SN 03-01 ඛන්ධ සංයුක්තය

SN 03-01-01-. නකුල පිතු වර්ගය
SN 03-01-01-01.
නකුල පිතු සූත්‍රය

§ 1. මා විසින් මෙසේ අසන ලදී.
එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ භග්ග නම් දනව්වෙහි සුංසුමාරගිරි නම් නුවර භෙසකලාවන නම්වූ මිගදායෙහි වැඩ වාසය කරන සේක. එකල්හි වනාහි නකුලපිතු ගහපතිතෙමේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැන්හි එළඹියේය. එළඹ භාග්‍යවතුන් වහන්සේට වැඳ, එකත්පසෙක උන්නේය. එකත්පසෙක උන්නාවූ නකුලපිතු ගෘහපතිතෙමේ භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය සැල කෙළේය.

§ 2 . “ස්වාමීනි, මම ජරාවෙන් ජීර්ණ වූයේ වෙමි. වයසින් වෘද්ධවූයේ වෙමි. ජාතියෙන් මහළුවූයේ වෙමි. තුන්කල් ඉක්මගියේ වෙමි. පශ්චිම වයසට පැමිණියේ වෙමි. නිතර රෝගීවූ ගිලන්වූ සිරුරක් ඇත්තේ වෙමි. ස්වාමීනි, මම වනාහි භාග්‍යවතුන් වහන්සේ හා සිතේ දියුණුව ඇතිවන්නාවූ, භික්ෂූන්ද නිතර දක්නේ නොවෙමි. මට යමක් බොහෝ කාලයක් මුළුල්ලෙහි හිත පිණිස, සැප පිණිස වන්නේද?’ ‘ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මට එයින් අවවාද කරන සේක්වා!’ ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මට එයින් අනුශාසනා කරන සේක්වා!

§3. ”“ගහපතිය, ඒ කාරණය එසේය, ගහපතිය, ඒ කාරණය එසේය.
ගහපතිය, මේ කය ආතුරවූයේ වෙයි. බිජු වටක් මෙන් දුබල වූයේ වෙයි. සියුම්වූ සිවියකින් දැවටුනේ වෙයි. ගහපතිය, යමෙක් යම් කය පරිහරණය කරන්නේ මොහොතක් නමුත් ආරෝග්‍යය (නිරෝගී බව) ප්‍රතිඥා කරන්නේ නම් (එය ඔහුගේ) අඥාන බව හැර වෙන කුමක්ද? ගහපතිය, එහෙයින් තොප විසින් මෙහි මෙසේ හික්මිය යුතු ‘ආතුරවූ කයක් ඇත්තාවූ මාගේ සිත අනාතුර වන්නේය’ කියායි. ගහපතිය, තොප විසින් මෙසේ හික්මිය යුතුයි.”
ඉක්බිති, නකුලපිතු ගහපතිතෙමේ භාග්‍යවතුන් වහන්සේගේ වචනයට සතුටුව එය අනුමෝදන්ව හුනස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේට වැඳ, පැදකුණු කොට ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ යම් තැනෙක්හිද එතැන්හි එළඹියේය. එළඹ ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේට වැඳ එකත්පසෙක හුන්නේය. එකත්පසෙක හුන්නාවූ නකුලපිතු ගහපතියාට ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ මෙසේ වදාළේය.
‘ගහපතිය, ඔබගේ ඉන්ද්‍රියයෝ විප්‍රසන්නයහ. (විශේෂයෙන් පැහැදුනහ) මුඛවර්ණය (මූණෙහි පාට) පිරිසිදුය. නිර්මලය. අද (ඔබ) භාග්‍යවතුන් වහන්සේගේ හමුවෙන් දැහැමි කථාවක් ඇසීමට ලැබුයේ වෙහිද?”
“ස්වාමීනි, කිමද නැත්තේ.” “ස්වාමීනි, මේ දැන් මම භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්ම කථාවවූ අමෘතයෙන් අභිෂෙක කරන ලද්දේ වෙමියි” කීය.
“ගහපතිය ඔබ කෙසේ නම් භාග්‍යවතුන් වහන්සේ විසින් මේ ධර්ම කථාවවූ අමෘතයෙන් “අභිෂේක කරන ලද්දේද?”
“ස්වාමීනි, මෙහි මම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැන්හි එළඹුනෙමි. එළඹ භාග්‍යවතුන් වහන්සේට වැඳ එකත්පසෙක උන්නෙමි. ස්වාමීනි, එකත්පසෙක හුන්නාවූ මම භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය කීවෙමි.“ස්වාමීනි, මම ජරාවෙන් ජීර්ණවූයේ වෙමි. වයසින් වෘද්ධවූයේ වෙමි. ජාතියෙන් මහළුවූයේ වෙමි. තුන්කල් ඉක්මගියේ වෙමි. අන්තිම වයසට පැමිණියේ වෙමි. නිතර රෝගීවූ ආතුර (ලෙඩ) වූ සිරුරක් ඇත්තේ වෙමි. ස්වාමීනි, මම වනාහි භාග්‍යවතුන් වහන්සේ හා සිතේ දියුණුව උපදින භික්ෂූන්ද නිතර දක්නේ නොවෙමි. යමක් මට බොහෝ කලක් හිත පිණිස, සැප පිණිස වන්නේද? “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මට එයින් අවවාද කරන සේක්වා!” ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මට එයින් අනුශාසනා කරන සේක්වා යනුයි.
“ස්වාමීනි, මෙසේ කීකල්හි මට භාග්‍යවතුන්වහන්සේ මෙසේ වදාළසේක.
‘ගහපතිය, ඒ කාරණය එසේය. ගහපතිය, ඒ කාරණය එසේය. ගහපතිය, මේ කය ආතුරවූයේ වෙයි. බිජුවටක් මෙන් දුබලවූයේ වෙයි. (සියුම් සිවියකින් පමණක්) දැවටුනේවෙයි. ගහපතිය, යමෙක් වනාහි මේ කය පරිහරණය කරන්නේද (හෙතෙම) මොහොතක් නමුත් ආරෝග්‍යය (නිරෝගි බව) ප්‍රතිඥා කරන්නේ නම් (එය ඔහුගේ) අඥාන භාවය හැර වෙන කුමක්ද? එහෙයින් තොප විසින් මෙහි මෙසේ හික්මිය යුතු ‘ආතුරවූ කයක් ඇත්තාවූ මාගේ සිත අනාතුර වන්නේය’ කියායි. ගහපතිය, තොප විසින් මෙසේ හික්මිය යුතුය කියායි.
ස්වාමීනි, මම මෙසේ භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්ම කථාවවූ අමෘතයෙන් අභිෂෙක කරන ලද්දේ වෙමි.

§ 4 . ‘ගහපතිය, කොපමණකින් වනාහි ලෙඩවූ කය ඇත්තෙක් සහ ලෙඩවූ සිත ඇත්තෙක් වන්නේද, කොපමණකින් ලෙඩවූ කය ඇත්තෙක්ව ලෙඩ නොවූ සිත ඇත්තෙක් වන්නේ දැයි’ මත්තෙහි භාග්‍යවතුන් වහන්සේගෙන් ඇසීමට නොවැටහුණෙහිද?”
“ස්වාමීනි, අපි ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේගේ සමීපයෙහිදී මේ දේශනාවේ අර්ථය දැන ගැනීමට දුර සිට එන්නෙමු.” මේ දේශනාවේ අර්ථය ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේටම වැටහෙන්නේ නම් මැනවි.”
“එසේනම් ගහපතිය, අසව, මනාකොට මෙනෙහි කරව, කියන්නෙමි”යි වදාළේය.
“ස්වාමීනි, එසේයයි.” නකුල පිතු ගහපතිතෙමේ ආයුෂ්මත්වූ ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේට උත්තර දුන්නේය.
ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ මෙසේ වදාළේය.

§ 5. “ගහපතිය, කෙසේනම් ලෙඩවූ කය ඇත්තෙක්ව ලෙඩවූ සිත ඇත්තෙක් වන්නේද?”

“ගහපතිය, මේ ලෝකයෙහි ආර්‍ය්‍යයන් නොදක්නාවූ ආර්‍ය්‍යධර්මයෙහි අදක්ෂවූ ආර්‍ය්‍යධර්මයෙහි නොහික්මුනාවූ සත් පුරුෂයන් නොදක්නාවූ, සත්පුරුෂ ධර්මයෙහි අදක්ෂවූ, සත් පුරුෂ ධර්මයෙහි නොහික්මුණාවූ අශ්‍රැතවත් පෘථග්ජනතෙමේ රූපය ආත්මය (තමා) වශයෙන් දකියිද? රූපවත්හු (රූපය ඇත්තාහු) තමා කොට හෝ දකියිද? රූපය තමා කෙරෙහි ඇතැයි කියා හෝ දකියිද? රූපයෙහි ආත්මය (තමා) හෝ ඇත කියා හෝ දකියිද? රූපය මම වෙමි. මගේ රූපය වේයයි තණ්හා දිට්ඨි දෙකින් මඩනා ලද්දේ වෙයිද, රූපය මම වෙමි. මගේ රූපයයි තණ්හා දිට්ඨි දෙකින් මඩනා ලද, ඔහුගේ ඒ රූපය වෙනස් වෙයිද, අන් ආකාරයකට පෙරළෙයිද, රූපයාගේ වෙනස්වීම අන් ආකාරයකට පෙරලීම හේතුකොට ගෙන ඔහුට ශෝකය, පරිදේවය, දුක්ය, දොමනස්සය, උපායාසය යන මොවුහු උපදිත්.”

§ 5 .2 “වේදනාව ආත්මය වශයෙන් දකියිද, වේදනාව ඇත්තහු ආත්මයකොට හෝ දකියිද, ආත්මය (තමා) කෙරෙහි වේදනාව ඇතැයි කියා හෝ වේදනාව කෙරෙහි ආත්මය ඇතැයි කියා හෝ දකියිද, මම වේදනාව වෙමි. මගේ වේදනාවයයි තණ්හා දිට්ඨි දෙකින් මඩනා ලද්දේ වෙයිද, මම වේදනාව වෙමි, මගේ වේදනාවයයි මඩනා ලද්දාවූ ඔහුගේ ඒ වේදනාව වෙනසට පැමිණෙයිද, අන් ආකාරයකට පැමිණෙයිද වේදනාවගේ වෙනස්වීම අන් ආකාරයකට පැමිණීම යන මෙය හේතුකොටගෙන ඔහුට ශෝකය, පරිදෙවය, දුක්ය, දොම්නසය, උපායාසය යන මොවුහු උපදිත්.

§ 5.3. “සංඥාව ආත්මය වශයෙන් දකියිද, සංඥාවත්හු ආත්මය කොට හෝ දකියිද, සංඥාව ආත්මය කෙරෙහි ඇතැයි කියා හෝ දකියිද, සංඥාවෙහි ආත්මය ඇතැයි කියා හෝ දකියිද, මම සංඥාව වෙමි. සංඥාව මගේයයි මඩනා ලද්දේ හෝ වෙයිද, මම සංඥාව වෙමි. මගේ සංඥාවයයි මඩනා ලද්දාවූ ඔහුගේ ඒ සංඥාව වෙනසට පැමිණෙයිද, අන් ආකාරයකට පැමිණෙයිද, සංඥාවගේ වෙනස්වීම අන් ආකාරයකට පෙරළීම හේතුකොටගෙන ඕහට ශෝකය, පරිදෙවය, දුක්ඛය, දොම්නසය, උපායාසය යන මොවුහු උපදිත්.

§ 5.4 “සංස්කාරයන් ආත්මය වශයෙන් හෝ දකියිද, සංස්කාරවත්හු ආත්මයකොට හෝ දකියිද, ආත්මය කෙරෙහි සංස්කාරයන් ඇත කියා හෝ දකියිද, සංස්කාරයන්හි ආත්මය ඇතැයි කියා හෝ දකියිද, සංස්කාරයෝ මම වෙමි මාගේ සංස්කාරයෝයයි මඩනාලද්දේ වෙයිද, සංස්කාර මම වෙමි. මගේ සංස්කාරයෝයයි මඩනා ලද්දාවූ ඔහුගේ ඒ සංස්කාරයෝ වෙනසට පැමිණෙත්ද, අන් ආකාරයකට පෙරළෙත්ද, සංස්කාරයන්ගේ වෙනස්වීම අන් ආකාරයකට පෙරළීම හේතුකොටගෙන ඔහුට ශෝකය, පරිදෙවය, දුක්ය, දොම්නසය, උපායාසය යන මොවුහු උපදිත්.

§ 5.5. “විඤ්ඤාණය ආත්මය වශයෙන් හෝ දකියිද, විඤ්ඤාණවත්හු ආත්මයකොට හෝ දකියිද, ආත්මය කෙරෙහි විඤ්ඤාණය ඇත කියා හෝ දකියිද, විඤ්ඤාණය කෙරෙහි ආත්මය ඇත කියා හෝ දකියිද, විඤ්ඤාණය මම වෙමි. මගේ විඤ්ඤාණයයි මඩනා ලද්දේ වෙයිද, මම විඤ්ඤාණය වෙමි. මගේ විඤ්ඤාණයයි මඩනා ලද්දාවූ ඔහුගේ ඒ විඤ්ඤාණය වෙනසට පැමිණෙයිද, අන් ආකාරයකට පෙරළෙයිද, විඤ්ඤාණයාගේ වෙනස්වීම අන් ආකාරයකට පෙරළීම හේතු කොටගෙන, ඔහුට ශෝකය, පරිදෙවය, දුක්ඛය, දොම්නසය, උපායාසය යන මොවුහු උපදිත්.“ගෘහපතිය, මෙසේ වනාහි ලෙඩවූ කය ඇත්තේද, ලෙඩවූ සිත ඇත්තේද වෙයි.”

§ 6 .1. “ගහපතිය, කෙසේ නම් ලෙඩවූ කය ඇත්තේ ලෙඩ නොවූ සිත් ඇත්තෙක් වන්නේද,
ගහපතිය, මේ ලෝකයෙහි ආර්‍ය්‍යයන් දක්නාවූ ආර්‍ය්‍යධර්මයෙහි දක්ෂවූ, ආර්‍ය්‍යධර්මයෙහි හික්මුනාවූ, සත්පුරුෂයන් දක්නාවූ. සත්පුරුෂ ධර්මයෙහි දක්ෂවූ, සත්පුරුෂ ධර්මයෙහි හික්මුනාවූ, ශ්‍රැතවත් (ඇසූ පිරූ තැන් ඇති) ආර්‍ය්‍යශ්‍රාවකතෙම රූපය ආත්මය වශයෙන් නොමදකියිද, රූපවත්හු ආත්මය කොට හෝ නොමදකියිද, ආත්මය කෙරෙහි රූපය ඇතැයි හෝ නොමදකියිද, රූපය කෙරෙහි ආත්මය ඇතැයි හෝ නොමදකියිද,
“රූපය මම වෙමි. මගේ රූපය”යි මඩනා ලද්දේ නොවේද, රූපය මම වෙමි මාගේ රූපයයි නොමඩනා ලද්දාවූ ඔහුගේ ඒ රූපය වෙනසට පැමිණෙයිද, අන් ආකාරයකට පෙරළෙයිද, රූපයාගේ වෙනස්වීමෙන් අන් ආකාරයකට පෙරළීමෙන් ඔහුට ශෝකය, පරිදෙවය, දුක්ය, දොම්නසය, උපායාසය යන මොවුහු නූපදිත්.

§ 6 .2 .“වේදනාව ආත්මය වශයෙන් හෝ නොමදකියිද, වේදනාවත්හු ආත්මය කොට හෝ නොමදකියිද, ආත්මය කෙරෙහි හෝ වේදනාව ඇතැයි හෝ නොමදකියිද, වේදනාව කෙරෙහි ආත්මය ඇතැයි හෝ නොමදකියිද, වේදනාව මම වෙමි. මගේ වේදනාවයයි නොමඩනා ලද්දේ වෙයිද, වේදනාව මම වෙමි, මගේ වේදනාවයයි නොමඩනා ලද්දාවූ ඔහුගේ ඒ වේදනාව වෙනසට පැමිණෙයිද, අන් ආකාරයට පෙරළෙයිද, වේදනාවගේ වෙනසට පැමිණීමෙන් හා අන් ආකාරයට පෙරළීමෙන් ඔහුට ශෝකය, පරිදෙවය, දුක්ය, දොම්නසය, උපායාසය යන මොවුහු නූපදිත්.

§ 6 .3 .“සංඥාව ආත්මය වශයෙන් නොමදකියිද, සංඥාවත්හු ආත්මය කොට හෝ නොමදකියිද, ආත්මය කෙරෙහි සංඥාව ඇතැයි හෝ නොමදකියිද, සංඥාව කෙරෙහි ආත්මය ඇතැයි හෝ නොමදකියිද, “සංඥාව මම වෙමි මගේ සංඥාවය”යි නොමඩනා ලද්දේ වෙයිද, සංඥාව මම වෙමියි මගේ සංඥාවයයි නොමඩනා ලද්දාවූ ඔහුගේ ඒ සංඥාව වෙනසට පැමිණෙයිද, අන් ආකාරයට පෙරළෙයිද, සංඥාවගේ වෙනස්වීම අන් ආකාරයකට පෙරළීම හේතුකොටගෙන ශෝකය, පරිදෙවය, දුක්ඛය, දොම්නසය, උපායාසය යන මොවුහු නූපදිත්.

§ 6 .4 .“සංස්කාරයන් ආත්මය වශයෙන් නොමදකියිද, සංස්කාරවත්හු ආත්මය කොට හෝ නොමදකියිද, ආත්මය කෙරෙහි සංස්කාරයන් ඇතැයි හෝ දකියිද, සංස්කාරයන් කෙරෙහි ආත්මය ඇතැයි හෝ නොමදකියිද, “සංස්කාරයෝ මම වෙමි, මගේ සංස්කාරයෝයයි මඩනා ලද්දේ නොවෙයිද, සංස්කාරයෝ මම වෙමි, මගේ සංස්කාරයෝයයි නොමඩනා ලද්දාවූ ඔහුගේ ඒ සංස්කාරයෝ වෙනසට පැමිණෙත්ද, අන් ආකාරයට පෙරළෙත්ද, සංස්කාරයන්ගේ වෙනස්වීම අන් ආකාරයකට පෙරළීම යන මෙයින් ඔහුට ශෝකය, පරිදෙවය, දුක්ඛය, දොම්නසය, උපායාසය යන මොවුහු නූපදිත්.

§ 6 .5 .‘විඤ්ඤාණය ආත්මය වශයෙන් නොමදකියිද, විඤ්ඤාණවත්හු ආත්මය කොට හෝ නොමදකියිද, ආත්මය කෙරෙහි විඤ්ඤාණය ඇතැයි හෝ නොමදකියිද, විඤ්ඤාණය කෙරෙහි ආත්මය ඇතැයි හෝ නොමදකියිද, විඤ්ඤාණය මම වෙමි. මගේ විඤ්ඤාණයයි මඩනා ලද්දේ නොවේද, විඤ්ඤාණය මම වෙමි. මගේ විඤ්ඤාණයයි නොමඩනා ලද්දාවූ ඔහුගේ ඒ විඤ්ඤාණය වෙනසට පැමිණෙයිද, අන් ආකාරයට පෙරළෙයිද විඤ්ඤාණයාගේ වෙනස්වීම අන් ආකාරයට පෙරළීම හේතු කොටගෙන ඔහුට ශෝකය, පරිදෙවය, දුක්ය, දොම්නසය, උපායාසය යන මොවුහු නූපදිත්.

“ගහපතිය, මෙසේ වනාහි ලෙඩවූ කය ඇත්තේද, ලෙඩවූ සිත නැත්තේද වෙයි. ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ මෙය වදාළේය. සතුටු සිත් ඇත්තාවූ නකුල පිතු ගහපති තෙමේ ආයුෂ්මත්වූ ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේගේ වචනයට සතුටු වූයේය.(පළමුවෙනි නකුල පිතු සූත්‍රය නිමි.

SN 03-01-01-02.
දේවදහ සූත්‍රය

§ .1. මා විසින් මෙසේ අසලදී. එක්සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ ශාක්‍ය ජනපදයෙහි දෙව්දහ නම්වූ ශාක්‍යයන්ගේ නියම්ගමෙහි වැඩවාසය කරනසේක. එකල්හි පච්ඡාභූමි නම් ජනපදයට යනු කැමැතිවූ බොහෝ භික්ෂූහු භාග්‍යවතුන්වහන්සේ යම්තැනෙක්හිද එතැන්හි පැමිණියාහුය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ, එකත්පසෙක උන්නාහුය. එකත්පසෙක උන්නාවූ ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙසේ සැලකළහ.

§ 2. “ස්වාමීනි, අපි පච්ඡාභූමි නම් ජනපදයට යාමට කැමැත්තෙමු. පච්ඡාභූමි නම් ජනපදයෙහි වාසය කිරීමට කැමැත්තෙමු යනුයි.”
“මහණෙනි, තොප විසින් සාරිපුත්තට දන්වන ලද්දේද?”
ස්වාමීනි, අප විසින් ආයුෂ්මත්වූ ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේට නොදන්වන ලද්දේය.”
“මහණෙනි, සාරිපුත්තට දන්වව්. සබ්‍රහ්මචාරී භික්ෂූන්ට අනුග්‍රහ කරන පණ්ඩිත භික්ෂුවකැයි වදාළේය.”
“එසේය. ස්වාමීනි” යයි ඒ භික්ෂූහු භාග්‍යවතුන්වහන්සේට උත්තර දුන්හ.

එකල්හි වනාහි ආයුෂ්මත්වූ ශාරීපුත්‍ර ස්ථවිරතෙමේ භාග්‍යවතුන් වහන්සේට නුදුරු තන්හි එක්තරා ගසකින් සෙවෙනවූ මණ්ඩපයෙක්හි හුන්නේ වෙයි. ඉක්බිති ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ වචනයට සතුටුවී එය අනුමෝදන්වී හුනස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේට වැඳ, පැදකුණු කොට ආයුෂ්මත්වූ ශාරීපුත්‍ර ස්ථවිරයන්වහන්සේ යම්තැනෙක්හිද එතැන්හි පැමිණියාහුය. පැමිණ, ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ සමග සතුටු වූහ. සතුටු විය යුතු සිහි කටයුතු කථා කොට නිමවා, එක් පසෙක උන්නාහුය. එක්පසෙක උන්නාවූ ඒ භික්ෂූහු ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේට මෙසේ සැලකළාහුය.
“ඇවැත් ශාරීපුත්‍ර ස්ථවිරයාණෙනි, අපි පච්ඡාභූමි නම් ජනපදයට යෑමට හා පච්ඡාභූම ජනපදයෙහි වාසය කිරීමටද කැමැත්තෙමු” යනුයි. “අප විසින් භාග්‍යවතුන් වහන්සේ විචාරණ ලද්දේයයිද කීහ.”

“ඇවැත්නි, නොයෙක් රාජ්‍යයන්ගෙන් පැමිණියාවූ භික්ෂූන්ගෙන් ප්‍රශ්න විචාරන්නාවූ ක්ෂත්‍රිය පණ්ඩිතයෝද, බ්‍රාහ්මණ පණ්ඩිතයෝද, ගෘහපති පණ්ඩිතයෝද, ශ්‍රමණ පණ්ඩිතයෝද ඇත්තාහ. ඇවැත්නි, මනුෂ්‍ය පණ්ඩිතයෝ ‘ආයුෂ්මත්වරුන්ගේ ශාස්තෲන් වහන්සේ කිනම් වාද ඇත්තෙක්ද කුමක්කියන්නෙක්දැයි’ විමසන්නෝය ‘ආයුෂ්මත්වූ ඔබවහන්සේලා විසින් කිනම් ධර්මය මනාව අසන ලද්දාහුද? මනාව ඉගෙනගන්නා ලද්දාහුද? මනාව මෙනෙහි කරන ලද්දාහුද? මනාව සිතින් දරා ගන්නා ලද්දාහුද? යම්සේ ප්‍රකාශ කරනු ලබන්නාවූ ආයුෂ්මත්හු භාග්‍යවතුන් වහන්සේ විසින් කියන ලද්දක් කියන්නෝ වන්නහුද? භාග්‍යවතුන් වහන්සේට බොරුවෙන් දොස් නොකියන්නෝ වන්නහුද? ලෝකෝත්තර ධර්මයට අනුකූල ධර්මයක් ප්‍රකාශ කරන්නහුද? කරුණු සහිතවූ භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවට අනුකූලවූ කීමක් ගැරහිය යුතු තැනකට නොපැමිණේදැයි’ ඇසූහ.”
“ඇවැත්නි, අපි ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේගේ සමීපයෙහිදී මේ වචනයාගේ අර්ථය දැනගැනීමට දුර සිටම එන්නෙමු. මේ වචනයාගේ අර්ථය ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේට වැටහෙනසේක් නම් ඉතා යෙහෙක.”

§ 3 . “ඇවැත්නි, එසේවී නම් අසව්, මනාකොට මෙනෙහි කරව්, කියන්නෙමි”
“ඇවැත්නි, එසේය”යි ඒ භික්ෂූහු ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේට උත්තර දුන්හ.
ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ මෙසේ වදාළහ.

“ඇවැත්නි, නොයෙක් රාජ්‍යවලින් පැමිණියාවූ භික්ෂූන්ගෙන් ප්‍රශ්න විචාරන්නාවූ ක්ෂත්‍රිය පණ්ඩිතයෝද, බ්‍රාහ්මණ පණ්ඩිතයෝද, ගෘහපති පණ්ඩිතයෝද ශ්‍රමණ පණ්ඩිතයෝද ඇත්තාහුය. ඇවැත්නි, මනුෂ්‍ය පණ්ඩිතයෝ ආයුෂ්මත්වරුන්ගේ ශාස්තෲන් වහන්සේ කිනම් වාද ඇත්තෝද, කුමක් ප්‍රකාශ කරන්නේදැයි විමසන්නෝය. ඇවැත්නි, මෙසේ විචාරණ ලද්දාවූ තෙපි මෙසේ ප්‍රකාශ කරව්.”

“ඇවැත්නි, අපගේ ශාස්තෲන් වහන්සේ ඡන්දරාගය දුරු කිරීම ප්‍රකාශ කරනසේකැ”යි ඇවැත්නි, මෙසේ ප්‍රකාශ කළ කල්හිද මත්තෙහි ප්‍රශ්න විචාරන්නාවූ අන්‍යවූ ක්ෂත්‍රිය පණ්ඩිතයෝද, බ්‍රාහ්මණ පණ්ඩිතයෝද, ගෘහපති පණ්ඩිතයෝද, ශ්‍රමණ පණ්ඩිතයෝද ඇත්තාහුය. ඇවැත්නි, මනුෂ්‍ය පණ්ඩිතයෝ අර්ථ විමසන්නෝය.
‘ආයුෂ්මත්වරුන්ගේ ශාස්තෲන් වහන්සේ කවර දෙයක ඡන්දරාගය දුරුකිරීම ප්‍රකාශ කරනසේක්ද?’
ඇවැත්නි, මෙසේ විචාරන ලද්දාවූ තොපි මෙසේ ප්‍රකාශ කරව්.
“ඇවැත්නි, අපගේ ශාස්තෲන්වහන්සේ රූපයෙහි ඡන්දරාගය දුරුකිරීම ප්‍රකාශ කරන සේක.
අපගේ ශාස්තෲන් වහන්සේ වේදනාවෙහි ඡන්දරාගය දුරුකිරීම ප්‍රකාශ කරනසේක.
අපගේ ශාස්තෲන් වහන්සේ සංඥාවෙහි ඡන්දරාගය දුරුකිරීම ප්‍රකාශ කරනසේක.
අපගේ ශාස්තෲන් වහන්සේ සංස්කාරයන්හි ඡන්දරාගය දුරුකිරීම ප්‍රකාශ කරන සේක.
අපගේ ශාස්තෲන් වහන්සේ විඥානයෙහි ඡන්දරාගය දුරුකිරීම ප්‍රකාශ කරන සේක” යනුවෙනි.

§ 4. “ඇවැත්නි, මෙසේ ප්‍රකාශ කළ කල්හි මත්තෙහි ප්‍රශ්න විචාරන්නාවූ අන්‍ය ක්ෂත්‍රිය පණ්ඩිතයෝද, බ්‍රාහ්මණ පණ්ඩිතයෝද, ගෘහපති පණ්ඩිතයෝද, ශ්‍රමණ පණ්ඩිතයෝද ඇත්තාහුය.“ඇවැත්නි, මනුෂ්‍ය පණ්ඩිතයෝ අර්ථ විමසන්නෝය.

‘ආයුෂ්මත්වරුන්ගේ ශාස්තෲතෙමේ කිනම් ආදීනවයක් දැක, රූපයෙහි ඡන්දරාගය දුරු කිරීම ප්‍රකාශ කරන්නේද? ශාස්තෲතෙමේ වේදනාවෙහි ඡන්දරාගය දුරුකිරීම ප්‍රකාශ කරන්නේද? ශාස්තෲතෙමේ සංඥාවෙහි ඡන්දරාගය දුරුකිරීම ප්‍රකාශ කරන්නේද? ශාස්තෲතෙමේ සංස්කාරයන්හි ඡන්දරාගය දුරුකිරීම ප්‍රකාශ කරන්නේද? ශාස්තෲතෙමේ විඥානයෙහි ඡන්දරාගය දුරුකිරීම ප්‍රකාශ කරන්නේද?’
ඇවැත්නි, මෙසේ විචාරන ලද්දාවූ තෙපි මෙසේ ප්‍රකාශ කරව්.

§ 4,1. “ඇවැත්නි, රූපයෙහි දුරු නොවූ රාගය ඇත්තහුට, දුරු නොවූ ඡන්දය ඇත්තහුට, දුරු නොවූ ප්‍රේමය ඇත්තහුට, දුරු නොවූ පිපාසය ඇත්තහුට, දුරු නොවූ දාහය ඇත්තහුට, දුරු නොවූ තණ්හාව ඇත්තහුට ඒ රූපයාගේ පෙරලීමකට වෙනස් බවකට පැමිණීම හේතුකොට ගෙන ශෝක, පරිදේව, දුක් දොම්නස් සහ උපායාසයෝ උපදිත්.

§ 4.2. “වේදනාවෙහි දුරු නොවූ රාගය ඇත්තහුට, දුරු නොවූ ඡන්දය ඇත්තහුට, දුරු නොවූ ප්‍රේමය ඇත්තහුට, දුරු නොවූ පිපාසය ඇත්තහුට, දුරු නොවූ දාහය ඇත්තහුට, දුරු නොවූ තණ්හාව ඇත්තහුට, ඒ වේදනාවගේ පෙරලීමකට, වෙනස් බවකට පැමිණීම හේතුකොටගෙන, ශෝක, පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයෝ උපදිත්.

§ 4.3. “සංඥාවෙහි දුරුනොවූ රාගය ඇත්තහුට, දුරු නොවූ ඡන්දය ඇත්තහුට, දුරු නොවූ ප්‍රේමය ඇත්තහුට, දුරු නොවූ පිපාසය ඇත්තහුට, දුරු නොවූ දාහය ඇත්තහුට, දුරු නොවූ තණ්හාව ඇත්තහුට ඒ සංඥාවගේ පෙරලීමකට වෙනස් බවකට පැමිණීම හේතුකොටගෙන ශෝක, පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයෝ උපදිත්.

§ 4 .4 “සංස්කාරයන්හි දුරු නොවූ රාගය ඇත්තහුට, දුරු නොවූ ඡන්දය ඇත්තහුට, දුරු නොවූ ප්‍රේමය ඇත්තහුට, දුරුනොවූ පිපාසය ඇත්තහුට, දුරු නොවූ දාහය ඇත්තහුට, දුරුනොවූ තෘෂ්ණාව ඇත්තහුට ඒ සංස්කාරයන්ගේ වෙනස් වීමක් පෙරලීමක් හේතුකොටගෙන ශෝක, පරිදෙව, දුක්, දොම්නස් සහ උපායාසයෝ උපදිත්.

§ 4. 5. “විඥානයෙහි දුරුනොවූ රාගය ඇත්තහුට දුරුනොවූ ඡන්දය ඇත්තහුට, දුරුනොවූ ප්‍රේමය ඇත්තහුට, දුරුනොවූ පිපාසය ඇත්තහුට, දුරුනොවූ දාහය ඇත්තහුට, දුරුනොවූ තෘෂ්ණාව ඇත්තහුට, විඥානයාගේ වෙනස්වීම, පෙරලීම හේතුකොටගෙන ශෝක, පරිදේව, දුක්, දොම්නස්, සහ උපායාසයෝ උපදිත්.
“ඇවැත්නි, ශාස්තෲන් වහන්සේ මේ ආදීනවය දැක, රූපයෙහිද, වේදනාවෙහිද, සංඥාවෙහිද, සංස්කාරයන්හිද, ඡන්දරාගය දුරුකිරීම ප්‍රකාශ කරන සුළුසේක්ය යනුයි.

§ 5 . “ඇවැත්නි, මෙසේ කී කල්හිද මත්තෙහි ප්‍රශ්න විචාරන්නාවූ අන්‍යවූ ක්ෂත්‍රිය පණ්ඩිතයෝද, බ්‍රාහ්මණ පණ්ඩිතයෝද, ගෘහපති පණ්ඩිතයෝද, ශ්‍රමණ පණ්ඩිතයෝද ඇත්තාහුය.

“ඇවැත්නි, මනුෂ්‍ය පණ්ඩිතයෝ අර්ථ විමසන්නෝය. ‘ආයුෂ්මතුන්ගේ ශාස්තෲතෙම රූපය කිනම් ආනිසංසයක් දැක, ඡන්දරාගය දුරුකිරීම ප්‍රකාශ කරන්නේද, ශාස්තෲ තෙම වේදනාවෙහි, සංඥාවෙහි, සංස්කාරයන්හි, විඥානයෙහි, ඡන්දරාගය, දුරුකිරීම, ප්‍රකාශ කරන්නේ දැයි’ අසන්නාහුය.
ඇවැත්නි, මෙසේ අසන ලද්දාවූ තොපි මෙසේ ප්‍රකාශ කරව්,

§ 5.1. ‘ඇවැත්නි, රූපයෙහි වනාහි දුරුවූ රාගය ඇති, දුරුවූ ඡන්දය ඇති, දුරුවූ ප්‍රේමය ඇති’ දුරුවූ පිපාසය ඇති, දුරුවූ දාහය ඇති, දුරුවූ තණ්හාව ඇති, ඕහට රූපයාගේ වෙනස්වීමෙන් හා පෙරළීමෙන් සෝක, පරිදේව, දුක්, දොම්නස් හා උපායාසයෝ නූපදිත්.’

§ 5.2 .“වේදනාවෙහි දුරුවූ රාග ඇති, දුරුවූ ඡන්දය ඇති, දුරුවූ ප්‍රේමය ඇති දුරුවූ පිපාසය ඇති, දුරුවූ දාහය ඇති, දුරුවූ තණ්හාව ඇති ඕහට ඒ වේදනාවන්ගේ පෙරළීමෙන් වෙනස්වීමෙන් ශෝක, පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයෝ නූපදිත්.

§ 5..3. “සංඥාවෙහි දුරුවූ රාගය ඇති, දුරුවූ ඡන්දය ඇති, දුරුවූ ප්‍රේමය ඇති, දුරුවූ පිපාසය ඇති, දුරුවූ දාහය ඇති, දුරුවූ තණ්හාව ඇති, ඕහට ඒ සංඥාවේ පෙරලීමෙන්, වෙනස්වීමෙන් ශෝක, පරිදේව, දුක් දොම්නස් සහ උපායාසයෝ නූපදිත්.

§ 5.4 . “සංස්කාරයන්හි දුරුවූ රාගය ඇති, දුරුවූ ඡන්දය ඇති, දුරුවූ ප්‍රේමය ඇති, දුරුවූ පිපාසය ඇති, දුරුවූ දාහය ඇති, දුරුවූ තණ්හාව ඇති ඕහට ඒ සංස්කාරයන්ගේ පෙරලීමෙන් වෙනස් වීමෙන් සෝක, පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයෝ නූපදිත්.

§ 5.5. “විඥානයෙහි දුරුවූ රාගය ඇති, දුරුවූ ඡන්දය ඇති, දුරුවූ ප්‍රේමය ඇති, දුරුවූ පිපාසය ඇති, දුරුවූ දාහය ඇති, දුරුවූ තෘෂ්ණාව ඇති ඕහට විඥානයාගේ පෙරළීමෙන් වෙනස් වීමෙන් සෝක, පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයෝ නූපදිත්.
“ඇවැත්නි, අපගේ ශාස්තෲන්වහන්සේ මේ ආනිසංස දැක, රූපයෙහි ඡන්දරාග දුරුකිරීම දේශනාකරන සේක. ශාස්තෲන්වහන්සේ වේදනාවෙහි ඡන්දරාගය දුරුකිරීම දේශනා කරන සේක. ශාස්තෲන්වහන්සේ සංඥාවෙහි ඡන්දරාගය දුරුකිරීම දේශනා කරන සේක. ශාස්තෲන්වහන්සේ සංස්කාරයන්හි ඡන්දරාගය දුරුකිරීම දේශනා කරන සේක. ශාස්තෲන් වහන්සේ විඥානයෙහි ඡන්දරාගය දුරුකිරීම දේශනා කරන සේක.’ යනුවෙනි.”

“ඇවැත්නි, අකුශල ධර්මයන්ට පැමිණ වාසය කරන්නහුට මේ ආත්මයෙහි දුක් නැත්තාවූ, තැවීම් නැත්තාවූ, සැප විහරණයක් වන්නේනම් ශරීර භෙදයෙන් මරණින් මත්තෙහි සුගතියක් කැමතිවිය යුත්තී නම් භාග්‍යවතුන් වහන්සේ මේ අකුශල ධර්මයන්ගේ දුරුකිරීම වර්ණනා නොකරන සේක.”

“ඇවැත්නි, යම්හෙයකින් වනාහි අකුසල ධර්මයන්ට පැමිණ වාසය කරන්නාහට දුක් සහිතවූ, තැවීම් සහිතවූ, දැවීම් සහිතවූ, දුක්ඛ විහරණයක් වන්නේද, කායයාගේ භේදයෙන් මරණින් මත්තෙහි දුර්ගතිය කැමතිවිය යුත්තීද? එහෙයින් භාග්‍යවතුන් වහන්සේ අකුශල ධර්මයන්ගේ දුරු කිරීම වර්ණනා කරන සේක.”

“ඇවැත්නි, කුශල ධර්මයන්ට පැමිණ වාසය කරන්නහුට මේ ආත්මයෙහිම දුක් සහිතවූ, තැවීම් සහිතවූ, දැවීම් සහිතවූ දුක්ඛ විහරණයක් වන්නේ නම් කායයාගේ භේදයෙන් මරණින් මත්තෙහි දුර්ගතියක් කැමැතිවිය යුත්තී නම් භාග්‍යවතුන් වහන්සේ කුසල ධර්මයන්ට පැමිණීම වර්ණනා නොකරන සේක.

“ඇවැත්නි, යම්හෙයකින් කුසලධර්මයන්ට පැමිණ වාසය කරන්නාහට මේ ආත්මයෙහිම දුක් රහිතවූ, තැවීම් රහිතවූ, දැවීම් රහිතවූ, සුඛවිහරණයක් වන්නේ ද, කායයාගේ භේදයෙන් මරණින් මත්තෙහි සුගතියක් කැමතිවිය යුත්තීද? එහෙයින් භාග්‍යවතුන් වහන්සේ කුසල ධර්මයන්ට පැමිණීම වර්ණනා කරන සේකැයි” ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ යම් කාරණය වදාළසේක. සතුටු සිත් ඇති ඒ භික්ෂූහු ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේගේ වචනයට සතුටු වූහ.

(දෙවෙනි දේවදහ සූත්‍රය නිමි.)

SN 03-01-01-03.  
හාලිද්දකානි සූත්‍රය

§ 1. මා විසින් මෙසේ අසන ලදී.
එක් සමයෙක ආයුෂ්මත් මහාකච්චායන ස්ථවිරයන් වහන්සේ අවන්ති ජනපදයෙහි කුරිර ඝරනම් නගරයෙහි පවත්ත නම් පර්වතයෙහි වාසය කරන සේක. ekala ඉක්බිති හාලිද්දකානි නම් ගෘහපතිතෙමේ ආයුෂ්මත් මහාකච්චායන ස්ථවිරයන් වහන්සේ යම්තැනෙක්හිද එතැන්හි පැමිණියේය. පැමිණ ආයුෂ්මත් මහාකාච්චායන ස්ථවිරයන් වහන්සේට වැඳ, එකත්පසෙක උන්නේය. එකත්පසෙක උන්නාවූ හාලිද්දකානි ගෘහපතිතෙම ආයුෂ්මත් මහාකච්චායන ස්ථවිරයන් වහන්සේට මේ කාරණය සැලකළේය. එනම්: “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ විසින් අෂ්ටක වර්ගයෙහි මාගන්දිය ප්‍රශ්නයෙහි මෙසේ වදාරන ලදි.‘ගෙය අත්හැර ගෙයි වාසය නොකරන්නාවූ ගම හා එක්ව නොවසන්නාවූ, කාමයන් කෙරෙන් මිදුණාවූ, සසර පෙරටුකොට නැත්තාවූ මහණතෙමේ කෙසේනම් ජනයා සමග විරුද්ධව කථා නොකරන්නේද?’“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ විසින් සංක්ෂෙපයෙන් වදාරණ ලද මේ දේශනාවේ අර්ථය විස්තර වශයෙන් කෙසේ දත යුතුද යනුයි.

§ 2. “ගෘහපතිය, රූපස්කන්ධය වනාහි විඥානයාගේ ‘ඔක’ (ගෙය) නමි. විඥානය රූපස්කන්ධයෙහි ඇලෙන රාගයෙන් බැඳුණ විඤ්ඤාණය ඔක සාරීයයි’ කියනු ලැබේ. ගෘහපතිය, වේදනා ස්කන්ධය විඥානයාගේ ‘ඔක’ (ගෙය) නමි. වේදනාවෙහි ඇලෙන රාගයෙන් බැඳුණු විඥානය ‘ඔක සාරීයයි’ කියනු ලැබේ.“ගෘහපතිය, සංඥා ස්කන්ධය විඥානයාගේ ‘ඔක’ (ගෙය) නමි. සංඥා ස්කන්ධයෙහි ඇලෙන රාගයෙන් බැඳුණු විඥානය ‘ඔකසාරීයයි’ කියනු ලැබේ.“ගෘහපතිය, සංස්කාර ස්කන්ධ විඥානයාගේ ‘ඔක’ (ගෙය) නමි. සංස්කාර ස්කන්ධයෙහි ඇලෙන රාගයෙන් බැඳුණු විඥානය ‘ඔකසාරීයයි’ කියනු ලැබේ. ගෘහපතිය, මෙසේ වනාහි ඔකසාරී නම් වෙයි.

§3. “ගෘහපතිය, කෙසේනම් අනොකසාරී නම් වේද? ගෘහපතිය, රූප ස්කන්ධයෙහි ඇලෙන යම් ඡන්දයක් වේද, යම් රාගයක් වේද, යම් නන්දියක් වේද, යම් තෘෂ්ණාවක් වේද, තෘෂ්ණා දෘෂ්ටි යන උපාසයන් සහ සතර උපාදානයෝ වෙත්ද, අකුසල් සිතට ස්ථානවූ, අනුසය ධර්මයෝ වෙත්ද ඔවුහු තථාගතයන් වහන්සේ විසින් පහකරන ලදහ. උදුරා දමන ලද මුල් ඇත්තාහුය. සිඳින ලද තල් ගසක් මෙන් කරන ලද්දාහු. නැවත හට නොගන්නා ස්වභාවයක් කරන ලද්දාහුය. විනාශ කරන ලදහ. නැවත නූපදින ස්වභාවයට පමුණුවන ලදහ. එහෙයින් තථාගතයන් වහන්සේ ‘අනොකසාරීයයි’ කියනු ලැබේ.

§ 4. “ගෘහපතිය වේදනා ස්කන්ධයෙහි, ගෘහපතිය, සංඥා ස්කන්ධයෙහි, ගෘහපතිය, සංස්කාර ස්කන්ධයෙහි යම් ඡන්දයක් වේද, යම් රාගයක් වේද, යම් නන්දියක් වේද, යම් තෘෂ්ණාවක් වේද, යම් තෘෂ්ණා දෘෂ්ටි යන උපාය සහ සතර උපාදානයෝ අකුසල් සිතට වාසස්ථානවූ අනුසයයෝ වෙත්ද, ඔවුහු තථාගතයන් වහන්සේ විසින් පහකරන ලද උදුරා දමන ලද මුල් ඇත්තාහුය. සිඳින ලද තල් ගසක් මෙන් කරන ලද්දාහුය. විනාශ කරන ලද්දාහ. මත්තෙහි නූපදනා බවට පමුණුවන ලද්දාහ. එහෙයින් තථාගතයන් වහන්සේ අනොකසාරී යයි කියනු ලැබේ.

§5. “ගෘහපතිය, විඥාන ධාතුවෙහි යම් ඡන්දයක් වේද, යම් රාගයක් වේද, යම් නන්දියක් වේද, යම් තෘෂ්ණාවක් වේද, යම් උපාය උපාදානයෝ වෙත්ද, අකුසල් සිතට වාසස්ථානවූ අනුසයයෝ වෙත්ද, ඔවුහු තථාගතයන් වහන්සේ විසින් පහකරන ලදහ. උදුරා දමන ලද මුල් ඇත්තාහුය. සිඳින ලද තල් ගසක් මෙන් කරන ලද්දාහුය. විනාශ කරන ලද්දාහුය. මත්තෙහි නූපදින බවට පමුණුවන ලද්දාහුය. එහෙයින් තථාගතයන් වහන්සේ අනොකසාරීයයි කියනු ලැබේ. ගෘහපතිය, මෙසේ වනාහි අනොකසාරී නම් වෙයි.

§6. “ගෘහපතිය, කෙසේනම් නිකෙතසාරී (ගෙයි හැසිරෙන්නේ නම්) වේද, රූපාරම්මණය නමැති ගෘහයෙහි බැඳෙන්නාවූ ක්ලෙශ ධර්ම නිකෙතසාරීයයි කියනු ලැබේ. ගෘහපතිය, ශබ්දාරම්මණය නමැති ගෘහයෙහි බැඳෙන්නාවූ, ක්ලෙශ ධර්ම නිකෙතසාරීයයි කියනු ලැබේ. ගන්ධාරම්මණය නමැති ගෘහයෙහි බැඳෙන්නාවූ ක්ලෙශ ධර්ම නිකෙතසාරීයයි කියනු ලැබේ. රසාරම්මණය නමැති ගෘහයෙහි බැඳෙන්නාවූ ක්ලෙශ ධර්ම නිකෙතසාරීයයි කියනු ලැබේ. පොට්ඨබ්බාරම්මණය නමැති ගෘහයෙහි බැඳෙන්නාවූ ක්ලෙශ ධර්ම නිකේතසාරීයයි කියනු ලැබේ. ධර්මාරම්මණය නමැති ගෘහයෙහි බැඳෙන්නාවූ ක්ලෙශ ධර්ම නිකෙතසාරීයයි කියනු ලැබේ. ගෘහපතිය මෙසේ වනාහි නිකෙතසාරී නම් වෙයි.

§7. “ගෘහපතිය, කෙසේ නම් අනිකෙතසාරී නම් වේද? ගෘහපතිය, රූපාරම්මණය නැමති ගෘහයෙහි බැඳෙන්නාවූ ක්ලෙශ ධර්මයෝ තථාගතයන් වහන්සේ විසින් පහකරන ලද්දාහුය. උදුරා දමන ලද මුල් ඇත්තාහුය. සිඳින ලද තල් ගසක් මෙන් කරන ලද්දාහුය. විනාශ කරන ලද්දාහුය. මත්තෙහි නූපදින බවට පමුණුවන ලද්දාහුය. එහෙයින් තථාගතයන් වහන්සේ අනිකෙතසාරීයයි කියනු ලැබේ. ගෘහපතිය, මෙසේ වනාහි අනිකෙතසාරී නම් වෙයි.

§8. “ගෘහපතිය, ශබ්දාරම්මණ නමැති ගෘහයෙහි බැඳෙන්නාවූ, ක්ලෙශ ධර්මයෝ තථාගතයන් වහන්සේ විසින් පහකරන ලද්දාහුය. උදුරා දමන ලද මුල් ඇත්තාහුය. සිඳින ලද තල් ගසක් මෙන් කරන ලද්දාහුය. විනාශ කරන ලද්දාහුය. මත්තෙහි නූපදින බවට පමුණුවන ලද්දාහුය. එහෙයින් තථාගතයන් වහන්සේ අනිකෙතසාරීයයි කියනු ලැබේ. ගෘහපතිය, මෙසේ වනාහි අනිකෙතසාරී නම් වෙයි.

§9. “ගෘහපතිය, ගන්ධාරම්මණ නමැති ගෘහයෙහි බැඳෙන්නාවූ, ක්ලෙශධර්මයෝ තථාගතයන් වහන්සේ විසින් පහකරන ලද්දාහුය. උදුරා දමන ලද මුල් ඇත්තාහුය. සිඳින ලද තල් ගසක් මෙන් කරන ලද්දාහුය. විනාශ කරන ලද්දාහුය. මත්තෙහි නූපදින බවට පමුණුවන ලද්දාහුය. එහෙයින් තථාගතයන් වහන්සේ අනිකෙතසාරීයයි කියනු ලැබේ. ගෘහපතිය, මෙසේ වනාහි අනිකෙතසාරී නම් වෙයි.“ගෘහපතිය, රසාරම්මණ නමැති ගෘහයෙහි බැඳෙන්නාවූ ක්ලෙශධර්මයෝ තථාගතයන් වහන්සේ විසින් පහකරන ලද්දාහුය. උදුරා දමන ලද මුල් ඇත්තාහුය. සිඳින ලද තල් ගසක් මෙන් කරන ලද්දාහුය. විනාශකරන ලද්දාහුය. මත්තෙහි නූපදින බවට පමුණුවන ලද්දාහුය. එහෙයින් තථාගතයන් වහන්සේ අනිකෙතසාරීයයි කියනු ලැබේ. ගෘහපතිය, මෙසේ වනාහි අනිකෙතසාරීනම් වෙයි.“ගෘහපතිය, ස්පර්ශාරම්මණ නමැති ගෘහයෙහි බැඳෙන්නාවූ, ක්ලෙශධර්මයෝ තථාගතයන් වහන්සේ විසින් පහකරන ලද්දාහුය. උදුරා දමන ලද මුල් ඇත්තාහුය. සිඳින ලද තල් ගසක් මෙන් කරන ලද්දාහුය. විනාශ කරන ලද්දාහුය. මත්තෙහි නූපදින බවට පමුණුවන ලද්දාහුය. එහෙයින් තථාගතයන් වහන්සේ අනිකෙතසාරීයයි කියනු ලැබේ. ගෘහපතිය, මෙසේ වනාහි අනිකෙතසාරීනම් වෙයි.“ගෘහපතිය, ධර්මාරම්මණ නමැති ගෘහයෙහි බැඳෙන්නාවූ, ක්ලෙශධර්මයෝ තථාගතයන් වහන්සේ විසින් පහකරන ලද්දාහුය. උදුරා දමන ලද මුල් ඇත්තාහුය. සිඳින ලද තල් ගසක් මෙන් කරන ලද්දාහුය. විනාශ කරන ලද්දාහුය. මත්තෙහි නූපදින බවට පමුණුවන ලද්දාහුය. එහෙයින් තථාගතයන් වහන්සේ අනිකෙතසාරීයයි කියනු ලැබේ. ගෘහපතිය, මෙසේ වනාහි අනිකෙත සාරීනම් වෙයි.‘ගෘහපතිය, කෙසේ නම් ගම හා එක්වන ස්වභාවය ඇත්තේද? ගෘහපතිය, මේ ශාසනයෙහි ඇතැම් පුද්ගලයෙක් ගිහියන් හා එක්ව වාසය කරයි. එක්ව සතුටු වෙමින්, එක්ව ශෝකවෙමින් ගිහියන් හා සැපවත්වූ කල්හි තමාත් සැප සහිත වෙමින්, ගිහියන් දුක් සහිතවූ කල්හි තමාත් දුක් සහිත වෙමින්, ගිහියන්ගේ නොයෙක් කටයුතු උපන් කල්හි තමාත් ඔවුන් හා එක්වීමට පැමිණෙයි. ගෘහපතිය, මෙසේ වනාහි ගම හා එක්ව වාසය කරන්නේ නම් වේ.“ගෘහපතිය, කෙසේනම් ගම හා එක්ව වාසය නොකරන්නේද? ගෘහපතිය, මේ ශාසනයෙහි මහණතෙම ගිහියන් හා මිශ්‍රව වාසය නොකරයි. ගිහියන් හා එක්ව සතුටු නොවන්නේ ශෝක නොවන්නේ ගිහියන් සැප සහිතවූ කල්හි තමාත් සැප සහිත නොවන්නේ ගිහියන් දුක් සහිතවූ කල්හි තමාත් දුක් සහිත නොවන්නේ ගිහියන්ගේ කටයුතු උපන් කල්හි ඒ කටයුතුවලට එක්වීමට නොපැමිණෙන්නේ වෙයි. ගෘහපතිය, මෙසේ වනාහි ගම හා එක් නොවන්නේ නම් වේ.‘ගෘහපතිය, කෙසේ නම් කාමයන්ගෙන් නොමිදුණේ නම් වේද? ගෘහපතිය, මේ ශාසනයෙහි ඇතැම් පුද්ගලයෙක් කාමයන්හි දුරු නොකළ රාගය ඇත්තේ වේද, දුරු නොකළ ඡන්දය ඇත්තේවේද, දුරු නොකළ ප්‍රේමය ඇත්තේ වේද, දුරු නොකළ පිපාසය ඇත්තේ වේද, දුරු නොකළ දාහය ඇත්තේ වේද, දුරු නොකළ තෘෂ්ණාව ඇත්තේ වේද, ගෘහපතිය, මෙසේ වනාහි කාමයන්ගෙන් නොමිදුණේ නම් වෙයි.“ගෘහපතිය, කෙසේ නම් කාමයන්ගෙන් මිදුණේ නම් වේද? මේ ශාසනයෙහි ඇතැම් පුද්ගලයෙක් කාමයන්හි දුරු කළ රාගය ඇත්තේවේද, දුරුකළ ඡන්දය ඇත්තේ වේද, දුරුකළ ප්‍රේමය ඇත්තේ වේද, දුරුකළ පිපාසය ඇත්තේ වේද, දුරුකළ දාහය ඇත්තේ වේද, දුරුකළ තෘෂ්ණාව ඇත්තේ වේද, ගෘහපතිය, මෙසේ වනාහි කාමයන්ගෙන් මිදුණේ නම් වෙයි.“ගෘහපතිය, කෙසේ නම් සසර පෙරටුකොට ඇත්තේ නම් වේද, ගෘහපතිය, මේ ශාසනයෙහි ඇතැමෙකුට අනාගත කාලයෙහි මෙබඳු රූප ඇත්තෙක් වන්නෙම්වා, මෙබඳු වේදනා ඇත්තෙක් වන්නෙම්වා, මෙබඳු සංඥා ඇත්තෙක් වන්නෙම්වා. මෙබඳු සංස්කාර ඇත්තෙක් වන්නෙම්වා, මෙබඳුවූ විඥාන ඇත්තෙක් වන්නෙම්වායි මෙසේ අදහස් වෙයි. ගෘහපතිය, මෙසේ වනාහි සසර පෙරටුකොට ඇත්තේ නම් වෙයි.“ගෘහපතිය, කෙසේ නම් සසර පෙරටුකොට නැත්තේ නම් වේද, ගෘහපතිය මේ ශාසනයෙහි ඇතැම් කෙනෙකුට අනාගත කාලයෙහි මෙබඳු රූප ඇත්තෙක් වන්නෙම්වා, මෙබඳු වේදනා ඇත්තෙක් වන්නෙම්වා, මෙබඳු සංඥා ඇත්තෙක් වන්නෙම්වා, මෙබඳු සංස්කාර ඇත්තෙක් වන්නෙම්වා, මෙබඳු විඤ්ඤාණ ඇත්තෙක් වන්නෙම්වායි. මෙසේ අදහස් නොවේද, ගෘහපතිය, මෙසේ වනාහි සසර පෙරටුකොට නැත්තේ නම් වෙයි.“ගෘහපතිය, කෙසේනම් ජනයා සමග විරුද්ධ කථා කරන්නේ නම් වේද? ගෘහපතිය, මේ ශාසනයෙහි ඇතැමෙක් මෙවැනි කථා කරන්නේ වෙයි කෙසේද? ‘නුඹ මේ ධර්ම විනය නොදන්නෙහිය. මම මේ ධර්ම විනය දන්නෙමි. කිමෙක්ද නුඹ මේ ධර්ම විනය දන්නෙහිද, නුඹ වරදවා පිළිපන්නෙක් වෙහිය. මම මනාකොට පිළිපන්නෙක් වෙමි. පළමුව කියයුත්ත පසුව කීයෙහිය. පසුව කියයුත්ත පළමුව කීයෙහිය. මාගේ වචනය සිළුටුය (මධුරය.) තාගේ වචනය අසිළුටුය (අමධුරය) තා විසින් බොහෝ කලක් පුරුදු කරනලද වාදය මාගේ වාදයට පැමිණ, ක්ෂණයකින් නවතින්නේය. මා විසින් තොපගේ දෝෂය නංවනලදී. මේ වාදයෙන් මිදෙනු පිණිස ගුරුන් සොයා යව. ඉදින් නිග්‍රහ කරන ලද්දේවෙහි, හැකි නම් ප්‍රශ්නය විසඳව’ කියායි.“ගෘහපතිය, මෙසේ වනාහි ජනයා සමග විරුද්ධ කථා කරන්නේ නම් වෙයි. ගෘහපතිය, කෙසේ නම් ජනයා සමග විරුද්ධ කථා නොකරන්නේ නම් වෙයිද?“ගෘහපතිය, මේ ශාසනයෙහි භික්ෂුතෙම මෙසේ කථා නොකරන්නේ වෙයි කෙසේද? ‘නුඹ මේ ධර්ම විනය නොදන්නෙහිය, මම මේ ධර්ම විනය දන්නෙමි. කිම, නුඹ මේ ධර්මවිනය දන්නෙහිද? නුඹ වරදවා පිළිපන්නේ වෙහිය. මම මනාකොට පිළිපන්නේ වෙමි. පළමුව කියයුත්ත පසුව කීවෙහිය. පසුව කියයුත්ත පළමුව කීවෙහිය. මාගේ වචනය සිළුටුය. තාගේ වචනය අසිළුටුය. තා විසින් බොහෝ කලක් පුරුදු කරන ලද්ද මාගේ වාදයට පැමිණ නවතියි. මා විසින් වාදය ආරොපනය කරනලදී. වාදයෙන් මිදෙනු පිණිස ගුරුන් කරා යව. නිග්‍රහ කරන ලද්දෙහි ඉදින් සමර්ථවෙහි නම් විසඳවයි’ මෙබඳු කථා නොකරන්නේ වෙයි.“ගෘහපතිය, මෙසේ වනාහි ජනයා සමග විරුද්ධ කථා නොකරන්නේ වෙයි. ගෘහපතිය, මෙසේ වනාහි භාග්‍යවතුන් වහන්සේ විසින් අෂ්ටක වර්ගයෙහි මාගන්දිය ප්‍රශ්නයෙහි “ගෙය අත්හැර ගෙයි වාසය නොකරන්නාවූ, ගම හා එක්ව නොවසන්නාවූ, කාමයන් කෙරෙන් මිදුණාවූ, සසර පෙරටු කොට නැත්තාවූ, මහණ තෙමේ කෙසේ ජනයා සමග විරුද්ධ කථා නොකරන්නේද?” යන යම් වචනය වදාරන ලද්දේද, ගෘහපතිය, භාග්‍යවතුන් වහන්සේ විසින් සංක්ෂෙපයෙන් වදාළ මේ වචනයාගේ අර්ථය විස්තර වශයෙන් මෙසේ දතයුතු.”(තුන්වෙනි හාලිද්දකානි සූත්‍රය නිමි.)

SN 03-01-01-04 දුතිය හාලිද්දකානි සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි ආයුෂ්මත් මහාකච්චායන ස්ථවිරයන් වහන්සේ අවන්ති ජනපදයෙහි කුරරඝර නගරයෙහි පවත්ත නම් පර්වතයෙහි වාසය කරති. එකල්හි හාලිද්දකානි නම් ගෘහපතිතෙම ආයුෂ්මත් මහාකච්චායන ස්ථවිරයන් වහන්සේ යම් තැනෙක්හිද, එතැන්හි පැමිණියේය. පැමිණ, ආයුෂ්මත් මහා කච්චායන ස්ථවිරයන් වහන්සේට වැඳ, එක්පසෙක උන්නේය. එක්පසෙක උන්නාවූ හාලිද්දකානි ගෘහපතිතෙම ආයුෂ්මත් මහාකච්චායන ස්ථවිරයන් වහන්සේට මේ කාරණය සැලකෙළේය.“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ විසින් ශක්‍ර ප්‍රශ්නයේදී ‘යම් ඒ ශ්‍රමණ බ්‍රාහ්මණ කෙනෙක් තෘෂ්ණාව ක්ෂය කිරීමෙන් මිදුණාහුද, ඔව්හු ඒකාන්ත නිෂ්ටාවට පැමිණියාහු ඒකාන්තයෙන් යොගයන් ක්ෂය කළාහු, ඒකාන්ත බ්‍රහ්මචර්‍ය්‍යා ඇත්තාහු, ඒකාන්ත කෙළවරට පැමිණියාහු, දිව්‍ය මනුෂ්‍යයන්ට ශ්‍රේෂ්ඨයෝ වෙත්’ යන මෙය වදාරනලදී.“ස්වාමීනි, භාග්‍යවත්හු විසින් සැකෙවින් වදාරණලද මේ වචනයාගේ අර්ථය විස්තර වශයෙන් කෙසේ දතයුතුදැයි” ඇසීය.“ගෘහපතිය, රූප ස්කන්ධයෙහි වනාහි යම් ඡන්දයක් වේද, යම් රාගයක් වේද, යම් නන්දියක් වේද, යම් තණ්හාවක් වේද, යම් උපාය සහ උපාදානයෝ වෙද්ද, අකුසල් සිතට ස්ථානවූ අනුසයයෝ වෙත්ද, ඔවුන්ගේ ක්ෂයවීමෙන්ද, විරාගයෙන්ද, නිරෝධයෙන්ද, දුරු කිරීමෙන්ද, සිත මොනවට මිදුනේයයි කියනු ලැබේද?“ගෘහපතිය, වේදනා ස්කන්ධයෙහි වනාහි යම් ඡන්දයක් වේද, යම් රාගයක් වේද, යම් නන්දියක් වේද, යම් තණ්හාවක් වේද, යම් උපාය සහ උපාදානයෝ වෙත්ද, අකුසල් සිතට ස්ථානවූ අනුසයයෝ වෙත්ද, ඔවුන්ගේ ක්ෂයවීමෙන්, විරාගයෙන්, නැතිකිරීමෙන්, අත්හැරීමෙන්, දුරු කිරීමෙන්, සිත මනාකොට මිදුනේයයි කියනු ලැබේ.“ගෘහපතිය, සංඥා ස්කන්ධයෙහි වනාහි යම් ඡන්දයක් වේද, යම් රාගයක් වේද, යම් නන්දියක් වේද, යම් තණ්හාවක් වේද, යම් උපාය සහ උපාදානයෝ වෙත්ද, අකුසල් සිතට ස්ථානවූ අනුසයයෝ වෙත්ද, ඔවුන්ගේ ක්ෂයවීමෙන්, විරාගයෙන්, නැති කිරීමෙන්, අත්හැරීමෙන්, දුරු කිරීමෙන්, සිත මනාකොට මිදුනේයයි කියනු ලැබේ.“ගෘහපතිය, සංස්කාර ස්කන්ධයෙහි වනාහි යම් ඡන්දයක් වේද, යම් රාගයක් වේද, යම් නන්දියක් වේද, යම් තණ්හාවක් වේද, යම් උපාය සහ උපාදානයෝ වෙත්ද, අකුසල් සිතට ස්ථානවූ අනුසයයෝ වෙත්ද, ඔවුන්ගේ ක්ෂයවීමෙන්, විරාගයෙන්, නැති කිරීමෙන්, අත්හැරීමෙන්, දුරු කිරීමෙන්, සිත මනාකොට මිදුනේයයි කියනු ලැබේ.‘ගෘහපතිය, විඥාන ස්කන්ධයෙහි යම් ඡන්දයක් වේද, යම් රාගයක් වේද, යම් නන්දියක් වේද, යම් තණ්හාවක් වේද, යම් උපාය සහ උපාදානයෝ වෙත්ද, අකුසල් සිතට ස්ථානවූ අනුසයයෝ වෙත්ද, ඔවුන්ගේ ක්ෂයවීමෙන්, විරාගයෙන්, නිරෝධයෙන්, අත්හැරීමෙන්, දුරු කිරීමෙන්, සිත මොනවට මිදුනේයයි කියනු ලැබේ.“යම් ඒ ශ්‍රමණ බ්‍රාහ්මණයෝ තණ්හාව නැතිකිරීමෙන් මිදුණාහු වෙත්ද, ඔවුහු ඒකාන්ත නිෂ්ටාවට පැමිණියාහු, ඒකාන්තයෙන් යොගයන් ක්ෂය කළාහු, ඒකාන්ත බ්‍රහ්මචර්‍ය්‍යාව ඇත්තාහු, දෙවි මිනිසුන්ට ශ්‍රේෂ්ඨයෝ වෙත් යන යම් වචනයක් භාග්‍යවතුන් වහන්සේ විසින් ශක්‍ර ප්‍රශ්නයේදී වදාළේද, භාග්‍යවතුන් වහන්සේ විසින් සංක්ෂෙපයෙන් වදාළ මේ වචනයාගේ අර්ථ විස්තර වශයෙන් මෙසේ දතයුතු.”(හතරවෙනි හාලිද්දකානි සූත්‍රය නිමි.)

SN 03-01-01-05. සමාධි සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී, භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූ සේක. ඒ භික්ෂූහු ‘ස්වාමීනි’යි කියා භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.“මහණෙනි, සමාධිය වඩව්. මහණෙනි, වඩනලද සමාධිය ඇති භික්ෂුතෙමේ තත්වූ පරිද්දෙන් දැනගනියි. තත්වූ පරිද්දෙන් කුමක් දනීද? රූපයාගේ හටගැනීමද, විනාශයදත වේදනාවගේ හටගැනීමද, විනාශයදත සංඥාවගේ හටගැනීමද, විනාශයදත සංස්කාරයන්ගේ හටගැනීමද, විනාශයද, විඥානයාගේ හටගැනීමද, විනාශයද දනියි.“මහණෙනි, රූපයාගේ හටගැනීම කුමක්ද? වේදනාවගේ හටගැනීම කුමක්ද? සංඥාවගේ හටගැනීම කුමක්ද? සංස්කාරයන්ගේ හටගැනීම කුමක්ද? විඥානයාගේ හටගැනීම කුමක්ද? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම ඇලෙයි, ප්‍රියයයි, මනාපයයි ප්‍රකාශ කරයි, ගැලී සිටියි. කුමක ඇලෙයිද? කුමක් ප්‍රියයයි, මනාපයයි කියයිද? කුමක ගැලී සිටියිද? රූපයෙහි ඇලෙයි. රූපය ප්‍රිය මනාපයයි කියයි. රූපයෙහි ගැලී සිටියි. රූපයෙහි ඇලෙන්නාවූ, රූපය ප්‍රියයයි මනාපයයි රූපයෙහි ගැලීසිටින්නාවූ ඔහුට බලවත් තෘෂ්ණාව උපදියි. රූපයෙහි යම් බලවත් තෘෂ්ණාවක් වේද, එය උපාදානය (තෘෂ්ණාවෙන් දැඩිකොට අල්වාගැනීම) වෙයි. ඔහුගේ උපාදානය හේතුකොටගෙන භවය වේ. භවය හේතුකොටගෙන ජාතිය ඇතිවේ. ජාතිය හේතුකොට ඇති ජරාව හා මරණයද, ශොක පරිදෙව, දුක්, දොම්නස් සහ උපායාසයෝ හටගනිත්. මෙසේ මේ සැපයෙන් අමිශ්‍ර දුක සමූහයාගේ හටගැනීම වේ.“වේදනාවෙහි ඇලෙයි, වේදනාව ප්‍රියයයි මනාපයයි කියයි. වේදනාවෙහි ගැලී සිටියි. වේදනාවෙහි ඇලෙන්නාවූ, වේදනාව ප්‍රියයයි මනාපයයි කියන්නාවූ, වේදනාවෙහි ගැලී සිටින්නාවූ, ඔහුට බලවත් තෘෂ්ණාව උපදියි. වේදනාවෙහි යම් බලවත් ඇලීමක් වේද, එය උපාදානයයි ඒ උපාදානය හේතුකොටගෙන භවය ඇතිවේ. භවය හේතුකොටගෙන ජාතිය ඇතිවේ. ජාතිය හේතුකොටගෙන ජරා මරණ දෙකද, ශොක, පරිදෙව, දුක්, දොම්නස් යන උපායාසයෝද හටගනිත්.“සංඥාවෙහි ඇලෙයි. සංඥාව ප්‍රියයයි මනාපයයි කියයි. සංඥාවෙහි ගැලී සිටියි. සංඥාවෙහි ඇලෙන්නාවූ සංඥාව ප්‍රියයයි මනාපයයි කියන්නාවූ, සංඥාවෙහි ගැලී සිටින්නාවූ ඔහුට බලවත් තණ්හාව උපදියි. සංඥාවෙහි යම් බලවත් ඇලීමක් වේද, එය උපාදානයයි (තදින් අල්ලා ගැනීමයි.) ඒ උපාදානය හේතුකොටගෙන භවය ඇතිවේ. භවය හේතු කොටගෙන ජාතිය ඇතිවේ. මේ ජාතිය හේතුකොටගෙන ජරා මරණ දෙකද, සෝක, පරිදේව, දුක්, දොම්නස් යන උපායාසයෝ හටගනිත්.“සංස්කාරයන්හි ඇලෙයි. සංස්කාරයන් ප්‍රියයයි මනාපයයි කියයි. සංස්කාරයන්හි ගැලී සිටියි. සංස්කාරයන්හි ඇලෙන, සංස්කාරයන් ප්‍රියයයි මනාපයයි කියන්නාවූ, සංස්කාරයන්හි ගැලී සිටින්නාවූ, ඔහුට බලවත් තෘෂ්ණාව උපදියි. සංස්කාරයන්හි යම් බලවත් තෘෂ්ණාවක් වේද? එය උපාදානයයි. උපාදානය හේතුකොටගෙන භවය වේ. භවය හේතුකොටගෙන ජාතිය වේ. ජාතිය හේතුකොටගෙන ජරා මරණ දෙකද, ශෝක, පරිදෙව, දුක්, දොම්නස් සහ උපායාසයෝ හටගනිත්. මෙසේ මේ සැපයෙන් අමිශ්‍ර දුඃඛ සමූහයාගේ පහළවීම වේ.“විඤ්ඤාණයෙහි ඇලෙයි. විඤ්ඤාණය ප්‍රියයයි මනාපයයි කියයි. විඤ්ඤාණයෙහි ගැලීසිටියි. විඤ්ඤාණයෙහි ඇලෙන්නාවූ, විඤ්ඤාණය ප්‍රියයයි මනාපයයි කියන්නාවූ, විඤ්ඤාණයෙහි ගැලී සිටින්නාවූ, ඔහුට බලවත් තෘෂ්ණාව උපදියි. විඤ්ඤාණයෙහි යම් බලවත් තෘෂ්ණාවක් වේද? එය උපාදානයයි. ඔහුට උපාදානය හේතුකොටගෙන භවය වේ. භවය හේතුකොටගෙන ජාතිය වේ. ජාතිය හේතුකොටගෙන ජරා මරණ දෙකද, ශෝක, පරිදෙව, දුක්, දොම්නස් සහ උපායාසයෝද හටගනිත්. මෙසේ මේ සැපයෙන් අමිශ්‍ර දුඃඛ රාශියගේ හටගැනීම වෙයි.“මහණෙනි, මේ වනාහි රූපයාගේ හටගැනීම වෙයි. මේ වේදනාවගේ හටගැනීම වෙයි. මේ සංඥාවගේ හටගැනීම වෙයි. මේ විඥානයාගේ හටගැනීම වෙයි.“මහණෙනි, රූපයාගේ නැතිවීම කවරේද? වේදනාවගේ නැතිවීම කවරේද? සංඥාවගේ නැතිවීම කවරේද? සංස්කාරයන්ගේ නැතිවීම කවරේද? විඤ්ඤාණයාගේ නැතිවීම කවරේද?“මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම නොඇලෙයි. ප්‍රියයයි මනාපයයි නොකියයි. ගැලී නොසිටියි. කුමක නො ඇලෙයිද, කුමක් ප්‍රියයයි මනාපයයි නොකියයිද, කුමක ගැලී නොසිටීද? රූපයෙහි නොඇලෙයි. රූපය ප්‍රියයයි මනාපයයි නොකියයි. රූපයෙහි ගැලී නොසිටියි. රූපයෙහි නොඇලෙන්නාවූ, රූපය ප්‍රියයයි මනාපයයි නොකියන්නාවූ, රූපයෙහි ගැලී නොසිටින්නාවූ, ඔහුට රූපයෙහි යම් බලවත් තෘෂ්ණාවක් වේද, එය නැති වෙයි. ඔහුගේ බලවත් තණ්හාව නැතිවීම හේතුකොටගෙන උපාදානය නැතිවෙයි. උපාදානය නැතිවීම හේතුකොට ගෙන භවය නැතිවේ. භවය නැතිවීම හේතුකොටගෙන ජාතිය නැතිවේ. ජාතිය නැතිවීම හේතුකොටගෙන ජරා මරණ දෙකද, ශෝක, පරිදෙව, දුක්, දොම්නස් සහ උපායාසයෝද නිරුද්ධ වෙති. මෙසේ මේ සැපයෙන් අමිශ්‍ර දුක්ඛ සමූහයාගේ නිරෝධය වේ.“වේදනාවෙහි නොඇලෙයි. වේදනාව ප්‍රියයයි මනාපයයි නොකියයි. වේදනාවෙහි ගැලී නොසිටියි. වේදනාවෙහි නො ඇලෙන්නාවූ, වේදනාව ප්‍රියයයි මනාපයයි නොකියන්නාවූ, වේදනාවෙහි ගැලී නොසිටින්නාවූ, ඔහුගේ වේදනාව කෙරෙහි යම් බලවත් තණ්හාවක් වේද, එය නැති වෙයි. ඔහුගේ ඒ බලවත් තණ්හාව නැතිවීමෙන් උපාදානය (තදින් අල්ලාගැනීම) නැතිවෙයි. උපාදානය නැතිවීමෙන් භවය නැතිවේ. භවය නැතිවීමෙන් ජාතිය (ඉපදීම) නැතිවේ. ඉපදීම නැතිවීමෙන් ජරා මරණ දෙකද, සෝක, පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයෝ නැතිවෙත්. මෙසේ මේ සැපයෙන් අමිශ්‍ර දුක් සමූහයාගේ නැතිවීම වෙයි.“සංඥාවෙහි නොඇලෙයි. සංඥාව ප්‍රියයයි මනාපයයි නොකියයි. සංඥාවෙහි ගැලී නොසිටියි. සංඥාවෙහි නොඇලෙන්නාවූ, සංඥාව ප්‍රියයයි මනාපයයි නොකියන්නාවූ, සංඥාවෙහි ගැලී නොසිටින්නාවූ, ඔහුගේ සංඥාව කෙරෙහි යම් බලවත් තණ්හාවක් වේද, එය නැතිවෙයි. ඔහුගේ ඒ බලවත් තණ්හාව නැතිවීමෙන් උපාදානය (තදින් අල්ලාගැනීම) නැති වෙයි. උපාදානය නැතිවීමෙන් භවය නැතිවේ. භවය නැතිවීමෙන් ජාතිය (ඉපදීම) නැතිවේ ඉපදීම නැතිවීමෙන් ජරා මරණ දෙකද, සෝක, පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයෝ නැතිවෙත්. මෙසේ මේ සැපයෙන් අමිශ්‍ර දුක් සමූහයාගේ නැතිවීම වෙයි.“සංස්කාරයන්හි නොඇලෙයි. සංස්කාර ප්‍රියයයි මනාපයයි නොකියයි. සංස්කාරයන්හි ගැලී නොසිටියි. සංස්කාරයෙහි නොඇලෙන්නාවූ, සංස්කාර ප්‍රියයයි මනාපයයි නොකියන්නාවූ, සංස්කාරයෙහි ගැලී නොසිටින්නාවූ, ඔහුගේ සංස්කාර කෙරෙහි යම් බලවත් තණ්හාවක් වේද, එය නැති වෙයි. ඔහුගේ ඒ බලවත් තණ්හාව නැතිවීමෙන් උපාදානය (තදින් අල්ලාගැනීම) නැතිවෙයි. උපාදානය නැතිවීමෙන් භවය නැතිවේ. භවය නැතිවීමෙන් ජාතිය (ඉපදීම) නැතිවේ. ඉපදීම නැතිවීමෙන් ජරා මරණ දෙකද, සෝක, පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයෝ නැතිවෙත්. මෙසේ මේ සැපයෙන් අමිශ්‍ර දුක් සමූහයාගේ නැතිවීම වෙයි.“විඤ්ඤාණයෙහි නොඇලෙයි. විඤ්ඤාණය ප්‍රියයයි මනාපයයි නොකියයි. විඤ්ඤාණයෙහි ගැලී නොසිටියි. විඤ්ඤාණයෙහි නොඇලෙන්නාවූ, විඤ්ඤාණය ප්‍රියයයි මනාපයයි නොකියන්නාවූ, විඤ්ඤාණයෙහි ගැලී නොසිටින්නාවූ, ඔහුගේ විඤ්ඤාණය කෙරෙහි යම් බලවත් තෘෂ්ණාවක් වේද, එය නිරුද්ධ වෙයි. ඔහුගේ ඒ බලවත් තෘෂ්ණාව නිරුද්ධවීමෙන් උපාදානය නිරුද්ධ වේ. උපාදානය නිරුද්ධවීමෙන් භවය නිරුද්ධ වේ. භවය නිරුද්ධ වීමෙන් ජාතිය නිරුද්ධ වේ. ජාතිය නිරුද්ධ වීමෙන් ජරා මරණ දෙකද, සෝක, පරිදෙව, දුක්, දොම්නස් සහ උපායාසයෝද නිරුද්ධ වෙත්. මෙසේ මේ සැපයෙන් අමිශ්‍ර දුඃඛ සමූහයාගේ නිරෝධය වෙයි.“මහණෙනි, මේ රූපයාගේ විනාශය වෙයි. මේ වේදනාවගේ විනාශය වෙයි. මේ සංඥාවගේ විනාශය වෙයි. මේ සංස්කාරයන්ගේ විනාශය වෙයි. මේ විඤ්ඤාණයාගේ විනාශය වෙයි.(පස්වෙනි සමාධි සූත්‍රය නිමි.)

SN 03-01-01-06. පටිසල්ලාණ සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූසේක. ඒ භික්ෂූහු ‘ස්වාමීනි’යි කියා භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක.“මහණෙනි, විවේකව සිටීමට උත්සාහ කරව්. මහණෙනි, විවේකීව සිටින මහණතෙම තත්වාකාරයෙන් දනියි.“මහණෙනි, විවේකීව සිටීමට උත්සාහ කරව්. මහණෙනි, විවේකව සිටින භික්ෂුතෙමේ තත්වූ පරිද්දෙන් දැනගනියි. තත්වූ පරිද්දෙන් කුමක් දනීද? රූපයාගේ හටගැනීමද, විනාශයද, වේදනාවගේ හටගැනීමද, විනාශයද, සංඥාවගේ හටගැනීමද, විනාශයද, සංස්කාරයන්ගේ හටගැනීමද, විනාශයද, විඥානයාගේ හටගැනීමටද, විනාශයද දනියි.“මහණෙනි, රූපයාගේ හටගැනීම කුමක්ද? වේදනාවගේ හටගැනීම කුමක්ද? සංඥාවගේ හටගැනීම කුමක්ද? සංස්කාරයන්ගේ හටගැනීම කුමක්ද? විඥානයාගේ හටගැනීම කුමක්ද? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම ඇලෙයි ප්‍රියයයි, මනාපයයි ප්‍රකාශ කරයි, ගැලී සිටියි. කුමක ඇලෙයිද? කුමක් ප්‍රියයයි, මනාපයයි කියයිද? කුමක ගැලී සිටියිද? රූපයෙහි ඇලෙයි. රූපය ප්‍රිය මනාපයයි කියයි. රූපයෙහි ගැලී සිටියි. රූපයෙහි ඇලෙන්නාවූ, රූපය ප්‍රියයයි, මනාප යයි රූපයෙහි ගැලීසිටින්නාවූ ඔහුට බලවත් තෘෂ්ණාව උපදියි. රූපයෙහි යම් බලවත් තෘෂ්ණාවක් වේද, එය උපාදානය (තෘෂ්ණාවෙන් දැඩිකොට අල්වාගැනීම) වෙයි. ඔහුගේ උපාදානය හේතුකොටගෙන භවය ඇතිවේ. භවය හේතුකොටගෙන ජාතිය ඇතිවේ. ජාතිය හේතුකොට ජරාව හා මරණයද, ශෝක, පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයෝ හටගනිත්. මෙසේ මේ සැපයෙන් අමිශ්‍ර දුක් සමූහයා ගේ හටගැනීමවේ.“වේදනාවෙහි ඇලෙයි, වේදනාව ප්‍රියයයි, මනාපයයි කියයි. වේදනාවෙහි ගැලී සිටියි. වේදනාවෙහි ඇලෙන්නාවූ, වේදනාව ප්‍රියයයි. මනාපයයි කියන්නාවූ, වේදනාවෙහි ගැලී සිටින්නාවූ, ඔහුට බලවත් තෘෂ්ණාව උපදියි. වේදනාවෙහි යම් බලවත් ඇලීමක් වේද, එය උපාදානයයි. ඒ උපාදානය හේතුකොටගෙන භවය ඇතිවේ භවය හේතුකොට ගෙන ජාතිය ඇතිවේ. ජාතිය හේතුකොට ගෙන ජරා, මරණ, දෙකද, ශොක, පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයෝද හටගනිත්.“සංඥාවෙහි ඇලෙයි. සංඥාව ප්‍රියයයි, මනාපයයි කියයි. සංඥාවෙහි ගැලී සිටියි. සංඥාවෙහි ඇලෙන්නාවූ, සංඥාව ප්‍රියයයි, මනාපයයි කියන්නාවූ, සංඥාවෙහි ගැලී සිටින්නාවූ ඔහුට බලවත් තණ්හාව උපදියි. සංඥාවෙහි යම් බලවත් ඇලීමක් වේද, එය උපාදානයයි (තදින් අල්ලා ගැනීමයි.) ඒ උපාදානය හේතුකොටගෙන භවය ඇතිවේ. භවය හේතුකොටගෙන ජාතිය ඇතිවේ මේ ජාතිය හේතුකොට ගෙන ජරා මරණ දෙකද සෝක, පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයෝ හටගනිත්.“සංස්කාරයන්හි ඇලෙයි. සංස්කාරයන් ප්‍රියයයි, මනාපයයි කියයි. සංස්කාරයන්හි ගැලී සිටියි. සංස්කාරයන්හි ඇලෙන, සංස්කාරයන් ප්‍රියයයි මනාපයයි කියන්නාවූ, සංස්කාරයන්හි ගැලී සිටින්නාවූ, ඔහුට බලවත් තෘෂ්ණාව උපදියි. සංස්කාරයන්හි යම් බලවත් තෘෂ්ණාවක් වේද? එය උපාදානයයි. උපාදානය හේතුකොටගෙන භවය ඇතිවේ. භවය හේතුකොටගෙන ජාතිය ඇතිවේ. ජාතිය හේතුකොට ගෙන ජරා මරණ දෙකද, ශෝක, පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයෝ හටගනිත්. මෙසේ මේ සැපයෙන් අමිශ්‍ර දුඃඛ සමූහයාගේ පහළවීම වේ.“විඤ්ඤාණයෙහි ඇලෙයි. විඤ්ඤාණය ප්‍රියයයි මනාපයයි කියයි. විඤ්ඤාණයෙහි ගැලීසිටියි. විඤ්ඤාණයෙහි ඇලෙන්නාවූ, විඤ්ඤාණය ප්‍රියයයි මනාපයයි කියන්නාවූ, විඤ්ඤාණයෙහි ගැලී සිටින්නාවූ, ඔහුට බලවත් තෘෂ්ණාව උපදියි. විඤ්ඤාණයෙහි යම් බලවත් තෘෂ්ණාවක් වේද? එය උපාදානයයි. ඔහුට උපාදානය හේතුකොටගෙන භවය ඇතිවේ. භවය හේතුකොටගෙන ජාතිය ඇතිවේ. ජාතිය හේතුකොටගෙන ජරා මරණ දෙකද, ශෝක, පරිදෙව, දුක් දොම්නස් සහ උපායාසයෝද හටගනිත්. මෙසේ මේ සැපයෙන් අමිශ්‍ර දුඃඛ රාශියාගේ හටගැනීම වෙයි.“මහණෙනි, මේ වනාහි රූපයාගේ හටගැනීම වෙයි. මේ වේදනාවගේ හටගැනීම වෙයි. මේ සංඥාවගේ හටගැනීම වෙයි. මේ විඥානයාගේ හටගැනීම වෙයි.“මහණෙනි, රූපයාගේ නැතිවීම කවරේද? වේදනාවගේ නැතිවීම කවරේද? සංඥාවගේ නැතිවීම කවරේද? සංස්කාරයන්ගේ නැතිවීම කවරේද? විඤ්ඤාණයාගේ නැතිවීම කවරේද?“මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම නොඇලෙයි. ප්‍රියයයි මනාපයයි නොකියයි. ගැලී නොසිටියි. කුමක නොඇලෙයිද, කුමක් ප්‍රියයයි මනාපයයි නොකියයිද, කුමක ගැලී නොසිටීද? රූපයෙහි නොඇලෙයි. රූපය ප්‍රියයයි මනාපයයි නොකියයි. රූපයෙහි ගැලී නොසිටියි. රූපයෙහි නොඇලෙන්නාවූ රූපය ප්‍රියයයි මනාපයයි නොකියන්නාවූ, රූපයෙහි ගැලී නොසිටින්නාවූ, ඔහුට රූපයෙහි යම් බලවත් තෘෂ්ණාවක් වේද, එය නැති වෙයි. ඔහුගේ බලවත් තණ්හාව නැතිවීම හේතුකොටගෙන උපාදානය නැතිවෙයි. උපාදානය නැතිවීම හේතුකොටගෙන භවය නැතිවේ. භවය නැතිවීම හේතුකොටගෙන ජාතිය නැතිවේ. ජාතිය නැතිවීම හේතුකොටගෙන ජරාමරණ දෙකද, ශෝක, පරිදෙව, දුක්, දොම්නස් සහ උපායාසයෝද නිරුද්ධ වෙති. මෙසේ මේ සැපයෙන් අමිශ්‍ර දුක්ඛ සමූහයාගේ නිරෝධය වේ.“වේදනාවෙහි නොඇලෙයි. වේදනාව ප්‍රියයයි මනාපයයි නොකියයි. වේදනාවෙහි ගැලී නොසිටියි. වේදනාවෙහි නොඇලෙන්නාවූ, වේදනාව ප්‍රියයයි මනාපයයි නොකියන්නාවූ, වේදනාවෙහි ගැලී නොසිටින්නාවූ, ඔහුගේ වේදනාව කෙරෙහි යම් බලවත් තණ්හාවක් වේද, එය නැති වෙයි. ඔහුගේ ඒ බලවත් තණ්හාව නැතිවීමෙන් උපාදානය (තදින් අල්ලාගැනීම) නැතිවෙයි. උපාදානය නැතිවීමෙන් භවය නැතිවේ. භවය නැතිවීමෙන් ජාතිය (ඉපදීම) නැතිවේ. ඉපදීම නැතිවීමෙන් ජරා මරණ දෙකද, සෝක, පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයෝ නැතිවෙත්. මෙසේ මේ සැපයෙන් අමිශ්‍ර දුක් සමූහයාගේ නැතිවීම වෙයි.“සංඥාවෙහි නොඇලෙයි. සංඥාව ප්‍රියයයි මනාපයයි නොකියයි. සංඥාවෙහි ගැලී නොසිටියි. සංඥාවෙහි නොඇලෙන්නාවූ, සංඥාව ප්‍රියයයි මනාපයයි නොකියන්නාවූ, සංඥාවෙහි ගැලී නොසිටින්නාවූ, ඔහුගේ සංඥාව කෙරෙහි යම් බලවත් තණ්හාවක් වේද, එය නැතිවෙයි. ඔහුගේ ඒ බලවත් තණ්හාව නැතිවීමෙන් උපාදානය (තදින් අල්ලාගැනීම) නැති වෙයි. උපාදානය නැතිවීමෙන් භවය නැතිවේ. භවය නැති වීමෙන් ජාතිය (ඉපදීම) නැතිවේ. ඉපදීම නැතිවීමෙන් ජරා මරණ දෙකද, සෝක, පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයෝ නැතිවෙත්. මෙසේ මේ සැපයෙන් අමිශ්‍ර දුක් සමූහයාගේ නැතිවීම වෙයි.“සංස්කාරයන්හි නොඇලෙයි. සංස්කාර ප්‍රියයයි මනාපයයි නොකියයි. සංස්කාරයන්හි ගැලී නොසිටියි. සංස්කාරයෙහි නොඇලෙන්නාවූ, සංස්කාර ප්‍රියයයි මනාපයයි නොකියන්නාවූ, සංස්කාරයෙහි ගැලී නොසිටින්නාවූ, ඔහුගේ සංස්කාර කෙරෙහි යම් බලවත් තණ්හාවක් වේද, එය නැති වෙයි. ඔහුගේ ඒ බලවත් තණ්හාව නැතිවීමෙන් උපාදානය (තදින් අල්ලාගැනීම) නැතිවෙයි. උපාදානය නැතිවීමෙන් භවය නැතිවේ. භවය නැතිවීමෙන් ජාතිය (ඉපදීම) නැතිවේ. ඉපදීම නැතිවීමෙන් ජරා මරණ දෙකද, සෝක, පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයෝ නැතිවෙත්. මෙසේ මේ සැපයෙන් අමිශ්‍ර දුක් සමූහයාගේ නැතිවීම වෙයි.“විඤ්ඤාණයෙහි නොඇලෙයි. විඤ්ඤාණය ප්‍රියයයි මනාපයයි නොකියයි. විඤ්ඤාණයෙහි ගැලී නොසිටියි. විඤ්ඤාණයෙහි නොඇලෙන්නාවූ, විඤ්ඤාණය ප්‍රියයයි මනාප යයි නොකියන්නාවූ, විඤ්ඤාණයෙහි ගැලී නොසිටින්නාවූ, ඔහුගේ විඤ්ඤාණය කෙරෙහි යම් බලවත් තෘෂ්ණාවක් වේද, එය නිරුද්ධවෙයි. ඔහුගේ ඒ බලවත් තෘෂ්ණාව නිරුද්ධවීමෙන් උපාදානය නිරුද්ධ වේ. උපාදානය නිරුද්ධවීමෙන් භවය නිරුද්ධ වේ. භවය නිරුද්ධ වීමෙන් ජාතිය නිරුද්ධ වේ. ජාතිය නිරුද්ධ වීමෙන් ජරා මරණ දෙකද, සොක, පරිදෙව, දුක්, දොම්නස් සහ උපායාසයෝද නිරුද්ධ වෙත්. මෙසේ මේ සැපයෙන් අමිශ්‍ර දුඃඛ සමූහයාගේ නිරෝධය වෙයි.“මහණෙනි, මේ රූපයාගේ විනාශය වෙයි. මේ වේදනාවගේ විනාශය වෙයි. මේ සංඥාවගේ විනාශය වෙයි. මේ සංස්කාරයන්ගේ විනාශය වෙයි මේ විඤ්ඤාණයාගේ විනාශය වෙයි.(හයවෙනි පටිසල්ලාණ සූත්‍රය නිමි.)

SN 03-01-01-07. උපාදාපරිතස්සන සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවනලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන්වහන්සේ ‘මහණෙනියි’ කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.“මහණෙනි, තොපට මමය මාගේයයි ගැනීමෙන් වන භයද මමය මාගේයයි නොගැනීමෙන් වන භය දුරුවීමද දේශනා කරන්නෙමි. එය මනාකොට අසව්, මෙනෙහි කරව්, කියන්නෙමි.” ඒ භික්ෂූහු “එසේය, ස්වාමීනි” භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ. “මහණෙනි, කෙසේ නම් මමය මාගේයයි ගැනීමෙන් වන භය ඇතිවේද?“මහණෙනි, මේ ලෝකයෙහි ආර්‍ය්‍යයන් නොදක්නාවූ, ආර්‍ය්‍යධර්මයෙහි අදක්ෂවූ ආර්‍ය්‍යධර්මයෙහි නොහික්මුනාවූ, සත්පුරුෂයන් නොදක්නාවූ සත්පුරුෂ ධර්මයෙහි අදක්ෂවූ සත්පුරුෂ ධර්මයෙහි නොහික්මුනාවූ අශ්‍රැතවත් පෘථග්ජනතෙම රූපස්කන්ධය මමයයි දකී. රූපසහිතවූවක් හෝ මම යයි දකී. මා කෙරෙහි හෝ රූපස්කන්ධය ඇතැයි දකී. රූපස්කන්ධය කෙරෙහි හෝ මා ඇතැයි දකී. ඔහුගේ ඒ රූපස්කන්ධය වෙනස්වෙයි. අන් අයුරකට පෙරළෙයි. ඔහුගේ රූපය වෙනස්වීම අන් ආකාරයකට පෙරළීම හේතුකොට ගෙන රූපය පෙරළීමට අනුව පෙරලුණු විඤ්ඤාණයක් වෙයි. ඔහුගේ රූපස්කන්ධය වෙනස්වීම නිසා වෙනස්වූ විඤ්ඤාණයයෙන් උපන් තෘෂ්ණා භය වන අකුශල ධර්මයෝ කුසල් සිත මැඩගෙන සිටිත්. කුසල් සිත මැඩපැවැත්වීම හේතුකොට ගෙන භය සහිත වූයේද වෙයි. ආලය සහිත වූයේද වෙයි. තෘෂ්ණාවෙන් ගැනීම නිසා භයට පැමිණෙයි. අල්ලාගෙන සිටිති. වේදනාව මමයයි දකියි. වේදනා සහිතවූවක් හෝ මමයයි දකියි. මා කෙරෙහි හෝ වේදනාව ඇතැයි දකියි. වේදනාවෙහි හෝ මම ඇතැයි දකියි. ඔහුගේ ඒ වේදනාව වෙනස්වෙයි. අන් අයුරකට පැමිණෙයි. වේදනාව වෙනස්වීම අන්අයුරකට පැමිණීම හේතුකොටගෙන ඔහුගේ සිතද වේදනා පරිවර්තනයට අනුව පරිවර්තනයවෙයි. වේදනාවට අනුව පරිවර්තනයවූ සිතින් හට ගත් තෘෂ්ණා භයවන අකුශල ධර්මයෝ ඔහුගේ කුසල් සිත මැඩගෙන සිටිත්. කුශල චිත්තයාගේ මැඩපැවැත්වීම හේතු කොටගෙන භය සහිත වූයේද වෙයි. දුක්සහිත වූයේද වෙයි. ආලය සහිත වූයේද වෙයි. තාෂ්ණාවෙන් ගැනීම නිසා භය වන්නේය.”“සංඥාව මමයයි දකියි. සංඥා සහිතවූවක් හෝ මමයයි දකියි මා කෙරෙහි හෝ සංඥාව ඇතැයි දකියි. සංඥාවෙහි හෝ මම ඇතැයි දකියි. ඔහුගේ ඒ සංඥාව වෙනස්වෙයි. අන් අයුරකට පැමිණෙයි. සංඥාව වෙනස්වීම අන්අයුරකට පැමිණීම අනුව විඤ්ඤාණයද වෙනස්වේ. සංඥාවට අනුව පරිවර්තනයවූ, විඤ්ඤාණයෙන් හටගත් තණ්හා සහ භය යන අකුසලධර්මයෝ ඔහුගේ කුසල් සිත මැඩගෙන සිටිත්. කුසල චිත්තයාගේ මැඩ පැවැත්වීම හේතුකොටගෙන භය සහිතවූයේද වෙයි. දුක්සහිතවූයේද වෙයි. ආලය සතිතවූයේද වෙයි. තණ්හාවෙන් ගැනීම හේතුකොටගෙන භයට පැමිණෙන්නේද වෙයි.“සංස්කාරයන් මමයයි දකියි සංස්කාර ඇත්තක්හු හෝ මමයයි දකියි. සංස්කාර මාකෙරෙහි ඇතැයි හෝ දකියි. සංස්කාරයන්හි මම ඇතැයි හෝ දකියි. ඔහුගේ ඒ සංස්කාරයෝ වෙනස්වෙත්. අන් අයුරකට පැමිණෙත් සංස්කාරයන්ගේ වෙනස්වීම අන් අයුරකට පැමිණීම හේතු කොටගෙන සංස්කාරයන්ගේ වෙනස්වීම අනුව විඤ්ඤාණයද වෙනස්වේ. සංස්කාරයන්ගේ වෙනස්වීමට අනුව වෙනස්වූ විඤ්ඤාණයෙන් උපන් තෘෂ්ණා භයවන අකුශල ධර්මයෝ කුසල් සිත මැඩගෙන සිටිත්. කුසල් සිත මැඩපැවැත්වීම හේතුකොටගෙන භය සහිත වූයේද වෙයි. දුක් සහිත වූයේද වෙයි. ආලය සහිත වූයේද වෙයි. තෘෂ්ණාවෙන් ගැනීම හේතුකොටගෙන භයට පැමිණෙන්නේද වෙයි.“විඥානය මමයයි දකියි. විඥානය ඇත්තහු හෝ මමයයි දකියි. මා කෙරෙහි හෝ විඥානය ඇතැයි දකියි. විඥානයෙහි හෝ මම ඇතැයි දකියි. ඔහුගේ ඒ විඥානය වෙනස්වෙයි. අන් අයුරකට පැමිණෙයි. විඥානයාගේ වෙනස්වීම පෙරළීම නිසා ඔහුගේ සිතද විඥානය අනුව පෙරළෙන්නේ වෙයි. විඤ්ඤාණයාගේ පෙරලීමට අනුව පෙරලුණු සිතින් උපන් තෘෂ්ණා භයවන අකුශල ධර්මයෝ ඔහුගේ කුසල් සිත මැඩගෙන සිටිත්. කුසල් සිත මැඩපැවැත්වීම හේතුකොටගෙන භය සහිත වූයේද වෙයි. දුක් සහිත වූයේද වෙයි ආලය සහිතවූයේද වෙයි. තෘෂ්ණාවෙන් ගැනීම නිසා භයට පැමිණෙන්නේද වෙයි.“මහණෙනි, මෙසේ වනාහි තෘෂ්ණාවෙන් ගැනීම නිසා වන භය ඇතිවෙයි. මහණෙනි, කෙසේ නම් තෘෂ්ණාවෙන් නොගැනීම නිසා භය ඇති නොවන්නේද? මහණෙනි, මේ ලෝකයෙහි ආර්‍ය්‍යයන් දක්නාවූ ආර්‍ය්‍යධර්මයෙහි දක්ෂවූ ආර්‍ය්‍ය ධර්මයෙහි හික්මුනාවූ සත්පුරුෂයන් දක්නාවූ සත්පුරුෂ ධර්මයෙහි දක්ෂවූ සත්පුරුෂ ධර්මයෙහි හික්මුනාවූ බහුශ්‍රැතවූ ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ රූපස්කන්ධය මමයයි නොදකියි. රූපස්කන්ධය ඇත්තහු හෝ මමයයි නොදකියි. මා කෙරෙහි හෝ රූපස්කන්ධය ඇතැයි නොදකියි. රූපස්කන්ධය කෙරෙහි හෝ මම ඇතැයි නොදකියි. ඔහුගේ ඒ රූපය විනාශවෙයි. අන්අයුරකට පැමිණෙයි. ඔහුගේ රූපය වෙනස්වීම හේතුකොට ඔහුගේ විඤ්ඤාණයද රූපය වෙනස් වීමට අනුව වෙනස් නොවන්නේ වෙයි. ඔහුගේ රූපය වෙනස් වීමට අනුව වෙනස්වීමෙන් උපදනා තෘෂ්ණා භයවන අකුශල ධර්මයෝ කුසල් සිත මැඩගෙන නොසිටිත්. කුසල් සිත මැඩ නොපැවැත්වීම නිසා භය සහිත වන්නේ නොවෙයි. දුක් සහිත වන්නේ නොවෙයි. ආලය සහිත වන්නේ නොවෙයි. තෘෂ්ණාවෙන් නොගැනීම නිසා භයට නොපැමිණෙන්නේය.“වේදනාව මමයයි නොදකියි. වේදනා ඇත්තහු හෝ මමයයි නොදකියි. මා කෙරෙහි හෝ වේදනාව ඇතැයි නොදකියි. වේදනාව කෙරෙහි හෝ මම ඇතැයි නොදකියි. ඔහුගේ ඒ වේදනාව වෙනස්වෙයි. පෙරලෙයි. ඔහුගේ වේදනාව වෙනස්වීම පෙරලීම හේතුකොටගෙන විඤ්ඤාණයද වේදනාවට අනුව වෙනස් නොවෙයි. වේදනාව වෙනස්වීමට අනුව වෙනස්වීමෙන් උපදනා තෘෂ්ණා භයවන අකුශල ධර්මයෝ කුසල් සිත නොමැඩ පවත්වයි. කුසල් සිත නොමැඩ පැවැත්වීම නිසා භය සහිත වන්නේද නොවෙයි. දුක්සහිත වන්නේද නොවෙයි. ආලය සහිත වන්නේද නොවෙයි. තෘෂ්ණාවෙන් නොගැනීම නිසා භය නැත්තේද වෙයි.“සංඥාව ඇත්තහු හෝ මමයයි නොදකියි. සංඥාව ඇත්තහු හෝ මමයයි නොදකියි. මා කෙරෙහි හෝ සංඥාව ඇතැයි නොදකියි. සංඥාව කෙරෙහි හෝ මම ඇතැයි නොදකියි. ඔහුගේ ඒ සංඥාව වෙනස්වෙයි පෙරලෙයි. ඔහුගේ සංඥාව වෙනස්වීම, පෙරලීම හේතුකොටගෙන විඤ්ඤාණයද සංඥාව අනුව වෙනස් නොවෙයි. ඔහුගේ සංඥාව වෙනස්වීමට අනුව වෙනස්වීමෙන් උපදනා තණ්හා භය වන අකුසල ධර්මයෝ කුසල් සිත නොමැඩ පවත්වයි. කුසල් සිත නොමැඩ පැවැත්වීම නිසා භය සහිත වන්නේද නොවෙයි. දුක් සහිත වන්නේද නොවෙයි. ආලය සහිත වන්නේද නොවෙයි. තණ්හාවෙන් නොගැනීම නිසා භය නැත්තේද වෙයි.“සංස්කාරයන් මමයයි නොදකියි. සංස්කාර ඇත්තහු හෝ මමයයි නොදකියි. මා කෙරෙහි හෝ සංස්කාර ඇතැයි නොදකියි. සංස්කාරයන් කෙරෙහි හෝ මම ඇතැයි නොදකියි. ඔහුගේ ඒ සංස්කාරයෝ වෙනස්වෙයි. අන් අයුරකට පැමිණෙයි. ඔහුගේ ඒ සංස්කාර වෙනස්වීම් අන් ආකාරයකට පෙරලීම හේතුකොටගෙන විඤ්ඤාණයද සංස්කාරයන්ගේ පෙරලීමට අනුව පෙරලෙන්නේ නොවේ. සංස්කාරයන් පෙරලීමට අනුව වෙනස් වීමෙන් හටගත් තෘෂ්ණා භය වන අකුශල ධර්මයෝ ඔහුගේ කුසල් සිත මැඩගෙන නොසිටිත්. කුසල් සිත නොමැඩ පැවැත්වීම හේතුකොටගෙන භය සහිත වූයේද නොවෙයි. දුක් සහිතවූයේද නොවෙයි. ආලය සහිත වූයේද නොවෙයි. තෘෂ්ණාවෙන් නොගැනීම නිසා භයට නොපැමිණෙන්නේද වෙයි.“විඥානය මමයයි නොගනියි. මා කෙරෙහි හෝ විඥානය නොවේයයි නොදකියි. විඥානයෙහි හෝ මම ඇතැයි නොදනියි. ඔහුගේ ඒ විඥානය වෙනස්වෙයි. අන්අයුරකට පැමිණෙයි. ඔහුගේ විඥානය වෙනස්වීම අන්අයුරකට පැමිණීම හේතුකොටගෙන විඤ්ඤාණය වෙනස්වීමට අනුව සිත වෙනස් නොවෙයි. විඤ්ඤාණය වෙනස්වීමට අනුව වෙනස්වීමෙන් උපදනා තෘෂ්ණාව භය අකුශල ධර්මයෝ ඔහුගේ කුසල් සිත මැඩගෙන නොසිටිත්. කුසල් සිත නොමැඩ පැවැත්වීම හේතුකොටගෙන භය සහිතවූයේද නොවෙයි. දුක් සහිතවූයේද නොවෙයි. ආලය සහිතවූයේද නොවෙයි. තෘෂ්ණාවෙන් නොගැනීම නිසා භයට පැමිණෙන්නේද නොවෙයි. මහණෙනි, මෙසේ වනාහි තෘෂ්ණාවෙන් නොගැනීම නිසා භය ඇතිවන්නේ නොවෙයි.”(සත්වෙනි උපාදාපරිතස්සන සූත්‍රය නිමි.)

SN 03-01-01-08. දුතිය උපාදාපරිතස්සන සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසයකරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනියි’ කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.“මහණෙනි, තොපට දැඩිසේ ගැනීමෙන් තණ්හාවෙන් වෙන භයද, දැඩිසේ නොගැනීමෙන් වන නිර්භයද දේශනා කරන්නෙමි. එය අසව්. මනාකොට මෙනෙහි කරව්, කියන්නෙමි.“මහණෙනි, කෙසේනම් දැඩිසේ ගැනීමෙන් වන භයවේද? මහණෙනි, මේ ලෝකයෙහි අශ්‍රැතවත් පෘථග්ජනතෙමේ මේ රූපය මගේය මෙය මම වෙමි. මෙය මාගේ ආත්මයයි රූපය දකියිද ඔහුගේ ඒ රූපය වෙනස්වෙයි. අන් ආකාරයකට පෙරළෙයි. ඕහට රූපයාගේ වෙනස්වීම අන් ආකාරයකට පෙරලීම නිසා සෝක, පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයෝ උපදිත්.“මේ වේදනාව මගේය. මෙය මම වෙමි. මෙය මාගේ ආත්මයයි වේදනාව දකියිද, ඔහුගේ ඒ වේදනාව වෙනස් වෙයි. පෙරලෙයි. ඕහට වේදනාව වෙනස්වීම පෙරලීම හේතුකොට ගෙන ශෝක, පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයෝ උපදිත්.“මේ සංඥාව මගේය. මෙය මම වෙමි. මෙය මාගේ ආත්මයයි. සංඥාව දකියිද, ඔහුගේ ඒ සංඥාව වෙනස් වෙයි. පෙරළෙයි. ඔහුට සංඥාවේ වෙනස්වීම, පෙරලීම හේතු කොට ගෙන සෝක, පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයෝ උපදිත්.“මේ සංස්කාරයෝ මගේය. මෙය මම වෙමි. මෙය මාගේ ආත්මයයි සංස්කාරයන් දකියිද, ඔහුගේ ඒ සංස්කාරයෝ වෙනස් වෙත්. පෙරළෙත්. ඕහට සංස්කාරයන්ගේ වෙනස්වීමෙන් පෙරළීමෙන් ශෝක, පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයෝ උපදිත්.“මේ විඥානයෝ මගේය මෙය මම වෙමි. මෙය මාගේ ආත්මයයි විඥානය දකියිද, ඒ විඥානය වෙනස් වෙයි. පෙරළෙයි. ඕහට විඥානයාගේ වෙනස්වීමෙන් පෙරළීමෙන් ශෝක, පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයෝ උපදිත්.“මහණෙනි, මෙසේ වනාහි ගැනීම හේතුකොටගෙන භය ඇතිවෙයි, මහණෙනි, කෙසේනම් දැඩිව නොගැනීම හේතු කොට ගෙන නිර්භය වේද, මහණෙනි, මේ ලෝකයෙහි ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවකතෙමේ මෙය මාගේ නොවේය. මෙය මම නොවෙමි. මෙය මාගේ ආත්මය නොවේ යයි රූපය දකියි ඔහුගේ ඒ රූපය වෙනස්වෙයි. පෙරළෙයි. ඕහට රූපයාගේ වෙනස්වීමෙන් පෙරලීමෙන් සෝක, පරිදේව, දුක් දොම්නස් සහ උපායාසයෝ නූපදිත්.“මෙය මගේ නොවේය මෙය මම නොවෙමි. මෙය මාගේ ආත්මය නොවේයයි වේදනාව දකියිද ඔහුගේ ඒ වේදනාව වෙනස්වෙයි. පෙරළෙයි. ඔහුට වේදනාවගේ වෙනස්වීමෙන්, පෙරළීමෙන් ශෝක, පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයෝ නූපදිත්.“මෙය මගේ නොවේය. මෙය මම නොවෙමි. මෙය මාගේ ආත්මය නොවේයයි සංඥාව දකියිද, ඔහුගේ ඒ සංඥාව වෙනස්වෙයි පෙරළෙයි. ඔහුට සංඥාවේ වෙනස්වීමෙන් පෙරලීමෙන් ශෝක, පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයෝ නූපදිත්.“මෙය මගේ නොවේය. මෙය මම නොවෙමි. මෙය මාගේ ආත්මය නොවේයයි සංස්කාරයන් දකියිද? ඔහුගේ ඒ සංස්කාරයෝ වෙනස්වෙත්. පෙරළෙත්. ඕහට සංස්කාරයන්ගේ වෙනස්වීමෙන්, පෙරලීමෙන් සෝක, පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයෝ නූපදිත්.“මෙය මගේ නොවෙයි මෙය මම නොවෙමි මෙය මාගේ ආත්මය නොවේයයි විඥානය දකියිද ඔහුගේ ඒ විඥානය වෙනස් වෙයි. පෙරළෙයි. ඕහට විඥානයාගේ වෙනස්වීමෙන්, පෙරළීමෙන් සෝක, පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයෝ නූපදිත්. මහණෙනි, මෙසේ වනාහි දැඩිව නොගැනීමෙන් නිර්භය ඇතිවේයයි” වදාළ සේක.(අටවෙනි උපාදාපරිතස්සන සූත්‍රය නිමි.)

SN 03-01-01-09. අතීතානාගත සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවනලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී, භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනියි’ කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.“මහණෙනි, අතීත අනාගත රූපය අනිත්‍යයයි. දැන් පවත්නා රූපය ගැන කියනුම කවරේද? මහණෙනි, දැන් පවත්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවකතෙමේ අතීතවූ රූපයෙහි අපේක්ෂා රහිතවේ. අනාගත රූපය නොපතන්නේ වෙයි. දැන් පවත්නා රූපය පිළිබඳ කලකිරීම පිණිසද නො ඇලීම පිණිසද, නිරෝධය පිණිසද, පිළිපන්නේ වෙයි.“අතීත, අනාගතවූ වේදනාව අනිත්‍යයයි දැන් පවත්නා වේදනාව ගැන කියනුම කවරේද? මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රැතවත් ආර්‍ය්‍ය ශ්‍රාවකතෙමේ අතීතවූ වේදනාවෙහි අපේක්ෂා රහිතවෙයි. අනාගත වේදනාව ප්‍රාර්ථනා නොකරයි. දැන් පවත්නා වේදනාව පිළිබඳ කලකිරීම පිණිසද, නොඇලීම පිණිසද, නිරෝධය පිණිසද, පිළිපන්නේ වෙයි“අතීතඅනාගතවූ සංඥාව අනිත්‍යයි. දැන් පවත්නා සංඥාව ගැන කියනුම කවරේද? මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රැතවත් (බොහෝ ඇසූ පිරූ තැන් ඇති) ආර්‍ය්‍යශ්‍රාවකතෙමේ අතීත සංඥාවෙහි බලාපොරොත්තු නැත්තේ වෙයි. අනාගත සංඥාව ප්‍රාර්ථනා නොකරන්නේ වෙයි. දැන් පවත්නා සංඥාව පිළිබඳ කලකිරීම පිණිසද, නො ඇලීම පිණිසද, නිරෝධය පිණිසද, පිළිපන්නේ වෙයි.අතීත අනාගත සංස්කාරයෝ අනිත්‍යයහ. දැන් පවත්නා සංස්කාරයන් පිළිබඳ කියනුම කවරේද? මහණෙනි, මෙසේ දකින්නාවූ ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවකතෙමේ අතීතවූ සංස්කාරයන් කෙරෙහි අපේක්ෂා රහිත වෙයි. අනාගත සංස්කාරයන් ප්‍රාර්ථනා නොකරයි. දැන් පවත්නා සංස්කාරයන් පිළිබඳ කලකිරීම පිණිසද, නොඇලීම පිණිසද, නිරෝධය පිණිසද පිළිපන්නේ වෙයි.අතීත අනාගත විඥානය අනිත්‍යයි. දැන් පවත්නා විඥානය ගැන කියනුම කවරේද? මහණෙනි, මෙසේ දකින්නාවූ, ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවකතෙමේ අතීතවූ විඥානයෙහි අපේක්ෂා රහිතවෙයි. අනාගත විඥානය ප්‍රාර්ථනා නොකරයි. දැන් පවත්නා විඥානය පිළිබඳ කලකිරීම පිණිසද, නොඇලීම පිණිසද, නිරෝධය පිණිසද පිළිපන්නේවේයයි” වදාළසේක.(නවවෙනි අතීතානාගත සූත්‍රය නිමි.)

SN 03-01-01-10.
අතීතානාගත සූත්‍රය /. කාලත්තයදුක්ඛසුත්තං

මා විසින් මෙසේ අසන ලදී. එක්කලෙක්හි භාග්‍යවතුන්වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී, භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනියි’ කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනි’ යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.මහණෙනි, අතීත අනාගත රූපය දුකයි. දැන් පවත්නා රූපය ගැන කියනුම කවරේද? මහණෙනි, මෙසේ දකින්නාවූ ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවකතෙමේ අතීතවූ රූපයෙහි අපෙක්ෂා රහිතවෙයි. අනාගත රූපය ප්‍රාර්ථනා නොකරයි. දැන් පවත්නා රූපයාගේ කලකිරීම පිණිසද, නොඇලීම පිණිසද, නිරෝධය පිණිසද, පිළිපන්නේ වෙයි.“මහණෙනි, අතීත අනාගතවූ, වේදනාව, දුකයි. දැන් පවත්නා වේදනාව ගැන කියනුම කවරේද? මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රැතවත් (බොහෝ ඇසූ පිරූ තැන් ඇති) ආර්‍ය්‍ය ශ්‍රාවකතෙමේ අතීත වේදනාවෙහි බලාපොරොත්තු නැත්තේ වෙයි. අනාගත වේදනාව ප්‍රාර්ථනා නොකරන්නේ වෙයි දැන් පවත්නා වේදනා පිළිබඳ කලකිරීම පිණිසද, නොඇලීම පිණිසද, නිරෝධය පිණිසද පිළිපන්නේවෙයි.“මහණෙනි, අතීත අනාගතවූ සංඥාව දුකයි. දැන් පවත්නා සංඥාව ගැන කියනුම කවරේද? මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රැතවත් (බොහෝ ඇසූ පිරූ තැන් ඇති) ආර්‍ය්‍යශ්‍රාවකතෙමේ අතීත සංඥාව බලාපොරොත්තු නැත්තේ වෙයි. අනාගත සංඥාව ප්‍රාර්ථනා නොකරන්නේ වෙයි. වර්තමාන සංඥාව පිළිබඳ කලකිරීම පිණිසද, නොඇලීම පිණිසද, නිරෝධය පිණිසද පිළිපන්නේ වෙයි.මහණෙනි, අතීත අනාගතවූ සංස්කාර දුකයි. දැන් පවත්නා සංස්කාර ගැන කියනුම කවරේද? මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රැතවත් (බොහෝ ඇසූ පිරූ තැන් ඇති) ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ අතීත සංස්කාර බලාපොරොත්තු නැත්තේවෙයි. අනාගත සංස්කාර ප්‍රාර්ථනා නොකරන්නේවෙයි. දැන් පවත්නා සංස්කාර පිළිබඳ කලකිරීම පිණිසද, නො ඇලීම පිණිසද, නිරෝධය පිණිසද පිළිපන්නේ වෙයි.අතීත අනාගත විඥානය දුකයි දැන් පවත්නා විඥානය ගැන කියනුම කවරේද? මහණෙනි මෙසේ දකින්නාවූ ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම අතීත විඥානයෙහි අපේක්ෂා රහිත වෙයි. අනාගත විඥානය ප්‍රාර්ථනා නොකරයි. විඥානයාගේ කලකිරීම පිණිසද, නො ඇලීම පිණිසද, නිරෝධය පිණිසද පිළිපන්නේ වේයයි” වදාළසේක.(දහවෙනි අතීතානාගත සූත්‍රය නිමි.)

SN 03-01-01-11. අතීතානාගත සූත්‍රය / කාලත්තයඅනත්තසුත්තං

මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවනලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.“මහණෙනි, අතීත, අනාගත රූපය අනාත්මයි. දැන් පවත්නා රූපය ගැන කියනුම කවරේද? මහණෙනි, මෙසේ දකින්නාවූ ශ්‍රැතවත් ආර්‍ය්‍ය ශ්‍රාවකතෙමේ අතීත වූ රූපයෙහි අපෙක්ෂා රහිත වෙයි. අනාගත රූපය ප්‍රාර්ථනා නොකරයි. දැන් පවත්නා රූපයාගේ කලකිරීම පිණිසද, නොඇලීම පිණිසද, නිරෝධය පිණිසද පිළිපන්නේ වෙයි.“අතීත අනාගතවූ සංඥාව දුකයි. දැන් පවත්නා සංඥාව ගැන කියනුම කවරේද? මහණෙනි, මෙසේ දක්නාවූ, ශ්‍රැතවත් (බොහෝ ඇසූ පිරූ තැන් ඇති) ආර්‍ය්‍ය ශ්‍රාවකතෙමේ අතීත සංඥාවෙහි බලාපොරොත්තු නැත්තේ වෙයි. අනාගත සංඥාව ප්‍රාර්ථනා නොකරන්නේ වෙයි. දැන් පවත්නා සංඥාව පිළිබඳ කලකිරීම පිණිසද, නොඇලීම පිණිසද පිළිපන්නේ වෙයි.“අතීත අනාගතවූ වේදනාව දුකයි. දැන් පවත්නා වේදනාව ගැන කියනුම කවරේද? මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රැතවත් (බොහෝ ඇසූ පිරූතැන් ඇති) ආර්‍ය්‍යශ්‍රාවකතෙමේ අතීත වේදනාවෙහි බලාපොරොත්තු නැත්තේ වෙයි. අනාගත වේදනාව ප්‍රාර්ථනා නොකරන්නේවෙයි දැන් පවත්නා වේදනාව පිළිබඳ කලකිරීම පිණිසද, නොඇලීම පිණිසද, නිරෝධය පිණිසද, පිළිපන්නේ වෙයි“අතීත අනාගතවූ සංස්කාර දුකයි. දැන්පවත්නා සංස්කාරගැන කියනුම කවරේද? මහණෙනි, මෙසේ දක්නාවූ, ශ්‍රැතවත් (බොහෝ ඇසූ පිරූතැන් ඇති) ආර්‍ය්‍ය ශ්‍රාවකතෙමේ අතීත සංස්කාරයෙහි බලාපොරොත්තු නැත්තේ වෙයි. අනාගත සංස්කාර ප්‍රාර්ථනා නොකරන්නේ වෙයි. දැන් පවත්නා සංස්කාර පිළිබඳ කලකිරීම පිණිසද, නොඇලීම පිණිසද නිරෝධය පිණිසද පිළිපන්නේ වෙයි.“අතීත අනාගත විඤ්ඤාණය අනාත්මයි. දැන්පවත්නා විඤ්ඤාණය ගැන කියනුම කවරේද? මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රැතවත් (බොහෝ ඇසූ පිරූ තැන් ඇති) ආර්‍ය්‍ය ශ්‍රාවකතෙම අතීතවූ විඤ්ඤාණයෙහි අපේක්ෂා රහිත වෙයි. අනාගත විඤ්ඤාණය ප්‍රාර්ථනා නොකරයි. දැන් පවත්නා විඤ්ඤාණයාගේ කලකිරීම පිණිසද, නොඇලීම පිණිසද, නිරෝධය පිණිසද පිළිපන්නේවේයයි” වදාළසේක.

(එකොළොස්වෙනි අතීතානාගත සූත්‍රය 3 නිමි.)

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.