MN 03-05-07. මහා සළායතන සූත්‍රය

§ 1. මා විසින් මෙසේ අසන ලදී.
එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ ජේතවන නම් අනේපිඬු මහ සිටුහුගේ ආරාමයෙහි වැඩවාසය කරණසේක. එකල්හි වරක් භාග්‍යවතුන්වහන්සේ “මහණෙනි” කියා භික්ෂූන්ට ආමන්ත්‍රණය කළසේක. “ස්වාමීනි”යි ඒ භික්ෂූහු භාග්‍යවතුන්වහන්සේට උත්තර දුන්හ.

§ 2 .භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළේය.
“මහණෙනි, මම තොපට සියළු ෂඩායතනයන් විස්තර කරන්නාවූ ධර්ම කොට්ඨාශයක් දේශනා කරන්නෙමි. එය අසව්. හොඳින් මෙනෙහි කරව්. කියන්නෙමි” වදාළේය. “එසේය ස්වාමීනි” යයි ඒ භික්ෂුහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන්වහන්සේ මෙසේ වදාළහ.

§ 3. “මහණෙනි,
චක්ඛායතනය තත්වූපරිද්දෙන් නොදන්නේ වේද, නොදක්නේවේද,
රූපායතනයන් තත්වූපරිද්දෙන් නොදන්නේ වේද, නොදක්නේවේද,
චක්ඛු විඤ්ඤාණය තත්වූ පරිද්දෙන් නොදන්නේ වේද, නොදක්නේවේද,
චක්ඛු සම්ඵස්සය තත්වූ පරිද්දෙන් නොදන්නේ වේද, නොදක්නේවේද,
මේ චක්ඛු සම්ඵස්සය හේතුකොටගෙණ සැපවූ හෝ දුක්වූ හෝ සැප නොවූ දුක් නොවූ හෝ විඳීමක් උපදීද,

[තත් වූ පරිද්දෙන් දැකීම යන්න පළමුව අවබෝධ කල යුතුය. අපේ ආයතන සයද ඒවායේ ආරම්මනයන්ද සත්‍යාකාරයෙන් දකින්නට විදර්ශනාවක් අවශ්‍ය වේ]

එම වින්දය (වේදනාව) එසේ වූ චක්කු සම්පස්සය නිසා ඇති වූ බවක් තත්වූපරිද්දෙන් නොදන්නේ වේද, නොදක්නේ වේද,
ඔහු ඇස නිසා (චක්කු ආයතනය නිසා ) කාමයෙන් දැවෙන්නෙකු වෙයි.
බාහිර වූ රූපායතනය නිසා කාමයෙන් දැවෙන්නෙකු වෙයි , ඒ නිසා උපන්
චක්ඛු විඤ්ඤාණය නිසා කාමයෙන් දැවෙන්නෙකු වෙයි ,
එම චක්ඛු සම්ඵස්සය නිසා කාමයෙන් දැවෙන්නෙකු වෙයි , ඒ සම්පස්සය නිසා උපන් වින්දනය නිසා කාමයෙන් දැවෙන්නෙකු වෙයි ,

මේ චක්ඛුසම්ඵස්සය හේතුකොටගෙණ සැපවූ හෝ දුක්වූ හෝ සැප නොවූ දුක් නොවූ හෝ වේදනාවක් උපදී. ඔහු එසේ වූ වින්දනයේ ආශ්වාදය නිසා ඒ උපාදානය කරන්නේය. එහි ඇලෙන්නේය, එහි ඇළුනාවූ එයින් යුක්තවූ එයින් මුළාවූ ආශ්වාද වශයෙන් දකිමින් වාසය කරන්නාවූ ඔහුගේ කායික සහ මානසික සංසිඳීම නැතිව යයි. හේ කායික මෙන්ම මානසිකවද පෙලනු ලබයි. ඔහුගේ කායික දාහයෝද වැඩෙන්නාහුය. මානසික දාහයෝද වැඩෙන්නාහුය. කායික සන්තාපයෝද වැඩෙන්නාහුය.

මත්තෙහි ඔහු තුල වූ පඤ්චූපාදානස්කන්ධයෝ වැඩීමට පැමිණෙත්. ඔහුගේ දෙවෙනි භවයක් ඇතිකරන්නාවූ ඒ ඒ භවයෙහි ඇලෙන්නාවූ නන්දිරාගය සමග පවත්නාවූ තෘෂ්ණාවද වැඩෙන්නීය.

§ 4-“මහණෙනි, ඔහු සෝතායතනය තත්වූපරිද්දෙන් නොදන්නේ නොදක්නේද,……………………………(3 වන චේදය ලෙසම)
§ 5-“මහණෙනි,ඝාණායතනය තත්වූපරිද්දෙන් නොදන්නේ දක්නේද,…..
§ 6 – ජිහ්වායතනය තත්වූපරිද්දෙන් නොදන්නේ නොදක්නේද,
§ 7 . කායායතනය තත්වූපරිද්දෙන් නොදන්නේ නොදක්නේද,
§ 8 .මනායතනය තත්වූපරිද්දෙන් නොදන්නේ නොදක්නේද,
§ 9. යමෙක් සිය විදසුන් වැඩීම හා ප්‍රතිපදාව තුලින් චක්කු ආයතනයද, රූපයද චක්කු විඥානයද, චක්කු සම්පස්සය ද, රූප වින්දනය ද තත්වූ පරිද්දෙන් දකින්නේද දන්නේද, හෙතෙමේ මෙසේ සඳහන් කල කිසිදු හේතුවක් නිසා ඇස හා රූපය උපාදාන කර නොගනී.

මෙසේ ආසාවෙන් කැමැත්තෙන් නොබැඳෙන ඔහු උපාදාන කර නොගත් ඔහු මේ රූපාරම්මනයන් ගෙනෙන්නාවූ අන්තරාය දකියි. එසේ ඒ ආරම්මණ රූප වේවා, ශබ්ද වේවා, ඝන්ධ වේවා, රස වේවා, ස්පර්ශ වේවා , සිතුවිලි වේවා ඒ ආරම්මණ නිසා වන අනතුර මෙනෙහි කරන්නාවූ ඔහු ඒ අරමුණු හා ඇති උපාදානය තුනී කර ගන්නේ වෙයි. මතු භාවයක් ඇති කර දෙන්නාවූ අරමුණු කෙරෙහි පැහැදීම ආසාවෙන් බැඳීම ඔහු තුලින් දුරු වෙයි. කායික හා මානසික ආතතීන් ලඝු වන්නේ වෙයි ඔහු කායික හා මානසික සුවයට පැමිණෙන්නේ වෙයි.

§10 මෙම තත්වයට පත් ශ්‍රාවකයා සම්මා දිට්ඨිය ඇත්තෙක් යැයි කියනු ලැබේ. ඔහු සම්මා වායාම ඇත්තෙක් වේ. සම්මා සතියෙන් හා සම්මා සමාධියෙන් යුක්ත වන්නේ වෙයි. ඔහුගේ කායික ක්‍රියා වාචසික ක්‍රියා සා ආජීවය මෙයට කලින්ම මනාසේ පාරිශුද්ධ බවට පැමිණියේ වේ.
[ මජ්ජිම නිකාය ටීකාවෙහි මෙම ශ්‍රාවකයා විදර්ශනා භාවනාවෙහි යෙදී බොහෝ සේ සිත් වැඩු ලෞකිකත්වයෙන් බොහෝ සේ මිදුණු උතුමෙක් බව කියැවේ. ඔහු සිය ප්‍රතිපදාවෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අවසන් පියවර තුන පුරා ලෝකෝත්තර තත්වයට සිය ප්‍රඥාව නංවා ගන්නේ වෙයි.. ලෝකෝත්තර තත්වයට සිත නංවද්දී සියලු පියවර අටම එක වරම සපිරේ.]

§ 11 . මෙසේ මේ ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගය වඩන්නාවූ ඔහුට සතර සතිපට්ඨානයෝද වැඩීමට සම්පූර්ණ බවට යන්නාහුය.
සතර සම්‍යක් ප්‍රධානයෝද වැඩීමට සම්පූර්ණ බවට යන්නාහුය.
සතර ඍද්ධිපාදයෝද වැඩීමට සම්පූර්ණ බවට යන්නාහුය.
පඤ්චෙන්ද්‍රිය ධර්මයෝද වැඩීමට සම්පූර්ණ බවට යන්නාහුය.
පඤ්ච බලයෝද වැඩීමට සම්පූර්ණ බවට යන්නාහ.
සප්තබොධ්‍යංගයෝද වැඩීමට සම්පූර්ණ බවට යන්නාහ.
ඕහට සමථයද විදර්ශනාවද යන මේ ධර්මදෙක යුගන්ධවූවාහු (එක්ව) පවතිත්.

§ 12 . ‘හෙතෙමේ යම් ධර්මකෙනෙක් විශිෂ්ටඥානයෙන් පිරිසිඳ දතයුත්තාහුද, ඒ ධර්මයන් විශේෂඥානයෙන් පිරිසිඳ දන්නේය. යම් ධර්ම කෙනෙක් විශිෂ්ටඥානයෙන් දැන පහ කළ යුත්තාහුද, ඒ ධර්මයන් විශිෂ්ටඥානයෙන් දැන දුරුකරන්නේය. යම් ධර්ම කෙනෙක් විශේෂඥානයෙන් දැන වැඩිය යුත්තාහුද, ඒ ධර්මයන් විශේෂ ඥානයෙන් දැන වඩන්නේය. යම් ධර්මකෙනෙක් විශේෂඥානයෙන් දැන ප්‍රත්‍යක්ෂකළ යුත්තාහුද, ඒ ධර්මයන් විශේෂඥානයෙන් දැන ප්‍රත්‍යක්ෂ කරන්නේය.

§ 13 . “මහණෙනි, කිනම් ධර්මකෙනෙක් විශේෂප්‍රඥාවෙන් පිරිසිඳ දතයුත්තාහුද, පඤ්ච උපාදානස්කන්ධයෝයයි කිය යුත්තේය. හේ කවරේද? රූපූපාදානස්කන්ධය, වේදනානූපාදානස්කන්ධය සංඥොපාදානස්කන්ධය, සංස්කාරෝපා දානස්කන්ධය, විඥානොපාදානස්කන්ධය, (යන මොහුයි) මේ ධර්මයෝ විශේෂ ඥානයෙන් පිරිසිඳ දතයුත්තාහුය.

මහණෙනි, කිනම් ධර්ම කොටසක් විශේෂඥානයෙන් ප්‍රහීණ කළයුත්තාහුද, අවිද්‍යාවද, භවතෘෂ්ණාවද, යන දෙකය. මේ ධර්මයෝ විශේෂඥානයෙන් ප්‍රහීණ කටයුත්තාහ.

මහණෙනි, කිනම් ධර්ම කොටසක් විශේෂ ඥානයෙන් වැඩියයුත්තාහුද, සමථයද විදර්ශනාවද යන දෙකය. මේ ධර්මයෝ විශේෂ ඥානයෙන් වැඩියයුත්තාහුය.

මහණෙනි, කිනම් ධර්ම කොටසක් විශිෂ්ට ඥානයෙන් ප්‍රත්‍යක්ෂකළ යුත්තාහුද? අර්හත් මාර්ගඥාන විද්‍යාවද ඵලවිමුක්තියද (යන දෙකය.)
“මේ ධර්මදෙක විශේෂඥානයෙන් ප්‍රත්‍යක්ෂකළ යුත්තාහුය.

§ 14 . “මහණෙනි,
සොතායතනය තත්වූපරිද්දෙන් දන්නේ දක්නේද, ………………………….
§15. ඝාණායතනය තත්වූපරිද්දෙන් දන්නේ දක්නේද, ………………………..
§16 , ජිහ්වායතනය තත්වූපරිද්දෙන් දන්නේ දක්නේද, ……………..
§17 ..කායායතනය තත්වූපරිද්දෙන් දන්නේ දක්නේද,……….
§18 . මනායතනය තත්වූපරිද්දෙන් දන්නේද දක්නේද, ………
§19 . ධර්මාරම්මණයන් තත්වූපරිද්දෙන් දන්නේ දක්නේද,…..
§ 20 .මනොවිඥානය තත්වූ පරිද්දෙන් දන්නේද,
§ 21 .මනොසම්ඵස්සය තත්වූපරිද්දෙන් දන්නේ දක්නේද,
මේ මනොසම්ඵස්සය හේතුකොටගෙණ සැපවූ හෝ දුක්වූ හෝ දුක් නොවූ සැප නොවූ හෝ විඳීමක් උපදීද, එයද තත්වූපරිද්දෙන් දන්නේ දක්නේද, සිතෙහි නොඇලෙන්නේද, ධර්මාරම්මණයන්හි නොඇලෙන්නේද, මනොවිඥානයෙහි නොඇලෙන්නේද, මනොසම්ඵස්සයෙහි නොඇලෙන්නේ යම් මේ මනොසම්ඵස්සය හේතුකොටගෙණ සැපවූ හෝ දුක්වූ හෝ දුක් නොවූ සැප නොවූ හෝ විඳීමක් උපදීද, එහිද නොඇලෙන්නේ ද එහි නොඇළුනාවූ මුළා නොවූ නොයෙදුනාවූ ආදීනව දක්නා ස්වභාව ඇතිව වාසය කරන්නහුගේ මත්තෙහි පඤ්චූපාදානස්කන්ධයෝ විනාශයට යන්නාහුය.

§22 .“ඔහුගේ ඒ ඒ තැන ඇලෙන්නාවූ දෙවෙනි භවයෙහි ඉපදීම ඇතිකරන්නාවූ නන්දිරාගයෙන් යුත් තෘෂ්ණා තොමෝ වන්නීද, ඒ තෘෂ්ණා තොමෝද ප්‍රහීණ වන්නේය. ඔහුගේ කායික දාහයෝද ප්‍රහීණවෙත්. මානසික දාහයෝද ප්‍රහීණවෙත්. කායික සන්තාපයෝද ප්‍රහීණවෙත්. මානසික සන්තාපයෝද ප්‍රහීණවෙත්. කායික දැවිලිද ප්‍රහීණවෙත්. මානසික දැවිලිද ප්‍රහීණවෙත්. හෙතෙම කායික සැපයද මානසික සැපයද විඳින්නේවේ.

§ 23 . ඔහුගේ තත්වූ පරිදි දක්නාවූ දෘෂ්ටියක් වේද එය ඔහුගේ සම්‍යක් දෘෂ්ටිය වෙයි. ඔහුගේ තත්වූපරිදිවූ යම් කල්පනාවක් වේද, එය ඔහුගේ සම්‍යක් සංකල්පනාව වේ. ඔහුගේ තත්වූ පරිදිවූ යම් ව්‍යායාමයෙක් වේද, එය ඔහුගේ සම්‍යක් ව්‍යායාමයවේ ඔහුගේ තත්වූ පරිදිවූ යම් සිහියක් වේද, එය ඔහුගේ සම්‍යක් ස්මෘතිය වෙයි.ඔහුගේ තත්වූ පරිදිවූ යම් සමාධියක්වේද, එය ඔහුගේ සම්‍යක්සමාධිය වන්නේය. පළමුව ඔහුගේ කායකර්මයද වාක්කර්මයද ආජීවයද පිරිසිදුවූයේ වේ. මෙසේ ඔහුගේ මේ ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගය වැඩීමට සම්පූර්ණ බවට යන්නේය. මෙසේ මේ ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගය වඩන්නාවූ ඔහුට සතර සතිපට්ඨානයෝ වැඩීමට සම්පූර්ණ බවට පැමිණෙත්. සතර සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෝ වැඩීමට සම්පූර්ණ බවට යන්නාහ. සතර ඍද්ධිපාදයෝ වැඩීමට සම්පූර්ණ බවට යන්නාහ. පඤ්චෙන්ද්‍රියයෝ වැඩීමට සම්පූර්ණ බවට යන්නාහ. පඤ්චබලයෝ වැඩීමට සම්පූර්ණ බවට යන්නාහ. සප්තබොධ්‍යංගයෝ වැඩීමට සම්පූර්ණ බවට යන්නාහ. ඔහුට සමථයද විදර්ශනාවද එක්ව පවත්නාහුය.

“හෙතෙමේ යම් ධර්ම කොටසක් විශේෂඥානයෙන් පිරිසිඳ දතයුත්තාහුද ඒ ධර්මයන් විශේෂඥානයෙන් පිරිසිඳ දැනගන්නේය. යම් ධර්ම කොටසක් විශේෂඥානයෙන් දැන පහ කළයුත්තාහුද, ඒ ධර්මයන් විශේෂඥානයෙන් දැන පහකරන්නේය. යම් ධර්මකෙනෙක් විශේෂඥානයෙන් දැන වැඩිය යුත්තාහුද, ඒ ධර්මයන් විශේෂ ඥානයෙන් දැන වඩන්නේය. යම් ධර්ම කොටසක් විශේෂ ඥානයෙන් දැන ප්‍රත්‍යක්ෂ කළයුත්තාහුද ඒ ධර්මයන් විශේෂ ඥානයෙන් දැන ප්‍රත්‍යක්ෂ කරයි. මහණෙනි, කිනම් ධර්මකෙනෙක් විශේෂඥානයෙන් දැන පිරිසිඳ දතයුත්තාහුද, පඤ්චොපාදානස්කන්ධයෝයයි කියයුතු වන්නේය. හේ කවරේද?

රූපූපාදානස්කන්ධය,
වේදනූපාදානස්කන්ධය,
සංඥොපාදානස්කන්ධය,
සංස්කාරොපොදානස්කන්ධය
විඥානොපාදනස්කන්ධය, යන මේවාය .
මේ ධර්මයෝ විශේෂ ඥානයෙන් දැන පිරිසිඳ දතයුත්තාහුය.

§ 24 . “මහණෙනි, කිනම් ධර්ම කොටසක් විශේෂ ඥානයෙන් දැන පහකළ යුත්තාහුද, අවිද්‍යාවත් භව තෘෂ්ණාවත්ය. මේ ධර්මයෝ විශේෂඥානයෙන් දැන පහකළ යුත්තාහුය.

මහණෙනි, කිනම් ධර්ම කොටසක් විශේෂඥානයෙන් දැන වැඩියයුත්තාහුද, සමථයත් විදර්ශනාවත්ය. මේ ධර්මයෝ විශේෂ ඥානයෙන් දැන වැඩිය යුත්තාහුය.

“මහණෙනි, කිනම් ධර්ම කොටසක් විශේෂ ප්‍රඥාවෙන් දැන ප්‍රත්‍යක්ෂ කළයුත්තාහුද, අර්හත් මාර්ගඥාන විද්‍යාවත් ඵල විමුක්තියත්ය. මේ ධර්මයෝ විශේෂ ප්‍රඥාවෙන් දැන ප්‍රත්‍යක්ෂ කළ යුත්තාහුයයි” වදාළේය.

භාග්‍යවතුන් වහන්සේ මේ සූත්‍රය වදාළේය. සතුටු සිත් ඇති ඒ භික්ෂූහු භාග්‍යවතුන්වහන්සේගේ දේශනාවට බොහෝ සේ සතුටුවූවාහුය.

පුජ්‍ය මාන්කඩවල සුදස්සන ස්වාමින් වහන්සේ විසින් සම්මා දිට්ඨි සුත්‍ර විවරණ දර්ම දේසනා පෙළෙහි 11 වන දේසනාව ලෙස කල “සලායතන දැන ගැන්මෙන් සම්මා දිට්ඨියට” යන දේසනාව අසන්න CLIK BELOW

CLICK TO READ

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.