MN 03-04-10 -ධාතු විභංග සුත්‍රය

dws

§1.  මා විසින් මෙසේ අසන ලදී.
එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ මගධ දනව්වල සැරිසරණ සේක් 
රජගහනුවර සමීපයෙහි   භග්ගව නම් කුම්භකාර යාගේ ශාලාව වෙත ගොස් , භග්ගව නම් කුම්භකාරයාට මෙය වදාළේය. “භග්ගවය, ඉදින් ඔබට අවහිරයක්  නොවේ නම් ඔබගේ කුම්භකාර ශාලාවෙහි අද රෑ නවතින්නට අවසර පතන්නෙමි” යනුයි. එවිට  භග්ගව කියන්නේ “ස්වාමීනි, මට එය කිසිදු අවහිරයක්න නම් නොවේ. නමුත් ඔබවහන්සේට කලින් මෙහි පැමිණි තවත් ශ්‍රමණයෙකුට අද රැය මෙහි ගෙවන්නට මම අවසර දුන්නෙමි. ඔහුගෙන් විරුද්ධත්වක් නැතිනම් ස්වාමීනි, ඔබ වහන්සේ ද  මෙහි   සැපසේ වාසය කරනු මැනවැ’ යි කීය.
[අටුවාව : තක්සිලා නුවර රජකළ පුක්කුසාති නම් රජතුමා මගධ දේශයෙහි රජවූ බිම්බිසාර රජු හා මිතුරුව සිටියේය.  දෙනුවර අතර යන එන වෙළඳ ගැල් නායකයන් අත ඔවුනොවුනට ත්‍යාග යවමින් බොහෝ කුලුපඟව සිටියහ. බිම්බිසාර රජු බෞද්ධ යෙක්  වූ පසු මිතුරාටද තෙරුවන් සරණ යාමේ වැදගත් කම දැන්වීමට තිසරණයේ ගුනද, මුලික බෞද්ධ ඉගැන්වීමද රන් පත්වල ලියා මෙසේ ත්‍යාග ලෙස යැවීය. ඒ කියවූ පුක්කුසාති රජු අමන්දානන්දයට පැමිණ රජකමද ගිහිගෙයද හැර පියා කෙස් බහා කෂාය වස්ත්‍ර පොරවා තවුස් වෙස් ගෙන මම ගෞතම බුද්ධ සාසනයේ මහණවෙමැ’යි සිතා බුදු රජාණන් වහන්සේ රජගහනුවර වසන්නේයැයි දැන එහි ගියේය. එහිදී භාග්‍යවතුන් වහන්සේ සැතපුම් 300 ක් පමණ දුරින් වූ සාවත්ති නුවරට වැඩිය බව දැනගෙන රජගහ නුවර සිට සාවත්තියට යන්නට පිටත්විය. පුක්කුසාති ශ්‍රමණයන්ගේ විමුක්ති මාර්ගයට එළඹීමේ මහා හැකියාව දුටු භාග්‍යවතුන් වහන්සේ ඔහුව හමුවීමේ සහ ඔහුට පිහිටවීමේ අදහසින් මෙසේ ඔහු හුන්නාවූ ලැගුම් හලටම වැඩි සේක.]

§ 2. “එකල්හි  පුක්කුසාති නම් කුලපුත්‍රයෙක් භාග්‍යවතුන් වහන්සේ නොදැකම, උන්වහන්සේ සරණ ගියේ බුද්ධ සාසනය වෙනුවෙන්ම පැවිදිවුයේ,  ඒ කුම්භකාර ශාලාවෙහි රාත්‍රිය   ගෙවන්නට  එළඹ සිටියේ වෙයි. ඉදින්  භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් පුක්කුසාති වෙත  එළඹ, ආයුෂ්මත් පුක්කුසාතිහට මෙය වදාළේය. “මහණ, ඉදින් තොපට අවහිරයක්  නොවේ නම්, මෙම  කුම්භකාර ශාලාවෙහි මම් ද  එක් රැයක් ගතකරන්නට කැමැත්තෙමි”යි වදාළ සේක.

“ඇවැත්නි, කුම්භකාර ශාලාවේ බොහෝ ඉඩ ඇත්තේය. ආයුෂ්මතුන් වහන්සේද  මෙහි සුවසේ වාසය කෙරේවා”යි කීය. [ භාග්‍යවතුන්වහන්සේ නොහඳුන බැවින් සම වයසේ තවත් ශ්‍රමනයෙකැයි සිතා පුක්කුසාති ශ්‍රමනයන් මෙසේ “ආයුසෝ වාදයෙන්” ආමන්ත්‍රණය කළේය.]

dwsutta

§ 4. “ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ කුම්භකාර ශාලාවට ඇතුල්ව එක්පසක තණ ඇතිරියක් පනවා ඒ මත පළඟ බැඳගෙණ කය ඍජුකොට පිහිටුවා සතිය  ඉදිරියෙහි අරමුනසේ ගෙන වැඩහුන්සේක. මෙසේ  භාග්‍යවතුන් වහන්සේ රාත්‍රියෙහි වැඩි කොටසක් කාලයක් පර්යංක භාවනාවෙහි යෙදී රාත්‍රිය ඉක්මවූ සේක. පුස්කුසාති තවුසාද රාත්‍රියෙහි වැඩි කොටසක් පර්යංකයක්  බැඳ භාවනාවෙහි යෙදී සිටියේය.  එකල්හි භාග්‍යවතුන් වහන්සේට මෙබඳු අදහසක් විය. ‘මේ කුලපුත්‍රයාගේ ඉරියව් ප්‍රසන්න  වෙයි. ඔහු හා කතාකොට ධර්මය දේශනා කරන්නේ නම් යහපති.” යි, කියායි.

§ 5.  භාග්‍යවතුන් වහන්සේ පුක්කුසාති ශ්‍රමණයන් ගෙන් මෙසේ අසා වදාළ සේක.  “මහණ, නුඹ කවරෙකු උදෙසා පැවිදිවූයේ වෙහිද? නුඹගේ ශාස්තෘ  කවරෙක්ද, නුඹ කවරෙකුගේ  ධර්මයක් රුචි කරන්නේදැ?”යි ඇසූහ. [ සිය බුද්ධ ඥානයෙන් පුක්කුසාති තමන් වහන්සේ උදෙසාම ගිහි ගෙය හැරි බව දනිතත් භාග්‍යවතුන් වහන්සේ මෙසේ ප්‍රශනයක් ඇසුවේ පුක්කුසාති හා කතාව පටන් ගැනීමේ අදහසිනි.]

“ඇවැත්නි, ශාක්‍යපුත්‍රවූ, ශාක්‍ය කුලයෙන් නික්ම පැවිදිවූ, ගෞතම නම් ශ්‍රමණ කෙනෙක් ඇත්තේය. “ඒ භාග්‍යවත් ගෞතමයන්ගේ  කීර්තිය දසතම පැන නැංගේය. ඒ භාග්‍යවතුන් වහන්සේ අර්හත්ය. සම්‍යක් සම්බුද්ධය, විද්‍යාචරණ සම්පන්නය, සුගතය, ලොකවිදූය, පුරුෂයන් දමනය කිරීමෙහි නිරුත්තරවූ සාර්ථවාහකයෙකු බඳුය, දෙවි මිනිසුන්ට අනුශාසනා කරන්නෙකි, බුද්ධය, භාග්‍යවත්ය”, යනුවෙනි.

මම ඒ භාග්‍යවතුන් වහන්සේ උදෙසා පැවිදි වූයේ වෙමි. ඒ භාග්‍යවතුන් වහන්සේ මාගේ ශාස්තෘ වෙයි. මම ඒ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය කැමති වෙමියි’යි කීය.

“මහණ, මේ දිනවල ඒ අර්හත් සම්‍යක් සම්බුද්ධවූ භාග්‍යවතුන් වහන්සේ කොතැන්හි වාසය කරණසේක්දැ?”යි ඇසූහ.
“ඇවැත්නි, උතුරු දනව්වල සැවැත් නම් නුවරක් ඇත්තේය.  මේ කාලයෙහි අර්හත් සම්‍යක් සම්බුද්ධවූ ඒ භාග්‍යවතුන් වහන්සේ  එහි වාසය කරණසේකැයි” කීය.

“මහණ, තොප විසින් ඒ භාග්‍යවතුන් වහන්සේ පෙරදී  දක්නා ලද්දේද, දැක්කොත් , දැන, හඳුනන්නෙහිදැ”යි ඇසූහ.
“ඇවැත්නි, ඒ භාග්‍යවතුන් වහන්සේ මා විසින් කිසිදා  දැක නැත. එසේ හෙයින් දුටුවොත් මට හඳුනන්නට නොහැකිය”යි කීය.

§ 6. එකල්හි භාග්‍යවතුන් වහන්සේට මෙබඳු අදහසක් විය. ‘මේ කුලපුත්‍රයා මා උදෙසා පැවිදිවූයේය. මොහුට මම ධර්මය දෙශනා කරන්නෙම් නම් යෙහෙකැ’යි කියායි.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් පුක්කුසාති තවුසන්ට ආමන්ත්‍රණය කළසේක. “මහණ, මම තොපට ධර්මය දෙශනා කරන්නෙමි. එය අසව. යහපත් කොට මෙනෙහි කරව. කියන්නෙමියි” වදාළේය.
“ඇවැත්නි, එසේයයි” කියා භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්නේය.
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
[අටුවාව :- 
බිම්බිසාර රජු එවූ රන් පත් හසුනේ ලියා තිබු ආනාපාන සති භාවනා කමටහන් කියවා තනිව බවුන් වඩා ආනාපාන සමාධිය දියුණු කොට සතරවෙනි ධ්‍යානය තෙක් සිත වඩා සිටි  පුක්කුසාති තවුසාගේ  සමාධි කෞශල්‍යය  දත් භාග්‍යවතුන්වහන්සේ අරහත් ඵලයට හෙතුවන්නාවූ විදර්ශනා පාදක ශුන්‍යතා ධර්මය ධර්ම කොටසක්  ලෙස මාතෘකා කොට  දේශනාව කල සේක.]

§ 7. ‘මහණ, 

  • මනුෂ්‍යයා ධාතු සයකින් සෑදුනේ වෙයි,.  
  • ස්පර්ශ ආයතන සයකින් යුක්ත වුයේ වෙයි,  
  • සිතේ හැසිරීම් දහඅටකින් යුක්ත වන්නේ වෙයි. 
  • සතර ආකාර වූ [ප්‍රඥා , සත්‍ය, ත්‍යාග, නිස්සරණ යන] පිහිටීම් ඇත්තාවූ සිත් ඇත්තේ වෙයි.
  • යම් තැනෙක්හි සිටියහුට වැරදි හැඟීම් නොපවතිත්ද, එවැනි පිහිටීම් සතරක් ඇත්තාහුය. වැරදි හැඟීම් නොපවත්වන්නාවූ ක්ෂිණාශ්‍රව මුනිතෙම සංසිඳුනේයයි කියනු ලැබේ. ඔහු (අර්හත් ඵල) ප්‍රඥාවට ප්‍රමාද නොවන්නේය. වාග් සත්‍යය ආරක්ෂා කරන්නේය. කෙලෙස් දුරු කිරීම වඩන්නේය. හෙතෙම කෙලෙස් සංසිඳිමෙහිම හික්මෙන්නේය. මේ වනාහි සවැදෑරුම් ධාතු විභංගයාගේ උද්දෙසය වේ.

§  8.. “මහණ, මනුශ්‍යයා  ධාතු සයකින් යුක්තයයි, මා  කියනලදී.
කුමක් නිසා එසේ  කියන ලදද?

පඨවි ධාතුය, අපො ධාතුය, තෙජො ධාතුය, වායො ධාතුය, ආකාශ ධාතුය, විඤ්ඤාණ ධාතුය, (යන සයයි). මහණ, මනුශ්‍යයා  ධාතු සයකින් යුක්තයයි   මේ නිසා මාකියනලදී.. [සත්‍යවශයෙන් ඇත්තේ නැති දෙය සත්‍යවශයෙන් ඇත්තාවූ ධාතුන්ගෙන් සමන්විත වූ බව දක්වමින් පුද්ගලයෙකු ලෙස අප දකින්න ඇත්තෙන්ම පුද්ගලයෙකු නොව ධාතු සයකින් මවාපාන්නාවූ සඥා මාත්‍රයක් බව මේ දේශනාවෙන් කියැවේ .]  

§  9. “මහණ, මනුශ්‍යයා  ස්පර්ශ ආයතන සයකින් යුක්තයයි, මා  කියනලදී.
කුමක් නිසා  මා එසේ  කියන ලදද?

  • චක්ඛු සම්ඵස්ස ආයතනය,
  • සොත සම්ඵස්ස ආයතනය,
  • ඝාණ සම්ඵස්ස ආයතනය,
  • ජිව්හා සම්ඵස්ස ආයතනය,
  • කාය සම්ඵස්ස ආයතනය,
  • මනො සම්ඵස්ස ආයතනය (යන සයයි)

මහණ, මනුෂ්‍යයා  ස්පර්ශ ආයතන සයකින් යුක්තව ඇත්තේයයි,  මේ නිසා  මෙසේ  කියන ලදී..

§ 10. “මහණ,  මනුෂ්‍යයා   සිතේ හැසිරීම් පිළිවෙත් දහඅටකින්  යුක්තයයි, මා  කියනලදී.
කුමක් නිසා මා  එසේ  කියන ලදද?

  • ඇසින් රූපයක්  දැක සොම්නසට කරුණුවූ රූපය අනුව හැසිරෙයි.
  • ඇසින් රූපයක්  දැක දොම්නසට කරුණුවූ රූපය අනුව හැසිරෙයි.
  • ඇසින් රූපයක්  දැක උපෙක්ෂාවට කරුණුවූ රූපය අනුව හැසිරෙයි
  • කණින් ශබ්දය අසා සොම්නසට කරුණුවූ ශබ්දය අනුව හැසිරෙයි,
  • කණින් ශබ්දය අසා දොම්නසට කරුණුවූ ශබ්දය අනුව හැසිරෙයි,
  • කණින් ශබ්දය අසා උපෙක්ෂාවට කරුණුවූ ශබ්දය අනුව හැසිරෙයි.
  • නාසයෙන් සුවඳ ආඝ්‍රාණය කොට සොම්නසට කරුණුවූ ගන්ධය අනුව හැසිරෙයි,
  • නාසයෙන් සුවඳ ආඝ්‍රාණය කොට දොම්නසට කරුණුවූ ගන්ධය අනුව හැසිරෙයි,
  • නාසයෙන් සුවඳ ආඝ්‍රාණය කොට උපෙක්ෂාවට කරුණුවූ ගන්ධය අනුව හැසිරෙයි.
  • දිවෙන් රසය විඳ සොම්නසට කරුණුවූ රසය අනුව හැසිරෙයි,
  • දිවෙන් රසය විඳ දොම්නසට කරුණුවූ රසය අනුව හැසිරෙයි,
  • දිවෙන් රසය විඳ  උපෙක්ෂාවට කරුණුවූ රසය අනුව හැසිරෙයි. 
  • කයින් ස්පර්ශ කළයුත්ත ස්පර්ශ කොට සොම්නසට කරුණුවූ ස්පර්ශය අනුව හැසිරෙයි.
  • කයින් ස්පර්ශ කළයුත්ත ස්පර්ශ කොට දොම්නසට කරුණුවූ රූපය අනුව හැසිරෙයි,
  • කයින් ස්පර්ශ කළයුත්ත ස්පර්ශ කොට උපෙක්ෂාවට කරුණුවූ ස්පර්ශය අනුව හැසිරෙයි.
  • සිතින් ධර්මය දැන සොම්නසට කරුණුවූ, ධර්මය අනුව හැසිරෙයි.
  • සිතින් ධර්මය දැන දොම්නසට කරුණුවූ ධර්මය අනුව හැසිරෙයි.
  • සිතින් ධර්මය දැන උපෙක්ෂාවට කරුණුවූ ධර්මය අනුව හැසිරෙයි.

මෙසේ සොම්නසයෙහි හැසිරීම් සයක්ය,
දොම්නසයෙහි හැසිරීම් සයක්ය,
උපෙක්ෂාවෙහි හැසිරීම් සයක්යයි, (දහඅටක් වෙත්)

මහණ, මෙසේ මනුෂ්‍යයා ගේ  සිත් හැසිරීම අටළොස්  ආකාර වෙයි. 

§ 11. “මහණ, මනුෂ්‍යයා පිහිටීම් (අධිට්ඨාන ) සතරක් මත පිහිටියේයැයි මා  කියනලදී.
කුමක් නිසා මා  එසේ  කියන ලදද?

  • ප්‍රඥාව පිහිටීම කොට ඇත්තේය. (පඥා අධිට්ඨාන)
  • සත්‍යය පිහිටීම කොට ඇත්තේය. (සච්ච අධිට්ඨාන)
  • ත්‍යාගය පිහිටීම කොට ඇත්තේය. (චාග අධිට්ඨාන)
  • සංසිඳීම පිහිටීම කොට ඇත්තේය. (උපසමාධිට්ඨාන )

යන සතරයි.  මහණ, මනුෂ්‍යයාට  පිහිටීම් සතරක් ඇත්තේයයි, මා කියන ලද්දේ  මේ නිසාය.
[පාලියෙන් පටිත්ඨාන සහ අධිට්ඨාන යන වචන දෙකින් නිර්වාණය පසක් කරන්නට අත්තිවාරමක් ලෙස යෙදෙන බැවිනුත් මේ සතර අධිට්ඨාන සලකා බැලීමේදී උක්තවන ප්‍රඥා , සත්‍ය, ත්‍යාග සහ සංසිඳීම යන කාරනා නිර්වාණය ප්‍රත්‍යක්ෂ කිරීමට අවශ්‍යවන ආකාරය ලෙස සැලකීම වටී .]

  • “ප්‍රඥාව සඳහා ප්‍රමාද නොවන්නේය,
  • සත්‍යය ආරක්ෂා කරන්නේය,
  • ත්‍යාගය වඩන්නේය,
  • හෙතෙම සංසිඳීමෙහිම හික්මෙන්නේ යයි, මෙසේ  මේ නිසා කියන ලදී.

එය කුමක් සඳහා කියන ලදද?

§ 12 . මහණ, කෙසේ නම් ප්‍රඥාව  සඳහා ප්‍රමාද නොවේද,? ඔහු ප්‍රඥාව නොසලකා  නොඉඳියි. සත්‍යය රකියි. අත්හැරීම පුහුණු කරයි. සංසිඳීම පතයි.
[මාර්ගස්ථ පුත්ගලයා සමථ  හා විදර්ශනා යන දෙ ආකාරයෙන්ම සිය ප්‍රඥාව අරහත්වය තෙක් වැඩිය යුතු වෙයි. ඔහු එසේ  සත්‍ය වචනය සැම විට ආරක්ෂා කිරීමෙන් පරම සත්‍යය  වන නිර්වාණය පසක් කරගන්නේය. ක්ලේශයන් ටිකින් 
ටික ප්‍රහාණය කිරීමෙන්  අරහත් මාර්ගයේ  පියෙන් පිය නගන්නේය. සමථ හා විපස්සනා වෙන් ලබන ප්‍රඥාව අරහත් ප්‍රඥාව ලබන්නට ඕනෑ කරන අත්තිවාරමට  පෙර කලයුතු  බිම සකස් කිරීමක් වන්නේය.]

§ 13.  ඔහු කෙසේ නම් ප්‍රඥාව නොසලකා නොඉන්නේද ?
[ධාතු මනසිකාරය වැඩීම පිණිස කෙරෙන භාවනාව මහා හත්ති පදෝපම සුත්‍රයේ  (Link)  $ 8 හි දක්වා ඇතී බව සලකන්න ]

මහණ , ධාතු සයක් වෙත්. පඨවි ධාතුවය, ආපො ධාතුවය, තෙජො ධාතුවය, වායො ධාතුවය, ආකාස ධාතුවය, විඤ්ඤාණ ධාතුවය, (යන සයයි)..

§ 14 “මහණ, පඨවි ධාතුව කවරීද?

  • පඨවි ධාතුව අධ්‍යාත්මිකද වන්නීය, බාහිරද වන්නීය.
  • මහණ, අධ්‍යාත්මිකවූ පෘථිවි ධාතුව නම් කවරීද,
    අධ්‍යාත්මිකවූද, තමන් තුළ පවත්නාවූද, යම් තද බවක් , ඝන බවක්, රළු බවක් තමා වශයෙන් ගන්නා ලද්දක් වේද, එනම්: කෙස්ය, ලොම්ය, නියය, දත්ය, සමය, මස්ය, නහරය, ඇටය, ඇට මිදුලුය, වකුගඩුවය, හෘදය මාංශය, අක්මාවය, දලබුවය, බඩදිවය, පපුවය, අතුනුය, අතුනු බහන්ය, නොපැසුණ ආහාරය, මළය, (යන මේවාය).
  • “අන්‍යවූද, කිසියම් අධ්‍යාත්මිකවූ තමා පිළිබඳවූ තද බවක් රළු බවක් තමා වශයෙන් ගන්නා ලද්දක් වේද, මහණ, ඒ අධ්‍යාත්මිකවූ පඨවි ධාතුයයි කියනු ලැබේ.
  • එසේ යම් අධ්‍යාත්මිකවූ පඨවි ධාතුවක් වන්නීද, යම් බාහිරවූ පඨවි ධාතුවකුත් වන්නීද, ඒ දෙකම  පඨවි ධාතුම වන්නීය.
  • ‘එය මගේ නොවෙයි, එය මම නොවෙමි, එය මාගේ ආත්මය නොවේයයි’ මෙසේ එය තත්වූ පරිද්දෙන් මනා නුවණින් දැක්ක යුතුයි. මෙසේ එය තත්වූ පරිද්දෙන් මනා නුවණින් දුටු විට  පඨවි ධාතුව කෙරෙහි කලකිරෙයි. පඨවි ධාතුවෙහි සිත නොඅලවයි.

§ 15  . “මහණ, ආපො ධාතුව කවරීද?

  • ආපොධාතුව අධ්‍යාත්මිකද වන්නීය, බාහිරද වන්නීය.
  • මහණ, අධ්‍යාත්මිකවූ ආපොධාතුව කවරීද,
    අධ්‍යාත්මිකව තමන් තුළ පවත්නාවූ යම් වැගිරීමක්, වැගිරීම් ගතියක් තමා වශයෙන් ගන්නා ලද්දක් වේද, එනම්: පිතය, සෙමය, සැරවය, ලේය, ඩහදියය, මේද තෙලය, කඳුලුය, වුරුණු තෙලය, කෙලය, සොටුය, සඳමිදුලුය, මුත්‍රය යන මොහුද මෙයින් අන්‍යවූද යම් කිසිවක් හෝ අධ්‍යාත්මිකවූ, තමන් පිළිබඳවූ වැගිරීමක්, වැගිරෙන බවට පැමිණි දෙයක් තමා වශයෙන් ගන්නා ලද්දක් වේද, මහණ, මෙය අධ්‍යාත්මිකවූ ආපොධාතුවයයි කියනු ලැබේ.
  • යම් අධ්‍යාත්මිකවූ ආපොධාතුවක් වන්නීද, යම් බාහිරවූ ආපෝ ධාතුවකුත් වන්නීද, එයද ආපොධාතුවම වන්නීය.
  • ‘එය මාගේ නොවෙයි. එය මම නොවෙමි. එය මාගේ ආත්මය නොවේයයි,’ මෙසේ එය තත්වූ පරිද්දෙන් මනා නුවණින් දැක්ක යුතුයි. මෙසේ එය තත්වූ පරිද්දෙන් මනා නුවණින් දැක, අපොධාතුව කෙරෙහි කලකිරෙයි. ආපොධාතුව කෙරෙහි සිත නොඅලවයි.

§ 16.  “මහණ, තෙජො ධාතුව කවරීද,

  • තෙජො ධාතුව අධ්‍යාත්මිකද වන්නීද, බාහිරද වන්නීය.
  • මහණ, අධ්‍යාත්මිකවූ තෙජොධාතුව කවරීද,
    යම් අධ්‍යාත්මිකවූ තමන් පිළිබඳවූ උණුසුමක්, උණුසුම් බවක්, තමා වශයෙන් ගන්නා ලද්දක් වේද, එනම්, යමකින් තැවේද, යමකින් දිරණු ලැබේද, යමකින් දවනු ලැබේද, යමකින් කනලද බොනලද කඩා කන ලද, දිවගාන ලද දේ, මනාකොට පැසීමට යේද, මෙයින් අන්‍යවූද, යම්කිසි අධ්‍යාත්මිකවූ තමන් පිළිබඳවූ, උණුසුමක්, උණුසුම් බවක් තමා වශයෙන් ගන්නා ලද්දක් වේද, මහණ, එය අධ්‍යාත්මිකවූ තෙජොධාතුවයයි කියනු ලැබේ.
  • යම් අධ්‍යාත්මිකවූ තෙජොධාතුවකුත් වන්නීද, යම් බාහිරවූ තෙජොධාතුවකුත් වන්නීද, එයද තෙජොධාතුවම වන්නීය.
  • ‘එය මාගේ නොවෙයි. එය මම නොවෙමි. එය මාගේ ආත්මය නොවේයයි,’ මෙසේ එය තත්වූ පරිද්දෙන් මනා නුවණින් දැක්ක යුතුයි. මෙසේ එය තත්වූ පරිද්දෙන් මනා නුවණින් දැක, තෙජොධාතුව කෙරෙහි කලකිරෙයි. තෙජොධාතුව කෙරෙහි සිත නොඅලවයි..

§ 17.  “මහණ, වායො ධාතුව කවරීද,

  • වායොධාතුව අධ්‍යාත්මිකද වන්නීය. බාහිරද වන්නීය.
  • මහණ, අධ්‍යාත්මිකවූ වායොධාතුව කවරීද?
    යම් අධ්‍යාත්මිකවූ තමන් පිළිබඳවූ හැමීමක් වාතයක් තමා වශයෙන් ගන්නා ලද්දක් වේද, එනම්, උඩට ගමන් කරන්නාවූ වාතයෝය, යටට ගමන් කරන්නාවූ වාතයෝය, ආමාශය තුළ පවත්නා වාතයෝය, ආමාශයෙන් පිටත පවත්නා වාතයෝය, අවයව අනුව ගමන් කරන්නාවූ වාතයෝය, ආශ්වාස ප්‍රශ්වාස වාතය (යනුයි.) මෙයින් අන්‍යවූද, යම්කිසි අධ්‍යාත්මිකවූ තමා පිළිබඳවූ වාතයක්, හැමීම් ගතියක්, තමා වශයෙන් ගන්නා ලද්දක් වේද, මහණ, එය අධ්‍යාත්මිකවූ වායොධාතුයයි කියනු ලැබේ.
  • අධ්‍යාත්මිකවූ යම් වායොධාතුවකුත් වන්නීද, බාහිරවූ යම් වායොධාතුවකුත් වන්නීද, එය වායොධාතුවම වන්නීය. ‘එය මාගේ නොවෙයි. එය මම නොවෙමියි, එය මාගේ ආත්මය නොවේයයි,’ මෙසේ එය තත්වූ පරිද්දෙන් මනා නුවණින් දැක්ක යුතුයි. මෙසේ එය තත්වූ පරිද්දෙන් මනා නුවණින් දැක, වායොධාතුව කෙරෙහි කලකිරෙයි. වායොධාතුව කෙරෙහි සිත නොඅලවයි.

§ 18.   “මහණ, ආකාශ ධාතුව  කවරීද?

  • ආකාශ ධාතුව අධ්‍යාත්මිකද වන්නීය, බාහිරද වන්නීය.
  • මහණ, අධ්‍යාත්මිකවූ ආකාශධාතුව කවරීද,
    අධ්‍යාත්මිකවූ තමන් පිළිබඳවූ අවකාශයක්, හිස් බවක්, තමා වශයෙන් ගන්නාලද්දක් වේද, එනම්, කන් සිදුරද, නාස් සිදුරද, මුවදොරද, යමකිනුත් කනලද, බොනලද කඩා කනලද, දිවගාන ලද දෙය ගිලෙයිද, යම් තැනෙක් හිත් කනලද, බොනලද, කඩා කනලද, දිවගාන ලද දෙය දරා සිටීද, යමකිනුත් කනලද බොනලද, කඩා කන ලද, දිවගාන ලද දෙය යටභාගයෙන් නික්මේද, මෙයින් අන්‍යවූද, යම්කිසි අධ්‍යාත්මිකවූ තමන් පිළිබඳවූ අවකාශයක් හිස්බවක් තමා වශයෙන් ගන්නා ලද්දක් වේද, මහණ, එය අධ්‍යාත්මිකවූ ආකාශධාතුවයයි කියනු ලැබේ.
  • යම් අධ්‍යාත්මිකවූ ආකාශධාතුවකුත් වන්නීද, යම් බාහිරවූ ආකාශ ධාතුවකුත් වන්නීද, එය ආකාශධාතුව වන්නීය.
  • ‘එය මාගේ නොවෙයි. එය මම නොවෙමි. එය මාගේ ආත්මය නොවේයයි මෙසේ තත්වූ පරිද්දෙන් මනා නුවණින් දැක්ක යුතුයි. මෙසේ එය තත්වූ පරිද්දෙන් මනා නුවණින් දැක, ආකාශධාතුව කෙරෙහි කලකිරෙයි. ආකාශධාතුව කෙරෙහි සිත නොඅලවයි.

§ 19.“ඉන්පසු පිරිසිදුවූ නිර්මලවූ විඤ්ඤාණය පමනක්‌ ම ඉතිරිවේ.[ මෙය සයවන “ධාතු” කොටස ලෙස භාග්‍යවතුන් වහන්සේ ඉදිරිපත් කරන්නේ පුක්කුසාති තවුසා විසින් මෙය තමන්ම පිරිසිඳ අවබෝධ කරගත යුතු නිසාය. දැන් භාග්‍යවතුන් වහන්සේ විපස්සනාවෙන් පිරිසිඳ දකිමින් විඥානය මෙන්ම වේදනාව ද පිරිසිඳ දකින්නට භාග්‍යවතුන් වහන්සේ  මෙසේ දක්වයි.]

ඒ විඤ්ඤණයෙන් සුඛ සහිතවූ සැප වේදනාවක් දැනගනීද , තමන් දැන්  සැප වේදනාවක් දනිමි ‘යි ඔහු  දනී. ඒ සුඛ ස්පර්ශය නැතිව යාමෙන් එසේ තමන් සැප ලෙස විඳි සුඛ වේදනාවද ඒ නිසා උපන් සුඛ සහිත විඥානයද නතරවන බව අඩුවෙන බව නැතිවෙන බව ඔහු දකියි. 

එලෙසම දුක් සහිත වේදනාවත් දැනගනීද , තමන් දැන්  දුක්ඛ දායක වේදනාවක් දනිමි ‘යි ඔහු  දනී. ඒ දුක්ඛ ස්පර්ශය නැතිව යාමෙන් එසේ තමන් අකමැතිවූ  දුක්ඛ වේදනාවද ඒ නිසා උපන් දුක සහිත විඥානයද නතරවන බව අඩුවෙන බව නැතිවෙනබව ඔහු දකියි.  එලෙසම දුක් සහිත වේදනාවත් දුකයයිද දනී. සැපත් නොවේය දුකත් නොවේයයි දනී. මහණ, සැප වේදනාවට කරුණුවූ ස්පර්ශය නිසා සැප වේදනාව උපදියි හෙතෙම සැප වේදනාව විඳින්නේ, සැප වේදනාව විඳිමියි දැනගනියි. ඒ සැප වේදනාවට කරුණුවූ ස්පර්ශය නිරුද්ධ වීමෙන් ඒ සැප වේදනාවට කරුණුවූ ස්පර්ශය නිසා හටගත් යම් සැප වේදනාවක් වීද එයද නිරුද්ධ වෙයි. එය සංසිඳේයයි දැනගනියි..

මහණ, දුක්ද නොවූ සැපද නොවූ වේදනාවට කරුණුවූ ස්පර්ශය නිසා, දුක්ද නොවූ සැපද නොවූ වේදනාව උපදියි. දුක්ද නොවූ සැපද නොවූ වේදනාව විඳින්නාවූ ඔහු තමන්  දුක්ද නොවූ සැපද නොවූ වේදනාව විඳිමි’යි දැනගනියි. ඒ දුක්ද නොවූ සැපද නොවූ වේදනාවට කරුණුවූ ස්පර්ශය නිරුද්ධවීමෙන් ඒ දුක්ද නොවූ සැපද නොවූ වේදනාවට කරුණුවූ ස්පර්ශය නිසා උපන්නාවූ යම් දුක්ද නොවූ සැපද නොවූ වේදනාවක් වේද එය නිරුද්ධ වෙයි. එය සංසිඳේයයි දැනගනියි.

fire make

“මහණ, යම්සේ ලීදඬු දෙකක් එකට ගැටීමෙන් තාපයක්  හටගණීද, ගින්නක් උපදීද, ඒ ලීදඬු දෙක වෙන්වීමෙන් වෙන්කොට තැබීමෙන්  එයින් හටගත් යම් උණුසුමක් වේද, නිරුද්ධ වේද, එය සංසිඳේ, මහණ මෙපරිද්දෙන්ම සැප වේදනාවට කරුණුවූ ස්පර්ශය නිසා සැප වේදනාව උපදියි. ඔහු  සැප වේදනාව විඳින්නේ සැප වේදනාව විඳිමියි දැනගනියි. ඒ සැප වේදනාවට කරුණුවූ ස්පර්ශය නිරුද්ධ වීමෙන් ඒ සැප වේදනාවට කරුණුවූ ස්පර්ශය නිසා උපන්නාවූ යම් සැප වේදනාවක් වේද, එය නිරුද්ධ වේ. එය සංසිඳේයයි දැනගනියි.

මහණ, දුක් වේදනාවට කරුණුවූ ස්පර්ශය නිසා දුක් වේදනාව උපදියි. හෙතෙම දුක් වේදනාව විඳින්නේ දුක් වේදනාව විඳිමියි දැනගනියි. ඒ දුක් වේදනාවට කරුණුවූ ස්පර්ශය නිරුද්ධවීමෙන් ඒ දුක් වේදනාවට කරුණුවූ ස්පර්ශය නිසා උපන්නාවූ යම් දුක් වේදනාවක් වේද එය නිරුද්ධ වේ. සංසිඳේයයි දැනගනියි.
මහණ, නිදුක් නොසැප වේදනාවට (උපෙක්ෂා වේදනාවට) කරුණුවූ ස්පර්ය නිසා උපෙක්ෂා වේදනාව උපදියි. හෙතෙම නිදුක් නොසැප වේදනාව විඳින්නේ නිදුක් නොසැප වේදනාව විඳිමියි දැනගනියි. ඒ නිදුක් නොසැප වේදනාවට කරුණුවූ ස්පර්ශය නිරුද්ධවීමෙන් ඒ නිදුක් නොසැප වේදනාවට කරුණුවූ ස්පර්ශය නිසා උපන්නාවූ යම් නිදුක් නොසැප වේදනාවක් වේද එය නිරුද්ධ වේ. එය සංසිඳේයයි දැන ගනියි.

§ 20. “ දැන්  පිරිසිදුවූ නිර්මලවූ මෘදුවූ කර්මන්‍යවූ බැබළීම් සහිතවූ උපෙක්ෂාව පමණක් ම ඉතිරිවේ. [මෙය සතරවන ධ්‍යානයෙන් ලබන්නාවූ උපේක්ෂා සුවය ලෙස අටුවාව දක්වයි. පුක්කුසාති ශ්‍රමනයන් වහන්සේ මේ වනවිට මේ සතරවන ධ්‍යානයේ උපේක්ෂා සුවයට ඉතා කැමතිව එහිම ඉන්නට ප්‍රිය කල බවත් ඒ බව දත් භාග්‍යවතුන් වහන්සේ එම සතරවන ධ්‍යානයේ උපේක්ෂාව පසසමින්ම තවුස් තුමා ඊට වඩා උතුම් වූ  අරූප ධ්‍යානයන් වෙතත් මාර්ග ඥාන සහ මාර්ග ඵල වෙත ගෙන යයි.]

මහණ, යම් දක්ෂ රන්කරුවෙක් හෝ රන්කරු අතවැස්සෙක් හෝ කඹුරු උදුනක් දල්වන්නේද, රන් කැබැලි කිහිපයක් දිගු අණ්ඩුවකින් ගෙන ගිනි උදුනෙහි ලු කෝව තුල ලන්නේය. ඔහු Gold in fire. ඊට කලින් කල ගිනි පිඹින්නේය. කලින් කල ජලයෙන් තෙමන්නේය. කලින් කල කිසිවක්මැ නොකොට මැදහත්ව බලා සිටින්නේය. ඉදින් ඒ අපිරිසිදු කසට ගති පෙනුණු රත්‍රන් දැන් ඉතා පිරිසිදුවී , නොකිලිටි, නිර්මල, දිදුලන බවට පත්ව න්නේ ya

. ඒ රත්රන් සුද්ධවූවක්, ඉතා පිරිසිදුවූවක්, නිර්මලවූවක් (පහවගිය මළ ඇත්තක්) පහවගිය කසට ඇත්තක්, මෘදුවූවක්, කර්මන්‍ය වූවක්, බැබළීම් සහිත වූවක් වෙයි. රන්කරුවාට තනන්නට ඇවැසි වූ   යම් මාලයක් පළඳනාවක් කුන්ඩාභරණයක් එම රත්රන් සුදුසු වේ. ඔහුගේ  අදහස සම්පූර්ණ වන්නේය. මහණ, එපරිද්දෙන්ම ඉන්පසු පිරිසිදුවූ, නිර්මලවූ, මෘදුවූ, කර්මන්‍යවූ බැබළීම් සහිතවූ උපෙක්ෂාවම ඉතිරිවේ.

§ 21. “හෙතෙම මෙසේ දැනගනියි. ඉදින් මම මෙසේ පිරිසිදු වූ මෙසේ නිර්මලවූ මේ උපෙක්ෂාව ආකාසානඤ්චායතනය වෙත එලවන්නෙම්ද, එයට අනුකූල ධර්මයෙහි සිත වඩන්නෙම්ද, එසේවූ කල මාගේ මේ උපෙක්ෂාව එය ඇසුරුකොට එය කරුණුකොට ඉතා බොහෝ කලක් පවත්නේය. [ආකාසානඤ්චායතනය වෙත සිත් එලවා එම ධ්‍යානයේ දීම දිවි තොර වුවහොත් ආකාසානඤ්චායතනයේ ඔහු උපත ලබයි. ඒ ආකාසානඤ්චායතන තලයේ ආයුෂ කල්ප 20,000 කි. ඊට ඉහල වන අරූප තල තුනෙහි ආයුෂ කල්ප 40,000, කල්ප 60,000 සහ කල්ප 80,000 බැගින් වේ.]

මම මෙසේ පිරිසිදුවූ, මෙසේ නිර්මලවූ, මේ උපෙක්ෂාව ‘විඤ්ඤානඤ්චායතනය’ වෙත එලවන්නෙම්ද, එයට අනුකූල ධර්මයෙහි සිත වඩන්නෙම්ද, එසේවූ කල මාගේ මේ උපෙක්ෂාව එය ඇසුරු කොට, එය කරුණු කොට ඉතා දීර්ඝ කාලයක් පවතින්නේය.

ඉදින් මම මෙසේ පිරිසිදුවූ මෙසේ නිර්මලවූ මේ උපෙක්ෂාව ආකිඤ්චඤ්ඤායතනය කරා පමුණුවන්නෙම්ද, එයට අනුකූල ධර්මයෙහි සිත වඩන්නෙම්ද, එසේවූ කල මාගේ මේ උපෙක්ෂාව එය ඇසුරුකොට, එය කරුණුකොට බොහෝ දීර්ඝ කාලයක් සිටින්නේය.

ඉදින් මම මෙසේ පිරිසිදුවූ, මෙසේ නිර්මලවූ, මේ උපෙක්ෂාව නෙවසඤ්ඤා නාසඤ්ඤායතනය කරා පමුණු වන්නෙම්ද, එයට අනුකූල ධර්මයෙහි සිත වඩන්නෙම්ද එසේවූ කල මාගේ මේ උපෙක්ෂාව එය ඇසුරුකොට එය කරුණු කොට බොහෝ දීර්ඝ කාලයක් පවතින්නේය යනුවෙනි.

§ 22. “එසේම ඔහු මෙසේද දැනගනියි. ඉදින් මම මෙසේ පිරිසිදු වූ මෙසේ නිර්මලවූ මේ උපෙක්ෂාව ආකාසානඤ්චායතනය කරා පමුණුවන්නෙම්ද, එයට අනුකූල ධර්මයෙහි සිත වඩන්නෙම්ද, මෙය හේතුප්‍රත්‍යයෙන් ඇතිවන ලද්දකි. ඉදින් මම මෙසේ පිරිසිදුවූ මෙසේ නිර්මලවූ මේ උපෙක්ෂාව විඤ්ඤානඤ්චායතනය කරා පමුණුවන්නෙම්ද, එයට අනුකූල ධර්මයෙහි සිත වඩන්නෙම්ද, එය හේතුප්‍රත්‍යයෙන් උපදින ලද්දකි. ඉදින් මම මෙසේ පිරිසිදුවූ, මෙසේ නිර්මලවූ මේ උපෙක්ෂාව ආකිඤ්චඤ්ඤායතනය කරා පමුණු වන්නෙම්ද, එයට අනුකූල ධර්මයෙහි සිත වඩන්නෙම්ද, එය හේතුප්‍රත්‍යයෙන් හටගන්නා ලද්දකි. ඉදින් මම මෙසේ පිරිසිදුවූ, මෙසේ නිර්මලවූ මේ උපෙක්ෂාව නෙවසඤ්ඤානාසඤ්ඤායතනය කරා පමුණුවන්නෙම්ද, එයට අනුකූල ධර්මයෙහි සිත වඩන්නෙම්ද, එය හේතුප්‍රත්‍යයෙන් හටගන්නා ලද්දකි කියායි. [ආයුෂ  කල්ප 20,000ක් ,40,000ක් 60,000ක් හෝ 80,000ක් වුවද ඒ පැවතීමද සංකත බව, සකස්වුණ බව දක්වා ඒවායේ අස්ථිර, තාවකාලික, වෙනස්වන ස්වභාවය දක්වා දිගු කලක් එසේ සිටියත් අවසන නැවත පෘතග්ජන යෙකු ලෙස සතර අගතියෙහි ඉපිද ජාති ව්යාධි  ජරා මරණ ලෙස දුක් විඳින්නට වන බව අරූප ධ්‍යානයන්ගේ ඇති ආදීනව දැක්වීම ලෙස දැක්වේ.]

§ 23.  එසේ ප්‍රඥාව වඩා ඔහු , සදාකාලික භවය පිණිස හෝ භවයේ සිඳීම පිණිස හෝ කිසිවක් රැස් නොකරන්නේය. නොපතයි. හෙතෙම රැස් නොකරන්නේ සදාකාලික භවය පිණිස හෝ භවයේ සිඳීම පිණිස හෝ කල්පනා නොකරන්නේ, ලෝකයෙහි කිසිවක් මම යයි (අල්වා නොගනියි) මම යයි අල්වා නොගන්නේ නොඇලෙයි නොඇල්ලෙන්නේ තමාම පිරිනිවෙයි. ජාතිය ක්ෂය කරණ ලද්දීය. බ්‍රහ්මචර්‍ය්‍යාව වැස නිමවන ලද්දේය. සතර මාර්ගයෙන් කටයුතු දෙය කරණ ලද්දේය. මේ ආත්මය පිණිස අනිකක් නැතැයි දැනගනියි.
[නේව අභිසන්කරෝති, නාභි සන්චේතියාති භවය වා විභවයා : මේ දෙපදය මතු භවය සකස් වීම පිණිස ඇවැසි සංස්කාරයන් පිණිස 
“චේතනාව” කෙතරම් ප්‍රබල බලපෑමක් ඇති කරන්නේදැයි පෙන්වයි. භව තන්හාව සහ විභව තන්හාව සිඳ ලු කල අරහත් ඵලය ම සාක්ෂාත් වේ.]

ඔහු ඉදින් සැපවූ වේදනාවක් විඳීද, එය අනිත්‍යයයි දැනගනියි. අල්වා ගැනීමට නුසුදුසුයයි දැනගනියි. ඇලීමෙන් සතුටුවීම සුදුසු නැතැයි දැනගනියි. ඉදින් දුක්වූ වෙදනාවක් විඳීද, එය අනිත්‍යයයි දැනගනියි. නොවැදගත්යයි දැනගනියි. තණ්හාවෙන් සතුටු නොවිය යුතු යයි දැනගනියි. ඉදින් නිදුක් නොසැපවූ වේදනාවක් විඳීද, එය අනිත්‍යයයි දැනගනියි. නොවැදගන්නා ලද්දීයයි දැනගනියි. නොසතුටුවන ලද්දීයයි දැන ගනියි.

§ 24. “මහණ ඉදින් ඔහු, ඉදින් සැපවූ වේදනාවක් විඳීද, කෙලෙස් ඉපදීමෙන් වෙන්වූයේ එය නොවිඳියි. හෙතෙම ඉදින් දුක්වූ වේදනාවක් විඳීද, කෙලෙස් ඉපදීමෙන් වෙන්වූයේ එය නොවිඳියි. ඉදින් නිදුක් නොසැපවූ වේදනාවක් විඳීද කෙලෙස් ඉපදීමෙන් වෙන්වූයේ එය නොවිඳියි.  මේ කය කෙළවර කොට ඇති වේදනාව විඳිනු ලබන්නේ කායපරියන්තික වේදනාව විඳිමියි දැනගනියි. ජීවිතය කෙළවර කොට ඇති වේදනාව විඳිනු ලබන්නේ ජීවිත පරියන්තික වේදනාව විඳිමියි දැනගනියි. ශරීරයාගේ බිඳීමෙන් ජීවිතය කෙළවර වීමෙන් මෙහි පසු විඳින ලද සතුටුවන ලද සියලු වේදනා සංසිඳෙන්නාහුයයි දැනගනියි.

“මහණ, යම්සේ තෙල් නිසා වැටියද, වැටිය  නිසා තෙල් පහන ඇවිලේද, ඒ තෙල්ද වැටිය කෙළවර වීමෙන් අනික් තෙල් වැටි නොයෙදීමෙන්, එනම් ගින්නට 220px-diwalioillampcrop හේතුව රහිත වූ කල පහන නිවේ.  මහණ, මෙපරිද්දෙන්ම මේ කය කෙළවර කොට ඇති වේදනාව විඳිනු ලබන්නේ කය කෙළවරකොට ඇති වේදනාව විඳිමියි, දැනගනියි. ජීවිතය කෙළවර කොට ඇති වේදනාව විඳිනු ලබන්නේ ජීවිතය කෙළවර කොට ඇති වේදනාව විඳිමියි දැනගනියි. ශරීරයාගේ භේදයෙන් ජීවිතයාගේ කෙළවර වීමෙන් මෙහි සතුටු වන්නාවූ සියලු වේදනා සංසිඳෙන්නාහුයයි දැනගනියි. එහෙයින් මෙයින් යුක්තවූ භික්ෂුව මේ උතුම්වූ අර්හත්ඵල ප්‍රඥාව නමැති පිහිටීමෙන් යුක්තවූයේ වෙයි. මහණ, මේ වනාහි උතුම්වූ ආර්‍ය්‍ය ප්‍රඥාවයි. එනම්, සියලු දුක් නැති කිරීමෙහි ඤාණයවේ. [§ 13 න් පටන් ගත් සතර අධිට්ඨාන පුර්නකිරීමේ විස්තරය මෙතැනින් නිම වේ. සබ්බ දුක්ඛ නිස්සරණ ඥානය වන අරහත් ඵලය මින් කියැවේ .]

§ 26 . ඔහුගේ ඒ අර්හත් ඵල විමුක්තිය පරමාර්ථ සත්‍යයෙහි පිහිටියේ වෙයි. කැළඹිය නොහැකි වූවා වේ. සෙලවිය නොහැක්කා වේ.  මහණ, එයද වෙනස්වන ස්වභාවය ඇත්තේය. නැසෙන ස්වභාවය ඇත්තේය, නොනැසෙන ස්වභාවයවූ නිර්වාණය පමණක් ම  සත්‍යයි. එහෙයින් මෙයින් යුක්තවූ භික්ෂුව මේ උතුම්වූ පරමාර්ථ සත්‍ය නමැති පිහිටීමෙහි පිහිටියේ වෙයි. වෙයි. මහණ, නොනැසෙන ස්වභාව ඇත්තාවූ, මේ නිවණම උතුම් ආර්‍ය්‍ය සත්‍යවේ.

එය වනාහි, පෙර (පෘථග්ජන කාලයෙහි) නොදන්නාහුගේ සම්පූර්ණ කරණලද ගන්නා ලද ස්කන්ධාදී උපාධීහු (ආසාwo) වෙත්ද, මොහුගේ ඒ උපාධීහු ප්‍රහීණවූවාහු සිඳිනලද මුල් ඇත්තාහු කරටිය සිඳි තල්ගසක් මෙන් කරණ ලද්දාහු නැවත ඇතිවීම නැතිකරණ ලද්දාහු මත්තෙහි නූපදනා ස්වභාව ඇත්තාහු වෙත්.
“එහෙයින් මෙයින් යුක්තවූ මහණතෙම මේ උතුම්වූ ක්ලෙශ පරිත්‍යාගය නමැති පිහිටීමෙන් යුක්තවූයේ වෙයි. මහණ මේ තෙමේ වනාහි උතුම්වූ ආර්‍ය්‍යවූ ත්‍යාගය වේ. එනම්, සියලු උපාධීන්ගේ දුරලීමයි.
ඒ නොදන්නහුගේම වනාහි පෙර (පෘථග්ජන කාලයෙහි) අභිධ්‍යාව (ආලය) රාග සහිත වීමක් වේද, මොහුගේ එය ප්‍රහීණවූයේ වෙයි. උදුරන ලද මුල් ඇත්තේ සිඳින ලද තල් ගසක් මෙන් කරණ ලද්දේ නැවත ඇතිවීම නැතිකරණ ලද්දේ මත්තෙහි නූපදනා ස්වභාව ඇත්තේ වෙයි. ඒ අඥානවූ, ඔහුගේම වනාහි පෙර ක්‍රොධයෙක් ව්‍යාපාදයෙක් ද්වෙෂයක්වේද, එය මොහුගේ ප්‍රහීණවූයේ වෙයි. උදුරණ ලද මුල් ඇත්තේ සිඳින ලද තල් ගසක් මෙන් කරණ ලද්දේ නැවත ඇතිවීම නැති කරණ ලද්දේ, මතු නූපදනා ස්වභාව ඇත්තේවේ. ඒ අඥානවූවහුගේම වනාහි පෙර අවිද්‍යාවක් සම්මොහයක් ද්වෙෂයක්වේද, එය මොහුගේ ප්‍රහීණවූයේ වෙයි. සිඳින ලද මුල් ඇත්තේ සිඳින ලද තල් ගසක් මෙන් කරණ ලද්දේ නැවත ඇතිවීම කරණ ලද්දේ මතු නූපදනා ස්වභාව ඇත්තේ වෙයි. එහෙයින් මෙයින් යුක්තවූ මහණ තෙම මේ උතුම්වූ ක්ලෙශයන් සංසිඳීම නමැති පිහිටීමෙන් යුක්තවූයේ වෙයි. මහණ මෙතෙම වනාහි උතුම්වූ ආර්‍ය්‍යවූ උපසමයවේ. එනම්, රාග දොස මොහයන්ගේ සංසිඳීමයි.

“ප්‍රඥාව සඳහා ප්‍රමාද නොවන්නේය. සත්‍යය ආරක්ෂා කරන්නේය. ත්‍යාගය වඩන්නේය, හෙතෙම සංසිඳීමෙහිම හික්මෙන්නේයයි, මෙසේ ඒ යමක් කියන ලදද එය මේ සඳහා කියන ලදී.
යම් තැනෙක්හි සිටියහුට උත්සන්නවූ හැඟීම් (තෘෂ්ණාදී ත්‍රිවිධ මඤ්ඤනාවන්ගේ උත්සන්න භාවයෝ) නොපවතිත්ද, මඤ්ඤානාවන්ගේ උත්සන්න භාවය  නොපවත්නා කල්හි මුනිතෙම සංසිඳුනේයයි කියනු ලැබේ යයි.

මෙසේ වනාහි මෙය කියන ලදී. කුමක් සඳහා මෙය කියන ලදද?

මහණ, මේ ස්කන්ධය මම වෙමියි හඟින ලදී. මෙතෙම මම වෙමියි හඟින ලදී. වන්නෙමියි හඟින ලදී. නොවන්නෙමියි, හඟින ලදී. රූප ඇත්තෙක් වන්නෙමියි හඟින ලදී. රූප නැත්තෙක් වන්නෙමියි හඟින ලදී. සංඥා ඇත්තෙක් වන්නෙමියි, හඟින ලදී. සංඥා නැත්තෙක් වන්නෙමියි හඟින ලදී. නොම සංඥා ඇත්තෙක් නොම අසංඥා ඇත්තෙක් වන්නෙමියි හඟින ලදී. මහණ, හැඟීම රොගයකි. හැඟීම ගඩකි. හැඟීම හුලකි. මහණ, සියලු හැඟීම් ඉක්ම වීමෙන් මුනිතෙම සංසිඳුනේයයි කියනු ලැබේ. මහණ, මුනිතෙම වනාහි සංසිඳුනේ නූපදියි. නොදිරයි, නොමියයි, නොකිපෙයි, නොවෙයි, මහණ, යමකින් උපදින්නේද එයද මොහුට නැත්තේය. නූපදිනු ලබන්නේ කිම දිරන්නේද? නොදිරනු ලබන්නේ කිම? මිය යන්නේද? නොමියනු ලබන්නේ කිම කිපෙන්නේද? නොකිපෙනු ලබන්නේ කුමකට කැමති වන්නේද? යම් තැනෙක්හි සිටියහුට මඤ්ඤනාවන්ගේ උත්සන්න භාවයෝ නොපවතිත්ද, මඤ්ඤනාවන්ගේ උත්සන්නවීම වනාහි නොපවත්නා කල්හි මුනිතෙම සංසිඳුනේයයි, කියනු ලැබේයයි. මෙසේ ඒ යමක් කියන ලදද, එය මේ සඳහා කියන ලදී. මහණ මාගේ මේ සැකෙවින් (කියන ලද) සවැදෑරුම් ධාතු විභාගය වනාහි නුඹ දරවයයි” වදාළේය.
ඉක්බිති ආයුෂ්මත් පුක්කුසාති කුලපුත්‍රතෙම මාගේ ශාස්තෘතෙමේ වනාහි වැඩිසේක. මාගේ සුගතයන් වහන්සේ වනාහි වැඩිසේක. මාගේ සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ වනාහි වැඩිසේකැයි හුනස්නෙන් නැගිට සිව්ර ඒකංශකොට භාග්‍යවතුන් වහන්සේගේ පා ලඟ සිරසින් වැටී, භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කෙළේය. “ස්වාමීනි, මම භාග්‍යවතුන් වහන්සේට ‘ඇවැත්නි,’ කියා කථා කළ යුතුයයි සිතුවෙමි. ඒ මාගේ වරද බාලයෙකු සේ අඥානයෙකු සේ අදක්ෂයෙකු සේ සලකා ඒ මාගේ වරද දුරු වේවා ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මාගේ මතු සංවරය පිණිස වරද වරද වශයෙන් පිළිගන්නා සේක්වායි යනුයි.
“එසේනම් මහණ, නුඹ මට ‘ඇවැත්නි,’ කියා කථා කළ යුතුයයි සිතුවෙහිද? මහණ, බාලයෙකුසේ අඥානයකුසේ අදක්ෂයෙකුසේ මට ඔබ ‘ඇවැත්නියි’ ව්‍යවහාර කළයුතුයයි සැලකුවෙහිද? ඒ වරද කෙළෙහිද, යම් හෙයකිනුත් නුඹ වරද වශයෙන් දැක ධර්මයවූ පරිද්දෙන් ප්‍රතිකාර කෙරෙහිද, තොපගේ ඒ වරද අපි පිළිගනිමු. මහණ, ආර්‍ය්‍ය විනයෙහි යමෙක් වරද වරද වශයෙන් දැක ධර්මයවූ පරිද්දෙන් පිළියම් කෙරේද, මත්තෙහි සංවරයට පැමිණේද, එය වැඩි දියුණුව වේයයි” වදාළේය.

“ස්වාමීනි, මම භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි උපසම්පදාව ලබන්නෙමියි, (කීයේය.)
“මහණ, නුඹගේ පාත්‍ර සිව්රු සම්පූර්ණ වේදැයි?” ඇසූහ.
“ස්වාමීනි, මාගේ පාත්‍ර සිව්රු හි සම්පූර්ණ නොවේයයි කීය.

“මහණ, තථාගතවරයෝ සම්පූර්ණ නොවූ පාත්‍ර සිව්රු ඇත්තහු උපසම්පදා නොකෙරෙත්යයි,” (වදාළේය.) ඉක්බිති ආයුෂ්මත් පුක්කුසාති  භාග්‍යවතුන් වහන්සේගේ වචනය සතුටින් පිළිගෙණ අනුමෝදන්ව හුනස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේට වැඳ ප්‍රදක්ෂිණාකොට පාත්‍ර සිව්රු සෙවීමට ගියේය. ඉක්බිති පාත්‍ර සිව්රු සෙවීමට යන්නාවූ ආයුෂ්මත් පුක්කුසාති කුලපුත්‍රයන් කුලප්පවූ එලදෙනක් විසින්දි  ඇන  divi

වියෙන් තොරකෙළේය.

එකල්හි බොහෝවූ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට එළඹුනාහුය. එළඹ භාග්‍යවතුන් වහන්සේට වැඳ එකත්පසක හුන්නාහුය. එකත්පසක හුන්නාවූ ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළාහුය. “ස්වාමීනි, යම් ඒ පුක්කුසාති නම් කුලපුත්‍රයෙක් තෙම භාග්‍යවතුන් වහන්සේ විසින් සංක්ෂෙපවූ අවවාදයෙන් අවවාද කරණ ලද්දේද හෙතෙම කළුරිය කළේවෙයි. ඔහුගේ ගතිය කවරීද, පරලොව (උත්පත්තිය) කවරේද?” යනුයි.
“මහණෙනි, පුක්කුසාති කුලපුත්‍ර තෙම පණ්ඩිතවේ. ධර්මයට අනුධර්මවූ ප්‍රතිපදා ඇත්තේවේ. ධර්මාවබොධය පිණිස මා නොවෙහෙසුවේය. මහණෙනි, පුක්කුසාති කුලපුත්‍ර තෙමේ ඔරම්භාගිය සංයෝජන පස නැති කිරීමෙන් ඕපපාතිකවූයේ ඒ ලොකයෙන් පෙරළා එන ස්වභාව නැත්තේ එහි පිරිනිවන් පාන්නේයයි” වදාළේය.
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක. සතුටු සිත් ඇත්තාවූ ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ වචනය සතුටින් පිළිගත්තාහුයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.