SN 03-01-03. භාර වර්ගය

1. භාර සූත්‍රy.

මා විසින් මෙසේ අසන ලදී.
එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එහිදී භාග්‍යවතුන්වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූ සේක. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

“මහණෙනි තොපට බරද, බර ගෙනයන්නාද, බර ඉසිලීමද, බර බහා තැබීමද, දේශනා කරන්නෙමි. එය අසව්. මනාකොට මෙනෙහි කරව්. දේශනා කරන්නෙමි”යි වදාළසේක.
“එසේය, ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ.
(එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

“මහණෙනි, බර නම් කවරේද?
ඊට උපාදානස්කන්ධ පසයයි කියයුතුය.
කවර පසක්ද?
එනම්:- රූප උපාදානස්කන්ධය, වේදනාඋපාදානස්කන්ධය, සඤ්ඤාඋපාදානස්කන්ධය, සංස්කාරඋපාදානස්කන්ධය, විඤ්ඤාණඋපාදානස්කන්ධය යනුයි. මහණෙනි, මේ බරයයි කියනු ලැබේ.

“මහණෙනි, බර ගෙන යන්නා නම් කවරෙක්ද?
ඔහුට පුද්ගලයායයි කිය යුතුය. මෙබඳු නමක් ඇත්තාවූ හෝ මෙබඳු ගොත්‍ර ඇත්තාවූ හෝ යම් ඒ ආයුෂ්මතෙක් වෙයිද, මහණෙනි, මේ තැනැත්තා බර ගෙනයන්නායයි කියනු ලැබේ.

“මහණෙනි, බර ඉසිලීම නම් කවරේද?
නැවත නැවත ඉපදීම ඇති කරන්නාවූ, ඇලීමෙන් යුක්තවූ, ඒ ඒ භවයෙහි ඇලෙන්නාවූ, යම් ඒ තෘෂ්ණාවක් වේද?
එනම්:- කාම තණ්හාවය, භව තණ්හාවය, විභව තණ්හාවය යන මොහුයි. මහණෙනි, මේ බර ඉසිලීමයයි කියනු ලැබේ.

“මහණෙනි, බර බහා තැබීම කවරේද?
ඒ තණ්හාවගේ යම් මුළුමනින්ම නිරුද්ධ කිරීමක්, අත්හැරීමක්, දුරලීමක් මිදීමක්, නොඇල්මක් වේද? මහණෙනි, මේ බර බහාතැබීමයයි කියනු ලැබේ.”

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක. මෙය මෙසේ වදාරා, සුගත නම්වූ ශාස්තෲන් වහන්සේ නැවත මෙසේ වදාළ සේක.

“ලෝකයෙහි බර නම් ඒකාන්තයෙන්ම පඤ්චස්කන්ධයෝය, බර ගෙන යන්නා නම් පුද්ගලයාය. බර ඉසිලීම නම් දුකය. බර බහා තැබීම සැපය නම් වේ.“මහත්වූ බර බහා තබා, අන් බරක් නොගෙන, මුල් සහිතවූ, තෘෂ්ණාව උදුරා, තෘෂ්ණා රහිතවූයේ පිරිනිවියේය.”

(පළමුවෙනි භාර සූත්‍රය නිමි.)

2. පරිඤ්ඤා සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී.
එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එහිදී භාග්‍යවතුන්වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

“මහණෙනි, පිරිසිඳ දැනගත යුතුවූ, ධර්මයන්ද, පිරිසිඳ දැනගැනීමද, දේශනා කරමි. එය අසව්.
මහණෙනි, පිරිසිඳ දැනගත යුතු ධර්මයෝ කවරහුද? මහණෙනි,
රූපය පිරිසිඳ දැනගතයුතු ධර්මයකි.
වේදනාව පිරිසිඳ දැනගත යුතු ධර්මයකි.
සඤ්ඤාව පිරිසිඳ දැනගතයුතු ධර්මයකි.
සංස්කාරයෝ පිරිසිඳ දැනගතයුතු ධර්මයකි.
විඤ්ඤාණය පිරිසිඳ දැනගතයුතු ධර්මයකි.
මහණෙනි, මේ පිරිසිඳ දැනගතයුතු ධර්මයෝයයි කියනු ලැබේ.

“මහණෙනි, පිරිසිඳ දැනගැනීම කවරේද?
මහණෙනි, රාගය ක්ෂය කිරීමද, ද්වේෂය ක්ෂය කිරීමද, මෝහය ක්ෂය කිරීමද, මෙය පිරිසිඳ දැනීමයයි කියනු ලැබේ.”

(දෙවෙනි පරිඤ්ඤා සූත්‍රය නිමි.)

3. අභිජාන සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදී.
එක් කලෙක්හි භාග්‍යවතුන්වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනියි’ කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

“මහණෙනි,
රූපස්කන්ධය බෙදා වෙන්කර ගැනීමට නොදන්නා
අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් නොදන්නාවූ
මාර්ගයෙන් ප්‍රහාණ කිරීම් වශයෙන් නොදන්නාවූ පුද්ගල තෙමේ දුක් කෙළවර කිරීමට නුසුදුස්සෙකි.

“වේදනාස්කන්ධය බෙදා වෙන්කර ගැනීමට නොදන්නාවූ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් නොදන්නාවූ මාර්ගයෙන් ප්‍රහාණ කිරීම් වශයෙන් නොදන්නාවූ පුද්ගල තෙමේ දුක් කෙළවර කිරීමට නුසුදුස්සෙකි.

“සංඥාස්කන්ධය බෙදා වෙන් කර ගැනීමට නොදන්නාවූ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් නොදන්නාවූ, මාර්ගයෙන් ප්‍රහාණ කිරීම් වශයෙන් නොදන්නාවූ පුද්ගලතෙම දුක් කෙළවර කිරීමට නුසුදුස්සෙකි.

“සංස්කාරස්කන්ධය බෙදා වෙන්කර ගැනීමට නොදන්නාවූ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් නොදන්නාවූ මාර්ගයෙන් ප්‍රහාණ කිරීම් වශයෙන් නොදන්නාවූ පුද්ගලතෙමේ දුක් කෙළවර කිරීමට නුසුදුස්සෙකි.

“විඥානස්කන්ධය බෙදා වෙන්කර ගැනීමට නොදන්නාවූ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් නොදන්නාවූ, මාර්ගයෙන් ප්‍රහාණ කිරීම් වශයෙන් නොදන්නාවූ, පුද්ගලතෙමේ දුක් කෙළවර කිරීමට නුසුදුස්සෙකි.

“මහණෙනි, රූපස්කන්ධය බෙදා වෙන්කර ගැනීමට දන්නාවූ, අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දන්නාවූ, මාර්ගයෙන් ප්‍රහාණ කිරීම් වශයෙන් දන්නාවූ, පුද්ගලතෙමේ දුක් කෙළවර කිරීමට සුදුස්සෙක් වන්නේය.

“වේදනාස්කන්ධය බෙදා වෙන්කර ගැනීමට දන්නාවූ, අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දන්නාවූ, මාර්ගයෙන් ප්‍රහාණ කිරීම් වශයෙන් දන්නාවූ, පුද්ගලතෙමේ දුක් කෙළවර කිරීමට සුදුස්සෙක් වන්නේය.

“සංඥාස්කන්ධය බෙදා වෙන්කර ගැනීමට දන්නාවූ, අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දන්නාවූ, මාර්ගයෙන් ප්‍රහාණ කිරීම් වශයෙන් දන්නාවූ, පුද්ගලතෙමේ දුක් කෙළවර කිරීමට සුදුස්සෙක් වන්නේය.

“සංස්කාරස්කන්ධය බෙදා වෙන්කර ගැනීමට දන්නාවූ, අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දන්නාවූ, මාර්ගයෙන් ප්‍රහාණ කිරීම් වශයෙන් දන්නාවූ, පුද්ගලතෙමේ දුක් කෙළවර කිරීමට සුදුස්සෙක් වන්නේය.

“විඥානස්කන්ධය බෙදා වෙන්කර ගැනීමට දන්නාවූ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දන්නාවූ, මාර්ගයෙන් ප්‍රහාණ කිරීම් වශයෙන් දන්නාවූ පුද්ගල තෙමේ දුක් කෙළවර කිරීමට සුදුස්සෙක් වන්නේය.

(තුන්වෙනි අභිජාන සූත්‍රය නිමි.)

4. ඡන්දරාග සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී.
එක් සමයෙක්හි භාග්‍යවතුන්වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූ සේක. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

“මහණෙනි, රූපස්කන්ධයෙහි යම් (ඡන්ද රාගයක්) ආලයක් ඇද්ද, එය දුරු කරව්. එසේ කිරීමෙන් ඒ රූපය පහ කරන ලද්දේ, මුල් සිඳින ලද්දේ, සිඳිනලද තල් ගසක් මෙන් කරන ලද්දේ, නැතිකරන ලද්දේ, නැවත නොඉපදීම ස්වභාවකොට ඇතියක් වන්නේය.

“වේදනාවේ යම් ආලයක් ඇද්ද එය දුරු කරව්. එසේ කිරීමෙන් ඒ වේදනාව පහකරන ලද්දේ, මුල් සිඳින ලද්දේ, සිඳිනලද තල්ගසක් මෙන් කරන ලද්දේ නැතිකරන ලද්දේ, නැවත නොඉපදීම ස්වභාවකොට ඇතියක් වන්නේය.

“සංඥාවේ යම් ආලයක් ඇද්ද එය දුරු කරව්. එසේ කිරීමෙන් ඒ සංඥාව පහකරනලද්දේ, මුල් සිඳිනලද්දේ, සිඳින ලද තල් ගසක් මෙන් කරන ලද්දේ, නැති කරන ලද්දේ, නැවත නොඉපදීම ස්වභාව කොට ඇතියක් වන්නේය.

“සංස්කාරයන්හි යම් ඇලීමක් වේද, එය දුරු කරව්. එසේ කිරීමෙන් සංස්කාරයෝ පහ කරන ලද්දාහු. මුල් සිඳින ලද්දාහු. සිඳින ලද තල්ගසක් මෙන් කරණ ලද්දාහු. නැතිකරන ලද්දාහු, නැවත නොඉපදීම ස්වභාවකොට ඇත්තාහු වන්නාහුය.

“විඤ්ඤාණයාගේ යම් ආලයක් ඇද්ද, එය දුරු කරව්. එසේ කිරීමෙන් විඤ්ඤාණය පහකරන ලද්දේ, මුල් සිඳින ලද්දේ, සිඳිනලද තල්ගසක් මෙන් කරන ලද්දේ, නැතිකරන ලද්දේ, නැවත නොඉපදීම ස්වභාවකොට ඇතියක් වන්නේය.”

(හතරවෙනි ඡන්දරාග සූත්‍රය නිමි.)

05 අස්සාද සුත්‍රය

§ 1 මා විසින් මෙසේ අසනලදී.
එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’ යි කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ.

§ 2. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
“මහණෙනි, අශ්‍රැතවත් පුථුජ්ජනයා රූපයේ ආශ්වාදයද (රසවිඳීම), ආදීනවයද (දෝෂයද), නිස්සරණයද තත්වූ පරිදි නොදනියි,
වින්දනයේ ආශ්වාදයද, ආදීනවයද, නිස්සරණයද, තත්වූ පරිදි නොදනියි.
“සංඥාවගේ ආශ්වාදයද, ආදීනවයද, නිස්සරණයද තත්වූ පරිදි නොදනියි.
සංස්කාරයන්ගේ ආශ්වාදයද, ආදීනවයද, නිස්සරණයද තත්වූ පරිදි නොදනියි.
විඥානයාගේ ආශ්වාදයද, ආදීනවයද, නිස්සරණයද තත්වූ පරිදි නොදනියි.

“මහණෙනි,
ශ්‍රැතවත් ආර්යශ්‍රාවක රූපයාගේ ආශ්වාදයද, ආදීනවයද, නිස්සරණයද තත්වූපරිදි දනියි.
වේදනාවගේ ආශ්වාදයද, ආදීනවයද, නිස්සරණයද, තත්වූ පරිදි දනියි.
සංඥාවගේ ආශ්වාදයද, ආදීනවයද, නිස්සරණයද තත්වූ පරිදි දනියි
සංස්කාරයන්ගේ ආශ්වාදයද, ආදීනවයද, නිස්සරණයද තත්වූ පරිදි දනියි.
විඤ්ඤාණයාගේ ආශ්වාදයද, ආදීනවයද, නිස්සරණයද තත්වූ පරිදි දනියි”
වදාළේය.

(පළමුවෙනි අස්සාද සූත්‍රය නිමි.)

6. අස්සාද සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී.
එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූ සේක. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

“මහණෙනි, මම රූපයේ ආශ්වාදය සොයමින් හැසුරුනෙමි. රූපයේ යම් ආශ්වාදයක් වේනම් ඊට පැමිණියෙමි. යම්තාක් රූපයාගේ ආශ්වාදයක්වේද, මා විසින් එය නුවණින් මනාකොට දක්නා ලදී.
“මහණෙනි, මම රූපයේ ආදීනව සොයමින් හැසුරුණෙමි රූපයේ යම් ආදීනවයක් වේද, ඊට පැමිණියෙමි. රූපයාගේ යම්තාක් ආදීනව වෙයිද, මා විසින් එය නුවණින් මනා කොට දක්නා ලදී.
“මහණෙනි, මම රූපයේ නිස්සරණය සොයමින් හැසුරුණෙමි. රූපයේ යම් නිස්සරණයක් වේද, එයට පැමිණියෙමි. රූපයාගේ නිස්සරණය යම්තාක්ද, මා විසින් එය නුවණින් මනාකොට දක්නා ලදී.

“මහණෙනි, මම වේදනාවේ ආශ්වාදය සොයමින් හැසුරුණෙමි. වේදනාවේ යම් ආශ්වාදයක් වේද එයට පැමිණියෙමි. වේදනාවේ ආශ්වාදය යම්තාක්ද මා විසින් නුවණින් එය මනාකොට දක්නාලදී.
“මහණෙනි, මම වේදනාවේ ආදීනවය සොයමින් හැසුරුණෙමි. වේදනාවේ යම් දෝෂයක් වේද, එයට පැමිණියෙමි. වේදනාවේ ආදීනවය යම්තාක්ද, මා විසින් එය නුවණින් මනාකොට දක්නා ලදී.
“මහණෙනි, මම වේදනාවේ නිස්සරණය සොයමින් හැසුරුණෙමි. වේදනාවේ යම් නිස්සරණයක් වේද, එයට පැමිණියෙමි. වේදනාවේ නිස්සරණය යම්තාක්ද, මා විසින් එය නුවණින් මනාකොට දක්නා ලදී.

“මහණෙනි, මම සඤ්ඤාවෙහි ආශ්වාදය සොයමින් හැසුරුණෙමි. සංඥාවෙහි යම් ආශ්වාදයක් වේද, එයට පැමිණියෙමි. සංඥාවෙහි ආශ්වාදය යම්තාක්ද, මා විසින් එය නුවණින් මනාකොට දක්නා ලදී.
“මහණෙනි, මම සංඥාවේ ආදීනව සොයමින් හැසුරුනෙමි. සංඥාවේ යම් ආදීනවයක් වේද, එයට පැමිණියෙමි. සංඥාවේ ආදීනවය යම්තාක්ද, මා විසින් එය මනාකොට දක්නා ලදී.
“මහණෙනි, මම සංඥාවේ නිස්සරණය සොයමින් හැසුරුණෙමි. සංඥාවේ යම් නිස්සරණයක් වේද, එයට පැමිණියෙමි. සංඥාවේ නිස්සරණය යම් තාක්ද, මා විසින් එය නුවණින් මනාකොට දක්නා ලදී.

“මහණෙනි, මම සංස්කාරයන්ගේ ආශ්වාදය සොයමින් හැසුරුණෙමි.
සංස්කාරයන්ගේ යම් ආශ්වාදයක් වේද, එයට පැමිණියෙමි.
සංස්කාරයන්ගේ ආශ්වාදය යම්තාක්ද, මා විසින් එය නුවණින් මනාකොට දක්නාලදී
.“මහණෙනි, මම සංස්කාරයන්ගේ ආදීනව සොයමින් හැසුරුණෙමි. සංස්කාරයන්ගේ යම් ආදීනවයක් වේද, එයට පැමිණියෙමි. සංස්කාරයන්ගේ ආදීනවය යම්තාක්ද, මා විසින් එය නුවණින් මනාකොට දක්නා ලදී.
“මහණෙනි, මම සංස්කාරයන්ගේ නිස්සරණය සොයමින් හැසුරුණෙමි. සංස්කාරයන්ගේ යම් නිස්සරණයක් වේද, එයට පැමිණියෙමි. සංස්කාරයන්ගේ නිස්සරණය යම්තාක්ද මා විසින් එය නුවණින් මනාකොට දක්නා ලදී.

“මහණෙනි, මම විඤ්ඤාණයේ ආශ්වාදය සොයමින් හැසුරුණෙමි.
විඤ්ඤාණයේ යම් ආශ්වාදයක් වේද, එයට පැමිණියෙමි. විඤ්ඤාණයේ ආශ්වාදය යම්තාක්ද, මා විසින් එය නුවණින් මනාකොට දක්නා ලදී.
“මහණෙනි, මම විඤ්ඤාණයේ ආදීනව සොයමින් හැසුරුණෙමි. විඤ්ඤාණයේ යම් ආදීනවයක් වේද, එයට පැමිණියෙමි. විඤ්ඤාණයේ ආදීනව යම්තාක්ද, මා විසින් එය නුවණින් මනාකොට දක්නා ලදී.
“මහණෙනි, මම විඤ්ඤාණයේ නිස්සරණය සොයමින් හැසුරුණෙමි. විඤ්ඤාණයේ යම් නිස්සරණයක් වේද, එයට පැමිණියෙමි. විඤ්ඤාණයේ නිස්සරණය යම්තාක්ද, මා විසින් එය නුවණින් මනාකොට දක්නා ලදී.

“මහණෙනි, මම යම් කලෙක මේ පඤ්ච උපාදානස්කන්ධයන්ගේ ආශ්වාදය ආශ්වාදය වශයෙන්ද, ආදීනවය ආදීනවය වශයෙන්ද, නිස්සරණය නිස්සරණය වශයෙන්ද, තත්වාකාරයෙන් අවබෝධ නොකෙළෙම්ද, මහණෙනි, මම ඒතාක් දෙවියන් සහිත, මරුන් සහිත, බඹුන් සහිත සත්ව ලෝකයෙහිද, මහණ බමුණන් සහිත දෙවි මිනිසුන් සහිත ප්‍රජාව අතරෙහිද, උතුම්වූ සම්‍යක් සම්බොධිය අවබෝධ කෙළෙම්යයි ප්‍රතිඥා නොකෙළෙමි.
“මහණෙනි, මම යම් කලෙක පඤ්ච උපාදානස්කන්ධයන්ගේ ආශ්වාදය ආශ්වාදය වශයෙන්ද, ආදීනව ආදීනව වශයෙන්ද නිස්සරණය නිස්සරණය වශයෙන්ද, තත්වාකාරයෙන් අවබෝධ කළෙම්ද, එකල්හි මම දෙවියන් සහිත, මරුන් සහිත, බඹුන් සහිත සත්ව ලෝකයෙහිද, මහණ, බමුණන් සහිත, දෙවි මිනිසුන් සහිත ප්‍රජාව අතරෙහිද උතුම්වූ සම්‍යක් සම්බොධිය අවබෝධ කෙළෙම්යයි ප්‍රතිඥා කළෙමි. මගේ අර්හත් ඵල විමුක්තිය ස්ථිරය. මේ අන්තිම ජාතියයි. නැවත ඉපදීමක් නැත යන ඥාන දර්ශනය මට පහළ විය.”

(හයවෙනි අස්සාද සූත්‍රය නිමි.)

7. අස්සාද සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදී.
එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවනලද, ජේතවනාරාමයෙහි වාසය කරනසේක. එහිදී, භාග්‍යවතුන්වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

“මහණෙනි, ඉදින් රූපස්කන්ධයේ ආශ්වාදයක් නො වන්නේනම් සත්වයෝ රූපස්කන්ධයෙහි නො ඇලෙන්නාහුය. යම්හෙයකින් රූපස්කන්ධයේ ආශ්වාදය ඇද්ද? එහෙයින් සත්වයෝ රූපස්කන්ධයෙහි ඇලෙත්.
“මහණෙනි, ඉදින් රූපස්කන්ධයේ ආදීනව නොවන්නේ නම් සත්වයෝ රූපයෙහි නොකළකිරෙන්නාහුය. යම්සේ රූපස්කන්ධයේ ආදීනව ඇද්ද? එහෙයින් සත්වයෝ රූපස්කන්ධයෙහි කළකිරෙත්.
“මහණෙනි, ඉදින් රූපස්කන්ධයේ නිස්සරණයක් නො වන්නේ නම් සත්වයෝ රූපස්කන්ධයෙන් නොනික් මෙන්නාහුය. යම් හෙයකින් රූපස්කන්ධයේ නිස්සරණයක් ඇද්ද? එහෙයින් සත්වයෝ රූපස්කන්ධයෙන් නිදහස් වෙති.

“මහණෙනි, ඉදින් වේදනාවේ ආශ්වාදයක් නොවන්නේ නම් සත්වයෝ වේදනාවෙහි නො ඇලෙන්නාහුය.
යම් හෙයකින් වේදනාවේ ආශ්වාදයක් ඇද්ද? එහෙයින් සත්වයෝ වේදනාවෙහි ඇලෙත්.
“මහණෙනි, ඉදින් වේදනාවේ ආදීනවයක් නොවන්නේ නම් සත්වයෝ වේදනාවෙහි නොකල කිරෙන්නාහුය. යම් හෙයකින් වේදනාවේ ආදීනවයක් ඇද්ද? එහෙයින් සත්වයෝ වේදනාවෙහි කළකිරෙත්.
“මහණෙනි, ඉදින් වේදනාවේ නිස්සරණයක් නොවන්නේ නම් සත්වයෝ වේදනාවෙන් නොනික්මෙන්නාහුය. යම් හෙයකින් වේදනාවේ නිස්සරණයක් ඇද්ද? එහෙයින් සත්වයෝ වේදනාවෙන් නික්මෙන්නාහුය.

‘මහණෙනි, ඉදින් සඤ්ඤාවෙහි ආශ්වාදයක් නොවන්නේ නම් සත්වයෝ සංඥාවෙහි නො ඇලෙන්නාහුය.
යම් හෙයකින් සංඥාවේ ආශ්වාදයක් ඇද්ද? එහෙයින් සත්වයන් සංස්කාරයන්හි ඇලෙත්.
“මහණෙනි, ඉදින් සංඥාවේ ආදීනවයක් නොවන්නේ නම් සත්වයෝ සංඥාවෙහි නොකළකිරෙන්නාහුය.
යම් හෙයකින් සංඥාවෙහි ආදීනවයක් ඇද්ද? එහෙයින් සත්වයෝ සංඥාවෙහි කලකිරෙත්.

“මහණෙනි, ඉදින් සංඥාවෙහි නිස්සරණයක් නොවන්නේ නම් සත්වයෝ සංඥාවෙන් නොනික්මෙන්නාහුය.
යම් හෙයකින් සංඥාවේ නිස්සරණයක් ඇද්ද? එහෙයින් සත්වයෝ සංඥාවෙන් නික්මෙන්නාහුය.
“මහණෙනි, ඉදින් සංස්කාරයන්ගේ ආශ්වාදයක් නොවන්නේ නම් සත්වයෝ සංස්කාරයන්හි නො ඇලෙන්නාහුය. යම්හෙයකින් සංස්කාරයන්ගේ ආශ්වාදයක් ඇද්ද? එහෙයින් සත්වයෝ සංස්කාරයන්හි ඇලෙත්.

“මහණෙනි, ඉදින් සංස්කාරයන්ගේ ආදීනවයක් නො වන්නේ නම් සත්වයෝ සංස්කාරයෙහි නොකළකිරෙන්නාහුය. යම්හෙයකින් සංස්කාරයන්ගේ ආදීනවයක් ඇද්ද? එහෙයින් සත්වයෝ සංස්කාරයන් කෙරෙහි කළකිරෙත්.
“මහණෙනි, ඉදින් සංස්කාරයන්ගේ නිස්සරණයක් නො වන්නේ නම් සත්වයෝ සංස්කාරයන් කෙරෙන් නොනික්මෙන්නාහුය. යම්සේ සංස්කාරයන්ගේ නිස්සරණයක් ඇද්ද? එහෙයින් සත්වයෝ සංස්කාරයන් කෙරෙන් නික්මෙන්නාහුය.

“මහණෙනි, ඉදින් විඤ්ඤාණයේ ආශ්වාදයක් නො වන්නේ නම් සත්වයෝ විඤ්ඤාණයෙහි නො ඇලෙන්නාහුය. යම්හෙයකින් විඤ්ඤාණයාගේ ආශ්වාදයක් ඇද්ද? එහෙයින් සත්වයෝ විඤ්ඤාණයෙහි ඇලෙත්.
“මහණෙනි, ඉදින් විඤ්ඤාණයේ ආදීනවයක් නොවන්නේ නම් සත්වයෝ විඤ්ඤාණයෙහි නොකළකිරෙන්නාහුය. යම්හෙයකින් විඤ්ඤාණයේ ආදීනවයක් ඇද්ද එහෙයින් සත්වයෝ විඤ්ඤාණයෙහි කළකිරෙත්.
“මහණෙනි, ඉදින් විඤ්ඤාණයේ නිස්සරණයක් නො වන්නේ නම් සත්වයෝ විඤ්ඤාණය කෙරෙන් නොනික්මෙන්නාහුය. යම්හෙයකින් විඤ්ඤාණයේ නිස්සරණයක් ඇද්ද? එහෙයින් සත්වයෝ විඤ්ඤාණය කෙරෙන් නික්මෙන්නාහුය.
“මහණෙනි, සත්වයෝ යම්තාක් කල් මේ පඤ්ච උපාදාන ස්කන්ධයන්ගේ ආශ්වාදය ආශ්වාදය වශයෙන්ද, ආදීනවය ආදීනවය වශයෙන්ද, නිස්සරණය නිස්සරණය වශයෙන්ද, තත්වාකාරයෙන් නොදක්නාහුද?

‘මහණෙනි, සත්වයෝ ඒතාක්කල් දෙවියන් සහිත, මරුන් සහිත, බඹුන් සහිත, සත්ව ලෝකයෙන්ද, මහණ බමුණන් සහිත, දෙවි මිනිසුන් සහිත ප්‍රජාව කෙරෙන්ද, බැහැරව නොයෙදී මිදී සීමාව ඉක්මවූ සිත් ඇතිව වාසය නොකරන්නාහුය.
“මහණෙනි, යම්කලෙක සත්වයෝ මේ පඤ්ච උපාදාන ස්කන්ධයන්ගේ ආශ්වාදය ආශ්වාදය වශයෙන්ද, ආදීනවය ආදීනවය වශයෙන්ද, නිස්සරණය නිස්සරණය වශයෙන්ද තත්වාකාරයෙන් අවබෝධ කළාහු වෙත්ද,‘මහණෙනි, එකල්හි සත්වයෝ දෙවියන් සහිත, මරුන් සහිත, බඹුන් සහිත, සත්ව ලෝකයෙන්ද, මහණ බමුණන් සහිත, දෙවි මිනිසුන් සහිත ප්‍රජාව කෙරෙන්ද, බැහැරව නොයෙදී මිදී සීමාව ඉක්මවූ සිත් ඇත්තන්ව වාසය කරන්නාහුය.

(හත්වෙනි අස්සාද සූත්‍රය නිමි.)

8. අභිනන්දන සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී.
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවනලද, ජේතවනාරාමයෙහි වාසය කරනසේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.

“මහණෙනි, යමෙක් රූපස්කන්ධයෙහි ඇලෙයි නම් හෙතෙම දුකෙහි ඇලෙන්නේය. යමෙක් දුකෙහි ඇලෙයි නම් ඔහු දුකින් නොමිදුනේයයි කියමි. යමෙක් වේදනාවෙහි ඇලෙයිද හෙතෙම දුකෙහි ඇලෙයි. යමෙක් දුකෙහි ඇලෙයි නම් ඔහු දුකින් නොමිදුනේයයි කියමි. යමෙක් සංඥාවෙහි ඇලෙයි නම් හෙතෙම දුකෙහි ඇලෙයි යමෙක් දුකෙහි ඇලෙයි නම් හෙතෙම දුකින් නොමිදුනේයයි කියමි. යමෙක් සංස්කාරයන්හි ඇලෙයි නම්, හෙතෙම දුකෙහි ඇලෙයි. යමෙක් දුකෙහි ඇලෙයි නම් ඔහු දුකින් නොමිදුනේයයි කියමි. යමෙක් විඤ්ඤාණයෙහි ඇලෙයි නම් හෙතෙම දුකෙහි ඇලෙයි. යමෙක් දුකෙහි ඇලෙයි නම් ඔහු දුකින් නොමිදුනේයයි කියමි.

“මහණෙනි, යමෙක් රූපයෙහි නොඇලෙයි නම්, හෙතෙම දුකෙහි නොඇලෙයි. යමෙක් දුකෙහි නොඇලෙයි නම් ඔහු දුකින් මිදුනේයයි කියමි. යමෙක් වේදනාවෙහි නොඇලෙයි නම් හෙතෙම දුකෙහි නොඇලෙයි. යමෙක් දුකෙහි නොඇලෙයි නම් ඔහු දුකින් මිදුනේයයි කියමි. යමෙක් සංඥාවෙහි නොඇලෙයි නම් හෙතෙම දුකෙහි නොඇලෙයි. යමෙක් දුකෙහි නොඇලෙයි නම් හෙතෙම දුකින් මිදුනේයයි කියමි. යමෙක් සංස්කාරයන්හි නොඇලෙයි නම් හෙතෙම දුකෙහි නොඇලෙයි. යමෙක් දුකෙහි නොඇලෙයි නම් ඔහු දුකින් මිදුනේයයි කියමි. යමෙක් විඤ්ඤාණයෙහි නොඇලෙයි නම් හෙතෙම දුකෙහි නොඇලෙයි යමෙක් දුකෙහි නොඇලෙයි නම් ඔහු දුකින් මිදුනේයයි කියමි, යනුයි.”

(අටවෙනි අභිනන්දන සූත්‍රය නිමි.)

9. උප්පාද සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී.
එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එහිදී, භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.

“මහණෙනි, රූපයේ ඉපදීම පැවැත්ම හටගැන්ම පහළවීම යමක්ද, එය දුකේ ඉපදීමය. රෝගයන්ගේ පැවැත්මය. ජරා මරණයේ පහළවීමය.
වේදනාවේ ඉපදීම, පැවැත්ම, හටගැන්ම, පහළවීම යමක්ද, එය දුකේ ඉපදීමය. රෝගයන්ගේ පැවැත්මය. ජරා මරණයේ පහළවීමය.
සංඥාවේ ඉපදීම, පැවැත්ම, හටගැන්ම සහ පහළවීම යමක්ද, එය දුකේ ඉපදීමය. රෝගයන්ගේ පැවැත්මය. ජරා මරණයේ පහළවීමය.
සංස්කාරයන්ගේ ඉපදීම, පැවැත්ම, හටගැන්ම, පහළවීම යමක්ද, එය දුකේ ඉපදීමය, රෝගයන්ගේ පැවැත්මය. ජරා මරණයේ පහළවීමය.
විඤ්ඤාණයේ ඉපදීම, පැවැත්ම, හටගැන්ම, පහළවීම යමක්ද, එය දුකේ ඉපදීමය. රෝගයන්ගේ පැවැත්මය. ජරා මරණයේ පහළවීමය.

“මහණෙනි, රූපයේ නිරෝධය, සංසිඳීම, විනාශය, යමක්ද, එය දුකේ නිරෝධය, රෝගයන්ගේ සංසිඳීමය, ජරා මරණයේ විනාශය වෙයි.

“වේදනාවේ නිරෝධය, සංසිඳීම, විනාශය යමක්ද, එය දුකේ නිරෝධය, රෝගයන්ගේ සංසිඳීමය සහ ජරා මරණයේ විනාශය වෙයි.

“සංඥාවේ නිරෝධය, සංසිඳීම, විනාශය යමක්ද, එය දුකේ නිරෝධය, රෝගයන්ගේ සංසිඳීමය සහ ජරා මරණයේ විනාශය වෙයි.

“සංස්කාරයන්ගේ නිරෝධය, සංසිඳීම, විනාශය යමක්ද, එය දුකේ නිරෝධය, රෝගයන්ගේ සංසිඳීමය සහ ජරා මරණයේ විනාශය වෙයි.

“විඤ්ඤාණයේ නිරෝධය, සංසිඳීම, විනාශය යමක්ද, එය දුක්ඛයාගේ නිරෝධය, රෝගයන්ගේ සංසිඳීම, ජරා මරණයන්ගේ විනාශය වන්නේය.

(නවවෙනි උප්පාද සූත්‍රය නිමි.)

10. අඝමූල සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී.
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවනලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.

“මහණෙනි, තොපට දුකද, දුකට මුලද දේශනා කරන්නෙමි. එය අසව්.
මහණෙනි, දුක කවරේද? මහණෙනි, රූපය දුකකි. වේදනාව දුකකි. සංඥාව දුකකි. සංස්කාර දුකකි. විඤ්ඤාණය දුකකි. මහණෙනි, මේ දුකයයි කියනු ලැබේ.

“මහණෙනි, දුකට මුල කවරේද? යම් ඒ නැවත නැවත ඉපදීම ඇති කරන්නාවූ, නන්දිරාගය සහිතවූ ඒ ඒ භවයෙහි ඇලෙන්නාවූ යම් ඒ තෘෂ්ණාවක් වේද, එනම්:- කාම තණ්හාවය, භව තණ්හාවය, විභව තණ්හාවය යන මොහුයි. මහණෙනි, මේ දුකට මුලයි.

(දසවෙනි අඝමූල සූත්‍රය නිමි.)

11. පභඩ්ගු සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී.
එක් කලෙක භාග්‍යවතුන්වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී, භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.

“මහණෙනි, තොපට බිඳෙන ස්වභාවය ඇති ධර්මයද, නොබිඳෙන ස්වභාවය ඇති ධර්මයද, දේශනා කරන්නෙමි. එය අසව්.

බිඳෙන ස්වභාවය ඇති ධර්මය කුමක්ද? නොබිඳෙන ස්වභාවය ඇති ධර්මය කුමක්ද?

“මහණෙනි, රූපය බිඳෙන ස්වභාවය ඇත්තේය. ඒ රූපයාගේ යම් නිරෝධයක්, විනාශයක්, සංසිඳීමක් ඇත්තේද? එය නොබිඳෙන ස්වභාවය ඇත්තේය.

“වේදනාව බිඳෙන ස්වභාවය ඇත්තේය. වේදනාවේ යම් නිරෝධයක්, සංසිඳීමක්, විනාශයක් වේද, ඒ නොබිඳෙන ස්වභාවය ඇත්තේය.

“සංඥාව බිඳෙන ස්වභාවය ඇත්තේය. සංඥාවේ යම් නිරෝධයක්, සංසිඳීමක්, විනාශයක් වේද, ඒ නොබිඳෙන ස්වභාව ඇත්තේය.

‘සංස්කාරයෝ බිඳෙන ස්වභාවය ඇත්තාහුය. සංස්කාරයන්ගේ යම් නිරෝධයක්, සංසිඳීමක්, විනාශයක් වේද, ඒ නොබිඳෙන ස්වභාව ඇත්තේය.

“විඤ්ඤාණය බිඳෙන ස්වභාවය ඇත්තේය. විඤ්ඤාණයේ යම් නිරෝධයක්, සංසිඳීමක්, විනාශවීමක් වේද, ඒ නොබිඳෙන ස්වභාව ඇත්තේය.(එකොළොස්වෙනි පභංගු සූත්‍රය.)

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.