MN 02-04-01- ඝටිකාර සුත්‍රය

අනාගාමි වීමට ගිහිව සිටීම බාධකයක් නොවන බව මේ ඝටිකාර චරිතයේන් ඔප්පු වේ. මනුෂ්‍යයෙක් අනාගාමි වීනම් ඔහු ගේ පැවැත්ම කෙසේ වේද යන්න මේ සුත්‍රයේ හොඳින් කියෑවේ. ඉතා කුඩා වුවද මේ සුත්‍රය ඉතා වැදගත් මෙන්ම මතභේදාත්මක කාරනා කිහිපයක් මතු කරයි. ලංකාව සහ බුරුමය ඇතුළු ථෙරවාද රටවල් කිහිපයක්ම පන්සීය පනස් ජාත්‍යය බුද්ධ භාෂිතයක් ලෙස සලකන බව අපි දනිමු. බෝධිසත්වයන් බුදුවීම සඳහා පාරමිතා දහයක් සම්පුර්ණ කලයුතු බවත් ඒ ලැයිස්තුවේ අන්තිම පාරමිතාව වන දාන පාරමිතාව සම්පුර්ණ කලේ බෝධිසත්වයන්ගේ අවසාන බෝධිසත්ව ජීවිතය ලෙස සලකන වෙස්සන්තර ජාතකයේදී බවත් මේ ථෙරවාදී රටවල සියළු බෞධයන් තරයේ විස්වාස කරති. මේ ඝටිකාර සුත්‍රය භාග්‍යවතුන් වහන්සේ වදාරමින් කියන්නේ ඒ ඝටිකාර නම් කුඹලා ගේ මිත්‍රයා වූ ජෝතිපාල තමන් වහන්සේ බවය. මේ ඝටිකාර කාශ්‍යප බුදු සසුනේ පිළිවෙත් පුරා බ්‍රහ්මලෝකවල ඉපිද හුන් බවත්, සිධාර්ථ කුමරු බුදුවූ පසු භාග්‍යවතුන් වහන්සේ හමුවීමට දෙවරක් පැමිණි බවත් සංයුක්ත නිකායේ මේ නමින්ම වෙන තවත් සුත්‍ර දෙකක දැක්වේ. ඒ එසේ වී නම් වෙස්සන්තර ජාතකය බුද්ධ පරිනිර්වාණයෙන් පසුව එක්වුණ අලුත් කොටසක් දෝ හෝයි සැකයක් ඇති වේ. වෙස්සන්තර කතාව ත්‍රිපිටකයේ ඇති කිසිම සුත්‍රයක සඳහන් නොවීම ද මේ වෙස්සන්තර නොව ජෝතිපාල, භාග්‍යවතුන් වහන්සේගේ අන්තිම බෝධිසත්ව භවය බව කියන කතාවට එකඟ වේ. ඒ හැරෙන්නට පසුව බුද්ධ භාෂිතයක් නොවන අභිධර්ම පිටකය යන නවාන්ගයට ඇතුළු කල “කථා වත්ථු ප්‍රකරණ” යෙහි කි පරිදි සිද්ධාර්ත කුමාරයා උපදින්නේ සකෘදාගාමි උතුමන් වහන්සේ කෙනෙක් ලෙස වේ. සර්වත්‍ර වාදී කණ්ඩායම ඉදිරිපත් කල මේ මතයද මුළුමනින්ම බැහැර කල නොහැකි බව පෙනේ. විසිවන සිය වසේදී බටහිර බෞද්ධ ගවේෂකයන් විසින් සිදුකරන ලද ග්‍රන්ථ ගවේෂණවලින් පෙනී යන්නේ ජාතක පොතේ ඇති කථා බොහෝමයක් දඹදිව හෝ අනෙක් පෙරදිග රටවල වූ මුල් ජන කතා බවත් පසුව ඒවා ගලපා සමහර සුත්රයන්ට එක් කල බවත්ය. වෙස්සන්තර ජාතකය කිසිම සුත්‍රයක හඳහන් නොවීම ද වෙස්සන්තර තවුසා සිය ලපටි දරුවන් දෙදෙනා සහ තම බිරිය ඔවුනට දුක් දෙමින් අනුන්ට දන් දීම සියලු සදාචාර ධර්මයන්ට නොගැලපෙන ක්‍රියා වීමද මේ ජාතකය පසු කාලයකදී කල ප්‍රබන්ධයක් බවට සැක ඇති කරයි. .

lay-deciples
කාශ්‍යප බුදුන් වහන්සේ ඝටිකාරඋපාසකගේ අන්ධ මා පියන්ගෙන් දානය ලැබීම බුරුම සිත්තරුවෙකු ඉදිරිපත්කල සැටි.
පුජ්‍ය කරම්පැල්ලේ සිරිධම්ම හිමි කල සුත්‍ර විවරණය

§ 1. මා විසින් මෙසේ අසනලදී.
එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ මහත්වූ භික්ෂු සමූහයක් සමග කොසොල් ජනපදයෙහි චාරිකාවෙහි වඩිනාසේක.

§ 2. ඒසේ පා ගමනින් චාරිකාවේ වඩින්නාවූ භාග්‍යවතුන් වහන්සේ වරක්  මාර්ගයෙන් ඉවත්ව එක්  තැනෙක  සිට සිනහ පහල කෙළේය. ඒ දුටු ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන්ට මෙබඳු සිතෙක් විය. ‘භාග්‍යවතුන් වහන්සේගේ සිනහ පහළ කිරීමට හේතුව කිමෙක්ද? ප්‍රත්‍යය (කරුණ) කිමෙක්ද? තථාගතවරයෝ කරුණක් නැතිව සිනහ පහල නොකෙරෙති’යි (කියාය.)

එකල්හි ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ සිය සිවුර එකාංශකොට පොරවා, භාග්‍යවතුන් වහන්සේ දෙසට ඇඳිලිබැඳ වැඳ, භාග්‍යවතුන් වහන්සේ ගෙන් මෙසේ ඇසීය.
“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේගේ සිනහ පහළ කිරීමට හේතුව කුමක්ද? කාරණය කුමක්ද? තථාගත වරයෝ නොකරුණෙහි සිනහ පහල නොකෙරෙති”යි කියාය.

§ 3. “ආනන්දය, බොහෝ කලකට පෙර  මේ ප්‍රදෙශයෙහි සමුර්ධවූ සැප සම්පත් ඇති,  බොහෝ ජනයා වාසයකළ වෙභලිංග නම් නියම් ගමෙක් විය. ආනන්දය, භාග්‍යවත්වූ අර්හත්වූ කාශ්‍යප සම්‍යක් සම්බුදුන් වහන්සේ වෙගලිංග  නියම්ගම ඇසුරුකොට විසූහ. ආනන්දය,  කාශ්‍යප සම්‍යක් සම්බුදුන් වහන්සේ මෙහි වැඩහිඳ, භික්ෂු සංඝයාට අවවාද කළේය. යයි” (වදාළහ.)

§ 4 එකල්හි ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ, දෙපට සිවුර සතරට නමා අසුනක් පණවා භාග්‍යවතුන් වහන්සේට මෙසේ  කීහ. “ස්වාමීනි, එසේ නම් භාග්‍යවතුන් වහන්සේ මෙහි හිඳිනා සේක්වා. එකල්හි මේ ස්ථානය අර්හත්වූ සම්‍යක් සම්බුදුවරු දෙදෙනෙකුන් වහන්සේ විසින් පරිභොග කරණ ලද්දේ වන්නේය”යි කීහ. භාග්‍යවතුන් වහන්සේ පැණවූ අස්නෙහි වැඩඋන්හ. හිඳගත් භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ආනන්දයන්ට මෙසේ දේසනා කළහ.

§ 5. “ආනන්දය, එදවස වෙගලිංග නියම්ගම ඇසුරු කොට විසු  කාශ්‍යප සම්‍යක් සම්බුදුන් වහන්සේ වැඩවිසූ  ආරාමය ද මෙහි වූයේය.  ආනන්දය, මෙහි වැඩහුන්නාවූ කාශ්‍යප සම්‍යක් සම්බුදුන් වහන්සේ භික්ෂු සංඝයාට අවවාද අනුසාසනා කළේය.

§ 6. “ආනන්දය, වෙගලිංග ගමෙහි මේ  කාශ්‍යප සම්‍යක් සම්බුදුන්ගේ උපස්ථායකවූ ඝටීකාර නම් කුම්භ කාරයෙක් වූයේය.[= මැටියෙන් භාජන සදා විකුණා දිවි ගෙවන්නා] ඔහු  ඒ කාශ්‍යප  බුදුන් වහන්සේගේ  අග්‍ර  උපස්ථායක වුහ. එම  ඝටීකාර කුම්භකාරයාට  යහළුවූ ජොතිපාල 790 නම් බ්‍රාහ්මණ කුලයේ සම වියෙහි වූ තරුණයෙක්ද වූයේය

[ 790: මේ සුත්රාවසානයෙදී  ඒ අත් බැව්හි ජෝතිපාල වුයේ තමන් වහන්සේ බවද දෙව් අත් බවෙක ඉන්නා ඝටිකාරයන් උන්වහන්සේ හමුවීමට ආ බවද දක්වා වදාරයි. සංයුක්ත නිකාය දේව සංයුක්තයේ ]

“ආනන්දය,  ඝටීකාර කුඹල් තරුණයා කාශ්‍යප බුදුන්ට නිතර උපස්ථාන කරන්නේ ප්‍රධානම දායකයෙක් බඳු විය. එනමුත් ජෝතිපාල මානවකයා බුදුන් දකින්නට පවා නොගියා වේ. වරක්   ඒ, ඝටීකාර කුම්භකාර තෙමේ ජොතිපාල මානවකයාට කථා කෙළේය.

“මිතුර ජොතිපාලය, භාග්‍යවත්වූ අර්හත්වූ කාශ්‍යප සම්‍යක් සම්බුදුන් දැකීම පිණිස යමු.  ඒ භාග්‍යවත්වූ අර්හත්වූ ඒ සම්‍යක් සම්බුදුන්ගේ දැකීම් පවා යහපතැයි බොහෝ දෙනා කියති. එබැවින් අපි යමු’යි (කීහ.) ‘මිත්‍ර ඝටීකාරය, ඒ මුඩු ශ්‍රමණයා791 දැකීමෙන් කවර නම් ප්‍රයෝජනයෙක්ද, ඉන් කම් නැතැ”යි, කීයා බුදුන් දැකීමට යාම ප්‍රතික්ෂේප කළේය.

“ආනන්දය, මෙසේ ජොතිපාල මානවකයා දෙවන වරටත්, තුන්වෙනි වරටත් ඇවිටිලි කලත් ජෝතිපාල තුන්වරම ;.
‘මිත්‍ර ඝටීකාරය, ඒ මුඩු ශ්‍රමණයා791 දැකීමෙන් කවර නම් ප්‍රයෝජනයෙක්ද, ඉන් කම් නැතැ”යි, කීයා ජොතිපාල මානවකයා තෙවරම බුදුන් දකින්නට යාම ප්‍රතික්ෂේප කළේය..

[791: එදවස දඹදිව ගිහි සැප විඳින බ්‍රාහ්මණ ආගම අදහන කුලීන බ්‍රාහ්මණ වංශිකයන් විසින් ගිහි ගේ හැර ගොස් හිස් රවුල් බහා ශ්‍රමණ බවට පත්ව නොයෙක් යෝග හා වෘත රකින ශ්‍රමණයන් “මුඩු මහණුන්”  යැයි අවමන් කොට කථා කිරීම පුරුද්දක්ව තිබිණ.]

§ 7. එවිට “එසේ නම් යහළු ජොතිපාලය, නහන සුණු792 ගෙන දියනාන්ට ගඟට යමුයි’ කීය. ආනන්දය, එවිට ජොතිපාල මානවකයා , ‘යහලුව එසේනම් යහපති’යි  කියා, නහන සුණු ද ගෙණ දිය නෑමට ගඟට ගියාහුය.

[792: අද සබන් මෙන් එදා මිනිසුන් පාවිචියට ගත්තේ කුරුවින්ද නම් පාශානයෙන් පිළියෙළ කල නහන සුනු වර්ගයකි]

“ආනන්දය, ගඟට බැස දිය නා අවසන් කලවිට ඝටීකාර කුම්භකාර යන් ජොතිපාල මානවකයාට කථා කොට, “යහලුව ජොතිපාලය, භාග්‍යවත්වූ අර්හත්වූ කාශ්‍යප සම්‍යක් සම්බුදුන් වැඩ වසන  ආරාමය ඇත්තේ මේ ළඟය. වැඩි වෙහෙසක් නැතිවම එහි යා හැක. උන් වහන්සේ දැකීම පවා මංගල කාරණයක් යැයි ජනයා අදහන නිසා  අප දෙදෙනා  නෑමෙන් පසු ඒ ආරාමයට යමු!”යි කීය.

‘මිත්‍ර ඝටීකාරය, ඒ මුඩු ශ්‍රමණයා දැකීමෙන් කවර නම් ප්‍රයෝජනයෙක්ද, ඉන් කම් නැතැ”යි, කීයා බුදුන් දැකීමට යාම ප්‍රතික්ෂේප කළේය.

“ආනන්දය, දෙවනුවත් තුන්වනුවත් ඝටීකාර මානවකයා, ජොතිපාල මානවකයාට ආරාමයට ගොස් බුදුන් දකිමු”යි, මෙසේ ආයාචනා කලත් ජෝතිපාලයන් ඒ හැම වරම ආරාමයට ගොස් බුදුන් දැකීම ප්‍රතික්ෂේප කළේය.

§ 8 .“මෙසේ තෙවරක්ම වූ කල්හි ඝටීකාර කුම්භකාරයන් නාමින් සිටි   ජොතිපාල මාණවකයාගේ අඩන සළුව බැඳ තැබූ පටියෙන් අල්වා නැවත “යහලුව ජොතිපාලය, භාග්‍යවත්වූ අර්හත්වූ කාශ්‍යප සම්‍යක් සම්බුදුන් දකින්නට යාම පහසුය. එහි ගොස් උන් වහන්සේ දකිමු” යි කීවත් ජොතිපාල තරුණයා ඝටීකාර ට මෙසේ කීය. ‘යහලුව , මුඩු ශ්‍රමණයන් දැකීමෙන් කුමන ඵලයක් ද , එයින් වැඩක් නැතැ”යි, කීය. තෙවරක්ම මෙසේ ඝටිකාරගේ ආරාධනය ජෝතිපාල විසින් ප්‍රතික්ෂේප කළේය.

§ 9. ““එකල්හි ආනන්දය, ඝටීකාර කුම්භකාරයන් නා පිරිසිදු කොට සිටි ජොතිපාල මාණවකයාගේ දිග් කෙස් වල්ලෙන්  අල්වා ගෙන793 නැවතත් මෙසේ කීය. ‘ ජොතිපාලයිනි, භාග්‍යවත්වූ අර්හත්වූ කාශ්‍යප සම්‍යක් සම්බුදුන්ගේ ආරාමය මේ අසලම්ය. යහළුව ජොතිපාලයිනි, භාග්‍යවත් අර්හත් කාශ්‍යප සම්‍යක් සම්බුදුන් දැකීමට යමු. මාගේ භාග්‍යවත්වූ අර්හත්වූ ඒ සම්‍යක් සම්බුදුන්ගේ දැකීම යහපතය කියා සම්මතය, (එහෙයින්) යමුයි’ කීය.

[793:- දඹදිව අදටත් පවතින කුල වාදය බුදුන් කල ඉතා බලවත්ව සමාජය සකලිය. බ්‍රාහ්මණ කුලය ඉහලම කුලය ලෙසටත්, ක්ෂත්‍රිය, වෛශ්‍ය, ශුද්‍ර යන සෙසු කුලයන් ඒ අනුපිළිවෙලින් සැලකුහ. බ්‍රාහ්මණ වන්ශිකයකුගේ හිස් කළඹ ඇල්ලීම ඉතා බලවත් දඬුවම් ලැබිය හැකි අප ක්‍රියාවක් ලෙස එදා සැලකුණි. උතුම් කුලයෙක අයෙකු ගේ කෙස් හෝ හිස් ඇල්ලීම ඉතා දැඩි වරදක් බව දන දැනත් ඝටිකාර එසේ කලේ කෙසේ හෝ ජෝතිපාලයන් භාග්‍යවතුන් වෙත කැඳවා යාමට ඔහු තුල වූ අධිෂ්ඨාන ය නිසාය]

§ 10. “එකල්හි ආනන්දය, ජොතිපාල තරුණයා  සිතන්නේ   මේ තරම් දැඩි සමාජ සම්මතයක් නොසලකා මගේ කෙස් වල්ලෙන් අල්ලා ඝටිකාර  මට මෙසේ කියන්නේ එය ඉතා වැදගත් වූවක් නිසා  යයි දැන ,
” මිතුර  ඝටිකාර, ඔබ මට මෙසේ බලකරන්නේ එසේ එහි යාම ඒ තරම්ම වැදගත් එකක් සේ ඔබ සලකන්නේද”යි ඇසීය. ඝටීකාර මානවකය කියන්නේ,
“එසේය . මිතුර ජෝතිපාලය. සම්මා සම්බුද්ධ වූ අරහත්වූ භාග්‍යවතුන් වහන්සේ ගේ දර්ශනය පවා ඉතා උතුම්ය.”

“මිතුර, එසේනම් ඔබ බල කරන නිසාම එන්නෙමි”යැයි කියා නහා අවසන නැවුම් පිලි හැඳ  භාග්‍යවත් කාශ්‍යප සම්‍යක් සම්බුදුන් වහන්සේ වෙත දෙමිතුරෝ පැමිණියාහුය.

එසේ පැමිනි ඝටීකාර  මානවකයා භාග්‍යවත්වූ අර්හත්වූ කාශ්‍යප බුදුරජාණන් වහන්සේට වන්දනා කොට එක් පැත්තක හිඳ ගත්තේය. “ජොතිපාල තරුණයාද  සම්‍යක් සම්බුදු රජාණන් වහන්සේ සමග  සතුටු සාමිචි කතා කොට නිමවා එක් පැත්තක හිඳගත්තේය.

“ආනන්දය, එක් පසෙක උන්නාවූ ඝටීකාර කුම්භකාර කාශ්‍යප බුදුන් වහන්සේට මෙසේ කීය.
‘ස්වාමීනි,  මේ ජොතිපාල බ්‍රාහ්මණ මානවක යාය. ඔහු   මාගේ හොඳම මිතුරාය. භාග්‍යවතුන් වහන්සේ ඔහුට ධර්මය දේශනා කරන සේක්වා! ” යයි කීය.

එකල්හි කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේ සසර බිය දක්වා කෙලෙස් ගිනි නිවීමේ යහපත් ඵල දක්වමින් ධර්ම දේශනාවක් කල සේක. ඔහු සිත් නෛෂ්ක්රමයෙහි කුළු ගැන්වූ සේක. උනන්දු කල සේක. එසේ සිත් පහදවන ලද්දාවූ ඝටීකාර කුම්භකාර යන්ද ජොතිපාල මානවකයන්ද භාග්‍යවතුන් වහන්සේ ගේ දේශනාවට ඉතා සතුටුව අනුමෝදන්ව හුනස්නෙන් නැගිට, සම්බුදුන්ට වැඳ, පැදකුණු කොට පිවව  ගියාහුය.

§ 11 .“එකල්හි ආනන්දය, ජොතිපාල මානවකයා සිය මිතුරු ඝටීකාර කුම්භකාරයාගෙන්  මෙසේ ඇසීය.
“යහලුව ඝටීකාරය, නුඹ ධර්මය ඇසීම පමණක් කරන්නෙහිද, ඇසීමෙන් පමණක් නොනැවතී  ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි නොවන්නේ මන්දැ”යි කියාය. 
‘යහලුව, ජොතිපාලය, මා මගේ අන්ධවූ මහළුවූ මව්පියන් පොෂණය කරන බව  තොප නො දන්නෙහිද? මා සාසන ගත වූ කල්හි ඒ අන්ධ දෙමාපියන් හට සරණක් නැති වන නිසා මට පැවිදි වීම කල නොහැක”යැයි කීය.
‘යහලු ඝටීකාරය, එසේනම් මම ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වන්නෙමි’යි ජෝතිපාල බමුණු මානවකයා කීය.

§ 12 “එවිට ආනන්දය, ඝටීකාර මානවකයාද  ජොතිපාල   මානවක යාද, නොබෝ දිනකින් ම  භාග්‍යවත් අර්හත් කාශ්‍යප සම්‍යක් සම්බුද්ධ රාජයාණන් වෙත  පැමිණ,  වැඳ එක් පසෙක හිඳගත්හ. “ආනන්දය, එක් පසෙක හුන්නාවූ ඝටීකාර කාශ්‍යප සම්‍යක් සම්බුදුන්ට මෙසේ කීය
‘ස්වාමීනි, මේ ජොතිපාල නම්   මාගේ  ප්‍රිය යහළුවා බුද්ධ  සාසනයේ ප්‍රව්ජ්‍යාව ප්‍රාර්ථනා කරයි. ඔහු කෙරෙහි අනුකම්පාවෙන් භාග්‍යවතුන් වහන්සේ ඔහු පැවිදි කරණ සේක්වා”යි කීය.’
“ආනන්දය, ජොතිපාල මානවකයන් භාග්‍යවත්වූ අර්හත්වූ කාශ්‍යප සම්‍යක් සම්බුදුන් සමීපයෙහි එසේ මහණ උපසම්පදාව ලැබීය 794 ;

[794: බෝධි සත්වයන් වහන්සේ  කෙනෙකු මෙසේ අන් සම්මා සම්බුදු සාසනයක පැවිදිව සීල පුර්ණය හා විදර්ශනා ඥාන වර්ධනය කර ගන්නේ නමුදු ආර්ය ඵල ලැබීමට උත්සාහයක් නොදරන්නේ එසේ වුවහොත් සම්බුද්ධත්වය පතා පිරු පෙරුම් දම් බිදෙන නිසා බව අටුවාව පැහැදිලි කරයි.]

§  13.   “පැවිද්දෙන් අඩමසකින්  පසු ජෝතිපාල භික්ෂුව උපසම්පදාව ලත් ඉක්බිති කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේ වෙගලිංගයෙහි කැමති තාක්කල් වාසයකොට නොබෝ කලකින්  බරණැස දෙසට චාරිකාව සඳහා වැඩියේය. පිළිවෙළින් චාරිකාවෙහි වඩිනුයේ බරණැස වෙත  පැමිණියේ බරණැස සමීපයෙහි මිගදාය නම් ඉසිපතනාරාමයෙහි වැඩ වසයි.

§ 14. “ආනන්දය, එකල කිකී නම් කසීරජ එරට රාජ්‍යකරන්නේය. “ආනන්දය, භාග්‍යවත්වූ අර්හත්වූ සම්‍යක් කාශ්‍යප බුදුරජානන් වහන්සේ  බරණැසට පැමිණ, බරණැස මිගදාය නම් ඉසිපතනයෙහි වාසය කෙරේයයි ඇසු කිකී රජ, රාජකීය අස් රිය පෙලකින් යුක්තව මහත් රාජානුභාවයෙන් භාග්‍යවත්වූ අර්හත්වූ කාශ්‍යප සම්‍යක් සම්බුදුන් දැකීම පිණිස බරණැසෙන් පිටත්ව යානාවෙන් යාමට සුදුසුතැන් දක්වා යානාවෙන් ගොස් යානාවෙන් බැස, කාශ්‍යප සම්‍යක් සම්බුදු රජානන් වසන මිගදායට  පයින්ම ගොස්, භාග්‍යවත්වූ අර්හත්වූ, කාශ්‍යප සම්‍යක් සම්බුදුන් වැඳ, එකත් පස්ව උන්නේය.
“ආනන්දය, එසේ හුන් කිකී නම් කසීරජුට භාග්‍යවත්වූ බුදුන් වහන්සේ ධර්ම කථාවෙන් මනාකොට කරුණු දැක්වීය. මනාව කරුණු සිත් ගැන්වීය. කරුණෙහි සිත මනාව තියුණු කරවීය. මනාකොට සිත පැහැද වීය.

§ 15. “එකල්හි ආනන්දය, මෙසේ  සම්බුදුන් විසින් දහම් කතාවෙන් සමාදන් කරවන ලද්දාවූ, කිකී කසී රජ භාග්‍යවත් අර්හත් කාශ්‍යප සම්‍යක් සම්බුදුන්ට, ‘ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ භික්ෂු සංඝයා සමග සෙට දවස පිණිස මාගේ බත ඉවසන සේක්වා!යි’ පසුදා පිණිස දාන ආරාධනා කළේය.
“ආනන්දය, කාශ්‍යප සම්‍යක් සම්බුදු රජ නිශ්ශබ්ද භාවයෙන් ඒ ආරාධනය  ඉවසීය.  කිකී  රජතුමා   සම්බුදුන්ගේ ඉවසීම දැන ආසනයෙන් නැගිට, සම්බුදුන් වැඳ, පැදකුණුකොට සිය රජ මැදුර වෙත  ගියේය.

§  16. “ඉක්බිති ආනන්දය, කිකී රජ ඒ රාත්‍රිය ඇවෑමෙන් සිය මැදුරෙහි අරක් කැමියන් ලවා ඉතා මධුර රසයෙන් කළුඇට ඉවත් කරනලද රත්ඇල් සහලින් පිසූ  බත් හා නොයෙක් ව්‍යඤ්ජනයෙන් යුත් ඛාද්‍ය භොද්‍යයන් පිළියෙල කරවා,  අහසෙහි වියන් එල්ලා  ‘ස්වාමීනි, දානය  සකස් කරන ලද්දේ ය. දැන්  දානයට කාලය වෙයි’ කියා භාග්‍යවත් අර්හත් සම්‍යක් සම්බුදුන්ට සැලකර යෑවීය.

§ 17 “ඉක්බිති ආනන්දය, භාග්‍යවත්වූ  කාශ්‍යප සම්‍යක් සම්බුදුන් පෙරවරුයෙහි හැඳ පොරවා පා සිව්රු ගෙණ කිකී කසී රජුගේ මාලිගයට  වැඩ භික්ෂු සංඝයා සමග පැනවූ අස්නෙහි වැඩ හුන්සේක. එකල්හි  ආනන්දය, කිකී නම් කසී රජ සියතින්ම බුදුන් ප්‍රධාන භික්ෂු සංඝයා ප්‍රණීතවූ ආහාර පාන වලින් වැළඳ වීය. “ඉක්බිති ආනන්දය, කිකී කසී රජතෙමේ, වළඳා අවසන්ව පාත්‍රය අතින් ඉවත තැබූ භාග්‍යවත් අර්හත් කාශ්‍යප සම්‍යක් සම්බුදුන් වෙත  වුත් එක් මිටි අස්නක් ගෙණ හිඳගත්තේය. එසේ  එක් පසෙක උන් කිකී  රජ  කාශ්‍යප සම්‍යක් සම්බුදුන්ට මේ කාරණය සැලකළේය.
“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මාගේ බරණැස් නුවර වස්විසීම ඉවසනසේක්වා. මෙසේ මෙහි වස් විසීම මහා  සංඝයාට පහසුව පිණිස වන්නේයයි’ කීය.
“ඒ ඇවැසි නැත. මහරජ, මා විසින්  වස් ආරාධනයක් දැනටමත්  ඉවසන ලද්දේය.’ යි වදාළහ. ඒ මතුදු කිකී රජ දෙවනුවත් වස් ආරාධනය කළේය. භාග්‍යවතුන් ඒ නොඉවසු කල්හි තෙවන වරටත්  වස් වසන්නට බරණැසට වඩින සේ ආරාධනා කළේය. කාශ්‍යප බුදුන් වහන්සේ සෑම වරම තමන් වහන්සේ වස් ආරාධනාවක් පිළිගෙන සිටින්නෙමැයි වදාළ සේක. මෙසේ සිය ආරාධනය නොපිලිගත්තෙන් ඉතා දුකටත් අපහසුවටත් පත් කිකී මහ රජුන් භාග්‍යවතුන් වහන්සේ ගෙන් මේ ඇසීය.

§18. “ඉක්බිති ආනන්දය, භාග්‍යවත් අර්හත් සම්‍යක් සම්බුදු රජාණන් වහන්සේ බරණැස් නුවර වස් විසීමට මා කල ආරාධනය  නොඉවසන්නාහයි කිකී නම් කසී රජහට නොසතුටු  වූයේය. දොම්නස පහළ වූයේමය.
ඉක්බිති ආනන්දය, කිකී කසී රජතෙම කාශ්‍යප භාග්‍යවත් අර්හත් සම්‍යක් සම්බුදුන්ට මෙසේ කීය. “ස්වාමීනි, නුඹවහන්සේට උපස්ථාන කරන්නට  මට වඩා උසස් අනුග්‍රාහක  අන් කිසිවෙක් ඇත්තේදැයි’ විචාළේය.
“එසේය මහරජ, වෙගලිංගනම් නියම් ගමෙහි ඝටීකාර නම් කුම්භකාරයෙක් වාසය කෙරෙයි. හෙතෙම මාගේ උපස්ථායක කෙනෙක. අග්‍ර උපස්ථායක කෙනෙක. දැන් මේ නගරයේ වස් වසන්න යයි ඔබ කල ආරාධනය මා නොඉවසු කල ඔබ අසතුටට පත් වුයේය. දුකට පත් වුයේය. එනමුත් මහා රජ ඝටිකාර උපාසකයා එසේ කාරණයක් ගැන කිසිවිටෙක අසතුටට දුකට පත් නොවන්නේය.

A.මහරජ, ඝටීකාර කුම්භකාර පුත්‍රයා   බුදුන් සරණ ගියේය. දහම් සරණ ගියේය. සංඝයා සරණ ගියේය.
B. “මහරජ, ඝටීකාර උපාසකයා ප්‍රාණඝාතයෙන් සත්ව හිංසාවෙන් වැළකුණේය. අන් සතු දේ අනවසරයෙන් ගැනීමෙන් වැළකුණේය. කාමයෙහිවරදවා හැසිරීමෙන් වැළකුණේය. මුසාවාදයෙන් වැළකුණේය. සුරාපානයෙන් වැළකුණේය.
C. මහරජ, ඝටීකාර , බුදුන් කෙරෙහි නොසෙල්වෙන පැහැදීමෙන් යුක්ත වූයේ වෙයි. ධර්මයෙහි නොසෙල්වෙන පැහැදීමෙන් යුක්ත වූයේ වෙයි. සංඝයා කෙරෙහි නොසෙල්වෙන පැහැදීමෙන් යුක්ත වූයේ වෙයි. ආර්යයන් විසින් කැමතිවන ලද සීලයන්ගෙන් යුක්ත වූයේ වෙයි.
D. මහරජ, ඝටීකාර උපාසක තෙමේ වනාහි දුක්ඛ සත්‍යයෙහි සැක නැත්තේ වෙයි. දුක්ඛ සමුදය සත්‍යයෙහි සැක නැත්තේ වෙයි. දුක්ඛ නිරෝධ සත්‍යයෙහි සැක නැත්තේ වෙයි. දුක්ඛ නිරෝධ ගාමිණි ප්‍රතිපදා සත්‍යයෙහි සැක නැත්තේ වෙයි.
E. මහරජ, ඝටීකාර උපාසක තෙම වනාහි එක් වේලෙහි වළඳනා බ්‍රහ්මචර්යාවෙන් යුක්තවූ සිල්වත්වූ යහපත් ධර්මයෙන් යුක්ත වූවෙක් වෙයි.
F. මහරජ, ඝටීකාර උපාසක තෙමේ  රන් රුවන් හා  මසු කහවනු පිළිගැන්මෙන් වැළකුණේ වෙයි.
G. මහරජ, ඝටීකාර උපාසක තෙමේ   අවි ආයුධ බහා තැබූ වේ සත්ව හිසාවෙන් වෙන් වුයේ වෙයි. කෙතරම් අවිහිංසකද යත් බිම , පසෙහි ඉන්නා සතුන් ට හිංසා වේයැයි ඔහුගේ කුඹල් කර්මාන්තය පිණිස පවා පස් ගන්නට  සියතින් පොළොව නොම සාරයි. ගං ඉවුරු බිඳීගිය තන්හි වූ යම් පසක් වේද- මීයන් සුනඛයන් විසින් ඇද දමන ලද යම් පසක් වේද ඒ පස කැමති සේ ගෙණවුත් වලන් සාදා මෙසේ කියන්නේය. මෙහි යමෙක් කැමැත්තේ නම් සහල් හෝ මුං හෝ කඩල හෝ ගෙණවුත් තබා යමක් කැමති වේද එය ගෙණ යවයි (කියාය).
H. “මහරජ, ඝටීකාර උපාසක තෙමේ  ඇස් අන්ධ වූ මහලු මව් පියන් පොෂණය කරන්නෙක.
I. මහරජ, ඝටීකාර උපාසක තෙමේ  කාම ලෝකය භජනය කරන්නාවූ ඔරංභාගිය සංයොජන (බැඳුම්) පස නැතිකොට (බඹලොව) ඔපපාතිකව උපදින ඒ බඹලොවෙන් නැවත ඉපදීම් වශයෙන් මෙහි නොඑන ඒ බ්‍රහ්ම ලෝකයෙහිදීම පිරිණිවෙන ස්වභාව ඇත්තෙකැයි’ (වදාළහ.)

ඝටිකාර ගේ ජීවිත පැවැත්ම  ගෘහස්තව සිට පැවැත්විය හැකි භික්සු සීලයන් හා   සියළු පැවත්මන් පිළිපදිමින් ඔහු කරන බවත් මිල මුදල් ඇල්ලීම පවා නොකරන බවත් ඔහු තනනා මැටි භාණ්ඩ මිලකට නොවිකුණන බවද ඇවැසි යෝ කැමැත්තෙක් ඒ යමක් ගෙන ඊට සරිලන අනෙක් පරිභෝගයක් එතන  තබා යන්නේයැයි අටුවාව කියයි.

§ 19  “මහරජ, එක් කලෙක මම වෙගලිංග  නියම් ගම්හි වාසය කෙළෙමි. දිනක්  මම පෙරවරු කාලයෙහි හැඳ පොරවා පාත්‍රසිවුරු ගෙණ ඝටීකාර ගේ මව් පියන් ඉන්නා නිවසට  පැමිණ ඝටීකාර ගේ අන්ධ  මව්පිය දෙදෙනාගෙන් ඝටිකාරයන් කොහි දැයි ඇසීමි.
“ස්වාමීන් වහන්ස, ඔබගේ උපස්ථායක තෙම ගෙන්  බැහැර ගියේය. එනමුදු ඔහු පිස තබා ගිය   බත් මේ සැළියෙන්කලෙමි බත් ගෙණ මේ ව්‍යංජන භාජනයෙන් ව්‍යංජන ගෙණ වැළඳුව මැනවයි කිවුහ.

“ඉදින්  මහරජ, මම සැළියෙන් බත් ගෙණ ව්‍යංජන භාජනයෙන් ව්‍යංජන ගෙණ වළඳා ආසනයෙන් නැගිට ගියෙමි.

මහරජ, අනතුරුව ඝටීකාර උපාසක  තෙම මව්පියන් වෙත  පැමිණ මව්පියන්ගෙන් කවරෙක් සැළියෙන් බත් ගෙණ ව්‍යංජන භාජනයෙන් ව්‍යංජන ගෙණ අනුභවකොට  ගියේදැ’යි ඇසීය.
“පුත්‍රය, භාග්‍යවත් අර්හත් කාශ්‍යප සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ සැළියෙන් බත් ගෙණ ව්‍යංජනද ගෙණ වළඳා ආසනයෙන් නැගිට බැහැර වැඩියේය’යි (කීහු.).

එහිදී මහරජ! ඝටිකාර උපාසකයන්ට මෙසේ  ‘ඒකාන්තයෙන් මට මහත්  ලාභයෙක. ඒකාන්තයෙන් මා විසින් යහපත්වූ ලාභයක් ලබන ලදී. භාග්‍යවත්වූ අර්හත්වූ කාශ්‍යප සම්‍යක් සම්බුදු රජානන් වහන්සේ මා  කෙරෙහි  මෙසේ විශ්වාස වන්ත  වූවෝය’ යන සිත් පහළ විය. මහරජ, ඝටීකාර හට  අඩ මසක්ද මව්පියන්ට සත් දවසක්ද මෙයින් උපන් ප්‍රීති සැපය නොනැසී පැවතුණේය.

§ 20 ‘මහරජ, තවත් කලෙක මම ඒ වෙගලිංග නම් ගමෙහිම වෙසෙමි.  මම පෙරවරු වේලෙහි හැඳ පොරවා පාත්‍ර සිවුරු ගෙණ ඝටීකාර කුම්භකාරයාගේ මවුපියන් හුන් ගෙට පැමිණ ඝටීකාර කුම්භකාරයාගේ මව්පියන් ගෙන් පින්වතුනි, මේ පින්වත් තෙමේ කොහි ගියේදැ’යි ඇසීමි.

‘පින්වතුන් වහන්ස, ඔබගේ උපස්ථායක තෙම ගෙයින්  බැහැර ගියේය. එනමුදු ඔබ වහන්සේ  ඔබ ඇති  සැළියෙන් පිස ඇති  කැඳ  හා ව්‍යංජන භාජනයෙන් (ව්‍යංජන ගෙණ වළඳනු මැනවයි’ (කීහු)

‘මහරජ, එහිදී මම සැළියෙන් කොමු පිඬු කැඳ ගෙණ ව්‍යංජන භාජනයෙන් ව්‍යංජනද  ගෙණ වළඳා ආසනයෙන් නැගිට ගියෙමි.

“ඉක්බිති මහරජ, ඝටීකාර සිය කාරිය නිමවා ආපසු ගෙට වුත් කැඳ හා ව්‍යංජන බඳුන් අඩුව තෙබෙනු දැක, කවරෙකු වුත් ඒ ආහාර  අනුභව කොට ගියේ කවරෙක්දැයි ඇසීය.
‘දරුව, භාග්‍යවත් අර්හත් කාශ්‍යප සම්‍යක් සම්බුදුන් වහන්සේ සැළියෙන් කොමු පිඬු කැඳ ගෙණ ව්‍යංජන භාජනයෙන් ව්‍යංජනද  ගෙණ වළඳා ආසනයෙන් නැගිට වැඩියෝයයි’ (කීහු).

“ඉක්බිති මහරජ, ඝටීකාර උපාසකයා හට, ‘මට ඒකාන්තයෙන් ලාභයෙක. මා විසින් ඒකාන්තයෙන් යහපත් ලාභයක් ලබන ලදී. මට භාග්‍යවත් අර්හත් කාශ්‍යප සම්‍යක් සම්බුදුන් වහන්සේ විශ්වාස වූයේයයි, සිත් විය.

“මහරජ, ඝටීකාර කුම්භකාරයාට අඩ මසක්ද මව්පියන්ට සත් දවසක්ද එයින් උපන් ප්‍රීති සැපය, නොනැසී පැවතුණේය.

§ 21. ‘මහරජ, මම තවත්  කලෙක්හි ඒ වෙගලිංග ගමෙහි වෙසෙමි. ඒ කාලයෙහි මා හුන්  ගන්ධ කුටිය වැස්සෙන් තෙමෙයි. එහිදී මහරජ. මම භික්ෂූන්ට කථාකොට ‘මහණෙනි, යව්!  ඝටිකාර කුම්භකාරයාගේ ගෙහි වහල් සෙවෙලි කරන්නට සුදුසු  තණ ඇතිදැයි දනිව්ය’යි කීයෙමි.

“මහරජ, මෙසේ කී කල්හි භික්ෂූහු මට මෙසේ කීහ.
‘ස්වාමීන් වහන්ස, ඝටීකාර කුම්භකාරක ගේ ගෙහි තණනැත්තේය. එනමුදු ඔහුගේ ගෘහ වහල  අලුත සොයන ලද පිදුරු ඇත්තේය. යි කීහ.
‘මහණෙනි, යව්. ඝටීකාර ගේ ගෘහය සෙවිලි කළ පිදුරු ගෙණ එව’යි කීයෙමි.’

ඉක්බිති මහරජ, ඒ භික්ෂූහු ඝටීකාර ගේ ගෘහයෙහි සෙවිලි කරන ලද තණ බිමට දමන කල  මහරජ, ඝටීකාර ගේ මව්පියෝ භික්ෂූන්ගෙන් ‘කවරහු ගෘහයෙහි සෙවිලි කළ පිදුරු ගෙණ යෙත්දැ’යි ඇසූහ.
භික්ෂූහුද, ‘සොහොයුරිය, භාග්‍යවත් අර්හත් කාශ්‍යප සම්‍යක් සම්බුදු රජුන්ගේ ගඳකිළිය තෙමේය ඒ ගඳ කිලිය වහල පිළිසකර කරන්නට මේ පිදුරු ගෙන එන්නැයි උන්වහන්සේ ’යි අප එවුහ’යි . කීහු.
‘ස්වාමීනි දරුවෙනි, ගෙණයනු මැනව. සත්පුරුෂවරුනි, ගෙණයනු මැනව’යි උන් දෙපළ කීහු.
ඉක්බිති මහරජ, ඝටීකාර, ගෙට ආකල ගෙහි වහල සෙවිල්ල නැති බව දැක,  මව්පියන්ගෙන්  සෙවිලි කළ පිදුරු ගෙන ගියෝ කවුරුදැ’යි ඇසීය.
“දරුව, භාග්‍යවත් අර්හත් කාශ්‍යප සම්‍යක් සම්බුදුන්ගේ ගඳකිළිය තෙමෙන්නේය කියා භික්ෂූහු ඒ සෙවිලි කල තන  ගෙණ ගියෝය’යි කීහු.

“එකල්හි මහරජ, ඝටීකාර උපාසකහට “ඒකාන්තයෙන් මට ලාභයෙක. ඒකාන්තයෙන් මා විසින් යහපත් ලාභයක් ලබන ලදී.  භාග්‍යවත් අර්හත් කාශ්‍යප සම්‍යක් සම්බුදු රජාණන් වහන්සේ මෙසේ මා කෙරෙහි  විශ්වාස වූවෝය’යි සිත්වි මහත් සේ  ප්‍රීති විය .

මහරජ, ඝටීකාර උපාසකයාහට අඩ මසක්ද මව්පියන්ට හත් දවසක්ද එයින් උපන් ප්‍රීති සැපය නොනැසී පැවැත්තේය.

“ මහරජ, ඒ ගෘහය තෙමසක් මුලුල්ලෙහිම අහසම පියස්ස කොට සිටියේ නමුදු  වැස්සෙන්ද නොතෙමියේය. මහරජ, ඝටීකාර කුම්භකාර තෙමේ මෙබඳු වූ ගුණ ඇත්තෙක් වේයයි වදාළහ.

මේ අසාසිටි කිකී නම් රජ තුමා ඝටිකාර කුඹල් කරුගේ ශ්‍රද්ධාව ගැන මහත් ප්‍රසාදයට පත් වුයේ මෙසේ කීය.

“ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මෙසේ විශ්වාස වීමෙන් ඝටීකාර කුම්භකාරයාහට ලාභයෙක. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඝටීකාර කුම්භකාරයා විසින් යහපත් ලාභයක්ම ලබන ලදී. ” යි කීයේය.

§ 22  “ඉක්බිති ආනන්දය, කිකී නම් කසී රජ තෙමේ ඝටීකාර නම් කුම්භකාරයාහට පරිභෝජනයට   මිටිකොට බැඳ වියනලද රත්හැල් සහල් ගැල් පන්සියයක්ද, ඊට සුදුසු ව්‍යංජන පිණිස ගත යුතු දේද පිටත්කොට යැවීය. ඉක්බිති ආනන්දය, ඒ රාජ පුරුෂයෝ ඝටීකාර නම් කුම්භකාරයා වෙත පැමිණ මෙසේ කීවාහුය.

“පින්වත, මිටිකොට බැඳ වියලන ලද රත්හැල් සහල් ගැල් පන්සියයක්ද ඊට සුදුසු ව්‍යංජන පිණිස ගතයුතුදේද කිකී නම් කසී රජ විසින් තොපගේ පරිභෝජනය පිණිස  එවන ලද්දාහ.
“පින්වතුන් වහන්ස, ඒ භාණ්ඩයන් පිළිගත මැනව”.

එවිට ඝටිකාර කුම්භකාර තෙමේ කියන්නේ , “මා මෙන් නොව මහා රජුන් වහන්සේ බො හෝ  කෘත්‍ය ඇත්තෙක්ය. මේ සා සම්හෝපත් මට වඩා රජුනටම ප්‍රයෝජන ඇත්තේය.  මට එයින් ප්‍රයෝනයෙක් නැත. රජහටම වේවා’යි කියා ඒ ගැල් සියක්ල්ල ආපසු පිටත් කර හැරියේය. 795.

[795: ඝටිකාර ගේ අප්පකිච්ච ගුණය නිසා ඔහුට පමණට වඩා කිසිවකට කැමැත්තක් නැති නිසා මෙසේ කල බව අටුවාව දක්වයි. තමා ගැන බුදුන් වහන්සේ කියූ දේ අසා රජු ඔහුට මේ තෑගී ලෙස එවූ බව අනුමාන කල ඝටිකාර තමන්ගේ ශ්‍රමයෙන් කරන කර්මාන්තයෙන් මාපියන් පෝෂණය කිරීමට පමණ වෙයි දන්නේ මෙසේ රජුගේ තෑගී පිලි නොගත් බව අටුවාව කියයි.]

English Version


§ 23 “ආනන්දය, නුඹට මෙබඳු අදහසෙක් ඇතිවිය හැක. ඒ කාලයෙහි තරුණ ජෝතිපාල වූයේ ඒකාන්තයෙන් අනිකෙක කියාය.
“ආනන්දය, මේ කාරණය  එසේ නොදත යුතුය. ඒ කාලයෙහි තරුණ ජෝතිපාල වූයෙම් මම්ම යයි’ වදාළහ.

භාග්‍යවතුන් වහන්සේ මේ කාරණය වදාළසේක. සතුටු සිත් ඇති ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගේ වචනයට සතුටු වූහ.

DankandeDhamma

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.