AN 06-06-03. ජළාභි ජාති සූත්‍රය

§ 1. ’’එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර ආසන්නයෙහි , ගිජුකුළු පව්වෙහි වෙසේ. ඉක්බිති  ආයුෂ්මත් ආනන්‍ද තෙමේ භාග්‍යවතුන් වහන්සේ wetha w පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක හුන්නේය. එකත්පසෙක හුන්නාවූ, ආයුෂ්මත් ආනන්‍ද තෙම භාග්‍යවතුන් වහන්සේහට මෙය කීය.

§ 2. ’’ස්වාමීනි, පූරණ කාශ්‍යප විසින් ජාතීහු සයක් පනවන ලදහ.

කළුවූ ජාතියක් පනවන ලදී, නිල්වූ ජාතියක් පනවන ලදී. ලේවන් ජාතියක් පනවන ලදී, කහවන් cplsජාතියක් පනවන ලදී, සුදුවූ ජාතියක් පනවන ලදී, ඉතාම සුදුවූ ජාතියක් පනවන ලදී,

’’ස්වාමිනි, බැටළු වැද්දෝය, හූරු වැද්දෝය, කුරුලු වැද්දෝය, මුව වැද්දෝය, මසුන් මරන්නෝය. සොරුය, සොරු මරන්නෝය, සිරකරුවෝය, අන් කිසි කෲර කර්‍ම කරන්නෝද යන මොවුන්  පූරණ කාශ්‍යප විසින්  කළු වූ ජාතියයයි පනවන ලදී.

ස්වාමිනි, භික්‍ෂූන් අතර රළු පැවතුම් ඇත්තෝද, අන් කිසි කර්‍ම, මත ඇති, ක්‍රියාවාද ඇති අයද, යන මෙය නිල්වූ ජාතියයි පූරණ කාශ්‍යප විසින් පනවන ලදී.

ස්වාමීනි, එක් සළුවක් හඳනා අයය, නිඝන්ඨයෝය යන අය ලේවන් ජාතිය”යයි   පූරණ කාශ්‍යප විසින් පනවන ලදී.

ස්වාමීනි,  ගිහිවූත්, සුදු වස්ත්‍ර හඳනාවූත්, අචෙලක (-නිර්වස්ත්‍ර) තපසුන්ගේ ශ්‍රවකයෝ යන  පූරණ කාශ්‍යප විසින්  කසාවන් ජාතියයයි පනවන ලදී.

ස්වාමීනි, ආජීවක තාපසයෝද, ආජීවක තවුසියෝද, යන මෙය සුදුවූ ජාතියයයි පූරණ කාශ්‍යප විසින් පනවන ලදී.

ස්වාමීනි,  නන්‍ද නම් වූද, වච්ඡා නම් වූද, කෘශ වූද, සංකිච්ච නම් වුද, මක්ඛලී ගොසාල තෙමේ යන මෙය ඉතා සුදු ජාතියයයි පූරණ කාශ්‍යප විසින් පනවන ලදී.

ස්වාමිනි, පූරණ කාශ්‍යප විසින් මේ ජාතීහු සය පනවන ලදී.’’

’’ ආනන්දය, කිමෙක්ද වනාහි පූරණ කාශ්‍යප හට සියලු ලොව මේ ජාතීහු සය පැනවීමට මෙසේ අනු දනීද?’’
’’ස්වාමීනි, මෙය නොවේමය.’’
’’ ආනන්දය, මෙසේ යම්සේ පුරුෂයෙක් තෙම දිළිඳු වූයේ වේද, ස්වකීය දෙයක් නැත්තේද, නැළියක් (සහල්) නැත්තේද, නොකැමැත්තහුට, ’පින්වත් පුරුෂය, තා විසින් මේ මස කෑ යුතුය. මිලද නොදිය යුතුය’ යි සිතේ කිලුටකට (-බාධාවකට) අසු කරන්නේද, ආනන්දය, එසේම වනාහි මෝඩවූ, ව්‍යක්ත නොවූ, ස්ථාන නොදන්නාවූ, පාපවූ, පූරණ කාශ්‍යප විසින් එය එසේ ප්‍රතිඥා නොකොට මේ මහණ බමුණන්ට මේ ජාති සය පනවන ලද්දේය.

ආනන්දය, මම වනාහි ජාති සයක් පනවමි. එය අසව. හොඳට මෙනෙහි කරව. කියන්නෙමි.’’
’’ස්වාමීනි, මැනව’ යි ආයුෂ්මත් ආනන්ද තෙමේ භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.
’’ ආනන්දය, ජාති සය කෙසේද? ආනන්දය, මේ ලොව එකෙක් කළුවූ ජාති ඇත්තේ, කළුවූ (-පාප) ධර්මයක් උපදවයි. ආනන්දය, මේ ලොව එකෙක් කළුවූ ජාති ඇත්තේ සුදුවූ (පින්) දහම උපදවයි. ආනන්දය, මේ ලොව එකෙක් කළුවූ ජාති ඇත්තේ කළු නොවූ, සුදු නොවූ නිවණ උපදවයි. ආනන්දය, මේ ලොව එකෙක් සුදුවූ ජාති ඇත්තේ කළුවූ දහම උපදවයි. ආනන්දය, මේ ලොව එකෙක් සුදුවූ ජාති ඇත්තේ සුදුවූ දහම උපදවයි. ආනන්දය, මේ ලොව එකෙක් සුදුවූ ජාති ඇත්තේ කළු නොවූ, සුදු නොවූ නිවණ උපදවයි.
’’ආනන්දය, කෙසේ නම් කළු ජාති ඇත්තේ කළුවූ දහම උපදවාද? ආනන්ද, මෙලොව වනාහි එකෙක් නීච කුලයවූ සැඩොල් කුලයෙහි හෝ, වැදි කුලයෙහි හෝ කුළු පොතු කුලයෙහි හෝ, රියකරු කුලයෙහි හෝ, පුප්සඬු කුලයෙහි හෝ, ආහාර පාන භෝජන නැති, දුෂ්කර ජීවිකා ඇති, යමක දුකින් කෑම ඇඳීම, ලැබේද, ඒ දිළිඳු කුලයක හෝ උපන්නේ වේද, හෙද වනාහි දුර්වර්ණද, නපුරු දැකීම් ඇත්තේද, ඉතා කොන් වූයේද, බොහෝ ලෙඩ ඇත්තේද, අත කොරවූ හෝ, බකල හෝ, පය කොර හෝ, පැත්ත පණ නැති සේ හෝ, ආහාර, පාන, වස්ත්‍ර, යාන, මාලා, සුවඳ විලවුන්, ඇඳන්, ගෙවල්, පහන් නොලබනුයේ හෝ කයින් වැරදි කරයි. වචනයෙන් වැරදි කරයි. සිතින් වැරදි කරයි. හේ කයින් වැරදි කර, වචනයෙන් වැරදි කර, සිතින් වැරදි කර, කය බිඳි මරණින් මතු අපායවූ, දුගතිවූ, ඇද වැටීමවූ, නිරයේ උපදී. ආනන්දය, එසේම වනාහි කළුවූ ජාති ඇත්තේ, කළුවූ දහම උපදවයි.
’’ආනන්දය, කෙසේ නම් කළුවූ ජාති ඇත්තේ, සුදුවූ දහම උපදවාද? ආනන්ද, මෙලොව වනාහි එකෙක් නීච කුලයවූ සැඩොල් කුලයෙහි හෝ, වැදි කුලයෙහි හෝ කුළු පොතු කුලයෙහි හෝ, රියකරු කුලයෙහි හෝ, පුප්සඬු කුලයෙහි හෝ, ආහාර පාන භෝජන නැති, දුෂ්කර ජීවිකා ඇති, යමක දුකින් කෑම ඇඳීම, ලැබේද, ඒ දිළිඳු කුලයක හෝ උපන්නේ වේද, හෙද වනාහි දුර්වර්ණද, නපුරු දැකීම් ඇත්තේද, ඉතා කොන් වූයේද, බොහෝ ලෙඩ ඇත්තේද, අත කොරවූ හෝ, බකල හෝ, පය කොර හෝ, පැත්ත පණ නැති සේ හෝ, ආහාර, පාන, වස්ත්‍ර, යාන, මාලා, සුවඳ විලවුන්, ඇඳන්, ගෙවල්, පහන් නොලබනුයේ හේ කයින් හොඳ කරයි. වචනයෙන් හොඳ කරයි. සිතින් හොඳ කරයි. එසේ කොට කය බිඳී මරනින් මතු සුගතිවූ දෙව් ලොව උපදී. ආනන්දය, එසේම කළුවූ ජාති ඇත්තේ, සුදුවූ දහම උපදවයි.
’’ආනන්දය, කෙසේ නම් කළුවූ ජාති ඇත්තේ කළු නොවූ, සුදු නොවූ, දහම උපදවාද? ආනන්ද, මෙලොව වනාහි එකෙක් නීච කුලයවූ සැඩොල් කුලයෙහි හෝ, වැදි කුලයෙහි හෝ කුළු පොතු කුලයෙහි හෝ, රියකරු කුලයෙහි හෝ, පුප්සඬු කුලයෙහි හෝ, ආහාර පාන භෝජන නැති, දුෂ්කර ජීවිකා ඇති, යමක දුකින් කෑම ඇඳීම, ලැබේද, ඒ දිළිඳු කුලයක හෝ උපන්නේ වේද, හෙද වනාහි දුර්වර්ණද, නපුරු දැකීම් ඇත්තේද, ඉතා කොන් වූයේද, කෙස් රැවුල් කපවා, කසාවත් හැඳ, ගෙයින් නික්ම, සස්නෙහි පැවිදි වේද, හේ මෙසේ පැවිදි වූයේ, නුවණ දුබල කරණ, සිත කිළිටිවූ, වැසී සිටින පස් අකුසල් හැර, සතර සිහි පිහිටුවීම්වල මනාව සිත පිහිටවූයේ, බොධි අංග සත තත්වූ පරිද්දෙන් වඩා කලු නොවූ, සුදු නොවූ, නිවණ උපදවයි. ආනන්දය, මෙසේම වනාහි කළුවූ ජාති ඇත්තේ, කළු නොවූ, සුදු නොවූ, නිවණ උපදවයි.
’’ආනන්දය, කෙසේ නම් සුදුවූ ජාති ඇත්තේ කළුවූ දහම උපදවාද? ආනන්දය, මේ ලොව එකෙක් උසස් කුලවූ රදල මහසල් කූල හෝ බමුණු මහසල් කුල හෝ සිටු මහසල් කුල හෝ ආඪ්‍යව, මහ ධනව, මහා භෝග සහිතව, බොහෝ රන් රිදී ඇතිව, බොහෝ ධනෝපකරණ ඇතිව උපන්නේ වේද, සුරූප ඇත්තේ, දර්ශනීය වූයේ, පහදවන්නේ, උතුම් ශරීර වර්ණ සෞන්දර්යයෙන් යුක්තවූයේ, ආහාර, පාන, වස්ත්‍ර, යාන, මාලා, ගඳ විලවුන්, ඇඳන්, ගෙවල්, පහන් ලද්දේ වේද, හේ කයින් වැරදි කරයි. වචනයෙන වැරදි කරයි. සිතින් වැරදි කරයි. එසේ කොට කය බිඳී මරණින් පසු දුර්ගතිවූ, ඇද වැටීමවූ නිරයේ උපදී. ආනන්ද, මෙසේම වනාහි සුදුවූ ජාති ඇත්තේ, කලුවූ දහම උපදවයි.
’’ආනන්දය, කෙසේ නම් සුදුවූ ජාති ඇත්තේ සුදුවූ දහම උපදවාද? ආනන්දය, මේ ලොව එකෙක් උසස් කුලවූ රදල මහසල් කූල හෝ බමුණු මහසල් කුල හෝ සිටු මහසල් කුල හෝ ආඪ්‍යව, මහ ධනව, මහා භෝග සහිතව, බොහෝ රන් රිදී ඇතිව, බොහෝ ධනෝපකරණ ඇතිව උපන්නේ වේද, සුරූප ඇත්තේ, දර්ශනීය වූයේ, පහදවන්නේ, උතුම් ශරීර වර්ණ සෞන්දර්යයෙන් යුක්තවූයේ, ආහාර, පාන, වස්ත්‍ර, යාන, මාලා, ගඳ විලවුන්, ඇඳන්, ගෙවල්, පහන් ලද්දේ වේද, හේ කයින් කුසල් කරයි. වචනයෙන් කුසල් කරයි. සිතින් කුසල් කරයි. එසේකොට මරණින් මතු සුගතිවූ දෙව්ලොව උපදී. ආනන්දය, එසේම සුදුවූ ජාති ඇත්තේ, සුදුවූ දහම උපදවයි.
’’ආනන්දය, කෙසේ නම් සුදු ජාති ඇත්තේ, කළු නොවූ, සුදු නොවූ නිවණ උපදවාද? ආනන්දය, මේ ලොව එකෙක් ආඪ්‍ය මහා ධනවත්, මහා භෝගවත්, බොහෝ රන් රිදී ඇති, බොහෝ ධනොපකරණ ඇති, රදළ මහසල් කුල හෝ, බමුණු මහසල් කුල හෝ සිටු මහසල් කුල හෝ උපන්නේ වේද, හේ සුරූප ඇත්තේ, දර්ශනීය වූයේ, පහදවන්නේ, උතුම් ශරීර වර්ණ සෞන්දර්යයෙන් යුක්තවූයේ, ආහාර, පාන, වස්ත්‍ර, යාන, මාලා, සුවඳ විලවුන්, ඇඳන්, ගෙවල්, පහන් ලබනුයේ වේද, හේ කෙස් රැවුල් කපවා, කසාවත් හැඳ, ගෙයින් නික්ම, සස්නෙහි පැවිදි වේද, හේ මෙසේ පැවිදි වූයේ, නුවණ දුබල කරණ, සිත කිළිටිවූ, වැසී සිටින පස් අකුසල් හැර, සතර සිහි පිහිටුවීම්වල මනාව සිත පිහිටවූයේ, බොධි අංග සත තත්වූ පරිද්දෙන් වඩා කලු නොවූ, සුදු නොවූ, නිවණ උපදවයි. ආනන්දය, මෙසේම සුදුවූ ජාති ඇත්තේ කලු නොවූ, සුදු නොවූ නිවණ උපදවයි. මේ වනාහි ජාතීහු සයයි.’’

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.