AN 08-03 ගහපති වග්ග (first five)

Ugga

AN 08-03-01.
වෙසාලිකඋග්ග සූත්‍රය


§ 1.

§  1. ’එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ විශාලා මහනුවර මහා වනයෙහි කූටාගාර ශාලාවෙහි වැඩ වාසය කරණ සේක. එහිදී  දිනෙක භාග්‍යවතුන් වහන්සේ, ’’මහණෙනි,’’ කියා භික්‍ෂූන්ට ආමන්ත්‍රණය කළ සේක. ’’පින්වතුන් වහන්සැ’’ යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට ප්‍රතිවචන දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

§  2. ’’මහණෙනි, විශාලාමහනුවර උග්ග ගෘහපතිහු   ආශ්චර්‍ය්‍ය අසාමාන්‍යය වූ ගුණ  අටකින් යුක්තවූයෙකැයි දැන ගනිවු’’ යයි  වදාළ සේක. සුගතයන් වහන්සේ මෙසේ වදාරා හුන් අස්නෙන් නැගිට ගඳ කිලියට වැඩි සේක.

§  3 . ’’ඒ අසා හුන්  එක්තරා භික්‍ෂූන් වහන්සේ නමක් (ඒ) පෙරවරු කාලයෙහි හැඳ පෙරෙව පාත්‍ර සිවුරු රැගෙන විශාලාමහනුවර උග්ග ගෘහපතියාගේ නිවස වෙත  පැමිණියේය. උග්ග ගහැපතියා  භික්ෂුව සොම්නසින් පිළිගෙන ගෙතුලෙහි අසුන් පනවා වැඳ වඩා හිඳවුයේය.  උග්ග ගෘහපතියා  භික්‍ෂූන් වහන්සේ වෙත  පැමිණ ඒ භික්‍ෂූන් වහන්සේට සකසා වැඳ එකත්පසෙක හුන්නේය. එකත්පසෙක හුන්නාවූ  උග්ග්‍ර ගෘහපතියාට ඒ භික්‍ෂූන් වහන්සේ මෙසේ ප්‍රකාශ කෙළේය.

’’ගෘහපතිය, ඔබ තුල අසාමාන්‍ය වුද ආශ්චර්‍ය්‍ය අද්භූතවූද  කරුණු අටක් වේ යයි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාළ සේක. ගෘහපතිය, ඔබ කෙරෙහි ඇත්තේයයි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද ඒ ආශ්චර්‍ය්‍ය අද්භූතවූ කරුණු අට කවරහුද?’’

’’ස්වාමීන් වහන්ස, මා අසාමාන්‍ය  ආශ්චර්‍ය්‍ය අද්භූතවූ කවර කරුණු අටකින් යුක්තවූවෙකු ලෙස භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ කුමක් නිසා දැයි මම නොදනිමි. , එසේද වුවත් මා කෙරෙහි ඇති යම් කිසි  ආශ්චර්‍ය්‍ය අද්භූතවූ කරුණු අටක් මම දනිමි.  ඒ කරුණු අට ශ්‍රවණය කළ මැනව. හොඳින් සිතේ තබාගනු මැනව. මම (එය) ප්‍රකාශ කරන් නෙමි.’’ –
’’එසේය, ගෘහපතිය’’ යි කියා ඒ භික්‍ෂූන් වහන්සේ විශාලාමහනුවර උග්ග් ගෘහපතියාට ප්‍රතිවචන දුන්නේය.

§  4. එවිට  උග්ග ගෘහපතියා මෙසේ ප්‍රකාශ කෙළේය.

§  (4.1) ’’ස්වාමීන් වහන්ස,  මම යම් දිනක භාග්‍යවතුන් වහන්සේ පළමු වරට  දුරදීම දැක්කෙම්ද, ස්වාමීන් වහන්ස, (ඒ) දැකිමත් සමගම භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මාගේ සිත ප්‍රසන්න වූයේය. විශ්වාසය උපන්නේය. ස්වාමීන් වහන්ස, මේ පළමුවන ආශ්චර්‍ය්‍ය අද්භූතවූ (ගුණ) ධර්‍මය  මා කෙරෙහි ඇත්තේය.

§  (4.2) . ’’ස්වාමීන් වහන්ස, මම එසේ   පහන් වූ  සිත් ඇත්තේ (ම) භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියෙමි. භාග්‍යවතුන් වහන්සේ (එසේ) පැමිණියාවු මට අනුපූර්‍ව කථා වදාළ සේක.   අනුපුර්ව කතා කවරේද යත් ;  දානය පිලිබඳ කථාවය, ශීලය පිලිබඳ කථාය, ස්වර්‍ගය ය පිලිබඳ කථාය. උන් වහන්සේ මට  කාමයන්ගේ ආදීනව, ලාමක බව, කෙලෙස් සහිත බව ගැන දේශනා කල සේක. අත් හැරීමේ  ආනිසංස වදාළ සේක.  මෙසේ මේ වදාළ ධර්මයන්  මා අවබෝධ කොටගත් බව හා ඉන් මා මනස මෘදුව ගිය බව හා විමුක්ති අපේක්ෂාවෙන් මසිත දැඩි ව ගොස්,  මසිත  නීවරණයන්ගෙන් දුරු වූ බව දත් කල භාග්‍යවතුන් වහන්සේ,  බුදුන් වහන්සේලාටම ස්වයන්භු  ඥානයෙන්  අවබෝධකරගත හැකි දුක්ඛ, සමුදය, නිරෝධ, මාර්ග යන චතුරාර්‍ය්‍ය සත්‍යය ධර්මය  දේශනා කල සේක. .

’’එවිට යම්සේ සෝදා පිරිසිදු කරන ලද, නොකිලිටි නොකැළැල් රෙද්දක් සායම් ගන්වද්දී  ඉතා පහසුවෙන්, නිරායාසයෙන් වර්ණ ගැන්වෙන්නාසේ , මා ඒ ධර්මය එසේ  අසමින් සිටි අසුනේදීම, මා හට   නොකිලිටි, පාරිශුද්ධ දහම් ඇස පහල විය.

හටගැන්මක් ඇත්තාවූ සියල්ල නිරුද්ධ වන බව මම දිටිමි. මම ධර්මය දිටිමි. ධර්මය වෙත එලඹීයෙමි. ධර්මය වටහා ගතිමි. මා තුල බුද්‍ධාදී අට තැන්හි කිසිදු සැකයක් නැති විය. .  (එහෙයින්ම)  කථංකථ විචිකිච්චාව දුරු විය.  කෙලෙස් රජසින් තොරවූ, කෙලෙස් මලින් තොරවූ, මාර්ග ඥානය උපන්නේය. මේ ශාස්තෘ ශාසනයෙහි අන්‍යයෙකුගේ සහායෙන් ලැබියයුතුවු සියලු අවබෝධය ලැබීමි. එහිදිම මම  බුදුන්ද, ධර්මයද, සඞ්ඝයාද සරණ ගියෙමි. බ්‍රහ්මචරියාව පස්වැනිවු ශික්‍ෂාපදයන් සමාදන් වුයෙමි.
[බ්‍රහ්මචාරීය පන්චමානි සික්ක පදානි : මේ සාමාන්‍ය  පංච සීලයය ශික්ස පදයන් හි කාමයෙහි වරදවා නොහැසිරීමේ ශික්ෂා පදය වෙනුවට කාමයෙන්  වෙන්වීමේ ශික්ෂා පදය සමාදන් වීමය.]
ස්වාමීන් වහන්ස, මේ දෙවැනි ආශ්චර්‍ය්‍ය අද්භූතවූ (ගුණ) ධර්‍මය  මා කෙරෙහි ඇත්තේය.

§   (4.3.) . ’’ස්වාමීනි,  මට එකල  තරුණ  භාර්‍ය්‍යාවෝ සිවු දෙනෙක් වුහ.
[එකල දඹදිව මිනිසුන් බහු භාර්ය සේවනය කලෝහ. සිය සමාජ තත්වයේ ධනවත් මාමේ තරමට භාර්යාවන් සරණ කර ගැන්ම සිරිත විය.]
ස්වාමිනි, එකල්හි මම ඒ භාර්‍ය්‍යාවන් වෙත  ගොස්  ඔවුනට මෙසේ 
කීවෙමි. ’නැගනියෙනි, මා විසින්  බ්‍රහ්මචර්‍ය්‍යා පස්වැනිවු ශික්‍ෂාපද (බ්‍රහ්මචරිය පඤ්චසීලය) සමාදන් වන ලදී. එසේ හෙයින්ය මෙවක්ම් පටන් මා කාම භෝගී ජීවිතයක් නොගෙවමි. ඔබ අතුරෙන් කැමැත්තෙක්  මෙහිම සම්පත් අනුභව කෙරේවා. කුසල්ද කෙරේවා, (එසේ නොහැකිනම්) සිය නෑ කුලයට හෝ යේවා. නොඑසේ නම් තොප අතුරින් කිසිවෙකු  (නැවත) විවාහවනු කැමැත්තහු නම් තමන් රිසි කෙනෙකු වේනම් ඔවුනට තොප සරණ කොට දෙමු’ යි කීමි.. 

මෙසේ කී කල්හි ඒ වැඩිමහළු භාර්‍ය්‍යා තොම, ’මා, මෙනම් ආර්‍ය්‍ය පුත්‍රයාට (ස්වාමිපුත්‍රයාහට) දෙව’ යි මට  කීවාය. ස්වාමීන් වහන්ස, එකල්හි මම ඒ පුරුෂයා කැඳවා, වමතින් භාර්‍ය්‍යාවගේ දකුණත අල්වා , දකුණතින් කෙණ්ඩිය ගෙන, (ඈ) ඒ පුරුෂයාහට (අත පැන් වත්කොට) විවාහ කර දුනිමි. ස්වාමිනි, මම මගේ තරුණ  භාර්‍ය්‍යාව එසේ වෙනෙකෙකුට පාවා දෙද්දී මසිතෙහි කිසිදු  වෙනස් බවක් නොදුටුවෙමි. ස්වාමිනි, මේ තුන්වැනි ආශ්චර්‍ය්‍ය අද්භූතවූ (ගුණ) ධර්‍මය  මා කෙරෙහි ඇත්තේය.

§  (4.4) . ’’ස්වාමිනි, මා සතු බොහෝ භව භෝග සම්පත් මා  ගෘහයෙහි  ඇත්තාහ. ඒ සියල්ල ඒ  වස්තුව  යහපත් ගුණ ධර්මයෙන් යුක්තවූ සිල්වතුන් හා අසීමිතව බෙදා ගෙන පරිභෝග කරමි.  ස්වාමිනි, මේ හතරවෙනි ආශ්චර්‍ය්‍ය අද්භූතවූ (ගුණ) ධර්‍මය  මා කෙරෙහි ඇත්තේය.

§ (4.5) .’’ස්වාමිනි, භික්‍ෂූන් වහන්සේ නමකට උපස්ථාන කරන්නේ නම් මම ඉතා ඕනෑකමින් භක්තියෙන් ඒ ඉටු කරමි. මනාව  සකස්වම (යහපත්වම) පැමිණෙන්නෙමි. නොසකස්ව නොපැමිණෙන්නෙමි. ස්වාමිනි, මේ පස්වැනි ආශ්චර්‍ය්‍ය අද්භූතවූ (ගුණ) ධර්‍මය හි මා කෙරෙහි ඇත්තේය.

§ (4.6). ’’ස්වාමිනි, ඉදින් ඒ ආයුෂ්මතුන් වහන්සේ මට ධර්මය දේශනා කෙරේ නම් මම මනාව අවධානයෙන් ඒ ශ්‍රවණය කරමි. නොසකස්ව ශ්‍රවණය නොකරමි. ඉදින් ඒ ආයුෂ්මතුන් වහන්සේ මට ධර්මයක් දේශනා නොකෙරේ නම් මම උන්වහන්සේට  සුදුසු ධර්මයක්  දේශනා කරමි. ස්වාමිනි, මේ සයවැනි ආශ්චර්‍ය්‍ය අද්භූතවූ (ගුණ) ධර්‍මය ද මා කෙරෙහි ඇත්තේය.

§ (4.7) . ’’ස්වාමිනි, සමහර විට  මා වෙත දෙවි  දේවතාවෝ පැමිණ, ’ගෘහපතිය, භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්මය මනාකොට දේශනා කරණ ලද්දේ වේය’ යි සැල කරත්. ස්වාමින් වහන්ස, ඔවුහු  මෙසේ කියන කල්හි මම ඒ දේවතාවුන්ට මෙසේ කියමි. ’දේවතාවෙනි, තෙපි කිවුවත්, නොකිවුවත් භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්මය මනාකොට දේශනා කරණ ලද්දේමය. ඒ ආශ්චර්‍ය්‍ය නොවෙයි.’

ස්වාමිනි,, මා වෙත දේවතාවෝ පැමිණෙත්යයි කියා හෝ, මම දේවතාවුන් සමග කථා කරමි කියා හෝ, ඒ හේතුවෙන් මා සිතෙහි උඩඟු බවක් නොම දනිමි. ස්වාමීනි,  මේ සත්වැනිවූ ආශ්චර්‍ය්‍ය අද්භූතවූ (ගුණ) ධර්‍මය  මා කෙරෙහි ඇත්තේය.

§  (4.8) . ’’ස්වාමිනි, භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරණ ලද්දාවූ කාම ධාතුව (කාම ලෝකය) භජනය කරන්නාවූ යම් ඒ සඤ්ඤොජන පසෙක් වෙත් නම් ඔවුන් අතුරෙන් කිසි සඤ්ඤොජන ධර්‍මයක් මා කෙරෙහි ප්‍රහීන නොවී ඇත්තේයයි මම නොදකිමි. [ තමන් අනාගාමි  ඵල ලාභියෙක් බව එතුමා මෙසේ හඟවයි.] ස්වාමිනි,  මේ අටවැනිවූ ආශ්චර්‍ය්‍ය අද්භූතවූ (ගුණ) ධර්‍මය  මා කෙරෙහි ඇත්තේය.

§ 5. ’’ස්වාමිනි, මේ  අසාමාන්‍ය ආශ්චර්‍ය්‍ය අද්භූතවූ (ගුණ) ධර්‍ම අට මා කෙරෙහි ඇත්තේය. ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් මා කවර ආශ්චර්‍ය්‍ය අද්භූතවූ (ගුණ) ධර්‍ම අටකින් යුක්තවූවෙකු ලෙස ප්‍රකාශ කරණ ලද්දේදැයි මම නොදනිමි.’’

එම සංවාදයෙන්   ඉක්බිති ඒ භික්‍ෂූන් වහන්සේ විශාලාමහනුවර උග්ග ගෘහපතියාගේ නිවසෙහි දී පුදනු ලැබූ  පිණ්ඩපාතය පිලි ගෙන හුනස්නෙන් නැගිට විහාරයට  වැඩියේය.

ඉක්බිති ඒ භික්‍ෂූන් වහන්සේ දානය වළඳා, පස්වරු කාලයෙහි භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ එකත්පසෙක හිඳ විශාලාමහනුවර උග්ග්‍ර ගෘහපතියා සමග (කරණ ලද) සියලු  කථා සල්ලාපය භාග්‍යවතුන් වහන්සේට සැළකෙළේය.

§ 6 . ’’යහපති, යහපති, මහණ, යම් සේ  උග්ග ගෘහපතීන් විසින් තොපට විස්තර කරනු ලැබූ එම අසාමාන්යවූ අද්භුතවූ ගුණ අට මම දේශනා කලෙමි. ඒ ගෘහපතියන් ඒ ආශ්චර්ය අසාමාන්‍ය ගුණ අටකින් යුක්ත බව තොප සිහියේ දරත්වා.’’

Devider 1

AN 08-03-02.
හත්‍ථිගාමක උග්ග සූත්‍රය

පුජ්‍ය කොටියකුඹුරේ සීවලී හිමියන් කල සුත්‍ර විවරණ දේශනාව

§ 1. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ වැදෑරට හස්ති ග්‍රාමයෙහි වැඩ වාසය කරණ සේක. එහිදී වනාහි භාග්‍යවතුන් වහන්සේ, ’’මහණෙනි,’’ කියා භික්‍ෂූන්ට ආමන්ත්‍රණය කළ සේක. ’’පින්වතුන් වහන්සැ’’ යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට ප්‍රතිවචන දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
’’මහණෙනි,
හස්තිග්‍රාමයෙහි  උග්ග  ගෘහපතියා ආශ්චර්‍ය්‍ය අද්භූතවූ කරුණු අටකින් යුක්තවූයෙකැයි මෙනෙහි කරවු’’ යයි මෙසේ වදාළ සේක. සුගතයන් වහන්සේ මෙසේ වදාරා හුනස්නෙන් නැගිට විහාරයට වැඩි සේක.


§ 2.’’ඉක්බිති එක්තරා භික්‍ෂූන් වහන්සේ නමක් පෙරවරු කාලයෙහි හැඳ පෙරවා පාත්‍ර සිවුරු රැගෙන හස්තිග්‍රාමක උග්‍ර ගෘහපතියාගේ නිවසට පැමිණියේය. පැමිණ, පණවන ලද අසුනෙහි වැඩ හුන්නේය. එකල්හි හස්තිග්‍රාමඋග්ග ගෘහපතියා ඒ භික්‍ෂූන් වහන්සේ වෙත  පැමිණ ඒ භික්‍ෂූන් වහන්සේට වැඳ එකත්පසෙක හුන්නේය. එකත්පසෙක හුන්නාවූ හස්තිග්‍රාමක උග්‍ර ගෘහපතියාට ඒ භික්‍ෂූන් වහන්සේ මෙසේ සැළකෙළේය.
’’ගෘහපතිය, ඔබ ආශ්චර්‍ය්‍ය අද්භූතවූ කරුණු අටකින් යුක්තවූයේයයි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාළ සේක. ගෘහපතිය, ඔබ කෙරෙහි ඇත්තේයයි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද ඒ ආශ්චර්‍ය්‍ය අද්භූතවූ කරුණු අට කවරහුද?’’

§ 3.’’ස්වාමීන් වහන්ස, මා ආශ්චර්‍ය්‍ය අද්භූතවූ කවර කරුණු අටකින් යුක්තවූවෙකු ලෙස භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේදැයි මම නොදනිමි. ස්වාමීන් වහන්ස, එසේද වුවත් මා කෙරෙහි යම් කිසි ආශ්චර්‍ය්‍ය අද්භූතවූ කරුණු අටක් විද්‍යමාන වෙත් යැය්  මා දනී නම්  ඒ කරුණු අට ශ්‍රවණය කළ මැනව. ’’ගෘහපතිය, එසේය’’ යි ඒ භික්‍ෂූන් වහන්සේ හස්තිග්‍රාමක උග්ග  ගෘහපතියාට ප්‍රතිවචන දුන්නේය.

හස්තිග්‍රාමක උග්ග ගෘහපතියා මෙසේ ප්‍රකාශ කෙළේය.

§ 3.1.’’ස්වාමීන් වහන්ස, යම් දිනයෙක්හි මම නාගවනයෙහි උද්‍යාන ක්‍රීඩාවෙන් හැසිරෙන කල්හි පළමුකොටම දුරදීම භාග්‍යවතුන් වහන්සේ දුටුයෙම්ද, ස්වාමීන් වහන්ස, ඒ දැකිමත් සමගම භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මාගේ සිත ප්‍රසන්න වූයේය. මාගේ  වූ සුරා මදයද පහව ගියේය. ස්වාමීන් වහන්ස, මේ පළමුවන ආශ්චර්‍ය්‍ය අද්භූතවූ (ගුණ) ධර්‍මය මා කෙරෙහි ඇත්තේය.

§ 3.2. ’’ස්වාමීන් වහන්ස, මම ඉදින් එසේ පහන්වූ  සිත් ඇතිවම මම  භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියෙමි. භාග්‍යවතුන් වහන්සේ  මට අනුපූර්‍ව කථාව වදාළ සේක. ඒ කෙසේදයත්?
දාන කථාය, ශීල කථාවය, ස්වර්‍ග කථාවය, කාමයන්ගේ ආදීනවය, ලාමක බවය, කෙලෙස් සහිත බවය, ගිහිගෙන් නික්මී පැවිදිවිම හා භවයෙන් නික්මීමෙහි අනුසස්ය.

ඉදින්  යම් අවස්ථාවෙක්හි  භාග්‍යවතුන් වහන්සේ, මාගේ සිත එකඟ වුයේ යැයි ද , මෘදුවූ සිත් ඇත්තේයයිද, කාමච්ඡන්දාදී නීවරණයන්ගෙන් තොරවූ සිත් ඇත්තේයයිද, ඔදවැඩි සිත් ඇත්තේයයිද, ප්‍රසන්නවූ සිත් ඇත්තේයයිද, දැන වදාළ සේක්ද, එකල්හි බුදුවරයන් වහන්සේලා විසින් ස්වයම්භූඥානයෙන් අවබෝධ කරණු ලබන්නාවූ දුක්ඛ, සමුදය, නිරෝධ, මාර්ග යන චතුරාර්‍ය්‍ය සත්‍යය ධර්ම දේශනාවක් වීනම් ඒ ධර්ම දේශනාව වදාළ සේක.

’’යම්සේ කිලුටු නොවූ පිරිසිදු  වස්ත්‍රයක් වර්ණ ගැන්වීමේදී මනාකොටම වර්‍ණණය පිළිගන්නේද, එපරිද්දෙන්ම එම අසුනෙහිදිම මට, ඇතිවන ස්වභාව ඇත්තාවූ යම්  ධර්මයක් වේ නම්, ඒ සියල්ල නිරුද්‍ධවන ස්වභාව ඇති “යයි, කෙලෙස් රජසින් තොරවූ, කෙලෙස් මලින් තොරවූ, මාර්ග ඥානය උපන්නේය.

’’ස්වාමීන් වහන්ස, මම එසේ දක්නාලද ආර්‍ය්‍ය සත්‍යය ධර්මඥානය ඇත්තේ, පැමිණෙන ලද ආර්‍ය්‍ය සත්‍යය ධර්මඥානය ඇත්තේ, අවබෝධ කරණ ලද ආර්‍ය්‍ය සත්‍යය ධර්මඥානය ඇත්තේ, හාත්පසින් බැස ගන්නා ලද ආර්‍ය්‍ය සත්‍යය ධර්මඥානය ඇත්තේ, තරණය කරණ ලද බුද්‍ධාදී අට තැන්හි සැක ඇත්තේ (එහෙයින්ම) පහවූ කථංකථ (විචිකිච්ඡා) ඇත්තේ, විශාරද භාවයට පැමිණියේ, ශාස්තෘ ශාසනයෙහි අන්‍යයෙකුගේ සහායෙන් ලැබියයුතුවු ප්‍රත්‍යය රහිතවූයේ, එහිදිම බුදුන්ද, ධර්මයද, සඞ්ඝයාද සරණ ගියෙමි. බ්‍රහ්මචරියාව සහිත වූ  පස්වැනිවු ශික්‍ෂාපදයන් සමාදන් වුයෙමි. [“බ්‍රහ්මචරිය පංචමානි සික්කා සමාදියාමි.”  සාමාන්‍ය පංච සීලයේ තුන් නි කාමයේ වරදවා හැසිරීමෙන් වැලකෙමි වෙනුවට මුළුමනින්ම කාම සේවනයෙන් වැලකෙමි” යන පදය ඇතුලත් වේ.]
ස්වාමීන් වහන්ස, මේ දෙවැනි ආශ්චර්‍ය්‍ය අද්භූතවූ (ගුණ) ධර්‍මය  මා කෙරෙහි ඇත්තේය.

§ 3.3. ’’ස්වාමීන් වහන්ස,  මට තරුණවූ භාර්‍ය්‍යාවෝ සිවු දෙනෙක් වුහ. ස්වාමීන් වහන්ස, එකල්හි මම ඒ භාර්‍ය්‍යාවන් වෙත  පැමිණ ඒ භාර්‍ය්‍යාවන්ට මෙසේ කීවෙමි. ’නැගනියෙනි, මා විසින් බ්‍රහ්මචර්‍ය්‍යා පස්වැනිවු ශික්‍ෂාපද (බ්‍රහ්මචරිය පඤ්චසීලය) සමාදන් වන ලදී. ඔබ ගෙන් කැමති අයෙක් තමන් කැමතිනම් මෙහිම සම්පත් අනුභව කෙරේවා. කුසල්ද කෙරේවා, (එසේ නොහැකිනම්) සිය නෑ කුලයට හෝ යේවා. තොප (නැවත) විවාහවනු කැමැත්තහු නම් කවරෙකුට (විවාහකර) දෙම්ද?’ ’ස්වාමීන් වහන්ස, මෙසේ කී කල්හි ඒ වැඩිමහළු භාර්‍ය්‍යාව මෙසේ කීවාය.
’මා මෙනම් ආර්‍ය්‍ය පුත්‍රයාට (ස්වාමිපුත්‍රයාහට) දෙව’ යි මට  කීවාය. ස්වාමීන් වහන්ස, එකල්හි මම ඒ පුරුෂයා කැඳවා, වමතින් භාර්‍ය්‍යාව අල්වාගෙන, දකුණතින් කෙණ්ඩිය ගෙන, ඈව  ඒ පුරුෂයාහට අත පැන් වත්කොට විවාහ කර දුනිමි. ස්වාමීන් වහන්ස, මම තරුණවූ ඒ භාර්‍ය්‍යාව එසේ පරිත්‍යාග කරන විටදී පවා මගේ සිතෙහි කිසිදු වෙනස් බවක් නොදිටිමි.
ස්වාමීන් වහන්ස, මේ තුන්වැනි ආශ්චර්‍ය්‍ය අද්භූතවූ (ගුණය ) ධර්‍මය මා කෙරෙහි ඇත්තේය.

§ 3.4. ’’ස්වාමීන් වහන්ස, මාගේ ගෘහයෙහි බොහෝ  වස්තුව ඇත්තාහ. ඒ වස්තුව  යහපත් ගුණ ධර්මයෙන් යුක්තවූ සිල්වතුන් වහන්සේලා සමග බෙදන ලද්දේ (පරිභෝග කරණ ලද්දේ) වෙයි. ස්වාමීන් වහන්ස, මේ හතරවෙනි ආශ්චර්‍ය්‍ය අද්භූතවූ (ගුණ) ධර්‍මය වනාහි මා කෙරෙහි ඇත්තේය.

§ 3.5. ’’ස්වාමීන් වහන්ස, මම යම් භික්‍ෂූන් වහන්සේ නමක් වෙත පැමිණෙන්නෙම් නම් ඉතා ගරු සත්කාර පෙරදැරිවම පැමිණෙන්නෙමි. නොසකස්ව නොපැමිණෙන්නෙමි. භික්ෂුන් වහන්සේ ධර්මයක් දේශනා කරත් නම් ඉතා ගරු සත්කාර පෙරදැරිවම ඒ ශ්‍රවණය  කරමි.
ස්වාමීන් වහන්ස, මේ පස්වැනි ආශ්චර්‍ය්‍ය අද්භූතවූ (ගුණ) ධර්‍මය වනාහි මා කෙරෙහි ඇත්තේය.

§ 3.6. ස්වාමීන් වහන්ස, මා විසින් සඞ්ඝයා වෙත දාන ආරාධනා කළ කල්හි, මා වෙත යම් දේවතාවෝ පැමිණ, ’ගෘහපතිය, අසවල් භික්‍ෂුව  උභතොභාග විමුක්තය. අසවල් භික්‍ෂුව  ශුෂ්ක විදර්‍ශකක්‍ෂීණාශ්‍රවය. අසවල් භික්‍ෂුව  කයින් ධ්‍යානය ස්පර්‍ශකොට පසුව නිවන් ලැබුවේය. අසවල් භික්‍ෂුව  දිඨප්පත්තය. අසවල් භික්‍ෂුව ශ්‍රද්‍ධා විමුක්තය. අසවල් භික්‍ෂුව  ශ්‍රද්‍ධානුසාරිය. අසවල් භික්‍ෂුව  ධර්මානුසාරීය. අසවල් භික්‍ෂුව  යහපත් ස්වභාව ඇත්තාවූ සිල්වතෙක්ය. අසවල් භික්‍ෂුව  ලාමක ස්වභාව ඇත්තාවූ දුශ්ශීලයෙක්ය’ යි සැලකරත්. ඒ මතුදු , මම  සඞ්ඝයා වළඳවන කල්හි මුන්වහන්සේට ස්වල්පයක් දෙමි. මුන්වහන්සේට බොහෝකොට දෙමියි මෙබඳු සිතක් මා තුල  නොදනිමි. ’’ස්වාමීන් වහන්ස, සියළු වහන්සේටම මම  සම සිත් ඇත්තේම දෙමි.
ස්වාමීන් වහන්ස, මේ සය වැනිවූ ආශ්චර්‍ය්‍ය අද්භූතවූ (ගුණ) ධර්‍මය වනාහි මා කෙරෙහි ඇත්තේය.

’§ 3.7.’’ස්වාමීන් වහන්ස, මා වෙත දේවතාවෝ පැමිණ, ’ගෘහපතිය, භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්මය මනාකොට දේශනා කරණ ලද්දේ වේය’ යි සැල කරත්. ස්වාමින් වහන්ස, මෙසේ කියන කල්හි මම ඒ දේවතාවුන්ට මෙසේ කියමි. ’දේවතාවෙනි, තෙපි කිවුවත්, නොකිවුවත් භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්මය මනාකොට දේශනා කරණ ලද්දේමය. ඒ ආශ්චර්‍ය්‍ය නොවෙයි.’ ස්වාමීන් වහන්ස, මා වෙත දේවතාවෝ පැමිණෙත්යයි කියා හෝ, මම දේවතාවුන් සමග කථා කරමි කියා හෝ, ඒ හේතුවෙන් මා සිතෙහි උඩඟු බවක් නොම දනිමි.
ස්වාමීන් වහන්ස, මේ සත්වැනිවූ ආශ්චර්‍ය්‍ය අද්භූතවූ (ගුණ) ධර්‍මය වනාහි මා කෙරෙහි ඇත්තේය.

§3.8. ’’ස්වාමීන් වහන්ස, ඉදින්  මම භාග්‍යවතුන් වහන්සේට පළමුවෙන් කළුරිය කරන්නෙම් නම්, ’මේ  හස්තිග්‍රාමක උග්‍ර ගෘහපතියා නැවත මේ ලෝකයට උත්පත්ති වශයෙන් එන්නට හේතුවන කිසිඳු සඤ්ඤොජනයක් ඔහුට නැතැ’ යි භාග්‍යවතුන් වහන්සේ වදාරණ ලද්දේ නම්  එය ආශ්චර්‍ය්‍ය නොවෙයි. [ තමන් අනාගාමි ඵල ලාභියෙක් බව මෙසේ සියලු නීවරණයන් සිඳලූ  බව ප්‍රකාශ කිරීමෙන් උග්ග ගහපති පිළිගනියි.]
’’ස්වාමීන් වහන්ස, මේ ආශ්චර්‍ය්‍ය අද්භූතවූ (ගුණ) ධර්‍ම අට මා කෙරෙහි ඇත්තේය. ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් මා කවර ආශ්චර්‍ය්‍ය අද්භූතවූ (ගුණ) ධර්‍ම අටකින් යුක්තවූවෙකු ලෙස ප්‍රකාශ කරණ ලද්දේදැයි මම  නොදනිමි.’’

§ 5. ඉක්බිති ඒ භික්‍ෂූන් වහන්සේ හස්තිග්‍රාමක උග්‍ර ගෘහපතියාගේ නිවසෙහි පිණ්ඩපාතය ගෙන හුනස්නෙන් නැගිට වැඩියේය. ඉක්බිති ඒ භික්‍ෂූන් වහන්සේ දානය වළඳා, පස්වරු කාලයෙහි භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ එකත්පසෙක හුන්නේය. එකත්පසෙක හුන්නාවු ඒ භික්‍ෂූන් වහන්සේ හස්තිග්‍රාමක උග්‍ර ගෘහපතියා සමග (කරණ ලද) යම් කථා සල්ලාපයක් වීනම්, ඒ සියල්ල භාග්‍යවතුන් වහන්සේට සැළකෙළේය.
English Version’’යහපති, යහපති, මහණ, යම් සේ වනාහි හේතු සහිතව ප්‍රකාශ කරන්නාවූ හස්තිග්‍රාමක උග්‍ර ගෘහපතියා ප්‍රකාශ කරන්නේද, මහණ, මා විසින්ද හස්තිග්‍රාමක උග්‍ර ගෘහපතියා ආශ්චර්‍ය්‍ය අද්භූතවූ (ගුණ) ධර්ම අටකින් යුකත වූයේයයි ප්‍රකාශ කරණ ලද්දේ ඒ මේ ගුණ ධර්ම අටින්මය. මහණ, හස්තිග්‍රාමක උග්‍ර ගෘහපතියා ආශ්චර්‍ය්‍ය අද්භූතවූ මේ ගුණධර්ම අටින් යුක්ත වූයේයයි (සිත්හි ලා) දරවු.’’

STAMP

Devider 1

AN 08-03-03.
හත්‍ථක සත්ත ධම්ම සූත්‍රය

§  1. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ අලව්නුවර අග්ගාලව චේතිය විහාරයෙහි වැඩ වාසය කරණ සේක. එහිදී දිනක්  භාග්‍යවතුන් වහන්සේ, “මහණෙනි” කියා භික්‍ෂූන්ට ආමන්ත්‍රණය කළ සේක. “පින්වතුන් වහන්සැ” යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට ප්‍රතිවචන දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

§ 2. “මහණෙනි, හත්‍ථක ආලවතයා ආශ්චර්‍ය්‍ය අද්භූතවූ (ගුණ) ධර්ම සතකින් යුක්ත වූයේයයි සිත්හි ලා දරවු. කවර ගුණ ධර්‍ම සතකින්ද යත්?”

  • “මහණෙනි, හත්‍ථක ආලවකයා ශ්‍රද්‍ධාවන්තයෙකි.
  • මහණෙනි, හත්‍ථක ආලවකයා සිල්වතෙකි.
  • මහණෙනි, හත්‍ථක ආලවකයා පාපයෙහි ලජ්ජා ඇත්තෙකි.
  • මහණෙනි, හත්‍ථක ආලවකයා පාපයෙහි භය ඇත්තෙකි.
  • මහණෙනි, හත්‍ථක ආලවකයා (ධර්‍මය) උගතෙකි.
  • මහණෙනි, හත්‍ථක ආලවකයා ත්‍යාගවන්තයෙකි.
  • මහණෙනි, හත්‍ථක ආලවකයා ප්‍රඥාවන්තයෙකි.

මහණෙනි, හත්‍ථක ආලවකයා ආශ්චර්‍ය්‍ය අද්භූතවූ මේ (ගුණ) ධර්ම සතින් යුක්ත වූයේයයි සිත්හි ලා දරවු.”
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. මෙසේ වදාරා හුනස්නෙන් නැගිට විහාරයට වැඩි සේක.

§  3. “ඉක්බිති එක්තරා භික්‍ෂූන් වහන්සේ නමක් පෙරවරු කාලයෙහි හැඳ පෙරවා පාත්‍ර සිවුරු රැගෙන හත්‍ථක ආලවකයාගේ නිවස යම් තැනකද, එතැන්හි පැමිණියේය. පැමිණ, පණවන ලද අසුනෙහි වැඩ හුන්නේය.
ඉක්බිති හත්‍ථක ආලවක ඒ භික්‍ෂූන් වහන්සේ වෙත පැමිණියේය. පැමිණ, ඒ භික්‍ෂූන් වහන්සේට වැඳ එකත්පසෙක හුන්නේය. එකත්පසෙක හුන්නාවු හත්‍ථක ආලවකයාට ඒ භික්‍ෂූන් වහන්සේ මෙසේ සැළකෙළේය.
“ඇවැත්නි, ඔබ ආශ්චර්‍ය්‍ය අද්භූතවූ (ගුණ) ධර්‍ම සතකින් යුක්තවූයේයයි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේය. ඒ කවර ගුණ ධර්ම සතකින්ද යත්?” ‘මහණෙනි, හත්‍ථක ආලවකයා ශ්‍රද්‍ධාවන්තයෙකි. මහණෙනි, හත්‍ථක ආලවකයා සිල්වතෙකි. මහණෙනි, හත්‍ථක ආලවකයා පාපයෙහි ලජ්ජා ඇත්තෙකි. මහණෙනි, හත්‍ථක ආලවකයා පාපයෙහි භය ඇත්තෙකි. මහණෙනි, හත්‍ථක ආලවකයා (ධර්‍මය) උගතෙකි. මහණෙනි, හත්‍ථක ආලවකයා ත්‍යාගවන්තයෙකි. මහණෙනි, හත්‍ථක ආලවකයා ප්‍රඥාවන්තයෙකි.
“ඇවැත්නි, ඔබ මේ ආශ්චර්‍ය්‍ය අද්භූතවූ ගුණ ධර්‍ම සකින් යුක්තවූයේයයි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේය.”

§ 4. “කිමෙක්ද, ස්වාමීන් වහන්ස, සුදු වස්ත්‍ර හඳින්නාවූ (එබඳුවූ) කිසි ගිහියෙක් නුවූයේද?”
“ඇවැත්නි, සුදු වස්ත්‍ර හඳින්නාවූ (එබඳුවූ) කිසි ගිහියෙක් නුවූයේය.”
“යහපති, ස්වාමීන් වහන්ස, ඉදින් මේ ශාසනයෙහි සුදු වස්ත්‍ර හඳින්නාවූ (එබඳුවූ) කිසි ගිහියෙක් නුවූයේය.”

§  5. “ඉක්බිති ඒ භික්‍ෂූන් වහන්සේ හත්‍ථක ආලවකයාගේ නිවසෙහි පිණ්ඩපාතය ගෙන හුනස්නෙන් නැගිට වැඩියේය. ඉක්බිති ඒ භික්‍ෂූන් වහන්සේ දන් වළඳා පස්වරු කාලයෙහි භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එකත්පසෙක හුන්නේය. එකත්පසෙක හුන්නාවූ ඒ භික්‍ෂූන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙසේ සැළ කෙලේය.
“ස්වාමීන් වහන්ස, පෙරවරු කාලයෙහි මම හැඳ පෙරවා පාත්‍ර සිවුරු රැගෙන හත්‍ථක ආලවකයාගේ නිවසට පැමිණියෙමි. පැමිණ පණවන ලද අසුනෙහි හුන්නෙමි. ස්වාමීන් වහන්ස, එකල්හි හත්‍ථක ආලවකයා මා වෙත පැමිණි යේය. පැමිණ, මා වැඳ එකත්පසෙක හුන්නේය. ස්වාමීන් වහන්ස, එකත්පසෙක හුන්නාවූ හත්‍ථක ආලවකයාට මම මෙසේ ප්‍රකාශ කෙළෙමි. “ඇවැත්නි, ඔබ ආශ්චර්‍ය්‍ය අද්භූතවූ (ගුණ) ධර්‍ම සතකින් යුක්තවූයේයයි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේය. ඒ කවර ගුණ ධර්ම සතකින්ද යත්?” ‘මහණෙනි, හත්‍ථක ආලවකයා ශ්‍රද්‍ධාවන්තයෙකි. මහණෙනි, හත්‍ථක ආලවකයා සිල්වතෙකි. මහණෙනි, හත්‍ථක ආලවකයා පාපයෙහි ලජ්ජා ඇත්තෙකි. මහණෙනි, හත්‍ථක ආලවකයා පාපයෙහි භය ඇත්තෙකි. මහණෙනි, හත්‍ථක ආලවකයා (ධර්‍මය) උගතෙකි. මහණෙනි, හත්‍ථක ආලවකයා ත්‍යාගවන්තයෙකි. මහණෙනි, හත්‍ථක ආලවකයා ප්‍රඥාවන්තයෙකි.
“ස්වාමීන් වහන්ස, මෙසේ කියන ලද කල්හි හත්‍ථක ආලවකයා මට මෙසේ කීයේය. “කිමෙක්ද, ස්වාමීන් වහන්ස, සුදු වස්ත්‍ර හඳින්නාවූ (එබඳුවූ) කිසි ගිහියෙක් නුවූයේද?” “ඇවැත්නි, සුදු වස්ත්‍ර හඳින්නාවූ (එබඳුවූ) කිසි ගිහියෙක් නුවූයේය.”
“යහපති, ස්වාමීන් වහන්ස, ඉදින් මේ ශාසනයෙහි සුදු වස්ත්‍ර හඳින්නාවූ (එබඳුවූ) කිසි ගිහියෙක් නුවූයේය.”

§ 6. “යහපති, යහපති, මහණ. මහණ, ඒ කුලපුත්‍රයා අල්පෙච්ඡයෙකි. තමා කෙරෙහි ඇත්තාවූද කුශල ධර්මයන් අනුන්ට හැඟවීමට නොකැමැති වෙයි. එසේ වී නම් මහණ, ඔබ මේ අටවැනිවූ ආශ්චර්‍ය්‍ය අද්භූතවූ යම් මේ අල්පෙච්ඡ ගුණ ධර්මයෙන්ද, හත්‍ථක ආලවකයා යුක්තවූයේයයි සිත්හි ලා දරව.”

Devider 1

AN 08-03-04.
මහාපරිස හත්‍ථකාලවක සූත්‍රය

§ 1. “එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ අලව්නුවර අග්ගාලව චේතිය විහාරයෙහි වැඩ වාසය කරණ සේක. එසමයෙහි හත්‍ථක ආලවකයා පන්සියයක් පමණ උපාසකවරුන් පිරිවරණ ලදුව භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එකත්පසෙක හුන්නේය.

§  2. එකත්පසෙක හුන්නාවූ හත්‍ථක ආලවකයාට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.
“හත්‍ථකය, තාගේ මේ පිරිස විශාලය. හත්‍ථකය, තා මේ විශාල පිරිස කෙසේ සංග්‍රහ කෙළේද?”
“ස්වාමීන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් යම් මේ සතර සංග්‍රහ වස්තුවක් දේශනා කරණ ලදද, මම එයින් මේ විශාල පිරිස සංග්‍රහ කරමි.

  • “ස්වාමීන් වහන්ස, මම යමෙකු ගැන මොහු දානයෙන් සංග්‍රහ කළ යුතුයයි දනිම්ද, ඔහුට දානයෙන් සංග්‍රහ කරමි. යමෙකු ගැන මොහු ප්‍රිය වචනයෙන්සංග්‍රහ කළ යුතුයයි දනිම්ද, ඔහුට ප්‍රිය වචනයෙන් සංග්‍රහ කරමි. යමෙකු ගැන මොහු අර්ත්‍ථචරියාවෙන් (වැඩ කටයුතු ගැන උපකාර කිරීමෙන්) සංග්‍රහ කළ යුතුයයි දනිම්ද, ඔහුට අර්ත්‍ථචරියාවෙන් සංග්‍රහ කරමි. යමෙකු ගැන මොහු සමානාත්මතායෙන් සංග්‍රහ කළ යුතුයයි දනිම්ද, ඔහුට සමානාත්මතායෙන් සංග්‍රහ කරමි. ස්වාමීන් වහන්ස, මාගේ නිවසෙහි භෝග සම්පත් ඇත්තාහ. (එහෙයින්) දිළින්දෝ වනාහි අපගේ අවවාදය පිළිගතයුතු යයි හඟිත්.”
  • “යහපති, යහපති, හත්‍ථකය, – හත්‍ථකය, විශාල පිරිසක් සංග්‍රහ කර ගැනීම සඳහා (එකතුකර ගැනිම සඳහා) මේ තාගේ උපායෙකි. හත්‍ථකය, අතීත කාලයෙහිද යම්කිසි කෙනෙක් මහත්වූ පිරිසක් රැස් කළාහු නම් ඒ සියල්ලෝම මේ සතර සංග්‍රහ වස්තුවෙන්ම මහත්වූ පිරිස සංග්‍රහ කළාහුය. (රැස් කළාහුය.) හත්‍ථකය, අනාගත කාලයෙහිද යම්කිසි කෙනෙක් මහත්වූ පිරිසක් රැස් කරන්නාහු නම් ඒ සියල්ලෝම මේ සතර සංග්‍රහ වස්තුවෙන්ම මහත්වූ පිරිස සංග්‍රහ කරන්නාහුය. හත්‍ථකය, වර්‍තමාන කාලයෙහිද යම්කිසි කෙනෙක් මහත්වූ පිරිසක් රැස් කෙරෙත් නම් ඒ සියල්ලෝම මේ සතර සංග්‍රහ වස්තුවෙන්ම මහත්වූ පිරිස සංග්‍රහ කෙරෙත්මය.”

ඉක්බිති හත්‍ථක ආලවකයා භාග්‍යවතුන් වහන්සේ විසින් දැහැමි කථාවෙන් කරුණු දක්වන ලද්දේ, සමාදන් කරවන ලද්දේ, උද්‍යෝග කරණු ලද්දේ, ප්‍රසන්න කරණු ලද්දේ, හුනස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේට වැඳ ප්‍රදක්‍ෂිණාකොට ගියේය.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ හත්‍ථක ආලවකයා ගිය නොබෝ වේලාවකින් භික්‍ෂූන්ට ආමන්ත්‍රණය කළ සේක.

“මහණෙනි, හත්‍ථක ආලවකයා ආශ්චර්‍ය්‍ය අද්භූතවූ ගුණ ධර්‍ම අටකින් යුක්තවූයේ යයි සිත්හි ලා දරවු. ඒ කවර ගුණ ධර්‍ම අටකින්ද යත්?

  • මහණෙනි, හත්‍ථක ආලවකයා ශ්‍රද්‍ධාවන්තයෙකි.
  • මහණෙනි, හත්‍ථක ආලවකයා සිල්වතෙකි.
  • මහණෙනි, හත්‍ථක ආලවකයා පාපයෙහි ලජ්ජා ඇත්තෙකි.
  • මහණෙනි, හත්‍ථක ආලවකයා පාපයෙහි භය ඇත්තෙකි.
  • මහණෙනි, හත්‍ථක ආලවකයා (ධර්‍මය) උගතෙකි.
  • මහණෙනි, හත්‍ථක ආලවකයා ත්‍යාගවන්තයෙකි.
  • මහණෙනි, හත්‍ථක ආලවකයා ප්‍රඥාවන්තයෙකි.
  • මහණෙනි, හත්‍ථක ආලවකයා අල්පෙච්ඡයෙකි.

මහණෙනි, හත්‍ථක ආලවකයා මේ (ගුණ) ධර්ම අටින් යුක්ත වූයේයයි සිත්හි ලා දරවු.”

Devider 1

AN 08-03-05.
මහානාම (සක්ක) සූත්‍රය

§ 1. “එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ ශාක්‍ය ජනපදයෙහි කිඹුල්වත්පුර නිග්‍රොධාරාමයෙහි වැඩ වාසය කරණ සේක. එසමයෙහි වරක්  මහානාම ශාක්‍ය (රජතුමා) භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ, වැඳ, මෙසේ සැළකෙළේය.

§ 2. “ස්වාමීන් වහන්ස, කොපමණකින් උපාසකයෙක් වේද?” (උපාසකයාගේ අඞ්ග කොපමණද?)

“මහානාමය, යම් දිනක පටන් බුදුන් සරණ ගියේද, ධර්‍මය සරණ ගියේද, සංඝයා සරණ ගියේද, මහානාමය, මෙපමණකින්ම උපාසක නම් වෙයි.”

§ 3. “ස්වාමීන් වහන්ස, කොපමණකින් උපාසකයා සිල්වත් වේද?”

“මහානාමය, යම් දිනක පටන් ප්‍රාණඝාතයෙන් තොර වූයේ වේද, අදත්තාදානයෙන් තොර වූයේ වේද, කාමයෙහි වරදවා හැසිරීමෙන් තොර වූයේ වේද, බොරු කීමෙන් තොර වූයේ වේද, ප්‍රමාදයට හේතුවූ මත්පැන් පානයෙන් තොර වූයේ වේද, මහානාමය, මෙපමණකින් උපාසකයා සිල්වතෙක් වෙයි.”

§ 4. “ස්වාමීන් වහන්ස, කොපමණකින් උපාසකයා අන්‍යයාගේ හිත වැඩ පිණිස නොව තමාගේ හිත වැඩ පිණිස පිළිපන්නේ වේද?”

  • “මහානාමය, යම් දිනක පටන් උපාසකයා තමා (පමණක්) ශ්‍රද්‍ධා සම්පත්තියෙන් යුක්තවූයේ වේද, අන්‍යයා ශ්‍රද්‍ධා සම්පත්තියෙහි නොයොදවාද,
  • තමා (පමණක්) ශීල සම්පත්තියෙන් යුක්තවූයේ වේද, අන්‍යයා ශීල සම්පත්තියෙහි නොයොදවාද,
  • තමා (පමණක්) ත්‍යාග සම්පත්තියෙන් යුක්තවූයේ වේද, අන්‍යයා ත්‍යාග සම්පත්තියෙහි නොයොදවාද,
  • තමා (පමණක්) භික්‍ෂූන් දැකීමට කැමති වේද, අන්‍යයා භික්‍ෂූන් දැකීමෙහි නොයොදවාද,
  • තමා (පමණක්) සඞර්‍මය ඇසීමෙහි කැමති වේද, අන්‍යයා සඞර්‍මය ඇසීමෙහි නොයොදවාද,
  • තමා (පමණක්) ඇසූ ධර්‍මයන් ධාරණය කර ගැනීමෙහි කැමති වේද, අන්‍යයා ධර්‍මය දරා ගැනීමෙහි නොයොදවාද,
  • තමා (පමණක්) දරාගත් ධර්‍මයන්ගේ අර්ත්‍ථ මෙනෙහි කරන්නේ (පරීක්‍ෂා කරන්නේ) වේද, අන්‍යයා ධර්මාර්ත්‍ථය පරීක්‍ෂණයෙහි නොයොදවාද,
  • තමා (පමණක්) ධර්මාර්ත්‍ථය දැන, ධර්මය දැන, ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි පිළිපන්නේ වේද, අන්‍යයා ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි නොයොදවාද,

මහානාමය, මෙපමණකින් උපාසකයා පර වැඩ පිණිස නොව තමා හිත වැඩ පිණිස පිළිපන්නේ වෙයි.”

§  5. “ස්වාමීන් වහන්ස, කොපමණකින්  උපාසකයා අත්වැඩ පිණිස පිළිපන්නේත් වේද, පරවැඩ පිණිස පිළිපන්නේත් වේද,

  • “මහානාමය, යම් දිනක පටන් තමා විසින්ද, ශ්‍රද්‍ධා සම්පත්තියෙන් යුක්තවූයේ වේද, අන්‍යයාද ශ්‍රද්‍ධා සම්පත්තියෙහි යොදවාද,
  • තෙමේ ශීල සම්පත්තියෙන් යුක්තවූයේ වේද, අන්‍යයාද ශීල සම්පත්තියෙහි යොදවාද,
  • තෙමේ ත්‍යාග සම්පත්තියෙන් යුක්තවූයේ වේද, අන්‍යයාද ත්‍යාග සම්පත්තියෙහි යොදවාද,
  • තෙමේ භික්‍ෂූන් දැකීමෙහි යෙදුනේ වේද, අන්‍යයාද භික්‍ෂූන් දැකීමෙහි යොදවාද,
  • තෙමේ බණ ඇසීමෙහි යෙදුනේ වේද, අන්‍යයාද බණ ඇසීමෙහි යොදවාද,
  • ඇසූ බණ සිත තබා ගැනීමෙහි යෙදුනේ වේද, අන්‍යයාද ඇසූ බණ සිත තබා ගැනීමෙහි යොදවාද,
  • තෙමේ සිත තබාගත් ධර්මයෙහි අර්ත්‍ථ පරීක්‍ෂා කිරීමෙහි යෙදුනේ වේද, අන්‍යයාද සිත තබාගත් ධර්මයෙහි අර්ත්‍ථ පරීක්‍ෂා කිරීම පිණිස යොදවාද,
  • තෙමේ අර්ත්‍ථය දැන, ධර්මය දැන, ධර්මානුධර්ම ප්‍රතිපදාවෙහි (බණට අනුව පිළිපැදීමෙහි) යෙදුනේ වේද, අන්‍යයාද බණට අනුව පිළිපැදීමෙහි යොදවාද, මහානාමය, මෙපමණකින් උපාසකයා අත් වැඩ පිණිසත්, පර වැඩ පිණිසත් පිළිපන්නේ වෙයි.”

next Button

6. ජීවක කොමාරහච්ච සූත්‍රය
7. අට්ඨබල සූත්‍රය
8. ඛීණාසව බල සූත්‍රය
9. අට්ඨක්ඛණ සූත්‍රය
10. අනුරුද්ධ මහාවිතක්ක සූත්‍රය

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.