DN -03-01-පාඨික සූත්‍රය

සුනක්ඛත්ත වස්තුව

§1. මා විසින් මෙසේ අසනලදී.
එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ මල්ලරට අනුපිය නම්වූ මල්ලරජුන්ගේ නියම් ගමක වැඩවාසය කළෝය.

එකල භාග්‍යවතුන් වහන්සේ පෙරවරු කාලයෙහි සිවුරු හැඳපොරවා ගෙන පාත්‍රයද රැගෙන  ගමට පිඩු පිණිස පැමිණියෝය. එකල භාග්‍යවතුන්වහන්සේට මෙබඳු සිතෙක් පහළවිය, පිඩු පිණිස යාම සඳහා තවකල් වැඩිය. (එබැවින්) මම භාර්ගවගොත්‍ර පිරිවැජියාගේ ආරාමයට ගොස්  භාර්ගවගොත්‍ර පිරිවැජියා  හමුවී  නම් ඉතා යෙහෙකැයි’සිතීය.
භාග්‍යවතුන්වහන්සේ වඩිනවා දුටු භාර්ගවගොත්‍ර පිරිවැජියා භාග්‍යවතුන්වහන්සේට මෙසේ කීය. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, මෙහි පැමිණෙත්වා, ස්වාමීනි, භාග්‍යවතුන්වහන්සේගේ පැමිණීම යහපත් වන්නේය. ස්වාමීනි, භාග්‍යවතුන්වහන්සේ බොහෝ කලකින් මෙහි පැමිණියාහුය. ස්වාමීනි භාග්‍යවතුන්වහන්ස, මේ ආසනය පනවන ලද්දේය, මෙහි වැඩහිඳිනු මැනවැයි පිරිවැජි තෙමේ තමාගේ ආසනය පනවා දුන්නේය. භාග්‍යවතුන් වහන්සේ එහි වැඩහුන්නෝය. (එසේ වැඩහුන්කල) භාර්ගවගොත්‍ර පිරිවැජියාද එක්තරා මිටි ආසනයක් ගෙන එක් පැත්තක හුන්නේය.
එක පැත්තක හුන්නාවූ භාර්ගවගොත්‍ර පිරිවැජි  භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය. “ස්වාමීනි, පසුගිය දවසෙක වනාහි සුනක්ඛත්ත නම් ලිච්ඡවිපුත්‍රයා  මා හමුවීමට පැමිණ ඔහු ඔබ වහන්සේගේ සාසනයෙන් ඉවත් වූ බට කීයේය. ස්වාමින්වහන්සේ එසේ ඔහු සාසනයෙන් ඉවත්වීමට කාරණය කීමක් වීදැයි ඇසීය.
‘භාර්ගවය, මේ කාරණය සුනක්ඛත්ත ලිච්ඡවි පුත්‍රයා යම්සේ කීයේද එසේ වූයේය.
භාර්ගවය, පසුගිය දවසෙක වනාහි සුනක්ඛත්ත ලිච්ඡවි පුත්‍රයා මම යම් තැනෙක්හිද එහි පැමිණියේය. පැමිණ මට වැඳ එකපැත්තක හුන්නේය.
භාර්ගවය, එකත්පසෙක හුන්නාවූ සුනක්ඛත්ත ලිච්ඡවි පුත්‍රතෙමේ මට මෙසේ කීය.
“ස්වාමීන් වහන්ස, දැන් මම භාග්‍යවතුන් වහන්සේ අත් හැර දමමි. ස්වාමීන් වහන්ස, මම භාග්‍යවතුන් වහන්සේ උදෙසා වාසය නොකරන්නෙමියි” කීය.
භාර්ගවය, සුනක්ඛත්ත ලිච්ඡවි පුත්‍රයා මෙසේ කී කල්හි මම සුනක්ඛත්ත ලිච්ඡවි පුත්‍රයාට මෙසේ කීමි.
“කිමෙක්ද, සුනක්ඛත්තය මම තාහට මාගේ ශ්‍රාවකයෙක්ව වාසය කරවයි කීයෙම්ද?”
“ස්වාමීන් වහන්ස, එබඳු කීමක් නැතැයි” කීය, “තෝ වනාහි මට “ස්වාමීන් වහන්ස, මම භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෙක්ව වාසය කරන්නෙමි”යි කීයෙහිද?
“ස්වාමීන් වහන්ස, එබන්දක් නොකීමී”යි කීය.
සුනක්ඛත්තය, මෙසේ මම තාහට “එව තෝ මාගේ ශ්‍රාවකයෙක්ව වාසයකරව”යි නොකීයෙම් නම්, තෝද “ස්වාමීන් වහන්ස, මම භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෙක්ව වාසය කරන්නෙමි”යි මට නොකීයෙහි නම්, හිස් පුරුෂය, කවරෙක් කවරෙකු ඉවත් කරන්නේදැයි ඇසීමි. හිස් පුරුෂය, තාගේ මේ අපරාධය කොතරම් මහත්ද කියා බලවය”යි කීමි.
ඉන් පසු හෙතෙම ‘ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් තෙමේ මා හට මනුෂ්‍ය ධර්මයට වඩා උසස් ධර්මයෙන් ඍද්ධි දැක්වීම නොකරන්නේයයි” කීය.
“කිමෙක්ද? සුනක්ඛත්තය, මම තා හට “සුනක්ඛත්තය, එව තෝ මාගේ ශ්‍රාවකභාවයට පැමිණ වාසය කරව මම තාහට මනුෂ්‍ය ධර්මයට වඩා උසස් ධර්මයෙන් ඍද්ධි දැක්වීම කරන්නෙමි”යි කීයෙම්දැයි ඇසීමි.
“ස්වාමීන් වහන්ස, එසේ නොකීවේයයි කීය.
තෝද මට “ස්වාමීනි මම භාග්‍යවතුන්වහන්සේගේ ශ්‍රාවකයෙක්ව වාසය කරමි භාග්‍යවතුන් වහන්සේ මට මනුෂ්‍ය ධර්මයට වඩා උතුම් ධර්මයෙන් ඍද්ධි දැක්වීම කරන්නේයයි කීයෙහිදැ”යි ඇසීමි. එසේ නොකීයෙමි යයි කීය.

“සුනක්ඛත්තය, තෝ වනාහි මාගේ ශ්‍රාවක භාවයට පැමිණ වාසය කරව, මම තා හට මනුෂ්‍ය ධර්මයට වඩා උසස් ධර්මයෙන් ඍද්ධි දැක්වීම කරන්නෙමි”යි මෙසේ මම තා හට නොකීයෙම් නම් තෝ ද මා හට “ස්වාමීන් වහන්ස, මම භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක භාවයට පැමිණ වාසය කරන්නෙමි. භාග්‍යවතුන් වහන්සේ මාහට මනුෂ්‍ය ධර්මයට වඩා උසස් ධර්මයෙන් ඍද්ධි දැක්වීමක් කරන්නේය”යි නොකීයෙහි නම්, හිස් පුරුෂය, මෙසේ ඇති කල්හි කවරෙක් කවරෙකු ඉවත් කරන්නේදැයි ඇසීමි. සුනක්ඛත්තය, තෝ කුමක් සිතන්නෙහිද? මනුෂ්‍ය ධර්මයට වඩා උසස් ධර්මයෙන් ඍද්ධි දැක්වීමක් කළ කල්හි හෝ මනුෂ්‍ය ධර්මයට වඩා උසස් ධර්මයෙන් ඍද්ධි දැක්වීමක් නොකළ කල්හි හෝ යම් දුක් නැතිකිරීමක් පිණිස මා විසින් ධර්මය දෙශනා කරන ලද්දේද, ඒ ධර්මය තෙමේ ඊට අනුව පිළිපදින පුද්ගලයාගේ සසර දුක් නැසීම පිණිස පවත්නේදැයි ඇසීමි.”
ස්වාමීන් වහන්ස, මනුෂ්‍ය ධර්මයට වඩා උසස් ධර්මයෙන් ඍද්ධි දැක්වීමක් කළ කල්හි හෝ නොකළ කල්හි හෝ යම් දුක් නැතිකිරීමක් සඳහා භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්මය දෙශනා කරන ලද්දේද ඒ ධර්මය තෙමේ ඊට අනුව පිළිපදින පුද්ගලයාගේ සසර දුක් නැසීම පිණිස පවත්නේයයි කීය. මෙසේ සුනක්ඛත්තය මනුෂ්‍ය ධර්මයට වඩා උසස් ධර්මයෙන් ඍද්ධිදැක්වීම කළ කල්හි හෝ නොකළ කල්හි හෝ යම් දුක්නැති කිරීමක්සඳහා මා විසින් ධර්මය දෙශනා කරන ලද්දේද ඒ ධර්මය තෙමේ ඊට අනුව පිළිපදින පුද්ගලයාගේ සසර දුක් නැති කිරීම පිණිස පවත්නේ නම් සුනක්ඛත්තය, එහි ලා මනුෂ්‍ය ධර්මයට වඩා උසස් ධර්මයෙන් ඍද්ධි දැක්වීමෙන් කවර ප්‍රයෝජනයෙක් වන්නේද? (ඒ ඍද්ධි දැක්වීම කළ කල්හිද නොකළ කල්හිද, මාගේ ශාසන පරිහානියෙක් නැත. මම වනාහි දෙවි මිනිසුන්ට අමාමහ නිවන් පැමිණවීම පිණිස පෙරුම් පිරුවා මිස ඍද්ධි දැක්වීම පිණිස නොවෙමියි එහි ප්‍රයෝජනය දක්වා වදාරා) හිස් පුරුෂය, තාගේ මේ කොතරම් මහත් වරදක් දැයි බලවයයි කීමි”
(එවිට හෙතෙම කියනුයේ) “ස්වාමීන්, වහන්ස භාග්‍යවතුන් වහන්සේ මාහට ලොක ප්‍රඥප්තිය (හෙවත් මෙය ලොව හට ගැනීමට සීමාව වන්නේයයිද යනාදි ලොකොත් පත්ති කථාව) ප්‍රකාශ නොකෙළේයයි කීය. කිමෙක්ද? සුනක්ඛත්තය, මම තාහට “සුනක්ඛත්තය එව තෝ මාගේ ශ්‍රාවක භාවයට පැමිණ වාසය කරව මම තාහට ලොව හට ගැනීමේ කථාව ප්‍රකාශ කරන්නෙම්ය”යි කීයෙම්ද?
“ස්වාමීන්වහන්ස, එසේ නොකීයේයයි කීය, “තෝ වනාහි මාහට “ස්වාමීන් වහන්ස, මම භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකභාවයට පැමිණ වාසය කරන්නෙමි, මාහට භාග්‍යවතුන් වහන්සේ ලොකොත්පත්තිය (මෙය වනාහි ලොකයට සීමාව වන්නේයයි මෙසේ) පැනවීමත්, ප්‍රකාශ කරන්නේයයි කීයෙහි දැයි” ඇසී. ස්වාමීන්වහන්ස, එසේ නොකීයෙමැයි කීය, මෙසේ වනාහි සුනක්ඛත්තය, මම තාහට, “සුනක්ඛත්තය එව මාගේ ශ්‍රාවක භාවයට පැමිණ වාසය කරව, මම තාහට ලොකෝත් පත්තිය (මෙය ලොකයට සීමාව වන්නේයයි) ප්‍රකාශ කරන්නෙමියි නොකීයෙම් නම් තෝද මාහට “ස්වාමීන් වහන්ස, මම භාග්‍යවතුන්වහන්සේගේ ශ්‍රාවක භාවයට පැමිණ වාසය කරන්නෙමි, භාග්‍යවතුන් වහන්සේ මට, ලොකෝත්පත්තිය හෙවත් මෙය වනාහි ලොකයට සීමාව වන්නේයයි මෙසේ පැනවීම ප්‍රකාශ කරන්නේයයි නොකීයෙහි නම්, හිස්පුරුෂය, මෙසේ ඇති කල්හි කවරෙක් කවරෙකු ඉවත් කරන්නේ දැයි ඇසී.
සුනක්ඛත්තය, තෝ කුමකැයි සිතන්නෙහිද? ලොව හට ගැනීමේ සීමාව (ලොකොත්පත්තිය) ප්‍රකාශ කළ කල්හි හෝ නොකළ කල්හි හෝ යම් දුක් නැසීමක් සඳහා මා විසින් ධර්මය ප්‍රකාශ කරන ලද්දේද, ඒ ධර්මය තෙමේ ඊට අනුව පිළිපදින්නාවූ පුද්ගලයාගේ සියලු දුක් නැතිකිරීම පිණිස පවත්නේ දැයි ඇසීමි.
“ස්වාමීන් වහන්ස, ලොව හටගැන්ම ප්‍රකාශ කළ කල්හි හෝ නොකළ කල්හි හෝ භාග්‍යවතුන් වහන්සේ විසින් යම් දුක් නැතිකිරීමක් සඳහා දහම් දෙසන්නේද, ඒ ධර්මය තෙමේ ඊට අනුව පිළිපදින පුද්ගලයාගේ දුක් නැතිකිරීම පිණිස පවත්නේයයි” කීය.
“සුනක්ඛත්තය, මෙසේ ලොව හටගැන්ම ප්‍රකාශ කළ කල්හි හෝ නොකළ කල්හි හෝ යම් දුක් නැති කිරීමක් සඳහා මා විසින් දහම් දෙසන ලද්දේද, ඒ ධර්මය තෙමේ ඊට අනුව පිළිපදින පුද්ගලයාගේ දුක් නැති කිරීම පිණිස පවතින්නේ නම්, සුනක්ඛත්තය, එහි ලා ලොව හටගැනීමේ තතු ප්‍රකාශ කිරීම කවර ප්‍රයෝජනයක් පිණිස වන්නේද? හිස් පුරුෂය, බලව තා විසින් කොතරම් මහත්වූ අපරාධයෙක් කරන ලද්දේ දැයි” ඇසීමී.
“සුනක්ඛත්තය, තා විසින් වජ්ජිග්‍රාමයෙහි (වැදෑරජුන්ගේ ගමෙහි) නොයෙක් ආකාරයෙන් මාගේ ගුණ වර්ණනා කරන ලද්දේය. (එනම්) ඒ භාග්‍යවතුන්වහන්සේ රහත්ය, සම්‍යක් සම්බුද්ධ වූහ, (එසේම) අෂ්ටවිද්‍යා පසළොස් චරණ ධර්මයන්ගෙන් යුක්තවූ හෙයින් විද්‍යාචරණ සම්පන්නය, යහපත් ගමන් ඇත්තාහ, සියලුම ලොකය දන්නාහ. තමන්ට වඩා උසස් කෙනෙක් නැත. දමනය නොකළ හැකි පුරුෂයන් දමනය කරන්නෙකි, දෙවි මිනිසුන්ට අනුශාසනා කරන්නෙක. චතුරාර්‍ය්‍ය සත්‍ය ධර්මය අවබොධ කළ හෙයින් බුද්ධ නම් වූහ රාගාදි ක්ලෙශ ධර්මයන් විනාශ කළ හෙයින් භාග්‍යවත් නම් වන සේකැයි මෙසේ සුනක්ඛත්තය තා විසින් මෙයාකාරයෙන් වැදෑරජුන්ගේ ග්‍රාමයෙහිදී (විශාලා මහනුවරෙහිදී) මාගේ ගුණ වර්ණනාව කරන ලද්දේය.
එසේම සුනක්ඛත්තය, තා විසින් වැදෑරජුන්ගේ ග්‍රාමයවූ විශාලා මහනුවරදී නොයෙක් ආකාරයෙන් ධර්මරත්නය පිළිබඳවද ගුණ කියන ලද්දේය, එ නම් භාග්‍යවත් බුදුරජුන් විසින් ධර්මය යහපත්කොට වදාරණලද්දේය, තමා විසින්ම දැකීම කළයුතු හෙයින් ස්වයංදෘෂ්ටික නම් වන්නේය. කල් නොයවා ඵල දෙන බැවින් ‘අකාලික’ නම් වන්නේය. එව බලව යන ආශ්චර්‍ය්‍ය විධියට සුදුසු හෙයින් ‘එහිපස්සික’ නම් වන්නේය. තමා සිත්හි එලවා තැබීමට සුදුසු හෙයින් ‘ඔපනයික’ නම් වන්නේය. නුවණැත්තන් විසින් වෙන් වෙන් වශයෙන් දත යුතු වන්නේයයි සුනක්ඛත්තය, මෙසේ වනාහි තා විසින් විශාලා මහනුවරදී ධර්මරත්නය පිළිබඳව ගුණ කියන ලද්දේය.
සුනක්ඛත්තය, තා විසින් (එම) විශාලා මහනුවරදී නොයෙක් ආකාරයෙන් සංඝයාගේ ගුණ කියන ලද්දේය. (එනම්,) භාග්‍යවතුන්වහන්සේගේ ශ්‍රාවක සංඝතෙමේ මනාප්‍රති පත්තියෙන් පිළිපන්නේය. භාග්‍යවතුන්වහන්සේගේ ශ්‍රාවක සංඝ තෙමේ ඍජුව (අවංකව) පිළිපන්නේය. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ තෙමේ උතුම්වූ නිර්වාණ ධර්මය සඳහා පිළිපන්නේය. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ තෙමේ ගෞරවාදරයට සුදුසුසේ පිළිපන්නේය. යම්බඳු මේ සෝවාන් ආදි මාර්ගස්ථ ඵලස්ථයනගේ වශයෙන් ආර්‍ය්‍ය පුද්ගලයෝ අටදෙනෙක් වෙත්ද, භාග්‍යවතුන්වහන්සේගේ ඒ මේ ශ්‍රාවක සංඝ තෙමේ දුරසිටද ගෙනවුත් දෙන ලද දානය පිළිගැනීමට සුදුසු හෙයින් ‘ආහුනෙය්‍ය’ නම් වන්නේය. සියල්ලට පළමුව එලවා දිය යුතු බැවින් ‘පාහුණෙය්‍ය’ නම් වන්නේය. පරලොව කම්පල අදහා දෙන්නාවූ දානය පිළිගැනීමට සුදුසුහෙයින් ‘දක්ඛිණෙය්‍ය’ නම් වන්නේය. දෙ අත් හිස තබා කරණු ලබන වැඳීම් ආදිය කිරීමට සුදුසු වන්නේය, උතුම්වූ පින්කෙතක් වූයේයයි සුනක්ඛත්තය, තා විසින් මෙසේ වනාහි වැදෑ රජුන්ගේ ග්‍රාමයවූ විශාලමහනුවරෙහිදී නොයෙක් ප්‍රකාරයෙන් සංඝයාගේ ගුණ වර්ණනා කොට කියන ලද්දේය.
සුනක්ඛත්තය, මම තාහට කියමි, සුනක්ඛත්තය, මම තාහට ප්‍රකාශ කරමි. සුනක්ඛත්තය, තට මෙසේ කියන්නෝ ඇතිවන්නාහුය. ‘සුනක්ඛත්තය’ ලිච්ඡවි පුත්‍ර තෙමේ ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ කෙරෙහි, බ්‍රහ්මචර්‍ය්‍යා නම්වූ ශ්‍රෙෂ්ඨ හැසිරීමට අපොහොසත් වූයේ ශ්‍රමණධර්මයෙන් ඉවත්ව ගිහි බවට පැමිණියේයයි, සුනක්ඛත්තය, මෙසේ තාහට කියන්නාවූ පුද්ගලයෝ ඇති වන්නාහයි කීමි.
භාර්ගවය, මෙසේ මා විසින් කියනු ලැබූ සුනක්ඛත්ත ලිච්ඡවි පුත්‍ර තෙමේ යම්සේ අපායේ ඉපදීමට සුදුසු නිරි සතෙක් චුතව එහි යන්නේ වේද එසේම මේ ධර්ම විනය නම්වූ සාසනයෙන් පහ වූයේය.

කොරක්ඛත්තිය වස්තුව

“භාර්ගවය, මම එක් කලෙක ථූලු නම් රට උත්තරකා නම් නියම් ගම වාසය කෙළෙමි. භාර්ගවය, එකල මම පෙරවරු කාලයෙහි හැඳ පොරවා පාත්‍ර සිවුරු රැගෙන සුනක්ඛත්ත ලිච්ඡවි පුත්‍රයා පසු ශ්‍රමණයා කොට ගෙන උත්තරකා නම් නියම් ගමට පිඬු පිණිස පැමිණියෙමි. ඒ කාලයෙහි වස්ත්‍ර හැඳීමක් නැති හෙයින් නිර්වස්ත්‍රවූ බලු ලීලාවෙන් යුත් එනම් බල්ලෙක් මෙන් දණ දෙකින් සහ වැලිමිටි දෙකින් ගොස් කෑම කන්නාවූද එසේ කෑම කා ලිප මුල නිදන්නාවූ හතර තැනකින් වකුටුවූ, එනම්: දණ දෙක සහ වැලමිටි දෙක බිම තබමින් හැසිරීම කරන්නාවූ කොරක්ඛත්තිය නම් නිගණ්ඨයෙක් තෙමේ බිම දමනලද කෑම වර්ග කටින්ම කන්නේය. කටින්ම බොන්නේය, භාර්ගවය, සුනක්ඛත්ත ලිච්ඡවි පුත්‍ර තෙමේ බළු ලීලාවෙන් යුත් දෙඅත් දෙපා වකුටු කරගත්, බිම දමනලද කෑම බල්ලෙක් මෙන් කටින්ම කන්නාවූ කොරක්ඛත්තිය නම් නිගණ්ඨයා දුටුවේය. එසේ දැක මේ සුනක්ඛත්තයාහට මෙබඳු සිතෙක් වීය. ‘ඒකාන්තයෙන් මේ පින්වත්වූ රහත් ශ්‍රමණයා හා සමවූ අනික් ශ්‍රමණ කෙනෙක් නැත්තේය. කිසිවකට ආසාවක් නැති නිසා වස්ත්‍රයක් අඳින්නේ නැත. ප්‍රමාදයෙක් වන්නේයයි සිතා කෑමට භාජනයක්ද පාවිච්චි නොකරන්නේය. බිම දමන ලද දෙයක්ම කන්නේය. (මෙ තෙමේ නම් ශ්‍රමණයෙක්ම වන්නේය. අපි මොන ශ්‍රමණයෝ වෙමුදැයි මෙසේ සර්වඥ බුදු රජුන්ගේ පසු පස්සේ ගමන් කරමින්ම මේ ලාමක දෘෂ්ටියක්, වැටහීමක් ගත්තේය). භාර්ගවය, එසේ අදහස් කළ කල්හි මම සුනක්ඛත ලිච්ඡවි පුත්‍රයාගේ (සිතේ අදහස) මාගේ සිතින් පිරිසිද දැන මෙසේ කීමි.
“හිස් පුරුෂය, තෝද මම ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයෙකැයි ප්‍රකාශ කරන්නෙහිදැ”යි ඇසීමි. ‘ස්වාමීන් වහන්ස, කුමකට වනාහි මට භාග්‍යවතුන්වහන්සේ “හිස් පුරුෂය, තෝද මම ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයෙකැයි කියන්නෙහිදැයි මෙසේ කීයෙහිදැ”යි ඇසීය.
සුනක්ඛත්තය, තා විසින් මේ බලුලීලාව ගත් බිම දමනලද කෑම බල්ලෙක් මෙන් කන කොරක්ඛත්තිය නම් නිර්වස්ත්‍ර නිගණ්ඨයා දැක මෙබඳු සිතක් පහළ කරන ලද්දේ නොවේද? ඒකාන්තයෙන්ම පින්වත්වූ මේ රහත් ශ්‍රමණ තෙමේ ඉතා යහපත් ස්වභාව ඇත්තෙක් වන්නේයයි මෙබඳු සිතක් වූයේ නොවේදැයි’ ඇසීමි.
‘ස්වාමීන් වහන්ස, එබඳු අදහසක් ඇත්තෙක් වීමියි’ කීය. කිමෙක්ද? ස්වාමීන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මෙසේ අනිකෙකු හට රහත් බව නොලැබේවායි, රහත් බවට මසුරු කරන සේක්දැයි’ ඇසී. ‘හිස් පුරුෂය, මම වනාහි රහත් බවට මසුරු නොකරමි. එතකුදු වුවත් තට මේ ලාමකවූ දෘෂ්ටියක් උපන්නේය, ඒ දෘෂ්ටිය දුරුකරව, එසේ නොරහත් අයෙක් රහතෙකැයි ගැනීම දුරු කරව, තට බොහෝ කාලයක් මුළුල්ලෙහි අහිත පිණිසද දුක් පිණිසද නොවන්නේය. සුනක්ඛත්තය, යම් බඳු මේ කොරක්ඛත්තිය නම් නිගණ්ඨයෙක් ඒකාන්තයෙන් යහපත්වූම රහත් ශ්‍රමණයෙකැයි සිතන්නෙහිද? හෙතෙමේ මෙයින් සත්වන දවසෙහි අලසක නම් රෝගයෙන් (ඉදිමී ගිය බඩ ඇතිව) කාල ක්‍රියා කරන්නේය. එසේ කළුරිය කොට කාලකඤ්ජික නම් ඉතා හීනවූ අසුර යෝනියෙහි උපදනේය. මැරුණාවූ ඔහු බිරණත්ථම්භක නම් සොහොනෙහි දමන්නාහුය.
සුනක්ඛත්තය, තෝ කැමති වනු ලබන්නේ නම් කොරක්ඛත්තිය, තමාගේ ගතිය (ඉපදුනු තැන) දන්නෙහිදැයි ගොස් අසව. යම් හෙයකින් තට, කොරක්ඛත්තිය නිගණ්ඨ තෙමේ ඇවත් සුනක්ඛත්තය, මාගේ ගතිය දනිමි. කාලකඤ්ජික නම් සියල්ලට හීනවූ අසුර නිකායක් වන්නේය ‘එහි මම උපන්නෙමියි ප්‍රකාශ කරණ බවට කරුණු ඇත්තේ යයි කීවෙමි.
භාර්ගවය, එකල සුනක්ඛත්ත ලිච්ඡවි පුත්‍ර තෙමේ කොරක්ඛත්තිය නම් නිගණ්ඨයා යම් තැනෙක්හිද එහි පැමිණියේය. පැමිණ, කොරක්ඛත්තිය නම් නිවටාට මෙය කීයේය. ඇවත් කොරක්ඛත්තිය, ශ්‍රමණ භවත් ගෞතමයාණන් විසින් මෙසේ ප්‍රකාශ කරන ලද්දේය. ‘කොරක්ඛත්තිය නම් නිගණ්ඨ තෙමේ සත්වන දවස අලසක නම් රෝගයෙන් මැරෙන්නේය. (එසේ) මැරී, කාලකඤ්ජික නම් සියල්ලට හීනවූ අසුර නිකායෙහි උපදින්නේය. මැරුණාවූ ඔහු බීරණත්ථම්භක නම් සොහොනෙහි දමන්නාහුයයි (මෙසේ ප්‍රකාශ කෙළේය).
ඇවැත් කොරක්ඛත්තිය, යම් හෙයකින් තොපි ප්‍රමාණවත්වූම කෑම කන්නහු නම පමණට වතුර බොන්නහු නම් ශ්‍රමණ භවත් ගෞතමයාගේ වචනය බොරුවක් වන්නේය එසේ පිළිපදිවයි කීය.

මෙහි පාළියේ නැති විස්තරයක් අඩංගුය)
මෙසේ සුනක්ඛත්ත ලිච්ඡවි පුත්‍රයා එපවත් කී කල කොරක්ඛත්තිය නිගණ්ඨ තෙමේ බල්ලෙක් මෙන් ලිප් දොර හොත්තේ, හිස ඔසවා ඇස් දල්වා බලමින්, ‘කුමක් කියන්නෙහිද? ශ්‍රමණ බවත් ගෞතම තෙමේ වනාහි අපගේ විස භාග සතුරෙක් වන්නේය. ශ්‍රමණ භවත් ගෞතමයා උපන් කාලයෙහි අපි හිරු උදාවූකල කණාමැදිරියන් මෙන් වූවෙමු. සතුරාගේ කථාව වනාහි සැබෑ නොවන්නේය. තොපි යව්. මම මෙහි කටයුතු දන්නෙමියි කියා නැවතද ලිප මුල හොත්තේය.
“භාර්ගවය, එකල සුනක්ඛත්ත ලිච්ඡවි පුත්‍ර තෙමේ තථාගතයන් වහන්සේගේ වචනය නොඅදහමින් එක්දවසක් ගතවීය, යනාදි වශයෙන් දවස් ගණිමින් සිටියේය. (මෙසේ ගණිමින් දවසට දෙතුන් වර විත් කියමින් සිටියදි ඒ කොරක්ඛත්තිය තෙමේ සුනක්ඛත්තයාගේ බස් අසා සත් දවස තුළ නිරාහාරවම සිටියේය. එකල සත්වන දවස එක් උපස්ථායකයෙක් තෙමේ කොරක්ඛත්තිය නිගණ්ඨයා අදට සත් දිනක් ගෙදරට නොපැමිණියේ අපහසුවක් දෝහෝයි ඌරුමස් සමග බත් තලියක් පිළියෙළ කරගෙන ගොස් ඔහු ඉදිරියේ බිම දැමීය. කොරක්ඛත්තිය නිගණ්ඨ තෙමේ ඒ දැක මෙසේ සිතී. ශ්‍රමණ භවත් ගෞතමයාගේ කථාව සැබෑ හෝ වේවා, බොරු හෝ වේවා, කෑම කා ‘සතුටට පැමිණි මාගේ මරණයම යහපත් මරණය වන්නේයයි” සිතා, දෙ අත් දෙ දණ බිම ඇන තබා බඩ පුරාම එය කෑවේය. ඔහුට රාත්‍රි කාලයෙහි එය දිරවන්ට නොහැකි වූයේ අලසක නම්-බඩ ඉදිමී ගිය රෝගය-සෑදුණේය.
“භාර්ගවය, එකල වනාහි කොරක්ඛත්තිය නම් නිගණ්ඨ තෙමේ සත්වන දවසෙහි අලසක නම් රෝගයෙන් මැරුණේය. මැරී කාලකඤ්ජික නම් සියල්ලෙන් පිරිහුනු අසුර නිකායෙක් වේද එහි උපන්නේය. ඔහුගේ මළ සිරුර බීරණත්ථම්භක නම් සොහොනෙහි දැමූහ
භාර්ගවය, සුනක්ඛත්ත ලිච්ඡවි පුත්‍රතෙමේ කොරක්ඛත්තිය නම් නිගණ්ඨයා අලසක නම් රෝගයෙන් මැරී බීරණත්ථම්භක නම් සොහොනේ දමන ලද්දේයයි ඇසීය. භාර්ගවය, එකල වනාහි සුනක්ඛත්ත ලිච්ඡවි පුත්‍ර තෙමේ බීරණත්ථම්භක නම් සොහොන යම් තැනෙක්හිද, කොරක්ඛත්තිය නම් නිගණ්ඨයාගේ මළසිරුර යම් තැනෙක්හිද එහි පැමිණියේය. පැමිණ, කොරක්ඛත්තිය නම් නිගණ්ඨයාට තුන්වරක් අතින් ගැසුවේය. (අතින්ගසා) “ඇවැත් කොරක්ඛත්තිය, තමාගේ ගතිය (තම උපන් තැන) දන්නෙහිදැ?”යි ඇසී.
භාර්ගවය, එකල කොරක්ඛත්තිය නිගණ්ඨ තෙමේ අතින් පිට පිස දමමින් නැගිට්ටේය. (එසේ නැගිට) ‘ඇවත්, සුනක්ඛත්තය, තමාගේ ගතිය දනිමි. සියල්ලෙන් පිරිහුණු කාලකඤ්ජික නම් අසුර නිකායෙක් වේද එහි මම උපන්නෙමියි’ කියා එතැන්හිම උඩුකුරුව මළකඳ වැටුනේය.
භාර්ගවය, එකල වනාහි සුනක්ඛත්ත ලිච්ඡවි පුත්‍රතෙමේ මම යම් තැනෙක්හිද එහි පැමුණුනේය. පැමිණ, මට වැඳ එක පැත්තක හුන්නේය.
භාර්ගවය, මම එන පැත්තක හුන්නාවූ සුනක්ඛත්ත ලිච්ඡවි පුත්‍රයාහට මෙසේ කීමි. “සුනක්ඛත්තය, තා කුමක් සිතන්නෙහිද? කොරක්ඛත්තිය නිගණ්ඨයා සඳහා යමක් කීයෙම්ද, එය එසේම වූයේද? අන් පරිද්දකින් වූයේදැයි’ ඇසීමි. ‘ස්වාමීන් වහන්ස, කොරක්ඛත්තිය නිගණ්ඨයා සඳහා භාග්‍යවතුන්වහන්සේ යම් පරිද්දකින් මට කීවේද, ඒ විපාකය එපරිද්දෙන්ම වූයේය. අන් පරිද්දකින් නුවූයේයයි ප්‍රකාශ කෙළේය.
සුනක්ඛත්තය, තෝ කුමක් සිතන්නෙහිද? ඉදින් එසේ ඇති කල්හි මා විසින් මනුෂ්‍යධර්මයට වඩා උසස් ධර්මයෙන් ඍද්ධි දැක්වීම කරන ලද්දේවේද නොකරණ ලද්දේ වේදැයි’ ඇසීමි. ස්වාමීන්වහන්ස, එසේ ඇති කල්හි ඒකාන්තයෙන්ම මනුෂ්‍ය ධර්මයට වඩා උසස් ධර්මයෙන් ඍද්ධි දැක්වීම කරන ලද්දේය. නොකරණ ලද්දේ නොවේයයි’ කීය.
හිස් පුරුෂය, මෙසේ මනුෂ්‍ය ධර්මයට වඩා උසස් ධර්මයෙන් ඍද්ධි දැක්වීම කරන්නාවූ මාහට තෝ මෙසේ කීවෙහිය. ස්වාමීන් වහන්ස, මට භාග්‍යවතුන් වහන්සේ මනුෂ්‍ය ධර්මයට වඩා උසස් ධර්මයෙන් ඍද්ධි දැක්වීම නොකරන්නේයයි කීය. හිස් පුරුෂය, බලව, තා විසින් කොපමණ මහත් අපරාධයෙක් කරන ලද්දේදැයි’ කීමි.
භාර්ගවය, මෙසේද වනාහි මා විසින් කියනු ලබන්නාවූ සුනක්ඛත්ත ලිච්ඡවි පුත්‍රතෙමේ අපායට යන්නාවූ නිරිසතෙක් යම්සේද එසේ මේ ධර්මවිනය සංඛ්‍යාත ශාස්තෘ ශාසනයෙන් පහව ගියේමය
කෝරමට්ටක වස්තුව
භාර්ගවය, එක් කලෙක මම විසාලා මහනුවර සමීපයේ මහා වනයෙහිවූ කුටාගාර සාලාවෙහි වාසය කෙළෙමි. ඒ කාලයෙහි කෝරමට්ටක නම් නිගණ්ඨයෙක් ලාභයෙන් හා යසසින් අගතැන් පැමිණියේ විසාලා මහ නුවර වජ්ජි ග්‍රාමයෙහි වාසය කරයි. ඔහු විසින් සමාදන්ව පිළිපදින්නාවූ සත් වැදෑරුම් ව්‍රත පද කෙනෙක් වෙත්, එනම්: දිවි ඇතිතෙක් අචෙලකයෙක් වන්නෙමි වස්ත්‍රයක් නොහඳින්නෙමියීද, දිවි ඇති තෙක් බ්‍රහ්මචාරියෙක් වන්නෙම් මෙවුන්දම් සේවනය නොකරන්නෙම්යීද, ජීවිතාන්තය දක්වා සුරාවෙන් සහ මාංසයෙන්ම යැපෙන්නෙමි බත් පිටි ආහාර අනුභව නොකරන්නෙම්යීද, පෙර දිගින් විසාලාමහනුවර උදේනි නම් චෛත්‍යයෙක් වේද එය නොයික්මවන්නෙම්යීද, දකුණුදිගින් විසාලාමහනුවර ගෞතම නම් චෛත්‍යයෙක් වේද එය නොයික්මවන්නෙම්යීද, බටහිරදිගින් විසාලාමහනුවර සත්තම්බ නම් චෛත්‍යයෙක් වේද එය නොයික්මවන්නෙම්යීද, උතුරු දිගින් විසාලාමහනුවර බහුපුත්තක නම් චෛත්‍යයෙක් වේද එය නොයික්මවන්නෙම්යීද යන මේ ව්‍රත (පැවතුම්) සත සමාදන්වීම හෙතු කොට ගෙන හෙතෙමේ ලාභයෙන් හා යසසින් අග්‍රබවට පැමිණියේ විසාලාමහනුවර වාසය කරයි.
භාර්ගවය, එකල්හි සුනක්ඛත්ත ලිච්ඡවි පුත්‍ර තෙමේ කොරමට්ටක නම් නිගණ්ඨතෙමේ යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ, කොරමට්ටක නම් නිවටාගෙන් ප්‍රශ්න ඇසීය. කොරමට්ටක නිගණ්ඨයාට උත්තර දිය නොහැකි විය. උත්තර දිය නොහැකිවූ හෙතෙමේ කෝපයද ද්‍වෙෂයද නොසතුටු බවද ප්‍රකාශ කෙළේය.
භාර්ගවය, එකල සුනක්ඛත්ත ලිච්ඡවි පුත්‍රයාහට මෙබඳු සිතෙක් වී. ‘පින්වත, ඒකාන්තයෙන් උතුම් ගුණ ඇත්තාවූ මේ රහත් ශ්‍රමණයන්වහන්සේට මම අපරාධයක් කෙළෙමි. හේ මාහට බොහෝ කාලයක් මුළුල්ලෙහි අහිත පිණිස දුක් පිණිස නොවේවායි ක්ෂමාව ඉල්වා ගත්තේය.
භාර්ගවය, එකල්හි සුනක්ඛත්ත ලිච්ඡවි පුත්‍ර තෙමේ මම යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ, මාහට වැඳ එක පැත්තක හුන්නේය. භාර්ගවය, එක පැත්තක හුන්නාවූ සුනක්ඛත්ත ලිච්ඡවි පුත්‍රයාහට මම මේකාරණය කීයෙමි.
‘හිස් පුරුෂය, තෝ ශ්‍රමණශාක්‍යපුත්‍රයෙකු සේ පෙනී සිටින්නෙහිදැ’යි ඇසීමි. ‘ස්වාමීනි, භාග්‍යවතුන්වහන්ස, කුමකට වනාහි භාග්‍යවතුන් වහන්සේ “හිස් පුරුෂය, තෝ ශ්‍රමණ ශාක්‍යපුත්‍රයෙකු සේ පෙනී සිටින්නෙහිදැයි ඇසුවෙහි දැයි ඇසී. සුනක්ඛත්තය, තෝ කොරමට්ටක නම් නිගණ්ඨයා කරා පැමිණ ප්‍රශ්න ඇසුවේ නොවේද? ප්‍රශ්න අසන ලද්දාවූ ඒ කොරමට්ටක නම් නිගණ්ඨ තෙමේ නොසතුටුව කෝපයද ද්‍වෙෂයද නොසතුටු බවද පහළ කෙළේය. එකල තාහට මෙබඳු සිතෙක් වී. ‘ඒකාන්තයෙන් යහපත් ගුණ ඇත්තාවූ පින්වත්වූ රහත් ශ්‍රමණයන් වහන්සේට අපරාධයක් කෙළෙමි. ඒකාන්තයෙන් මට බොහෝ කාලයක් මුළුල්ලෙහි අහිත පිණිස, දුක් පිණිස නොවේවායි ක්ෂමා කරවා ගත්තේනොවේ දැයි’ ඇසීමි. (එවිට සුනක්ඛත්ත තෙමේ) ‘එසේය, ස්වාමීන් වහන්සැයි කියා, කිමෙක්ද? ස්වාමීන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ රහත් බවට මසුරු කරන්නේදැයි” ඇසී.
හිස් පුරුෂය, මම වනාහි රහත් බවට මසුරු නොකරමි. එතකුදු වුවත් මේ ලාමක දෘෂ්ටියක් තොපට පහළවිය. තට බොහෝ කාලයක් මුළුල්ලෙහි අහිත පිණිස දුක් පිණිස නොවීම සඳහා එය දුරුකරව, සුනක්ඛත්තය, ඒ කොරමට්ටක නම් නිගණ්ඨයා යහපත් රහත් ශ්‍රමණයෙකැයි සිතන්නෙහිද, ඒ නිගණ්ඨ තෙමේ නොබෝ දවසකින්ම ගිහි ඇඳුම් ඇඳ බිරිඳක් සහිතව බත් පිටි ආහාර අනුභව කරමින් විසාලා මහ නුවර සියලු වෛත්‍යස්ථානයන් ඉක්මවා ගොස් යසසින් පිරිහී මැරෙන්නේයයි කීවෙමි.
භාර්ගවය, ඉක්බිති කොරමට්ටක නම් නිගණ්ඨ තෙමේ නොබෝ දවසකින් ගිහිඇඳුම්ඇඳ බිරිඳක් සහිතව හැසිරෙමින් බත් පිටි ආහාර කමින් විසාලාමහනුවර සියලු චෛත්‍යස්ථානයන් ඉක්මවා ගොස් යසසින් පිරිහී මැරුණේය.
භාර්ගවය, සුනක්ඛත්ත ලිච්ඡවි පුත්‍රයාට කොරමට්ටක නම් නිඝණ්ඨ තෙමේ ගිහි ඇඳුම් ඇඳ බිරිඳක් සහිතව හැසිරෙමින් බත් පිටි ආහාර කමින් විසාලාමහනුවර සියලු චෛත්‍යස්ථානයන් ඉක්මවා ඇවිද යසසින් පිරිහි මැරුණේයයි’ අසන්ට ලැබුණේය.
භාර්ගවය, එකල්හි සුනක්ඛත්ත ලිච්ඡවි පුත්‍ර තෙමේ මම යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ, මට වැඳ එක පැත්තක හුන්නේය. භාර්ගවය, මම එක පැත්තක හුන්නාවූ සුනක්ඛත්ත ලිච්ඡවිපුත්‍රයාට මේ කාරණය කීයෙමි. සුනක්ඛත්තය, තෝ කුමක් සිතන්නෙහිද? කොරමට්ටක නම් නිගණ්ඨයා ගැන තාහට මම යමක් ප්‍රකාශ කෙළෙම්ද, ඒ විපාකය එසේම වීද අන් පරිද්දකින් වීදැයි’ ඇසීමි. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, කොරමට්ටක නම් නිවටා ගැන භාග්‍යවතුන් වහන්සේ යමක් ප්‍රකාශ කළේද, ඒ විපාකය එසේම වූයේය. අන් පරිද්දකින් නුවූයේයයි’ කීය.
සුනක්ඛත්තය, තෝ කුමක් සිතන්නෙහිද? ඉදින් එසේ ඇති කල්හි මා විසින් මනුෂ්‍යධර්මයට වඩා උසස්ධර්මයෙන් ඍද්ධි දැක්වීමක් කරන ලද්දේද? නොකරන ලද්දේදැ?’යි ඇසීමි. ‘ස්වාමීන් වහන්ස, එසේ ඇති කල්හි ඒකාන්තයෙන්ම මනුෂ්‍ය ධර්මයට වඩා උසස් ධර්මයෙන් ඍද්ධි දැක්වීමක් කරන ලද්දේය, නොකරන ලද්දේ නොවේයයි’ කීය.
හිස් පුරුෂය, මෙසේද මනුෂ්‍ය ධර්මයට වඩා උසස් ධර්මයෙන් ඍද්ධි දක්වන්නාවූ මට තෝ මෙසේ කියන්නෙහිය. ස්වාමීන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මට මනුෂ්‍ය ධර්මයට වඩා උසස් ධර්මයෙන් ඍද්ධි දැක්වීම නොකරන්නේ යයි’ (කියායි). ‘හිස් පුරුෂය, බලව තා විසින් කොතරම් මහත් අපරාධයක් කරන ලද්දේදැ’යි කීවෙමි.
භාර්ගවය, මෙසේද වනාහි මා විසින් කියනු ලබන්නාවූ සුනක්ඛත්ත ලිච්ඡවිපුත්‍ර තෙමේ මේ ධර්මවිනයනම්වූ ශාසනයෙන් අපායෙහි වැටෙන්නාවූ නිරි සතෙක් යම් සේද එසේ පහවූයේයයි” කීවෙමි.

පාඨික පුත්‍ර වස්තුව

“භාර්ගවය, මම එක් කලෙක ඒ විසාලා මහනුවරෙහිම මහාවනයෙහිවූ කූටාගාර සාලාවෙහිම වාසය කෙළෙමි. ඒ කාලයෙහි පාඨික පුත්‍ර නම් නිගණ්ඨයෙක් තෙමේ විසාලා මහ නුවර වජ්ජි ග්‍රාමයෙහි ලාභයෙන් හා යසසින් අග්‍රබවට පැමිණ වාසය කරයි. ඒ පාඨික පුත්‍ර නිගණ්ඨ තෙමේද විසාලා මහ නුවර පිරිස්වල මෙබඳු වචනයක් කියයි. ‘ශ්‍රමණ භවත්ගෞතම තෙමේද ඤාණවාදියෙක (නුවණින් වාදකරන්නෙක). මමද ඤාණවාදියෙක් වෙමි. ඤාණවාදියෙක් ඤාණවාදියෙකු හා මනුෂ්‍යධර්මයට වඩා උසස් ධර්මයෙන් ඍද්ධි දැක්වීමට සුදුසු වන්නේය. ශ්‍රමණ භවත් ගෞතම තෙමේ (වාද කිරීම සඳහා) අඩ යොදුනක් එන්නේ නම් මමද අඩ යොදුනක් ඉදිරියට යන්නෙමි. ඒ අපි දෙදෙනම එහි මනුෂ්‍යධර්මයට වඩා උසස් ධර්මයන් ඍද්ධි දැක්වීම කරන්නෙමු. ඉදින් ශ්‍රමණභවත් ගෞතම තෙමේ එක් ඍද්ධියක් දක්වන්නේ නම් මම ඍද්ධි දෙකක් දක්වන්නෙමි.
ශ්‍රමණ භවත් ගෞතම තෙමේ ඍද්ධි දෙක දෙක දක්වන්නේ නම් මම ඍද්ධි සතරක් දක්වන්නෙමි. ශ්‍රමණ භවත් ගෞතම තෙමේ ඍද්ධි සතරක් බැගින් දක්වන්නේ නම් මම ඍද්ධි අටක් බැගින් දක්වන්නෙමි. මෙසේ ශ්‍රමණ භවත් ගෞතම තෙමේ ඍද්ධි දක්වන්නේද, මම ඊට දෙගුණයක් ඍද්ධි දක්වන්නෙමි කියායි.
“භාර්ගවය, එකල්හි සුනක්ඛත්ත ලිච්ඡවි පුත්‍ර තෙමේ මම යම් තැනෙක්හිද එහි පැමිණියේය. පැමිණ මා හට වැඳ එක පැත්තක හුන්නේය. භාර්ගවය, එක පැත්තක හුන්නාවූ සුනක්ඛත්ත ලිච්ඡවිපුත්‍ර තෙමේ මා හට මේ කාරණය කීයේය. “ස්වාමීන් වහන්ස, පාඨික පුත්‍ර නම් නිගණ්ඨ තෙමේද විසාලා මහනුවර වජ්ජි ග්‍රාමයෙහි ලාභයෙන් හා යසසින් අගතැන් පැමිණ වෙසෙයි. හෙතෙමේ විසාලා මහනුවර පිරිස්වල මෙබඳු වචනයක් කියයි.
‘ශ්‍රමණභවත්, ගෞතමතෙමේ නුවණින් වාදකරන්නෙක් වන්නේය. මමද නුවණින් වාද කරන්නෙක් වෙමි. නුවණින් වාද කරන්නෙක් නුවණින් වාද කරන්නෙකු හා ඍද්ධි දැක්වීමට සුදුසු වන්නේය.
“ශ්‍රමණ භවත්ගෞතම තෙමේ අඩ යොදුනක් දුරයේ නම් මමත් අඩ යොදුනක් යන්නෙම්යයිද ඒ අපි දෙදෙන එහි මනුෂ්‍ය ධර්මයට වඩා උසස් ධර්මයන් ඍද්ධි දක්වන්නෙමු.
ශ්‍රමණභවත් ගෞතම තෙම, එක් ඍද්ධියක් දක්වන්නේ නම් මම දෙක බැගින් දක්වන්නෙම්යයිද දෙකක් දක්වන්නේ නම් මම සතරක් දක්වන්නෙම්යයිද මෙසේ දෙගුණයක් ඍද්ධි දක්වන බව කියන්නේය”යි කීය.
භාර්ගවය, මෙසේ කී කල්හි මම සුනක්ඛත්ත ලිච්ඡවි පුත්‍රයාහට මෙසේ කීවෙමි,
‘සුනක්ඛත්තය, පාඨික පුත්‍ර නිගණ්ඨ තෙමේ ඒ වචනය පහ නොකොට ඒ හිත පහ නොකොට ඒ දෘෂ්ටිය අත් නොහැර මා හමුවට එන්ට නුසුදුසු වන්නේමය. ඉඳින් ඒ පාඨික පුත්‍ර නිගණ්ඨයාහට මෙබඳු සිතක් වන්නේ නම්, මම ඒ වචනය පහ නොකොට ඒ සිත පහ නොකොට ඒ දෘෂ්ටිය අත් නොහැර ශ්‍රමණභවත් ගෞතමයන්ගේ සම්මුඛයට යන්නෙමැයි (සිතුයේ නම්) ඔහුගේ හිස සත් කඩකට පැළෙන්නේය’යි කීවෙමි.

‘ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඒ වචනය රැක ගන්නා සේක්වා, සුගතයන් වහන්ස, ඒ වචනය රැක ගන්නා සේක්වා’යි සුනක්ඛත්ත ලිච්ඡවි පුත්‍ර තෙමේ කීය.
සුනක්ඛත්තය, තෝ මට “ස්වාමීනි, භාග්‍යවතුන්වහන්ස, ඒ වචනය රැක ගන්නාසේක්වා. සුගතයන් වහන්ස, ඒ වචනය රැක ගන්නා සේක්වා”යි, කුමක් හෙයින් කීයෙහිද? “ස්වාමීන් වහන්ස, භාග්‍යවතුන්වහන්සේ විසින් “පාඨිකපුත්‍ර නිගණ්ඨ තෙමේ, ඒ වචනය පහ නොකොට ඒ හිත දුරු නොකොට ඒ දෘෂ්ටිය අත්නොහැර මා හමුවන්ට නුසුදුසු වන්නේමය. ඉඳින් ඔහුට මෙබඳු සිතෙක් වේනම්, ‘මම ඒ වචනය පහ නොකොට ඒ සිත දුරු නොකොට ඒ දෘෂ්ටිය අත්නොහැර ශ්‍රමණ භවත් ගෞතමයන්ගේ හමුවට යන්නෙමි’යි සිතූයේ නම් ඔහුගේ හිස සත් කඩකට පැලෙන්නේය යන මේ වචනය ඒකාන්ත කොට කියන ලදී. ‘ස්වාමීන් වහන්ස, පාඨික පුත්‍ර නිගණ්ඨ තෙමේ විසභාග රූපයකින් භාග්‍යවතුන් වහන්සේගේ හමුවට එන්නේ නම් භාග්‍යවතුන් වහන්සේගේ ඒ වචනය බොරුවන්නේයයි’ කීය.
‘කිමෙක්ද? සුනක්ඛත්තය, තථාගත තෙමේ යම් ඒ වචනයක් දෙපරිද්දකින් වන්නේද, එබඳු වචනයක් කියන්නේදැ’යි ඇසීමි.
ස්වාමීන් වහන්ස, කිමෙක්ද? භාග්‍යවතුන් වහන්සේ විසින් මේ කාරණය තමන් වහන්සේගේ සිතින් ඔහුගේ සිත පිරිසිඳ දන්නා ලද්දේද? “පාඨික පුත්‍ර නිගණ්ඨ තෙමේ ඒ වචනය පහ නොකොට ඒ සිත පහ නොකොට ඒ දෘෂ්ටිය දුරු නොකොට මාගේ හමුවට එන්ට නුසුදුසු වන්නේය. ඉඳින් ඔහුට මෙබඳු සිතක් වන්නේද, මම ඒ වචනය පහ නොකොට ඒ සිත පහ නොකොට ඒ දෘෂ්ටිය අත් නොහැර ශ්‍රමණ භවත් ගෞතමයන්ගේ ඉදිරියට යන්නෙම් යයි සිතුයේ නම් ඔහුගේ හිස සත්කඩකට පැළෙන්නේයයි (සිතින් පිරිසිඳ දන්නා ලද්දේද,) නැතහොත් භාග්‍යවතුන් වහන්සේහට දෙවියෝ මෙකරුණ කීවාහුද? ස්වාමීන්වහන්ස, පාඨික පුත්‍ර නිගණ්ඨ තෙමේ ඒ වචනය පහනොකොට ඒ සිත පහ නොකොට ඒ දෘෂ්ටිය අත්නොහැර භාග්‍යවතුන් වහන්සේගේ හමුවට එන්ට නුසුදුසු වන්නේය. ඉඳින් ඒ පාඨික පුත්‍ර නිගණ්ඨයා හට මම ඒ වචනය පහනොකොට ඒ සිත පහ නොකොට ඒ දෘෂ්ටිය අත්නොහැර ශ්‍රමණභවත් ගෞතමයන්ගේ හමුවට යන්නෙම් යයි’ මෙබඳු සිතක් වන්නේද ඔහුගේ හිස සත්කඩකට පැළෙන්නේයයි දෙවියන් විසින් දන්වන ලද්දේදැ’යි ඇසී.
සුනක්ඛත්තය, “පාඨික පුත්‍ර නිගණ්ඨ තෙමේ ඒ වචනය පහ නොකොට ඒ සිත පහ නොකොට ඒ දෘෂ්ටිය අත්නොහැර මාගේ හමුවට එන්ට නුසුදුසු වන්නේයයිද ඉදින් එසේ ඒ නම් ඔහුගේ හිස සත්කඩකට පැළෙන්නේයයිද මාගේ සිතින්ද පිරිසිඳ දන්නා ලද්දේය. දේවතාවෝද මට මේ කරුණ දැන්වූහ. ස්වාමීන් වහන්ස, “පාඨිකපුත්‍ර නිගණ්ඨ තෙමේ ඒ වචනය පහ නොකොට ඒ සිත පහ නොකොට ඒ දෘෂ්ටිය අත්නොහැර භාග්‍යවතුන් වහන්සේගේ හමුවට එන්ට නුසුදුසු වන්නේය. ඉඳින් ඒ නිගණ්ඨයාහට “මම ඒ වචනය පහ නොකොට ඒ සිත පහ නොකොට ඒ දෘෂ්ටිය අත්නොහැර ශ්‍රමණභවත් ගෞතමයන්ගේ හමුවට යන්නෙම් යයි මෙබඳු සිතෙක් වන්නේ නම්, ඔහුගේ හිස සත්කඩකට පැළෙන්නේයයි දෙවතාවෝද කීවාහුය. ලිච්ඡවි රජුන්ගේ අජිත නම් සේනාපති තෙමේ නුදුරු කාලයෙහි මැරී තව්තිසා දෙව්ලොව උපන්නේය. ඒ දිව්‍යපුත්‍ර තෙමේද මා කරා පැමිණ මේ කරුණ දැන්නුවේය.
“ස්වාමීන් වහන්ස, පාඨිකපුත්‍ර නම් නිගණ්ඨ තෙමේ ලජ්ජා නැත්තෙක. ස්වාමීන් වහන්ස, පාඨික පුත්‍ර නම් නිගණ්ඨ තෙමේ බොරු කියන්නෙක් වන්නේය. ස්වාමීන් වහන්ස, පාඨික පුත්‍ර නිගණ්ඨ තෙමේ මටද වජ්ජි ග්‍රාමයෙහි ලිච්ඡවි රජුන්ගේ අජිත නම් සේනාපති තෙමේ මහා නරකයෙහි උපන්නේයයි කීය. ස්වාමීන් වහන්ස, මම වනාහි මහා නරකයෙහි නූපන්නෙමි. මම තව්තිසා දෙව්ලොව උපන්නේ වෙමි. ස්වාමීන් වහන්ස, පාඨික පුත්‍ර නිගණ්ඨ තෙමේ ලජ්ජා නැත්තෙක් වන්නේය. ස්වාමීන් වහන්ස, පාඨිකපුත්‍ර නිගණ්ඨ තෙමේ බොරු කියන්නෙක් වන්නේය. ස්වාමීන් වහන්ස, පාඨික පුත්‍ර නිගණ්ඨ තෙමේ ඒ වචනය පහ නොකොට, ඒ සිත පහ නොකොට, ඒ සිත පහ නොකොට ඒදෘෂ්ටිය අත් නොහැර භාග්‍යවතුන් වහන්සේගේ සම්මුඛයට එන්ට නුසුදුසු වන්නේය. ඉඳින් ඒ වචනය පහ නොකොට ඒ සිත පහ නොකොට ඒ දෘෂ්ටිය අත්නොහැර ශ්‍රමණ භවත් ගෞතමයන්ගේ හමුවට යන්නෙමියි සිතී නම් ඔහුගේ හිස සත් කඩකට පැලී යන්නේයයි (ඒ අජිත නම් දෙවිතෙම) කීය.
සුනක්ඛත්තය, මෙසේ වනාහි මාගේ සිතින් ඔහුගේ සිත පිරිසිඳද දැන ගන්නා ලදී, පාඨිකපුත්‍ර නිවට තෙමේ ඒ වචනය පහ නොකොට ඒ සිත පහ නොකොට ඒ දෘෂ්ටිය අත්නොහැර මාගේ හමුවට එන්ට නුසුදුස්සෙක් වන්නේය. ඉදින් ඒ වචනය පහ නොකොට සිත ඒ පහ නොකොට ඒ දෘෂ්ටිය අත් නොහැර ශ්‍රමණ භවත් ගෞතමයන්ගේ හමුවට යන්නෙමියි, සිතී නම් ඔහුගේ හිස සත්කඩකට පැළී යන්නේය’යි (මා විසින්ද දන්නා ලදී) දේවතාවෝද මට මේ කාරණය කීවාහුය.
ස්වාමීන් වහන්ස, පාඨික පුත්‍ර නිගණ්ඨ තෙමේ ඒ වචනය පහ නොකොට ඒ සිත පහ නොකොට ඒ දෘෂ්ටිය අත්නොහැර භාග්‍යවතුන් වහන්සේගේ හමුවට එන්ට නුසුදුස්සෙක් වන්නේය. ඉදින් ඒ නිගණ්ඨයාහට ‘මම ඒ වචනය පහ නොකොට ඒ සිත පහ නොකොට ඒ දෘෂ්ටිය අත් නොහැර ශ්‍රමණ භවත් ගෞතමයන්ගේ හමුවට යන්නෙමි’යි මෙබඳු සිතක් වූයේ නම් ඔහුගේ හිස සත්කඩකට පැළෙන්නේය’යි (දෙවතාවෝද කීවාහුය). මම විසාලා මහනුවර පිඬු පිණිස හැසිර පසුබත් කාලයෙහි පිණ්ඩපාතයෙන් හැරී එන්නේ පාඨික පුත්‍ර නිගණ්ඨයාගේ ආරාමය යම් තැනෙක්හිද දවල් කාලය ගත කරනු පිණිස එහි පැමිණෙන්නෙමි. පැමිණ සුනක්ඛත්තය, තෝ දැන් (මා හා ඍද්ධි දැක්වීමට පැමිණෙන ලෙස) යමෙකුට කියන්ට කැමැත්තෙහි නම් ඔහුට කියවයි කියන්නෙමි නම් යෙහෙකැයි සිතීමි.

ඉද්ධිපාටිහාරියකථා

“භාර්ගවය, එකල්හි වනාහි මම පෙරවරු කාලයෙහි හැඳ පොරවා පාත්‍ර සිවුරු රැගෙන විසාලාමහනුවරට පිඬු පිණිස පැමිණියෙමි. විසාලා මහනුවර පිඬු පිණිස හැසිර පසුබත් කාලයෙහි පිණ්ඩපාතයෙන් හැරීඑන්නේ පාඨික පුත්‍ර නිගණ්ඨයාගේ ආරාමය යම් තැනෙක්හිද දවල් කාලය ගතකරනු පිණිස එහි පැමිණියෙමි.
භාර්ගවය, එකල්හි සුනක්ඛත්ත ලිච්ඡවි පුත්‍ර තෙමේ විසාලා මහනුවරට ගොස් ප්‍රසිද්ධ ප්‍රසිද්ධවූ ලිච්ඡවීහු යම් යම් තැන්හිද ඒ ඒ තැන්වලට පැමිණ ප්‍රසිද්ධ ප්‍රසිද්ධ ලිච්ඡවීන්ට මෙපවත් කීයේය. ඇවැත්නි, ඒ භාග්‍යවතුන් වහන්සේ විසාලා මහනුවර පිඬු පිණිස හැසිර පසුබත් කාලයෙහි පිණ්ඩපාතයෙන් හැරීඑන්නේ පාඨික පුත්‍ර නිගණ්ඨයාගේ ආරාමය යම් තැනෙක්හිද දවල් කාලයෙහි වාසය පිණිස එහි පැමිණියෝය. ආයුෂ්මත්නි, නික්ම යව්. ආයුෂ්මත්නි, නික්ම යව්, යහපත් ස්වභාව ඇති ශ්‍රමණයින්ගේ මනුෂ්‍ය ධර්මයට වඩා උසස් ධර්මයෙන් ඍද්ධි දැක්වීමක් වන්නේයයි කී.
භාර්ගවය, එකල්හි ප්‍රසිද්ධ ප්‍රසිද්ධවූ ලිච්ඡවි රජ දරුවන්ට මෙබඳු සිතෙක් වී. ‘යහපත් ස්වභාව ඇත්තාවූ ශ්‍රමණයින්ගේ මනුෂ්‍ය ධර්මයට වඩා උසස් ධර්මයෙන් ඍද්ධි දැක්වීමක් වන්නේය. පින්වත්නි, එබැවින් ඒකාන්තයෙන්ම යන්නෙමු යයි සිතූහ. ප්‍රසිද්ධ ප්‍රසිද්ධ බ්‍රාහ්මණ මහසාර කුලිකයෝද මහත් ධනධාන්‍ය සම්පතින් යුත් ගෘහපතීහුද නොයෙක් තීර්ථකයෝද මහණ බමුණෝද යම් තැනෙක්හිද සුනක්ඛත්ත තෙමේ එහි පැමිණියේය. පැමිණ ප්‍රසිද්ධ ප්‍රසිද්ධ නොයෙක් තීර්ථකයන්ටද මහණ බමුණන්ටද මෙසේ කීය. ‘ඇවැත්නි, ඒ භාග්‍යවතුන් වහන්සේ විසාලා මහනුවර පිඬු පිණිස හැසිර පසුබත් කාලයෙහි පිණ්ඩපාතයෙන් හැරී එන්නේ පාඨික පුත්‍ර නිගණ්ඨයාගේ ආරාමය යම් තැනෙක්හිද දවල් කාලයෙහි වාසය පිණිස එහි වැඩියේය.
ඇවැත්නි, නික්ම යව්, ඇවැත්නි, නික්ම යව්, යහපත් ශ්‍රමණයින්ගේ මනුෂ්‍ය ධර්මයට වඩා උසස් ධර්මයෙන් ඍද්ධි දැක්වීමක් වන්නේයයි කීය. භාර්ගවය, එකල ප්‍රසිද්ධ ප්‍රසිද්ධවූ නොයෙක් තීර්ථකයන්ටද මහණබමුණන්ටද මෙබඳු සිතෙක් වී, ‘පින්වත්නි, යහපත්වූ ශ්‍රමණයින්ගේ මනුෂ්‍ය ධර්මයට වඩා උසස් ධර්මයෙන් ඍද්ධි දැක්වීමක් වන්නේය. පින්වත්නි, එබැවින් ඒකාන්තයෙන්ම එහි යන්නෙමුයි සිතූහ. භාර්ගවය, එකල ප්‍රසිද්ධ ප්‍රසිද්ධ ලිච්ඡවීහුද ප්‍රසිද්ධ ප්‍රසිද්ධ බ්‍රාහ්මණ මහාසාර කුලිකයෝද මහත් ධන ධාන්‍ය සම්පත්තින් යුත් ගෘහ පතීහුද නොයෙක් තීර්ථකයෝද මහණ බමුණෝද පාඨිකපුත්‍ර නිගණ්ඨයාගේ ආරාමය යම් තැනෙක්හිද එහි පැමිණියාහුය.
භාර්ගවය, ඒ මේ පිරිස් නොයෙක් සිය ගණන්වූහ, නොයෙක් දහස් ගණන් වූහ.

භාර්ගවය, පාඨික පුත්‍ර නිගණ්ඨයාට වනාහි ප්‍රසිද්ධ ප්‍රසිද්ධ ලිච්ඡවි රජ දරුවෝද ප්‍රසිද්ධ ප්‍රසිද්ධ බ්‍රාහ්මණ මහාසාර කුලිකයෝද මහත් ධන ධාන්‍ය සම්පතින් යුත් ගෘහපතීහුද නොයෙක් තීර්ථකයෝද මහණ බමුණෝද පැමිණියාහුය. ශ්‍රමණ භවත් ගෞතම තෙමේද මාගේ ආරාමයෙහි දිවා විහරණය පිණිස වැඩ හුන්නේයයි අසන්ට ලැබුනේය. ඒ අසා ඒ පාඨික පුත්‍ර නිගණ්ඨියාහට භයක්ද, තැති ගැන්මක්ද, ලොමු ඩැහැ ගැනීමක්ද ඇති විය.
භාර්ගවය, එකල පාඨික පුත්‍ර නිගණ්ඨ තෙමේ බියපත් වූයේ තැතිගන්නා ලද්දේ ලොමු ඩැහැගන්නා ලද්දේ තින්දුක ඛාණු පිරිවැජියාගේ ආරාමය යම් තැනෙක්හිද එහි පැමිණියේය. භාර්ගවය, ඒ පිරිස පාඨිකපුත්‍ර නිගණ්ඨ තෙමේ බිය පත්ව තැති
ගෙන ලොමු ඩැහැගන්නා ලදුව තින්දුකඛාණු පිරිවැජියාගේ ආරාමය යම් තැනෙක්හිද එහි පැමිණියේයයි ඇසුවාය.
භාර්ගවය, එකල ඒ පිරිස ‘එම්බා පුරුෂය, තෝ මෙහි එවයි එක්තරා පුරුෂයෙකු කැඳවූයේය. කැඳවා ඔහුට කියනුයේ ‘පින්වත්පුරුෂය, තින්දුකඛාණු පිරිවැජියාගේ ආරාමය යම් තැනෙක්හිද පාඨික පුත්‍ර නිගණ්ඨ තෙමේ යම් තැනෙක්හිද එහි යව, ගොස් පාඨික පුත්‍ර නිගණ්ඨයාහට මෙසේ කියව. ‘පාඨික පුත්‍රය, නික්ම යව, ප්‍රසිද්ධ ප්‍රසිද්ධ ලිච්ඡවි රජ දරුවෝද පැමිණියාහුය. ප්‍රසිද්ධ ප්‍රසිද්ධ බ්‍රාහ්මණ මහාසාර කුලිකයෝද මහත් ධන ධාන්‍ය සම්පතින් යුත් සිටුවරුද නොයෙක් තීර්ථකයෝද මහණ බමුණෝද පැමිණියාහුය. ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේද ආයුෂ්මත්හුගේ ආරාමයෙහි දවල්කාලය ගතකිරීම පිණිස වැඩහුන්නේය. පාඨික පුත්‍රය, තා විසින් විශාලා මහනුවර පිරිස්වලදී මෙබඳු බස් කියන ලද්දේමය. ශ්‍රමණ භවත් ගෞතම තෙමේද ඥානවාදියෙක් වන්නේය. මමද ඥාන වාදියෙක් වෙමි. ඥානවාදියෙක් තෙමේ ඥානවාදියෙකු හා මනුෂ්‍ය ධර්මයට වඩා උසස් ධර්මයෙන් ඍද්ධි දැක්වීමට සුදුසු වන්නේය. ඉදින් ශ්‍රමණ භවත් ගෞතම තෙමේ අඩ යොදුනක් යේ නම් මමද අඩ යොදුන් මාර්ගයක් යන්නෙමි. ඒ අපි දෙදෙනාම එහි මනුෂ්‍ය ධර්මයට වඩා උසස් ධර්මයෙන් ඍද්ධි දැක්වීම කරන්නෙම්, ඉදින් ශ්‍රමණ භවත් ගෞතම තෙමේ මනුෂ්‍ය ධර්මයට වඩා උසස් ධර්මයෙන් ඍද්ධි දැක්වීම් එකක් කරන්නේ නම් මම දෙකක් කරන්නෙමි. ශ්‍රමණ භවත් ගෞතම තෙමේ ඍද්ධි දැක්වීම් දෙකක් කරන්නේ නම් මම සතරක් කරන්නෙමු. ඉදින් ශ්‍රමණ භවත් ගෞතම තෙමේ ඍද්ධි දැක්වීම් සතරක් කරන්නේ නම් මම අටක් කරන්නෙමි. මෙසේ යම්තාක් ශ්‍රමණ භවත් ගෞතම තෙමේ මනුෂ්‍ය ධර්මයට වඩා උසස් ධර්මයෙන් ඍද්ධි දැක්වීම් කරන්නේ වේද මම ඊට දෙගුණයක් දෙගුණයක් බැගින් ඍද්ධි දැක්වීම් කරන්නෙමියි කීය. ඇවත් පාඨික පුත්‍රය, ශ්‍රමණභවත් ගෞතමයන් ආ මාර්ගයෙන් බාගයක් දුර යාමට නික්මෙව. සියල්ලන්ට පළමුවෙන්ම ශ්‍රමණභවත් ගෞතම තෙමේ ආයුෂ්මත්හුගේ ආරාමයට වැඩමවා දවල් කාලය ගතකරනු පිණිස වැඩ හුන්නේය’යි කියවයි කීවාහුය.
“භාර්ගවය, ඒ පුරුෂ තෙමේ ‘එසේය පින්වතැ’යි කියා ඒ පිරිසට උත්තර දී තින්දුකඛාණු පරිබ්‍රාජකයාගේ ආරාමය යම් තැනෙක්හිද පාඨිකපුත්‍ර නිගණ්ඨතෙමේ යම් තැනෙක්හිද එහි පැමිණියේය. පැමිණ පාඨික පුත්‍ර නිගණ්ඨයාට මෙසේ කීයේය. ‘ඇවැත් පාඨික පුත්‍රය, ප්‍රසිද්ධ ප්‍රසිද්ධ ලිච්ඡවි රජ දරුවෝද පැමිණියාහුය. ප්‍රසිද්ධ ප්‍රසිද්ධ බ්‍රාහ්මණ මහාසාර කුලිකයෝද ගෘහපතීහුද නොයෙක් තීර්ථකයෝද මහණ බමුණෝද පැමිණියාහුය. ශ්‍රමණභවත් ගෞතම තෙමේද ආයුෂ්මත්හුගේ ආරාමයෙහි දවල් ගතකිරීම පිණිස හුන්නේය. ඇවැත් පාඨික පුත්‍රය, තා විසින් විශාලා මහනුවර පිරිස්හි මෙබඳු වචනයක් කියන ලද්දේය. ‘ශ්‍රමණභවත් ගෞතම තෙමේද ඥානවාදියෙක මමද ඥානවාදියෙක්මි. ඥානවාදියෙක් තෙමේ ඥානවාදියෙකු හා මනුෂ්‍ය ධර්මයට වඩා උසස් ධර්මයෙන් ඍද්ධි දැක්වීමට සුදුසු වන්නේය.
ඉඳින් ශ්‍රමණභවත් ගෞතම තෙමේ අඩ යොදුනක් යේ නම් මමද අඩ යොදුන් මාර්ගයක් යන්නෙමි. ඒ අපි දෙදෙනාම එහි මනුෂ්‍ය ධර්මයට වඩා උසස් ධර්මයෙන් ඍද්ධි දැක්වීම කරන්නෙමු, ඉදින් ශ්‍රමණභවත් ගෞතම තෙමේ මනුෂ්‍ය ධර්මයට වඩා උසස් ධර්මයෙන් ඍද්ධි දැක්වීම් එකක් කරන්නේ නම් මම දෙකක් කරන්නෙමි. ශ්‍රමණභවත් ගෞතම තෙමේ ඍද්ධි දැක්වීම් දෙකක් කරන්නේ නම් මම සතරක් කරන්නෙමි. ඉදින් ශ්‍රමණ භවත් ගෞතම තෙමේ ඍද්ධි දැක්වීම් සතරක් කරන්නේ නම් මම අටක් කරන්නෙමි. මෙසේ යම් තාක් ශ්‍රමණභවත් ගෞතම තෙමේ මනුෂ්‍ය ධර්මයට වඩා උසස් ධර්මයෙන් ඍද්ධි දැක්වීම් කරන්නේ වේද මම ඊට දෙගුණයක් දෙගුණයක් බැගින් ඍද්ධි දැක්වීම් කරන්නෙමි’යි කියායි. එබැවින් ඇවැත් පාඨික පුත්‍රය, එහි යාමට නික්මෙව. සියල්ලන්ට පළමුකොටම වනාහි ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ වැඩමවා ආයුෂ්මත්හුගේ ආරාමයෙහි දිවාවිහරණය පිණිස වැඩහුන්නේයයි’ කී.
“භාර්ගවය, මෙසේ කී කල්හි පාඨික පුත්‍ර තෙමේ ‘ඇවත, එන්නෙමි. ඇවත, එන්නෙමි’යි කියමින් එහිම ලැගෙන්නේය, හුනස්නෙන් නැගිටින්ටද නොහැකි වන්නේය.
“භාර්ගවය, එකල ඒ පුරුෂ තෙමේ පාඨික පුත්‍ර නිගණ්ඨයාට මේ කරුණ කීයේය. ‘ඇවැත් පාඨිකපුත්‍රය, කිමෙක්ද? තාගේ තට්ටම් හිඳිනා අසුනෙහි ඇලුනාහුද නොහොත් අසුන වනාහි තාගේ තට්ටම්වල ඇලුනේද, ‘එන්නෙමි ඇවත, එන්නෙමි ඇවතය’යි කියමින් එහිම ලැගෙන්නේය, හුනස්නෙන් නැගිටින්ටද නොහැකි වන්නේයයි කීය.
“භාර්ගවය, යම් කලෙක ඒ පුරුෂ තෙමේ මේ පාඨික පුත්‍ර නිගණ්ඨ තෙමේ පැරදුනු ස්වභාව ඇතිව ‘එමි ඇවත, එමි, ඇවතය’යි කියමින් එහිම ලැගෙන්නේය, හුනස්නෙන් නැගිටින්ටද නොහැකි වන්නේයයි දැනගත්තේද එසේ ඇති කල්හි ඒ පිරිසට අවුත් ‘පින්වත්නි, ඒ පාඨික පුත්‍ර නිගණ්ඨ තෙමේ එමි ඇවත, එමි ඇවත’යි කියමින් එහිම ලැගෙන්නේය, හුනස්නෙන් නැගිටින්ටද නොහැකි වන්නේය, පැරදුනු ස්වභාව ඇත්තෙක් වූයේය’යි කී.
“භාර්ගවය, මෙසේ කී කල්හි මම ඒ පිරිසට මෙසේ කීවෙමි, ‘ඇවැත්නි, පාඨික පුත්‍ර නිගණ්ඨ තෙමේ ඒ වචනය පහ නොකොට ඒ සිත පහනොකොට ඒ දෘෂ්ටිය අත්නොහැර මාගේ ඉදිරියට එන්ට අසමර්ථ වන්නේය. ඉඳින් වනාහි ඔහුට ‘මම් ඒ වචනය පහනොකොට ඒ සිත පහ නොකොට ඒ දෘෂ්ටිය අත්නොහැර ශ්‍රමණභවත් ගෞතමයන්ගේ ඉදිරියට යන්නෙමියි’ මෙබඳු සිතෙක් වූයේ නම් ඔහුගේ හිස සත් කඩකට පැලෙන්නේයයි කීවෙමි.
භාර්ගවය, එකල්හි වනාහි එක්තරා ලිච්ඡවි මහාමාත්‍යයෙක් තෙමේ හුනස්නෙන් නැගිට ඒ පිරිසට මෙසේ කීයේය. ‘එසේවී නම් පින්වත්නි, යම්තාක් මම එන්නෙම්ද ඒ තාක් මොහොතක් කල් ඉවසව්. මමද පාඨිකපුත්‍ර නිගණ්ඨයා මෙහි ගෙනඑන්ට හැකිවන්නෙම් නම් ඉතා යහපත් වන්නේය’යි කීය. භාර්ගවය, එකල්හි ඒ ලිච්ඡවි මහාමාත්‍ය තෙමේ තින්දුකඛාණු පිරිවැජියාගේ ආරාමය යම් තැනෙක්හිද පාඨික පුත්‍ර නිගණ්ඨ තෙමේ යම් තැනෙක්හිද එතැන්හි පැමිණියේය. පැමිණ, පාඨිකපුත්‍ර නිගණ්ඨයාට මෙසේ කීයේය. ‘ඇවැත් පාඨිකපුත්‍රය, නික්මෙව, තාගේ නික්ම යාම ඉතා යහපත් වන්නේය. ප්‍රසිද්ධ ප්‍රසිද්ධ ලිච්ඡවි රජදරුවෝද පැමිණියාහුය. ප්‍රසිද්ධ ප්‍රසිද්ධ බ්‍රාහ්මණ මහසාර කුලිකයෝද, ගෘහපතිහුද, නොයෙක් තීර්ථකයෝද, මහණ බමුණෝද පැමිණියාහුය. ශ්‍රමණභවත් ගෞතම තෙමේද ආයුෂ්මත්හුගේ ආරාමයෙහි දවල් කාලය සඳහා හුන්නේය.
ඇවැත් පාඨිකපුත්‍රය, තා විසින් විශාලා මහනුවර පිරිස්හි මෙබඳු වචනයක් කියන ලද්දේය, ‘ශ්‍රමණභවත් ගෞතම තෙමේ ඥානවාදියෙක් වන්නේය. මමද ඥානාවදියෙක් වෙමි. ඥානවාදියෙක් තෙමේ ඥානවාදියෙකු හා මනුෂ්‍ය ධර්මයට වඩා උසස් ධර්මයෙන් ඍද්ධි දැක්වීමට සුදුසු වන්නේය.
ඉඳින් ශ්‍රමණ භවත් ගෞතම තෙමේ අඩ යොදුනක් යේ නම් මමද අඩ යොදුන් මාර්ගයක් යන්නෙමි. ඒ අපි දෙදෙනාම එහි මනුෂ්‍ය ධර්මයට වඩා උසස් ධර්මයෙන් ඍද්ධි දැක්වීම කරන්නෙමු, ඉදින් ශ්‍රමණ භවත් ගෞතම තෙමේ මනුෂ්‍ය ධර්මයට වඩා උසස් ධර්මයෙන් ඍද්ධි දැක්වීම් එකක් කරන්නේ නම් මම දෙකක් කරන්නෙමි. ශ්‍රමණ භවත් ගෞතම තෙමේ ඍද්ධි දැක්වීම් දෙකක් කරන්නේ නම් මම සතරක් කරන්නෙමි. ඉඳින් ශ්‍රමණ භවත් ගෞතම තෙමේ ඍද්ධි දැක්වීම් සතරක් කරන්නේ නම් මම අටක් කරන්නෙමි. මෙසේ යම්තාක් ශ්‍රමණ භවත් ගෞතම තෙමේ මනුෂ්‍ය ධර්මයට වඩා උසස් ධර්මයෙන් ඍද්ධි දැක්වීම් කරන්නේ වේද, මම ඒ ප්‍රාතිහාර්‍ය්‍ය දෙගුණයක් දෙගුණයක් වශයෙන් කරන්නෙමි’ යි කියායි. ඇවැත් පාඨිකපුත්‍රය, මාර්ගයෙහි බාගයක් යාමට නික්මෙව, සියල්ලට පළමුව ශ්‍රමණභවත් ගෞතම තෙමේ ආයුෂ්මත්හුගේ ආරාමයෙහි දිවාවිහරණය පිණිස හුන්නේය. ඇවැත් පාඨිකපුත්‍රය, ශ්‍රමණභවත් ගෞතමයන් විසින් පිරිසෙහි මෙබඳු වචන ප්‍රකාශ කරන ලද්දේය. පාඨිකපුත්‍ර නිගණ්ඨ තෙමේ ඒ වචනය පහ නොකොට ඒ සිත පහ නොකොට ඒ දෘෂ්ටිය අත්නොහැර මාගේ සම්මුඛයට එන්ට නුසුදුස්සෙක් වන්නේමය. ඉඳින් වනාහි ඔහුට ‘යන්නෙම්යයි’ මෙබඳු සිතෙක් වීනම් ඔහුගේ හිස සත්කඩකට පැළෙන්නේයයි’ කියායි.
(එබැවින් ඇවැත් පාඨික පුත්‍රය), නික්මෙව, නික්ම යාමෙන්ම තට ජයක් කරන්නෙමු. ශ්‍රමණභවත් ගෞතමයාහට පරාජය වන්නේයයි’ කී.
මෙසේ කී කල්හි පාඨික පුත්‍ර නිගණ්ඨ තෙමේ ‘ඇවත එන්නෙමියි’ කියා එහිම ලැගෙන්නේය. හුනස්නෙන් නැගිටින්ටද නොහැකි වන්නේය, භාර්ගවය, එකල්හි ලිච්ඡවි මහාමාත්‍යතෙමේ පාඨිකපුත්‍ර නිගණ්ඨයාට මෙසේ කීයේය. ‘ඇවැත් පාඨිකපුත්‍රය කිමෙක්ද? තාගේ තට්ටම් ආසනයෙහි ඇලුනාහුද නොහොත් තාගේ තට්ටම්වල ආසනය ඇලුනේද? ‘එමි ඇවත, එමි ඇවතැයි’ කියමින් එහිම ලැගෙන්නේය, හුනස්නෙන් නැගිටින්ටද නොහැකි වන්නේය’යි කී. භාර්ගවය, මෙසේද, කියනු ලැබූ පාඨික පුත්‍ර නිගණ්ඨ තෙමේ එමි ඇවත, එමි ඇවතැ’යි කියා, එහිම ලැගෙන්නේය, නැගිටින්ටද නොහැකි වන්නේය,
භාර්ගවය, යම් කලෙක ඒ ලිච්ඡවි මහාමාත්‍ය තෙමේ පාඨිකපුත්‍ර නිගණ්ඨ තෙමේ පැරදුනු ස්වභාව ඇත්තේ ‘එමි ඇවත, එමි ඇවත’යි කියමින් එහිම ලැගෙයි, හුනස්නෙන් නැගිටින්නටත් නොහැකි වන්නේයයි දැනගත්තේද, එසේ දැනගත් කල්හි ඒ පිරිස කරා ගොස් මෙසේ කීයේය.
“පින්වත්නි, පාඨිකපුත්‍ර නිගණ්ඨ තෙමේ පැරදුනු ස්වභාව ඇත්තේ ‘එමි ඇවත, එමි ඇවත’යි කියමින් එහිම ලැගෙන්නේය. හුනස්නෙන් නැගිටින්ටත් නොහැකි වන්නේය”යි කීය.
“භාර්ගවය, මෙසේ කී කල්හි මම ඒ පිරිසට මෙසේ කීවෙමි. ‘ඇවැත්නි, පාඨිකපුත්‍ර නිගණ්ඨ තෙමේ ඒ වචනය පහ නොකොට ඒ සිත පහනොකොට ඒ දෘෂ්ටිය අත්නොහැර ශ්‍රමණභවත් ගෞතමයන්ගේ ඉදිරියට යන්නෙම්යයි සිතීනම් ඔහුගේ හිසද සත් කඩකට පැළෙන්නේය.’ ඉඳින් ආයුෂ්මත් ලිච්ඡවි රජදරුවන්ට මෙබඳු සිතෙක් වන්නේද ‘අපි පාඨික පුත්‍ර නිගණ්ඨයා වරපටවලින් බැඳ සියයක් පමණවූ හෝ දහසක් පමණවූ හෝ ගොන්බාන්වලින් අදින්නෙමුය’යි අදින්නාහු නම් ඒ වරපටවල් හෝ (රැහැන්) සිඳී යන්නාහුය, පාඨිකපුත්‍ර තෙමේ හෝ සිඳී යන්නේය, පාඨිකපුත්‍ර නිගණ්ඨ තෙමේ ඒ වචනය පහනොකොට, ඒ සිත පහනොකොට ඒ දෘෂ්ටිය අත්නොහැර මා හමුවට පැමිණීමට නුසුදුසු වන්නේය. ඉඳින් ඔහුට මෙබඳු සිතෙක් වේනම් ‘මම ඒ වචනය පහනොකොට ඒ සිත පහනොකොට ඒ දෘෂ්ටිය අත්නොහැර ශ්‍රමණ භවත් ගෞතමයන්ගේ ඉදිරියට (හමුවීමට) යන්නෙම්ය’යි සිතී නම් ඔහුගේ හිස හත්කඩකට පැළෙන්නේයයි ප්‍රකාශ කෙළෙමි.
“භාර්ගවය, එකල්හි වනාහි දාරුපත්තික නම් කෙනෙකුගේ අතවැසි ජාලිය නම් තැනැත්තෙක් හුනස්නෙන් නැගිට ඒ පිරිසට මෙසේ කීයේය.
‘පින්වත්නි, එසේවී නම් යම්තාක් මම ගොස් එන්නෙම්ද ඒතාක් මොහොතක් පමණ කල් නවතිව්, මමද පාඨික පුත්‍ර නිගණ්ඨයා මෙහි ගෙනඑන්ට හැකි වන්නෙම් නම් ඉතා යහපත් වන්නේයයි’ කී. භාර්ගවය, එකල්හි දාරුපත්තික අතවැසි ජාලිය නම් තැනැත්තේ තින්දුකඛාණු පරිබ්‍රාජකාරාමය යම් තැනෙක්හිද පාඨික පුත්‍ර නම් නිගණ්ඨ තෙමේ යම් තැනෙක්හිද එහි පැමිණියේය. පැමිණ පාඨික පුත්‍ර නිගණ්ඨයාට මේ වචනය කීයේය. ‘ඇවැත් පාඨික පුත්‍රය, නික්ම යව. තොපගේ නික්ම යාම යහපත් වන්නේය. ප්‍රසිද්ධ ප්‍රසිද්ධ ලිච්ඡවි රජදරුවෝද ප්‍රසිද්ධ ප්‍රසිද්ධ බ්‍රාහ්මණ මහාසාර කුලිකයෝද මහත් ධන ධාන්‍ය සම්පතින් යුත් සිටුවරුද නොයෙක් තීර්ථකයෝද මහණ බමුණෝද පැමිණියාහුය. ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේද ආයුෂ්මත්හුගේ ආරාමයෙහි දවල් කාලය ගතකිරීම පිණිස හුන්නේය. ඇවැත් පාඨික පුත්‍රය, තා විසින් විශාලා මහනුවර පිරිස්වල මෙබඳු බස් කියන ලද්දේය. ‘ශ්‍රමණ භවත් ගෞතම තෙමේත් ඥානවාදියෙක් වන්නේය. මමද ඥානවාදියෙක් වෙමි. ඥානවාදියෙක් ඥානවාදියෙකු හා මනුෂ්‍ය ධර්මයට වඩා උසස් ධර්මයෙන් ඍද්ධි දැක්වීමට සුදුසු වන්නේය.
ඉදින් ශ්‍රමණ භවත් ගෞතම තෙමේ අඩ යොදුනක් යේ නම් මමද අඩ යොදුන් මාර්ගයක් යන්නෙමි. ඒ අපි දෙදෙනාම එහි මනුෂ්‍ය ධර්මයට වඩා උසස් ධර්මයෙන් ඍද්ධි දැක්වීම කරන්නෙමු, ඉඳින් ශ්‍රමණ භවත් ගෞතම තෙමේ මනුෂ්‍ය ධර්මයට වඩා උසස් ධර්මයෙන් ඍද්ධි දැක්වීම් එකක් කරන්නේ නම් මම දෙකක් කරන්නෙමි. ශ්‍රමණ භවත් ගෞතම තෙමේ ඍද්ධි දැක්විම් දෙකක් කරන්නේ නම් මම සතරක් කරන්නෙමි. ඉදින් ශ්‍රමණ භවත් ගෞතම තෙමේ ඍද්ධි දැක්වීම් සතරක් කරන්නේ නම් මම අටක් කරන්නෙමි. මෙසේ යම්තාක් ශ්‍රමණ භවත් ගෞතම තෙමේ මනුෂ්‍ය ධර්මයට වඩා උසස් ධර්මයෙන් ඍද්ධි දැක්වීම් කරන්නේ වේද, මම ඊට දෙගුණයක් දෙගුණයක් වශයෙන් ඍද්ධි දැක්වීම් කරන්නෙමි’යි කියායි. ඇවැත් පාඨිකපුත්‍රය, අඩ දුරක් මඟ නික්මයේවා. සියල්ලන්ට පළමු කොටම ශ්‍රමණ භවත් ගෞතම තෙමේ අවුත් ආයුෂ්මත්හුගේ ආරාමයෙහි දවල් කාලය ගතකිරීම පිණිස හුන්නේය. ඇවැත් පාඨිකපුත්‍රය, ශ්‍රමණ භවත් ගෞතමයන් විසින් තාහට පිරිස්වල මේ වචනය කියන ලද්දේය. ‘පාඨිකපුත්‍ර නිගණ්ඨතෙමේ ඒ වචනය පහනොකොට ඒ සිත පහනොකොට ඒ දෘෂ්ටිය අත්නොහැර මා හමුවට පැමිණීමට නුසුදුසු වන්නේය. ඉඳින් ශ්‍රමණභවත් ගෞතමයන්ගේ හමුවට යන්නෙම්යයි සිතීනම් ඔහුගේ හිස සත්කඩකට පැළෙන්නේය’යිද ඉඳින් ආයුෂ්මත් ලිච්ඡවීන්ට මෙබඳු සිතෙක් වන්නේ නම් ‘අපි පාඨිකපුත්‍ර නිගණ්ඨයා වරපටවලින් බැඳ සියගණන් ගොන්බාන්වලින් ඇද එන්නෙමුයයි (උත්සාහ කෙළේ නම්) ඒ වරපටවල් හෝ පාඨිකපුත්‍රයා හෝ සිඳීයන්නේය. පාඨික පුත්‍ර නිගණ්ඨ තෙමේ ඒ වචනය පහනොකොට ඒ සිත පහනොකොට ඒ දෘෂ්ටිය අත්නොහැර මාගේ හමුවට එන්ට නුසුදුස්සෙක් වන්නේය. ඉඳින් එසේ නොකොට ශ්‍රමණ භවත් ගෞතමයින්ගේ හමුවට යන්නෙමියි සිතී නම් ඔහුගේ හිස සත්කඩකට පැළෙන්නේය’ යි ප්‍රකාශ කළහ. ‘පාඨිකපුත්‍රය’ නික්ම යව, පාඨිකපුත්‍රය, නික්ම යාමෙන්ම තාහට ජය අත්කර දෙන්නෙමු, ශ්‍රමණභවත් ගෞතමයන් පරදවන්නෙමුය’යි කී.
භාර්ගවය, මෙසේ කී කල්හි පාඨිකපුත්‍ර තෙමේ ‘ඇවත, යමි’ ‘ඇවත, යමි’ කියා එහිම ලැගෙන්නේය, හුනස්නෙන් නැගිටින්ටද නොහැකි වන්නේය. භාර්ගවය, එකල්හි වනාහි දාරුපත්තික අතවැසි ජාලියතෙමේ පාඨිකපුත්‍ර නිගණ්ඨයාහට මේ වචනය කීය. ‘කිමෙක්ද? තාගේ තට්ටම් අසුනෙහි ඇලුනේද? නොහොත් තාගේ තට්ටම්වල ආශනය ඇලුනේද?’ යමි ඇවත, යමි ඇවතැයි කියමින් එහිම ලැගෙන්නේය, හුනස්නෙන් නැගිටින්ටද නොහැකි වන්නේය’යි කී.
භාර්ගවය, යම් කලෙක ජාලිය නම් දාරුපත්තික අතවැසි තෙමේ මේ පාඨික පුත්‍ර නිගණ්ඨ තෙමේ ‘යමි ඇවැත, යමි ඇවතැයි’ කියමින් එහිම ලැගෙන්නේය නැගිටින්ටද නොහැකි වන්නේය (මොහු) පැරදුනු ස්වභාව ඇත්තෙක් වන්නේයයි දැනගත්තේද එසේ ඇතිකල්හි ඔහුට මෙසේ කීයේය.
‘ඇවැත් පාඨිකපුත්‍රය, පෙර කලෙක මෘගයන්ට රජවූ සිංහයෙකුට මෙබඳු අදහසක් විය. මම එක්තරා වන ලැහැබක් ඇසුරුකොට පවත්නා ගුහාවෙක වාසය කරන්නෙම් නම්, එහි වාසය කොට සවස් කාලයෙහි එතැනින් නික්මෙන්නෙම් නම්, නික්ම ශරීරය ගසා හෙළන්නෙම් නම්, ශරීරය ගසාහෙළා හාත්පස සිව් දිසාවන් බලන්නෙම් නම්, හාත්පස සිව් දිසාවන් බලා තුන්වරක් සිංහනාද කරන්නෙම්නම්, තුන්වරක් සිංහනාදකොට ගොදුරු පිණිස යන්නෙම් නම් ගොස් හොඳ හොඳ මුව සමූහයා මරා මෘදු මෘදු මස් කා එම ගුහාවට පැමිණෙන්නෙම් නම් යෙහෙකැ’යි සිතීය. එකල ඒ සිංහරාජතෙමේ එක්තරා වන ලැහැබක් ඇසුරුකොට ගුහාවක වාසය කෙළේය. එහි වාසයකොට සවස් කාලයෙහි එතැනින් නික්මුනේය. නික්ම ඒ හාත්පස සතරදිසාවන් අනුව බැලුවේය. හාත්පස සිව්දිසාවන් බලා තුන්වරක් සිංහනාද කෙළේය. තුන් වරක් සිංහනාද කොට ගොදුරු පිණිස නික්ම ඒ සිංහරාජ තෙමේ හොඳ හොඳ මුව සමූහයා මරා මෘදු මෘදු මස් කා එම ස්ථානයටම පැමුණුනේය.
ඇවැත් පාඨික පුත්‍රය, එම සිංහයාගේම ඉඳුල් කා වැඩුනාවූ ජර සිවලෙක් මහත්වූ ශරීර ඇත්තේ බලසම්පන්නයෙක් වීය. ඇවත, එකල ඒ සිවලාහට මෙබඳු සිතෙක් විය. ‘මම කවරෙක් වෙම්ද? ඒ සිංහරාජයා කවරෙක්ද? මමද එක්තරා වන ලැහැබක් නිසා වාසය කරන්නෙම් නම්, එහි වාසය කොට සවස් කාලයෙහි එතැනින් නික්මෙන්නෙම් නම්, නික්ම කය ගසාදමන්නෙම් නම්, කය ගසාදමා හාත්පස සිව්දිසා බලන්නෙම් නම්, හාත්පස සිව් දිසාවන් බලා, තුන්වරක් සිංහනාද කරන්නෙම් නම්, තුන් වරක් සිංහනාද කොට ගොදුරු පිණිස යන්නෙම් නම්, ඒ මම හොඳ හොඳ මුව සමූහයා මරා මෘදු මෘදු මස් කා එම ආශ්‍රය ස්ථානයටම පැමිණෙන්නෙම් නම් යෙහෙකැයි සිතීය. ඇවත එකල්හි වනාහි ඒ ජර සිවලා එක්තරා වන ලැහැබක් නිසා වාසය කෙළේය. එහි වාසයකොට සවස් කාලයෙහි එතැනින් නික්ම කය ගසා හෙලුයේය. කය ගසා හෙළා හාත්පස සිව් දිසා බැලීය. හාත්පස සිව්දිසා බලා තුන්වරක් සිංහනාද කරන්නෙමියි සිවල් නාදයක්ම කෙළේය. අප්‍රිය අමනාප නාදයක්ම කෙළේය. නින්දිත සිවලා කවරෙක්ද? සිංහනාදය නම් කවරේද? ඇවත් පාඨිකපුත්‍රය, එපරිද්දෙන්ම තෝ බුදුරදුන්ට දෙන සිව්පසයෙන් ඉතිරිදේ කා ජීවත්වෙමින් තථාගත අර්හත් සම්‍යක් සම්බුද්ධවූ බුදුරදුන් හා සමවිය හැක්කකු සේ සිතුයෙහිද? නින්දිතවූ පාඨිකපුත්‍ර තෙමේ කවරෙක්ද? තථාගතවූ රහත්වූ සම්‍යක් සම්බුදුරදුන් හා සමානවන්ට යාම කුමක්දැ’යි කීය.
භාර්ගවය, යම් හේතුවකින් ජාලිය නම් දාරුපත්තික අතවැසි තෙමේ මේ උපමාවෙන්ද පාඨික පුත්‍ර නිගණ්ඨයා ඒ ආසනයෙන් සොලවන්ට නොහැකි වූයේමය.
ඉන්පසු ඔහුට (මේ ගාථාව කීවේය) ‘තමන් සිංහරාජයෙක්යයි සිතා සිවල් තෙමේ (සිංහරාජයාගේ ඉඳුල්, මස්, කා වැඩීමෙන් මහත්වූ තම ශරීරය පැන්වළෙක්හිදී ඡායාවෙන් දැක) මම මෘගරාජයෙක් වෙමියි, නැවත මෙනෙහි කෙළේය. (අදහස් කෙළේය) එසේ අදහස්කොට සිංහරාජයෙක්යයි නාදකරන්නාවූ හෙතෙමේ සිවල් නාදයක් කෙළේය. නින්දිතවූ සිවල්නාදය කවරක් වන්නේද? උතුම් සිංහනාදය කවරක් වන්නේද?
ඇවැත් පාඨික පුත්‍රය, එසේම ‘තෝ සුගත්වූ බුදුරදුන්ට දෙන සිව්පසයෙන් ඉතිරි බොජුන් කා ජීවත්වන්නේ තථාගතවූ අර්හත්වූ සම්‍යක් සම්බුදුරදුන් හා සමවිය හැක්කකු සේ සිතන්නෙහිද? නින්දිතවූ පාඨික පුත්‍ර තෙමේ කවරෙක්ද? තථාගත අර්හත් සම්‍යක් සම්බුදුන් හා සමවීම කවරක්ද?
භාර්ගවය, යම් හේතුවකින් ජාලිය නම් දාරුපත්තික අතවැසි තෙමේ මේ උපමාවෙන්ද පාඨිකපුත්‍ර නිගණ්ඨයා ඒ ආසනයෙන් ඉවත් කරන්ට නොහැකි වූයේමය. නැවතද ඔහුට මෙසේ කීයේය.
සිවල් තෙමේ වනයෙහි ඇවිදින්නේ සිංහයාගේ ඉඳුල් මස් කා වැඩුනු තමාගේ මහත්වූ ශරීරය දිය වළෙක්හි ඡායාවෙන් දැක තමා සිංහරාජයෙකැයි නැවත සිතූයේය. යම්තාක් තමාගේ ශරීරය නොදනීද ඒතාක් තමා සිංහරාජයෙකැයි සිතන්නේය. එසේම ඒ සිවල්තෙමේ සිවල්නාදයම කරන්නේය. නින්දිත සිවල්තෙම කවරෙක්ද? සිංහනාදය කවරක්දැයි, කී.
ඇවැත් පාඨික පුත්‍රය, මෙපරිද්දෙන්ම තෝ සුගත්වූ බුදුරදුන්ට දෙන සිව්පසයෙන් ඉතිරි බොජුන් කමින් ජීවත් වන්නේ තථාගත අර්හත් සම්‍යක් සම්බුදුරදුන් හා සමවිය යුත්තෙකු කොට සිතන්නෙහිද? නින්දිත පාඨික පුත්‍රතෙමේ කවරෙක්ද? තථාගත අර්හත් සම්‍යක් සම්බුදුරදුන් හා සමවීම කවරක්දැයි’ කී.
භාර්ගවය, යම් හේතුවකින් ජාලිය නම් දාරුපත්තික අතවැසි තෙමේ මේ උපමාවෙන්ද, පාඨික පුත්‍ර නිගණ්ඨයා ඒ ආසනයෙන් පහකරවන්ට නොහැකි වූයේමය. නැවතද ඔහුට මෙසේ කීය.
(හිවලෙක් තෙමේ) දියවලවල්වල මැඩියන්ද කලවිටිවල මීයන්ද අමු සොහොන්වල දමනලද කුණපයන්ද කා මහ වනයෙහි හා හිස් වනයෙහිද විශෙෂයෙන් වැඩුණේ මම මෘග රාජයෙක් (සිංහරාජයෙක්) වෙමියි, සිතූයේය. එසේ සිතා ඒ සිවල්තෙමේ සිංහනාද කරමියි සිවල් නාදයක්ම කෙළේය. නින්දිත සිවල්තෙමේ කවරෙක්ද? සිංහනාදය කවරක්දැයි’ කී.
ඇවැත් පාඨික පුත්‍රය, එපරිද්දෙන්ම තෝ වනාහි සුගත්වූ බුදුරදුන්ට දෙන සිව්පසයෙන් ඉතිරි බොජුන් කමින් ජීවත්වන්නේ තථාගත අර්හත් සම්‍යක් සම්බුදුන් හා සමවිය යුත්තෙකු කොට සිතන්නෙහිද? නින්දිත පාඨික පුත්‍ර තෙමේ කවරෙක්ද? තථාගත අර්හත් සම්‍යක් සම්බුදුන් හා සමවීම කවරක්දැයි, කී.
භාර්ගවය, යම් හේතුවකින් ජාලිය නම් දාරුපතිත්ක අතවැසි තෙමේ මේ උපමාවෙන්ද පාඨික පුත්‍ර නිගණ්ඨයා ඒ ආසනයෙන් පහකරන්නට නොහැකි වූයේමය. එසේ ඇති කල ඔහු ඒ පිරිසට අවුත් මෙසේ කීයේය.
‘පින්වත්නි, පාඨික පුත්‍ර නිගණ්ඨ තෙමේ පැරදුනු ස්වභාව ඇත්තේය. ‘ඇවත යමි, ඇවත යමියි’ කියා එහිම ලැගෙන්නේය. හුනස්නෙන් නැගිටින්ටද නොහැකි වන්නේයයි’ කී.
භාර්ගවය, මෙසේ කී කල්හි මම ඒ පිරිසට මෙසේ කීමි. පාඨික පුත්‍ර නිගණ්ඨ තෙමේ ඒ වචනය පහනොකොට ඒ දෘෂ්ටිය අත්නොහැර මාගේ ඉදිරියට එන්ට නුසුදුස්සෙක් වන්නේය. ඉදින් ඔහුට ‘මම ඒ වචනය පහනොකොට ඒ සිත පහනොකොට ඒ දෘෂ්ටිය අත්නොහැර ශ්‍රමණ භවත් ගෞතමයන්ගේ ඉදිරියට යන්නෙමි’යි සිතී නම් ඔහුගේ හිසද සත්කඩකට පැළෙන්නේය. ඉඳින් ආයුෂ්මත් ලිච්ඡවි රජුන්ට මෙබඳු සිතක් වන්නේ නම්’ අපි පාඨිකපුත්‍ර නිගණ්ඨයා වරපටවලින් බැඳ ගොන් බාන්වලින් ඇද එන්නෙමුයයි (අද්ද වන්නාහුද) ඒ වරපටවල් හෝ සිඳී යන්නාහුය. පාඨිකපුත්‍රයා හෝ සිඳී යන්නේය. පාඨිකපුත්‍ර නිගණ්ඨ තෙමේ ඒ වචනය පහනොකොට ඒ සිත දුරු නොකොට ඒ දෘෂ්ටිය අත්නොහැර මාගේ ඉදිරියට එන්ට නුසුදුසු වන්නේය. ඉඳින් ඔහුට මම ඒ වචනය පහනොකොට ඒ සිත පහනොකොට ඒ දෘෂ්ටිය අත්නොහැර ශ්‍රමණ භවත් ගෞතමයන්ගේ ඉදිරියට යන්නෙම් යයි සිතී නම් ඔහුගේ හිසද සත්කඩකට පැලෙන්නේයයි’ කීමි.
“භාර්ගවය, එකල්හි මම ඒ පිරිසට දැහැමි කථාවෙන් කරුණු දැක්වීමි, දැඩි සේ ගැන්වීමි, සිත් තියුණු කරවීමි, සිත් පැහැදවීමි. ඒ පිරිස දැහැමි කථාවෙන් කරුණු දක්වා සිත් පහදවා මහත්වූ සසර කෙලෙස් බැඳුමෙන් මිදුනවුන් කොට අසූසාර දහසක් ප්‍රාණීන් මහත්වූ සංසාර දුර්ගමාර්ගයෙන් උදුරා නිවන්පුර අද්දර පිහිටුවා තෙජො ධාතු සමාපත්තියට සමවැදී තල්ගස් සතක් පමණවූ අහසට පැන නැග, අනිකුදු තල්ගස් හතක් පමණවූ තැන ගිනිසිළු මවා දල්වා, දුම් පිටකොට, ප්‍රාතිහාර්‍ය්‍ය දක්වා මහාවනයෙහිවූ කූටාගාර ශාලාවට පැමිණ සිටියෙමි.
“භාර්ගවය, එකල වනාහි සුනක්ඛත්ත ලිච්ඡවි පුත්‍රතෙමේ මම යම් තැනෙක්හිද එහි පැමිණියේය. පැමිණ, මට වැඳ එකපැත්තක හුන්නේය. භාර්ගවය, එකපැත්තක හුන්නාවූ සුනක්ඛත්ත ලිච්ඡවි පුත්‍රයාට මම මෙසේ කීමි. ‘සුනක්ඛත්තය, තෝ කුමක් සිතන්නෙහිද? මම තට පාඨික පුත්‍ර නිගණ්ඨයා ගැන යම් පරිද්දෙකින් කීයෙම්ද ඒ විපාකය එසේම වීද? අන් පරිද්දෙකින් වීදැයි’ ඇසීමි. ‘ස්වාමීන්වහන්ස, භාග්‍යවතුන් වහන්සේ පාඨික පුත්‍ර නිගණ්ඨයා ගැන යම් පරිද්දෙකින් ප්‍රකාශ කෙළේද ඒ විපාකය එසේම වූයේය. අන් පරිද්දෙකින් නොවූයේයයි’කී. ‘සුනක්ඛත්තය, තෝ කුමක් සිතන්නෙහිද? ඉඳින් මෙසේ ඇති කල්හි මනුෂ්‍ය ධර්මයට වඩා උසස් ධර්මයෙන් ඍද්ධි දැක්වීම කරණ ලද්දේද, නොකරණ ලද්දේද?
“ස්වාමීන්වහන්ස, මෙසේ ඇති කල්හි ඒකාන්තයෙන්ම මනුෂ්‍යධර්මයට වඩා උසස් ධර්මයෙන් ඍද්ධි දැක්වීම කරණ ලද්දේ වේ. නොකරණ ලද්දේ නොවේයැ’යි කී. ‘හිස් පුරුෂය, මෙසේද ඇතිකල්හි මනුෂ්‍ය ධර්මයට වඩා උසස් ධර්මයෙන් ඍද්ධි දැක්වීම කරන්නාවූ මට තෝ මෙසේ කියන්නෙහිය. ‘ස්වාමීන්වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මට මනුෂ්‍ය ධර්මයට වඩා උසස් ධර්මයෙන් ඍද්ධි දැක්වීම නොකරන්නේමයයි’ කියයි. හිස් පුරුෂය, බලව, කෙතරම් මහත් අපරාධයෙක් තා විසින් කරණ ලද්දේදැයි’ කීයෙමි.
භාර්ගවය, මෙසේද මා විසින් කියනු ලබන්නාවූ සුනක්ඛත්ත ලිච්ඡවි පුත්‍ර තෙමේ මේ ධර්ම විනය නම්වූ ශාසනයෙන් අපායෙහි ඉපදීමට සුදුසු නිරිසතෙක් එහි යන්නේ යම්සේද එසේම පහවී ගියේයයි’ කීවාහුය.

ලොකොත්පත්ති කථා

“භාර්ගවය, මම ලොකොත්පත්තිය පිළිබඳ වංශයත් දනිමි. එයින් මතු සර්වඥතාඥානය දක්වා සියල්ලත් දනිමි. එහෙත් මම මෙනම් දේ දනිමියි තෘෂ්ණා දෘෂ්ටි මානයන්ගේ වශයෙන් නොගනිමි. තෘෂ්ණා දෘෂ්ටි මාන වශයෙන් නොගන්නාවූ මා විසින් තමාම, තමා තුළ කෙලෙසුන්ගේ නිවීම දැනගන්නා ලද්දේය. යම් බඳු කෙලෙසුන්ගේ නිවීමක් දන්නාවූ තථාගතවූ බුදුරජ තෙමේ නිවන් නොදත් තීර්ථකයන් මෙන් විනාශයට දුකට නොපැමිණෙන්නේය.
“භාර්ගවය, ඇතැම් මහණ බමුණෝ ඊශ්වරයා විසින් ලොව මවන ලද්දේය. බ්‍රහ්මයා විසින් ලොවමවන ලද්දේයයි ඔවුන්ගේ ආචාර්‍ය්‍ය පරපුරෙන් එන ලොකොත්පත්ති වංශකථාව ප්‍රකාශකරද්ද, මම ඔවුන් කරා පැමිණ මෙසේ කියමි. ආයුෂ්මත්නි, තොපි ඊශ්වරයා විසින් මවන ලද්දේය, බ්‍රහ්මයා විසින් මවන ලද්දේය යන ආචාර්‍ය්‍ය පරපුරෙන් එන ලොකොත්පත්ති වංශකථාව ප්‍රකාශ කරන්නාහුදැ’යි අසමි. මා විසින් මෙසේ අසනලද ඔව්හු එසේයයි පිළිගන්නාහුය. මම ඔවුන්ට මෙසේ කියමි. “ආයුෂ්මත්නි, තොපි කවරකු විසින් කෙසේ මවන ලද්දේද? ඊශ්වරයා විසින් මවන ලද්දේය, බ්‍රහ්මයා විසින් මවන ලද්දේය ලොකොත්පත්ති වංශකථාව ප්‍රකාශ කරන්නාහුද? මා විසින් අසන ලද්දාවූ ඔව්හු උත්තර දෙන්ට නොහැකි වෙත්. උත්තර දෙන්ට නොහැක්කාහු මාගෙන්ම අසත්. අසන ලද්දාවූ මම ඔවුන්ට මෙසේ ප්‍රකාශ කරමි.
“ඇවැත්නි, මෙබඳු කාලයක් වන්නේමය. බොහෝ දීර්ඝ කාලයක් ඇවෑමෙන් පසු යම්කිසි කලෙක මේ ලොකය විනාශ වන්නේය. ලොකය විනාසවන කල්හි බොහෝ සෙයින් සත්වයෝ ආභස්සර නම් බ්‍රහ්ම ලොකයෙහි උපදින්නාහුය ඔව්හු සිතින් උපන්නාවූ ප්‍රීතිය අනුභව කරමින් ස්වකීය ශරීරාලොක ඇතිව අහසෙහි හැසිරෙන්නෝව මනා කොට සිටින්නාහු ඉතා දීර්ඝකාලයක් වාසය කරත්. ඇවැත්නි, මෙබඳු කාලයෙක් වන්නේමය. දීර්ඝ කාලයක් ඇවෑමෙන් මේ ලෝකය හැදෙන්නේය. ලොකය හැදෙන කල්හි සූන්‍යවූ බ්‍රහ්මවිමානයක් පහළ වන්නේය. එකල වනාහි එක්තරා සත්වයෙක් ආයුෂ ක්ෂයවීමෙන් හෝ පින ක්ෂයවීමෙන් හෝ ආභස්සර බඹ ලොවින් චුතව සූන්‍යවූ බඹ විමනෙහි ඕපපාතිකව උපදින්නේය. හෙතෙමේ එහි සිතින් උපන් ප්‍රීතිය අනුභව කරමින් ශරීරාලොකයෙන් යුක්තව අහස හැසිරෙමින් සුවසේ සිටින්නේ බොහෝ දිගු කලක් (එසේ) සිටින්නේය. එහි හුදකලාව බොහෝ කලක් වසන ඔහුට නොඇල්මක් තැතිගැන්මක් උපදින්නේය. “ඒකාන්තයෙන් තවත් සත්වයෝද මෙහි එන්නාහු නම් ඉතා යෙහෙකැයි” මෙබඳු සිතෙක් වන්නේය. එසේ ඇති කල්හි තවත් සත්වයෝද ආයුෂ ක්ෂයවීමෙන් හෝ පින ක්ෂයවීමෙන් හෝ ආභස්සර බඹලොවින් චුතව සූන්‍යවූ ඒ බ්‍රහ්ම විමානයෙහි ඒ සත්වයා හා සහභාවයට පැමිණ උපදින්නාහුය. ඔව්හුද එහි සිතින් උපන් ප්‍රීතිය අනුභව කරන්නාහු ශරීරාලොකයෙන් යුක්තව, අහස හැසිරෙන ස්වභාව ඇතිව යහපත් සේ සිටින්නෝ බොහෝ කලක් වාසය කරත්.
“ඇවැත්නි, එහි යම් ඒ සත්වයෙක් පළමුව උපන්නේද ඔහුට මෙබඳු සිතෙක් වේ. මම බ්‍රහ්මයා වෙමි. සියල්ල මැඩ පවත්වන්නාවූ මහාබ්‍රහ්මයා වෙමි. කිසිවෙකු විසින් නොමැඩිය හැකිවූ ඒකාන්තයෙන් තමන් වසයෙහි පවත්නාවූ ඊශ්වරවූ ලොක කර්තෘවූ ලොව මවන්නාවූ ශ්‍රෙෂ්ඨවූ සත්වයන්ගේ පියා වෙමි. මා විසින් මේ සත්වයෝ මවන ලදහ. ඊට හේතු කවරේද? මට වනාහි පෙර දවස්හි මෙබඳු සිතෙක් වී. ‘ඒකාන්තයෙන් අනිකුදු සත්වයෝ මෙහි එන්නාහු නම් ඉතා යෙහෙකැ’යි (මෙබඳු සිතෙක් වී.) මෙසේ මාගේ සිත්වූ පරිදි මේ සත්වයෝද මේ ආත්මභාවයට ආවාහුයයි (දෘෂ්ටියෙක් ගන්නේය) යම් ඒ සත්වයෝ වනාහි පසුව උපන්නාහුද ඔවුන්ට මෙබඳු සිතෙක් වන්නේය. ‘මේ පින්වත් බ්‍රහ්ම තෙමේ මහා බ්‍රහ්මයා වන්නේය. සියල්ල මැඩපවත්වන්නේය. කිසිවෙකු විසින් මැඩිය නොහැක්කේය. ඒකාන්තයෙන් තම වසඟයෙහි පවත්නාවූ ඊශ්වරයාවූ ලෝක කර්තෘ වන්නේය. නිර්මාතෘවූද ශ්‍රෙෂ්ඨවූද තමන් විසින් ජයගත් වසඟකිරීමට පත්වූ සියලු සත්වයින්ගේ පියා වන්නේය. මේ පින්වත් බ්‍රහ්මයා විසින් අපි මවන ලද්දෙමු. ඊට හේතු කවරේද? මෙහි පළමුවෙන් උපන්නාවූ මේ බ්‍රහ්මයා අපි දුටුවෙමු. අපි පසුව උපන්නෝ වෙමුයි.’ (කියායි)
“ඇවැත්නි, එහි යම් ඒ සත්වයෙක් පළමුව උපන්නේද ඒ සත්ව තෙමේ ඉතා දික් ආයුෂ ඇත්තෙක්ද වන්නේය. ඉතා වර්ණවත් වූවෙක්ද වන්නේය. ඉතා ආනුභාව ඇත්තේද වන්නේය. යම් ඒ සත්ව කෙනෙක් පසුව උපන්නාහුද ඒ සත්වයෝ ඉතා ස්වල්ප ආයුෂ ඇත්තෝ වන්නාහ. ඉතා දුර්වර්ණයෝද වන්නාහ. ඉතා අල්පානුභාව ඇත්තෝද වන්නාහ. ඇවැත්නි, මේ මතු කියන සේ සිදුවීමට කරුණු ඇත්තේය. කෙසේද යත්? යම් එක්තරා සත්වයෙක් ඒ ආත්මභාවයෙන් චුතව මේ මිනිස්ලොවට එන්නේ වේද, මේ මිනිස් ලොවට පැමිණියේ ගිහි ගෙයින් නික්ම පැවිදි වේද, ගිහි ගෙයින් නික්ම පැවිදි වූයේ කෙලෙස් තවන වීර්‍ය්‍ය වැඩීමෙන් මහත් වීර්‍ය්‍ය වැඩීමෙන් භාවනාවෙහි යෙදීමෙන් අප්‍රමාදයෙන් යහපත් කොට මෙනෙහි කිරීමෙන් යම් බඳු සමාධියක් ලැබූ කල්හි ඒ පෙර විසූ බ්‍රහ්මාත්මය සිහි කරන්නේද ඉන් මතු සිහි නොකරන්නේද එබඳු චිත්තසමාධියක් ලබන්නේය. හෙතෙමේ මෙසේ කියන්නේය. ‘යම් ඒ පින්වත් බ්‍රහ්මයෙක් සියල්ල මැඩ පවත්නාවූ මහා බ්‍රහ්මයෙක් වේද සියල්ලන් විසින් නොමැඩිය හැක්කේද ඒකාන්තයෙන් සියල්ල දන්නේද ඊශ්වර වූයේ සියල්ල තම වසඟයෙහි පවත්නේද ලොක කර්තෘවූ මැවුම්කාරයා වූයේද ශ්‍රෙෂ්ඨවූ සියල්ල දිනීමෙන් වසඟ කළාවූ සියලු සත්වයින්ගේ පියා වූයේද යම් පින්වත් මහා බ්‍රහ්මයෙකු විසින් අපි මවන ලද්දෙමුද ඒ මහා බ්‍රහ්ම තෙමේ නැති නොවන්නේය. (නිත්‍ය වූවෙක් වන්නේය.) ඒකාන්ත සදාකාලික වූවෙක් වන්නේය. නොපෙරළෙන ස්වභාව ඇත්තේ සදාකාලිකයෙක් වූයේම එපරිද්දෙන්ම සිටින්නේය. යම් ඒ අපි වනාහි ඒ පින්වත් බ්‍රහ්මයා විසින් මවන ලද්දෝ වෙමු. ඒ අපි නිත්‍ය නොවන්නෙමු. සදාකාලික නොවන්නෙමු. මඳ ආයු ඇත්තෝ වෙමු. චුතවන ස්වභාව ඇතිව මේ ආත්මභාවයට ආවෝ වෙමුයයි වරදවා ගන්නාහුය.
“ආයුෂ්මත්නි, “ඊශ්වරයා විසින් මවන ලද්දේය. බ්‍රහ්මයා විසින් මවන ලද්දේයයි ලොකොත්පත්ති ආචාර්‍ය්‍ය වාදය පණවන ලද්දේ මෙසේයයි ප්‍රකාශ කරමි. එකල්හි ඔවුහු මෙසේ කියන්නාහුය. ‘ඇවැත් ගෞතමයන් වහන්ස, යම් පරිද්දෙකින් ආයුෂ්මත් ගෞතමයන් වහන්සේ කීයේද එපරිද්දෙන්ම අප විසින්ද අසන ලද්දේයයි කියති.
භාර්ගවය, මම ලොකොත්පත්ති වංශ කථාවද දනිමි. ඊට වැඩියෙන් සර්වඥතාඥානය දක්වා සියල්ලක්ද දනිමි. එසේ දන්නාවූ මම දනිමැයි තෘෂ්ණා දෘෂ්ටි මාන වශයෙන් නොගනිමි. තෘෂ්ණා දෘෂ්ටි මාන වශයෙන් නොගන්නාවූ මා විසින් තමන්ම කෙලෙසුන්ගේ නිවීම දැනගන්නාලදී. එසේ දැනගත් තථාගතයන් වහන්සේ වරදවාගත් දෘෂ්ටි ඇති තීර්ථකයන් මෙන් විනාශයට නොපැමිණෙන්නේය.
භාර්ගවය, ඇතැම් මහණ බමුණෝ ඛිඞ්ඩාපදූසික නම් ලොකොත්පත්ති ආචාර්‍ය්‍ය වාදයක් පණවන්නාහුය, මම ඔවුන් කරා පැමිණ මෙසේ කියමි. ‘ඇවැත්නි, ඛිඞ්ඩාපදූසික නම් ලොකොත්පත්ති ආචාර්‍ය්‍ය වාදයක් පණවන්නාහුය යනු සැබෑදැ’යි (අසමි.) මා විසින් අසනලද ඔව්හු එසේයයි පිළිගනිත්. ඔවුන්ට මම මෙසේ ප්‍රකාශ කරමි.
ආයුෂ්මත්වූ තෙපි කෙසේ ඛිඞ්ඩාපදූසික නම් ලොකොත්පත්ති ආචාර්‍ය්‍යවාද පනවන්නාහුදැයි අසමි. මා විසින් අසන ලද්දාවූ ඔව්හු නොදනිත්. නොදත් ඔව්හු මාගෙන්ම අසත්, අසන ලද්දාවූ මම ඔවුන්ට මෙසේ ප්‍රකාශ කරමි.
‘ඇවැත්නි, ඛිඞ්ඩාපදූසික නම් දෙවි කොටසක් ඇත්තේය. ඔවුහු බොහෝ වේලාවක් සන්තොෂජනක ක්‍රීඩාවන්හි ඇලී වාසය කරද්ද, වැඩි කාලයක් සතුටු ක්‍රීඩා රතියෙහි යෙදී වාසය කරන්නාවූ ඔවුන්ගේ සිහි මුළාවන්නේය. සිහි මුළාවීමෙන් ඒ දෙවියෝ ඒ දෙව්ලොවින් චුත වන්නාහුය. ඇවැත්නි, යම් හෙයකින් එක්තරා සත්වයෙක් තෙමේ ඒ දෙව් ලොවින් චුතව මේ ආත්මබවට එන්නේද, මේ ආත්ම බවට ආවාවූ හෙතෙමේ ගිහිගෙයින් නික්ම සස්නෙහි පැවිදිවේද, ගිහිගෙයින් නික්ම සස්නෙහි පැවිදිවූයේ වීර්යය වඩා විශෙෂ වීර්යය වඩා භාවනාවෙහි යෙදීමෙන් අප්‍රමාදය වඩා යහපත් මෙනෙහි කිරීම හේතුකොටගෙන චිත්ත සමාධියක් (ධ්‍යානයක්) ලබන්නේය. ඒ සමාධි සිතින් ඒ පෙර විසූ ඛිඞ්ඩාපදූසික නම් දිව්‍ය භවය සිහිකරන්නේය. ඉන් මතු සිහි නොකරන්නේය. හෙතෙම මෙසේ කියන්නේය. පින්වත්නි, යම් ඒ ඛිඞ්ඩාපදූසික දෙවි කෙනෙක් වෙද්ද වැඩි වේලාවක් සතුටු ක්‍රීඩා රති ස්වභාවයට නොපැමිණ වාසය කරද්ද වැඩි වේලාවක් සතුටු ක්‍රීඩා රතියෙහි නොයෙදී වාසය කරන්නාවූ ඔවුන්ගේ සිහි මුළාවීමෙක් නොවෙයි. සිහි මුළානොවීම හෙතුකොටගෙන ඒ දෙවියෝ ඒ දෙව්ලොවින් චුත නොවෙත්. නිත්‍යවූ ඒකාන්තවූ සදාකාලිකවූ නොපෙරළෙන ස්වභාව ඇත්තාවූ සදාකාලික වූවන් මෙන් එසේම සිටින්නාහුය.
යම්බඳු වූ අපි ඛිඞ්ඩාපදූසික වූයෙමුද ඒ අපි වැඩි වේලාවක් සතුටු ක්‍රීඩාරතිස්වභාවයෙහි ඇලී වාසය කෙළෙමුද, වැඩි කාලයක් හාස්‍ය ක්‍රීඩා රතියෙහි යෙදී වාසය කළාවූ, ඒ අපගේ සිහි මුළා විය. සිහි මුළා වීම හේතුකොට මෙසේ අපි ඒ දෙව් ලොවින් චුතව අනිත්‍ය වූවාහු සදාකාලික නුවූවාහු චුතවන ස්වභාවය ඇත්තාහු මේ ආත්මභාවයට පැමිණියෙමු යයි (කියත්.)
ඇවැත්නි, තොපි මෙසේ ඇති කරනලද ඛිඞ්ඩාපදූසික නම් ආචාර්‍ය්‍ය පරම්පරාවෙන් ආ ලොකොත්පත්ති වංශකථාව පනවන්නහුයයි කීයෙමි.
එකල ඔවුහු මෙසේ කීහ. “ඇවැත් ගෞතමයන් වහන්ස, යම්සේ ආයුෂ්මත් ගෞතමයන් වහන්සේ ප්‍රකාශ කෙළේද අප විසින්ද එසේම අසන ලද්දේය”යි කියයි.
භාර්ගවය, මම ලොකොත්පත්ති වංශකථාවත් දනිමි. එයින් මතු සර්වඥතාඥානය දක්වා සියල්ලද දනිමි. මම එසේ දනිමැයි තෘෂ්ණා මාන දෘෂ්ටි වශයෙන් නොගනිමි. එසේ නොගන්නාවූ මා විසින් තමා විසින්ම කෙලෙසුන් නිවීම දැනගන්නා ලදී. එසේ දන්නාවූ තථාගතයන් වහන්සේ විනාශයට නොපැමිණෙන්නේය.
“භාර්ගවය, ඇතැම් මහණ බමුණෝ මනොපදූසික නම් ලොකොත්පත්ති වංශකථාවක් පණවන්නාහුය. මම ඔවුන් කරා පැමිණ, ‘ඇවැත්නි, තොපි මනොපදූසික නම් ලොකොත්පත්ති වංසකථාවක් ප්‍රකාශ කරන්නාහුය’ යනු හැබෑදැයි අසමි. මා විසින් අසනලද ඔවුහු එසේයයි පිළිගන්නාහ. මම ඔවුන්ට මෙසේ කියමි. ඇවැත්නි, තොපි කුමක් හේතු කොටගෙණ මනොපදූසික නම් ලොකොත්පත්ති වංසකථාවක් ප්‍රකාශ කරන්නාහුදැ’යි අසමි. එසේ ඇසූ කල ඔවුහු උත්තර දෙන්ට නොහැකි වන්නාහුය. උත්තර දෙන්ට නොහැකි වූවාහු මාගෙන්ම අසන්නාහුය. අසනලද්දාවූ මම ඔවුන්ට මෙසේ ප්‍රකාශ කරන්නෙමි.
‘ඇවැත්නි, මනොපදූසික නම් දෙවිකෙනෙක් ඇත්තාහ. ඒ දෙවියෝ වැඩි කාලයක් ඔවුනොවුන්ගේ යස ඉසුරු දැක ඉවසිය නොහී කොපාග්නියෙන් ඔවුනොවුන් දෙස බලා හිඳින්නාහ. ඔවුහු වැඩි කාලයක් කොපාග්නියෙන් ඔවුනොවුන් දෙස බලා හිඳීමෙන් ඔවුනොවුන් කෙරෙහි සිත් දූෂ්‍ය කර ගන්නාහ. ඔවුහු ඔවුනොවුන් කෙරෙහි දූෂ්‍ය සිත් ඇතිව දුර්වලවූ ශරීර හා දුර්වලවූ සිත් ඇත්තෝ වෙත්. ඒ හෙතුකොට ගෙන ඒ දෙවියෝ ඒ දෙව් ලොවින් චුත වන්නාහ. ඇවැත්නි, මේ මතු කියන සේ වීමට හෙතු ඇත්තේය. එක්තරා සත්වයෙක් තෙමේ ඒ දෙව් ලොවින් චුතව මේ ආත්මයට (මිනිසත් බවට) ඒ ද, මිනිසත් බවට ආවාවූ හෙතෙමේ ගිහිගෙන් නික්ම පැවිදි වේද, පැවිදිවූ හෙතෙමේ වීර්යය වඩා විශෙෂ වීර්යය වඩා භාවනාවෙහි යෙදීමෙන් අප්‍රමාදය වඩා යහපත් මෙනෙහි කිරීම හේතු කොටගෙන චිත්ත සමාධියක් (ධ්‍යානයක්) ලබන්නේය. ඒ සමාධිසිතින් පෙර විසූ දෙව් ලොව දකින්නේය. ඉන් මතු නොදක්නේය. හෙතෙමේ මෙසේ කියන්නේය. යම්බඳු ඒ මනොපදූසික දෙවි කෙනෙක් වැඩි කාලයක් ඔවුනොවුන් දෙස කෝපයෙන් නොබලන්නාහුද ඔවුනොවුන් කෙරෙහි සිත් දූෂ්‍ය නොකරන්නාහුද, ඔවුහු දුර්වල නොවූ ශරීර හා සිත් ඇතිව ඒ දෙව්ලොවින් චුත නොවන්නාහ. නිත්‍ය නොපෙරළෙන ස්වභාව ඇති සදාකාලික වූවන් මෙන් එසේම සිටින්නාහ. යම් බඳුවූ අපි මනොපදූසික වූවෙමුද වැඩි වේලාවක් ඔවුනොවුන් දෙස කෝපයෙන් බැලුයෙමුද වැඩි වේලාවක් ඔවුනොවුන් දෙස කෝපයෙන් බැලීමෙන් ඔවුනොවුන් කෙරෙහි දූෂ්‍ය සිත් ඇත්තාහු දුර්වල ශරීර හා සිත් ඇත්තාවූ අපි ඒ දෙව්ලොවින් චුතවූවාහු අනිත්‍ය අස්ථිර ආශාස්වත මද ආයුෂ ඇති චුතවන ස්වභාව ඇත්තාහු මේ මිනිසත් බවට පැමිණියෙමු ය’යි කියති. ආයුෂ්මත්නි, තොපි මෙසේ මනොපදූසික ලොක උත්පත්ති වංශකථාව පණවන්නාහුයයි කියන්නෙමි. ඇවැත් ගෞතමයන් වහන්ස, ආයුෂ්මත් ගෞතමයන් වහන්සේ යම්සේ ප්‍රකාශ කළේද අප විසින්ද එසේම අසන ලද්දේය’යි කියත්.
“භාර්ගවය, මම ලොකොත්පත්ති වංශ කථාවද දනිමි. ඉන් වැඩියක්ද සර්වඥතාඥානය දක්වා දනිමි. එහෙත් මම දනිමැයි තෘෂ්ණාමාන දෘෂ්ටිවශයෙන් නොගනිමි, එසේ නොගන්නා මා විසින් තමාම කෙලෙසුන්ගේ නිවීම දැන ගන්නා ලදී. එසේ දන්නාවූ තථාගත තෙමේ විනාශයට නොපැමිණෙන්නේය.

භාර්ගවය, ඇතැම් මහණ බමුණෝ ලොකය හේතු රහිතව ඉබේම ඇති වූයේයයි ‘අධිච්ච සමුප්පන්න’ වාදය ස්වකීය ආචාර්‍ය්‍ය වංශ කථාව කොට ප්‍රකාශ කරති. මම ඔවුන් කරා පැමිණ මෙසේ කියමි. ‘ආයුෂ්මත්නි, තොපි ලොකය හේතු රහිතව ඉබේම ඇති වූයේයයි ‘අධිච්ච සමුප්පන්න’ ලොක උත්පත්ති වංශ කථාවක් ප්‍රකාශ කරන්නහුය යනු සැබෑ දැයි’ අසමි. මා විසින් මෙසේ අසනලද්දාවූ ඔවුහු ‘එසේය’යි පිළිගන්නාහුය. මම ඔවුන්ට මෙසේ කියමි. ‘ඇවැත්නි, තොපි ‘අධිච්ච සමුප්පන්න, ලොක උත්පත්ති වංශ කථාව කවර හේතුවකින් පණවන ලද්දාහුදැ’යි අසමි. මා විසින් අසන ලද්දාවූ ඔවුහු උත්තර දෙන්ට නොහැකි වන්නාහුය. උත්තර දෙන්ට නොහැකි වන්නාහු මා අතින්ම අසන්නාහුය. අසන ලද්දාවූ මම ඔවුන්ට මෙසේ ප්‍රකාශ කරන්නෙමි.
‘ඇවැත්නි, අසංඥා සත්ව නම් දෙවිකෙනෙක් ඇත්තාහ. සංඥාව හටගැණීමෙන් වනාහි ඒ දෙවියෝ ඒ දෙව්ලොවින් චුත වන්නාහ. ඇවැත්නි, මේ මතු කියන සේ වීමට හේතු, ඇත්තේය. යම් හේතුවකින් එක්තරා සත්වයෙක් ඒ දෙව් ලොවින් චුතව මේ මිනිසත් බවට එන්නේවේද මේ මිනිසත් බවට ආවාවූ හෙතෙමේ ගිහි ගෙයින් නික්ම පැවිදි වන්නේද ගිහි ගෙන් නික්ම පැවිදිවූයේ කෙලෙස් තවන වීර්යය වඩා මහත් වීර්යය වඩා භාවනාවෙහි යෙදී අප්‍රමාදය වඩා යහපත් මෙනෙහි කිරීම හේතුකොටගෙන චිත්තසමාධියක් ලබන්නේය. ඒ සමාධියෙන් ඒ සංඥාවගේ පහළවීම දක්නේය. ඉන් මතු නොදක්නේය. හෙතෙමේ මෙසේ කියන්නේය. ‘ආත්මයත් ලොකයත් හෙතුප්‍රත්‍ය නැතුව ඉබේම හටගත්තේය’යි කියායි. ඊට හේතු කවරේද? ‘මම මීට ප්‍රථම නුවූයේමය. ඒ මම පෙර නොවී මෙකල්හි සත්ව බවට පෙරලී ආයෙමි’යි ප්‍රකාශකරයි. ‘ආයුෂ්මත්නි, තොපි වනාහි අධිච්ච සමුප්පන්න වශයෙන් (හෙතු රහිතව ඉබේ හටගැණීමක් කොට) ආචාර්‍ය්‍ය වංශ ලොකොත්පත්තිය ප්‍රකාශ කරන්නාහු මෙබඳු වූවක් ප්‍රකාශ කරන්නාහුයයි කීයෙමි. (එවිට) ඔව්හු මෙසේ කියන්නාහුය. ‘ඇවැත් ගෞතමයන් වහන්ස, ආයුෂ්මත් ගෞතමයන් වහන්සේ යම්සේ ප්‍රකාශ කෙළේද අප විසින්ද එසේ අසන ලද්දේය’යි කියායි.
භාර්ගවය, මම ලොකොත්පත්ති වංශයද දනිමි. ඉන් වැඩියක් සර්වඥතාඥානය දක්වා සියල්ලද දනිමි. එහෙත් මම දනිමැයි තෘෂ්ණාමාන දෘෂ්ටීන්ගේ වශයෙන් නොගනිමි. එසේ නොගන්නාවූ මා විසින් තමාම කෙලෙසුන්ගේ නිවීම දැන ගන්නා ලද්දේය. එසේ දන්නාවූ තථාගත තෙමේ විනාශයට නොපැමිණෙන්නේය.
භාර්ගවය, මෙසේ කියන්නාවූ මාහට ඇතැම් මහණ බමුණෝ ශ්‍රමණභවත් ගෞතම තෙමේද භික්ෂුහුද සැබෑනුවූ හිස්වූ බොරු අභූත බස් ප්‍රකාශ කරන්නාහුයයි කියන්නාහ. ‘ශ්‍රමණ භවත් ගෞතම තෙමේද භික්ෂූහුද විපරීත සංඥා ඇත්තෝය. ශ්‍රමණ භවත් ගෞතම තෙමේ මෙසේ කීයේය. යම් කලෙක්හි ශුභ විමොක්ෂයට පැමිණ වාසය කෙරේද ඒ කාලයෙහි සියල්ල අශුභ වශයෙන් දන්නේයයි කිය’යි යනුවෙනි.
“භාර්ගවය, මම එබන්දක් නොකියමි. යම් කලෙක්හි ශුභ විමොක්ෂයට එනම් වර්ණ කසිණධ්‍යානයට එළඹ වාසය කෙරේද ඒ කාලයෙහි සියලු ශුභාශුභයන් අශුභවශයෙන්ම දන්නේ යයි නොකියමි. භාර්ගවය, මම වනාහි මෙසේ කියමි. යම් කාලයෙක්හි ශුභ විමොක්ෂයට හෙවත් වර්ණ කසිණ ධ්‍යානයට පැමිණ වාසය කරයිද, ඒ කාලයෙහි ශුභාරම්මණයම දන්නේයයි කියමි. යම් ශ්‍රමණ බ්‍රාහ්මණ කෙනෙක් භාග්‍යවතුන් වහන්සේට හා භික්ෂූන්ට විපරීතසංඥා ඇත්තෝයයි කියත්ද, ඔව්හුම විපරීතසංඥා ඇත්තෝය. (මෙසේ කීකල භාර්ගව පිරිවැජි තෙමේ කියනුයේ) “ස්වාමීනි, භාග්‍යවතුන්වහන්ස, භාග්‍යවතුන් වහන්සේ යම්සේ මම ශුභ විමොක්ෂයට පැමිණ වාසය කරන්නෙම්ද එසේ දහම් දෙසන්ට සමර්ථ වූයේයයි මෙසේ මම භාග්‍යවතුන් වහන්සේට ප්‍රශන්න වූයෙමියි” කීවේය.
“භාර්ගවය, අන්‍ය දෘෂ්ටිකයෙක්වූද, අන් වැටහීමක් ඇත්තා වූද, අන්‍ය රුචිකයෙක් වූද, අන් මතයක් ඇත්තාවූද, අන් ගුරුවරුන් ඇත්තාවූද, තට ශුභවිමොක්ෂයට (වර්ණ කසිණධ්‍යානයට) පැමිණ වාසය කිරීම දුෂ්කර වන්නේමය. එබැවින් භාර්ගවය, තොපගේ මා කෙරෙහි යම් ප්‍රශාදයෙක් වේද ඒ ප්‍රශාදයම තෝ හොඳින් රක්ෂාකරව”යි කීහ.
“ස්වාමීන් වහන්ස, ඉඳින් අන්‍ය දෘෂ්ටිකවූද, අන් වැටහීමක් ඇත්තා වූද, අන්‍යරුචික වූද, අන් යෙදීමක් ඇත්තාවූද, අන් ගුරුවරුන් ඇත්තාවූද ඒ මා විසින් ශුභවිමොක්ෂයට පැමිණ වාසය කරන්ට දුෂ්කර වන්නේ නම් ස්වාමීනි, භාග්‍යවතුන්වහන්ස, භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි යම්බඳු මාගේ ප්‍රශාදයෙක් වේද, ඒ ප්‍රශාදයම මම හොඳින් ආරක්ෂා කරන්නෙමි”යි කීය.
භාග්‍යවතුන් වහන්සේ මේ සූත්‍රය දේශනා කළේය. සතුටු සිත් ඇත්තාවූ භාර්ගව ගොත්‍ර පරිබ්‍රාජක තෙමේ භාග්‍යවතුන් වහන්සේගේ දෙශනාවට විශෙෂයෙන් සතුටු වූයේය

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.