SN 04-03-01 මාතුගාම වර්ගය
§SN04-03-01-01 මාතුගාම සූත්‍රය
§[1] මා විසින් මෙසේ අසන ලදී.
එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරනසේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
§[2] “මහණෙනි, කරුණු පසකින් යුක්තවූ ස්ත්‍රියක් පුරුෂයාට ප්‍රිය නොවේ.
කවර කරුණු පසකින්දයත්,
- රූමත් නොවේද?
- ධනවත් නොවේද?
- සිල්වත් නොවේද?
- අලස වෙයිද?
- දරුවන් නොලබයිද?
මහණෙනි, මේ කරුණු පසින් යුක්තවූ ස්ත්‍රිය පුරුෂයාට ඒකාන්තයෙන් ප්‍රිය නොවේ. .
§[3] “මහණෙනි, කරුණු පසකින් යුක්තවූ ස්ත්‍රිය පුරුෂයාට ඒකාන්තයෙන් ප්‍රිය වේ.
කවර පසකින්ද යත්
රූමත් වේද, ධනවත් වේද, සිල්වත් වේද, අලස නොවූයේ දක්ෂ වේද, දරුවන් ලබයිද, මහණෙනි, මේ අඩ්ග පසින් යුක්තවූ ස්ත්‍රිය පුරුෂයාට ඒකාන්තයෙන් මනාප වේ.
§SN04-03-01-02. පුරිස සූත්‍රය
§[1] මා විසින් මෙසේ අසන ලදී.
එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරනසේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
“මහණෙනි, කරුණු පසකින් යුක්තවූ පුරුෂයා ස්ත්‍රියට අප්‍රිය වේ.
කවර පසකින්දයත්,
- රූමත් නොවේද,
- ධනවත් නොවේද,
- දුස්සීලද,
- අලසද,
- දරුවන් නොලබාද,
මහණෙනි, මේ කරුණු පසින් යුක්තවූ පුරුෂයා ස්ත්‍රියට ඒකාන්තයෙන් අප්‍රිය වේ. අමනාප වේ.
“මහණෙනි කරුණු පසකින් යුක්තවූ පුරුෂයා ස්ත්‍රියට ඒකාන්තයෙන් ප්‍රිය වේ. කවර පසකින්ද යත්, රූමත් වේද, ධනවත් වේද, සිල්වත් වේද, අලස නොවූයේ දක්ෂවේද, දරුවන් ලබාද, මහණෙනි, මේ කරුණු පසින් යුක්තවූ පුරුෂතෙම ස්ත්‍රියට ඒකාන්තයෙන් මනාප වේ.
§SN04-03-01-03. ආවේණික සූත්‍ර සූත්‍රය
§[1] මා විසින් මෙසේ අසන ලදී.
එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරනසේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
§ [2] “මහණෙනි,
පුරුෂයන් කිසිදා නොවිඳින්නාවූ ස්ත්‍රිය පමණක්ම විඳින්නාවූ දුක් පසක් වෙයි.
කවර පසක්ද යත්,
- මහණෙනි, මේ ලෝකයෙහි ස්ත්‍රිය ළාබාල කාලයෙහිම විවාහ කර දෙයි. ඒ නිසා සිය මා පියන්ගෙන් හා නෑයින්ගෙන් වෙන් වෙයි. මහණෙනි, ස්ත්‍රියටම පමණක් උරුමවන්නාවූ මේ පළමුවැනි දුක ස්ත්‍රිය විඳියි.
- “තවද මහණෙනි, ස්ත්‍රිය ඍතු දෝෂයට මාස් පතා ලක් වෙයි. ඒ නිසා බොහෝ කායික වේදනා විඳියි. මහණෙනි, මේ ස්ත්‍රියටම සාධාරණවූ දෙවෙනි දුක පුරුෂයන් හැර ස්ත්රියම විඳියි.
- තවද, මහණෙනි, ස්ත්‍රිය ගර්භනී වෙයි. මහණෙනි, මේ ස්ත්‍රියටම සාධාරණවූ තුන් වැනි දුක පුරුෂයන් හැර ස්ත්රියම විඳියි.
- තවද මහණෙනි, ස්ත්‍රිය දරුවන් වදයි. මහණෙනි, මේ ස්ත්‍රියටම සාධාරණවූ සතරවැනි දුක පුරුෂයන් හැර ස්ත්රියම විඳියි.
- තවද මහණෙනි, ස්ත්‍රිය පුරුෂයාට උපස්ථාන කරන්නියක් බවට පැමිණෙයි. මහණෙනි, මේ ස්ත්‍රියටම සාධාරණවූ පස්වැනි දුක පුරුෂයන් හැර ස්ත්රියම අනුභව කරයි.”
§SN04-03-01-04. තීහිධම්මෙහි සූත්‍රය
§[1] මා විසින් මෙසේ අසන ලදී.
එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරනසේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
§ [2] “මහණෙනි, කරුණු තුනකින් යුක්තවූ ස්ත්‍රිය බොහෝ සෙයින් කය බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ නපුරු ගති ඇති විසමව වැටෙන නිරයෙහි උපදියි.
කවර තුනකින්ද යත්,
- මහණෙනි, මේ ලෝකයෙහි ස්ත්‍රිය පෙරවරු කාලයෙහි මසුරු මළින් යුත් සිතින් ගෙයි වාසයකරයිද
- මැදි දවල් කාලයෙහි ඊර්ෂ්‍යාවෙන් යුත් සිතින් ගෙයි වාසය කරයිද,
- සවස් කාලයෙහි කාම රාගයෙන් යුත් සිතින් ගෙයි වාසය කරයිද,
මේ අඩ්ග තුනින් යුක්තවූ ස්ත්‍රිය බොහෝ සෙයින් කය බිඳීමෙන් මරණින් මතු සැපයෙන් තොර, දුර්ගතිවූ විසමව පතිතවන නිරයේ උපදී”.
§SN04-03-01-05- කෝධන සූත්‍රය
§[1] මා විසින් මෙසේ අසන ලදී.
එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර අසල අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක.
§[2] එකල්හි ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එක් පසෙක හුන්නේය. එක් පසෙක හුන් ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරතෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීයේය.
§[3] “ස්වාමීනි, මම පිරිසිදුවූ මිනිස් ඇස ඉක්මවූ දිවැ’සින් මේ ලෝකයෙහි ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සැපයෙන් තොර නපුරු ගති ඇති, විසමව වැටෙන නරකයෙහි උපදින ස්ත්‍රියක් දකිමි.
“ස්වාමීනි, කෙතෙක් ධර්මයන්ගෙන් යුක්තවූ ස්ත්‍රිය ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ නපුරු ගති ඇති විසමව පතිතවන නිරයෙහි උපදින්නේද”?
§ [4] “අනුරුද්ධය, කරුණු පසකින් යුක්තවූ ස්ත්‍රිය ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ නපුරු ගති ඇති විසමව පතිතවන නිරයෙහි උපදී.
කවර පසකින්ද යත්,
- ශ්‍රද්ධාව නැත්තියක් වේද,
- ලජ්ජා නැත්තියක් වේද,
- භය නැත්තියක් වේද,
- ක්‍රොධ කරන්නියක් වේද,
- නුවණ නැත්තියක් වේද,
අනුරුද්ධය මේ ධර්ම පසින් යුක්තවූ නපුරු ගති ඇති ස්ත්‍රිය කය බිඳීමෙන් මරණින් මතු සැප නැති, විසමව වැටෙන නිරයේ උපදී.”
§SN04-03-01-06- . උපනාහී සූත්‍රය
§[1] මා විසින් මෙසේ අසන ලදී.
එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරනසේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
§ [2] “මහණෙනි, ධර්ම පසකින් යුක්තවූ ස්ත්‍රිය ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ නපුරු ගති ඇති විසමව පතිතවන නරකයෙහි උපදී.
කවර කරුණු පසකින්දයත්, ශ්‍රද්ධා නැත්තියක් වේද, ලජ්ජා නැත්තියක් වේද, භය නැත්තියක් වේද, බද්ධවෛර ඇත්තියක් වේද, නුවණ නැත්තියක් වේද, මහණෙනි, මේ ධර්ම පසින් යුක්තවූ ස්ත්‍රිය කය බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ, නපුරු ගති ඇති විසමව පතිතවන නිරයෙහි උපදී.”
§SN04-03-01-07. ඉස්සුකී සූත්‍රය
§[1] “මහණෙනි, ධර්ම පසකින් යුක්තවූ ස්ත්‍රිය කය බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ නපුරු ගති ඇති විසමව පතිතවන නිරයෙහි උපදී.
කවර පසකින්ද යත්,
ශ්‍රද්ධා නැත්තියක් වේද, ලජ්ජා නැත්තියක් වේද, භය නැත්තියක් වේද, ඊර්ෂ්‍යා ඇත්තියක් වේද, නුවණ නැත්තියක් වේද, මහණෙනි, මේ ධර්ම පසකින් යුක්තවූ ස්ත්‍රිය ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ නපුරු ගති ඇති විසමව පතිතවන නිරයෙහි උපදියි.”
§SN04-03-01-08- මච්ඡෙර සූත්‍රය
§[1] “මහණෙනි, ධර්ම පසකින් යුක්තවූ ස්ත්‍රිය ශරීරය බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ නපුරු ගති ඇති විසමව පතිතවන නිරයෙහි උපදියි.
කවර කරුණු පසකින්ද යත්,
ශ්‍රද්ධා නැත්තියක් වේද, ලජ්ජා නැත්තියක් වේද, භය නැත්තියක් වේද, මසුරු වේද, නුවණ නැත්තියක් වේද, මහණෙනි, මේ කරුණු පසින් යුක්තවූ ස්ත්‍රිය ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ නපුරු ගති ඇති විසමව පතිතවන නිරයෙහි උපදියි.”
§SN04-03-01-09- අතිචාරී සූත්‍රය
“මහණෙනි,
ධර්ම පසකින් යුක්තවූ ස්ත්‍රිය ශරීරය බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ නපුරු ගති ඇති විසමව පතිතවන නිරයෙහි උපදියි.
කවර කරුණු පසකින්ද යත්, ශ්‍රද්ධා නැත්තියක් වේද, ලජ්ජා නැත්තියක් වේද, භය නැත්තියක් වේද, ස්වාමියා ඉක්මවා හැසිරෙන්නියක් වේද, නුවණැත්තියක් වේද, මහණෙනි, මේ කරුණු පසින් යුක්තවූ ස්ත්‍රිය ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ නපුරු ගති ඇති විසමව පතිතවන නිරයෙහි උපදියි.”
§SN04-03-01-10. දුස්සීල සූත්‍රය
“මහණෙනි,
ධර්ම පසකින් යුක්තවූ ස්ත්‍රිය ශරීරය බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ නපුරු ගති ඇති විසමව පතිතවන නිරයෙහි උපදියි. කවර කරුණු පසකින්ද යත්, ශ්‍රද්ධා නැත්තියක් වේද, ලජ්ජා නැත්තියක් වේද, භය නැත්තියක් වේද දුස්සීල වේද, නුවණ නැත්තියක් වේද මහණෙනි, මේ කරුණු පසින් යුක්තවූ ස්ත්‍රිය ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ නපුරු ගති ඇති විසමව පතිතවන නිරයෙහි උපදියි.”
§SN04-03-01-11. අප්පස්සුත සූත්‍රය
“මහණෙනි,
ධර්ම පසකින් යුක්තවූ ස්ත්‍රිය ශරීරය බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ නපුරු ගති ඇති විසමව පතිතවන නිරයෙහි උපදියි. කවර කරුණු පසකින්ද යත් ශ්‍රද්ධා නැත්තියක් වේද, ලජ්ජා නැත්තියක් වේද, භය නැත්තියක් වේද, බොහෝ ඇසූ පිරූ තැන් නැත්තියක් වේද, නුවණ නැත්තියක් වේද, මහණෙනි, මේ කරුණු පසින් යුක්තවූ ස්ත්‍රිය ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ නපුරු ගති ඇති විසමව පතිතවන නිරයෙහි උපදියි.”
§SN04-03-01-12. කුසීත සූත්‍රය
“මහණෙනි,
ධර්ම පසකින් යුක්තවූ ස්ත්‍රිය ශරීරය බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ නපුරු ගති ඇති විසමව පතිතවන නිරයෙහි උපදියි.
කවර කරුණු පසකින්දයත්, ශ්‍රද්ධා නැත්තියක් වේද, ලජ්ජා නැත්තියක් වේද, භය නැත්තියක්වේද, කුසීතවේද, නුවණ නැත්තියක්වේද, මහණෙනි, මේ කරුණු පසින් යුක්තවූ ස්ත්‍රිය ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ නපුරු ගති ඇති විසමව පතිතවන නිරයෙහි උපදියි.”
§SN04-03-01-13- මුට්ඨස්සති සූත්‍රය
“මහණෙනි,
ධර්ම පසකින් යුක්තවූ ස්ත්‍රිය ශරීරය බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ නපුරු ගති ඇති විසමව පතිතවන නිරයෙහි උපදියි.
කවර කරුණු පසකින්දයත්,
- ශ්‍රද්ධා නැත්තියක් වේද,
- ලජ්ජා නැත්තියක් වේද,
- භය නැත්තියක්වේද,
- සිහි මුළාවූ නැත්තියක් වේද,
- නුවණ නැත්තියක් වේද,
මහණෙනි, මේ කරුණු පසින් යුක්තවූ ස්ත්‍රිය ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ නපුරු ගති ඇති විසමව පතිතවන නිරයෙහි උපදියි.”
§SN04-03-01-14. පඤ්චවේර සූත්‍රය
“මහණෙනි,
ධර්ම පසකින් යුක්තවූ ස්ත්‍රිය ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සැපයෙන් තොරවූ නපුරු ගති ඇති විසමව වැටෙන නිරයෙහි උපදී.
කවර කරුණු පසකින්ද යත්,
- සතුන් මරන්නියක් වේද,
- නුදුන් දෙය ගන්නියක් වේද,
- කාමයන්හි වරදවා හැසිරෙන්නියක් වේද,
- බොරු කියන්නියක් වේද,
- මදයට හා ප්‍රමාදයට හේතුවූ රහමෙර පානය කරන්නියක් වේද,
මහණෙනි, මේ ධර්ම පසින් යුක්තවූ ස්ත්‍රිය ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සැපයෙන් තොර නපුරු ගති ඇති විසමව වැටෙන නිරයෙහි උපදී.