SN- 04-01- 09-04 ඡන්න සුත්‍රය

channa

§1.  මා විසින් මෙසේ අසන ලදී.
එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර කලන්‍දක නිවාප නම්වූ වේළුවනාරාමයෙහි වැඩවසන සේක.

§2 . එකල්හි ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන්වහන්සේද, ආයුෂ්මත් මහා චුන්‍ද ස්ථවිරයන්වහන්සේද, ආයුෂ්මත් ඡන්න ස්ථවිරයන්වහන්සේද ගිජුකුළුපව්වෙහි වාසය කෙරෙත්. එකල්හි ආයුෂ්මත් ඡන්න ස්ථවිරයන්වහන්සේ  දැඩිසේ  ගිලන්ව  දුකින් පෙළුණේ වේ.

එදා  ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන්වහන්සේ  සවස් වේලෙහි භාවනාවෙන්  නැගී සිටියේ ආයුෂ්මත් මහා චුන්‍ද ස්ථවිරයන්වහන්සේ හුන් තැනට ගොස් මෙපවත් කියා උන් වහන්සේද කැටුව ගිලන්ව හුන්  ආයුෂ්මත් ඡන්න ස්ථවිරයන්වහන්සේ වෙත  පැමිනියේය. පැමිණ පනවන ලද ආසනයෙහි  ඉඳගෙන ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන්වහන්සේ මෙසේ ඇසීය.

 ‘ඇවැත් ඡන්නය, ඔබට කෙසේද?, ඔබට වේදනා ඉවසිය හැක්කේද? දැරිය හැක්කේද? ශාරීරික  වේදනාවෝ අඩු වෙත්ද, වැඩි නොවෙත්ද, අඩුවන බවක් පෙනේද, වැඩිවන බවක් නොපෙනේදැයි’ ඇසීය.

’’ඇවැත් ශාරීපුත්‍රයෙනි, මට ඉතා  දැඩිව වේදනා දැනේ. ඒ වේදනාවෝ ඉවසිය නොහැක, එහි අඩුවක් නැත. දැඩිවූ මාගේ දුක් වේදනාවෝ වැඩිවෙත්, අඩු නොවෙත්. වැඩිවන බවම පෙනේ. අඩුවන බවක් නොපෙනේ. ඇවැත්නි යම් සේ බලවත් පුරුෂයෙක් සියුම්වූ විදින කටුවකින් මාගේ හිස් මුදුන විදින්නේද, ඇවැත්නි එපරිද්දෙන්ම බලවත්වූ වාතයෝ හිස පහරත්.

’’ඇවැත් ශාරීපුත්‍රයෙනි, මට දැඩිව වේදනා දැනේ. ඉවසිය නොහැක,එහි අඩුවක් නැත. දැඩිවූ මාගේ දුක් වේදනාවෝ වැඩිවෙත්, අඩු නොවෙත්. වැඩිවන බවම පෙනේ. අඩුවන බවක් නොපෙනේ.  ඇවැත්නි යම් සේ බලවත් පුරුෂයෙක් දැඩිවූ වර පටකින් මා හිස තදකොට වෙලා එය දෙපසින් අදිමින් තදකරන්නාසේ , ඇවැත්නි, එපරිද්දෙන්ම මාගේ හිසෙහි වේදනාවෝ බලවත්ව දැනේ..

’’ඇවැත් ශාරීපුත්‍රයෙනි, මට දැඩිව වේදනා දැනේ. ඉවසිය නොහැක,එහි අඩුවක් නැත. දැඩිවූ මාගේ දුක් වේදනාවෝ වැඩිවෙත්, අඩු නොවෙත්. වැඩිවන බවම පෙනේ. අඩුවන බවක් නොපෙනේ. ඇවැත්නි යම් සේ දක්‍ෂවූ ගවයන් මරන්නෙක් ගවයන් මරන්නෙකුගේ අතවැසියෙක් හෝ තියුණුවූ ගෙරි කපන කැත්තෙන් කුස කපන්නේද, ඇවැත්නි එපරිද්දෙන්ම බලවත්වූ වාතයෝ කුස කපත්.

’’ඇවැත් ශාරීපුත්‍රයෙනි, මට දැඩිව වේදනා දැනේ. ඉවසිය නොහැක,එහි අඩුවක් නැත. දැඩිවූ මාගේ දුක් වේදනාවෝ වැඩිවෙත්, අඩු නොවෙත්. වැඩිවන බවම පෙනේ. අඩුවන බවක් නොපෙනේ.  ඇවැත්නි යම් සේ බලවත්වූ පුරුෂයෝ දෙදෙනෙක් ඉතා දුර්‍වලවූ පුරුෂයෙකු වෙන වෙනම අත්වලින් උසුලාගෙන් ගොස්  ගිනි අඟුරු වලෙක්හි දමන්නේද , ඇවැත්නි, එපරිද්දෙන්ම සිරුරෙහි බලවත්වූ දැවිල්ලක් වේ.

’’ඇවැත් ශාරීපුත්‍රයෙනි, මට දැඩිව වේදනා දැනේ. ඉවසිය නොහැක,එහි අඩුවක් නැත. දැඩිවූ මාගේ දුක් වේදනාවෝ වැඩිවෙත්, අඩු නොවෙත්. වැඩිවන බවම පෙනේ. අඩුවන බවක් නොපෙනේ.  ආයුෂ්මත්වූ ශාරිපුත්‍රය, ආයුධයකින් දිවි තොර කරගන්නෙමි.ජීවිතය බලාපොරොත්තු නොවෙමියි, කීයේය.

’’ආයුෂ්මත් ඡන්නය, ඔබ එසේ නොකරත්වා.  ආයුධයකින් දිවි තොරකර නොගනීවා, ආයුෂ්මත් ඡන්න, ඔබ  ජීවත් වේවා.  අපි ජීවත්වන්නාවූ ඡන්නයන් (දැකීමට) කැමති වෙමු. ඉදින් ආයුෂ්මත් ඡන්නයන්ට සුදුසු වූ ආහාර නැතිනම් මම ආයුෂ්මත් ඡන්නයන්ට සුදුසුවූ ආහාර සපයා දෙන්නෙමි. ඉදින් ආයුෂ්මත් ඡන්නයන්ට සුදුසු වූ බෙහෙත් නැතිනම් මම ආයුෂ්මත් ඡන්නයන්ට සුදුසුවූ බෙහෙත් සපයා දෙන්නෙමි. ඉදින් ආයුෂ්මත් ඡන්නයන්ට සුදුසු වූ උපස්ථායකයෝ නැතිනම් මම ආයුෂ්මත් ඡන්න සථවිරයන්ට උපස්ථාන කරන්නෙමි. ආයුෂ්මත් ඡන්නයානි ඔබ , ආයුධයකින් දිවි තොරකර නොගණිවා. ආයුෂ්මත් ඡන්න ජීවත් වේවා. අපි ජීවත්වන්නාවූ ආයුෂ්මත් ඡන්නයන් (දැකීමට) කැමැත්තෙමු”යි, කීය.

’’ඇවැත් ශාරීපුත්‍රයෙනි, මට සුදුසු වූ ආහාර නැත්තේ නොවේ. මට සුදුසුවූ ආහාර ඇත. මට සුදුසු වූ බෙහෙත් නැත්තේ නොවේ. මට සුදුසුවූ බෙහෙත්ද ඇත. මට සුදුසු වූ උපස්ථායකයෝ නැත්තාහුද නොවෙත්. මට සුදුසුවූ උපස්ථායකයෝද ඇත්තාහ. ඇවැත්නි, එතකුදු වුවත් මා විසින් ශාස්තෲන් වහන්සේ බොහෝ කලක් යහපත්වූ කායකර්‍මාදියෙන්ම ඇසුරු කරණ ලදී. අයහපත්වූ කායකර්‍මාදියෙන් ඇසුරු නොකරණ ලදී. ඇවැත්නි, යහපත්වූ කායකර්‍මාදියෙන් ශාස්තෲන් වහන්සේ ඇසුරු කරන්නේය. අයහපත්වූ කායකර්‍මාදියෙන් ඇසුරු නොකරන්නේය යන යමක් වේද, ඒ වනාහි ශ්‍රාවකයාහට සුදුසු වේ. ඇවැත් ශාරීපුත්‍රයෙනි, ඡන්න භික්‍ෂුන් නැවත ප්‍රතිසන්‍ධියක් නැත්තාවූ මේ ජීවිතය සිය කැමැත්තෙන් දිවි තොරකර ගන්නේය” යන මේ කාරණය මෙසේ දරණු මැනවැයි, කීය.

’’ඉදින් ආයුෂ්මත් ඡන්නයන් ගෙන් ප්‍රශ්න ඇසීමට ඉඩ දේ නම් අපි ආයුෂ්මත් ඡන්නයන්ගෙන් කිසියම් කරුණක් විචාරන්නෙමු., ,

“ඇවැත් ශාරිපුත්‍රයෙනි, අසනු මැනව, මම පිළිතුරු දෙන්නෙමි,

’’ඇවැත් ඡන්නය, ඇස, චකඛු විඤ්ඤාණය, චකඛු විඤ්ඤාණයෙන් දතයුතු ධර්‍මයන් ‘මෙය මාගේය, මෙය මම වෙමි, මෙය මාගේ ආත්මයයි’ ඔබ  දක්නෙහිද?

’’ඇවැත් ශාරීපුත්‍රය, ඇස, චක්ඛු විඤ්ඤාණය, චක්ඛු විඤ්ඤාණයෙන් දතයුතු ධර්‍මයන් ‘මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේයයි’ මම දක්නෙමි.

’’ඇවැත් ඡන්නය, කණ, සෝත විඤ්ඤාණය, සොත විඤ්ඤාණයෙන් දතයුතු ධර්‍මයන් ‘මෙය මාගේය, මෙය මම වෙමි, මෙය මාගේ ආත්මයයි’ ඔබ  දක්නෙහිද?

’’ ඇවැත් ශාරීපුත්‍රය, කණ, සෝත විඤ්ඤාණය, සොත විඤ්ඤාණයෙන් දතයුතු ධර්‍මයන් ‘මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේයයි’ මම දක්නෙමි. ,

’’ඇවැත් ඡන්නය, නාසය, ඝාණ විඤ්ඤාණය, ඝාණ විඤ්ඤාණයෙන් දතයුතු ධර්‍මයන් ‘මෙය මාගේය, මෙය මම වෙමි, මෙය මාගේ ආත්මයයි’ දක්නෙහිද?

ඇවැත් ශාරීපුත්‍රය, නාසය, ඝාණ විඤ්ඤාණය, ඝාණ විඤ්ඤාණයෙන් දතයුතු ධර්‍මයන් ‘මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේයයි’ දක්නෙමි.

’’ඇවැත් ඡන්නය, දිව, ජිව්හා විඤ්ඤාණය, ජිව්හා විඤ්ඤාණයෙන් දතයුතු ධර්‍මයන් ‘මෙය මාගේය, මෙය මම වෙමි, මෙය මාගේ ආත්මයයි’ ඔබ දක්නෙහිද?

’’ඇවැත් ශාරීපුත්‍රය, දිව, ජිව්හා විඤ්ඤාණය, ජිව්හා විඤ්ඤාණයෙන් දතයුතු ධර්‍මයන් ‘මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේයයි’ මම දක්නෙමි.

’’ඇවැත් ඡන්නය, කය, කාය විඤ්ඤාණය, කාය විඤ්ඤාණයෙන් දතයුතු ධර්‍මයන් ‘මෙය මාගේය, මෙය මම වෙමි, මෙය මාගේ ආත්මයයි’ ඔබ දක්නෙහිද?

’’ඇවැත් ශාරීපුත්‍රය, කය, කාය විඤ්ඤාණය, කාය විඤ්ඤාණයෙන් දතයුතු ධර්‍මයන් ‘මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේයයි’ මම දක්නෙමි.

’’ඇවැත් ඡන්නය, සිත, මනෝ විඤ්ඤාණය, මනෝ විඤ්ඤාණයෙන් දතයුතු ධර්‍මයන් ‘මෙය මාගේය, මෙය මම වෙමි, මෙය මාගේ ආත්මයයි’ ඔබ  දක්නෙහිද?,

’’ඇවැත් ශාරීපුත්‍රය, සිත, මනෝ විඤ්ඤාණය, මනෝ විඤ්ඤාණයෙන් දතයුතු ධර්‍මයන් ‘මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේයයි’ මම  දක්නෙමි.

’’ඇවැත්වූ ඡන්නය, ඇසෙහි, චකඛු විඤ්ඤාණයෙහි, චකඛු විඤ්ඤාණයෙන් දතයුතු ධර්‍මයන්හි කුමක් දැක කුමක් දැන ඇස, චකඛු විඤ්ඤාණය, චකඛු විඤ්ඤාණයෙන් දතයුතු ධර්‍මයන් ‘මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේයයි’ ඔබ දක්නෙහිද,

’’ඇවැත්වූ ඡන්නය, කණෙහි, සෝත විඤ්ඤාණයෙහි, සෝත විඤ්ඤාණයෙන් දතයුතු ධර්‍මයන්හි කුමක් දැක කුමක් දැන කණ, සෝත විඤඤාණය, සෝත විඤ්ඤාණයෙන් දතයුතු ධර්‍මයන් ‘මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේයයි’ ඔබ දක්නෙහිද,

’’ඇවැත්වූ ඡන්නය, නාසයෙහි, ඝාණ විඤ්ඤාණයෙහි, ඝාණ විඤ්ඤාණයෙන් දතයුතු ධර්‍මයන්හි කුමක් දැක කුමක් දැන නාසය, ඝාණ විඤ්ඤාණය, ඝාණ විඤ්ඤාණයෙන් දතයුතු ධර්‍මයන් ‘මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේයයි’ඔබ දක්නෙහිද,

’’ඇවැත්වූ ඡන්නය, දිවෙහි, ජිව්හා විඤ්ඤාණයෙහි, ජිව්හා විඤඤාණයෙන් දතයුතු ධර්‍මයන්හි කුමක් දැක කුමක් දැන දිව, ජිව්හා විඤ්ඤාණය, ජිව්හා විඤ්ඤාණයෙන් දතයුතු ධර්‍මයන් ‘මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේයයි’ ඔබ දක්නෙහිද,

’’ඇවැත්වූ ඡන්නය, කයෙහි, කාය විඤ්ඤාණයෙහි, කාය විඤ්ඤාණයෙන් දතයුතු ධර්‍මයන්හි කුමක් දැක කුමක් දැන කය, කාය විඤ්ඤාණය, කාය විඤ්ඤාණයෙන් දතයුතු ධර්‍මයන් ‘මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේයයි’ ඔබ දක්නෙහිද,

’’ඇවැත්වූ ඡන්නය, සිතෙහි, මනෝ විඤ්ඤාණයෙහි, මනෝ විඤ්ඤාණයෙන් දතයුතු ධර්‍මයන්හි කුමක් දැක කුමක් දැන සිත, මනෝ විඤ්ඤාණය, මනෝ විඤ්ඤාණයෙන් දතයුතු ධර්‍මයන් ‘මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේයයි’ ඔබ දක්නෙහිදැයි ඇසූහ.

’’ඇවැත් ශාරීපුත්‍රයෙනි, ඇසෙහි, චක්ඛු විඤ්ඤාණයෙහි, චකඛු විඤ්ඤාණයෙන් දතයුතු ධර්‍මයන් කෙරෙහි නිරුඬවීම දැක නිරුඬවීම දැන ඇස, චක්ඛු විඤ්ඤාණය, චකඛු විඤ්ඤාණයෙන් දතයුතු ධර්‍මයන් ‘මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේයයි’ මම දක්නෙමි.

’’ඇවැත් ශාරීපුත්‍රයෙනි, කණෙහි, සෝත විඤ්ඤාණයෙහි, සෝත විඤ්ඤාණයෙන් දතයුතු ධර්‍මයන් කෙරෙහි නිරුඬවීම දැක නිරුඬවීම දැන කණ, සෝත විඤ්ඤාණය, සෝත විඤ්ඤාණයෙන් දතයුතු ධර්‍මයන් ‘මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේයයි’ මම  දක්නෙමි.

’’ඇවැත් ශාරීපුත්‍රයෙනි, නාසයෙහි, ඝාණ විඤ්ඤාණයෙහි, ඝාණ විඤ්ඤාණයෙන් දතයුතු ධර්‍මයන් කෙරෙහි නිරුඬවීම දැක නිරුඬවීම දැන නාසය, ඝාණ විඤ්ඤාණය, ඝාණ විඤ්ඤාණයෙන් දතයුතු ධර්‍මයන් ‘මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේයයි’ දක්නෙමි.

’’ඇවැත් ශාරීපුත්‍රයෙනි, දිවෙහි, ජිව්හා විඤ්ඤාණයෙහි, ජිව්හා විඤ්ඤාණයෙන් දතයුතු ධර්‍මයන් කෙරෙහි නිරුඬවීම දැක නිරුඬවීම දැන දිව, ජිව්හා විඤ්ඤාණය, ජිව්හා විඤ්ඤාණයෙන් දතයුතු ධර්‍මයන් ‘මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේයයි’ මම  දක්නෙමි.

’’ඇවැත් ශාරීපුත්‍රයෙනි, කයෙහි, කාය විඤ්ඤාණයෙහි, කාය විඤ්ඤාණයෙන් දතයුතු ධර්‍මයන් කෙරෙහි නිරුඬවීම දැක නිරුඬවීම දැන කය, කාය විඤ්ඤාණය, කාය විඤ්ඤාණයෙන් දතයුතු ධර්‍මයන් ‘මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේයයි’ දක්නෙමියි කීයේය. ,ඇවැත් ශාරීපුත්‍රයෙනි, සිතෙහි, මනෝ විඤ්ඤාණයෙහි, මනෝ විඤ්ඤාණයෙන් දතයුතු ධර්‍මයන් කෙරෙහි නිරුඬවීම දැක නිරුඬවීම දැන සිත, මනෝ විඤ්ඤාණය, මනෝ විඤ්ඤාණයෙන් දතයුතු ධර්‍මයන් ‘මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේයයි’ දක්නෙමියි, කීයේය.

මෙසේ කී කල්හි ආයුෂ්මත් මහා චුන්‍ද ස්ථවිරයන්  ආයුෂ්මත් ඡන්න ස්ථවිරයන්ට මෙසේ කීය. ,”ඇවැත් ඡන්නය, එසේනම් මෙහිදී  භාග්‍යවතුන් වහන්සේගේ මේ අනුශාසනයද නිරන්තරයෙන් මනාකොට මෙනෙහි කටයුතුයි.

  • තෘෂ්ණාදිය ඇසුරුකළහුගේ කම්පාවීම ඇසුරු නොකළහුට කම්පාවීමක් නැත.
  • කම්පා වීමක් නැතිකල්හි ඇලීම ඇතිනොවේ.
  • ඇලීම නැති කල්හි ප්‍රතිසන්‍ධි වශයෙන් ඊමක් හෝ චුති වශයෙන් යාමක් හෝ නැත.
  • ඊමක් හෝ යාමක් නැති කල්හි චුත වීමක් හෝ ඉපදීමක් හෝ නැත.
  • චුතිය හා උත්පත්තිය නැති කල්හි මෙලොවද නැත පරලොවද නැත. දෙලොවම නැත.
  • මෙයම දුක්ඛයාගේ කෙළවර වේය., යන අනුශාසනාවයි.

ඉක්බිති ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේද, ආයුෂ්මත් මහා චුන්‍ද ස්ථවිරයන් වහන්සේද, ආයුෂ්මත් ඡන්න ස්ථවිරයන්ට මෙසේ  අවවාදයෙන් අවවාද කොට හුනස්නෙන් නැගිට ගියාහුය.

ඉක්බිති ආයුෂ්මත් ඡන්න ස්ථවිරයන් වහන්සේ  ඒ ආයුෂ්මතුන් වහන්සේලා බැහැර ගියාවූ නොබෝ කල්හි ආයුධයකින් බෙල්ල කපා genaගත්තේය.

ඉක්බිති ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන්  භාග්‍යවතුන් වහන්සේ වෙත  පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක් පසෙක හිඳ මෙය සැල කෙළේය.

’’සවාමීනි, ආයුෂ්මත් ඡන්න සථවිරයන් විසින් ආයුධයකින් ගෙල කපා ගෙන  සිය දිවි තොර කරගන්නා ලදී. ඔහුගේ යලි උත්පත්තිය කෙසේ වන්නේ වේද ?  පරලොව කවරේද?,

’’ශාරීපුත්‍රය, ඔබ ඉදිරියෙහිදීම ඡන්න භික්‍ෂුව විසින් තමනට  නැවත උත්පත්තියක් නැතිබව ප්‍රකාශ කරණ ලද්දේ නොවේද?,

,”ස්වාමීනි, පුබ්බවිචිර නම් වජ්ජි ග්‍රාමයක් ඇත්තේය. එහි ආයුෂ්මත් ඡන්න ස්ථවිරයන්ගේ මිත්‍රවූ කුලයෝ, යහළුවූ කුලයෝ වෙත්. නැවත ප්‍රතිසන්ධියක් වේ නම් ඔහුට ඒ  කුලයක නැවත ඉපදීම සුදුසු වෙත්ය”  යි, කීය.

’’ශාරීපුත්‍රය, ඡන්න භික්‍ෂූහුගේ එසේ  මිත්‍රවූ කුලයෝ, යහළුවූ කුලයෝ එළඹිය යුතු කුලයෝ වෙත්මැයි, එසේ වුවද ශාරීපුත්‍රය, මම මෙතෙකින් ඔහු ඒ කුලයක ඉපිදේ යයි නොකියමි.

ශාරීපුත්‍රය, යමෙක්  මේ කය හැර යයිද , අනික් කයක් උරුමකර ගනීද, මම ඔහු එසේ වෙනත්  කයක් ලබන  ලද්දෙකැයි  කියමි. ඡන්න  භික්‍ෂූව එසේ වෙනත් කයක් ලැබුවේ නැත. 

ඡන්න භික්‍ෂුව ආයුධයකින් ගෙල සිඳගෙන දිවි තොර කර ගත්මුත් ඔහුට  නැවත ඉපදීමක් නැත “, ශාරීපුත්‍රය, මෙය මෙසේ දරවයි, වදාළ සේක.

Sanyuktha Nikaya

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.