DN 02-06-සක්කය පඤ්හ සුත්රය


§1.1  මා විසින් මෙසේ අසන ලදී.
මගධ ජනපදයෙහි රජගහ නුවරට බටහිර දිශාවෙහි අම්බසණ්ඩ නම් බමුණු ගමක් ඇත. ඊට උතුරු දිගින් වෙදික නම් පර්වතය සමීපයෙහිවූ ඉන්දසාල ගුහාවෙහි භාග්‍යවතුන් වහන්සේ එක් කලෙක වාසය කළෝය.

[  චීන ජාතික ෆා හියන් ක්‍රිස්තු වර්ෂ 405 දී පමණ සිය සංචාරයේදී දුටු බව  සිය ලියවිලිවල ලියා ඇත.]

එකල සක් දෙවිඳුට භාග්‍යවතුන් වහන්සේ දැකීමට සිතක් පහළවි “අර්හත් සම්‍යක් සම්බුද්ධවූ භාග්‍යවතුන් වහන්සේ දැන් කොහි වැඩ වෙසෙත්ද?” දිවැසින්  බලන්නේ  ඉන්දසාල ගුහාවෙහි වසන්නාවූ භාග්‍යවතුන් වහන්සේ දුටුවේය. 

දැක තව්තිසා වැසි දෙවියන්ට කථා කළේය. “නිදුකාණෙනි, භාග්‍යවතුන්වහන්සේ ඉන්දසාල ගුහාවෙහි වැඩවෙසෙති.  අප අර්හත් සම්‍යක් සම්බුද්ධවූ ඒ භාග්‍යවතුන්වහන්සේ දැකීම පිණිස යන්නෙමු නම් යහපත් නොවේදැයි” ඇසුවේය. ‘පින්වතුන් වහන්ස, එසේ වේවායි” තව්තිසා වැසි දෙවියෝ සක් දෙවිඳුට උත්තර දුන්හ.

§ 1.2. එවිට සක් දෙවිඳු පංචසිඛ නම් ගන්ධර්ව පුත්‍රයාට කථා කළේය. “දරුව, පංචසිඛය, මගධ ජනපදයෙහි රජගහනුවරට බටහිර වූ ඉන්දසාල ගුහාවෙහි දැන් භාග්‍යවතුන් වහන්සේ වැඩවෙසෙති. දරුව පංච සිඛය, අපි අර්හත් සම්‍යක් සම්බුද්ධවූ ඒ භාග්‍යවතුන් වහන්සේ දැකීම පිණිස යන්නෙමුයි” කීය. පංචසිඛ නම් ගන්ධර්ව පුත්‍රයා,  එසේය දේවයනි” යයි සක් දෙවිඳුන්ට උත්තරදී බෙලුවපණ්ඩු නම් වීණාව ගෙන සක් දෙවිඳු හා ගමනට එක්විය. එවිට සක් දෙවිඳු තව්තිසා වැසි  බොහෝ දෙවියන් විසින් පිරිවරන ලදුව, පංචසිඛ නම් ගන්ධර්ව පුත්‍රයා පෙරටුකොට ගෙන, ශක්තිමත් පුරුෂයෙක් අකුලන ලද අතක් දිග හරින්නේ යම්සේ සැනින්ද, දිග හරින ලද අතක් යම්සේ අකුලන්නේ යම්සේ සැනින්ද, එපරිද්දෙන් තව්තිසා දෙව් ලොවින්  අතුරුදහන්ව මගධ ජනපදයෙහි රජගහනුවරට බස්නාහිර දිශාවෙහි අම්බසණ්ඩ නම් බමුණු ගමට උතුරු දිගින්වූ වෙදික නම් පර්වතයෙහි පහළවිය.

§1.3 එකල්හි වෙදික  පර්වතයද, අම්බසණ්ඩ  බමුණු ගමද දෙවියන්ගේ ආනුභාවයෙන් මහා ආලෝකයෙන් එලිය විය. අවට ගම්වැසි මනුෂ්‍යයෝ මෙසේ කීහ “වෙදික  පර්වතය ගිනි ගත්තේය. අද වෙදික නම් පර්වතය සම්පූර්ණයෙන් දැල්වුනේ වේ. අද වෙදික නම් පර්වතය දිලිසෙන්නේය. කුමක් නිසා අද වෙදික පර්වතය හා අම්බසණ්ඩ නම් බමුණු ගමත් මෙසේ  එළියකින් දිදුලන්නේ  දැයි”  භයට සන්ත්රාසයට පත්වූවේ ඔවුන්ගේ ඇඟ ලොම් කෙලින් වුවෝය.

§1.4  එවිට සක්දෙවිදුන්  පංචසිඛ  ගන්ධර්ව පුත්‍රයාට කථා කළේය.
“දරුව පංචසිඛය, 
තථාගතයන් වහන්සේ විවේක සුවයෙන් ධ්‍යානයනට සමවැදී ධ්‍යාන සුවයෙහි ගැලී සිටිනවිට අප වැන්නවුනට එතුමන් වහන්සේලා වෙත එළැඹීම අපහසුය.  දරුව පංචසිඛය තොප පළමුව භාග්‍යවතුන් වහන්සේ එම ධ්‍යානයෙන් මුදවාගත හැකිලෙස ගයා වැයුව්හොත් එයින් පසු අපට  භාග්‍යවතුන් වහන්සේ වෙත යාමට හැක.” යි කීය.
“ දේවරාජයාණනි, එසේයයි” කියා පංචසිඛ නම් ගන්ධර්ව බෙලුවපණ්ඩු වීණාව ගෙන ඉන්ද්‍රසාල ගුහාව වෙත  පැමිණියේය. පැමිණ ‘මෙපමණකින් භාග්‍යවතුන් වහන්සේ මට ඉතා දුරක් නොවන්නේය. ඉතා ළඟත් නොවන්නේය. මා කරන ගායනයේ 
ශබ්දයද ඇසෙන්නේයයි’ එක පැත්තක සිට වීණාව වාදනය කරමින් භාග්‍යවතුන් වහන්සේ ද, ශ්‍රී සද්ධර්මයද , අරහත් සංඝ රත්නයද ප්‍රශස්ත කරමින් එක්තරා ප්‍රේමාන්විත ගීයක් මෙසේ සිය වීනාව වයමින් ගැයීය. [රිස් ඩේවිඩ් මැතිනිය සිය පරිවර්තනයේදී  මේ වීනා වාදනය හා ගීත ගැන මෙසේ කියයි. The similarity of this to some of the events in Mahabharata and other Indian literary work of the time suggest this may be a later addition”]

§ 1.5. පංච සිඛ ගැයූ ගීතය

 “රූබර ලඳ  සූරියවච්ඡසාවෙනි,
මගේ හද කුල්මත් කරන 
නුඹ වන් පියකරු රූමත් දුවක් ජනිත කල
‘තිම්බරු’ නම්වූ නුඹගේ පියතුමාට මගේ ආචාරය වේවා.”

“වෙහෙසවී දහදිය ගලන්නෙකුට සුවය දෙන මඳ  සුලඟක්මෙන්ද, පිපාසයෙන් පීඩිත වූ වෙකුට බොන්නට හැකි දිය කදුරක් මෙන්ද, රහතුන්ට ධර්මය මෙන්ද, ලෙඩවූවෙකුට බෙහෙතක් මෙන්ද, බඩගිනි ඇත්තෙකුට ආහාරයක්මෙන්ද, නුඹ මට ප්‍රියය. 

රූබර ගාන්ධර්විය, ඔබ ඇවිලෙන ගින්නක් බඳු මාගේ ආසාව නිවන දිය පොකුණකි. 

.“ග්‍රීෂ්මයෙන් තැවුනාවූ ඇතෙක් පියුම් පිරි  සිසිල් දිය ඇති පොකුණකට බසින්නාක් මෙන් (මම) තිගේ ශරීරය නමැති පොකුණට බසින්නෙමි.

“අකුස්ස (හෙන්ඩුව) මගින් ඉදිරියට යවන ඇතෙක් ඔහුට වදින ඊ තල තෝමර ප්‍රහාර නොදනින්නාසේ ඔබේ කෝමල හැඩ ස්වරුපයෙන් මත වූ මම කුමක් කරන්නේදැයි නොදනිමි”

“සුන්දරිය, මා වැලඳ ගනුව, මඳ බැල්මෙන් බලන ඇස් ඇත්තිය, මා වැලඳ ගනුව, එම්බා කල්‍යාණිය මා හාත්පසින් වැලඳ ගනුව, මා විසින් මෙය නිතර ප්‍රාර්ථනා කරන ලදී.”

“ඒකාන්තයෙන් මාගේ ස්වල්පවූම ආසාව, බොකුටු කෙස් ඇති තී ගැනම ඇතිවූයේ රහත් කෙනෙකුට දුන් දානයක් මෙන් නොයෙක් කොටස් ඇතිවූයේය.

“මා විසින් එබඳු රහතුන් විෂයෙහි කරන ලද යම් පිනක් ඇත්තේද, සර්වාංග කල්‍යාණිය, මගේ ඒ පිණ තී සමගම විපාක දේවා.

“මේ මහ පොලොවෙහි මා විසින් කරණලද යම් පිණක් ඇත්තේද, මාගේ ඒ සියලුම පින් තී සමගම විපාක දේවා.

“ධ්‍යානයෙන් එකඟ බවට පැමිණි නුවණින් හා සිහියෙන් යුක්තවූ ශාක්‍ය පුත්‍රවූ මුනීන්ද්‍රතෙම අමෘත මහා නිර්වාණය සොයන්නාක් මෙන්, සුරියවච්ඡසාවෙනි, මම තී සොයා හැසිරෙමි.

“බුද්ධ මුනිතෙම උතුම් බුදු බවට පැමිණ යම්සේ සතුටු වන්නේද, සුන්දරිය තී හා එක්වීමට පැමිණියාවූ මමද එපරිද්දෙන් සතුටු වෙමි.

“තව්තිසා වැසි දෙවියන්ට අධිපතිවූ සක්දෙවි තෙම (දිව්‍ය රාජ්‍යය ගනුවයි) මට වරයක් දෙන්නේද, එම්බා සුන්දරිය, මම එය හැර තී පතන්නෙමි. මාගේ ආලය  මෙසේ මහත්වේ.

“යමෙකුට මෙබඳු දුවක් වීද, සුන්දර ප්‍රඥා ඇත්තිය කලකින් මල් පිපුනාවූ සල්වනයක් වැනිවූ තීගේ පියාට ආචාර කරමි.” [ මීළඟ චෙදයේදී  මේ කාව්‍යය කවදා ගෙතුවේදැයි බුදුන් වහන්සේ ඇසුකල බුද්ධත්වය ලැබූ නොබෝ දිනකැ යි කීමත්, කවියේදී රහතුන් ගැන කීමත් පරස් පර විරෝධී බව ඉංග්‍රීසි පරිවර්තනයේ  ඩේවිස් මැතිනිය  ලියා ඇත.] 


§1.6  මෙසේ කී කල්හි භාග්‍යවතුන් වහන්සේ පංචසිඛ ට මෙසේ ප්‍රකාශ කළෝය.

“පංචසිඛය, නුඹගේ වීණා තත් හඬ ගී හඬ සමගද, ගී හඬ වීණා තත් හඬ සමගද මනාව ගැළපේ. පංචසිඛය, නුඹගේ වීණා තත් හඬ ගී හඬ ඉක්මවා නාද නොකෙරේ. ගී හඬ  තත් හඬ ඉක්මවා නාද නොකෙරේ. පංචසිඛය, නුඹ ගැයූ මේ බුදු ගුණ ඇත්තාවූද, දහම් ගුණ ඇත්තාවූද, සඟ ගුණ ඇත්තාවූද, ආදරයක් ගැන ගැයූ මේ ගීතිකාව කවර කලෙක්හි ගොතන ලද්දාහුද?”

“ස්වාමීනි,  ඔබ වහන්සේ උරුවෙල් දනව්වෙහි නෙරංජරා ගංතෙර නුග රුක මුල බුදු බවට පැමිණ  වැඩ සිටි මුල්  කාලයේදි මෙසේ සිදුවීමක් විය. එකල  බබලන හිරු මඬල වැනි ශරීරයක් ඇති භද්‍රා නම්වූ තිම්බරු නම් ගන්ධර්ව රජුගේ දුව දැක මම ඈ පිලිබඳ සිත් ඇත්තේ වුයෙමි.  එනමුත් ස්වාමීනි, ඒ දෙව් දූ මට නොව  මාතලී නම් රථාචාර්ය සංග්‍රාහකයාගේ පුත්‍රයා වූ සිඛණ්ඩිට පෙම් බැඳ සිටියාය.  කෙසේ කලත් ඇගේ  සිත මා කෙරෙහි නම්මා ගන්නට අපොහොසත්වූ කල මම මගේ බෙලුව පණ්ඩු වීණාව ගෙන තිම්බරු  ගන්ධර්ව රජුගේ නිවෙසට ගොස්  බුදු ගුණ සහිතවූද, දහම් ගුණ සහිතවූද, සඟ ගුණ සහිතවූද, මගේ ආදරය ගැන කියවෙන්නාවුද මේ ගීතය ඔවුනට ගායනා කලෙමි.”

§ 1.7. “ස්වාමීනි මගේ ගායනය ඇසු ඒ රූබර ගාන්ධර්විය  භද්‍රාව මට මෙසේ කීවාය. ‘නිදුකාණෙනි, ඔබේ ගීතයෙන් වර්ණනා කරන ලද ඒ භාග්‍යවතුන් වහන්සේ මම මගේ දෑසින් දැක නැත්තෙමු. නැටුම් නටන්නට සුධර්මා ශාලාවට  [තාවතිංසා දෙවියන්ගේ සුධර්මා ශාලාව] ගිය විට මට භාග්‍යවතුන් වහන්සේ ගැන අසන්නට ලැබිණි.  නිදුකාණනි,  ඔබ ගුණ වැනු ඒ භාග්‍යවතුන් වහන්සේ දකින්නට අප එකතු වේවා” යි කීවාය. ස්වාමිනි, එ පරිද්දෙන්  ඒ භද්‍රා  දෙව්දුව සමග අපගේ සමාගම වූයේය.”

සක්කූපසඞ්කම

§ 1.8. පංචසිඛ ගන්ධර්ව පුත්‍රයා භාග්‍යවතුන් වහන්සේ සමග එසේ කුළුපඟ සතුටු සාමිචියක යෙදී ඉන්නා බව දුටු සක්දෙවිඳු පංචසිඛ ට මෙසේ කීය. “දරුව පංචසිඛය, මාගේ නාමයෙන්  භාග්‍යවතුන් වහන්සේට වඳුව, ‘ස්වාමීනි, ඇමතියන් සහිතවූ, පිරිවර ජනයන් සහිතවූ ශක්‍ දේවේන්ද්‍රයා භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රීපාදය හිස් මුදුනින්  වඳීය’ කියායි. “පින්වතුන් වහන්ස, එසේයයි” පංචසිඛ ගන්ධර්ව පුත්‍රයා ශක්‍ර දේවේන්ද්‍රයන්  කී පරිද්දෙන් භාග්‍යවතුන් වන්දනා කළේය.

එවිට භාග්‍යවතුන් වහන්සේ මෙසේ කීය. ඇමතියන් සහිතවූ, පිරිවර ජනයන් සහිතවූ සක්දෙවිඳු සැප ඇත්තෙක් වේවා.දෙවියෝද, මනුෂ්‍යයෝද, අසුරයෝද නාගයෝද, ගන්ධර්වයෝද මෙයින් අන්‍යවූ සියළු සත්වයෝද සැප කැමැත්තෝම යයි කීවෝය.  [තථාගතවරයෝ  උසස් දෙවියන්ට ආශිංසනය කරන්නේ  එලෙසය.]මෙසේ ආශිංසනය ලත් සක්දෙවිඳු  ඉන්දසාල ගුහාවට ඇතුල්වී භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත් පස්ව සිටියේය. පංචසිඛ ගන්ධර්ව පුත්‍රයාද ඇතුළු අනෙක් තව්තිසා වැසි දෙවියෝද ඉන්දසාල ගුහාවට ඇතුල්ව භාග්‍යවතුන් වහන්සේ හොඳින් වැඳ එකපැත්තක සිටියාහුය. 

§1.9 ; ඒ දෙවියන්ගේ ආනුභාවයෙන්  ඉන්දසාල ගුහාවේ රළු බිම සුමට වූයේය. පටු තැන මහත් වුයේය. අඳුරු ස්ථාන ආලෝකමත් වුවේය.  එවිට භාග්‍යවතුන් වහන්සේ සක් දෙවිඳුට මෙසේ කීහ.

“බොහෝ කෘත්‍යයධිකවූ  ආයුෂ්මත් සක්දෙවිඳු මෙහි පැමිණීම පුදුම සහගතය” යැ  යි වදාල සේක.

“ස්වාමීනි, මට  භාග්‍යවතුන් වහන්සේ දකින්නට  බොහෝ කලක සිට ඔනෑ  කම වූ නමුත් තාවතින්ස දෙව් ලොව මට  පැවරී ඇති බොහෝ වූ  වැඩ රාජකාරි නිසා ඊට අවස්තාවක් නොවීය. එනමුත් වරක් භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සලලාගාරයෙහි වසන කලෙක  මම භාග්‍යවතුන් වහන්සේ දැකීමට සැවැත් නුවරට ගියෙමි.

§ 1.10. “ස්වාමීනි, එදින මා එද්දී භාග්‍යවතුන් වහන්සේ සමාධියකට සම වැද උන්හ. “භුංජති” නම්වූ වෙසමුණු රජුගේ බිසව ඔබවහන්සේ  දොහොත් මුදුනෙහි තබා වඳිමින් භාග්‍යවතුන් වහන්සේට උපස්ථාන පිණිස එතැන සිටියාය. ස්වාමීනි, මම එවිට භුංජති නම් පරිචාරිකාවට මෙය කීවෙමි. “මාගේ නැගනියනි, තී භාග්‍යවතුන් වහන්සේ වඳුව. ස්වාමීනි, ඇමතියන් සහිතවූ, පිරිවර සහිතවූ සක්දෙවිඳු භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රීපාදයන් මුදුනෙන් වඳී”යි කියා මගේ නමින් වඳුව..“මෙසේ කී කල්හි භුංජතී මට මෙය කීවාය. “නිදුකාණනි, භාග්‍යවතුන් වහන්සේ දැකීමට මේ කාලය සුදුසු නොවන්නේය. භාග්‍යවතුන් වහන්සේ ඵලසමාපත්තියෙහි එළඹ වැඩ සිටින්නේය” යනුයි.
“නැගනිය, එසේනම්  භාග්‍යවතුන් වහන්සේ ඒ සමාධියෙන් නැගිටි විට  මාගේ වචනයෙන් භාග්‍යවතුන් වහන්සේ වඳුව.’ ‘ස්වාමීනි, ඇමතියන් සහිතවූ පිරිවර සහිතවූ සක්දෙවිඳු භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රීපාදයන් වඳියි’ කියායි.
“ස්වාමීනි, ඈ එදා  නාමයෙන් මා සිහිකර  භාග්‍යවතුන් වහන්සේ වන්දනාකරන ලද්දේද?” යි” ඇසුවේය.

“ශක්‍ර දේවේන්ද්‍රය ඒ නුඹගේ නැගනිය මා වැන්දාය. මම ඇගේ වචනය සිහිකරමි. තවද මම යුෂ්මතාගේ රථයේ රෝද ශබ්දයෙන් ඒ සමාධියෙන් නැගිටියෙමියි” කීහ. [මෙය අර්බුදයට තුඩුදෙන වාක්‍යයකි.  සමවත් නිරෝධයට පත් කෙනෙකුට බාහිර ශබ්ද කිසි බලපෑමක් නොවන බව බොහෝ සුත්‍රවල සඳහන්වන හෙයිනි.]

§ 1.11. “ස්වාමීනි, අපට පළමුව  තව්තිසා භවනයෙහි උපන්නාවූ  දෙවියෝ  මෙසේ කිවුහ. යම් කලක ලොකයෙහි අර්හත් සම්‍යක් සම්බුද්ධ තථාගතවරයෝ උපදිත්ද, එකල්හි දිව්‍ය නිකායවල් පිරිස වැඩි වන බවත්,  අසුර නිකායවල උපන්නවුන් පමණින් අඩු වන බවත්ය” , යනුයි. ස්වාමිනි මේ බව සත්‍ය බව මම දකිමි.  ස්වාමීනි, යම් කලක අර්හත් සම්‍යක් සම්බුද්ධවූ තථාගතවරයෙක් ලොකයෙහි උපදින්නේද, එකල්හි දිව්‍ය නිකායවල පිරිස වැඩිවෙති. අසුර නිකායවල උපනවුන්  අඩුවෙත්, ඒ මේ කාරණය මා විසින් දක්නා ලදී. කෙසේද යත්?

ගොපකවත්ථු

§1 “ස්වාමීනි, මේ කපිලවස්තු පුරයෙහිම බුදුන් කෙරෙහි පැහැදුනාවූද, ධර්මය කෙරෙහි පැහැදුනාවූද, සංඝයා කෙරෙහි පැහැදුනාවූද, සීලයන් සම්පූර්ණ කරන්නාවූද ගොපිකා නම් ශාක්‍ය දුවක් අතීතයෙහි විසුවාය. ඈ සිය ස්ත්‍රී භවය ගැන නොපැහැදුනේ පුරුෂ භවයක් පැතුවාය. බුදුන් කෙරෙහිද, ධර්මය කෙරෙහිද විශෙෂයෙන් පැහැදී, පැහැදුනු සිතින් සංඝයාට උපස්ථාන කල ඇය මරණින් මතු තව්තිසා දෙව්ලොවම ගොපක නමින්  දේව පුත්‍රයෙක්ව උපන්නීය. 

ස්වාමීනි, ඒ අතර භික්ෂූන් තුන් නමක්ද සාසන  බ්‍රහ්මචරියාව රැක මිනිස් භාවයෙන් මතු තාවතිංස දෙව් ලොවම   දිව්‍ය භවයට වඩා  පහත්වූ ගන්ධර්ව භාවයෙහි උපන්නාහුය. ඔවුහු පස්කම් සැප විඳින්නාහු වෙත්, මේ ගාන්ධර්වයෝ දිව්‍ය භාවයෙහි ඉන්නා දෙවියන්ට  උපස්ථානය කරන්නෝය. අතවැසිකම් කරන්නෝය. ගෝපක දිව්‍යය පුත්‍රා මේ ගන්ධම්ම දෙවියන් තිදෙනාට එහි ඉන්ද්‍රියයන් හසුරුවන්නාහු අපගේ උපස්ථානයට පැමිණෙත්. අපගේ සේවය පිණිස පැමිණියාවූ ඔවුන්ට ගොපක දිව්‍ය පුත්‍රයා මෙසේ සිහි කෙරෙව්වේය ‘නිදුකාණනි, තොපි කවර ආකාරයකින් ඒ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය ඇසුවාහුද?’

‘මම එකල ස්ත්‍රියක්ව සිට  බුදුන් කෙරෙහි පැහැදී, ධර්මය කෙරෙහි පැහැදී, සංඝයා කෙරෙහි පැහැදී සීලයන් සම්පූර්ණ කොට ස්ත්‍රී භාවය සම්බන්ධවූ සිත දුරුකොට පිරිමි බව ගැන සිත වඩා, ශරීරය බිඳීමෙන් මරණින් මත්තෙහි යහපත් ගති ඇත්තාවූ දෙව්ලොව ඉපදී සක්දෙවිඳුගේ පුත්‍ර බවට පැමිණ, තව්තිසා වැසි දෙවියන්ගේ එක්වීමි. මෙහිද ගොපක දිව්‍ය පුත්‍රයාය යන නමින් දැනගනිත්.

“නිදුකාණනි,  නුඹලා භාග්‍යවතුන් වහන්සේගේ සාසනයෙහි බ්‍රහ්මචර්‍ය්‍යාව පුරන ලද්දේ  වුවද   පහත්වූ ගන්ධර්ව නිකායකට පැමිණි සිටින්නාහුය. අප මෙන්ම සුචරිතයෙහි හැසිරුණු සබ්‍රහ්මචාරීන් මෙසේ පහත්වූ ගන්ධර්ව නිකායක පහළවීම කනගාටුවට කරුණකි.” 

මෙසේ නින්දා කරනු ලැබුවාවූ එම ගාන්ධර්වයන්ගෙන් එක් ගාන්ධර්වයෙක් වහ වහා සතිය වඩමින් එම දෙවලොවදීම ධ්‍යාන ලැබීය. තවත් බඹසරෙහි හැසිර ඔහු ගන්ධබ්භ භාවයෙන් මිදී බ්‍රහ්මාවාසක පහල විය. අනෙක් ගන්ධබ්භ දෙවියන ඒ කාමයන්හිම ගැලී විසුවේය.

§1.12  ගෝපක දෙවි මෙසේ කීය.
“මම පසැස් ඇත්තාවූ බුදුන් වහන්සේගේ උපාසිකාවක්වීමි. මට ගොපිකා යන නමක්ද විය. බුදුන් කෙරෙහිද, ධර්මය කෙරෙහිද විශෙෂයෙන් පැහැදී, පැහැදුනු සිතින් සංඝයාට උපස්ථාන කෙළෙමි.

“ඒ බුදුන්ගේම ධර්මයේ යහපත් කමින් මහත් ආනුභාව ඇත්තාවූ, මහත් ආලොක ඇත්තාවූ දිව්‍ය ලොකයෙහි උපන්නාවූ මම ශක්‍රයාගේ පුත්‍රයෙක් වීමි. මෙහිදී මා ගොපක දිව්‍ය පුත්‍රයායයිද (නමින්) දැන ගනිත්.“එකල්හි මම, ගන්ධර්ව නිකායට වාසය පිණිස ආවාවූ පෙර දක්නා ලද්දාවූ භික්ෂූන් දුටුවෙමි. පෙර මනුෂ්‍යවූ ගෞතම ශ්‍රාවකවූ, අපි යම්බඳුවූ ඒ භික්ෂූන්ට පය සේදීම් ආදියෙන් සංග්‍රහකොට ආහාරයෙන් හා පානවලින්ද උපස්ථාන කෙළෙමුද, මේ පින්වත්හු කවර නම් කරුණකින් බුද්ධ ධර්මය නොපිළි ගත්තාහුද?“පසැස් ඇත්තාවූ බුදුරදුන් විසින් අවබොධ කරන ලද්දාවූ, දෙශනා කරන ලද්දාවූ ධර්මය වනාහි තමාගේ දැකීමෙන්ම දතයුත්තේ වේ. මමද තෙපිද ඒ උත්තමයන්ගේ යහපත් වචනයන් අසා බුදුන් (උපාසනය) ආශ්‍රය කරන්නෝවීමු.“(මම) මහත් ආනුභාව ඇති, මහත් කාන්ති ඇති, දිව්‍ය ලොකයෙහි උපන්නාවූ ශක්‍රයාගේ පුත්‍රයෙක් වෙමි. පින්වත්නි, තෙපි වනාහි ශ්‍රෙෂ්ඨවූ බුදුන් ආශ්‍රයකරමින් ඉතා උතුම් ශාසනයෙහි උතුම් හැසිරීම් (බඹසර) කොට ලාමකවූ තැනක උපන්නාහුය පින්වතුන්ගේ උත්පත්තිය සුදුසු නොවේ. පහත් තැනක උපන්නාවූ සහ ධාර්මිකයන් (එකට කටයුතුකළ අය) දැකීමට සුදුසු නැති ආකාරයකින් දුටුවෙමු.“තෙපි ගන්ධර්ව නිකායට පැමිණියාහු දෙවියන්ගේ දාස බවට පැමිණියාහුය, ගිහිගෙයිම විසුවාවූ මාගේ මේ වෙනස බලව.“ඒ මම ස්ත්‍රියක්වී අද දිව්‍යකාමයන්ගෙන් යුක්තවූ දිව්‍ය පුරුෂයෙක් වෙමි. ගෞතම ශ්‍රාවකවූ මා විසින් සිහි කරවන ලද්දාවූ ඔවුහු ගොපක දිව්‍ය පුත්‍රවූ මා වෙත පැමිණ සංවෙගයට පැමිණියාහුය. දැන් අපි උසස් බවට යමු උත්සාහ කරමු. අනුන්ගේ පණිවිඩ කාරයෝ නොවෙමු.

“ඔවුන්ගෙන් දෙදෙනෙක් වීර්‍ය්‍ය කිරීමට පටන් ගත්තාහුය. ගෞතමයන් වහන්සේගේ අනුශාසනයන් සිහි කරන්නෝවූහ. ඔවුහු මෙහිදීම සිත් නොඅලවා පංචකාමයන්ගේ දොස් දැක්කාහුය. පාපීවූ මාරයාගේ යෙදුම්වූ දුකසේ පහ කළ යුත්තාවූ කාම සංයොජනයන් හා කාම බැඳුම් සිඳදැමීම වශයෙන් දැක්කාහුය.“දම්වැල් කඩාගන ගිය ඇතෙක් මෙන් තවුතිසා වැසි දෙවියන් ඉක්මවූහ. ඉන්ද්‍රයා (ශක්‍රයා) සහිත දෙවියෝද ප්‍රජාපතී සහිත දෙවියෝද යන සියල්ලෝම සුධර්මා නම් දිව්‍ය සභාවෙහි උන්නාහුය.“එකට උන්නාවූ ඔවුන් අතරින් අනාගාමි මාර්ගය උපද වන්නාවූ දක්ෂවූ රාගය නැති කළාවූ ඔවුහු, ඔවුන් (එකට උන් අනික් දෙවියන්) ඉක්ම වූහ. දෙවියන් මැඩ පවත්නාවූ ශක්‍රයා ඔවුන් දැක දෙවි සමූහයා මැද සංවේගයක් ඇති කෙළේය.“හීන නිකායකට පැමිණි ඒ මොව්හු තව්තිසා වැසි දෙවියන් ඉක්මවත්යයි හටගත් සංවේග ඇති ශක්‍රයාගේ වචනය අසා ගොපක දිව්‍ය පුත්‍රයා ශක්‍රයාට (මෙසේ) කීයේය”“දෙවෙන්ද්‍රය, මනුෂ්‍ය ලොකයෙහි බුදු කෙනෙක් ඇත. කාමයන් මැඩපැවැත්තුවාවූ ශාක්‍ය මුනියයි ප්‍රසිද්ධවේ. මොව්හු උන්වහන්සේගේ පුත්‍රයෝ වෙත්. (ධ්‍යානගත) සිහියෙන් වෙන්ව චුතවූ ඔවුහු මා විසින් නැවතත් සිහිය උපදවනු ලැබූහ.“ඔවුන් අතුරින් ගන්ධර්ව නිකායට පැමිණි එක්කෙනෙක් මෙහි වාසයට පත්විය. (කෙලෙස්) වසඟ කළාවූ අනාගාමි මාර්ගයට අනුවවූ සමාධි ගත සිත් දෙදෙනෙක්ම දෙවියන් යටත් කෙරෙත්.“මේ ශාසනයෙහි මෙබඳුවූ ධර්ම ප්‍රකාශවේ. එහි කිසියම් ශ්‍රාවකයෙක් කුමකටවත් සැක නොකෙරේ කාම ආදි ගංගාවලින් එතරවූ සැකය සිඳින ලද්දාවූ, පංචමාරයන් ජයගත්තාවූ බුදුරජාණන් වහන්සේ වඳිමු“මෙහි ඔබ වහන්සේගේ යම් ධර්මයක් දැන, ඔවුන් අතරින් විශෙෂයකට පැමිණි ඒ දෙදෙනෙක් බ්‍රහ්ම පුරොහිත බඹ ලොවට පැමිණ මාර්ගඵල විශෙෂයක් අවබොධ කළාහුද,“නිදුකාණන් වහන්ස, ඒ ධර්මයට පැමිණීම පිණිස ආවෙමු නිදුකාණන් වහන්ස භාග්‍යවතුන් වහන්සේ විසින් අවසර දෙන ලද්දාවූ අපි ප්‍රශ්න අසන්නෙමුයි” කීය. එවිට භාග්‍යවතුන් වහන්සේට මේ අදහස විය. ‘මේ ශක්‍රයා බොහෝ කලක් මුලුල්ලේම පිරිසිදුය. යම් කිසි ප්‍රශ්නයක් මගෙන් අසන්නේද, ඒ සියල්ල වැඩ ඇතිවම අසන්නේය. වැඩකට නැතිව නොඅසන්නේය. මගෙන් ඇසූ යමක් මම පහදා දෙන්නෙම්ද, එය වහාම දැනගන්නේය’ කියායි

“>නැවත භාග්‍යවතුන් වහන්සේ සක්දෙව් රජුට ගාථාවකින් මෙසේ වදාළහ.“ශක්‍රය, මගෙන් ප්‍රශ්න අසව. තට යම් කිසිවක් කැමති නම්, තාගේ ඒ ඒ ප්‍රශ්න මම කෙළවර කරමි” යි කියායි.

. කරණ ලද අවකාශ ඇති ශක්‍ර දෙවෙන්ද්‍ර තෙම භාග්‍යවතුන් වහන්සේගෙන් මේ පළමුවැනි ප්‍රශ්නය ඇසුවේය. ‘නිදුකාණන් වහන්ස, මනුෂ්‍යයෝද අසුරයෝද, නාගයෝද, ගන්ධර්වයෝද, මෙයින් අන්‍යවූ බොහෝ ජනයෝ වෙත් නම් ඔව්හුද ක්‍රොධ නැත්තාහු දඬුවම් නැත්තාහු සතුරන් නැත්තාහු සතුටු සිත් ඇත්තාහු ‘අපි අවෛරීව වසන්නෙමුයි’ ඔවුන්ගේ ප්‍රාර්ථනාවක් වේද, ඒ ඇති කල්හිත් ඔව්හු ක්‍රොධ සහිත වූවාහු දඬුවම් සහිතවූවාහු, සතුරන් සහිතවූවාහු, සිත් අසතුටු සහිතවූවාහු වෛර ඇත්තෝව වසති. ඒ කිනම් බැඳීමකින් බැඳීම නිසාද?” මෙසේ ශක්‍ර දෙවෙන්ද්‍ර තෙමේ භාග්‍යවතුන් වහන්සේගෙන් පළමුවෙනි ප්‍රශ්නය ඇසුවේය. ප්‍රශ්න අසන ලද්දාවූ භාග්‍යවතුන් වහන්සේ ඕහට මෙය ප්‍රකාශ කළෝය. “දෙවෙන්ද්‍රය, ඊර්ෂ්‍යා මාත්සර්‍ය්‍ය (අනුන්ගේ සම්පත් නොඉවසීම, තම සම්පත් සැඟවීම) යන බැඳුම්වලින් බැඳීම හෙතුකොට ගෙන දෙවියෝද, මනුෂ්‍යයෝද, අසුරයෝද, නාගයෝද, ගන්ධර්වයෝද, මෙයින් අන්‍යවූ බොහෝ ජනයෝ වෙත් නම් ඔව්හුද ක්‍රොධ නැත්තාහු දණ්ඩන නැත්තාහු සතුරන් නැත්තාහු අසතුටු සිත් රහිතවූවාහු අපි අවෛරීව වසන්නෙමුයයි ඔවුන්ගේ ප්‍රාර්ථනාවක්වේද, එතකුදු වුවත් ඔව්හු ක්‍රොධ ඇත්තාහු දඬුවම් ඇත්තාහු සතුරන් ඇත්තාහු අසතුටු සිත් ඇත්තාහු වෛර ඇත්තෝව වෙසෙත්යයි’ ශක්‍ර දෙවෙන්ද්‍රයා විසින් අසන ලද්දාවූ භාග්‍යවතුන් වහන්සේ ප්‍රකාශ කළෝය. සතුටු සිත් ඇති ශක්‍ර දෙවෙන්ද්‍ර තෙමේ භාග්‍යවතුන් වහන්සේගේ වචනය සතුටින් පිළිගත්තේය, අනුමෝදන් විය. “භාග්‍යවතුන් වහන්ස, එය එසේය. සුගතයන් වහන්ස, එය එසේය. භාග්‍යවතුන් වහන්සේගේ ප්‍රශ්න විසඳීම් ඇසීමෙන් මෙහි ‘කෙසේ කෙසේදැයි’ පැවති සැකය නැති විය. මාගේ සැකය දුරින්ම දුරු විය.” 

 

 මෙසේ ශක්‍ර දෙවෙන්ද්‍ර තෙමේ භාග්‍යවතුන්වහන්සේගේ වචනය සතුටින් පිළිගෙන අනුමෝදන්ව භාග්‍යවතුන් වහන්සේගෙන් තවත් ප්‍රශ්නයක් ඇසුවේය. “නිදුකාණන් වහන්ස, අනුන්ගේ සැප නොඉවසීම හා තම සැප සැඟවීම යන දෙක කුමක් මුල්කොට ඇත්තේද? කුමක් හේතුකොට ඇත්තේද? කුමක් ජාතිකොට ඇත්තේද? කුමක් ඉපදීම කොට ඇත්තේද? කුමක් ඇති කල්හි අන් සැප නොඉවසීම හා තම සැප සැඟවීම වේද? කුමක් නැති කල අන් සැප නොඉවසීම හා තම සැප සැඟවීම නොවේදැයි” කීවාය.“දෙවෙන්ද්‍රය, අන් සැප නොඉවසීම හා තම සැප සැඟවීම යනු දෙක, ප්‍රියවූදේද, අප්‍රියවූ දේද, මූලකාරණාකොට ඇත්තේය. ප්‍රිය අප්‍රිය දේ හේතුවකොට ඇත්තේය. ප්‍රිය අප්‍රියදේ ජාතිකොට ඇත්තේය. ප්‍රිය අප්‍රිය දේ ඉපදීමකොට ඇත්තේය. ප්‍රිය අප්‍රිය දේ ඇති කල්හිම ඊර්‍ෂාව හා මාත්සර්‍ය්‍යය වන්නේය. ප්‍රිය අප්‍රිය නැති කල්හි ඊර්ෂ්‍යාව හා මසුරු බව නොවේයයි” කීවෝය.“නිදුකාණන් වහන්ස, ප්‍රිය අප්‍රිය දෙක වනාහි කුමක් නිදානකොට ඇත්තේද? කුමක් ජාතිකොට ඇත්තේද? කුමක් ඉපදීමකොට ඇත්තේද? කුමක් ඇති කල්හි ප්‍රිය අප්‍රිය දෙක වේද? කුමක් නැති කල්හි ප්‍රිය අප්‍රිය දෙක නොවේදැයි” ඇසීය.“දෙවෙන්ද්‍රය, ප්‍රිය අප්‍රිය දෙක වනාහි ආසාව මුල්කොට ඇත්තේය. ආසාව හේතුකොට ඇත්තේය ආසාව ජාති කොට ඇත්තේය ආසාව ඉපදීමකොට ඇත්තේය. ආසාව ඇති කල්හි ප්‍රිය අප්‍රිය දෙක ඇතිවේ. ආසාව නැති කල්හි ප්‍රිය අප්‍රිය දෙක නොවේයයි” කීවෝය.“නිදුකාණන් වහන්ස, ආසාව වනාහි කුමක් මුල්කොට ඇත්තේද? කුමක් හේතුකොට ඇත්තේද? කුමක් ජාති කොට ඇත්තේද? කුමක් ඉපදීම කොට ඇත්තේද? කුමක් ඇති කල්හි ආසාව වේද? කුමක් නැති කල්හි ආසාව නොවේදැයි’ ඇසුවේය. “දෙවෙන්ද්‍රය, ආසාව වනාහි හිතින් පරීක්ෂාකර බැලීම මුල්කොට ඇත්තේය සිතින් පරීක්ෂා කර බැලීම හේතුකොට ඇත්තේය. හිතින් පරීක්ෂාකර බැලීම ජාතිකොට ඇත්තේය. හිතින් පරීක්ෂාකරබැලීම ඉපදීම කොට ඇත්තේය. හිතින් පරීක්ෂාකර බැලීම ඇතිකල්හි ආසාව වේ, පරීක්ෂාකිරීම නැති කල්හි ආසාව නොවේය”යි කීවාහුය.“නිදුකාණන් වහන්ස, හිතින් පරීක්ෂාකර බැලීම වනාහි කුමක් මුල්කොට ඇත්තේද? කුමක් හේතුවකොට ඇත්තේද? කුමක් ජාතිකොට ඇත්තේද? කුමක් ඉපදීමකොට ඇත්තේද? කුමක් ඇති කල්හි පරීක්ෂා කිරීම වේද? කුමක් නැති කල්හි සිතින් පරීක්ෂාකර බැලීම නොවේදැයි” ඇසුවේය.“දෙවෙන්ද්‍රය, සිතින් විනිශ්චය කිරීම වනාහි ප්‍රමාදයට හේතුව ආශාව හා එක්ව යෙදුණ හැඟීම් මුල් කොට ඇත්තේය. ප්‍රමාදයට හේතුවූ ආශාව හා එක්ව යෙදුණ හැඟීම් ජාතිකොට ඇත්තේය. ප්‍රමාදයට හේතුවූ ආශාව හා එක්ව යෙදුණ හැඟීම් ඉපදීමකොට ඇත්තේය. ප්‍රමාදයට හේතුවූ ආශාව හා එක්ව යෙදුණ හැඟීම් ඇතිකල්හි පරීක්ෂාකිරීම වේ. ප්‍රමාදයට හේතුවූ ආශාව හා එක්ව යෙදුණ හැඟීම් නැති කල්හි පරීක්ෂාකිරීම නොවේය” යි වදාළෝය.“නිදුකාණන් වහන්ස, කෙසේ පිළිපදින්නාවූ භික්ෂු තෙමේ ප්‍රමාදයට හේතුවූ ආශාව හා එක්වයෙදුණ හැඟීම් දුරු කිරීමට සුදුසුවූ මාර්ගයෙහි පිළිපදින්නේ වේදැ”යි ඇසුවේය.

වෙදනාකම්මට්ඨානං
 

“දෙවෙන්ද්‍රය, මම සැප වේදනාවද දෙපරිද්දෙකින් කියමි. සේවනය කටයුත්තද සේවනය නොකටයුත්තද යනුවෙනි. දෙවෙන්ද්‍රය, මම දුක්වේදනාවද දෙපරිද්දකින් කියමි. සේවනය කටයුත්තද සේවනය නොකටයුත්තද යනුවෙනි දෙවෙන්ද්‍රය, දුකසැපදෙකම මැදහත් විඳීමද මම දෙපරිද්දකින් කියමි. සේවනය කටයුත්තද සේවනය නොකටයුත්තද යනුයි. “දෙවෙන්ද්‍රය, මම සැප වෙදනාවද දෙපරිද්දකින් කියමි. එනම් සේවනය කටයුත්තද සේවනයනොකටයුත්තද යනුයි. යන මෙය කුමක් සඳහා කියන ලද්දේදයත්? එහි යම් සැප වේදනාවක් මෙසේ දන්නේද, කෙසේද, මේ සොම්නස සේවනය කරන්නාවූ මට අකුසලධර්මයෝ වැඩෙත්ද කුශලධර්මයෝ පිරිහෙත්ද, මෙබඳුවූ සැප වෙදනාව සේවනය නොකටයුතුයි. එහි යම් සැප වේදනාවක් මෙසේ දන්නේද? කෙසේද මේ සැප වෙදනාව සේවනය කරන්නාවූ මගේ අකුශල ධර්මයෝ පිරිහෙත්ද, කුශලධර්මයෝ වැඩෙත්ද, මෙබඳුවූ සැප වෙදනාව සේවනය කටයුතුයි. එහි යම් සැප වේදනාවක් විතර්ක සහිතද විචාර සහිතද යම් සැප වෙදනාවක් විතර්ක රහිතද විචාර රහිතද, එයින් විතර්ක රහිත විචාර රහිත සැප වෙදනාව අතිශයින් උතුම්ය. “දෙවෙන්ද්‍රය, මම සේවනය කළ යුත්තය, සේවනය නොකළ යුත්තයයි දෙපරිද්දකින් දුක් වෙදනාව කියමි යන යම් වචනයක් කියන ලද්දේ නම් එය කුමක් සඳහා කියන ලද්දේද? යම් දොම්නසක් සේවනය කිරීමෙන් අකුසල ධර්ම වැඩෙත්, කුසල ධර්ම පිරිහෙත්යයි දන්නේද ඒ දොම්නස සෙවනය නොකළ යුතුය, යම්දොම්නසක් සේවනය කිරීමෙන් අකුශල ධර්ම පිරිහෙත්, කුසල ධර්ම වැඩෙත්යයි දන්නේද, ඒ දොම්නස් වෙදනාව සෙවනය කළ යුතුයි. එහි විතර්ක විචාර සහිත දොම්නසක් ඇත්තේද විතර්ක විචාර රහිත දොම්නසක් ඇත්තේද එයින් විතර්ක විචාර රහිත දොම්නස ප්‍රණීතතරය.“දෙවෙන්ද්‍රය, මම සේවනය කටයුත්ත සේවනය නොකට යුත්තයයි දුක් වේදනාව දෙපරිද්දකින් කියමියි මෙසේ යමක් කියන ලද්දේ නම්, එය මේ සඳහා කියනලදී.

“දෙවෙන්ද්‍රය, සේවනය කටයුත්තය, සෙවනය නොකට යුත්තයයි උපෙක්ෂාව මම දෙපරිද්දෙකින් කියමි යන වචනයක් කියන ලද්දේනම් එය කුමක් සඳහා කියන ලද්දේද යත් එහි යම් උපෙක්ෂාවක් සේවනය කරන්නාවූ මට කුශල ධර්මයෝ පිරිහෙත්, අකුශල ධර්මයෝ වැඩෙත්යයි දන්නේ නම් ඒ උපෙක්ෂාව සේවනය නොකළ යුතුයි. එහි යම් උපෙක්ෂාවක් මේ උපෙක්ෂාව සේවනය කරන්නාවූ මට අකුශල ධර්මයෝ පිරිහෙත්, කුශල ධර්මයෝ වැඩෙත්ය කියා දන්නේද, මෙබඳුවූ උපෙක්ෂාව සේවනය කටයුතුයි, එහි යම උපෙක්ෂාවක් විතර්ක සහිතද විචාර සහිතද යම් උපෙක්ෂාවක් විතර්ක රහිතද විචාර රහිතද, ඒ අවීතර්ක අවිචාර උපෙක්ෂාව අතිශයින් ප්‍රණීතය, දෙවෙන්ද්‍රය, මම උපෙක්ෂාවද, දෙපරිද්දෙකින් කියමි. සේවනය කටයුත්තද, සේවනය නොකටයුත්තදැයි කියා යම් වචනයක් කියන ලද්දේ නම්, එය මේ සඳහා කියනලදී.

“දෙවෙන්ද්‍රය, මෙසේ පිළිපඳින්නාවූ භික්ෂූ තෙමේ ප්‍රමාදයට හෙතුවූ ආසාව සමග යෙදුණ හැඟීම් සංසිඳවීමම සුදුසු මාර්ගයයි කියනලද ප්‍රතිපදාවට පිළිපන්නේ වේයයි” ප්‍රකාශ කළෝය.මෙසේ භාග්‍යවතුන් වහන්සේ ශක්‍ර දෙවෙන්ද්‍රයාගේ ප්‍රශ්නවලට පිළිතුරු ප්‍රකාශ කළෝය. සතුටු සිත් ඇත්තාවූ ශක්‍ර දෙවෙන්ද්‍ර තෙම භාග්‍යවතුන් වහන්සේගේ වචනයට සතුටු විය.“භාග්‍යවතුන් වහන්ස, එය එසේය. සුගතයන් වහන්ස, ඒ එසේය. භාග්‍යවතුන් වහන්සේගේ ප්‍රශ්න විසඳීම අසා මාගේ සැකය බැහැර ගියේය. කෙසේ කෙසේදැයි පැවති සැකය පහවූයේය.”

පාතිමොක්ඛසංවරො

මෙසේ මෙහිදී සක්‍ර දෙවෙන්ද්‍ර තෙමේ භාග්‍යවතුන් වහන්සේගේ වචනය සතුටින් පිළිගෙන මත්තෙහිත් භාග්‍යවතුන් වහන්සේගෙන් ප්‍රශ්නයක් ඇසීය. “නිදුකාණන් වහන්ස, කෙසේ පිළිපදින්නාවූ භික්ෂු තෙමේ සීල සංවරය පිණිස පිළිපදින්නේ වේද?“දේවේන්ද්‍රය, මම කයේ පැවැත්මද දෙපරිද්දෙකින් කියමි. සේවනය කටයුත්තද සේවනය නොකට යුත්තද යනුවෙනි.“දෙවෙන්ද්‍රය, මම වචනයේ පැවැත්මද දෙපරිද්දකින් කියමි සේවනය කටයුත්තද, සේවනය නොකට යුත්තද යනුවෙනි.“දෙවෙන්ද්‍රය, මම සෙවීමද දෙපරිද්දකින් කියමි. සේවනය කටයුත්තද සේවනය නොකටයුත්තද යනුවෙනි.“දෙවෙන්ද්‍රය මම ශරීරයේ පැවැත්මද දෙපරිද්දකින් කියමි. සේවනය කටයුත්තද සේවනය නොකට යුත්තදැයි මෙසේ යම් වචනයක් කියන ලද්දේ නම් මෙය කුමක් සඳහා කියන ලද්දේදයත්. එහි යම් ශරීරයේ පැවැත්මක් මේ ශරීරයේ පැවැත්ම සේවනය කරන්නාවූ මට අකුශල ධර්මයෝ වැඩෙත්, කුශල ධර්මයෝ පිරිහෙත්යයි දන්නේද, මෙබඳුවූ කායික පැවැත්ම සේවනය නොකටයුතුයි. එහි යම් කායික පැවැත්මක් මේ ශරීරයේ පැවැත්ම සේවනය කරන්නාවූ මාගේ අකුශල ධර්මයෝ පිරිහෙත්. කුශල ධර්මයෝ වැඩෙත්යයි දන්නේද, මෙබඳුවූ ශරීරයේ පැවැත්ම සේවනය, කටයුතුයි.“දෙවේන්ද්‍රය, මම ශරීරයේ පැවැත්ම දෙපරිද්දකින් කියමි. සේවනය කටයුත්තද සේවනය නොකට යුත්තදැයි මෙසේ යමක් කියන ලද්දේ නම් එය මේ සඳහා කියන ලදී.“දෙවෙන්ද්‍රය, මම වචනයේ පැවැත්මද දෙපරිද්දෙකින් කියමි සේවනය කටයුත්තද සේවනය නොකටයුත්තදැයි මෙසේ යමක් කියන ලද්දේ නම් එය කුමක් සඳහා කියන ලද්දේද? එහි යම්වචනයේ පැවැත්මක් මේ වචනයේ පැවැත්ම සේවනය කරන්නාවූ මාගේ අකුශල ධර්මයෝ වැඩෙත්. කුශල ධර්මයෝ පිරිහෙත්යයි’ දන්නේද, මෙබඳුවූ වචනයේ පැවැත්ම සේවනය නොකට යුතුයි. මේ වචනයේ පැවැත්ම සේවනය කරන්නාවූ මාගේ අකුශල ධර්මයෝ පිරිහෙත්, කුසල ධර්මයෝ වැඩෙත් යයි දන්නේද, මෙබඳුවූ වචනයේ පැවැත්ම සේවනය කටයුතුයි.“දෙවෙන්ද්‍රය, මම වචනයේ පැවැත්ම දෙපරිද්දකින් කියමි. සේවනය කටයුතුද සේවනය නොකට යුත්තදැයි මෙසේ යමක් කියන ලද්දේ නම් එය මේ සඳහා කියනලදී.“දෙවෙන්ද්‍රය, මම (පර්ය්‍යෙසනය) සෙවීමද දෙපරිද්දකින් කියමි. සේවනය කටයුත්තද, සේවනය නොකටයුත්තද යනු වෙනැයි. යම් වචනයක් කියනලද්දේද, එය කුමක් සඳහා කියනලද්දේද යත්, එහි මේ පර්ය්‍යෙසනය (සෙවීම) සේවනය කරන්නාවූ මාගේ අකුසල ධර්මයෝ වැඩෙත්. කුසල ධර්මයෝ පිරිහෙත් යයි යම් සෙවීමක් මෙසේ දන්නේද මෙබඳුවූ පර්ය්‍යෙසනය සේවනය නොකට යුතුයි. එහි මේ පර්ය්‍යෙසනය සේවනය කරන්නාවූ මාගේ අකුසල ධර්මයෝ පිරිහෙත්, කුසල ධර්මයෝ වැඩෙත්යයි, යම් පර්ය්‍යෙසනයක් මෙසේ දන්නේද, මෙබඳුවූ පර්ය්‍යෙසනය සෙවනය කටයුතුයි. දෙවෙන්ද්‍රය, මම පර්ය්‍යෙසනයද දෙපරිද්දකින් කියමි. සේවනය කටයුත්තද සේවනය නොකටයුත්තද යනුවෙනැයි මෙසේ යමක් කියනලද්දේ නම් එය මේ සඳහා කියන ලදී.“දෙවෙන්ද්‍රය, මෙසේ පිළිපදින්නාවූ භික්ෂු තෙමේ ප්‍රාතිමොක්ෂ සංවරය පිණිස පිළිපදින්නේයයි” මෙසේ භාග්‍යවතුන් වහන්සේ ශක්‍රදෙවේන්ද්‍රයාගේ ප්‍රශ්නවලට උත්තර දුන්නෝය. සතුටු සිත් ඇත්තාවූ ශක්‍රදෙවෙන්ද්‍ර තෙමේ භාග්‍යවතුන් වහන්සේගේ වචනය සතුටින් පිළිගත්තේය. අනුමෝදන් විය. “භාග්‍යවතුන්වහන්ස, ඒ එසේයි සුගතයන් වහන්ස එය එසේය. මෙහිදී භාග්‍යවතුන් වහන්සේගේ ප්‍රශ්න විසඳීම අසා, මාගේ සැකය දුරුවිය. කෙසේ කෙසේ දැයි පැවති සැකය නැතිවිය”

ඉන්ද්‍රියසංවරො
 

මෙසේ සක්‍ර දෙවෙන්ද්‍ර තෙමේ මෙහිදී භාග්‍යවතුන් වහන්සේගේ වචනය අනුමෝදන්ව මත්තෙහිත් භාග්‍යවතුන් වහන්සේගෙන් ප්‍රශ්නයක් ඇසීය. ඒ කෙසේද, ‘නිදුකානන් වහන්ස, කෙසේ පිළිපදින්නාවූ භික්ෂුතෙමේ ඉන්ද්‍රිය සංවරය පිණිස පිළිපදින්නේවේදැයි” කියායි.“දෙවෙන්ද්‍රය, මම ඇසින් බලා දතයුතුවූ රූපය දෙපරිද්දකින් කියමි සේවනය කටයුත්තද, සේවනය නොකට යුත්තද යනුයි.“දෙවෙන්ද්‍රය, මම කණින් අසා දතයුතුවූ ශබ්දයද දෙපරිද්දකින් කියමි. සේවනය කටයුත්තද සෙවනය නොකටයුත්තද යනුයි.“දෙවෙන්ද්‍රය, මම නාසයෙන් ගඳ සුවඳ විඳ දතයුතුවූ ගන්ධයද දෙපරිද්දෙකින් කියමි. සේවනය කටයුත්තද සේවනය නොකටයුත්තද යනුයි.“දේවෙන්ද්‍රය මම දිවෙන් රස විඳ දතයුතුවූ රසයද දෙපරිද්දකින් කියමි. සේවනය කටයුත්තද සේවනය නොකටයුත්තද යනුයි.“දේවෙන්ද්‍රය, මම ශරීරයෙන් ස්පර්ශ කොට දතයුතුවූ ස්පර්ශයද (පහසද) දෙපරිද්දකින් කියමි. සේවනය කටයුත්තද සේවනය නොකටයුත්තද යනුයි.“දේවෙන්ද්‍රය සිතෙන් පරීක්ෂාකොට බලා දතයුතුවූ ධර්මයද දෙපරිද්දකින් කියමි. සේවනය කටයුත්තද සේවනය නොකටයුත්තද යනුයයි” කීවාහුය.මෙසේ කී කල ශක්‍ර දෙවෙන්ද්‍ර තෙමේ භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය දැන්නුවේය. “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ විසින් කොටින් වදාරණලද මේ ධර්මයාගේ අර්ථය මම විස්තර වශයෙන් දනිමි. ස්වාමීන් වහන්ස, යම්බඳුවූ ඇසට පේන රූපයක් සේවනයකරන්නහුගේ අකුශල ධර්මයෝ වැඩෙත්ද කුසල ධර්මයෝ පිරිහෙත්ද, මෙබඳුවූ ඇසට පෙනෙන්නාවූ රූපය සේවනය නොකටයුතුයි. ස්වාමීනි, යම් බඳුවූ ඇසට පේන රූපයක් සේවනය කරන්නහුගේ අකුසල ධර්මයෝ පිරිහෙද්ද, කුසල ධර්මයෝ වැඩෙද්ද, මෙබඳුවූ ඇසට පේන රූපය සේවනය කටයුතුයි.“ස්වාමීනි, යම්බඳුවූ කණට ඇසෙන ශබ්දයක් සේවනය කරන්නහුගේද, ස්වාමීනි, යම්බඳුවු නාසයෙන් ගඳ සුවඳ විඳ දැනගන්නාවූ ගන්ධයක් සේවනය කරන්නහුගේද ස්වාමීනි, යම්බඳුවූ දිවට දැනෙන්නාවූ රසයක් සේවනය කරන්නහුගේ ද, ස්වාමීනි, යම් බදුවු ශරීරයට දැනෙන්නාවූ ස්පර්‍ශයක් සේවනය කරන්නහුගේද, ස්වාමීනි, යම්බඳුවූ සිතින් දැන ගන්නාවූ ධර්‍මයක් සේවනය කරන්නහුගේද, අකුසල ධර්‍මයෝ පිරිහෙත්ද, කුසල ධර්‍මයෝ වැඩෙත්ද, මෙබඳුවූ සිතින් දැනගන්නාවූ ධර්මය තෙමේ සේවනය කටයුතුයි. ස්වාමීන් වහන්ස, යම්බඳුවූ සිතින් දැනගන්නාවූ ධර්මයක් සේවනය කරන්නහුගේ අකුශල ධර්මයෝ පිරිහෙත්ද, කුසල ධර්මයෝ වැඩෙත්ද, මෙබඳුවූ සිතින් දැනගන්නාවූ ධර්මයෝ සේවනය කටයුතුයි.<“ස්වාමීනි, භාග්‍යවතුන්වහන්සේ විසින් කොටින් වදාරණ ලද මේ ධර්මයාගේ අර්ථ විස්තරයෙන් දන්නාවූ මා විසින් මෙහිදී භාග්‍යවතුන් වහන්සේගේ ප්‍රශ්න විසඳීම අසා සැකය දුරුකරනලදී කෙසේ කෙසේදැයි පැවති සැකය නැතිවීයයි” ප්‍රකාශ කෙළේය. මෙසේ මෙහි ශක්‍ර දෙවෙන්ද්‍රතෙමේ භාග්‍යවතුන් වහන්සේගේ වචනය සතුටින් පිළිගෙන අනුමෝදන්ව භාග්‍යවතුවන් වහන්සේගේ මත්තෙහිත් ප්‍රශ්නයක් ඇසුවේය.“සියලුම ශ්‍රමණ බ්‍රාහ්මණයෝ සමාන වාද ඇත්තාහුද? සමාන ඡන්ද ඇත්තාහුද? සමාන කෙළවර ඇත්තාහුද?” “ දෙවෙන්ද්‍රය, සියලු ශ්‍රමණ බ්‍රාහ්මණයෝම සමාන වාද ඇත්තෝද, සමාන ආචාර ඇත්තෝද, සමාන කෙළවර ඇත්තෝද, නොවෙත්මයයි” කීවාහුය.“නිදුකාණන් වහන්ස, කවර හෙයකින් සියලු ශ්‍රමණ බ්‍රාහ්මණයෝම සමාන වාද ඇත්තෝ සමාන ඡන්ද ඇත්තෝ, සමාන කෙළවර ඇත්තෝ නොවෙද්ද?”“දේවෙන්ද්‍රය, ලෝක සත්වතෙමේ අනේක අදහස් නොයෙක් අදහස් ඇත්තේමය. ඒ අනේක අදහස් නොයෙක් අදහස් ඇති ලෝකයෙහි සත්වයෝ යම් යම් අදහස් ගනිද්ද, ඒ ඒ අදහසම දැඩි සේ ගෙන යහපත් ලෙස ගෙන මේ අපගේ වචනයම සත්‍යයි අන්‍යයන්ගේ වචනය වරදයයි කියත්. එහෙයින් සියලුම ශ්‍රමණ බ්‍රාහ්මණයෝ සමානවාද ඇත්තෝද සමාන ලබ්ධි ඇත්තෝද සමාන කෙළවර ඇත්තෝද නොවෙත්යයි” කීවෝය.“නිදුකාණන් වහන්ස, සියලු ශ්‍රමණ බ්‍රාහ්මණයෝම විනාශය කෙළවර කිරීමක් ඇත්තෝද, විනාශය ඉක්ම වන්නාවූ සසර බැඳීම් සිඳින්නාවූ නිර්වාණය ඇත්තෝද, විනාශය කෙළවර කරන උතුම් හැසිරීම් ඇත්තෝද, නිත්‍යවූ අවසානයක් ඇත්තෝද?”“දෙවෙන්ද්‍රය, සියලු ශ්‍රමණ බ්‍රාහ්මණයෝ විනාශය ඉක්මවූ කෙළවරක් ඇත්තෝද, විනාශය ඉක්මවන්නාවූ සසර බැඳීම සිඳින්නාවූ නිර්වාණය ඇත්තෝද, විනාශය කෙළවර කරන උතුම් හැසිරීම ඇත්තෝ නිත්‍යවූ කෙළවර ඇත්තෝද නොවෙත්යයි” කීවාහුය “නිදුකාණන් වහන්ස, කවර හෙයින් සියලු මහණ බමුණෝ අත්‍යන්ත නිෂ්ඨා ඇත්තෝ අත්‍යන්ත යොගක්ෂෙම සංඛ්‍යාත නිර්වාණය ඇත්තෝ අත්‍යන්ත බඹසර ඇත්තෝ අත්‍යන්ත කෙළවර ඇත්තෝ නොවෙද්ද?’“දෙවෙන්ද්‍රය, යම් ඒ මහණ බමුණෝ තණ්හාව ක්ෂය කිරීමෙන් මිදුණාහු වෙද්ද, ඔව්හු අත්‍යන්ත නිෂ්ඨා ඇත්තෝ අත්‍යන්ත යොගක්ෂෙම ඇත්තෝ අත්‍යන්ත බඹසර ඇත්තෝ අත්‍යන්ත කෙළවර ඇත්තෝ වෙත්.‘එහෙයින් සියලු මහණ බමුණෝම අනිත්‍ය ඉක්මවූ නිෂ්ඨා ඇත්තෝ, අනිත්‍යය ඉක්මවූ යොගාක්ෂෙම ඇත්තෝ, අනිත්‍යය ඉක්මවූ බඹසර ඇත්තෝ, අනිත්‍ය ඉක්මවූ කෙළවර ඇත්තෝ නොවෙත්යයි” කීවාහුය.මෙසේ භාග්‍යවතුන් වහන්සේ ශක්‍ර දෙවෙන්ද්‍රයා විසින් අසනලද ප්‍රශ්නවලට උත්තර දුන්නෝය. සතුටු සිත් ඇත්තාවූ ශක්‍රදෙවෙන්ද්‍ර තෙමේ භාග්‍යවතුන් වහන්සේගේ වචනය සතුටින් පිළිගත්තේය. අනුමෝදන් විය. කෙසේද, “භාග්‍යවතුන් වහන්ස, ඒ එසේය සුගතයන් වහන්ස, ඒ එසේය. මෙහි භාග්‍යවතුන් වහන්සේගේ ප්‍රශ්න විසඳීම අසා, මාගේ සැකය දුරුවිය. කෙසේද කෙසේදැයි පැවති සැකය නැතිවූයේයයි” ප්‍රකාශ කෙළේය.මෙසේ මෙහි ශක්‍ර දෙවෙන්ද්‍ර තෙමේ භාග්‍යවතුන් වහන්සේගේ වචනය පිළිගෙන අනුමෝදන්ව භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය දැන්නුවේය. “ස්වාමීන් වහන්ස තෘෂ්ණාව රෝගයකි. තණ්හාව ගඩයකි. තණ්හාව උලකි. තණ්හාව මේ පුරුෂයා ඒ ඒ භවයාගේ ඉපදවීම පිණිස අදින්නේය එහෙයින් මේ පුරුෂයා උස් පහත් බවට පැමිණේ”‘ස්වාමීන් වහන්ස, යම්බඳුවූ ප්‍රශ්නයක් සම්බන්ධව මෙයින් පිට අන්‍යවූ ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගෙන් මම අවකාශ පාත්‍රයකුදු නොලද්දෙම්ද, බොහෝ කලක සිට පැවැත්තාවූ ඒ ප්‍රශ්නයෝ භාග්‍යවතුන් වහන්සේ විසින් මට ප්‍රකාශ කරන ලද්දාහ. මාගේ යම්බඳුවූ විචිකිච්ඡා සංඛ්‍යාත කෙසේ කෙසේ දැයි පැවති සැක නමැති හුලක් වූයේනම් භාග්‍යවතුන් වහන්සේ විසින් එයද උදුරන ලද්දේයයි” දැන්නුවේය“දේවෙන්ද්‍රය, මේ ප්‍රශ්න අන්‍යවූ මහණ බමුණන්ගෙන් ඇසුවෙහිදැයි ඔබ දන්නෙහිද?”“ස්වාමීන් වහන්ස, මේ ප්‍රශ්න අන්‍යවූ මහණ බමුණන් ගෙන් ඇසුවෙමියි, මම දනිමි.’“දේවෙන්ද්‍රය, කෙසේ නම් ඔව්හු ප්‍රකාශ කළාහුදැයි ඉදින් තොපට බරක් නොවේ නම් කියවයි” කීවාහුය.“ස්වාමීන් වහන්ස, යම් තැනෙක්හි භාග්‍යවතුන්වහන්සේ හෝ භාග්‍යවතුන් වහන්සේට සමාන ඇත්තෝ හෝ වන්නාහු නම් මට බරක් (අපහසුවක්) නැත”“දේවෙන්ද්‍රය, එසේ වීනම් කියවයි” ප්‍රකාශ කළෝය.“ස්වාමීන්වහන්ස, යම් මහණ බමුණන් වනවාසීහුයයි කියා හෝ ප්‍රාන්ත සේනාසන ඇත්තෝයයි කියා හෝ හඟිම්ද, මම ඔවුන් වෙත පැමිණ මේ ප්‍රශ්නයන් ඇසුයෙමි. මා විසින් අසන ලද්දාවූ ඔව්හු නොදනිත්. නොදන්නාවූ ඔව්හු මගෙන්ම ආපසු අසත්. ‘ආයුෂ්මත් තෙමේ කවර නම් ඇත්තේදැයි’ අසනලද මම ඔවුන්ට ‘නිදුකාණෙනි, මම ශක්‍ර දේවෙන්ද්‍රයයි’ ප්‍රකාශකරමි. ඔව්හු ‘ආයුෂ්මත් දේවෙන්ද්‍ර තෙමේ කවර කර්මයක්කොට මේ ස්ථානයට පැමිණියේදැයි’ මත්තෙහිත් අසත්. ඔවුන්ට මම අසනලද පරිදි ඉගෙනගන්නාලද පරිදි ධර්මය දෙසමි. ඔව්හු එපමණකින්ම සතුටු සිත් ඇත්තෝ වෙත්. කෙසේද, ‘අප විසින් ශක්‍ර දේවෙන්ද්‍රතෙමේ දක්නා ලද්දේය. අපි යමක් ඇසුවෙමු නම් එයද අපට ප්‍රකාශ කරන ලද්දේය’ කියායි ඔව්හු තුමූ මා ළඟට පැමිණෙත්. මම ඔවුන් ළඟට නොපැමිණියෙමි. ස්වාමීන් වහන්ස, මම වනාහි සෝවාන්වූ, අපායෙහි නොවැටෙන ස්වභාව ඇත්තාවූ නියතවූ රහත් බව පිහිටකොට ඇත්තාවූ බුද්ධ ශ්‍රාවකයෙක්මි

සොමනස්සපටිලාභකථා

“දේවෙන්ද්‍රය, මීටපෙර මෙවැනිවූ ප්‍රීතියක් ලැබීමක් සොම්නසක් ලැබීමක් දන්නෙහිදැයි’ ඇසූහ. “ස්වාමීන්වහන්ස, මෙයින් පෙර මෙබඳුවූ මෙවැනි ප්‍රිතියක් ලැබීමක් සොම්නසක් ලැබීමක් මම දනිමි.” “දේවෙන්ද්‍රය, මෙයින් පෙර මෙබඳුවූ ප්‍රීතියක් සොම්නසක් ලැබීමක් කෙසේ නම් දන්නෙහිද?”<ස්වාමීනි, පෙර කාලයෙහි දෙවියන්ගේ හා අසුරයන්ගේ යුද්ධයක් වූයේය. ස්වාමීනි, ඒ යුද්ධයේදී දෙවියෝ දිනූහ. අසුරයෝ පරාජය වූහ. ස්වාමීනි, ඒ විශෙෂයෙන් දිනනලද යුද්ධ ඇති ඒ මට මේ සිත විය, දැන් යම්බඳුවූ දිව්‍ය ඕජසක් වේද, යම්බඳුවූ අසුර ඕජසක්වේද, මේ දෙකොටසම දෙවියෝ පරිභොග කරන්නාහු යයි කියායි. ස්වාමීන්වහන්ස, යම්බඳුවූම මාගේ දඬුවම් සහිතවූ ආයුධ සහිතවූ ප්‍රීති ප්‍රතිලාභය හෝ සොම්නස් ප්‍රතිලාභය හෝ සසර කලකිරීම පිණිස නොපවතී. රාගය නැති කිරීම පිණිස නොපවතී. නිරොධය පිණිස නොපවතී. කෙලෙස් නැතිකිරීම පිණිස නොපවතී. සම්බෝධිය පිණිස නොපවතී. නිර්වාණය පිණිස නොපවතී. භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය අසා ලබන ලද්දාවූ ඒ දඬුවම් රහිතවූ ආයුධ රහිතවූ ප්‍රීති ප්‍රතිලාභය සොම්නස් ප්‍රතිලාභය ඒකාන්තයෙන් සසර කලකිරීම, පිණිස රාගය නැතිකිරීම පිණිස, නිරොධය පිණිස කෙලෙස් නැති කිරීම පිණිස, විශෙෂ අවබෝධය පිණිස, සම්බෝධිය පිණිස පවතීයයි” ප්‍රකාශ කෙළේය.“දේවෙන්ද්‍රය, ඔබ කිනම් කාරණයක් අර්ථ වශයෙන් දක්නේ මෙබඳුවූ තුෂ්ටි ප්‍රතිලාභයක් සොම්නස් ප්‍රතිලාභයක් විඳින්නෙහිදැයි” ඇසුවෝය.“ස්වාමීන්වහන්ස, මම කාරණා හයක්ම අර්ථ වශයෙන් දක්නේ මෙබඳුවූ තුෂ්ටි ප්‍රතිලාභයක්, සොම්නස් ප්‍රතිලාභයක් විඳිමි”යි ප්‍රකාශ කෙළේය. “මේ ස්ථානයෙහි සිට ගෙනම මා විසින් නැවත ජීවිතයද ලබනලදී. නිදුකාණන් වහන්ස, මෙසේ දැන වදාළ මැනවි.<“ස්වාමීනි, මේ ප්‍රථම කාරණය දක්නාවූ මම මෙබඳුවූ තුෂ්ටි ප්‍රතිලාභයක් හෝ සොම්නස් ප්‍රතිලාභයක් විඳිමියි” දැන්නුවෝය.”මම දිව්‍ය ලෝකයෙන් චුතවූයෙම්, සිහි මුළා නොවී මිනිස් ලොව යම්ක්ෂත්‍රියාදි කුලයෙහි සිත ඇලේනම් එහි ගර්භොත්පත්තියට පැමිණෙන්නෙමි.“ස්වාමීනි, මේ දෙවැනි කාරණය අර්ථ වශයෙන් දක්නාවූ මම මෙබඳුවූ තුෂ්ටි ප්‍රතිලාභයක්, සොම්නස් ප්‍රතිලාභයක් ලබමි. ඒ මම මුළා නොවන ප්‍රශ්න ඇත්තේ ශාසනයෙහි ඇලී වාසය කරමින් යහපත් ප්‍රඥා ඇත්තෙම්, සිහි ඇත්තෙම්. නුවණින් වාසය කරන්නෙමි.“ස්වාමීනි, මේ තුන්වැනි කාරණය අර්ථ වශයෙන් දක්නාවූ මම මෙබඳුවූ තුෂ්ටි ප්‍රතිලාභයක්, සොම්නස් ප්‍රතිලාභයක් ප්‍රකාශ කරමි.“න්‍යාය ක්‍රමයෙන් හැසිරෙන්නාවූ මට සම්බෝධිය සකෘදාගාමි මාර්ගය වන්නේ නම් දැනගනු කැමතිව වාසය කරන්නෙමි. එය මනුෂ්‍ය ලෝකයෙහි මාගේ කෙළවර වන්නේය”“ස්වාමීනි, මේ හතරවැනි කාරණය අර්ථ වශයෙන් දක්නෙම් මෙබඳුවූ තුෂ්ටි ප්‍රතිලාභයක්, සොම්නස් ප්‍රතිලාභයක් ප්‍රකාශ කරමි.“මම මනුෂ්‍ය ආයුෂ ගෙවා මනුෂ්‍ය ලෝකයෙන් චුත වන්නෙම් නැවත දිව්‍ය ලෝකයෙහි උතුම්වූ දෙවියෙක් වන්නෙමි.“ස්වාමීනි, මේ පස්වැනි කාරණය අර්ථ වශයෙන් දක්නාවූ මම මෙබඳුවූ තුෂ්ටි ප්‍රතිලාභයක්, සොම්නස් ප්‍රතිලාභයක් ප්‍රකාශ කරමි.“කීර්ති ඇත්තාවූ අතිශයින් ප්‍රනීතවූ අකනිටා බඹලොව වාසීවූ ප්‍රසිද්ධ දෙවියෝ වෙත්ද අන්තිම භවය පවත්නා කල්හි ඒ නිවාසස්ථානය වන්නේය’“ස්වාමීනි, මේ සවැනි කාරණය අර්ථ වශයෙන් දක්නාවූ මම මෙබඳුවූ තුෂ්ටි ප්‍රතිලාභයක් ප්‍රකාශ කරමි. ස්වාමීන් වහන්ස, මේ කාරණා හය දක්නාවූ මම මෙබඳුවූ තුෂ්ටි ප්‍රතිලාභයක්, සොම්නස් ප්‍රතිලාභයක් ප්‍රකාශ කරමි<නිම නොකරනලද මනෝරථ ඇත්තේ සැක ඇත්තේ කෙසේ කෙසේදැයි පැවැති සැක ඇත්තේ තථාගතයන් වහන්සේ යොයමින් බොහෝ කලක් හැසුරුනෙමි.“යම් ශ්‍රමණයන් විවේක විහරන ඇත්තවුන් කොට හඟිම්ද, සම්බුද්ධයයි සිතමින් උන්වහන්සේලා ආශ්‍රය කරන්ට යමි.“මාර්ගයෙහි හෝ ප්‍රතිපදාවන්හි කෙසේ සම්පාදනයවේද, කෙසේ අසම්පාදනය වේදැයි මෙසේ අසන ලද්දාවූ ඔව්හු සම්පාදනය කොට කියන්ට නොහැකි වෙත්.“අපගේ සමීපයට ශක්‍රතෙමේ පැමිණියේයයි ඔව්හු තුමූ යම් කලෙක්හි මා දැනගනීද, කිනම් කර්මයක් කොට ශක්‍ර බවට පැමුණුනෙහිදැයි ඔව්හු තුමූ මා විචාරත්. ඔවුන්ට ජනයා කෙරෙහි ප්‍රසිද්ධවූ ධර්මය ඇසූ පරිද්දෙන් මමද ප්‍රකාශ කරමි. එයින් අප විසින් ශක්‍රතෙමේ දක්නා ලද්දේයයි කියාද, ඔව්හු සතුටු සිත් ඇත්තෝ වෙත්.“යම් කලෙක්හි මම සැක දුරුකළාවූ බුදුරජාණන් වහන්සේ දුටුයෙම්ද ඒ මම අද සර්වඥයන් වහන්සේ ආශ්‍රය කොට පහවූ භය ඇත්තෙක් වෙමි. තණ්හාව නැමැති හුල නැසුවාවූ සමාන පුද්ගලයෙක් නැති හෙයින් අප්‍රති පුද්ගලවූ බුදුරජාණන් වහන්සේ මම වඳින්නෙමි. සූර්‍ය්‍ය බන්ධුවූ මහා වීරයන් වහන්සේ මම වඳිමි. නිදුකාණන් වහන්ස, දෙවියන් සමග බ්‍රහ්මයාට අපි යම් නමස්කාරයක් කෙළෙමුද, ඒ නමස්කාරය අද නුඹවහන්සේට කරමු. එබැවින් තුමූම නුඹ වහන්සේට නමස්කාර කරමු නුඹවන්සේම සම්බුද්ධ වෙහිය, නුඹවහන්සේ නිරුත්තරවූ ශාස්තෘය, දෙවියන් සහිත ලෝකයෙහි නුඹවහන්සේට ප්‍රති පුද්ගලයෙක් නැත්තේය.”
ඉක්බිති ශක්දෙව් තෙමේ පඤ්චසිඛ නම් ගන්ධර්ව පුත්‍රයාට කථාකර මෙසේ කීවේය. “දරුව පඤ්චසිඛය, තොප මට බොහෝ උපකාර ඇත්තෙහිය. යම් හේතුවකින් තොප භාග්‍යවතුන් වහන්සේ පළමුකොටම පැහැදෙව්වෙහිද එහෙයිනි, දරුව තා විසින් පළමුකොට පහදවන ලද අර්හත් සම්‍යක් සම්බුද්ධවූ භාග්‍යවතුන් වහන්සේ දැක්මට අපි පසුව එළඹියෙමු. ඒ අර්හත් සම්‍යක් සම්බුද්ධවූ භාග්‍යවතුන් වහන්සේ පිය තනතුරෙහි තබන්නෙමි. තොපි ගන්ධර්ව රාජ වන්නෙහිය. සූර්‍ය්‍ය මණ්ඩලයක් වැනි ශරීර කාන්තිය ඇති භද්‍රාවන්ද තොට දෙමි. ඕතොමෝ වනාහි තොප විසින් විශෙෂයෙන් පතන ලද්දීයයි” කීහ.
එවිට ශක්‍ර දේවෙන්ද්‍ර තෙමේ අතින් පෘථිවිය පිරිමැද තුන් යලක් ප්‍රීති වාක්‍ය කීවේය. කෙසේද? “ඒ භාග්‍යවත් අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේට නමස්කාර වේවා. ඒ භාග්‍යවත් අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේට නමස්කාර වේවා. ඒ භාග්‍යවත් අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේට නමස්කාර වේවා” කියායි.මේ ප්‍රශ්න විසදීම කරනු ලබන කල්හි ශක්‍ර දේවෙන්ද්‍රයාට රාගාදී කෙලෙස් රහිතවූ පහවූ කෙලෙස් මල ඇති ධර්ම ඇස උපන්නේය, කෙසේද ‘සමුදය ස්වභාවවූ යම් කිසිවක් වේනම්, ඒ සියල්ලම නැතිවීම ස්වභාව කොට ඇත්තේය යනුවෙනි’ අන්‍යවූ අසූදහසක් දේවතාවන්ටද මෙසේ ධර්ම ඇස උපන්නේය. මෙසේ මෙහි ශක්‍ර දේවෙන්ද්‍රයන් විසින් ආරාධනා කරණ ලද්දාවූ යම් ප්‍රශ්නයෝ අසන ලද්දාහුද භාග්‍යවතුන් වහන්සේ විසින් ඒ ප්‍රශ්නයෝ විසඳන ලද්දාහුය. එහෙයින් මේ ධර්මයට සක්කපඤ්හයයි කියාම නාමය වූයේය.

DankandeDhamma

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.