AN 08-18 උපාසක වර්‍ගය- (ii)

AN 08-18-06. පවිවේකපීති සූත්‍රය


§.1 ’දිනක් අනේපිඬු සිටු තෙම පන්සියයක් පමණ උපාසකවරුන් විසින් පිරිවරණ ලද්දේ, භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එකත්පස්ව හුන්නේය. එකත්පස්ව උන්නාවූ අනේපිඬු සිටුහට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

§.2. ’’ගෘහපතිය, තෙපි  භික්‍ෂු සංඝයාට චීවරය, පිණ්ඩපාතය, ශයනාසනය, ගිලන්පස බෙහෙත් පිරිකර යන මෙයින් උපස්ථාන කරණ අය වෙති. එනමුත්. ගෘහපතිය, ’අපි භික්‍ෂු සංඝයාට නිතොර  උපස්ථාන කරන්නෝ වෙමු’ යි එපමණකින්ම සතුටට පති වීම නොවිය යුතුය. ගෘහපතිය, එහෙයින් මෙහි චීවරය, පිණ්ඩපාතය, ශයනාසනය, ගිලන්පස බෙහෙත් පිරිකර යන මෙයින් මෙසේ හික්මිය යුතුයි. කවර නම් උපායකින් ’අපි කලින් කල උතුම් විවේකය ඇති ප්‍රීතියට පැමිණ වාසය කරන්නෙමුදැ’ යි ගෘහපතිය, මෙසේ වනාහි තොප විසින් හික්මිය යුතුයයි.

§. 3. මෙසේ වදාළ කල්හි ආයුෂ්මත් සාරිපුත්‍ර ස්ථවිරයන්තෙ වහන්සේ  භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය. ’’ස්වාමීනි, ආශ්චර්‍ය්‍යයය. ස්වාමීනි, අද්භූතය. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ විසින් ’’ගෘහපතිය, තෙපිද වනාහි භික්‍ෂු සංඝයාට චීවරය, පිණ්ඩපාතය, ශයනාසනය, ගිලන්පස බෙහෙත් පිරිකර යන මෙයින් උපස්ථාන කරණ ලද්දාහුය. ගෘහපතිය, ’අපි භික්‍ෂු සංඝයාට එළඹ උපස්ථාන කරණ ලද්දෝ වෙමු’ යි එපමණකින්ම සතුට ඇතිකළයුතු නොවෙත්. ගෘහපතිය, එහෙයින් මෙහි චීවරය, පිණ්ඩපාතය, ශයනාසනය, ගිලන්පස බෙහෙත් පිරිකර යන මෙයින් මෙසේ හික්මිය යුතුයි. කවර නම් උපායකින් ’අපි කලින් කල උතුම් විවේකය ඇති ප්‍රීතියට පැමිණ වාසය කරන්නෙමුදැ’ යි ගෘහපතිය, මෙසේ වනාහි තොප විසින් හික්මිය යුතුය’’ යි. යන මෙය ඉතාම යහපත්කොට වදාරණ ලදී.

§. 4.  ’’ස්වාමීනි, යම් කලෙක්හි ආර්‍ය්‍යශ්‍රාවක තෙම උතුම් විවේක ඇති ප්‍රීතියට පැමිණ වාසය කෙරේද, කරුණු පසක් මොහුට එකල්හි නොවෙත්.
’’මොහුට කාමයන් අරභයා උපදනාවූ යම් දුකක් දොම්නසක් වේද, එයද මොහුට ඒ කාලයෙහි නොවේ. මොහුට කාමයන් අරභයා උපදනාවූ යම් සැපයක් සොම්නසක් වේද, එයද මොහුට ඒ කාලයෙහි නොවේ. අකුශල් අරභයා උපදනාවූ යම් දුකක් දොම්නසක් වේද, එයද මොහුට ඒ කාලයෙහි නොවේ. මොහුට අකුශල් අරභයා උපදනාවූ යම් සැපයක් සොම්නසක් වේද, එයද මොහුට ඒ කාලයෙහි නොවේ. ස්වාමීනි, මොහුට කුශල් අරභයා උපදනාවූ යම් දුකක් දොම්නසක් වේද, එයද මොහුට ඒ කාලයෙහි නොවේ. ස්වාමීනි, යම් කලෙක්හි ආර්‍ය්‍යශ්‍රාවකතෙම උතුම් විවේකය ඇති ප්‍රීතියට පැමිණ වාසය කෙරේද, එතල්හි මොහුට මේ කරුණු පස නොවෙත්ය’’ යි කීයේය.

§.  ’’සාරීපුත්‍රය, යහපත, යහපත, සාරීපුත්‍රය. යම් කලෙක්හි ආර්‍ය්‍යශ්‍රාවකතෙම උතුම් විවේකය ඇති ප්‍රීතියට පැමිණ වාසය කෙරේද, එකල්හි මොහුට කරුණු පසක් නොවෙත්. මොහුට කාමයන් අරභයා උපදනාවූ යම් දුකක් දොම්නසක් වේද, එයද මොහුට ඒ කාලයෙහි නොවේ. මොහුට කාමයන් අරභයා උපදනාවූ යම් සැපයක් සොම්නසක් වේද, එයද මොහුට ඒ කාලයෙහි නොවේ. අකුශල් අරභයා උපදනාවූ යම් දුකක් දොම්නසක් වේද, එයද මොහුට ඒ කාලයෙහි නොවේ. මොහුට අකුශල් අරභයා උපදනාවූ යම් සැපයක් සොම්නසක් වේද, එයද මොහුට ඒ කාලයෙහි නොවේ. ස්වාමීනි, මොහුට කුශල් අරභයා උපදනාවූ යම් දුකක් දොම්නසක් වේද, එයද මොහුට ඒ කාලයෙහි නොවේ. ස්වාමීනි, යම් කලෙක්හි ආර්‍ය්‍යශ්‍රාවකතෙම උතුම් විවේකය ඇති ප්‍රීතියට පැමිණ වාසය කෙරේද, එතල්හි මොහුට මේ කරුණු පස නොවෙත්ය’’ යි කීයේය. සාරීපුත්‍රය, යම් කලෙක්හි ආර්‍ය්‍යශ්‍රාවක තෙම උතුම් විවේකය ඇති ප්‍රීතියට පැමිණ වාසය කෙරේද, මෙහි මේ කරුණු පස එකල්හි නොවෙත්ය’’ යි වදාළ සේක.

AN 08-18-07. අකරණීය වණිජ්ජා සූත්‍රය

’’මහණෙනි, උපාසකයා විසින් නොකටයුතු මේ වෙළඳාම් පසක් වෙත්.
’’කවර පසක්ද යත්? ආයුධ වෙළඳාමය, සතුන් වෙළඳාමය, මස් පිණිස සතුන් වෙළඳාමය, මත් ද්‍රව්‍ය වෙළඳාමය, විෂ ද්‍රව්‍ය වෙළඳාමය යන පසයි.
’’මහණෙනි, උපාසකයා විසින් නොකටයුතු මේ වෙළඳාම් පසක් වෙත්.

AN 08-18-08. රාජ දණ්ඩ සූත්‍රය

’’මහණෙනි, ඒ කුමකැයි හඟිව්ද?
මේ පුරුෂතෙම ප්‍රාණඝාතය හැර ප්‍රාණඝාතයෙන් වැළකුනේ වේයයි ඔහු රජහු අල්වාගෙන ප්‍රාණඝාතයෙන් වැළකීම හේතුකොට ගෙණ නසත්යයි හෝ බඳිත්යයි හෝ රටින් පිට කරත්යයි හෝ සුදුසු පරිදි කෙරෙත්යයි තොප විසින් දක්නා ලද්දේ හෝ අසන ලද්දේ හෝ වේද?’’ ’’ස්වාමීනි, මේ නොවේමැයි.’’

’’මහණෙනි, යහපත. මේ පුරුෂතෙම ප්‍රාණඝාතය හැර ප්‍රාණඝාතයෙන් වැළකුනේ වේයයි ඔහු රජහු අල්වාගෙන ප්‍රාණඝාතයෙන් වැළකීම හේතුකොට ගෙණ නසත්යයි හෝ බඳිත්යයි හෝ රටින් පිට කරත්යයි හෝ සුදුසු පරිදි කෙරෙත්යයි මහණෙනි, මා විසිනුදු මෙය වනාහි නොම දක්නා ලදී. නොම අසන ලදී. නොම අසන ලදී.
’’එසේද වුවත් මේ පුරුෂතෙම ස්ත්‍රියක හෝ පුරුෂයෙකු හෝ ජීවිතයෙන් තොර කෙළේයයි ඒ මොහු රජහු අල්වාගෙන ප්‍රාණඝාතය හේතුකොට ගෙණ,
’’නසතියි හෝ බඳිතියි හෝ රටින් නෙරපතියි හෝ සුදුසු පරිද්දක් හෝ කරතියි .
’’එසේම මොහුගේ පාප කර්‍මයම ප්‍රකාශ කරත්. තොප විසින් මෙබඳුවූවෙකු දක්නා ලද්දේ හෝ අසන ලද්දේ හෝ වේද?’’
’’ස්වාමීනි, අප විසින් දක්නා ලද්දේ වේ. අසන ලද්දේද වේ. අසන්ට ලැබෙන්නේය’’ යි ද කීවාහුය.

’’මහණෙනි, ඒ කුමකැයි හඟිව්ද? මේ පුරුෂ තෙම අදත්තාදානයෙන් වැළකුනේයයි ඒ මොහු රජහු අල්වාගෙන අදත්තාදානයෙන් වැළකීම හේතුකොට ගෙණ නසතියි හෝ බඳිතියි හෝ රටින් නෙරපතියි හෝ සුදුසු පරිද්දක් හෝ කරතියි තොප විසින් දක්නා ලද්දේ හෝ අසන ලද්දේ හෝ වේද?’’
’’ස්වාමීනි, මේ නොවේමැයි.’’

’’මහණෙනි, යහපත. මේ පුරුෂ තෙම අදත්තාදානයෙන් වැළකුනේයයි ඒ මොහු රජහු අල්වාගෙන අදත්තාදානයෙන් වැළකීම හේතුකොට ගෙණ නසතියි හෝ බඳිතියි හෝ රටින් නෙරපතියි හෝ සුදුසු පරිද්දක් හෝ කරතියි මෙය වනාහි මා විසිනුදු නොම දක්නා ලදී. නොම අසන ලදී.

’’එතකුදු වුවත් මේ පුරුෂතෙම ගමින් හෝ වනයෙන් හෝ නුදුන් දෙය සොර සිතින් ගණීද, ඔහු රජහු අල්වාගෙණ අදත්තාදාන හේතුවෙන් නසතියි හෝ බඳිතියි හෝ රටින් නෙරපතියි හෝ සුදුසු පරිද්දක් හෝ කරතියි. එසේම මොහුගේ පාප කර්‍මයම ප්‍රකාශ කරත්. තොප විසින් මෙබඳුවූවෙකු දක්නා ලද්දේ හෝ අසන ලද්දේ හෝ වේද?’’ ’’ස්වාමීනි, අප විසින් දක්නා ලද්දේ වේ. අසන ලද්දේද වේ. අසන්ට ලැබෙන්නේය’’ යි ද කීවාහුය.
’’මහණෙනි, එය කුමකැයි හඟිව්ද? මේ පුරුෂ තෙම කාමයන්හි වරදවා හැසිරීම හැර කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළකුනේවේයයි ඔහු රජහු අල්වාගෙණ කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළකීම හේතුකොට ගෙණ නසතියි හෝ බඳිතියි හෝ රටින් නෙරපතියි හෝ අදහස් පරිදි කරතියි තොප විසින් දක්නා ලද්දේ හෝ අසන ලද්දේ හෝ වේද?’’ – ’’ස්වාමීනි, මෙය නොවෙයි.’’

’’මහණෙනි, යහපත. මහණෙනි, මෙහි මේ පුරුෂ තෙම කාමයන්හි වරදවා හැසිරීම හැර කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළකුනේවේයයි ඔහු රජහු අල්වාගෙණ කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළකීම හේතුකොට ගෙණ නසතියි හෝ බඳිතියි හෝ රටින් නෙරපතියි හෝ අදහස් පරිදි කරතියි මා විසිනුදු මෙය නොම දක්නා ලදී. නොම අසන ලදී.

’’එතකුදු වුවත් මේ පුරුෂතෙම පර ස්ත්‍රීන් කෙරෙහි, අන් කුමරියන් කෙරෙහි හැසුරුම් ඇති බවට පැමිණේද, ඔහු රජහු අල්වාගෙණ කාමයන්හි වරදවා හැසිරීම හේතුකොට ගෙණ නසතියි හෝ බඳිතියි හෝ රටින් නෙරපතියි හෝ සුදුසු පරිද්දක් හෝ කරතියි, එසේම මොහුගේ පාප කර්‍මයම ප්‍රකාශ කරත්. තොප විසින් මෙබඳුවූවෙකු දක්නා ලද්දේ හෝ අසන ලද්දේ හෝ වේද?’’ ’’ස්වාමීනි, අප විසින් දක්නා ලද්දේ වේ. අසන ලද්දේද වේ. අසන්ට ලැබෙන්නේය’’ යි ද කීවාහුය.

’’මහණෙනි, එය කුමකැයි හඟිව්ද? මේ පුරුෂ තෙම මුසාවාදය හැර මුසාවාදයෙන් වැළකීම හේතුකොට ගෙණ නසතියි හෝ බඳිතියි හෝ රටින් නෙරපතියි හෝ අදහස් පරිදි කරතියි තොප විසින් දක්නා ලද්දේ හෝ අසන ලද්දේ හෝ වේද?’’ – ’’ස්වාමීනි, මෙය නොවේමය.’’

’’මහණෙනි, යහපත, මහණෙනි, මේ පුරුෂ තෙම මුසාවාදය හැර මුසාවාදයෙන් වැළකීම හේතුකොට ගෙණ නසතියි හෝ බඳිතියි හෝ රටින් නෙරපතියි හෝ අදහස් පරිදි කරතියි මා විසිනුදු එය නොම දක්නා ලදී. නොම අසන ලදී.

’’එතකුදු වුවත්. මේ පුරුෂතෙම ගෘහපතියෙකුගේ හෝ ගෘහපති පුත්‍රයෙකුගේ හෝ බොරු කීමෙන් වස්තුව නසායයි ඔහු රජවරු අල්වාගෙණ බොරුකීම හේතුකොට ගෙණ නසතියි හෝ බඳිතියි හෝ රටින් නෙරපතියි හෝ සුදුසු පරිද්දක් හෝ කරතියි, එසේම මොහුගේ පාප කර්‍මයම ප්‍රකාශ කරත්. තොප විසින් මෙබඳුවූවෙකු දක්නා ලද්දේ හෝ අසන ලද්දේ හෝ වේද?’’ ’’ස්වාමීනි, අප විසින් දක්නා ලද්දේ වේ. අසන ලද්දේද වේ. අසන්ට ලැබෙන්නේය’’ යි ද කීවාහුය.

’’මහණෙනි, එය කුමකැයි හඟිව්ද? මේ පුරුෂ තෙම මදයට හා ප්‍රමාදයට කරුණුවූ රහමෙර පානය හැර, මදයට හා ප්‍රමාදයට කරුණුවූ රහමෙර පානයෙන් වැළකුනේවේයයි ඔහු රජහු අල්වාගෙණ මදයට හා ප්‍රමාදයට කරුණුවූ රහමෙර පානයෙන් වැළකීම හේතුකොට ගෙණ නසතියි හෝ බඳිතියි හෝ රටින් නෙරපති හෝ අදහස් පරිදි කරතියි තොප විසින් දක්නා ලද්දේ හෝ අසන ලද්දේ හෝ වේද?’’ – ’’ස්වාමීනි, මෙය නොවේමැයි.’’

’’මහණෙනි, යහපත, මහණෙනි, මේ පුරුෂ තෙම මදයට හා ප්‍රමාදයට කරුණුවූ රහමෙර පානය හැර, මදයට හා ප්‍රමාදයට කරුණුවූ රහමෙර පානයෙන් වැළකුනේවේයයි ඔහු රජහු අල්වාගෙණ මදයට හා ප්‍රමාදයට කරුණුවූ රහමෙර පානයෙන් වැළකීම හේතුකොට ගෙණ නසතියි හෝ බඳිතියි හෝ රටින් නෙරපති හෝ අදහස් පරිදි කරතියි මා විසිනුදු මෙය නොම දක්නා ලදී. නොම අසන ලදී.
’’එතකුදු වුවත් මේ පුරුෂතෙම මදයට හා ප්‍රමාදයට කරුණුවූ රහමෙර පානයෙහි යෙදුනේ, ස්ත්‍රියෙකු හෝ පුරුෂයෙකු හෝ ජීවිතයෙන් තොර කෙළේය. මේ පුරුෂතෙම මදයට හා ප්‍රමාදයට කරුණුවූ රහමෙර පානයෙහි යෙදුනේ, ගමින් හෝ වනයෙන් හෝ නුදුන් දෙය සොර සිතින් ගනී. මේ පුරුෂතෙම මදයට හා ප්‍රමාදයට කරුණුවූ රහමෙර පානයෙහි යෙදුනේ, අන්‍ය ස්ත්‍රීන් කෙරෙහි, අන්‍ය තුමාරිකාවන් කෙරෙහි හැසිරීම් බවට පැමිණෙයි. මේ පුරුෂතෙම මදයට හා ප්‍රමාදයට කරුණුවූ රහමෙර පානයෙහි යෙදුනේ, ගෘහපතියෙකුගේ හෝ ගෘහපති පුත්‍රයෙකුගේ හෝ මුසාවාදයෙන් වස්තුව විනාශ කෙරේයයි, ඔහු රජහු අල්වාගෙණ මදයට හා ප්‍රමාදයට කරුණුවූ රහමෙර පානය හේතුකොට ගෙණ නසතියි හෝ බඳිතියි හෝ රටින් නෙරපතියි හෝ සුදුසු පරිද්දක් හෝ කරතියි, එසේම මොහුගේ පාප කර්‍මයම ප්‍රකාශ කරත්. තොප විසින් මෙබඳුවූවෙකු දක්නා ලද්දේ හෝ අසන ලද්දේ හෝ වේද?’’ ’’ස්වාමීනි, අප විසින් දක්නා ලද්දේ වේ. අසන ලද්දේද වේ. අසන්ට ලැබෙන්නේය’’ යි ද කීවාහුය.

AN 08-18-09. ගිහි ව්‍යාකරණ සූත්‍රය


’ඉක්බිති අනේපිඬු සිටු තෙම පන්සියයක් පමණ උපාසකවරුන් විසින් පිරිවරණ ලද්දේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට එළඹියේය. එළඹ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එකත්පස්ව හුන්නේය. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන්ට ආමන්ත්‍රණය කළ සේක.
’’ශාරීපුත්‍රය, ශික්‍ෂා පද පසෙක්හි සංවරවූ කර්‍මාන්ත ඇති උතුම් සිතෙහි හටගත්තාවූ මේ ආත්මයෙහි සැප විහරණ සතරක් කැමති පරිදි ලබන්නාවූ, පහසුවෙන් ලබන්නාවූ, බහුලව ලබන්නාවූ යම්කිසි සුදු වස්ත්‍ර හඳනා ගිහියෙකු දන්නහුද, හෙතෙම කැමතිවනු ලබන්නේ ක්‍ෂවූ නිරය ඇත්තේ, ක්‍ෂයවූ තිරිසන් යෝනිය ඇත්තේ, ක්‍ෂයවූ ප්‍රේත අපාය ඇත්තේ, ක්‍ෂයවූ සැප නැත්තාවූ, දුකට පිළිසරණවූ නපුරුසේ පතිතවීම් ඇත්තේ වෙමියි. ’මම නපුරුසේ පතිතවන ස්වභාව නැත්තේ නියතවූ සම්බෝධිය පිහිට කොට ඇත්තේ සෝවාන්වූයේ වෙමි’ යි තෙමේම තමන් ප්‍රකාශ කරන්නේය.
’’කවර නම් ශික්‍ෂාපද පසෙක්හි සංවරවූ කර්‍මාන්ත ඇත්තේ වේද යත්? ශාරීපුත්‍රය, මේ ශාසනයෙහි ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම කවර පසකින්ද යත්? ප්‍රාණඝාතයෙන් වැළකුණේ වේද, අදත්තාදානයෙන් වැළකුණේ වේද, කාමමිත්‍ථ්‍යාචාරයෙන් වැළකුණේ වේද, මුසාවාදයෙන් වැළකුණේ වේද, මදයට හා ප්‍රමාදයට කරුණුවූ රහමෙර පානයෙන් වැළකුණේ වේද, යන පසිනි. මේ ශික්‍ෂා පද පසෙහි සංවරවූ කර්‍මාන්ත ඇත්තේ වෙයි.
’’කවර නම් සිවු වැදෑරුම්වූ උතුම් සිතෙහි හටගත්තාවූ මේ ආත්මයෙහිවූ සැප විහරණයන් කැමැති පරිදි ලැබීම ඇත්තේ බහුලව ලැබීම ඇත්තේ වේද, ශාරීපුත්‍රය, මේ ශාසනයෙහි ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම ( මෙහි 11 සොතාපත්ති සංයුත්තයෙහි 7 සූත්‍රයේ 13 ඡේදයේ පළමුවෙනි කොටස යෙදිය යුතුයි. පිට 3131) මේ පළමුවන උතුම් සිතෙහි හටගන්නා වූ මේ ආත්මයෙහිවූ සැප විහරණය තෙම අපිරිසිදු චිත්තයාගේ පිරිසිදු වීම පිණිස, නිර්‍මල නුවූ චිත්තයාගේ නිර්‍මල වීම පිණිස, මොහු විසින් ලබන ලද්දේ වෙයි.
’’ශාරීපුත්‍රය, නැවත අනිකක්ද කියමි. ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම ( මෙහි 11 සොතාපත්ති සංයුත්තයෙහි 7 සූත්‍රයේ 13 ඡේදයේ දෙවෙනි කොටස යෙදිය යුතුයි. පිට 3131) මේ දෙවන උතුම් සිතෙහි හටගන්නා වූ මේ ආත්මයෙහිවූ සැප විහරණය තෙම අපිරිසිදු චිත්තයාගේ පිරිසිදු වීම පිණිස, නිර්‍මල නුවූ චිත්තයාගේ නිර්‍මල වීම පිණිස, මොහු විසින් ලබන ලද්දේ වෙයි.
’’ශාරීපුත්‍රය, නැවත අනිකක්ද කියමි. ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම ( මෙහි 11 සොතාපත්ති සංයුත්තයෙහි 7 සූත්‍රයේ 13 ඡේදයේ 3 කොටස යෙදිය යුතුයි. පිට 3131) මේ මොහු විසින් තුන්වන උතුම් සිතෙහි හටගන්නා වූ මේ ආත්මයෙහිවූ සැප විහරණය තෙම අපිරිසිදු චිත්තයාගේ පිරිසිදු වීම පිණිස, නිර්‍මල නුවූ චිත්තයාගේ නිර්‍මල වීම පිණිස, මොහු විසින් ලබන ලද්දේ වෙයි.
’’ශාරීපුත්‍රය, නැවත අනිකක්ද කියමි. ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම නොකඩවූ, නොසිදුරුවූ, කබර සහිත නොවූ, තිත් සහිත නොවූ, දාසකමින් මිදුනාවූ, නුවණැත්තන් විසින් පසස්නා ලද්දාවූ. තෘෂ්ණා දෘෂ්ටීන් පරාමර්‍ෂණය නොකරණ ලද්දාවූ, සමාධිය පිණිස පවත්නාවූ, ආර්‍ය්‍යයන් කැමතිවූ ශීලයන්ගෙන් යුක්තවේද, මේ මොහු විසින් සතරවන උතුම් සිතෙහි හට ගන්නාවූ මේ ආත්මයෙහිවූ සැප විහරණය තෙම අපිරිසිදු චිත්තයාගේ පිරිසිදු වීම පිණිස, නිර්‍මල නුවූ චිත්තයාගේ නිර්‍මල වීම පිණිස, මොහු විසින් ලබන ලද්දේ වෙයි. මේ සිවු වැදෑරුම්වූ කුශල් සිත්හි හටගන්නාවූ, ආත්මයෙහිවූ සැප විහරණයන් කැමති පිරිදි ලැබීම ඇත්තේ, සුවසේ ලැබීම ඇත්තේ, බහුලව ලැබීම ඇත්තේ වේ.
’’ශාරීපුත්‍රය, ශික්‍ෂා පද පසෙක්හි සංවරවූ කර්‍මාන්ත ඇති උතුම් සිතෙහි හටගත්තාවූ මේ ආත්මයෙහි සැප විහරණ සතරක් කැමති පරිදි ලබන්නාවූ, පහසුවෙන් ලබන්නාවූ, බහුලව ලබන්නාවූ යම්කිසි සුදු වස්ත්‍ර හඳනා ගිහියෙකු දන්නහුද, හෙතෙම කැමතිවනු ලබන්නේ ක්‍ෂවූ නිරය ඇත්තේ, ක්‍ෂයවූ තිරිසන් යෝනිය ඇත්තේ, ක්‍ෂයවූ ප්‍රේත අපාය ඇත්තේ, ක්‍ෂයවූ සැප නැත්තාවූ, දුකට පිළිසරණවූ නපුරුසේ පතිතවීම් ඇත්තේ වෙමියි. ’මම නපුරුසේ පතිතවන ස්වභාව නැත්තේ නියතවූ සම්බෝධිය පිහිට කොට ඇත්තේ සෝවාන්වූයේ වෙමි’ යි තෙමේම තමන් ප්‍රකාශ කරන්නේය.
(1)’’නරකයන්හි භය දැක පව් දුරු කරන්නේය. පණ්ඩිතතෙම ආර්‍ය්‍ය ධර්‍මය හෙවත් පඤ්ච ශීලය සමාදන්ව පව් දුරු කරන්නේය.
(2)’’උත්සාහය ඇති කල්හි පන ඇති සතුන් නොනසන්නේය. දැනගෙණ බොරුවද නොකියන්නේය. නුදුන් දෙය නොඅල්ලන්නේය..
(3)’’සිය අඹුවන් හා සතුටුවූයේ අන් අඹුවකටද නොඇලෙන්නේය. සත්ත්‍වතෙම සිත මුළා කරන්නාවූ සිව් වැදෑරුම්වූ මෙරයද පස් වැදෑරුම්වූ සුරාවද නොබොන්නේය.
(4)’’බුදුන් සිහි කරන්නේය. ධර්මයද අනුව කල්පනා කරන්නේය. නිදුක්වූ හිතවූ භාවනා සිත බඹ ලොව ඉපදීම පිණිස වඩන්නේය.
(5)’’දියයුතු වස්තුව එළඹ සිටි කල්හි පිනෙන් ප්‍රයෝජන ඇති පින් සොයන්නහු විසින් පළමුකොට බුද්ධාදී සත්පුරුෂයන් විෂයෙහි දෙන ලද දක්‍ෂිණා තොමෝ මහත් ඵල ඇත්තී වේ. ශාරීපුත්‍රය, සත් පුරුෂයන් කියන්නෙමි. මාගේ කීම අසව.
(6-7) ’’මෙසේ කළුවූ හෝ සුදුවූ හෝ රතුවූ හෝ පළාවන්වූ හෝ ලප සහිතවූයේ වස්සන් හා සමාන රූප ඇත්තාවූ හෝ, පරෙවියන්ට බඳු පැහැ ඇත්තාවූ හෝ, යම්කිසි මේ දෙනුන් අතරෙහි දැමුනාවූ. බර ඉසිලීමට සුදුසුවූ ශක්ති ඇත්තාවූ, යහපත් වේගයෙන් යන්නාවූ ශ්‍රෙෂ්ඨ ගවයෙක් උපදීද,
(8-9) ’’ඒ ගවයාම බර ඇති කල්හි යොදත්. මොහුගේ පැහැය නොබලත්. මෙපරිද්දෙන්ම මනුෂ්‍යයන් අතරෙහි යම්කිසි ජාතියෙක්හි ක්‍ෂත්‍රිය කුලයෙහිද, බමුණු කුලයෙහිද, වෛෂ්‍ය කුලයෙහිද, හුද්‍ර කුලයෙහිද, සැඩොල් කුලයෙහි හා පුප් සඩු කුලයෙහිද යන මේ කිසියම් ජාතියෙක්හි දැමුනාවූ මනා පැවතුම් ඇත්තෙක් උපදීද,
(10-11) ’’ධර්මයෙහිම පිහිටියාවූ හෙතෙම ශීලයෙන් යුක්තවේද, සත්‍ය වචන ඇත්තේද, ලජ්ජා ඇත්තේද, දුරු කළාවූ ජාතිය හා මරණය ඇත්තේද, බ්‍රහ්මචර්‍ය්‍යාව සම්බන්‍ධ සියල්ලෙන් යුක්ත වේද, බහා තබන ලද ස්කන්ධාදී බර ඇත්තේද, සසරින් වෙන්වූයේද, සිව් මගින් කළ කටයුතු ඇත්තේද, ආශ්‍රව රහිතවේද, සියලු ධර්මයන්ගේ පරතෙරට පැමිණියේද, උපාදාන රහිතව කෙළෙසුන්ගෙන් නිවියේද.
(12-13) ’’කෙළෙස් රජස් නැත්තාවූ ඒ ක්‍ෂෙත්‍රයෙහිම දෙන ලද දක්‍ෂිණා තොමෝ මහත් ඵල ඇත්තී වේ. ක්‍ෂෙත්‍රය නොදන්නාවූ, නුවණ නැත්තාවූ, අශ්‍රුතවත්වූ අඥානයෝද මේ ශාසනයෙන් පිටත්හි දානයන් දෙත්.
සත්පුරුෂයන් කරා නො එළඹෙත්. ප්‍රාඥයන් විසින් සම්මත කරණ ලද ප්‍රඥා සහිතවූ සත්පුරුෂයන් කරා යම් කෙණෙක් එළඹෙත්ද,
’’ඔවුන්ගේ ශ්‍රද්‍ධාවද සුගතවූ බුදුන් කෙරෙහි හටගත් මුල් ඇතිව පිහිටියාය. ඔවුහු දෙව්ලොවටද පැමිණෙත්. මේ ලෝකයෙහි උසස් කුලයෙක්හි හෝ උපදිත්. පණ්ඩිතවූ ඔවුහු පිළිවෙළින් නිර්‍වාණයට පැමිණෙත්ය’’ යි වදාළ සේක.

AN 08-18-010. ගවෙසී උපාසක සූත්‍රය


’’එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ කොසොල් දනව්වල මහත්වූ භික්‍ෂු සංඝයා සමග සැරිසරණ සේක. දීර්‍ඝවූ මාර්‍ගයට පිළිපන්නාවූ භාග්‍යවතුන් වහන්සේ එක්තරා ප්‍රදේශයෙක්හි මහත්වූ සල් වනයක් දුටු සේක දැක මාර්‍ගයෙන් ඉවත්ව ඒ සල් වනය යම් තැනෙක්හිද, එතැනට ඇතුල්ව එක්තරා පෙදෙසෙක්හි සිනා පහළ කල සේක. ඉක්බිති ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන්ට මෙබඳු සිතක් විය.
භාග්‍යවතුන් වහන්සේගේ සිනා පහළ කිරීමට හේතුව කවරේද, ප්‍රත්‍යය කවරේද? තථාගතයෝ නිකරුනේ සිනා පහළ නොකෙරෙතියි,
එකල්හි ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිර තෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය.
’’ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේගේ සිනා පහළ කිරීමට හේතුව කවරේද, ප්‍රත්‍යය කවරේද? තථාගතයෝ නිකරුනේ සිනා පහළ නොකෙරෙතියි,
’’ආනන්‍දය, පෙරවූවක් කියමි. මේ ප්‍රදේශයෙහි සමෘද්‍ධවූද, ඉතා සමෘද්‍ධවූද බොහෝ ජනයා ඇති, මිනිසුන්ගෙන් ගැවසීගත් නුවරක් විය. ආනන්‍දය, ඒ නුවර වනාහි අර්හත් සම්‍යක් සම්බුද්‍ධවූ කාශ්‍යප භාග්‍යවත් තෙම ඇසුරුකොට වාසය කෙළේය. ආනන්‍දය, අර්හත් සම්‍යක් සම්බුද්‍ධවූ කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේගේ වනාහි පංචශීලයන්හි සම්පූර්‍ණකිරීම නැත්තාවූ ගවේසී නම් උපාසකයෙක් වූයේය. ආනන්‍දය, ගවේසී නම් උපාසකයා විසින් පන්සියයක් පමණ උපාසකවරු සරණයන්හි පිහිටුවන ලද්දාහු ශීලයන්හි සම්පූර්‍ණකිරීම නැත්තෝ වූහ.
’’ආනන්‍දය, ඉක්බිති ගවේසී නම් උපාසකයාහට මෙබඳු සිතක් විය. ’මම වනාහි මේ පන්සියයක් උපාසකවරුන්ට බොහෝ උපකාර ඇත්තෙක්, පෙරටුව යන්නෙක්, සමාදන් කරවන්නෙක් වෙමි.
මමද ශීලයන්හි සම්පූර්‍ණ කිරීම නැත්තේ වෙමි. මේ පන්සියයක් උපාසකවරුද ශීලයන්හි සම්පූර්‍ණකිරීම නැත්තාහුය.
මෙසේ මෙය සමසමවේ. කිසි විශෙෂයක් නැත. එබැවින් මම විශෙෂය පිළිපදිමි.’
’’ආනන්‍දය, ඉක්බිති ගවේසී නම් උපාසකතෙම ඒ පන්සියයක් උපාසකයන් යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ, ඒ පන්සියයක් උපාසකයන්ට මෙය කීයේය.
,ආයුෂ්මත්නි, අද පටන් මා ශීලයන්හි සම්පූර්‍ණකිරීම ඇත්තෙකු කොට දරව්.’’
’’ආනන්‍දය, එකල්හි ඒ පන්සියයක් උපාසකයන්ට මෙබඳු සිතක් විය. ’ගවේසී නම් ආර්‍ය්‍ය තෙමේ වනාහි අපට බොහෝ උපකාර ඇත්තේය. පෙරටුව ගමන් කරන්නේය. සමාදන් කරවන්නෙකි.
ගවේසී නම් ආර්‍ය්‍යතෙමේ වනාහි ශීලයන්හි සම්පූර්‍ණ කිරීම ඇත්තෙක් වන්නේය. අපි වනාහි කවර කාරණයකින් එසේ නොවන්නෙමුදැ’ යි
’’ආනන්‍දය, ඉක්බිති ඒ පන්සියයක් උපාසකවරු ගවේසී නම් උපාසකතෙම යම් තැනෙක්හිද එතැනට පැමිණියාහුය. පැමිණ ගවෙසී නම් උපාසකයාහට මෙය කීවාහුය.
’ගවේසී නම් ආර්‍ය්‍යතෙම අද පටන් මේ පන්සියයක් උපාසකවරු ශීලයන්හි සම්පූර්‍ණ කිරීම ඇත්තාහුයයි දරණ සේක්වාය’ යි.
’’ආනන්‍දය, ඉක්බිති ගවේසී නම් උපාසකයාහට මෙබඳු සිතක් විය. ’මම වනාහි මේ පන්සියයක් උපාසකවරුන්ට බොහෝ උපකාර ඇත්තෙක්, පෙරටුව යන්නෙක්, සමාදන් කරවන්නෙක් වෙමි. මමද ශීලයන්හි සම්පූර්‍ණ කිරීම ඇත්තේ වෙම්. මේ පන්සියයක් උපාසකවරුද ශීලයන්හි සම්පූර්‍ණ කිරීම ඇත්තාහු වෙත්. මෙසේ මෙය සමසමවේ. කිසි විශෙෂයක් නැත. එබැවින් මම විශෙෂය පිළිපදිමි.’
’’ආනන්‍දය, ඉක්බිති ගවේසී නම් උපාසකතෙම ඒ පන්සියයක් උපාසකයන් යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ, ඒ පන්සියයක් උපාසකයන්ට මෙය කීයේය. ආයුෂ්මත්නි අද පටන් මා ගම්වැසියන්ගේ ස්වභාවක්වූ, මෛථුනයෙන් වැළකුණාවූ, කාමයන්ගෙන් දුරවූ හැසුරුම් ඇති බ්‍රහ්මචාරියෙකු කොට දරව්.’
’’ආනන්‍දය, එකල්හි ඒ පන්සියයක් උපාසකයන්ට මෙබඳු සිතක් විය. ’ගවේසී නම් ආර්‍ය්‍ය තෙමේ වනාහි අපට බොහෝ උපකාර ඇත්තේය. පෙරටුව ගමන් කරන්නේය. සමාදන් කරවන්නෙකි. ගවේසී නම් ආර්‍ය්‍යතෙමේ වනාහි ගම්වැසියන්ගේ ස්වභාවවූ, මෛථුන සේවනයෙන් වැළකුණාවූ, කාමයන්ගෙන් දුරවූ හැසුරුම් ඇති බ්‍රහ්මචර්‍ය්‍යා ඇත්තෙක් වන්නේය. අපි වනාහි කවර කාරණයකින් එසේ නොවන්නෙමුදැයි’.
’’ආනන්‍දය, ඉක්බිති ඒ පන්සියයක් උපාසකවරු ගවේසී නම් උපාසකතෙම යම් තැනෙක්හිද එතැනට පැමිණියාහුය. පැමිණ ගවෙසී නම් උපාසකයාහට මෙය කීවාහුය.
’ගවේසී නම් ආර්‍ය්‍යතෙමේ අද පටන් මේ පන්සියයක් උපාසකයන්ද, ග්‍රාම්‍ය ධර්‍ම වූ මෛථුන සේවනයෙන් දුරුවූ, කාමයන්ගෙන් දුරුවූ හැසුරුම් ඇති බ්‍රහ්මචර්‍ය්‍යා ඇත්තවුන් කොට දරණ සේක්වායි.
’’ආනන්‍දය, ඉක්බිති ගවේසී නම් උපාසකයාහට මෙබඳු සිතක් විය. ’මම වනාහි මේ පන්සියයක් උපාසකවරුන්ට බොහෝ උපකාර ඇත්තෙක්, පෙරටුව යන්නෙක්, සමාදන් කරවන්නෙක් වෙමි. මමද ශීලයන්හි සම්පූර්‍ණ කිරීම් ඇත්තේ වෙමි. මේ පන්සියයක් උපාසකවරුද ශීලයන්හි සම්පූර්‍ණ කිරීම් ඇත්තෝ වෙත්. මමද ග්‍රාම්‍ය ධර්‍ම වූ මෛථුන සේවනයෙන් වැළකුනේ, කාමයන්ගෙන් දුරවූ හැසුරුම් ඇත්තේ බ්‍රහ්මචර්‍ය්‍යා ඇත්තෙක් වෙමි. මේ පන්සියයක් උපාසකවරුද, ග්‍රාම්‍ය ධර්මවූ මෛථුන සේවනයෙන් වැළකුනාහු, කාමයන්ගෙන් දුරවූ හැසුරුම් ඇති, බ්‍රහ්මචර්‍ය්‍යා ඇත්තාහු වෙත්. මෙසේ මෙය සමසමවේ. කිසි විශෙෂයක් නැත. එබැවින් මම විශෙෂය පිළිපදිමියි.’
’’ආනන්‍දය, ඉක්බිති ගවේසී නම් උපාසකතෙම ඒ පන්සියයක් උපාසකයන් යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ, ඒ පන්සියයක් උපාසකයන්ට මෙය කීයේය. ’ආයුෂ්මත්නි, අද පටන් මා විකල් බොජුනෙන් වැළකුනාවූ, රාත්‍රි භෝජනයෙන් තොරවූ එක වේලේ වළඳන බත් ඇත්තෙකු කොට දරව්.’’
’’ගවේසී නම් ආර්‍ය්‍යතෙමේ වනාහි ශීලයන්හි සම්පූර්‍ණ කිරීම ඇත්තෙක් වන්නේය. අපි වනාහි කවර කාරණයකින් එසේ නොවන්නෙමුදැ’ යි ගවේසී නම් ආර්‍ය්‍යතෙමේ වනාහි, විකල් බොජුනෙන් වැළකුනේ, රාත්‍රි භෝජනයෙන් තොරවූයේ. එක වේලේ බත් ඇත්තෙක් වන්නේය. අපි වනාහි කවර කාරණයකින් එසේ නොවන්නෙමුද?
’’ආනන්‍දය, ඉක්බිති ඒ පන්සියයක් උපාසකවරු ගවේසී නම් උපාසකතෙම යම් තැනෙක්හිද එතැනට පැමිණියාහුය. පැමිණ ගවෙසී නම් උපාසකයාහට මෙය කීවාහුය. ගවේසී නම් ආර්‍ය්‍යතෙමේ අද පටන් මේ පන්සියයක් උපාසකවරුද විකල් බොජුනෙන් වැළකුනාවූ. රාත්‍රි භොජනයෙන් තොරවූ එක වේලේ බත් ඇත්තවුන් කොට දරණ සේක්වායි.’
’’ආනන්‍දය, ඉක්බිති ගවේසී නම් උපාසකයාහට මෙබඳු සිතක් විය. ’මම වනාහි මේ පන්සියයක් උපාසකවරුන්ට බොහෝ උපකාර ඇත්තෙක්, පෙරටුව යන්නෙක්, සමාදන් කරවන්නෙක් වෙමි. මමද ශීලයන්හි සම්පූර්‍ණ කිරීම ඇත්තේ වෙමි. මේ පන්සියයක් උපාසකවරුද ශීල යන්හි සම්පූර්‍ණකිරීම ඇත්තාහුය. මමද ග්‍රාම්‍ය ධර්මවූ මෛථුන සේවනයෙන් වැළකුනාවූ, කාමයන්ගෙන් දුරවූ හැසුරුම් ඇති, බ්‍රහ්මචර්‍ය්‍යා ඇත්තෙක් වෙමි. මේ පන්සියයක් උපාසකවරුද, ග්‍රාම්‍ය ධර්මවූ මෛථුන සේවනයෙන් වැළකුනාවූ හැසුරුම් ඇති, බ්‍රහ්මචර්‍ය්‍යා ඇත්තාහුය. මමද විකල් බොජුනෙන් වැළකුනාවූ. රාත්‍රි භොජනයෙන් තොරවූ එක වේලේ බත් ඇත්තෙක් වෙමි. මේ පන්සියයක් උපාසකවරුද විකල් බොජුනෙන් වැළකුනාවූ. රාත්‍රි භොජනයෙන් තොරවූ එක වේලේ බත් ඇත්තාහුය. මෙසේ මෙය සමසමවේ. කිසි විශෙෂයක් නැත. එබැවින් මම විශෙෂය පිළිපදිමියි.’
’’ආනන්‍දය, ඉක්බිති ගවේසී උපාසක තෙම අර්හත් සම්‍යක් සම්බුද්‍ධවූ කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ, අර්හත් සම්‍යක් සම්බුද්‍ධවූ කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය. ’ස්වාමීනි, මම භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි ප්‍රව්‍රජ්‍යාව ලබන්නෙමියි, උපසම්පදාවද ලබන්නෙමි’ යි කීයේය.
’’ආනන්‍දය, ගවේසී නම් උපාසක තෙම අර්හත් සම්‍යක් සම්බුද්‍ධවූ කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි ප්‍රව්‍රජ්‍යාව ලැබුයේය. උපසම්පදාවද ලැබුයේය. ආනන්‍දය, උපසපන්වූ නොබෝකල් ඇති ගවේසී භික්‍ෂු තෙමේ වනාහි එකලා වූයේ, වෙන්ව වාසය කිරීම ඇත්තේ අප්‍රමාද වූයේ, කෙළෙස් තවන වීර්‍ය්‍ය ඇත්තේ, හරණ ලද ආත්මාලය ඇතිව වාසය කරන්නේ නොබෝ කලකින්ම යමක් සඳහා කුලපුත්‍රයෝ මනාකොටම ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වෙද්ද, එය උතුම් කොට ඇති, බ්‍රහ්මවර්‍ය්‍යාව කෙළවර කොට ඇති මේ ආත්මයෙහිම තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට පැමිණ වාසය කෙළේය. ජාතිය ක්‍ෂය කරණ ලදී. මාර්‍ග බ්‍රහ්මචර්‍ය්‍යාව වැස නිමවන ලදී. සතර මගින් කටයුත්ත කරණ ලදී. මේ භවය පිණිස අනිකක් නැතැයි දැන ගත්තේය. ආනන්‍දය, ගවේසී භික්‍ෂු තෙම රහතුන්ගෙන් එක්තරා කෙනෙක්ද වූයේය.
’’ආනන්‍දය, එකල්හි ඒ පන්සියයක් උපාසකයන්ට මෙබඳු සිතක් විය. ’ගවේසී නම් ආර්‍ය්‍ය තෙමේ වනාහි අපට බොහෝ උපකාර ඇත්තේය. පෙරටුව ගමන් කරන්නේය. සමාදන් කරවන්නෙකි. ගවේසී නම් ආර්‍ය්‍ය තෙමේ වනාහි හිසකේ රැවුල් බාවා කසට වස්ත්‍ර හැඳ ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වන්නේය. කවර කාරණයකින් වනාහි අපි පැවිදි නොවන්නෙමුද,
’’ආනන්‍දය, එකල්හි ඒ පන්සියයක් උපාසකවරු අර්‍හත් සම්‍යක් සම්බුද්‍ධවූ කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට එළඹියාහුය. එළඹ අර්‍හත් සම්‍යක් සම්බුද්‍ධවූ කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේට මෙය කීවාහුය. ’ස්වාමීනි, අපි භාග්‍යවගුන් වහන්සේගේ සමීපයෙහි ප්‍රව්‍රජ්‍යාව ලබන්නෙමු. උපසම්පදාවද ලබන්නෙමුයි.’
’’ආනන්‍දය, ඒ පන්සියයක් උපාසකවරු අර්‍හත් සම්‍යක් සම්බුද්‍ධවූ කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි ප්‍රව්‍රජ්‍යාව ලැබුවාහුය. උපසම්පදාවද ලැබුවාහුය.
’’ආනන්‍දය, ඉක්බිති ගවේසී නම් භික්‍ෂුහට මෙබඳු සිතක් විය. ’මම වනාහි මේ උතුම්වූ විමුක්ති සැපය කැමති පරිදි ලැබීම ඇත්තේ, සුවසේ ලැබීම ඇත්තේ, බහුලව ලැබීම ඇත්තේ වෙමි. මේ පන්සියයක් භික්‍ෂූහුද මේ උතුම්වූ විමුක්ති සැපය කැමති පරිදි ලබන්නෝ, සුවසේ ලබන්නෝ, බහුලව ලබන්නෝ වන්නාහු නම් ඉතා යෙහෙක.’ කියායි. ආනන්‍දය, ඉක්බිති ඒ පන්සියයක් භික්‍ෂුහු වෙන්ව වාසය ඇත්තාහු අප්‍රමාද වූයේ, කෙළෙස් තවන වීර්‍ය්‍ය ඇත්තේ, හරණ ලද ආත්මාලය ඇතිව වාසය කරන්නේ නොබෝ කලකින්ම යමක් සඳහා කුලපුත්‍රයෝ මනාකොටම ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වෙද්ද, එය උතුම් කොට ඇති, බ්‍රහ්මවර්‍ය්‍යාව කෙළවර කොට ඇති මේ ආත්මයෙහිම තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට පැමිණ වාසය කෙළේය. ජාතිය ක්‍ෂය කරණ ලදී. මාර්‍ග බ්‍රහ්මචර්‍ය්‍යාව වැස නිමවන ලදී. සතර මගින් කටයුත්ත කරණ ලදී. මේ භවය පිණිස අනිකක් නැතැයි දැන ගත්තේය. ආනන්‍දය, ගවේසී භික්‍ෂු තෙම රහතුන්ගෙන් එක්තරා කෙනෙක්ද වූයේය.
’’ආනන්‍දය, මෙසේ වනාහි ඒ ගවේසී භික්‍ෂු ප්‍රධාන කොට ඇති පන්සියයක් භික්‍ෂුහු මතු මත්තෙහි උතුම් වශයෙන් උත්සාහ කරන්නාහු, උතුම්වූ විමුක්ති සැපය ප්‍රත්‍යක්‍ෂ කළාහුය. ආනන්‍දය, එහෙයින් මේ ශාසනයෙහි මතු මත්තෙහි උතුම් වශයෙන් උත්සාහ කරන්නාහු, උතුම්වූ විමුක්ති සැපය ප්‍රත්‍යක්‍ෂ කරන්නෙමියි මෙසේ හික්මිය යුතුයි. ආනන්‍දය, මෙසේ වනාහි තොප විසින් හික්මිය යුතුය’’ යි වදාළ සේක.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.