SN 03-01-01  

ඛන්දක වර්ගය

SN 03-01-01-01
නකුල පිතු සූත්‍රය

{සුත්‍ර වර්ණනාව:-
ඛන්‍ධක වර්ගයේ පළම සූත්‍රය – “භග්ගෙසු” යනු මෙනම් වූ ජනපදයෙහිය. “සුංසුමාරගිරෙ” යනු සුංසුමාරගිරි නුවරයි. ඒ නගරය නිර්මාණය කරන කල්හි සුංසුමාරයෙක් (කිඹුලෙක්) කෑගැසීය. එනිසා “සුංසුමාරගිරි” යන නාමය එම නුවරට තැබූහ. “භෙසකලාවනෙ” යනු “භේසකලා” නම් යක්‍ෂණිය අධිගෘහිත බැවින් මෙම නම ලැබූ වනයෙහි. එහිම මුවන්ට අභය සඳහා දෙන ලද ප්‍රදේශයක් බැවින් “මිගදාය” යනුවෙන් ද කියයි. බුදු පියාණන් වහන්සේ ඒ ජනපදය ඇසුරු කරගෙන එම වන ලැහැබෙහි වැඩ වාසය කරන සේක. “නකුලපිතා” යනු නකුල නම් දරුවාගේ පියායි.

ජිණ්ණො” යනු ජරාවෙන් මහළු වූ යනුයි. “වුද්ධො” යනු වයසින් වැඩි වූයේ යනුයි. “මහල්ලකො” යනු මහල්ලෙකු බවට පත්වූයේ යනුයි. “අද්ධගතො” වයස්ගත වූයේ. “වයො අනුප්පත්තො” යනු ඒ ත්‍රිවිධ වයසින් අන්තිම වයසට පැමිණියේ යනුයි. “ආතුරකායො” යනු ගිලන් වූ කය ඇති යනුයි. මේ ශරීරය රන්වන් වූයේ වුවද නිතර වැගිරෙන අර්ථයෙන් ආතුර වූ ගිලන් වූ. “ආතුර” යන නාම විශේෂයෙන් ජරාවෙන් රෝගී වූ ව්‍යාධියෙන් (ලෙඩ) රෝගී වූ හා මරණයෙන් ආතුර වූ යන තුනින් ආතුර වූයේ වේ. ඒවා අතුරින් මෙතෙමේ මහලු බැවින් ජරාවෙන් ආතුර වූවෙකි. නිතර රෝග වැළඳෙන බැවින් ව්‍යාධි ආතුරයෙකි. මෙය මෙහිදී අදහස් කරන ලදී. “අභිණ්හාතංකො” යනු නිතර රෝගී වූයේ, නිරන්තරව රෝගාබාධයන්ගෙන් පෙළෙනුයේ යනුයි. “අනිච්චදස්සාවී” යනු ඒ ආතුර බැවින් කැමති කැමති වේලාවට පැමිණීමට නොහැක. කලාතුරකින්ම පැමිණීමට හැකියාව ඇත. සැමකල්හිම පැමිණීමට නොහැක යන අර්ථයි. “මනොභාවනීයානං” යනු මන වඩන්නවුන්ගේ යනුයි. යමෙකු දැකීමෙන් කුශල වශයෙන් සිත වැඩේ ද ඒ සාරිපුත්‍ර-මහාමොග්ගල්ලානාදී මහතෙරවරු මනෝභාවනීය (මන වඩන්නෝ) නම් වෙති. “අනුසාසතූ” යනු නැවත නැවත අනුශාසනා කරනු මැනවි යනුයි. පළමු අවස්ථාවේ දෙන වචනය අවවාදයයි. (ඔවාද) ඊට පසුව කරනුයේ, වෙන් වෙන්ව සිදු කරනුයේ අනුශාසනාවයි. නැතහොත් වස්තුවෙහි බැසගත් වචනය ‘ඕවාද? (අවවාදය) නම් වේ. නොබැසගත්, පේළි වශයෙන් – ප්‍රවේණි වශයෙන් පවසනුයේ ‘අනුශාසනාව’ නම් වේ. තවද ඕවාදය (අවවාදය) හෝ අනුශාසනාව යන දෙකෙහිම අර්ථය එකමය. බ්‍යඤ්ජන වශයෙන් ම නානාවිධය.

……. ආතුරො භයං” යනු මේ කය ආතුර වූවක්මය යනුයි. රන්වන් වූ පියඟුවන් වූ ශරීර ඇත්තේ වුවත් නිත්‍ය වූ වැගිරීම් අර්ථයෙන් රෝගියෙක්ම ය. “අණ්ඩභූතො” යනු බිත්තරයක් මෙන් වූ යනුයි. ඉතා දුර්වල, යම්සේ කුකුල් බිත්තරයක් හෝ මොණර බිත්තරයක් හෝ පන්දුවක් මෙන් ගෙන දමන්නට හෝ පහරදීමට හෝ නොහැක. ක්‍රීඩා කළහොත් එකෙණෙහිම බිඳේ. එසේ බිත්තරයක් මෙන් වූයේ අණ්ඩභූතො නමි. “පරියොනද්ධො” යනු සියුම් වූ සිවියක් පමණ වූ, හාත්පසින් වෙළන ලද යනුයි. බිත්තරය වනාහී හරවත් සිවියෙන් වෙලන ලද්දකි. එබැවින් මැසි මදුරුවන්ට සැඟවීවත් සම සිඳ යුෂ වැගිරවීමට නොහැකි වේ. මෙහි වනාහී (මනුෂ්‍යයන්ගේ) සම සිඳ කැමති දෙයක් සිදුකිරීමට මැසිමදුරුවන්ට පුළුවන. මෙසේ සියුම් සිවියෙන් වෙළන ලදී. “කිමඤ්ඤත්‍ර බාල්‍යා” යනු මෝඩ බව හැර අන් කුමක් වේද? මොවුන් බාලයෝමය යන අර්ථයි. එනිසා මේ කය මෙබඳු ස්වරූප ඇත්තකි.

තෙනුපසංකමි” යනු චක්කවත්ති රජතුමාට උපස්ථානයට ගොස් අනතුරුව පරිනායක (සෙන්පති) රත්නයට උපස්ථාන පිණිස යන රාජ පුරුෂයකු මෙන් සද්ධර්මචක්‍රවර්තී ව බුදුරදුන්ගේ උපස්ථානයට ගොස් අනතුරුව ධර්ම සෙන්පතිට ගෞරව කරනු කැමතිව සාරිපුත්‍ර තෙරුන් වෙත එළඹියේය. “විප්පසන්නානි” යනු මැනවින් ප්‍රසන්න වූ යනුයි. “ඉන්‍ද්‍රියානි” මනස සයවැනි වූ ඉන්‍ද්‍රියයන් “පරිසුද්ධො” යනු නිදොස්ය. “පරියොදාතො” යනු එයටම සමාන වදනකි. ක්ලේශයන්ගෙන් තොර වූ බැවින් මෙහි පිරිසිදුවයි කියන ලදී. සුදුපාට නිසා නොවේ. මොහුගේ ද ඉතා පිරිසිදු බව ඉන්‍ද්‍රියයන්ගේ පැහැදුණු බවින් ම දැනගත හැකිය. නය වශයෙන් ගන්නාවිට ප්‍රඥාව මේ තෙරුන්ට මේ.

කිං හි නො සියා” යනු කුමන කරුණකින් නොලබන ලද්දේ වන්නේ ද? ලබන ලද්දේමය යන අර්ථයි. මෙහිදී කුමක් දක්වයි ද? ශාස්තෲන් වහන්සේ සමග ඇති විශ්වාසී භාවයයි. මොහු වනාහි බුදුරදුන් දුටු දින පටන් පියෙකු මෙන් ප්‍රේමයද, මොහුගේ උපාසිකාව (බිරිඳ) මවක මෙන් ප්‍රේමයද ලබයි. මේ දෙදෙනාම “මගේ පුතුයැ” යි බුදුරදුන්ට වඳිති. ඔවුන්ගේ සෙනෙහස භව ගණනාවක සිට පැවතෙන්නකි. ඒ නකුලමාතා උපාසිකාව පන්සීයක් ආත්මභාවවල තථාගතයන් වහන්සේගේ මවු වූවාය. ඒ නකුලපිතු ගහපතිතුමා පියා වූවේය. නැවත ආත්මභාව පන්සීයක් උපාසිකාව තථාගතයන් වහන්සේගේ ලොකුමව වූවාය. ගහපතිතුමා ලොකු තාත්තා විය. එසේම ආත්මභාව පන්සීයක දෙදෙනම බාප්පා හා සුළුමව (කුඩා මව) වූහ. මෙසේ තථාගතයන් වහන්සේ පෙර ආත්ම එක්දහස් පන්සීයක දී ම මේ දෙදෙනාගේම අතෙහි වැඩුණු සේක. එනිසාම ඔවුන් දෙදෙනාට යම්සේ පුතෙකුට පියා ළඟ හිඳ කථා කිරීමට නොහැකිද එසේම ශාස්තෲන් වහන්සේ ඉදිරියේ සිට කථාකිරීම අපහසු වෙති. මේ කාරණයෙන් භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි! මගේ ශ්‍රාවක වූ උපාසකයන් අතර විශ්වාස ඇත්තවුන්ගෙන් නකුල පිතු ගහපති අග්‍ර වේ. නකුලමාතා උපාසිකාවන් අතර අග්‍රවේ” යැයි මොවුහු අගතනතුරුවල පිහිටවූහ. මෙසේ ඔහු මේ විශ්වාසික බව ප්‍රකාශ කරමින් “කිං හි නො සියා” යැයි කීවේය. “අමතෙන අභිසිත්තො” යනු මෙහිදී අනික් කිසි ධ්‍යානයක් හෝ විදර්ශනාවක් හෝ මාර්ගයක් හෝ ඵලයක් හෝ අමෘතාභිෂේකයක් (අමාවෙන් අබිසෙස් කිරීමක්) ලෙස නො සැළකිය යුතුයි. මිහිරි ධර්මයක් ශ්‍රවණය කිරිමට ලැබීමට අමාවෙන් අභිෂේක කිරිමකැයි දතයුතුයි. “දූරතොපි” යනු රට හරහා, ජනපද හරහාය.

අස්සුතවා” යන්නෙහිත් “පුථුජ්ජනො” යන්නෙහිත් අර්ථ පෙර කියන ලද්දේය. “අරියානං අදස්සාවී” යනාදියෙහි “අරියා” යනු ක්ලේශයන්ගෙන් දුරු වූ බැවින් විපතෙහි ඉරියවු නො පවත්වන, සැපතෙහි ඉරියවු පවත්වන, දෙවියන් සහිත වූ ලෝකයෙන් නො ඇලුණු සිතැතිව වෙන්වී වසන බුදුවරු, පසේබුදුවරු හා බුද්ධ ශ්‍රාවකයෝය. නැතිනම් මෙහි ‘ආර්ය’ යනු බුදුවරුමය. එනිසා කියන ලදී. “මහණෙනි! දෙවියන් සහිත ලෝකයෙහි -පෙ- තථාගතයන් වහන්සේට “අරිය” යැයි කියනු ලැබේ.” “සප්පුරිසා” යන මෙහි පසේබුදුවරු ද තථාගත ශ්‍රාවකයෝ ද සත්පුරුෂයෝ යැයි දත යුතුයි. ඔවුන’තර ලොවුතුරු ගුණ යෙදීමෙන් ශෝභන වූ පුරුෂයෝ ද සත්පුරුෂයෝය. ආර්ය, සත්පුරුෂ යන මේ පද දෙකින් සියලුම බුදුවරු ද පසේබුදුවරු ද බුද්ධ ශ්‍රාවකයෝ ද අදහස් කරන ලදී. එනිසා කියන ලදී. ..
යො වෙ කතඤ්ඤු කතවෙධි ධීරො
කල්‍යාණ මිත්තො දළ්හ භත්තිච හොති
දුඛිතස්ස සක්කච්ච කරොති කිච්චං
තථාවිධං සප්පුරිසං වදනති


යම් පුද්ගලයෙක් කළගුණ දන්නේද කළ උපකාරය දන්නේද නුවණැත්තේ ද කල්‍යාණ මිත්‍රයෙක් වන්නේ ද දැඩි භක්ති ඇත්තේ වේද දුකට පත්වූවන්ගේ කටයුතු සකස් කරයි ද එබඳු පුද්ගලයා සත්පුරුෂයෙකැයි කියති.”

කල්‍යාණ මිත්‍රයා දැඩි භක්තිය හා විශ්වාසය ඇත්තෙකි”යි යන්නෙන් බුද්ධශ්‍රාවකයා අදහස් විය. කළගුණ දන්නේ ද ආදී වශයෙන් පැවසූ අනික් ගුණ සියල්ලෙන් ම පසේබුදුවරු ද ලොවුතුරු බුදුවරු ද අදහස් වේ. දැන් යමෙක් මේ ආර්යයන්ගේ ගති ස්වභාවයන් නොදක්නේද දුටුවත් “එය මැනවි” “හොඳයි” යනුවෙන් අනුමත නොකරයි ද ඔහු “ආර්යයන් නොදක්නා” යැයි දතයුතුය. එහි ද ඇසින් නොදැකීම හා නුවණින් නොදැකීම යනුවෙන් නොදැකීමෙහි කොටස් දෙකකි. එම දෙකින් නුවණින් (ඤාණෙන) නොදැකීම මෙහිදී අදහස් විය. මසැසින් හෝ දිවැසින් ආර්යයන් දුටුවත් එය “නොදැකීමක්ම” වේ. ඔවුන්ගේ ඇසින් වර්ණය පමණක් ගැනීමෙන් ආර්ය ගුණමහිමය අවබෝධ නොවේ. ගෝචර නොවේ. බලු කැණහිල්ලුද ඇසින් ආර්යයන් දකිති. එය ඔවුහු “ආර්යයන් දැකීම”කියි නොසැලකේ.

එහිදී මේ කථාවස්තුව යෙදේ. සිතුල්පවු වැසි එක් රහත් වූ මහතෙර නමක් සිය උපස්ථායක වූ වයසට ගොස් පැවිදි වූ වුඩ්ඪ පබ්බජිතයෙකු එක්දිනක් තෙරුන් වහන්සේ සමග පිඬු පිණිස හැසිර; තෙරුන්ගේ පාසිවුරු ගෙන පිටුපසින් එන්නේ තෙරුන් වහන්සේගෙන් මෙසේ ඇසුවේය. “ස්වාමීනි! ආර්යයෝ නම් කවරාකාරද? ඔවුහු හඳුනාගත හැක්කේ කෙසේද?” තෙරුන් වහන්සේ “මේ සස්නෙහි ඇතැම් මහලු පුද්ගලයෙක් ආර්යයන්ගේ පාසිවුරු ගෙන වත්පිළිවෙත් කරයි. උන්වහන්සේ සමග එහි හැසිරෙයි. එසේ වුවත් ආර්යයන් පිළිබඳව ඔහු නොදනියි. මෙලෙස ආර්යයෝ නම් හඳුනා ගැනීමට ඉතා දුෂ්කරයෝමය.” යැයි වදාළහ. මෙසේ පැවසුවත් ඔහු ආර්ය පුද්ගලයා හඳුනා නොගත්තේමය. එනිසා ඇසින් දැකීම පමණක් ම “දැකීම” නම් නොවේ. නුවණින් දැකීම ම “දැකීම” නම් වේ. බුදුහු මෙසේ වදාළේ නොවේද? “වක්කලිය! මේ කුණුකය දෙස බලාසිටීමෙන් ඔබට ඇති අර්ථය කුමක්ද? වක්කලිය! යමෙක් මා දෙසූ ධර්මය මැනවින් දකීනම් ඔහු මා දකියි. යමෙක් නිවැරදි ලෙස මා දකී නම් ඔහු ධර්මය දකී.” එනිසා මසැසින් බැලුවත් ඥානයෙන් (නුවණින්) ආර්යයන් විසින් දක්නා ලද අනිත්‍යාදී ලක්‍ෂණ නොදක්නේ ද ආර්යයන් අවබෝධ කරගත් ධර්මයන් අවබෝධ කර නොගන්නේ ද ආර්ය බවට පත්කරන ධර්මයන්ගේ ඇති “ආර්ය” භාවය නොදක්නා බැවින් “ආර්යයන් නොදක්නේ” යැයි දතයුතුයි.

අරිය ධම්මස්ස අකොවිදො” යනු සතිපට්ඨානාදී භේද ඇති ආර්ය ධර්මයෙහි දක්‍ෂ නොවූයේ යනුයි. “අරියධම්මෙ අවිනීතො” යන මෙහි:
දුවිධො විනයො නාම එක මෙකෙත්‍ථ පඤ්චධා
අභාවතො තස්ස අයං අවිනීතොති මුච්චති.

විනය ප්‍රධාන වශයෙන් දෙයාකාරය. ඒ එක එක කොටස අනුබෙදීම් පහකට බෙදේ. මේ කිසිදු ප්‍රභේදයකට අයත් විනයක් නැති පුද්ගලයා “අවිනීත” නමින් හැඳින්වේ.” මෙහි වනාහී සංවර විනය හා ප්‍රහාණ විනය වශයෙන් විනයෙහි ප්‍රධාන බෙදීම් දෙකකි. මේ දෙක ද තවත් කොටස් පහකට බෙදේ. සංවර විනය වනාහී සීල සංවරය, සති සංවරය, ඥාන සංවරය, ඛන්ති සංවරය හා විරිය සංවරය යැයි පස්වැදෑරුම්ය. ප්‍රහාණ විනය ද තදංග ප්‍රහාණ, විෂ්කම්භණ ප්‍රහාණ සමුච්ඡේද ප්‍රහාණ, පටිප්පස්සද්ධි ප්‍රහාණ හා නිස්සරණ ප්‍රහාණ යනුවෙන් පස්වැදෑරුම්ය.

එහි “මේ ප්‍රාතිමෝක්‍ෂ සංවරයෙන් යුක්ත වූයේ – මැනවින් යුක්ත වූයේ”1 යන මෙය සීල සංවරයයි. “චක්‍ෂු ඉන්‍ද්‍රිය ආරක්‍ෂා කරයි. චක්‍ෂු ඉන්‍ද්‍රිය සංවරය කිරීමට පැමිණේ.”2 මෙය සති සංවරයයි.
යානි සොතානි ලොකස්මිං (අජිතාතිභගවා)
සති තෙසං නිවාරණං
සොතානං සංවරං බ්‍රෑමි
පඤ්ඤායෙතෙ පිථියරෙ”
භාග්‍යවතුන් වහන්සේ අජිත! ලෝකයෙහි යම් ශ්‍රෝතයන් (ගලායෑමක්) වේනම් සතිය ඒවායේ වැළැක්වීමයි. ශ්‍රෝතයන්ගේ සංවරය මම නියම කරමි. මෙය ප්‍රඥාවෙන් වසනු ලැබේ.” මෙය ඥාන සංවරයයි. “ශීතලත් උණුසුමත් ඉවසන ලද්දේ වේ.මෙය ඛන්ති සංවරයයි. “උපන්නා වූ කාම විතර්කය නො ඉවසයි.”
 මෙය විරිය සංවරයයි. මේ සියල්ල ම සංවරයන්ය. තම තමාට අයත් පරිදි සංවර කළ යුත්තන්ගේ ද හික්මවිය යුත්තන්ගේ ද කාය දුශ්චරිතාදිය සංවර කිරීම් වශයෙන් “සංවරය” ද හික්මවීම් වශයෙන් “විනය”ද කියයි. මෙසේ සංවර විනය පස් ආකාරයක බෙදේ යැයි දතයුතුයි. එසේම යම් බඳු වූ නාමරූප බෙදා දැක්වීම් ආදියෙහි, විදර්ශනා ඥානයෙහි විරුද්ධ වූ ස්වභාවයෙන් ප්‍රදීපාලෝකයෙන් ම එය ඔහුට වැටහේ. ඒ ඒ විදර්ශනා ඥානයෙන් ඒ ඒ අංගයාගේ ප්‍රහාණය සිදුවේ. ඒ කෙසේද යත්? නාමරූප වෙන්කිරීමෙන් සක්කාය දෘෂ්ටිය ද ප්‍රත්‍ය පරිග්‍රහණයෙන් අහේතුක වූ විෂමහේතුක වූ දෘෂ්ටිය ද එහිම පසුභාගය වූ සැක දුරුකිරීමෙන් සැක සහිත භාවය ද කලාප වශයෙන් විමසා බැලීමෙන් මම ය මාගේය වශයෙන් ගැනීම ද මාර්ගාමාර්ග වෙන් කිරීමෙන් අමාර්ගයෙහි මාර්ග සංඥාව ද හටගැනීම දැකීමෙන් උච්ඡේද දෘෂ්ටිය ද විනාශය දැකීමෙන් ශාස්වත දෘෂ්ටිය ද භය දැකීමෙන් භය සහිත දෙයෙහි නිර්භය සංඥාව ද ආදීනව දැකීමෙන් ආශ්වාද සංඥාව ද කලකිරීම් අනුව බැලීමෙන් තදින් ඇලීමේ සංඥාව ද මිදෙනු කැමතිවීමේ ඥානයෙන් නොමිදෙනු කැමති බවද උපේක්‍ෂා ඥානයෙන් උපේක්‍ෂා රහිත බවද ක්‍රමානුකූල භාවයෙන් ධර්ම ස්වභාවයද නිර්වාණයෙන් විරුද්ධ වූ භාවයද ගෝත්‍රභූ චිත්තයෙන් සංස්කාර වශයෙන් නිමිති ගැනීමද ප්‍රහාණ වේ. මෙය තදංගප්‍රහාණ නම් වේ…

යමක් වනාහී උපචාර-අර්පණා භේදයෙන් සමාධියෙන් පවත්වන ලද භාවයන්ගේ වැළැක්වීමෙන් කල පහරින් ජලය මතුපිට වූ සෙවල ඉවත් වන්නාක් මෙන් ඒ ඒ නීවරණ ධර්මයන්ගේ ප්‍රහාණය වේ. මෙය විෂ්කම්භණ ප්‍රහාණය නම් වේ.

යමක් සතර ආර්ය මාර්ගයන්ගේ වැඩීමෙන් ඒ ඒ මාර්ග වශයෙන් තමාගේ සන්තානයේ දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණ වී යැයි ආදී වශයෙන් කියන ලද, සමුදය පක්‍ෂයට අයත් කෙලෙස් සමූහයේ අතිශයින් නොපැවතීම් වශයෙන් ප්‍රහාණය වේ. මෙය සමුච්ඡේද ප්‍රහාණය නම් වේ.

යමක් වනාහී විපාක ක්‍ෂණයෙහි ක්ලේශයගේ සංසිඳීමක් වේද යටපත් වීමක් වේද එය පටිප්පස්සද්ධි ප්‍රහාණය නම් වේ.
යම් ඒ සියලු සංඛත වස්තූන්ගේ ඉවත් කිරීමෙන්, සියලු සංඛතයන්ගේ ප්‍රහීණ කිරීමෙන් වන නිර්වාණය වේද එය නිස්සරණ ප්‍රහාණ නම් වේ.

මේ සියල්ල ප්‍රහාණය කරන ලදී. යම්හෙයකින් පරිත්‍යාග කිරීම් අර්ථයෙන් “ප්‍රහාණ නම් වේද හික්මවීම් අර්ථයෙන් “විනය” නම් වේද එහෙයින් “ප්‍රහාණ විනය” යැයි කියයි. ඒ ඒ ප්‍රහාණයා වශයෙන් හෝ ඒ විනයේ හටගැනීමෙන් යුක්ත වූ “ප්‍රහාණවිනය” යැයි කියයි. මෙසේ ප්‍රහාණ විනයත් පස් අයුරකින් බිඳේයැයි දතයුතුයි…

එලෙසම මේ සංක්‍ෂිප්ත වශයෙන් දෙයාකාර වූ භේද වශයෙන් දසවිධ වූ “විනය”, අසංවර හැසිරීම් දුරු කිරිමට ද අප්‍රහීන කෙලෙස් දුරු කිරීමට ද හේතුවේ. එබඳු වූ විනය – හික්මීම අශ්‍රැතවත් පෘථජ්ජනයාට නොමැත්තේ ද, ඔහු තුල එය නොමැතිවීම් වශයෙන් “මෙතෙම අවිනීත” යැයි කියයි. මේ විස්තර ක්‍රමය ම “සප්පුරිසානං අදස්සාවී සප්පුරිසධම්මස්ස අකොවිදො සප්පුරිසධම්මෙ අවිනීතො” යන මෙහිද දතයුතුයි. මෙහි අර්ථ නිරාකරණය කරන ලදී. එනිසා කියන ලදී….

යමෙක් ආර්යයෙක් වේද ඔහු සත්පුරුෂයෙකි. යමෙක් සත්පුරුෂයෙක් වේද ඔහු ආර්යයෙක් වේ. යමෙක් ආර්ය වූ ධර්මය යැයි කියයිද එයම සත්පුරුෂ ධර්මයද වේ. යමක් සත්පුරුෂ ධර්මය යැයි කියයිද එයම ආර්ය ධර්මය වේ. යමක් සත්පුරුෂ විනය යැයි පවතී ද එයම ආර්ය විනය යැයි දතයුතුය. ආර්යයන් කියා හෝ සත්පුරුෂයන් කියා හෝ ආර්ය ධර්මය කියා හෝ සත්පුරුෂ ධර්මය කියා හෝ ආර්ය විනය කියා හෝ සප්පුරිස විනය කියා හෝ යෙදෙන මේ සියල්ල එකම අර්ථය වේ. සම වූ දෙයක් එකම වූ දෙයක් මේ පදයන්ගෙන් අදහස් කෙරේ…

රූපං අත්තතො සමනුපස්සති” මෙහි ඇතමෙක් රූපය තමාගේ යැයි සිතයි. සලකයි. “යමක් රූපය වේද එය මම වේ. යමෙක් මම වේද එය රූපය වේ.” මෙසේ රූපය ද ආත්මය ද දෙකක් ලෙස නොව එකක් ලෙස දකියි. සලකයි. යම්සේ දැල්වෙන්නා වූ පහනක ගිනිදැල්ලම එහි වර්ණය වේ. වර්ණයම ගිනිදැල්ල වේ යැයි ගිනිදැල්ලත් එහි වර්ණයත් එකක් ලෙස දකින්නේ ද මේ අයුරින්ම මෙහි ඇතමෙක් රූපය ආත්ම වශයෙන් සලකයි. -පෙ- රූපයත් ආත්මයත් එකක් ලෙස ගනියි. මෙසේ “රූපය ආත්මය” යැයි ද විශ්වාස කරයි. දෘෂ්ටියක් ලෙස එය ගනියි. “රූපවන්තං වා අත්තානං” යනු අරූපය ආත්මයැයි ගෙන සෙවනැල්ල ඇති ගසක් මෙන් ඒ රූපවත්භාවය මනාව සළකා බලයි යනුයි. “අත්තනි වා රූපං” යනු අරූපයම ආත්මය ලෙස ගෙන මලෙහි සුවඳ මෙන් ආත්මීයව රූපය දකියි යනුයි. “රූපස්මිං වා අත්තනාං” යනු අරූපයම ආත්මය යැයි ගෙන කරඬුවෙහි ඇති මැණිකක් මෙන් ඒ ආත්මය රූපයෙහි ලා සළකයි යනුයි. “පරියුට්ඨට්ඨායී” යනු මැඩගෙන මතුවීම අභිභවනය කිරීම් වශයෙන් සිටි රූපය “මමය මාගේයැ”යි මෙලෙස තණ්හා දෘෂ්ටීන්හි ගිලී, “අවසන් කර ගැනීම” නම් වේය යන අර්ථයයි. “තස්ස තං රූපං” යනු ඔහුගේ එසේ ගන්නා ලද රූපයයි. වේදනාදියෙහිද මෙසේ අර්ථ දතයුතුයි.

එහි “රූපය ආත්මීය වශයෙන් සළකයි. විමසා බලයි” යනුවෙන් ශුද්ධ රූපයම ආත්මය යැයි කියන ලදී. “රූපමය වූ ආත්මය හෝ ආත්මීය වූ රූපය හෝ රූපයෙහි වූ ආත්මය, වේදනාව සංඥාව සංස්කාරය – විඤ්ඤාණය ආත්මීය වශයෙන් විමසා බලයි.” යන මේ සත් තැන්හි අරූපය ම ආත්මය යැයි කියන ලදී. වේදනාමය වූ ආත්මය හෝ ආත්මීය වූ වේදනාව හෝ වේදනාවෙහි වූ ආත්මය යනුවෙන් මෙසේ සිවු ස්කන්‍ධයන්හි ත්‍රිවිධාකාරව බැලීමෙන් දොළොස් තැනක රූපාරූප මිශ්‍ර වූ ආත්මය කියන ලදී. එහි “රූපය ආත්මීය වශයෙන් විමසා බලයි. (සලකයි) “වෙදනං -පෙ- සංඥා, සංස්කාර, විඤ්ඤාණ ආත්මය වශයෙන් සලකන්නේය” යන පස්තැනෙහි උච්ඡේද දෘෂ්ටිය කියන ලදී. සෙසු ස්ථානවල ශාස්වත දෘෂ්ටිය කියන ලදී. මෙසේ මෙහි භව දෘෂ්ටීහු පසළොසකි. විභව දෘෂ්ටීහු පහකි. ඒ සියල්ල ම මාර්ගාවරණයෝ මය. දෙව්ලෝ ගමන ආවරණය නොකරයි. මේ සියල්ල පළමු සෝවාන් ආර්ය මාර්ගය වර්ධනය කරන්නේ යැයි දතයුතුයි..

.එවං ඛො ගහපති! ආතුරකායො චෙව හොති ආතුර චිත්තො ච” කය නම් බුදුරදුන්ගේ පවා ආතුර (ගිලන්) වූවකි. සිත වනාහී රාග-ද්වේෂ මෝහ ආදියට අනුගත වූයේ ආතුර වේ. ගිලන් වේ. එය මෙහිදී දක්වන ලදී. “නො ච ආතුර චිත්තො” යි කෙලෙස් නැති (නික්ලේශී) බැවින් සිතෙහි අනාතුරභාවය දක්වන ලදී……

. මෙසේ මේ සූත්‍රයෙහි ලෞකික මහාජනයා – ආතුර වූ කය ඇත්තවුන් මෙන්ම ආතුර වූ සිත ඇත්තවුන් ලෙසද දක්වන ලදී. රහතන් වහන්සේලා ආතුර වූ කය හා ආතුර වූ සිත ඇත්තෝය. සප්ත සෙඛයෝ ආතුර වූ සිත් ඇත්තෝ ද අනාතුර වූ සිත් ඇත්තෝද නොවන්නේ යැයි දතයුතුයි. ඇසුරු කරන්නා ආතුර වූ සිත ම ඇසුරු කරන බව දතයුතුයි.

nakulapita

[ නකුලපිතා යනු නකුලගේ පියා යන අර්ථය දෙයි. නකුල ගැන කිසිවක් සඳහන් නොවතත් නකුලපිතා සහ නකුලගේ මව ගැන සුත්‍ර කිහිපයක සඳහන් වේ. පුර්ව ආත්මභාව පන්සියයකම මේ දෙමහල්ලෝ භාග්‍යවතුන් වහන්සේගේ දෙමව්පියන් වූ බවත් තවත් බොහෝ ආත්ම බවයන්හිදී බොහෝ ළඟ ග්නාතීන්ව සිටි බවත් අටුවාවේ කියවේ ]

පුජ්‍ය කොත්මලේ කුමාර කස්සප හිමි කල සුත්‍ර විවරණය

………………………………………………….පුජ්‍ය කරවන්කුලමේ සිරිධම්ම හිමි කල විවරණය

[ 3: අන්ඩ = බිජුව බිත්තරය ලෙස ගෙන අන්දභුතෝ යන්න බිත්තර කටුවක් මෙන් දුබල දුර්වල (බිත්තරයක් එහෙ මෙහෙ විසිකරමින් සෙල්ලම් කල නොහැක. එය බිදී කැඩෙන බැවිනි.)  කටුවක් පයේ ඇනුණු විට පවා හැම සිදුරුවී ලේ ගලා දුක් ගෙන දෙන නිසා  බිජු වටක් මෙන් දුබල වූයේ වෙයි. සියුම්වූ සිවියකින් දැවටුනේ වෙයි.]

[4: අස්රුතවත් පෘතජ්ජනයා: යන්නෙන් කල්‍යාණ පෘතජ්ජනයෙකුද ඉන්නා බව හැඟෙයි. මේ දෙදෙනාම සෝවාන් ඵලයවත් නොලැබූ අයමුත් දෙවැන්නා මාර්ගය ගැන අසා තරමකට හෝ එයට පිළිපන් කෙනෙකි.]

§ 6.1 රූපය

[5: ඛජ්ජනිය සුත්‍රය:  රූප – මහණෙනි, ‘බිඳේ’ නුයි එයින් රූපයයි කියනු ලැබේ. ශීතයෙන්, උෂ්ණයෙන්, සා පිපාසායෙන් ද, මැසි මදුරු සර්පයන් ආදී සතුන්ගේ ස්‌පර්ශයන්ගෙන් ‘බිඳෙන දේ’ වේ. .]

[6:- සතිපට්‌ඨාන සූත්‍රයේ රූපය පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන ධාතු හතරක සංකලනය ලෙස ද පෙන්වා දෙයි. එනම් ආධ්‍යාත්මික රූප- ඇස, කණ, නාසය, දිව, ශරීරය, මන සහ බාහිර රූප- වර්ණ රූප, ලෙස ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, පොට්‌ඨබ්බ රූප, ධම්ම රූප ලෙස විසි ආකාර සක්කාය දිට්ඨි ගැන සඳහන් වෙන්නේ පංච භූත කොටස් සතර ආකාරයට ගැනීමෙනි . ]

§ 6.1 වින්දන

§ 6.3 සංඥා

[ඛජ්ජනිය සුත්‍රය:   සංඥා – මහණෙනි, ‘හඳුනාගනී’ නුයි එයින් සංඥා යි කියනු ලැබේ. එනම් නිල්, කහ, රතු, සුදු ආදී ලෙස හඳුනාගැනීමයි. එනම් වර්ණය, හැඩය ආදිය හඳුනාගැනීමයි. වර්ණ රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, පොට්‌ඨබ්බ රූප, ධම්ම රූප හඳුනා ගැනීමයි.]

§ 6.4 සංස්කාර

[ඛජ්ජනිය සුත්‍රය: – සංස්‌කාර – මහණෙනි, ‘සංඛත කොට අභිසංස්‌කරණ කෙරෙත්’ – (සංඛතං අභිසංඛරොන්ති) නු යි එයින් සංස්‌කාර යි කියනු ලැබේ. එනම් සකස්‌ කරන ලද රූප, වේදනා, සංඥා, සංස්‌කාර සහ විඤ්ඤාණ යළි යළිත් සකස්‌ කිරීමයි]

§ 6.5 විඥානය

[ඛජ්ජනිය සුත්‍රය: – විඤ්ඤාණ – මහණෙනි, ‘විජානනය කෙරේ’ නුයි එයින් විඤ්ඥානය යි කියනු ලැබේ. එනම් රූප, වේදනා, සංඥා, සංස්‌කාර පිළිබඳ දැනුවත් වීමයි.]

  • ආර්‍ය්‍යයන් දක්නාවූ ආර්‍ය්‍යධර්මයෙහි දක්ෂවූ, ආර්‍ය්‍යධර්මයෙහි හික්මුනාවූ,
  • සත්පුරුෂයන් දක්නාවූ. සත්පුරුෂ ධර්මයෙහි දක්ෂවූ, සත්පුරුෂ ධර්මයෙහි හික්මුනාවූ,

[7: මේ සෝවාන් ඵලස්ථ ආර්ය ශ්‍රාවකයාගේ ගුණයන්ය.]

[8:- රහත් නොවූ ආර්යශ්‍රාවකයන් සත් දෙනාම කයේ රෝගී බව ආතුර බව ඇත්තේ බව ද සිතේ ආතුරබව මුළුමනින්ම නති නොකළ නිසා විටෙක නොදුක් සිතක් හා විටෙක දුක් වන සිතක් ඇතිව වසන බව කියැවේ. අරහත් ඵලය ලැබූ විට සිත හා කය දෙකම මෙයින් මිදෙයි..]

SN 03-01-01-02
දේවදහ සූත්‍රය

[සුත්‍ර වර්ණනාව:-
දෙවන සූත්‍රයෙහි “දෙවදහං” යන්නෙහි “දේව” යනු රජවරුයි. ඔවුන්ගේ මංගල විලයි. තමාම හටගත් – ස්වභාවිකව හටගත් බැවින් ද ඒ විලට “දේවදහ” යැයි කියයි. එම විලට නුදුරින් ඇති නියම්ගම “දේවදහං” යනුවෙන් (දේවදහ) නපුංසකලිංග වශයෙන් සළකනු ලැබේ. “පච්ඡා භුම්ම ගමිකා” යනු පච්ඡාභුම්ම නම් වූ අපරදිග පැවති ජනපදයකට යනු කැමැත්තෝය. “නිවාසං” යනු තෙමසක් වස් වසා වැඩ සිටීමයි. “අපලොකිතො” යනු විමසවු යනුයි. කුමක් නිසා තෙරුන්ගෙන් විමසනු ලැබේද? ඔවුහු සභාරයෙහි කැමැත්තෙනි. යමෙක් එකම විහාරයේ වාසය කළත් සමීපයට නොයයි. විහාරයෙන් පිටත්ව යන්නේ නොවිමසමාම යයි. මෙය “නිබ්භාර” නම් වේ. යමෙක් එක ම විහාරයේ වාසය කරනුයේ පැමිණ දැක කතාබහ කරයි. විහාරයෙන් පිටත්ව යනවිට ඒ පිළිබඳ විමසා අවසර ගෙන යයි. මෙය “සභාර” නම් වේ. මේ භික්‍ෂූහු ද මේ ආදී යහපත් ශිලාදියෙහි වැඩේවායි පතමින් භාග්‍යවතුන් වහන්සේ ඔවුහු සභාරයෙහි යෙදුනවුන් කරනු කැමැත්තෙන් “තෙරුන්ගෙන් විමසන්න” යැයි වදාළහ..

.පණ්ඩිතො” යනු චක්‍ෂුරාදී ධාතු විභාගයෙහි දක්‍ෂවීම් ආදී සතර වැදෑරුම් පාණ්ඩිත්‍යයෙන් යුක්ත වූ යනුයි. “අනුග්ගාහකො” යනු ආමිෂ අනුග්‍රහයෙන් ද ධර්මානුග්‍රහයෙන්ද යන දෙවැදෑරුම් අනුග්‍රහයන්ගෙන් අනුග්‍රාහක වූ යනුයි..

සැරියුත් තෙරුන් වහන්සේ වනාහී සෙසු භික්‍ෂුන් මෙන් උදෙන් ම පිඬු පිණිස නොගොස් සියලු භික්‍ෂූහු පිඬු පිණිස වැඩිකල්හි මුළු සංසාරය පුරාම හැසිරෙමින් නොහැමදූ තැන් අමදින සේක. ඉවත නොදැමූ කසල ඉවත දමන සේක. සංඝාරාමයෙහි නුසුදුසු තැන්වල තැබූ ඇඳ-පුටු-මැටි භාණ්ඩ ආදිය සුදුසු තැන තබන සේක. කුමන කරුණකින් මෙසේ කරන සේක්ද? අන්‍ය තීර්ථකයෝ විහාරයට පිවිස මේවා දැක පරිභව නොකරත්වා යන අදහසිනි. ඉක්බිති උන්වහන්සේ ගිලාන ශාලාවට වැඩ, ගිලන් වූ භික්‍ෂූන් සනසා “කිසිවක් අවශ්‍යද?”යි අසා අවශ්‍ය දෙයක් පැවසූ විට එය එවීම සඳහා එම රෝගී හිමිවරුන්ගේ සාමණේරවරුත් රැගෙන, පිඬු පිණිස හැසිරීමෙන් හෝ තමාට සුදුසු ගෙදරකින් හෝ බෙහෙත් හා අවශ්‍ය දේ පිළියෙල කරවා, සාමණේරවරුන්ට දී “ගිලනුන්ට උපස්ථාන කිරීම නම් බුදු-පසේබුදුවරු විසින් වර්ණිත දෙයකි. යන්න සත්පුරුෂයනි! අප්‍රමාදීව සත්කාර කරන්න”යි ඔවුහු ගිලන්හල වෙත යවා තමන් වහන්සේ පිඬුපිණිස හැසිරෙන සේක. නැතිනම් උපස්ථායක ගෙදරකින් දන් වළඳා විහාරයට වැඩම කරන සේක. මෙසේ උන්වහන්සේ නිතර වාසය කිරීමෙන් පුරුදු කරන ලද මහඟු ගුණ ඇත..

භාග්‍යවතුන් වහන්සේ චාරිකාවෙහි හැසිරෙන කල්හි, “මම අග්‍රශ්‍රාවක වෙමි”යි පාවහන් දමාගෙන – කුඩය ගෙන ඉදිරියෙන් නොයන සේක. එම පිරිසෙහි සිටින මහලු, ආබාධිත, ඉතා කුඩා හිමිවරු වෙත ගොස් ඔවුන්ගේ රිදෙන තැන්වල තෙල් ගා මිරිකා උන්වහන්සේලාගේ පාසිවුරු තමන් වහන්සේගේ ළදරු සාමණේරවරුන්ට දී එදිනම හෝ දෙවන දිනයේ ඔවුන් සමග වඩින සේක.

එක්දිනක් මෙසේ වැඩි සැරියුත් තෙරණුවෝ ඉතා පසුවී පැමිණි බැවින් සෙනසුනක් නොලැබ, සිවුරු කුටියක හුන් බව දුටු බුදුපියාණන් වහන්සේ දෙවැනි දින භික්‍ෂු සංඝයා රැස්කරවා, ඇත් වඳුරු-තිත්තර ජාතකය දේශනා කළ සේක. ඒ අනුව වැඩිමහල් පිළිවෙල අනුව සෙනසුන් දිය යුතු යැයි ශික්‍ෂා පදයක් ද පැනවූහ. මෙසේ සැරියුත් තෙරණුවෝ භික්‍ෂූන්ට ආමිසයෙන් උපකාර කරති. අනුග්‍රහ දක්වති..

උන්වහන්සේ භික්‍ෂූන්ට අවවාද දෙන විට සියවාරයක්, දහස් වාරයක් වුව ද අවවාද දී ශ්‍රාවක භික්‍ෂූහු සෝවාන් ඵලයෙහි පිහිටුවන සේක. ඉන්පසු වෙනත් භික්‍ෂුවකම අවවාද දෙන සේක. මේ ක්‍රමයෙන් අවවාද දී, උන්වහන්සේගේ අවවාද මත ක්‍රියාකොට රහත් වූ භික්‍ෂූන් වහන්සේලාගේ සංඛ්‍යාව අප්‍රමාණය. මෙසේ උන්වහන්සේ ධර්මානුග්‍රහණයෙන් භික්‍ෂූන්ට උපකාර කරන සේක.

පච්චස්සොසුං” යැයි ඒ භික්‍ෂූහු අපගේ උපාධ්‍යයා නොවෙයි. ආචාර්යවරයා නොවෙයි. දැක පුරුදු අයෙකුත් නොවෙයි. උන්වහන්සේ ළඟ අපි කුමක් කරමුද?” ආදී වශයෙන් සිතමින් නිශ්ශබ්දව නොසිට “එසේය ස්වාමීනි!” යි බුදුපියාණන් වහන්සේගේ වචනය පිළිගත්හ. “එළ ගලාගුම්බෙ” යනු කුඩා පැලෑටිවලින් ගැවසුණු මණ්ඩපයෙහිය. ඒ තෝර වන ලැහැබ නිති ජලය ඇති තැනක හටගනියි. එහි පා සතරක මණ්ඩපයක් කර, ඒ ලැහැබ මත එය නැංවූහ. එම තෝර පැල ඒ මණ්ඩපය වසා ගත්තේය. ඉක්බිති එහි යට ගඩොල් අතුරා වැලි විසුරුවා අසුන් පැනවූහ. දහවල් කාලයේ දියමුසු සුළං හමයි. තෙරුන් වහන්සේ එහි හුන් සේක. මෙය සඳහා “තුවර වන ලැහැබක” යනුවෙන් කියන ලදී.

“නානා වෙරජ්ජ ගතං” එක් රජකුගේ රාජ්‍යයෙන් වෙනත් පිටස්තර රාජ්‍යවලට ගියා වූ යනුයි. අන්‍ය රාජ්‍යයන්හි හැසිරෙන. යම් සේ “දේශ”යෙන් පිට ප්‍රදේශ “විදේශ” වන්නේද එසේම රාජ්‍යයෙන් පිට ප්‍රදේශ “විරජ්ජ” නම් වේ. එහි පැමිණියේ, එහි යෙදුණේ (විරජ්ජ+ක) “වෙරජ්ජං” යැයි කියයි. “ඛත්තිය පණ්ඩිතා” යනු බිම්බිසාර-කොසොල් ආදී පණ්ඩිත රජවරුය. “බ්‍රහ්මණ පණ්ඩිතා” යනු චංකී, තාරුක්ඛ ආදී පණ්ඩිත බ්‍රාහ්මණවරුය. “ගහපති පණ්ඩිතා” යනු චිත්ත සුදත්ත ආදී පණ්ඩිත ගහපතිවරුය. “සමණපණ්ඩිතා” යනු සභිය, පිලෝතිකාදී පණ්ඩිත පිරිවැජියෝය. “වීමංසකා” යනු අර්ථ සොයන්නෝය. “කිංවාදී” යනු “තමන්ගේ වාදය කුමක්දැ”යි අසයි යනුයි. කුමන ලබ්ධිකයෝ ද යන අර්ථයි. “කිමක්බායී” යනු කිම ශ්‍රාවකයන්ට අවවාද අනුශාසනා කරන සේක්ද යනුයි. “ධම්මස්සචානුධම්මං” යනු භාග්‍යවතුන් වහන්සේ දේශිත ව්‍යාකරණයෙහි අනුව්‍යාකරණ. “සහධම්මිකො” යනු කරුණු සහිතවයි. “වාදානුවාදො” යනු භාග්‍යවතුන් වහන්සේ දෙසූ අවවාදයෙහි අනුවාදයයි. “වාදානුපාතො” යනු ද පාඨයකි. ශාස්තෲන් වහන්සේගේ වාදයෙහි වාක්ප්‍රහාරය අනුව වැටීම, අනුව යෑම යන අර්ථයි. මේ වාදය බුදුරදුන්ගේ වාදය හා අනුව ගිය වාදයක්ම යැයි දක්වන ලද්දේ වේ.

“අවිගතරාගස්ස” යනාදියෙහි තණ්හා වශයෙන් ම අර්ථය දතයුතයි. තණ්හාවෙහි ඇලීම -ඇලවීම යනු රාගයයි. කැමැත්ත දැක්වීම ඡන්‍දයයි. ප්‍රිය කිරීම් අර්ථයෙන් ප්‍රේමය (පේමං) වේ. බොනු කැමැත්තේ “පිපාසාව” දැවීම්-තැවීම් අර්ථයෙන් “පරිළාහ”යැයි (පරිදාහ) කියනු ලැබේ. “අකුසලෙ චාවුසො ධම්මෙ” ආදිය කවර හෙයින් පටන් ගන්නා ලද්දේ ද? පඤ්චස්කන්‍ධයෙහි දුරු නොකළ රාගයෙහි ආදීනවද දුරුකළ රාගයෙහි ආනිසංසද දැක්වීමට අරඹන ලදී. එහි “අවිඝාතො” යනු දුකක් නැති බවයි. කරදර විපත් ඇති. “අනුපායාසො” තැවීමක් නැති යනුයි. “අපරිළාහො” යනු දැවිල්ලක් නැති යනුයි. මෙසේ සැමතැන්හි අර්ථය දතයුතුයි.

[10: සාරිපුත්ත රහතුන් වහන්සේ සියලු සංඝයාට මවක් බඳුව කැපවී උපකාර කල සැටි මේ උතුමාගේ ජීවන චරිතය කියවා දැනගන්න]

  • “අප , ශාස්තෲන්වහන්සේ රූපයෙහි ඡන්දරාගය දුරු කරන්නැයි ප්‍රකාශ කරන සේක.
  • ශාස්තෲන් වහන්සේ වේදනාවෙහි ඡන්දරාගය දුරු කරන්නැයි ප්‍රකාශ කරනසේක.
  • ශාස්තෲන් වහන්සේ සංඥාවෙහි ඡන්දරාගය දුරුකරන්නැයි ප්‍රකාශ කරනසේක.
  • ශාස්තෲන් වහන්සේ සංස්කාරයන්හි ඡන්දරාගය දුරුකරන්නැයි ප්‍රකාශ කරන සේක.
  • ශාස්තෲන් වහන්සේ විඥානයෙහි ඡන්දරාගය දුරුකරන්නැයි ප්‍රකාශ කරන සේක”

(දෙවෙනි දේවදහ සූත්‍රය නිමි.)

SN 03-01-01 -03 . හලිද්දකානි සූත්‍රය

[හලිද්දකානි සූත්‍ර වර්ණනාව:
තෙවන සූත්‍රයේ – “අවන්තීසු” යනු අවන්ති දක්ඛිණාපථ නම් වූ අවන්ති රටෙහිය. “කුරඝරෙ” එනම් වූ නගරයෙහිය. “පපාතෙ” යනු එක් පැත්තක වූ ප්‍රපාතයෙහිය. ඒ පර්වතයේ එක් පැත්තක් සිඳ දැමුවාක් (කපා දැමුවක්) මෙන් විය. “පවෙත්ත” යන පාඨය ද උචිතය. නානා තීර්ථකයන්ගේ ලබ්ධි-පිළිගැනීම් පවතින ස්ථානයකි යන අර්ථයි. මෙසේ මහාකච්චායන තෙරණුවෝ එම රටෙහි එම නගරය නසා මෙම පර්වතයෙහි වැඩවසති. “භාලිද්දකානී” යනු මෙනම් ඇති තැනැත්තාය. “අට්ඨකවග්ගියෙ මාගන්‍දිය පඤ්හෙ” යනු අට්ඨක වර්ගයෙහි මාගන්‍දිය නම් ප්‍රශ්නයක් ඇත. එම ප්‍රශ්නයෙහිය. “රූපධාතු” යැයි රූපස්කන්‍ධය අදහස් කරන ලදී. “රූපධාතුරාග විනිබද්ධං” යනු රූප ධාතුවෙහි රාගයෙන් (ඇලීමෙන්) බැඳුණු යනුයි. “විඤ්ඤාණං” යනු කර්ම විඥානයයි. “ඔකසාරී” යනු ගෘහාලයෙහි හැසිරෙන යනුයි..

කුමක් නිසා මෙහි “විඤ්ඤාණ ධාතු” යනුවෙන් නොවදාළේ ද? මුලාවීම දුරුකිරීම සඳහායි. “ඔකො” යනු අර්ථයෙන් ප්‍රත්‍ය-හේතුව කියයි. පුරේජාත වූ කර්ම විඥානය ද පච්ඡාජාත වූ කර්ම විඥානයටද විපාක විඥානයටද විපාක විඥානයත්, විපාක විඥානයට කර්ම විඥානයත් ප්‍රත්‍ය වේ. එනිසා විඥානය කී වැදෑරුම්ද?යි මුලාවන්නේය. එම මුලාව දුරුකිරීමට එය නොගෙන අමිශ්‍ර වූයේම දේශනාව කළ සේක. තවද ආරම්මණ වශයෙන් සතර අභිසංඛාර විඤ්ඤාණයන්හි පැවැත්ම කියන ලදැයි එය දැක්වීමට මෙහි විඤ්ඤාණය නො ගන්නා ලදී.

උපායුපාදානා” යනු තණ්හා උපාය සහ දිට්ඨි උපාය වශයෙන් ඇති දෙවැදෑරුම් උපායන්ය. කාමඋපාදාන ආදි සිවු උපාදානයන් ද ගතහැකිය. “චෙතසො අධිට්ඨානාභිනිවෙසානුසයා” යනු අකුසල සිතේ අධිෂ්ඨාන වූත් ආශා කිරීම් සහිත වූත් එමෙන් සැඟවී පවත්නා වූත්ය. “තථාගතස්ස” යනු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේය. සියලුම ක්‍ෂීණාස්‍රවයන්ගේ මෙය ප්‍රහීන වූයේ ම ය. ශාස්තෲන් වහන්සේ වනාහී ක්‍ෂීණාස්‍රවභාවයෙන් ලොව ඉතා ප්‍රකට වූ උපරිම කෙළවර වේ. එනිසා මෙසේ කියන ලදී. “විඤ්ඤාණ ධාතුයා” යනු මෙහි විඤ්ඤාණය කුමක් නිසා ගන්නා ලද්දේ ද? කෙලෙස් ප්‍රහීණවීම දැක්වීම සඳහායි. කෙලෙස් හුදෙක් සිවු ස්කන්‍ධයන්ගේ ප්‍රහීනවීම නොවේ. පඤ්චස්කන්‍ධයෙහිම ප්‍රහීණ විය යුතුයැයි කෙලෙස් ප්‍රහීණවීම දැක්වීම සඳහා මෙය ගන්නා ලදී. “එවං ඛො ගහපති! අනොකසාරීහොති” යනු මෙසේ කර්ම විඤ්ඤාණයෙන් නැවත ගිහිගෙයි නොහැසිරීම් වශයෙන් අනෝකසාරී නම් වේ යනුයි.

රූප නිමිත්ත නිකෙත විසාර විනිබන්‍ධා” යනු රූපයම ක්ලේශයන්ගේ ප්‍රත්‍යවීම් වශයෙන් නිමිති වූ යනුයි. ආරම්මණ ක්‍රියා සංඛ්‍යාත වූ වාසස්ථානය ක්ලේශයන්ගේ ප්‍රත්‍යවීම් වශයෙන් නිමිති වූ යනුයි. ආරම්මණ ක්‍රියා සංඛ්‍යාත වූ වාසස්ථානය වීම් අර්ථයෙන් නිකේතනයක් වූ රූප නිමිත්තට නිවාස වූ. විසාර හෙවත් පැතිරීම හා විනිබන්‍ධ හෙවත් බැඳීම යන දෙකින්ම කෙලෙසුන්ගේ පැවතීමම කියන ලදී. රූප නමැති නිවාසයෙහි පැතිරීම් හා බන්‍ධනයෝ – “රූප නිමිත්ත තිකෙත විසාර විනිබන්‍ධා” නම් වේ. එනිසා රූප ආරම්මණය නමැති නිවාසයෙහි උපන් කෙලෙසුන්ගේ පැතිරීමෙන් හා කෙලෙස් බන්‍ධනය හේතුවෙන් යන අර්ථයි. “නිකෙතසාරීති වුච්චති” යනුවෙන් අරමුණු කිරීම් වශයෙන් නිවාස ස්ථානයෙහි හැසිරෙන්නා’ යැයි කියනු ලැබේ. “පහීනා” යනු ඒ රූප අරමුණට වාසස්ථාන වූ කෙලෙසුන්ගේ පැතිරීම හා බන්‍ධනයත් ප්‍රහීන වූ යනුයි.

කුමක් නිසා මෙහි පංචස්කන්‍ධය “ඕක” යැයි කියන ලද්දේ ද? ෂඩ් අරමුණු නිකේතයැයි කියන ලද්දේද? “අද අසුවල් තැන ක්‍රීඩා කරමු” යැයි කරන ලද සංකේත ඇති – නිවාස වූ උයන් ආදිය වේද, එහි කියන ලද පරිදි භාර්යා, ධනය, ධාන්‍ය ආදිය පිරුණු ගෙදර පිළිබඳ ඡන්‍ද රාගය බලවත් වේ. මෙසේ බාහිර වූ සවැදෑරුම් ආරම්මණයන් හි ඡන්‍දරාගයේ බලවත් වූ දුබලතාව නිසා මෙසේ දේශනා කරන ලදැයි දත යුතුයි.

“සුඛිතෙසු සුඛිතො” යනු උපස්ථායකයන් කෙරෙහි ධන-ධාන්‍ය ලැබීම් වශයෙන් සුඛිත වූ යනුයි. “දැන් මම මනාප වූ භෝජනයක් ලබන්නෙමි”යි ලෞකික දේ හා බැඳි සුවයෙන් සුවපත් වූයේ වෙයි. ඔවුහු විසින් ලබන ලද සැප සම්පත් අනුභව කරන්නාක් මෙන් හැසිරෙත්. “දුක්ඛිතෙසු දුක්ඛිතො” යනු ඔවුන් කිසියම් කරුණකින් දුකක් උපන් කල්හි දෙගුණ වී දුකින් දුකට පත් වූයේ වෙයි යනුයි. “කිච්චකරණීයෙසු” යනු කෘත්‍ය සංඛ්‍යාත වූ කළයුතු (කරණීය) ධර්මයන්හිය. “වොයොගං ආපජ්ජති” යනු තමා එහි යෙදීමට, ඒ කටයුතු සිදුකිරීමට පැමිණේ යනුයි. “කාමෙසු” යනු වස්තු කාමයන්හි. “එවං ඛො ගහපති! කාමෙහි අරිත්තො හොති” යනු මෙසේ ක්ලේශ කාමයෙහි හිස්-ශුන්‍ය නොවූයේ වේ යනුයි. කාමයන්ගේ ඇතුලත්වීම් වශයෙන් හිස් නොවූ. යහපත් පක්‍ෂය නම් මේවායේ අභාවයෙන්-නැතිවීමෙන් ඇතිවන “හිස් බවයි. ශුන්‍ය බවයි” යනුවෙන් දතයුතුයි..

“පුරෙක්ඛරානො” යනු සසර පැවැත්ම පෙරටු කර ගැනීමයි.
“මෙබඳු රූප ඇතිවේවා!” ආදී වශයෙන් දිගු-කෙටි, කළු-සුදු ආදී වශයෙන් රූපයෙහි “මෙසේ රූපය වේවා!” යි ප්‍රාර්ථනා කිරීමයි. “මෙබඳු විඳීම් ඇතිවේවා!” ආදී වශයෙන් සුඛ වේදනා පැතීමයි.
“මෙබඳු සඥා ඇතිවේවා!” ආදී වශයෙන් සුභ සඥා පැතීමයි. “
මෙබඳු සංකාර ඇතිවේවා!” ආදී වශයෙන් ප්‍රිය මනාප සංඛාර පැතීමයි…..

“.අපුරෙක්ඛරානො” යනු සසර පැවැත්මට උපකාර වන දේ කරනු නොලැබීමයි. සසර පැවැත්ම පෙරටු කර නොගනිමින්, “සහිතං මෙ අසහිතං තෙ” යනු නුඹගේ වචන අයුක්තිය. රළුය. මගේ වචන යුක්ති සහගතය. මටසිලිටුය. මිහිරිය. මිහිරි පානයක් හා සමානය යනුයි. “ආචිණ්ණං තෙ විපරවත්තං” යනු යමක් නුඹ විසින් දිගුකාලයක සිට පුරුදු කරන ලද ද, මැනවින් ප්‍රගුණ කළේ ද එය මගේ වාදයට පැමිණ, සියල්ල ක්‍ෂණයකින් පෙරලී ගියේය. නැවතුණි යනුයි. “ආරොපිතො තෙ වාදො” යනු නුඹගේ දොස් මවිසින් නගන ලද්දේය. (පෙන්වාදෙන ලදී.) “චර වාදප්ප මොක්ඛාය” යනු ඒ ඒ ආචාර්යවරු වෙත පැමිණ මතුයෙහි සොයන්නේ මේ වාදයන්ගෙන් මිදීම පිණිස හැසිරෙව. ඇවිදුව යනුයි. “නිබ්බෙඨෙහි වා සචෙ පහොසී” යනු ඉක්බිති තමාම සමත් වේනම් මෙහිදීම ගැටළුවලින් මිදෙන්න යනුයි.]

මා විසින් මෙසේ අසන ලදී.
එක් සමයෙක ආයුෂ්මත් මහාකච්චායන ස්ථවිරයන් වහන්සේ අවන්ති ජනපදයෙහි කුරිරඝර නම් නගරයෙහි පවත්ත නම් පර්වතයෙහි වසන සේක.

දිනක් හාලිද්දකානි නම් ගෘහපතියෙක් ආයුෂ්මත් මහාකච්චායන ස්ථවිරයන් වහන්සේ සොයා පැමිණ ස්ථවිරයන් වහන්සේට වැඳ, එකත්පසෙක හිඳ මේ කාරණය සැලකළේය. එනම්:
“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ විසින් අෂ්ටක වර්ගයෙහි මාගන්දිය ප්‍රශ්නයෙහි මෙසේ වදාරන ලදි.

‘ගෙය අත්හැර
ගෙයි වාසය නොකරන්නාවූ
ගම හා එක්ව නොවසන්නාවූ,
කාමයන් කෙරෙන් මිදුණාවූ,
සසර පෙරටුකොට නැත්තාවූ භික්ෂුව කෙසේනම් ජනයා සමග විරුද්ධව කථා නොකරන්නේද?’
“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ විසින් සංක්ෂෙපයෙන් වදාරණ ලද මේ දේශනාවේ අර්ථය විස්තර වශයෙන් කෙසේ දත යුතුද යනුයි.

Having left home to roam without abode,
In the village the sage is intimate with none;
Rid of sensual pleasures, without expectations,
He would not engage people in dispute

“ගෘහපතිය, රූපස්කන්ධය විඥානයේ ‘ඔක’ (ගෙය) නමි.
විඥානය රූපස්කන්ධයෙහි ඇලෙන රාගයෙන් බැඳුණ විඤ්ඤාණය ඔක සාරීයයි’ කියනු ලැබේ. ගෘහපතිය, වේදනා ස්කන්ධය විඥානයේ ‘ඔක’ (ගෙය) නමි.
වේදනාවෙහි ඇලෙන රාගයෙන් බැඳුණු විඥානය ‘ඔක සාරීයයි’ කියනු ලැබේ.
“ගෘහපතිය, සංඥා ස්කන්ධය විඥානයාගේ ‘ඔක’ (ගෙය) නමි.
සංඥා ස්කන්ධයෙහි ඇලෙන රාගයෙන් බැඳුණු විඥානය ‘ඔකසාරීයයි’ කියනු ලැබේ.
“ගෘහපතිය, සංස්කාර ස්කන්ධ විඥානයාගේ ‘ඔක’ (ගෙය) නමි.
සංස්කාර ස්කන්ධයෙහි ඇලෙන රාගයෙන් බැඳුණු විඥානය ‘ඔකසාරීයයි’ කියනු ලැබේ.
ගෘහපතිය, මෙසේ ඔකසාරී නම් වෙයි.

“ගෘහපතිය, කෙසේනම් අනොකසාරී වේද?

ගෘහපතිය, රූප ස්කන්ධයෙහි ඇලෙන
ඡන්දයක් වේද,
රාගයක් වේද,
යම් නන්දියක් වේද,
යම් තෘෂ්ණාවක් වේද,
තෘෂ්ණා දෘෂ්ටි යන උපාසයන් සහ
සතර උපාදානයෝ වෙත්ද,
අකුසල් සිතට ස්ථානවූ, අනුසය ධර්මයෝ වෙත්ද
ඔවුහු තථාගතයන් වහන්සේ විසින් පහකරන ලදහ. උදුරා දමන ලද මුල් ඇත්තාහුය. සිඳින ලද තල් ගසක් මෙන් කරන ලද්දාහු. නැවත හට නොගන්නා ස්වභාවයක් කරන ලද්දාහුය. විනාශ කරන ලදහ. නැවත නූපදින ස්වභාවයට පමුණුවන ලදහ. එහෙයින් තථාගතයන් වහන්සේ ‘අනොකසාරීයයි’ කියනු ලැබේ.

“ගෘහපතිය වේදනා ස්කන්ධයෙහි, ගෘහපතිය, සංඥා ස්කන්ධයෙහි, ගෘහපතිය, සංස්කාර ස්කන්ධයෙහි යම් කැමැත්තක්, ඡන්දයක් වේද, යම් රාගයක් වේද, යම් නන්දියක් වේද, යම් තෘෂ්ණාවක් වේද, යම් තෘෂ්ණා දෘෂ්ටි යන උපය සහ සතර උපාදානයෝ අකුසල් සිතට වාසස්ථානවූ අනුසයයෝ වෙත්. ඔවුහු තථාගතයන් වහන්සේ විසින් පහකරන ලදහ. මුල් උදුරා දමන ලදහ. සිඳින ලද තල් ගසක් මෙන් කරන ලද්දාහුය. විනාශ කරන ලද්දාහ. මත්තෙහි නූපදනා බවට පමුණුවන ලද්දාහ. එහෙයින් තථාගතයන් වහන්සේ අනොකසාරී යයි කියනු ලැබේ.

“ගෘහපතිය, විඥාන ධාතුවෙහි යම් ඡන්දයක් වේද, යම් රාගයක් වේද, යම් නන්දියක් වේද, යම් තෘෂ්ණාවක් වේද, යම් උපාය උපාදානයෝ වෙත්ද, අකුසල් සිතට වාසස්ථානවූ අනුසයයෝ වෙත්ද, ඔවුහු තථාගතයන් වහන්සේ විසින් පහකරන ලදහ. උදුරා දමන ලද මුල් ඇත්තාහුය. සිඳින ලද තල් ගසක් මෙන් කරන ලද්දාහුය. විනාශ කරන ලද්දාහුය. මත්තෙහි නූපදින බවට පමුණුවන ලද්දාහුය. එහෙයින් තථාගතයන් වහන්සේ අනොකසාරීයයි කියනු ලැබේ. ගෘහපතිය, මෙසේ වනාහි අනොකසාරී නම් වෙයි.

“ගෘහපතිය, කෙසේනම් නිකෙතසාරී (ගෙයි හැසිරෙන්නේ නම්) වේද,
ගෘහපතිය ,

  • රූපාරම්මණය නමැති ගෘහයෙහි බැඳෙන්නාවූ ක්ලෙශ ධර්ම නිකෙතසාරීයයි කියනු ලැබේ.
  • ශබ්දාරම්මණය නමැති ගෘහයෙහි බැඳෙන්නාවූ, ක්ලෙශ ධර්ම නිකෙතසාරීයයි කියනු ලැබේ.
  • ගන්ධාරම්මණය නමැති ගෘහයෙහි බැඳෙන්නාවූ ක්ලෙශ ධර්ම නිකෙතසාරීයයි කියනු ලැබේ.
  • රසාරම්මණය නමැති ගෘහයෙහි බැඳෙන්නාවූ ක්ලෙශ ධර්ම නිකෙතසාරීයයි කියනු ලැබේ.
  • පොට්ඨබ්බාරම්මණය නමැති ගෘහයෙහි බැඳෙන්නාවූ ක්ලෙශ ධර්ම නිකේතසාරීයයි කියනු ලැබේ.
  • ධම්මාරම්මණය නමැති ගෘහයෙහි බැඳෙන්නාවූ ක්ලෙශ ධර්ම නිකෙතසාරීයයි කියනු ලැබේ.

(තුන්වෙනි හාලිද්දකානි සූත්‍රය නිමි.)

SN 03-01-01-04
දෙවන හාලිද්දකානි සූත්‍රය.

[සුත්‍ර වර්ණනාව:-
සිවුවන සූත්‍රයේ “සක්කපඤ්හෙ” යනු චූල ශක්‍ර ප්‍රශ්නයෙහි. මහා ශක්‍ර ප්‍රශ්නය ද මෙහි කියන ලද්දේමය. “තණ්හා සංඛය විමුත්තා” යනු තණ්හාව ක්‍ෂය කිරීම නම් වූ නිවනෙහිය. එය අරමුණු කරගත් ඵල විමුක්තියෙන් මිදුණහුය. “අච්චන්තනිට්ඨා” යනු අන්තය ඉක්ම වූ නිෂ්ටාවයි. නිරන්තර නිෂ්ටාවයි. සෙසු පදයන්හිද මේ ක්‍රමයෙන් අර්ථ දතයුතුයි.]

(හතරවෙනි හාලිද්දකානි සූත්‍රය නිමි.)

SN 03-01-01-05
සමාධි සූත්‍රය

[සුත්‍ර වර්ණනාව:-
පස්වන සූත්‍රයේ – “සමාධිං” යනු මෙය භාග්‍යවතුන් වහන්සේ, එම භික්‍ෂූන් චිත්ත ඒකාග්‍රතාවයෙන් පිරිහී යනු දැක, චිත්ත ඒකාග්‍රතාව ලබන්නන්ට මේ කමටහන උපකාර වන්නේ යැයි දැන මෙසේ වදාළහ. “අභිනන්‍දතී” යනු ප්‍රාර්ථනා කරයි. “අභිවදතී” ඒ ප්‍රාර්ථනාවෙන් අනේ ප්‍රියයි! මනෝඥයි! සිත් පිනවයි! ප්‍රියමනාපයි! යනුවෙන් පවසයි. වචනයෙන් සතුටුවනුයේ ප්‍රාර්ථනා කරනුයේ, ඒ අරමුණ සඳහා මෙසේ ලෝභ උපදවනුයේ “අභිවදති” නම් වේ. “අජ්ඣොසාය තිට්ඨති” යනු ගිල-නිමාවට පමුණුවා ගනියි. “යා රූපෙ නන්‍දී” යම් ඒ රූපයක බලවත් ප්‍රාර්ථනා කිරීම් සංඛ්‍යාත වූ තෘෂ්ණාවයි. “තදාපදානං” යනු එය ගැනීම් අර්ථයෙන් උපාදාන (දැඩිව ගන්නා) වූ යනුයි. “නාභිනන්‍දතී” ප්‍රාර්ථනා නොකරයි. “නාභිවදතී” ප්‍රාර්ථනා වශයෙන් අමනෝඥය! අප්‍රියයැයි කියයි. විදර්ශනා සිතින් යුක්තව අනිත්‍යය, දුකය ආදී ලෙස සිතින් ද වචනයෙන් ද සිහිපත් කරනුයේ “නාභිවදති” ප්‍රකාශ නොකරත්මය.]

(පස්වෙනි සමාධි සූත්‍රය නිමි.)

[11. සමාධි නිර්දේශය.
සමාධි භාවනාවේ ආනිසංස කවරේද?

සමාධි භාවනාවේ දිට්ඨධම්ම සුඛවිහාරාදි ආනිසංස පසෙක් වේ. ඒ මෙසේ යි:-

(1) රහතුන් ‘සමාප්තියට සමවැද එකඟ සිත් ඇති වැ දවස් යවම්හ’යි සමවදනා කල ඒ අර්පණා ඉහාත්ම සැප විහරණය පිණිස වේ. එයින් වදාළහ:- න ඛො පනෙ තෙ වුන්‍ද අරියස්ස විනයෙ සල්ලෙඛා වුච්චන්ති. දිට්ඨධම්ම සුඛ විහාරා එතෙ අරියස්ස විනයෙ වුච්චන්ති යි අදහස පෙර කී සේයි.

(2) ශෛක්‍ෂයන්ගේ හා පෘථග්ජනයන්ගේ ධ්‍යානය, විදර්‍ශනාවට ආසන්න කාරණා වන හෙයින් අර්පණා සමාධි භාවනාවටද, තෘෂ්ණෘ සංකේලශාදීන් කිලිටි වන හෙයින් අතිශයින් සම්බාධ වූ සංසාර ප්‍ර‍වෘත්තියෙහි අර්‍ථ ලාභයට යෝග්‍ය වූ දුලර්‍භ වූ නව වැනි ක්‍ෂණ සංඛ්‍යාත අවකාශය ලැබීමෙන් අර්පණාවට ද, නො පැමිණ සංවේග බහුල පුද්ගල තෙමේ උපාචාර සමාධියෙහි පිහිටා විදර්‍ශනා වඩා වහා සසර දුක් ගෙවා නිවන් පසක් කරන්නේ ය.
සමාධිං භික්ඛවෙ භාවෙථ. සමාහිතො භික්ඛවෙ භික්ඛු යථාභූතං පජානාති යි. “මහණෙනි! සමාධිය වඩව්, සමාධියෙන් සිත මනා වැ එකඟ කළ මහණ තෙම සියලු ධර්‍මයන් තත්ත්‍වාකාරයෙන් දැන ගනී ය” යි එහෙයින් වදාළහ.

(3) අෂ්ට සමාපත්ති උපදවා අභිඥා පාදක ධ්‍යානයට සමවැද ඉන් නැගී “එකොපි හුත්‍වා බහුධා හොති”‘තෙමේ එකෙක්ව ද බොහෝ වෙයි’ යනාදීන් කියන ලද පරිදි අභිඥා ප්‍රාර්‍ථනා කරන්නාවූ මහණහට ඒ අෂ්ට සමාපත්තිය අභිඥා ලාභයට සුදුසු උපනිශ්‍ර‍ය ඇති කල්හි අභිඥාවට ආසන්න කාරණ හෙයින් අභිඤ්ඤානිසංස ඇත්තේ වේ.
“සො යස්ස යස්ස අභිඤ්ඤා සච්ඡි කරණියස්ස ධම්මස්ස චිත්තං අබිනින්තාමෙති. අභිඤ්ඤා සච්ඡිකරියාය තත්‍ර‍ තත්‍රෙව සක්කි භබ්බතං පාපුණාති සති ආයතනෙ” යි මතු විස්තර වන විශිෂ්ට ඥාන සංඛ්‍යාත ‘පඤ්චාභිඥාවන්ගෙන් ප්‍ර‍ත්‍යක්‍ෂ කටයුතු යම් යම් ධර්‍මයකට සිත නැමේ නම් ඒ ඒ ධර්‍මයන් ප්‍ර‍ත්‍යක්‍ෂ කිරීමට සුදුසු බවට පැමිණේය’යි එයින් වදාළහ.

(4) ‘නො පිරිහුණු ධ්‍යාන ඇති වැ බ්‍ර‍හ්ම ලෝකයෙහි උපදිම්හ’යි බ්‍ර‍හ්ම ලෝකෝත්පත්තිය නමින් පතමින් හේ භවගාමී කර්‍මය අරභයා භව ප්‍රාර්‍ථනය නො කළද, ඒ කර්‍මය කළ හෙයින් භව ප්‍රාර්‍ථනය සිදු වන බැවින් බ්‍ර‍හ්ම ලෝකෝත්පත්තිය නො පතා හෝ පෘථග්ජනයන් සමාධියෙන් නො පිරිහී කාලක්‍රියා කරත් ම බ්‍ර‍හ්මලෝකයෙහි ඉපදීම නියත හෙයින් අර්පණා සමාධි භාවනාව භව විශේෂ ලැබීම ආනිසංස කොට ඇත්තේ යි.
“පඨමජ්ඣානං පරිත්තං භාවෙත්‍වා කත්‍ථ උප්පජ්ජන්ති, පඨමජ්ඣානං පරිත්තං භාවෙත්‍වා බ්‍ර‍හ්මපාරිසජ්ජානං දෙවානං සහව්‍යතං උප්පජ්ජන්ති” යි. “පඨමජ්ඣානය පරිත්තකොට වඩා කොහි උපදිද්ද බ්‍ර‍හ්ම පරිසද්‍යායෙහි උපදිත් ය”යි එයින් වදාළහ. විශේෂ :- උපචාර භාවනා සමාධිය ද, කාමාවචර සුගති භවයෙහි උපදවාය යි ධම්ම හදය විභඞ්ගයෙහි වදාළහ.

(5) අෂ්ට සමාපත්ති උපදවා නිරෝධ සමාපත්තියට සමවැද සත් දවසක් අචිත්තකව ද, ‘ඉහාත්ම චිත්ත නිරෝධ සංඛ්‍යාත නිර්‍වාණයට පැමිණ සැපසේ වසම්හ යි සමාධි වඩන්නාවූ අනැගැමි-රහත් ආර්‍ය්‍යයන්ගේ ඒ අර්පණා භාවනාව නිරෝධ සමාපත්තිය ආනිසංස කොට ඇත්තේ යි.
සොළසෙහි ඤාණචරියාහි නවහි සමාධි චරියාහි වසී භාවතො පඤ්ඤා නිරොධ සමාපත්තියා ඤාණං2 (අනිච්ච-දුක්ඛ-අනත්ත-නිබ්බිදා-විරාග-නිරොධ-පටිනිස්සග්ග-විවට්ටානු පස්සනා යන අනුපස්සනා අට හා) මාර්‍ග-ඵල අට දැයි මෙ කිී සොළොස් ඤාණ චරියාවෙන් හා (රූපාවචර පසය, අරූපාවචර සතරය යන) නව සමාධි චරියාවෙන් ද, වශී භාවයට පැමිණීමෙන් හටගත් ප්‍ර‍ඥාව නිරෝධ සමාපත්තියේ නුවණයැ යි වදාළහ.
මෙසේ සමාධි භාවනායෙහි දිට්ඨධම්මසුඛ විහාරාදි පඤ්චානිසංස ඇත්තේ යි.
කෙලෙස් මල දෙවුමෙහි – නේ අනුසසින් හොබනා
පමවත් බවුන් වැඩුමෙහි – පඬිදෙනෙ පමා නොව නේ
මෙතෙකින් “සීලෙ පතිට්ඨාය නරො සපඤ්ඤො” යනාදි ගාථායෙහි සීල-සමාධි-ප්‍ර‍ඥා මුඛයෙන් වදහළ විශුද්ධි මාර්‍ගයෙහි සමාධිය ද, දක්වා නිමවන ලදී.

හුදී ජනයාගේ පහන් බව පිණිස කළ සිංහල විශුද්‍ධි මාර්‍ගයෙහි සමාධි භාවනාධිකාරයට ඇතුළත් සමාධි නිර්දේශ නම් වූ එකොළොස්වන පරිච්ඡේදය උපුටා දක්වන ලදී.]

SN 03-01-010-06.
පටිසල්ලාණ සූත්‍රය

[සුත්‍ර විවරණය:-
සයවන සූත්‍රයේ “පටිසල්ලාතො” යනු මෙය භාග්‍යවතුන් වහන්සේ ඒ භික්‍ෂූන් වහන්සේලා කාය විවේකයෙන් පිරිහී යනු දැක කාය විවේකය ලැබීම සඳහා මේ කමටහන උපකාර වේයැයි, අභිවෘද්ධිදායක වේයැයි දැන මෙසේ වදාළහ.]

[31:- පටිසල්ලාන : පිරිස සමග එක්ව විසීමෙන් කාය විවේකය නොලත්, යෝගී භික්ෂුන් පිරිසකට සිය භාවනාව ඵල ගන්වා ගැනීමට හුදෙකලාව ඉන්නා ලෙස මෙසේ දේසනා කල බව අටුවාව කියයි.]

(හයවෙනි පටිසල්ලාණ සූත්‍රය නිමි.)

SN 03-01-01-07.
උපාදාපරිතස්සන සූත්‍රය

[සුත්‍ර විවරණය:-
සත්වන සූත්‍රයේ “උපාදාපරිතස්සනං” යනු දැඩිව ගැනීමෙන් උපන් ආශාවෙන් පීඩිතවීමයි. (පරිතස්සතාව) “අනුපාදා අපරිතස්සනං” යනු දැඩිව නොගැනීමෙන් උපන් ආශාදියෙන් පීඩා නොවීමයි. (අපරිතස්සනාව). “රූපවිපරිණාමානු පරිවත්ති විඤ්ඤාණං හොති” “මගේ රූපය වෙනසකට පත්වූවකි”යි හෝ “අහෝ, මට දැන් ඒ රූපය නැත ආදී වශයෙන් කර්ම විඥානය රූපයේ බෙදීම-පෙරලීම අනුව පෙරලෙයි. “විපරිණාමානු පරිවත්තිජා” යනු විපරිණාමයේ අනුව පෙරලීමෙන් විපරිණාමය අරමුණු වූ සිතින් උපන් යනුයි. “පරිතස්සනා ධම්මසමුප්පාදා” යනු තණ්හාවෙන් පීඩිත වීම ද අකුශල ධර්මයෙන් ඉපිදවීම ද යනු දෙකයි. “චිත්තං” යනු කුසල් සිතයි. “පරියාදාය තිට්ඨන්ති” යනු හාත්පසින් ගෙන සිටී. “උත්තාසවා” යනු තැතිගැනීම් සහිතවයි. “විඝාතවා” යනු පීඩා සහිත දුක් සහිත යනුයි. “අපෙක්ඛාවා” යනු ආලය සහිතවයි. “උපාදාය ච පරිතස්සති” දැඩිව ගෙන පෙළෙන්නේ වේ. “නරූප විපරිණාමානුපරිවත්ති” රහතන්වහන්සේට කර්ම විඥානයම නැත. එනිසා රූප පෙරලීම අනුව පෙරලීම සිදුනොවේ යැයි පැවසීම සුදුසුය.]

(සත්වෙනි උපාදාපරිතස්සන සූත්‍රය නිමි.)

SN 03-01-01 -08.
උපාදා පරිතස්සන සූත්‍රය

[සුත්‍ර වර්නනාව:-
අටවන සූත්‍රයේ – තණ්හාව, මානය, දෘෂ්ටිය වශයෙන් දේශනාව කරන ලදී. මෙසේ පිළිවෙලින් සිවු සූත්‍රයන්හි සසර පැවැත්ම හා සසර නැවැත්ම පිළිබඳවම පවසන ලදී.]

[34:- මීට පෙර වූ සත්වෙනි උපාදාපරිතස්සන සූත්‍රයේදී අත්තවාදී නොහොත් මමඥතාවය නිසා වන හානිය කියවුන අතර මෙම සුත්‍රයේදී එතම් මම, හැමස්සාමි, එසො මේ අත්තා ලෙස ගාහ තුන් ආකාරය නිසා සමාධිය දුරස්වන අයුරු පෙන්නා දෙයි.]

(අටවෙනි උපාදාපරිතස්සන සූත්‍රය නිමි.)

SN 03-01-01-09.
අතීතානාගත සූත්‍රය

[සුත්‍ර වර්ණනාව:-
නවවන සූත්‍රයේ – “කොපන වාදො පච්චුප්පන්නස්ස” යනු ප්‍රත්‍යුත්පන්නයෙහි කවර කථාවක්ද? යනුයි. මෙය අනිත්‍යමය. ඒ භික්‍ෂුව අතීත-අනාගත දෙක අනිත්‍යයැයි සලකා වර්තමානයෙහි වෙහෙසුනහ. ඉක්බිති “ඔවුන්ට මෙයින් අතීතයත් අනාගතයත්, වර්තමානයත් (ප්‍රත්‍යුත්පන්න) අනිත්‍යයැයි දෙසූවිට එකරුණ අවබෝධ කරගන්නෝය” යනුවෙන් ඔවුන්ගේ අදහස දැන-බුදුපියාණෝ පුද්ගල අදහස් වශයෙන් මේ දේශනාව දෙසන ලදහ.]

(නවවෙනි අතීතානාගත සූත්‍රය නිමි.)

SN 03-01-01-10.
අතීතානාගත සූත්‍රය

[සුත්රවර්ණනාව:-
දසවන – එකොළොස්වන සූත්‍රවල – “දුක්ඛං අනත්තා” යන පදයන්ගෙන් විශේෂණය කර, එබඳුම පුද්ගල අදහසින් පැවසූ සේක.]

(දහවෙනි අතීතානාගත සූත්‍රය නිමි.)

SN 03-01-11 . අතීතානාගත සූත්‍රය

(එකොළොස්වෙනි අතීතානාගත සූත්‍රය. 3 නිමි.)

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.