණෙනි අර්හත් සම්‍යක් සම්බුද්ධවූ තථාගතයන් විසින් දමනය කළාවූ පුරුෂයා මෙහෙයවන ලද්දේ අට දිසාවන්ටම දුවයි.

(i). රූපී පුද්ගලයා රූපයන් දකියි. මේ පළමුවන දිසාවයි.
(ii). තමා කෙරෙහි අරූප සංඥා ඇත්තේ පිටත්හි රූපයන් දකියි. මේ දෙවන දිසාවයි.
(iii), සුභයයිම අදහස් ඇත්තේ වෙයි. මේ තුන් වන දිසාවයි.
(iv). සියලු ආකාරයෙන් රූප සංඥාවන් ඉක්මවීමෙන් ප්‍රතිඝ සංඥාවන් නැසීමෙන් නානාත්ම සංඥාවන් මෙනෙහි නොකිරීමෙන් ආකාසය අනන්තයයි ආකාසානඤ්චායතන සමාපත්තියට පැමිණ වාසය කරයි. මේ සතරවන දිසාවයි.
(v), සියලු ආකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්මවා, විඤ්ඤාණය අනන්තයයි විඤ්ඤාණඤ්චායතන සමාපත්තියට පැමිණ වාසය කරයි. මේ පස්වන දිසාවයි.
(vi) සියලු ආකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා කිසිවක් නැත්තේයයි, ආකිඤ්චඤ්ඤායතන සමාපත්තියට පැමිණ වාසය කරයි. මේ සවන දිසාවයි.
(vii). සියලු ආකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා නෙවසඤ්ඤා නාසඤ්ඤායතන සමාපත්තියට පැමිණ වාසය කරයි. මේ සත්වන දිසාවයි
(viii). සියලු ආකාරයෙන් නෙවසඤ්ඤා නාසඤ්ඤායතන සමාපත්තිය ඉක්මවා සඤ්ඤා වෙදයිත නිරෝධ සමාපත්තියට පැමිණ වාසය කරයි. මේ අටවන දිසාවයි.

මහණෙනි, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ තථාගතයන් වහන්සේ විසින් දමනය කරණලද පුරුෂයා මෙහෙයවන ලද්දේ මේ අට දිසාවන්ට විශේෂයෙන් දිවීම කරයි. හෙතෙම දමනය කළයුත්තන් දමනය කරන්නවුන් අතුරෙන් නිරුත්තරවූ පුරිසදම්ම සාරථි, යි කියනු ලැබේයයි, මෙසේ කියන ලදද එය මේ සඳහා කියන ලදී.

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළේය. සතුටු සිත් ඇති ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව සතුටින් පිළිගත්තාහුය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.