DN-3-2-උදුම්බරික සීහනාද සුත්‍රය

පුජ්‍ය හිඟුරේ පඥාසේකර හිමි කල සුත්‍ර විවරණය.

නිග්‍රොධ පරිබ්‍රාජක වස්තුව

§1 .මා විසින් මෙසේ අසනලදී. එක් කාලයෙක භාග්‍යවතුන්වහන්සේ රජගහ නුවර සමීපයෙහිවූ ගිජුකුළු පව්වෙහි (ගිජ්ජකුට පර්වතයෙහි) වැඩ වාසය කළෝය. එකල්හි නිග්‍රොධ නම්  පරිබ්‍රාජකයෙක් (ශාසනයෙන් පිට මහණවූ අයෙක්) තුන් සියයක් පමණ මහත් පිරිවැජි පිරිසක් සමග උදුම්බරිකා දේවිය කරවූ  පිරිවැජි ආරාමයෙහි වාසය කළේය.

.එකල්හි සන්ධාන නම් ගෘහපතියෙක්  මධ්‍යාහ්නයෙහි (දවල් කාලයෙහි) භාග්‍යවතුන් වහන්සේ දැකීම පිණිස රජගහ නුවරින් පිටත් වීය.
‘භාග්‍යවතුන් වහන්සේ දැන් චිත්ත විවෙකයෙන් යුක්තව වාසය කරන්නාහ. එහෙයින් භාග්‍යවතුන් වහන්සේ දැකීමට මේ සුදුසු කාලය නොවෙයි. භාවනානුයොගී භික්ෂූන් වහන්සේලා දැකීමටත් මේ සුදුසු කාලය නොවෙයි. භාවනානුයොගී භික්ෂුහුද චිත්තවිවෙකයෙන් යුක්ත වූවාහුය. එහෙයින් උදුම්බරිකාවගේ පිරිවැජි ආරාමයට ගොස් එහි ඉන්නා  නිග්‍රොධ පරිබ්‍රාජක තුමා හමුවෙමි නම්  ඉතා යහපතැ’ යි සන්ධාන ගෘහපතියාට අදහස්  විය. 

§2 . එකල්හි නිග්‍රොධ පරිබ්‍රාජකයන්  ගණනින්  මහත්වූ සිය  පිරිවැජි පිරිස සමග උස් හඬින් නොයෙක් විදියේ අවැදගත් නිෂ්ඵල  කථාවෙහි යෙදෙමින්  හුන්නේය. ඒ කුමන කතාද යත් , රජුන් පිළිබඳ කථාය, සොරුන් පිළිබඳ කථාය, මහාමාත්‍යයන් පිළිබඳ කථාය, සේනාවන් පිළිබඳ කථාය, භය පිළිබඳ කථාය, යුද්ධ පිළිබඳ කථාය, ආහාර පිළිබඳ කථාය, පාන වර්ග පිළිබඳ කථාය, ඇඳුම් පිළිබඳ කථාය, සයන පිළිබඳ කථාය, මාලාවන් පිළිබඳ කථාය, සුවඳ පිළිබඳ කථාය, නෑයන් පිළිබඳ කථාය, රථ පිළිබඳ කථාය, ගම් පිළිබඳ කථාය, නියම්ගම් පිළිබඳ කථාය, නගර පිළිබඳ කථාය, දනව් පිළිබඳ කථාය, ස්ත්‍රීන් පිළිබඳ කථාය, පුරුෂයන් පිළිබඳ කථාය, සූරයන් පිළිබඳ කථාය, වීථි පිළිබඳ කථාය, නාන තොටවල් පිළිබඳ කථාය, මළගියවුන් පිළිබඳ කථාය, නොයෙක් ආත්ම පිළිබඳ කථාය, ලොකායත ශාස්ත්‍රය පිළිබඳ කථාය, සමුද්‍රයාගේ හටගැනීම පිළිබඳ කථාය, මෙසේ දියුණුව හා පිරිහීම වේය යනාදිය පිළිබඳ කථාය යන (තිර්ශ්චීන) පහත් කථාවෝය

§ 3 . .නිග්‍රොධ පරිබ්‍රාජකයන් දුර එන්නාවූ සන්ධාන ගෘහපතියා ඈතදීම දුටුවේය. දැක සිය පිරිස මෙසේ කියා හසුරුවාලීය. “ශ්‍රමණ ගෞතමයන්ගේ ශ්‍රාවකවූ සන්ධාන ගෘහපති තෙමේ තෙල එයි. සුදුවත් හඳනාවූ රජගහ නුවර වාසය කරන්නාවූ යම් පමණ ගිහි ශ්‍රාවකයෝ ශ්‍රමණ ගෞතමයන් සේවනය කරන්නෝ වෙත්ද මේ සන්ධාන ගෘහපති ඔවුන් අතුරෙන් එකෙකි. ආයුෂ්මත්නි, මොව්හු වනාහි නිශ්ශබ්දතාවය කැමැත්තෝය. නිශ්ශබ්ද තාවයෙහි හික්මුණෝය. නිශ්ශබ්දතාවයෙහි ගුණ කියන්නෝය. නිශ්ශබ්ද පිරිසක් බව දැන මෙහි පැමිණිය යුතු කොට සිතන්නේ නම් ඉතා යහපතැ”යි කීය. මෙසේ කී කල්හි සියළු  පිරිවැජියෝ නිශ්ශබ්ද වූවාහුය.

§  4  . එකල්හි සන්ධාන ගෘහපති නිග්‍රොධ පරිබ්‍රාජකයා හුන් තැනට අවූත් ඔහු  සමග  සතුටු වියයුතු,  කථා කොට නිමවා එක් පැත්තක හුන්නේය. එක් පැත්තකහුන් සන්ධාන ගෘහපති  නිග්‍රොධ පරිබ්‍රාජකයාට මෙසේ කීයේය.
“පින්වත්නි, මේ  තීර්ථක පරිබ්‍රාජකයෝ එක් රැස්ව මහ හඬින් යුක්තව උස්ශබ්ද මහත්ශබ්ද ඇත්තාහු නොයෙක් විදියේ නොවැදගත්  පහත් කථාවෙහි යෙදෙන්නේය. අප 
භාගව්‍යතුන් වහන්සේ මෙසේ ඝෝෂා වලට ප්‍රිය නොකරන නිහඬ බව අගයන උතුමෙකි.  ජනවාසයෙන් වෙන්වූ, ශබ්ද ගොශාවෙන් තොරවූ  ගම් සීමා ඉක්මවූ වනාන්තරවල කල්දු ගත කරන්නට ප්‍රිය වූ කෙනෙකි.”

 § 5 . සන්ධාන ගෘපහතියා මෙසේ කී කල්හි නිග්‍රොධ පරිබ්‍රාජකයා ඔහු ට මෙසේ කීයේය.

“ගෘහපතිය, එසේ නම් ශ්‍රමණ ගෞතම තෙමේ කවරෙකු සමග කථා කරන්නේ දැයි දන්නෙහිද, කවරෙකු සමග සාකච්ඡාවල යෙදෙන්නේද,  කවරෙකු සමග වාද විවාද කරමින් සිය ඥානය දියුණු කර ගන්නේද?, හුදෙකලාව තනිව මහා වනාන්තරයේ සිටින්නට ගොස්  ශ්‍රමණ ගෞතමයන්ගේ තිබු නුවණත්  වනාන්තරයන්හිදී විනාශ විය. ශ්‍රමණ ගෞතම තෙමේ විශාරද නුවූ බැවින් පිරිස් මැදට පැමිණෙන්ට අසමර්ථය, කථාවෙහි අසමර්ථය, හෙතෙමේ ‘කිසිවෙක් මා අතින් ප්‍රශ්න විචාරති’යි බියෙන් ජනාවාසයෙන් ඈත  වනයේ දුර සෙනසුන්ම සේවනය කරයි. කිසිවක් ඇඟ වැදේදෝයි බයෙන් අයින් වෙවී යන එකැස් කණ ගවදෙනක් මෙනි. මෙපරිද්දෙන්ම ශ්‍රමණ ගෞතමයන්ගේ බුද්ධිය වනාන්තරයන්හිදී විනාශ විය. ශ්‍රමණ ගෞතමයන් පිරිස් අතර නොහැසිරෙන්නෙකි. කථාවෙහි අසමර්ථය, හෙතෙමේ දුර වාසස්ථාන සේවනය කරයි. ඒ නිසා  ගෘහපතිය, ශ්‍රමණ ගෞතමයන් මේ සභාවට පැමිණියොත් එක ප්‍රශ්නයෙන්ම ඔවුන් වෙහෙසට පමුණුවම්හ. ඔහු හිස් කළයක් මෙන් පෙරලා හැම පැත්තෙන්ම නමා බැඳ තබම්හ” කීය

§ 6  .සන්ධාන ගෘහපතියා සමග පවත්වන ලද නිග්‍රොධ පරිබ්‍රාජකයාගේ මේ කථාසංලාපය භාග්‍යවතුන් වහන්සේ අතිශයින් පිරිසිදුවූ, මිනිස් කණ ඉක්මවූ දිව කණින් ඇසූහ. එවිට භාග්‍යවතුන් වහන්සේ ගිජ්ජකූට පර්වතයෙන් බැස, ‘සුමාගධා’ නම් පොකුණු ඉවුරෙහි මොර නිවාපය (මොනරුන්ගේ අභය ස්ථානය) වෙත පැමිණියෝය. පැමිණ, නිග්‍රොධ පරිබ්‍රාජකයන් සහ පිරිසට පෙන්වන සේ ‘සුමාගධා’ පොකුණු ඉවුරෙහිවූ මොර නිවාපයෙහි එලිමහනේ සක්මන් කළෝය.

නිග්‍රෝධ පිරිවැඩියන්  එසේ සක්මන් කරන භාග්‍යවතුන්වහන්සේ  දැක “පින්වත්නි, නිශ්ශබ්ද වව්, පින්වත්නි, ශබ්ද නොකරව්, මේ ශ්‍රමණ ගෞතම තෙමේ සුමාගධා පොකුණු ඉවුරෙහිවූ මොරනිවාපයෙහි එළිමහනේ සක්මන් කරයි. ඒ ආයුෂ්මත් තෙමේ නිශ්ශබ්දතාවය කැමැත්තේය. නිශ්ශබ්දතාවයේ ගුණ කියන්නෙක. නිශ්ශබ්ද පිරිසක් බව දැන මෙහි පැමිණිය යුතු කොට සිතන්නේය. ඉඳින් ශ්‍රමණ ගෞතම තෙමේ මේ පිරිසට පැමිණියොත් ඉතා යහපතියි” තම පිරිස හසුරුවාලීය.

“ඉඳින් ශ්‍රමණභවත් ගෞතමයන්  මෙහි එන්නේ නම් ‘ස්වාමීනි, යම් ධර්මයකින් භාග්‍යවතුන් වහන්සේ ශ්‍රාවකයන් හික්මවාද භාග්‍යවතුන් වහන්සේ විසින් හික්මවනලද ශ්‍රාවකයෝ සතුටට පැමිණ තමහට පිහිටවූ මුල් ප්‍රතිපත්තියවූ ආර්‍ය්‍ය මාර්ගයයි යම් ධර්මයක් ප්‍රකාශ කරත්ද භාග්‍යවතුන් වහන්සේගේ ඒ ධර්මය කවරේද යන මේ ප්‍රශ්නය අසන්නෙමු”යි කීය. මෙසේ කී කල්හි ඒ පරිබ්‍රාජකයෝ නිශ්ශබ්ද වූවාහුය.

තපොජිගුච්ඡා වාදො

§  7  .එවිට භාග්‍යවතුන් වහන්සේ නිග්‍රොධ පරිබ්‍රාජක උන් තැනට වැඩි සේක.  එවිට නිග්‍රොධ පරිබ්‍රාජක භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීයේය.

‘ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, මෙහි වඩිනු මැනව. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේගේ මේ පැමිණීම යහපත් පැමිණීමකි. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ බොහෝ කලකින් මෙහි පැමිණියහ. ස්වාමීනි, භාග්‍යවතුන්වහන්ස, වැඩහිඳිනු මැනව. මේ ආසනය පනවනලදැ’යි කීයේය.

පනවනලද ආසනයෙහි භාග්‍යවතුන් වහන්සේ වැඩහුන්නෝය. නිග්‍රොධ පරිබ්‍රාජකද එක්තරා මිටි ආසනයක් ගෙන එක පැත්තක හුන්නේය. එකපැත්තක හුන් නිග්‍රොධ පරිබ්‍රාජකයාට භාග්‍යවතුන් වහන්සේ මෙසේ කීහ.
“නිග්‍රොධය, දැන් තෙපි කවර කථාවක් කරමින් හුන්නාහුද, තොප විසින් කවර කථාවක් අතර නවත්වන ලද්දීද?”
මෙසේ කී කල්හි නිග්‍රොධ පරිබ්‍රාජක තෙමේ භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය කීයේය.

“ස්වාමීනි,  අපි ‘සුමාගධා’ නම් පොකුණු ඉවුරෙහි සක්මන් කරන භාග්‍යවතුන් වහන්සේ දැක මෙසේ කීවෙමු. “ඉදින් ශ්‍රමණ ගෞතමයන් වහන්සේ මෙතැනට වැඩියොත් උන්වහන්සේ අතින් මේ ප්‍රශ්නය අසන්නෙමු.
යම් ධර්මයකින් භාග්‍යවතුන් වහන්සේ ශ්‍රාවකයන් හික්මවාද භාග්‍යවතුන් වහන්සේ විසින් යම් ධර්මයකින් හික්මවනලද ශ්‍රාවකයෝ සතුටට පැමිණියාහු තමහට නිශ්‍රයවූ-(පිහිටවූ) මුල් ප්‍රතිපත්තියවූ ආර්‍ය්‍යමාර්ගයයි යම්ධර්මයක් ප්‍රකාශ කරද්ද, භාග්‍යවතුන් වහන්සේගේ ඒ ධර්මය කවරේද?’ යනුයි. ස්වාමීනි, අප විසින් මේ කථාව අතරතුර නවත්වනලදී. එකල්හි භාග්‍යවතුන් වහන්සේ පැමිණියෝය.

 නිග්‍රොධය, සාවද්‍ය දෘෂ්ඨියක් දැඩිසේ පිළිගෙන එයින් විමුක්තියක් වේයැයි එහිම ගිලී ඉන්නා  අන්‍යවූ ගුරුවරුන්ගේ සාවද්‍ය පිළිවෙත් අනුගමනය කරන ඔබ වැන්නෙකුට මාගේ ශ්‍රාවකයන්ට මා කියාදෙන විමුක්ති මාර්ගය වටහා ගන්නට පහසු නොවේ. එසේ හෙයින් නිග්‍රොධය, ඔබ අදහන පිළිපදින ප්‍රතිපත්තිය ගැන ඔබගේ දැඩි පාප ශෝධන ක්‍රියා  සම්බන්ධව ප්‍රශ්න අසව, කෙසේ නම් අත්ත කිලමතානු යෝගය සහ අකුසල් හරණ කිරීම මගින් විමුක්තිය ලැබේද?  කිනම් ප්‍රතිඵලයක් එම ප්‍රතිපත්තියෙන් සම්පූර්ණ වේදැයි” අසවයි කීහ.

මෙසේ කී කල්හි නිග්‍රෝධ තවුසා චෝදනා ස්වරයෙන් මහා හඬින් කෑ ගසමින්  “ශ්‍රමණ ගෞතමයන්ගෙන් තමන්ගේ ඉගැන්වීම ගැන ඇසු විට එයට පිළිතුරු නොදී අසන්නාගේ ධර්මය ගැන පෙරලා ඇසීම හාස්‍ය ජනකය. ඔබවහන්සේගේ ආනුභාවය මෙවනිද?” යයි කියන විට අනෙක්  පරිබ්‍රාජකයෝද  මහත්සේ හඬ නැඟුහ.

§  8 .. එකල්හි නිග්‍රොධ පරිබ්‍රාජකයන්  සිය ශ්‍රාවක පරිබ්‍රාජකයන් නිශ්ශබ්ද කොට භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීයේය.

“ස්වාමීනි, අපි වීර්යයෙන් පව් පිළිකුල් කිරීම කරන්නෝ වෙමු. වීර්යයෙන් පව් පිළිකුල්කිරීම දුරැලීම වැදගත්සා බව අදහන්නෝ වමු. වීර්යයෙන් පව් හා සියළු අකුසල් දුරලමින් වාසය කරමු. ස්වාමීනි,  වීර්යයෙන් පව් දුරැලීම  කෙසේ සම්පූර්ණවේද? කෙසේ නම් අසම්පූර්ණවේදැයි?” ඇසීය.

“නිග්‍රොධය, මේ ලෝකයෙහි සමහර පැවිද්දන් ශ්‍රමනයන්  [මෙතැන් සිට ඇති චේදයේ දක්වෙන්න අත්තකිලමතානු යෝගයෙහි යෙදී විමුක්තිය ලබන්නට තැත් කල ශ්‍රමණයන්ගේ සිරිත් සමහරක්ය.] යහපත් පැවතුම්වලින් මිදුණාවූ කෑම කා අත ලොවින්නාවූ, ‘එව වහන්සයයි’ කී කල්හි නොපිළිගන්නාවූ, ‘සිටුව වහන්සැයි’ කී කල්හි නොපිළිගන්නාවූ, එලවන ලද දෙය පිළිනොගන්නාවූ, උදෙසා කරන ලද්ද නොපිළිගන්නාවූ ආරාධනාකොට දුන් දේ නොපිළිගන්නාවූ, නිර්වස්ත්‍ර තාපසයෙක් වෙයි. හෙතෙමේ පිසූ  සැලියෙන් ගත් කෙණෙහි ආහාරයක් පිදු විට ඒ  නොපිළිගණියි. සැලිමුවවිටින් නොපිළිගණියි. එලිපත අතර කොට දුන් දෙය නොපිළිගණියි. දණ්ඩක් අතර කොට දුන් දෙය නොපිළිගණියි. මොහොලක් අතර කොට දුන්දෙය නොපිළිගණියි. කෑමකන දෙදෙනකු අතුරෙන් එකෙක් දුන් දෙය පිළිනොගණියි. ගැබිනියක් විසින් දුන් දෙය නොපිළිගණියි. දරුවකුට  කිරිපොවන මවක් පිදු දෙය නොපිළිගණියි. පුරුෂයකු අතරට ගිය තැනැත්තිය විසින් දුන්දෙය නොපිළිගණියි. සම්මාදම් කළ දෙයින් කිසිවක් නොපිළිගණියි.  බල්ලෙකු ඉන්නා තැනකදී බල්ලාට නොදී  ඔහුට දුන්දෙය නොපිළිගණියි. යම්තැනක මැස්සෝ කැටි කැටිව හැසිරෙත්ද එහිදී දුන්දෙය නොපිළිගණියි. දියමස් නොපිළිගණියි. ගොඩ මස් නොපිළිගණියි. සුරාව නොබොයි. මල් ඉස්මෙන් සැදූ මත්පැන් නොබොයි. කාඩිදිය නොබොයි. ඒ තාපස තෙමේ එකම ගෙයක පිඩු සිඟන්නේ හෝ වෙයි. එකම ආහාර පිඩකින් යැපෙන්නේ හෝ වෙයි. ගෙවල් දෙකක පිඩු සිඟන්නේ හෝ වෙයි. ආහාර දෙපිඩකින් යැපන්නේ හෝ වෙයි. ගෙවල් සතක පිඩු සිඟන්නේ හෝ වෙයි. ආහාර පිඩු සතකින් යැපෙන්නේ හෝ වෙයි. එක් කුඩා බත්තැටියකින් හෝ යැපෙයි. කුඩා බත් තැටි දෙකකින් හෝ යැපෙයි. කුඩා බත්තැටි සතකින් හෝ යැපෙයි. දවසකට වරක් හෝ ආහාර ගණියි, දෙදවසකට වරක් හෝ ආහාර ගණියි. සත් දවසකට වරක් හෝ ආහාර ගණියි. මෙසේ මෙබඳුවූ අඩමසකට වරක්ද වාරභොජනයෙහි යෙදුනේ වාසය කරයි. හෙතෙමේ අමු පලා කයි. බඩහමු තණ කයි. වී ධාන්‍ය කයි. සම් කැබලි කයි. මැලියම් දිය සෙවෙල් කයි. ධාන්‍ය කුඩු කන්නේ හෝ වෙයි. දඹුබත් (දන්කුඩ) කන්නේ හෝ වෙයි. තල ආදි මුරුවට කන්නේ හෝ වෙයි. තණ කන්නේ හෝ වෙයි. ගොම කන්නේ හෝ වෙයි. වන මුල් ගෙඩි කෑම කොට ඇත්තේ හෝ යැපෙයි. ඉබේ වැටුන ගෙඩි කන්නේ හෝ වෙයි. හෙතෙම හනවැහැරී හෝ හඳී. හනවැහැරී මිශ්‍ර රෙදි හෝ හඳී. මිනියෙන් ඉවත්කළ වස්ත්‍ර හෝ දරයි. පංශුකූල වස්ත්‍ර හෝ දරයි. රුක් පතුරු හෝ දරයි. මැදින් පැලු අඳුන් දිවිසම් හෝ දරයි. නියඳ වැහැරි හෝ දරයි. පුවරු වැහැරි හෝ දරයි. හිසකේවලින් කළ කම්බිලිද දරයි. කොටිසමින් කළ කම්බිලිද දරයි. බකමුහුණු පිහාටුවලින් කළ වැහැරිද දරයි. කෙස් රැවුල් උගුලන්නේද වෙයි. කෙස්රැවුල් ඉගිලීමෙහි යෙදුනේ ආසන ඉවත් කළේ උඩුකුරුව සිටියේද වෙයි. උක්කුටික වීර්යයෙන් යුක්තවූයේ උක්කුටිකයෙන් සිටින්නේද වෙයි. කටුමත්තේ ගමන් කරන්නේ කටු ඇතිරිමතුයෙහි නිදාගැනීමද කරයි. පුවරු මත්තේ නිදාගැනීමද කරයි. කුඩා තාප්ප උස් බිම් කන්ඩි උඩ නිදාගැනීම කරන්නේද වෙයි. දූලි දැලි දරන්නේ එක පැත්තට නිදන්නේද වෙයි. එලිමහනේම වෙසෙයි. පළමුව එලු පරිදිමවූ ආසනයේ හිඳී. අසුචි කෑමෙහි යෙදුනේ අසුචිකෑම කරයි. ඇල්දිය පානය නොකරන්නේ ඇල්දිය පානය නොකරයි. උදේ දවල් සවස යන තුන් වේලෙහි පව්සේදීම පිණිස දියට බැසීමෙහි යෙදී වාසය කරයි.

නිග්‍රොධය, මෙසේ දැක්වූ වෘතයන් පැවැත්වීමෙන් අකුසල දුරු කිරීමක් වේද ? එසේ නොවේද ?
“ස්වාමීනි, ඒකාන්තයෙන් මෙසේ අසීරු වෘත රැකීමෙන් 
පව් දුරුකිරීම සම්පූර්ණ වේ මයි.”
“නිග්‍රොධය, මෙසේ අසීරු වූ වෘත රැකීමෙන් අකුසල දුරු කිරීමක් නොවන බව මම කියමි.”

උපක්ලේශයන්

§ 9. “ස්වාමීනි  මෙසේ පරිපූර්ණවූ වීර්යයෙන් පව් දුරුකිරීමෙහි  යෙදෙන අපගේ අකුසල සමුච්චේද නොවන බව ඔබ කෙසේ නම් කියන්නේද?”

 § 10.1. “නිග්‍රොධය, ඇතැම් තාපසවරු මෙසේ දුෂ්කර අත්තකිලමතානු යෝග වෘත පිරීමෙහි යෙදීමෙන් තමන්, අනුනට කල නොහැකි, අනුන් කරනවාට වඩා දුෂ්කර වෘතයක් පිරීමී ‘ යැයි සතුටට පත් වේ,  තමන් මේ දුෂ්කර තපස පිරීමෙන් තමන්ගේ අකුසල දුරු වුයේ යැයි වැරදි නිගමනයට එළඹේ. තමා අන්‍ය ශ්‍රමනයනට වඩා ඉහල බව සිතයි. අන්‍යයන් තමනට වඩා පහත් යැයි සිතයි. තමාගේ වෘතය නිසා තමා ශ්‍රේෂ්ඨ වුයේයයි සිතාගනියි. මෙසේ තපසින් මානයෙන් ඔහු තවත් අකුසල් රැස් කරයි. නිග්‍රොධය, තාපසයෙක්  යම්කිසි තපසක් සමාදන් වේද, හෙතෙමේ ඒ තපසින් සතුටු සිත් ඇත්තේ  එබඳු  අදහස් ඇත්තේ වේද නිග්‍රොධය, මේද තාපසයාගේ උපක්ලේශයෙකි.

§ 10.2.  නිග්‍රොධය, නැවතද අනිකක් කියමි. ඇතැම් අත්තකිලමතානු යෝගී වෘත පුරන්නන් තමන් එසේ දුෂ්කර වෘත පිරීම ගැන පැහැදෙන ජනයාඔහු ගැන ගුණ කියනවාට සතුටු වෙයි. ප්‍රසිද්ධියට කැමති වෙයි. ඒ ජනයා පුදන පිරිකර ට, ලාභ සත්කාර වලට සතුටු වෙයි.  එසේ හෙතෙමේ ඒ නිසා සිය තපසින් මානයෙන් මත්වෙයි. මුසපත් වෙයි. ඒ මානයෙන් මත්වුයේ ප්‍රමාදයට පැමිණෙයි. නිග්‍රොධය, තාපසයෙක් යම් තපසක් සමාදන් වෙයිද, හෙතෙමේ ඒ තපසින් මානයෙන් මත්වේද, මුසපත් වේද, ප්‍රමාදයට පැමිණේද නිග්‍රොධය, මේද තාපසයාගේ උපක්ලේශයෙකි

§ 10.3නිග්‍රොධය, නැවතද අනිකක් කියමි.  නිග්‍රොධය, එසේ කෙලෙස්තා තවන තාපසයෙක් තමාට පිරිනැමෙන ආහාර දෙකොටසකට බෙදයි. මේ ආහාර මට ප්‍රියයි, මේ ආහාර මට ප්‍රිය නොවෙයි කියා භොජනය දෙකොටසකට බෙදයි. හෙතෙමේ යමක් තමාට ප්‍රිය නොවෙයිද එය වහා ඉවත ලයි. යමක් තමාට ප්‍රියද එය කෑදර සිතින් ගැලී මුසපත්වූයේ අතිශයින් ඇලුනේ එම සිතෙහි දොස් නොදක්නේ, නුවණින් මෙනෙහි කිරීමක් නැතිව ඒ ආහාර අනුභව කරයි. නිග්‍රොධය, මේද තාපසයාගේ උපක්ලේශයෙකි. (කිලුටෙකි).

 § 10.4. නිග්‍රොධය, නැවත අනිකක් කියමි. එසේ කෙලෙස්තා තවන තාපසයෙක් ලාභ සත්කාර කීර්ති කැමැත්තේ මේ වෘත සමාදන්වීමෙන් මෙසේ දැඩි තපස්කම් කිරීමෙන් මට රජවරුද, රාජ මහාමාත්‍යයෝද, ක්ෂත්‍රියයෝද, බ්‍රාහ්මණයෝද, ගෘහපතියෝද, තීර්ථකයෝද, සත්කාර කරන්නාහුයයි බලාපොරොත්තුවෙන් තපස්කම් සමාදන් වෙයි. නිග්‍රොධය, මෙයද තාපසයාගේ උපක්ලේශයෙකි (කිලුටෙකි.) 

 § 10.5. නිග්‍රොධය, නැවතද අනිකක් කියමි. මූලබීජය (පැල වෙන මුල්) ඛන්ධබීජය (පැලවෙන කඳන්) ඵළුබීජය (පැල වෙන පුරුක්) අග්ගබීජය (පැලවෙන කරටි) පස්වැනිවූ බීජබීජය (පැලවෙන ඇට) යන මේ කවරක් වුවත් ආහාරයට ගන්නා මොවුන්ගේ මහණකම කුමක්දැයි එබඳු ආහාර පරිභෝජනයට ගන්නා අනෙක්  ශ්‍රමණයෙකුට හෝ බ්‍රාහ්මණයෙකුට හෝ දොස් නඟන්නේ වෙයිද , නිග්‍රොධය, මෙයද තාපසයාගේ උපක්ලේශයෙකි.

 § 10.6. නිග්‍රොධය නැවතද  අනිකක් කියමි. නොයෙක් උසස්  කුලයන්හි සත්කාර කරනු ලබන්නාවූ, ගරු කරනු ලබන්නාවූ, බුහුමන් කරනු ලබන්නාවූ, පුදනු ලබන්නාවූ වෙනත් තවුසකු හෝ බ්‍රාහ්මණයකු හෝ  දැක ඔහුට මෙබඳු සිතෙක් වෙයි. බොහෝවූ සිවුපසයෙන් දිවි පවත්වන්නාවූ මොහුට බොහෝ  කුලයන්හි සත්කාර කරත්, ගරුකරත්, බුහුමන් කරත්, පූජා කරත්, රළු පැවතුම් ඇති තවුස්වූ මට කුලයන්හි සත්කාර නොකරත්, ගරු නොකරත්, බුහුමන් නොකරත්, නොපුදත්. මෙසේ හෙතෙමේ කුලයන්හි ඊෂ්‍යාව හා මසුරුකම උපදවන්නේ වෙයිද නිග්‍රෝරොධය, මෙයදශ්‍රමණයෙකුගේ උපක්ලේශයකි.

 § 10.7. නිග්‍රොධය, නැවතද අනිකක් කියමි. යම් ශ්‍රමණයෙක් මිනිසුන් පහදවා ගැනීමේ අදහසින්  මිනිසුන්ට පේන තැන්වල හිඳ තපස්කම් කරයිදි මෙයද තාපසයාගේ උපක්ලේශයෙකි.

§ 10.8.නිග්‍රොධය, නැවත අනිකක් කියමි. යම් ශ්‍රමණයෙක් මේ මාගේ තපසයයි මේ මාගේ තාපසයයි තමාගේ ගුණ පෙන්වමින්කුලයන්හි හැසිරෙයිද නිග්‍රොධය, මෙයද තාපසයාගේ උපක්ලේශයෙකි.

 § 10.9. නිග්‍රොධය, නැවතද අනිකක් කියමි. ඔබට මෙය රුචි දැයි අසන ලද විට අසන්නා සතුටු කිරීමට  නොකැමති දෙයට කැමතියයි කියයි. කැමති දෙයට නොකමැතියයි කියමින් අනුන් දැන නොගන්නා සේ කිසියම් වරදක් කරයි. මෙසේ හෙතෙමේ දැන දැන බොරු කියන්නේ වෙයිද, . නිග්‍රොධය, මෙයද තාපසයාගේ උපක්ලේශයෙකි.

 § 10.10.නිග්‍රොධය, නැවතද අනිකක් කියමි.යම් ශ්‍රමණයෙක් තථාගතයන් හෝ තථාගත ශ්‍රාවකයකු ඔහුට වැටහෙන අයුරු ධර්මයක් දේශනා කලවිට ඒ නොවැටහුනයි නොපිළිගන්නේ නම් නිග්‍රොධය, මෙයද තාපසයාගේ උපක්ලේශයකි. ශ්‍රමණයෙකු  අමනාප තරහ සිත් ඇත්තෙක් වේද මෙයද එම ශ්‍රමනයාගේ  උපක්ලේශයෙකි. යම් ශ්‍රමණයෙකු ගුණමකුවූයේද,  ගුණවතුන් හා තමා සම කොට සිතන්නේ වෙයිද, අනුන් කෙරෙහි  ඊර්ෂ්‍යා කරන්නේ වෙයිද, වංචා සිත් ඇත්තේ වේද, දැඩි සේ අල්ලා ගත් දෘෂ්ඨි ඇත්තේ වේද ,  අධිකමානයෙන් යුක්තවූයේ වෙයිද,  ලාමක අදහස් ඇත්තේ වේද, වැරදි ඇදහීම් ඇති වූයේවේද,  උච්ඡේද දෘෂ්ටියෙන් (සංසාරයක් නැතැයි විස්වාසයෙන්) යුක්තවූයේ වෙයිද, සිය අදහස් පමණක් නිවැරදි යැයි ඒවා තරයේ අල්වා ගෙන ඉන්නේ වේද මේවාද ශ්‍රමණයෙකුට උපක්ලේශ ලෙස බාධා ලෙස පවතී. 

 § 11. නිග්‍රොධය, ඔබ මේ කරුණු ගැන කෙසේ සිතන්නේද? මේ කරුණු ඇත්තෙක් වීර්යයෙන් අකුසල දුරු කරන්නෙකු යැයි ඔබ සිතන්නේද? “

“ස්වාමීනි, එකාන්තයෙන් මේ තපොජිගුච්ඡාවෝ උපක්ලේශයෝය. මේවා එකක් හෝ තමන් තුල ඇත්තාවූ පැවිද්දෙක් වීර්යයෙන් කෙලෙස් දුරුකරන්නෙකු යැයි සලකන්නට නොහැකිය .”

“ස්වාමීනි මෙසේ වීමට ඉඩ ඇත්තේය. යම් හේතුවකින් ඇතැම් තාපසයෙක් මේ සියලු උපක්ලේශයන්ගෙන් යුක්ත වන්නේය. එක එකකින් යුක්තවීම කියනුම කවරේද?”


පරිසුද්ධ පටි
කප්පත්ත කථා

§ 12. “නිග්‍රොධය, යම් ශ්‍රමණයෙක් 

තපස්කම් සමාදන් වෙයි. හෙතෙමේ ඒ තපසින් සතුටු නොවන්නේ සම්පූර්ණවූ අදහස් ඇත්තේ නොවෙයි. නිග්‍රොධය, තාපස තෙමේ යම් තපසක් සමාදන් වෙයිද හෙතෙමේ ඒ තපසින් සතුටුනොවූයේ සම්පූර්ණ අදහස් ඇත්තේ නොවේද මෙසේ හෙතෙමේ ඒ කාරණයෙහි පිරිසිදු වූවෙක් වෙයි.

§ 14  .“නිග්‍රොධය, නැවතද අනෙකක් කියමි. තාපස තෙමේ තපස්කම් සමාදන් වෙයි. හෙතෙමේ ඒ තපසින් තමා උසස්කොට නොසලකයි. අන්‍යයා හෙලා නොදකියි. නිග්‍රොධය, තාපස තෙමේ යම් තපසක් සමාදන් වෙයිද හෙතෙමේ ඒ තපසින් තමා උසස් කොට නොසලකයිද අන්‍යයා හෙලා නොදකියිද මෙසේ හෙතෙමේ ඒ කාරණයෙහි පිරිසිදු වෙයි.
“නිග්‍රොධය, නැවතද අනෙකක් කියමි. තාපස තෙමේ තපස්කම් සමාදන් වෙයි. හෙතෙමේ ඒ තපසින් මත් නොවෙයි. ක්ලාන්ත නොවෙයි. ප්‍රමාදයට නොපැමිණෙයි. නිග්‍රොධය, තාපසතෙමේ යම් තපසක් සමාදන්වේද හෙතෙමේ ඒ තපසින් මත් නොවෙයිද මුසපත් නොවෙයිද ප්‍රමාදයට නොපැමිණෙයිද මෙසේ හෙතෙමේ ඒ කාරණයෙහිදී පිරිසිදු වෙයි.
නිග්‍රොධය, නැවතද අනෙකක් කියමි. තාපස තෙමේ තපස්කම් සමාදන් වෙයි. හෙතෙමේ ඒ තපසින් ලාභ සත්කාර කීර්ති උපදවයි. හෙතෙමේ ඒ ලාභ සත්කාර කීර්ති ඉපදවීමෙන් සතුටුවන්නේ නොවෙයි. සම්පූර්ණකළ අදහස් ඇත්තේ නොවෙයි. නිග්‍රොධය, තාපස තෙමේ යම් තපසක් සමාදන් වෙයිද, හෙතෙමේ ඒ තපසින් ලාභ සත්කාර කීර්ති උපදවයිද, හෙතෙමේ ඒ ලාභ සත්කාර කීර්ති ඉපදවීමෙන් සතුටු නොවන්නේද සම්පූර්ණ කළ අදහස් ඇත්තේ නොවෙයිද මෙසේ හෙතෙමේ ඒ කරුණෙහිදී පිරිසිදු වෙයි.
නිග්‍රොධය, නැවතද අනෙකක් කියමි. තාපස තෙමේ තපස්කම් සමාදන් වෙයි. හෙතෙමේ ඒ තපසින් ලාභ සත්කාර කීර්ති උපදවයි. හෙතෙමේ ඒ ලාභ සත්කාර කීර්ති ඉපදවීමෙන් තමන් උසස් කොට නොසලකයි. අනුන් හෙලා නොදකියි. නිග්‍රොධය, තාපස තෙමේ යම් තපසක් සමාදන් වෙයිද හෙතෙමේ ඒ තපසින් ලාභ සත්කාර කීර්ති උපදවයිද හෙතෙමේ ඒ ලාභසත්කාර කීර්ති ඉපදවීමෙන් තමා උසස් කොට නොසලකයිද, අනුන් හෙලා නොදකියිද මෙසේ හෙතෙමේ මේ කාරණයේදී පිරිසිදු වේ.
නිග්‍රොධය, නැවතද අනෙකක් කියමි. තාපස තෙමේ තපස්කම් සමාදන් වෙයි. හෙතෙමේ ඒ තපසින් ලාභ සත්කාර කීර්ති උපදවයි. හෙතෙමේ ඒ ලාභ සත්කාර කීර්ති ඉපදවීමෙන් මානයෙන් මත් නොවෙයි. මුසපත් නොවෙයි. ප්‍රමාදයට නොපැමිණෙයි. නිග්‍රොධය, තාපස තෙමේ යම් තපසක් සමාදන් වෙයිද, හෙතෙමේ ඒ තපසින් ලාභ සත්කාර කීර්ති උපදවයිද, හෙතෙමේ ඒ ලාභ සත්කාර කීර්ති ඉපදවීමෙන් මාන වශයෙන් මත් නොවෙයිද මුසපත් නොවෙයිද, ප්‍රමාදයට නොපැමිණෙයිද මෙසේ හෙතෙමේ ඒ කාරණයෙහිදී පිරිසිදු වෙයි.
“නිග්‍රොධය, නැවතද අනෙකක් කියමි. තාපස තෙමේ තපස්කම් සමාදන්වෙයි. හෙතෙමේ මේ මට ප්‍රියයි මේ මට ප්‍රිය නොවෙයි කියා කෑම දෙකොටසකට නොබෙදයි. හෙතෙමේ තමාට යමක් ප්‍රිය නොවෙයිද එය බලාපොරොත්තු රහිතව දුරු කරයි. යමක් තමාට ප්‍රියද එය මත් නොවූයේ, මුසපත් නොවූයේ, අතිශයින් නොඇලුනේ, දොස් දක්නාසුලු වූයේ, නුවණින් මෙනෙහි කිරීමෙන් අනුභව කරයිද හෙතෙමේ ඒ කාරණයෙහිදී පිරිසිදු වෙයි.
නිග්‍රොධය නැවතද අනෙකක් කියමි. තාපසතෙමේ ‘මට රජවරුද, රාජ මහාමාත්‍යයෝද, ක්ෂත්‍රියයෝද, බ්‍රාහ්මණයෝද, ගෘහපතියෝද යන මොව්හු සත්කාර කරන්නාහුය’යි තපස්කම් සමාදන් නොවෙයිද, හෙතෙමේ ඒ කාරණයෙහිදී පිරිසිදු වෙයි
“නිග්‍රොධය, නැවතද අනෙකක් කියමි. “මූලබීජය, ඛන්ධබීජය, ඵලු බීජය, අග්ග බීජය, පස්වැනිවූ බීජ බීජය යන මේ සියල්ල කා දමන හෙන පහරක් වැනි කුළුදත් ඇති මොවුන්ගේ මහණකම කුමක්දැ”යි අනික් ශ්‍රමණයකුට හෝ බ්‍රාහ්මණයෙකුට හෝ දොස් නඟන්නේ නොවෙයිද හෙතෙමේ මෙසේ ඒ කාරණයේදී පිරිසිදු වෙයි.
“නිග්‍රොධය, නැවතද අනෙකක් කියමි. තාපසතෙමේ කුලයන්හි සත්කාර කරනු ලබන්නාවූ ගරු කරනු ලබන්නාවූ බුහුමන් කරනු ලබන්නාවූ පූජා කරනු ලබන්නාවූ එක්තරා ශ්‍රමණයකු හෝ බ්‍රාහ්මණයකු දකී. දැක, ඔහුට මෙසේ නොසිතෙයි. “බොහෝවූ සිවුපසයෙන් දිවි පත්වන්නාවූ මොහුට කුලයන්හි සත්කාර කරත්, ගරු කරත්, බුහුමන් කරත්, පූජා කරත්, රළු පැවතුම් ඇති තාපසයෙක්වූ මට කුලයන්හි සත්කාර නොකරත්, ගරු නොකරත්, බුහුමන් නොකරත්, පූජා නොකරත්ය”යි හෙතෙමේ මෙසේ කුලයන්හි ඊර්ෂ්‍යාව හා මසුරු බව නූපදවයිද, මෙසේ හෙතෙමේ ඒ කාරණයෙහිදී පිරිසිදු වෙයි

§  8  . “නිග්‍රොධය, නැවතද අනෙකක් කියමි. තාපස තෙමේ මිනිසුන්ට පේන තැන්වල තපස්කම් නොකරයිද මෙසේ හෙතෙමේ ඒ කාරණයෙහිදී පිරිසිදු වේ.
“නිග්‍රොධය, නැවතද අනෙකක් කියමි. තාපස තෙමේ මේ මාගේ තපසයයි, මේ මාගේ තපසයයි, තමාගේ ගුණ පෙන්වමින් කුලයන්හි නොහැසිරේද මෙසේ හෙතෙමේ ඒ කාරණයෙහිදී පිරිසිදු වෙයි.
“නිග්‍රොධය, නැවතද අනෙකක් කියමි. ඔබට මෙය රුචිදැයි විචාරන ලද්දේ නොකැමති දෙයට හෝ කැමතියයි නොකියයිද, කැමති දෙයට නොකැමතියයි හෝ නොකියයිද සැඟවී කිසිවක් නොකරයිද, මෙසේ හෙතෙමේ දැන දැන බොරු නොකියන්නේ වෙයිද, මෙපරිද්දෙන් හෙතෙමේ ඒ කාරණයෙහිදී පිරිසිදු වෙයි.
“නිග්‍රොධය, නැවතද අනෙකක් කියමි. තාපස තෙමේ ධර්මය දෙශනා කරන්නාවූ තථාගතයන් වහන්සේගේ හෝ තථාගත ශ්‍රාවකයකුගේ හෝ සතුටුවිය යුතු ශාන්ත ධර්ම ක්‍රමයට සතුටු වෙයි. මෙසේ හෙතෙමේ ඒ කාරණයෙහිදී පිරිසිදු වෙයි.
“නිග්‍රොධය, නැවතද අනෙකක් කියමි. තාපසතෙමේ ක්‍රොධ නොකරන්නේ, බද්ධ වෛර නැත්තේ වෙයි. නිග්‍රොධය තාපසතෙමේ යම් හෙයකින් ක්‍රොධ නොකරන්නේ, බද්ධවෛර නැත්තේ වේද හෙතෙමේ ඒ කාරණයෙහිදී පිරිසිදු වෙයි.
“නිග්‍රොධය, නැවතද අනෙකක් කියමි. තාපස තෙමේ ගුණමකු නොවූයේ ගුණවතුන් හා තමා සම කොට නොසිතන්නේ වෙයි. ඊර්ෂ්‍යා නැත්තේ මසුරු නොවූයේ වෙයි. කෛරාටික නොවූයේ අනුන් නොරවටන්නේ වෙයි. තදනොවූයේ අධික මාන නැත්තේ වෙයි. ලාමක අදහස් නැත්තේ ලාමක අදහස්වලට වසඟ නොවූයේ වෙයි. වැරදි ඇදහීම් ඇති නොවූයේ උච්ඡේද දෘෂ්ටියෙන් (සංසාරයක් නැතැයි විස්වාස කිරීමෙන්) යුක්ත නොවූයේ වෙයි. දෘෂ්ටිය උසුලා සිටීම නොකරන්නේ එය දැඩිව අල්ලා නොගන්නේ එය ලෙහෙසියෙන් දුරලිය හැක්කේ වෙයි. නිග්‍රොධය, තාපස තෙමේ යම් හෙයකින් ස්වකීය දෘෂ්ටිය උසුලා සිටීම නොකරන්නේ එය දැඩිව අල්ලා නොගන්නේ එය ලෙහෙසියෙන් දුරලිය හැක්කේ වේද හෙතෙමේ ඒ කාරණයෙහිදී පිරිසිදු වෙයි.
“නිග්‍රොධය, නුඹ ඒ කුමකැයි සිතන්නෙහිද, ඉඳින් මෙසේ ඇති කල්හි වීර්යයෙන් පව් දුරු කිරීම (තපො ජිගුච්ඡාව) පිරිසිදු වේද? නැතහොත් අපිරිසිදු වේද?”
“ස්වාමීනි, එකාන්තයෙන්ම මෙසේ ඇති කල්හි තපොජි ගුච්ඡාව පිරිසිදු වන්නේය. අපිරිසිදු නොවන්නේය. උතුම් බවට පැමිණියේද සාර බවට පැමිණියේද වෙයි. “නිග්‍රොධය, මෙපමණකින් තපොජිගුච්ඡාව (වීර්යයෙන් පව් දුරුකිරීම) උතුම් බවට පැමිණියේද සාර බවට පැමිණියේද නොවෙයි. එතකුදු උවත් ගසක සුඹුලක් බවට පැමිණියේය”යි කීහ
පරිසුද්ධ තචප්පත්ත කථා
“ස්වාමීනි, කෙසේ නම් තපොජිගුච්ඡාව (වීර්යයෙන් පව් දුරු කිරීම) උතුම් බවටද සාර බවට පැමිණියේ වේද ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, මට තපොජිගුච්ඡාව උතුම් බවටද සාර බවටද පමුණුවා ධර්මය දෙශනා කරනසේක් නම් යහපතියි කීය.”

§  8  . “නිග්‍රොධය, මේ ලොකයෙහි තාපස තෙමේ ‘චාතුයාම’ නම් සංවරයෙන් සංවර වූයේ වෙයි. නිග්‍රොධය තාපස තෙමේ කෙසේනම් ‘චාතුයාම’ සංවරයෙන් යුක්තවූයේවේද? නිග්‍රොධය, මේ ලොකයෙහි තාපසතෙමේ ප්‍රාණඝාත නොකරයිද ප්‍රාණඝාත නොකරවයිද ප්‍රාණඝාත කරන්නාහට අනුබල නොදෙයිද, නොදුන් දෙය නොගනියිද නොදුන් දෙය අනුන් ලවා නොගන්වයිද නොදුන් දෙය ගන්නාහට අනුබල නොදෙන්නේද, බොරු නොකියයිද අනුන් ලවා බොරු නොකියවයිද බොරු කියන්නාහට අනුබල නොදෙයිද, පංචකාම සැප සේවනය නොකරයිද අනුන් ලවා පංචකාම සැප සේවනය නොකරවයිද පංචකාම සැප සේවනය කරන්නාහට අනුබල නොදෙන්නේ වෙයිද, නිග්‍රොධය, මෙසේ තාපස තෙමේ චාතුයාම නම් සංවරයෙන් සංවර වූයේ වෙයි. ඔහුගේ තපස් බැව්හි වැඩෙන ස්වභාවය ඇත්තේ වෙයි. සීලය මතුමත්තේ වඩයි. ගිහි බවට නොපැමිණෙයි. හෙතෙමේ වනය, වෘක්ෂ මූලය, පර්වතය, කඳුරැලිය, පර්වත ගුහාය, ඈත වනය, එලිමහන්ය, පිදුරු ගොඩය යන මේ විවේක තැනක් සේවනය කරයි. හෙතෙමේ පිණ්ඩපාතයෙන් හැරී ආයේ දවල් භොජනයෙන් පසු, පසුබත් කාලයෙහි (සවස්කාලයේ) එරමිනිය ගොතා කය කෙලින් තබා සිහි එළවා හිඳගනියි, හෙතෙමේ ආත්ම නම්වූ ලොකයෙහි ආසාව දුරු කොට පහවූ ආසාව ඇති සිතින් වාසයකරයි. ආසාවෙන් සිත පිරිසිදුකරයි. ක්‍රොධයෙන් හටගත් හිතේ අපිරිසිදු භාවය දුරුකොට ක්‍රොධ රහිත සිත් ඇත්තේ වාසය කරයි. සියලු සත්වයන් කෙරෙහි හිතානුකම්පා ඇත්තේ ක්‍රොධයෙන් හටගත් හිතේ අපිරිසිදු භාවයෙන් සිත පිරිසිදු කරයි. අලස භාවය දුරුකොට පහවූ අලස භාවය ඇත්තේ වාසය කරයි. ආලොක සංඥා ඇත්තේ සිහි ඇත්තේ උතුම් ප්‍රඥා ඇත්තේ අලස භාවයෙන් සිත පිරිසිදු කරයි. සිතේ චංචලකම හා පසුතැවීම දුරුකොට නොවිසිර යන සිත් ඇතිව වාසය කරයි. ඇතුළත සංසිඳුනු සිත් ඇත්තේ සිතේ විසිරයාමෙන් හා පසුතැවීමෙන් සිත පිරිසිදු කරයි. විචිකිච්ඡාව (සැකය) දුරුකොට එතර කළ විචිකිච්ඡා ඇත්තේ වාසය කරයි. කුසල ධර්මයන්හි කෙසේ කෙසේදැයි පැවැති සැකයෙන් සිත පිරිසිදු කරයි

හෙතෙමේ සිත කිලුටු කරන්නාවූ ප්‍රඥාව දුර්වල කරන්නාවූ මේ පංචනීවරණයන් දුරු කොට මෛත්‍රි සහගත සිතින් එක් දිසාවක් පතුරුවා වාසය කරයි. එසේම දෙවෙනි දිසාවද එසේම තුන්වන දිසාවද, සතරවන දිසාවද, උඩ යට සරස යන සෑම තැන සියලු ලොක සත්වයා කෙරෙහි විසාලවූ මහත්ගතවූ අප්‍රමාණවූ අවෛරීවූ, ක්‍රොධ රහිතවූ මෛත්‍රී සහගත සිතින් වාසය කරයි. කරුණා සහගත සිතින්, මුදිතා සහගත සිතින්, උපෙක්ෂා සහගත සිතින් එක් දිසාවක් පතුරුවා වාසය කරයි. එසේම දෙවෙනි තුන්වෙනි සතරවැනි දිසාද මෙසේ උඩ යට සරස යන සෑම තැන සියලු ලෝක සත්වයා කෙරෙහි විශාලවූ, මහද්ගතවූ අප්‍රමාණවූ ක්‍රොධ නැතිවූ උපෙක්ෂා සහගත සිත පතුරුවා වාසය කරයි. නිග්‍රොධය, ඒ කුමකැයි හඟින්නෙහිද? ඉඳින් මෙසේ ඇති කල්හි තපොජිගුච්ඡාව (වීර්යයෙන් පව් දුරුකිරීම) පිරිසිදුද, නැතහොත් අපිරිසිදුද?
“ස්වාමීනි, ඒකාන්තයෙන්ම මෙසේ ඇති කල්හි තපොජි ගුච්ඡාව (වීර්යයෙන් පව් දුරුකිරීම) පිරිසිදු වෙයි. අපිරිසිදු නොවෙයි. උතුම් වූයේද, සාර වූයේද වෙයි. “නිග්‍රොධය, මෙපමණකින් තපොජිගුච්ඡාව (වීර්යයෙන් පව් දුරු කිරීම) උතුම් වූයේද සාර වූයේද නොවෙයි. ගසේ පොත්ත වැනි බවට පැමිණියේ වෙයි.”


පරිසුද්ධඵෙග්ගුප්පත්තකථා


ස්වාමීනි, කොපමණකින් තපොජිගුච්ඡාව (වීර්යයෙන් පව් දුරු කිරීම) උතුම් බවට පැමිණියේ සාර බවට පැමිණියේ වෙයිද? ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, තපොජිගුච්ඡාව (වීර්යයෙන් පව් දුරුකිරීම) උතුම් බවටද සාර බවටද පමුණුවා ධර්මදෙශනා කරත් නම් යහපති.”

§  8  .“නිග්‍රොධය, මේ ලොකයෙහි තාපස තෙමේ චාතුයාම නම් සංවරයෙන් සංවර වූයේ වෙයි. නිග්‍රොධය, කෙසේ නම් තාපස තෙමේ චාතුයාම සංවරයෙන් සංවර වූයේ නම් වේද?
“නිග්‍රොධය, මේ ලොකයෙහි තාපස තෙමේ ප්‍රාණඝාත නොකරයිද, ප්‍රාණඝාත නොකරවයිද, ප්‍රාණඝාත කරන්නාහට අනුබල නොදෙයිද, නොදුන් දෙය නොගනියිද, නොදුන් දෙය අනුන් ලවා නොගන්නවයිද, නොදුන් දෙය ගන්නාහට අනුබල නොදෙන්නේ වෙයිද, බොරු නොකියයිද, අනුන් ලවා බොරු නොකියවයිද, බොරු කියන්නාහට අනුබල නොදෙයිද, පංචකාම සැප සේවනය නොකරයිද, අනුන් ලවා පංචකාම සැප සේවනය නොකරවයිද, පංචකාම සැප සේවනය කරන්නා හට අනුබල නොදෙන්නේ වෙයිද, නිග්‍රොධය, යම් හේතුවකින් තාපස තෙමේ මෙසේ චාතුයාම සංවරයෙන් සංවර වූයේ වෙයි නම් මේද ඔහුගේ තපස් බවෙකි. හෙතෙමේ සීලය මතු මත්තේ වඩයි, ගිහි භාවයට නොපැමිණෙයි,

හෙතෙමේ, වනය, වෘක්ෂමූලය, පර්වතය, කඳුරැලිය, පර්වත ගුහාය, සොහොනය, වනයේ ඈතය, එලිමහන්ය, පිදුරු ගොඩය යන විවේක ස්ථානයක් සේවනය කරයි, හෙතෙමේ පිණ්ඩපාතයෙන් හැරී ආයේ භොජනයෙන් පසු සවස්වරුවේ එරමිනිය ගොතා කය කෙලින් තබා සිහි එළවා හිඳගනියි. හෙතෙමේ ආත්ම නම්වූ ලොකයෙහි ආසාව දුරුකොට පහවූ ආසාව ඇති සිතින් වාසයකරයි. ආසාවෙන් සිත පිරිසිදු කරයි. ක්‍රොධයෙන් හටගත් හිතේ අපිරිසිදු භාවය දුරුකොට ක්‍රොධයෙන් වෙන්වූ සිත් ඇතිව වාසය කරයි. සියලු සත්වයන් කෙරෙහි හිතානුකම්පා ඇත්තේ ක්‍රොධයෙන් හටගත් සිතේ අපිරිසිදු භාවයෙන් සිත පිරිසිදු කරයි. අලසභාවය දුරුකොට පහවූ අලස භාවය ඇතිව වාසය කරයි. ආලොක සංඥා ඇත්තේ සිහි ඇත්තේ උතුම් ප්‍රඥා ඇත්තේ අලස භාවයෙන් සිත පිරිසිදු කරයි. සිතේ විසිරයාම හා පසුතැවීම දුරුකොට සිතේ විසිරයාම හා පසුතැවීම්ද නැත්තේ වාසය කරයි. ඇතුළත සංසිඳුනු සිත් ඇත්තේ සිතේ විසිරයාම හා පසුතැවීමෙන් සිත පිරිසිදු කරයි. විචිකිච්ඡාව (සැකය) දුරුකොට එතරකළ විචිකිච්ඡා ඇත්තේ වාසය කරයි. කුසල ධර්මයන්හි කෙසේ කෙසේදැයි පැවැති සැකයෙන් සිත පිරිසිදු කරයි.

හෙතෙමේ සිත කිලුටු කරන්නාවූ ප්‍රඥාව දුර්වල කරන්නාවූ මේ පංච නීවරණයන් දුරුකොට මෛත්‍රී සහගත සිතින් එක් දිසාවක් පතුරුවා වාසය කරයි. එසේම දෙවෙනි දිසාවද එසේම තුන්වන දිසාවද, එසේම සතරවන දිසාවද උඩ යට සරස යන සෑම තැන සියලු ලොක සත්වයා කෙරෙහි විසාලවූ, මහත්වූ, අප්‍රමාණවූ, අවෛරීවූ ක්‍රොධ රහිතවූ මෛත්‍රි සහගත සිතින් වාසය කරයි. කරුණාසහගත සිතින් මුදිතා සහගත සිතින් උපෙක්ෂාසහගත සිතින් එක් දිසාවක් පතුරුවා වාසය කරයි. එසේම දෙවෙනි තුන්වෙනි සතරවෙනි දිසාද මෙසේ උඩ යට සරස යන සෑම තැන සියලු ලෝක සත්වයා කෙරෙහි විශාලවූ මහද්ගතවූ අප්‍රමාණවූ ක්‍රොධ නැතිවූ උපෙක්ෂා සහගත සිත පතුරුවා වාසය කරයි.
හෙතෙමේ නානා ප්‍රකාරවූ පූර්වෙනිවාස (පෙර විසූ ජාති පිළිවෙළ) සිහි කරයි. ඒ කෙසේද? ජාති එකක්ද ජාති දෙකක්ද, ජාති තුණක්ද, ජාති සතරක්ද, ජාති පසක්ද, ජාති දශයක්ද, ජාති විස්සක්ද ජාති තිසක්ද ජාති සතළිසක්ද ජාති පණසක්ද, ජාති සියයක්ද, ජාති දහසක්ද, ජාති ලක්ෂයක්ද, නොයෙක් ජාති සිය ගණන්ද, නොයෙක් ජාති දහස් ගණන්ද, නොයෙක් ජාති ලක්ෂ ගණන්ද, නොයෙක් සංවෘත (විනාශ වන) කල්පද, නොයෙක් විවෘත (වැඩෙන) කල්පද, නොයෙක් සංවෘත විවෘත (විනාශවන වැඩෙන) කල්පද, අසුවල් තැන උපන්නෙමි, එතැන්හි මෙනම් ඇත්තේ වීමි. මෙනම් ගොත්‍ර ඇත්තේ වීමි, මෙබඳු වර්ණ ඇත්තේ වීමි, මෙබඳු ආහාර ඇත්තේ වීමි, මෙබඳු දුක් සැප විඳින්නේ වීමි, මෙපමණ ආයු කෙළවර කොට ඇත්තේ වීමි. එයින් චුතවූයේ අසුවල් තැන උපන්නේ වීමි. එහිදු මෙනම් ඇත්තේ මෙබඳු ගොත්‍ර ඇත්තේ මෙබඳු වර්ණ ඇත්තේ, මෙබඳු ආහාර ඇත්තේ, මෙවැනි දුක් සැප විඳින්නේ මෙබඳු ආයු කෙළවර කොට ඇත්තේ වීමි. එයින් චුතවූයේ මෙහි උපන්නෙමියි මෙසේ ආකාර සහිතව, තේරුම් සහිතව නොයෙක් ආකාර පෙර විසූ ජාති පිළිවෙළ සිහි කරයි. නිග්‍රොධය, නුඹ එය කුමකැයි සිතන්නෙහිද? ඉඳින් මෙසේ ඇති කල්හි තපොජිගුච්ඡාව (වීර්යයෙන් පව් දුරුකිරීම) පිරිසිදු වේද? අපිරිසිදුවේද”
“ස්වාමීනි, එකාන්තයෙන්ම මෙසේ ඇති කල්හි තපොජිගුච්ඡාව (වීර්යයෙන් පව් දුරුකිරීම) පිරිසිදු වෙයි, අපිරිසිදු නොවෙයි. උතුම්ද වෙයි. සාරද වෙයි.”
“නිග්‍රොධය, මෙපමණකින්ම තපොජිගුච්ඡාව (වීර්යයෙන් පව් දුරුකිරීම) උතුම්ද සාරද නොවෙයි. එතකුදු වුවත් ගසේ එලය වැනි බවට පැමිණියේ වෙයි.

පරිසුද්ධ අග්ගප්පත්ත සාරප්පත්තකථා

§  8  . “ස්වාමීනි, කොපමණකින් වනාහි තපොජිගුච්ඡාව (වීර්යයෙන් පව් දුරුකිරීම) උතුම් බවට පැමිණියේ වේද, සාර බවට පැමිණියේ වේද, ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, මට තපොජිගුච්ඡාව (වීර්යයෙන් පව් දුරුකිරීම) උතුම් බවටද සාර බවටද පමුණුවා ධර්මදෙශනා කරණසේක් නම් යහපති.”
“නිග්‍රොධය, මේ ලොකයෙහි තාපස තෙමේ චාතුයාම සංවරයෙන් සංවර වූයේ වෙයි. නිග්‍රොධය තාපස තෙමේ කෙසේනම් චාතුයාම සංවරයෙන් යුක්තවූයේ වේද? නිග්‍රොධය, මේ ලොකයෙහි තාපස තෙමේ ප්‍රාණඝාත නොකරයිද ප්‍රාණ ඝාත නොකරවයිද ප්‍රාණඝාත කරන්නාහට අනුබල නොදෙයිද, නොදුන් දෙය නොගනියිද නොදුන් දෙය අනුන් ලවා නොගන්වයිද නොදුන් දෙය ගන්නාහට අනුබල නොදෙන්නේද, බොරු නොකියයිද, අනුන් ලවා බොරු නොකියවයිද, බොරු කියන්නාහට අනුබල නොදෙයිද, පංචකාම සැප සේවනය නොකරයිද, අනුන් ලවා පංචකාම සැප සේවනය නොකරයිද, පංච කාමසැප සේවනය කරන්නාහට අනුබල නොදෙන්නේ වෙයිද, නිග්‍රොධය, මෙසේ තාපස තෙමේ චාතුයාම සංවරයෙන් සංවර වූයේ වෙයි. ඔහුගේ තපස් බැව්හි වැඩෙන ස්වභාවය ඇත්තේ වෙයි. සීලය මතුමත්තේ වඩයි. ගිහිභාවයට නොපැමිණෙයි.

හෙතෙමේ වනය, වෘක්ෂමූලය, පර්වතය, කඳුරැලිය, පර්වත ගුහාය, සොහොනය, වනයේ ඈතය, එළිමහන්ය, පිදුරුගොඩය යන විවේක ස්ථානයක් සේවනය කරයි. හෙතෙමේ පිණ්ඩපාතයෙන් හැරී ආයේ සවස්වරුවෙහි එරමිනියා ගොතා කය කෙළින් තබා සිහිඑළවා හිඳගනියි. හෙතෙමේ ආත්ම නම්වූ ලොකයෙහි ආසාව දුරුකොට පහවූ ආසාව ඇතිව සිතින් වාසය කරයි. ආසාවෙන් සිත පිරිසිදු කරයි. ක්‍රොධයෙන් හටගත් හිතේ අපිරිසිදු භාවය දුරුකොට ක්‍රොධයෙන් වෙන්වූ සිත් ඇත්තේ වාසය කරයි. සියලු සත්වයන් කෙරෙහි හිතානුකම්පා ඇත්තේ ක්‍රොධයෙන් හටගත් සිතේ අපිරිසිදු භාවයෙන් සිත පිරිසිදු කරයි. අලසභාවය දුරුකොට පහවූ අලසභාවය ඇත්තේ වාසය කරයි. ආලොක සංඥා ඇත්තේ සිහි ඇත්තේ උතුම් ප්‍රඥා ඇත්තේ අලසභාවයෙන් සිත පිරිසිදු කරයි. නොසන්සුන්කම හා පසුතැවීම දුරුකොට නොසන්සුන්කම නැත්තේ වාසය කරයි. ඇතුලත සංසිඳුනු සිත් ඇත්තේ නොසන්සුන්කම හා පසුතැවීමෙන් සිත පිරිසිදු කරයි. විචිකිච්ඡාව (සැකය) දුරුකොට එතර කළ විචිකිච්ඡා ඇත්තේ වාසයකරයි. කුසල ධර්මයන්හි කෙසේ කෙසේදැයි පැවති සැකයෙන් සිත පිරිසිදු කරයි. හෙතෙමේ හිත කිලුටුකරන්නාවූ ප්‍රඥාව දුර්වල කරන්නාවූ මේ පංචනීවරණයන් දුරුකොට මෛත්‍රී සහගත සිතින් එක්දිසාවක් පතුරුවා වාසය කරයි. එසේම දෙවෙනි දිසාවද එසේම තුන්වන දිසාවද එසේම සතරවන දිසාවද උඩ යට සරස යන සැමතැන සියලු ලොක සත්වයා කෙරෙහි විශාලවූ අප්‍රමාණවූ අවෛරීවූ ක්‍රොධ රහිතවූ මෛත්‍රි සහගත සිතින් වාසය කරයි. කරුණා සහගත සිතින්, මුදිතා සහගත සිතින්, උපෙක්ෂා සහගත සිතින්, එක් දිසාවක් පතුරුවා වාසය කරයි. එසේම දෙවෙනි තුන්වැනි සතරවැනි දිසාද මෙසේ උඩ යට සරස යන සෑම තැන සියලු ලෝක සත්වයා කෙරෙහි විශාලවූ, මහත්ගතවූ, අප්‍රමාණවූ ක්‍රොධ නැතිවූ හිංසා රහිතවූ උපෙක්ෂා සහගත සිත පතුරුවා වාසය කරයි. හෙතෙමේ නානාප්‍රකාරවූ පූර්වෙනිවාසය සිහිකරයි. ඒ කෙසේද? ජාති එකක්ද, ජාති දෙකක්ද, ජාති තුණක්ද, ජාති සතරක්ද, ජාති පසක්ද, ජාති දශයක්ද, ජාති විස්සක්ද, ජාති තිසක්ද, ජාති සතළිසක්ද, ජාති පණසක්ද, ජාති සියයක්ද, ජාති දහසක්ද, ජාති ලක්ෂයක්ද, නොයෙක් ජාති සිය ගණන්ද, නොයෙක් ජාති දහස් ගණන්ද, නොයෙක් ජාති ලක්ෂ ගණන්ද, නොයෙක් සංවෘත (විනාශ වන) කල්පද, නොයෙක් විවෘත (වැඩෙන) කල්පද, නොයෙක් සංවෘත විවෘත (විනාශවන වැඩෙන) කල්පද, අසුවල් තැන උපන්මි, එතැන්හි මෙනම් ඇත්තේ වීමි. මෙනම් ගොත්‍ර ඇත්තේ වීමි, මෙබඳු වර්ණ ඇත්තේ වීමි, මෙබඳු ආහාර ඇත්තේ වීමි, මෙබඳු දුක් සැප විඳින්නේ වීමි, මෙපමණ ආයු කෙළවර කොට ඇත්තේ වීමි. එයින් චුත වූයේ අසුවල් තැන උපන්නේ වීමි. එහිදු මෙනම් ඇත්තේ මෙබඳු ගොත්‍ර ඇත්තේ මෙබඳු වර්ණ ඇත්තේ, මෙබඳු ආහාර ඇත්තේ, මෙවැනි දුක් සැප විඳින්නේ මෙබඳු ආයු කෙළවර කොට ඇත්තේ වීමි. එයින්ද චුතවූයේ මෙහි උපන්නෙමියි මෙසේ ආකාර සහිතව, තේරුම් සහිතව අනෙක ප්‍රකාර පූර්වෙනිවාසානුස් මෘතිය (පෙර විසූ ජාති පිළිවෙළ) සිහි කරයි.

හෙතෙමේ පිරිසිදුවූ මිනිස්ඇස ඉක්මෙව්වාවූ දිව්‍යඥානයෙන් චුත වන්නාවූද, උපදින්නාවූද, හීනවූද, උසස්වූද, යහපත් වර්ණ ඇත්තාවූද, දුර්වර්ණවූද, යහපත් ගති ඇත්තාවූද, නපුරු ගති ඇත්තාවූද, කම්වූ පරිදි මිය පරලොව යන්නාවූද, සත්වයන් දැනගනී. “පින්වත්නි, මේ සත්වයෝ ඒකාන්තයෙන් කයින් කරන දුශ්චරිතයෙන් යුක්තවූවාහු, වචනයෙන් කරන දුශ්චරිතයෙන් යුක්තවූවාහු, සිතින් කරන දුශ්චරිතයෙන් යුක්තවූවාහු, ආර්යයන්ට දොස් කියන්නාහු, වැරදි ඇදහීම් ඇතිවූවාහු, මිථ්‍යාදෘෂ්ටි කර්ම සමාදන් වූවාහු ශරීරයාගේ භෙදයෙන් මරණින් මතු දුර්ගති නම්වූ විනාසයට පැමිණෙන්නා වූ නිරයෙහි උපන්නාහ. පින්වත්නි මේ සත්වයෝ වනාහි කයින් කරන සුචරිතයෙන් යුක්තවූවාහු, වචනයෙන් කරන සුචරිතයෙන් යුක්තවූවාහු, සිතින් කරන සුචරිතයෙන් යුක්තවූවාහු, ආර්යයන්ට දොස් නොකියන්නාහු සත්‍යවූ දැකීම් ඇත්තාහු, සම්‍යක් දෘෂ්ටි කර්ම සමාදන් වූවාහු ශරීරයාගේ භෙදයෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ග ලොකයෙහි උපන්නාහුය”යි දකී.
“නිග්‍රොධය, ඒකුමකැයි සිතන්නෙහිද? ඉඳින් මෙසේ ඇති කල්හි තපොජිගුච්ඡාව (වීර්යයෙන් පව් දුරුකිරීම) පිරිසිදු වේද? අපිරිසිදු වේද?” “ස්වාමීනි, එකාන්තයෙන්ම මෙසේ ඇති කල්හි තපොජිගුච්ඡාව පිරිසිදු වෙයි. අපිරිසිදු නොවෙයි. උතුම් වූයේද සාර වූයේද වෙයි.
“නිග්‍රොධය, මෙපමණකින්ම තපොජිගුච්ඡාව උතුම් වූයේද සාර වූයේද වෙ”යි
“නිග්‍රොධය, යම් ධර්මයකින් භාග්‍යවතුන් වහන්සේ ශ්‍රාවකයන් හික්මවයිද භාග්‍යවතුන් වහන්සේ විසින් හික්මවනලද ඒ ශ්‍රාවකයෝ අස්වැසීමට පැමිණ යම් ධර්මයක් ආර්‍ය්‍ය මාර්ගයට මුල්වේයයි ප්‍රකාශ කරද්ද ඒ ධර්මය කුමක්දැයි යන මෙය තා විසින් මා අතින් විචාරණ ලද්දේය. මම යම් ධර්ම ක්‍රමයකින් ශ්‍රාවකයන් හික්මවම්ද, මා විසින් යම් ධර්ම ක්‍රමයකින් හික්මවන ලද ශ්‍රාවකයෝ අස්වැසීමට පැමිණ යම් ධර්මයක් ආර්‍ය්‍යමාර්ගයට මුල්වේයයි ප්‍රකාශ කරද්ද, ඒ ධර්මක්‍රම මෙසේ ඉතා උතුම්ද ඉතා ප්‍රණීතද වෙයි.” මෙසේ කී කල්හි “මේ කාරණයෙහිලා ආචාර්‍ය්‍යයන් වහන්සේ සහිත අප නැසෙමු. ආචාර්‍ය්‍යයන් වහන්සේ සහිත අපි විනාශවෙමු. අපි මීට වඩා අතිශයින් උතුම් ධර්මයක් නොදනිමුයි” කියා ඒ පරිබ්‍රාජකයෝ මහත්සේ ශබ්ද නැගූහ

නිග්‍රොධස්ස පජ්ඣායනං

§  8  . “සන්ධාන ගෘහපති තෙමේ, දැන් එකාන්තයෙන් මේ අන්‍යතීර්ථක පරිබ්‍රාජකයෝ භාග්‍යවතුන් වහන්සේගේ වචනය මනා කොට අසත්. එයට කන් නමත්. අවබොධ කිරීමේ සිත එළවත්යයි යම් අවස්ථාවක දැනගත්තේද, එකල්හි හෙතෙමේ නිග්‍රොධ පරිබ්‍රාජකයාට මෙසේ කීයේය. “වහන්ස නිග්‍රොධය, ඔබ මට මෙසේ කීයේ නොවේද, “එසේ නම් ගෘහපතිය දැන ගන්න. ශ්‍රමණ ගෞතම තෙමේ කරවකු හා කථාබස් කෙරේද? කවරකු හා කථාකෙරේද? කවරකු හා කථාකර උත්තරයට උත්තර දීමෙන් සමත් බවට පැමිණේද? ශ්‍රමණ ගෞතමයන් බෝමුලදී ලත් නුවණ වනාන්තරයෙහි තනිව විසීමෙන් විනාශ වීය. ශ්‍රමණ ගෞතම තෙමේ විශාරද බවක් නැති බැවින් පිරිසට පැමිණීමට අසමර්ථය. කිසිවකු තමන් අතින් ප්‍රශ්න අසතිය යන බියෙන් ගම් කෙළවර වාසස්ථාන සේවනය කරයි. කිසිවක් ඇඟ වැද්දෝයි බියෙන් අයින් වෙවී යන එකැස් කණ ගවදෙනක් මෙනි. එපරිද්දෙන් ශ්‍රමණ භවත් ගෞතම යන්ගේ ප්‍රඥාව වනාන්තරයෙහිදී නැසුණීය.
ශ්‍රමණ ගෞතම තෙමේ පිරිස්හි නොහැසිරෙන්නෙකි. කථා බස් කිරීමට සුදුසු නොවෙයි. හෙතෙමේ ගම්හි වාස ස්ථාන සේවනය නොකරයි. ගෘහපතිය, එසේ නම් ශ්‍රමණ ගෞතම තෙමේ මේ පිරිසට පැමිණියොත් එක ප්‍රශ්නයෙන්ම කට පියවන්නමු. ඔහු හිස් කලයක් මෙන් පෙරළන්නෙමු”යි කීයෙහිය.’
“ස්වාමීනි, අර්හත්වූ සම්‍යක් සම්බුද්ධවූ ඒ මේ භාග්‍යවතුන් වහන්සේ මෙහි පැමිණියෝය. උන්වහන්සේ පිරිස්හි නොහැසිරෙන්නෙක් කරව්. අයින් වෙවී යන එකැස් ගවදෙනක් මෙන් කරව්. එකම ප්‍රශ්නයෙන් උන්වහන්සේගේ කට පියවාලව්. හිස් කලයක් මෙන් යටිකුරු කොට පෙරලව්”යයි කීය. මෙසේ කී කල්හි නිග්‍රොධ පරිබ්‍රාජක තෙමේ තුෂ්ණීම්භූත වූයේ (නිශ්ශබ්ද වූයේ) තේජස් රහිත භාවයට පැමිණියේ බෙල්ල නවාගත්තේ බිම බලා ගත්තේ කල්පනා කරන්නේ කිසිවක් නොවැටහෙන්නෙක්ව හුන්නේය.
එකල්හි භාග්‍යවතුන් වහන්සේ තුෂ්ණිම්භූතවූ තේජස් රහිතවූ, කරබාගත්තාවූ බිම බලාගත්තාවූ, කල්පනා කරන්නාවූ, කිසිවක් නොවැටහෙන්නාවූ නිග්‍රොධ පරිබ්‍රාජකයා දැක ඔහුට මෙසේ කීහ. “නිග්‍රොධය තා විසින් මෙසේ කියන ලද්දේය යනු සැබෑද?”
“ස්වාමීනි, බාලයකු විසින් යම්සේද, මුළාවූවකු විසින් යම්සේද, අදක්ෂයකු විසින් යම්සේද එසේ මා විසින් කියන ලද බව සැබෑය”යි කීය.

“නිග්‍රොධය, තෝ වෘද්ධවූ, මහළුවූ ගුරුවරයින්ගේ ගුරුවරවූ පරිබ්‍රාජකයන්ගෙන්, අතීත කාලයෙහි විසූ අර්හත් සම්‍යක් සම්බුද්ධවරයෝ එක්ව මෙවැනි නොයෙක් තිර්ශ්චීන කථාවල යෙදී විසුවාහුයයි අසා ඇත්තේද? ඒ කථා කවරහුද? රජුන් පිළිබඳ කථාය, සොරුන් පිළිබඳ කථාය, මහාමාත්‍යයන් පිළිබඳ කථාය, සේනාවන් පිළිබඳ කථාය, භය පිළිබඳ කථාය, යුද්ධය පිළිබඳ කථාය, ආහාර පිළිබඳ කථාය, පාන වර්ග පිළිබඳ කථාය, ඇඳුම් පිළිබඳ කථාය, ඇඳන් පිළිබඳ කථාය, මාලාවන් පිළිබඳ කථාය, සුවඳ පිළිබඳ කථාය, නෑයන් පිළිබඳ කථාය, රථ පිළිබඳ කථාය, ගම් පිළිබඳ කථාය, නියම්ගම් පිළිබඳ කථාය, නගර පිළිබඳ කථාය, දනව් පිළිබඳ කථාය, ස්ත්‍රීන් පිළිබඳ කථාය, දියුණුව නොදියුණුව පිළිබඳ කථා ආදි තිරශ්චීන (පහත්) කථා මහ හඬින් පවත්වමින් වාසය කළාහුය කියාද, නැතහොත් දැන් මා මෙන් ඒ අතීත කාලයෙහි විසූ බුදුවරු, ස්වල්ප ශබ්ද ඇත්තාවූ මහජන ඝොෂාවෙන් වෙන්වූ ජනයාගේ වාතයෙන් වෙන්වූ, මිනිසුන්ගේ රහස් කටයුතුවලට යොග්‍යවූ, වනයෙහි දුර වාසයකරන ස්ථාන සේවනය කළාහුය”යි කියා අසා ඇත්තේද?

“ස්වාමීනි, පරිබ්‍රාජකවූ, වෘද්ධවූ, මහළුවූ මාගේ ගුරුවරයින්ගේ ගුරුවරයන්ගෙන් “අතීත කාලයෙහි විසූ අර්හත් සම්‍යක් සම්බුද්ධවරයෝ අප මෙන් රාජකථාය, චොරකථාය, පුරුෂයන් පිළිබඳ කථාය, සූරයන් පිළිබඳ කථාය, වීථි පිළිබඳ කථාය, නාන තොට පිළිබඳ කථාය, පූර්ව ප්‍රෙතයන් පිළිබඳ කථාය, නොයෙක් ආත්ම පිළිබඳ කථාය, ලොකායත ශාස්ත්‍රය පිළිබඳ කථාය, සත්වයන්ගේ හටගැනීම පිළිබඳ කථාය, දියුණුව නොදියුණුව පිළිබඳ කථා ආදි තිරශ්චීන (පහත්) කථා මහ හඬින් පවත්වමින් වාසය නොකළාහුය. ඒ අතීත කාලයෙහිවූ බුදුවරු දැන් ඔබවහන්සේ මෙන් ස්වල්ප ශබ්ද ඇත්තාවූ, මහජන ඝොෂාවෙන් වෙන්වූ, ජනයාගේ වාතයෙන් වෙන්වූ, මිනිසුන්ගේ රහස් කටයුතුවලට යොග්‍යවූ තනිව වාසයට යොග්‍යවූ වනයෙහි දුර වාසස්ථාන සේවනය කළාහුය”යි කියනුවා අසා ඇත්තෙමි.

“නිග්‍රොධය නුවණැත්තාවූ, සිහි ඇත්තාවූ, මහළුවූ යුෂ්මතුන්ට මෙබඳු අදහසක් නොවූයේද, “චතුස්සත්‍යය අවබොධ කළ ඒ භාග්‍යවතුන් වහන්සේ අනුන්ට එය අවබොධ කරවීම පිණිස ධර්මය දෙශනාකරති. දැමුණු ඉන්ද්‍රිය ඇති ඒ භාග්‍යවතුන් වහන්සේ අනුන්ගේ ඉන්ද්‍රිය දමනය පිණිස ධර්මදෙශනා කරති. ශාන්තවූ ඒ භාග්‍යවතුන් වහන්සේ අනුන්ගේ ශාන්තවීම පිණිස ධර්මදෙශනා කරති. සසරින් එතරවූ ඒ භාග්‍යවතුන් වහන්සේ අන්‍යයා සසරින් එතරවීම පිණිස ධර්මදෙශනා කරති. කෙළෙස් ගිනි නිවාගත් ඒ භාග්‍යවතුන් වහන්සේ අනුන්ගේ කෙළෙස් ගිනි නිවනු පිණිස ධර්මදෙශනා කරති” කියා අදහස් නොවූයේද?

 බ්‍රහ්මචරිය පරියොසාන සච්ඡිකිරියා

§  8  .මෙසේ කී කල නිග්‍රොධ පරිබ්‍රාජක තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීයේය. “ස්වාමීනි, බාලයකු, මෝඩයකු අදක්ෂයකු කරා වරද යම්සේ පැමිණේද, එසේ වරද මා කරා පැමිණියේය. ඒ මම භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීවෙමි. ස්වාමීනි, මතු සංවරය (හික්මීම) පිණිස ඒ මාගේ වරද, වරද වශයෙන් පිළිගන්නා සේක්වා.”
“එසේ නම් නිග්‍රොධය, බාලයකු, මෝඩයකු, අදක්ෂයකු කරා වරද යම්සේ පැමිණේද එසේ යම්බඳුවූ ඔබ මෙසේ වරද කීයෙහිද, එසේ කීමෙන් වරද වැරදිකරුවූ ඔබ වෙත පැමිණියේය. නිග්‍රොධය, යම් තැනක පටන් ඔබ වරද වරද වශයෙන් දැක ධර්මයවූ පරිදි පිළියම් කරන්නෙහිද, ඔබගේ ඒ වරද අපි පිළිගණිමු. නිග්‍රොධය, යමෙක් වරද වරද වශයෙන් දැක ධර්මයවූ පරිදි පිළියම් කෙරේද ඉන්මතු සංවරයට (හික්මීමට) පැමිණේද එය ආර්‍ය්‍ය විනයෙහි වැඩීමක්මය.

§  8  .“නිග්‍රොධය, මම වනාහි මෙසේ කියමි. “කෛරාටික නොවූ’ මායා නැත්තාවූ, ඍජු ස්වභාව ඇත්තාවූ නුවණැති පුරුෂ තෙමේ මා වෙත පැමිණේවා, මම අනුශාසනා කරමි. මම ධර්මදෙශනා කරමි. අනුශාසනා පරිදි පිළිපදින්නේ ‘කුල පුත්‍රයෝ යමක් සඳහා ගිහි ගෙයින් නික්ම ශාසනයෙහි පැවිදි වෙත්ද ඉතා උතුම්වූ බ්‍රහ්මචර්‍ය්‍යය කෙළවර කොට ඇති ඒ අර්හත් ඵලය මේ ආත්මයෙහිදීම තමා ඉතා උසස් ඥානයෙන් දැන සත්වසක් තුළදී ඊට පැමිණ වාසය කරන්නේය. නිග්‍රොධය, සත් වස තිබේවා. කෛරාටික නොවූ, මායා නැත්තාවූ, ඍජු ස්වභාව ඇත්තාවූ නුවණැති පුරුෂ තෙමේ මා වෙත පැමිණේවා! මම අනුශාසනා කරමි. මම ධර්මදෙශනා කරමි. අනුශාසනා පරිදි පිළිපදින්නේ, කුලපුත්‍රයෝ යමක් සඳහා ගිහි ගෙයින් නික්ම ශාසනයෙහි පැවිදි වෙත්ද නිරුත්තරවූ බ්‍රහ්මච්‍ය_ය කෙළවර කොට ඇති ඒ අර්හත් ඵලය මේ ආත්මයෙහිදීම තමා ඉතා උසස් ඥානයෙන් දැන සය වසක් තුළදී ඊට පැමිණ වාසය කරන්නේය. පස්වසක්, සිවුවසක්, තුන්වසක්, දෙවසක්, එක්වසක් තුළදී ඊට පැමිණ නාසය කරන්නේය. නිග්‍රොධය එක් වසක් තිබේවා. කෛරාටික නොවූ, මායා නැත්තාවූ, ඍජු ස්වභාව ඇති නුවණැත්තාවූ පුරුෂ තෙමේ මා වෙත පැමිණේවා, මම අනුශාසනා කරමි. මම ධර්මදෙශනා කරමි. අනුශාසනා පරිදි පිළිපදින පුද්ගල තෙමේ, කුල පුත්‍රයෝ යමක් සඳහා ගිහි ගෙයින් නික්ම ශාසනයෙහි පැවිදි වෙත්ද ඉතා උතුම්වූ බ්‍රහ්මචර්‍ය්‍යය කෙළවර කොට ඇති ඒ අර්හත් ඵලය මේ ආත්මයෙහිදීම තමා විශිෂ්ට ඥානයෙන් දැන සත්මසක් තුළදී ඊට පැමිණ වාසය කරන්නේය. නිග්‍රොධය, සත්මසක් තිබේවා. සය මසක්, පස් මසක්, සිවු මසක්, තුන් මසක්, දෙමසක්, එක් මසක්, අඩ මසක් තුළදී ඊට පැමිණ වාසය කරයි. නිග්‍රොධය අඩමස තිබේවා. කෛරාටික නොවූ, මායා නැත්තාවූ, ඍජු ස්වභාව ඇති නුවණැත්තාවූ පුරුෂ තෙමේ මා වෙත පැමිණේවා, මම අනුශාසනා කරමි. මම ධර්මදෙශනා කරමි. අනුශාසනා පරිදි පිළිපදින පුද්ගල තෙමේ, කුල පුත්‍රයෝ යමක් සඳහා ගිහි ගෙයින් නික්ම ශාසනයෙහි පැවිදි වෙත්ද ඉතා උතුම්වූ බ්‍රහ්මචර්‍ය්‍යය කෙළවර කොට ඇති ඒ අර්හත් ඵලය මේ ආත්මයෙහිදීම තමා ඉතා උසස් ඥානයෙන් දැන සත් දවසක් තුළදී ඊට පැමිණ වාසය කරන්නේය

පරිබ්බාජකානං පජ්ඣායනං

නිග්‍රොධය, නුඹට මෙබඳු අදහසෙක් වන්නේය. ‘අප අතවැස්සන් කරනු කැමැත්තෙන් ශ්‍රමණ ගෞතම තෙමේ මෙසේ කියන්නේය’ යන අදහසයි. නිග්‍රොධය, මේ කාරණය එසේ නොදත යුතු. යමෙක් ඔබගේ ගුරු වේද, ඔහුම ඔබගේ ගුරු වේවා. නිග්‍රොධය, නුඹට මෙබඳු අදහසක් වන්නේය. ‘ශ්‍රමණ ගෞතම තෙමේ අප ඉගෙනීමෙන් ඉවත් කරනු කැමැත්තේ මෙසේ කියන්නේය’ කියායි. නිග්‍රොධය, මෙය එසේ නොදතයුතුයි. ඔබගේ ඉගෙණීම යමක් වේද, එයම ඔබගේ ඉගෙනීම වේවා, නිග්‍රොධය, ඔබට මෙබඳු අදහසක් වන්නේය. ‘ශ්‍රමණ ගෞතම තෙමේ අප ජීවිකා මාර්ගයෙන් ඉවත් කරවනු කැමැත්තේ මෙසේ කියන්නේය’ කියායි.

නිග්‍රොධය, මෙය එසේ නොදතයුතුයි. ඔබගේ යම් ජීවිකාවක්වේද එයම ඔබගේ ජීවිකාමාර්ගය වේවා. නිග්‍රොධය, ඔබට මෙබඳු අදහසක් වන්නේය. ‘ආචාර්‍ය්‍යයන් සහිතවූ අපගේ අකුශලයයි කියනලද යම් අකුශල ධර්මයක් වේද ඒ අකුශල ධර්මයන්හි පිහිටුවනු කැමැත්තේ ශ්‍රමණ ගෞතම තෙමේ මෙසේ කියන්නේය’ කියායි. නිග්‍රොධය, ඒ එසේ නොදත යුතු. ආචාර්‍ය්‍යයන් සහිත තොපගේ ඒ අකුශලයයි කියනලද ධර්මයෝම අකුසල් වෙත්වා. නිග්‍රොධය, නුඹට මෙබඳු අදහසෙක් වන්නේය. ‘ආචාර්‍ය්‍යවරයන් සහිත අපගේ කුශලයයි කියනලද යම් කුශල ධර්මයක් වේද, ඒ කුශල ධර්මයන්ගෙන් අප වෙන් කරනු කැමැත්තේ ශ්‍රමණ ගෞතම තෙමේ මෙසේ කියන්නේය’ කියායි. නිග්‍රොධය, මෙය එසේ නොදතයුතුයි. ආචාර්‍ය්‍යවරයන් සහිත තොපගේ කුශලයයි කියන ලද ධර්මයෝම කුශල් වෙත්වා.

“නිග්‍රොධය, මම තොපගේ අතවැසි බව කැමැත්තෙන් මෙසේ නොකියමි. තොප ඉගෙනීමෙන් ඉවත් කරනු කැමැත්තෙන් මෙසේ නොකියමි. තොප ජීවිකා මාර්ගයෙන් ඉවත් කරනු කැමැත්තෙන් මෙසේ නොකියමි. ආචාර්‍ය්‍යයන් සහිතවූ තොපගේ අකුශල යයි කියන ලද යම් අකුශල ධර්ම කෙනෙක් වෙත්ද ඒ අකුශල ධර්මයන්හි පිහිටුවනු කැමැත්තෙන් මෙසේ නොකියමි. ආචාර්‍ය්‍යයන් සහිතවූ තොපගේ කුශලයයි කියන ලද යම් කුශල ධර්ම කෙනෙක් වෙත්ද ඒ කුශල ධර්මයන්ගෙන් වෙන් කරනු කැමැත්තෙන් මෙසේ නොකියමි.

“හිත කෙළෙසන්නාවූ, නැවත ඉපදීම ඇතිකරන්නාවූ, දැවීම් සහිතවූ, දුක් විපාක ඇත්තාවූ මත්තෙහි ජාති ජරා මරණ උපදවන්නාවූ යම් අකුශල ධර්ම කෙනෙක් වෙත්ද, ඔවුන්ගේ දුරුකිරීම පිණිස ධර්මය දෙශනා කරමි. යම් පරිද්දකින් පිළිපන්නාවූ යුෂ්මතුන්ගේ හිත කෙළෙසන්නාවූ ධර්මයෝ දුරුවන්නාහුද, හිත පිරිසිදු කරන්නාවූ ධර්මයෝ දියුණු වන්නාහුද, ප්‍රඥාව සම්පූර්ණ බවටද උසස් බවටද පමුණුවන්නාවූ ඒ අර්හත් ඵලය මේ ආත්මයෙහිම තෙමේ උසස් ඥානයෙන් දැන අවබොධ කොට ඊට පැමිණ වාසය කරව්

§  8  .මෙසේ දෙශනා කළ කල්හි ඒ පරිබ්‍රාජකයෝ තුෂ්ණීම්භූත වූවාහු, තේජස් රහිත වූවාහු, කරබාගත්තාහු බිම බලාගත්තාහු, කල්පනා කරන්නාහු, කිසිවක් නොවැටහෙන්නාහු, මාරයා විසින් මඩනාලද සිත් ඇත්තවුන් මෙන් සිටියාහුය.

§  8  .එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේට මෙබඳු සිතක් වීය. ‘මේ සියලු හිස් පුරුෂයෝ මාරයා විසින් ස්පර්ශ කරන ලද්දාහුය, යම් හේතුවකින් එකකුටද මෙබඳු අදහසක් නොවන්නේය. ‘ඒකාන්තයෙන් අපි දැනගැනීම පිණිස ශ්‍රමණ ගෞතමයන් ලඟ උතුම් පැවතීමෙන් හැසිරෙමු, සත්දවස කුමක්ද? සතිය කෙතරම් සුළුද? අපි ඒ ධර්මය දැනගැනීමට උත්සාහ කරමු, යන අදහසක් ඔවුන්ට නැත්තේය කියායි, එවිට භාග්‍යවතුන් වහන්සේ උදුම්බරිකාවගේ පරිබ්‍රාජිකාරාමයෙහි සිංහනාද කොට අහසට පැනනැඟී ගිජුකුළු පව්වට ගියාහුය. සන්ධාන ගෘහපති තෙමේද එකෙණෙහිම රජගහ නුවරට පැමිණියේය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.