AN 06-06- මහා වග්ග පාලි (i)

AN 06-06-01. සොණ කොළිවිස සූත්‍රය

§1. මා විසින් මෙසේ අසන ලදී.
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර ගිජ්ඣකූට පර්වතයෙහි වසන සේක. එසමයෙහි  ආයුෂ්මත් සෝණ භික්ෂුව රජගහනුවර සීත වනයෙහි වෙසෙයි. හුදෙකලාව ධ්‍යාන සුවයෙන් එසේ වසන්නාවූ  ආයුෂ්මත් සෝණ හට මෙබඳු  කල්පනාවක්
සිතේ පහළ විය.

’භාග්‍යවතුන් වහන්සේගේ  යම්කිසි ශ්‍රාවක කෙනෙක් පටන්ගත් වීර්‍ය්‍යයෙන් වෙසෙත්ද, මම ඔවුන්ගෙන් කෙනෙක්මි. එසේ වුවත්  මගේ සිත අල්වා ගැනීමක් නැතිව කෙලෙසුන්ගෙන් නොමිදෙයි. මගේ ගෙයි වනාහි භොගයෝ වෙත්. භොගයන් අනුභව කරමින් පින් කරන්ටද හැකිය. මම ශික්‍ෂාවන් හැර දමා ගිහිව භොගයන්ද අනුභව කරමින් පින්ද කරන්නෙම් නම් මැනවැ’ යි සිතුයේය.

ඉක්බිත්තෙන් වනාහි භාග්‍යවතුන් වහන්සේ සිතින් ආයුෂ්මත් සෝණගේ සිතෙහිවූ කල්පනාව දැන යම්සේ බලවත් පුරුෂයෙක් හැකිලවූ අතක් දිග හරීද, දිගුකළ අතක් හකුළාද, එසේම ගිජුකුළු පව්වෙන් අතුරුදහන්ව සීත වනයෙහි ඇවැත් සොණ ඉදිරියේ පහළවූ සේක.
භාග්‍යවතුන් වහන්සේ පනවන ලද අස්නේ වැඩහුන් සේක. ආයුෂ්මත් සෝණ තෙමේ භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක හුන්නේය. එකත්පසෙක හුන් සෝණහට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළෝය.
’’සෝණය, රහසිගතව, විවේකීව සිටි තොපගේ සිතට මෙබදු කල්පනාවක් වූයේ නොවේද? ’භගවත්හුගේ යම්කිසි ශ්‍රාවක කෙනෙක් පටන්ගත් වීර්‍ය්‍යයෙන් වෙසෙත්ද, මම ඔවුන්ගෙන් කෙනෙක්මි. එසේද වුවත් වනාහි මගේ සිත අල්වා ගැනීමක් නැතිව කෙලෙසුන්ගෙන් නොමිදෙයි. මගේ ගෙයි වනාහි භොගයෝ වෙත්. භොගයන් අනුභව කරමින් පින් කරන්ටද හැකිය. මම ශික්‍ෂාවන් හැර දමා ගිහිව භොගයන්ද අනුභව කරමින් පින්ද කරන්නෙම් නම් මැනවැ’ යි – ’’ස්වාමීනි, එසේය.’’
’’සෝණය, ඒ කුමකැයි සිතන්නෙහිද? පෙර ඔබ ගිහිගෙයි සිටියදී වීණාවෙහි තත් වැයීමෙහි දක්‍ෂ නොවේද?’’ – ’’එසේය, ස්වාමීනි.’’
’’සෝණය, ඒ කුමකැයි සිතහිද? යම් විටෙක ඔබගේ වීණාවෙහි තත් ඉතා දිග නම් එවිට ඔබේ වීණාව හොඳට නද දේද, වැඩට සුදුසු වේද?’’ – ’’ස්වාමීනි, නොවේමය.’’
’’සෝණය, යම් විටෙක ඔබගේ වීණාවෙහි තත් ඉතා බුරුල්වූවා, කිම ඔබේ වීනාව එවිට හොඳට නද දේද, වැඩට සුදුසු වේද?’’ – ’’ස්වාමීනි, නොවේමය.’’
’’සෝණය, යම් විටෙක වීණාවේ තත් ඉතා දිග නොවේද, ඉතා බුරුල් නොවේද, සම ගුණයෙහි සිටියේ වේද, ඔබේ වීණාව එවිට කිම, හොඳට නද දේද, වැඩට සුදුසු වේද?’’ – ’’ස්වාමීනි, එසේය.’’
’’එසේම සෝණය, වැඩියෙන් පටන්ගත් වීර්යය සිතේ නොසන්සුන්කම පිණිස පවතී. ඉතා හැකුලුන වීර්යය අලසකම පිණිස පවතී.
’’සෝණය, එබැවින් ඔබ මෙහිදී වීර්යයේ සමවතෙහි පිහිටව. වීර්යාදී ඉඳුරන්ගේ සම බව තේරුම් ගනුව. එහිදු අරමුණ ගනුව.’’
’’එසේය, ස්වාමීනි,’’ යි ආයුෂ්මත් සෝණ තෙම භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුනි.
ඉක්බිත්තෙන් වනාහි භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් සෝණහට මේ අවවාදයෙන් අවවාද දී යම්සේ බලවත් පුරුෂයෙක් හැකිලවූ අතක් දිග හරීද, දිගුකළ අතක් හකුළාද, එසේම සීත වනයෙන් අතුරුදන්ව ගිජුකුළු පව්වෙහි පහළවූ සේක.
ඉක්බිත්තෙන් වනාහි ආයුෂ්මත් සෝණ තෙමේ පසු කාලයේ වීර්ය සමභාවයෙහි පිහිටියේය. ඉඳුරන්ගේ සමභාවය තේරුම් ගත්තේය. එහිදු අරමුණ ගත්තේය.
ඉක්බිත්තෙන් ආයුෂ්මත් සෝණ තෙමේ හුදකලා වූයේ, තනි වූයේ, නොපමා වූයේ, කෙළෙස් තැවීම කරන්නේ, නිවන් වෙත යොමු කළ සිත් ඇතිව වසන්නේ, නොබෝ කලකින්ම, යමක් පිණිස කුලපුත්තු ගිහිගෙයින් නික්ම සස්නෙහි පැවිදි වෙත්ද, ඉතා උතුම් බඹසර අවසන්කොට ඇති, ඒ නිවණ මේ ආත්මයේම තෙමේ මනාව දැන, අත්දැක, පැමිණ වාසය කෙළේය. උත්පත්තිය ගෙවුණේය. බඹසර වැස නිමවිය. කළයුත්ත කරණ ලදී. මෙලොවෙහි කළයුතු අනිකක් නැතැයි පෙනුනේය. ආයුෂ්මත් සෝණ තෙමේ රහතුන් අතර එක් තැනැත්තෙක් විය.
ඉක්බිති රහත්වූ සෝණහට මෙබඳු සිතෙක් විය. ’මම භාග්‍යවතුන් වහන්සේ වෙත ගොස් රහත් භාවය පවසන්නේ නම් මැනවැ’ යි (කියාය.) ඉක්බිති සෝණ තෙමේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද, එහි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්නේය. එකත්පසෙක හුන්නාවූ ආයුෂ්මත් මහණ තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීයේය.
’’ස්වාමීනි, රහත්වූ, පව් ගෙවූ, බඹසර වැස නිමවූ, කළයුත්ත කළ, බර බිම තැබූ, සිය වැඩ සම්පූර්‍ණවූ, හොඳින් දැන මිදුණාවූ යම් මේ භික්‍ෂුවක් වේද, මේ කරුණු සයෙහි අධික ලෙස ඇළුනේ වේ.
’’නෛෂ්ක්‍රම්‍යයෙහි, තද විවේකයෙහි, අහිංසා (අව්‍යාපාද) යෙහි, ඇල්ම (තණ්හා) නැති කිරීමෙහි, දැඩිසේ ගැනීම ක්‍ෂය කිරීමෙහි, මුළා නොවීමෙහි, අධික ලෙස ඇළුණේ වෙයි.
’’ස්වාමීනි, මේ ලොව කිසි ආයුෂ්මත් කෙනකුට මෙබඳු සිතෙක් වෙයි. ’ඒකාන්තයෙන් මේ ආයුෂ්මත් තෙමේ හුදෙක් ශ්‍රද්‍ධාමාත්‍රයක් නිසා නෛෂ්ක්‍රම්‍යයෙහි යෙදුණේය.’ කියාය. ස්වාමීනි, මෙය මෙසේ නොදත යුතුය.
’’ස්වාමීනි, වැස නිමවූ, කළයුත්ත කළ, ඉදිරියට තමා විසින් කළයුත්තක් නොදක්නා, කළ දෙය නැවත රැස් කිරීමක් හෝ නැති, ආශ්‍රවයන් ක්‍ෂය කළ භික්‍ෂුව, රාගය ක්‍ෂය කිරීමෙන්, රාගය දුරු කිරීම් හේතුවෙන් නෛෂ්ක්‍රම්‍යයෙහි යෙදුණේ වේ. ද්වේෂය ක්‍ෂය කිරීමෙන්, ද්වේෂය ක්‍ෂය කිරීම් හේතුවෙන් නෛෂ්ක්‍රම්‍යයෙහි යෙදුණේ වේ. මොහය ක්‍ෂය කිරීමෙන්, මෝහය ක්‍ෂය කිරීම් හේතුවෙන් නෛෂ්ක්‍රම්‍යයෙහි යෙදුණේ වේ.
’’ස්වාමීනි, මේ ලොව කිසි ආයුෂ්මත් කෙනෙකුට මෙබඳු සිතෙක් වෙයි. ’ඒකාන්තයෙන් මේ ආයුෂ්මත් තෙමේ ලාභ, සත්කාර, කීර්ති, ප්‍රශංසා කැමැත්තෙන්ම තද විවේකයෙහි යෙදුණේ වේ’ (කියා) ය. ස්වාමීනි, මෙය මෙසේ නොදත යුතුය. ස්වාමීනි, වැස නිමවූ, කළයුත්ත කළ, ඉදිරියට තමා විසින් කළයුත්තක් නොදක්නා, කළ දෙය නැවත රැස් කිරීමක් හෝ නැති, ආශ්‍රවයන් ක්‍ෂය කළ භික්‍ෂුව, රාගය ක්‍ෂය කිරීමෙන්, රාගය දුරු කිරීම් හේතුවෙන් තද විවේකයෙහි යෙදුණේ වේ. ද්වේෂය ක්‍ෂය කිරීමෙන්, ද්වේෂය ක්‍ෂය කිරීම් හේතුවෙන් තද විවේකයෙහි යෙදුණේ වේ. මොහය ක්‍ෂය කිරීමෙන්, මෝහය ක්‍ෂය කිරීම් හේතුවෙන් තද විවේකයෙහි යෙදුණේ වේ.
’’ස්වාමීනි, මේ ලොව කිසි ආයුෂ්මත් කෙනකුට මෙබඳු සිතෙක් වෙයි. ’ඒකාන්තයෙන් මේ ආයුෂ්මත් තෙමේ හුදෙක් ශ්‍රද්‍ධාමාත්‍රයක් නිසා නෛෂ්ක්‍රම්‍යයෙහි යෙදුණේය.’ කියාය. ස්වාමීනි, මෙය මෙසේ නොදත යුතුය. ඒකාන්තයෙන් මේ ආයුෂ්මත් තෙමේ බුදු සස්නෙන් බැහැර සිල් හා පිළිවෙත් සාරකොට අනුව යන්නේ අහිංසාවෙහි යෙදුණේ වේ,’ (කියාය.) ස්වාමීනි, මෙය මෙසේ නොදත යුතුය.
’ස්වාමීනි, මේ ලොව කිසි ආයුෂ්මත් කෙනකුට මෙබඳු සිතෙක් වෙයි. ’ඒකාන්තයෙන් මේ ආයුෂ්මත් තෙමේ හුදෙක් ශ්‍රද්‍ධාමාත්‍රයක් නිසා නෛෂ්ක්‍රම්‍යයෙහි යෙදුණේය.’ කියාය. ස්වාමීනි, මෙය මෙසේ නොදත යුතුය. ස්වාමීනි, මේ ලොව කිසි ආයුෂ්මත් කෙනකුට මෙබඳු සිතෙක් වෙයි. ’ඒකාන්තයෙන් මේ ආයුෂ්මත් තෙමේ හුදෙක් ශ්‍රද්‍ධාමාත්‍රයක් නිසා නෛෂ්ක්‍රම්‍යයෙහි යෙදුණේය.’ කියාය. ස්වාමීනි, මෙය මෙසේ නොදත යුතුය. ඒකාන්තයෙන් මේ ආයුෂ්මත් තෙමේ බුදු සස්නෙන් බැහැර සිල් හා පිළිවෙත් සාරකොට අනුව යන්නේ තෘෂ්ණා ක්‍ෂය කිරීමෙහි යෙදුණේ වේ,’ (කියාය.) ස්වාමීනි, මෙය මෙසේ නොදත යුතුය. ස්වාමීනි, වැස නිමවූ, කළයුත්ත කළ, ඉදිරියට තමා විසින් කළයුත්තක් නොදක්නා, කළ දෙය නැවත රැස් කිරීමක් හෝ නැති, ආශ්‍රවයන් ක්‍ෂය කළ භික්‍ෂුව, රාගය ක්‍ෂය කිරීමෙන්, රාගය දුරු කිරීම් හේතුවෙන් නෛෂ්ක්‍රම්‍යයෙහි යෙදුණේ වේ. ද්වේෂය ක්‍ෂය කිරීමෙන්, ද්වේෂය ක්‍ෂය කිරීම් හේතුවෙන් නෛෂ්ක්‍රම්‍යයෙහි යෙදුණේ වේ. මොහය ක්‍ෂය කිරීමෙන්, මෝහය ක්‍ෂය කිරීම් හේතුවෙන් නෛෂ්ක්‍රම්‍යයෙහි යෙදුණේ වේ.
’’ස්වාමීනි, මේ ලොව කිසි ආයුෂ්මත් කෙනකුට මෙබඳු සිතෙක් වෙයි. ’ඒකාන්තයෙන් මේ ආයුෂ්මත් තෙමේ හුදෙක් ශ්‍රද්‍ධාමාත්‍රයක් නිසා නෛෂ්ක්‍රම්‍යයෙහි යෙදුණේය.’ කියාය. ස්වාමීනි, මෙය මෙසේ නොදත යුතුය. ස්වාමීනි, මේ ලොව කිසි ආයුෂ්මත් කෙනකුට මෙබඳු සිතෙක් වෙයි. ’ඒකාන්තයෙන් මේ ආයුෂ්මත් තෙමේ හුදෙක් ශ්‍රද්‍ධාමාත්‍රයක් නිසා නෛෂ්ක්‍රම්‍යයෙහි යෙදුණේය.’ කියාය. ස්වාමීනි, මෙය මෙසේ නොදත යුතුය. ඒකාන්තයෙන් මේ ආයුෂ්මත් තෙමේ බුදු සස්නෙන් බැහැර සිල් හා පිළිවෙත් සාරකොට අනුව යන්නේ දැඩිකොට සිතින් අල්වා ගැනීම ක්‍ෂය කිරීමෙහි යෙදුණේ වේ,’ (කියාය.) ස්වාමීනි, මෙය මෙසේ නොදත යුතුය. ස්වාමීනි, වැස නිමවූ, කළයුත්ත කළ, ඉදිරියට තමා විසින් කළයුත්තක් නොදක්නා, කළ දෙය නැවත රැස් කිරීමක් හෝ නැති, ආශ්‍රවයන් ක්‍ෂය කළ භික්‍ෂුව, රාගය ක්‍ෂය කිරීමෙන්, රාගය දුරු කිරීම් හේතුවෙන් නෛෂ්ක්‍රම්‍යයෙහි යෙදුණේ වේ. ද්වේෂය ක්‍ෂය කිරීමෙන්, ද්වේෂය ක්‍ෂය කිරීම් හේතුවෙන් නෛෂ්ක්‍රම්‍යයෙහි යෙදුණේ වේ. මොහය ක්‍ෂය කිරීමෙන්, මෝහය ක්‍ෂය කිරීම් හේතුවෙන් නෛෂ්ක්‍රම්‍යයෙහි යෙදුණේ වේ.
’ස්වාමීනි, මේ ලොව කිසි ආයුෂ්මත් කෙනකුට මෙබඳු සිතෙක් වෙයි. ’ඒකාන්තයෙන් මේ ආයුෂ්මත් තෙමේ හුදෙක් ශ්‍රද්‍ධාමාත්‍රයක් නිසා නෛෂ්ක්‍රම්‍යයෙහි යෙදුණේය.’ කියාය. ස්වාමීනි, මෙය මෙසේ නොදත යුතුය. ස්වාමීනි, මේ ලොව කිසි ආයුෂ්මත් කෙනකුට මෙබඳු සිතෙක් වෙයි. ’ඒකාන්තයෙන් මේ ආයුෂ්මත් තෙමේ හුදෙක් ශ්‍රද්‍ධාමාත්‍රයක් නිසා නෛෂ්ක්‍රම්‍යයෙහි යෙදුණේය.’ කියාය. ස්වාමීනි, මෙය මෙසේ නොදත යුතුය. ඒකාන්තයෙන් මේ ආයුෂ්මත් තෙමේ බුදු සස්නෙන් බැහැර සිල් හා පිළිවෙත් සාරකොට අනුව යන්නේ මුළා නොවීමෙහි යෙදුණේ වේ,’ (කියාය.) ස්වාමීනි, මෙය මෙසේ නොදත යුතුය. ස්වාමීනි, වැස නිමවූ, කළයුත්ත කළ, ඉදිරියට තමා විසින් කළයුත්තක් නොදක්නා, කළ දෙය නැවත රැස් කිරීමක් හෝ නැති, ආශ්‍රවයන් ක්‍ෂය කළ භික්‍ෂුව, රාගය ක්‍ෂය කිරීමෙන්, රාගය දුරු කිරීම් හේතුවෙන් නෛෂ්ක්‍රම්‍යයෙහි යෙදුණේ වේ. ද්වේෂය ක්‍ෂය කිරීමෙන්, ද්වේෂය ක්‍ෂය කිරීම් හේතුවෙන් නෛෂ්ක්‍රම්‍යයෙහි යෙදුණේ වේ. මොහය ක්‍ෂය කිරීමෙන්, මෝහය ක්‍ෂය කිරීම් හේතුවෙන් නෛෂ්ක්‍රම්‍යයෙහි යෙදුණේ වේ.
’’ස්වාමීනි, මෙසේ යහපත්ව කෙලෙසුන්ගෙන් මිදුණු සිත් ඇති භික්‍ෂුව අලංකාර රූපයෝ ඇස් හමුවට පැමිණෙත්ද, ඒ රූප ඔහුගේ සිත මැඩ නොගනී. ඔහුගේ සිත (එයින්) අවුල් නුවූයේමය. ස්ථිරවූයේ, නොසැලෙන බවට ගියේ, ඒ රූපයන්ගේ විනාශයද බලයි.
’’ස්වාමීනි, මෙසේ යහපත්ව කෙලෙසුන්ගෙන් මිදුණු සිත් ඇති භික්‍ෂුව අලංකාර ශබ්දයෝ, කන හමුවට පැමිණෙත්ද, ඒ ශබ්ද ඔහුගේ සිත මැඩ නොගනී. ඔහුගේ සිත (එයින්) අවුල් නුවූයේමය. ස්ථිරවූයේ, නොසැලෙන බවට ගියේ, ඒ ශබ්දයන්ගේ විනාශයද බලයි.
’’ස්වාමීනි, මෙසේ යහපත්ව කෙලෙසුන්ගෙන් මිදුණු සිත් ඇති භික්‍ෂුව අලංකාර ගන්‍ධයෝ නාසය හමුවට පැමිණෙත්ද, ඒ ගන්‍ධ ඔහුගේ සිත මැඩ නොගනී. ඔහුගේ සිත (එයින්) අවුල් නුවූයේමය. ස්ථිරවූයේ, නොසැලෙන බවට ගියේ, ඒ ගන්‍ධයන්ගේ විනාශයද බලයි.
’’ස්වාමීනි, මෙසේ යහපත්ව කෙලෙසුන්ගෙන් මිදුණු සිත් ඇති භික්‍ෂුව අලංකාර රසයෝ, දිව හමුවට පැමිණෙත්ද, ඒ රස ඔහුගේ සිත මැඩ නොගනී. ඔහුගේ සිත (එයින්) අවුල් නුවූයේමය. ස්ථිරවූයේ, නොසැලෙන බවට ගියේ, ඒ රසයන්ගේ විනාශයද බලයි.
’’ස්වාමීනි, මෙසේ යහපත්ව කෙලෙසුන්ගෙන් මිදුණු සිත් ඇති භික්‍ෂුව අලංකාර ස්පර්‍ශයෝ, කය හමුවට පැමිණෙත්ද, ඒ ස්පර්‍ශ ඔහුගේ සිත මැඩ නොගනී. ඔහුගේ සිත (එයින්) අවුල් නුවූයේමය. ස්ථිරවූයේ, නොසැලෙන බවට ගියේ, ඒ ස්පර්‍ශයන්ගේ විනාශයද බලයි.
’’ස්වාමීනි, මෙසේ යහපත්ව කෙලෙසුන්ගෙන් මිදුණු සිත් ඇති භික්‍ෂුව අලංකාර සිතින් දත යුතු කරුණු, සිත හමුවට පැමිණෙත්ද, ඒ සිතින් දත යුතු කරුණු ඔහුගේ සිත මැඩ නොගනී. ඔහුගේ සිත (එයින්) අවුල් නුවූයේමය. ස්ථිරවූයේ, නොසැලෙන බවට ගියේ, ඒ සිතින් දත යුතු කරුණුවල විනාශයද බලයි.
’’ස්වාමීනි, සිදුරු නොවූ, බෙන නැති, එකට ඝනවූ ගල් පර්‍වතයක් යම් සේද, නැවත පෙරදිගින්ද, මහත් වාතයක් සහිත වැස්සක් එන්නේද, ඒ පර්‍වතය කම්පා නොකරන්නේය. නොවෙවුල වන්නේය. විශෙෂයෙන් නොවෙවුල වන්නේය. නැවත බටහිර දිශාවෙන්ද, මහත් වාතයක් සහිත වැස්සක් එන්නේද, ඒ පර්‍වතය කම්පා නොකරන්නේය. නොවෙවුල වන්නේය. විශෙෂයෙන් නොවෙවුල වන්නේය. නැවත උතුරු දිශාවෙන්ද මහත් වාතයක් සහිත වැස්සක් එන්නේද, ඒ පර්‍වතය කම්පා නොකරන්නේය. නොවෙවුල වන්නේය. විශෙෂයෙන් නොවෙවුල වන්නේය. නැවත දකුණු දිශාවෙන්ද මහත් වාතයක් සහිත වැස්සක් එන්නේද, ඒ පර්‍වතය කම්පා නොකරන්නේය. නොවෙවුල වන්නේය. විශෙෂයෙන් නොවෙවුල වන්නේය.
’’ස්වාමීනි, එසේම, මෙසේ යහපත්සේ කෙළෙසුන්ගෙන් මිදුන සිත් ඇති මහණහට ඇසින් දැක්ක යුතු ලක්‍ෂණ රූපයෝ ඇසට හමුවෙත්ද, ඔහුගේ සිත මැඩ නොපවතිත්. ඔහුගේ සිත අවුල් නොවූයේ වේ. නොසැලෙන බවට පැමිණියේය.. රූපයේ විනාශය අනුව බලයි.
’’ස්වාමීනි, එසේම, මෙසේ යහපත්සේ කෙළෙසුන්ගෙන් මිදුන සිත් ඇති මහණහට කණින් ඇසියයුතු ශබ්දයෝ හමුවෙද්ද, ඔහුගේ සිත මැඩ නොපවතිත්. ඔහුගේ සිත අවුල් නොවූයේ වේ. නොසැලෙන බවට පැමිණියේය.. ශබ්දයේ විනාශය අනුව බලයි.
’’ස්වාමීනි, එසේම, මෙසේ යහපත්සේ කෙළෙසුන්ගෙන් මිදුන සිත් ඇති මහණහට නාසයෙන් ගඳ සුවඳ දැනීම කටයුතු ගඳ සුවඳ හමුවෙත්ද, ඔහුගේ සිත මැඩ නොපවතිත්. ඔහුගේ සිත අවුල් නොවූයේ වේ. නොසැලෙන බවට පැමිණියේය.. ගඳ සුවඳේ විනාශය අනුව බලයි.
’’ස්වාමීනි, එසේම, මෙසේ යහපත්සේ කෙළෙසුන්ගෙන් මිදුන සිත් ඇති මහණහට දිවෙන් දතයුතු රසයෝ හමුවෙද්ද, ඔහුගේ සිත මැඩ නොපවතිත්. ඔහුගේ සිත අවුල් නොවූයේ වේ. නොසැලෙන බවට පැමිණියේය.. රසයන්ගේ විනාශය අනුව බලයි.
’’ස්වාමීනි, එසේම, මෙසේ යහපත්සේ කෙළෙසුන්ගෙන් මිදුන සිත් ඇති මහණහට කයින් දැනගතයුතු ස්පර්‍ශයෝ හමුවෙත්ද, ඔහුගේ සිත මැඩ නොපවතිත්. ඔහුගේ සිත අවුල් නොවූයේ වේ. නොසැලෙන බවට පැමිණියේය.. ස්පර්‍ශයන්ගේ විනාශය අනුව බලයි.
’’ස්වාමීනි, එසේම, මෙසේ යහපත්සේ කෙළෙසුන්ගෙන් මිදුන සිත් ඇති මහණහට සිතින් දැනගතයුතු ධර්‍මයෝ හමුවෙත්ද, ඔහුගේ සිත මැඩ නොපවතිත්. ඔහුගේ සිත අවුල් නොවූයේ වේ. නොසැලෙන බවට පැමිණියේය.. ධර්‍මයන්ගේ විනාශය අනුව බලයි.’’
(1-2) ’’රහත්බවයයි කියන නෛෂ්ක්‍රම්‍යයද, සිතේ එම කෙළෙසුන් කෙරෙන් වෙන්වීම ඇති බවද, අවබෝධ කොට සිටියාවූද, තෘෂ්ණාව නැති කිරීමද, සිතේ මුලානොවීමද අවබෝධකොට සිටියාවූ කෙළෙස් නැති උතුමෙකුගේ ආයතනයන්ගේ ඉපදීම හා විනාශය දැක සිත මනාකොට මිදේද’
(3-4) ’’මෙසේ මනාකොට මිදුනාවූ නිවුනාවූ සිත් ඇති ඒ භික්‍ෂුව විසින් කරණ ලද්ද නැවත නැවත වැඩීමක් නැත්තේය. කළයුතු දෙයක් නැත.
(5) ’’ඒකඝනවූ පර්‍වතය වාතයෙන් කම්පා නොවේද, මෙපරිද්දෙන් රූපාලම්බනයෙන්ද,(ඇලීමෙන්ද) ශබ්දාලම්බනයෙන්ද, ගන්‍ධාලම්බනයෙන්ද, ස්පර්‍ශාලම්බනයෙන්ද, ලාභාලාභයෙහි ගිජුනොවන රහතන් වහන්සේලා කම්පා නොවෙති. උන්වහන්සේගේ සිත විශේෂයෙන් මිදුනේ වේ. සිටියේ වේ. ඒ සිතේ ඉපදීම හා නැසීමද රහතන් වහන්සේ නැවත නැවත දකියි

AN 06-06-02. ඵග්ගුන නොහොත්  ආබාධික ඵග්ගුණ සූත්‍රය

§එසමයෙහි වනාහි ආයුෂ්මත් ඵග්ගුණ ස්ථවිරයන් වහන්සේ හටගත් ආබාධ ඇත්තේ, දුක්වූයේ, දැඩි ගිලන්වූයේ වෙයි. ඉක්බිති ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ, භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද, එතැන්හි පැමිණියහ. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස්ව හුන්නාහ. එකත්පසෙක හුන්නාවූ ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ, භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළහ.
’’ස්වාමීනි, ආයුෂ්මත් ඵග්ගුණ ස්ථවිරයන් වහන්සේ, හටගත් ආබාධ ඇත්තේ, දුක්වූයේ, දැඩි ගිලන්වූයේ වෙයි. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ අනුකම්පා කොට ආයුෂ්මත් ඵග්ගුණ ස්ථවිරයන් වහන්සේ, යම් තැනකද, එතැනට පැමිණෙන සේක්වා.’’ භාග්‍යවතුන් වහන්සේ කිසිවක් නොවැදෑරීමෙන් එය ඉවසූ සේක.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සවස් කාලයෙහි විවේකයෙන් නැගිටි සේක් ආයුෂ්මත් ඵග්ගුණ ස්ථවිරයන් වහන්සේ, යම් තැනකද එතැන්හි එළඹි සේක. භාග්‍යවතුන් වහන්සේ වඩින බව දුරදීම ආයුෂ්මත් ඵග්ගුණ ස්ථවිරයන් වහන්සේ, දැක්කේමය. දැක ඇඳෙන් නැගිටින ආකාරයක් දැක්වූහ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ඵග්ගුණ ස්ථවිරයන් වහන්සේට මෙසේ වදාළහ.,
’’ඵග්ගුණය, ඔබ ඇඳෙන් නැගිටීම යුතු නැත. කලින් පැනවූ මේ ආසනයෝ ඇත්තාහ. මම එහි හිඳගන්නෙමි.’’ පැනවූ අස්නෙහි භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටි සේක. වැඩ හිඳ, ආයුෂ්මත් ඵග්ගුණ ස්ථවිරයන් වහන්සේට මෙසේ වදාළහ. ’’ඔබ රුචි කරණ දේ මොනවාද? යැපියයුතු දේ කිමෙක්ද? දුක් වේදනාවෝ අඩුවෙමින් පවතිත්ද? වැඩි වෙමින් පවතිත්ද? අඩුවෙන බවක් පෙනේද? වැඩිවෙන බවක් පෙනේද?’’,
’’ස්වාමීනි, කිසිවක් රුචි නොවේ. යැපියයුතු කිසිවක් (වුවමනා) නොවේ. මාගේ දැඩිවූ දුක් වේදනාවෝ වැඩිවෙමින් පවතිත්. අඩුවෙමින් නොපවතිත්. වැඩිවන බව පෙනේ. අඩුවන බව නොපෙනේ. ස්වාමීනි, යම්සේ බලවත් පුරුෂයෙක් තියුණු උලකින් හිස කළඹාද, එමෙන්ම ස්වාමීනි, බලවත් වාතයෝ මාගේ හිසට පීඩා කරත්.
’’ස්වාමීනි, මට රුචි දෙයක් නැත. යැපියයුතු කිසිවක් (වුවමනා) නොවේ. මාගේ දැඩිවූ දුක් වේදනාවෝ වැඩිවෙමින් පවතිත්. අඩුවෙමින් නොපවතිත්. වැඩිවන බව පෙනේ. අඩුවන බව නොපෙනේ. ස්වාමීනි, යම්සේ බලවත් පුරුෂයෙක් දැඩිවූ වරපටකින් හිස වෙලන්නේද, ස්වාමීනි, එමෙන්ම මාගේ හිසෙහි දැඩිවූ හිසරදය පවතියි.
’’ස්වාමීනි, මට රුචි දෙයක් නැත. යැපියයුතු කිසිවක් (වුවමනා) නොවේ. මාගේ දැඩිවූ දුක් වේදනාවෝ වැඩිවෙමින් පවතිත්. අඩුවෙමින් නොපවතිත්. වැඩිවන බව පෙනේ. අඩුවන බව නොපෙනේ. ස්වාමීනි, යම්සේ දක්‍ෂවූ ගවයන් මරන්නෙක් හෝ ඔහුගේ අතවැස්සෙක් හෝ තියුණු පිහියකින් බඩ කපන්නේද, එපරිද්දෙන්ම ස්වාමීනි, බලවත් වාතයෝ මාගේ කුසට වේදනා දෙත්.
’’ස්වාමීනි, මට රුචි දෙයක් නැත. යැපියයුතු කිසිවක් (වුවමනා) නොවේ. මාගේ දැඩිවූ දුක් වේදනාවෝ වැඩිවෙමින් පවතිත්. අඩුවෙමින් නොපවතිත්. වැඩිවන බව පෙනේ. අඩුවන බව නොපෙනේ. ස්වාමීනි, යම්සේ බලවත් පුරුෂයෝ ඉතා දුර්වල පුරුෂයකු අත්වලින් අල්ලා ගිනි අඟුරු වලක රත් කරවත්ද, එපරිද්දෙන්ම ස්වාමීනි, මාගේ ශරීරයෙහි බලවත් දැවිල්ලක් වෙයි. ස්වාමීනි, මට රුචි දෙයක් නැත.
ඉක්බිති ආයුෂ්මත් ඵග්ගුණ ස්ථවිරයන් වහන්සේට දැහැමි කථාවන් දක්වා, සමාදන් කරවා, තෙද ගන්වා, සතුටු කරවා අස්නෙන් නැගිට වැඩි සේක. ඉක්බිති ආයුෂ්මත් ඵග්ගුණ ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ වැඩමවා ටික වේලාවකින් කාලක්‍රියා කළහ.
උන්වහන්සේගේ මරණාවස්ථාවෙහි ඉන්‍ද්‍රියයෝ මනාසේ දැකුම්කලුව තිබුනාහ. ඉක්බිති ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද, එතැන්හි පැමිණියහ. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියහ. එකත් පසෙක සිටියාවූ ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළහ.
’’ස්වාමීනි, ආයුෂ්මත් ඵග්ගුණ ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ වැඩමවා ටික වේලාවකින්ම කාලක්‍රියා කළහ. උන්වහන්සේගේ මරණාවස්ථාවෙහි ඉන්‍ද්‍රියයෝ දැකුම්කලුව තිබුනාහ.’’
’’කිමෙක්ද? ආනන්‍දය, ඵග්ගුණ ස්ථවිරයන්ගේ ඉන්‍ද්‍රියයෝ පැහැදී නොතිබෙද්ද? ආනන්‍දය, ඵග්ගුණ භික්‍ෂුවගේ පස් වැදෑරුම් ඔරම්භාගීය සංයෝජනයන්ගෙන් සිත මිදුනේය. ඔහුට ඒ ධර්‍ම දේශනාව අසා පස් වැදෑරුම් ඔරම්භාගීය සංයෝජනයන්ගෙන් සිත මිදුනේය.
’’ආනන්‍දය, සුදුසු කාලයෙහි බණ ඇසීමෙහි, සුදුසු කාලයෙහි අර්ත්‍ථ පරීක්‍ෂා කිරීමෙහි මේ අනුසස් සයෙකි. ඒ කවරහුද? ආනන්‍දය, මේ ශාසනයෙහි භික්‍ෂුවට පස් වැදෑරුම් ඔරම්භාගීය සංයෝජනයන්ගෙන් සිත මිදෙයි. හෙතෙම මරණ කාලයේ තථාගතයන් වහන්සේගේ දර්‍ශනය ලබයි. ඔහුට තථාගතයන් වහන්සේ ධර්‍මය දේශනා කරයි. මුල යහපත්, මැද යහපත්, කෙළවර යහපත්, අර්ත්‍ථ සහිතවූ, ව්‍යඤ්ජන සහිතවූ, සියල්ල සම්පූර්‍ණවූ, පිරිසිදු බ්‍රහ්මචර්‍ය්‍යාව ප්‍රකාශ කරයි. ඒ ධර්මදේශනාව අසා, පස් වැදෑරුම් ඔරම්භාගීය සංයෝජනයන්ගෙන් සිත මිදෙයි. ආනන්‍දය, සුදුසු කාලයෙහි ධර්ම ශ්‍රවණයේ මේ ප්‍රථම ආනිශංසයයි.
’’ආනන්‍දය, නැවතද, පස් වැදෑරුම් ඔරම්භාගීය සංයෝජනයන්ගෙන් භික්‍ෂුවගේ සිත මිදුනේ වේද, ඔහු මැරෙණ කාලයෙහි තථාගතයන් වහන්සේගේ දර්‍ශනය නොලැබුවේද, එසේ නමුදු තථාගත ශ්‍රාවකයෙකු දක්නට ලැබෙයි. ඔහුට තථාගත ශ්‍රාවක තෙම ධර්මදේශනා කරයි. මුල යහපත්, මැද යහපත්, කෙළවර යහපත්, අර්ත්‍ථ සහිතවූ, ව්‍යඤ්ජන සහිතවූ, සියල්ල සම්පූර්‍ණවූ, පිරිසිදු බ්‍රහ්මචර්‍ය්‍යාව ප්‍රකාශ කරයි. ඒ ධර්මදේශනාව අසා, පස් වැදෑරුම් ඔරම්භාගීය සංයෝජනයන්ගෙන් සිත මිදෙයි. ආනන්‍දය, සුදුසු කාලයෙහි ධර්ම ශ්‍රවණයේ මේ දෙවන ආනිශංසයයි.
’’ආනන්‍දය, පස් වැදෑරුම් ඔරම්භාගීය සංයෝජනයන්ගෙන් භික්‍ෂුවගේ සිත මිදුනේ වේද, ඔහු මැරෙණ කාලයෙහි තථාගත දර්‍ශනය නොලැබේද, තථාගත ශ්‍රාවක දර්‍ශනය නොලබාද, එසේ නමුදු ඇසූ පරිදි, දැරූ පරිදි. ධර්මය සිතින් කල්පනා කරයි. විචාරයි. සිතින් ඒ අනුව බලයි. පස් වැදෑරුම් ඔරම්භාගීය සංයෝජනයන්ගෙන් සිත මිදෙයි. ආනන්‍දය, මේ සුදුසු කාලයෙහි ධර්ම ශ්‍රවණය කිරීමේ, අර්ත්‍ථයන් සිහිකිරීමේ තුන්වන ආනිශංසයයි.
’’ආනන්‍දය, මේ ශාසනයෙහි පස් වැදෑරුම් ඔරම්භාගීය සංයෝජනයන්ගෙන් භික්‍ෂුවගේ සිත මිදුනේ වේද, නිරුත්තරවූ, නැවත නැවත ඉපදීමේ සිත මිදුනේ වේ. හෙතෙම මැරෙණ කාලයෙහි තථාගත දර්‍ශනය ලැබේද, ඔහුට තථාගතයන් වහන්සේ ධර්මදේශනා කරයි. මුල යහපත්, මැද යහපත්, කෙළවර යහපත්, අර්ත්‍ථ සහිතවූ, ව්‍යඤ්ජන සහිතවූ, සියල්ල සම්පූර්‍ණවූ, පිරිසිදු බ්‍රහ්මචර්‍ය්‍යාව ප්‍රකාශ කරයි. ඒ ධර්මදේශනාව අසා, පස් වැදෑරුම් ඔරම්භාගීය සංයෝජනයන්ගෙන් සිත මිදෙයි. ඔහුට ඒ ධර්මදේශනාව අසා නිරුත්තරවූ, නැවත නැවත ඉපදීමේ සිත මිදෙයි. ආනන්‍දය, සුදුසු කාලයෙහි බණ ඇසීමේ මේ සතරවන ආනිශංසයයි.
’’ආනන්‍දය, නැවතද, පස් වැදෑරුම් ඔරම්භාගීය සංයෝජනයන්ගෙන් භික්‍ෂුවගේ සිත මිදෙයි, නිරුත්තරවූ, නැවත නැවත ඉපදීමේ සිත මිදුනාවූ හෙතෙම මැරෙණ කාලයෙහි තථාගත දර්‍ශනය නොලබයිද, එසේ නමුදු තථාගත ශ්‍රාවකයකුගේ දර්‍ශනය ලැබෙයි. එහුට තතාගත ශ්‍රාවකතෙම ධර්මය දේශනා කරයි. මුල යහපත්, මැද යහපත්, කෙළවර යහපත්, අර්ත්‍ථ සහිතවූ, ව්‍යඤ්ජන සහිතවූ, සියල්ල සම්පූර්‍ණවූ, පිරිසිදු බ්‍රහ්මචර්‍ය්‍යාව ප්‍රකාශ කරයි. ඒ ධර්මදේශනාව අසා, පස් වැදෑරුම් ඔරම්භාගීය සංයෝජනයන්ගෙන් සිත මිදෙයි. ඒ ධර්‍මය අසා ඔහුගේ සිත නිරුත්තරවූ නැවත නැවත ඉපදීමෙන් මිදෙයි. ආනන්‍දය, මේ සුදුසු කාලයෙහි බණ ඇසීමේ පස්වන ආනිශංසයයි.
’’නැවතද ආනන්‍දය, භික්‍ෂුවගේ සිත පස්වැදෑරුම් ඔරම්භාගීය සංයෝජනයන්ගෙන් සිත මිදෙයි. නිරුත්තරවූ, නැවත නැවත ඉපදීමේ සිත මිදුනේ වෙයි. ඔහු මැරෙණ කාලයෙහි තථාගත දර්‍ශනය නොලැබේද, තථාගත ශ්‍රාවක දර්‍ශනය නොලබාද, එසේ නමුදු ඇසූ පරිදි, දැරූ පරිදි. ධර්මය සිතින් කල්පනා කරයි. විචාරයි. සිතින් ඒ අනුව බලයි. ඔහු ඇසු පරිදි, දැරූ පරිදි, ධර්මය සිතින් කල්පනා කරන්නේ විචාරන්නේ ඒ පිළිබඳව සිත යොදවන්නේ, නිරුත්තරවූ, නැවත නැවත ඉපදීමෙහි සිත මිදෙයි. ආනන්‍දය, සුදුසු කාලයෙහි බණ ඇසීමෙහි, අර්ත්‍ථ පරීක්‍ෂා කිරීමෙහි මේ ආනිශංසයෝ සදෙන වෙති.’

AN 06-06-03. ජළාභි ජාති සූත්‍රය

§’එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර , ගිජුකුළු පව්වෙහි වෙසේ.
එසේ දිනක  ආයුෂ්මත් ආනන්‍ද ස්වාමින්වහන්සේ  භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක හිඳ මෙය කීය.

six types

’’ස්වාමීනි, පූරණ කාශ්‍යප විසින් ජාතීහු සයක් පනවන ලදහ.
කළුවූ ජාතියක් පනවන ලදී,
නිල්වූ ජාතියක් පනවන ලදී.
ලේවන් ජාතියක් පනවන ලදී,
කහවන් ජාතියක් පනවන ලදී,

Blue


සුදුවූ ජාතියක් පනවන ලදී,
,

(i) ’ස්වාමිනි, එහි වනාහි පූරණ කාශ්‍යප විසින් බැටළු වැද්දෝය, හූරු වැද්දෝය, කුරුලු වැද්දෝය, මුව වැද්දෝය, මසුන් මරන්නෝය. සොරුය, සොරු මරන්නෝය, සිරකරුවෝය, අන් කිසි කෲර කර්‍ම කරන්නෝද යන මෙය කළු වූ ජාතියයයි පනවන ලදී.

(ii) ස්වාමිනි, එහි වනාහි පූරණ කාශ්‍යප විසින් භික්‍ෂූන් අතර රළු පැවතුම් ඇත්තෝද, අන් කිසි කර්‍ම, මත ඇති, ක්‍රියාවාද ඇති අයද, යන මෙය නිල්වූ ජාතියයි පනවන ලදී.

(iii) ස්වාමීනි, එහි වනාහි පූරණ කාශ්‍යප විසින් එක් සළුවක් හඳනා නිඝන්ඨයෝය යන මෙය ලේවන් ජාතියයයි පනවන ලදී.

(iv) ස්වාමීනි, එහි වනාහි පූරණ කාශ්‍යප විසින් ගිහිවූත්, සුදු වස්ත්‍ර හඳනාවූත්, අචෙලක (-නිර්වස්ත්‍ර) තපසුන්ගේ ශ්‍රවකයෝ යන මෙය කසාවන් ජාතියයයි පනවන ලදී.

(v) ස්වාමීනි, එහි වනාහි පූරණ කාශ්‍යප විසින් ආජීවක තාපසයෝද, ආජීවක තවුසියෝද, යන මෙය සුදුවූ ජාතියයයි පනවන ලදී. ස්වාමීනි,

(vi) එහි වනාහි පූරණ කාශ්‍යප විසින් නන්‍ද නම් වූද, වච්ඡා නම් වූද, කෘශ වූද, සංකිච්ච නම් වුද, මක්ඛලී ගොසාල තෙමේ යන මෙය ඉතා සුදු ජාතියයයි පනවන ලදී.

ස්වාමිනි, පූරණ කාශ්‍යප විසින් මේ ජාතීහු සය පනවන ලදී.’’

’’ ආනන්දය, කිමෙක්ද වනාහි පූරණ කාශ්‍යප හට සියලු ලොව මේ ජාතීහු සය පැනවීමට මෙසේ අනු දනීද?’’
’’ස්වාමීනි, මෙය නොවේමය.’’

’’ ආනන්දය, මෙසේ යම්සේ පුරුෂයෙක් තෙම දිළිඳු වූයේ වේද, ස්වකීය දෙයක් නැත්තේද, නැළියක් (සහල්) නැත්තේද, නොකැමැත්තහුට, ’පින්වත් පුරුෂය, තා විසින් මේ මස කෑ යුතුය. මිලද නොදිය යුතුය’ යි සිතේ කිලුටකට (-බාධාවකට) අසු කරන්නේද, ආනන්දය, එසේම වනාහි මෝඩවූ, ව්‍යක්ත නොවූ, ස්ථාන නොදන්නාවූ, පාපවූ, පූරණ කාශ්‍යප විසින් එය එසේ ප්‍රතිඥා නොකොට මේ මහණ බමුණන්ට මේ ජාති සය පනවන ලද්දේය.

ආනන්දය, මම වනාහි ජාති සයක් පනවමි. එය අසව.
මනාව  මෙනෙහි කරව. කියන්නෙමි.’’
’’ස්වාමීනි, මැනව’ යි ආයුෂ්මත් ආනන්ද තෙමේ භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්හ.

භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.
’’ ආනන්දය, ජාති සය කෙසේද?
ආනන්දය, මේ ලොව එකෙක් කළුවූ ජාති ඇත්තේ, කළුවූ (-පාප) ධර්මයක් උපදවයි. ආනන්දය, මේ ලොව එකෙක් කළුවූ ජාති ඇත්තේ සුදුවූ (පින්) දහම උපදවයි. ආනන්දය, මේ ලොව එකෙක් කළුවූ ජාති ඇත්තේ කළු නොවූ, සුදු නොවූ නිවණ උපදවයි. ආනන්දය, මේ ලොව එකෙක් සුදුවූ ජාති ඇත්තේ කළුවූ දහම උපදවයි. ආනන්දය, මේ ලොව එකෙක් සුදුවූ ජාති ඇත්තේ සුදුවූ දහම උපදවයි. ආනන්දය, මේ ලොව එකෙක් සුදුවූ ජාති ඇත්තේ කළු නොවූ, සුදු නොවූ නිවණ උපදවයි.
’’ආනන්දය, කෙසේ නම් කළු ජාති ඇත්තේ කළුවූ දහම උපදවාද? ආනන්ද, මෙලොව වනාහි එකෙක් නීච කුලයවූ සැඩොල් කුලයෙහි හෝ, වැදි කුලයෙහි හෝ කුළු පොතු කුලයෙහි හෝ, රියකරු කුලයෙහි හෝ, පුප්සඬු කුලයෙහි හෝ, ආහාර පාන භෝජන නැති, දුෂ්කර ජීවිකා ඇති, යමක දුකින් කෑම ඇඳීම, ලැබේද, ඒ දිළිඳු කුලයක හෝ උපන්නේ වේද, හෙද වනාහි දුර්වර්ණද, නපුරු දැකීම් ඇත්තේද, ඉතා කොන් වූයේද, බොහෝ ලෙඩ ඇත්තේද, අත කොරවූ හෝ, බකල හෝ, පය කොර හෝ, පැත්ත පණ නැති සේ හෝ, ආහාර, පාන, වස්ත්‍ර, යාන, මාලා, සුවඳ විලවුන්, ඇඳන්, ගෙවල්, පහන් නොලබනුයේ හෝ කයින් වැරදි කරයි. වචනයෙන් වැරදි කරයි. සිතින් වැරදි කරයි. හේ කයින් වැරදි කර, වචනයෙන් වැරදි කර, සිතින් වැරදි කර, කය බිඳි මරණින් මතු අපායවූ, දුගතිවූ, ඇද වැටීමවූ, නිරයේ උපදී. ආනන්දය, එසේම වනාහි කළුවූ ජාති ඇත්තේ, කළුවූ දහම උපදවයි.
’’ආනන්දය, කෙසේ නම් කළුවූ ජාති ඇත්තේ, සුදුවූ දහම උපදවාද? ආනන්ද, මෙලොව වනාහි එකෙක් නීච කුලයවූ සැඩොල් කුලයෙහි හෝ, වැදි කුලයෙහි හෝ කුළු පොතු කුලයෙහි හෝ, රියකරු කුලයෙහි හෝ, පුප්සඬු කුලයෙහි හෝ, ආහාර පාන භෝජන නැති, දුෂ්කර ජීවිකා ඇති, යමක දුකින් කෑම ඇඳීම, ලැබේද, ඒ දිළිඳු කුලයක හෝ උපන්නේ වේද, හෙද වනාහි දුර්වර්ණද, නපුරු දැකීම් ඇත්තේද, ඉතා කොන් වූයේද, බොහෝ ලෙඩ ඇත්තේද, අත කොරවූ හෝ, බකල හෝ, පය කොර හෝ, පැත්ත පණ නැති සේ හෝ, ආහාර, පාන, වස්ත්‍ර, යාන, මාලා, සුවඳ විලවුන්, ඇඳන්, ගෙවල්, පහන් නොලබනුයේ හේ කයින් හොඳ කරයි. වචනයෙන් හොඳ කරයි. සිතින් හොඳ කරයි. එසේ කොට කය බිඳී මරනින් මතු සුගතිවූ දෙව් ලොව උපදී. ආනන්දය, එසේම කළුවූ ජාති ඇත්තේ, සුදුවූ දහම උපදවයි.
’’ආනන්දය, කෙසේ නම් කළුවූ ජාති ඇත්තේ කළු නොවූ, සුදු නොවූ, දහම උපදවාද? ආනන්ද, මෙලොව වනාහි එකෙක් නීච කුලයවූ සැඩොල් කුලයෙහි හෝ, වැදි කුලයෙහි හෝ කුළු පොතු කුලයෙහි හෝ, රියකරු කුලයෙහි හෝ, පුප්සඬු කුලයෙහි හෝ, ආහාර පාන භෝජන නැති, දුෂ්කර ජීවිකා ඇති, යමක දුකින් කෑම ඇඳීම, ලැබේද, ඒ දිළිඳු කුලයක හෝ උපන්නේ වේද, හෙද වනාහි දුර්වර්ණද, නපුරු දැකීම් ඇත්තේද, ඉතා කොන් වූයේද, කෙස් රැවුල් කපවා, කසාවත් හැඳ, ගෙයින් නික්ම, සස්නෙහි පැවිදි වේද, හේ මෙසේ පැවිදි වූයේ, නුවණ දුබල කරණ, සිත කිළිටිවූ, වැසී සිටින පස් අකුසල් හැර, සතර සිහි පිහිටුවීම්වල මනාව සිත පිහිටවූයේ, බොධි අංග සත තත්වූ පරිද්දෙන් වඩා කලු නොවූ, සුදු නොවූ, නිවණ උපදවයි. ආනන්දය, මෙසේම වනාහි කළුවූ ජාති ඇත්තේ, කළු නොවූ, සුදු නොවූ, නිවණ උපදවයි.
’’ආනන්දය, කෙසේ නම් සුදුවූ ජාති ඇත්තේ කළුවූ දහම උපදවාද? ආනන්දය, මේ ලොව එකෙක් උසස් කුලවූ රදල මහසල් කූල හෝ බමුණු මහසල් කුල හෝ සිටු මහසල් කුල හෝ ආඪ්‍යව, මහ ධනව, මහා භෝග සහිතව, බොහෝ රන් රිදී ඇතිව, බොහෝ ධනෝපකරණ ඇතිව උපන්නේ වේද, සුරූප ඇත්තේ, දර්ශනීය වූයේ, පහදවන්නේ, උතුම් ශරීර වර්ණ සෞන්දර්යයෙන් යුක්තවූයේ, ආහාර, පාන, වස්ත්‍ර, යාන, මාලා, ගඳ විලවුන්, ඇඳන්, ගෙවල්, පහන් ලද්දේ වේද, හේ කයින් වැරදි කරයි. වචනයෙන වැරදි කරයි. සිතින් වැරදි කරයි. එසේ කොට කය බිඳී මරණින් පසු දුර්ගතිවූ, ඇද වැටීමවූ නිරයේ උපදී. ආනන්ද, මෙසේම වනාහි සුදුවූ ජාති ඇත්තේ, කලුවූ දහම උපදවයි.
’’ආනන්දය, කෙසේ නම් සුදුවූ ජාති ඇත්තේ සුදුවූ දහම උපදවාද? ආනන්දය, මේ ලොව එකෙක් උසස් කුලවූ රදල මහසල් කූල හෝ බමුණු මහසල් කුල හෝ සිටු මහසල් කුල හෝ ආඪ්‍යව, මහ ධනව, මහා භෝග සහිතව, බොහෝ රන් රිදී ඇතිව, බොහෝ ධනෝපකරණ ඇතිව උපන්නේ වේද, සුරූප ඇත්තේ, දර්ශනීය වූයේ, පහදවන්නේ, උතුම් ශරීර වර්ණ සෞන්දර්යයෙන් යුක්තවූයේ, ආහාර, පාන, වස්ත්‍ර, යාන, මාලා, ගඳ විලවුන්, ඇඳන්, ගෙවල්, පහන් ලද්දේ වේද, හේ කයින් කුසල් කරයි. වචනයෙන් කුසල් කරයි. සිතින් කුසල් කරයි. එසේකොට මරණින් මතු සුගතිවූ දෙව්ලොව උපදී. ආනන්දය, එසේම සුදුවූ ජාති ඇත්තේ, සුදුවූ දහම උපදවයි.
’’ආනන්දය, කෙසේ නම් සුදු ජාති ඇත්තේ, කළු නොවූ, සුදු නොවූ නිවණ උපදවාද? ආනන්දය, මේ ලොව එකෙක් ආඪ්‍ය මහා ධනවත්, මහා භෝගවත්, බොහෝ රන් රිදී ඇති, බොහෝ ධනොපකරණ ඇති, රදළ මහසල් කුල හෝ, බමුණු මහසල් කුල හෝ සිටු මහසල් කුල හෝ උපන්නේ වේද, හේ සුරූප ඇත්තේ, දර්ශනීය වූයේ, පහදවන්නේ, උතුම් ශරීර වර්ණ සෞන්දර්යයෙන් යුක්තවූයේ, ආහාර, පාන, වස්ත්‍ර, යාන, මාලා, සුවඳ විලවුන්, ඇඳන්, ගෙවල්, පහන් ලබනුයේ වේද, හේ කෙස් රැවුල් කපවා, කසාවත් හැඳ, ගෙයින් නික්ම, සස්නෙහි පැවිදි වේද, හේ මෙසේ පැවිදි වූයේ, නුවණ දුබල කරණ, සිත කිළිටිවූ, වැසී සිටින පස් අකුසල් හැර, සතර සිහි පිහිටුවීම්වල මනාව සිත පිහිටවූයේ, බොධි අංග සත තත්වූ පරිද්දෙන් වඩා කලු නොවූ, සුදු නොවූ, නිවණ උපදවයි. ආනන්දය, මෙසේම සුදුවූ ජාති ඇත්තේ කලු නොවූ, සුදු නොවූ නිවණ උපදවයි. මේ වනාහි ජාතීහු සයයි.

4. ආසවසුත්තං 4. ආසවප්පහාණ සූත්‍රය
5. දාරුකම්මිකසුත්තං 5. දාරුකම්මික සූත්‍රය
6. හත්ථිසාරිපුත්තසුත්තං 6. චිත්තහත්‍ථි සාරීපුත්ත සූත්‍රය
7. මජ්ඣෙසුත්තං 7. මෙත්ත්‍යයපඤ්හ සූත්‍රය
8. පුරිසින්ද්‍රියඤාණසුත්තං 8. දණ්ඩකප්ප සූත්‍රය
9. නිබ්බෙධිකසුත්තං 9. නිබ්බෙධික පරියාය සූත්‍රය
10. සීහනාදසුත්තං 10. ඡතථාගතබල (සීහනාද) සූත්‍රය

BOB 5

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.