AN 05-03. පඤ්චංගික වර්‍ගය

novices

§AN 05-03-01.
ආභිසමාචාර පූරණ සූත්‍රය

§“මහණෙනි, ඒකාන්තයෙන් 

  • යම් භික්‍ෂුවක්   සබ්‍රහ්මචාරීන් කෙරෙහි ගෞරව රහිත වූයේද, අනාදර වූයේද, සමගිව  සභාග පැවතුම් නැත්තේද,ඔහු  ආභිසමාචාරික වත සම්පූර්‍ණ නොකරන්නේ වෙයි..
  • “ආභිසමාචාරික වත සම්පූර්‍ණ නොකොට, ශෛක්‍ෂ ධර්මය සම්පූර්‍ණ කරන්නට හැකිකමක් නොවන්නේය. 
  • ශෛක්‍ෂ ධර්මය සම්පූර්‍ණ නොකොට, සිල් සම්පූර්‍ණ කරන්නට ද හැකියාවක් නොවන්නේ වෙයි.
  • “සිල් සම්පූර්‍ණ නොකොට, සම්‍යක් දෘෂ්ටිය සම්පූර්‍ණ කරන්නට ද හැකියාවක් නොවෙයි.
  • “සම්‍යක් දෘෂ්ටිය සම්පූර්‍ණ නොකොට, සම්‍යක් සමාධිය සම්පූර්‍ණ සම්පූර්‍ණ කරන්නට ද හැකියාවක් නොවෙයි.

“මහණෙනි,

  • භික්ෂුවක් සබ්‍රහ්මචාරීන් කෙරෙහි ගෞරව සහිත වූයේද , ආදර සහිත  වූයේද , සමාන පැවතුම් ඇත්තේද , ආභිසමාචාරික වත (හෙවත් උතුම් හැසිරීම වූවන් වශයෙන් පනවන ලද ශීලය) සම්පූර්‍ණ කරන්නේය .
  • “ආභිසමාචාරික වත සම්පූර්‍ණ කොට, ශෛක්‍ෂ ධර්මය හෙවත් ශෛක්‍ෂ ප්‍රඥප්ති ශීලය සම්පූර්‍ණ කරන්නේය .
  • “ශෛක්‍ෂ ධර්මය සම්පූර්‍ණ කොට, සිව් මහසිල් පුරන්නේය.
  • “සිව් මහසිල් පුරා, සම්‍යක් දෘෂ්ටිය සම්පූර්‍ණ කරන්නේය.
  • “සම්‍යක් දෘෂ්ටිය සම්පූර්‍ණ කොට, සම්‍යක් සමාධිය සම්පූර්‍ණ කරන්නේය” යි වදාළ සේක.

DIVIDER SL Elephant

§AN 05-03-02.
දුතිය ආභිසමාචාර පූරණ සූත්‍රය

  •  “මහණෙනි, ඒකාන්තයෙන් ඒ භික්‍ෂු ව සබ්‍රහ්මචාරීන් කෙරෙහි ගෞරව රහිත වූයේ, අනාදර වූයේ, සභාග පැවතුම් නැත්තේ, ආභිසමාචාරික වත සම්පූර්‍ණ කරන්නේය යන මේ කාරණය විද්‍යමාන නොවේ.
  • “ආභිසමාචාරික වත සම්පූර්‍ණ නොකොට, ශෛක්‍ෂ ධර්මය සම්පූර්‍ණ කරන්නේය යන මේ කාරණය විද්‍යමාන නොවේ.
  • ශෛක්‍ෂ ධර්මය සම්පූර්‍ණ නොකොට, සිල් සම්පූර්‍ණ කරන්නේය යන මේ කාරණය විද්‍යමාන නොවේ.
  • “ශීලස්කන්‍ධය සම්පූර්‍ණ නොකොට, සමාධි ස්කන්‍ධය සම්පූර්‍ණ කරන්නේය යන මේ කාරණය විද්‍යමාන නොවේ.
  • “සමාධි ස්කන්‍ධය සම්පූර්‍ණ නොකොට, ප්‍රඥා ස්කන්‍ධය සම්පූර්‍ණ කරන්නේය යන මේ කාරණය සිදු නොවේ.

“ එනමුත් මහණෙනි,

“ ඒකාන්තයෙන් ඒ භික්‍ෂුව  සිය  බ්‍රහ්මචාරීන් කෙරෙහි ගෞරව සහිත වූයේ, ආදර සහිත වූයේ, සමාන පැවතුම් ඇත්තේ, ආභිසමාචාරික වත (හෙවත් උතුම් හැසිරීම වූවන් වශයෙන් පනවන ලද ශීලය) සම්පූර්‍ණ කරන්නේය යන මේ කාරණය විද්‍යමාන වේ.
“ආභිසමාචාරික වත සම්පූර්‍ණ කොට, ශෛක්‍ෂ ධර්මය හෙවත් ශෛක්‍ෂ ප්‍රඥප්ති ශීලය සම්පූර්‍ණ කරන්නේය යන මේ කාරණයද විද්‍යමාන වේ.
“ශෛක්‍ෂ ධර්මය සම්පූර්‍ණ කොට, සිව් මහසිල් පුරන්නේය යන මේ කාරණය විද්‍යමාන වේ.
“ශීලස්කන්‍ධය සම්පූර්‍ණ කොට, සමාධි ස්කන්‍ධය සම්පූර්‍ණ කරන්නේය යන මේ කාරණය විද්‍යමාන වේ.
“සමාධි ස්කන්‍ධය සම්පූර්‍ණ කොට, ප්‍රඥා ස්කන්‍ධය සම්පූර්‍ණ කරන්නේය යන මේ කාරණය විද්‍යමාන වේ.” යයි වදාළ සේක.

DIVIDER SL Elephant

§AN 05-03-03.
උපක්කිලෙස සුත්ත /  ජාතරූපක්කිලෙස සූත්‍රය

§ “මහණෙනි, යම් කිසි අප ද්‍රව්‍යයක් මිශ්‍ර වීමෙන්  කෙලෙසුනාවූ රන් ලෝහය   මෘදු නොමවේ,  කර්‍මයට සුදුසු නොවේද, පැහැ විහිදීම ඇත්තක් නොවේ, සුනම්‍යය (නැමෙන ස්වභාව ඇත්තක්) නොවේ, රන්  කර්‍මාන්තයට මනාකොට සුදුවූ නොවේ.,
“එබඳුවූ රන් පිඩුවක්  මෙසේ  කෙළෙසීම් වීමට මේ දැක්වෙන අප ලෝහ  පසක් හේතු  වෙත්. කවර පසක්ද යත්, යකඩය, ලෝහය, ඊයම්ය, කළු ඊයම්ය, රිදීය යන පසයි.
“මහණෙනි, යම්බඳු කෙලෙසීම්වලින් කෙලෙසුනාවූ රන් පිඩුව මෘදු නොමවේ, කර්‍මයට සුදුසු නොවේද, පැහැ විහිදීම ඇත්තක් නොවේ, නැමෙන ස්වභාව ඇත්තක් නොවේ, කර්‍මාන්තයට මනාකොට නොපැමිණේද, එබඳුවූ ස්වර්‍ණයාගේ මේ පස වනාහි උපෙක්‍ෂා වෙත්.

“මහණෙනි, යම් විටෙක පටන් ස්වර්‍ණය මේ කෙළෙසීම් පසින් මිදුනේ වේද, ඒ ස්වර්‍ණය මෘදු වෙයි , කර්‍මක්‍ෂම වූයේද, ප්‍රභාශ්වර වූයේද, නැමීම ඇත්තේ මනාකොට කර්‍මාන්තයට පැමිණේද, යම් යම් පළඳනා විශේෂයක් කිරීමට කැමති වේද, ඉදින් මුදුවක් පිණිසද, ඉදින් කුණ්ඩලාභරණයක් පිණිසද, ඉදින් ග්‍රීවාභරණයක් පිණිසද, ඉදින් රන් මාලයක් පිණිසද වේනම්, ඔහුට ඒ අර්ත්‍ථය සිද්‍ධ කෙරේ.

“මහණෙනි, මෙපරිද්දෙන්ම, යම් කෙළෙසීම්වලින් කිළුටුවූ සිත නොම මෘදු වේද, කර්‍මක්‍ෂම නොවේද, ප්‍රභාශ්වර වූවක් නොවේද, නැමීම් ඇත්තක් නොවේද, ආශ්‍රවයන්ගේ ක්‍ෂය කිරිම පිණිස මනාකොට එකඟවනු නොලැබේ, එබඳුවූ මේ චිත්තයාගේ උපක්ලේශ පසක් වෙත්.

“කවර පසක්ද යත්? කාමාශාවය, ක්‍රෝධය, සිතෙහි හා කයෙහි අලස බවය, උඬඟු බව හා කුකුස් බවය, සැකය යන පසයි.

“මහණෙනි, මෙපරිද්දෙන්ම, මේ කෙළෙස් වලින් කිළුටුවූ සිත  මෘදු නොම වේ, කර්‍මක්‍ෂම නොවේ, ප්‍රභාශ්වර නොවේ, නම්‍යය තාවයක් නැත්තේ වෙයි., ආශ්‍රවයන්ගේ ක්‍ෂය කිරිම පිණිස මනාකොට එකඟවනු නොලැබේ, එබඳුවූ මේ චිත්තයාගේ උපක්ලේශ පසක් වෙත්.

“මහණෙනි, යම් හෙයකින්  සිත මේ කෙළෙසීම් පසින් මිදුනේ වේද? ඒ සිත මෘදු වේ, කර්‍මක්‍ෂම වූයේවෙයි, ප්‍රභාශ්වර වෙයි , නොබිඳින්නේ වෙයි, ආශ්‍රවයන්ගේ නැසීමට හේතු වේ, විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කටයුතුවූ යම් ධර්මයක් විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කිරීම පිණිස සිත එළවාද, ඒ ඒ ධර්මයෙහිම, ඒ ඒ කරුණ ඇති කල්හි ප්‍රත්‍යක්‍ෂයෙන් සුදුසු බවට පැමිණේ.

“ඉදින් හෙතෙම කැමති නම් අනෙකප්‍රකාරවූ ඉර්ධි විධිය ලබන්නේය. (මෙහි දීඝ නිකායේ 2 සූත්‍රයේ 6, 8 ඡේදයේ “එකෙක්ව බොහෝ සේ වෙති” යන තැන සිට යෙදිය යුතුයි.)

“ඒ ඒ කරුණ ඇති කල්හි ඒ ඒ තන්හිම ප්‍රත්‍යක්‍ෂයෙන් සුදුසු බවට පැමිණේ.
(මෙහි දීඝ නිකායේ 2 සූත්‍රයේ 70 ඡේදයේ “දිව්‍ය කණ ….” යන තැන සිට යෙදිය යුතුයි.) ශබ්ද දෙක අසන්නේය. ඒ ඒ කරුණ ඇති කල්හි ඒ ඒ තන්හිම ප්‍රත්‍යක්‍ෂයෙන් සුදුසු බවට පැමිණේ.

“ඉදින් හෙතෙම කැමති වේනම්, අන්‍ය සත්ත්‍වයන්ගේ, අන්‍ය පුද්ගලයන්ගේ සිත (මෙහි දීඝ නිකායේ 2 සූත්‍රයේ 72 ඡේදයේ “තම සිතින්” යන තැන සිට යෙදිය යුතුයි.) ඒ ඒ කරුණ ඇති කල්හි ඒ ඒ තන්හිම ප්‍රත්‍යක්‍ෂයෙන් සුදුසු බවට පැමිණේ.

“ඉදින් හෙතෙම කැමති වේ නම්, අනෙක ප්‍රකාරවූ පෙර විසූ කඳ පිළිවෙළ සිහි කරන්නේය. (මෙහි දීඝ නිකායේ 2 සූත්‍රයේ 74 ඡේදයේ “එක් ජාතියක්ද” යන තැන සිට යෙදිය යුතුයි.) මෙසේ ඒ ඒ කාරණය ඇති කල්හි, ඒ ඒ තන්හිම ප්ර්‍‍රත්‍යක්‍ෂයෙන් සුදුසු බවට පැමිණේ.

“ඉදින් හෙතෙම කැමති වේ නම්, පිරිසිදුවූ මිනිසැස ඉක්ම පවත්නාවූ, දිව්‍යවූ ඇසින් (මෙහි දීඝ නිකායේ 2 සූත්‍රයේ 75 ඡේදයේ “හේ නොයෙක් පෙර විසීම්” යන තැන සිට යෙදිය යුතුයි.) ඒ ඒ කාරණය ඇති කල්හි, ඒ ඒ තන්හිම ප්‍රත්‍යක්‍ෂයෙන් සුදුසු බවට පැමිණේ. ඉදින් හෙතම කැමැති වේ නම්, ආශ්‍රවයන් නැසීමෙන් (මෙහි දීඝ නිකායේ 2 සූත්‍රයේ 78 ඡේදයේ “ඥානය පිණිස හිත” යන තැන සිට යෙදිය යුතුයි.) ප්‍රත්‍යක්‍ෂකොට පැමිණ වාසය කරන්නේයයි ඒ ඒ කාරණය ඇති කල්හි ඒ ඒ තන්හිම ප්‍රත්‍යක්‍ෂයෙන් සුදුසු බවට පැමිණේ” යයි වදාළ සේක.

DIVIDER SL Elephant

AN 05-03 -04.
භතුපනිස සූත්‍රය

§“මහණෙනි, සීල විපත්තියට පැමිණියාවූ, දුශ්ශීලයාගේ සම්‍යක් සමාධිය කරුණු රහිත වේ. සම්‍යක් සමාධිය නැති කල්හි සම්‍යක් සමාධියෙන් විපතට පැමිණියහුගේ තත්වූ පරිදි නුවණින් දැකීම කරුණු රහිත වේ. තත්වූ පරිදි නුවණින් දැකීම නැති කල්හි තත්වූ පරිදි නුවණින් දැකීමෙන් විපතට පැමිණියහුගේ කලකිරීම හා නොඇල්ම කරුණු රහිත වේ. කලකිරීම හා නොඇල්ම නැති කල්හි, කලකිරීමෙන් හා නොඇල්මෙන් විපතට පැමිණියහුගේ ඵල විමුක්තිය හා ප්‍රත්‍යවෙක්‍ෂා නුවණ කරුණු රහිත වේ.

“මහණෙනි, යම් සේ වෘක්‍ෂය තෙම අතුපතරින් විපතට පැමිණියේ ඒ වෘක්‍ෂයාගේ පතුරද සම්පූර්‍ණවීමට නොපැමිණේද, සිවියද, ඵලයද, හරයද සම්පූර්‍ණවීමට නොපැමිණේද, මහණෙනි, මෙපරිද්දෙන්ම සීල විපත්තියට පැමිණියාවූ, දුශ්ශීලයාගේ සම්‍යක් සමාධිය කරුණු රහිත වේ. සම්‍යක් සමාධිය නැති කල්හි සම්‍යක් සමාධියෙන් විපතට පැමිණියහුගේ තත්වූ පරිදි නුවණින් දැකීම කරුණු රහිත වේ. තත්වූ පරිදි නුවණින් දැකීම නැති කල්හි තත්වූ පරිදි නුවණින් දැකීමෙන් විපතට පැමිණියහුගේ කලකිරීම හා නොඇල්ම කරුණු රහිත වේ. කලකිරීම හා නොඇල්ම නැති කල්හි, කලකිරීමෙන් හා නොඇල්මෙන් විපතට පැමිණියහුගේ ඵල විමුක්තිය හා ප්‍රත්‍යවෙක්‍ෂා නුවණ කරුණු රහිත වේ.

“මහණෙනි, සීල සම්පන්නවූ සිල්වත්හුගේ සම්‍යක් සමාධිය හේතු සහිතවේ. සම්‍යක් සමාධිය ඇති කල්හි සම්‍යක් සමාධියෙන් යුක්තවූවහුගේ තත්වූ පරිදි නුවණින් දැකීම හේතු සහිත වේ. තත්වූ පරිදි නුවණින් දැකීම ඇති කල්හි තත්වූ පරිදි නුවණින් දැකීම ඇත්තහුගේ කලකිරීම හා නොඇල්ම හේතු සහිත වේ. කලකිරීම හා නොඇල්ම ඇති කල්හි කලකිරීම හා නොඇල්ම ඇත්තහුගේ ඵල විමුක්තිය හා ප්‍රත්‍යවෙක්‍ෂා නුවණ හේතු සහිත වේ.

“මහණෙනි, යම් සේ වෘක්‍ෂය තෙම අතුපතරින් යුක්තවූයේ, ඒ වෘක්‍ෂයාගේ පතුරද සම්පූර්‍ණවීමට පැමිණෙද්ද, සිවියද, ඵලයද, හරයද සම්පූර්‍ණවීමට පැමිණේද, මහණෙනි, මෙපරිද්දෙන්ම සීල සම්පන්නවූ සිල්වත්හුගේ සම්‍යක් සමාධිය හේතු සහිතවේ. සම්‍යක් සමාධිය ඇති කල්හි සම්‍යක් සමාධියෙන් යුක්තවූවහුගේ තත්වූ පරිදි නුවණින් දැකීම හේතු සහිත වේ. තත්වූ පරිදි නුවණින් දැකීම ඇති කල්හි තත්වූ පරිදි නුවණින් දැකීම ඇත්තහුගේ කලකිරීම හා නොඇල්ම හේතු සහිත වේ. කලකිරීම හා නොඇල්ම ඇති කල්හි කලකිරීම හා නොඇල්ම ඇත්තහුගේ ඵල විමුක්තිය හා ප්‍රත්‍යවෙක්‍ෂා නුවණ හේතු සහිත වේ.

DIVIDER SL Elephant

AN 05-03 -05.
අනුග්ගහිත / අනුග්ගහ දිට්ඨි සූත්‍රය

§ “මහණෙනි, කරුණු පසකින් අනුග්‍රහ කරණ ලද විදර්‍ශනා සම්‍යක් දෘෂ්ටි තොමෝ මාර්‍ග ඵල සමාධිය ඵලය කොට ඇත්තීද, මාර්ග ඵල සමාධිය අනුසස්කොට ඇත්තීද, මාර්ග ඵල ඥානය ඵලකොට ඇත්තිද, මාර්ග ඵල ඥානය අනුසස්කොට ඇත්තීද වේ.

“කවර කරුණු පසකින්ද යත්? මහණෙනි, මේ ශාසනයෙහි සම්‍යක් දෘෂ්ටි තොමෝ සීලයෙන් අනුග්‍රහ කරණ ලද්දී වේද, බහුශ්‍රුත භාවයෙන් අනුග්‍රහ කරණ ලද්දී වේද, ධර්‍ම සාකච්ඡාවෙන් අනුග්‍රහ කරණ ලද්දී වේද, චිත්තෙකග්‍රතාවෙන් අනුග්‍රහ කරණ ලද්දී වේද, විදර්‍ශනා භාවනාවෙන් අනුග්‍රහ කරණ ලද්දී වේද,

“මහණෙනි, කරුණු පසකින් අනුග්‍රහ කරණ ලද විදර්‍ශනා සම්‍යක් දෘෂ්ටි තොමෝ මාර්‍ග ඵල සමාධිය ඵලය කොට ඇත්තීද, මාර්ග ඵල සමාධිය අනුසස්කොට ඇත්තීද, මාර්ග ඵල ඥානය ඵලකොට ඇත්තිද, මාර්ග ඵල ඥානය අනුසස්කොට ඇත්තීද වේ.

DIVIDER SL Elephant

AN 05-03-06.
විමුත්තායතන සූත්‍රය

§“මහණෙනි, යම් කරුණෙක්හි කෙළෙස් තවන වීර්‍ය්‍ය ඇතිව, හරණ ලද ආත්මාලය ඇතිව, අප්‍රමාදව වාසය කරණ භික්‍ෂුහුගේ කෙළෙසුන් කෙරෙන් නොමිදුනාවූ සිත හෝ මිදේද, ක්‍ෂය නොවූ ආශ්‍රව හෝ ක්‍ෂය කිරීමට යෙද්ද, නොපැමිණියාවූ හෝ නිරුත්තරවූ යොගක්‍ෂෙම සංඛ්‍යාත නිවණට පැමිණේද,

“එබඳුවූ මේ මිදීමට කරුණු පසක් වෙත්. කවර පසක්ද යත්? මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂුහට ශාස්තෲන් වහන්සේ හෝ ගුරුතන්හි සිටියාවූ සබ්‍රහ්මචාරීවූ එක්තරා තෙර නමක් හෝ චතුරාර්‍ය්‍ය සත්‍ය ධර්මය දේශනා නෙරේද, මහණෙනි, යම් පරිද්දකින් ඒ භික්‍ෂුහට ශාස්තෲන් වහන්සේ හෝ ගුරුතන්හි සිටියාවූ එක්තරා සබ්‍රහ්මචාරී තෙර නමක් හෝ ධර්‍මය දේශනා කෙරේද, ඒ ඒ පරිද්දෙන් ඒ භික්‍ෂු තෙම ධර්‍මයෙහි අර්ත්‍ථය දන්නේද වේ. ධර්‍මය දන්නේද වේ.

“අර්ත්‍ථය දන්නාවූද, ධර්‍මය දන්නාවූද ඔහුට ප්‍රමුදිත භාවය උපදී. ප්‍රමුදිතවූවහුට ප්‍රීතිය හටගනියි. ප්‍රීති සිත් ඇත්තහුගේ කය සැහැල්ලු වේ. සැහැල්ලුවූ කය ඇත්තේ සැපය විඳියි. සැප ඇත්තහුගේ සිත එතඟ වේ.

“මහණෙනි, යම් කරුණෙක්හි කෙළෙස් තවන වීර්‍ය්‍ය ඇතිව, හරණ ලද ආත්මාලය ඇතිව, අප්‍රමාදව වාසය කරණ භික්‍ෂුහුගේ කෙළෙසුන් කෙරෙන් නොමිදුනාවූ සිත හෝ මිදේද, ක්‍ෂය නොවූ ආශ්‍රව හෝ ක්‍ෂය කිරීමට යෙද්ද, නොපැමිණියාවූ හෝ නිරුත්තරවූ යොගක්‍ෂෙම සංඛ්‍යාත නිවණට පැමිණේද, එබඳුවූ මේ පළමුවන විමුක්ති කාරණය වේ.

“මහණෙනි, නැවත අනිකක්ද කියමි. භික්‍ෂුහට ශාස්තෲන් වහන්සේ නොම ධර්‍ම දේශනා කරයි. ගුරු තන්හි සිටියාවූ එක්තරා සබ්‍රහ්මචාරී කෙනෙක් හෝ දේශනා නොකරයි. එතකුදු වුවත්, ඇසූ පරිදි, පිරිවහණ ලද පරිදි ධර්‍මය අනුන්ට දේශනා කරයි.

“මහණෙනි, යම් යම් පරිද්දකින් භික්‍ෂු තෙම අසන ලද පරිදිවූ, පිරිවහන ලද පරිදිවූ, ධර්‍මය විස්තරයෙන් අනුන්ට දේශනා කෙරේද, ඒ ඒ පරිද්දෙන් ඒ භික්‍ෂු තෙම ඒ ධර්‍මයෙහි අර්ත්‍ථ දන්නේද ධර්මය දන්නේද වේ.

“අර්ත්‍ථය දන්නාවූද, ධර්‍මය දන්නාවූද ඔහුට ප්‍රමුදිත භාවය උපදී. ප්‍රමුදිතවූවහුට ප්‍රීතිය හටගනියි. ප්‍රීති සිත් ඇත්තහුගේ කය සැහැල්ලු වේ. සැහැල්ලුවූ කය ඇත්තේ සැපය විඳියි. සැප ඇත්තහුගේ සිත එතඟ වේ.

“මහණෙනි, යම් කරුණෙක්හි කෙළෙස් තවන වීර්‍ය්‍ය ඇතිව, හරණ ලද ආත්මාලය ඇතිව, අප්‍රමාදව වාසය කරණ භික්‍ෂුහුගේ කෙළෙසුන් කෙරෙන් නොමිදුනාවූ සිත හෝ මිදේද, ක්‍ෂය නොවූ ආශ්‍රව හෝ ක්‍ෂය කිරීමට යෙද්ද, නොපැමිණියාවූ හෝ නිරුත්තරවූ යොගක්‍ෂෙම සංඛ්‍යාත නිවණට පැමිණේද,

“මහණෙනි, නැවත අනිකක්ද කියමි. භික්‍ෂුහට ශාස්තෲන් වහන්සේ හෝ ගුරු තන්හි සිටියාවූ සබ්‍රහ්මචාරීවූ එක්තරා තෙර නමක් හෝ ධර්මය දේශනා නොකෙරේද, අසන ලද පරිදි, පිරිවහණ ලද පරිදි, ධර්මය විස්තර වශයෙන් අනුන්ට දේශනා නොකෙරේද, යළිදු අසන ලද පරිදි, පිරිවහණ ලද පරිදි, ධර්මය විස්තර වශයෙන් සජ්ඣායනය කෙරෙයි.
“මහණෙනි, යම් යම් පරිද්දකින් භික්‍ෂු තෙම අසන ලද පරිදිවූ, පිරිවහන ලද පරිදිවූ, ධර්‍මය විස්තරයෙන් අනුන්ට දේශනා කෙරේද, ඒ ඒ පරිද්දෙන් ඒ භික්‍ෂු තෙම ඒ ධර්‍මයෙහි අර්ත්‍ථ දන්නේද ධර්මය දන්නේද වේ.

“අර්ත්‍ථය දන්නාවූද, ධර්‍මය දන්නාවූද ඔහුට ප්‍රමුදිත භාවය උපදී. ප්‍රමුදිතවූවහුට ප්‍රීතිය හටගනියි. ප්‍රීති සිත් ඇත්තහුගේ කය සැහැල්ලු වේ. සැහැල්ලුවූ කය ඇත්තේ සැපය විඳියි. සැප ඇත්තහුගේ සිත එතඟ වේ.

\“මහණෙනි, යම් කරුණෙක්හි කෙළෙස් තවන වීර්‍ය්‍ය ඇතිව, හරණ ලද ආත්මාලය ඇතිව, අප්‍රමාදව වාසය කරණ භික්‍ෂුහුගේ කෙළෙසුන් කෙරෙන් නොමිදුනාවූ සිත හෝ මිදේද, ක්‍ෂය නොවූ ආශ්‍රව හෝ ක්‍ෂය කිරීමට යෙද්ද, නොපැමිණියාවූ හෝ නිරුත්තරවූ යොගක්‍ෂෙම සංඛ්‍යාත නිවණට පැමිණේද, ඒ මේ තුන්වන විමුක්ති කාරණය වේ.

“මහණෙනි, නැවත අනිකක්ද කියමි. භික්‍ෂුහට ශාස්තෲන් වහන්සේ හෝ එක්තරා ගුරු තන්හි සිටියාවූ සබ්‍රහ්මචාරී කෙනෙක් හෝ ධර්මය නොම දේශනා කෙරේද, අසන ලද පරිදි, පිරිවහණ ලද පරිදි, ධර්මය විස්තර වශයෙන් අනුන්ට නොම දේශනා කෙරේද, අසන ලද පරිදි, පිරිවහණ ලද පරිදි, ධර්මය විස්තර වශයෙන් නොම සජ්ඣායනා කෙරේද, යළිත් අසන ලද පරිදි, පිරිවහණ ලද පරිදි, ධර්මය සිතින් අනුව කල්පනා කෙරේද, අනුව හැසිරේද, සිතින් සලකා බලයිද, මහණෙනි, යම් යම් පරිද්දකින් භික්‍ෂු තෙම අසන ලද පරිදි, පිරිවහණ ලද පරිදි, ධර්මය සිතින් කල්පනා කෙරේද, අනුව හැසිරේද, සිතින් සළකා බලාද, ඒ ඒ පරිද්දෙන් හෙතෙම ඒ ධර්මයෙහි අර්ත්‍ථය දන්නේද, ධර්මය දන්නේද වේ.

“අර්ත්‍ථය දන්නාවූද, ධර්‍මය දන්නාවූද ඔහුට ප්‍රමුදිත භාවය උපදී. ප්‍රමුදිතවූවහුට ප්‍රීතිය හටගනියි. ප්‍රීති සිත් ඇත්තහුගේ කය සැහැල්ලු වේ. සැහැල්ලුවූ කය ඇත්තේ සැපය විඳියි. සැප ඇත්තහුගේ සිත එතඟ වේ.

“මහණෙනි, යම් කරුණෙක්හි කෙළෙස් තවන වීර්‍ය්‍ය ඇතිව, හරණ ලද ආත්මාලය ඇතිව, අප්‍රමාදව වාසය කරණ භික්‍ෂුහුගේ කෙළෙසුන් කෙරෙන් නොමිදුනාවූ සිත හෝ මිදේද, ක්‍ෂය නොවූ ආශ්‍රව හෝ ක්‍ෂය කිරීමට යෙද්ද, නොපැමිණියාවූ හෝ නිරුත්තරවූ යොගක්‍ෂෙම සංඛ්‍යාත නිවණට පැමිණේද, ඒ මේ සතරවෙනි විමුක්ති කාරණය වේ.

“මහණෙනි, නැවත අනිකක්ද කියමි. භික්‍ෂුහට ශාස්තෲන් වහන්සේ හෝ එක්තරා ගුරු තන්හි සිටියාවූ සමාන බඹසර ඇත්තෙක් හෝ නොම ධර්මය දේශනා කෙරේද, අසන ලද පරිදි, පිරිවහණ ලද පරිදි, ධර්මය විස්තර වශයෙන් අනුන්ට නොම දේශනා කෙරේද, අසන ලද පරිදි, පිරිවහණ ලද පරිදි, ධර්මය විස්තර වශයෙන් නොම සජ්ඣායනා කෙරේද, අසන ලද පරිදි, පිරිවහණ ලද පරිදි, ධර්මය සිතින් නොම කල්පනා කෙරේද, නොම හසුරුවාද, සිතින් නොම සලකා බලාද, එතකුදු වුවත් මොහු විසින් එක්තරා සමාධි නිමිත්තක් මනාකොට ගන්නා ලද්දේ, මනාකොට මෙනෙහි කරණ ලද්දේ, සිතින් මනාකොට දරණ ලද්දේ, ප්‍රඥාවෙන් මනාකොට ප්‍රතිවේධ කරණ ලද්දේ වේද, මහණෙනි, යම් යම් පරිද්දකින් භික්‍ෂුව විසින් එක්තරා සමාධි නිමිත්තක් මනාකොට ගන්නා ලද්දේ මනාකොට මෙනෙහි කරණ ලද්දේ, මනාකොට සිතින් දරණ ලද්දේ, ප්‍රඥාවෙන් මනාකොට ප්‍රතිවේධ කරණ ලද්දේ වේද, ඒ ඒ පරිද්දෙන් හෙතෙම ඒ ධර්මයෙහි අර්ත්‍ථය දන්නේද, ධර්මය දන්නේද වේ.

“අර්ත්‍ථය දන්නාවූද, ධර්‍මය දන්නාවූද ඔහුට ප්‍රමුදිත භාවය උපදී. ප්‍රමුදිතවූවහුට ප්‍රීතිය හටගනියි. ප්‍රීති සිත් ඇත්තහුගේ කය සැහැල්ලු වේ. සැහැල්ලුවූ කය ඇත්තේ සැපය විඳියි. සැප ඇත්තහුගේ සිත එතඟ වේ.

“මහණෙනි, යම් කරුණෙක්හි කෙළෙස් තවන වීර්‍ය්‍ය ඇතිව, හරණ ලද ආත්මාලය ඇතිව, අප්‍රමාදව වාසය කරණ භික්‍ෂුහුගේ කෙළෙසුන් කෙරෙන් නොමිදුනාවූ සිත හෝ මිදේද, ක්‍ෂය නොවූ ආශ්‍රව හෝ ක්‍ෂය කිරීමට යෙද්ද, නොපැමිණියාවූ හෝ නිරුත්තරවූ යොගක්‍ෂෙම සංඛ්‍යාත නිවණට පැමිණේද, එබඳුවූ මේ පස්වෙනි විමුක්ති කාරණය වේ.

“මහණෙනි, යම් කරුණෙක්හි කෙළෙස් තවන වීර්‍ය්‍ය ඇතිව, හරණ ලද ආත්මාලය ඇතිව, අප්‍රමාදව වාසය කරණ භික්‍ෂුහුගේ කෙළෙසුන් කෙරෙන් නොමිදුනාවූ සිත හෝ මිදේද, ක්‍ෂය නොවූ ආශ්‍රව හෝ ක්‍ෂය කිරීමට යෙද්ද, නොපැමිණියාවූ හෝ නිරුත්තරවූ යොගක්‍ෂෙම සංඛ්‍යාත නිවණට පැමිණේද, ඒ මේ විමුක්ති කරුණු පස වෙත්ය” යි වදාළ සේක.

DIVIDER SL Elephant

AN 05-03-07.
සමාධිසුත්තං 7. අප්පමාණ සමාධි සූත්‍රය

§“මහණෙනි, ප්‍රඥාවෙන් හා සිහියෙන් යුක්තව අප්‍රමානවූ සමාධිය වඩව්. මහණෙනි, ප්‍රඥාවෙන් හා සිහියෙන් යුක්තව අප්‍රමානවූ සමාධිය වඩන්නවුන්ට ප්‍රත්‍යවෙක්‍ෂා නුවණ පසක් තම තමන් කෙරෙහිම උපදිත්.

“කවර පසක්ද යත්?
මේ සමාධිය තෙම පවත්නා කාලයෙහි සැප ඇත්තේද, මතු සැප විපාක ඇත්තේද වේයයි තමන් කෙරෙහිම නුවණ උපදියි. මේ සමාධිය තෙම ක්ලේශයන්ගෙන් දුරුවූ බැවින් උතුම්ය, කාමාදී ආශ්‍රව රහිතයයි තමන් කෙරෙහිම නුවණ උපදියි. මේ සමාධිය තෙම බුද්‍ධාදී අලාමක පුරුෂයන් විසින් සේවනය කරණ ලද්දේයයි තමන් කෙරෙහිම නුවණ උපදියි. මේ සමාධිය තෙම ශාන්තය, ප්‍රණීතය, කෙළෙස් දුරලන ලද්දවුන් විසින් ලබන ලද්දේය, සිත එකඟ කිරීම ඇති බැවින් ලබන ලද්දේය. ප්‍රයෝග සහිතව නිග්‍රහකොට වැළැක්වීම ඇත්තේ නොවේයයි තමන් කෙරෙහිම නුවණ උපදියි. ඒ මම වනාහි මේ සමාධියට සිහි ඇත්තේම පැමිණෙමියි, සිහි ඇත්තේම එයින් නැගිටිමියි තමන් කෙරෙහිම නුවණ උපදියි.

“මහණෙනි, ප්‍රඥාවෙන් හා සිහියෙන් යුක්තව අප්‍රමානවූ සමාධිය වඩව්. මහණෙනි, ප්‍රඥාවෙන් හා සිහියෙන් යුක්තව අප්‍රමානවූ සමාධිය වඩන්නවුන්ට ප්‍රත්‍යවෙක්‍ෂා නුවණ පසක් තම තමන් කෙරෙහිම උපදිත්.

DIVIDER SL Elephant

AN 05-03-08.
පඤ්චංගික සමාධි සූත්‍රය

§“මහණෙනි, ආර්‍ය්‍යවු, අඞ්ග පසකින් යුක්තවූ, සම්‍යක් සමාධිහුගේ වැඩීම දේශනා කරන්නෙමි. එය අසව්. යහපත්කොට මෙනෙහි කරව්. කියන්නෙමි” යි වදාළ සේක. “එසේය ස්වාමීනි” යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට ප්‍රතිවචන දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

“මහණෙනි, ආර්‍ය්‍යවූ, අඞ්ග පසකින් යුක්තවූ සමාධිහුගේ භාවනා තොමෝ කවරීද,
“මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂු තෙම කාමයන්ගෙන් වෙන්ව, අකුශල ධර්මයන්ගෙන් වෙන්ව පළමුවන ධ්‍යානයට පැමිණ වාසය කරයි.

“හෙතෙම මේ ශරීරයම විවේකයෙන් හටගත්තාවූ ප්‍රීති සැපයෙන් මොනවට තෙමයි. හාත්පස තෙමයි. සම්පූර්‍ණ කරයි. හාත්පසින් පතුරුවයි.

“මොහුගේ සියලුම කය පිළිබඳ කිසිවක් විවේකයෙන් හට ගත්තාවූ ප්‍රීති සැපයෙන් ස්පර්‍ශ නොකරණ ලද්දේ නොවේ. මහණෙනි, යම් සේ දක්‍ෂවූ නහාපකයෙක් හෙවත් ස්නානය කරවන්නෙක් හෝ නහාපකයෙකුගේ අතවැසියෙක් හෝ ලෝ තලියෙක්හි නැහැවීමට ගන්නා සුණු බහා ජලයෙන් ඉස ඉස පිඩු කරන්නේද, යම් හෙයකින් දියවර අනුව ගියාවූ, දියවරින් යුක්තවූ, ඇතුළත පිටත තෙත් ගතියෙන් පැතිරීම ඇති ඒ නහාන සුණු පිඩ නොම වැගිරේද, මහණෙනි, මෙපරිද්දෙන්ම,
“හෙතෙම මේ ශරීරයම විවේකයෙන් හටගත්තාවූ ප්‍රීති සැපයෙන් මොනවට තෙමයි. හාත්පස තෙමයි. සම්පූර්‍ණ කරයි. හාත්පසින් පතුරුවයි.
“මොහු විසින් සියලුම කය පිළිබඳ කිසි තැනක් විවේකයෙන් හටගත් ප්‍රීති සැපයෙන් ස්පර්‍ශ නොකරණ ලද්දේ නොවෙයි. මහණෙනි, ආර්‍ය්‍යවූ අඞ්ග පසකින් යුක්තවූ සම්‍යක් සමාධිහුගේ මේ පළමුවන භාවනාව වේ. මහණෙනි, නැවත අනිකක්ද කියමි.
“භික්‍ෂු තෙම විතර්‍ක විචාරයන්ගේ සංසිඳීමෙන් අධ්‍යාත්මයෙහි පැහැදීම් ඇති, සිත හා එකට පහළවූ, විතර්‍ක නැති, විචාර නැති, සමාධියෙන් උපන් ප්‍රීතිය හා සැපය ඇති, දෙවන ධ්‍යානයට පැමිණ වාසය කරයි.
“මොහු විසින් සියලුම කය පිළිබඳ කිසි තැනක් සමාධියෙන් හටගත් ප්‍රීති සැපයෙන් ස්පර්‍ශ නොකරණ ලද්දේ නොවෙයි.
“මහණෙනි, යම් සේ උඩට බිඳගෙන එන්නාවූ ජලය ඇති දිය විලක් වේද, ඒ විලට පූර්‍ව දිශාවෙන් දිය එන්නාවූ මඟක් නොම වන්නේද, පැසුළු දිශාවෙන් දිය එන මඟක් නොවන්නේද, උතුරු දිශාවෙන් දිය එන මඟක් නොවන්නේද, දකුණු දිශාවෙන් දිය එන මඟක් නොවන්නේද, මේඝයද කලින් කල මනාකොට වර්‍ෂා ජලය ඇතුල් නොකරන්නේද, වැලිදු ඒ දිය විලෙන් සිහිල්වූ ජල ධාරාවෝ උඩට බිඳගෙන නැග ඒ දිය විලම සිහිල්වූ ජලයෙන් මනාව තෙමන්නේද, පුරවන්නේද, හාත්පස පතුරන්නේද, සියලුම මේ දිය විල පිළිබඳ කිසි තැනක් සිහිල් ජලයෙන් ස්පර්‍ශ නොකරණ ලද්දේ නොවන්නේද,
“මහණෙනි, එපරිද්දෙන්ම භික්‍ෂු තෙම මෙම ශරීරය සමාධියෙන් හටගත් ප්‍රීති සැපයෙන් මනාව තෙමයි. හාත්පස තෙමයි. පුරවයි. හාත්පස පතුරයි. මොහු විසින් සියලුම කය පිළිබඳ කිසි තැනක් සමාධියෙන් හටගත් ප්‍රීති සැපයෙන් ස්පර්‍ශ නොකරණ ලද්දේ නොවෙයි. මහණෙනි, ආර්‍ය්‍යවූ අඞ්ග පසකින් යුක්තවූ සම්‍යක් සමාධීහුගේ මේ දෙවන භාවනාව වේ.

“නැවත අනිකක්ද කියමි. මහණෙනි, භික්‍ෂු තෙම ප්‍රීතිහුගේද නොඇල්මෙන් උපෙක්‍ෂා ඇතිව වාසය කරයි. සිහි ඇත්තේ, සම්‍යක් ප්‍රඥාවෙන් යුක්තවූයේ, කයින් සැපක් විඳියි. උපෙක්‍ෂා ඇති, සිහි ඇති, සැප විහරණයකැයි යමක් ආර්‍ය්‍යයෝ කියයිද, තුන්වන ධ්‍යානයට පැමිණ වාසය කරයි. හෙතෙම මේ ශරීරය, ප්‍රීති රහිතවූ සැපයෙන් මනාව තෙමයි. හාත්පස තෙමයි. පුරවයි. හාත්පස උතුරයි. මේ සියලුම කරජකය පිළිබඳ කිසි තැනක් ප්‍රීති රහිතවූ සැපයෙන් ස්පර්‍ශ නොකරණ ලද්දේ නොවෙයි.

“මහණෙනි, යම් සේ උපුල් විලක හෝ පියුම් විලක හෝ හෙළ පියුම් විලක හෝ ඇතැම් උපුල් හෝ පියුම් හෝ හෙළ පියුම් හෝ දියෙහි හටගත්තාහු, දියෙහි වැඩුනාහු. දියෙන් උඩට නොපැමිණියාහු ඇතුළත ගැලී පොෂණය වූවාහු වෙද්ද, ඔවුහු අග දක්වාද, මුල දක්වාද, සිහිල්වූ ජලයෙන් මනාව තෙමුනාහු, හාත්පස තෙමුණාහු, පිරුණාහු, හාත්පස පැතුරුණාහු වෙද්ද, සියලුම උපුල් පිළිබඳ හෝ පියුම් පිළිබඳ හෝ හෙළ පියුම් පිළිබඳ හෝ මොහුගේ කිසි තැනක් සිහිල්වූ ජලයෙන් ස්පර්‍ශ නොකරණ ලද්දේ නොවන්නේද,

“මහණෙනි, මෙපරිද්දෙන්ම භික්‍ෂු තෙම මෙම ශරීරය ප්‍රීති රහිතවූ සැපයෙන් මනාව තෙමයි, හාත්පස තෙමයි, පුරවයි, හාත්පස පතුරයි. මේ සියලුම කය පිළිබඳ කිසිවක් ප්‍රීති රහිතවූ සැපයෙන් ස්පර්‍ශ නොකරණ ලද්දේ නොවෙයි. මහණෙනි, ආර්‍ය්‍යවූ, අඞ්ග පසකින් යුක්තවූ, සම්‍යක් සමාධිහුගේ මේ තුන්වන භාවනාව වේ.

“නැවත අනිකක්ද කියමි. මහණෙනි, භික්‍ෂු තෙම සැපය දුරු කිරීමෙන්ද, දුක දුරු කිරීමෙන්ද, සොම්නස, දොම්නස දෙක නැතිවීමට පෙර දුක් නැති, සැප නැති, උපෙක්‍ෂා ස්මෘති දෙදෙනාගේ පිරිසිදුකම ඇති සතරවන ධ්‍යානයට පැමිණ වාසය කරයි. හෙතෙම මෙම කරජකය පිරිසිදුවූ, නිර්මලවූ, සිතින් පැතිර හුන්නේ වෙයි. මේ සියලුම කය පිළිබඳ කිසිවක් පිරිසිදුවූ, නිර්මලවූ සිතින් ස්පර්‍ශ නොකරණ ලද්දේ නොවෙයි. මහණෙනි, යම්සේ පුරුෂයෙක් සුදුවූ වස්ත්‍රයෙන් හිස සහිතව පොරවා හුන්නේ වන්නේද, මේ සියලුම කය පිළිබඳ කිසිවක් සුදු වස්ත්‍රයෙන් ස්පර්‍ශ නොකරණ ලද්දේ නොවන්නේද, මහණෙනි, මෙපරිද්දෙන් ම භික්‍ෂු තෙම මෙම ශරීරය පිරිසිදුවූ, නිර්මලවූ සිතින් පැතිර හුන්නේ වේ. මේ සියලුම කය පිළිබඳ කිසිවක් පිරිසිදුවූ, නිර්මලවූ සිතින් ස්පර්‍ශ නොකරණ ලද්දේ නොවෙයි. මහණෙනි, ආර්‍ය්‍යවූ, අඞ්ග පසකින් යුක්තවූ, සම්‍යක් සමාධිහුගේ මේ සතරවන භාවනා වේ.
“නැවත අනිකක්ද කියමි. මහණෙනි, භික්‍ෂුහුගේ ප්‍රත්‍යවෙක්‍ෂා ඥාන නිමිත්ත මනාව ගන්නා ලද්දේ, මනාව මෙනෙහි කරණ ලද්දේ, මනාව දරණ ලද්දේ, නුවණින් මනාව අවබෝධ කරණ ලද්දේ වේද, මහණෙනි, යම් සේ අනිකෙක් හෝ අනිකෙකු බලන්නේද සිටියේ හෝ හුන්නහු බලන්නේද හුන්නේ හෝ හොත් තැනැත්තහු බලන්නේද, මහණෙනි, මෙපරිද්දෙන්ම භික්‍ෂුහුගේ ප්‍රත්‍යවෙක්‍ෂා ඥාන නිමිත්ත මනාව ගන්නා ලද්දේ, මනාව මෙනෙහි කරණ ලද්දේ, මනාව දරණ ලද්දේ, නුවණින් මනාව ප්‍රතිවේධ කරණ ලද්දේ වේයයි, මහණෙනි, ආර්‍ය්‍යවූ, අඞ්ග පසකින් යුක්තවූ, සම්‍යක් සමාධිහුගේ මේ පස්වන භාවනාව වේ.

“මහණෙනි, ආර්‍ය්‍යවූ, අඞ්ග පසකින් යුක්තවූ, සම්‍යක් සමාධිය වනාහි මෙසේ වඩනා ලද කල්හි, මෙසේ බහුල වශයෙන් කරණ ලද කල්හි, යම් යම් විශිෂ්ට ඥානයෙන් දැන, ප්‍රත්‍යක්‍ෂ කටයුතුවූ ධර්මයකට , විශිෂ්ට ඥාණයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කිරිම පිණිස සිත නමාද, ඒ ඒ කරුණ ඇති කල්හි ඒ ඒ ධර්මයෙහිම ප්‍රත්‍යක්‍ෂයෙන් සුදුසු බවට පැමිණේ.

“මහණෙනි, යම් සේ දිය සැලක් තෙම ආධාරකයෙහි තබන ලද්දේ, දියෙන් පිරූයේ, මුවවිට දක්වා පිරීම ඇත්තේ, කවුඩන් විසින් පානය කළ හැක්කේ වේද, එය බලවත් පුරුෂයෙක් තෙම යම් යම් දිශාවකින් කැමති වන්නේද, ඒ ඒ දිශාවෙන් දියට එන්නේද?” – “ස්වාමීනි, එසේය.”

“මහණෙනි, මෙපරිද්දෙන්ම භික්‍ෂු තෙම ආර්‍ය්‍යවූ, අඞ්ග පසකින් යුක්තවූ, සම්‍යක් සමාධිය මෙසේ වඩනා ලද කල්හි මෙසේ බහුල වශයෙන් කරණ ලද කල්හි, යම් යම් විශිෂ්ට ඥානයෙන් ප්‍රත්‍යක්‍ෂ කටයුතු ධර්මයක්හුගේ විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කිරීම සඳහා සිත නමයි. ඒ ඒ කරුණ ඇති කල්හි ඒ ඒ ධර්මයෙහිම ප්‍රත්‍යක්‍ෂයෙන් සුදුසු බවට පැමිණේ.
“මහණෙනි, යම් සේ සමවූ භූමි ප්‍රදේශයෙහි මියර බඳින ලද, දියෙන් පිරුණාවූ, මුවවිට දක්වා පිරීම් ඇති, කව්ඩන් විසින් පානය කළ හැකි හතරැස් පොකුණක් වේද, එය බලවත් පුරුෂයෙක් යම් යම් තැනකින් මියර මුදන්නේද, දියට පැමිණෙන්නේද?” –
“ස්වාමීනි, එසේය.”

“.මහණෙනි, මෙපරිද්දෙන්ම භික්‍ෂු තෙම ආර්‍ය්‍යවු අඞ්ග පසකින් යුක්තවූ, සම්‍යක් සමාධිය මෙසේ වැඩූ කල්හි, මෙසේ බහුල වශයෙන් කරණ ලද කල්හි, යම් යම් විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කටයුතු ධර්මයක්හුගේ විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කිරීම සඳහා සිත නමයිද, ඒ ඒ කාරණය ඇති කල්හි, ඒ ඒ ධර්මය පිළිබඳව ප්‍රත්‍යක්‍ෂයෙන් සුදුසු බවට පැමිණේ.

“මහණෙනි, යම් සේ යහපත් භූමියෙහි සතර මං සන්ධියෙක්හි සිටියාවූ, සරසට තබන ලද කෙවිට ඇත්තාවූ, අජානීය අශ්වයන් යොදන ලද රථයක් වේද, එයම දක්‍ෂවූ, අස් ඇදුරුවූ, අශ්වයන් දමනය කරණ රථාචාර්‍ය්‍ය තෙම නැඟී, වම් අතින් රැහැන් ගෙණ, අකුණු අතින් කෙවිට ගෙණ, කැමැති තැනකට, කැමැති ගමනකට යවන්නේද, ආපසු ගමන් කරවන්නේද,

“මහණෙනි, මෙපරිද්දෙන්ම භික්‍ෂු තෙම ආර්‍ය්‍යවූ, අඞ්ග පසකින් යුක්තවූ, සම්‍යක් සමාධිය මෙසේ වඩන ලද කල්හි මෙසේ බහුල වශයෙන් කරණ ලද කල්හි යම් යම් විශිෂ්ට ඥානයෙන් ප්‍රත්‍යක්‍ෂ කටයුතු ධර්මයක්හුගේ විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කිරීම සඳහා සිත නමයි.

“ඒ ඒ කාරණය ඇති කල්හි ඒ ඒ ධර්මයෙහිම ප්‍රත්‍යක්‍ෂයෙන් සුදුසු බවට පැමිණේ. ඉදින් හෙතෙම කැමති වේනම් අනෙක ප්‍රකාරවූ ඉර්ධි විධිය අනුව කරන්නේය. (මෙහි දීඝ නිකායේ 3 සූත්‍රයේ 70 ඡේදයේ “ඉදිරිපත්කොට” යන වචනයේ සිට යොදාගත යුතුයි.) ඒ ඒ කාරණය ඇති කල්හි ඒ ඒ ධර්මයෙහිම ප්‍රත්‍යක්‍ෂයෙන් සුදුසු බවට පැමිණෙයි.
“හෙතෙම ඉදින් කැමතිවන්නේ නම් පිරිසිදුවූ, දිව්‍යවූ ශ්‍රොත්‍රා ධාතුවෙන් (මෙහි දීඝ නිකායේ 2 වෙනි සූත්‍රයේ 70 ඡේදයේ “දිව්‍ය කණ,,,,,,” යන තැන සිට යෙදිය යුතුයි.) දුරවූද, ලඟවූද, යම් ශබ්ද කෙණෙක් ඇද්ද, ඒ ශබ්ද අසන්නේයයි ඒ ඒ කාරණය ඇති කල්හි ඒ ඒ ධර්මයෙහිම ප්‍රත්‍යක්‍ෂයෙන් සුදුසු බවට පැමිණේ.

“ඉදින් හෙතෙම කැමති වේ නම් අන්‍ය සත්ත්‍වයන්ගේ, අන්‍ය පුද්ගලයන්ගේ සිත තමන්ගේ සිතින් පිරිසිඳ දැනගන්නෙමියි රාග සහිත සිත හෝ රාග සහිත සිතයයි දැන ගන්නෙමියි (මෙහි දීඝ නිකායේ 2 වෙනි සූත්‍රයේ 72 ඡේදයේ “රිග සහිත සිතයයි දැනගන්නෙමියි” යන තැන සිට යෙදිය යුතුයි.) කෙළෙසුන්ගෙන් නොමිදුනාවූ සිත හෝ කෙළෙසුන්ගෙන් නොමිදුනාවූ සිතයයි දැනගන්නෙමියි ඒ ඒ කාරණය ඇති කල්හි ඒ ඒ ධර්මයෙහිම ප්‍රත්‍යක්‍ෂයෙන් සුදුසු බවට පැමිණේ.

“ඉදින් හෙතෙම කැමති වේ නම් අනෙක ප්‍රකාරවූ පෙර විසූ කඳ පිළිවෙල සිහි කරන්නෙමියි, එනම් (මෙහි දීඝ නිකායේ 2 සූත්‍රයේ 74 ඡේදයේ “එක් ජාතියක්ද” යන තැන සිට යොදාගත යුතුයි.) මෙසේ ආකාර සහිතවූ, උදෙසීම් සහිතවූ, අනෙක ප්‍රකාරවූ පෙර විසූ කඳ පිළිවෙල සිහි කරන්නෙමියි ඒ ඒ කාරණය ඇතිකල්හි ඒ ඒ ධර්මයෙහිම ප්‍රත්‍යක්‍ෂයෙන් සුදුසු බවට පැමිණේ.

“ඉදින් හෙතෙම කැමති වේ නම් පිරිසිදුවූ, මිනිසැස ඉක්මවන්නාවූ, දිව්‍යවූ ඇසින් (මෙහි දීඝ නිකායේ 2 සූත්‍රයේ 75 ඡේදයේ “හේ නොයෙක් පෙර විසීම්” යන තැන සිට යෙදිය යුතුයි.) කම්වූ පරිදි මිය පරලොව ගියාවූ සතුන් දැනගන්නෙමියි ඒ ඒ කාරණය ඇතිකල්හි ඒ ඒ ධර්මයෙහිම ප්‍රත්‍යක්‍ෂයෙන් සුදුසු බවට පැමිණේ. ඉදින් හෙතෙම කැමතිවේනම් ආශ්‍රවයන් නැසීමෙන් ආශ්‍රව රහිතවූ චිත්ත විමුක්තියටද, ප්‍රඥා විමුක්තියටද මේ ආත්මයෙහිම තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂකොට පැමිණ වාසය කරන්නෙමියි ඒ ඒ කාරණය ඇතිකල්හි ඒ ඒ ධර්මයෙහිම ප්‍රත්‍යක්‍ෂයෙන් සුදුසු බවට පැමිණේය” යි වදාළ සේක.

DIVIDER SL Elephant

AN 05-03-09.
වඞ්කමනානී සංඝ සූත්‍රය

§
“මහණෙනි, සක්මන් කිරීමෙහි මේ අනුසස් පසක් වෙත්. කවර පසක්ද යත්, දුර ගමන් යා හැකි වේ. වීර්‍ය්‍ය කිරීමට සමර්ත්‍ථ වේ. ස්වල්ප ආබාධ ඇත්තේ වේ. අනුභව කරණ ලද්ද, පානය කරණ ලද්ද, කන ලද්ද, රස විඳින ලද්ද මනාකොට පැසීමට යේ. සක්මනින් ලබන ලද සමාධිය තෙම බොහෝ කල් පවත්නේ වේ. මහණෙනි, මේ පස වනාහි සක්මන් කිරීමෙහි අනුසස් වෙත්යයි වදාළ සේක.

DIVIDER SL Elephant

AN 05-03-10.
නාගිත / ඉච්ඡානඞ්ගල සූත්‍රය

§1.  “එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ කොසොල් දනව්වල සැරිසරණ සේක් මහත්වූ භික්‍ෂු සංඝයා සමග ඉච්ඡානඞ්ගල නම්වූ කොසොල් දනව් වැස්සන්ගේ බමුණු ගමට  වැඩි සේක. එහි වැඩි  භාග්‍යවතුන් වහන්සේ ඉච්ඡානඞ්ගල නම් බමුණු ගම ඉච්ඡානඞ්ගල නම් වන ලැහැබෙහි වසන සේක.

§2 . ඉච්ඡානඞ්ගල නම් ගම් වැසි බ්‍රාහ්මණයන් හා ගෘහපතීහු ‘ශාක්‍ය පුත්‍රවූ, ශාක්‍ය කුලයෙන් නික්ම පැවිදිවූ, ශ්‍රමණ භවත් ගෞතම තෙමේ වනාහි ඉච්ඡානඞ්ගල නම් බමුණු ගමට පැමිණියේ, ඉච්ඡානඞ්ගල නම් ගමෙහි වූ, ඉච්ඡානඞ්ගල නම් වන ලැහැබෙහි වාසය කරයි.

§3 . භවත් ගෞතමයන් වහන්සේගේ වනාහි මෙබඳු යහපත්වූ ගුණ ඇත්තෙකැයි මහා ගුණ  ඝෝෂාවෙක් පැන නැංගේය. ඒ භාග්‍ය වත් තෙම මේ කාරණයෙනුත් අර්‍හත්ය, සම්‍යක් සම්බුද්‍ධය, විද්‍යාචරණයෙන් යුක්තය, සුගතය, ලොකවිදුය, නිරුත්තරවූ පුරුෂයන් දමනය කිරීමෙහි සාර්ත්‍ථවාහකයෙකු වැනිය. දෙවි මිනිසුන්ට ශාස්තෘය. චතුස්සත්‍ය අවබෝධ කෙළේය. භාග්‍යවත්යයි හෙතෙම දෙවියන් සහිතවූ, මාරයන් සහිතවූ, බ්‍රහ්මයන් සහිතවූ මේ ලෝකයද, මහණ බමුණන් සහිතවූ, දෙවි මිනිසුන් සහිතවූ, සත්ත්‍ව ප්‍රජාවද, තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂකොට ප්‍රකාශ කෙරෙයි. හෙතෙම මුල යහපත්වූ, මැද යහපත්වූ, කෙළවර යහපත්වූ, අර්ත්‍ථ සහිතවූ, ව්‍යඤ්ජන සහිතවූ ධර්මයක් දේශනා කරයි. සියල්ලෙන් සම්පූර්‍ණවූ පිරිසිදුවූ, බ්‍රහ්මචර්‍ය්‍යාව ප්‍රකාශ කරයි. එබඳුවූ රහතන්ගේ දැක්ම යහපත් වේමය’ යි ඇසුවාහුමය.

§4 . ඉක්බිති ඉච්ඡානඞ්ගල වැසි බ්‍රාහ්මණයන් හා ගෘහපතීහු ඒ රාත්‍රිය ඉක්මවීමෙන් බොහෝ කෑ යුතු දෙය, බුදිය යුතු දෙය හැර ගෙණ, ඉච්ඡානඞ්ගල නම් වන ලැහැබ යම් තැනෙක්හිද, එතැනට පැමිණියාහුය. පැමිණ, දොර කොටුවෙන් පිටත්හි උස්වූ ශබ්ද, මහත්වූ ශබ්ද ඇත්තාහු සිටියාහුය. එකල්හි වනාහි ආයුෂ්මත් නාගිත ස්ථවිර තෙම භාග්‍යවතුන් වහන්සේට උපස්ථාන කරන්නේ වෙයි.

§5 . “ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් නාගිත ස්ථවිරයන්ට ඇමතූ සේක. “නාගිතය, මස් විකුණන තැන කෙව්ලන් මෙන් මේ කවර නම් උස්වූ, මහත්වූ ශබ්ද ඇත්තෝ වෙද්ද?”
“ස්වාමීන් වහන්ස, මේ ඉච්ඡානඞ්ගල වැසි බ්‍රාහ්මණයන් හා ගෘහපතීහු බොහෝවූ කෑ යුතු දෙය හා අනුභව කටයුතු දෙය ගෙණවුත් දොර කොටුවෙන් පිට සිටියාහු භාග්‍යවතුන් වහන්සේම උදෙසාද, භික්‍ෂු සංඝයා උදෙසාද වෙවත්යයි”

§6 . “නාගිතය, මම යශස සමග එක් නොවෙමි. යශසද මා සමග එක් නොවේවා. නාගිතය, ඒ වනාහි මේ නෛශ්ක්‍රම්‍ය සැපය, ප්‍රකර්‍ශ විවේක සැපය, ව්‍යුපසම සැපය, සම්බොධි සැපය කැමති පරිදි ලබන්නේ, නිදුකින් ලබන්නේ පහසුවෙන් ලබන්නේ නොවන්නේය. මම යම් නෛශ්ක්‍රම්‍ය සුවයක්, ප්‍රකර්‍ශ විවේක සුවයක්, සංසිඳීම් සුවයක්, අවබෝධ කිරීම් සැපයක් කැමති පරිදි ලබන්නේ, නිදුකින් ලබන්නේ, පහසුවෙන් ලබන්නේ වෙම්ද, ඒ මම ඒ අපවිත්‍ර සැපය නිද්‍රා සැපය වූ ලාභ සත්කාර කිීර්ති සුවය ඉවසන්නේයයි”

“ස්වාමීනි, දැන් භාග්‍යවතුන් වහන්සේ ඉවසන සේක්වා.’ සුගතයන් වහන්සේ ඉවසන සේක්වා.’ ස්වාමීනි, දැන් භාග්‍යවතුන් වහන්සේට ඉවසීමට සුදුසු කාලය වේ. ස්වාමීනි, දැන් භාග්‍යවතුන් වහන්සේ යම් යම් දිශාවකින් වඩින්නේද, නියම් ගම් වැසි වූද, දනව් වැසි වූද, බ්‍රාහ්මණයන් හා ගෘහපතීහු ඒ දිශාවට නැවුනාහුම වන්නාහුය. ස්වාමීනි, යම් සේ මහත් පොද ඇති මේඝය වස්නා කල්හි පහත් බිමවූ පරිදි ජලයෝ පවතිත්ද, ස්වාමීනි, මෙපරිද්දෙන්ම දැන් භාග්‍යවතුන් වහන්සේ යම් යම් දිශාවකින්ම වඩින්නේද, නියම් ගම් වැසිවූද, දනව් වැසිවූද, බ්‍රාහ්මණයන් හා ගෘහපතීහු ඒ දිාශාවට නැමුනාහුම වන්නාහුය. ඊට හේතු කවරේද යත්? ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේගේ ශීලය හා ප්‍රඥාව එබඳුමයයි.”

“නාගිතය, මම යශස සමග එක් නොවෙමි. යශසද මා සමග එක් නොවේවා. නාගිතය, ඒ වනාහි මේ නෛශ්ක්‍රම්‍ය සැපය, ප්‍රකර්‍ශ විවේක සැපය, ව්‍යුපසම සැපය, සම්බොධි සැපය කැමති පරිදි ලබන්නේ, නිදුකින් ලබන්නේ පහසුවෙන් ලබන්නේ නොවන්නේය. මම යම් නෛශ්ක්‍රම්‍ය සුවයක්, ප්‍රකර්‍ශ විවේක සුවයක්, සංසිඳීම් සුවයක්, අවබෝධ කිරීම් සැපයක් කැමති පරිදි ලබන්නේ, නිදුකින් ලබන්නේ, පහසුවෙන් ලබන්නේ වෙම්ද, ඒ මම ඒ අපවිත්‍ර සැපය නිද්‍රා සැපය වූ ලාභ සත්කාර කිීර්ති සුවය ඉවසන්නේයයි”

§ “නාගිතය, අනුභව කරණ ලද, පාණය කරණ ලද, කන ලද, රස විඳින ලදහුගේ යම් මලමූත්‍රයක් වේද, මේ ඔහුගේ නිෂ්පත්තිය වේ. නාගිතය, ප්‍රියවූවන්ගේ වනාහි පෙරලීමෙන් අන් පරිදි වීමෙන් තැවීමය, වැළපීමය, කායික දුක්ය, දොම්නස්ය, දැඩි ආයාසය යන මොවුහු උපදිත්. මේ ඔහුගේ නිෂ්පත්තිය වේ. නාගිතය, අශුභ කර්ම ස්ථානානුයෝගයෙහි යෙදුනහුගේ වනාහි ශුභාරම්මනයෙන් පිළිකුල් බව පිහිටයි. මේ ඔහුගේ නිෂ්පත්තිය වේ. නාගිතය, සවැදෑරුම්වූ ස්පර්‍ශායතනයන්හි අනිත්‍ය අනුව බලමින් වාසය කරන්නහුගේ ස්පර්‍ශයෙහි පිළිකුල් බව පිහිටයි. මේ ඔහුගේ නිෂ්පත්තිය වේ. නාගිතය, පඤ්චොපාදානස්කන්‍ධයන්හි වනාහි ඇතිවීම, නැතිවීම අනුව බලමින් වාසය කරන්නහුගේ දැඩිකොට අල්වා ගැණීමෙහි පිළිකුල් බව පිහිටයි. මේ තෙමේ ඔහුගේ නිෂ්පත්තිය වේය” යි වදාළ සේක.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.