AN 04-17 (2) පටිපදා වර්‍ගය

AN 04-17-01. සංඛිත්ත පටිපදා සූත්‍රය

§’’මහණෙනි, මේ පිළිපැදීම් සතරක් වෙත්. කවර සතරක්ද යත්, දුක්වූ ප්‍රතිපදාවය, ප්‍රමාදවූ අභිඥාවය, (උසස් දැනීම) දුක්වූ ප්‍රතිපදාවය, වහා ලැබෙන අභිඥාවය, සුඛ ප්‍රතිපදාවය, ප්‍රමාදවූ අභිඥාවය, සැපවූ ප්‍රතිපදාවය, වහා ලැබෙන අභිඥාය, මහණෙනි, මේ සතර අභිඥාවය.’’

AN 04-17 -02. විත්‍ථත පටිපදා සූත්‍රය.

§’මහණෙනි, මේ සතර අභිඥාවෝය. කවර සතරක්ද යත්,

  • දුක්වූ ප්‍රතිපදාවය,  ප්‍රමාදවූ අභිඥාවය,
  • (උසස් දැනීම) දුක්වූ ප්‍රතිපදාවය, වහා ලැබෙන අභිඥාවය,
  • සුඛ ප්‍රතිපදාවය, ප්‍රමාද අභිඥාය,
  • සුඛ ප්‍රතිපදාවය, වහා ලැබෙන අභිඥාය.

’’මහණෙනි, දුක්වූ ප්‍රතිපදාව හා ප්‍රමාද අභිඥාව කවරේද?

මහණෙනි, මේ ශාසනයෙහි ඇතැමෙක් ප්‍රකෘතියෙන් තද රාග ස්වභාව ඇත්තේ වේද, වහා රාගයෙන් උපන් දුකක් දොම්නසක් විඳියි. ප්‍රකෘතියෙන් තද ද්වේෂ ස්වභාව ඇත්තේ වේද, වහා ද්වේෂයෙන් උපන් දුකත් දොම්නසත් විඳීද, ප්‍රකෘතියෙන් තද මුළාවූවෙක් වේද, වහා මෝහයෙන් උපන් දුකක් දොම්නසක් විඳිද, ඔහුට සද්‍ධින්‍ද්‍රිය (පැහැදීම), විරියින්‍ද්‍රිය (වීර්‍ය්‍යය), සතින්‍ද්‍රිය (සිහිය), සමාධින්‍ද්‍රිය (එකඟබව), පඤ්ඤින්‍ද්‍රිය (නුවණ) යන මේ ඉන්‍ද්‍රියයන් පස මෘදුව පහළ වෙත්.

’’හෙතෙම මේ ඉන්‍ද්‍රියයන් පස්දෙනාගේ මෘදු බැවින් ආශ්‍රවයන්ගේ ක්‍ෂයවීම පිණිස ප්‍රමාදව දෙවෙනි ආත්ම භාවයට පැමිණෙයි. මහණෙනි, මේ දුක්වූ ප්‍රතිපදාව හා ප්‍රමාදව ලැබෙන අභිඥා ඇත්තේ වේ.

’’මහණෙනි, දුක්වූ ප්‍රතිපදාව හා වහා ලබන අභිඥා ඇත්තේ කෙසේ වේද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැමෙක් ප්‍රකෘතියෙන් තද රාගය ඇත්තෙක් වේද, වහා රාගයෙන් උපන් දුකක් දොම්නසක් විඳියි. ස්වභාවයෙන් තද ද්වේෂ ඇත්තෙක් වේද, වහා ද්වේෂයෙන් උපන් දුකක් දොම්නසක් විඳියි, ප්‍රකෘතියෙන් තියුණු මුළා ස්වභාව ඇත්තෙක් වේද, වහා මෝහයෙන් උපන් දුකක් දොම්නසක් විඳිද, ඔහුට සද්‍ධින්‍ද්‍රිය, විරියින්‍ද්‍රිය, සතින්‍ද්‍රිය, සමාධින්‍ද්‍රිය, පඤ්ඤින්‍ද්‍රිය යන මේ ඉන්‍ද්‍රියයන් පස අධිකව පහළ වෙත්ද, හෙතෙම මේ පඤ්චෙන්‍ද්‍රිය යන් වැඩි බැවින් වහා ආශ්‍රවයන් ක්‍ෂය කිරීම පිණිස දෙවෙනි ආත්ම භාවයට පැමිණේ. මහණෙනි, මේ දුක්වූ ප්‍රතිපදා හා වහා ලැබෙන අභිඥා ඇත්තේ වේ.

’’මහණෙනි, සැපවූ ප්‍රතිපදාව හා ප්‍රමාද අභිඥා ඇත්තේ කෙසේ වේද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැමෙක් ප්‍රකෘතියෙන් තියුණු රාග ස්වභාව ඇත්තේ වේද, වහා රාගයෙන් උපන් දුකක් දොම්නසක් නොවිඳීද, ප්‍රකෘතියෙන් තද ද්වේෂ ස්වභාව ඇත්තේ නොවේද, වහා ද්වේෂයෙන් උපන් දුකක් දොම්නසක් නොවිඳීද, ප්‍රකෘතියෙන් තියුණු මොහ ස්වභාව ඇත්තෙක් නොවේද, වහා මොහයෙන් උපන් දුකක් දොම්නසක් නොවිඳීද, ඔහුට සද්‍ධින්‍ද්‍රිය, විරියින්‍ද්‍රිය, සතින්‍ද්‍රිය, සමාධින්‍ද්‍රිය , පඤ්ඤින්‍ද්‍රිය යන මේ ඉන්‍ද්‍රියයන් පස මෘදුව පහළ වෙත්ද, හෙතෙම මේ පඤ්චෙන්‍ද්‍රියයන්ගේ මෘදු බැවින් ආශ්‍රව ක්‍ෂයට ප්‍රමාදව දෙවෙනි ආත්ම භාවයට පැමිණෙයි. මහණෙනි, මේ සුවවූ ප්‍රතිපදාව හා ප්‍රමාදවූ අභිඥා ඇත්තේ වේ.
’’මහණෙනි, සැපවූ ප්‍රතිපදාව සහ වහා අභිඥා ලැබෙන ප්‍රකිපදාව කවරේද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් ප්‍රකෘතියෙන්ද රාග ඇත්තේ නොවේද, වහා රාගයෙන් උපන් දුකක් දොම්නසක් නොවිඳියි. ප්‍රකෘතියෙන් තියුණු ද්වේෂ පුද්ගලයෙක් නොවේද, වහා ද්වේෂයෙන් උපන් දුකක් දොම්නසක් නොවිඳීද, ප්‍රකෘතියෙන් තියුණු මුළාවූවෙක් නොවේද, වහා මොහයෙන් උපන් දුකක් දොම්නසක් නොවිඳීද, ඕහට සද්‍ධින්‍ද්‍රිය, විරියින්‍ද්‍රිය, සතින්‍ද්‍රිය, සමාධින්‍ද්‍රිය , පඤ්ඤින්‍ද්‍රිය යන මේ පඤ්චෙන්‍ද්‍රියයෝ වැඩි වශයෙන් පහළ වෙත්. හෙතෙම මේ පඤ්චෙන්‍ද්‍රියයන්ගේ වැඩි බැවින් වහා ආශ්‍රව ක්‍ෂයට අනතුරු ආත්මයට පැමිණේ. මහණෙනි, මේ සුවවූ ප්‍රතිපදාව හා තියුණුූ අභිඥා ඇත්තේ වේ. මහණෙනි, මේ සතර ප්‍රතිපදාවෝයි.’’

AN 04-17- 0 3. අසුභානු පස්සි සූත්‍රය

§’’මහණෙනි, මේ සතර අභිඥාවෝය. කවර සතරක්ද යත්,

  • දුක්වූ ප්‍රතිපදාවය, ප්‍රමාදවූ අභිඥාවය,
  • (උසස් දැනීම) දුක්වූ ප්‍රතිපදාවය, වහා ලැබෙන අභිඥාවය,
  • සුඛ ප්‍රතිපදාවය, ප්‍රමාද අභිඥාය, සුඛ ප්‍රතිපදාවය, වහා ලැබෙන අභිඥාය.

’’මහණෙනි, දුක්වූ ප්‍රතිපදාව හා ප්‍රමාදවූ අභිඥාව කවරේද?

මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම ශරීරයෙහි අශුභය අනුව බලමින් වාසය කරයි. අහරෙහි පිළිකුල් සංඥා ඇත්තේ සියලු ලෝකයෙහි නොඇලෙන සංඥා ඇත්තේ, සියලු සංස්කාරයන්හි අනිත්‍යය අනුදක්නේ වාසය කරයිද, ඔහුට මරණ සංඥාව අධ්‍යාත්මයෙහි එළඹ සිටියේ වේද? හෙතෙම ශ්‍රද්‍ධා, ලජ්ජා, භය, වීර්‍ය්‍ය, ප්‍රඥා, බලයයි කියන ලද ශෛක්‍ෂ (හික්මෙන) බල පස ඇසුරු කොට වසයි. ඔහුට සද්‍ධින්‍ද්‍රිය, විරියින්‍ද්‍රිය, සතින්‍ද්‍රිය, සමාධින්‍ද්‍රිය , පඤ්ඤින්‍ද්‍රිය සංඛ්‍යාත මේ පඤ්ච ඉන්‍ද්‍රියයන් මෘදුව පහළ වෙත්. හෙතෙම මේ ඉන්‍ද්‍රියයන් පසේ මෘදු බැවින් ප්‍රමාදව ආශ්‍රව ක්‍ෂය පිණිස දෙවෙනි ආත්ම භාවයට පැමිණේ. මහණෙනි, මේ දුක්වූ ප්‍රතිපදාව හා ප්‍රමාදවූ අභිඥා ඇත්තේ වේ.
’’මහණෙනි, දුක්වූ ප්‍රතිපදාව සහ තියුණු (වහා ලැබෙන) අභිඥා කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම ශරීරයෙහි අසුභය අනුව බලන සුළුවූයේ ආහාරයෙහි පිළිකුල් සංඥාව ඇත්තේ සියලු ලෝකයෙහි නොඇලුනු සංඥාව ඇත්තේ, සියලු සංස්කාරයන් අනිත්‍යය අනුව දකිමින් වාසය කරයි. ඔහුගේ අභ්‍යන්තරයෙහි මරණ සංඥාව එළඹ සිටියේ වේ. හෙතෙම සද්‍ධා, හිරි, ඔත්තප්ප, විරිය, පඤ්ඤා බල නම් පඤ්ච බලයන් ඇසුරු කොට වාසය කරයි. ඔහුට ශ්‍රද්‍ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා නම් මේ පඤ්චෙන්‍ද්‍රියයන් අධිකව පහළ වෙත්. හෙතෙම මේ පඤ්චෙන්‍ද්‍රියයන්ගේ අධිකත්‍වයෙන් ආශ්‍රව ක්‍ෂයට වහා දෙවෙනි ආත්මයට පැමිණේ. මහණෙනි, මේ දුක්වූ ප්‍රතිපදාව හා වහා ලැබෙන අභිඥාවේ.
’’මහණෙනි, සැපවූ ප්‍රතිපදාව හා ලස්වූ (ප්‍රමාදවූ) අභිඥාව කවරේද?
’’මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම කාමයන්ගෙන් වෙන්ව, අකුශල ධර්‍මයන්ගෙන් වෙන්ව, විතර්‍ක සහිත, විචාර සහිත, විවේකයෙන් උපන් ප්‍රීතිය හා සැපය ඇති ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරයි. විතර්‍ක විචාරයන්ගේ සන්සිඳීමෙන් අධ්‍යාත්මයෙහි පැහැදීම ඇති, සිත හා එකට පහළවන, විතර්‍ක නැති, විචාර නැති, සමාධියෙන් උපන් ප්‍රීතිය හා සැප ඇති, විතීයධ්‍යානයට පැමිණ වාසය කරයි. ප්‍රීතියගේ වෙන්වීමෙන් උපෙක්‍ෂා ඇතිව වාසය කරයි. සිහි ඇත්තේද, සම්‍යක් ප්‍රඥා ඇත්තේ, සැපය කයින් විඳියි. ආර්‍ය්‍යයෝ උපේක්‍ෂා ඇත්තේ, සිහි ඇත්තේ, සැප විහාරීයයි යමක් කියත්ද, ඒ තෘතීය ධ්‍යානයට පැමිණ වාසය කරයි. සැපය ප්‍රහාණයෙන්ද, දුක ප්‍රහාණයෙන්ද, සොම්නස්, දොම්නස් දෙදෙනා නොපෙනී යාමට පූර්‍වයෙහිම, දුක් නැති, සැප නැති, උපෙක්‍ෂා ස්මෘති දෙදෙනාගේ පිරිසිදු බව ඇති සතරවෙනි ධ්‍යානයට පැමිණ වාසය කරයි.
’’ හෙතෙම සද්‍ධා, හිරි, ඔත්තප්ප, විරිය, පඤ්ඤා යන මේ බල පස ඇසුරු කොට වසයි. ඔහුට ශ්‍රද්‍ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා ඉන්‍ද්‍රියන් යන මේ ඉන්‍ද්‍රියයන් පස මෘදුව පහළ වෙත්. හෙතෙම මේ පඤ්චෙන්‍ද්‍රියයන්ගේ මෘදුත්‍වයෙන් ආශ්‍රවයන්ගේ ක්‍ෂය පිණිස ප්‍රමාදව දෙවෙනි ආත්මයට පැමිණේ. මහණෙනි, මේ සුව ප්‍රතිපදාව හා ප්‍රමාදවූ අභිඥාවයි.
’’මහණෙනි, සැප ප්‍රතිපදාව වහා ලැබෙන අභිඥා කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම කාමයන්ගෙන් වෙන්ව, අකුශල ධර්‍මයන්ගෙන් වෙන්ව, විතර්‍ක සහිත, විචාර සහිත, විවේකයෙන් උපන් ප්‍රීතිය හා සැපය ඇති ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරයි. විතර්‍ක විචාරයන්ගේ සන්සිඳීමෙන් අධ්‍යාත්මයෙහි පැහැදීම ඇති, සිත හා එකට පහළවන, විතර්‍ක නැති, විචාර නැති, සමාධියෙන් උපන් ප්‍රීතිය හා සැප ඇති, විතීයධ්‍යානයට පැමිණ වාසය කරයි. ප්‍රීතියගේ වෙන්වීමෙන් උපෙක්‍ෂා ඇතිව වාසය කරයි. සිහි ඇත්තේද, සම්‍යක් ප්‍රඥා ඇත්තේ, සැපය කයින් විඳියි. ආර්‍ය්‍යයෝ උපේක්‍ෂා ඇත්තේ, සිහි ඇත්තේ, සැප විහාරීයයි යමක් කියත්ද, ඒ තෘතීය ධ්‍යානයට පැමිණ වාසය කරයි. සැපය ප්‍රහාණයෙන්ද, දුක ප්‍රහාණයෙන්ද, සොම්නස්, දොම්නස් දෙදෙනා නොපෙනී යාමට පූර්‍වයෙහිම, දුක් නැති, සැප නැති, උපෙක්‍ෂා ස්මෘති දෙදෙනාගේ පිරිසිදු බව ඇති සතරවෙනි ධ්‍යානයට පැමිණ වාසය කරයි.
හෙතෙම සද්‍ධා, හිරි, ඔත්තප්ප, විරිය, ප්‍රඥා බල සංඛ්‍යාත මේ පඤ්ච ශෛක්‍ෂ බලයන් ඇසුරු කොට වාසය කරයි. ඔහුට සද්‍ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා යන ඉන්‍ද්‍රියයන් පස වැඩිව පහළ වෙත්. හෙතෙම මේ පඤ්චෙන්‍ද්‍රියයන්ගේ අධික මාත්‍රත්‍වයෙන් ආශ්‍රවයන් ක්‍ෂය කිරීම පිණිස වහා අනතුරු ආත්මයට පැමිණේ. මහණෙනි, මේ සැප ප්‍රතිපදාව හා වහා ලැබෙන අභිඥාය. මහණෙනි, මේ සතර ප්‍රතිපදාවෝයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.