§ AN 01-08-01 කල්‍යාණමිත්ත සූත්‍රය
“මහණෙනි, කල්‍යාණ මිත්‍රතාව (යහපත් මිතුරන් ඇතිබව) හේතුකොටගෙණ නූපන් කුශලධර්‍මයෝ උපදිත්, උපන්නාවූ අකුශල ධර්මයෝත් පිරිහෙත්, මහණෙනි නූපන්නාවූ කුශලධර්‍මයෝ උපදන්නට , උපන්නාවූ අකුශල ධර්මයෝ මැඩලන්නටත් හේතුවන කල්යාන මිත්‍රතාව වැනිවූ අන් එක ධර්මයකුදු මම නොදකිමි.
මහණෙනි, කල්‍යාණමිත්‍රයන් ඇත්තාහට නූපන්නාවූ කුශලධර්මයෝත් උපදිත්, උපන්නාවූ අකුශල ධර්මයෝත් පිරිහෙත්.”
§ AN 01-08-02 අකුසලානුයොග සූත්‍රය
“මහණෙනි, අකුශල ධර්මයන්හි යෙදීම හා කුශලධර්මයන්හි නොයෙදීම නිසා නූපන් අකුශල ධර්මයෝ උපදිත්. උපන්නාවූ කුශලධර්මයෝත් පිරිහෙත්, මහණෙනි, නූපන් අකුශල ධර්මයන් උපදින්නට සහ උපන්නාවූ කුශලධර්‍මයෝ පිරිහීමට පත් කරන්නට, අකුශල ධර්මයන්හි යෙදීම තරම් හේතු වෙන අන් එක ධර්මයකුදු මම නොදකිමි.
මහණෙනි, අකුශල ධර්මයන්හි යෙදීමෙන්ද කුශල ධර්මයන්හි නොයෙදීමෙන්ද, නූපන් අකුශල ධර්මයෝත් උපදිත්, උපන්නාවූ කුශලධර්මයෝත් පිරිහෙත්.”
§ AN 01-08-03 -කුසලානුයොග සූත්‍රය
“මහණෙනි, කුශල ධර්මයන්හි යෙදීම හා අකුශලධර්මයන්හි නොයෙදීම නිසා නූපන් කුශල ධර්මයෝත් උපදිත් , උපන් අකුශල ධර්මයෝත් පිරිහෙත්, මහණෙනි, නූපන්නාවූ කුශලධර්‍මයෝ උපදන්නට , උපන්නාවූ අකුශල ධර්මයෝ මැඩලන්නටත් හේතුවන මේ වැනිවූ අන් එක ධර්මයකුදු මම නොදකිමි.
මහණෙනි, කුශලධර්මයන්හි යෙදීමෙන් හා අකුශල ධර්මයන්හි නොයෙදීමෙන් (පෙර) නූපන් කුශල ධර්මයෝත් උපදිත්, උපන්නාවූ අකුශල ධර්මයෝත් පිරිහෙත්.
§ AN 01-08-04 බොජ්ඣංගඅනුප්පාද සූත්‍රය
“මහණෙනි, නුවණින් මෙනෙහි නොකිරීම (අයෝනිසෝ මනසිකාරය) කරණකොට ගෙණ නූපන් බොජ්ඣංග ධර්මයෝ (ඥානයට කරුණුවන ධර්මයෝත්) නූපදිත්, උපන්නාවූ බොජ්ඣංග ධර්මයෝ සම්පූර්ණ භාවයට නොයෙත්.
මහණෙනි, නුපන් බොජ්ඣංග ධර්මයෝ (ඥානයට කරුණුවන ධර්මයෝ) නූපදින්නට , උපන්නාවූ බොජ්ඣංග ධර්මයෝ දියුණු නොවීමටත් , හේතුවන අයෝනිසෝ මනසිකාරය වැනිවූ අන් එක ධර්මයකුදු මම නොදකිමි.
මහණෙනි, නුවණින් මෙනෙහි නොකරන්නා තුළ නූපන් බොජ්ඣංග ධර්මයෝ නූපදිත්, උපන්නාවූ බොජ්ඣංග ධර්මයෝ වැඩීමට සම්පූර්ණ බවට නොයෙත්.”
§ AN 01-08-05 බොජ්ඣංගුප්පාද සූත්‍රය
“මහණෙනි, නුවණින් මෙනෙහි කිරීම (යෝනිසෝ මනසිකාරය) කරණකොට ගෙණ නූපන් බොජ්ඣංග ධර්මයෝ උපදිත්, උපන්නාවූ බොජ්ඣංගධර්මයෝ වැඩීමෙන් සම්පූර්ණභාවයට යෙත්,
මහණෙනි, නූපන් බොජ්ඣංග ධර්මයෝ උපදවාගන්නටත්, උපන්නාවූ බොජ්ඣංගධර්මයෝ වැඩීමෙන් සම්පූර්ණ කරගන්නටත්, යොනිසෝ මනසිකාරය වැනිවූ අන් එක ධර්මයකුදු මම නොදකිමි.
මහණෙනි, නුවණින් මෙනෙහි කරන්නාහට නූපන්නාවූ බොජ්ඣංග ධර්මයෝත් උපදිත්. උපන්නාවූ බොජ්ඣංගධර්මයෝත් වැඩීමෙන් සම්පූර්ණවීමට යෙත්.”
§ AN 01-08-06 ඤාතිපරිහානි සූත්‍රය
“මහණෙනි, නෑයන්ගේ පිරිහීමක් වේද, මේ පිරිහීම සුලුවේ.
මහණෙනි, ප්‍රඥාවේ යම් පිරිහීමක් වේද, පිරිහීම් අතුරින් මේ ප්‍රඥාවගේ පිරිහීම විශාලය.
§ AN 01-08-07 ඤාතිවුද්ධි සූත්‍රය
“මහණෙනි, නෑයන්ගේ යම් වැඩීමක් දියුණුවක් වේද, ඒ වැඩීම සුලුවේ. මහණෙනි, ප්‍රඥාවේ යම් වැඩීමක් වේද, වැඩීම් අතුරෙන් මේ ප්‍රඥා වැඩීම ශ්‍රෙෂ්ඨවේ.
“මහණෙනි, එහෙයින් මේ කාරණයෙහි මෙසේ හික්මිය යුතුයි. (කෙසේදයත්) ‘අපි ප්‍රඥාව වැඩීමෙන් වැඩෙන්නෙමුයි’ කියායි. මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතුයි”
§ AN 01-08-08 භොගපරිහානි සූත්‍රය
“මහණෙනි, යමෙකුගේ සම්පත් පිරිහීමක් වේද, ඒ පිරිහීම සුලුවේ.
මහණෙනි, පිරිහීම් අතුරෙන් ප්‍රඥාව යම් පිරිහීමක් වේද මෙය පිරිහීම් අතුරෙන් ඉතා විශාල පිරිහීමම වන්නේය.”
§ AN 01-08-09 භෝගවුද්ධි සූත්‍රය
“මහණෙනි, ධන සම්පත්තියෙන් යම් වැඩීමක් වේද, ඒ වැඩීම සුලුවේ.
මහණෙනි, වැඩීම් අතුරෙන් ප්‍රඥාවේ වැඩීමක්වේද, ඒ වැඩීම අග්‍රය.
මහණෙනි එහෙයින් මෙහිලා තොප විසින් මෙසේ හික්මිය යුතුයි. ‘ප්‍රඥාව වැඩීමෙන් වැඩෙන්නෙමුයි’ කියායි මහණෙනි, තොප විසින් මෙසේම හික්මිය යුතුයි.”
§ AN 01-08-10 යසොපරිහානි සූත්‍රය
“මහණෙනි, යසසෙහි (කීර්තියෙහි හා පිරිවරෙහි) යම් පිරිහීමක්වේද, ඒ පිරිහීම සුලුවේ.
මහණෙනි, ප්‍රඥාවෙහි යම් පිරිහීමක් වේද, පිරිහීම් අතුරෙන් ඒ විශාලය..
