MN 03-03-01චූල සුඤ්ඤත සූත්‍රය

Image result for nothingness

§1  .මා විසින් මෙසේ අසන ලදී.
එක් කලක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර අසල මිගාරමාතු පාසාද නොහොත් පූර්වාරාමයෙහි වැඩ වාසය කරන සේක. එකල්හි ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ සවස් කාලයෙහි ඵලසමවතින් නැඟී සිටියේ භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ වැඳ එකත් පසක හිඳ භාග්‍යවතුන් වහන්සේට මෙසේ  සැල කෙළේය.

§ 2  “භාග්‍යවතුන් වහන්ස, එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ ශාක්‍ය ජනපදයන්හි නාගරක නම් ශාක්‍යයන්ගේ නියම්ගම වැඩ වාසය කරණ සමයේ දිනක ‘ආනන්දය මම දැන් බොහෝ සේ සූන්‍යතා විහරණයෙන් වාසය කරමි’ කියනු ඇසීමි. 
[ ශුන්‍යතා විහරණය : හිස් බව දකිමින් ]

ස්වාමීනි, එය මා විසින් නිවැරදිව එසේ  අසන ලදද?  නිවැරදිව තේරුම්  (වටහා) ගන්නා ලද්දේද ? මනාකොට සිහියේ තබා ගනු ලද්දක්ද? මනාකොට දරණ ලද්දක්ද?”

§  “ආනන්දය,  ඔබ  විසින් එය  ඒකාන්තයෙන් එසේ අසන ලද්දේය. (එසේ මා දෙසු බව ) මනාකොට තේරුම්ව ගත්තේය. මනාකොට සිහියේ තබා ගනු ලද්දේය. මනාකොට දරණ ලද්දේය.

ආනන්දය මම පෙර කලදීද , මේ කලද බොහෝ විට  සූන්‍යතා විහරණයෙන්  වාසය කරමි. (කෙසේද යත්:) ආනන්දය, මේ මිගාරමාතු ප්‍රාසාදය  ඇත් ගව අස් වෙළඹුන්ගෙන් හිස්ය. ශුන්‍යය.  තොර ය., රන්රිදියෙන් සූන්‍ය වේ ,   ස්ත්‍රී පුරුෂයන් ගෙන් සූන්‍ය වේ., හිස් වේ.
එනමුත් මෙහි, (මේ ආරණ්‍යයේ  ඉන්නා) භික්ෂු සංඝයා නිසා මෙහි සූන්‍යත්වයක් නොවේ, මේ ස්ථානය සංඝයාගෙන් හිස් නොවෙන බැවිනි. ඒ,  සංඝයා නිසා පවත්නා එකම අසූන්‍යත්වය   පමණක්  ඇත්තේය. 

§  3.  ආනන්දය, එපරිද්දෙන් භික්ෂුව  “ගම”ය යන සංඥාව නොගෙන ආරන්යයය යන සංඥාව පමණක් ගනීද  එවිට ආරන්යයය , “අරණ්‍ය“ය යන ඒකත්ව සංඥාව ඔහු තුල බැස ගනී.  පහදී, මනාව පිහිටයි, ස්ථිරව පිහිටයි. 

එසේ වුවිට ගම නිසා, මිනිසුන් නිසා, ගමෙහි දී දකිනා අසනා අරමුණු නිසා ඔහුගේ සිතෙහි වන සෙලවීම් කැළඹීම, (කෙලෙස් නිසා වන දරත යන් ; කැමති – අකමැති සිතිවිලි  ආදිය ) නොවේ.

Image result for buddhist monks in temple

එතකුදු ආරණ්‍යයේ භික්ෂුන් නිසා වන  නොසිස් බව නිසා,  අශුන්යත්වය නිසා,  අරණ්‍ය සංඥාව නිසා පවත්නාවූ “ධරතයක්”  එකම කෙලෙස් දැවිල්ලක් ( කැමැත්ත නිසා වන ඇලීමක්, අකමැත්ත නිසා වෙන ගැටීමක්)  පමණක්   ඇත්තේ වෙයි. මේ ග්‍රාම සංඥාවෙන් හිස් වූ ඒකාග්‍රතාවය මත ආරණ්‍ය යේ අරමුණු (වනයේ ගස්, ගල්. ශබ්ද, භික්ෂුන් සමුහයා සියල්ල)  වෙන් වෙන්ව නොව එකම සංඥාවෙන් බලයිද ඒ චිත්ත ඒකාග්‍රතාවය නිසා .

ආනන්දය, ඔහුට මෙසේ විද්‍යමානවූ, වෙනස් නොවූ පිරිසිදුවූ මේ ග්‍රාම සංඥා  සූන්‍යත්වය නිසා ඔහුගේ මනස  ආරණ්‍යය සංඥාවට වහා පැන ගනියි. එල්බ ගනී.  තදින් අල්වා ගනී.  සතුටින් එහි  පහදී, එහි  මනාව පිහිටයි, ස්ථිරව පිහිටයි. එහි ඇති නිදහස, විමුක්තිය අත්  විඳියි.

එසේ ඒකාග්ර  වූ ඔහු මෙසේ වටහා ගනියි. මෙසේ දකියි.  “ග්‍රාමයෙහි  වූ අරමුණු නිසා ඇතිවුන සඥා නිසා, මිනිසුන් නිසා, වූ ධරතයන් දැන් (මේ මොහොතේ) මා නොපෙලයි. නොකලඹවයි. වනයෙහි ඇති දේ නිසා හෝ  අරණ්‍ය නිසා වන අශුන්යත්වය (නොහිස් බව ) පමණක් මා සමග දැන් මේ මොහොතේ පවතී.

§ 4  “ආනන්දය, නැවතද

  • භික්ෂුව  මිනිසුන් (දකිමි, අසමි යි යන ) යන හැඟීම මෙනෙහි නොකොට
  • අරණ්‍යය  (පන්සලය) යන හැඟීම මෙනෙහි නොකොට මේ  පඨවීය යයි යන සංඥාව මෙනෙහි කෙරේද,
    [ආරණ්‍ය සංඥාව බැහැර කොට  පඨවී සංඥාව  වඩන්නේ ආරණ්‍ය අරමුණු කිරීමෙන් කිසිදු සමාධියක්, එකාග්‍රතාවයක්, ස්ථිරත්වයක් (stillness) භාවනාවෙන් ලැබිය නොහැකි නිසාත් ඒ ඒකාග්‍රතාවය  පඨවී සංඥාව අරමුණු ලෙස ගෙන වැඩීමෙන් හැකි නිසාත් බව අටුවාව කියයි ]
  • එවිට   පඨවීය (පොළොව)  යන සංඥාවෙහි සිත බැසගනී, පහදී, පිහිටයි. ස්ථිරව පිහිටයි.
    ආනන්දය, යම්සේ හම ගසන ලද , හරකකුගේ  මනාව පැතලි කොට හාත්
    සින් ඇද, රැලි හැරෙන ලෙස ඇද, බොහෝ ලී උල් බිම සිටුවා. ඒ මත ගව සම එලා ඒ උල් මත සම රඳවා  උලින් දිගහැර මොනවට රැලි රහිත කරන ලද්දේද, ආනන්දය එපරිද්දෙන්ම භික්ෂුව  මේ පොළොවෙහි යම් උස්තැන් වේද, පහත් තැන්වේද, ගංගා කඳු හෙල් සහිතවේද, කණු කටු සහිතවේද, පර්වතයන්ගෙන් විසමද, ඒ සියල්ල මෙනෙහි නොකොට මේ  එකම පොළොවය  යන හැඟීම මෙනෙහි කෙරේද, එවිට  ඔහුගේ සිත පොළොවය  පඨවීය  යන හැඟීමෙහි ඇලේ. එම සංඥාවට වහා පැන ගනියි. එල්බ ගනී.  තදින් අල්වා ගනී.  සතුටින් එහි  පහදී, එහි  මනාව පිහිටයි, ස්ථිරව පිහිටයි. එහි ඇති නිදහස, විමුක්තිය අත්  විඳියි.

එසේ හෙතෙම මෙසේ දැනගනී.

  • මිනිසුන්ය  යන  සංඥාව නිසාවූ කිසි  ක්ලේශ දැවිල්ලක් (ධරතයක්) දැන් නැත.
  • අරණ්‍යය යන හැඟීම නිසා වූ කිසි  ක්ලේශ දැවිල්ලක් ද දැන් නැත.
  • ඇත්තේ  පඨවීය (පොළොවය) යන හැඟීම නිසා පවත්නා එකම ක්ලේශ දරථ මාත්‍රයක් පමණකි. 
  • ඔහු එහෙයින්  මේ සංඥාව මනුෂ්‍ය සංඥාවෙන් සූන්‍යයයි දැනගනී
  • මේ සංඥාව අරණ්‍ය සංඥාවෙන් සූන්‍යයයි දැනගනී. 
  •  පඨවී,  සංඥාව නිසා පවත්නාවූ  එකම අසූන්‍යත්වය පමණක්  ඇත්තේයයි දැනගනී.

මෙසේ එහි පඨවී සංඥා වෙහි සිත පිහිටවූ ඔහු දකින්නාවූ එකම අශුන්යත්වය පඨවීය බව දැනගනී.

§ 5 .  ආනන්දය, නැවතද ග්‍රාම සංඥාවෙන් මිදුනාවූ,  ආරණ්‍ සංඥාවෙන්ය මිදුනාවූ භික්ෂුව  පඨවී සංඥාවෙනද මිදෙන්නේ
ඔහු අප්‍රමාන වූ අවකාශය පමණක් දකියි. සියලු සංඥාවෙන් තොරවූ ඔහු අනන්ත වූ අවකාශය සිතින් පිරිසිඳීන්නේ ආකාසානඤ්චායතන සංඥාවෙහි  සිත පිහිටුවයි. ඔහු සිත එම සංඥාවට වහා පැන ගනියි. එල්බ ගනී.  තදින් අල්වා ගනී.  සතුටින් එහි  පහදී, එහි  මනාව පිහිටයි, ස්ථිරව පිහිටයි. එහි ඇති නිදහස, විමුක්තිය අත්  විඳියි.ම බැසගනී, පහදී, පිහිටයි, ස්ථිරව පිහිටයි.

[ අටුවාව: පඨවී සංඥාවෙන් සිත සමාධි කරගත් භික්ෂුව පළමුවන ධ්‍යානයට සිත නංවයි. එයින් දෙවන ධ්යානයටද, එයින් තෙවන ධ්යානයටද එයින් සතරවන ධ්යානයටද සිත නංවන ඔහු පඨවී  සංඥාවෙන් තොර වෙයි.]

හෙතෙම මෙසේ දැනගනී, අරණ්‍ය සංඥාව නිසාවූ යම් කෙලෙස් දැවිලි වී  නම් ඒ ධරතයන්  ආකාසානඤ්චායතනයෙහි නැත. පඨවී සංඥාව නිසාවූ යම් කෙලෙස් දැවිලි වන්නාහු නම් ඒවාද  ආකාසානඤ්චායතනයෙහි නැත. 

භික්ෂුව අරණ්‍ය සංඥාව මෙනෙහි නොකොට පඨවී සංඥාව මෙනෙහි නොකොට ආකාසානඤ්චායතන සංඥාව පමණක්  මෙනෙහි කෙරේද, ඔහුගේ සිත ඒ  එකම ආකාසානඤ්චායතන සංඥාව නිසා පවත්නාවූ  ක්ලේශ දැවිලි මාත්‍රයක් ඇත්තේ නම් එයම පමණක් ඇත්තේය.

හෙතෙම මේ සංඥාව අරණ්‍ය සංඥාවෙන් සූන්‍යයයි දැනගනී. මේ සංඥාව පඨවී සංඥාවෙන් සූන්‍යයයි දැනගනී. මේ ආකාසානඤ්චායතනය නිසාවූ එකම අසූන්‍ය තාවයක්වේ නම් එයම පමණක්  ඇත්තේය.  එහි යම් කෙලෙස් දැවීම් මාත්‍රයක් නොවේ නම් එයින් එය සූන්‍යයයි නුවණැසින් දකී. යම්කිසි දරථ මාත්‍රයක් එහි ඉතිරි වේනම් එය ශාන්තයයි දැනගනී. ආනන්දය, ඔහුට මෙසේ විද්‍යමානවූ වෙනස් නොවූ පිරිසිදුවූ සූන්‍යතාවය, ඇතිවෙයි.

§ 6.  “ආනන්දය, නැවතද භික්ෂුව පඨවී  සංඥාව මෙනෙහි නොකොට ආකාසානඤ්චායතන සංඥාව මෙනෙහි නොකොට එකම විඤ්ඤාණඤ්චායතන සංඥාව මෙනෙහි කෙරේද, ඔහුගේ සිත විඤ්ඤාණඤ්චායතන  සංඥාවට වහා පැන ගනියි. එල්බ ගනී.  තදින් අල්වා ගනී.  සතුටින් එහි  පහදී, එහි  මනාව පිහිටයි, ස්ථිරව පිහිටයි. එහි ඇති නිදහස, විමුක්තිය අත්  විඳියි.

විට ඔහු  මෙසේ දැන ගනී. කෙසේද යත් 

  • පඨවී සංඥාව නිසාවූ යම්කිසි කෙලෙස් දැවිලි වන්නාහු නම් ඒ කෙලෙස්  මේ විඤ්ඤාණඤ්චායතනයෙහි නැත.
  • ආකාසානඤ්චායතන සංඥාව නිසාවූ යම්  කෙලෙස් දැවිලි වන්නාහු නම් ඔව්හුද මේ විඤ්ඤානඤ්චායතනයෙහි නැත.
  • එකම විඤ්ඤාණඤ්චායතන සංඥාව නිසා පවත්නා යම් කෙලෙස් දැවීම් මාත්‍රයක් ඇත්නම් එයම පමණක්  ඇත්තේය.
  • හෙතෙම මේ සංඥාව පඨවී සංඥාවෙන් සූන්‍යයයි දැනගනී.
  • මේ සංඥාව ආකාසානඤ්චායතන සංඥාවෙන් සූන්‍යයයි දැනගනී.
  • විඤ්ඤාණඤ්චායතන සංඥාව නිසා පවත්නා  එකම අසූන්‍යත්වය  පමණක්  ඇත්තේය.
  • මෙසේ එහි යම් කෙලෙස් දැවිල්ලක් නොවේ නම් එයින් එය සූන්‍යයයි නුවණැසින් දකී.
  • යම්කිසි කෙලෙස් දැවීම් මාත්‍රයක් ඉතිරි නොවේනම් එය ශාන්තයයි දැනගනී.

ආනන්දය, ඔහුට මෙසේ විද්‍යමානවූ, වෙනස් නොවූ, පිරිසිදුවූ සූන්‍යතාවය ඇතිවෙයි.

§ 7.  “ආනන්දය, නැවත ද භික්ෂුව 

  • ආකාසානඤ්චායතන සංඥාව මෙනෙහි නොකොට,
  • විඤ්ඤාණඤ්චායතන සංඥාව මෙනෙහි නොකොට

ඒකීයවූ  ආකිඤ්චඤ්ඤායතන සංඥාව මෙනෙහි කෙරේද, ඔහුගේ සිත ආකිඤ්චඤ්ඤායතන  සංඥාවට වහා පැන ගනියි. එල්බ ගනී.  තදින් අල්වා ගනී.  සතුටින් එහි  පහදී, එහි  මනාව පිහිටයි, ස්ථිරව පිහිටයි. එහි ඇති නිදහස, විමුක්තිය අත්  විඳියි. හෙතෙම මෙසේ දැනගනී.

  • ආකාසානඤ්චායතන සංඥාව නිසාවූ යම් කෙලෙස් දැවිලි වන්නාහු නම් ඔව්හු මේ ආකිඤ්චඤ්ඤායතනයෙහි නැත.
  • විඤ්ඤාණඤ්චායතන සංඥාව නිසාවූ කෙලෙස් දැවිලි වන්නාහු නම් ඔව්හු මේ ආකිඤ්චඤ්ඤායතනයෙහි නැත.
  • ඒකීය වූ  ආකිඤ්චඤ්ඤායතන සංඥාව නිසාවූ යම් කෙලෙස් දැවීමක් වේනම් එබඳු කෙලෙස් දැවීම් මාත්‍රයක් ඇත්තේය කියායි.

හෙතෙම මේ සංඥාව ආකාසානඤ්චායතන සංඥාවෙන් සූන්‍යයයි දැනගනී. මේ සංඥාව විඤ්ඤාණඤ්චායතන සංඥාවෙන් සූන්‍යයයි දැනගනී. ආකිඤ්චඤ්ඤායතන සංඥාව නිසා පවත්නා යම් එකම අසූන්‍යත්වයක් වේ නම් ඒ අසූන්‍යතාවයම ඇත්තේයයි දැනගනී. මෙසේ එහි යම් කෙලෙස් දාහයක් නොවේ නම් එයින් එය සූන්‍යයයි නුවණැසින් දකී. යම් ක්ලේශ දාහයක් එහි ඉතිරි නොවේනම් එය ශාන්තයයි දැනගනී. ආනන්දය, ඔහුට මෙසේ විද්‍යමානවූ වෙනස් නොවූ පිරිසිදුවූ සූන්‍යතාවය ඇතිවෙයි.

§ 8. “ආනන්දය, නැවතද

  • භික්ෂුව  විඤ්ඤාණඤ්චායතන සංඥාව මෙනෙහි නොකොට
  • ආකිඤ්චඤ්ඤායතන සංඥාව මෙනෙහි නොකොට

එකක්වූ නෙවසඤ්ඤානාසඤ්ඤායතන සංඥාව මෙනෙහි කෙරේද, ඔහුගේ සිත නෙවසඤ්ඤානාසඤ්ඤායතන  සංඥාවට වහා පැන ගනියි. එල්බ ගනී.  තදින් අල්වා ගනී.  සතුටින් එහි  පහදී, එහි  මනාව පිහිටයි, ස්ථිරව පිහිටයි. එහි ඇති නිදහස, විමුක්තිය අත්  විඳියි.

  • විඤ්ඤාණඤ්චායතන සංඥාව නිසාවූ යම් ක්ලේශ දැවිලි වන්නාහු නම් ඔව්හු නේවසඤ්ඤානාසඤ්ඤායතන යෙහි නැත.
  • ආකිඤ්චඤ්ඤායතන සංඥාව නිසාවූ යම් ක්ලේශ දැවිලි වන්නාහු නම් ඔව්හුද මේ නෙවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි නැත.

එකක්වූ නෙවසඤ්ඤානාසඤ්ඤායතන සංඥාව නිසා පවත්නා යම් කෙලෙස් දැවිල්ලක් ඇත්නම් එයම පමණක්  ඇත්තේය කියායි.

හෙතෙම මේ සංඥාව විඤ්ඤාණඤ්චායතන සංඥාවෙන් සූන්‍යයයි දැනගනී. මේ සංඥාව ආකිඤ්චඤ්ඤායතන සංඥාවෙන් සූන්‍යයයි දැනගනී. නෙවසඤ්ඤානාසඤ්ඤායතන සංඥාව නිසා පවත්නා යම් එකම අසූන්‍යත්වයක් වේනම් ඒ අසූන්‍යත්වය පමණක් ඇත්තේය. මෙසේ එහි යම් කෙලෙස් දැවීමක් නොවේ නම් එයින් එය සූන්‍යයයි නුවණැසින් දකී. යම් කෙලෙස් දැවීමක් එහි ඉතිරි නොවේ නම් එය ශාන්තයයි දැනගනී. ආනන්දය, ඔහුට මෙසේ විද්‍යමානවූ වෙනස් නොවූ පිරිසිදුවූ සූන්‍යතාවය ඇතිවෙයි.

§ 9.  “ආනන්දය, නැවතද භික්ෂුව 

  • ආකිඤ්චඤ්ඤායතන සංඥාව මෙනෙහි නොකොට
  • නෙවසඤ්ඤානාසඤ්ඤායතන සංඥාව මෙනෙහි නොකොට

 ( විදර්ශනා චිත්ත සමාධි සංඥාව වඩා) ඒකීය වූ  චේතෝ විමුක්ති සමාධිය ට  සිත නංවයි ද,  මෙනෙහි කෙරේද, ඔහුගේ සිත විදර්ශනා චිත්ත සමාධියෙහි බැසගනී, පහදියි, පිහිටයි, ස්ථිරව සිටියි. හෙතෙම මෙසේ දැනගනී.

  • ආකිඤ්චඤ්ඤායතන සංඥාව නිසාවූ  ක්ලේශ දාහයෝ  මේ විදර්ශනා චිත්ත සමාධියෙහි නැත.
  • නෙවසඤ්ඤානාසඤ්ඤායතන සංඥාව නිසාවූ  ක්ලේශ දාහයෝ  මේ විදර්ශනා චිත්ත සමාධියෙහි නැත.
  • ජිවිතෙන්ද්‍රියය පැවතීම  නිසා පවත්නා ෂඩායතනයෙන් හා  සතරමහාභුතයන්ගෙන් හටගත් මේ කය නිසා පවත්නාවූ යම් දරතයක් පමණක් ම  ඇත්තේය කියායි.

හෙතෙම මේ සංඥාව ආකිඤ්චඤ්ඤායතන සංඥාවෙන් සූන්‍යයයි දැනගනී.
මේ සංඥාව නෙවසඤ්ඤානාසඤ්ඤායතන සංඥාවෙන් සූන්‍යයයි දැනගනී.
ජීවිතෙන්ද්‍රියය නිසා පවත්නා ෂඩායතනයෙන් යුත් මේ කය නිසාවූ යම් එකම අසූන්‍යතාවයක් වේ නම් එබඳු අසූන්‍යතාවයක්ම ඇත්තේය.

මෙසේ එහි යම් ක්ලේශ දැවීම් මාත්‍රයක් නොවේ නම් එයින් එය සූන්‍යයයි දකී. යම් දැවීම් මාත්‍රයක්  එහි ඉතිරි වේනම් එය ශාන්තයයි දැනගනී. ආනන්දය, ඔහුට මෙසේ විද්‍යමානවූ වෙනස් නොවූ පිරිසිදුවූ සූන්‍යතාවය ඇතිවෙයි

§ 10.  “ආනන්දය, නැවතද  භික්ෂුව 

  • ආකිඤ්චඤ්ඤායතන සංඥාව මෙනෙහි නොකොට
  • නෙවසඤ්ඤානාසඤ්ඤායතන සංඥාව මෙනෙහි නොකොට

සංඥාවෙන්   තොර වූ  ඒකීය  විදර්ශනා චිත්ත සමාධියද සිත නංවයි ද,  මෙනෙහි කෙරේද, ඔහුගේ සිත විදර්ශනා චිත්ත සමාධියෙහි බැසගනී, පහදියි, පිහිටයි, ස්ථිරව පිහිටයි. හෙතෙම මෙසේ දැනගනී.

  • මේ විදර්ශනා චිත්ත සමාධිය ප්‍රත්‍යය කරණකොට හටගන්නා ලද්දේය. සිතින් උපදින ලද්දේය.
  • ප්‍රත්‍යයෙන් හටගන්නාලද සිතින් උපදිනලද යම් කිසිවක් වේනම් එය අනිත්‍යය. නිරුද්ධවන ස්වභාව ඇත්තේයයි දැන ගනී.

මෙසේ දන්නාවූ මෙසේ දක්නාවූ

  • ඔහුගේ සිත කාමාශ්‍රවයෙන්ද මිදෙයි.
  • භවාශ්‍රවයෙන්ද සිත මිදෙයි.
  • අවිද්‍යාශ්‍රවයෙන්ද සිත මිදෙයි.

එසේ මිදුනු කල්හි මිදුනේයයි දැනගැනීම ඇතිවෙයි.
උත්පත්තිය ක්ෂයවිය. බඹසර (බ්‍රහ්මචර්‍ය්‍යාව) වැස නිමවන ලදී. කටයුතු සියල්ල නිමකරණ ලදී. මින්පසු කළයුතු කිසිවක් නැතැයි දැනගනී.

  • හෙතෙම මෙසේ දැනගනී.
    කාමාශ්‍රවයන් නිසාවූ යම් ක්ලේශ දාහයෝ වන්නාහු නම් ඔව්හු මේ ආර්‍ය මාර්ගයෙහි හා ඵලයෙහි නැත.
  • භවාශ්‍රවයන් නිසාවූ යම් ක්ලෙශ දාහයෝ වන්නාහු නම් ඔව්හුද මෙහි නැත.
  • අවිද්‍යාශ්‍රවය නිසාවූ යම් ක්ලෙශ දාහයෝ වන්නාහු නම් ඔව්හුද මෙහි නැත.
  • ජිවිතෙන්ද්‍රියය නිසා පවත්නා ෂඩායතනයෙන් යුත් මේ කය නිසාවූ යම් දැවීම් මාත්‍රයක් වේ නම් ඒ දැවීම් මාත්‍රයම ඇත්තේය.

හෙතෙම මේ සංඥාව කාමාශ්‍රවයෙන් සූන්‍යයයිද දැනගනී. මේ සංඥාව භවාශ්‍රවයෙන් සූන්‍යයයිද දැනගනී. මේ සංඥාව අවිද්‍යාශ්‍රවයෙන් සූන්‍යයයිද දැන ගනී. ජිවිතේන්ද්‍රියය නිසා පවත්නා ෂඩායතනයෙන් යුත් මේ කය නිසාවූ යම් එකම අසූන්‍යත්වයක් වේද, ඒ අසූන්‍යත්වයම ඇත්තේයයි දැනගන මෙසේ යමක් එහි නැති නම් එයින් එය සූන්‍යයයි දකී. එහි යමක් ඉතිරි නම් එය ශාන්තයයි දැනගනී.

ආනන්දය, ඔහුට මෙසේ විද්‍යමානවූ වෙනස් නොවූ පිරිසිදුවූ සියල්ලට ශ්‍රෙෂ්ඨවූ සූන්‍යතාවය ඇතිවෙයි.

§ 11 .  “ආනන්දය,  පෙර කල සිටියාවූ  ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ , අති පිරිසිදුවූ සියල්ලටම  ශ්‍රෙෂ්ඨවූ, ඵල සමාපත්තියට පැමිණ වාසය කළාහු නම් ඒ සියල්ලෝ මේ පිරිසිදු ඉතා උතුම් ඵලසමාපත්තියට පැමිණ වාසය කළාහුය.
ආනන්දය, මතු අනාගතයෙහි  යම්  ශ්‍රමණයක් හෝ බ්‍රාහ්මණක්  පිරිසිදුවූ, ඉතා උතුම්වූ පල සමවතකට පැමිණ වාසය කරන්නාහු නම් ඒ සියල්ලෝම පිරිසිදුවූ, ඉතා උතුම්වූ, පරම අනුත්තර වූ මේ ඵල සමවතට පැමිණ වාසය කරන්නාහුය. ආනන්දය, දැන් මේ කාලයෙහි යම් කිසි ශ්‍රමණයෙක්  හෝ බ්‍රාහ්මණයෙක්  හෝ පිරිසිදු, අතිඋතුම් ඵලසමවතට පැමිණ වාසය කරත්නම් ඒ සියල්ලෝම මේ පිරිසිදු ඉතා උතුම් ඵලසමවතට පැමිණ වාසය කරති. ආනන්දය, එහෙයින් මෙහිදී මාද  පිරිසිදුවූ, ඉතා උතුම් පලසමවතට පැමිණ වාසය කරන්නෙමුයි. ආනන්දය, මෙසේ තොප විසින් හික්මිය යුතුයි.”

English Version

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක. සතුටු සිතැති ආනන්ද ස්ථවිරයන් වහන්සේ දෙශනාව සතුටින් පිළිගත්තෝය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.