AN 10-07- යමක වග්ගය – 2 කොටස

AN 10-07-06. දුතිය සාමණ්ඩ සූත්‍රය

§ 1.  එක් කාලයෙක්හි ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ මගධ රට නාලක ගමෙහි වාසය කරණ සේක. ඉක්බිති සාමණ්ඩකානී පරිබ්‍රාජක තෙම ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ, ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ සමග සතුටු වියයුතු, සිහි කටයුතු කථාව කොට නිමවා එකත්පසෙක සිටියේය.

§ 2. එකත්පසෙක සිටි සාමණ්ඩකානී පරිබ්‍රාජකයන්  ආයුෂ්මත් ශාරීපුත්‍රයන් වහන්සේගෙන් , ’’ඇවැත්නි, ශාරීපුත්‍රය, මේ ධර්‍ම විනයෙහි කුමක් සැපද, කුමක් දුක්දැ’’ යි ඇසීය.

’’ඇවැත්නි, මේ ධර්‍ම විනයයෙහි නොඇලීම දුක්ය, ඇලීම සැපය. ඇවැත්නි, නොඇලීම ඇති කල්හි යන්නේද සැපක් යහපතක් නොලබයි. සිටියේද සැපක් යහපතක් නොලබයි. හුන්නේද, සැපක් යහපතක් නොලබයි. හෝනේද, ගමට ගියේද, වනයට ගියේද, රුක්මුලට ගියේද, හිස් ගෙවලට ගියේද, අවකාශ ස්ථානවලට ගියේද, සංඝයා මැදට ගියේද, සැපක් යහපතක් නොලබයි.

ඇවැත්නි, නොඇලීම ඇති කල්හි මේ දුක කැමති විය යුතුයි. (ධර්‍ම විනයයෙහි) ඇලීම ඇති කල්හි මේ සැප කැමති විය යුතුයි. යන්නේද සැපක් යහපතක් ලබයි. සිටියේ, හුන්නේ හෝ ගමට වැදුනේ ගෙදරට ගියේ, රුක් මුලට ගියේ, හිස් ගෙවලට ගියේ, අවකාශ ස්ථානවලට ගියේ, සඟ මැදට ගියේ, සැපක් යහපතක් විඳියි. ඇවැත්නි, ඇල්ම ඇති කල්හි මේ සැප බලාපොරොත්තු විය යුතුයි.’

AN 10-07-07. නලකපාන සූත්‍රය

§ 1. එක් කාලයෙක්හි භාග්‍යවතුන් වහන්සේ කොසොල් රට චාරිකාවෙහි හැසිරෙන සේක් මහත් භික්‍ෂු සමූහයක් සමග නළපාන නම් කොසොල් රට වාසීන්ගේ නියම් ගම පලාස වනයෙහි වාසය කරණ සේක. 

§ 2.  එකල්හි  භාග්‍යවතුන් වහන්සේ පොහෝ දිනයෙහි භික්‍ෂු සංඝයා පිරිවරා වැඩ හුන්නේ වේ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ රාත්‍රියෙහි බොහෝ වේලාවක්ම භික්‍ෂූන් සමග ධාර්මික කථාවෙන් කරුණු දක්වා, පෙන්වා, සමාදන් කරවා, තෙදගන්වා, සතුටු කරවා, තුෂ්ණීම්භූතවූ භික්‍ෂු සංඝයා බලා ආයුෂ්මත් ශාරීපුත්‍රයන් වහන්සේට මෙසේ ආමන්ත්‍රණය කළ සේක.

’’ශාරීපුත්‍රය, භික්‍ෂු සංඝයා පහවූ නිදිබර ගතියෙන් යුක්තය.
ශාරීපුත්‍රය, භික්‍ෂූන්ට සුදුසු  ධර්‍ම කථාවක්  කිරීමට ඔබට වැටහේවා.
මාගේපිට රිදේ. ඒ නිසා මම නවතින්නෙමි.’’
’ස්වාමීනි, එසේය’ යි ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සඟල සිවුර සතරට නමා, දකුණු පාර්‍ශවයෙන් පාදයෙහි පය පිහිටුවා සිහියෙන්, මනා නුවණින් නැගිටින සංඥාව මෙනෙහි කොට සිංහසෙය්‍යාව කළ සේක.

§  3.  එකල්හි  ’’ඇවැත් භික්‍ෂූනි’’ යි ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ භික්‍ෂූන් ආමන්ත්‍රණය කළ සේක. ඒ භික්‍ෂූහු, ’’ඇවැත්නි’’ යි ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේට උත්තර දුන්හ.

ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ, ’’ඇවැත්නි, යම් කිසි කෙනෙකුට කුශල ධර්‍මයන්හි ශ්‍රද්‍ධාව නැද්ද, ලජ්ජාවක් නැද්ද, බියක් නැද්ද, වීර්‍ය්‍යයක් නැද්ද, ප්‍රඥාවක් නැද්ද, ඕහට යම් රාත්‍රියක් හෝ දවාලක් හෝ එයිද, කුශල ධර්‍මයන්හි හානියක්ම කැමති විය යුතුය. වැඩීමක් නොවේ.

 ඇවැත්නි, යම් සේ කළුවර පක්‍ෂයෙහි චන්‍ද්‍රයාගේ යම්රෑ දවාලක් එයිද, වර්‍ණයෙන් පිරිහෙයි. වටයෙන් පිරිහෙයි. Image result for reducing moonආලෝකයෙන් පිරිහෙයි. උස මහතින් පිරිහෙයි. ඇවැත්නි, එසේම කුශල ධර්‍මයන්හි යම් කිසිවෙකුට ශ්‍රද්‍ධාවක් නැද්ද, ලජ්ජාවක් නැද්ද, බියක් නැද්ද, වීර්‍ය්‍යයක් නැද්ද, ප්‍රඥාවක් නැද්ද, ඕහට යම් රාත්‍රියක් හෝ දවාලක් හෝ එයිද, කුශල ධර්‍මයන්හි හානියක්ම කැමති විය යුතුය. වැඩීමක් නොවේ.

§  4 . ’’ඇවැත්නි, අශ්‍රද්‍ධාවත් පුරුෂ පුද්ගලයාය යන මෙය පිරිහීමකි. ලජ්ජා නැති පුද්ගලයාය යන මෙය පිරිහීමකි. බිය නැති පුද්ගලයාය යන මෙය පිරිහීමකි. කම්මැලි, නුවණ නැති, ක්‍රොධ කරණ, බද්‍ධ වෛරය ඇති, ලාමක බලාපොරොත්තු ඇති, පාප මිත්‍රයන් ඇති, වැරදි දෘෂ්ඨි ඇති පුරුෂ පුද්ගලයාය යන මෙය පිරිහීමකි.

§  5 . ’’ඇවැත්නි, යම් කිසිවෙකුට කුශල ධර්මයන්හි ශ්‍රද්‍ධාවක් ඇත්ද, (පවට) ලජ්ජාවක් ඇත්ද, පවට බියක් ඇත්ද, වීර්‍ය්‍යයක්, ප්‍රඥාවක් ඇත්ද, ඔහුට යම් රාත්‍රියක් හෝ දවාලක් ඒද, කුශල ධර්මයන්හි අභිවෘද්‍ධියක්ම කැමති විය යුතුය. පිරිහීමක් නොවේ.

ඇවැත්නි, යම් සේ පුර පක්‍ෂයෙහි චන්‍ද්‍රයාගේ යම්රෑ දවාලක් ඒද වැඩේමය. පාටින් වැඩෙයි. වටයෙන් වැඩෙයි. ආලෝකයෙන් වැඩෙයි. උස මහතින් වැඩෙයි. ඇවැත්නි, එසේම යම් කිසිවෙකුට කුශල ධර්මයන්හි ශ්‍රද්‍ධාවක් ඇද්ද (පවට) ලජ්ජාවක් ඇද්ද, (පවට) බියක් ඇද්ද, වීර්‍ය්‍යයක් ප්‍රඥාවක් ඇද්ද, ඔහුට යම් රාත්‍රියක් හෝ දවාලක් එයිද, කුශල ධර්මයන්හි වැඩීමක්ම කැමති විය යුතුය. පිරිහිමක් නොවේ.

§  6 . ’’ඇවැත්නි, ශ්‍රද්‍ධාවත් පුරුෂ පුද්ගලයාය යන මෙය නොපිරිහීමකි. ලජ්ජා ඇති, බිය ඇති, පටන්ගත් වීර්‍ය්‍යය ඇති, නුවණ ඇති, ක්‍රොධ නොකරණ, බද්‍ධ වෛර නැති, වැඩි බලාපොරොත්තු නැති, යහපත් මිතුරන් ඇති, සම්‍යක් දෘෂ්ඨික පුරුෂයාය යන මෙය, ඇවැත්නි, නොපිරිහීමකි.’’

§  7 . ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ නැගිට ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේට ආමක්ත්‍රණය කළ සේක.

’’ශාරීපුත්‍රය, යහපත. ශාරීපුත්‍රය, යම් කිසි කෙනෙකුට කුශල ධර්‍මයන්හි ශ්‍රද්‍ධාව නැද්ද, ලජ්ජාවක් නැද්ද, බියක් නැද්ද, වීර්‍ය්‍යයක් නැද්ද, ප්‍රඥාවක් නැද්ද, ඕහට යම් රාත්‍රියක් හෝ දවාලක් හෝ එයිද, කුශල ධර්‍මයන්හි හානියක්ම කැමති විය යුතුය. වැඩීමක් නොවේ.

ශාරීපුත්‍රය, යම් සේ කළුවර පක්‍ෂයෙහි චන්‍ද්‍රයාගේ යම්රෑ දවාලක් එයිද, වර්‍ණයෙන් පිරිහෙයි. වටයෙන් පිරිහෙයි. ආලෝකයෙන් පිරිහෙයි. උස මහතින් පිරිහෙයි. ශාරීපුත්‍රය, එසේම කුශල ධර්‍මයන්හි යම් කිසිවෙකුට ශ්‍රද්‍ධාවක් නැද්ද, ලජ්ජාවක් නැද්ද, බියක් නැද්ද, වීර්‍ය්‍යයක් නැද්ද, ප්‍රඥාවක් නැද්ද, ඕහට යම් රාත්‍රියක් හෝ දවාලක් හෝ එයිද, කුශල ධර්‍මයන්හි හානියක්ම කැමති විය යුතුය. වැඩීමක් නොවේ.

’’ ශාරීපුත්‍රය, අශ්‍රද්‍ධාවත් පුරුෂ පුද්ගලයාය යන මෙය පිරිහීමකි. ලජ්ජා නැති පුද්ගලයාය යන මෙය පිරිහීමකි. බිය නැති පුද්ගලයාය යන මෙය පිරිහීමකි. කම්මැලි, නුවණ නැති, ක්‍රොධ කරණ, බද්‍ධ වෛරය ඇති, ලාමක බලාපොරොත්තු ඇති, පාප මිත්‍රයන් ඇති, වැරදි දෘෂ්ඨි ඇති පුරුෂ පුද්ගලයාය යන මෙය පිරිහීමකි.

’’ ශාරීපුත්‍රය, යම් කිසිවෙකුට කුශල ධර්මයන්හි ශ්‍රද්‍ධාවක් ඇත්ද, (පවට) ලජ්ජාවක් ඇත්ද, පවට බියක් ඇත්ද, වීර්‍ය්‍යයක්, ප්‍රඥාවක් ඇත්ද, ඔහුට යම් රාත්‍රියක් හෝ දවාලක් ඒද, කුශල ධර්මයන්හි අභිවෘද්‍ධියක්ම කැමති විය යුතුය. පිරිහීමක් නොවේ. ශාරීපුත්‍රය, යම් සේ පුර පක්‍ෂයෙහි චන්‍ද්‍රයාගේ යම්රෑ දවාලක් ඒද වැඩේමය. පාටින් වැඩෙයි. වටයෙන් වැඩෙයි. ආලෝකයෙන් වැඩෙයි. උස මහතින් වැඩෙයි. ශාරීපුත්‍රය, එසේම යම් කිසිවෙකුට කුශල ධර්මයන්හි ශ්‍රද්‍ධාවක් ඇද්ද (පවට) ලජ්ජාවක් ඇද්ද, (පවට) බියක් ඇද්ද, වීර්‍ය්‍යයක් ප්‍රඥාවක් ඇද්ද, ඔහුට යම් රාත්‍රියක් හෝ දවාලක් එයිද, කුශල ධර්මයන්හි වැඩීමක්ම කැමති විය යුතුය. පිරිහිමක් නොවේ.

’’ ශාරීපුත්‍රය, ශ්‍රද්‍ධාවත් පුරුෂ පුද්ගලයාය යන මෙය නොපිරිහීමකි. ලජ්ජා ඇති, බිය ඇති, පටන්ගත් වීර්‍ය්‍යය ඇති, නුවණ ඇති, ක්‍රොධ නොකරණ, බද්‍ධ වෛර නැති, වැඩි බලාපොරොත්තු නැති, යහපත් මිතුරන් ඇති, සම්‍යක් දෘෂ්ඨික පුරුෂයාය යන මෙය, ඇවැත්නි, නොපිරිහීමකි.’’

AN 10-07-08. පලසවන සූත්‍රය  නොහොත් දුතිය නළකපාන සුත්රය

§ 1.  එක් කාලයෙක්හි භාග්‍යවතුන් වහන්සේ කොසොල් රට චාරිකාවෙහි හැසිරෙන සේක් මහත් භික්‍ෂු සමූහයක් සමග නළපාන නම් කොසොල් රට වාසීන්ගේ නියම් ගම අසල , පලාස වනයෙහි වාසය කරණ සේක.

එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ පොහෝ දිනයෙහි භික්‍ෂු සංඝයා පිරිවරා වැඩ හුන්නේ වේ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ රාත්‍රියෙහි බොහෝ වේලාවක්ම භික්‍ෂූන් සමග ධාර්මික කථාවෙන් කරුණු දක්වා, පෙන්වා, සමාදන් කරවා, තෙදගන්වා, සතුටු කරවා, තුෂ්ණීම්භූතවූ භික්‍ෂු සංඝයා බලා ආයුෂ්මත් ශාරීපුත්‍රයන් වහන්සේට ආමන්ත්‍රණය කළ සේක.
’’ශාරීපුත්‍රය, භික්‍ෂු සංඝයා පහවූ නිදිබර ගතියෙන් යුක්තය. ශාරීපුත්‍රය, භික්‍ෂූන්ට ධර්‍ම කථාව කිරීමට ඒ ඔබට වැටහේවා. මාගේපිට රිදේ. ඒ නිසා මම නවතින්නෙමි.’’

’ස්වාමීනි, එසේය’ යි ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සඟල සිවුර සතරට නමා, දකුණු පාර්‍ශවයෙන් පාදයෙහි පය පිහිටුවා සිහියෙන්, මනා නුවණින් නැගිටින සංඥාව මෙනෙහි කොට සිංහසෙය්‍යාව කළ සේක.

එකල්හි වනාහි, ’’ඇවැත් භික්‍ෂූනි’’ යි ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ භික්‍ෂූන් ආමන්ත්‍රණය කළ සේක. ඇවැත්නි, යම් කිසිවෙකුට කුශල ධර්‍මයන්හි ශ්‍රද්‍ධාවක් නැත්තේද, පවට ලජ්ජාවක් නැත්තේද, බියක් නැත්තේද, වීර්‍ය්‍යයක්, ප්‍රඥාවක්, කන් යොමු කිරීමක්, බණ දැරීමක්, අර්ත්‍ථ සෙවීමක්, දහම් අනුව හැසිරීමක්, කුශල ධර්‍මයන්හි අප්‍රමාදයක් නැත්තේද, ඕහට යම් රාත්‍රියක් හෝ දවාලක් එයිද, කුශල ධර්‍මයන්හි හානියක්ම කිව යුතුය. වැඩීමක් කැමති නොවිය යුතුය.

’’ඇවැත්නි, කළුවර පක්‍ෂයෙහි චන්‍ද්‍රයාගේ යම් රාත්‍රියක් හෝ දවාලක් එයිද, පිරිහේ. එය පාටින් පිරිහෙයි. අවටින් පිරිහෙයි. ආලෝකයෙන් පිරිහෙයි. උස මහතින් පිරිහෙයි. ඇවැත්නි, එසේම යම් කිසිවෙකුට කුශල ධර්‍මයන්හි ශ්‍රද්‍ධාවක් නැද්ද, ලජ්ජාවක්, බියක්, වීර්‍ය්‍යයක්, ප්‍රඥාවක්, කන් යොමු කිරීමක්, බණ දැරීමක්, අර්ත්‍ථය පරීක්‍ෂා කිරීමක්, බණ අනුව පිළිපැදීමක්, කුශල ධර්‍මයන්හි නොපමාවක් නැත්තේද, ඔහුට යම් රාත්‍රියක් හෝ දවාලක් ඒද, කුශල ධර්‍මයන්හි පිරිහීමට කැමති විය යුතුය. වැඩීම නොවේ.

’’ඇවැත්නි, යම් කිසිවෙකුට කුශල ධර්මයන්හි ශ්‍රද්‍ධාවක් ඇත්තේද, පවට ලජ්ජාවක් ඇත්තේද. පවට බියක් ඇත්තේද, වීර්‍ය්‍යයක් ඇත්තේද, ප්‍රඥාවක්, කන් යොමු කිරීමක්, බණ දැරීමක්, අර්ත්‍ථ පරීක්‍ෂාවක්, ධර්මය අනුව පිළිපැදීමක්, කුශල ධර්‍මයන්හි අප්‍රමාදයක් ඇත්තේද, ඔහුට යම් රාත්‍රියක් හෝ දවාලක් එයිද, කුශල ධර්‍මයන්හි අභිවෘද්‍ධියක්ම කැමති විය යුතුය. පිරිහීමක් කැමති නොවිය යුතුය. ඇවැත්නි, පුර පක්‍ෂයෙහි චන්‍ද්‍රයාගේ යම් රාත්‍රියක් හෝ දවාලක් එයිද, පාටින් වැඩෙයි. අවටින් වැඩෙයි. ආලෝකයෙන් වැඩෙයි. උස මහතින් වැඩෙයි. ඇවැත්නි, එසේම යම් කිසිවෙකුට කුශල ධර්මයන්හි ශ්‍රද්‍ධාවක් ඇද්ද, (පවට) ලජ්ජාවක් ඇද්ද, (පවට) බියක් ඇද්ද, වීර්‍ය්‍යයක් ඇද්ද, ප්‍රඥාවක්, කන් යොමු කිරීමක්, බණ දැරීමක්, අර්ත්‍ථ සෙවීමක්, බණ අනුව පිළිපැදීමක් ඇද්ද, කුශල ධර්‍මයන්හි අප්‍රමාදයක් ඇද්ද, ඔහුට යම් රාත්‍රියක් හෝ දවාලක් එයිද, කුශල ධර්‍මයන්හි අභිවෘද්‍ධියක්ම කැමති විය යුතුය. පිරිහීමක් නොවේ.’’

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ නැගිට ආයුෂ්මත් ශාරීපුත්‍රයන් වහන්සේට ඇමතූ සේක. ’’ශාරීපුත්‍රය, යම් කිසිවෙකුට කුශල ධර්‍මයන්හි ශ්‍රද්‍ධාවක් නැත්තේද, පවට ලජ්ජාවක් නැත්තේද, බියක් නැත්තේද, වීර්‍ය්‍යයක්, ප්‍රඥාවක්, කන් යොමු කිරීමක්, බණ දැරීමක්, අර්ත්‍ථ සෙවීමක්, දහම් අනුව හැසිරීමක්, කුශල ධර්‍මයන්හි අප්‍රමාදයක් නැත්තේද, ඕහට යම් රාත්‍රියක් හෝ දවාලක් එයිද, කුශල ධර්‍මයන්හි හානියක්ම කිව යුතුය. වැඩීමක් කැමති නොවිය යුතුය.

’’ශාරීපුත්‍රය, කළුවර පක්‍ෂයෙහි චන්‍ද්‍රයාගේ යම් රාත්‍රියක් හෝ දවාලක් එයිද, පිරිහේ. එය පාටින් පිරිහෙයි. අවටින් පිරිහෙයි. ආලෝකයෙන් පිරිහෙයි. උස මහතින් පිරිහෙයි. ඇවැත්නි, එසේම යම් කිසිවෙකුට කුශල ධර්‍මයන්හි ශ්‍රද්‍ධාවක් නැද්ද, ලජ්ජාවක්, බියක්, වීර්‍ය්‍යයක්, ප්‍රඥාවක්, කන් යොමු කිරීමක්, බණ දැරීමක්, අර්ත්‍ථය පරීක්‍ෂා කිරීමක්, බණ අනුව පිළිපැදීමක්, කුශල ධර්‍මයන්හි නොපමාවක් නැත්තේද, ඔහුට යම් රාත්‍රියක් හෝ දවාලක් ඒද, කුශල ධර්‍මයන්හි පිරිහීමට කැමති විය යුතුය. වැඩීම නොවේ.

’’ශාරීපුත්‍රය , යම් කිසිවෙකුට කුශල ධර්මයන්හි ශ්‍රද්‍ධාවක් ඇත්තේද, පවට ලජ්ජාවක් ඇත්තේද. පවට බියක් ඇත්තේද, වීර්‍ය්‍යයක් ඇත්තේද, ප්‍රඥාවක්, කන් යොමු කිරීමක්, බණ දැරීමක්, අර්ත්‍ථ පරීක්‍ෂාවක්, ධර්මය අනුව පිළිපැදීමක්, කුශල ධර්‍මයන්හි අප්‍රමාදයක් ඇත්තේද, ඔහුට යම් රාත්‍රියක් හෝ දවාලක් එයිද, කුශල ධර්‍මයන්හි අභිවෘද්‍ධියක්ම කැමති විය යුතුය. පිරිහීමක් කැමති නොවිය යුතුය. ඇවැත්නි, පුර පක්‍ෂයෙහි චන්‍ද්‍රයාගේ යම් රාත්‍රියක් හෝ දවාලක් එයිද, පාටින් වැඩෙයි. අවටින් වැඩෙයි. ආලෝකයෙන් වැඩෙයි. උස මහතින් වැඩෙයි. ඇවැත්නි, එසේම යම් කිසිවෙකුට කුශල ධර්මයන්හි ශ්‍රද්‍ධාවක් ඇද්ද, (පවට) ලජ්ජාවක් ඇද්ද, (පවට) බියක් ඇද්ද, වීර්‍ය්‍යයක් ඇද්ද, ප්‍රඥාවක්, කන් යොමු කිරීමක්, බණ දැරීමක්, අර්ත්‍ථ සෙවීමක්, බණ අනුව පිළිපැදීමක් ඇද්ද, කුශල ධර්‍මයන්හි අප්‍රමාදයක් ඇද්ද, ඔහුට යම් රාත්‍රියක් හෝ දවාලක් එයිද, කුශල ධර්‍මයන්හි අභිවෘද්‍ධියක්ම කැමති විය යුතුය. පිරිහීමක් නොවේ.’’

AN 10-07-09 පඨම කථාවත්ථු සුත්‍රය නොහොත්  දස කථාවත්‍ථු සූත්‍රය

§1.  එක් කාලයක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර අසල අනේපිඬු මහ සිටානන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එකල්හි වනාහි බොහෝ භික්‍ෂූහු පසුබත පිණ්ඩපාතයෙන් වැළැක්කාහු, උපස්ථාන ශාලාවෙහි හුන්නාහු, රැස්වූවාහු, නන්වැදෑරුම් තිරිසන් කථාවෙන් යෙදී වාසය කරත්. ඒ කෙසේද, රජුන් පිළිබඳ කථා, සොරුන් පිළිබඳ කථා, මහාමාත්‍යයන් පිළිබඳ කථා, සේනාවන් පිළිබඳ කථා, බියවීම පිළිබඳ කථා, යුද්‍ධ පිළිබඳ කථා, ආහාර පිළිබඳ කථා, පානය පිළිබඳ කථා, වස්ත්‍ර පිළිබඳ කථා, නිදීම පිළිබඳ කථා, මල් පිළිබඳ කථා, ගඳ සුවඳ පිළිබඳ කථා, ඤාතීන් පිළිබඳ කථා, යානා පිළිබඳ කථා, ගම් පිළිබඳ කථා, නියම් ගම් පිළිබඳ කථා, නුවර පිළිබඳ කථා, දනවු පිළිබඳ කථා, ස්ත්‍රීන් පිළිබඳ කථා, සූරකම් පිළිබඳ කථා, මාර්‍ග පිළිබඳ කථා, වතුර ගෙන යන තැන් පිළිබඳ කථා, පූර්‍ව ප්‍රෙතයන් පිළිබඳ කථා, නොයෙක් ආකාර ඇති කථා, ලෝකයේ අග මුල ගැන කථා, භවයෙන් භවය පිළිබඳ කථා, යන මෙසේයි.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සවස් කාලයෙහි ඵල සමවතින් නැගී සිටි සේක්, උපස්ථාන ශාලාව යම් තැනෙක්හිද, එහි වැඩි සේක. වැඩ, පැනවූ අස්නෙහි වැඩ සිටි සේක. භාග්‍යවතුන් වහන්සේ වැඩ සිට, ’’මහණෙනි, දැන් කවර කථාවකින් යුක්තව සිටියාහුද, තොප විසින් කවර කථාවක් කොට නතර කරණ ලද්දීදැ’’ යි භික්‍ෂූන් ඇමතූ සේක.

’’ෂ්වාමීනි, මෙහි අපි බතින් පසු පිණ්ඩපාතයෙන් වැළැක්කාහු, උපස්ථාන ශාලාවෙහි හුන්නාහු, රැස්වූවාහු, නානාප්‍රකාර තිරිසන් කථාවෙන් යුක්තවූවාහු වසමු. ඒ කවරේද? රජුන් පිළිබඳ කථා, සොරුන් පිළිබඳ කථා, මහාමාත්‍යයන් පිළිබඳ කථා, සේනාවන් පිළිබඳ කථා, බියවීම පිළිබඳ කථා, යුද්‍ධ පිළිබඳ කථා, ආහාර පිළිබඳ කථා, පානය පිළිබඳ කථා, වස්ත්‍ර පිළිබඳ කථා, නිදීම පිළිබඳ කථා, මල් පිළිබඳ කථා, ගඳ සුවඳ පිළිබඳ කථා, ඤාතීන් පිළිබඳ කථා, යානා පිළිබඳ කථා, ගම් පිළිබඳ කථා, නියම් ගම් පිළිබඳ කථා, නුවර පිළිබඳ කථා, දනවු පිළිබඳ කථා, ස්ත්‍රීන් පිළිබඳ කථා, සූරකම් පිළිබඳ කථා, මාර්‍ග පිළිබඳ කථා, වතුර ගෙන යන තැන් පිළිබඳ කථා, පූර්‍ව ප්‍රෙතයන් පිළිබඳ කථා, නොයෙක් ආකාර ඇති කථා, ලෝකයේ අග මුල ගැන කථා, භවයෙන් භවය පිළිබඳ කථා, යන මෙසේයයි කියායි.

’’මහණෙනි, ශ්‍රද්‍ධාවෙන් ගිහිගෙයින් නික්ම, අනගාරිය නම් ශාසනයෙහි පැවිදිවූ යම් බඳුවූ තෙපි රජුන් පිළිබඳ කථා, සොරුන් පිළිබඳ කථා, මහාමාත්‍යයන් පිළිබඳ කථා, සේනාවන් පිළිබඳ කථා, බියවීම පිළිබඳ කථා, යුද්‍ධ පිළිබඳ කථා, ආහාර පිළිබඳ කථා, පානය පිළිබඳ කථා, වස්ත්‍ර පිළිබඳ කථා, නිදීම පිළිබඳ කථා, මල් පිළිබඳ කථා, ගඳ සුවඳ පිළිබඳ කථා, ඤාතීන් පිළිබඳ කථා, යානා පිළිබඳ කථා, ගම් පිළිබඳ කථා, නියම් ගම් පිළිබඳ කථා, නුවර පිළිබඳ කථා, දනවු පිළිබඳ කථා, ස්ත්‍රීන් පිළිබඳ කථා, සූරකම් පිළිබඳ කථා, මාර්‍ග පිළිබඳ කථා, වතුර ගෙන යන තැන් පිළිබඳ කථා, පූර්‍ව ප්‍රෙතයන් පිළිබඳ කථා, නොයෙක් ආකාර ඇති කථා, ලෝකයේ අග මුල ගැන කථා, භවයෙන් භවය පිළිබඳ කථා, යන නානාප්‍රකාර කථාවෙන් යුක්තව වාසය කරව්ද, මෙය තොපට නුසුදුසුය.

’’මහණෙනි, මේ කථා වස්තු දසයක් වෙත්. කවර දසයක්ද යත්, ආශා අඩු කථාය, ලද දෙයින් සතුටුවන කථාය, විවේක පිළිබඳ කථාය, නොඇලීම පිළිබඳ කථාය, වීර්‍ය්‍යය පටන් ගැනීම පිළිබඳ කථාය, ශීලය පිළිබඳ කථාය, සිත එකඟ කිරීම පිළිබඳ කථාය, ප්‍රඥාව පිළිබඳ කථාය, කෙලෙසුන්ගෙන් මිදීම පිළිබඳ කථාය, ප්‍රත්‍යවෙක්‍ෂා ඤාණ පිළිබඳ කථාය. මහණෙනි, මේ දස කථා වස්තූහු වෙත්. මහණෙනි, තෙපි මේ දස කථා වස්තු ගනිමින්ම කථා කියව්. මෙසේ මහත් ඎද්‍ධි ඇති, මහත් ආනුභාව ඇති, මේ චන්‍ද්‍ර සූර්‍ය්‍යයන්ගේ තම තෙදින් ඒ තෙද යට කරව්. අන්‍ය තීර්ත්‍ථක ශ්‍රමණ බ්‍රාහ්මණයන් ගැන කියනුම කවරේද?’’

AN 10-07- 10. දුතිය කථාවත්ථු සූත්‍රය
නොහොත් 
. පාසංසඨාන සූත්‍රය

§ 1 . ’’මහණෙනි, ප්‍රශංසා කටයුතු මේ ස්ථාන දශයක් වෙති. කවර දශයක්ද යත්?

  • මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම තමාද අල්පෙච්ඡ වෙයි. භික්‍ෂූන්ටද අල්පෙච්ඡ කථාව කරන්නේ වෙයි. අල්පෙච්ඡ භික්‍ෂුව භික්‍ෂූන්ට අල්පෙච්ඡ කථාවද කරන්නේ වේද, මේ කාරණය ප්‍රශංසාවට සුදුසුය. 
  • ’’තමාද ලද දෙයින් සතුටු වේ. භික්‍ෂූන්ට සතුට පිළිබඳ කථා කරන්නේ වේ. සතුටු භික්‍ෂුව සතුට පිළිබඳ කථා කරන්නේ වේද, මේ කාරණය ප්‍රශංසාවට සුදුසුය.
  • ’’තමාද විවේකයට ගියේ වේ. භික්‍ෂූන්ට විවේක කථාව කියයි. විවේකයට ගිය මහණතෙම භික්‍ෂූන්ට විවේක කථාව කරන්නේ වේද, මේ කාරණය ප්‍රශංසාවට සුදුසුය.
  • ’’තමා නොගැටුනේ වේ. භික්‍ෂූන්ට නොගැටීමේ කථා කියන්නේ වේ. නොගැටුණු මහණ භික්‍ෂූන්ට නොගැටීමේ කථාව කියයිද, මේ කාරණය ප්‍රශංසාවට සුදුසුය.
  • ’’තෙමේ පටන්ගන්නාලද වීර්‍ය්‍ය ඇත්තේ වේ. භික්‍ෂූන්ට වීර්‍ය්‍යකිරීම පිළිබඳ කථාව කියන්නේ වේ. පටන්ගන්නාලද වීර්‍ය්‍ය ඇති මහණ තෙම භික්‍ෂූන්ට වීර්‍ය්‍යය පිළිබඳ කථා කියන්නේ වේද, මේ කාරණය ප්‍රශංසාවට සුදුසුය. 
  • ’’තමාද ශීලයෙන් යුක්ත වේ. භික්‍ෂූන්ට සීල සම්පත්ති කථාව කියන්නේ වේ. ශීලයෙන් යුත් මහණතෙම භික්‍ෂූන්ට ශීල සම්පත්ති කථාව කියයිද මේ කාරණය ප්‍රශංසාවට සුදුසුය. 
  • ’’තමාද සිත එකඟ කිරීමෙන් යුක්තවූයේ වේ. භික්‍ෂූන්ට සිත එකඟකිරීමේ කථා කියන්නේ වේ. සිත එකඟ කිරීමෙන් යුක්ත මහණතෙම භික්‍ෂූන්ට සිත එකඟ කිරීමෙහි කථා කරන්නේ වේද, මේ කාරණය ප්‍රශංසාවට සුදුසුය. 
  • ’’තමාද ප්‍රඥාවත් වේ. භික්‍ෂූන්ට ප්‍රඥා සම්පත්තියෙහි කථා කියන්නේ වේ. ප්‍රඥාවත් මහණතෙම භික්‍ෂූන්ට ප්‍රඥා සම්පත්තියෙහි කථා කියන්නේ වේද, මේ කාරණය ප්‍රශංසාවට සුදුසුය. 
  • ’’තමාද කෙළෙසුන් මිදීමෙන් යුක්තවූයේවේ. භික්‍ෂූන්ට කෙළෙසුන්ගෙන් මිදීමෙහි කථා කියන්නේ වේ. මිදීමෙන් යුත් මහණතෙම භික්‍ෂූන්ට මිදීමෙහි කථා කියයිද, මේ කාරණය ප්‍රශංසාවට සුදුසුය. 
  • ’’තමාද ප්‍රත්‍යවෙක්‍ෂා ඤාණයෙන් යුක්තවූයේ වේ. භික්‍ෂූන්ට ප්‍රත්‍යවෙක්‍ෂා ඤාණ පිළිබඳ කථා කරන්නේ වේ. ප්‍රත්‍යවෙක්‍ෂා ඤාණයෙන් යුත් මහණ තෙම ප්‍රත්‍යවෙක්‍ෂා ඤාණ පිළිබඳ කථා කියයිද, මේ කාරණය ප්‍රශංසාවට සුදුසුය.

මහණෙනි, මේ දශය ප්‍රශංසා කටයුතු කාරණයෝය.’’

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.