SN 03-01-01-නකුල පිතු සූත්‍රය

nakulapita

[ නකුලපිතා යනු නකුලගේ පියා යන අර්ථය දෙයි. නකුල ගැන කිසිවක් සඳහන් නොවතත් නකුලපිතා සහ නකුලගේ මව ගැන සුත්‍ර කිහිපයක සඳහන් වේ. පුර්ව ආත්මභාව පන්සියයකම මේ දෙමහල්ලෝ භාග්‍යවතුන් වහන්සේගේ දෙමව්පියන් වූ බවත් තවත් බොහෝ ආත්ම බවයන්හිදී බොහෝ ළඟ ග්නාතීන්ව සිටි බවත් අටුවාවේ කියවේ ]

පුජ්‍ය කරවන්කුලමේ සිරිධම්ම හිමි කල විවරණය

1. මා විසින් මෙසේ අසන ලදී.
එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ භග්ග නම් දනව්වෙහි සුංසුමාරගිරි නම් නුවර භෙසකලාවන නම්වූ මිගදායෙහි වැඩ වාසය කරන සේක.

§ 2. එකල්හි  නකුලපිතු ගහපතිහු  භාග්‍යවතුන් වහන්සේ වෙත  එළඹ භාග්‍යවතුන් වහන්සේට වැඳ, එකත්පසෙක හිඳ භාග්‍යවතුන් වහන්සේට මෙසේ  කීය.
“ස්වාමීනි, මම dan වයසින් වෘද්ධවූයේ වෙමි. මහළුවූයේ වෙමි. පශ්චිම වයසට පැමිණියේ වෙමි. තුන්කල් ඉක්මගියේ වෙමි.  ජරාවට පත් වුයේ වෙමි.නිතර රෝගී වන  ගිලන්වූ සිරුරක් ඇත්තේ වෙමි. නිතර ලෙඩින් පෙලෙන නිසා භාග්‍යවතුන් වහන්සේ දකින්නට හෝ වන්දනීය [වන්දනීය නොහොත් මනොභාවනීය :   අදහස් කරන්නේ  සැරියුත්, මුගලන් ආදී සංඝයා වහන්සේලාය.  උන්වහන්සේලා දැකීමම දකින්නාගේ සිත පුණ්‍ය සිතිවිලිවලින් පුරවාලන බැවිනියයි අටුවාව දක්වයි.] භික්ෂු සංඝයා නිතර දකින්නට එන්නට [අනිච්ච දස්සි සහ අදිච්ච දසසි] අපොහොසත් වීමි. කලාතුරකින් දකින්නෙමි. 

§ 2.  ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස,  එසේ කලාතුරකින් පැමිනෙන්නාවූ මට  බොහෝ කාලයක් මුළුල්ලෙහි හිත පිණිස, සැප පිණිස පවතින ධර්ම පරියායක් ඔබ වහන්සේ මා කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කරත්වා !”

“ගහපතිය, ඒ කාරණය එසේය, ගහපතිය, ඒ කාරණය එසේය. ගහපතිය, මේ කය ආතුරවූයේ වෙයි.  අන්දභුත වුයේ වෙයි. [ අන්ඩ = බිජුව බිත්තරය ලෙස ගෙන අන්දභුතෝ යන්න බිත්තර කටුවක් මෙන් දුබල දුර්වල (බිත්තරයක් එහෙ මෙහෙ විසිකරමින් සෙල්ලම් කල නොහැක. එය බිදී කැඩෙන බැවිනි.)  කටුවක් පයේ ඇනුණු විට පවා හැම සිදුරුවී ලේ ගලා දුක් ගෙන දෙන නිසා  බිජු වටක් මෙන් දුබල වූයේ වෙයි. සියුම්වූ සිවියකින් දැවටුනේ වෙයි.]

මෙබඳු වූ කයක් දරන යමෙක් තමන් නිරෝගී කෙනෙකැයි මොහොතකට හෝ කියන්නේ නම් ඒ ඔවුනගේ අඥානබව නිසා මිස අන් හේතුවක් නිසා නොවේ.  ඒ නිසා ගෘහපතිය ඔබ මෙසේ හික්මිය යුතුය.  ‘ආතුරවූ කයක් ඇත්තාවූ මම මගේ සිත ආතුර කර නොගනිමි’’ යි  කියායි.

 §4. ඉක්බිති, නකුලපිතු ගහපතිහු  භාග්‍යවතුන් වහන්සේගේ වචනයට සතුටුව එය අනුමෝදන්ව හුනස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේට වැඳ, පැදකුණු කොට ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේහුන් තැනට එළඹ උන්වහන්සේ  වන්දනා කොට  එකත්පසෙක උන්නේය. එසේ උන්නාවූ නකුලපිත ගෘහපතිදෙස බලා ශාරිපුත්‍ර ස්ථවිරයන් මෙසේ පැවසු සේක.

‘ගහපතිය, ඔබගේ ඉන්ද්‍රියයෝ ඉතා ප්‍රසන්නය . මූණෙහි පාට පවා  පිරිසිදුය. නිර්මලය. ඔබ අද භාග්‍යවතුන් වහන්සේ  හමුවී ධර්ම කථාවක් අසා දැන ගත්තේද?.”

“ස්වාමීනි, කිමද නැත්තේ.”
“ස්වාමීනි, මේ දැන් මම භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්ම කථාවවූ අමෘතයෙන් අභිෂෙක කරන ලද්දේ වෙමියි” කීය.
“ගහපතිය  කෙසේ නම් භාග්‍යවතුන් වහන්සේ විසින් මේ ධර්ම කථාවවූ අමෘතයෙන්  ඔබ “අභිෂේක කරන ලද්දේද?”
“ස්වාමීනි,  මම භාග්‍යවතුන් වහන්සේ වෙත  එළඹ භාග්‍යවතුන් වහන්සේට වැඳ මෙසේ   කීවෙමි.


“ස්වාමීනි, මම ජරාවෙන් ජීර්ණවූයේ වෙමි. වයසින් වෘද්ධවූයේ වෙමි. මහළුවූයේ වෙමි. පශ්චිම වයසට පැමිණියේ වෙමි. තුන්කල් ඉක්මගියේ වෙමි.  ජරාවට පත් වුයේ වෙමි.නිතර රෝගී වන  ගිලන්වූ සිරුරක් ඇත්තේ වෙමි. නිතර ලෙඩින් පෙලෙන නිසා භාග්‍යවතුන් වහන්සේ දකින්නට හෝ වන්දනීය …………  මට  බොහෝ කාලයක් මුළුල්ලෙහි හිත පිණිස, සැප පිණිස පවතින ධර්ම පරියායක් ඔබ වහන්සේ මා කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කරත්වා !”
“ස්වාමීනි, මෙසේ කීකල්හි මට භාග්‍යවතුන්වහන්සේ මෙසේ වදාළසේක.
‘ ඒ කාරණය එසේය, ගහපතිය, ඒ කාරණය එසේය. ගහපතිය, මේ කය ආතුරවූයේ වෙයි.  අන්දභුත වුයේ වෙයි, මේ කය ආතුරවූයේ වෙයි. බිජුවටක් මෙන් දුබලවූයේ වෙයි. (සියුම් සිවියකින් පමණක් දැවටුනේවෙයි.)ගහපතිය, යමෙක්  මේ කය පරිහරණය කරන්නේද (හෙතෙම) මොහොතකට වත් තමන් නිරෝගී යැයි කියන්නේ නම් , ඒ ඔහුගේ  අඥාන භාවය හැර වෙන කුමක්ද?

එහෙයින් තොප විසින් මෙහි මෙසේ හික්මිය යුතු ය.  ‘ආතුරවූ කයක් ඇත්තාවූ මම මගේ සිත ආතුර කර නොගනිමි’’ යි  කියායි.

ස්වාමීනි, මම මෙසේ භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්ම කථාවවූ අමෘතයෙන් අභිෂෙක කරන ලද්දේ වෙමි.

§5. එවිට ආයුෂ්මත් සාරිපුත්ත ස්ථවිරයන් වහන්සේ මෙසේ වදාළ සේක.
“ඉතා යහපති ගෘහපතිය. ඉතා යහපති. 
ඉදින් ලෙඩවූ කය ඇත්තෙක් සහ ලෙඩවූ සිත ඇත්තෙක්   වන්නේ කෙසේද?
ලෙඩවූ කයක් ඇත්තේ වී නමුදු සිත ආතුර කර නොගන්නේ කෙසේදැයි භාග්‍යවතුන් වහන්සේගෙන් අසා දැනගන්නට ඔබට නොහැකි වූ යේද? 

“ස්වාමීනි,  ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේගෙන් මේ ධර්ම පරියාය විස්තර වශයෙන් දැන ගැනීමට අපි බොහෝ ඈතක සිට මුත් පැමිණෙන්නෙමු. භාග්‍යවතුන්වහන්සේගේ එම දේශනාවේ අර්ථය ඔබ වහන්සේ පැහැදිලි කර දෙන්නේනම් එය අපගේ මහත්වූ ලාභය පිණිසම වන්නේය.” 

“එසේනම් ගහපතිය, අසව, මනාකොට මෙනෙහි කරව, කියන්නෙමි”යි වදාළේය.
“ස්වාමීනි, එසේයයි.” නකුල පිතු ගහපතිහු ආයුෂ්මත්වූ ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේට උත්තර දුන්නේය.

§ 6 . ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ මෙසේ වදාළේය.
“ගහපතිය, කෙසේනම් ලෙඩවූ කය ඇත්තෙක්ව ලෙඩවූ සිත ඇත්තෙක් වන්නේද?”

“ගහපතිය,
මේ ලොකයෙහි ඉන්නාවූ

  •  ආර්‍ය්‍යයන් නොදක්නාවූ ආර්‍ය්‍යධර්මයෙහි අදක්ෂවූ ආර්‍ය්‍යධර්මයෙහි නොහික්මුනාවූ 
  • සත් පුරුෂයන් නොදක්නාවූ, සත්පුරුෂ ධර්මයෙහි අදක්ෂවූ, සත් පුරුෂ ධර්මයෙහි නොහික්මුණාවූ  අශ්‍රැතවත් පෘථග්ජනයා

§6.1. රූපය  
[ඛජ්ජනිය සුත්‍රය:  රූප – මහණෙනි, ‘බිඳේ’ නුයි එයින් රූපයයි කියනු ලැබේ. ශීතයෙන්, උෂ්ණයෙන්, සා පිපාසායෙන් ද, මැසි මදුරු සර්පයන් ආදී සතුන්ගේ ස්‌පර්ශයන්ගෙන් ‘බිඳෙන දේ’ වේ. සතිපට්‌ඨාන සූත්‍රයේ රූපය පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන ධාතු හතරක සංකලනය ලෙස ද පෙන්වා දෙයි. එනම් ආධ්‍යාත්මික රූප- ඇස, කණ, නාසය, දිව, ශරීරය, මන සහ බාහිර රූප- වර්ණ රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, පොට්‌ඨබ්බ රූප, ධම්ම රූප.]

රූපය “මම”  වශයෙන් දකියි. තමා රූපය යැයි අදහයි.  එම රූපය  වෙනස් වන විට දිරන විට ඔහු අසහනයට අසන්තෝෂයට පීඩාවටපත්වේ. දුකට  පත් වේ,  පරිදේවයටපත් වේ.”

§6.2. වේදනා
[ඛජ්ජනිය සුත්‍රය:  – වේදනා – මහණෙනි, ‘වළඳ කෙරේ’ නුයි එයින් වේදනා යි කියනු ලැබේ. එනම් පරිභෝජනය කරන විඳීම් හෙවත් වේදනාවන්ය. එනම් සුඛ වේදනා, දුක්‌ඛ වේදනා සහ අදුක්‌ඛම සුඛ හෙවත් උපේක්‌ඛා වේදනාවෝය.]

විඳීම මම විඳින්නේ යැයි  ගනී. සැප, දුක, ආදී වේදනාව මගේ වේදනාව ලෙස ගන්නේ වෙයි. මම  ඒ සැප දුක් විඳිමි යයි ගනී. මම වේදනාව වෙමි. මගේ වේදනාවයයි තණ්හා දිට්ඨි දෙකින් මඩනා ලද්දේ වෙයිද, මම වේදනාව වෙමි, මගේ වේදනාවයයි මඩනා ලද්දාවූ එම වේදනාවෝ වෙනස් වන විට, සැප දුකට  පත් වෙන විට ඔහු අසහනයට අසන්තෝෂයට පීඩා වටපත්වේ. දුකට  පත් වේ,  පරිදේවයටපත් වේ.”

§6.3. සඥා
[ඛජ්ජනිය සුත්‍රය:   සංඥා – මහණෙනි, ‘හඳුනාගනී’ නුයි එයින් සංඥා යි කියනු ලැබේ. එනම් නිල්, කහ, රතු, සුදු ආදී ලෙස හඳුනාගැනීමයි. එනම් වර්ණය, හැඩය ආදිය හඳුනාගැනීමයි. වර්ණ රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, පොට්‌ඨබ්බ රූප, ධම්ම රූප හඳුනා ගැනීමයි.]

“සංඥාව මම  වශයෙන්  දකියි.  මම මෙසේ හඳුනමි යි සිතයි. අසවලා, අසවල් දෙය “මම” මෙසේ හඳුනමි” යි දකියි. සියළු සඥා තමා ලබන්නේයැයි දරයි.  සංඥාවෙහි මා  ඇතැයි කියා හෝ දකියි, මම සංඥාව වෙමි. සංඥාව මගේ යයි මඩනා ලද්දේ හෝ වෙයි, මම සංඥාව වෙමි. මගේ සංඥාවයයි එසේ  මඩනා ලද්දාවූ ඔහුගේ  සංඥාව වෙනසට පැමිණෙයිද, අන් ආකාරයකට පැමිණෙයිද, සංඥාව  වෙනස්වීම අන් ආකාරයකට පෙරළීම හේතුකොටගෙන ඕහට ශොකය, පරිදෙවය, දුක්ඛය, දොම්නසය, උපායාසය යන මොවුහු උපදිත්. ඔහු අසහනයට අසන්තෝෂයට පීඩා වටපත්වේ. දුකට  පත් වේ,  පරිදේවයටපත් වේ.”

§6.4.  සංස්කාර
[ඛජ්ජනිය සුත්‍රය: – සංස්‌කාර – මහණෙනි, ‘සංඛත කොට අභිසංස්‌කරණ කෙරෙත්’ – (සංඛතං අභිසංඛරොන්ති) නු යි එයින් සංස්‌කාර යි කියනු ලැබේ. එනම් සකස්‌ කරන ලද රූප, වේදනා, සංඥා, සංස්‌කාර සහ විඤ්ඤාණ යළි යළිත් සකස්‌ කිරීමයි]

සංස්කාරයන් මා  වශයෙන් හෝ දකියි, සංස්කාර  තමන් කොට හෝ දකියි, මා  කෙරෙහි සංස්කාරයන් ඇත කියා හෝ දකියිද, සංස්කාරයන්හි තමන්  ඇතැයි කියා හෝ දකියි, සංස්කාරයෝ මම වෙමි මාගේ සංස්කාරයෝයයි මඩනාලද්දේ වෙයිද, සංස්කාර මම වෙමි. මගේ සංස්කාරයෝයයි මඩනා ලද්දාවූ ඔහුගේ ඒ සංස්කාරයෝ වෙනසට පැමිණෙත්ද, අන් ආකාරයකට පෙරළෙත්ද, සංස්කාරයන්ගේ වෙනස්වීම අන් ආකාරයකට පෙරළීම හේතුකොටගෙන ඔහුට ශොකය, පරිදෙවය, දුක්ය, දොම්නසය, උපායාසය යන මොවුහු උපදිත්.

§6.1. විඥානය
[ඛජ්ජනිය සුත්‍රය: – විඤ්ඤාණ – මහණෙනි, ‘විජානනය කෙරේ’ නුයි එයින් විඤ්ඥානය යි කියනු ලැබේ. එනම් රූප, වේදනා, සංඥා, සංස්‌කාර පිළිබඳ දැනුවත් වීමයි.]
“විඤ්ඤාණය තමන් වශයෙන් දකියි, විඤ්ඤාණවත්හු මම ය මගේ ,  විඤ්ඤාණය ඇත කියා හෝ දකියි, විඤ්ඤාණය මත  තමන්  ඇත කියා හෝ දකියි, විඤ්ඤාණය මම වෙමි. මගේ විඤ්ඤාණයයි මඩනා ලද්දේ වෙයිද, මම විඤ්ඤාණය වෙමි. මගේ විඤ්ඤාණයයි මඩනා ලද්දාවූ ඔහුගේ  විඤ්ඤාණය වෙනසට පැමිණෙයිද, අන් ආකාරයකට පෙරළෙයිද, විඤ්ඤාණයාගේ වෙනස්වීම අන් ආකාරයකට පෙරළීම හේතු කොටගෙන, ඔහුට ශොකය, පරිදෙවය, දුක්ඛය, දොම්නසය, උපායාසය යන මොවුහු උපදිත්.

“ගෘහපතිය, ලෙඩවූ කය ඇත්තේද, ලෙඩවූ සිත ඇත්තේද වන්නේ මෙසේ වෙයි.”

§7 .“ගහපතිය, කෙසේ නම් ලෙඩවූ කය ඇත්තේ නමුදු  ලෙඩ නොවූ සිත් ඇත්තෙක් වන්නේද,

ගහපතිය, මේ ලෝකයෙහි

  • ආර්‍ය්‍යයන් දක්නාවූ ආර්‍ය්‍යධර්මයෙහි දක්ෂවූ, ආර්‍ය්‍යධර්මයෙහි හික්මුනාවූ,
  • සත්පුරුෂයන් දක්නාවූ. සත්පුරුෂ ධර්මයෙහි දක්ෂවූ, සත්පුරුෂ ධර්මයෙහි හික්මුනාවූ,

ශ්‍රැතවත් (ඇසූ පිරූ තැන් ඇති) ආර්‍ය්‍යශ්‍රාවකයා

§7 .1   රූපය තමා (මම) යැයි  නොදකියිද, මම මේ රූපය වෙමියි නොමදකියිද, මගේ  කෙරෙහි රූපය ඇතැයි හෝ නොමදකියිද, රූපය කෙරෙහි ආත්මය ඇතැයි හෝ නොමදකියිද, “රූපය මම වෙමි. මගේ රූපය”යි මඩනා ලද්දේ නොවේද, රූපය මම වෙමි මාගේ රූපයයි නොමඩනා ලද්දාවූ ඔහුගේ ඒ රූපය වෙනසට පැමිණෙයිද, අන් ආකාරයකට පෙරළෙයිද, රූපයාගේ වෙනස්වීමෙන් අන් ආකාරයකට පෙරළීමෙන් ඔහුට ශොකය, පරිදෙවය, දුක්ය, දොම්නසය, උපායාසය යන මොවුහු නූපදිත්.

§7 .2 වේදනාව  මම විඳිමි  වශයෙන්  නොමදකියිද, වේදනාවත්හු  තමන්  කොට හෝ නොමදකියිද, මට වේදනාව ඇතැයි හෝ නොමදකියිද, වේදනාව කෙරෙහි ආත්මය ඇතැයි හෝ නොමදකියිද, වේදනාව මම වෙමි. මගේ වේදනාවයයි නොමඩනා ලද්දේ වෙයිද, වේදනාව මම වෙමි, මගේ වේදනාවයයි නොමඩනා ලද්දාවූ ඔහුගේ ඒ වේදනාව වෙනසට පැමිණෙයිද, අන් ආකාරයට පෙරළෙයිද, වේදනාවගේ වෙනසට පැමිණීමෙන් හා අන් ආකාරයට පෙරළීමෙන් ඔහුට ශොකය, පරිදෙවය, දුක්ය, දොම්නසය, උපායාසය යන මොවුහු නූපදිත්.

§7. 3. “සංඥාව ආත්මය වශයෙන් නොමදකියිද, සංඥාවත්හු ආත්මය කොට හෝ නොමදකියිද, ආත්මය කෙරෙහි සංඥාව ඇතැයි හෝ නොමදකියිද, සංඥාව කෙරෙහි ආත්මය ඇතැයි හෝ නොමදකියිද, “සංඥාව මම වෙමි මගේ සංඥාවය”යි නොමඩනා ලද්දේ වෙයිද, සංඥාව මම වෙමියි මගේ සංඥාවයයි නොමඩනා ලද්දාවූ ඔහුගේ ඒ සංඥාව වෙනසට පැමිණෙයිද, අන් ආකාරයට පෙරළෙයිද, සංඥාවගේ වෙනස්වීම අන් ආකාරයකට පෙරළීම හේතුකොටගෙන ශොකය, පරිදෙවය, දුක්ඛය, දොම්නසය, උපායාසය යන මොවුහු නූපදිත්.

§7.4. “සංස්කාරයන් ආත්මය වශයෙන් නොමදකියිද, සංස්කාරවත්හු ආත්මය කොට හෝ නොමදකියිද, ආත්මය කෙරෙහි සංස්කාරයන් ඇතැයි හෝ දකියිද, සංස්කාරයන් කෙරෙහි ආත්මය ඇතැයි හෝ නොමදකියිද, “සංස්කාරයෝ මම වෙමි, මගේ සංස්කාරයෝයයි මඩනා ලද්දේ නොවෙයිද, සංස්කාරයෝ මම වෙමි, මගේ සංස්කාරයෝයයි නොමඩනා ලද්දාවූ ඔහුගේ ඒ සංස්කාරයෝ වෙනසට පැමිණෙත්ද, අන් ආකාරයට පෙරළෙත්ද, සංස්කාරයන්ගේ වෙනස්වීම අන් ආකාරයකට පෙරළීම යන මෙයින් ඔහුට ශොකය, පරිදෙවය, දුක්ඛය, දොම්නසය, උපායාසය යන මොවුහු නූපදිත්.

§7 .5 ‘විඤ්ඤාණය තමන් ය වශයෙන් නොමදකියිද, විඤ්ඤාණවත්හු ආත්මය කොට හෝ නොමදකියිද, ආත්මය කෙරෙහි විඤ්ඤාණය ඇතැයි හෝ නොමදකියිද, විඤ්ඤාණය කෙරෙහි ආත්මය ඇතැයි හෝ නොමදකියිද, විඤ්ඤාණය මම වෙමි. මගේ විඤ්ඤාණයයි මඩනා ලද්දේ නොවේද, විඤ්ඤාණය මම වෙමි. මගේ විඤ්ඤාණයයි නොමඩනා ලද්දාවූ ඔහුගේ ඒ විඤ්ඤාණය වෙනසට පැමිණෙයිද, අන් ආකාරයට පෙරළෙයිද විඤ්ඤාණයාගේ වෙනස්වීම අන් ආකාරයට පෙරළීම හේතු කොටගෙන ඔහුට ශොකය, පරිදෙවය, දුක්ය, දොම්නසය, උපායාසය යන මොවුහු නූපදිත්.

“ගහපතිය, ලෙඩවූ කය ඇත්තේ වුවද , ලෙඩවූ සිත නැත්තේ මෙසේ  වෙයි.

ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ මෙය වදාළේය. සතුටු සිත් ඇත්තාවූ නකුල පිතු ගහපති තෙමේ ආයුෂ්මත්වූ ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේගේ වචනයට සතුටු වූයේය.

(පළමුවෙනි නකුල පිතු සූත්‍රය නිමි.)

English Version

 

Sanyuktha Nikaya

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.