MN 03-03-03 ආශ්චර්‍ය්‍ය ධර්ම සූත්‍රය

birth of buddha

§1 මා විසින් මෙසේ අසනලදී.
එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ ජේතවන නම් අනේපිඩු මහසිටුහුගේ ආරාමයෙහි වැඩ වාසය කරණසේක. එකල්හි පින්ඩපාත දානයෙන් පසුව 
උපස්ථාන ශාලාවෙහි රැස්ව හුන් බොහෝ භික්ෂූන් අතර  මේ අතුරු කථාව ඇතිවිය.

§ 2.‘ඇවැත්නි, තථාගතයන් වහන්සේ ගේ ඍද්ධි බල  හා උන් වහන්සේගේ , මහත් ආනුභාවය  ආශ්චර්‍ය්‍යය, පුදුමය. උන් වහන්සේ පෙර අතීතයේ වැඩ විසු  බුදුන්වහන්සේලා    තෘෂ්ණා මාන සිඳ , මාන, දෘෂ්ටි, ප්‍රපඤ්ච ඇති, කුසලාකුසල කර්ම වෘත්ත  සිඳ, කුසලාකුසල කර්මයන් කෙළවර කොට, සියලු විපාක වෘත්ත සංඛ්‍යාත දුක් ඉක්මවා බුද්ධත්වය සාක්ෂාත් කොට බුද්ධ කෘත්‍ය කල සැටි මෙසේ වී යැයි දන්නේය. 

ඒ අතීතයෙහි පිරිනිවියාවූ බුදුවරයන් තථාගතයන් වහන්සේලා ගේ නම් ගොත් මෙසේ ය, ඒ භාග්‍යවතුන් වහන්සේලා  මෙබඳු සිල් ඇත්තෝ වූහයිද, ඒ භාග්‍යවතුන් වහන්සේලා මෙබඳු සමාධි ඇත්තෝ වූහයිද, ඒ භාග්‍යවතුන් වහන්සේලා මෙබඳු ප්‍රඥා ඇත්තෝ වූහයිද, ඒ භාග්‍යවතුන් වහන්සේලා මෙබඳු විහරණ ඇත්තෝ වූහයිද, ඒ භාග්‍යවතුන් වහන්සේලා මෙසේ ක්ලෙශයන්ගෙන් මිදුණෝ වූහයි”ද කියායි.
[දීඝ නිකායේ 14 වන මහාපධාන සුත්‍රයේ  අප ගෞතම බුදුන්ව හන්සේගේ  මේ හැකියාව ගැන
විස්තරාත්මකව සඳහන් වේ.]

“මෙසේ කී කල්හි එම සංඝයා අතර වැඩ සිටි, ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ ඒ භික්ෂූන්ට “ඇවැත්නි, තථාගතයන් වහන්සේලා ආශ්චර්‍ය්‍යයමත්ද  වෙත්. ආශ්චර්‍ය්‍යය ධර්මයන්ගෙන් යුක්තද වෙත්. ඇවැත්නි, තථාගතයන් වහන්සේලා අද්භූතද වෙත්. අද්භූත ධර්මයන්ගෙන්ද යුක්ත වෙත්යයි” කීහ.
ඒ භික්ෂූන්ගේ මේ අතුරු කථාව නොනිමියේ වෙයි.

§2 . එකල්හි භාග්‍යවතුන් වහන්සේ සවස් කාලයෙහි ඵල සමවතින් නැඟීසිටියේ සංඝයා රැස්ව සිටි එම උපස්ථාන ශාලාව වෙත පැමිණි සේක. පැමිණ, පනවනලද අස්නෙහි  වැඩහිඳ, භික්ෂූන් අමතා:  “මහණෙනි, මෙහි දැන් මා එන්නට පෙර ඔබලා  කිනම් කථාවකින් යුක්තවූවහුද? තොපගේ කවර නම් කථාවක් නොනිමියේදැ”යි ඇසූහ.

“ස්වාමීනි, මෙහි සවස් කාලයෙහි අපගේ මේ අතුරු කථාව විය. එනම්: ‘ඇවැත්නි, තථාගතයන් වහන්සේගේ මහත් ඍද්ධි ඇති බව, මහත් ආනුභාව ඇති බව, ආශ්චර්‍ය්‍යය, අද්භූතය. අතීතයේදී පිරිනිවියාවූ,…………..යිද කියායි.

ස්වාමීනි, මෙසේ අප කී කල්හි ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ අපට “ඇවැත්නි, තථාගතවරයෝ ආශ්චර්‍ය්‍යය. ආශ්චර්‍ය්‍යය ධර්මයන්ගෙන් යුක්තද වෙත්. ඇවැත්නි, තථාගතයෝ අද්භූතය, අද්භූත ධර්මයන්ගෙන්ද යුක්ත වෙත්යයි’ කීහ. “ස්වාමීනි, අපගේ මේ අතුරු කථාව නොනිමියේය. එවිට භාග්‍යවතුන් වහන්සේ වැඩිසේකැයි” කීහ.

එකල්හි භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් අමතා මෙසේ වදාළ සේක.
“එසේනම් ආනන්දය, නුඹ මෙහිදී තථාගතයන් වහන්සේගේ ආශ්චර්‍ය්‍යය අද්භූත ධර්මයෝ ගැන මේ සබ්‍රහ්මචාරිනට 
විස්තර කොට දෙසත්වා.”

§3. “භාග්‍යවතුන් වහන්ස, මම භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී මුවෙන්ම මෙසේ  අසනලදී.

සති සම්පජන්නවම  බොධිසත්වයන්  තුසිත දෙවියන් අතර පහල විය.  (බෝධිසත්වයන් වෙස්සන්තර ආත්ම භවයට පසුව හා සිදුහත් භවයට පෙර භවයෙහි, තුසිත දෙව් ලොව පහළවීම සිදු විය),
මේ සතිය හා සම්පජන්නයෙන් යුතුවම පහළවීම 
තථාගතයන් ගේ ආශචර්යමත් සහ අත්භූත ලක්ෂණයක් සේ මම සලකමි.

§4  . “භාග්‍යවතුන් වහන්ස, මම භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී මුවෙන්ම මෙසේ  අසනලදී.

“සතියෙන්  හා සම්පජන්නයෙන් යුක්තව බෝසත් තෙම තුසිත දෙව්ලොව කල් ගෙවුවේය”

“ස්වාමීනි, සතියෙන්  හා සම්පජන්නයෙන් යුක්තව බෝසතුන් තුසිතයේ විසුවේය යන මෙය භාග්‍යවතුන් වහන්සේගේ ආශ්චර්‍ය්‍යය අද්භූත ධර්මයකැයි මම දරමි.”

§ 5 “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී මුවෙන්ම මා මෙසේ  අසන ලදි.  

“බෝසතුන් තුසිතයෙහි සිටි මුළු ආයු කාලයෙහිම සතියෙන් හා සම්පජන්නයෙන්   තුසිත ලෝකයෙහි සිටියේය”යි කියායි.
“ස්වාමීනි, බෝසත්තෙම ආයු ඇතිතාක් සති සම්පජන්නයෙන් මෙසේ 
තුසිත ලෝකයෙහි සිටියේය යන මෙයද භාග්‍යවතුන් වහන්සේගේ ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්මයෙකැයි මම දරමි.”

§ 6  ස්වාමිනි මෙය භාග්‍යවතුන් වහන්සේ වෙතින්ම අසන ලද්දෙමි

 “සිහිනුවණ දෙකින් යුක්තව බෝසත්තෙම තුසිත ලෝකයෙන් චුතව මව්කුස පිළිසිඳ ගත්තේය” යනුයි.
“ස්වාමීනි, සිහි නුවණ දෙකින් යුක්තව බෝසත්තෙම තුසිත ලෝකයෙන් චුතව මව්කුස පිළිසිඳ ගත්තේය යන මෙය භාග්‍යවතුන් වහන්සේගේ ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්මයෙකැයි මම දරමි,”

§ 7.  ස්වාමිනි මෙයද භාග්‍යවතුන් වහන්සේ වෙතින්ම අසන ලද්දෙමි

“ස්වාමීනි, මෙයද  භාග්‍යවතුන් වහන්සේ වෙතින් අසන ලදී.
“ බෝසතුන්  යම් මොහොතෙක  තුසිත ලෝකයෙන් චුතව මවුකුස පිළිසිඳ ගත්තේවීද එවිට 

(දෙවියන් සහිත, මරුන් සහිත, බඹුන් සහිත, ලෝකයෙහි දෙවි මිනිසුන් සහිත මහණ බමුණන් සහිත)  මේ මුළු ලෝකයම එලිය කරමින් , මහත් වූ, ආලෝකයක් දෙවියන්ගේ දෙවානුභාවය ඉක්මවා පහළ විය.  සඳ හිරු දෙදෙන ගේ එළියෙන් , ආලෝකයෙන් එලිය කරන්නට නොපොහොසත් නොවැසුනු, අඳුරු ඇති, ඝනවූ අඳුරු ඇති යම්  ලෝකන්තරික නිරයක්වුයේ වේද, එහිද අප්‍රමාණවූ උදාර ආලෝකයක් දෙවියන්ගේ දෙවානුභාවයත් ඉක්මවා ලෝකයෙහි පහළ විය. ඒ අන්ධකාර නිරයන් හි  යම් සත්වයෝ උපන්නාහුද, ඔව්හුද ඒ එලියෙන් ඔවුනොවුන් මෙහි උපද සිටින තවත් සත්වයෝ ඇතැයි හැඳින ගනිත්.
[ලෝකාන්තරික නිරය.: විශ්වයේ සාම සක්වල තුනක් අතරම මෙසේ ලෝක-අන්තරීක නිරයක් පිහිටියේය.antharika කෙසේද යත් කරත්ත රෝද තුනක් එකිනෙක ගෑවෙන සේ තැබූ විට ඒ තුන අතර පිහිටන අවකාශය මෙන්ය. මේ ලෝකාන්ත නිරයේ පහළවන නිරී සතුන් එසේ එහි පහල වන්නේ පෙර ඇත බැව්හි කල ඉතා දරුණු පාප කර්මයන් නිසාය. මා පියන්ට, පැවිදි ශ්‍රමණ යනට හිංසා කිරීම, සත්ව ඝාතන ආදී කර්මයන්ගේ ඵලය මෙබඳු නිරයක් ඉපදීම වේ.]

“ දස දහසක් ලොකධාතුව හාත්පසින් කම්පා වෙයි. අතිශයින් කම්පාවෙයි, වෙවුලායයි. දෙවියන්ගේ දෙවානුභාවයත් ඉක්මවා යන්නාවූ අති  මහත්වූ ආලෝකයක් ලෝකයෙහි  පහළ වෙයි” යනුයි

“ස්වාමීනි, මෙයද භාග්‍යවතුන් වහන්සේගේ ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්මයෙකැයි මම දරමි.”

§ 8. ස්වාමිනි මෙයද භාග්‍යවතුන් වහන්සේ වෙතින්ම අසන ලද්දෙමි. 

“යම් කලෙක බෝසත්තෙම මවුකුස පිළිසිඳ ගත්තේද, එකල ඒ බෝසතුනුත් බෝසත් මවත් කිසිදු මනුෂ්‍යයෙකු හෝ අමනුෂ්‍යයෙකුගෙන් පීඩාවට අනතුරකට පත් කිරීම් වලකාලන්නට දෙවියන් සතර දෙනෙක් බෝසතුන්ගේ මව සතර පසින් රැකවල් ලා හුන්හ. [මේ දෘතරාෂ්ට, විරෑඪ , විරූපාක්ෂ, සහ වෛශ්‍රවණ (යක්ෂයන්ට අධිපති කුවේර)යන සතරවරම් මහා දෙව් රජවරුන් යයි අටුවාව කියයි.]

“ස්වාමීනි, බෝධිසත්වයන් වහන්සේ සහ මව් එසේ සතර දෙව් කෙනෙකුන් විසින් ආරක්ෂා කිරීමද භාග්‍යවතුන් වහන්සේගේ ආශ්චර්‍ය්‍ය අද්භුත ධර්මයකැයි මම දරමි.”

§ 9. “ස්වාමීනි, මෙයද මම  භාග්‍යවතුන් වහන්සේ ගෙන්ම අසන ලදී. ”
“ බෝසත් පිළිසිඳ ගැන්මෙන් පසු , (එතැන් පටන්) බෝසත් මව ස්වභාවයෙන්ම සිල්වත් වන්නීය. ප්‍රාණඝාතයෙන් වෙන් වන්නීය. නොදුන් දෙය ගැන්මෙන් තොර වන්නීය. වරදවා කාමයෙහි හැසිරීමෙන් තොර වන්නීය. බොරු කීමෙන් තොර වන්නීය. රහමෙර පානයෙන් තොර වන්නීය” කියායි.
“ස්වාමීනි, 
මේද  භාග්‍යවතුන් වහන්සේගේ  ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්මයකැයි මම දරමි.

§10 “ස්වාමීනි, මෙය භාග්‍යවතුන් වහන්සේ ගෙන් අසන ලදී. ”
“ආනන්දය, යම් කලෙක බොසත් තෙම මව් කුසට බැසගත්තේද, (එතැන් පටන්) බෝසත් මවට පුරුෂයන් කෙරෙහි කිසිදු කාම
සිතක් නූපදීන්නීය. කිසිවෙක් රාග සිතින්  බෝසත් මව වෙත එළඹිය නොහැක යනුයි.”
“ස්වාමීනි, මේද, භාග්‍යවතුන් වහන්සේගේ මේද ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්මයකැයි මම දරමි.

§11 .“ස්වාමීනි, මෙයද මා භාග්‍යවතුන් වහන්සේ වෙතින් අසනලදී. ”
“  බෝසත් පිළිසිඳ ගැන්මෙන් පසු බෝසත් මව් තොමෝ සියළු පංච කාමයන් ගෙන් සංතෘප්තතාවට පත් වේ. නිරායාසයෙන්ම  පස්කම් සැප විඳින්නාවූ 
ඕ තොමෝ නිබඳව සතුටු වෙයි. (යනුයි)”
“ස්වාමීනි, එසේ බෝසත් මව පස්කම් ගුණ ලබන්නියක් වන්නීය. ඒ මව පස්කම් ගුණයෙන් යුක්ත වන්නීය. සම්පූර්ණ වන්නීය. පිරිවරන්නීය, යන යමක් වේද, ස්වාමීනි, මෙයද භාග්‍යවතුන් වහන්සේගේ ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්මයකැයි මම දරමි.

§12 “ස්වාමීනි, මෙයද මා භාග්‍යවතුන් වහන්සේගෙන් ම අසන ලදී. 

“යම් කලෙක බෝසත්තෙම මවු කුසට බැසගත්තේ වේද, (එතැන්පටන්) බෝසත් මවට කිසිදු ශාරීරික හෝ මානසික   ආබාධයක් නොඋපදී. බෝසත් මව සැප ඇත්තියක් වන්නීය. ක්ලාන්ත නොවූ කය ඇත්තියක් වන්නීය. සුපසන් සිත් ඇත්තියක් වන්නීය.

බෝසත් මව සිය  කුස තුළ සිටින  සියලු අංග ප්‍රත්‍යංගයන්ගෙන් යුත් බෝසතුන් දකී. යම් දක්ෂ මැණික් කාර්මිකයෙක් පැති අටක් ඇති මනා නීල වාරණයක් ඇති කිසි පලුද්දක් නැති  වෛඪූර්‍ය්‍ය මාණික්‍යය යක් යම් සේ  නිල් පාට හෝ කහ පාට හෝ ලේපාට හෝ සුදුපාට හෝ පඬුපාට හෝ නූලකින් අවුනන ලද්දේ නම් එය සියතට ගෙන,   විමසා බලන්නේ මෙය වනාහි යහපත් ජාතිමත්, අටැස් ඇති, හොඳට පිරියම් කරණලද වෙරළු මිණෙකි. එහි නිල් හෝ කහ හෝ රතු හෝ සුදු හෝ පඬුවන් හෝ නූලක් අවුනන ලද්දේයයි යම්සේ දක්නේද,   එපරිද්දෙන්ම යම් කලෙක බෝසත් තෙම මවු කුසට බැසගත්තේ වේද, බෝසත් මවට කිසිත් ආබාධයක් නොවෙයි. බෝසත් මව ක්ලාන්ත නොව සැප ඇත්තියක් වෙයි. බෝසත් මව කුසතුළ සිටින සියලු අඟපසඟින් යුත් නොපිරිහුනු ඉඳුරන් ඇති බෝසතුන් දකී යනුය.”
“ස්වාමීනි, මේද, ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේගේ මෙයද ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්මයෙකැයි මම දරමි.

§13 .  “ස්වාමීනි, මෙයද  භාග්‍යවතුන් වහන්සේගේ මුවින් ම මවිසින් අසන ලදී.
“බෝසතුන් ඉපදී සත් දවසකදී බෝසත් මව කලුරිය කෙරෙයි. කළුරිය කොට තුසිත දිව්‍යලෝකයෙහි උපදී යනුයි.”
[මේ සිද්ධිය මවගේ සෞඛ්‍යයේ අඩුවක් නොව බෝසතුන් පිළිසිඳ ගත කුසක අන් දරුවෙකු පිළිසිඳ ගැනීම නොවටනේය යන ස්වභාව සිද්ධාන්තය මත බවත්, පස් මහා බැළුම් බලන බෝ සතුන් එසේ සිය උපතින් සත් දිනක් පමණක් ආයු ඇති මවක් තෝරා ගන්න බවත් අටුවාව කියයි.]
“ස්වාමීනි, බෝසතුන් ඉපද සත් දවසකදී, බෝසත් මව කලුරිය  කොට තුසිත දිව්‍ය ලෝකයෙහි උපදින්නීය යන්නද භාග්‍යවතුන් වහන්සේගේ ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්මයෙකැයි මම දරමි.”

§14 . ‘ස්වාමීනි, මෙයද භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙන් අසනලදී. ”
“අන් ස්ත්‍රිහු නවමසක් හෝ දසමසක් දරු ගැබ කුසින් උසුලා  වදත් මුත්  බෝසත් මව එසේ නොවදන්නීමය. බෝසත් මව දසමසක්ම බෝසත්හු කුසින් උසුලා සිට වදන්නීය යනුයි.”

‘ස්වාමීනි, එසේ බෝසත් මව දසමසක්ම බෝසත්හු කුසින් උසුලා ප්‍රසූත කරන්නීය. යන කාරණයද, භාග්‍යවතුන් වහන්සේගේ ආශ්චර්‍ය්‍ය, අද්භූත ධර්මයකැයි දරමි.

§15 . “ස්වාමීනි, මෙයද භාග්‍යවතුන් වහන්සේ ගෙන්ම අසන ලදී.”

“අන් මව්හු  හිඳගෙන  හෝ නිදාගෙන යන දෙ සෙයියා වෙන් ප්‍රසුතිය කරත්. එනමුත් බෝසත් මවක්   සිටගෙනම බෝසතුන් ප්‍රසුත කරත්” යනුයි.

“ස්වාමීනි, මේද, භාග්‍යවතුන් වහන්සේගේ ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්මයෙකැයි මම දරමි.”

§16 . “ස්වාමීනි, මෙයද මා භාග්‍යවතුන් වහන්සේගෙන්ම අසනලදී..”
“ බෝසතුන් වහන්සේ  උපන් කෙණෙහිම දෙවි වරුන් විසින්ම බෝසත් කුමරා පිළිගන්නේය. ඉන් පසුවම බෝසත් කුමරු ,
මනුෂ්‍ය අත්වලට යන්නේය.” යන්නය.

“ස්වාමීනි, මේද, භාග්‍යවතුන් වහන්සේගේ ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්මයෙකැයි මම දරමි.”

§17 . “ස්වාමීනි, මෙයද මා භාග්‍යවතුන් වහන්සේගෙන්ම අසනලදී..”

බෝසතුන් වහන්සේ  උපන් කෙණෙහිම මහා පොලොව ස්පර්ශ නොකෙළේය. සතර වරම් දෙව් රජුන් බෝසතුන් මව් බිසව ඉදිරියෙහි සිටුවා , “මහා රාජිනියෙනි! සතුටු වන සේක්වා! ඔබට මහත් තෙදැති මහත් පිනැති මහත් බලැති පුත්‍ර රත්නයක් උපන්නේය” යි ඇයව සතුටු කරන්නෝය.

“ස්වාමීනි, මේද, භාග්‍යවතුන් වහන්සේගේ ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්මයෙකැයි මම දරමි.”

§18. “ස්වාමීනි, මෙයද මා භාග්‍යවතුන් වහන්සේගෙන්ම අසනලදී..”

බෝසතුන් බිහිවූ විට ශ්‍රී ශරීරය ලෙයින් හෝ ගර්භ දියෙන්  හෝ තෙත් නොවූයේය. කසි සළුවක් මත තැබූ වෛරෝඩි මාණික්‍යයක් යම් සේ නොකිලිටිව නොකැළැල්ව ප්‍රභාශ්වර වූ වා සේම බෝසතුන් ගේ ශ්‍රී ශරීරය නොකිලිටි නොකැළැල් හා ප්‍රභාශ්වර විය.

“ස්වාමීනි, මේද, භාග්‍යවතුන් වහන්සේගේ ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්මයෙකැයි මම දරමි.”

§19 . “ස්වාමීනි, මෙයද මා භාග්‍යවතුන් වහන්සේගෙන්ම අසනලදී.

බෝසතුන් වහන්සේ, මව් කුසින් නික්මෙත්ම අහසින් දිය දහර දෙකක් ඇතිව එකකින් උණු දිය ද අනෙකෙන් සිසිල් දියද විදිමින් බෝසතුන් හා බෝසත් මවගේ ශරීරයන් සෝදා නහවා පිරිසිදු කරන් ලද්දේය.

“ස්වාමීනි, මේද, භාග්‍යවතුන් වහන්සේගේ ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්මයෙකැයි මම දරමි.”.

§20 “ස්වාමීනි, මෙයද මා භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී මුවින්ම මා විසින්  අසනලදී.

බෝසත් කුමරුන් බිහිවූ සැනින් උන් වහන්සේ සිය දෙපතුල් පොළොවේ පිහිටුවා දෙවියන්  දරන ශ්වෙතමය  සේසත යටින්  උතුරුදිගට මුහුණලා සත් පියවරක් ඉදිරියට යයි. එසේ සත් පියවරක් ගොස් සතර දෙසම පරීක්ෂාවෙන් බලා මෙසේ උදාන වාක්‍ය දෙසනා කළේය.

“ලෝකයාට මම අග්‍ර වෙමි. ලෝකයාට මම ශ්‍රේෂ්ඨ වෙමි. ලෝකයාට මම ජ්‍යෙෂ්ඨ වෙමි. මේ මගේ අන්තිම ඉපදීමයි. නැවත උත්පත්තියක් නැත” යන වචනය කියන්නේය යනුයි.”
[අටුවාව: මේ සියළු ක්‍රියා පසුව බුදුන් වහන්සේ ලබන ප්‍රතිඵල වල අනාවැකි ලෙස දකී. පොළොවේ නොසෙල්වන සේ දෙපතුල් පිහිටුවීමෙන් සතර ඉර්ධිපාදයන් ලැබීම ද, උතුර බලා සක්මන් කිරීමෙන් ලෝකයේ බොහෝ ජනයා ට වඩා සුවිශේෂ අරමුණක් වූ බවද,  සත් පියවරක් තැබීම සප්ත බෝජ්ජංග ධර්මයන් දැන ගැනීමද  ශ්වේත සේසතක් යටින් යාම විමුක්තිය ලැබීමද සතර දෙස බැලීම සන්ර්වඥතා ඥානය ලැබීමද උදාන දේසනාව ධම්ම චක්‍රය කරකැවීම ටද ආදී ලෙස අනාවැකිආකාර සංකේත සේ දැක්වේ.]

“ස්වාමීනි, මේද, භාග්‍යවතුන් වහන්සේගේ ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්මයෙකැයි මම දරමි.”

§ 21. “ස්වාමීනි, මෙයද මා භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී මුවින්ම මා විසින්  අසනලදී

“ බෝසත් තෙම මවුකුසින් නික්මේද, එකල්හි දෙවියන් සහිත, මරුන් සහිත, බ්‍රහ්මයන් සහිත, ලෝකයෙහි දෙවිමිනිසුන් සහිත, මහණ බමුණන් සහිත ප්‍රජාව කෙරෙහි දෙවියන්ගේ දෙවානුභාවය ඉක්මවා ලෝකයෙහි අප්‍රමාණවූ, මහත්වූ, ආලෝකයක් පහළ විය.  නිතර විවෘත නොවූ, නොවැසුනු අඳුරු ඇති, ඝනවූ අඳුරු ඇති, යම් ඒ ලොකන්තරික නිරයක් වේද, යම් තැනක මෙසේ මහත් ඍද්ධි ඇති, මෙසේ මහත් ආනුභාව ඇති, මේ සඳ හිරු දෙදෙන ආලෝකයෙන් එලිය කරන්නට නොපොහොසත් ස්ථාන පවා එළිය කරන්නාවූ අප්‍රමාණ උළාර ආලෝකයක් දෙවියන්ගේ දෙවානුභාවයත් ඉක්මවා ලෝකයෙහි පහළවෙයි.

එහි යම් සත්වයෝ උපන්නාහුද ඔව්හුද ඒ ආලෝකයෙන් ඔවුනොවුන් මෙහි උපන් අන්‍ය සත්වයෝත් ඇතැයි හැඳිනගනිත්. මේ දසදහසක් ලොකධාතුව හාත්පසින් කම්පා වෙයි, අතිශයින් කම්පාවෙයි වෙවුලායයි, මහත්වූ එලියක් දෙවියන්ගේ දෙවානුභාවය ඉක්මවා පහළවෙයි යනුයි.”

“ස්වාමීනි, මෙයද භාග්‍යවතුන් වහන්සේගේ ආශ්චර්‍ය අද්භූත ධර්මයෙකැයි මම දරමි.”

§ 22 . “ආනන්දය, එසේම වේවා. එහෙයින් නුඹ මෙයද  තථාගතයන් වහන්සේගේ  ආශ්චර්‍ය අද්භූත ධර්මය කැයි  දරාගනුව.

“ආනන්දය, තථාගතයන් තමනට පහලවන වින්දනයෝ (විඳීම්)  ඒවා ඇතිවනවාත්ව සමගම දැන ගනී. ඒ දැනීම් පවත්නා තෙක් ඒ ඒ වේදනා පවතින්නේයැයි දනී. ඒ ඒ වේදනා විඳීම් නැතිවෙන සැනින් ඒ වින්දනයෝ පහ වී යය දනී.  [ භාග්‍යවතුන් වහන්සේ  ගේ මේ එකතු කිරීම සැබෑම ආශ්චර්යමත් සහ අද්භූත දෙයක් ලෙස බුදුන් වහන්සේ මේ අවසන් කාරණය වඩාත් ඉහළ සේ පිළිගන්නා බවක් ඉඟි කරයි.]

එනිසා ආනන්ද! දැනුවත්වම වේදනා උපදිත්. දැනුවත්වම දරා පවතිත්. දැනුවත්වම විනාශයට යත්.

§ 23.  “ස්වාමින්වහන්ස ! , තථාගතයන්  තමනට පහලවන වින්දනයෝ (විඳීම්)  ඒවා ඇතිවනවාත්ව සමගම දැන ගනී. ඒ දැනීම් පවත්නා තෙක් ඒ ඒ වේදනා පවතින්නේයැයි දනී. ඒ ඒ වේදනා විඳීම් නැතිවෙන සැනින් ඒ වින්දනයෝ පහ වී යයිද  දනී. 

ස්භාවාමින්ග්‍ වහන්ස! මෙයද භාග්‍යවතුන් වහන්සේගේ ආශ්චර්‍ය අද්භූත ධර්මයෙකැයි මම දරමි.”

§ 24. ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් මෙසේ කී කල භාග්‍යවතුන් වහන්සේ ඒ අනුමත කල සේක. රැස්ව හුන් භික්ෂු සංඝයා ආනන්ද ස්ථවිරයන්ගේ දේශනාව සතුටින් පිළිගත් හා.   දැනුවත්වම විතර්කයෝ උපදිත්. දැනුවත්වම දරා පවතිත්. දැනුවත්වම විනාශයට යත්. ආනන්දය, නුඹ මෙයද තථාගතයන් වහන්සේගේ ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්මයෙකැයි දරව.”

“එසේය ස්වාමීනි, යම් හෙයකින් භාග්‍යවතුන් වහන්සේට දැනුවත්වම වේදනා උපදිත්ද, දැනුවත්වම දරා පවතිත්ද, දැනුවත්මව විනාශයට යත්ද, දැනුවත්වම සංඥා උපදිත්ද දැනුවත්වම විතර්ක උපදිත්ද, දැනුවත්වම දරා පවතිත්ද, දැනුවත්වම විනාශයට යත්ද, ස්වාමීනි, මෙයද භාග්‍යවතුන් වහන්සේගේ ආශ්චර්‍ය අද්භූත ධර්මයෙකැයි දරමි.”

“ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ මෙය ප්‍රකාශ කළේය. ශාස්තෘන් වහන්සේ (එය) අනුදන්නා ලද්දේ විය. සතුටුවූ ඒ භික්ෂූහු ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන්වහන්සේගේ ඒ දෙශනය සතුටින් පිළිගත්හ.

තෙවන ආශ්චර්‍ය්‍ය ධර්ම සූත්‍රය නිමි (3-3)

English Version

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.