MN-02-04-10-ධම්ම චේතිය සුත්‍රය

පුජ්‍යය අක්මීමන ධර්මපාල හිමියන් කුලියාපිටියේදී කල සුත්‍රන්ත ධර්ම දේශනාව.

Image result for buddhist monks in a park

§ 1. මා විසින් මෙසේ අසනලදී.
එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ ශාක්‍යජනපදයෙහි ‘මෙකලුප’නම් නියම් ගම වැඩ වෙසෙති.

§ 2.  එකල්හි පසෙනදි කොසොල්රජ කිසියම් කටයුත්තක් සඳහා නගරක් නම් නියම් ගමට පැමිණියේ වෙයි. කොසොල් රජ දීඝකාරායණ* නම් සිය සේනාපතියාට කථාකළේය. [දීඝ කාරායන බන්දුල නම් මලල වංශික සේනාපතියාගේ බෑනා ය. කෝසල රජුගේ  හමුදා පාලකයාව සිටි ඔහුද ඔහුගේ පුතුන්    තිස් දෙදෙනෙක්වද පසේනදී කෝසල රජු විසින් මරවන ලද්දේය. ඉන් පසුව සේනාපති ලෙස බන්දුලගේ බෑණා වූ දීඝ කාරායන පත් කළේය. දීඝ කාරායන පසේ නදී කෝසල රජු හා වෛරවී සිටියේ රජුගේ පුත් විධුභ කුමරුට කිරුල ගෙනදීමට රජු නෙරපවීය.]

“මිත්‍ර කාරායණය, යහපත් යහපත් යානාවන් පිළියෙල කරව. උයන් සිරි දකිනු පිණිස උයනට යන්නට කැමැත්තෙමු”යි කීය.

 “දෙවයන් වහන්ස, එසේයයි” දීඝ කාරායණතෙම පසෙනදි කොසොල් රජහට උත්තරදී, යහපත් ලෙස යානාවන් පිළියෙලකොට  “දෙවයන් වහන්ස,  යානා පිළියෙල කරන ලදහ. ඔබ වහන්සේ  අදහස්  ආකාරයට ගමන් කරන්නට  දැන් කාලයයි” යැයි දැන්වීය.

§ 3.  එවිට පසෙනදි කොසොල් රජ පිළියෙළ කල යානාවට නැග තවත් පිරිස් සහිතවූු යානා පිරිවරා රාජශ්‍රීයෙන් සැරසී නගරයෙන් පිටත්ව රාජ්‍ය උද්‍යානය වෙත යන්නේ  යානාවෙන් යා හැකි තැන දක්වා යානාවෙන් ගොස් යානාවෙන් බැස පයින්ම උයනට ඇතුල්විය.

tree-roots

§ 4. උයනෙහි  ඇවිද යන්නාවූ  පසෙනදි කොසොල් රජ මිනිස් හඬක් නොඇසෙන නිසංසල උයනේ විශාල මුල් පැතිර පවත්නා මහා වෘක්ෂ පෙළක් දැක ඒ දර්ශනයෙන් ඉතා සැනසීමට විවේකයට නැමුණු සිත් ඇත්තේ භාග්‍යවතුන් වහන්සේද මෙවැනි පරිසරවලම වැඩ වාසය කරන බව සිහි වුයේය.

ඉක්බිති පසේනදී කොසොල් රජ දීඝකාරායණට කථා කෙළේය. “යහළු කාරායණය, මිනිස් කටහඬින් හිස් වූ, ඉතා කන්කලුවූ , මේ විසාල මුල් සහිත වෘක්ෂයන් ගැවසී මේ උයන ට ආ විට මට ඒ භාග්‍යවත් අර්හත් සම්‍යක් සම්බුදු රජාණන් වහන්සේ දකින්නට ගිය සැටි මතක් විය. කාරායනය, මේ දිනවල ඒ භාග්‍යවත් අර්හත් සම්‍යක් සම්බුදු රජාණන් වහන්සේ කිනම් තැනක වැඩ ඉන්නේදැයි දන්නේද?” යි ඇසීය.

§ 5.   “මහරජ, මේදලම්පා නම් ශාක්‍යයන්ගේ නියම් ගමෙක් වෙයි.
“ඒ භාග්‍යවත් අර්හත් සම්‍යක් සම්බුදු රජාණන් වහන්සේ දැන් එහි වැඩ වෙසෙති”යි, කීය.
“යහලු කාරායණය, ඒ නියම්ගම මෙහි සිට කෙතෙක් දුරෙහි දැ”යි ඇසීය.
“මහරජ, වැඩි දුරක නොවෙයි. තුන්යොදුනකි. [සැතප්ම විස්සක් පමණ] අප දැන් පිටත් වුනොත් සවස් වන්නට පෙර එහි යා හැකි 
” යයි කීය.

“යහළු කාරායණය, එසේනම් යානාවන් පිළියෙල කරව. අපි ඒ භාග්‍යවත් අර්හත් සම්‍යක් සම්බුදු රජාණන් වහන්සේ දකිණ පිණිස යමු”යි කීය.

§ 6.  ඉක්බිති පසෙනදි කොසොල් රජ පිළියෙළ කරන ලද රථයට නැගී අනෙක් පරිවාරක රථ පිරිවරාගෙනම නාගරක නුවර සිට මෙදලුම්පා නියම්ගම වෙත ගමන් කලේ දවල් කාලයේදීම භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටිනා  ආරාමයට පැමිණියේය.  එකල්හි බොහෝ භික්ෂූහු එළිමහනෙහි සක්මන් කෙරෙති.  පසෙනදී කොසොල් රජ ඒ භික්ෂූහු ගෙන්  “ස්වාමීනි, ඒ භාග්‍යවත් අර්හත් සම්‍යක් සම්බුදුරජාණන් වහන්සේ දැන් කොහි වෙසෙත්ද, අපි ඒ භාග්‍යවත් අර්හත් සම්‍යක් සම්බුදුරජාණන් වහන්සේ දකිනු කැමැත්තෙමුයි” කීය.

  “මහරජ, ඒ දොර වසා තිබෙන්නේ භාග්‍යවතුන් වහන්සේ සිටිනා ගඳ කිලිය වෙයි. ඔබ  නිශ්ශබ්දව එහි ගොස්  ආලින්දයට  (පිලට) ගොඩවී  ඇතුල්ව ඔබ එහි ආ බව හැඟවීමට උගුර පාදන ශබ්දයක් කොට වසා ඇති දොර  අගුල සමීපයට තට්ටු කරව. භාග්‍යවතුන් වහන්සේ ඔබට දොර අරිතියි කීහ. ඉක්බිති පසෙනදි කොසොල් රජ සිය  කඩුවද, ඔටුන්නද, එහිදීම දීඝකාරායණහට දුන්නේ ඔහුට එතැන නතරව ඉන්නට දන්වා සෙමින් සෙමින් භාග්‍යවතුන් වහන්සේ ගේ ගඳ කිලිය දෙසට පිය නැගීය.

§ 7.  [එවිට  දීඝ කාරායනහට මෙසේ සිත්විය. ‘මේ පසේනදී කොසොල් රජ, මගේ මයිලනුවන් සහ ඥාති සොහොයුරන් තිස් දෙදෙනා අල්වා මරා දමන්නට කලින්ද මෙසේ පැමිණ  ශ්‍රමණ ගෞතමයන් සමග රහස් කථාබහක යෙදුනු බව ඇසීමි. දැන් මෙසේ යලිත් මා සමග පැමිණ ශ්‍රමණ භවත් ගෞතමයන් සමග රහස් සාකච්චාවක යෙදෙන්නේ අද මා අල්වා මරන්නට උපදෙස් ගන්නට විය යුතුයැයි” සිතා රජුගේ අසිපතද ඔටුන්නද ගෙන  ආරාම මෙන් ඉකුත් ව රජු ට එක් පරිවාර ස්ත්‍රියක් සහ එක් අශ්වයෙක් පමණක් ඉතිරි කොට, රජු ආ රථයද සියළු පරිවාර හමුදාවද සියළු රථද කැටුව අගනුවර කරා ගියේය. එහිදී රජුගේ පුත් විදුධාභ නව රජු ලෙස කිරුළු පැලෑන්දවුවේය.] 

§ 8. මේ අතර පසේ නදී කෝසල රජ භාග්‍යවතුන් වහන්සේ ගේ ගඳ කිලිය වෙත පැමිණ සෙමින් පිලට ඇතුල්ව උගුර  පාදා ශබ්ද කොට දොර අගුල සමීපයට තට්ටු කෙළේය. භාග්‍යවතුන් වහන්සේ දොර ඇරිසේක. එවිට පසෙනදි කොසොල් රජ විහාරයට ඇතුල්ව භාග්‍යවතුන් වහන්සේගේ පාමුල වැතිර, ශ්‍රී පා  ලඟ හිස තබා මුඛයෙන් පා සිඹීමද කරයි. දෙඅතින් පිරිමැදීමද කරයි. ‘ස්වාමීනි, මම පසෙනදි කොසොල් රජ වෙමි.” කියා සිය  නමද කියයි.

“මහරජ, නුඹ කෙබඳුවූ හේතුවක් නිසා මෙසේ මේ  ශරීරයට මෙතරම් බලවත් ගෞරවයක් කෙරෙහිද, බුහුමන් කිරීමක් දක්වන්නෙහිදැයි” ඇසූහ.

§ 9. “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ සම්‍යක් සම්බුද්ධය, භාග්‍යවතුන් වහන්සේ විසින් වදාළ ධර්මය ස්වාක්ඛ්‍යාය (මනාකොට දෙශනා කරන ලද්දකි.) භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝතෙමේ සුප්‍රතිපන්නය (මනා කොට පිළිපදින ලද්දේය.) කියා භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි පවත්නා අනුබුද්ධියෙක් ඇත්තේ (කාරණයන්ට අනුව දැනීමක්) යයි” කීය.

§ 10.  “ස්වාමීනි, මම දන්නා  ඇතැම් මහණ බමුණන්  දසවසක් හෝ විසිවසක් හෝ තිස්වසක් හෝ හතළිස් වසක් හෝ සීමිත වූ කාලයක තවුස් දම් පුරති.  බ්‍රහ්මචර්යාවෙහි හැසිරෙති. ඒ කාලයෙන් පසුව  ඔවුහු කෙස් රැවුල් බා,  හොඳින් නහා, මොනවට සුවඳ විලවුන් ඇඟ ගැල්වූවාහු, අන්දම් තබා සැරසූ කෙස් රැවුල් ඇත්තෝව, පස්කම් සැපයෙන්  ඉඳුරන් පිනවන්නාහ.

එනමුත් ස්වාමීනි,  මේ ශාසනයෙහි ඔබ වහන්සේගේ ශ්‍රාවක භික්ෂුන් සිය  දිවි ඇතිතෙක් මරණය දක්වා සම්පූර්ණ පිරිසිදු බ්‍රහ්මචර්යාවෙහි හැසිරෙන සැටි මම දකිමි.  ස්වාමීනි, මම මේ ශාසනයෙන් පිට මෙසේ සම්පූර්ණවූද පිරිසිදු වුද , අනික් බ්‍රහ්මචරියාවක් නොදකිමි.

ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ සම්මා සම්බුද්ධය, ඔබ වහන්සේ වදාළ ශ්‍රී සදධර්මය  මොනවට දෙශිතය. ඔබ වහන්සේ නිසා ශ්‍රමණ ජීවිතය ගෙවන සංඝයා  සුප්‍රතිපන්නිය කියා භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මාගේ කාරණානුකූල වශයෙන් දැනීමක් වෙන්නට එයද හේතුවක් වෙයි .

§ 11.  එලෙසම ස්වාමීනි, නැවත අන් කරුණක් කියමි.  රජහු රජුන් සමග කලහ කෙරෙති. ක්ෂත්‍රියෝද, ක්ෂත්‍රියන් සමග කලහ කෙරෙති. බමුණෝද, බමුණන් සමග කළහ කෙරෙති. ගෘහපතියෝද, ගෘහපතියන් සමග කලහ කෙරෙති. මව්ද පුතා සමග කලහ කෙරෙති. පුතාද මව් සමග කලහ කෙරෙයි. පියාද පුතු සමග කලහ කෙරෙයි. පුතාද, පියා සමග කලහ කෙරෙයි. සොහොයුරාද සොහොයුරා සමග කලහ කෙරෙයි. සොහොයුරාද සොහොයුරිය සමග කලහ කෙරෙයි. සොහොයුරීද සොහොයුරා සමග කලහ කෙරෙයි.  මිත්‍රයා  මිත්‍රයා සමග කලහ කෙරෙයි. [සිහනාද  සුත්‍රයේ දැක්වෙන්නේ මේ කළහ වලට හේතුව පංච කාමයන් බවය.]

එනමුත්  මේ සස්නෙහි භික්ෂූන් සියල්ලෝ  සමගිව, සතුටුව, කලහ රහිතව කිරිත් වතුරත් මෙන් එක්වුවාහු ඔවුනොවුන් ප්‍රිය මුහුණින් බලන්නෝව වෙසෙති. ස්වාමීනි, මම මේ ශාසනයෙන් පිටත මෙලෙස සමගිවූ අන් ශ්‍රමණ පිරිසක් නොදකිමි.

ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ සම්මා සම්බුද්ධය, ඔබ වහන්සේ වදාළ ශ්‍රී සදධර්මය  මොනවට දෙශිතය. ඔබ වහන්සේ නිසා ශ්‍රමණ ජීවිතය ගෙවන සංඝයා  සුප්‍රතිපන්නිය කියා භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මාගේ කාරණානුකූල වශයෙන් දැනීමක් වෙන්නට මෙයද හේතුවක් වෙයි ..

§ 12. “ එලෙසම ස්වාමීනි, නැවත අන් කරුණක් කියමි.
මම ආරාමයෙන් ආරාමයට උයනෙන් උයනට ගොස් ඇත්තෙමි. ඒ ඒ තැන්වල තවුස් දම් පුරනා බොහෝ 
මහණ බමුණන් දැක ඇත්තෙමි. ඔවුන් සියල්ලෝ ඉතා අරූපී, කාලකන්නි පෙනුම් ඇති, අත් පා වල නහර වැල් මතුවී ඇති,  වරක් දුටු විට නැවත දකින්නට සිත් නොදෙන තරම් අසොභන මුහුණු සරීර ඇති අය වුහ. “මේ ආයුෂ්මත් තවුසන් මහණුන් බමුණන්, අකමැත්තෙන් මේ තවුස් දම් පුරති, නොඑසේ නම් ඔවුන් විසින් කරන ලද පාපයක් නිසා මෙසේ දකින්නට පවා නොසිතෙන තරම් අවලස්සනව සිටිත්” යැයි මම සිතුවෙමි. එසේ සිතු මම මෙසේ ආයුෂ්මතුන් වහන්සේලේ පාණ්ඩු රෝගීන් මෙන් දකින්නට අප්‍රිය සිරුරු දරන්නේ මන්දැ” යි මා ඇසුවිට “රජතුමනි, ඒ අපේ පරම්පරාවේ රෝගයක්  නිසා යැයි ඔවුහු කියති.

“එනමුත්  ස්වාමීනි, මම ඔබ වහන්සෙගේ ශ්‍රාවකයන් වූ මේ ශාසනයෙහි භික්ෂුන් නිතර සිනා මුහුණින් යුතුව, සතුටුව ඔද වැඩි වැඩී සිත් ඇතිව, පිනාගිය ඉඳුරන් ඇතිව, කටයුතු බහුල නැතිව, අනුන්දෙන දෙයින් යැපෙමින්, වනයේ නිදහසින් හැසිරෙන  මුවන්ට සමාන සිත් ඇතිව වාසය කරති. එසේ ඉන්නා සංඝයා දකින මම  “ ඒකාන්තයෙන් මේ ආයුෂ්මත්හු  භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයෙහි පළමුවද, පසුවද දතයුතුවූ උත්තම තත්වයනට පත්ව ඉන්නා හෝ පත්වන්නාවූ අය වෙති.”යැයි  සිතමි.

ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ සම්මා සම්බුද්ධය, ඔබ වහන්සේ වදාළ ශ්‍රී සදධර්මය  මොනවට දෙශිතය. ඔබ වහන්සේ නිසා ශ්‍රමණ ජීවිතය ගෙවන සංඝයා  සුප්‍රතිපන්නිය කියා භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මාගේ කාරණානුකූල වශයෙන් දැනීමක් වෙන්නට එයද හේතුවක් වෙයි .

§ 13 . “ එලෙසම ස්වාමීනි, නැවත අන් කරුණක් කියමි.
ස්වාමීනි, නැවත අනිකක්ද කියමි. ඔටුණු පැළඳි  රජෙක්වූ මම මේ අපරාධය කල මනුෂ්‍යයාට මරණ දඩුවම දිය යුතු යයිද, මේ වරද කල් මනුෂ්‍යයා රටින් පිටුවහල් කල යුතු යැයිද, මේ වරද කල් මනුෂ්‍යයාට මෙතරම් දඩ මුදලක් ගෙවන්නට නියම කල යුතු යයිද  පණවමි. එසේ මා විනිශ්චය පමුණුවන ආසනයේ හිඳ නඩු විමසන විටද සමහර අය නොඅදාළ කරුණු මට කියන්නට එති. වෙනත් දේ ගැන මට කථා කරති. “මම විනිශ්චය ආසනයේ හිඳ නඩු විසඳන විට මා හා කථා කරන්නට මට කරදර කරන්නට එපා” යැයි කීවද මට ඔවුන් නැවැත්වීමට නොහැකි වෙයි,  ස්වාමීනි, ඒ මට අතරින් අතර කතා කෙරෙති.
“ස්වාමීනි. එනමුත් 
භාග්‍යවතුන් වහන්සේ නොයෙක් සිය ගණන් පිරිසකට දහම් දෙසත්ද, එකල්හි භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයන් කිඹිසින ශබ්දයක් හෝ උගුර පාදන ශබ්දයක් හෝ නොකොට ඔබ වහන්සේට සවන් දෙති. එක් දිනෙක ඔබ වහන්සේ ධර්ම දේශනාවක් කරන විට එක් භික්ෂුවක් එක් වරක් කැස්සේය. එවිට ඔහු අසල සිටි තවත් භික්ෂුවක් “ආයුෂ්මත්නි ශබ්ද නොකරනු  භාග්‍යවත් ශාස්තෘන් වහන්සේ අපහට ධර්මය දෙශනා කරන්නාහු”යයි, ඔහුට දනින් ඇන්නේය.  

“ස්වාමීනි, එය දුටු මට මේ සිත ඇතිවිය. ‘පින්වත්නි, ඒකාන්තයෙන් ආශ්චර්යය. පින්වත්නි, ඒකාන්තයෙන් පුදුමය. පින්වත්නි, ඒකාන්තයෙන් දණ්ඩෙන් ආයුධයෙන් තොරව මෙතරම් හික්මුණු පිරිසක් වන්නේය, කියාය. ස්වාමීනි, මම  මේ ශාසනයෙන් පිට මෙසේ හික්මුණු අන් පිරිසක් නොදකිමි.
“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ සම්මා සම්බුද්ධය, ඔබ වහන්සේ වදාළ ශ්‍රී සදධර්මය  මොනවට දෙශිතය. ඔබ වහන්සේ නිසා ශ්‍රමණ ජීවිතය ගෙවන සංඝයා  සුප්‍රතිපන්නිය කියා භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මාගේ කාරණානුකූල වශයෙන් දැනීමක් වෙන්නට එයද හේතුවක් වෙයි.”


§ 14. – § 17.  එලෙසම ස්වාමීනි, නැවත අන් කරුණක් කියමි. .
වාදයෙහි දක්ෂ වූ  සියුම් නුවණ ඇති පුරුදු කළ සියුම් අස් ලෝමයක් ඊ යක් විද දෙපළු කරනවා සේ 
අන්‍යයන්ගේ මතය බිඳ ලන්නට සමත් (§14) ක්ෂත්‍රිය, (§15)  බ්‍රාහ්මණ , (§16) ගිහි, (§17) ශ්‍රමණ   පණ්ඩිතයෝ සිටිත්.  ශ්‍රමණ භවත් ගෞතමයන්   අසවල් ගමට හෝ නියම් ගමට හෝ පැමිණෙන්නේයයි අසන ඔවුහු අපි ශ්‍රමණ ගෞතමයන් කරා ගොස්  මේ ප්‍රශ්නය අසමු. මෙසේ අසනලද  කල ශ්‍රමණ ගෞතමයන්  මෙසේ විසඳන්නේය.  එවිට අපි ඔහුට මෙසේ  වාදය නගන්නෙමි” යැයි  ප්‍රශ්න සුදානම් කරගෙන විත් භාග්‍යවතුන් වහන්සේ එසේ ඒ ගමට ආ විට එහි එති. භාග්‍යවතුන් වහන්සේ  ඔවුන්ව  ධර්ම කථාවෙන් අවබොධ කරවත්. සමාදන් කරවයි. සිත් තියුණු කරවත්. පහදවත්. ධර්ම කථාවෙන් කරුණු දක්වනලද සමාදන් කරවනලද සිත් තියුණු කරනලද පහදවනලද ඔව්හු භාග්‍යවතුන් වහන්සේගෙන් තමන් සුදානම් කරගෙන ආ ප්‍රශ්න නො අසත්. වාද නැගීමක් කෙසේ කරත්ද? ඔවුහු භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයට එරෙහිව තර්ක කරනු වෙනුවට ඔබ වහන්සේගේ සාසනයේ පැවිදි බව ඉල්ලා සිටිති. ඒකාන්තයෙන් භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක බවට පැමිණෙත්. එසේ සාසනයට වන් ඒ ක්ෂත්රියයෝද, බ්‍රාහ්මණයෝද, ගිහියොදා, අන්‍ය ලබ්ධි දැරූ ශ්‍රමනයෝද  එසේ පැවිදිවූවෝම තනිව වෙන්ව අප්‍රමාදව කෙලෙස් නසන වීර්ය ඇතිව අත්හරින ලද  ආශාව ඇතිව පිළිවෙත් පුරන්නේ  නොබෝ දවසකින්ම, යම් අර්ථයක් පිණිස කුලපුත්‍රයෝ ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වෙත්ද, මාර්ග බ්‍රහ්මචර්යාව අවසන්කොට ඇති ඒ උත්තම අර්හත් ඵලය මේ අත්බැව්හිම තමාගේම විශෙෂ ඥානයෙන් දැන ප්‍රත්‍යක්ෂකොට ඊට පැමිණ වෙසෙති. ඔබ වහන්සේගේ මග පෙන්වීමෙන් විමුක්තිය ලබති. 

“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ සම්මා සම්බුද්ධය, ඔබ වහන්සේ වදාළ ශ්‍රී සදධර්මය  මොනවට දෙශිතය. ඔබ වහන්සේ නිසා ශ්‍රමණ ජීවිතය ගෙවන සංඝයා  සුප්‍රතිපන්නිය කියා භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මාගේ කාරණානුකූල වශයෙන් දැනීමක් වෙන්නට එයද හේතුවක් වෙයි.”

§ 18 .  එලෙසම ස්වාමීනි, නැවත අන් කරුණක් කියමි.  
ඉසිදත්තය,  පුරාණය යන අය බදු නිලධාරීන්  දෙදෙනෙක් මා සේවයේ යොදවමි.  [මේ දෙදෙනාම මේ ජීවිතයේදීම 
අනාගාමි ඵලයට පැමිණි බව අංගුත්තර නිකායේ චකඛ නිපාතයෙහි සුත්‍රයක් දැක්වේ.] ඔවුන්  මාගේ බතින් යැපෙන මාගේ යානාවෙන් ගමන් කරන්නෝ වෙති. ඔවුන්ගේ ජීවිකා වෘත්තිය දුන්නේද, ඔවුන් එසේ  යසසට පැමිණවූයේද, මම (වෙමි.) එනමුදු ඔවුන්  භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි යම්බඳු ගෞරව ආදර භක්තියෙක් වේද මා කෙරෙහි එබඳු ගෞරව ආදර භක්තියෙක් නැත.

“ස්වාමීනි, මම පෙර දවසක් සෙනා සන්නද්ධව ඈත නියම්ගමක කැරැල්ලක් මැඩලන්නට ගියෙමි. එදා රාත්‍රී නිසි වාසස්ථානයක් සොයාගත නොහී මේ ඉසිදත්තය, පුරාණය – යන මොවුන් දෙදෙනාද මමද එක් කුඩා කාමරයම රෑ ගෙවීමු. ස්වාමීනි, මේ ඉසිදත්ත පුරාණය දෙදෙනා රාත්‍රි බොහෝ වේලාවක් දහම් කතාවෙන් කල්ගෙවා අනතුරුව  භාග්‍යවතුන් වහන්සේ කුමන දිසාවක අද ඉන්නේදැයි  දෑන  ඒ දිශාවට හිස එලලා,  මා සිටින  දිශාවට පා දමා නිදාගත්හ. ස්වාමීනි, ඒ කාරණය දැක  මට මේ අදහස විය.

පින්වත්නි, ආශ්චර්යයි. පුදුමයි. මේ ඉසිදත්ත පුරාණ යන දෙදෙන මාගේ බතින් යැපෙන මාගේ යානාවෙන් ගමන් කරන්නෝය. ඔවුන්ගේ ජීවිකා වෘත්තිය දුන්නේද, යසසට පැමිණවූයේද, මම (වෙමි.) එතකුදු වුවත් භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මෙන් ගෞරව ආදර භක්තියෙක් මා කෙරෙහි නැත. ඒකාන්තයෙන් මේ ආයුෂ්මත්හු ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයෙහි යම්  කිසි ඵලයක් ලබා ගත්තෝ විය යුතුය කියාය.

§ 19  .  එලෙසම ස්වාමීනි, නැවත අන් කරුණක් කියමි.
භාග්‍යවතුන් වහන්සේද ක්ෂත්‍රිය වංශයේ 
වෙති. මමද ක්ෂත්‍රිය වංශයේ වෙමි. භාග්‍යවතුන් වහන්සේද කොසොල් රට උපන්නෙකි. මමද කොසොල් රට උපන්නෙක් වෙමි. භාග්‍යවතුන් වහන්සේ අසූ වයස් ඇත්තේ වෙත්. මමද අසූ වයස් ඇත්තේ වෙමි. [ මෙම සුත්‍රය භාග්‍යවතුන් වහන්සේගේ ජීවිතයේ අන්තිම වසරේදී වූ සිද්ධියක් බවද  මින් කියවේ.] ස්වාමීනි යම් හෙයකින් භාග්‍යවතුන් වහන්සේත් ක්ෂත්‍රිය වෙත්ද, මමත් ක්ෂත්‍රිය වෙම්ද, භාග්‍යවතුන් වහන්සේත් කොසොල් රට උපනෙක් වෙත්ද, මමත් කොසොල් රට උපන්නෙක් වෙම්ද, භාග්‍යවතුන් වහන්සේත් අසූවස් ඇත්තේ වෙත්ද මමත් අසූවයස් ඇත්තේ වෙම්ද- ස්වාමීනි මේ කරුණෙන්ද මම භාග්‍යවතුන් වහන්සේට උසස්ම ගෞරවය කිරීමට සිතින් බුහුමන් දක්වන්ට සුදුසු වෙමි.

§20. “ස්වාමීනි, එසේනම් දැන් අපිට යාමට අවසර දෙනු මැන. අපි කටයුතුවූ බොහෝ ඇත්තෝ වේමු. කෘත්‍ය බහුල කොට ඇත්තෝ වෙමු” යි කීය.
“මහරජ, ඔබ දැන් යා යුතු නම් , ඊට කාලය වෙයි” වදාළහ.


ඉක්බිති පසෙනදී කොසොල් රජ ආසනයෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට පිටව ගියේය. [එසේ ගිය විට සිය ඔටුනු අසිපත් සහ හමුදාව රැගෙන දීඝ කාරායන ගිය බව මෙහෙකාර ස්ත්රියගෙන් දැන නැවත රාජ්‍ය ලබා ගන්නට සිය බෑණනුවන්වූ අජාතසත්තු රජුගේ උපකාරය ඉල්ලන්නට රජ ගැන නුවර බලා පිටත් විය. බොහෝ රෑ වී නුවර ද්වාරයට ආ ඔහුට ද්වාරය වසා ඇතිනිසා ඇතුළු විය නොහී ඒ රැය නගරයෙන් පිට ඒ අම්බලමක ගෙවන්නට සිදු විය. ඒ රාත්‍රියේ ඔහු එසේ කනගාටුදායක ලෙස ඒ අම්බලමේම මරණයට පත් විය.]

පසේනදී කොසොල් රජ පිටව  ගිය නොබෝ වේලාවකින් භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ට කථා කළහ.
“මහණෙනි, මේ පසෙනදි කොසොල් රජ ධර්මයට බොහෝ ගෞරව වශයෙන් ස්මාරක පිහිටුවන්නා සේ ධම්ම චේතිය පවත්වා එසේ ගරු 
 වචන කියා ආසනයෙන් නැගිට ගියේය. [MA: “ධම්ම චේතිය” යනු ශ්‍රී සද්ධර්මයට කෙරෙනා ගරු සැලකීමයි. ත්‍රිවිධ රත්නයට කෙරෙන ගෞරව පුදකිරීම් සියල්ල ඒ තුනෙහි එක් එක් අන්ගයටම කෙරෙන ගෞරව කිරීමකි ]

මහණෙනි ධර්ම ගරු කරව. එසේ ගරු කරන්නට   උගනිව්. මහණෙනි, ධර්ම ගරුක වචනයන් පුරුදු කරව්. මහණෙනි, ධර්මගරුක වචනයන් සිත්හිලා දරව් මහණෙනි, පූර්වභාග ප්‍රතිපත්තියවූ ධර්මගරුක වචන අර්ථයෙන් යුක්ත වෙති.”
භාග්‍යවතුන් වහන්සේ මෙසේ  වදාළහ. සතුටුසිත් ඇති භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ දෙශනාවට සතුටුවූහ.

ගරු සමින්ද මහත්මා කල සුත්‍ර විවරණය:

Pali Version                   English Version

SansaraVimukthiEllawala

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.