AN 03-11- සම්බොධි වර්‍ගය

ආශ්වාදය ආදීනවය සහ නිස්සරණය 

bhawanaaAN 3.11. 1. පුබ්බෙ සම්බොධා සූත්‍රය 

§1. ’’මහණෙනි, චතුස්සත්‍යය අවබෝධ කිරීමට පෙර , සම්බුද්ධත්වය ප්‍රත්‍යක්ෂ කරන්නට පෙර, බෝධිසත්ත්‍වවූ මාහට මෙසේ සිතිවිල්ලක් ඇති  විය.

  • ලෝකයෙහි ආශ්වාදය කවරේද,
  • ආදීනවය කවරේද,
  • නිස්සරණය කවරේද? කියායි.

’’ඒවිට මට මෙසේ අදහස්විය.
ලෝකයෙහි යමක් නිසා සැපක්, සොම්නසක් උපදීද, එය මේ, ලෝකයෙහි ආශ්වාදයයි.
’’යමක් ලෝකයෙහි අනිත්‍යද, දුකද, වෙනස්වන ස්වභාවය ඇත්තේද, එය මේ, ලෝකයෙහි ආදීනවයයි.
’’ලෝකයෙහි කිසියම් ඡන්‍ද රාගය දුරුකිරීමක්, ඡන්‍ද රාගය පහකිරීමක් වේද, එය මේ ලොකයෙහි නිස්සරණයයි.

§ 2. ’’මහණෙනි, මම, යම් කලක් මෙසේ ලෝකයාගේ ආශ්වාදය, ආශ්වාදය වශයෙනුත්, ආදීනවය, ආදීනව වශයෙනුත්, නිස්සරණය, නිස්සරණය වශයෙනුත් නොදත්තෙම්ද ,
’’මහණෙනි, ඒතාක් කල් මම දෙවියන් සහිතවූ, මරුන් සහිතවූ, බඹුන් සහිතවූ, ලෝකයෙහි මහණ බමුණන් සහිතවූ, දෙවි මිනිසුන් සහිතවූ, සත්ත්‍ව සමූහයා කෙරෙහිද මම උත්තරීතරවූ සම්‍යක් සම්බෝධිය අවබෝධ කෙළෙමි’යි ප්‍රතිඥා නොකෙළෙමි.

§ 3. යම්  කලෙක මෙසේ ලෝකයේ  ආශ්වාදය, ආශ්වාදය වශයෙනුත්, ආදීනවය, ආදීනව වශයෙනුත්, නිස්සරණය, නිස්සරණය වශයෙනුත් අවබෝධ කෙළෙම්ද, මොනවට දැනගත්තෙම්ද,
’’මහණෙනි, ඒතාක් කල් මම දෙවියන් සහිතවූ, මරුන් සහිතවූ, බඹුන් සහිතවූ, ලෝකයෙහි මහණ බමුණන් සහිතවූ, දෙවි මිනිසුන් සහිතවූ, සත්ත්‍ව සමූහයා කෙරෙහිද මම උත්තරීතරවූ සම්‍යක් සම්බෝධිය අවබෝධ කෙළෙමියි’’ප්‍රතිඥා කෙළෙමි.
මගේ අර්හත්ඵල සමාධිය වෙනස්කළ නොහැක.
මේ මාගේ අන්තිම ජාතියයි.
’’දැන් උත්පත්තියක් නැතැයි යන ප්‍රත්‍යවෙක්‍ෂා ඥානය පහළවිය.

AN 3.11.2- අස්සාද පරියෙසන සූත්‍රය

§1. ’’මහණෙනි, මම ලෝකයාගේ ආශ්වාදය සොයනු පිණිස හැසුරුණෙමි.
ලෝකයෙහි යමක් ආශ්වාදය නම් එය අවබෝධ කෙළෙමි.
ලෝකයෙහි යම්තාක් ආශ්වාදය වේද,
එය මා විසින් ප්‍රඥාවෙන් මනාකොට දක්නා ලදී.

§ 2. ’’මහණෙනි, මම ලෝකයාගේ ආදීනව සෙවීමෙහි හැසුරුණෙමි.
යමක් ලෝකයෙහි ආදීනව නම් එය අවබෝධ කෙළෙමි.
ලෝකයෙහි යම්තාක් ආදීනව වේ නම්, එය මා විසින් ප්‍රඥාවෙන් මොනවට දක්නා ලදී.

§ 3. ’’මහණෙනි, මම ලෝකයාගේ නිස්සරණය සෙවීමෙහි හැසුරුණෙමි.
ලෝකයෙහි යමක් නිස්රණය නම් එය අවබෝධ කෙළෙමි.
ලෝකයෙහි යම්තාක් නිස්සරණය වේද, එය මා විසින් ප්‍රඥාවෙන් මනාව දක්නා ලදී.

§ 4. ’’මහණෙනි, මම, යම්තාක් කල් මෙසේ ලෝකයාගේ ආශ්වාදය, ආශ්වාදය වශයෙනුත්, ආදීනවය, ආදීනව වශයෙනුත්, නිස්සරණය, නිස්සරණය වශයෙනුත් නොදන්නෙම්ද,
’’මහණෙනි, ඒතාක් කල් මම දෙවියන් සහිතවූ, මරුන් සහිතවූ, බඹුන් සහිතවූ, ලෝකයෙහි මහණ බමුණන් සහිතවූ, දෙවි මිනිසුන් සහිතවූ, සත්ත්‍ව සමූහයා කෙරෙහිද මම උත්තරීතරවූ සම්‍යක් සම්බෝධිය අවබෝධ කෙළෙමියි ප්‍රතිඥා නොකෙළෙමි.

§ 5. යම්තාක් කල් මෙසේ ලෝකයාගේ ආශ්වාදය, ආශ්වාදය වශයෙනුත්, ආදීනවය, ආදීනව වශයෙනුත්, නිස්සරණය, නිස්සරණය වශයෙනුත් අවබෝධ කෙළෙම්ද, මොනවට දැනගත්තෙම්ද,
’’මහණෙනි, ඒතාක් කල් මම දෙවියන් සහිතවූ, මරුන් සහිතවූ, බඹුන් සහිතවූ, ලෝකයෙහි මහණ බමුණන් සහිතවූ, දෙවි මිනිසුන් සහිතවූ, සත්ත්‍ව සමූහයා කෙරෙහිද මම උත්තරීතරවූ සම්‍යක් සම්බෝධිය අවබෝධ කෙළෙමියි
’’ප්‍රතිඥා කෙළෙමි. මගේ අර්හත්ඵල සමාධිය වෙනස්කළ නොහැක. මේ මාගේ අන්තිම ජාතියයි.
’’දැන් උත්පත්තියක් නැතැයි යන ප්‍රත්‍යවෙක්‍ෂා ඥානය පහළවිය.

AN 3.11. 3- දුතියඅස්සාදසුත්තං

§1. මහණෙනි, ලෝකයෙහි ඉදින් ආශ්වාදයක් නැත්තේ නම්  සත්ත්‍වයෝ ලෝකයෙහි නොඇලෙන්නාහුය. මහණෙනි,   ලෝකයෙහි ඇත්තාවූ  ආශ්වාදය නිසාම මේ  සත්ත්‍වයෝ ලෝකයෙහි ඇලෙත්.

§ 2. මහණෙනි, මේ ලෝකයෙහි ඉදින් ආදීනවයක් නැත්තේ නම් මේ සත්ත්‍වයෝ ලෝකයෙහි නොකලකිරෙන්නාහුය. මහණෙනි, ලෝකයෙහි ආදිනවය ඇත්තේ නිසාම  සත්ත්‍වයෝ ලෝකයෙහි කලකිරෙත්.

§3. මහණෙනි, ඉ දින් ලෝකයෙහි නිස්සරණයක් නැත්තේ නම් සත්ත්‍වයෝ ලෝකයෙන් නික්මෙන්නට අසමත්නො වෙන්නාහුය. . මහණෙනි,  ලෝකයෙහි නිස්සරණයක්  ඇති නිසාම  සත්ත්‍වයෝ ලෝකයෙන් නික්මෙත්.

§ 4. මහණෙනි, සත්ත්‍වයෝ යම්තාක් කල් ආශ්වාදය, ආශ්වාදය වශයෙනුත්, ආදීනවය, ආදීනවය වශයෙනුත්, නිස්සරණය, නිස්සරණය වශයෙනුත්, තත්ත්‍වාකාරයෙන් දැන නොගත්තාහුද, මහණෙනි, ඒ තාක් කල් ’’දෙවියන් සහිතවූ, මරුන් සහිතවූ, බඹුන් සහිතවූ, සත්ත්‍වයෝ ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිතවූ, දෙවි මිනිසුන් සහිතවූ සසරින් සත්වයන් නොනික්මෙති. බැඳෙති. ’

§ 5. ’’මහණෙනි, යම් කලෙක  සත්ත්‍වයෝ ලෝකයාගේ ආශ්වාදය, ආශ්වාදය වශයෙනුත්, ආදීනවය, ආදීනවය වශයෙනුත්. නිස්සරණය, නිස්සරණය වශයෙනුත් තත්ත්‍වාකාරයෙන් දැනගත්තාහුද, එකල්හි සත්ත්‍වයෝ ’’දෙවියන් සහිතවූ, මරුන් සහිතවූ, බඹුන් සහිතවූ ලොකයෙන් ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිතවූ, දෙවි මිනිසුන් සහිතවූ ’’ප්‍රජාව කෙරෙන් නික්මී, නොයෙදී, මිදී, සීමා කරන ලද සිතින් වාසය කරත්.

AN 3.11. 4- සමණබ්‍රාහ්මණසුත්තං

§1. ’’මහණෙනි, යම්  ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක්  හෝ ලෝකයෙහි ආශ්වාදය, ආශ්වාදය වශයෙනුත්, ආදීනවය, ආදීනවය වශයෙනුත්, නිස්සරණය, නිස්සරණය වශයෙනුත්, තත්ත්‍වාකාරයෙන් නොදනිත්ද, මහණෙනි, ඒ ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ ශ්‍රමණයන් කෙරෙහි ශ්‍රමණයයි සම්මත වූවාහු හෝ බ්‍රාහ්මණයන් කෙරෙහි බ්‍රාහ්මණයයි සම්මත වූවාහු හෝ නොවෙත්.

§ 2.  ඒ ආයුෂ්මත්හු ශ්‍රමණ අර්‍ථය හෝ බ්‍රාහ්මණ අර්‍ථය හෝ මේ ආත්මයෙහි තෙමේ විශෙෂ ඥානයෙන් ප්‍රත්‍යක්‍ෂ කොට ඊට පැමිණ වාසය නොකරත්.
’’මහණෙනි, යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ ලෝකයෙහි ආශ්වාදය, ආශ්වාදය වශයෙනුත්, ආදීනවය, ආදීනවය වශයෙනුත්, නිස්සරණය, නිස්සරණය වශයෙනුත්, තත්ත්‍වාකාරයෙන් දැනගනිත්ද, මහණෙනි, ඒ ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ ශ්‍රමණයන් කෙරෙහි ශ්‍රමණයයි සම්මත වූවාහු හෝ බ්‍රාහ්මණයන් කෙරෙහි බ්‍රාහ්මණයයි සම්මත වූවාහු හෝ වෙත්. ඒ ආයුෂ්මත්හු වනාහි ශ්‍රමණාර්‍ථයද, බ්‍රාහ්මණාර්‍ථයද, මේ ආත්මයෙහිම තෙමේ විශෙෂ ඥානයෙන් ප්‍රත්‍යක්‍ෂ කොට ඊට පැමිණ වාසය කරන්නාහුය’’ යි වදාළ සේක

AN 3.11. 5- රුණ්ණමිදං සූත්‍රය

§’මහණෙනි, යම් ගී කීමක් වේ නම්, ඒ ගී කීම ආර්‍ය්‍ය විනයෙහි හැඬීමකි. මහණෙනි, යම් නැටීමක් වෙයි නම්, එය ආර්‍ය්‍ය විනයෙහි උමතුකමකි. මහණෙනි, ප්‍රමාණය ඉක්මවා, දත් විදහා, මහ හඬින් සිනාසීමක් වේද, එය ආර්‍ය්‍ය විනයෙහි බාලයන්ගේ ක්‍රියාවකි.
’’මහණෙනි, එහෙයින් ගී කීමෙහි හේතුව නසව. නැටීමෙහි හේතුව නසව. තොපට සතුටුවිය යුතුවූ යම් කරුණක් ඇතිවූ කල දත් අග දක්නා පමණින් සිනාසීම සුදුසුය.

AN 3.11. 6- නත්‍ථිතිත්ති සූත්‍රය

§’’මහණෙනි, කරුණු තුනක් සේවනය කිරීමෙහි තෘප්තියක් නැත. කවර තුනක්හුගේද යත්.
’’මහණෙනි, නින්‍ද සේවනය කිරීමෙහි තෘප්තියක් නැත. මහණෙනි, සුරාපානය සේවනය කිරීමෙහි තෘප්තියක් නැත. මහණෙනි, මෛථුන ධර්‍මය සේවනය කිරීමෙහි තෘප්තියක් නැත. මහණෙනි, මේ කරුණු තුන සේවනය කිරීමෙහි තෘප්තියක් නැත.’’

AN 3.11. 7- චිත්තරක්ඛණ සූත්‍රය

§
’’එකල්හි අනේපිඬු සිටු තෙමේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එක් පසෙක හිඳගත්තේය. එක් පසෙක හිඳගත් අනේපිඬු ගෘහපතිහට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.
’’ගෘහපතිය, සිත නොරැකි කල්හි කාය කර්‍මයද නොරක්නා ලද්දේය, වාක් කර්‍මයද නොරක්නා ලද්දේය. මනො කර්‍මයද නොරක්නා ලද්දේය.
’’නොරක්නා ලද කාය කර්‍මය ඇති, නොරක්නා ලද වාක් කර්‍මය ඇති, නොරක්නා ලද මනො කර්‍මය ඇති ඔහුගේ කාය කර්‍මයද කෙලෙසුන්ගෙන් තෙත් වූයේ වෙයි. වාක් කර්මයද කෙලෙසුන්ගෙන් තෙත් වූයේ වෙයි. මනො කර්‍මයද කෙලෙසුන්ගෙන් තෙත් වූයේ වෙයි. ඒ තෙත්වූ කාය කර්‍මය ඇති, තෙත්වූ වාක් කර්‍මය ඇති, තෙත්වූ මනො කර්‍මය ඇති, කාය කර්‍මද කුණුවූයේ වෙයි. වාක් කර්‍මද කුණුවූයේ වෙයි. මනො කර්‍මද කුණුවූයේ වෙයි. කුණුවූ කාය කර්ම ඇති, කුණුවූ වාක් කර්‍ම ඇති, කුණුවූ මනො කර්‍ම ඇති ඔහුගේ මරණය යහපත් නොවේ. යහපත් කාලක්‍රියාවක් නොවේ.
’’ ගෘහපතිය, කුළුගෙය මනාව සෙවිලි නොකළ කල්හි මුදුනද නොරැකුණේ වෙයි. පරාළද නොරැකුණාහු වෙති. භික්තිද නොරැකුණාහු වෙති. මුදුනද තෙත්වූයේ වෙයි. පරාලද තෙත්වූවාහු වෙත්. භික්තිද තෙත්වූවාහු වෙත්. මුදුනද කුණුවූයේ වෙයි. පරාලද කුණුවූවාහු වෙත්. භික්තිද කුණුවූවාහු වෙත්.
’’ ගෘහපතිය, එසේම සිත නොරැකි කල්හි කාය කර්‍මද නොරැකුණේ වෙයි. වාක් කර්‍මද නොරැකුණේ වෙයි. මනො කර්‍මද නොරැකුණේ වෙයි. නොරක්නා ලද කාය කර්‍මය ඇති, නොරක්නා ලද වාක් කර්‍මය ඇති, නොරක්නා ලද මනො කර්‍මය ඇති ඔහුගේ කාය කර්‍මයද කෙලෙසුන්ගෙන් තෙත් වූයේ වෙයි. වාක් කර්මයද කෙලෙසුන්ගෙන් තෙත් වූයේ වෙයි. මනො කර්‍මයද කෙලෙසුන්ගෙන් තෙත් වූයේ වෙයි. ඒ තෙත්වූ කාය කර්‍මය ඇති, තෙත්වූ වාක් කර්‍මය ඇති, තෙත්වූ මනො කර්‍මය ඇති, ඔහුගේ කාය කර්මද කුණුනොවූයේ වෙයි. වාක් කර්මද කුණුනොවූයේ වෙයි. මනො කර්මද කුණුනොවූයේ වෙයි. කුණු නොවූ කාය කර්ම ඇති, කුණු නොවූ වාක් කර්ම ඇති, කුණුනොවූ මනො කර්ම ඇති ඔහුගේ මරණය යහපත් වෙයි. කාලක්‍රියාව යහපත් වෙයි.
’’ගෘහපතිය, සිත රැකි කල්හි කායකර්‍මද රැකුණේ වෙයි. වාක්කර්මද රැකුණේ වෙයි. මනොකර්මද රැකුණේ වෙයි. රැකුණ කායකර්ම ඇති, රැකුණ වාක්කර්ම ඇති, රැකුණ මනොකර්ම ඇති ඔහුගේ කායකර්මද තෙත් නොවූයේ වෙයි. වාක්කර්මද තෙත් නොවූයේ වෙයි. මනොකර්මද තෙත් නොවූයේ වෙයි. තෙත්නොවූ කායකර්ම ඇති, තෙත් නොවූ වාක්කර්ම ඇති, තෙත් නොවූ මනොකර්ම ඇති, ඔහුගේ කායකර්මද කුණු නොවූයේ වෙයි. වාක්කර්මද කුණු නොවූයේ වෙයි. මනොකර්‍මද කුණු නොවූයේ වෙයි. කුණු නොවූ කායකර්ම ඇති, කුණු නොවූ වාක්කර්ම ඇති, කුණු නොවූ මනොකර්ම ඇති ඔහුගේ මරණය යහපත් වෙයි. කාලක්‍රියාව යහපත් වෙයි..
’’ ගෘහපතිය, කුළුගෙය මනාව සෙවිලිකළ කල්හි මුදුණද රැකුණේ වෙයි. පරාළද රැකුණේ වෙයි.. භිත්තිද රැකුණේ වෙයි.. මුදුනද තෙත් නොවූයේ වෙයි. පරාලද තෙත් නොවූයේ වෙයි. භික්තිද තෙත් නොවූයේ වෙයි. මුදුනද කුණු නොවූයේ වෙයි. පරාලද කුණු නොවූයේ වෙයි. භික්තිද කුණු නොවූයේ වෙයි.
’’ගෘහපතිය, එසේම සිත රැකි කල්හි කායකර්‍මද රැකුණේ වෙයි. වාක්කර්මද රැකුණේ වෙයි. මනොකර්මද රැකුණේ වෙයි. රැකුණ කායකර්ම ඇති, රැකුණ වාක්කර්ම ඇති, රැකුණ මනොකර්ම ඇති ඔහුගේ කායකර්මද තෙත් නොවූයේ වෙයි. වාක්කර්මද තෙත් නොවූයේ වෙයි. මනොකර්මද තෙත් නොවූයේ වෙයි. තෙත්නොවූ කායකර්ම ඇති, තෙත් නොවූ වාක්කර්ම ඇති, තෙත් නොවූ මනොකර්ම ඇති, ඔහුගේ කායකර්මද කුණු නොවූයේ වෙයි. වාක්කර්මද කුණු නොවූයේ වෙයි. මනොකර්‍මද කුණු නොවූයේ වෙයි. කුණු නොවූ කායකර්ම ඇති, කුණු නොවූ වාක්කර්ම ඇති, කුණු නොවූ මනොකර්ම ඇති ඔහුගේ මරණය යහපත් වෙයි. කාලක්‍රියාව යහපත් වෙයි..

AN 3.11. 8. චිත්ත ව්‍යාපාද සූත්‍රය

 

§එක් පසෙකහුන් අනාථ පිණ්ඩික ගෘහපතිහට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.
’’ගෘහපතිය, සිත දූෂ්‍යවූ කල්හි කායකර්මද දූෂ්‍යවූයේ වෙයි. වාක්කර්මද දූෂ්‍යවූයේ වෙයි. මනොකර්මද දූෂ්‍යවූයේ වෙයි. දූෂ්‍යවූ කායකර්ම ඇති, දූෂ්‍යවූ වාක්කර්ම ඇති, දූෂ්‍යවූ මනොකර්ම ඇති, ඔහුගේ මරණය යහපත් නොවේ. කාලක්‍රියාව යහපත් නොවේ.
’’ගෘහපතිය, කුළුගෙය මනාව සෙවිලි නොකළ කල්හි මුදුනද දූෂ්‍ය වෙයි. පරාලද දූෂ්‍ය වෙත්. භික්තිද දූෂ්‍ය වෙත්.
’’එසේම ගෘහපතිය, සිත දූෂ්‍යවූ කල්හි කායකර්මද දූෂ්‍යවූයේ වෙයි. වාක්කර්මද දූෂ්‍යවූයේ වෙයි. මනොකර්මද දූෂ්‍යවූයේ වෙයි. දූෂ්‍යවූ කායකර්ම ඇති, දූෂ්‍යවූ වාක්කර්ම ඇති, දූෂ්‍යවූ මනොකර්ම ඇති, ඔහුගේ මරණය යහපත් නොවේ. කාලක්‍රියාව යහපත් නොවේ.
’’ගෘහපතිය, සිත දූෂ්‍ය නොවූ කල්හි කායකර්මද දූෂ්‍ය නොවේ. වාක්කර්මද දූෂ්‍ය නොවේ. මනොකර්මද දූෂ්‍ය නොවේ. දූෂ්‍ය නොවූ කායකර්ම ඇති, දූෂ්‍ය නොවූ වාක්කර්ම ඇති, දූෂ්‍ය නොවූ මනොකර්ම ඇති, ඔහුගේ මරණය යහපත් වෙයි. කාලක්‍රියාව යහපත් වෙයි.
’’ගෘහපතිය, කුළුගෙය මනාව සෙවිලි කළ කල්හි මුදුනද දූෂ්‍ය නොවෙයි. පරාලද දූෂ්‍ය නොවෙත්. භික්තිද දූෂ්‍ය නොවෙත්.
’’එසේම ගෘහපතිය, සිත දූෂ්‍ය නොවූ කල්හි කායකර්මද දූෂ්‍ය නොවේ. වාක්කර්මද දූෂ්‍ය නොවේ. මනොකර්මද දූෂ්‍ය නොවේ. දූෂ්‍ය නොවූ කායකර්ම ඇති, දූෂ්‍ය නොවූ වාක්කර්ම ඇති, දූෂ්‍ය නොවූ මනොකර්ම ඇති, ඔහුගේ මරණය යහපත් වෙයි. කාලක්‍රියාව යහපත් වෙයි.

AN 3.11. 9 පඨම කම්ම නිදාන සූත්‍රය

§’මහණෙනි, කර්මයන්ගේ රැස්වීමට හේතු තුනක් වෙත්. කවර තුනක්ද? ලෝභය කර්මයන්ගේ රැස්වීමට හේතුවකි. ද්වේශය කර්මයන්ගේ රැස්වීමට හේතුවකි. මෝහය කර්මයන්ගේ රැස්වීමට හේතුවකි.
’’මහණෙනි, ලෝභයෙන් කරනලද, ලෝභයෙන් උපන්, ලෝභය නිදානකොට ඇති, ලෝභය සමුදයකොට ඇති, යම් කර්මයක් වෙයිද, ඒ කර්මය අකුසලයකි. ඒ කර්මය වරදකි. ඒ කර්මය දුක් විපාක ඇත්තකි. ඒ කර්මය තවත් කර්මයන්ගේ රැස්කිරිම පිණිස පවතියි. ඒ කර්මය කර්ම නැති කිරීම පිණිස නොපවතියි.
’’මහණෙනි, ද්වේශයෙන් කරනලද, ද්වේශයෙන් උපන්, ද්වේශය නිදානකොට ඇති, ද්වේශය සමුදයකොට ඇති, යම් කර්මයක් වෙයිද, ඒ කර්මය අකුසලයකි. ඒ කර්මය වරදකි. ඒ කර්මය දුක් විපාක ඇත්තකි. ඒ කර්මය තවත් කර්මයන්ගේ රැස්කිරිම පිණිස පවතියි. ඒ කර්මය කර්ම නැති කිරීම පිණිස නොපවතියි.
’’මහණෙනි, මෝහයෙන් කරනලද, මෝහයෙන් උපන්, මෝහය නිදානකොට ඇති, මෝහය සමුදයකොට ඇති, යම් කර්මයක් වෙයිද, ඒ කර්මය අකුසලයකි. ඒ කර්මය වරදකි. ඒ කර්මය දුක් විපාක ඇත්තකි. ඒ කර්මය තවත් කර්මයන්ගේ රැස්කිරිම පිණිස පවතියි. ඒ කර්මය කර්ම නැති කිරීම පිණිස නොපවතියි.
’’මහණෙනි, කර්මයන්ගේ රැස්වීම පිණිස හේතු තුනකි. කවර තුනක්ද? අලෝභය කර්මයන්ගේ රැස්වීම පිණිස හේතුවකි. අද්වේශය කර්මයන්ගේ රැස්වීම පිණිස හේතුවකි. අමෝහය කර්මයන්ගේ රැස්වීම පිණිස හේතුවකි.
’’මහණෙනි, අලෝභයෙන් කරනලද, අලෝභයෙන් උපන්, අලෝභය නිදානකොට ඇති, අලෝභය සමුදයකොට ඇති, යම් කර්මයක් වෙයිද, ඒ කර්මය කුසලයකි. ඒ කර්මය නිවරදකි. ඒ කර්මය සැප විපාක ඇත්තකි. ඒ කර්මය කර්ම නැතිකිරිම පිණිස පවතියි. ඒ කර්මය කර්ම රැස් කිරීම පිණිස නොපවතී.
’’මහණෙනි, අද්වේශයෙන් කරනලද, අද්වේශයෙන් උපන්, අද්වේශය නිදානකොට ඇති, අද්වේශය සමුදයකොට ඇති, යම් කර්මයක් වෙයිද, ඒ කර්මය කුසලයකි. ඒ කර්මය නිවරදකි. ඒ කර්මය සැප විපාක ඇත්තකි. ඒ කර්මය කර්ම නැතිකිරිම පිණිස පවතියි. ඒ කර්මය කර්ම රැස් කිරීම පිණිස නොපවතී.
’’මහණෙනි, අමෝහයෙන් කරනලද, අමෝහයෙන් උපන්, අමෝහය නිදානකොට ඇති, අමෝහය සමුදයකොට ඇති, යම් කර්මයක් වෙයිද, ඒ කර්මය කුසලයකි. ඒ කර්මය නිවරදකි. ඒ කර්මය සැප විපාක ඇත්තකි. ඒ කර්මය කර්ම නැතිකිරිම පිණිස පවතියි. ඒ කර්මය කර්ම රැස් කිරීම පිණිස නොපවතී.

AN 3.11. 10 දුතිය කම්මනිදාන සූත්‍රය

§’’මහණෙනි, කර්ම රැස්කිරීම පිණිස හේතු තුනකි. කවර තුනක්ද? මහණෙනි, ඡන්‍ද රාගය ඇතිවීමට හේතුවූ, අතීත කරුණු පිළිබඳව ඡන්‍දරාගය උපදියි. ඡන්‍ද රාගය ඇතිවීමට හේතුවූ, අනාගත කරුණු පිළිබඳව ඡන්‍දරාගය උපදියි. ඡන්‍ද රාගය ඇතිවීමට හේතුවූ, වර්‍තමාන කරුණු පිළිබඳව ඡන්‍දරාගය උපදියි.
’’මහණෙනි, කෙසේ නම් ඡන්‍ද රාගය ඇතිවීමට හේතුවූ අතීත කරුණු පිළිබඳව ඡන්‍ද රාගය උපදියිද? මහණෙනි, ඡන්‍ද රාගය ඇතිවීමට හේතුවූ අතීත කරුණු අරබයා සිතින් ඒ අනුව කල්පනා කරයි. ඒ අනුව සිත හසුරුවයි. ඡන්‍ද රාගය ඇතිවීමට හේතුවූ ඒ අතීත කරුණු අරබයා සිතින් ඒ අනුව කල්පනා කරන්නාවූ, ඒ අනුව සිත හසුරුවන්නාවූ ඔහුට ඡන්‍දය (ආසාව) උපදියි. උපන්නේ ඒ ධර්‍මයන් සමග බැඳුනේ වෙයි. මහණෙනි, චිත්තයාගේ යම් ඇලීමක් වෙයිද, එය මම සංයෝජන (රැහැණ) යයි කියමි. මහණෙනි, මෙසේ වනාහි ඡන්‍ද රාගය ඇතිවීමට හේතුවූ අතීත කරුණු පිළිබඳව ඡන්‍දය ඇතිවෙයි.
’’මහණෙනි, කෙසේ නම් ඡන්‍ද රාගය ඇතිවීමට හේතුවූ අනාගත කරුණු පිළිබඳව ඡන්‍ද රාගය උපදියිද? මහණෙනි, ඒ ඡන්‍ද රාගය ඇතිවීමට හේතුවූ අනාගත කරුණු අරබයා සිතින් ඒ අනුව කල්පනා කරයි. ඒ අනුව සිත හසුරුවයි. ඡන්‍ද රාගය ඇතිවීමට හේතුවූ අනාගත කරුණු අරබයා ඒ අනුව සිතින් කල්පනා කරන්නාවූ, ඒ අනුව සිත හසුරුවන්නාවූ ඔහුට ඡන්‍දය උපදියි. ඡන්‍දය උපන්නේ ඒ ධර්‍මයන් හා බැඳුනේ වෙයි. චිත්තයාගේ යම් ඇලීමක් වෙයිද, එය මම සංයෝජනයයි කියමි. මහණෙනි, මෙසේ වනාහි ඡන්‍ද රාගය ඇතිවීමට හේතුවූ අනාගත කර්‍මයන් කෙරෙහි ඡන්‍දය උපදියි.
’’මහණෙනි, කෙසේ නම් ඡන්‍ද රාගය ඇතිවීමට හේතුවූ වර්‍තමාන ධර්‍මයන් අරබයා ඡන්‍ද රාගය උපදියිද? මහණෙනි, ඡන්‍ද රාගය ඇතිවීමට හේතුවූ වර්‍තමාන ධර්‍මයන් අරබයා සිතින් ඒ අනුව කල්පනා කරයිද, ඒ අනුව සිත හසුරුවයිද, ඡන්‍ද රාගය ඇතිවීමට හේතුවූ වර්‍තමාන ධර්‍මයන් අරබයා සිතින් ඒ අනුව කල්පනා කරන්නාවූ, ඒ අනුව සිත හසුරුවන්නාවූ ඔහුට ඡන්‍දය උපදියි.
’’ඡන්‍දය උපන්නේ ඒ ධර්‍මයන් හා බැඳුනේ වෙයි. චිත්තයාගේ යම් ඇලීමක් වෙයිද, මහණෙනි, එය මම සංයෝජනයයි කියමි. මහණෙනි, මෙසේ වනාහි ඡන්‍ද රාගය ඇතිවීමට හේතුවූ වර්‍තමාන ධර්‍මයන් අරබයා ඡන්‍දය උපදියි. මහණෙනි, මේ තුන කර්‍මයන්ගේ රැස්වීමට හේතු වෙත්.’’
’’මහණෙනි, කර්‍ම රැස් කිරීම පිණිස මේ හේතු තුනකි. කවර තුනක්ද? මහණෙනි,
මහණෙනි, ඡන්‍ද රාගය ඇතිවීමට හේතුවූ, අතීත කරුණු පිළිබඳව ඡන්‍දරාගය නූපදියි. ඡන්‍ද රාගය ඇතිවීමට හේතුවූ, අනාගත කරුණු පිළිබඳව ඡන්‍දරාගය නූපදියි. ඡන්‍ද රාගය ඇතිවීමට හේතුවූ, වර්‍තමාන කරුණු පිළිබඳව ඡන්‍දරාගය නූපදියි.
’’මහණෙනි, කෙසේ නම් ඡන්‍ද රාගය ඇතිවීමට හේතුවූ, අතීත කරුණු පිළිබඳව ඡන්‍දරාගය නූපදීද, ’’මහණෙනි, ඡන්‍ද රාගය ඇතිවීමට හේතුවූ, අතීත කරුණු පිළිබඳව මත්තෙහි විපාකය දනී. මත්තෙහි විපාකය දැන එය බැහැර කරයි. බැහැරකොට, සිතින් අත්හැර මාර්‍ගඥානයෙන් විනිවිද දකී.
’’මහණෙනි, මෙසේ වනාහි ඡන්‍ද රාගය ඇතිවීමට හේතුවූ, අතීත කරුණු නිසා ඡන්‍දරාගය නූපදී.
’’මහණෙනි, කෙසේ වනාහි ඡන්‍ද රාගය ඉපදීමට හේතුවූ, අනාගත කරුණු පිළිබඳව ඡන්‍දරාගය නූපදීද.
’’මහණෙනි, ඡන්‍දරාගය ඉපදීමට හේතුවූ අනාගත කරුණු පිළිබඳව මත්තෙහි විපාකය දනී. මත්තෙහි විපාකය දැන එය බැහැර කරයි. බැහැරකොට, සිතින් අත්හැර මාර්‍ගඥානයෙන් විනිවිද දකී. මහණෙනි, මෙසේ වනාහි ඡන්‍ද රාගය ඇතිවීමට හේතුවූ, අනාගත කරුණු පිළිබඳව ඡන්‍දරාගය නූපදී.
’’මහණෙනි, කෙසේ නම් ඡන්‍ද රාගය ඉපදීමට හේතුවූ, වර්‍තමාන කරුණු පිළිබඳව ඡන්‍දරාගය නූපදීද. මහණෙනි, ඡන්‍ද රාගය ඉපදීමට හේතුවූ, වර්‍තමාන කරුණු පිළිබඳව මත්තෙහි විපාකය දනී. මත්තෙහි විපාකය දැන එය බැහැර කරයි. බැහැරකොට, සිතින් අත්හැර මාර්‍ගඥානයෙන් විනිවිද දකී.
’’මහණෙනි, මෙසේ වනාහි ඡන්‍ද රාගය ඇතිවීමට හේතුවූ, වර්‍තමාන කරුණු පිළිබඳව ඡන්‍දරාගය නූපදී.
’’මහණෙනි, කර්‍ම රැස්කිරීම පිණිස මේ තුන හේතුවේය’’ යි වදාළ සේක

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.