
AN 09- 01-01 සම්බෝධි පක්ඛික සුත්‍රය
“මා විසින් මෙසේ අසන ලදී.
එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටුහු විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩ වසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් කැඳවූහ. භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට, “පින්වතුන් වහන්සැ” යි පිළිතුරු දුන්හ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.
“මහණෙනි, ඉදින් අන් තොටු පිරිවැජියෝ, ‘ඇවැත්නි, සිවුසස් අවබෝධයට හැකිවූ ධර්‍මයන් වැඩීමට කුමක් හේතුවේදැ’ යි ඔබ විචාරන්නාහු නම් ඒ අන් තොටු පිරිවැජියන්ට කුමක් කියන්නහුද?”
“ස්වාමීනි, අපගේ ධර්මයන් භාග්‍යවත්හු මුල්කොට ඇත්තේය. භාග්‍යවත්හු නායකකොට ඇත්තෝය. භාග්‍යවත්හු පිළිසරණ වූවෝය. ස්වාමීනි, මේ කියමනේ අදහස භාග්‍යවතුන් වහන්සේටම වැටහේවා. භාග්‍යවතුන් වහන්සේගෙන් අසා භික්‍ෂූහු දරත්.”
“මහණෙනි, එසේ වි නම් අසව්. මනාකොට මෙනෙහි කරව්. දෙසන්නෙමි.”
“මහණෙනි, ඉදින් අන් තොටු පිරිවැජියෝ සිවුසස් අවබෝධ කරණ ධර්‍මයන්ගේ වැඩීමට කවරක් හේතුවේදැයි විචාරන්නහුද, මහණෙනි, ඔබ එසේ විචාරන්නාවු ඒ අන් තොටු පිරිවැජියන්ට මෙසේ ප්‍රකාශ කරව. ‘ඇවැත්නි, මේ ශාසනයෙහි භික්‍ෂුවක් කලණ මිතුරන් ඇත්තේ වේද, කලණ මිතුරන් යහළුවන් කොට ඇත්තේ වේද, යහපතට නැමුණෙක් වේද, ඇවැත්නි, සිවුසස් අවබෝධ කරණ ධර්‍මයන්ගේ වැඩීමට මේ පළමුවන හේතුව වේ.
“ඇවැත්නි, නැවතද භික්‍ෂුවක් සිල්වත් වේද, පාමොක් සංවරයෙන් සංවරව වසයිද, ආචාරයෙන් හා ගෝචරයෙන් යුක්තව, සුළු වරද පවා බියෙන් දකින සුළුව, සිකපද සමාදන්ව වසයිද, ඇවැත්නි, සිවුසස් අවබෝධ කරණ ධර්‍මයන්ගේ වැඩීමට මේ දෙවන හේතුව වේ.
“ඇවැත්නි, නැවතද භික්‍ෂුවක් කෙලෙස් ලිහිල් කරණ සිතේ ඉඩ ඇති වීමට හේතුවන අප්පිච්ඡ කථාවය, සන්තුට්ඨි කථාවය, උතුම් විවේකයෙහි කථාවය, අසංසග්ග කථාවය, විරියාරම්භ කථාවය, සීල කථාවය, පඤ්ඤා කථාවය, විමුත්ති කථාවය, විමුත්ති ඤාණදස්සන කථාවය යන මෙබඳු කථාවන් නිතර කැමැත්තෙන් ලබන ලද්දේ වේද, නිදුකින් ලැබීම ඇත්තේ වේද, පහසුවෙන් ලැබීම ඇත්තේ වේද, ඇවැත්නි, සිවුසස් අවබෝධ කරණ ධර්‍මයන්ගේ වැඩීමට මේ තුන්වන හේතුව වේ.
“ඇවැත්නි, නැවතද භික්‍ෂුවක් අකුසල් දහම් නැති කිරීමටද, කුසල් දහම් වැඩීමටද, ප්‍රාරම්භ වීර්‍ය්‍යය ඇතුව වසයිද, ශක්තිය ඇත්තෙක් වෙයිද, දැඩි උත්සාහ ඇත්තෙක් වෙයිද, කුසල් දහම් වැඩීමෙහි නොනැවැත්තූ උත්සාහ ඇත්තේ වෙයිද, ඇවැත්නි, සිවුසස් අවබෝධ කරණ ධර්‍මයන්ගේ වැඩීමට මේ සතරවන හේතුව වේ.
“ඇවැත්නි, නැවතද භික්‍ෂුවක් ආරියවූ, සසර කලකිරීමවූ, මනාකොට දුක් කෙළවර කිරීමට පමුණුවන උදයත්‍ථය ගාමිනී නැතිවීම ඇතිවීම දෙක අවබෝධ කරවන ලද නුවණින් යුක්ත වේද, ඇවැත්නි, සිවුසස් අවබෝධ කරණ ධර්‍මයන්ගේ වැඩීමට මේ පස්වන හේතුව වේ.
“මහණෙනි, කලණ යහලුවන් ඇති, යහපතට නැමුණු කලණ මිතුරන් ඇති භික්‍ෂුවට සිල්වත් වන්නෙය. පාමොක් සංවරයෙන් සංවර වන්නේය. ආචාරයෙන් හා ගෝචරයෙන් යුක්තව, සුළු වරද පවා බියෙන් දක්නා සුළුව, ශික්‍ෂා පදයන් සමාදන්ව හික්මෙන්නේය යන මෙය කැමති විය යුතුය.
“මහණෙනි, කලණ යහලුවන් ඇති, යහපතට නැමුණු කලණ මිතුරන් ඇති භික්‍ෂුවක් විසින් සිල්වත් වන්නේය. පාමොක් සංවරයෙන් සංවර වන්නේය. ආචාරයෙන් හා ගෝචරයෙන් යුක්තව, සුළු වරද පවා බියෙන් දක්නා සුළුව, ශික්‍ෂා පදයන් සමාදන්ව හික්මෙන්නේය යන මෙය කැමති විය යුතුය. මහණෙනි, කලණ යහලුවන් ඇති, යහපතට නැමුණු කලණ මිතුරන් ඇති භික්‍ෂුවක් විසින් අකුසල් දහම් නැති කිරීමටද, කුසල් දහම් වැඩීමටද, ප්‍රාරම්භ වීර්‍ය්‍යය ඇතුව වසයි. ශක්තිය ඇත්තෙක් වෙයි. දැඩි උත්සාහ ඇත්තෙක් වෙයි. කුසල් දහම් වැඩීමෙහි නොනැවැත්තූ උත්සාහ ඇත්තෙක් වෙයි යන මෙය කැමති විය යුතුය.
“කලණ යහලුවන් ඇති, යහපතට නැමුණු කලණ මිතුරන් ඇති භික්‍ෂුවට සිල්වත් වන්නෙය. පාමොක් සංවරයෙන් සංවර වන්නේය. ආචාරයෙන් හා ගෝචරයෙන් යුක්තව, සුළු වරද පවා බියෙන් දක්නා සුළුව, ශික්‍ෂා පදයන් සමාදන්ව හික්මෙන්නේය යන මෙය කැමති විය යුතුය. ආරියවූ, නිබ්බෙධිකවූ (සසර කලකිරවන) මනාකොට දුක් කෙළවර කිරීමට පමුණුවන උදයත්‍ථයගාමිනීපඤ්ඤා (ඇතිවීමේ හා නැතිවීමේ තත්ත්‍වය අවබෝධ කරණ නුවණ) යයි කියන ලද නුවණින් යුක්තවේයයි යන මෙය කැමති විය යුතුය.
“මහණෙනි, ඒ භික්‍ෂුව විසින් මුලින් කියන ලද පඤ්ච ධර්මයන්හි පිහිටා තව ධර්ම සතරක් වැඩිය යුතුය, එනම් රාගය නැතිකිරීමට අසුභය වැඩිය යුතුය. ව්‍යාපාදය නැති කිරීමට මෛත්‍රිය වැඩිය යුතුය. විතක්කය නැතිකිරීමට ආනාපානසතිය වැඩිය යුතුය. මමය යන හැඟීම නැතිකිරීමට අනිච්චසඤ්ඤාව වැඩිය යුතුය. මහණෙනි, අනිච්චසඤ්ඤාව ඇති භික්‍ෂුවට අනත්තසඤ්ඤාව පිහිටයි. අනත්තසඤ්ඤාව ඇත්තේ මේ අත්බවම නිවණයයි කියන ලද මමය යන හැඟීම නැති කිරීමට පමුණුවයි.”
AN 09-01-02. නිස්සය සම්පන්න සූත්‍රය
2.-
ඉක්බිති එක්තරා භික්‍ෂුවක් භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක පැත්තක හිඳ භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය කීය.
“ස්වාමීනි, නිස්සය සම්පන්නය, නිස්සය සම්පන්නයයි හෙවත්
(යමක් නිසා ගුණවත්වූවෙකැයි) කියයි.
ස්වාමීනි, කොපමණකින් නිස්සය සම්පන්නයෙක් වේද?”
“භික්‍ෂුවෙනි, ශ්‍රද්‍ධාව නිසා අකුසලය දුරු කරයිද, කුසලය වඩයිද, ඒ නැති කළ අකුසල නැති කළාම වේද, හිරිය (ලජ්ජාව) නිසා ඔත්තප්පය (පවට බිය) නිසා අකුසලය දුරු කරයිද, කුසලය වඩයිද, ඒ නැති කළ අකුසල නැති කළාම වේද, වීර්‍ය්‍යය නිසා අකුසලය දුරු කරයිද, කුසලය වඩයිද, ඒ නැති කළ අකුසල නැති කළාම වේද, ප්‍රඥාව නිසා කුසලය දුරු කරයිද, කුසලය වඩයිද, ඒ නැති කළ අකුසල නැති කළාම වේද, ඒ භික්‍ෂුවගේ නැතිවී ගිය ඒ අකුසලය හොඳින්ම නැතිවී ගියා වේද, ඒ භික්‍ෂුව යමක් ආරිය නුවණින් දැක නැති කළාද,
“භික්‍ෂුවෙනි, ඒ භික්‍ෂුව විසින් මේ පස් ආකාර ධර්මයන්හි පිහිටා ධර්ම සතරක් ඇසුරුකොට වාසය කළ යුතුයි. ඒ සතර ධර්මයෝ කවරහුද? එක කරුණක් නුවණින් දැන සේවනය කරයි. එක කරුණක් නුවණින් දැන ඉවසයි. එක කරුණක් නුවණින් දැන දුරු කරයි. එක කරුණක් නුවණින් දැන නැති කරයි. භික්‍ෂුවෙනි, මෙපමණකින් භික්‍ෂුවක් නිස්සය සම්පන්න වෙයි.”
AN 09-01-03. මෙඝිය සූත්‍රය

§1. මා විසින් මෙසේ අසන ලදී.
එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ චාලිකා නුවර චාලිකා පර්‍වතය සමීපයෙහි ඉදිකර තිබු ආරණ්‍යයෙහි වැඩ වෙසෙති.
§ 2. එකල්හි ඇවැත්වූ මෙඝිය භික්‍ෂුව භාග්‍යවතුන් වහන්සේගේ උපස්ථායක විය. ඒ කාලයෙහි දිනක පෙරවරු කාලයෙහි මෙඝිය භික්‍ෂුව භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිට . ’’ස්වාමිනි, මම ජන්තුගම පිඬු පිණිස යාමට කැමැත්තෙමි’’ යැයි කීය. “කැමැත්තක් කරව” යැයි භාග්‍යවතුන් වහන්සේ පිළිවදන් දුන් සේක.
§ 3. එසේ අවසර ගත් මෙඝිය භික්‍ෂුව සිවුරු හැඳ පොරවා, පාත්‍ර සිවුරු ගෙන ජන්තු ගමට පිඬු පිණිස ගොස්, පිණ්ඩපාතයෙන් පසු, කිමිකාලා නම් ගං ඉවුර වෙත පැමිණියේය. මේඝිය භික්ෂුන් ගංතෙර ඔබ මොබ ඇවිදින්නේ, ඉතා සිත්කලු අඹ උයනක් දැක්කේ මෙබඳු සිතක් උපන්නේය.
’මේ අඹ උයන ඉතා සිත්කලුය. කෙලෙස් නැසීමට උත්සාහ කරණ කෙනෙකුට මෙහි භාවනා කිරීම බොහෝ ප්‍රයෝජනවත්ය. ඉදින් භාග්‍යවතුන් වහන්සේ කැමතිවන සේක් නම් මම ඒ අඹ උයනට ගොස් පධන් වීර්‍ය්‍යය (කෙලෙස් තවන වීර්‍ය්‍යය) වඩන්නෙම් ’ යි සිතීය.
§4. ඉක්බිති මේඝිය තෙර භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එක පැත්තක හිඳ මෙසේ කීය. ’’ස්වාමීනි, මම මෙහි පෙරවරු කල ජන්තුගම පිඬු පිණිස ගොස් , එද්දී කිමිකාලා නම් ගං ඉවුර ඇවිදින විට, ඉතා සිත්කලු අඹ උයනක් දුටුයෙමි. ඒ අඹ උයන දැක මට මෙබඳු සිතක් ඇතිවිය. ’කෙලෙස් නැසීමට කරණ උත්සාහයෙන් ප්‍රයෝජනය ඇති කුලපුතෙකුට මේ අඹ උයන ඉතා ප්‍රයෝජනවත්ය. ඉදින් භාග්‍යවතුන් වහන්සේ අවසර දෙන්නේ නම් එම අඹ උයනට ගොස් පධන් වීර්‍ය්‍යය (කෙලෙස් තවන වීර්‍ය්‍යය) යොදා භාවනා කරන්කිනෙමි” යි කියායි. එසේ එහි ගොස් භාවනාවෙහි යෙදීමට ඔබවහන්සේගේ අවසරය ලැබේවා.” යි කීය.
’’මෙඝිය, එම අදහස මඳක් කල් දමව. මා මෙහි තනිව දමා යාම සුදුසු නොවේ. අනික් භික්‍ෂුවක් මෙහි එනතුරු පමා වෙව” යි භාග්‍යවතුන් වහන්සේ වදාළහ.’’
§5. දෙවනුවද, ඇවැත් මේඝිය භික්‍ෂුව භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය. ’’ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේට මේ භවයේදී කල යුතු අන් දෙයක් ඉතිරිව නැත. අනාගතය වෙනුවන් කළ යුතු කිසිම දෙයක් ඉතිරිව නැත. එනමුත් ස්වාමීනි, මට මේ ජීවිතයේදී ශරීරය පිළිබඳව මත්ත ගැන කළයුතු දෙයකුත් ඇත.. කළ දෙය පිළිබඳව සකස් කළ යුතු තැන්ද ඇත. ඉදින් මට භාග්‍යවතුන් වහන්සේ අනුදන්නා සේක් නම් පධන් වීර්‍ය්‍යය කිරීමට අඹ වනයට යන්නෙමි’’ යි (කීය.)
’’මෙඝිය, මඳක් පමා වෙව. මා මෙහි තනිව දමා යාම සුදුසු නොවේ. අනික් භික්‍ෂුවක් මෙහි එනතුරු පමා වේව” යි භාග්‍යවතුන් වහන්සේ වදාළහ ’’
. තුන්වෙනුවද, මේඝිය භික්‍ෂුව භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය කීය. ’’ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේට මේ ශරීරය පිළිබඳව මත්ත ගැන කළ යුතු දෙයක් නැත. කළ දෙයක් පිළිබඳව සකස්කළ යුතු තැනක්ද නැත. ස්වාමීනි, මට නම් මේ ශරීරය පිළිබඳව මත්ත ගැන කළයුතු දෙයකුත්, ඇත. කළ දෙය පිළිබඳව සකස් කළ යුතු තැන්ද ඇත. ඉදින් මට භාග්‍යවතුන් වහන්සේ අනුදන්නා සේක් නම් පධන් වීර්‍ය්‍යය කිරීමට අඹ වනයට යන්නෙමි’’ යි (සිතීය.)
’’’’මෙඝිය, මඳක් පමා වෙව. මා මෙහි තනිව දමා යාම සුදුසු නොවේ. අනික් භික්‍ෂුවක් මෙහි එනතුරු පමා වේව” යි භාග්‍යවතුන් වහන්සේ වදාළහ ’’
§3. ’’මෙඝිය, ඔබ යමකට හෙවත් යම් පධන් වීර්‍ය්‍යයකට කල් ඉල්ලන්නේද, ඒ ’පධාන වීර්‍ය්‍යය’ යි යමෙක් යමකට කියයි නම් ඒ කුමකට කියයිද?
ඉක්බිති ඇවැත්වූ මෙඝිය භික්‍ෂුව හුනස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට ඒ අඹ වනය ට පැමිණ එක්තරා රුකක් මුල දහවල් කල් ගත කිරීමට හුන්නේය. එසේ ඒ අඹ වනයෙහි වාසය කරන්නාවූ මෙඝිය භික්‍ෂුවට කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක යන අකුසල් විතක්ක (කල්පනා) තුන්දෙනෙක් සිතේ ඇතිවන්නට වූහ.
§4 ඉක්බිති ඇවැත්වූ මෙඝිය භික්‍ෂුවට මේ සිත ඇතිවිය. “ආශ්චර්‍ය්‍යයෙක, පුදුමයෙක, මම ගිහිගෙන් නික්ම සස්නෙහි සැදැහැයෙන් පැවිදිවීමි. නමුත් කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක යන තුන් සිතිවිලිවලින් ගැවසී ගත්තේය”.
ඉක්බිති මෙඝිය භික්‍ෂුව භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹ, උන්වහන්සේ වැඳ, එක පැත්තක හිඳ භාග්‍යවතුන් වහන්සේට මේ කරුණ කීය.
’’ස්වාමීනි, ඒ අඹ උයනෙහි වසන මට අකුසල විතක්ක හෙවත් අකුසල කල්පනාවන් තුන් දෙනෙක් සිතේ හටගත්හ. ඔහු කවරහුද? කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක යන තුණය. ස්වාමීනි, එවිට මට මෙබඳු අදහසක් ඇතිවිය. ආශ්චර්‍ය්‍යයෙකි. පුදුමයෙකි. මම සැදැහැයෙන් ගිහිගෙන් නිකම සස්නෙහි පැවිදිවීමි. නමුත් මම කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක යන තුන් ආකාර විතර්කයන්ගේන් ගැවසිගත්තේ වෙමි.’’
§ 5 . ’’මෙඝියය,
සිත අකුසලයන්ගෙන් මිදීම සිදු නොවූ කල්හි එය වීමට (සිත අකුසලයෙන් මුදවීමට) ආධාර වන
ධර්‍ම යෝ පසක් වෙත්.
ඒ පස කවරහුද?
- කල්‍යාණ මිත්ත සම්පත්ති
මේඝියෙනි, භික්‍ෂුවක් මේ ලෝකයෙහි කලණ මිතුරන් ඇත්තේ වේද, කලණ යහලුවන් ඇත්තේ වේද, යහපතට නැමුනේ වේද, මේඝියෙනි, නොමේරූ චිත්ත විමුක්තිය මේරීම පිණිස මෙය පළමුවන ධර්‍මය සේ පවතී. - සීල සම්පතති
’නැවතද, මේඝියෙනි, භික්‍ෂුවක් සිල්වත් වේද, පාමොක් සංවරයෙන් සංවර වේද, ආචාරයෙන් හා ගෝචරයෙන් යුක්තවේද, සුළු වරද පවා බියෙන් දක්නා සුළුව, සිකපද සමාදන්ව වාසය කරයිද, මේඝියෙනි, නොමේරූ චිත්ත විමුක්තිය මේරීම පිණිස මෙය දෙවන ධර්‍මය ව පවතී. - කථා සම්පතති
’’නැවතද, මේඝියෙනි, භික්‍ෂුවක් කෙලෙස් ලිහිල් කරණ, සිතේ ඉඩ ඇතිකිරීමට හේතුවන, යම් කථාවෝ වෙත්ද, ඔහු කවරහුද? අප්පිච්ඡ කථාවය, සන්තුට්ඨි කථාවය, උතුම් විවේකයෙහි කථාවය, අසංසග්ග කථාවය, විරියාරම්භ කථාවය, සීල කථාවය, පඤ්ඤා කථාවය, විමුත්ති කථාවය, විමුත්ති ඤාණදස්සන කථාවය යන මෙබඳු කථාවන් නිතර කැමැත්තෙන් ලබන ලද්දේ වේද, නිදුකින් ලැබීම ඇත්තේ වේද, පහසුවෙන් ලැබීම ඇත්තේ වේද, මේඝියෙනි, නොමේරූ චිත්ත විමුක්තියගේ මේරීම පිණිස මෙය තුන්වන ධර්‍මයක්ව පවතී.
- වීර්යය
’’මේඝියෙනි, නැවතද භික්‍ෂුවක් අකුසල් දහම් නැති කිරීමටද, කුසල් දහම් වැඩීමටද, ප්‍රාරම්භ වීර්‍ය්‍යය ඇතුව වසයිද, ශක්තිය ඇත්තෙක් වෙයිද, දැඩි උත්සාහ ඇත්තෙක් වෙයිද, කුසල් දහම් වැඩීමෙහි නොනැවැත්තූ උත්සාහ ඇත්තේ වෙයිද, මේඝියෙනි, නොමේරූ චිත්ත විමුක්තිය මේරීම පිණිස, මෙය සතරවන ධර්මයව පවතී. ප්‍රඥා සම්පත්ති
’’නැවතද මේඝියෙනි භික්‍ෂුවක් ආරියවූ, සසර කලකිරීමවූ, මනාකොට දුක් කෙළවර කිරීමට පමුණුවන උදයත්‍ථය ගාමිනී නැතිවීම ඇතිවීම දෙක අවබෝධ කරවන ලද නුවණින් යුක්ත වේද, මේඝියෙනි, නොමේරූ චිත්ත විමුක්තිය මේරීම පිණිස, මෙය පස්වන ධර්මයව පවතී.
§ 6 ’’මේඝියෙනි, කලණ මිතුරන් ඇති, කලණ යහලුවන් ඇති, යහපතට නැමුණු කලණ මිතුරන් ඇති විට භික්‍ෂුවට සිල්වත් වන්නෙය. පාමොක් සංවරයෙන් සංවර වන්නේය. ආචාරයෙන් හා ගෝචරයෙන් යුක්තව, සුළු වරද පවා බියෙන් දක්නා සුළුව, ශික්‍ෂා පදයන් සමාදන්ව හික්මෙන්නේය..
මේඝියෙනි, එසේ කලණ යහලුවන් ඇති, යහපතට නැමුණු කලණ මිතුරන් ඇති භික්‍ෂුව සිල්වත් ව. පාමොක් සංවරයෙන් යුක්ත වන්නේ, ආචාරයෙන් හා ගෝචරයෙන් යුක්ත වන්නේ , සුළු වරද පවා බියෙන් දක්නා සුළුව, ශික්‍ෂා පදයන් සමාදන්ව හැසිරෙන භික්ෂුව විමුක්ති මාර්ගයට හේතුවන උදව් වන කථා සල්ලාපයම පමණක් ප්‍රිය කරන්නේය.
මේඝියෙනි, එසේ කලණ මිතුරන් ලැබ සීලයෙහි පිහිටා විමුක්ති කථාවෙහි යෙදෙන භික්සුවට උපන් අකුසල් දුරු කිරීමට උපන් කුසල් දියුණු කිරීමට හේතුවන සම්‍යක් පධාන වීරිය ඇති වන්නේය. ප්‍රාරම්භ වීර්‍ය්‍යය ඇතුව වසයි. ශක්තිය ඇත්තෙක් වෙයි. දැඩි උත්සාහ ඇත්තෙක් වෙයි. කුසල් දහම් වැඩීමෙහි නොනැවැත්තූ උත්සාහ ඇත්තෙක් වෙයි .
§ 7 ’’මේඝියෙනි, කලණ මිතුරන් ඇති, කලණ යහලුවන් ඇති, යහපතට නැමුණු භික්‍ෂුවක් විසින්, ආර්‍ය්‍යවූ, නිබ්බෙධික (සසර කලකිරවන) මනාකොට දුක් කෙලවර කිරීමට පමණුවන, උදයත්‍ථ ගාමිණීපඤ්ඤාවෙන් යුක්තවූවෙක් වන්නේය
. මේඝියෙනි ඒ භික්‍ෂුව විසින් මේ පස් ආකාර ධර්මයන්හි පිහිටා සතර ධර්‍ම කෙනෙක් මත්තෙහි වැඩිය යුතු.
§‘‘තෙන ච පන, මෙඝිය, භික්ඛුනා ඉමෙසු පඤ්චසු ධම්මෙසු පතිට්ඨාය චත්තාරො ධම්මා උත්තරි භාවෙතබ්බා – අසුභා භාවෙතබ්බා රාගස්ස පහානාය, මෙත්තා භාවෙතබ්බා බ්‍යාපාදස්ස පහානාය, ආනාපානස්සති භාවෙතබ්බා විතක්කුපච්ඡෙදාය, අනිච්චසඤ්ඤා භාවෙතබ්බා අස්මිමානසමුග්ඝාතාය. අනිච්චසඤ්ඤිනො, මෙඝිය, අනත්තසඤ්ඤා සණ්ඨාති. අනත්තසඤ්ඤී අස්මිමානසමුග්ඝාතං පාපුණාති දිට්ඨෙව ධම්මෙ නිබ්බාන’’න්ති. තතියං.
- රාගය නැති කිරීමට අසුභය වැඩිය යුතු.
- ව්‍යාපාදය නැති කිරීමට මෛත්‍රිය වැඩිය යුතු.
- විතක්කය නැති කිරීමට ආනාපාන සතිය වැඩිය යුතු.
- අස්මී මානය (මමය යන හැඟිම) නැති කිරීමට අනිච්ච සඤ්ඤාව වැඩිය යුතු.
- මේඝියෙනි, අනිච්ච සඤ්ඤාව ඇත්තාහට අනත්ත සඤ්ඤාව පිහිටයි.
- අනත්ත සඤ්ඤාව ඇත්තේ මේ ආත්මයේදීම නිවන් ලැබීමයයි කියන අස්මීමානය (මමය යන හැඟීම) නැති කිරීමට පමුණුවයි.’’
AN 09-01-04. නන්‍දකසම්පන්න සූත්‍රය
“එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර අසල, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වැඩ වසති. එකල්හි ආයුෂ්මත් නන්‍දක තෙර, උපට්ඨාන ශාලාවෙහි භික්‍ෂූන්ට දැහැමි කථාවෙන් කරුණු දක්වයි. දැහැමි කථාවට සමාදන් කරවයි. දැහැමි කථාවෙන් සිත තියුණු කරවයි. දැහැමි කථාවෙන් සිත සතුටු කරවයි. එකල්හි භාග්‍යවතුන් වහන්සේ සවස් කාලයෙහි ඵල සමවතින් නැගිට, උපට්ඨාන ශාලාවට පැමිණියහ. ඒ උපට්ඨාන ශාලාවට පැමිණ, නන්‍දක තෙරුන්ගේ කථා අවසානය බලාපොරොත්තු වෙමින් දොරටුවෙන් පිට සිටියහ.
“ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ නන්‍දක තෙරුන්ගේ කථාව අවසන්වූ බව දැන, උකැස (කාරා) යතුර තියෙන තැනට තට්ටු කළහ. එකල භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට දොර හළහ. එකල භාග්‍යවතුන් වහන්සේ රැස්වීම් ශාලාවට පැමිණ, පනවන ලද අසුන්හි වැඩ හුන්හ. භාග්‍යවතුන් වහන්සේ වැඩ හිඳ, ආයුෂ්මත් නන්‍දක තෙරුන්ට මෙසේ කීහ.
“නන්‍දකය, භික්‍ෂූන්ට කළ ඔබගේ දැහැමි කථාව දිගය. ඒ කථාවේ අවසානය බලාපොරොත්තු වෙමින් දොරටුවෙන් පිටත සිටි මාගේ පිටේ රුදාව සෑදුනේය.” මෙසේ වදාළ කල්හි ආයුෂ්මත් නන්‍දක තෙර ඉතා කණගාටු ස්වභාවයට පැමිණ භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය කීය. “ස්වාමීනි, අපි භාග්‍යවතුන් වහන්සේ දොරටුවෙන් පිට සිටින බවක් නොදන්නෙමු. ඉදින් අපි භාග්‍යවතුන් වහන්සේ දොරටුවෙන් පිට සිටින බවක් දන්නෙමු නම් එතරම් කථාව දික් නොකරන්නෙමු.”
“ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ නන්‍දක තෙර කණගාටුවට පැමිණි බව දැන, ආයුෂ්මත් නන්‍දක තෙරුන්ට මේ කාරණය කීහ. “නන්‍දකය, සාධු, සාධු, ඔබ වැනි අය දැහැමි කථාවකින් යුක්තව හින්නහුද? සැදැහැයෙන් ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදිවූ ඔබ වැනි කුල පුතුන්ට මෙය ඉතාම සුදුසුය. නන්‍දකය, රැස්වූවන් විසින් දෙකක් කළ යුතුය. එනම්, දැහැමි කථාව හෝ උතුම් නිශ්ශබ්ද බවයි. නන්‍දකය, භික්‍ෂුවක් සැදැහැ ඇත්තෙක්ව සිල්වත් නොවෙයිද, එසේ ඔහු ඒ කරුණෙන් සම්පූර්‍ණ නොවූවෙක් වෙයි. ඔහු විසින්, ‘මම සැදැහැවතෙක් සහ සිල්වතෙක් වූයෙම්දැ’ යි කියා ඒ කරුණ සම්පූර්‍ණ කළ යුතුය. නන්‍දකය, යම් හෙයකින් ඒ භික්‍ෂුව සැදැහැවතෙක් සහ සිල්වතෙක් වූයේද, එසේ ඒ භික්‍ෂුව සැදැහැවතෙක් සහ සිල්වතෙක් වූයේ වෙයිද, ඒ භික්‍ෂුව ඒ කරුණෙන් සම්පූර්‍ණ වූයෙක් වෙයි. නන්දකය, යම් හෙයකින් භික්‍ෂුවක් සැදැහැවතෙක් සහ සිල්වතෙක්වද, සිත පිළිබඳ චෙතො සමථයාගේ ලැබීම ඇත්තෙක් නොවේද, මෙසේ ඔහු ඒ කරුණෙන් සම්පූර්‍ණ නොවූයෙක් වෙයි. ඒ භික්‍ෂුව විසින් ‘කිම මම සැදැහැවතෙක් හා සිල්වතෙක් වීමි. සිත පිළිබඳ සිත කෙලෙස්වලින් සංසිඳවීම් ලැබීම ඇත්තෙක් නොවූයෙමි’ යි ඒ කරුණ සම්පූර්‍ණ කළ යුතුය. නන්දකය, භික්‍ෂුවක් සැදැහැවතෙක් සහ සිල්වතෙක්ව සිත පිළිබඳ චෙතො සමථයාගේ ලැබීම ඇත්තෙක් වෙයිද, ඔහු මෙසේ ඒ කරුණෙන් සම්පූර්‍ණ වූයෙක් වෙයි.
“නන්දකය, භික්‍ෂුවක් සැදැහැවතෙක්ව, සිල්වතෙක්ව, සිත පිළිබඳ චෙතො සමථයාගේ ලැබීම ඇත්තෙක්ව, අධිපඤ්ඤා ධම්ම විපස්සනාවගේ (මග ඵල දහමකගේ) ලැබිම ඇත්තෙක් නොවෙයිද, මෙසේ ඒ භික්‍ෂුව ඒ කරුණෙන් සම්පූර්‍ණ නොවූයෙක් වෙයි.
“නන්දකය, යම් සේ සිවුපා සතෙකුගේ එක පාදයක් කොට වේද, ඔහු ඒ කොටසෙන් සම්පූර්‍ණ නොවූයෙක් වන්නේද, නන්දකය, එමෙන් භික්‍ෂුවක් සැදැහැවතෙක් වෙයිද, සිල්වතෙක් වෙයිද, සිත පිළිබඳ චෙතො සමථයාගේ ලැබීම ඇත්තෙක් වෙයිද, අධිපඤ්ඤා ධම්ම විපස්සනාව (මග ඵල) නොලැබිම ඇත්තෙක් වෙයිද, ඔහු ඒ කරුණෙන් සම්පූර්‍ණ නොවූයෙක් වෙයි. ඔහු විසින් ඒ කරුණ සම්පූර්‍ණ කළයුතු (කෙසේද?) ‘මම සැදැහැවතෙක් විමි. සිල්වතෙක් වීමි. සිත පිළිබඳ චෙතො සමථයාගේ ලැබීම ඇත්තෙක් වීමි. නමුත් අධිපඤ්ඤා ධම්ම විපස්සනාවගේ ලැබීම ඇත්තෙක් නොවීමි.’ (කියායි.) නන්දකය, යම් හෙයකින් භික්‍ෂුවක් සැදැහැවතෙක් වේද, සිල්වතෙක් වේද, සිත පිළිබඳ චෙතො සමථයාගේ ලැබීම ඇත්තෙක් වේද, අධිපඤ්ඤා ධම්ම විපස්සනාවගේ ලැබිම ඇත්තෙක් වේද, එහු ඒ කරුණෙන් සම්පූර්‍ණ වූයෙක් වෙයි.” භාග්‍යවතුන් වහන්සේ මේ සූත්‍රය දේශනා කොට ආසනයෙන් නැගිට විහාරයට වැඩියහ.
“ඉක්බිති ආයුස්මත් නන්‍දක භික්‍ෂුව භාග්‍යවතුන් වහන්සේ වැඩිය නොබෝ වේලාවකින් භික්‍ෂූන් අමතා, “ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ ‘නන්‍දකය, භික්‍ෂුවක් සැදැහැවතෙක් වේද, ඒ භික්‍ෂුව ඒ කරුණෙන් සම්පූර්‍ණ වූයෙක් වේය (යනාදි වශයෙන්) කරුණු සතරකින් සියල්ලෙන් සම්පූර්ණ පිරිසිදු බඹසර (සාසනය) ප්‍රකාශ කොට ආසනයෙන් නැගිට විහාරයට වැඩියහ.”
“ඇවැත්නි, සුදුසු කල ධර්‍ම සාකච්ඡාවෙහි අනුසස් පසෙකි. ඒ පස කවරහුද? මහණෙනි, මේ සාසනයෙහි භික්‍ෂුවක් මුල යහපත්වූ, මැද යහපත්වු, අවසානය යහපත්වූ, අර්ත්‍ථ සහිත, ව්‍යඤ්ජන (අකුරු) සහිත, සියලු ආකාරයෙන් සම්පූර්‍ණ, පිරිසිදු බඹසර ප්‍රකාශ කරයිද, ඇවැත්නි, භික්‍ෂුවක්, භික්‍ෂූන්ට යම් යම් පරිද්දෙකින් මුල යහපත්වූ, මැද යහපත්වු, අවසානය යහපත්වූ, අර්ත්‍ථ සහිත, ව්‍යඤ්ජන (අකුරු) සහිත, සියලු ආකාරයෙන් සම්පූර්‍ණ, පිරිසිදු බඹසර ප්‍රකාශ කරයිද, ඒ ඒ පරිද්දෙන් ඔහුට ශාස්තෲහු හෙවත් අනුශාසක තෙම ප්‍රිය මනාප, ගරු භාවනීය වෙයි. ඇවැත්නි, සුදුසු කල දහම් ඇසීමෙහි හා ධර්ම සාකච්ඡාවෙහි මේ පළමුවන ආනිසංසයයි.
“ඇවැත්නි, නැවතද භික්‍ෂුවක් භික්‍ෂූන්ට මුල යහපත්වූ, මැද යහපත්වු, අවසානය යහපත්වූ, අර්ත්‍ථ සහිත, ව්‍යඤ්ජන (අකුරු) සහිත, සියලු ආකාරයෙන් සම්පූර්‍ණ, පිරිසිදු බඹසර ප්‍රකාශ කරයිද, ඒ ඒ පරිද්දෙන් භික්‍ෂුව ඒ ධර්මයෙහි අර්ථය දන්නේ වේද, ධර්මය දන්නේ වේද, මේ සුදුසු කල දහම් ඇසීමෙහි හා ධර්ම සාකච්ඡාවෙහි දෙවන ආනිසංසයයි.
“ඇවැත්නි, නැවතද භික්‍ෂුවක් භික්‍ෂූන්ට මුල යහපත්වූ, මැද යහපත්වු, අවසානය යහපත්වූ, අර්ත්‍ථ සහිත, ව්‍යඤ්ජන (අකුරු) සහිත, සියලු ආකාරයෙන් සම්පූර්‍ණ, පිරිසිදු බඹසර ප්‍රකාශ කරයිද, ඇවැත්නි, භික්‍ෂුවක් භික්‍ෂූන්ට යම් පරිද්දෙකින් මුල යහපත්වූ, මැද යහපත්වු, අවසානය යහපත්වූ, අර්ත්‍ථ සහිත, ව්‍යඤ්ජන (අකුරු) සහිත, සියලු ආකාරයෙන් සම්පූර්‍ණ, පිරිසිදු බඹසර ප්‍රකාශ කරයිද, ඒ ඒ පරිද්දෙන් ඒ භික්‍ෂුව ඒ ධර්මයෙහි ගැඹුරු අරුත් පද නුවණින් විමසා බලයිද, ඇවැත්නි, මේ සුදුසු කල දහම් ඇසීමෙහි හා ධර්ම සාකච්ඡා කිරීමෙහි තුන්වන ආනිසංසයයි.
“ඇවැත්නි, නැවතද භික්‍ෂුවක් භික්‍ෂූන්ට මුල යහපත්වූ, මැද යහපත්වු, අවසානය යහපත්වූ, අර්ත්‍ථ සහිත, ව්‍යඤ්ජන (අකුරු) සහිත, සියලු ආකාරයෙන් සම්පූර්‍ණ, පිරිසිදු බඹසර ප්‍රකාශ කරයිද, ඇවැත්නි, භික්‍ෂුවක් භික්‍ෂූන්ට යම් පරිද්දෙකින් මුල යහපත්වූ, මැද යහපත්වු, අවසානය යහපත්වූ, අර්ත්‍ථ සහිත, ව්‍යඤ්ජන (අකුරු) සහිත, සියලු ආකාරයෙන් සම්පූර්‍ණ, පිරිසිදු බඹසර ප්‍රකාශ කරයිද, ඒ ඒ පරිද්දෙන් හෙවත් ඒ දෙසූ ආකාරයෙන් ඒ සබ්‍රම්සරු (භික්‍ෂූහු) පසුවත් ඒකාන්තයෙන් මේ ආයුෂ්මත් තෙම මග පල පැමිණියෙක් හෝ පැමිණීමට බලාපොරොත්තු වූයෙක් හෝ වේයයි වර්‍ණනා කරත්. ඇවැත්නි, මේ සුදුසු කල දහම් ඇසීමෙහි හා ධර්ම සාකච්ඡාවෙහි සතරවන ආනිසංසයයි.
“නැවතද, ඇවැත්නි, භික්‍ෂුවක් භික්‍ෂූන්ට මුල යහපත්වූ, මැද යහපත්වු, අවසානය යහපත්වූ, අර්ත්‍ථ සහිත, ව්‍යඤ්ජන (අකුරු) සහිත, සියලු ආකාරයෙන් සම්පූර්‍ණ, පිරිසිදු බඹසර ප්‍රකාශ කරයිද, ඇවැත්නි, යම් යම් පරිද්දෙකින් භික්‍ෂුවක් භික්‍ෂූන්ට මුල යහපත්වූ, මැද යහපත්වු, අවසානය යහපත්වූ, අර්ත්‍ථ සහිත, ව්‍යඤ්ජන (අකුරු) සහිත, සියලු ආකාරයෙන් සම්පූර්‍ණ, පිරිසිදු බඹසර ප්‍රකාශ කරයිද, ඒ ඒ තන්හි සේඛ (රහත් බවට නොපැමිණි, රහත් බව පතමින් වාසය කරණ) භික්‍ෂූහු වෙත්ද, ඒ භික්‍ෂූහු ඒ ධර්‍මය අශ්‍ර නොපැමිණි රහත් බවට පැමිණීම පිණිස, අවබෝධ නොකළ ධර්‍මය අවබෝධ කිරීම පිණිස, ප්‍රත්‍යක්‍ෂ නොකළ ධර්‍මය ප්‍රත්‍යක්‍ෂ කිරීම පිණිස, වීර්‍ය්‍ය කරත්. එහි යම් රහත්වූ, ආසවයන් නැතිකළ, බඹසර වැස නිමවූ, සතර මාර්‍ගයෙන් කළ යුතු කෘත්‍ය කළ, ස්කන්‍ධාදී බර බහා තැබූ, ස්වාර්ත්‍ථවූ රහත් බවට පැමිණි, භව බන්ධන නැති කළ, මනාකොට දැන සසරින් මිදුනු රහත්හු වෙත්ද, ඔවුහු ඒ ධර්මය අසා මේ අත්බැව්හි සැප විහණෙයෙහි යෙදී වසත්. ඇවැත්නි, මේ සුදුසු කල දහම් ඇසීමෙහි හා ධර්ම සාකච්ඡාවෙහි පස්වන ආනිසංසයයි. ඇවැත්නි, මේ සුදුසු කල දහම් ඇසීමෙහි හා ධර්ම සාකච්ඡාවෙහි අනුසස් පස වේ.”
AN 09-01-05. බලසඞ්ගහවත්‍ථු සූත්‍රය
“මහණෙනි, මේ බල සතර දෙනෙකි. කවර සතරක්ද? පඤ්ඤා බලය, විරිය බලය, අනවජ්ජ බලය, සඞ්ගහ බලය යන සතරයි.
“මහණෙනි, පඤ්ඤා බලය කවරිද? අකුසල්වූ, අකුසල නම් වූ, යම් ධර්ම කෙනෙක් වෙත්ද? කුසල්වූ, කුසල නම් මේ ධර්ම කෙනෙක් වෙත්ද, සාවද්‍ය (වැරදි සහිත) සාවද්‍ය නම් යම් ධර්ම කෙනෙක් වෙත්ද, අනවද්‍ය (වැරදි නැති) අනවද්‍ය නම් යම් ධර්ම කෙනෙක් වෙත්ද, කණ (කලු) කණ නම් යම් ධර්ම කෙනෙක් වෙත්ද, සුක්ක (සුදු) සුක්ක නම් යම් ධර්ම කෙනෙක් වෙත්ද, අසෙවිතබ්බ (සේවනය නොකළ යුතු) අසෙවිතබ්බ නම් යම් ධර්ම කෙනෙක් වෙත්ද, සෙවිතබ්බ (සේවනය කළ යුතු) සෙවිතබ්බ නම් යම් ධර්ම කෙනෙක් වෙත්ද, නාලමරිය (ආර්‍ය්‍යභාවය කිරීමට සුදුසු බවක් නැති) නාලමරිය නම් යම් ධර්ම කෙනෙක් වෙත්ද, අලමරිය (ආර්‍ය්‍යභාවය කිරීමට සුදුසු බවක් ඇති) අලමරිය නම් යම් ධර්ම කෙනෙක් වෙත්ද, ඒ ධර්මයෝ ඔහුගේ ප්‍රඥාවෙන් දක්නා ලද්දාහු වෙත්ද, පුරුදු කරණ ලද්දාහු වෙත්ද, මහණෙනි, මේ පඤ්ඤා බලයයයි කියනු ලැබේ.
“මහණෙනි, විරිය බලය කවරේද? අකුසල්වූ, අකුසල නම් යම් ධර්ම කෙනෙක් වෙත්ද, සාවජ්ජ (වැරදි සහිත) සාවජ්ජ නම් යම් ධර්ම කෙනෙක් වෙත්ද, කණ්හ (කලු) කණ්හ නම් යම් ධර්ම කෙනෙක් වෙත්ද, අසෙවිතබ්බ (සේවනය නොකළ යුතු) අසෙවිතබ්බ නම් යම් ධර්ම කෙනෙක් වෙත්ද, නාලමරිය (ආර්‍ය්‍යභාවයක් කිරීමට සමත් නොවූ) නාලමරිය නම් යම් ධර්ම කෙනෙක් වෙත්ද, ඒ ධර්මයන්ගේ නැති කිරීම පිණිස කැමැත්ත උපදවයිද, ව්‍යායාම් කරයිද, වීර්‍ය්‍යය පටන් ගනීද, සිත දැඩි කොට ගනීද, පධන් වීර්‍ය්‍යය කරයිද, කුසල්වූ කුසල නම් යම් ධර්ම කෙණෙක් වෙත්ද, අනවජ්ජ (වැරදි නැති) අනවජ්ජ නම් යම් ධර්ම කෙනෙක් වෙත්ද, සුක්ක (සුදු) සුක්ක නම් යම් ධර්ම කෙනෙක් වෙත්ද, සෙවිතබ්බ (සෙවනය කළ යුතු) සෙවිතබ්බ නම් යම් ධර්ම කෙනෙක් වෙත්ද, අලමරිය (ආර්‍ය්‍ය භාවය කිරිමට සමත්) අලමරිය නම් යම් ධර්ම කෙනෙක් වෙත්ද, ඒ ධර්මයන්ගේ ලැබීම පිණිස, කැමැත්ත උපදවයිද, ව්‍යායාම් කරයිද, වීර්‍ය්‍යය පටන් ගනීද, සිත දැඩි කොට ගනීද, පධන් වීර්‍ය්‍යය කරයිද, මහණෙනි, මේ වීර්‍ය්‍ය බලයයි.
“මහණෙනි, අනවජ්ජ බලය කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි අරිය සාවක තෙම නිවැරැදි කාය කර්මයෙන් යුක්ත වෙයිද, නිවැරැදි වාක් කර්මයෙන් යුක්ත වෙයිද, නිවැරැදි මනො කර්මයෙන් යුක්ත වෙයිද, මහණෙනි, මේ අනවජ්ජ බලයයයි කියනු ලැබේ.
“මහණෙනි, සංගහ බලය කවරේද? මහණෙනි, මේ සංගහ වත්‍ථු සතරකි. දානය, ප්‍රිය වචන කීමය, අත්‍ථචරියාය, සමානත්තතා (යන සතරය.) මහණෙනි, දානයන් අතුරෙන් යම් මේ ධර්ම දානයක් වෙයිද, එය අග්‍රයි. මහණෙනි, ප්‍රිය වචන කීම් අතුරෙන් ප්‍රයෝජනය ඇති කන් මෙහෙයවන්නෙකුට දහම් දෙසයිද, මෙය අග්‍රයි. මහණෙනි, අත්‍ථචරියාවන් අතුරෙන් යම් මේ සැදැහැත්තෙකු සද්‍ධා සම්පදාවෙහි සමාදන් කරවාද, යොදවාද, පිහිටුවාද, දුසිල් වූවෙකු සිල් සම්පදාවෙහි සමාදන් කරවාද, යොදවාද, පිහිටුවාද, මසුරෙකු චාග සම්පදාවෙහි සමාදන් කරවාද, යොදවාද, පිහිටුවාද, නුවණැත්තෙකු පඤ්ඤාසම්පදාවෙහි සමාදන් කරවාද, යොදවාද, පිහිටුවාද, මෙය අග්‍රයි. මහණෙනි, සමානත්තතාවන් අතුරෙන් යම්තම් සෝතාපන්නයෙක් සෝතාපන්නයෙකුට සමානත්තවේද, සකදාගාමියෙක් සකදාගාමියෙකුට සමානත්තවේද, අනාගාමියෙක් අනාගාමියෙකුට සමානත්තවේද, රහත් පුද්ගලයෙක් රහත් පුද්ගලයෙකුට සමානත්තවේද, මෙය අග්‍රයි. මහණෙනි, මේ සංගහ බලයයි. මහණෙනි, මේ බල සතර දෙන වෙත්.
“මහණෙනි, මේ සතර බලයන්ගෙන් යුත් අරියසාවක තෙම බිය පසක් ඉක්මවූයේ වෙයි. ඒ බිය පස කවරහුද? ආජීවික භය, අසිලෝක භය, පරිසසාරජ්ජ භය, මරණ භය, දුගති භය (යන පසයි.)
“මහණෙනි, ඒ අරියසාවක තෙම මෙසේ කල්පනා කරයි. මම ආජීවික ජීවත්වීමට බිය නොවෙමි. කවර හෙයින් ආජීවික භයට බිය වෙම්ද, මට පඤ්ඤා බලය, විරිය බලය, අනවජ්ජ බලය, සංගහ බලය, යන බල සතරක් ඇත. නුවණ නැත්තෙක් ආජීවික භයට බිය වෙයි. කුසීතයෙක් ආජීවික භයට බිය වෙයි. වැරදි සහිත කාය කර්ම ඇත්තෙක්, වාක් කර්ම ඇත්තෙක්, මනො කර්ම ඇත්තෙක් ආජීවික භයට බිය වෙයි. සංග්‍රහ නොකරන්නෙක් ආජීවික භයට බිය වෙයි. මම අසිලොක (අකීර්ති) භයට බිය නොවෙමි. මම පරිස සාරජ්ජ (පිරිසේ නොඇල්මට) බිය නොවෙමි. මම මරණ භයට බිය නොවෙමි. මම දුගති භයට බිය නොවෙමි. මට පඤ්ඤා බලය, විරිය බලය, අනවජ්ජ බලය, සංගහ බලය යන බල සතරක් ඇත. නුවණ නැත්තෙක් දුග්ගති භයට බිය වෙයි. කුසීතයෙක් දුග්ගති භයට බිය වෙයි. සාවජ්ජ (වැරදි සහිත) කාය කර්ම ඇත්තෙක්, වාක් කර්ම ඇත්තෙක්, මනො කර්ම ඇත්තෙක් දුගති භයට බිය වෙයි. සංග්‍රහ නොකරන්නෙක් දුගති භයට බිය වෙයි. මහණෙනි, මේ බල සතරෙන් යුත් අරිය සාවක තෙම මේ භය පස ඉක්මවූයේ වෙයි.
AN 09 -01-06. සෙවිතබ්බාසෙවිතබ්බ සූත්‍රය
–
එකල්හි වනාහි ඇවැත්වූ සැරියුත් තෙරුන් වහන්සේ, “ඇවැත්වූ මහණෙනි,” යි කියා භික්‍ෂූන් ඇමතූහ. “ඇවත” යයි ඒ භික්‍ෂූහු ඇවැත්වූ සැරියුත් තෙරුන්ට පිළිවදන් දුන්හ. ඇවැත්වූ සැරියුත් තෙර මේ සූත්‍රය දෙසූහ.
“ඇවැත්නි, පුද්ගලයාද දෙයාකාරයකින් දතයුතුය. සේවනය කළ යුතු පුද්ගලයාය, සේවනය නොකළයුතු පුද්ගලයාය (කියායි.) ඇවැත්නි, සිවුරද දෙයාකාරයකින් දතයුතුය. පරිභෝග කළ යුතු සිවුරය, පරිභෝග නොකළ යුතු සිවුරය (කියායි.) ඇවැත්නි, පිණ්ඩපාතයද දෙයාකාරයකින් දත යුතුය. පරිභෝග කළ යුතු පිණ්ඩපාතය, පරිභෝග නොකළ යුතු පිණ්පාතය කියායි. ඇවැත්නි, සෙනසුනද දෙයාකාරයකින් දත යුතුය. සේවනය කළ යුතු සෙනසුනය, සේවනය නොකළ යුතු සෙනසුනය කියායි. ඇවැත්නි, ගම හා නියම්ගමද දෙයාකාරයකින් දත යුතුය. සේවනය කළ යුතුය, සේවනය නොකළ යුතුය (කියායි.) ඇවැත්නි, ජනපදයද දෙයාකාරයකින් දතයුතුය. සේවනය කළ යුතු ජනපද පෙදෙසය, සේවනය නොකළ යුතු ජනපද පෙදෙසය කියායි.
“ඇවැත්නි, පුද්ගලයාද දෙයාකාරයකින් දතයුතුය. සේවනය කළ යුතු පුද්ගලයාය, සේවනය නොකළයුතු පුද්ගලයාය (කියායි.) “එහි යම් පුද්ගලයකු ගැණ මේ පුද්ගලයා සේවනය කරන්නාවූ මාගේ අකුසල් වැඩෙත්, කුසල් පිරිහෙත් යයි දන්නේද, පැවිදිවූ මා විසින් සිවුරු, පිණ්ඩපාත, සෙනසුන්, ගිලන්පස, බෙහෙත් පිරිකර යන දිවි පැවැත්වීමට උවමනා පිරිකර රැස්කර ගත යුතුද, ඒවාද දුකසේ රැස්කර ගත යුත්තාහු වෙත්ද, යමක් නිසා මම ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදිවූයෙම්ද, මට ඒ පැවිද්දේ අර්ථය භාවනාවෙන් සම්පූර්‍ණ නොවේද, ඇවැත්නි ඒ පුද්ගලයා විසින් අර පුද්ගලයාට රැයක හෝ දවාලක නොකියාම යා යුතුය. එලවා නොයා යුතුය.
“එහි යම් පුද්ගලයකු ගැණ මේ පුද්ගලයා සේවනය කරන්නාවූ මාගේ අකුසල් වැඩෙත්, කුසල් පිරිහෙත් යයි දන්නේද, පැවිදිවූ මා විසින් සිවුරු, පිණ්ඩපාත, සෙනසුන්, ගිලන්පස, බෙහෙත් පිරිකර යන දිවි පැවැත්වීමට උවමනා පිරිකර රැස්කර ගත යුතුද, ඒවාද පහසුවෙන් රැස්වෙත්ද, යමක් නිසා මම ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදිවූයෙම්ද, මට ඒ පැවිද්දේ අර්ථය භාවනාවෙන් සම්පූර්‍ණ නොවේද, ඇවැත්නි ඒ පුද්ගලයා විසින් අර පුද්ගලයාට රැයක හෝ දවාලක නොකියාම යා යුතුය. එලවා නොයා යුතුය.
“එහි යම් පුද්ගලයෙකු ගැණ මේ පුද්ගලයා සේවනය කරණ මාගේ අකුසල් දහම් පිරිහෙත්, කුසල් දහම් වැඩෙත් යයි දන්නේ, පැවිදිවූ මා විසින් සිවුරු, පිණ්ඩපාත, සෙනසුන්, ගිලන්පස, බෙහෙත් පිරිකර යන දිවි පැවැත්වීමට උවමනා පිරිකර (ද්‍රව්‍ය) රැස්කර ගත යුතුද, ඒවාද පහසුවෙන් රැස්වෙත්ද, යමක් නිසා මම ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදිවූයෙම්ද, මාගේ ඒ පැවිදිවීමේ අර්ථයද භාවනා කිරීමෙන් සම්පූර්‍ණවීමට යෙයි. ඇවැත්නි ඒ පුද්ගලයා විසින් (ඒ) අර පුද්ගලතෙම දිවි ඇතිතාක් ලුහුබැන්ද යුතුය. එලවා දැම්මත් නොයා යුතුය. ඇවැත්නි, සේවනය කළ යුතු පුද්ගලයාය. සේවනය නොකළයුතු පුද්ගලයායයි පුද්ගලයා දෙයාකාරයකින් දතයුතුයයි යමක් කියන ලද නම් එය මේ නිසා කියන ලදී.
“ඇවැත්නි, සිවුරු දෙයාකාරයකින් දතයුතුය. සේවනය කළ යුතු සිවුරය, සේවනය නොකළයුතු සිවුරය (කියායි.) මෙසේ වනාහි මෙය කියන ලද්දේය. මෙය කුමක් සඳහා කියන ලදද? එහි යම් සිවුරක් ගැණ මේ සිවුරු පරිභෝග කරණ ලද මාගේ අකුසල් දහම් වැඩෙත්. කුසල් දහම් පිරිහෙත්යයි දන්නේද, එබඳු සිවුරක් පරිභෝග නොකළ යුතුය. එහි යම් සිවුරක් ගැණ මේ සිවුර පරිභෝග කරණ මාගේ අකුසල් දහම් පිරිහෙත්. කුසල් දහම් වැඩෙත්යයි දන්නේද, එබඳු සිවුරක් පරිභෝග කළ යුතු. ඇවැත්නි, පරිභෝග කළ යුතු සිවුරය, පරිභෝග නොකළ යුතු සිවුරයයි මෙසේ යමක් කියන ලදද, එය මේ නිසා කියන ලදී.
“ඇවැත්නි, පිණ්ඩපාතයද අනුභව කළ යුතු පිණ්ඩපාතයය, අනුභව නොකළ යුතු පිණ්ඩපාතයයයි දෙයාකාරකින් දතයුතුය. මෙසේ මෙය කියන ලදී. කුමක් නිසා මෙය කියන ලදද? එය යම් පිණ්ඩපාතයක් ගැණ මේ පිණ්ඩපාතය අනුභව කරන්නාවූ මාගේ අකුසල් දහම් වැඩෙත්. කුසල් දහම් පිරිහෙත්යයි දන්නේද, එබඳු පිණ්ඩපාතය අනුභව නොකළ යුතුය. එහි යම් පිණ්ඩපාතයක් ගැණ මේ පිණ්ඩපාතය අනුභව කරන්නාවූ මාගේ අකුසල් දහම් පිරිහෙත්. කුසල් දහම් වැඩෙත්යයි දන්නේද, එබඳු පිණ්ඩපාතය අනුභව කළ යුතුය. ඇවැත්නි, පිණ්ඩපාතයද අනුභව කළ යුතුය, අනුභව නොකළ යුතුයයි දෙයාකාරකින් දක්වන ලද්දේයයි මෙසේ යමක් කියන ලදද, එය මේ නිසා කියන ලදී.
ඇවැත්නි, සෙනසුනද සේවනය කළයුතුය, සේවනය නොකළ යුතුයයි දෙයාකාරකින් දතයුතුය. මෙසේ මෙය කියන ලදී. කුමක් නිසා මෙය කියන ලදද? එය යම් සෙනසුනක් ගැණ මේ සෙනසුන සේවනය කරන්නාවූ මාගේ අකුසල් දහම් වැඩෙත්. කුසල් දහම් පිරිහෙත්යයි දන්නේද, එබඳු සෙනසුනක් සේවනය නොකළ යුතු. එහි යම් සෙනසුනක් ගැණ මේ සෙනසුන සේවනය කරන්නාවූ මාගේ අකුසල් දහම් පිරිහෙත්. කුසල් දහම් වැඩෙත්යයි දන්නේද, එබඳු සෙනසුනක් සේවනය කළ යුතු. ඇවැත්නි, සෙනසුනද සේවනය කළ යුතු සෙනසුනය, සේවනය නොකළ යුතු සෙනසුනයයි දෙයාකාරකින් දතයුතුයයි මෙසේ යමක් කියන ලදද, එය මේ නිසා කියන ලදී.
“ඇවැත්නි, ගම හා නියංගමද සේවනය කළයුතුය, සේවනය නොකළ යුතුයයි දෙයාකාරකින් දතයුතුයයි මෙය මෙසේ කියන ලදී. මෙය කුමක් නිසා කියන ලදද? එහි යම් ගමක් හා නියංගමක් ගැණ මේ ගම හා නියංගම සේවනය කරන්නාවූ මාගේ අකුසල් දහම් වැඩෙත්. කුසල් දහම් පිරිහෙත්යයි දන්නේද, එබඳු ගම් හා නියංගම්ද සේවනය නොකළ යුතුය. එහි යම් ගමක් හා නියංගමක් ගැණ මේ ගම හා නියංගම සේවනය කරන්නාවූ මාගේ අකුසල් දහම් පිරිහෙත්. කුසල් දහම් වැඩෙත්යයි දන්නේද, එබඳු ගම හා නියංගම සේවනය කළ යුතු. ඇවැත්නි, ගම හා නියංගම සේවනය කළ යුතුය, සේවනය නොකළ යුතුයයි දෙයාකාරකින් දතයුතුයයි මෙසේ යමක් කියන ලදද, එය මේ නිසා කියන ලදී.
“ඇවැත්නි, ජනපද පෙදෙසද සේවනය කළයුතුය, සේවනය නොකළ යුතුයයි දෙයාකාරකින් දතයුතුයයි මෙසේ මෙය කියන ලදී. මෙය කුමක් නිසා කියන ලදද? එහි යම් ජනපද පෙදෙසක් ගැණ මේ ජනපද පෙදෙස සේවනය කරන්නාවූ මාගේ අකුසල් දහම් වැඩෙත්. කුසල් දහම් පිරිහෙත්යයි දන්නේද, එබඳු ජනපද පෙදෙස සේවනය නොකළ යුතුය. එහි යම් ජනපද පෙදෙසක් ගැණ මේ ජනපද පෙදෙස සේවනය කරන්නාවූ මාගේ අකුසල් දහම් පිරිහෙත්. කුසල් දහම් වැඩෙත්යයි දන්නේද, එබඳු ජනපද පෙදෙස සේවනය කළ යුතුය. ඇවැත්නි, ජනපද පෙදෙසද සේවනය කළ යුතුය, සේවනය නොකළ යුතුයයි දෙයාකාරකින් දතයුතුයයි යමක් කියන ලදද, එය මේ නිසා කියන ලදී.”
AN 09-01-07. සුතවන්ත පරිබ්බාජක සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර ගිජුකුළු පව්වෙහි වාසය කරණ සේක. එකල්හි සුතවන්ත පරිබ්‍රාජක තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැන්හි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ සමග සතුටුවිය. සතුටුවියයුතු, සිහිකටයුතු කථාව නිමවා එක් පැත්තක හුන්නේය. එක් පැත්තක හුන්නාවූ සුතවන්ත පරිබ්‍රාජක තෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීවේය.
“ස්වාමිනි, එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ මේ රජගහ නුවරම, ගිරිබ්බජ නම් තැන වාසය කරති. එහිදී මවිසින් භාග්‍යවතුන් වහන්සේ සම්මුඛයෙන් මෙය අසන ලදී. පිළිගන්නා ලදී. එනම්, යම් ඒ ඇසූ පිරූ තැන් ඇති, අර්හත්වූ, කෙලෙසුන් නැතිකළ, වැස නිමවන ලද, කළ කටයුතු ඇති, බහා තැබූ බර ඇති, පැමිණි යහපත ඇති, භව බැඳුම් සිඳ දැමූ, විමුක්තිය මනාකොට දැනගත් ඒ භික්‍ෂුව පස් තැනක වැරදි සේ හැසිරෙන්නට නුසුදුසුය. කෙළෙස් නැතිකළ භික්‍ෂුව දැන දැන සතුන් මැරීමට නුසුදුසුය. කෙළෙස් නැතිකළ භික්‍ෂුව හොරකම නම් නුදුන් දෙය ගැනීමට නුසුදුසුය. කෙළෙස් නැතිකළ භික්‍ෂුව මෙවුන්දම් සේවනය කරන්නට නුසුදුසුය. කෙළෙස් නැතිකළ භික්‍ෂුව දැන දැන බොරුකීමට නුසුදුසුය. කෙළෙස් නැතිකළ භික්‍ෂුව පෙර ගිහි කාලයෙහි මෙන් රැස් කරණ කාමයන් පරිභොග කරන්නට නුසුදුසුය, කියායි. කිමෙක්ද? ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේගේ මේ කීම මවිසින් මනාකොට අසන ලදද, මනාකොට ගන්නා ලදද, මනාකොට සිහිකරණ ලදද, මනාකොට දරාගන්නා ලදද?”
“සුතවන්තය, තා විසින් ඒකාන්තයෙන් එය මනාකොට අසන ලදී. මනාකොට ගන්නා ලදී. මනාකොට සිහිකරණ ලදී. මනාකොට දරාගන්නා ලදී. සුතවන්තය, මම පෙරද මෙසේ කීමි. දැනුදු මෙසේම කියමි. යම් ඒ ඇසූ පිරූ තැන් ඇති, අර්හත්වූ, කෙලෙසුන් නැතිකළ, වැස නිමවන ලද, කළ කටයුතු ඇති, බහා තැබූ බර ඇති, පැමිණි යහපත ඇති, භව බැඳුම් සිඳ දැමූ, විමුක්තිය මනාකොට දැනගත් ඒ භික්‍ෂුව පස් තැනක වැරදි සේ හැසිරෙන්නට නුසුදුසුය. කෙළෙස් නැතිකළ භික්‍ෂුව දැන දැන සතුන් මැරීමට නුසුදුසුය. කෙළෙස් නැතිකළ භික්‍ෂුව හොරකම නම් නුදුන් දෙය ගැනීමට නුසුදුසුය. කෙළෙස් නැතිකළ භික්‍ෂුව මෙවුන්දම් සේවනය කරන්නට නුසුදුසුය. කෙළෙස් නැතිකළ භික්‍ෂුව දැන දැන බොරුකීමට නුසුදුසුය. කෙළෙස් නැතිකළ භික්‍ෂුව පෙර ගිහි කාලයෙහි මෙන් රැස් කරණ කාමයන් පරිභොග කරන්නට නුසුදුසුය, කෙළෙස් නැතිකළ භික්‍ෂුව බුදුරදුන් අතහැර දමන්ට හෝ උන්වහන්සේට විරුද්ධවීමට නුසුදුසුය. කෙළෙස් නැතිකළ භික්‍ෂුව ධර්‍මය අත්හැර දමන්ට හෝ ධර්‍මයට විරුද්‍ධවීමට නුසුදුසුය, කෙළෙස් නැතිකළ භික්‍ෂුව සඞ්ඝයා අත්හැර දමන්ට හෝ සඞ්ඝයාට විරුද්‍ධවන්ට නුසුදුසුය, කෙළෙස් නැතිකළ භික්‍ෂුව ශික්‍ෂාව අත්හැර දමන්ට හෝ ශික්‍ෂාවට විරුද්‍ධවන්ට නුසුදුසුය, සුතවන්තය, පෙරද, දැනුදු, මම මෙය කියමි. ඇසූ පිරූ තැන් ඇති, අර්හත්වූ, කෙලෙසුන් නැතිකළ, වැස නිමවන ලද, කළ කටයුතු ඇති, බහා තැබූ බර ඇති, පැමිණි යහපත ඇති, භව බැඳුම් සිඳ දැමූ, විමුක්තිය මනාකොට දැනගත් ඒ භික්‍ෂුව පස් තැනක වැරදි සේ හැසිරෙන්නට නුසුදුසුය. කෙළෙස් නැතිකළ භික්‍ෂුව දැන දැන සතුන් මැරීමට නුසුදුසුය. කෙළෙස් නැතිකළ භික්‍ෂුව හොරකම නම් නුදුන් දෙය ගැනීමට නුසුදුසුය. කෙළෙස් නැතිකළ භික්‍ෂුව මෙවුන්දම් සේවනය කරන්නට නුසුදුසුය. කෙළෙස් නැතිකළ භික්‍ෂුව දැන දැන බොරුකීමට නුසුදුසුය. කෙළෙස් නැතිකළ භික්‍ෂුව පෙර ගිහි කාලයෙහි මෙන් රැස් කරණ කාමයන් පරිභොග කරන්නට නුසුදුසුය, ඒ භික්‍ෂු තෙම මේ නවතැන වැරදිසේ හැසිරෙන්ට නුසුදුසුය.”
AN 09-01-08. සජ්ඣපරිබ්බාජක සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර ගිජුකුළු පව්වෙහි වාසය කරණ සේක. එකල්හි සජ්ඣපරිබ්බාජක තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැන්හි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ සමග සතුටුවිය. සතුටුවියයුතු, සිහිකටයුතු කථාව නිමවා එක් පැත්තක හුන්නේය. එක් පැත්තක හුන්නාවූ සජ්ඣපරිබ්බාජක තෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීවේය.
“ස්වාමිනි, එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ මේ රජගහ නුවරම, ගිරිබ්බජ නම් තැන වාසය කරති. එහිදී මවිසින් භාග්‍යවතුන් වහන්සේ සම්මුඛයෙන් මෙය අසන ලදී. පිළිගන්නා ලදී. එනම්, යම් ඒ ඇසූ පිරූ තැන් ඇති, අර්හත්වූ, කෙලෙසුන් නැතිකළ, වැස නිමවන ලද, කළ කටයුතු ඇති, බහා තැබූ බර ඇති, පැමිණි යහපත ඇති, භව බැඳුම් සිඳ දැමූ, විමුක්තිය මනාකොට දැනගත් ඒ භික්‍ෂුව පස් තැනක වැරදි සේ හැසිරෙන්නට නුසුදුසුය. කෙළෙස් නැතිකළ භික්‍ෂුව දැන දැන සතුන් මැරීමට නුසුදුසුය. කෙළෙස් නැතිකළ භික්‍ෂුව හොරකම නම් නුදුන් දෙය ගැනීමට නුසුදුසුය. කෙළෙස් නැතිකළ භික්‍ෂුව මෙවුන්දම් සේවනය කරන්නට නුසුදුසුය. කෙළෙස් නැතිකළ භික්‍ෂුව දැන දැන බොරුකීමට නුසුදුසුය. කෙළෙස් නැතිකළ භික්‍ෂුව පෙර ගිහි කාලයෙහි මෙන් රැස් කරණ කාමයන් පරිභොග කරන්නට නුසුදුසුය, කියායි. කිමෙක්ද? ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේගේ මේ කීම මවිසින් මනාකොට අසන ලදද, මනාකොට ගන්නා ලදද, මනාකොට සිහිකරණ ලදද, මනාකොට දරාගන්නා ලදද?”
“සජ්ඣපරිබ්බාජකය, තා විසින් ඒකාන්තයෙන් එය මනාකොට අසන ලදී. මනාකොට ගන්නා ලදී. මනාකොට සිහිකරණ ලදී. මනාකොට දරාගන්නා ලදී. සජ්ඣපරිබ්බාජකය, මම පෙරද මෙසේ කීමි. දැනුදු මෙසේම කියමි. යම් ඒ ඇසූ පිරූ තැන් ඇති, අර්හත්වූ, කෙලෙසුන් නැතිකළ, වැස නිමවන ලද, කළ කටයුතු ඇති, බහා තැබූ බර ඇති, පැමිණි යහපත ඇති, භව බැඳුම් සිඳ දැමූ, විමුක්තිය මනාකොට දැනගත් ඒ භික්‍ෂුව පස් තැනක වැරදි සේ හැසිරෙන්නට නුසුදුසුය. කෙළෙස් නැතිකළ භික්‍ෂුව දැන දැන සතුන් මැරීමට නුසුදුසුය. කෙළෙස් නැතිකළ භික්‍ෂුව හොරකම නම් නුදුන් දෙය ගැනීමට නුසුදුසුය. කෙළෙස් නැතිකළ භික්‍ෂුව මෙවුන්දම් සේවනය කරන්නට නුසුදුසුය. කෙළෙස් නැතිකළ භික්‍ෂුව දැන දැන බොරුකීමට නුසුදුසුය. කෙළෙස් නැතිකළ භික්‍ෂුව පෙර ගිහි කාලයෙහි මෙන් රැස් කරණ කාමයන් පරිභොග කරන්නට නුසුදුසුය, කෙළෙස් නැතිකළ භික්‍ෂුව බුදුරදුන් අතහැර දමන්ට හෝ උන්වහන්සේට විරුද්ධවීමට නුසුදුසුය. කෙළෙස් නැතිකළ භික්‍ෂුව ධර්‍මය අත්හැර දමන්ට හෝ ධර්‍මයට විරුද්‍ධවීමට නුසුදුසුය, කෙළෙස් නැතිකළ භික්‍ෂුව සඞ්ඝයා අත්හැර දමන්ට හෝ සඞ්ඝයාට විරුද්‍ධවන්ට නුසුදුසුය, කෙළෙස් නැතිකළ භික්‍ෂුව ශික්‍ෂාව අත්හැර දමන්ට හෝ ශික්‍ෂාවට විරුද්‍ධවන්ට නුසුදුසුය, සජ්ඣපරිබ්බාජකය, පෙරද, දැනුදු, මම මෙය කියමි. ඇසූ පිරූ තැන් ඇති, අර්හත්වූ, කෙලෙසුන් නැතිකළ, වැස නිමවන ලද, කළ කටයුතු ඇති, බහා තැබූ බර ඇති, පැමිණි යහපත ඇති, භව බැඳුම් සිඳ දැමූ, විමුක්තිය මනාකොට දැනගත් ඒ භික්‍ෂුව පස් තැනක වැරදි සේ හැසිරෙන්නට නුසුදුසුය. කෙළෙස් නැතිකළ භික්‍ෂුව දැන දැන සතුන් මැරීමට නුසුදුසුය. කෙළෙස් නැතිකළ භික්‍ෂුව හොරකම නම් නුදුන් දෙය ගැනීමට නුසුදුසුය. කෙළෙස් නැතිකළ භික්‍ෂුව මෙවුන්දම් සේවනය කරන්නට නුසුදුසුය. කෙළෙස් නැතිකළ භික්‍ෂුව දැන දැන බොරුකීමට නුසුදුසුය. කෙළෙස් නැතිකළ භික්‍ෂුව පෙර ගිහි කාලයෙහි මෙන් රැස් කරණ කාමයන් පරිභොග කරන්නට නුසුදුසුය, කෙළෙස් නැතිකළ භික්‍ෂුතෙම ඡන්‍දයෙන් අගතියට යාමට නුසුදුසුය, ද්වේෂයෙන් අගතියට යාමට නුසුදුසුය, මෝහයෙන් අගතියට යාමට නුසුදුසුය, භයෙන් අගතියට යාමට නුසුදුසුය, සජ්ඣය, පෙරද, දැනුදු මම මෙය කියමි. ඒ භික්‍ෂු තෙම මේ නවතැන වැරදිසේ හැසිරෙන්ට නුසුදුසුය.”
AN 01-01-09. නවපුග්ගල සූත්‍රය
මහණෙනි, මේ පුද්ගලයෝ නවදෙනෙක් ලෝකයෙහි ඇත්තාහ. ඒ නවදෙන කවරහුද?
“රහතුන් වහන්සේ, රහත් බව ලැබීමට බැසගත් පුද්ගලයා, අනාගාමී පුද්ගලයා, අනාගාමී ඵලය ලැබීමට බැසගත් පුද්ගලයා, සකෘදාගාමී පුද්ගලයා, සකෘදාගාමී ඵලය ලැබීමට බැසගත් පුද්ගලයා, සෝවාන් පුද්ගලයා, සෝවාන් ඵලය ලැබීමට බැසගත් පුද්ගලයා, පෘථග්ජනයාද යනුයි.
“මහණෙනි, මේ පුද්ගලයෝ නවදෙන ලෝකයෙහි ඇත්තාහ.”
AN 09-01-10. නව ආහුණෙය්‍ය සූත්‍රය-
මහණෙනි, මේ පුද්ගලයෝ නවදෙනෙක් පූජාවට සුදුසුය. ආගන්තුක සත්කාරයට යොග්‍යය. දන්දීමට සුදුසුය. දෙඅත් නළල මැද තබා වැඳීමට සුදුසුය.
කවර නවදෙනෙක්ද? රහතුන් වහන්සේ, රහත් බව ලැබීමට බැසගත් පුද්ගලයා, අනාගාමී පුද්ගලයා, අනාගාමී ඵලය ලැබීමට බැසගත් පුද්ගලයා, සකෘදාගාමී පුද්ගලයා, සකෘදාගාමී ඵලය ලැබීමට බැසගත් පුද්ගලයා, සෝවාන් පුද්ගලයා, සෝවාන් ඵලය ලැබීමට බැසගත් පුද්ගලයා, ගොත්‍රභූය යනුයි. මහණෙනි, මේ පුද්ගලයෝ නවදෙන පූජාවට සුදුසුය. ආගන්තුක සත්කාරයට යොග්‍යය. දන්දීමට සුදුසුය. දෙඅත් නළල මැද තබා වැඳීමට සුදුසුය.