AN 05- 18- උපාසක වර්‍ගය- (i)

 

AN 05-18-01. සාරජ්ජොක්කන්ත සූත්‍රය

§1  ’’මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටානන් විසින් කරවන ලද. ජේතවනාරාමයෙහි වැඩ වසන සේක. එකල්හි වරැක  භාග්‍යවතුන් වහන්සේ, ’’මහණෙනි,’’ යි කියා භික්‍ෂූන්ට ආමන්ත්‍රණය කළ සේත ’’පින්වතුන් වහන්සැ’’ යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ.

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
’’මහණෙනි, කරුණු පසකින් යුක්තවූ උපාසකතෙම දොම්නසට බැසගත්තේ වෙයි.
’’කවර පසකින්ද යත්?

  • ප්‍රාණඝාත කරන්නේ වේද,
  • අදත්තාදානය කරන්නේ වේද,
  • කාමමිත්‍ථ්‍යාචාරය ඇත්තේ වේද,
  • මුසාවාද ඇත්තේ වේද,
  • මදයට හා ප්‍රමාදයට කරුණුවූ රහමෙර පානය ඇත්තේ වේද යන පසිනි.

’’ මහණෙනි, මේ කරුණු පසින් යුක්තවූ උපාසකතෙම දොම්නසට බැසගත්තේ වෙයි.

§2. ’’මහණෙනි, කරුණු පසකින් වැලකුනාවූ උපාසකයා  භයක් නැත්තෙක් වේ.
’’කවර පසකින් වැලකුනාවේ ද යත්?

  • ප්‍රාණඝාතයෙන් වැළකුණේ වේද,
  • අදත්තාදානයෙන් වැළකුණේ වේද,
  • කාමමිත්‍ථ්‍යාචාරයෙන් වැළකුණේ වේද,
  • මුසාවාදයෙන් වැළකුණේ වේද,
  • මදයට හා ප්‍රමාදයට කරුණුවූ රහමෙර පානයෙන් වැළකුණේ වේද, යන පසිනි.

’’මහණෙනි, කරුණු පසකින් යුක්තවූ උපාසකතෙම භය නැත්තෙක් වේ.

AN 05-18-02. විසාරද සූත්‍රය

§1. ’’මහණෙනි, කරුණු පසකින් යුක්තවූ උපාසකතෙම භය ඇතිවමැ ගිහිගෙයි වාසය තරයි.
’’කවර පසකින්ද යත්?

  • ප්‍රාණඝාත කරන්නේ වේද,
  • අදත්තාදානය කරන්නේ වේද,
  • කාමමිත්‍ථ්‍යාචාරය ඇත්තේ වේද,
  • මුසාවාද  ඇත්තේ වේද,
  • මදයට හා ප්‍රමාදයට කරුණුවූ රහමෙර පානය ඇත්තේ වේද යන පසිනි.
    ’’මහණෙනි, කරුණු පසකින් යුක්තවූ උපාසකතෙම භය ඇතිව ගිහිගෙයි වාසය තරයි.

§2. ’’මහණෙනි, කරුණු පසකින් වැලකුනාවූ   උපාසකයා  භයක් නැතිව ගිහිගෙයි වාසය තරයි.
’’කවර පසකින් වැළකුණේ වී ද යත්?

  • ප්‍රාණඝාතයෙන් වැළකුණේ වේද,
  • අදත්තාදානයෙන් වැළකුණේ වේද,
  • කාමමිත්‍ථ්‍යාචාරයෙන් වැළකුණේ වේද,
  • මුසාවාදයෙන් වැළකුණේ වේද,
  • මදයට හා ප්‍රමාදයට කරුණුවූ රහමෙර පානයෙන් වැළකුණේ වේද, යන පසිනි.

’’මහණෙනි, කරුණු පසකින් යුක්තවූ උපාසකතෙම භය නැතිව ගිහිගෙයි වාසය තරයි.

AN 05-18-03. යථාභත සූත්‍රය

§1. ’’මහණෙනි, කරුණු පසකින් යුක්තවූ උපාසකයා  ගෙනෙන ලද්දාවූ බරක් බහා තබන ලද්දේ යම්සේද, එසේ නිරායාසයෙන්ම  නරකයෙහි උපදී.
’’කවර පසකින්ද යත්?

  • ප්‍රාණඝාත කරන්නේ වේද,
  • අදත්තාදානය කරන්නේ වේද,
  • කාමමිත්‍ථ්‍යාචාරය ඇත්තේ වේද,
  • මුසාවාද ඇත්තේ වේද,
  • මදයට හා ප්‍රමාදයට කරුණුවූ රහමෙර පානය ඇත්තේ වේද යන පසිනි.

’’මහණෙනි, කරුණු පසකින් යුක්තවූ උපාසකයා  ගෙනෙන ලද්දාවූ බරක් බහා තබන ලද්දේ යම්සේ පහසුවෙන්ද, මෙසේ නරකයෙහි උපදී.

§2. ’’මහණෙනි, කරුණු පසකින් වැලකුනාවූ  උපාසකයා  ගෙනෙන ලද බරක් බහා තබන ලද්දේ යම්සේද, මෙසේ පහසුවෙන්  සුගති යෙහි උපදී.

’’කවර පසකින් වැලකුනේ ද යත්?

  • ප්‍රාණඝාතයෙන් වැළකුණේ වේද,
  • අදත්තාදානයෙන් වැළකුණේ වේද,
  • කාමමිත්‍ථ්‍යාචාරයෙන් වැළකුණේ වේද,
  • මුසාවාදයෙන් වැළකුණේ වේද,
  • මදයට හා ප්‍රමාදයට කරුණුවූ රහමෙර පානයෙන් වැළකුණේ වේද, යන පසිනි.

’’මහණෙනි, කරුණු පසකින් වැලකුනාවූ උපාසකයා  ගෙනෙන ලද බරක් බහා තබන ලද්දේ යම්සේද, මෙසේ ස්වර්‍ගයෙහි උපදී.

AN 05-18-04. වෙරභය සූත්‍රය

§ 1. ’’ඉක්බිති අනේපිඬු සිටුතුමා දිනක්  භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එකත්පස්ව හුන්නේය.

එකත්පස්ව හුන්නාවූම අනේපිඬු සිටුහට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

§ 2. ’’ගෘහපතිය, වෛරවූ හෙවත් අකුශල්වූ භය පසක් දුරු නොකොට සිටියේ දුශ්ශීලයායයිද කියනු ලැබේ. ඔහු නරකයෙහිද උපදී.
’’කවර පසකින්ද යත්?

  • ප්‍රාණඝාත කරන්නේ වේද,
  • අදත්තාදානය කරන්නේ වේද,
  • කාමමිත්‍ථ්‍යාචාරය ඇත්තේ වේද,
  • මුසාවාද ඇත්තේ වේද,
  • මදයට හා ප්‍රමාදයට කරුණුවූ රහමෙර පානය ඇත්තේ වේද යන පසිනි.

’’ගෘහපතිය, වෛරවූ හෙවත් අකුශල්වූ භය පසක් දුරු නොකොට සිටියේ දුශ්ශීලයායයිද කියනු ලැබේ. නරකයෙහිද උපදී.

§2. ’’ගෘහපතිය, වෛරවූ භය පසක් දුරු කොට සිටියේ ශීලවන්තයායයිද කියනු ලැබේ. හේ සුගතියෙහිද උපදී.
’’කවර පසකින් වැලකුනේද  යත්?

  • ප්‍රාණඝාතයෙන් වැළකුණේ වේද,
  • අදත්තාදානයෙන් වැළකුණේ වේද,
  • කාමමිත්‍ථ්‍යාචාරයෙන් වැළකුණේ වේද,
  • මුසාවාදයෙන් වැළකුණේ වේද,
  • මදයට හා ප්‍රමාදයට කරුණුවූ රහමෙර පානයෙන් වැළකුණේ වේද, යන පසිනි.

’’ගෘහපතිය, වෛරවූ භය පසක් දුරු කොට සිටියේ ශීලවන්තයායයිද කියනු ලැබේ. හේ සුගතියෙහිද උපදී.

§ 2. ’’ගෘහපතිය, ප්‍රාණඝාත කරන්නා, ප්‍රාණඝාත කිරීමේ  හේතුවෙන් මේ ආත්මයෙහිද. යම් වෛර භයක් රැස් කෙරේ, පරලෙව්හි වන්නාවූද යම් වෛර භයක් රැස් කෙරේද, සිතෙහි හටගන්නාවූද දුක්වූ දොම්නසක් විඳී, සතුන් මැරීමෙන් වැළකුණේ වී නම්  මේ ආත්මයෙහිවූ වෛර භය  රැස් නොකෙරෙයි. පරලෙව්හිවූ වෛර භය රැස් නොකරයි. සිතෙහි හටගන්නාවූ දුක්වූ දොම්නස නොවිඳියි. ප්‍රණඝාතයෙන් වැළකුණහුගේ මෙසේ ඒ වෛර භය සංසිඳුනේ වේ.

’’ගෘහපතිය, සොරකම් කරන්නා, සොරකම් කිරීමේ හේතුවෙන් මේ ආත්මයෙහිවූද. යම් වෛර භයක් රැස් කෙරේ, පරලෙව්හි වන්නාවූද යම් වෛර භයක් රැස් කෙරේ, සිතෙහි හටගන්නාවූද දුක්වූ දොම්නසක් විඳී, සොරකම් කිරීමෙන් වැළකුනේ වී නම්  මේ ආත්මයෙහිවූ වෛර භය  රැස් නොම කෙරෙයි. පරලෙව්හිවූ වෛර භය රැස් නොකරයි. සිතෙහි හටගන්නාවූ දුක්වූ දොම්නස නොවිඳියි. සොරකම් කිරීමෙන් වැළකුණහුගේ මෙසේ ඒ වෛර භය සංසිඳුනේ වේ.

’’කාමයන්හි වරදවා හැසිරෙන්ණා,  කාමයන්හි වරදවා හැසිරීමේ හේතුවෙන් මේ ආත්මයෙහිවූද. යම් වෛර භයක් රැස් කෙරේ, පරලෙව්හි වන්නාවූද යම් වෛර භයක් රැස් කෙරේ, සිතෙහි හටගන්නාවූද දුක්වූ දොම්නසක් විඳී, කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළකුනේ වී නම්, මේ ආත්මයෙහිවූ වෛර භය  රැස් නොකෙරෙයි. පරලෙව්හිවූ වෛර භය රැස් නොකරයි. සිතෙහි හටගන්නාවූ දුක්වූ දොම්නස නොවිඳියි. කාමයෙහි වරදවා හැසිරීමෙන් වැළකුණහුගේ මෙසේ ඒ වෛර භය සංසිඳුනේ වේ.

’’බොරු කියන්නා, බොරු කීමේ හේතුවෙන් මේ ආත්මයෙහිවූද. යම් වෛර භයක් රැස් කෙරේ, පරලෙව්හි වන්නාවූද යම් වෛර භයක් රැස් කෙරේ, සිතෙහි හටගන්නාවූද දුක්වූ දොම්නසක් විඳී, බොරු කීමෙන් වැළකුනේ මේ ආත්මයෙහිවූ වෛර භය නොම රැස් කෙරෙයි. පරලෙව්හිවූ වෛර භය රැස් නොකරයි. සිතෙහි හටගන්නාවූ දුක්වූ දොම්නස නොවිඳියි. බොරු කීමෙන් වැළකුණහුගේ මෙසේ ඒ වෛර භය සංසිඳුනේ වේ.

’’මදයට හා ප්‍රමාදයට කරුණුවූ රහමෙර පානය කරන්නා  මේ ආත්මයෙහිවූද. යම් වෛර භයක් රැස් කෙරේ, පරලෙව්හි වන්නාවූද යම් වෛර භයක් රැස් කෙරේ, සිතෙහි හටගන්නාවූද දුක්වූ දොම්නසක් විඳීද, මදයට හා ප්‍රමාදයට කරුණුවූ රහමෙර පානයෙන් වැළකුනේ නම් මේ ආත්මයෙහිවූ වෛර භය නොම රැස් කෙරෙයි. පරලෙව්හිවූ වෛර භය රැස් නොකරයි. සිතෙහි හටගන්නාවූ දුක්වූ දොම්නස නොවිඳියි. මදයට හා ප්‍රමාදයට කරුණුවූ රහමෙර පානයෙන් වැළකුණහුගේ මෙසේ ඒ වෛර භය සංසිඳුනේ වේ.

’’ලෝකයෙහි යමෙක්  ප්‍රාණඝාත කෙරේද, මුසාවාදය කියාද, නුදුන් දෙය ගනීද, අන් අඹුවන් කරා යේද,  රහමෙර පානයෙහි යෙදේද, මේ අකුශල් පස දුරු නොකොට සිටියේ දුශ්ශීලයායයි කියනු ලැබේ. ඒ දුෂ්ප්‍රාඥයා  ශරීරයාගේ බිඳීමෙන් පසු නරකයෙහි උපදී.

’’ලෝකයෙහි යමෙක් තෙම ප්‍රාණඝාත නොකෙරේද, මුසාවාද නොකියාද, නුදුන් දෙය නොගණීද, අන් අඹුවන් කරා නොයේද.  රහමෙර පානයෙහි නොයෙදේද, යන මේ අකුසල්වූ වෛර පස දුරුකොට සිටියේ සිල්වත්යයිද කියනු ලැබේ. ඒ නුවණ ඇති තැනැත්තේ ශරීරයාගේ බිඳීමෙන් පසු සුගතියෙහි උපදීය’’ යි වදාළ සේක.

AN 05-18-05. උපාසක චණ්ඩාල සූත්‍රය

§1. ’’මහණෙනි, කරුණු පසකින් යුක්තවූ උපාසකයා  උපාසක චණ්ඩාලයෙක්ද, උපාසක කිළුටක්ද, උපාසක පශ්චිමකයෙක්ද වේ.
’’කවර පසකින්ද යත්,

  • ශ්‍රද්‍ධා නැත්තේ වේද,
  • දුශ්ශීල වේද,
  • කෝතුහල මඞ්ගල ඇත්තේ වේද, (හෙවත් දුටු ඇසූ ස්පර්‍ශ කළ දෙය මගුල්යයි ගන්නෙක් වේද), මඞ්ගලය පතාද, කර්‍මය නොපතාද,
  • මේ ශාසනයෙන් පිටත්හිද දක්‍ෂිණාවට සුදුස්සෙකු සොයාද, එහිද පළමු දාන මානාදී කටයුතු කෙරේද යන පසිනි.

’’මහණෙනි, කරුණු පසකින් යුක්තවූ උපාසක තෙම උපාසක චණ්ඩාලයෙක්ද, උපාසක කිළුටක්ද, උපාසක පශ්චිමකයෙක්ද වේ.

§ 2. ’’මහණෙනි, කරුණු පසකින් යුක්තවූ උපාසකයා  උපාසක රත්නයක්ද , උපාසක පද්මයක්ද , උපාසක හෙල පියුමක්ද  වේ.
’’කවර පසකින්ද යත්,

  • ශ්‍රද්‍ධාව ඇත්තේ වේද,
  • සිල්වත් වේද,
  • කෝතුහල මඞ්ගල නැත්තෙක් වේද,
  • කර්‍මය බලාපොරොත්තු වේද, මඞ්ගලය බලාපොරොත්තු නොවේද,
  • මේ ශාසනයෙන් පිටත්හි දක්‍ෂිණාවට සුදුස්සෙකු නොසොයාද, මේ ශාසනයෙහිම දාන මානාදී පළමු කටයුතු දෙය කෙරේද යන පසිනි.

’’මහණෙනි, මෙසේ වූ කරුණු පසකින් යුක්තවූ උපාසකයා, උපාසක  රත්නයකි, උපාසක පද්මයකි, උපාසක හෙල පියුමකි .

icon plus

NEXT

6. පවිවේකපීති සූත්‍රය
7. අකරණීය වණිජ්ජා සූත්‍රය
8. රාජ දණ්ඩ සූත්‍රය
9. ගිහි ව්‍යාකරණ සූත්‍රය 
10. ගවෙසී උපාසක සූත්‍රය

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.