DN 03-04 අග්ගඤ්ඤ සූත්‍රය

DN 03-04-
වාසෙට්ඨභාරද්වාජා

මා විසින් මෙසේ අසන ලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ මිගාර මාතෘ ප්‍රාසාද නම් පූර්වාරාමයෙහි වැඩවසන්නාහ. එකල වාසෙට්ඨ, භාරද්වාජ නම් සාමණෙර දෙනම භික්ෂු භාවය බලාපොරොත්තුවෙමින් භික්ෂූන් සමීපයෙහි වෙසෙත්.
එකල්හි භාග්‍යවතුන් වහන්සේ සවස් වේලෙහි විවේකයෙන් නැගී සිට ප්‍රාසාදයෙන් බැස (ඊට නැගෙනහිර දික්හි) පහයෙහි සෙවනැල්ල පවත්නා පසුභාගයෙහි අවකාශස්ථානයෙක සක්මන් කළහ.
වාසෙට්ඨ නම් සාමණෙර තෙමේ සවස් වේලෙහි විවේකයෙන් නැගී සිටියාවූ, පහයෙන් බැස ප්‍රාසාද සෙවනැල්ල පවත්නා අවකාශස්ථානයෙක්හි සක්මන් කරන්නා වූ භාග්‍යවතුන් වහන්සේ දුටුයේය. දැක භාරද්වාජ නම් සාමණේර නමට කථා කළේය. කථා කොට
“ආයුෂ්මත් භාරද්වාජයෙනි, මේ භාග්‍යවතුන් වහන්සේ සවස් වේලෙහි විවෙකයෙන් නැගීසිට පහයෙන් බැස ප්‍රාසාද සෙවනැල්ල පවත්නා අවකාශස්ථානයෙහි සක්මන් කරන්නාහුය. ආයුෂ්මත් භාරද්වාජය, (අපි) යමු, භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතන්හි පැමිණෙන්නෙමු. භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙන් ධර්ම කථාවක් අසන්නට ලබන්නෙමු නම් ඉතා යහපතැ”යි කීය.
“ඇවැත්නි, එසේය”යි භාරද්වාජ තෙමේ වාසෙට්ඨ හට උත්තර දුන්නේය.
එවිට වාසෙට්ඨ භාරද්වාජ දෙදෙන භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැන්හි පැමිණියාහුය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ හොඳින් වැඳ සක්මන් කරන්නාවූ භාග්‍යවතුන් වහන්සේ අනුව සක්මන් කළාහුය.
එකල්හි භාග්‍යවතුන් වහන්සේ වාසෙට්ඨහට කථාකොට මෙසේ කීවාහුය. “වාසෙට්ඨය, තෙපි වනාහි බ්‍රාහ්මණ ජාති ඇත්තෝ වූවහුය. බ්‍රාහ්මණයන් අතුරෙහි කුලසම්පන්න වූවහුය. බ්‍රාහ්මණ කුලයෙන් ගිහිගෙන් නික්ම ශාසනයෙහි මහණ වූවහුය. වාසෙට්ඨය, කිම? (අන්‍ය) බ්‍රාහ්මණයෝ තොපට අපහාස නොකෙරෙද්ද? හෙළාදැකීම නොකෙරෙද්ද?”
“ස්වාමීන් වහන්ස, එකාන්තයෙන්ම බමුණෝ අපට අපහාස කෙරෙති. තම තමන්ට සුදුසුවූ සම්පූර්ණවූ අසම්පූර්ණ නොවූ කථාවෙන් හෙළා දැකීම කෙරෙති”යි කීය.
“වාසෙට්ඨය, බ්‍රාහ්මණයෝ තොපට ඒ කෙසේ නම් තම තමන්ට සුදුසුවූ සම්පූර්ණවූ අසම්පූර්ණ නුවූ කථාවෙන් අපහාස කෙරෙද්ද? හෙළා දැකීම කෙරෙද්ද?”
“ස්වාමීනි, බ්‍රාහ්මණයෝ මෙසේ කියති: ‘බ්‍රාහ්මණ තෙමේම උතුම් වංශ ඇත්තේය. අන්‍යයෝ හීන වංශ ඇත්තෝය. බ්‍රාහ්මණ තෙමේම පිරිසිදු වංශ ඇත්තේය. බ්‍රාහ්මණයෝම ශුද්ධ වෙති. බ්‍රාහ්මණ නුවූවෝ ශුද්ධ නොවෙති. බමුණෝම මහා බ්‍රහ්මයාගේ පුත්‍රයෝය. (ඔහුගේ) කටින් පහළ වූවාහුය (ඔහු විසින්) හෘදයෙහි තබා වඩන ලද්දාහුය. නොහොත් හෘදයෙහි වැස කටින් නික්මුණාහුය. බ්‍රහ්මයා කෙරෙන් උපන්නාහුය. බ්‍රහ්මයා විසින් මවන ලද්දාහුය. බ්‍රහ්මයාගේම නෑයෝ වෙති. ඒ තෙපි ශ්‍රෙෂ්ඨ වංශය හැරපියා හීනවූ මාර පක්ෂයෙහිවූ බඹහුගේ පාදයෙන් උපන්නාවූ අපිරිසිදුවූ මුඩු මහණහු කෙරෙහි පැවිදිවීම් නම්වූ යම් ඒ හීන වංශයකට පැමිණීමක් ඇද්ද මහබඹහුගේ පාදයෙන් උපන්නාවූ මුඩු මහණහු කෙරෙහි පැවිදිවීම් නම්වූ ඒ හීන වංශයට පැමිණීම තොපට නුසුදුසුයි.”
“ස්වාමීනි, බමුණෝ මෙසේ අපට තම තමන්ට සුදුසුවූ සම්පූර්ණවූ අසම්පූර්ණ නුවූ කථාවෙන් අපහාස කෙරෙති. හෙළා දැකීම කෙරෙති.
වාසෙට්ඨය, ඒකාන්තයෙන් තොපගේ බ්‍රාහ්මණයෝ මුල සිහි නොකරමින් මෙසේ කියති. එනම්: ‘බ්‍රාහ්මණ තෙමේම උතුම් වංශ ඇත්තේ වෙයි. අන්‍යයෝ පහත් වංස ඇත්තෝය. බ්‍රාහ්මණ තෙමේම පිරිසිදු වංස ඇත්තේ වෙයි. අන්‍යයෝ අපිරිසිදු වංශ ඇත්තෝයි. බ්‍රාහ්මණයෝම මහාබ්‍රහ්මයාගේ පුත්‍රයෝය. (ඔහුගේ) කටින් පහළ වූවාහුය. (ඔහු විසින්) හෘදයෙහි තබා වඩන ලද්දාහුය. නොහොත් හෘදයෙහි වැස කටින් නික්මුනාහුය. බ්‍රහ්මයා කෙරෙන් උපන්නාහුය. බ්‍රහ්මයා විසින් මවන ලද්දාහුය. බ්‍රහ්මයාගේම නෑදෑයෝ වෙත්ය’ කියායි.
වාසෙට්ඨය, බ්‍රාහ්මණයන්ගේ ඔසප්වූද, දරුගැබ් ඇත්තාවූද, දරුවන් වදන්නාවූද, දරුවන්ට කිරි පොවන්නාවූද, බැමිණියෝ දක්නා ලැබෙති. ඒ බ්‍රාහ්මණයෝ යොනි මාර්ගයෙන්ම උපන්නෝව මෙසේ කියති. ‘බ්‍රාහ්මණ තෙමේම උතුම් වංශ ඇත්තේය. අන්‍යයෝ පහත් වංශ ඇත්තෝය. බ්‍රාහ්මණ තෙමේම පිරිසිදු වංශ ඇත්තේය. අන්‍යයෝ අපිරිසිදු වංශ ඇත්තෝය. බ්‍රාහ්මණයෝම සුද්ධ වෙති. බමුණුනුවූවෝ සුද්ධ නොවෙති. බ්‍රාහ්මණයෝම මහාබ්‍රහ්මයාගේ පුත්‍රයෝය. (ඔහුගේ) කටින් පහළවූවාහ. ඔහු විසින් හෘදයෙහි තබා වඩනා ලද්දාහුය නොහොත් හෘදයෙහි වැස කටින් නික්මුනාහුය. බ්‍රහ්මයා විසින් මවන ලද්දාහුය. බ්‍රහ්මයාගේම නෑදෑයෝ වෙත්ය කියායි. ඔහු තුමූ බ්‍රහ්මයාටද බොරුවෙන් හෙළාදකිත්. බොරුද කියත්. බොහෝ පව්ද රැස්කර ගනිත්.

චතුවවණ්ණසුද්ධි

“වාසෙට්ඨය, මේ වංශ සතරක් වෙත්. එනම්, ක්ෂත්‍රියයෝය, බ්‍රාහ්මණයෝය, වෛශ්‍යයෝය (වෙළඳුන්ය), ශුද්‍රයෝය (කම්කරුවෝය) කියායි. වාසෙට්ඨය, මේ ලොකයෙහි සමහර ක්ෂත්‍රියයෙක්ද ප්‍රාණඝාත කරන්නෙක් වෙයි. නුදුන් දෙය ගන්නෙක් වෙයි. කාමයෙහි වරදවා හැසිරෙන්නෙක් වෙයි. බොරු කියන්නෙක් වෙයි. කේලාම් කියන්නෙක් වෙයි. පරුෂවචන කියන්නෙක් වෙයි. හිස් වචන කියන්නෙක් වෙයි. දැඩි ලොභය බහුල කොට ඇත්තෙක් වෙයි. (ක්‍රොධයෙන්) වෙනස්වූ සිත් ඇත්තෙක් වෙයි. මිථ්‍යාදෘෂ්ටි (වැරදි දැකීම්) ඇත්තෙක් වෙයි.
“වාසෙට්ඨය, මෙසේ යම් ධර්මකෙනෙක් අකුසල් වෙද්ද, අකුසල්යයි කියන ලද්දාහුද, වරද සහිත වෙද්ද, වරද සහිතයයි කියන ලද්දාහුද, සෙවනය නොකට යුත්තාහුද, සෙවනය නොකටයුතුයයි කියන ලද්දාහුද, ආර්‍ය්‍යභාවයට නුසුදුසු වෙද්ද, ආර්‍ය්‍යභාවයට නුසුදුසුයයි කියන ලද්දාහුද, අපිරිසිදු වෙත්ද, අපිරිසිදු විපාක ඇත්තාහු වෙත්ද නුවණැත්තන් විසින් ගර්හා කරණ ලද්දාහු වෙත්ද ඒ ධර්මයෝ සමහර ක්ෂත්‍රියයෙකු කෙරෙහිද දක්නා ලැබෙත්.
“වාසෙට්ඨය, සමහර බ්‍රාහ්මණයෙක්ද ප්‍රාණඝාත කරන්නෙක් වෙයි. නුදුන් දෙය ගන්නෙක් වෙයි. කාමයෙහි වරදවා හැසිරෙන්නෙක් වෙයි. බොරු කියන්නෙක් වෙයි. කේලාම් කියන්නෙක් වෙයි. පරුසවචන කියන්නෙක් වෙයි, හිස් වචන කියන්නෙක් වෙයි. දැඩි ලොභය බහුල කොට ඇත්තෙක් වෙයි. (ක්‍රොධයෙන්) වෙනස්වූ සිත් ඇත්තෙක් වෙයි. මිථ්‍යාදෘෂ්ටි (වැරදි දැකීම්) ඇත්තෙක් වෙයි.
“වාසෙට්ඨය, මෙසේ යම් ධර්මකෙනෙක් අකුසල් වෙද්ද, අකුසල්යයි කියන ලද්දාහුද, වරද සහිත වෙද්ද, වරද සහිතයයි කියන ලද්දාහුද, සෙවනය නොකට යුත්තාහුද, සෙවනය නොකට යුතුයයි කියන ලද්දාහුද, ආර්‍ය්‍යභාවයට නුසුදුසුද, ආර්‍ය්‍යභාවයට නුසුදුසුයයි කියන ලද්දාහුද, අපිරිසිදු වෙත්ද, අපිරිසිදු විපාක ඇත්තාහු වෙත්ද, නුවණැත්තන් විසින් ගර්හා කරණ ලද්දාහු වෙත්ද, ඒ ධර්මයෝ සමහර බ්‍රාහ්මණයෙකු කෙරෙහිද දක්නා ලැබෙති.
“වාසෙට්ඨය, සමහර වෛශ්‍යයෙක්ද ප්‍රාණඝාත කරන්නෙක් වෙයි. නුදුන් දෙය ගන්නෙක් වෙයි. කාමයෙහි වරදවා හැසිරෙන්නෙක් වෙයි. බොරු කියන්නෙක් වෙයි. කේලාම් කියන්නෙක් වෙයි. පරුස වචන කියන්නෙක් වෙයි. හිස් වචන කියන්නෙක් වෙයි. දැඩි ලොභය බහුලකොට ඇත්තෙක් වෙයි. (ක්‍රොධයෙන්) වෙනස්වූ සිත් ඇත්තෙක් වෙයි. මිථ්‍යාදෘෂ්ටි (වැරදි දැකීම්) ඇත්තෙක් වෙයි.
“වාසෙට්ඨය, මෙසේ යම් ධර්මකෙනෙක් අකුසල් වෙද්ද අකුසල්යයි කියන ලද්දාහුද, වරද සහිත වෙද්ද, වරද සහිතයයි කියන ලද්දාහුද, සෙවනය නොකට යුත්තාහුද, සෙවනය නොකට යුතුයයි කියන ලද්දාහුද, ආර්‍ය්‍යභාවයට නුසුදුසුද, ආර්‍ය්‍යභාවයට නුසුදුසුයයි කියන ලද්දාහුද, අපිරිසිදු වෙත්ද, අපිරිසිදු විපාක ඇත්තාහු වෙත්ද, නුවණැත්තන් විසින් ගර්හා කරණ ලද්දාහු වෙත්ද, ඒ ධර්මයෝ සමහර වෛශ්‍යයෙකු කෙරෙහිද දක්නා ලැබෙති.
“වාසෙට්ඨය, සමහර ශුද්‍රයෙක්ද ප්‍රාණඝාත කරන්නෙක් වෙයි. නුදුන් දෙය ගන්නෙක් වෙයි. කාමයෙහි වරදවා හැසිරෙන්නෙක් වෙයි. බොරු කියන්නෙක් වෙයි. කේලාම් කියන්නෙක් වෙයි. පරුස වචන කියන්නෙක් වෙයි. හිස් වචන කියන්නෙක් වෙයි. දැඩි ලොභය බහුලකොට ඇත්තෙක් වෙයි. (ක්‍රොධයෙන්) වෙනස්වූ සිත් ඇත්තෙක් වෙයි. මිථ්‍යාදෘෂ්ටි (වැරදි දැකීම්) ඇත්තෙක් වෙයි.
වාසෙට්ඨය, මෙසේ යම් ධර්මකෙනෙක් අකුසල් වෙද්ද, අකුසල්යයි කියන ලද්දාහුද, වරද සහිත වෙද්ද, වරද සහිත යයි කියන ලද්දාහුද, සෙවනය නොකට යුත්තාහුද, සෙවනය නොකට යුතුයයි කියන ලද්දාහුද, ආර්‍ය්‍යභාවය සිදුකිරීමෙහි අසමර්ථ වෙද්ද, ආර්‍ය්‍යභාවය සිදුකිරීමෙහි අසමර්ථයයි කියන ලද්දාහුද, අපිරිසිදු වෙත්ද, අපිරිසිදු විපාක ඇත්තාහු වෙත්ද, නුවණැත්තන් විසින් ගර්හාකරණ ලද්දාහු වෙත්ද ඒ ධර්මයෝ සමහර ශුද්‍රයෙකු කෙරෙහිද දක්නා ලැබෙති.
“වාසෙට්ඨය, මම ලොකයෙහි සමහර ක්ෂත්‍රියයෙක්ද ප්‍රාණඝාතයෙන් වැළකුනේ වෙයි. නුදුන් දෙය ගැන්මෙන් වැළකුනේ වෙයි. කාමයෙහි වරදවා හැසිරීමෙන් වැළකුනේ වෙයි. බොරුකීමෙන් වැළකුනේ වෙයි. කේලාම් කීමෙන් වැළකුනේ වෙයි. පරුස වචන කීමෙන් වැළකුනේ වෙයි. හිස් වචන කීමෙන් වැළකුනේ වෙයි. දැඩිලොභය බහුල කොට ඇත්තේ නොවෙයි. (ක්‍රොධ වසයෙන්) වෙනස්වූ සිත් ඇත්තේ නොවෙයි. සම්‍යග්දෘෂ්ටි (හරිදැකීම) ඇත්තේවෙයි. වාසෙට්ඨය, එසේ යම් ධර්මකෙනෙක් කුසල්වෙද්ද, කුසල්යයි කියන ලද්දාහුද වරද රහිත වෙද්ද, වරද රහිතයයි කියන ලද්දාහුද, සෙවනය කටයුත්තාහුද සෙවනය කටයුතුයයි කියන ලද්දාහුද, ආර්‍ය්‍යභාවය සිදුකිරීමෙහි සමර්ථ වෙද්ද ආර්‍ය්‍යභාවය සිදුකිරීමෙහි සමර්ථයයි කියන ලද්දාහුද, පිරිසිදුවෙද්ද, සැප විපාක ඇත්තාහු වෙද්ද, නුවණැත්තන් විසින් ප්‍රශංසා කරණ ලද්දාහු වෙද්ද, ඒ ධර්මයෝ සමහර ක්ෂත්‍රියයෙකු කෙරෙහිද දක්නා ලැබෙති.
වාසෙට්ඨය, සමහර බ්‍රාහ්මණයෙක්ද ප්‍රාණඝාතයෙන් වැළකුනේ වෙයි. නුදුන්දෙය ගැන්මෙන් වැළකුණේ වෙයි. කාමයෙහි වරදවා හැසිරීමෙන් වැළකුනේ වෙයි. බොරු කීමෙන් වැළකුනේ වෙයි. කේලාම් කීමෙන් වැළකුනේ වෙයි. පරුස වචන කීමෙන් වැළකුනේ වෙයි. හිස් වචන කීමෙන් වැළකුනේ වෙයි. දැඩි ලොභය බහුලකොට ඇත්තේ නොවෙයි. (ක්‍රොධ වසයෙන්) වෙනස්වූ සිත් ඇත්තේ නොවෙයි. සම්‍යග්දෘෂ්ටි (හරිදැකීම) ඇත්තේ වෙයි. වාසෙට්ඨය, එසේ යම් ධර්ම කෙනෙක් කුසල් වෙත්ද, කුසල්යයි කියන ලද්දාහුද, වරද රහිත වෙද්ද, වරද රහිතයයි කියන ලද්දාහුද, සෙවනය කටයුත්තාහුද, සේවනය කටයුතුයයි කියන ලද්දාහුද, ආර්‍ය්‍යභාවය සිදු කිරීමෙහි සමර්ථ වෙද්ද, ආර්‍ය්‍යභාවය සිදු කිරීමෙහි සමර්ථයයි කියන ලද්දාහුද, පිරිසිදු වෙද්ද, සැප විපාක ඇත්තාහු වෙද්ද, නුවණැත්තන් විසින් ප්‍රශංසා කරණ ලද්දාහු වෙද්ද, ඒ ධර්මයෝ සමහර බ්‍රාහ්මණයෙකු කෙරෙහිද දක්නා ලැබෙති.
“වාසෙට්ඨය, සමහර වෛශ්‍යයෙක්ද ප්‍රාණඝාතයෙන් වැළකුනේ වෙයි. නුදුන් දෙය ගැන්මෙන් වැළකුනේ වෙයි. කාමයෙහි වරදවා හැසිරීමෙන් වැළකුනේ වෙයි. බොරු කීමෙන් වැළකුනේ වෙයි. කේළාම් කීමෙන් වැළකුනේ වෙයි. පරුස වචන කීමෙන් වැළකුනේ වෙයි. හිස් වචන කීමෙන් වැළකුනේ වෙයි. දැඩි ලොභය බහුලකොට ඇත්තේ නොවෙයි. (ක්‍රොධ වසයෙන්) වෙනස්වූ සිත් ඇත්තේ නොවෙයි. සම්‍යග් දෘෂ්ටි (හරි දැකීම්) ඇත්තේ වෙයි. වාසෙට්ඨය, එසේ යම් ධර්මකෙනෙක් කුසල් වෙත්ද, කුසල්යයි කියන ලද්දාහුද, වරද රහිත වෙද්ද, වරද රහිතයයි කියන ලද්දාහුද, සේවනය කටයුත්තාහුද, සේවනය කටයුතුයයි කියන ලද්දාහුද, ආර්‍ය්‍යභාවය සිදුකිරීමෙහි සමර්ථ වෙද්ද, ආර්‍ය්‍යභාවය කිරීමෙහි සමර්ථයයි කියන ලද්දාහුද, පිරිසිදු වෙද්ද, සැප විපාක ඇත්තාහු වෙද්ද, නුවණැත්තන් විසින් ප්‍රශංසා කරණ ලද්දාහුවෙද්ද, ඒ ධර්මයෝ සමහර වෛශ්‍යයෙකු කෙරෙහිද දක්නා ලැබෙති.
“වාසෙට්ඨය, සමහර ශුද්‍රයෙක්ද ප්‍රාණඝාතයෙන් වැළකුනේ වෙයි. නුදුන්දෙය ගැන්මෙන් වැළකුනේ වෙයි. කාමයෙහි වරදවා හැසිරීමෙන් වැළකුනේ වෙයි. බොරු කීමෙන් වැළකුනේ වෙයි. කේලාම් කීමෙන් වැළකුනේ වෙයි. පරුස වචන කීමෙන් වැළකුනේ වෙයි. හිස් වචන කීමෙන් වැළකුනේ වෙයි. දැඩි ලොභය බහුලකොට ඇත්තේ නොවෙයි. (ක්‍රොධ වසයෙන්) වෙනස්වූ සිත් ඇත්තේ නොවෙයි. සම්‍යග් දෘෂ්ටි (හරි දැකීම්) ඇත්තේ වෙයි. වාසෙට්ඨය, එසේ යම් ධර්ම කෙනෙක් කුසල් වෙත්ද, කුසල්යයි කියනලද්දාහුද, වරද රහිත වෙද්ද, වරද සහිතයයි කියන ලද්දාහුද, සේවනය කටයුත්තාහුද, සේවනය කටයුතුයයි කියන ලද්දාහුද, ආර්‍ය්‍යභාවය සිදු කිරීමෙහි සමර්ථ වෙද්ද, ආර්‍ය්‍යභාවය සිදුකිරීමෙහි සමර්ථයයි කියන ලද්දාහුද, පිරිසිදු වෙද්ද, සැප විපාක ඇත්තාහු වෙද්ද, නුවණැත්තන් විසින් ප්‍රශංසා කරණ ලද්දාහු වෙද්ද, ඒ ධර්මයෝ සමහර ශුද්‍රයෙකු කෙරෙහිද දක්නා ලැබෙති.
වාසෙට්ඨය, මේ සතර වංශයන් කෙරෙහි නුවණැත්තන් විසින් ගර්හා කරණ ලද්දාවූද, නුවණැත්තන් විසින් ප්‍රශංසා කරණ ලද්දාවූද, පිරිසිදුවූද, අපිරිසිදුවූද, ධර්මයන් මිශ්‍රව පවත්නාකල්හි බ්‍රාහ්මණයෝ “බ්‍රාහ්මණ තෙමේම උතුම් වංශ ඇත්තේය අන්‍යයෝ හීන වංශ ඇත්තෝය. බ්‍රාහ්මණ තෙමේම පිරිසිදු වංශ ඇත්තේය. අන්‍යයෝ අපිරිසිදු වංශ ඇත්තෝය. බ්‍රාහ්මණයෝම ශුද්ධ වෙති. බ්‍රාහ්මණ නුවූවෝ ශුද්ධ නොවෙති. බමුණෝම මහා බ්‍රහ්මයාගේ පුත්‍රයෝය. (ඔහුගේ) මුඛයෙන් පහළවූවාහුය. (ඔහු විසින්) හෘදයෙහි හොවා වඩනලද්දාහුය. නොහොත් ලෙහි වැස මුඛයෙන් නික්මුනාහුය. බ්‍රහ්මයා කෙරෙන් උපන්නාහුය. බ්‍රහ්මයා විසින් මවන ලද්දාහුය. බ්‍රහ්මයාගේම නෑදෑයෝ වෙත්ය’යි මෙසේ කියද්ද, ඔවුන්ගේ ඒ කථාව නුවැණැත්තෝ නොපිළි ගනිත්. ඊට හෙතු කවරේද? වාසෙට්ඨය, මේ (ක්ෂත්‍රියාදි) සතර වංසයන් අතුරෙන් (එකකට ඇතුළත්වූ) යම් භික්ෂුවක් රහත් වූයේද, නැති කරනලද ආශ්‍රව ඇත්තේ වේද, වාසය කොට නිම කරන ලද බ්‍රහ්මචර්‍ය්‍ය වාස (උතුම් හැසිරීම්) ඇත්තේද, කරනලද සිව් මග කටයුතු ඇත්තේද, බහා තබන ලද ස්කන්ධ බර ඇත්තේද, පිළිවෙලින් පැමිණි ස්වකීය කටයුතු ඇත්තේද, විනාශ කරන ලද භව බන්ධන ඇත්තේද, හොඳින් කරුණු සහිතව දැන කෙලෙසුන් කෙරෙන් මිදුනේ වේද, ඒ පුද්ගල තෙමේ ඔවුන් අතුරෙන් ශ්‍රෙෂ්ඨයයි කියනු ලැබේ. (එයද) ධර්මයෙන්මය, අධර්මයෙන් නොවේ. වාසෙට්ඨය, මේ සත්වයන් පිළිබඳවූ මෙලෙව්හිද පරලෙව්හිද යන දෙක්හිම ධර්මයම ශ්‍රෙෂ්ඨ වෙයි.
“වාසෙට්ඨය, සත්වයන් පිළිබඳවූ මෙලෙව්හිද, පරලෙව්හිද, යම්සේ ධර්මයම ශ්‍රෙෂ්ඨ වේද, එය මේ ආකාරයෙන්ද දත යුතුයි.
“වාසෙට්ඨය, පසේනදි කොසොල් රජ තෙම “තමන්ට වඩා උසස් අනෙකෙකු තැනිහෙයින් අනුත්තර නම්වූ ශ්‍රමණභවත් ගෞතම තෙමේ ශාක්‍ය කුලයෙන් නික්ම පැවිදි වූයේය”යි දනියි. වාසෙට්ඨය, ශාක්‍යයෝ පසේනදි කොසොල් රජහුට සමාන වංශ ඇත්තාහුය. කොසොල් රජහට යටත්ව පවත්නාහුය. වාසෙට්ඨය, ශාක්‍යයෝ පසේනදි කොසොල් රජහු කෙරෙහි ගරු සැලකිලි පැවැත්වීමද වැඳීමද දැක හුනස්නෙන් නැගීසිටීමද ඇඳිලි බැඳීමද (ඇඟිලි එකට තබා වැඳීම) වත්පිළිවෙත් කිරීම් ආදී ඒ ඒ සුදුසු ක්‍රියාද කෙරෙති. මෙසේ ශාක්‍යයෝ පසේනදි කොසොල් රජහු කෙරෙහි ගරු සැලකිලි පැවැත්වීමය වැඳීමය, දැක හුනස්නෙන් නැගී සිටීමය, ඇඳිලි බැඳීමය, වත් පිළිවෙත් ආදී ඒ සුදුසු ක්‍රියාය යන යමක් කෙරෙද්ද, පසේනදි කොසොල් රජ තෙමේ ඒ ගරු සැලකිලි පැවැත්වීමද, වැඳීමද, දැක හුනස්නෙන් නැගී සිටීමද, ඇඳිලි බැඳීමද, වත් පිළිවෙත් කිරීම් ආදී ඒ ඒ සුදුසු ක්‍රියාද තථාගතයන්වහන්සේට කෙරෙයි.
“ශ්‍රමණගෞතමයන් වහන්සේ පිරිසිදුව උපන්නේ නොවේද, මම පිරිසිදුව නූපන්නේ වෙමි. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ බලසම්පන්න නොවේද? මම දුර්වල වෙමි. ශ්‍රමණ ගෞතමයන්වහන්සේ හිත් ප්‍රිය කරන රූපයෙන් යුක්ත නොවේද? මම දුර්වර්ණයෙක් (අවලක්ෂණ රූප ඇත්තෙක්) වෙමි. ශ්‍රමණගෞතමයන් වහන්සේ මහානුභාවසම්පන්න නොවේද, මම ස්වල්ප ආනුභාවඇත්තෙක් වෙමි”යි කියායි. එසේද ඇති කල්හි ධර්මයටම සත්කාර කරන්නේ ධර්මයටම ගරු කරන්නේ ධර්මයටම බුහුමන් කරන්නේ ධර්මයටම පුදන්නේ මෙසේ පසේනදි කොසොල් රජ තෙමේ තථාගතයන්වහන්සේ කෙරෙහි සැලකීමද වැඳීමද දැක හුනස්නෙන් නැගී සිටීමද ඇඳිලි බැඳීමද වත්පිළිවෙත් ආදී ඒ ඒ සුදුසුක්‍රියාද කෙරෙයි.
“වාසෙට්ඨය, සත්වයන් පිළිබඳ මෙලෙව්හිද පරලෙව්හිද යම්සේ ධර්මය ශ්‍රෙෂ්ඨ වේද එය මෙකී කාරණයෙන්ද දතයුතුයි.
“වාසෙට්ඨය, තෙපි නොයෙක් ජාති ඇත්තාහුය, නොයෙක් නම් ඇත්තාහුය. නොයෙක් ගොත්‍ර ඇත්තාහුය, නොයෙක් කුලයෙන් ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වූවාහුය. තෙපි කවරහුදැ’යි විචාරණ ලද්දාහුම ‘ශාක්‍ය පුත්‍රවූ ශ්‍රමණයම්හ’යි ප්‍රකාශ කරන්නාහුය. වාසෙට්ඨය, යම් පුද්ගලයෙකුගේ ශ්‍රද්ධාව තථාගතයන් වහන්සේ කෙරෙහි චංචල නොවී පිහිටියාද හටගත් මුල් ඇත්තීද ඒහෙයින්ම දැඩි කොට පිහිටියාද ස්ථිර වූවාද ශ්‍රමණයෙකු විසින් හෝ බ්‍රාහ්මණයෙකු විසින් හෝ දෙවියෙකු විසින් හෝ මාරයෙකු විසින් හෝ බ්‍රහ්මයෙකු විසින් හෝ ලොකයෙහි අන් කිසිවෙකු විසින් හෝ සොලවන්නට නොහැකි වූවාද, ඒ ආර්‍ය්‍ය ශ්‍රාවකයා විසින් මේ වචනය කියන්නට සුදුසුය. එනම්, මම භාග්‍යවතුන් වහන්සේගේ පුත්‍ර වෙමි, ඖරස පුත්‍ර වෙමි. මුඛයෙන් පහළවූයේ වෙමි. ධර්මයෙන් පහළවූයේ නම් වෙමි. ධර්ම නිර්මිත නම් වෙමි. (නව ලොකොත්තර ධර්ම නමැති දායාදයට යොග්‍ය හෙයින්) ධර්මදානය නම් වෙමි”යි කියායි. ඊට හේතු කවරේද, වාසෙට්ඨය, ‘ධම්මකාය, යනුද ‘බ්‍රහ්මකාය’ යනුද ‘ධම්මභූත’ යනුද, ‘බ්‍රහ්මභූත’ යනුද තථාගතයන් වහන්සේගේම නම් වන හෙයිනි.
“වාසෙට්ඨය, යම් හේතුවකින් කිසි කලෙක්හි දීර්ඝ කාලයක්හුගේ ඇවෑමෙන් මේ ලෝකය වැනසේද, එබඳු කාලයක මේ ලොකය වැනසෙන කල්හි බොහෝසෙයින් සත්වයෝ ආභස්සර බ්‍රහ්ම ලොකයෙහි උපදනාහු වෙත්, ඔහු තුමූ එහි (ඔපපාතිකව) මනසින් උපන්නාහු ප්‍රීතියම ආහාරකොට ඇත්තාහු ස්වකීය ශරීරාලොකයෙන්ම බබලන්නාහු අහස්හි හැසිරෙන්නාහු මනොඥ ස්වභාව ඇත්තාහු ඉතා දීර්ඝ කාලයක් සිටිත්. වාසෙට්ඨය, යම් හෙයකින් කිසි කලෙක්හි දීර්ඝ කාලයක්හුගේ ඇවෑමෙන් මේ ලොකය හටගනීද, එබඳු කාලයක් වේ. ලොකය හටගන්නා කල්හි බොහෝසෙයින් සත්වයෝ ආභස්සර බ්‍රහ්මලෝකයෙන් චුතව මේ මනුෂ්‍ය ලොකයට පැමිණෙති, ඔහු තුමූ සිතින්ම (ඔපපාතිකව) උපන්නාහු ප්‍රීතියම ආහාර කොට ඇත්තාහු ස්වකීය ශරීරාලොකයෙන්ම බබලන්නාහු අහස්හි හැසිරෙන්නාහු මනොඥ ස්වභාව ඇත්තාහු ඉතා දීර්ඝ කාලයක් සිටිත්.


රසපථවිපාතුභාවො
චන්දිමසූරියාදිපාතුභාවො
භූමිපප්පටකපාතුභාවො
පදාලතාපාතුභාවො
අකට්ඨපාකසාලිපාතුභාවො
ඉත්ථිපුරිසලිඞ්ගපාතුභාවො
මෙථුනධම්මසමාචාරො
සාලිවිභාගො
මහාසම්මතරාජා
බ්‍රාහ්මණමණ්ඩලං
වෙස්සමණ්ඩලං
සුද්දමණ්ඩලං
දුච්චරිතාදිකථා
බොධිපක්ඛියභාවනා

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.