AN 05-15- තිකන්ඩකී වග්ගය 0

AN 05-15 -01. දත්වා අවජානන සූත්‍රය

මහණෙනි, මේ පුද්ගලයෝ පස්දෙනෙක් ඇත්තාහු ලෝකයෙහි විද්‍යමාන වෙත්.
’’කවර පස් දෙනෙක්ද යත්?

  1. දානය කොට අවමන් කෙරෙයි.
  2. එක්ව විසීමෙන් අවමන් කරයි.
  3. ගැණීමෙහි දොරටු ඇත්තේ වේ.
  4. ලොල්වූයේ වෙයි.
  5. මඳ නුවණ ඇත්තේ අතිශයින් මුළාවූයේ වෙයි යන මොහුය.

’’මහණෙනි, කෙසේ නම් පුද්ගල තෙම දානය දී අවමන් කෙරේද?

මහණෙනි, මේ ලෝකයෙහි පුද්ගල තෙම පුද්ගලයෙකුට සිවුරු, පිණ්ඩපාත, ශයනාසන, ගිලන්පස, බෙහෙත් පිරිකර දේද, ඔහුට මෙබඳු සිතක් වේ. ’මම දෙමි. මෙතෙමේ පිළිගනීය’ යි ඔහුට දානය දී අවමන් කෙරෙයි. මහණෙනි, මෙසේ වනාහි පුද්ගල තෙම දානය දී අවමන් කෙරෙයි.

මහණෙනි, කෙසේ නම් පුද්ගල තෙම එක්ව විසීමෙන් අවමන් කෙරේද?

මහණෙනි, මෙහි පුද්ගල තෙම පුද්ගලයෙකු සමග අවුරුදු දෙකක් හෝ තුනක් හෝ වාසය කරයිද, ඔහුට එක්ව විසීමෙන් අවමන් කරයිද, මහණෙනි, මෙසේ වනාහි පුද්ගල තෙම එක්ව විසීමෙන් අවමන් කරයි.

මහණෙනි, කෙසේ නම් පුද්ගල තෙම ගැණීමෙහි දොරටු ඇත්තේ වේද?

මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් තෙම අනිකාගේ ගුණයක් හෝ අගුණයක් හෝ කියනු ලබන කල්හි එය වහාම අදහන්නේ වේද, මහණෙනි, මෙසේ වනාහි පුද්ගල තෙම ගැණීමෙහි දොරටු ඇත්තේ වේ.

මහණෙනි, කෙසේ නම් පුද්ගල තෙම ලොල්වූයේ වේද,

මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් තෙම මඳවූ ශ්‍රද්‍ධා ඇත්තේ, මඳවූ භක්ති ඇත්තේ, මඳවූ ප්‍රේම ඇත්තේ, මඳවූ ප්‍රසාද ඇත්තේ වේද, මහණෙනි, මෙසේ වනාහි පුදගල තෙම ලොල්වූයේ වෙයි. මහණෙනි, කෙසේ නම් පුද්ගල තෙම මඳ නුවණ ඇත්තේ ඉතා මුළාවූයේ වේද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් තෙම කුශලාකුශල ධර්‍මයක් නොදනීද? සාවද්‍ය අනවද්‍ය ධර්‍මයන් නොදනීද, හීන ප්‍රණත ධර්‍මයන් නොදනීද, තෘෂ්ණා, ශුක්ල, සප්‍රතිභාග ධර්‍මයන් නොදනීද, මහණෙනි, මෙසේ වනාහි පුද්ගල තෙම මඳ නුවණ ඇත්තේ ඉතා මුළා වූයේ වේ.
’’මහණෙනි, මේ පුද්ගලයෝ පස්දෙනෙක් ඇත්තාහු ලෝකයෙහි විද්‍යමාන වෙත්.

AN 05-15 -02. විප්පටිසාරී සූත්‍රය

’’මහණෙනි, මේ පුද්ගලයෝ පස් දෙනෙක් ඇත්තාහු ලෝකයෙහි විද්‍යමාන වෙත්.
’’කවර පස් දෙනෙක්ද යත්?

  1. මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් තෙම ඇවැත්ද මඩියි. ඒ හේතුවෙන් විපිළිසර ඇත්තේද වේ.
    ’’යම් තැනක මොහුගේ ඒ උපන් ලාමකවූ අකුශල ධර්‍මයෝ නිරවශෙෂව නිරුද්ධ වෙද්ද, ඒ අර්හත් සමාධියද, අර්හත් ඵල ඥානයද නොදනී.
  2. ’’මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් වනාහි ඇවැත් මඩීද, විපිළිසර ඇත්තේ නොවේද, යම් තැනක මොහුගේ ඒ උපන් ලාමකවූ අකුශල ධර්‍මයෝ නිරවශෙෂව නිරුද්ධ වෙද්ද, ඒ අර්හත් සමාධියද, අර්හත් ඵල ඥානයද නොදනී.
  3. මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් වනාහි ඇවැත් නොමඩීද, විපිළිසර ඇත්තේ වේද, යම් තැනක මොහුගේ ඒ උපන් ලාමකවූ අකුශල ධර්‍මයෝ නිරවශෙෂව නිරුද්ධ වෙද්ද, ඒ අර්හත් සමාධියද, අර්හත් ඵල ඥානයද නොදනී.
  4. මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් වනාහි ඇවැත් නොමඩියිද, විපිළිසර ඇත්තේ නොවේද, යම් තැනක මොහුගේ ඒ උපන් ලාමකවූ අකුශල ධර්‍මයෝ නිරවශෙෂව නිරුද්ධ වෙද්ද, ඒ අර්හත් සමාධියද, අර්හත් ඵල ඥානයද නොදනී.
  5. මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් ඇවැත් නොමඩීද, විපිළිසර ඇත්තේ නොවෙයිද, ’’යම් තැනෙක්හි මොහුගේ ඒ උපන් ලාමකවූ අකුශල ධර්‍මයෝ නිරවශෙෂව නිරුද්ධ වෙද්ද, ඒ අර්හත් මාර්‍ග සමාධියද, අර්හත් ඵල ඥානයද තත්වූ පරිද්දෙන් දනියි. (යන පස් දෙනයි. )

’’මහණෙනි, එහි යම් ඒ පුද්ගලයෙක් තෙම ඇවැත් මඩීද, ඒ හේතෙුවෙන් විපිළිසර ඇත්තේ වේද, යම් තැනක මොහුගේ ඒ උපන් ලාමකවූ අකුශල ධර්‍මයෝ නිරවශෙෂව නිරුද්ධ වෙද්ද, ඒ අර්හත් සමාධියද, අර්හත් ඵල ඥානයද නොදනී.
’’හෙතෙම මෙසේ කියයුතු වන්නේය. (2) ’ආයුෂ්මත්හුගේ වනාහි ඇවැත් මැඩීමෙන් හටගත්තාවූ ආශ්‍රවයෝ විද්‍යමාන වෙත්. (3) විපිළිසර වීමෙන් හටගත් ආශ්‍රවයෝ බොහෝ සෙයින් වැඩෙත්. ආයුෂ්මත් තෙමේ ඇවැත් මැඩීමෙන් හටගත්තාවූ ආශ්‍රවයන් හැර විපිළිසර වීමෙන් හටගත් ආශ්‍රවයන් දුරලා විදර්‍ශනා සිතද, එය හා යෙදුනු ප්‍රඥාවද වඩන සේක්වා ඒකාන්තයෙන් යහපති. මෙසේ ආයුෂ්මත් තෙමේ මේ ප්සවන පුද්ගලයා හා සම සමවූවෙක් වන්නේයයි
’’මහණෙනි, එහි යම් මේ පුද්ගලයෙක් ඇවැත් මඩීද, විපිළිසර ඇත්තේ නොවේද, යම් තැනෙක්හි මොහුගේ ඒ උපන් ලාමකවූ අකුශල ධර්‍මයෝ නිරවශෙෂව නිරුද්ධ වෙද්ද, ඒ අර්හත් මාර්‍ග සමාධියද, අර්හත් ඵල ඥානයද තත්වූ පරිද්දෙන් දනියි. (යන පස් දෙනයි.)
’’හෙතෙම මෙසේ කියයුතු වන්නේය. ’ආයුෂ්මත්හුගේ වනාහි ඇවැත් මැඩීමෙන් හටගත්තාවූ ආශ්‍රවයෝ විද්‍යමාන වෙත්. විපිළිසරයෙන් හටගත් ආශ්‍රවයෝ බොහෝ සෙයින් නොවැඩෙත්. ආයුෂ්මත් තෙමේ ඇවැත් මැඩීමෙන් හටගත් ආශ්‍රවයන් හැර විදර්‍ශනා සිතද, ප්‍රඥාවද වඩාවා ඉතා මැනවි. මෙසේ ආයුෂ්මත් තෙමේ මේ පස්වන පුද්ගලයා හා සම සම වූවෙක් වන්නේය’ යි.
’’මහණෙනි, එහි යම් මේ පුද්ගලයෙක් තෙම ඇවැත් නොමඩීද, විපිළිසර ඇත්තේ වේද, යම් තැනෙක්හි මොහුගේ ඒ උපන් ලාමකවූ අකුශල ධර්‍මයෝ නිරවශෙෂව නිරුද්ධ වෙද්ද, ඒ අර්හත් මාර්‍ග සමාධියද, අර්හත් ඵල ඥානයද තත්වූ පරිද්දෙන් දනියි. (යන පස් දෙනයි.)
’’හෙතෙම මෙසේ කියයුතු වන්නේය. (2) ’ආයුෂ්මත්හුගේ වනාහි ඇවැත් මැඩීමෙන් හටගත්තාවූ ආශ්‍රවයෝ විද්‍යමාන නොවෙත්. (3) විපිළිසරයෙන් හටගත්තාවූ ආශ්‍රවයෝ බොහෝ සෙයින් වැඩෙත්. ආයුෂ්මත් තෙමේ විපිළිසරයෙන් හටගත් ආශ්‍රවයන් දුරුකොට විදර්‍ශනා සිතද, ඒ හා යෙදුනු ප්‍රඥාවද වඩාවා ඉතා යහපති. මෙසේ ආයුෂ්මත් තෙමේ මේ ප්සවන පුද්ගලයා හා සම සමවූවෙක් වන්නේයයි
’’මහණෙනි, එහි යම් මේ පුද්ගලයෙක් ඇවැත් නොමඩීද, විපිළිසර ඇත්තේ නොවේද, යම් තැනෙක්හි මොහුගේ ඒ උපන් ලාමකවූ අකුශල ධර්‍මයෝ නිරවශෙෂව නිරුද්ධ වෙද්ද, ඒ අර්හත් මාර්‍ග සමාධියද, අර්හත් ඵල ඥානයද තත්වූ පරිද්දෙන් දනියි. (යන පස් දෙනයි.)
’’හෙතෙම මෙසේ කියයුතු වන්නේය. ’ආයුෂ්මත්හුගේ වනාහි ඇවැත් මැඩීමෙන් හටගත්තාවූ ආශ්‍රවයෝ විද්‍යමාන නොවෙත්. විපිළිසරයෙන් හටගත් ආශ්‍රවයෝ බොහෝ සෙයින් නොවැඩෙත්. ආයුෂ්මත් තෙමේ විදර්‍ශනා සිතද, ඒ හා යෙදුනු ප්‍රඥාවද වඩාවා ඉතා යහපති. මෙසේ ආයුෂ්මත් තෙමේ මේ පස්වන පුද්ගලයා හා සම සම වූවෙක් වන්නේය’ යි.
’’මහණෙනි, මෙසේ වනාහි මේ පුද්ගලයන් සතරදෙනා මේ පස්වන පුද්ගලයා විසින් මෙසේ අවවාද කරණු ලබන් නාහු, මෙසේ අනුශාසනා කරණු ලබන්නාහු, පිළිවෙළින් ආශ්‍රවයන්ගේ ක්‍ෂය කිරීමට පැමිණෙත්ය’ යි වදාළ සේක.

AN 05-15 -03. සාරන්දද සුත්‍රය

’’එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ විසල් නුවර මහවන වෙහෙරෙහිවූ කූටාගාර ශාලාවෙහි වැඩ වසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ පෙරවරු වේලෙහි හැඳ පොරවා, පාත්‍ර සිවුරු ගෙණ විසල් නුවරට පිඬු පිණිස පිවිසි සේක. එකල්හි වනාහි සාරන්‍දද නම් චෛත්‍ය ස්ථානයෙහි එක්ව හුන්නාවූ රැස්වූ පන්සියයක් පමණ ලිච්ඡවින්ගේ මේ අතුරු කථාව පහළවිය.
’’රත්න පසක්හුගේ පහළවීම ලෝකයෙහි දුර්ලභ වේ. කවර පසක්හුගේද යත්, හස්තිරත්නයාගේ පහළවීම ලෝකයෙහි දුර්ලභ වේ. අශ්වරත්නයාගේ පහළවීම ලෝකයෙහි දුර්ලභ වේ. මාණික්‍යරත්නයාගේ පහළවීම ලෝකයෙහි දුර්ලභ වේ. ස්ත්‍රීරත්නයාගේ පහළවීම ලෝකයෙහි දුර්ලභ වේ. ගෘහපතිරත්නයාගේ පහළවීම ලෝකයෙහි දුර්ලභ වේ. මේ පඤචවිධ රත්නයන්ගේ පහළවීම ලෝකයෙහි දුර්ලභ වේයයි.
’’ඉක්බිති ඒ ලිච්ඡවීහු මාර්‍ගයෙහි පුරුෂයෙකු තැබුවාහුය. ’එම්බා පුරුෂය, යම්සේ නුඹ වඩින්නාවූ භාග්‍යවතුන් වහන්සේ දන්නෙහිද, එකල්හි අපට සැළකරව’ යි. ඒ පුරුෂ තෙම වඩින්නාවූ භාග්‍යවතුන් වහන්සේ දුරදීම දුටුයේය. දැක, ඒ ලිච්ඡවීහු යම් තැනෙක්හිද, එතැනට එළඹියේය. එළඹ ඒ ලිච්ඡවීන්ට මෙය කීයේය. ’පින්වත්නි, ඒ මේ අර්‍හත් සම්‍යක් සම්බුද්‍ධවූ භාග්‍යවතුන් වහන්සේ වඩිනා සේක. එයට දැන් කල් දනිව්ය’ යි.
’’ඉක්බිති ඒ ලිච්ඡවීහු භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියාහුය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ, එකත්පස්ව සිටියාහුය. එකත්පස්ව සිටියාවූ ඒ ලිච්ඡවීහු භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළාහුය. ’’ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ සාරංදද නම් චෛත්‍යය යම් තැනෙක්හිද, අනුකම්පා පිණිස එතැනට පැමිණෙනසේක් නම් මැනව’’ යි. භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්දවීමෙන් ඉවසූ සේක.
’’ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සාරන්‍දද නම් චෛත්‍යය යම් තැනෙක්හිද. එතැනට පැමිණි සේක. පැමිණ, පනවනලද අස්නෙහි වැඩහුන්සේක. වැඩහිඳ වනාහි භාග්‍යවතුන් වහන්සේ ඒ ලිච්ඡවීන්ට මෙය වදාළසේක. ’’ලිච්ඡවීනි, දැන් කිනම් කථාවකින් යුක්තව හුන්නහුද, කිනම් අතුරු කථාවක් තොප විසින් අඩාල කරණ ලද්දීද?’’
’’ස්වාමීනි, මෙහි එක්ව හුන්නාවූ, රැස්ව හුන්නාවූ අපගේ මේ අතුරු කතාව පහළවිය. ’’රත්න පසක්හුගේ පහළවීම ලෝකයෙහි දුර්ලභ වේ. කවර පසක්හුගේද යත්, හස්තිරත්නයාගේ පහළවීම ලෝකයෙහි දුර්ලභ වේ. අශ්වරත්නයාගේ පහළවීම ලෝකයෙහි දුර්ලභ වේ. මාණික්‍යරත්නයාගේ පහළවීම ලෝකයෙහි දුර්ලභ වේ. ස්ත්‍රීරත්නයාගේ පහළවීම ලෝකයෙහි දුර්ලභ වේ. ගෘහපතිරත්නයාගේ පහළවීම ලෝකයෙහි දුර්ලභ වේ. මේ පඤචවිධ රත්නයන්ගේ පහළවීම ලෝකයෙහි දුර්ලභ වේයයි.
’’කාමයන්හි අදහස් ඇති ලිච්ඡවීවූ තොපගේ ඒකාන්තයෙන් කාමයම අරභයා අතුරු කථාව පහළවිය. ලිච්ඡවීනි, රත්න පසක්හුගේ පහළවීම ලෝකයෙහි දුර්ලභ වේ. කවර පසක්හුගේද යත්, අර්‍හත් සම්‍යක් සම්බුද්‍ධවූ තථාගතයන්ගේ පහළවීම ලෝකයෙහි දුර්ලභ වේ. තථාගතයන් වහන්නේ විසින් දේශනාකරණලද ධර්මවිනය දේශනා කරන්නාවූ පුද්ගල තෙම ලෝකයෙහි දුර්ලභ වේ. තථාගතයන් විසින් වදාරණලද ධර්ම විනය දේශනා කළ කල්හි දැනගන්නා පුද්ගල තෙම ලෝකයෙහි දුර්ලභ වේ. තථාගතයන් විසින් වදාරණලද ධර්ම විනය දෙසූ කලහි දැනගෙන ධර්මානුධර්ම ප්‍රතිපදාවට පිළිපන් පුද්ගල තෙම ලෝකයෙහි දුර්ලභ වේ. කෘතඥවූ කළ උපකාර දන්නාවූ පුද්ගල තෙම ලෝකයෙහි දුර්ලභ වේ. ලිච්ඡවීනි, මේ පඤචවිධ රත්නයන්ගේ පහළවීම ලෝකයෙහි දුර්ලභ වේය’’ යි වදාළ සේක.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.