§1. “බොහෝ දෙනා තම තමාගේ දෘෂ්ඨියේ එල්ලී සිටින්නාහුය. තමන් විශ්වාසකරන අදහස් දැඩිසේ ගෙන මෙයම ඇත්ත යයි වලහා කියත්. මෙසේ දෘෂ්ඨීන් පරාමාසකොට ගත් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ (ස්වලබ්ධිය) දැඩිකොට අල්වාගෙන එහිම වසයි. ගෙයක් හිමි කෙනෙක් සිය නිවසේ කෙසේ සුවසේ රිසි අයුරු වෙසෙත්ද, එලෙසම මෙසේ ඇවැත් බහුල අය ඒ ඒ ඇවැත්වලම අදහා වසයි. කෙලෙස් ඇති අය ඒ ඒ කෙලෙස්ම තුල බැස වසයි. දෙතිසක් මිත්‍යා දෘෂ්ටීන් ගෙන් තමන් අල්වාගත් යම් දෘෂ්ඨියම පරාමාස කොටගෙන, අභිනිවාස කොටගෙන වාද කරති. තමන්ගේ ඒ අවබෝධයම අනෙකෙකුට ඇත්නම් ඔහු ධර්මය දන්නේයැයි අවබෝධකලේයයි කියයි. යමෙක් මෙසේවූ තමාගේ දෘෂ්ඨිය සත්‍යයැයි දනිත්නම් ඒ අය ධර්මය දත්තේ යැයි ඔහු කියයි., යමෙක් ඔහුගේ මතය නොපිලිගනීනම් ඒ අය අනුවනයෝය , බාලයෝය යැයි ඔහු ගර්හා කරන්නේය.
§ 2 . “ තමාගේ දිෂ්ඨිය ප්‍රතික්ෂේප කරන අය හා වාද විවාද කරති. දොස් නගති. බැන වදිති. දබර කරති. කළහ කරති. නුඹලා මේ ධර්ම විනය නොදන්නාහුය. අපන්ඩිතය. බාලය. හීනය. නිහීනය. අඥානය, කියමින් ගරහති. නුඹලාගේ කුමන වාදයක් සත්‍යාද? පරිපුර්නද? විද්යාමානද? විපරීත නොවේද? කියා සෙස්සන්ගේ මතයන් අවඥාවට ලක් කරයි.
§ 3. “ ඉදින් අන්‍යයාගේ ධර්මය නොදන්නා නොපිළිගන්නා පුද්ගලයා බාලයෙක්, නුවණින් අඩු නිහීනයෙක් වන්නේ නම් සියලුම මහණ බඹුනන් බාලයෝය. නුවණින් අඩු නිහීනයනය. මන්දයත් මේ සියලු මහණ බඹුනන් වෙන් වෙන් දෘෂ්ඨි ගෙන ඉන්නා බැවිනි.
අනුන්ගේ දර්ශනය ප්‍රතිපදාව නොදන්නේ අනුමෝදන් නොවන්නේ නම් ඉතා ලාමක නුවණ ඇත්තෝය. තම තමාගේ ඇදහීමෙහි ගැලී වසන මේ සියල්ලෝම බාලයෝය. අල්ප වූ ප්‍රඥාවක් වත් නැත්තෝය.
§ 4. “ඉදින් ස්වකීය ලබ්ධියෙන් අතිශයින් පිරිසිදුවූවාහු වෙත්ද, සිය නුවණ යොදා තමාගේ දර්ශනය විමසා බලන්නෝ වෙත්ද, සිය බුද්ධිය යොදා දර්ශනය පිසිසිදු කරගන්නේ වේද ඒ මහණ බමුණන් කිසිවෙකුත් පිරිහුණු ප්‍රඥා ඇත්තේ නොවේ. , ඔවුන්ගේ දෘෂ්ටියද එසේ සමාප්ත වන්නීය. සිය දෘෂ්ඨිය හරියාකාරව නොදන්නාවූ, නොපිලිපදින්නාවූ, කෙලෙස් සහිත ප්‍රතිපදාවේ ඉන්නාවූ මහණ බමුණන් වේ නම් ඔවුන් බාලයෝය. මෙසේ සිය දෘෂ්ඨිය පිරිසිදුකරගන්නා මහණ බමුණන් එම දෘෂ්ටියම අභිනිවේස කරගනී.
§ 5. “බාලයන් දෙදෙනෙක් ඔවුනොවුන්ට යමක් කියත්ද, මම මෙය සත්‍යයයි නොකියමි. තම තමා තුල පිළිගත්තාවූ දැකීම සත්‍යය ලෙස අල්ලාගත්තෝමය. එහෙයින්ම අන්‍යයා බාලයයිද කියත්.
§ 6.“ඇතැම් කෙනෙක් යමක් ඇත්ත’යයි කියත්ද, අනෙකා ඒ හිස්වූ බොරුවකැයි කියත්. මෙසේත් දැඩිවගෙන විවාද කෙරෙත්ද, කවර කරුණකින් ශ්‍රමණවරු එක් සත්‍යයක් නොකියත්ද, එමතුදු සත්‍යය එකක්ම වන්නේය. දෙවන සත්‍යයක් නැත. යම් සත්‍යයක් දනිමින් සත්වයන් විවාද නොකරන්නේය. ඒ මහණ බමුණෝ නොයෙක් සත්‍යයන් තුමූම කියත්. ඒකරුණෙන් මහණ බමුණෝ එක් සත්‍යයක් නොකියත්.
§ 7. “විරුද්ධවාදීවූ දක්ෂ වාද ඇතියෝ නොයෙක් සත්‍යයන් කවර හෙයින් කියත්ද, නානාප්‍රකාරවූ බොහෝවූ සත්‍යයෝ අසනලද්දෝද, නොහොත් ඔහු තර්කමාත්රය අනුවයෙද්ද.
§ 8. “(සත්ව) ලෝකයෙහි සංඥා මාත්‍රයෙන් නිත්‍යයයි ගන්නාලද ග්රහණයන් තබා නානාවිධවූ බොහෝ සත්‍යයෝ නැත්මැයි. තර්කයද දෘෂ්ටීන්හිලා කල්පනාකොට සත්‍යය බොරුයයි ධර්ම දෙකක් කියත්.
§ 9. “දක්නාලද්දද, අසනලද්දද, සිතින් දන්නාලද්දද සිල් හා වත් පැවතුම්ද යන මොවුන්ද ඇසුරුකොට පහත් ලෙස දක්නේ, දෘෂ්ටි විනිශ්චයෙහි සිත හටගත් සතුටු ඇති පාපතෙම අන්‍යයා බාලයෙකැයිද කියන්නේය.
§ 10. “යම් කරුණකින් අනුන් හීනයෙකැයි දක්නේද ඒ කරුණෙන්ම තමා පණ්ඩිතයෙකැයි කියන්නේය. තෙමේම පණ්ඩිතයයි කියන්නාවූ හෙතෙම තමහට ගරහන්නේය. එයම කියන්නේය.
§ 11. “ඒ පුද්ගලයා දෙසැටක් දෘෂ්ටියෙන් පිරුණේ (දෘෂ්ටි) මානයෙන් මත්වූයේ, පිරීමේ මානය ඇත්තේ තෙමේම තම සිතින් රජවූයේවේ. ඒ ඔහුගේ දෘෂ්ටිය ඔහුට එපරිද්දෙන්ම සම්පූර්ණවූයේ වේ.
§ 12. “ඉදින් යමෙක් අනුන්ගේ වචනයෙන්ම නිහීනයෙක් වේනම් තමාත් ඒ හා සමගම ලාමක ප්‍රඥා ඇත්තෙක් වන්නේයි. තවද ඔහු වේදයේ (සතර මාර්ගයන්ගේ) පරතෙරට පැමිණියේ නුවණැත්තේවේ. ශ්රමණයන් කෙරෙහි කිසි බාලයෙක් නැත්තේය.
§ 13. “යම්කෙනෙක් මෙයින් වෙනස්වූ අන්‍ය දෘෂ්ටියක් කියත්ද, අසම්පූර්ණවූ ඔව්හු පිරිසිදුවීමේ මාර්ගය වරදවා ගත්තාහුවෙති. තවද මෙසේ තීර්ථකයෝ බොහෝ දෘෂ්ටීන්ගේ වශයෙන් අශුද්ධිය කියත්ද, යම්හෙයකින් ඔව්හු ස්වකීය දෘෂ්ටි රාගයෙන් ඇලුණාහුද එහෙයිනි,
§ 14. “මෙසේ බෙහෙවින් බැසගත් ස්වකීය මාර්ගයෙහි දැඩිව ප්‍රකාශකරන තීර්ථකයෝ මෙහිම ශුද්ධියවේයයි කියත්. අන්‍ය ධර්මයන්හි වෙසෙත්. ශුද්ධිය නොකියත්.
§ 15. “තවද ස්වකීය (දෘෂ්ටි) මාර්ගයෙහිම දැඩිකොට කියන්නේ මෙහි බාලයායයි අන්‍යවූ කවරක්හු දක්නේද? අනුන් අශුද්ධි ධර්මය ඇති බාලයන්කොට කියන්නාවූ හෙතෙමේම කොලාහල ඇතිකරවන්නේය.
§ 16.“ඒ පුද්ගලයා තීන්දු කිරීමෙහි සිට තමාම ප්‍රමාණ කොට මතුමත්තෙහි ලෝකයා කෙරෙහි කලහයට පැමිණෙන්නේය. නුවණැති අය සියලු තීන්දු (දෙසැට දෘෂ්ටීන්) හැර අන්‍යයන් හා කළහ නොකරන්නේය.”