SN 03-04- නතුම්හාක වග්ගය

§ SN 03-04-01-පළමුවෙනි නතුම්හාක සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.

“මහණෙනි, යමක් තොපගේ නොවේ නම් එය දුරු කරව්.
එය දුරුකිරීම තොපට හිත පිණිස, සැප පිණිස වන්නේය
මහණෙනි, කුමක් තොපගේ නොවේද?
මහණෙනි, රූපය තොපගේ නොවේ. එය දුරු කරව්. එය දුරු කිරීම තොපට හිත පිණිස, සැප පිණිස වන්නේය.
වේදනාව තොපගේ නොවේ. එය දුරු කරව්. එය දුරු කිරීම තොපට හිත පිණිස සැප පිණිස වන්නේය. සඤ්ඤාව තොපගේ නොවේ. එය දුරු කරව්. එය දුරු කිරීම තොපට හිත පිණිස, සැප පිණිස වන්නේය. සංස්කාරයෝ තොපගේ නොවෙත්. එය දුරු කරව්. එය දුරුකිරීම තොපට හිත පිණිස, සැප පිණිස වන්නේය.
විඤ්ඤාණය තොපගේ නොවේ එය දුරු කරව්. එය දුරුකිරීම තොපට හිත පිණිස, සැප පිණිස වන්නේය.

“මහණෙනි, යම්සේ  මේ ජේතවනයෙහි තණ, දැව, අතු, කොළ යන යමක් වේද, ජනයා එය ගෙනයන්නේ හෝ වේද, දවන්නේ හෝ වේද, සුදුස්සක් කරන්නේ හෝ වේද, එකල්හි තොපට ජනයා අප ගෙනයන්නේය කියා හෝ, දවන්නේය කියා හෝ, සුදුස්සක් කරන්නේය කියා හෝ කල්පනා වන්නේද?
“ස්වාමීනි, එසේ නොවේමය.
“ඊට හේතු කවරේද?”
“ස්වාමීනි, එය අපගේ හෝ තමා හෝ තමාගේ දෙයක් හෝ නොවන හෙයිනි”
“මහණෙනි, එපරිද්දෙන්ම රූපය තොපගේ නොවේ එය දුරු කරව්. එය දුරු කිරීම තොපට හිත පිණිස, සැප පිණිස වන්නේය. වේදනාව තොපගේ නොවේ. එය දුරු කරව්. එය දුරු කිරීම හිත පිණිස, සැප පිණිස වන්නේය. සංඥාව තොපගේ නොවේ. එය දුරුකරව්. එය දුරු කිරීම තොපට හිත පිණිස, සැප පිණිස වන්නේය. සංස්කාරයෝ තොපගේ නොවේ. එය දුරුකරව් එය දුරුකිරීම තොපට හිත පිණිස සැප පිණිස වන්නේය. විඤ්ඤාණය තොපගේ නොවේ. එය දුරු කරව්. එය දුරු කිරීම තොපට හිත පිණිස, සැප පිණිස වන්නේය.
(පළමුවෙනි නතුම්හාක සූත්‍රය නිමි.)

§ SN 03-04-02.දෙවෙනි නතුම්හාක සූත්‍රය

§1මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
“මහණෙනි, යමක් තොපගේ නොවේ නම් එය දුරු කරව්. එය දුරුකිරීම තොපට හිත පිණිස, සැප පිණිස වන්නේය. මහණෙනි, කුමක් තොපගේ නොවේද?
“මහණෙනි, රූපය තොපගේ නොවේ. එය දුරු කරව්. එය දුරු කිරීම තොපට හිත පිණිස, සැප පිණිස වන්නේය. වේදනාව තොපගේ නොවේ. එය දුරු කරව්. එය දුරුකිරීම තොපට හිත පිණිස, සැප පිණිස වන්නේය. සංඥාව තොපගේ නොවේ. එය දුරුකරව්. එය දුරුකිරීම තොපට හිත පිණිස, සැප පිණිස වන්නේය. සංස්කාර තොපගේ නොවේ. එය දුරුකරව්. එය දුරුකිරීම තොපට හිත පිණිස, සැප පිණිස වන්නේය. විඤ්ඤාණය තොපගේ නොවේ. එය දුරු කරව්. එය දුරුකිරීම තොපට හිත පිණිස, සැප පිණිස වන්නේය.
“මහණෙනි, යමක් තොපගේ නොවේ නම් එය දුරු කරව්. එය දුරු කිරීම තොපට හිත පිණිස, සැප පිණිස වන්නේය.”
(දෙවෙනි නතුම්හාක සූත්‍රය නිමි.)
3

§ SN 03-04-01 භික්ඛු සූත්‍රය

§1මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එකල්හි වනාහි එක්තරා භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද, එතැන්හි පැමිණියේය පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එකත්පසෙක හුන්නේය. එකත්පසෙක හුන්නාවූ ඒ මහණතෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීයේය.
“ස්වාමීනි, මම භාග්‍යවතුන් වහන්සේගෙන් යම් ධර්මයක් අසා තනිව, විවේකව අප්‍රමාදව, කෙලෙස් තවන වීර්‍ය්‍ය ඇතිව, ආත්ම පරිත්‍යාගයෙන් යුක්තව වාසය කරන්නෙම්ද, (එබඳුවූ) ධර්මයක් භාග්‍යවතුන් වහන්සේ කොටින් දේශනා කරන සේක්වා” යනුයි.
“මහණ, යමක් (කාමරාගාදී කෙලෙස්) අත්නොහැර පවතියිද, එය (කාමරාගාදී කෙලෙස්) සංඛ්‍යාවට පැමිණෙයි. යමක් (කෙලෙස්) අත්නොහැර නොවතියි නම් එය (කෙලෙස්) සංඛ්‍යාවට නොපැමිණෙයි” කියා වදාළේය.
භික්ෂුතෙමේ “භාග්‍යවතුන් වහන්ස, දැනගන්නා ලදී. සුගතයන් වහන්ස, දැනගන්නාලදීයයි” කීය.
“මහණ, ඔබ කෙසේ නම් මා විසින් සංක්ෂෙපයෙන් කියනලද වචනයාගේ අර්ථය විස්තර වශයෙන් දැනගත්තෙහිද?”
“ස්වාමීනි, රූපය අත්නොහැර පවතියි නම්, එය ඒ (රාගයෙන් යුත් පුද්ගලයා යනාදි) සංඛ්‍යාවට පැමිණෙයි. ඉදින් වේදනාව අත්නොහැර පවතියි නම්, එය ඒ සංඛ්‍යාවට යයි. ඉදින් සංඥාව අත්නොහැර පවතියි නම් එය ඒ සංඛ්‍යාවට යයි.
ඉදින් සංස්කාරයන් අත්නොහැර පවතියි නම් එය ඒ සංඛ්‍යාවට යයි. ඉදින් විඤ්ඤාණය අත්නොහැර පවතියි නම් එය ඒ සංඛ්‍යාවට පැමිණෙයි.
“ස්වාමීනි, ඉදින් රූපය අත්නොහැර නොපවතියි නම් එය ඒ සංඛ්‍යාවට නොයයි. ඉදින් වේදනාව අත්නොහැර නොපවතියි නම් එය ඒ සංඛ්‍යාවට නොයයි. ඉදින් සංඥාව අත්නොහැර නොපවතියි නම් එය ඒ සංඛ්‍යාවට නොයයි. ඉදින් සංස්කාරයන් අත්නොහැර නොපවතියි නම් එය ඒ සංඛ්‍යාවට නොයයි. ඉදින් විඤ්ඤාණය අත්නොහැර නොපවතියි නම් එය ඒ සංඛ්‍යාවට නොයයි. ස්වාමීනි, මම මෙසේ භාග්‍යවතුන් වහන්සේ විසින් සංක්ෂෙපයෙන් වදාරනලද වචනයාගේ අර්ථය විස්තර වශයෙන් දැනගනිමියි කීය.”
“මහණ, යහපති! මහණ, යහපති!! ඔබ මා විසින් සංක්ෂෙපයෙන් කියනලද වචනයාගේ අර්ථය විස්තර වශයෙන් දැන ගත්තෙහිය.
“මහණ, ඉදින් රූපය අත්නොහැර පවතියි නම් එය ඒ සංඛ්‍යාවට යයි. ඉදින් වේදනාව අත්නොහැර පවතියි නම් එය ඒ සංඛ්‍යාවට යයි. ඉදින් සංඥාව අත්නොහැර පවතියි නම් එය ඒ සංඛ්‍යාවට යයි. ඉදින් සංස්කාර අත්නොහැර පවතියි නම් එය ඒ සංඛ්‍යාවට යයි. ඉදින් විඤ්ඤාණය අත් නොහැර පවතියි නම් එය ඒ සංඛ්‍යාවට යයි.
“මහණ, ඉදින් රූපය අත්නොහැර නොපවතියි නම් එය ඒ සංඛ්‍යාවට නොයයි. ඉදින් වේදනාව අත්නොහැර නොපවතියි නම් එය ඒ සංඛ්‍යාවට නොයයි. ඉදින් සංඥාව අත්නොහැර නොපවතියි නම් එය ඒ සංඛ්‍යාවට නොයයි. ඉදින් සංස්කාරයන් අත්නොහැර නොපවතියි නම් එය ඒ සංඛ්‍යාවට නොයයි. ඉදින් විඤ්ඤාණය අත්නොහැර නොපවතියි නම් එය ඒ සංඛ්‍යාවට නොයයි.
“මහණ, මා විසින් සංක්ෂෙපයෙන් කියනලද වචනයාගේ අර්ථය මෙසේ දතයුතුයයි” වදාළේය.
එකල්හි වනාහි ඒ භික්ෂුතෙමේ භාග්‍යවතුන්වහන්සේගේ වචනයට විශෙෂයෙන් සතුටුවී අනුමෝදන්වී හුනස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේට වැඳ, පැදකුණුකොට ගියේය. එකල්හි ඒ මහණතෙමේ තනිව විවේකව අප්‍රමාදව කෙලෙස් තවන වීර්‍ය්‍ය ඇතිව ආත්මපරිත්‍යාගයෙන් යුක්තව වාසය කරන්නේ යම් අර්ථයක් පිණිස කුලපුත්‍රයෝ මනාකොට ගිහිගෙයින් නික්ම සස්නෙහි පැවිදි වෙත්ද, නොබෝ කලකින්ම මාර්ගබ්‍රහ්මචර්‍ය්‍යාව කෙළවරකොට ඇති ඒ උතුම් අර්ථය මේ ආත්මයෙහිම තෙමේ විශිෂ්ඨ ඥානයෙන් අවබෝධ කොට ඊට පැමිණ, වාසය කෙළේය.
ජාතිය ක්ෂය විය. බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි හැසිර නිමවන ලදී. කළයුත්ත කරන ලදී. මාර්ග බ්‍රහ්මචර්‍ය්‍යාව සඳහා කළයුතු අනිකක් නැත්තේයයි දැන ගත්තේය. ඒ මහණතෙමේ රහතුන් අතුරෙන් එක්තරා රහත් භික්ෂුවක් විය.
(තුන්වෙනි භික්ඛු සූත්‍රය නිමි.)

§ SN 03-04-04 .දෙවෙනි භික්ඛු සූත්‍රය

§1මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක.
එකල්හි වනාහි එක්තරා භික්ෂූවක් භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද, එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ, එක් පැත්තක හුන්නේය, එක් පැත්තක හුන්නාවූ, ඒ භික්ෂුතෙමේ භාග්‍යවතුන්. වහන්සේට මෙසේ සැළකෙළේය.
“ස්වාමීනි, යම්බඳුවූ මම භාග්‍යවතුන්වහන්සේගේ ධර්මය අසා තනිව විවේකව අප්‍රමාදව කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව ආත්මපරිත්‍යාගයෙන් යුක්තව වාසය කරන්නෙම්ද, භාග්‍යවතුන් වහන්සේ මට (එබඳුවූ) ධර්මයක් කොටින් දේශනා කරන සේක්වා යනුවෙනි.”
“මහණ යමක් අත්නොහැර පවතීද, එය ඒ සමග මැරෙයි. යමක් ඒ සමග මැරෙයිද, එය ඒ (රාගයෙන් යුත් පුද්ගලයෙක යනාදීන්) සංඛ්‍යාවට යයි. යමක් අත්නොහැර නොපවතියිද, එය ඒ සමග නොමැරෙයි. එය ඒ සංඛ්‍යාවට නොයයි” කියා භාග්‍යවතුන්වහන්සේ වදාළේය. “භාග්‍යවතුන් වහන්ස, මා විසින් දැනගන්නා ලදී. සුගතයන් වහන්ස, මා විසින් දැනගන්නා ලදැයි” භික්ෂුතෙම කීය.
“මහණ, මා විසින් කොටින් දෙසන ලද්දහුගේ අර්ථය විස්තර වශයෙන් කෙසේ දැන ගත්තෙහිදැ”යි? විචාළේය.
“ස්වාමීනි, ඉදින් රූපය අත්නොහැර පවතීද එය ඒ සමග මැරෙයි. යමක් ඒ සමග මැරෙයිද, එය ඒ සංඛ්‍යාවට යයි.
“ඉදින් වේදනාව අත්නොහැර පවතීද, එය ඒ සමග මැරෙයි. යමක් එය ඒ සමග මැරෙයිද, ඒ සංඛ්‍යාවට යයි.
“ඉදින් සංඥාව අත්නොහැර පවතීද, එය ඒ සමග මැරෙයි. යමක් ඒ සමග මැරෙයිද, එය ඒ සංඛ්‍යාවට යයි.
“ඉදින් සංස්කාරයන් අත්නොහැර පවතීද, එය එ සමග මැරෙයි. යමක් ඒ සමග මැරෙයිද, එය ඒ සංඛ්‍යාවට යයි
“ඉදින් විඤ්ඤාණය අත්නොහැර පවතීද, එය ඒ සමග මැරෙයි. යමක් ඒ සමග මැරෙයිද, එය ඒ සංඛ්‍යාවට යයි.”
“මහණ, ඉදින් රූපය අත්නොහැර නොපවතියි නම් එය ඒ හා සමග නොමැරෙයි. යමක් ඒ හා සමග නොමැරෙයි නම් එය ඒ සංඛ්‍යාවට නොයයි.
“ඉදින් වේදනාව අත්නොහැර නොපවතියි නම් එය ඒ හා සමග නොමැරෙයි. යමක් ඒ හා සමග නොමැරෙයි නම් එය ඒ සංඛ්‍යාවට නොයයි.
“ඉදින් සංඥාව අත්නොහැර නොපවතියි නම් එය ඒ හා සමග නොමැරෙයි. යමක් ඒ හා සමග නොමැරෙයි නම් එය ඒ සංඛ්‍යාවට නොයයි.
‘ඉදින් සංස්කාරයන් අත්නොහැර නොපවතියි නම් එය ඒ හා සමග නොමැරෙයි. යමක් ඒ හා සමග නොමැරෙයි නම් එය ඒ සංඛ්‍යාවට නොයයි.
“ඉදින් විඤ්ඤාණය අත්නොහැර නොපවතියි නම් එය ඒ අනුසය හා සමග නොමැරෙයි. යමක් ඒ හා සමග නොමැරෙයි නම් එය ඒ සංඛ්‍යාවට නොයයි.
“මහණ, මා විසින් කොටින් කියන ලද මේ දේශනයාගේ අර්ථය මෙසේ විස්තර වශයෙන් දත යුත්තේයයි” වදාළේය.
එකල්හි ඒ භික්ෂුතෙමේ භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවට සතුටුවී අනුමෝදන්වී හුනස්නෙන් නැගිට භාග්‍යවතුන්වහන්සේට වැඳ, පැදකුණුකොට ගියේය. ඉක්බිති ඒ භික්ෂුතෙම තනිව විවෙකව අප්‍රමාදව කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව ආත්ම පරිත්‍යාගයෙන් යුක්තව වාසය කරන්නේ කුලපුත්‍රතෙම යම් අර්ථයක් උදෙසා මනාකොට ගිහි ගෙයින් නික්ම ශාසනයෙහි පැවිදිවෙද්ද, මාර්ග බ්‍රහ්මචර්‍ය්‍යාව අවසානකොට ඇති ඒ උතුම් අර්ථය නොබෝ කලකින් තෙමේ විශිෂ්ඨ ඥානයෙන් ප්‍රත්‍යක්ෂකොට ඊට පැමිණ වාසය කෙළේය. ජාතිය ක්ෂය විය. බ්‍රහ්මචර්‍ය්‍යාව වැස නිමවන ලදී. කළයුත්ත කරන ලදී. මතු කළ යුත්තක් නැතැයි දැන ගත්තේය. ඒ මහණතෙම රහතුන් අතුරෙන් එක්තරා රහත් භික්ෂුවක් විය.
(හතරවෙනි භික්ඛු සූත්‍රය නිමි.)

§ SN 03-04-05. ආනන්ද සූත්‍රය-1

§1මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන්වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක.
එකල්හි ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ යම්තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ, එක්පසෙක හුන්නේය. එක්පසෙක හුන්නාවූ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
“ආනන්දය, ඉදින් තොපගෙන් ‘ඇවැත්වූ ආනන්දය, කවර නම් ධර්මයන්ගේ ඉපදීම පෙනේද, විනාශය පෙනේද, පවත්නාවුන්ගේ දිරීම පෙනේදැයි,’ අසන්නාහු නම් ආනන්දය, මෙසේ අසන ලද්දාවූ තෙපි කුමකැයි ප්‍රකාශ කරන්නහුද?”
“ස්වාමීනි, මාගෙන් ‘ඇවත්වූ ආනන්දය, කවර නම් ධර්මයන්ගේ ඉපදීම පෙනේද, විනාශය පෙනේද, පවත්නාවුන්ගේ දිරීම පෙනේදැයි’ අසන්නාහු නම් ස්වාමීනි, මෙසේ අසන ලද්දාවූ මම මෙසේ ප්‍රකාශ කරන්නෙමි.
“ඇවැත්නි, රූපයාගේ ඉපදීම පෙනෙයි. නැසීම පෙනෙයි. පවත්නහුගේ දිරීම පෙනේ. වේදනාවගේ ඉපදීම පෙනේ. විනාශය පෙනේ. පවත්නාහුගේ දිරීම පෙනේ. සංඥාවගේ ඉපදීම පෙනේ. විනාශය පෙනේ. පවත්නාහුගේ දිරීම පෙනේ. සංස්කාරයන්ගේ ඉපදීම පෙනේ. විනාශය පෙනේ. පවත්නාහුගේ දිරීම පෙනේ. විඤ්ඤාණයාගේ ඉපදීම පෙනේ. විනාශය පෙනේ. පවත්නාහුගේ දිරීම පෙනේ.
‘ඇවැත්නි, මේ ධර්මයන්ගේ වනාහි ඉපදීම පෙනේ. විනාශය පෙනේ. පවත්නාහුගේ දිරීම පෙනෙයි කියායි. ස්වාමීනි, මෙසේ අසන ලද්දාවූ මම මෙසේ ප්‍රකාශ කරන්නෙමියි” (කීයේය.)
“ආනන්දය, යහපති, යහපති, ආනන්දය, රූපයාගේ ඉපදීම පෙනෙයි. විනාශය පෙනෙයි. පවත්නාහුගේ දිරීම පෙනෙයි. වේදනාවගේ ඉපදීම පෙනේ. විනාශය පෙනේ. පවත්නාහුගේ දිරීම පෙනේ. සංඥාවගේ ඉපදීම පෙනේ. විනාශය පෙනේ. පවත්නාහුගේ දිරීම පෙනේ. සංස්කාරයන්ගේ ඉපදීම පෙනේ. විනාශය පෙනේ. පවත්නාහුගේ දිරීම පෙනේ. සංස්කාරයන්ගේ ඉපදීම පෙනේ. විනාශය පෙනේ. පවත්නාහුගේ දිරීම පෙනේ. විඤ්ඤාණයාගේ ඉපදීම පෙනේ. විනාශය පෙනේ. පවත්නාහුගේ දිරීම පෙනේ.
“ආනන්දය, මේ ධර්මයන්ගේ වනාහි ඉපදීම පෙනෙයි. විනාශය පෙනෙයි. පවත්නහුගේ දිරීම පෙනෙයි. ආනන්දය, මෙසේ අසන ලද්දාවූ තොපි මෙසේ ප්‍රකාශ කරන්නාහුය.”
(පස්වෙනි ආනන්ද සූත්‍රය නිමි.)

§ SN 03-04-06  දුතිය ආනන්ද සූත්‍රය

§1මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක.
එකල්හි ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ යම්තැනකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එක්පැත්තක හුන්නේය. එක්පැත්තක හුන්නාවූ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක. “ආනන්දය ඉදින් තොපගෙන් ‘ඇවැත්වූ ආනන්දය, කවර ධර්මයන්ගේ ඉපදීම පෙනුණේද, විනාශය පෙනුණේද පවත්නාහුගේ දිරීම පෙනුණේද, කවර ධර්මයන්ගේ ඉපදීම පෙනෙන්නේද, විනාශය පෙනෙන්නේද, පවත්නහුගේ දිරීම පෙනෙන්නේද, කවර ධර්මයන්ගේ ඉපදීම පෙනේද, විනාශය පෙනේද පවත්නහුගේ දිරීම පෙනේදැයි’ අසන්නහු නම් ආනන්දය මෙසේ අසනලද්දාවූ තෙපි කුමකැයි ප්‍රකාශකරන්නහුදැයි” විචාළේය.
“ස්වාමීනි, ඉදින් මාගෙන් ‘ඇවැත්වූ ආනන්දය කවරනම් ධර්මයන්ගේ ඉපදීම පෙනුණේද, විනාශය පෙනුණේද පවත්නහුගේ දිරීම පෙනුණේද, කවර නම් ධර්මයන්ගේ ඉපදීම පෙනෙන්නේද, විනාශය පෙනෙන්නේද, පවත්නහුගේ දිරීම පෙනෙන්නේද, කවර ධර්මයන්ගේ ඉපදීම පෙනේද, විනාශය පෙනේද පවත්නහුගේ දිරීම පෙනේදැයි’ අසන්නාහු නම්, ස්වාමීනි මෙසේ අසනලද්දාවූ මම මෙසේ ප්‍රකාශ කරන්නෙමි.”
‘ඇවැත්නි, යම් රූපයක් වනාහි ඉකුත්වූයේද, නිරුද්ධවූයේද වෙනස්වූයේද ඒ රූපයාගේ ඉපදීම පෙනුණේය. විනාශය පෙනුණේය. පවත්නහුගේ දිරීම පෙනුණේය. යම් වේදනාවක් තොමෝ ඉකුත්වූවාද නිරුද්ධවූවාද වෙනස්වූවාද ඒ වේදනාවගේ ඉපදීම පෙනුණේය. විනාශය පෙනුණේය. පවත්නහුගේ දිරීම පෙනුණේය.
‘යම් සංඥාවක් තොමෝ ඉකුත්වූවාහුද, නිරුද්ධවූවාහුද, වෙනස්වූවාහුද, ඒ සංඥාවේ ඉපදීම පෙනුණේය. විනාශය පෙනුණේය. පවත්නහුගේ දිරීම පෙනුණේය.
‘යම් සංස්කාරයෝ ඉකුත්වූවාහුද, නිරුද්ධවූවාහුද, වෙනස්වූවාහුද, ඔවුන්ගේ ඉපදීම පෙනුණේය. විනාශය පෙනුණේය. පවත්නහුගේ දිරීම පෙනුණේය.
‘යම් විඥානයක් ඉකුත්වූයේද, නිරුද්ධවූයේද, වෙනස්වූයේද, ඒ විඥානයාගේ ඉපදීම පෙනුණේය. විනාශය පෙනුණේය. පවත්නාහුගේ දිරීම පෙනුණේය.
‘ඇවැත්නි, මේ ධර්මයන්ගේ වනාහි ඉපදීම පෙනුණේය. විනාශය පෙනුණේය. පවත්නාහුගේ දිරීම පෙනුණේය.
“ඇවැත්නි, යම් රූපයක් වනාහි නූපන්නේද පහළ නුවූයේද, ඒ රූපයාගේ ඉපදීම පෙනෙන්නේය. විනාශය පෙනෙන්නේය. පවත්නාහුගේ දිරීම පෙනෙන්නේය.
‘යම් වේදනාවක් වනාහි නූපන්නේද, පහළ නුවූයේද, ඒ වේදනාවේ ඉපදීම පෙනෙන්නේය. විනාශය පෙනෙන්නේය. පවත්නාහුගේ දිරීම පෙනෙන්නේය.
‘යම් සංඥාවක් වනාහි නූපන්නේද, පහළ නොවූයේද, ඒ සංඥාවේ ඉපදීම පෙනෙන්නේය. විනාශය පෙනෙන්නේය. පවත්නාහුගේ දිරීම පෙනෙන්නේය.
‘යම් සංස්කාරයක් වනාහි නූපන්නේද, පහළ නොවූයේද, ඒ සංස්කාරයන්ගේ ඉපදීම පෙනෙන්නේය. විනාශය පෙනෙන්නේය. පවත්නහුගේ දිරීම පෙනෙන්නේය. ‘යම් විඥානයක්, නූපන්නේද, පහළ නොවූයේද, විඥානයාගේ ඉපදීම වනාහි පෙනෙන්නේය. විනාශය පෙනෙන්නේය. පවත්නහුගේ දිරීම පෙනෙන්නේය.
‘ඇවැත්නි, මේ ධර්මයන්ගේ වනාහි ඉපදීම පෙනෙන්නේය. විනාශය පෙනෙන්නේය. පවත්නාහුගේ දිරීම පෙනෙන්නේය.
‘ඇවැත්නි, යම් රූපයක් වනාහි උපන්නේද, පහළ වූයේද, ඔහුගේ ඉපදීම පෙනෙයි. නැසීම පෙනෙයි. පවත්නහුගේ දිරීම පෙනෙයි.
‘යම් වේදනාවක් උපන්නීද, පහළවූවාද, ඇයගේ ඉපදීම පෙනෙයි. නැසීම පෙනෙයි. පවත්නාහුගේ දිරීම පෙනෙයි.
‘යම් සංඥාවක් උපන්නේද, පහළවූයේද, ඔහුගේ ඉපදීම පෙනෙයි නැසීම පෙනෙයි. පවත්නාහුගේ දිරීම පෙනෙයි.
“යම් සංස්කාරයක් උපන්නාහුද, පහළ වූවාහුද, ඔහුගේ ඉපදීම පෙනෙයි. නැසීම පෙනෙයි. පවත්නාහුගේ දිරීම පෙනෙයි
යම් විඥානයක් උපන්නේද, පහළවූයේද, ඔහුගේ ඉපදීම පෙනෙයි. නැසීම පෙනෙයි. පවත්නාහුගේ දිරීම පෙනෙයි.
ඇවැත්නි, මේ ධර්මයන්ගේ වනාහි ඉපදීම පෙනෙයි, නැසීම පෙනෙයි. පවත්නාහුගේ දිරීම පෙනෙයි. “ස්වාමීනි මෙසේ අසන ලද්දාවූ මම මෙසේ ප්‍රකාශ කරන්නෙමි”යි කීය.
“ආනන්දය යහපති යහපති! ආනන්දය, යම් රූපයක් ඉකුත් වූයේද, නිරුද්ධ වූයේද, වෙනස් වූයේද, මේ රූපයාගේ ඉපදීම පෙනුණේය. නැසීම පෙනුණේය. පවත්නහුගේ දිරීම පෙනුණේය.
‘යම් වේදනාවක් ඉකුත් වූයේද, නිරුද්ධ වූයේද, වෙනස් වූයේද, මේ වේදනාවේ ඉපදීම පෙනුණේය. නැසීම පෙනුණේය. පවත්නහුගේ දිරීම පෙනුණේය.
“යම් සංඥාවක් ඉකුත් වූයේද, නිරුද්ධ වූයේද, වෙනස් වූයේද, මේ සංඥාවේ ඉපදීම පෙනුණේය. නැසීම පෙනුණේය. පවත්නහුගේ දිරීම පෙනුණේය.
“යම් සංස්කාරයක් ඉකුත් වූයේද, නිරුද්ධ වූයේද, වෙනස් වූයේද, මේ සංස්කාරයන්හි ඉපදීම පෙනුණේය. නැසීම පෙනුණේය. පවත්නහුගේ දිරීම පෙනුණේය.
“යම් විඥානයක් ඉකුත් වූයේද, නිරුද්ධ වූයේද, වෙනස් වූයේද, මේ විඥානයේ ඉපදීම පෙනුණේය. නැසීම පෙනුණේය. පවත්නහුගේ දිරීම පෙනුණේය.
“ආනන්දය, මේ ධර්මයන්ගේ වනාහි ඉපදීම පෙනුණේය. නැසීම පෙනුණේය. පවත්නාහුගේ දිරීම පෙනුණේය.
“ආනන්දය, යම් රූපයක් වනාහි නූපන්නේද, පහළ නොවූයේද ඒ රූපයාගේ ඉපදීම පෙනෙන්නේය. නැසීම පෙනෙන්නේය. පවත්නාහුගේ දිරීම පෙනෙන්නේය.
“යම් වේදනාවක් වනාහි නූපන්නේද, පහළ නොවූයේද, ඒ වේදනාවේ ඉපදීම පෙනෙන්නේය. නැසීම පෙනෙන්නේය. පවත්නාහුගේ දිරීම පෙනෙන්නේය.
“යම් සංඥාවක් වනාහි නූපන්නේද, පහළ නොවූයේද, ඒ සංඥාවේ ඉපදීම පෙනෙන්නේය. නැසීම පෙනෙන්නේය පවත්නහුගේ දිරීම පෙනෙන්නේය.
“යම් සංස්කාරයක් වනාහි නූපන්නේද, පහළ නොවූයේද, ඒ සංස්කාරයන්ගේ ඉපදීම පෙනෙන්නේය. නැසීම පෙනෙන්නේය. පවත්නහුගේ දිරීම පෙනෙන්නේය.
“යම් විඥානයක් නූපන්නේද, පහළ නොවූයේද ඒ විඥානයාගේ ඉපදීම පෙනෙන්නේය. නැසීම පෙනෙන්නේය. පවත්නාහුගේ දිරීම පෙනෙන්නේය.
“ආනන්දය මේ ධර්මයන්ගේ වනාහි ඉපදීම පෙනෙන්නේය. නැසීම පෙනෙන්නේය. පවත්නාහුගේ දිරීම පෙනෙන්නේය.
“ආනන්දය, යම් රූපයක් උපන්නේද, පහළ වූයේද, ඔහුගේ ඉපදීම පෙනේ. නැසීම පෙනේ. පවත්නහුගේ දිරීම පෙනේ.
“යම් වේදනාවක් උපන්නේද, පහළ වූයේද, ඔහුගේ ඉපදීම පෙනේ. නැසීම පෙනේ. පවත්නහුගේ දිරීම පෙනේ.
“යම් සංඥාවක් උපන්නේද, පහළ වූයේද, ඔහුගේ ඉපදීම පෙනේ. නැසීම පෙනේ. පවත්නහුගේ දිරීම පෙනේ.
“යම් සංස්කාරයක් උපන්නේද, පහළ වූයේද, ඔහුගේ ඉපදීම පෙනේ. නැසීම පෙනේ. පවත්නහුගේ දිරීම පෙනේ.
“යම් විඥානයක් උපන්නේද, පහළ වූයේද, ඔහුගේ ඉපදීම පෙනේ. නැසීම පෙනේ. පවත්නහුගේ දිරීම පෙනේ.
“ආනන්දය, මේ ධර්මයන්ගේ වනාහි ඉපදීම පෙනේ. නැසීම පෙනේ. පවත්නහුගේ දිරීම පෙනේ. ආනන්දය, මෙසේ අසනලද්දාවූ තෙපි මෙසේ ප්‍රකාශ කරන්නෙහියයි වදාළේය.
(හයවෙනි ආනන්ද සූත්‍රය නිමි.

§ SN 03-04-07 අනුධර්ම සූත්‍රය

§1
මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
“මහණෙනි, නවලොකොත්තර ධර්මයට අනුකූලවූ ප්‍රතිපත්තියෙහි පිළිපන්නාවූ භික්ෂුවහට මේ අනුකූල ධර්මය වෙයි. රූපයෙහි කලකිරීම බහුලකොට ඇතියෙක්ව වාසය කරන්නේය යන යමක්වේද, වේදනාවෙහි කලකිරීම බහුලකොට වාසයකරන්නේය යන යමක්වේද, සංඥාවෙහි කලකිරීමට බහුලකොට ඇතිව වාසය කරන්නේය යන යමක් වේද, සංස්කාරයන්හි කලකිරීම බහුලකොට ඇතිව වාසය කරන්නේය යන යමක්වේද, විඥානයෙහි කලකිරීම බහුල කොට ඇතිව වාසයකරන්නේය යන යමක්වේද යන මේ අනුකූල ධර්මයයි.
“හෙතෙම රූපයෙහි කලකිරීම බහුලකොට ඇතිව වාසය කරන්නේ වේදනාවෙහි කලකිරීම බහුලකොට ඇතිව වාසයකරන්නේ සංඥාවෙහි කලකිරීම බහුලකොට ඇතිව වාසයකරන්නේ සංස්කාරයන්හි කලකිරීම බහුලකොට ඇතිව වාසයකරන්නේ විඥානයෙහි කලකිරීම බහුලකොට ඇතිව වාසයකරන්නේ, රූපය පිරිසිඳ දනී. වේදනාව පිරිසිඳ දනී. සංඥාව පිරිසිඳ දනී. සංස්කාරයන් පිරිසිඳ දනී. විඥානය පිරිසිඳ දනී.
“හෙතෙම රූපය පිරිසිඳ දන්නේ වේදනාව පිරිසිඳ දන්නේ සංඥාව පිරිසිඳ දන්නේ, සංස්කාරයන් පිරිසිඳ දන්නේ විඥානය පිරිසිඳ දන්නේ රූපය කෙරෙන් මිදෙයි. වේදනාව කෙරෙන් මිදෙයි. සංඥාව කෙරෙන් මිදෙයි. සංස්කාරයන් කෙරෙන් මිදෙයි. විඥානය කෙරෙන් මිදෙයි. ජාතියෙන්ද ජරාමරණයන්ගෙන්ද ශෝකයන්ගෙන්ද පරිදෙවයන්ගෙන්ද දුක්වලින්ද දොම්නස්වලින්ද දැඩි වෙහෙසින්ද මිදෙයි. සියලු දුක්වලින් මිදේයයි” කියමි.
(හත්වෙනි අනුධර්ම සූත්‍රය නිමි)

§ SN 03-04-08-දුතිය  අනුධර්ම සූත්‍රය

§1මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ.
එකල්හි භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ට මේ කාරණය වදාළසේක. “නවලොකොත්තර ධර්මයට අනුකූලවූ ප්‍රතිපත්තියෙහි පිළිගන්නාවූ භික්ෂුවහට මේ අනුකූල ධර්මයවේ. රූපයෙහි අනිත්‍ය දකිමින් වාසය කරන්නේය යන යමක්වේද වේදනාවෙහි අනිත්‍යය දකිමින් වාසය කරන්නේය යන යමක්වේද සංඥාවෙහි අනිත්‍ය දකිමින් වාසය කරන්නේය යන යමක් වේද සංස්කාරයෙහි අනිත්‍යය දකිමින් වාසය කරන්නේය යන යමක්වේද, විඤ්ඤාණයෙහි අනිත්‍යය දකිමින් වාසය කරන්නේය යන යමක් වේද යනු අනුකූල ධර්මය වේ.
හෙතෙම රූපයෙහි අනිත්‍යය දකිමින් වාසය කරන්නේ වේදනාවෙහි අනිත්‍ය දකිමින් වාසය කරන්නේ සංඥාවෙහි අනිත්‍ය දකිමින් වාසය කරන්නේ සංස්කාරයන්හි අනිත්‍ය දකිමින් වාසය කරන්නේ විඤ්ඤාණයෙහි අනිත්‍ය දකිමින් වාසය කරන්නේ රූපය පිරිසිඳ දනී. වේදනාව පිරිසිඳ දනී. සංඥාව පිරිසිඳ දනී. සංස්කාරයන් පිරිසිඳ දනී. විඥානය පිරිසිඳ දනී.
“හෙතෙම රූපය පිරිසිඳ දන්නේ වේදනාව පිරිසිඳ දන්නේ සංඥාව පිරිසිඳ දන්නේ සංස්කාරයන් පිරිසිඳ දන්නේ රූපය කෙරෙන් මිදෙයි. වේදනාව කෙරෙන් මිදෙයි. සංඥාව කෙරෙන් මිදෙයි. සංස්කාරයන් කෙරෙන් මිදෙයි. විඥානය කෙරෙන් මිදෙයි. ජාතියෙන්ද ජරාමරණයෙන්ද සෝකයන්ගෙන්ද පරිදේවයන්ගෙන්ද දුක්වලින් දොම්නස්වලින්ද දැඩිවෙහෙසින්ද මිදෙයි. සියලු දුක්වලින් මිදේයයි කියමි.”
(8 වෙනි අනුධර්ම සූත්‍රය නිමි.)

§ SN 03-04-09- තතිය අනුධම්ම සුත්‍රය

§1මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරනසේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
“මහණෙනි, නව ලොකොත්තර ධර්මයට අනුකූලවූ ප්‍රතිපත්තියෙහි පිළිපන්නාවූ භික්ෂුවහට මේ අනුකූල ධර්මයවේ. රූපය දුකයයි දකිමින් වාසය කරන්නේය යන යමක් වේද වේදනාව දුකයයි දකිමින් වාසය කරන්නේය යන යමක් වේද, සංඥාව දුකයයි දකිමින් වාසය කරන්නේය යන යමක් වේද, සංස්කාර දුකයයි දකිමින් වාසය කරන්නේය යන යමක් වේද, විඤ්ඤාණය දුකයයි දකිමින් වාසය කරන්නේය යන යමක් වේද, යනු අනුකූල ධර්මයයි.
“හෙතෙම රූපය දුකයයි දකිමින් වාසය කරන්නේ වේදනාව දුකයයි දකිමින් වාසය කරන්නේ, සංඥාව දුකයයි දකිමින් වාසය කරන්නේ, සංස්කාරයන් දුකයයි දකිමින් වාසය කරන්නේ, විඤ්ඤාණය දුකයයි දකිමින් වාසය කරන්නේ, රූපය පිරිසිඳ දනී, වේදනාව පිරිසිඳ දනී, සංඥාව පිරසිඳ දනී, සංස්කාරය පිරිසිඳ දනී, විඤ්ඤාණය පිරිසිඳ දනී,
“හෙතෙමේ රූපය පිරිසිඳ දන්නේ වේදනාව පිරිසිඳ දන්නේ සංඥාව පිරිසිඳ දන්නේ සංස්කාරයන් පිරිසිඳ දන්නේ විඤ්ඤාණය පිරිසිඳ දන්නේ, රූපය කෙරෙන් මිදෙයි. වේදනාව කෙරෙන් මිදෙයි. සංඥාව කෙරෙන් මිදෙයි. සංස්කාරයන් කෙරෙන් මිදෙයි. විඥානය කෙරෙන් මිදෙයි. ජාතියෙන්ද, ජරාමරණයෙන්ද, සෝකයන්ගෙන්ද, පරිදේවයන්ගෙන්ද, දුක් දොම්නස්වලින්ද, දැඩි වෙහෙසින්ද මිදෙයි. සියළු දුක්වලින් මිදේයයි කියමි.
(නවවෙනි අනුධර්ම සූත්‍රය නිමි.)

§ SN 03-04-10 චතුර්ථ අනුධර්ම සූත්‍රය

§1
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
“මහණෙනි, නවලොකොත්තර ධර්මයට අනුකූල ප්‍රතිපත්තියෙහි පිළිගන්නාවූ භික්ෂුවහට මේ අනුකූල ධර්මයවේ. රූපය අනාත්ම වශයෙන් දකිමින් වාසයකරන්නේය යන යමක්වේද, වේදනාව අනාත්ම වශයෙන් දකිමින් වාසය කරන්නේය යන යමක් වේද සංඥාව අනාත්ම වශයෙන් දකිමින් වාසයකරන්නේය යන යමක්වේද, සංස්කාරයන් අනාත්ම වශයෙන් දකිමින් වාසයකරන්නේය යන යමක්වේද, විඤ්ඤාණය අනාත්ම වශයෙන් දකිමින් වාසය කරන්නේය යන යමක් වේද, යන අනුකූල ධර්මයයි.
“හෙතෙම රූපය අනාත්ම වශයෙන් දකිමින් වාසය කරන්නේ, වේදනාව අනාත්ම වශයෙන් දකිමින් වාසය කරන්නේ, සංඥාව අනාත්ම වශයෙන් දකිමින් වාසය කරන්නේ, සංස්කාරයන් අනාත්ම වශයෙන් දකිමින් වාසය කරන්නේ, විඤ්ඤාණය අනාත්ම වශයෙන් දකිමින් වාසය කරන්නේ, රූපය පිරිසිඳ දනී. වේදනාව පිරිසිඳ දනී. සංඥාව පිරිසිඳ දනී. සංස්කාරයන් පිරිසිඳ දනී. විඤ්ඤාණය පිරිසිඳ දනී.
“හෙතෙමේ රූපය පිරිසිඳ දන්නේ වේදනාව පිරිසිඳ දන්නේ සංඥාව පිරිසිඳ දන්නේ සංස්කාරයන් පිරිසිඳ දන්නේ විඤ්ඤාණය පිරිසිඳ දන්නේ රූපය කෙරෙන් මිදෙයි. වේදනාව කෙරෙන් මිදෙයි. සංඥාව කෙරෙන් මිදෙයි. සංස්කාරයන් කෙරෙන් මිදෙයි. විඤ්ඤාණය කෙරෙන් මිදෙයි. ජාතියෙන්ද ජරාමරණයෙන්ද, සෝකයන්ගෙන්ද, පරිදෙවයන්ගෙන්ද, දුක් දොම්නස්වලින්ද, දැඩි වෙහෙසින්ද, මිදෙයි. සියළු දුක්වලින් මිදේයයි කියමි.”
(දහවෙනි අනුධර්ම සූත්‍රය නිමි)

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.