AN 02-02- අධිකරණ වර්‍ගය

§AN 02-02-01 – සෙඛබල සූත්‍රය

’’මහණෙනි, සේඛ  බල දෙකක් වෙත්. ඒ දෙක නම්,

  1. ආවර්ජනය නොහොත්   පරීක්‍ෂාකිරීමේ බලයද,
  2. වර්ධනය නොහොත්  භාවනා බලයද යන දෙකයි.

 

’’මහණෙනි, ආවර්ජනා කිරීමේ නොහොත් පරීක්‍ෂා කිරීමේ බලය කවරේද?
මහණෙනි, මෙලොව ඇතැමෙක් මෙසේ පරීක්‍ෂා කරයි.
(කෙසේද?) කාය දුශ්චරිතයේ දරුණුවුත්  ලාමකවූත්  විපාකය මේ ආත්ම භාවයෙහිද, පරලොවෙහිද  වේ. වාග් දුශ්චරිතයාගේ දරුණු වුත්  ලාමකවූත්  විපාකයද මේ ආත්ම භාවයෙහිද, පරලොවෙහිද වේ. මනො දුශ්චරිතයෙහි දරුණු වුත්  ලාමකවූත්  විපාකයද  මේ ආත්ම භාවයෙහිද, පරලොවෙහිද වේය කියායි.

එසේ සිය චර්යාව ආවර්ජනය කරන  පරීක්ෂාවෙන් දකින හෙතෙම මෙසේ නුවණින් සලකා බලා කාය දුශ්චරිතය හැර කාය සුචරිතය වඩයි. වාග් දුශ්චරිතය හැර වාග් සුචරිතය වඩයි. මනො දුශ්චරිතය හැර මනො සුචරිතය වඩයි. පිරිසිදුවූ ජීවිතයක් ගත කරයි. මහණෙනි, මේ ආවර්ජනයේ (පරීක්‍ෂාකිරීමේ) බලයයි කියනු ලැබේ.

’’මහණෙනි, භාවනා බලය කවරේද?
මහණෙනි, මේ බල දෙක අතුරෙන් යම් මේ භාවනා බලය යනු ආර්ය මාර්ගස්ථ සේඛ උතුමන්
[එනම්  (i) සෝවාන් මාර්ගස්ථ (ii) සෝවාන් ඵලස්ථ
(iii) සක්රුදාගාමි මාර්ගස්ථ (iv) සක්රුදාගාමි ඵලස්ථ
(v) අනාගාමි  මාර්ගස්ථ (vi) අනාගාමි  ඵලස්ථ
(vii) අරහත් මාර්ගස්ථ  ] 
ශෛක්‍ෂයන් සම්බන්ධ ඥානබලය වේ.

මහණෙනි, හෙතෙම මේ දෙආකාර සේඛ බල නිසා රාගය දුරුකරයි. ද්වේෂය දුරුකරයි. මොහය දුරුකරයි. රාගය දුරුකොට, ද්වේෂය දුරුකොට, මොහය දුරුකොට, සියළු අකුසල් දුරු කරයි.  එය නොකෙරෙයි. කිසිදු  පවක් නපුරක් සේවනය නොකෙරෙයි.

මහණෙනි, මේ සේඛ පුහුණුවේ (භාවනා) බලයයි කියනු ලැබේ. ’’

§AN 02-02-02 බොජ්ඣංගබල සූත්‍රය

’’මහණෙනි, බොජ්ඣංග බල දෙකක්  වෙත්. ඒ  කවරේද යත්,
පරීක්‍ෂාකිරීමේ බලයද, භාවනා බලයද යන දෙදෙනයි.

  1. ’’මහණෙනි, පරීක්‍ෂා කිරීමේ බලය කවරේද?
    මහණෙනි, මෙලොව ඇතැමෙක් මෙසේ ආවර්ජනා (පරීක්‍ෂා ) කරයි.
    (කෙසේද යත් ?) කාය දුශ්චරිතයේ දරුණු වුත්  ලාමකවූත්  විපාකය මේ ආත්ම භාවයෙහිද, පරලොවෙහිද  වේ. වාග් දුශ්චරිතයාගේ දරුණු වුත්  ලාමකවූත්  විපාකයද මේ ආත්ම භාවයෙහිද, පරලොවෙහිද වේ. මනො දුශ්චරිතයාගේ දරුණු වුත්  ලාමකවූත්  විපාකයද  මේ ආත්ම භාවයෙහිද, පරලොවෙහිද වේය කියායි. එසේ සිය චර්යාව පරීක්ෂාවෙන් දකින හෙතෙම මෙසේ නුවණින් සලකා බලා කාය දුශ්චරිතය හැර කාය සුචරිතය වඩයි. වාග් දුශ්චරිතය හැර වාග් සුචරිතය වඩයි. මනො දුශ්චරිතය හැර මනො සුචරිතය වඩයි. පිරිසිදුවූ ආත්ම භාවයක් පරිහරණය කෙරෙයි. (රකියි.) මහණෙනි, මේ පරීක්‍ෂාකිරීමේ බලයයි කියනු ලැබේ.

2. ’’මහණෙනි, භාවනා බලය කවරේද?

  • මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂුව විවේකයන් ඇසුරු කළාවූ, විරාගය ඇසුරුකළාවූ, දුක්ඛ නිරෝධය ඇසුරුකළාවූ, කෙලෙසුන් නැසීම හා නිවන් අරමුණට පැමිණීම ඇත්තාවූ ස්මෘති සම්බොධ්‍යාඞ්ගය වඩයි.
  • මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂුව විවේකයන් ඇසුරු කළාවූ, විරාගය ඇසුරුකළාවූ, දුක්ඛ නිරෝධය ඇසුරුකළාවූ, කෙලෙසුන් නැසීම හා නිවන් අරමුණට පැමිණීම ඇත්තාවූ ධර්‍මවිචය සම්බොධ්‍යාඞ්ගය වඩයි.
  • මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂුව විවේකයන් ඇසුරු කළාවූ, විරාගය ඇසුරුකළාවූ, දුක්ඛ නිරෝධය ඇසුරුකළාවූ, කෙලෙසුන් නැසීම හා නිවන් අරමුණට පැමිණීම ඇත්තාවූ වීර්‍ය්‍යය සම්බොධ්‍යාඞ්ගය වඩයි.
  • මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂුව විවේකයන් ඇසුරු කළාවූ, විරාගය ඇසුරුකළාවූ, දුක්ඛ නිරෝධය ඇසුරුකළාවූ, කෙලෙසුන් නැසීම හා නිවන් අරමුණට පැමිණීම ඇත්තාවූ ප්‍රීති සම්බොධ්‍යාඞ්ගය වඩයි.
  • මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂුව විවේකයන් ඇසුරු කළාවූ, විරාගය ඇසුරුකළාවූ, දුක්ඛ නිරෝධය ඇසුරුකළාවූ, කෙලෙසුන් නැසීම හා නිවන් අරමුණට පැමිණීම ඇත්තාවූ පස්සද්ධි සම්බොධ්‍යාඞ්ගය වඩයි.
  • මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂුව විවේකයන් ඇසුරු කළාවූ, විරාගය ඇසුරුකළාවූ, දුක්ඛ නිරෝධය ඇසුරුකළාවූ, කෙලෙසුන් නැසීම හා නිවන් අරමුණට පැමිණීම ඇත්තාවූ සමාධි සම්බොධ්‍යාඞ්ගය වඩයි.
  • මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂුව විවේකයන් ඇසුරු කළාවූ, විරාගය ඇසුරුකළාවූ, දුක්ඛ නිරෝධය ඇසුරුකළාවූ, කෙලෙසුන් නැසීම හා නිවන් අරමුණට පැමිණීම ඇත්තාවූ උපෙක්‍ෂා සම්බොධ්‍යාඞ්ගය වඩයි. මහණෙනි, මේ භාවනා බලයයි කියනු ලැබේ. 

මහණෙනි, මෙසේ  බෝජ්ජංග  බලයෝ දෙකක්  වෙත්.

§AN 02-02 -03 ඣානබල සූත්‍රය.

’’මහණෙනි, ධ්‍යාන බල දෙකක්  වෙත්. ඒ කවරේද යත්,

  1. ප්‍රත්‍යාවේක්ෂ කිරීමේ (ආපසු බලා පරීක්‍ෂාකිරීමේ) බලයද,
  2. භාවනාවෙන් දියුණු කිරීමේ බලයද  යන දෙදෙනයි.

1.’’මහණෙනි, ප්‍රත්‍යාවේක්ෂණ (පරීක්‍ෂා කිරීමේ) බලය කවරේද?
මහණෙනි, මෙලොව ඇතැමෙක් මෙසේ පරීක්‍ෂා කරයි.
(කෙසේද?) කාය දුශ්චරිතයේ දරුණු වුත්  ලාමකවූත්  විපාකය මේ ආත්ම භාවයෙහිද, පරලොවෙහිද  වේ. වාග් දුශ්චරිතයාගේ දරුණු වුත්  ලාමකවූත්  විපාකයද මේ ආත්ම භාවයෙහිද, පරලොවෙහිද වේ. මනො දුශ්චරිතයාගේ දරුණු වුත්  ලාමකවූත්  විපාකයද  මේ ආත්ම භාවයෙහිද, පරලොවෙහිද වේය කියායි. එසේ සිය චර්යාව පරීක්ෂාවෙන් දකින හෙතෙම මෙසේ නුවණින් සලකා බලා කාය දුශ්චරිතය හැර කාය සුචරිතය වඩයි. වාග් දුශ්චරිතය හැර වාග් සුචරිතය වඩයි. මනො දුශ්චරිතය හැර මනො සුචරිතය වඩයි. පිරිසිදුවූ ආත්ම භාවයක් පරිහරණය කෙරෙයි. (රකියි.) මහණෙනි, මේ පරීක්‍ෂාකිරීමේ බලයයි කියනු ලැබේ.

2. ’’මහණෙනි, භාවනා නොහොත් වඩා ගැනීමේ  බලය කවරේද?
මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂුව කාමයන්ගෙන් වෙන්ව, අකුසලයන්ගෙන් වෙන්ව, විතර්‍ක (කල්පනා කිරීම්) සහිතවූ, විචාර (අරමුණෙහි සිත හැසිරවීම) සහිතවූ, විවේකයෙන් හටගත්තාවූ ප්‍රීතිය හා සැප ඇති ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කෙරෙයි.

විතර්‍ක විවාරයන්ගේ සන්සිඳීමෙන් ස්වකීය සන්තානයෙහි මනාකොට පැහැදීම ඇති, චිත්තයාගේ එකට පහළවීම (එකඟබැව්) ඇති, විතර්‍ක රහිතවූ, විචාර රහිතවූ, සමාධියෙන් හටගත්තාවූ ප්‍රීතිය හා සැප ඇති විතීය ධ්‍යානයට පැමිණ වාසය කරයි.

ප්‍රීතියෙහි නො ඇලීමෙන් උපෙක්‍ෂා ඇත්තෙක්ව වාසය කරයි. සිහි ඇත්තේ, මනා නුවණ ඇත්තේ, සැපයද කයින් විඳී. (බුද්ධාදී) ආර්‍ය්‍යයෝ (එහි වසන්නා) උපෙක්‍ෂා ඇත්තේය, සැප විහරණ ඇත්තේයයි කියත්ද, ඒ තෘතීය ධ්‍යාන සමාපත්තියට එළඹ වාසය කෙරෙයි.

(කායික) සුඛ ප්‍රහාණයෙන් (දුරු කිරීමෙන්ද) දුඃඛ ප්‍රහාණයෙන්ද පළමුකොටම සොම්නස් දොම්නස් දෙදෙනාගේ බැහැරලීමෙන් දුක් නැත්තාවූ, සැප නැත්තාවූ, උපෙක්‍ෂා ස්මෘති දෙදෙනාගේ පිරිසිදු බව ඇති චතුර්ත්‍ථධ්‍යාන සම්පත්තියට එළඹ වාසය කෙරෙයි.

මහණෙනි, මේ භාවනා බලයයි කියනු ලැබේ. මහණෙනි, මේ නම් ධ්‍යාන  බලයෝ  වෙති.’’

§AN 02-02 -04 ධම්ම දේසනා සූත්‍රය.

’’මහණෙනි, තථාගතයන්ගේ  ධර්‍මදෙශනාවෝ දෙආකාර වෙති.
කවර ලෙසද  යත්:

  1. සංක්‍ෂෙප වශයෙන් කරණ දේශනාවය, [සන්කිත්තෙන යනු මාතිකා ලෙස සැලැස්මක් ලෙස ඉදිරිපත් කෙරෙන කෙටියෙන් පමණක් කෙරෙන දේශනාය. උග්ඝඨිතඤ්ඤ සහ විපඨිතඤ්ඤ පුද්ගලයන් අරමුණු කොට කරන ලද දේශනා මේ ලෙස ගැනේ.]
  2. විස්තර වශයෙන් කරණ දේශනාවය යන දෙකය.  [ සැලැස්මක් මුලින් ඉදිරිපත් කොට හෝ නොකොට කෙරෙන විස්තරාන්ත දෙසනා ය. නෙයිය පුද්ගලයන් මේ දේශනා අසා විමුක්තිය සාක්ෂාත් කලෝය. ]

මහණෙනි, මේ  තථාගතයන්ගේ ධර්‍මදේශනා කෙරෙන ආකාර දෙක වෙත්.’’

§AN 02-02 -05. අධිකරණ සූත්‍රය.

’’මහණෙනි, (විවාදාදී) අධිකරණයන් හටගත් විට [ note: අධිකරණ හේතුක  වර්ග   සතර ආකාරයක ඇවත අටුවාව දක්වයි, (i) විවාධාධිකරණය නොහොත් මත භේධයක් (ධර්මය හෝ විනයේ යම් කොටසක් ගැන ඇතිවන මතවල වෙනසක් ) නිසා  අනුවාධි කාරන  දෝෂයක්  දැකීම  (ii) එසේ ඇවතක් කළා යැයි  එසේ කල භික්ශුවට චෝදනා කිරීම  (iii) එසේ එම භික්ෂුව අතින් ආපත්තියක් සිදුවීම (iv)   කිච්චාධිකරණය නොහොත් විසඳීම : සංඝයා එක්ව විනය අනුකුලව විසඳීම )]

යම් අධිකරණයෙක්හි ඇවතට පැමිණි භික්‍ෂුවද , චොදක භික්‍ෂුවද    තමාම (තමන්ගේ දෝෂය) පරීක්‍ෂා කිරීම  අවශ්‍යයෙන් කල  යුතුයි.

(එනම්) ඒ අධිකරණය දීර්‍ඝභාවයට, නපුරු බවට, කර්‍කශ භාවයට පැමිණෙන්නේය. භික්‍ෂූහු තුමූද සැපසේ වාසය නොකරන්නාහුය (යන මේ වශයෙනි.)

’’මහණෙනි, යම් අධිකරණයෙක්හි ඇවතට පැමිණි භික්‍ෂු තෙමේද, චොදක භික්‍ෂු තෙමේද මනාකොට තුමූම තමන් පරීක්‍ෂා කෙරෙත්ද, මහණෙනි, ඒ අධිකරණය දීර්‍ඝභාවයට, ක්‍රූරභාවයට, කර්‍කශ භාවයට නොපැමිණෙන්නේය. භික්‍ෂූහු තුමූද සැපසේ වාසය කරන්නාහුය යන මේ කාරණය අවශ්‍යයෙන් වන්නේය.

’’මහණෙනි, ඇවතට පැමිණියාවූ භික්‍ෂුව කෙසේ නම් තමන්ගේ දෝෂය පරීක්‍ෂා කෙරේද?
වරදට පැමිණි භික්‍ෂුව මෙසේ පරීක්‍ෂා කෙරෙයි:
’මම  කාය ද්වාරයෙන් කිසියම් ක්ලෙශමාත්‍රවූ ඇවතකට පැමිණියෙම්ද, කායවාරයෙන් කිසියම් ලෙශමාත්‍රවූ අකුශලයකට පැමිණෙන්නාවූ මා ඒ (චොදක) භික්‍ෂුව දුටුවේය. (ඉදින්) මම කාය ද්වාරයෙන් කිසියම් ක්ලෙශ මාත්‍රවූ අකුශලයකට නොපැමිණියේනම් ඒ භික්‍ෂුව කායද්වාරයෙන් කිසියම් ලෙශමාත්‍රවූ අකුශලයකට නොපැමිණියේනම් ඒ භික්‍ෂුව කායද්වාරයෙන් කිසියම් ක්ලේශමාත්‍රවූ අකුශලයකට පැමිණෙන්නාවූ මා නොදක්නේය. යම් හෙයකින් වනාහි මම කායවාරයෙන් කිසියම් ස්වල්ප මාත්‍රවූ ඇවතකට පැමිණියෙම්ද, එහෙයින්ම ඒ මහණතෙම කයින් කිසියම් ස්වල්ප මාත්‍රවූ අකුශලයකට පැමිණෙන්නාවූ මා දුටුවේය. ඒ භික්‍ෂුතෙම කයින් කිසියම් ලෙශමාත්‍රවූ ඇවතකට පැමිණෙන්නාවූ මා දැක නොසතුටු සිත් ඇත්තේ විය. නොසතුටු සිත් ඇත්තේම ඒ මහණතෙම නොසතුටු සිතින් යුත් වචන මට කීවේය. ඒ භික්‍ෂුව විසින් නොසතුටු සිතින් යුත් වචන කියන ලද්දාවූ මම නොසතුටු සිත් ඇත්තේ වීමි. නොසතුටු සිත් ඇත්තේම අනුන්ට කීයෙමි. මෙසේ ඒ අධිකරණයෙහිවූ අපරාධය තෙම මාම මැඩගෙන ඉක්මවා ගියේය. (කෙසේදයත්) තීරුව ගෙවිය යුතු තැන පසුකොට තීරුව නොගෙවා ගෙණ ගිය භාණ්ඩයක් නිසා තීරුව දිය යුතු අය (තමා කළ) ඒ අපරාධයෙන් මඩිනු ලබන්නාක් මෙනි.’’

’’මහණෙනි, මෙසේ ඇවතටද පැමිණියාවූ මහණතෙම මනාකොට තමා තමාවම පරීක්‍ෂා කෙරෙයි. මහණෙනි, චොදක භික්‍ෂු තෙමේ මනාකොට තෙමේම තමන් කෙසේ නම් පරීක්‍ෂා කෙරේද? මහණෙනි, මේ ශාසනයෙහි චෝදක භික්‍ෂුතෙම මෙසේ පරීක්‍ෂා කෙරෙයි. (කෙසේද?) වරදකළ මේ භික්‍ෂුතෙම වනාහි කාය ද්වාරයෙන් කිසියම් ලේශමාත්‍රවූ අකුශලයකට පැමිණියේය. කයින් කිසියම් ලේශමාත්‍රවූ අකුශලයකට පැමිණෙන්නාවූ ඒ මේ මහණ (මම) දුටුයෙමි. මේ මහණතෙම කයින් කිසියම් ලෙශමාත්‍රවූ අකුශලයකට ඉදින් නොපැමිණියේ නම්, කයින් කිසියම් ලේශමාත්‍රවූ අකුශලයකට පැමිනෙන්නාවූ මේ මහණ (මම) නොදක්නෙමි. යම් හෙයකින් වනාහි මේ මහණතෙම කයින් කිසියම් ලේශමාත්‍රවූ අකුශලයකට පැමිණියේද, එහෙයින්ම කයින් කිසියම් ලේශමාත්‍රවූ අකුශලයකට පැමිණෙන්නාවූ මේ මහණ (මම) දුටුයෙමි. කයින් කිසියම් ලේශමාත්‍රවූ අකුශලයකට පැමිණෙන්නාවූ මේ මහණ දැක (මම) නොසතුටු සිත් ඇත්තේ වීමි. නොසතුටු සිත් ඇත්තේම මම මේ මහණහුට නොසතුටු සිතින් යුත් වචන කීයෙමි. මේ මහණතෙම විසින් නොසතුටු තෙපුල් කියනලද්දේම නොසතුටු සිත් ඇත්තෙක් වූයේය. නොසතුටු සිත් ඇත්තේම අනුන්ට කීයේය. මෙසේ භාණ්ඩයක් නිසා (වරදට පැමිණි) සුංවත් දෙන්නෙකු මැඩගෙණ (තමා කළ අපරාධය) යන්නාක් මෙන් මා කළ දෙයෙහි දෝෂය මා ම මැඩගෙණ සිටියේය’ කියායි.

’’මහණෙනි, මෙසේ චොදක භික්‍ෂු තෙම (වනාහි) තමාම තමන් ප්‍රත්‍යවෙක්‍ෂා කෙරෙයි.’’මහණෙනි, යම් අධිකරණයෙක්හි ඇවතට පැමිණි (ඇවැත්) භික්‍ෂුතෙමේද, චොදක භික්‍ෂුතෙමේද, මනාකොට තමාම තමන් ප්‍රත්‍යවෙක්‍ෂා නොකරත්ද, මහණෙනි, ඒ අධිකරණය දීර්‍ඝභාවයට, රළුබස් ඇතිබවට, අතින් පයින් පහරදීම් ආදියට පැමිනෙන්නේයයිද, භික්‍ෂු තුමූත් සැපසේ වාසය නොකරන්නාහුයයිද අවශ්‍යයෙන් බලාපොරොත්තු විය යුතුයි. මහණෙනි, යම් අධිකරණයෙක්හි ඇවතට පැමිණි භික්‍ෂු තෙමේද, චොදක භික්‍ෂු තෙමේද, මනාකොට තුමූද තමන් ප්‍රත්‍යවෙක්‍ෂා කෙරෙත්ද, මහණෙනි, ඒ අධිකරණය දීර්‍ඝභාවයට, රළුබස් ඇති බවට, අත් පා ආදියෙන් පහරදීම් ආදී කර්‍කශ භාවයට නොපැමිණෙන්නේයයිද, භික්‍ෂූහුත් සැපසේ වාසය කරන්නාහුයයිද, අවශ්‍යයෙන් බලාපොරොත්තු විය යුතුයි.’

§AN 02-02 -06 අධම්මචරියා සූත්‍රය.

එකල්හි (නාම ගොත්‍රයෙන් අප්‍රසිද්‍ධවූ) එක්තරා බ්‍රාහ්මණයෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹ, භාග්‍යවතුන් වහන්සේ සමග  සතුටු විය යුතුවූ, සිහි කටයුතුවූ (සතුටුසාමීචි) කථාව ඉවරකොට, එකත් පසෙක හිඳ  භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය සැලකෙළේය.

’’භවත් ගෞතමයන් වහන්ස, ඇතැම් සත්ත්‍වයෝ ශරීරයාගේ භෙදයෙන් මරණින් මත්තෙහි අපාය නම්වූ, විනිපාත නම්වූ, නරකයෙහි උපදිත් නම්, ඊට හේතුව කවරේද, ඊට ප්‍රත්‍යය කවරේද?’’

’’බ්‍රාහ්මණය, අධර්‍මචර්‍ය්‍යාව හේතුකොට ගෙණ මෙසේ ඇතැම් සත්ත්‍වයෝ ශරීරයාගේ භේදයෙන් මරණින් මත්තෙහි අපාය නම්වූ, දුගති නම්වූ, විනිපාත නම්වූ නරකයෙහි උපදිත්.’’

’’භවත් ගෞතමයන් වහන්ස, එසේනම්  ඇතැම් සත්ත්‍වයෝ ශරීරයාගේ භෙදයෙන් මරණින් මත්තෙහි සුගති සංඛ්‍යාතවූ ස්වර්‍ග ලෝකයෙහි උපදිත් නම්, ඊට හේතු කවරේද, ඊට  ප්‍රත්‍යය කවරේද?’’

’’බ්‍රාහ්මණය, ධර්‍මචර්‍ය්‍යා නම් සමචර්‍ය්‍යාව හේතුකොට ගෙණ  ඇතැම් සත්ත්‍වයෝ ශරීරයාගේ භේදයෙන් මරණින් මත්තෙහි සුගති නම් ස්වර්‍ග ලෝකයෙහි උපදිත්.’’

’’භවත් ගෞතමයන් වහන්ස, (නුඹ වහන්සේගේ දේශනාව) ඉතා යහපති. භවත් ගෞතමයන් වහන්ස, ඉතා මැනවි. භවත් ගෞතමයන් වහන්ස, යටිකුරුකොට තබන ලද්දක් යම්සේ උඩුකුරුකොට තබන්නේද, වසන ලද්දක් යම්සේ එළිදරව් කරන්නේද, මංමුළාවූවෙකුට යම්සේ මාර්‍ගය කියන්නේද, ඇස් ඇත්තාහු රූපයන් දකිත්වායි අන්ධකාරයෙහි තෙල් පහනක් යම්සේ ඔසවන්නේද, එපරිද්දෙන් භවත් ගෞතමයන් වහන්සේ නොයෙක් ක්‍රමයෙන් ධර්‍මය ප්‍රකාශ කරණ ලද්දේය. මේ මම භවත් ගෞතමයන් වහන්සේද, ධර්‍මයද, භික්‍ෂු සංඝයාද සරණ යෙමි. භවත් ගෞතම තෙමේ අද පටන් දිවිහිම්කොට සරණ ගියාවු උපාසකයෙකුකොට මා දරණ සේක්වා.’’

§AN 02-02 -07 – ජාණුස්සොණි සූත්‍රය.

දිනක්  ජාණුස්සෝණි බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේ  වෙත එළඹ සතුටුවිය යුතුවූ, සිහි කටයුතුවූ (සතුටු සාමීචි) කථාව ඉවරකොට එකත් පසෙක හිඳ  භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය සැළ කෙළේය.

’’භවත් ගෞතමයන් වහන්ස, මෙලොව යමක් හේතුකොටගෙණ ඇතැම් සත්ත්‍වයෝ ශරීරයාගේ භෙදයෙන් මරණින් මත්තෙහි අපාය නම්වූ, විනිපාත නම්වූ, නරකයෙහි උපදිත් නම්, ඒ හේතුව කවරේද, ඒ ප්‍රත්‍යය කවරේද?’’

’’බ්‍රාහ්මණය, කරණලද බැවින්ද, නොකරණලද බැවින්ද මෙසේ මෙලොව ඇතැම් සත්ත්‍වයෝ ශරීරයාගේ භේදයෙන් මරණින් මත්තෙහි අපාය නම්වූ, දුර්‍ගති නම්වූ, විනිපාත නම්වූ නරකයෙහි උපදිත්.’’

’’භවත් ගෞතමයන් වහන්ස, එසේනම් යමක් හේතුකොටගෙණ මෙලොව ඇතැම් සත්ත්‍වයෝ ශරීරයාගේ භෙදයෙන් මරණින් මත්තෙහි සුගති සංඛ්‍යාතවූ ස්වර්‍ග ලෝකයෙහි උපදිත් නම්, ඒ හේතු කවරේද, ඒ ප්‍රත්‍යය කවරේද?’’

’’බ්‍රාහ්මණය, කරණලද බැවින්ද, නොකරණලද බැවින්ද මෙසේ මෙලොව ඇතැම් සත්ත්‍වයෝ ශරීරයාගේ භේදයෙන් මරණින් මත්තෙහි අපාය නම්වූ, සුගති නම්වූ, ස්වර්‍ග ලෝකයෙහි උපදිත්.’’

’’භවත් ගෞතමයන් වහන්සේ විසින් සංක්‍ෂෙපයෙන් වදාරණ ලද්දාවූ, විස්තර වශයෙන් අර්ත්‍ථය විභාග නොකරණ ලද්දාවූ, මේ ධර්‍මයාගේ අර්‍ථය විස්තර වශයෙන් මම නොදනිමි. භවත් ගෞතමයන් වහන්නේ විසින් සංක්‍ෂෙපයෙන් වදාරණ ලද්දාවූ, විස්තර වශයෙන් අර්ත්‍ථය විභාග නොකරණ ලද්දාවූ, මේ ධර්‍මයාගේ අර්ත්‍ථය විස්තර වශයෙන් යම්සේ මම දැනගනිම්ද, ඒ භවත් ගෞතම තෙම මට ධර්‍මය දේශනා කරණ සේක් නම් ඒ ඉතා මැනව.’’

’’බ්‍රාහ්මණය, එසේවීනම් අසව. මනාකොට මෙනෙහි කරව. කියන්නෙමි.’’ ජාණුස්සෝණි බ්‍රාහ්මණ තෙමේ, ’’පින්වතුන් වහන්ස, එසේ යහපතැ’’ යි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්නේය. භාග්‍යවත් තෙමේ මේ වදාළසේක.

’’බ්‍රාහ්මණය. මෙලොව ඇතැමෙකු විසින් කාය දුශ්චරිතය කරණ ලද්දේ වේද. කාය සුචරිතය නොකරණ ලද්දේ වේද. වාග් දුශ්චරිතය කරණ ලද්දේ වේද. වාග් සුචරිතය නොකරණ ලද්දේ වේද. මනෝ දුශ්චරිතය කරණලද්දේ වේද. මනෝ සුචරිතය නොකරණ ලද්දේ වේද. බ්‍රාහ්මණය. මෙසේ වනාහි කළ බැවින්ද නොකළ බැවින්ද මෙඍේ මෙලොව ඇතැම් ඍත්ත්‍වයෝ ශරීරයාගේ භෙදයෙන් මරණින් මත්තෙහි අපාය නම්වූ, දුර්‍ගති නම්වූ, විනිපාත නම්වූ නිරයෙහි උපදිත්.

බ්‍රාහ්මණය. මෙලොව ඇතැමෙකු විසින් කාය සුචරිතය කරණ ලද්දේ වේද. කාය දුශ්චරිතය නොකරණ ලද්දේ වේද. වාග් සුචරිතය කරණ ලද්දේ වේද. වාග් දුශ්චරිතය නොකරණ ලද්දේ වේද. මනෝ සුචරිතය කරණලද්දේ වේද. මනෝ දුශ්චරිතය නොකරණ ලද්දේ වේද. බ්‍රාහ්මණය. එපරිද්දෙන් කරණ ලද හෙයින්ද, නොකරණ ලද හෙයින්ද, මෙඍේ මෙලොව ඇතැම් ඍත්ත්‍වයෝ ශරීරයාගේ භෙදයෙන් මරණින් මත්තෙහි සුගති නම්වූ, ස්වර්‍ග නම්වූ, ලෝකයෙහි උපදිත්.’’

’’භවත් ගෞතමයන් වහන්ස, (නුඹ වහන්සේගේ දේශනාව) ඉතා යහපති. භවත් ගෞතමයන් වහන්ස, ඉතා මැනවි. භවත් ගෞතමයන් වහන්ස, යටිකුරුකොට තබන ලද්දක් යම්සේ උඩුකුරුකොට තබන්නේද, වසන ලද්දක් යම්සේ එළිදරව් කරන්නේද, මංමුළාවූවෙකුට යම්සේ මාර්‍ගය කියන්නේද, ඇස් ඇත්තාහු රූපයන් දකිත්වායි අන්ධකාරයෙහි තෙල් පහනක් යම්සේ ඔසවන්නේද, එපරිද්දෙන් භවත් ගෞතමයන් වහන්සේ නොයෙක් ක්‍රමයෙන් ධර්‍මය ප්‍රකාශ කරණ ලද්දේය. මේ මම භවත් ගෞතමයන් වහන්සේද, ධර්‍මයද, භික්‍ෂු සංඝයාද කරණ යෙමි. භවත් ගෞතම තෙමේ අද පටන් දිවිහිම්කොට සරණ ගියාවු උපාසකයෙකුකොට මා දරණ සේක්වා.’’

§AN 02-02 – 8. ආනන්‍දපණ්හ සූත්‍රය.

දිනක්  ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිර තෙම භාග්‍යවත් බුදුරජ යම් තැනෙක්හිද, එහි එළඹියේය. එළඹ භාග්‍යවතුන් වහන්සේ මනාකොට වැඳ එකත් පසෙක හුන්නේය. එකත් පසෙක හුන්නාවූ ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන්ට භාග්‍යවතුන් වහන්සේ මේ කාරණය වදාළ සේක.

’’ආනන්‍දය, කාය දුශ්චරිතයද, වාග් දුශ්චරිතයද, මනො දුශ්චරිතයද, ඒකාන්තයෙන් නොකටයුතුයයි මම කියමි.’’

’’ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ විසින් යම් මේ කාය දුශ්චරිතයද, වාග් දුශ්චරිතයද, මනො දුශ්චරිතයද, ඒකාන්තයෙන් නොකටයුතුයයි ප්‍රකාශ කරණ ලද්දේද, නොකටයුතුවූ ඒ කරණු ලබන කල්හි කිනම් දෝෂයක් අවශ්‍යයෙන් ඇති වන්නේද?’’

’’ආනන්‍දය, මා විසින් යම් මේ කාය දුශ්චරිතයද, වාග් දුශ්චරිතයද, මනො දුශ්චරිතයද, ඒකාන්තයෙන් නොකටයුතුයයි ප්‍රකාශ කරණ ලද්දේද, නොකටයුතුවූ එය කරණු ලබන කල්හි මේ ආදීනවය අවශ්‍යයෙන් ඇතිවිය යුතුයි.

(කුමක්ද?) තෙමේද තමන්ට දෝෂ කියයි. දැන නින්‍දා කරත්. (තමන් පිළිබඳ) ලාමකවූ කීර්ති ශබ්දයක් වෙඍෙඍින් උඍ්ව පැනනගී. ඍිහිමුළාව මැරෙයි. ශරීරයාගේ භෙදයෙන් මරණින් මත්තෙහි අපාය නම්වූ. දුර්‍ගති නම්වූ. විනිපාත නම් වූ නරකයෙහි උපදී. ආනත්‍දය. මවිඍින් යම් මේ කායදුශ්චරිතයද වාග්දුශ්චරිතයද. මනොදුශ්චරිතයද. ඒකාන්තයෙන් නොකටයුතුය යි ප්‍රකාශ කරණ ලද්දේද, එය කරණු ලබන කල්හි මේ දෝෂය තෙම අවශ්‍යයෙන් විය යුතුයි.’’

ආනන්‍දය, මම කායසුචරිතයද, වාග්සුචරිතයද, මනොසුචරිතයද, ඒකාන්තයෙන් කටයුතුයයි කියමි.’’

’’ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ විසින් යම් මේ කාය සුචරිතයද, වාග් සුචරිතයද, මනො සුචරිතයද, ඒකාන්තයෙන් කටයුතුයයි ප්‍රකාශ කරණ ලද්දේද, කටයුතුවූ එය කරණු ලබන කල්හි කවර ආනිසංසයක් බලාපොරොත්තු විය යුතුද?’’

’’ආනන්‍දය, මා විසින් යම් මේ කායසුචරිතයද, වාග්සු්චරිතයද, මනොසුචරිතයද, ඒකාන්තයෙන් කටයුතුයයි ප්‍රකාශ කරණ ලද්දේද, කටයුතුවූ එය කරණු ලබන කල්හි මේ ආනිසංසය බලාපොරොත්තු විය යුතුයි. (කුමක්ද?) තෙමේද තමන්ට දොස් නොකියයි. නුවණැත්තෝ දැන ප්‍රශංසා කෙරත්. යහපත්වූ කීර්ති ශබ්දයක් වෙඍෙඍින් උඍ්ව පැනනඟී. ඍිහිමුළා බවක් නැතිව කළුරිය කෙරෙයි. ශරීරයාගේ භෙදයෙන් මරණින් මත්තෙහි යහපත් ගති ඇති ස්වර්‍ග ලෝකයෙහි උපදී. ආනත්‍දය. මවිඍින් යම් මේ කායසුචරිතයද වාග්සුචරිතයද. මනොසුචරිතයද. ඒකාන්තයෙන් කටයුතුය යි ප්‍රකාශ කරණ ලද්දේද, එය කරණු ලබන කල්හි මේ ආනිසංසය බලාපොරොත්තු විය යුතුයි.’’

§AN 02-02 – 09  අකුසලප්පහාන සූත්‍රය

’’මහණෙනි, අකුසලය දුරුකරව්. මහණෙනි, අකුසලය දුරුකිරීමට හැක්කේය. මහණෙනි, ඉදින් අකුසලය දුරුකිරීමට නොහැකිවන්නේනම්, ’’ මහණෙනි, අකුසලය දුරුකරව්.’’ යයි මම මෙසේ නොකියමි. මහණෙනි, යම්හෙයකින් වනාහි අකුසලය දුරුකරන්ට හැකි වන්නේද, එහෙයින්ම, ’’ මහණෙනි, අකුසලය දුරුකරව්.’’ යයි මම මෙසේ කියමි. මහණෙනි, මේ අකුසලය දුරුකරණ ලද්දේ අහිත පිණිස, දුක් පිණිස පවත්නේ නම්, ’’ මහණෙනි, අකුසලය දුරුකරව්.’’ යයි මම මෙසේ නොකියන්නෙමි. මහණෙනි, යම් හෙයකින් අකුසලය හිත පිණිස, සැප පිණිස පවතීද, එහෙයින්ම, ’’ මහණෙනි, අකුසලය දුරුකරව්.’’ යයි මම මෙසේ කියමි.’’

§AN 02-02 – 10. කුසලභාව සූත්‍රය.

’’මහණෙනි, කුසලය වඩව්. මහණෙනි, කුසලය වඩන්නට හැක්කේය. මහණෙනි, ඉදින් කුසලය වඩන්නට නොහැකිවන්නේනම්, ’’ මහණෙනි, කුසලය වඩව්.’’ යයි මම මෙසේ නොකියන්නෙමි. මහණෙනි, යම්හෙයකින් වනාහි කුසලය වඩන්නට හැක්කේද, එහෙයින්ම, ’’ මහණෙනි, කුසලය වඩව්.’’ යයි මම මෙසේ කියමි. මහණෙනි, මේ කුසලයද වඩන ලද්දේ අවැඩ පිණිස, දුක් පිණිස පවත්නේ නම්, ’’ මහණෙනි, කුසලය වඩව්.’’ යයි මම නොකියන්නෙමි. මහණෙනි, යම් හෙයකින් වනාහි කුසලය වඩන ලද්දේ වැඩ පිණිස, සැප පිණිස පවතීද, එහෙයින්ම, ’’ මහණෙනි, කුසලය වඩව්.’’ යයි මම මෙසේ කියමි.’’

§AN 02-02 – 11 සම්මොස සූත්‍රය.

’’මහණෙනි, මේ ධර්මයෝ දෙදෙනෙක් සද්‍ධර්‍මයාගේ විනාශය පිණිස, අතුරුදන්වීම පිණිස පවතිත්. කවර දෙදෙනෙක්ද යත්: වරදවා ගන්නා ලද පාලි පදයද, වරදවා පමුණුවන ලද්දාවූ අර්ත්‍ථයද යන දෙදෙනයි. මහණෙනි, පිළිවෙල වරදවා ගන්නා ලද්දාවූ පදව්‍යඤ්ජනයාගේ අර්ත්‍ථයද දුකසේ දැනගත යුතුය. මහණෙනි, මේ ධර්මයෝ දෙදෙන වනාහි සද්‍ධර්‍මශාසනයාගේ විනාශය පිණිස, අතුරුදන්වීම පිණිස, පවතිත්.’’

§AN 02-02 – 12 අසම්මොස සූත්‍රය.

’’මහණෙනි, මේ ධර්මයෝ දෙදෙනෙක් ධර්‍මයාගේ චිරස්ථිතිය පිණිස, අවිනාශය පිණිස, අතුරුදන්නො වීම පිණිස පවතිත්.

ඒ කවරේද යත්:

  1. පිළිවෙළ නොයික්මවා ගන්නා ලද දෙශනා පාලියද,
  2. පරිපාටිය නොපෙරළා ගන්නා ලද අර්ත්‍ථයද යන දෙදෙනයි.

මහණෙනි, මනාකොට ගන්නා ලද්දාවූ පදව්‍යඤ්ජනයාගේ අර්ත්‍ථයද මනාකොට දත හැකි වේ. මේ ධර්මයෝ දෙදෙන වනාහි ශාසනයාගේ චිරස්ථිය පිණිස, අවිනාශය පිණිස, අතුරුදන්නොවීම පිණිස, පවතිත්.’’

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.