076: අබ්‍රහ්මචරියා වාස සතර
සන්ඳක සුත්‍රය අලලා නිස්සරණ වනයේ කල දේසනා දහය ඉහත රූපය CLICK කිරීමෙන් ඇසිය හැක.

§1 මා විසින් මෙසේ අසන ලදී.
එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ කොසඹෑනුවර ඝොසිතාරාමයෙහි වාසය කළහ.
§2. එකල්හි සන්දක නම් පරිව්‍රාජකයා පිලක්ඛ නම් ගුහායෙහි පන්සියයක් පමණවූ, මහත් පරිව්‍රාජක පිරිස සමග වාසය කරයි.
§ 3. එක් දිනෙක ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ සවස් වේලෙහි පල සමවතින් නැගී සිටියේ, භික්ෂූන්ට කථාකළහ. “ඇවැත්නි, දේවකට සොබ්භය (වර්ෂාවෙන් සෑරුණු දියවිල) අසල ඇති ගුහාව දැකීම පිණිස යමු” දැයි ඇසීය.
“ඇවැත්නි, එසේයයි” ඒ භික්ෂූහු ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන්ට උත්තර දුන්හ.
ඉක්බිති ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ මේ භික්ෂූන් සමුහය සමග දේවකටසොබ්භ නම් විල වෙත ට ගීයේය. මේ විලට යන මාර්ගය සන්ඳක පරිබ්‍රාජක ගේ පිරිස සිටි පිලක්ඛ ගුහාව අසලින් වැටී තිබුණි
§ 4. එකල්හි සන්දක පරිව්‍රාජකයන් සිය පිරිස සමග උස්හඬින්ද, මහහඬින්ද, නොයෙක් ප්‍රකාර අවැදගත් නිෂ්ඵල කතා748 වෙහි යෙදී සිටියේය.
[748 තිරස්චීන කතා ලෙස පාලියෙහි දැක්වෙන මේ කතා තිරිසන් සතුන් ගැන කෙරෙන කතා නොව. තිරස් දිසාව ට ඇදගෙන යන අදහසින් එනම් සසරෙහි ඇවිද්දවන කර්ම සකස්වන කතා නිසා තිරස්චීන ලෙස නම් වේ. භාග්‍යවතුන්වහන්සේ ගේ ධර්මය සත්වයා සිරසට (ඉහලට ; එනම් නිර්වාණයට) යොමු කරවීමයි. සිරසට විරුද්ධවූ ඊට ලම්බකවූ දිසාව තිරස් දිසාවයි. නිර්වාන ගාමි ප්‍රතිපදාවට ආධාරයක් නොවන අවැදගත් දේ ගැන කතාවෙහි යෙදෙන අය “තිරස්චීන” කතාවෙහි යෙදෙතැයි කියන්නේ එම අදහසිනි. ත්‍රිපිටකයේ වෙනත් ආජීවක පරිබ්‍රාජික ආරාමයනට භාග්‍යවතුන් වහන්සේ හො වෙනත් සංඝයා වහන්සේ කෙනෙකු පැමිණෙන සෑම විටම ඒ අන්‍ය තීර්ථකයන් මෙසේ කෑ කෝ ගසමින් ඉන්නා බව ලියා ඇත. අද අපේ පන්සල්වලත් ආරාම වලත් නිශ්ශබ්දතාවය ට කැමති පිරිස් ඉන්නවාද කියා ඔබම දනී. මේ සුත්‍රයේ ඉන්ග්රිස්හි පිටපතෙහි පුජනිය බෝධි ස්වාමින්වහන්සේ ගේ දේසනාවේ උන්වහන්සේ ලංකාවේ පන්සල්වල සිදුවූ සිද්ධියක් සඳහන් කරයි. ]
එසේ තිරස්චීන කතා කරමින් විසාල පිරිවැජි පිරිසක් සමග හුන්නේ වෙයි. කෙබඳු කතා ද යත් එනම්, රජුන් පිළිබඳ කතාය, සොරුන් පිළිබඳ කතාය, මහ ඇමැතියන් පිළිබඳ කතාය, සේනාවන් පිළිබඳ කතාය, භය පිළිබඳ කතාය, යුද්ධ පිළිබඳ කතාය, ආහාර පිළිබඳ කතාය, බොන දේ පිළිබඳ කතාය, ඇඳුම් පිළිබඳ කතාය, නිදන ආසන පිළිබඳ කතාය, මල්මාලා පිළිබඳ කතාය, සුවඳ පිළිබඳ කතාය, නෑයන් පිළිබඳ කතාය, රථ පිළිබඳ කතාය, ගම් පිළිබඳ කතාය, මහගම් පිළිබඳ කතාය, නගරයන් පිළිබඳ කතාය, ජනපද පිළිබඳ කතාය, ස්ත්‍රීන් පිළිබඳ කතාය, සූරයන් පිළිබඳ කතාය, වීථි පිළිබඳ කතාය, දියතොට පිළිබඳ කතාය, පූර්වඥාති ප්‍රේතයන් පිළිබඳ කතාය, නොයෙක් ස්වභාවයෙන් යුක්ත කතාය, ලොකය පිළිබඳ ප්‍රකාශ වන්නාවූ කතාය, සමුද්‍රය පිළිබඳව ප්‍රකාශ වන්නාවූ කතාය ‘මෙසේ වන්නේය, මෙසේ නොවන්නේය’ යන මෙය පිළිබඳ කතාය යන මේවායි.
සන්දකනම් පරිව්‍රාජකයා එන්නාවූ ආනන්ද ස්ථවිරයන් දුරදීම දුටුයේය. දැක ස්වකීය පිරිස මෙසේ කියා තැන්පත් කෙළේය.
“පින්වත්නි, කෑ කෝ නොගසව්. අර පැමිණෙන්නේ ශ්‍රමණ භවත් ගෞතමයන්ගේ ශ්‍රාවක ශ්‍රමණවූ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන්ය. කොසඹෑ නුවර වසන්නාවූ ශ්‍රමණ ගෞතමයන්ගේ ශ්‍රාවකයන් අතුරින් මේ ආනන්ද ශ්‍රමණයන් වහන්සේද කෙනෙක් ය. ඒ ආයුෂ්මත්හු නිශ්ශබ්ද බැව් කැමැත්තෝය. නිශ්ශබ්දවූ බුදුන් විසින් එසේ හික්මවන ලද්දාහුය. නිශ්ශබ්දතාවයේ ගුණ කියන්නෝය. අපද ඒකාන්තයෙන් නිශ්ශබ්දවූ පිරිසක් බව හැගුනොත් මෙහි පැමිණිය යුතුයයි හඟින්නේයයි” කීය. ඉක්බිති පරිව්‍රාජකයෝ නිශ්ශබ්ද වූහ.
§ 5. එකල්හි ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් සන්දක පරිව්‍රාජකයා හුන් දෙසට පැමිණියේය. එකල්හි සන්දක පරිව්‍රාජක ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේට මෙසේ කීයේය.
“භවත් ආනන්ද ස්ථවිරයනි! මෙහි එන්න. ඔබේ ඒම ඉතා යහපති. බොහෝ කලකින් භවත් ආනන්ද ස්ථවිරයන් මෙහි නොපැමිණියේය. පින්වත් ආනන්ද ස්ථවිරයන් මේ පනවන ලද ආසනයේ වැඩහිඳීවායි” කීය.
ඒ ආරාධනය පිළිගත් ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් පනවන ලද අස්නෙහි අසුන් ගත කල සන්දක පරිව්‍රාජකයා එක්තරා මිටි අස්නක් ගෙණ එක්පැත්තක හිඳ ගත්තේය . එසේ හිඳ ඔහුගෙන් ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් මෙසේ ඇසීය. “සන්දකය, දැන් කිනම් කථාවකින් යුක්තව හුන්නහුද, තොපගේ කිනම් අතුරු කථාවක් අපේ පැමිණීමෙන් නතර කරන ලද්දීද?”
“භවත් ආනන්ද ස්ථවිරය, අපේ එම කථාව තිබේවා. අපි කල කථාව භවත් ආනන්ද ස්ථවිරයන්ට පසුවද ඇසීමට හැකිවන්නේය. භවත් ආනන්ද ස්ථවිරයන්ම ස්වකීය ආචාර්යවරයන්ගේ ඉගැන්වීමවූ දැහැමි කථාවක් අපට දේශනා කරන්නේ නම් මැනවැයි.” කීය.
“සන්දකය, එසේ වීනම් අසව. යහපත්කොට සවන් දෙව. කියන්නෙමි.”
“එසේය, පින්වතුන් වහන්සැයි” සන්දක නම් පරිව්‍රාජක තෙම ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන්ට උත්තර දුන්නේය.
§6 . ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් එකල මෙසේ වදාළේය.
“සන්දකය, බ්‍රහ්මචරියාවෙහි හැසිරෙන ශ්‍රමණයෙකුට යහතින් ඒ උතුම් හැසිරීම කරගන්නට අවකාශ නොදෙන, එමෙන්ම අසීරුවෙන් හෝ නෛෂ් කර්මයේ යෙදීමට තැත් කරන ශ්‍රමණයෙකුට සිය අභිමතාර්ථය වන සංසාර විමුක්තිය කරා යන්නට නොදෙන අබ්‍රහ්මචරිය වාස749 සතරක් සියල්ල දන්නාවූ සියල්ල දක්නාවූ සම්‍යක් සම්බුද්ධවූ භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කර ඇත.
(749:- අබ්‍රහ්මචරියා වාසය යනු නියම ශ්‍රමණ ධර්ම නොපිලිපැදීමයි. අනස්සසානි බ්‍රහ්මචරියානි ලෙස දක්වා ඇත්තේ ව්‍යාජ ශ්‍රමණ ප්‍රතිරුපකයෙකු ගේ පිළිවෙත් නොව සැබවින්ම විමුක්තිය අපේක්ෂාවෙන් ශ්‍රමණ ධර්මයන් පුරන අයෙකුට අභිමතාර්ථ සාධනය වලකන්නාවූ ධර්මයෝය) ”
“භවත් ආනන්ද ස්ථවිරයෙනි, භාග්‍යවතුන් වහන්සේ විසින් එවැනි කවර අබ්‍රහ්මචරිය වාස සතරක් ප්‍රකාශ කරණ ලද්දාහුද”
(i) නාස්තික වාදය
§ 7. “සන්දකය! මේ ලෝකයෙහි ඇතැම් ශාස්තෘවරයෙක් මේ බඳු වාද ඇත්තේ මෙබඳු දෘෂ්ටි ඇත්තේවෙයි.
‘දන් දීමෙන් පලක් නැත. පූජා කිරීමෙන් පලක් නැත. පුද පඬුරු දීමෙන් පලක් නැත. කුසල හෝ අකුසලය කියා, යහපත් හෝ අයහපත් කර්මයන්ගේ ඵලයක් විපාකයක් නැත. ජීවිතය නිමාව මරණයට පත්වන්නන්ට නැවත ඉපදීමක් නැත. මව ට පියාට උපකාර කලත් අපකාර කලත් වෙනසක් නැත. මළ පසු නැවතද උපදනා සත්වයෙක් නැත. තමන්ගේ විශිෂ්ට ඥානයකින් දැන මේ ලොකයක් පසු උපතක් ඇත, පරලොකයක් ඇත ද කියා තමන්ම දැක ප්‍රත්‍යක්ෂ කොට එසේ ප්‍රකාශ කරන්නට සමත් මහණ බමුණෝ ලොකයෙහි නැත්තාහ. සියලු මනුෂ්‍යයෝ සතර මහා භූතයන්ගෙන් හටගත්තාවෝ වෙති.750 මල පසු සතර මහා භුතයන්ටම එකතු වෙති.
[750:- මී ලගට එන චේදයද MN – අපන්නක සුත්‍රයේ § 7. සඳහන් කල ආකාරයෙන්ම නාෂ්තික භෞථික වාදය දරන සාස්තෘන් ගැන දැක්වෙයි. දීඝ නිකායේ සාමන්ඥ ඵල සුත්‍රයේ දැක්වෙන පරිදී ෂඩ් සාස්ත්රුවරයෙකු වූ අජිත කෙසකම්බිල මේ වාදය දැරුවෙකි.]
සතර මහා ධාතුන්ගෙන් සැදුනු මේ මනුෂ්‍යයා මල පසු ඔහුගේ ශරීරයේ පඨවි කොටස මහා පඨවි කායටම එක්වේ. ආපෝ කොටස් ආපෝකායට එක්වේ. තේජෝ කොටස් තේජෝ කායට එක්වෙයි. වායු කොටස් වායෝ කායට එක්වෙයි. සියළු ඉන්ද්‍රියයන් අවකාශයටම එක් වෙයි.
මල මිනිසාගේ ගේ සිරුර තැබූ ඇඳ ඔසවාගෙන යන මිනිසුන් ඔහු සමග යන්නේ ආදාහනාගාරය හෝ සොහොන දක්වා පමණකි. ඔහු කල පින්, පවු ගැන ඔහුගේ ගුණ කථාද, නුගුණ කතාද සොහොන දක්වා පමණක් පවතියි.
ඔහුගේ කය දිරා පරෙවියන්ගේ පාට බඳු පාට ඇති ඇට පමණක් ඉතිරි වෙත්. දෙනලද දන්පුද ඔහු දැවූ අලුවලින්ම කෙලවර විය. දානය නම් මෝඩයන් විසින් පනවන ලද්දකි. කරණ ලද කර්මයෙහි විපාක ඇතැයි කියත්ද, එය ඔවුන්ගේ හිස්වූ මුසාවූ ප්‍රලාපයකි. බාලයෝත් පණ්ඩිතයෝත් ශරීරයාගේ භේදයෙන් සිඳෙත්, විනාශ වෙත්, මරණින් මත්තෙහි කිසිත් ඉතිරි නොවෙත්යයි කියත්ද…
§8 “සන්දකය, එවිට නුවණ ඇති පුරුෂයෙක් මෙසේ කල්පනා කරයි.
මේ පින්වත් ශාස්තෘ මෙබඳු වාද ඇත්තේ මෙබඳු දෘෂ්ටි ඇත්තේ වෙයි. දීමෙන් පලක් නැත……. ……………….පණ්ඩිතයෝද ශරීරයාගේ බිඳීමෙන් සිඳෙන්නාහුය. විනාශවන්නාහුය. මරණින් මත්තෙහි නොවෙත්යයි කියත්ද ඉදින් මේ පින්වත් ශාස්තෘහුගේ වචනය සත්‍ය වේ නම් මා විසින් මොහුගේ ශාසනයෙහි මහණ කමක් කරණ ලදද, නොකරන ලදද එකම ඵලයක් ලබන්නේය.751
[751: ශ්‍රමණ පිළිවෙත් පිළිපැදීම කරන්නේ ඒ ඒ සාසනයේ පිළිගන්න වූ අවසන් උතුම්ම ඵලය ලබාගන්නටය. මේ සඳක පරිබ්‍රාජක තුමාගේ සාසනයේ ඔවුන් බලාපොරෝත්තුවන්නාවූ අවසන් ඵලය විස්තර වශයෙන් දක්වා නැති මුත් ෂඩ් සාස්ත්රුන්ගෙන් බොහොමයක් සේ ආත්මය විමුක්තියට පත් කිරීම යැයි සිතිය හැක. ආනන්ද ස්වාමින් වහන්සේ මේ දේශනාවෙන් බොහෝ සාස්තෘන් ගේ ප්‍රතිපත්ති ගැනද පතන අවසන් ඵල ගැනද සාකච්චා කරයි.]
මෙසේ වෙත්දී. මා විසින් මොහුගේ ශාසනයෙහි නොවැසිය යුතුව තිබුනාවූ බ්‍රහ්ම චර්යාවක් වසන ලදී. මේ මහණදම්හි ශාස්තෘ ශ්‍රාවක යන අපි දෙදෙනම ගුණයෙන් සමවූවාහු සමාන බවට පැමිණියාහු වෙමු. ඔහු ද මම ද ශරීරයාගේ භේදයෙන් දෙදෙනම සිඳෙන්නෙමු. නැසෙන්නෙමු. මරණින් මත්තෙහි කිසිවක් ඉතිරි නොවන්නෙමුයි,
මේ පින්වත් ශාස්තෘ ඇඳුමක් නොඇඳ නග්නව, හිස මුඩු කොට, උක්කුට්ටියෙන් හිඳීමින් දුක් විඳින්නෙ යම් ඵලයක් බලාපොරොත්තුවේන්ද , මම අඹු දරුවන් පෝෂණය කරමින්, කසි සළු සුමට වස්ත්‍ර හදිමින් සඳුන් පරිභොග කරමින් මල් ගඳ විලවුන් දරමින් රන් රිදී කහවනු මුදල් පරිභෝග කරමින් ඒ ඔහු පතන ඵලයම පරලෙව්හි ලබන්නෙමි. මේ සාසනයේ බ්‍රහ්ම චරියා පිළිවෙත පිරුවත් නොපිරුවත් මමද කුමක් දැන කුමක් දැක මේ ශාස්තෘන් වෙත බ්‍රහ්මචර්යාවෙහි හැසිරෙම්දැ”යි හෙතෙම මේ බ්‍රහ්මචර්ය නැණවත් වාසයක් නොවේයයි අවබෝධ කොට ඒ බ්‍රහ්මචර්යයෙන් කලකිරී බැහැර වෙයි.
§ 9. සන්දකය, සියල්ල දන්නාවූ දක්නාවූ අර්හත්වූ සම්‍යක් සම්බුද්ධවූ භාග්‍යවතුන් වහන්සේ විසින් ප්‍රකාශ කරණ ලද්දාවූ නුවණ ඇති පුරුෂයෙක් ඒකාන්තයෙන් නොවසන්නාවූද, වාසය කරන්නේ හෝ කුසලධර්ම මාර්ගයෙකැයි සතුටු නොවන්නාවූද පළමුවන අබ්‍රහ්මචර්ය වාසයවේ
( ii) අකිරිය වාදය
§ 10 “සන්දකය, නැවත අනිකක්ද කියමි.
මේ ලොකයෙහි ඇතැම් ශාස්තෘ කෙනෙක් මෙබඳු වාද ඇත්තේ වෙයි. මෙබඳු දෘෂ්ටි ඇත්තේ වෙයි. කෙබඳු දෘෂ්ටිද යත්:
‘පව්කරන්නාහටද පවු කරවන්නාහටද අනුන්ගේ අත් පා ආදිය සිඳින්නාහටද සිදුවන්නාහටද, අනුන් පෙළන්නාහටද, අනුන් පෙළඹවන්නාහටද අනුන්ට ශොක කරන්නාහටද කරවන්නාහටද අනුන් වෙහෙස කරන්නාහටද, කරවන්නාහටද සතුන් මරන්නාහටද, සොරකම් කරන්නාහටද, ගෙවල් බිඳින්නාහටද, ගම් පහරන්නාහටද එක ගෙයක් බිඳින්නාහටද මං පහරන්නාහටද අන් අඹුවන් කරා යන්නා හටද බොරු කියන්නා හටද, ඕනෑ කමින්ම පවු කරන්නා හටද පාපයක් සිදු නොවේ.
මුවහත් ආයුධවලින් යුත් චක්‍රයකින් යමෙක් මේ පොළොවෙහි මිනිසුන් හා සතුන් කපා එක මස් ගොඩක් කරන්නේ නම් එයින් සිදුවන පාපයක් නැත්තේය. ඉදින් ගංගානම් ගඟේ දකුණු ඉවුරටද අනුන් මරමින් මරවමින් අත් පා සිඳිමින් සිඳුවමින් අනුන් පෙළමින් පෙළවමින් යන්නේ නම් ඒ හේතුවෙන්ද පාපයක් නැත්තේය.752 .
[752: අද මෙන්ම එදාද බොහෝ සැදැහැති ජනයා ගංගා ගඟේ දෙඉවුරම නැවතී නොයෙක් යාග හෝම පුද පුජා කිරීම සිරිතක් විය. බෞද්ධ නොවූ නොයෙක් ලබ්ධින්ට බැඳුනු මේ ජනයා සෙසු මිනිසුන්ට වඩා බොහෝ ධර්මිෂ්ඨ අය වුහ. ඒ බඳු ධර්මිෂ්ඨයෙකුට හිංසා හිරිහැර කිරීම නරක ප්‍රතඵල හෙන එතැයි ජනයා සිතුහ. මේ භෞතික වාදය කියන්නේ මිනිසුන්ද සත්වයන්ද අවි ආයුධ ද සියල්ල සතර මහා භූතයන්ගෙන් සංයුක්තවී තිබෙන නිසා එක් සතර මහා භූත ගොන්නකට තවත් තර මහා භූත ගොන්නක් ඇතුළු වීමෙන් පවක් නොසිදුවන බවය.]
ඉදින් ගංගානම් ගඟේ උතුරු ඉවුර දිගේ ඉන්නා පුජකයන්ට තාපසයන්ට දන් දෙමින්, පුද පුජා කරමින් සිටියත් ඒ හෙතුවෙන්ද පිනක් නැත්තේය. අන් කිසි යහපතක් නැත්තේය. දන් දීමෙන් ඉන්ද්‍රිය දමනයෙන් තුන් දොර සංවරයෙන් සත්‍ය වචනයෙන් පිනක් නැත්තේය. විශේෂ යහපතක් නැත්තේයයි කියත්,
§ 11. සන්දකය, ඒ ශාසනයෙහි නුවණ ඇති පුරුෂයෙක් මෙසේ කල්පනා කරයි.
‘මේ ශාස්තෘතුමා මෙබඳු වාද ඇත්තෙක් මෙබඳු දෘෂ්ටි ඇත්තෙක් වේ.:
“ පව් කරන්නාහට, පව් කරවන්නාහට, අත් පා ආදිය …………… පාපයක් නැත්තේය. වෙන අයහපතක් නැත්තේය. ඉදින් ගංගානම් ගඟේ උතුරු ඉවුරට ගොස්දන් දෙමින් දෙවමින්, පුදමින් පුදවමින් යන්නේ නම් ඒ හෙතුවෙන්ද, පිනක් නැත්තේය. පින් පැමිණීමක් නැත්තේය. දීමෙන් ඉන්ද්‍රිය දමනයෙන් සංවරයෙන් සත්‍ය වචනයෙන් පිනක් නැත. ඉදින් මේ පින්වත් ශාස්තෘහුගේ වචනය සත්‍යය නම් මා විසින් මේ ශාසනයෙහි කරණලද ප්‍රතිපත්ති පිරීම අර්ථ ශුන්‍යය. මට එසේ නොකරන්නට තිබිණ. මේ ශාසනයෙහි මා විසින් නොවසනලදුවූ බ්‍රහ්මචර්යාවක් වසනලදී.
අපි දෙදෙනම මෙහිදී සම සම ගුණ ඇත්තාහු සමාන බවට පැමිණියාහු වෙමු. මමත් පවු කරන්නාවූ අප දෙදෙනාට පාපය නොවේයයි නොකියමි.
මේ පින්වත් ශාස්තෘ ඇඳුමක් නොඇඳ නග්නව, හිස මුඩු කොට, උක්කුට්ටියෙන් හිඳීමින් දුක් විඳින්නෙ යම් ඵලයක් බලාපොරොත්තුවේද, මම අඹු දරුවන් පෝෂණය කරමින්, කසි සළු සුමට වස්ත්‍ර හදිමින් සඳුන් පරිභොග කරමින් මල් ගඳ විලවුන් දරමින් රන් රිදී කහවනු මුදල් පරිභෝග කරමින් ඒ ඔහු පතන ඵලයම පරලෙව්හි ලබන්නෙමි. මේ සාසනයේ බ්‍රහ්ම චරියා පිළිවෙත පිරුවත් නොපිරුවත් මමද ඔහු ලබන ඵලය ලබන්නේ නම් මා කුමක් දැන කුමක් දැක මේ ශාස්තෘන් වෙත බ්‍රහ්මචර්යාවෙහි හැසිරෙම්දැයි හෙතෙම මේ බ්‍රහ්මචර්ය නැණවත් වාසයක් නොවේයයි අවබෝධ කොට ඒ බ්‍රහ්මචර්යයෙන් කලකිරී බැහැර යෙයි.
[. මේ දෘෂ්ඨිය පුනරුත්පත්තිය ප්‍රතික්ෂේප නොකළද කර්මය හා කර්ම ඵල ප්‍රතික්ෂේප කරයි. මේ අකිරියවාදීන් ගේ ප්‍රධානියා ලෙස පුරාන කස්සප හැඳින්විය හැක.]
මම කුමක් දැන කුමක් දැක මේ ශාස්තෘන්වෙත බ්‍රහ්මචර්යාවෙහි හැසිරෙන්නෙම්දැයි හෙතෙම මේ අබ්‍රහ්මචරිය වාසයයි. දැන ඒ බ්‍රහ්මචර්යාවෙන් කලකිරී බැහැර වෙයි.
§12 . සන්දකය, සියල්ල දන්නාවූ දක්නාවූ අර්හත් සම්‍යක් සම්බුද්ධවූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් ප්‍රකාශ කරණ ලද නුවණ ඇති පුරුෂයෙක් ඒකාන්තයෙන් බ්‍රහ්මචර්යාවෙහි නොවසන්නාමද වාසය කරන්නේ හෝ කුසල ධර්ම මාර්ගයයි. සතුටු නොවන්නාවූද දෙවන අබ්‍රහ්මචර්ය වාසය එය වේ.
(iii) නාස්තික වාදය
[මක්ඛලි ගෝසාලයන් ඉගැන්වූ මේ නාස්තිකවාදය අහේතුක වාදය ලෙසද දැකිය හැක. පුනර්භවය පිලිගත්තත් ඔහුද කර්ම ඵල ඇතැයි පිලි නොගනී. සන්තානයේ ක්ලේශ ඇතිවීම නිකංම වෙන එකක් බවත්, හේතුවක් නැති බවත් ඔවුහු කීහ. කෙලෙස් නැති කිරීමට මිනිසුන් ට කල හැකි දෙයක් නැති බවත්, කෙලෙස් නැතිවීම ද ඉබේටම වන බවත් මේ දිට්ඨියේ කියැවේ. කවදා හො සියලු සත්වයෝ ඉබේම කෙලෙස් නසා රහතුන් වන බවත් එය ඉබේම වන්නක් බවත් මේ දිට්ඨිය වේ.]
§13 . සන්දකය නැවත අනිකක්ද කියමි.
මේ ලොකයෙහි ඇතැම් ශාස්තෘවරයෙක් මෙබඳු වාද ඇත්තේ මෙබඳු දෘෂ්ටි ඇත්තේ වෙයි.
‘සත්වයන්ගේ කෙලසීමට හේතුවක් ප්‍රත්‍යයක් (කරුණක්) නැත. හෙතුවක් නැතුව ප්‍රත්‍යයක් නැතුව සත්වයෝ කෙලෙසෙන්නාහුය. සත්වයන්ගේ පිරිසිදුවීමටද හෙතුවක් ප්‍රත්‍යයක් නැත. හේතුවක් ප්‍රත්‍යයක් නැතිවම සත්වයෝ පිරිසිදු වෙත්.
සත්වයන්ගේ පිරිසිදු වීමට හා අපිරිසිදුවීමට ඒ ඒ සත්වයන්ට කල හැකි දෙයක් නැත. සත්වයන් ට තමන් කෙලෙස් වලින් පිරිසිදු වීමට බලයක් නැත. සිය කෙලෙස් පිරිසිදු කිරීමට මනුෂ්‍යයෙකුට වැඩිය හැකි වීර්යයක් නැත. එබඳු ශක්තියක් කිසි පුරුෂයෙකුට නැත. . සියලු සත්වයෝ සියලු ප්‍රාණීහු සියලු භූතයෝ සියලු ජීවයක් ඇත්තෝ වසඟයක් නැතිව බලයක් නැතිවම වීර්යයක් නැතිවම එක්තරා නියමයකින් ඒ ඒ ජාතිවල ඉපිද සුවදුක් දෙක විඳිත්යයි කියත්.
§ 14. “සන්දකය, ඒ ශාසනයෙහි ඉන්නා නුවණ ඇති පුරුෂයෙක් මෙසේ සලකයි.
“මේ පින්වත් ශාස්තෘතුමා මෙබඳු වාද ඇත්තෙක් මෙබඳු දෘෂ්ටි ඇත්තෙක් වේ. සත්වයන්ගේ කෙලසීමට හෙතුවක් ප්‍රත්‍යයක් නැත. හෙතුවක් ප්‍රත්‍යයක් නැතිවම සත්වයෝ කෙලෙසෙන්නාහුය. සත්වයන්ගේ පිරිසිදුවීම හෙතුවක් ප්‍රත්‍යයක් නැතුවම සත්වයෝ පිරිසිදු වෙත්. පිරිසිදුවීමට හා අපිරිසිදුවීමට මනුෂ්‍යයෙකුට වැඩිය හැකි වීර්යයක් නැත. එබඳු ශක්තියක් කිසි පුරුෂයෙකුට නැත. . සියලු සත්වයෝ සියලු ප්‍රාණීහු සියලු භූතයෝ සියලු ජීවයක් ඇත්තෝ වසඟයක් නැතිව බලයක් නැතිවම වීර්යයක් නැතිවම එක්තරා නියමයකින් ඒ ඒ ජාතිවල ඉපිද සුවදුක් දෙක විඳිත්යයි.’ කියත්.
ඉදින් මේ පින්වත් ශාස්තෘහුගේ වචනය සත්‍යය නම් මා විසින් මේ ශාසනයෙහි මහණකමක් කිරීම නිෂ්ඵල එකකි. මා විසින් නොවසනලද බ්‍රහ්මචර්යාවක් නොකරන ලද මහනකමක් කලේ වෙමි. අපි දෙදෙනම මෙහි සම සම ගුණ ඇත්තාහු. සමාන බවට පැමිණියාහු වෙමු. මගේ කෙලෙසේ මට සිඳින්නට නොහැකි නම් ඔහුටද ඒ එසේමය. අප දෙදෙනාම එකම ඵලය ලබති.
මේ පින්වත් ශාස්තෘ ඇඳුමක් නොඇඳ, නග්නව, හිස මුඩු කොට, උක්කුටියෙන් හිඳීමින් දුක් විඳින්නෙ යම් ඵලයක් බලාපොරොත්තුවේද, මම අඹු දරුවන් පෝෂණය කරමින්, කසි සළු සුමට වස්ත්‍ර හදිමින් සඳුන් පරිභොග කරමින් මල් ගඳ විලවුන් දරමින් රන් රිදී කහවනු මුදල් පරිභෝග කරමින් ඒ ඔහු පතන ඵලයම පරලෙව්හි ලබන්නෙමි. මේ සාසනයේ බ්‍රහ්ම චරියා පිළිවෙත පිරුවත් නොපිරුවත් මමද ඔහු ලබන ඵලය ලබන්නේ නම් මා කුමක් දැන කුමක් දැක මේ ශාස්තෘන් වෙත බ්‍රහ්මචර්යාවෙහි හැසිරෙම්දැයි හෙතෙම මේ බ්‍රහ්මචර්ය නැණවත් වාසයක් නොවේයයි අවබෝධ කොට ඒ බ්‍රහ්මචර්යයෙන් කලකිරී බැහැර යෙයි..
§15. සන්දකය, සියල්ල දන්නාවූ දක්නාවූ අර්හත් සම්‍යක් සම්බුද්ධවූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් ප්‍රකාශ කරණ ලද්දාවූ ඒ තුන්වන අබ්‍රහ්මචාර්ය වාසය වේ.
(iv) කාය සප්ත වාදය
§16 . “සන්දකය, නැවතද අනිකක් කියමි.
මේ ලොකයෙහි ඇතැම් ශාස්තෘවරයෙක් මෙබඳු වාද ඇත්තේ මෙබඳු දෘෂ්ටි ඇත්තේ වෙයි.752
[752:-දීඝ නිකායේ සාමඥ්ඥ ඵල සුත්‍රයේ දක්වා ඇති පරිදි මේ පකුධ කච්චායන දේශනා කල දෘෂ්ඨිය මෙය වේ. කෙටියෙන් කිවහොත් සියලු සත්වයන්ට නියමිත වාර ගණනක් සසර උපදින්නට වෙයි. ඒ උපත් ගණන් අඩු කරගන්නට කිසිවෙකුට නොහැක. මෙසේ සසර ඉපිදමින් මැරෙමින් යන සත්වයා දුක් සැප විඳියි. සමහර විට දුක් වහ වහා විඳීමෙන් ඉදිරි උපත්වල දුක අඩු කරගන්නට හැක, ]

කිසිවෙකු විසින් නොසාදන ලද්දාවූ මවන නොලද්වූදාවූ කිසි ගහ කොලක් නොවැවෙන ගල් පර්වත වැනිවූ සිටවූ මහා ගල් කුළුණු සේ ඇත්තාවූ දේ සතක් වෙයි. ඒවා නොසැලෙයි. වෙනස් නොවේ. එකිනෙකට අවහිර නොකරයි. අනෙකක් තුල සොම්නසක් හො දොම්නසක් ඇති කරන්නට ඒවාට හැකියාවක් නැත. ඒ සත නම්
පඨවි ධාතු කාය :- නිර්මිත නොකරණ ලද්දාවූ නිර්මිත නොකරවන ලද්දාවූ පර්වත කූට මෙන් සිටියාවූ මහකණුවක් මෙන් සිටියාවූ කොටස් සතක් වෙත්. ඔව්හු කම්පා නොවෙත්. නොපෙරලෙත්. ඔවුනොවුන්ට පීඩා නොකෙරෙත්. අන්‍යොන්‍යයන්ගේ සැපය පිණිස හෝ දුක පිණිස හෝ සැප දුක් පිණිස හෝ සමර්ථ නොවෙත්.
කවර සතක්ද යත්?
පෘථිවිධාතු කාය, ආපෝධාතු කාය, තේජෝධාතු කාය, වායෝධාතු කාය, සැපය, දුකය, ජීවිතෙන්ද්‍රියය යන මේ සතයි.
මේ කාය හත නිර්මිත නොකරණ ලද්දාවූ නිර්මිත නොකරවන ලද්දාවූ වියලුනු පර්වතකූට මෙන් සිටියාවූ මහකණුවක් මෙන් සිටියාවූ මේ කොටස් සත වෙත්. ඔව්හු කම්පා නොවෙත්. නොපෙරළෙත් ඔවුනොවුන් නොපෙළත්. ඔවුනොවුන්ගේ සැපය පිණිස හෝ දුක පිණිස හෝ සැප දුක් පිණිස හෝ සමර්ථ නොවෙත්. එහි නසන්නෙක් හෝ, නැසීම් කරවන්නෙක් හෝ, අසන්නෙක් හෝ, ඇසීම් කරවන්නෙක් හෝ, දැනගන්නෙක් හෝ, දැනගැණීම කරවන්නෙක් හෝ නැත්තේය.
යම් කෙනෙකුන් තියුණුවූ ශස්ත්‍රයෙන් (ආයුධයෙන්) අනෙකෙකුගේ හිස සිඳීද, කිසිවෙක් කිසිවක්හු ජීවිතයෙන්ද තොර නොකෙරෙයි. සත්වැදෑරුම්වූ කාය අතරෙන් ආයුධය විවරයට පැමිණෙයි. මේ ප්‍රධාන යෝනි තුදුස්ලක්ෂයක් වෙත්. හැටසියයක්ද, සසියයක්ද වෙත්. කර්මය පිළිබඳ පන්සියයක්ද කර්ම පසක්ද, කර්ම තුනක්ද, කර්ම දෙකක්ද, අර්ධ කර්මයන්ද, දෙසැට දෘෂ්ටි ප්‍රතිපදාද, දෙසැට අන්තර කල්පයෝද, සවැදෑරුම් අභිජාතීහුද, පුරුෂ භූමි අටක්ද ආජීවක වෘත්ති එකුන්පණස්සියයක්ද පරිව්‍රාජක ප්‍රව්‍රජ්‍යා එකුන්පණස්සියයක්ද, ඉන්ද්‍රිය සියක්විස්සක්ද, නිරය සියක් තිසක්ද, රජොධාතූන් (රජස් විසීරෙන තැන්) සතිසක්ද, සංඥා ඇති ගර්භ සතක්ද, සංඥා නැති ගර්භ සතක්ද, නිගණ්ඨි ගර්භ සතක්ද, දෙවියෝ සත්දෙනෙක්ද, මිනිස්සු සත්දෙනෙක්ද, පිසාචයෝ සත්දෙනෙක්ද, මහවිල් සතක්ද, ගණ්ඨිකා (ගැට) සතක්ද, මහා ප්‍රපාත සතක්ද, කුඩා ප්‍රපාත සත්සියයක්ද, මහා සිහින සතක්ද, කුඩා සිහින සත්සියයක්ද, වෙති.
යමක්හු බාලයෝද, පණ්ඩිතයෝද, සන්ධාහනය කොට ගමන්කොට දුක්ඛයාගේ කෙළවර කරන්නාහුද, එබඳු මහා කල්ප සම්බන්ධ අසූහතර ලක්ෂයක් වෙත්. එහි මම මේ සීලයෙන් හෝ මේ වෘතයෙන් හෝ මේ තපසින් හෝ මේ බ්‍රහ්මචර්යාවෙන් හෝ නොපැසුනාවූ කර්මය හෝ පැසවන්නෙමි. පැසවූ කර්මය හෝ ස්පර්ශ කර කෙළවර කරන්නෙමියි, මෙසේ ද්‍රොණයෙන් මැන්නාක් මෙන් කෙළවර කරණ ලද සුවදුක් සංසාරයෙහි නැත්තේය. පිරිහීම හා වැඩීම නැත්තේය. උස් පහත්වීම නැත්තේය. යම්සේ නූල්බෝලයක් දැමූ කල්හි ලිහනු ලැබීමටම පැමිණේද, මෙපරිද්දෙන්ම අඥානයෝද, නුවණැත්තෝද සන්ධාවාහනය කොට, ගමන්කොට දුක් කෙළවර කරන්නාහුයයි කියත්.
§17 . “සන්දකය, එහිදී නුවණඇති පුද්ගලයෙක් මෙසේ සලකයි.
මේ පින්වත් ශාස්තෘ තුමා මෙබඳු වාද ඇත්තේ මෙබඳු දෘෂ්ටි ඇත්තේ වේ. කවර වාද දෘෂටිද යත්:
නොකරණ ලද්දාවූ නොකරණ ලද විධාන ඇත්තාවූ නොමවන ලද්දාවූ මැවීම නොකරවන ලද්දාවූ …. එනයින් මම මේ සීලයෙන් හෝ වෘතයෙන් හෝ තපසින් හෝ බ්‍රහ්මචර්යාවෙන් හෝ නොපැසුනාවූ කර්මය පැසවන්නෙමි. පැසුනාවූ කර්මය විඳ විඳ කෙළවර කරන්නෙමියි, මෙසේ ද්‍රොණයෙන් (නැලි සතරක බඳුන) මැන්නාක් මෙන් සීමා කළාවූ සැප දුක් සසර නැත්තේය. පිරිහීමක් වැඩීමක් නැත්තේය. උස් පහත්කම් නැත්තේය. යම්සේ නම් නූල් බෝලයක් බිමට දැමූ කල්හි ලිහෙමින් වැටෙයිද, මෙපරිද්දෙන්ම අඥානයෝද, පණ්ඩිතයෝද සසර ගමන්කොට දුක් කෙළවර කරන්නාහුයයි සිය ආචාර්ය වරයා අසා ණුවණැති පුරුෂයෙක් මෙසේ කියත්.
“ඉදින් මේ පින්වත් ශාස්තෘහුගේ වචනය සත්‍ය නම්, මා විසින් නොකරන යුත්තක් කරණ ලදී. මා විසින් නොවැසිය යුතු වූ බ්‍රහ්මචර්යාවක් වසන ලදී. අපි දෙදෙනම මෙහිදී සම සම ගුණ ඇත්තෝ සමාන බවට පැමිණියෝ වෙමු.
.මේ පින්වත් ශාස්තෘ ඇඳුමක් නොඇඳ නග්නව, හිස මුඩු කොට, උක්කුට්ටියෙන් හිඳීමින් දුක් විඳින්නේ යම් ඵලයක් බලාපොරොත්තුවෙන්ද, මමද අඹු දරුවන් පෝෂණය කරමින්, කසි සළු සුමට වස්ත්‍ර හදිමින් සඳුන් පරිභොග කරමින් මල් ගඳ විලවුන් දරමින් රන් රිදී කහවනු මුදල් පරිභෝග කරමින් ඒ ඔහු පතන ඵලයම පරලෙව්හි ලබන්නෙමි.
මේ සාසනයේ බ්‍රහ්ම චරියා පිළිවෙත පිරුවත් නොපිරුවත් මමද ඔහු ලබන ඵලය ලබන්නේ නම් මා කුමක් දැන කුමක් දැක මේ ශාස්තෘන් වෙත බ්‍රහ්මචර්යාවෙහි හැසිරෙම්දැයි හෙතෙම මේ බ්‍රහ්මචර්ය නැණවත් වාසයක් නොවේයයි අවබෝධ කොට ඒ බ්‍රහ්මචර්යයෙන් කලකිරී බැහැර යෙයි.
§ 18 . සන්දකය, සියල්ල දන්නාවූ, සියල්ල දක්නාවූ අර්හත් සම්‍යක් සම්බුද්ධවූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් ප්‍රකාශ කරණ ලද්දාවූ සතර වන අබ්‍රහ්මචාර්ය වාසය වේ.
§ 19. සන්දකය, යම් තැනෙක්හි නුවණැති පුරුෂයෙක් බ්‍රහ්මචර්යාවෙහි නොවසන්නේද, වසන්නේ හෝ ඒකාන්තයෙන් කුසල ධර්ම මාර්ගයයි සතුටු නොවන්නේද, දන්නාවූ, දක්නාවූ, අර්හත් සම්‍යක්සම්බුද්ධවූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් ප්‍රකාශ කරණ ලද්දාවූ මේ අබ්‍රහ්මචර්ය වාස සතර වෙත්.753
[753:- සාරාංශ කොට කිවහොත්, කර්ම ඵල නොපිළිගන්නා සාසනයන්හි බන්බසර රැකීම නිරර්ථකය. කරන සියලු කාර්ම කුසල් වේවා අකුසල් වේවා ඵල නොදෙන නිසා එහි බඹසර හැසිරීමෙන් වැඩක් නැත. පුනර්භවය නොපිළිගන්නා සාසනයකද මහනකම් කිරීම අරුත් ශුන්‍ය වේ. නැවත උපතක් නැති නිසාය.]
§ 20 . “පින්වත් ආනන්ද ස්ථවිරයෙනි, ආශ්චර්යය සියල්ල දන්නාවූ සියල්ල දක්නාවූ අරහත් සම්මා සම්බුදුන් වහන්සේ විසින් ඥාණ වන්ත පුරුෂයෙකු විසින් බ්‍රහ්මචරියා වාසය හැර යන්නාවූ මේ අවස්ථා සතර මනාව දේශනා කරන ලද්දේ වෙයි.
භවත් ආනන්දයෙනි!
යම් නුවණ ඇති පුරුෂයෙක් යම් සාසනයක බ්‍රහ්මචර්යාවෙහි වසන්නේමුත් ඔහුට බලාපොරොත්තුවන ඵලයක් හෝ කුසල ධර්මයක් උදා නොවන්නාවූ බ්‍රහ්මචර්යා සාසන ගැන භාග්‍යවතුන් වහන්සේ විසින් ප්‍රකාශ කරණ ලද්දාවූ අස්වැසීමක් නැති ඒ බ්‍රහ්මචර්යා සාසනයන් සතර කවරහුද?”
අබ්‍රහ්මචාරී සාසන
bi නියත වාද සාසනය
§ 21. සන්ධකය, මේ ලොකයෙහි ඇතැම් ශාස්තෘවරයෙක් තමන් සර්වඥය , සියල්ල දක්නෙක්ය, ඇවිද යන්නාවූද, හිඳ සිටින්නාවූද, වැතිර ඉන්නාවුද, යන තුන් ඉරියව්වේදීම තමන් ප්‍රඥා ඇසින් දකින්නේක්මි’යයි සියල්ල දක්නා ඥානයක් ඇතැයි ප්‍රකාශ කෙරේ.754
[754: ජෛන ආගමේ නායක මහාවීර නිඝන්ට නාථ පුත්තයන් මෙසේ ප්‍රකාශ කල බව චුල සකුළුදායි සුත්‍රය § 6 හි සඳහන් වන අතර පුරාන කස්සප යන්ද මෙසේ ප්‍රකාශ කල බව AN 9 හි දැක්වේ ]
හෙතෙම හිස් ගෙයට ඇතුල්ද වෙයි. පිණ්ඩපාතයද නොලබයි. බල්ලෙක් ඔහු සපා කයි. වල් අලියෙක් ඔහුට පහර දෙයි. කුලප්පු වූ අශ්වයෙක්ද ගොනෙක්ද ඔහු ට අනියි. ඔහුට හමුවන ස්ත්‍රියක ගෙන් හෝ පුරුෂයෙකුගෙන් ඔහු අසවල් ගමට අසුවල් නගරයට කියනා නම කුමක්දැයි අසයි. ඒ ගමට හෝ නගරයට යන පාර අසයි. ඒ කුමකට දැයි පිලිවිසිනු ලදුව “මා හිස් ගෙයකට වන්නෙමි. එහිදී පිණ්ඩපාත නොලද්දෙමි. බල්ලෙක් මා සැපීය. වල් අලියෙක් මට පහර දුන්නේය. අශ්වයෙක් ද මට පහර දුන්නේය. කුළු ගොනෙකු මට ඇන්නේය. ස්ත්‍රියගේද පුරුෂයාගේද නමද ගොත්‍රයද ඇසිය යුතු වූයේය. එහෙයින් ඇසුවෙමි. ගමක නියම්ගමක නමද මගද ඇසිය යුතු වූයේය. එහෙයින් ඇසුවෙමි”යි කියයි.755
[755:- මේ කතාන්දරය විස්තරකරන්නේ යමක් සිදුවීමට තිබෙන්නේනම් එය පුත්ගලයාගේ කිසි යෙදවීමකින් තොරව ඉබේම සිදුවන බවය. ඒ කතාවේ වෙන සියලු සිදුවීම් ඉබේම සිදුවූ බවත් ඒ නොසිදුවන්නට කිසිත් කරන්නට නොහැකි බවත්ය. වරක් නිඝන්ට නාථ පුත්තගේ සියල්ල දන්නා සර්වඥ බව පරීක්ෂා කරමි යයි එක බමුණෙක් ඔහුට දානය සඳහා ආරාධනා කොට ඔහු එන මාර්ගයෙහි බොරු වලක් සාරා ගොම පුරවා මතුපිට ආවරණය කොට වැලි ඉස, නාථ පුත්තයන් සර්වඥ නම් මේ වලේ නොවැටෙන්නේය. මන්ද යත් සර්වඥ වූ ඔහු මේ බොරු වලක් බව වැටෙන්නට පෙර දන්නා නිසායි සිතුහ. එනමුත් නිඝන්ට නාතයන් වලේ වැටී ගොම ගොඩහි එරී ගොඩ ආපු බවත් , ඒ වෙන්නට තිබුණු සිදුවීමක් ය. සර්වඥ මුත් මා දැනගත්තත් නැතත් එය වන්නේය’යි කීළු.]
§ 22. “සන්දකය, එවිට නුවණ ඇති පුරුෂයෙක් මෙසේ සලකයි.
“මේ පින්වත් ශාස්තෘතුමා, සර්වඥව සියල්ල දක්නෙක්ව තුන් ඉරියව්වේදීම , මට නිරන්තරයෙන් සියල්ල නුවණින් දැකීම ඇත්තේ යයි නිරවශෙෂවූ ඥාන දර්ශනයක් ප්‍රකාශ කෙරෙයි. එනමුත් ඔහුට සිදුවන අනතුරු වලින් ඔහු නොගැලවේ. ඔහුගේ බුද්ධියෙන් ඔහුට ඵලක් නොවේ.
§ 23 හෙතෙම මේ බ්‍රහ්මචර්යාව අස්වැසීම් හෙවත් ප්‍රතිඵල රහිතයයි’ මෙසේ දැන කලකිරී ඒ බ්‍රහ්මචර්යාවෙන් බැහැර වෙයි. සන්දකය, මේ නම් යම් නුවණැති පුරුෂයෙක් ඒකාන්තයෙන් බ්‍රහ්මචර්යාවෙහි නොවසන්නේද වසන්නේ හෝ න්‍යාය වශයෙන් කුශලධර්ම මාර්ගයයි සතුටු නොවන්නේද දන්නාවූ දක්නාවූ අර්හත්වූ සම්‍යක්සම්බුද්ධවූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් එබඳු අස්වැසීම් රහිතවූ ප්‍රකාශ කරණ ලද පළමුවන බ්‍රහ්මචර්යාව වේ.
b ii -ග්‍රන්ථධර සාසනය
§ 24 . “සන්දකය, නැවත අනිකක්ද කියමි.
මේ ලොකයෙහි ඇතැම් ශාස්තෘවරයෙක් තමන්ගේ පුර්ව ආචාරීන් දෙසනා කල දෑ අසමින් කියවමින් ඒ ඇසු දේම සත්‍යයයි ගන්නෙක් වෙයි. හෙතෙම ඇසීම් වශයෙන් මෙසේ ධර්මධර වෙයි. පරම්පරාවෙන් එන වර්ග, වේද ගාථා, පණ්ණාසක ඇතුළත් ග්‍රන්ථවලින්ද ධර්මය දෙශනා කරයි.
§ 25 . “සන්දකය, මෙසේ ඇසීමෙන් ධර්මය උගත්තාවූ ආචාරීන් , ඇසු දෑ සත්‍යය යැයි ගත්තාවූ ශාස්තෘන් විසින් සමහර විට මනාකොට අසන ලද්දක් වේවයි. මනාව නොඅසන ලද ධර්මයක් වේවයි ඒ දැනගන්ම සත්‍යය වන්නටත් පිළිවන. අසත්‍යය වන්නටත් පිළිවන. සන්දකය, එහිදී නුවණ ඇති පුරුෂයෙක් මෙසේ සලකයි. ‘මේ පින්වත් ශාස්තෘතුමා බොහෝ ධර්මය අසා ඇත්තේය. කියවා ඇත්තේය. වනපොත් කොට ඇත්තේය. එතුමා මෙසේ වේයයි පරම්පරාවෙන් ඇසු දෙයින්ද ග්‍රන්ථවලින්ද ධර්මය දෙශනා කරයි. ඇසීම සත්‍යකොට ගත්තාවූ ශාස්තෘහු විසින් වනාහි මනාකොට අසන ලද්දක්ද වෙයි. නොමනාව අසන ලද්දක්ද වෙයි. ඇසූ ආකාරයෙනුත් වෙයි. අන් පරිද්දෙකිනුත් වෙයි (යනුවෙනි).756
[756: සමහර සුත්‍ර කියවන කෙනෙකුට මේ සුත්‍ර සම්පුර්ණයෙන්ම විශ්වාස කල නොහැකි බව බොහෝ බටහිර උගතුන් සඳහන් කරයි. දීඝ නිකායේ ලක්ඛණ සුත්‍රය වැනි සුත්‍ර පසු කාලීනව සුත්‍ර පිටකයට කල එකතු කිරීම බව සාධක සහිතව ඔප්පු කිරීමට ඔවුහු මාලි නොවේ.]
§ 26 . මෙසේ හෙතෙම මේ බ්‍රහ්මචර්යාව ඵලයක් ගෙන දෙන්නේ නැතැයි දැන ඒ බ්‍රහ්මචර්යාවෙහි කලකිරී බැහැර වෙයි. සන්දකය, සියල්ල දන්නාවූ දක්නාවූ අර්හත්වූ සම්‍යක්සම්බුද්ධවූ භාග්‍යවතුන් වහන්සේ විසින් ප්‍රකාශ කරණ ලද මනාවූ අස්වැසීමක් ප්‍රතිඵලයක් නැත්තාවූ දෙවන බ්‍රහ්මචර්යාව වේ.”
b iii තර්කන සාසනය
§ 27 . “සන්දකය, නැවත අනිකක්ද කියමි.
මේ ලොකයෙහි ඇතැම් ශාස්තෘවරයෙක් තර්කයෙන් ධර්මය ගලපන්නෙක් වෙයි. හෙතෙම තමාගේ බුද්ධියෙන් තර්ක ඥානයෙන් යමක් ගැන යම් ධර්මතාවක් ගැන සිතා නිර්නායනට එළඹ ඒ සත්‍යය වේ යයි අදහන්නෙක් වෙයි. මෙසේ තර්කයට අනුව ගත් උගන්වන සමහර දෑ සත්‍යය විය හැක. ඔහුගේ බුද්ධියෙන් ඔබ්බෙහි වන බොහොමයක් අසත්‍ය වෙයි.
§ 28 . ඔහුගේ ශ්‍රාවකයා නුවණැති නම් ඔහු මේ ගැන මෙසේ සිතයි. මගේ ශාස්තෘන් තම තර්කයට ගැලපෙන දේ දේශනා කරයි. ඉන් සමහර දේ සත්‍යය වේ. නමුත් සියල්ලම සත්‍ය නොවේ. මේ සසුනේ බඹසර රැකීමෙන් ඵලයක් නොවේ යයි සතුටු නොවන්නේය. ඔහු ඒ සාස්තෘන් ගේ සාසනය හැර යයි.
§ 29. සියල්ල දන්නාවූ දක්නාවූ අර්හත්වූ සම්‍යක් සම්බුද්ධවූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් ප්‍රකාශ කරණ ලද ඵලයක් නැත්තාහු තුන්වන බ්‍රහ්මචර්යාව එය වේ.
b iv අමරාවික්ඛේප වාද සාසනය
[ආඳා දියෙහි එහා මෙහා පනින්නේ උහුව අල්ලා ගැන්ම ඉතා අසීරුය. ආඳා පනින්ක්නාක් මෙන් උත්තර දෙනවා යයි කියන්නේ මේ ආකාරයට පිළිතුරු දෙන අයටය. දීඝ නිකායේ සාමන්ඥ ඵල සුත්‍රයේ සංජය බෙල්ලට්ට පුත්ත එවැනි සාස්තෘවරයෙකු බව දක්වයි.]
§ 30 . “සන්දකය. නැවත අනිකක් කියමි. මේ ලෝකයෙහි ඇතැම් ශාස්තෘවරයෙක් මදනුවණ ඇත්තේ තමනුත් අතිශයින් මුලාවූයේ වෙයි. හෙතෙම මදනුවණ ඇති බැවින් අතිශයින් මුලාවූ බැවින් කිසිවෙක් ප්‍රශ්නයක් ඇසු විට අදාළ නොවූ වෙනත් දේ කියමින් ප්‍රශ්නයෙන් පැන යාමට තැත් කරයි. ආඳකු ලෙස ලිස්සායන මොහු “එය වෙන්නත් පිළිවන්, නොවෙන්නත් පිළිවෙන, ඒ දෙකම වන්නත් හැක, නොවන්නත් හැක.
[ Permanent Secretary, Sir Humphrey Appleby විසින් “Yes Minister” TV නාටකවලදී ඇමති අසන ප්‍රශ්නවලට දෙන පිළිතුරු සේය.]
එසේ එසේ ප්‍රශ්න අසන ලද විට සීමාවක් නැතිව වචනයෙන් ඉවත දැමීමට පැමිණෙයි. ‘මෙසේත් මට නොවෙයි. එසේත් මට නොවෙයි. අන් පරිදිත් මට නොවෙයි. මට නැත්තේද නොවෙයි. මට නැත්තේ නොවන්නේද නොවේ’යි යනුවෙනි.
§ 31. සන්දකය, එහිදී නුවණැති පුරුෂයෙක් මෙසේ සලකයි. මේ පින්වත් ශාස්තෘතුමා මදනුවණ ඇති කෙනෙකි. ඔහු අතිශයින් මුලාවූ අයෙකි. හෙතෙම මදනුවණ ඇති බැවින් අතිශයින් මුලාවූ බැවින් එසේ ප්‍රශ්න අසන ලද්දේ නම් සීමාවක් නැති හිස් වචන දොඩවමින් ප්‍රශ්නයෙන් ඉවත පැනීමට සැරසෙයි. ‘මෙසේත් මට නොවෙයි. එසේත් මට නොවෙයි. අන් පරිදිත් මට නොවෙයි. මට නොවන්නේද නොවෙයි. මට නොවන්නේ නොවන්නේද නොවේයි’ කියායි.
§ 32 . නුවණැති පුරුෂයා, මේ නම් ඵලයක් නැති අස්වැසීමක් නැත්තාවූ බ්‍රහ්මචර්යාව කැයි දැන ඒ බ්‍රහ්මචර්යාවෙන් කලකිරී බැහැර වෙයි.’ සියල්ල දන්නාවූ දක්නාවූ අර්හත්වූ සම්‍යක් සම්බුද්ධවූ භාග්‍යවතුන් වහන්සේ විසින් ප්‍රකාශ කරණ ලද නුවණැති පුරුෂයෙකු ඒකාන්තයෙන් බ්‍රහ්මචර්යාවෙහි නොවසන්නේද වසන්නේ වුවද මේ කුසලධර්ම මාර්ගයයි ඒ ගැන සතුටු නොවන්නේද, ඵලයක් නැත්තාවූ සතරවන බ්‍රහ්මචර්යාව වේ
§ 33 . සන්දකය, සියල්ල දන්නාවූ දක්නාවූ අර්හත්වූ සම්‍යක් සම්බුද්ධවූ භාග්‍යවතුන් වහන්සේ විසින් ප්‍රකාශ කරණ ලද, යම් නුවණැති පුරුෂයෙක් සාසන යක රැඳෙමින් පිලිවත් පිරුවත් සතුටු විය හැකි ඵල නොලබන බ්‍රහ්මචරියා සතර වේ..
§ 34 .ආශ්චර්යය, භවත් ආනන්ද ස්ථවිරය, පුදුමය. ශ්‍රමණයෙකු ම්රහ්මචරියාව රැක්මට පිළිවෙත් පිරීමට තෝරාගත් යම් සාස්ත්රුකෙනෙකුගේ සාසනය හැර දමා යන මේ සතර ආකාරයද, යම් සසුනක රැඳෙමින් පිළිවෙත් පිරුවත්, ඵලයක් ලබන්නට හැකි නොවන්නාවූ අවස්ථා සතරක් ගැනත්, භාග්‍යවතුන් වහන්සේ තෝරා විස්තර කර ඇති ආකාරය .
භවත් ආනන්ද යම් නුවණැති මිනිසෙකු විසින් සුදුසු සාසනයකියැයි තෝරාගත හැකි, එම සාසනයෙහි රැඳෙමින් පිළිවෙත් පුරා යහපත් ප්‍රතිඵල ලැබිය හැකි බ්‍රහ්මචර්යාවක් ගැන , භාග්‍යවතුන් වහන්සේ ප්‍රකාශ කොට ඇත්ද?”
§ 35. “සන්දකය, මේ ලොකයෙහි අර්හත්වූ සම්‍යක් සම්බුද්ධවූ, අෂ්ට විද්‍යා පසළොස් චරණධර්මයන්ගෙන් යුක්තවූ ශොභන ගමන් ඇත්තාවූ තුන්ලොව දන්නාවූ පුරුෂයන් දමනය කිරීමෙහි උතුම් සාර්ථවාහකයෙකු බඳුවූ දෙවිමිනිසුන්ට අනුශාසනා කරන්නාවූ චතුස්සත්‍යය අවබොධ කළාවූ සියලු ක්ලෙශයන් නැතිකළාවූ තථාගතයන් වහන්සේ පහල වෙත්.
උන්වහන්සේ දෙවියන් සහිතවූ මාරයන් සහිතවූ බ්‍රහ්මයන් සහිතවූ මේ ලොකය, මහණ බමුණන් සහිතවූ දෙවිමිනිසුන් සහිතවූ ප්‍රජාවද තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්ෂකොට ප්‍රකාශ කෙරෙයි. උන්වහන්සේ මුල යහපත්වූ, මැද යහපත්වූ කෙළවර යහපත්වූ අර්ථ සහිතවූ ව්‍යංජන සහිතවූ ධර්මය දෙශනා කරයි. සියල්ලෙන් සම්පූර්ණවූ පිරිසිදුවූ මාර්ග බ්‍රහ්මචර්යාව ප්‍රකාශ කරයි.
§ 36 . ගෘහපතියෙක් හෝ ගෘහපති පුත්‍රයෙක් හෝ එක්තරා කුලයෙක්හි උපන්නෙක් හෝ ඒ ධර්මය අසයි. හෙතෙම ඒ ධර්මය අසා තථාගතයන් වහන්සේ කෙරෙහි පහදියි. එසේ පැහැදුනාවූ ඔහු මෙසේ සලකයි. ගිහිගෙහි විසීම අවහිර සහිතය, කෙලෙස් දූවිලි උපදින තැනකි, මහණකම වනාහි අවකාශය මෙන් නිදහස්ය. ගිහිගෙයි වසන්නහු විසින් ඒකාන්තයෙන් සම්පූර්ණකොට ඒකාන්තයෙන් පිරිසිදු කොට ලියවන ලද සකක් වැනිවූ මේ ශාසන බ්‍රහ්මචරියාවෙහි හැසිරෙන්ට පහසු නොවෙයි. ‘මම හිසකෙස් දැළිරැවුල් කපා දමා, සිවුරු හැඳ ගිහිගෙන් නික්ම වන්නෙම් නම් ඉතා යෙහෙක’ (කියායි).
§ 37 . හෙතෙම පසුකාලයක ස්වල්පවූ හෝ සම්පත් හැර, බොහෝවූ හෝ සම්පත් හැර, ස්වල්පවූ හෝ නෑදෑ පිරිස් හැර, බොහෝවූ හෝ නෑදෑ පිරිස් හැර, හිසකේ දැළි රැවුල් කපා දමා, සිවුරු හැඳ ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වෙයි. හෙතෙම මෙසේ පැවිදි වූයේම භික්ෂු ශීලයෙන් යුක්තවූයේ ප්‍රාණඝාතය හැර, ප්‍රාණඝාතයෙන් වැලකුනේ වෙයි. බහා තබන ලද දඬු ඇත්තේ, පව්කිරීමට ලජ්ජා ඇත්තේ, කරුණාවෙන් යුක්තවූයේ සියලු සතුන් කෙරෙහි හිතානුකම්පා ඇතිව වාසය කරයි. නුදුන් දෙය ගැණීම් හැර නුදුන් දෙය ගැණීමෙන් වැලකුනේ වෙයි. දුන් දෙය ගන්නේ දුන් දෙයෙහි බලාපොරොත්තු ඇත්තේ සොරනොවූ පිරිසිදු සිතින් යුක්තව වාසය කරයි.
§ 38 . “අබ්‍රහ්මචරියාව හැර උතුම් පැවතුම් ඇත්තේ ස්ත්‍රී පුරුෂ සංසර්ගය නම් ග්‍රාම ධර්මයෙන් වෙන්ව බ්‍රහ්මචාරීවේ. මුසාවාදය හැර, මුසාවාදයෙන් වැලකුනේ සත්‍ය වචන ඇත්තේ සත්‍යයෙන් සත්‍යය ගලපන්නේ ස්ථිර වචන ඇත්තේ ඇදහිය යුතු වචන ඇත්තේ ලොව මුළා නොකරන්නෙක් වෙයි. කේලාම් කීම හැර කේලාම් කීමෙන් වැලකුනේ වෙයි. මෙයින් අසා මොවුන්ගේ බිඳවීම පිණිස එතන්හි නොකියන්නේ වෙයි. එතණින් අසා ඔවුන් බිඳවීම පිණිස මොවුන්ට නොකියන්නේ වෙයි. මෙසේ බිඳනවුන් ගලපන්නේ හෝ සමගිවූවන්ට අනුබල දෙන්නේ හෝ සමගියෙහි ඇලුනේ සමගියට කැමතිවූයේ සමගියට සතුටුවූයේ සමගි කරන වචන කියන්නේ වෙයි. පරුෂ වචනය හැර පරුෂ වචනයෙන් වැලකුනේ වෙයි. යම් ඒ වචනයක් නිර්දොෂද, කණට මිහිරිද, ප්‍රෙමණීයද සිත සතුටු කරයිද, යහපත්ද, බොහෝ දෙනාට ප්‍රියද එබඳු වචන කියන්නේ වෙයි. සම්ඵප්‍රලාපය හැර හිස් කථා කිරීමෙන් වැලකුනේ වෙයි. කාලයට සුදුසු වචන ඇත්තේ සත්‍යවූ වචන ඇත්තේ, අර්ථයෙන් යුත් වචන ඇත්තේ ධර්මයෙන් යුත් වචන ඇත්තේ හික්මීමට සුදුසු වචන ඇත්තේ සුදුසු වචන ඇත්තේ සුදුසු කල්හි කියන කරුණු සහිතවූ සීමා සහිත අර්ථයෙන් යුක්තවූ, හිතෙහි තැන්පත් කටයුතුවූ වචන කියන්නේ වෙයි.
§ 39 . “හෙතෙම පැලවෙන තණ, ගස්, වැල් සිඳීම් බිඳීම් ආදියෙන් වැලකුනේ වෙයි. එක් වේලෙහි වළඳන බත් ඇත්තේ රාත්‍රි භොජනයෙන් තොරවූයේ විකල් බොජුනෙන් වැලකුනේ වෙයි. මල් ගඳ විලවුන් සැරසීම් දැරීම් යන මෙයින් වැලකුනේ වෙයි. උස් ආසන මහා ආසනයන්ගෙන් වැලකුනේ වෙයි. රන් රිදී මසු කහවනු පිළිගැන්මෙන් වැලකුනේ වෙයි. අමුමස් පිළිගැනීමෙන් වැලකුනේ වෙයි. ස්ත්‍රීන් හා කුමරියන් පිළිගැන්මෙන් වැලකුනේ වෙයි. දාසයන් හා දාසීන් පිළිගැන්මෙන් වැලකුනේ වෙයි. එළුවන් හා තිරෙළුවන් පිළිගැන්මෙන් වැලකුනේ වෙයි. කුකුළන් හා ඌරන් පිළිගැන්මෙන් වැලකුනේ වෙයි. ඇතුන්ද, ගවයන්ද, අසුන්ද, වෙළඹුන්ද පිළිගැන්මෙන් වැලකුනේ වෙයි. කුඹුරු හා ඉඩම් පිළිගැන්මෙන් වැලකුනේ වෙයි. දූත මෙහෙවර හා පණිවුඩ පණත්වල යෙදීමෙන් වැලකුනේ වෙයි. බඩු විකිණීමෙන් හා මිළදී ගැණීමෙන් වැලකුනේ වෙයි. තරාදියෙන් හොරට වංචා කිරීමය යන මෙයින් වැලකුනේ වෙයි. අල්ලස් ගැණීමය, රැටීමය, කෛරාටික කම් කිරීමය, යන මෙයින් වැලකුනේ වෙයි. අත් පා ආදිය කැපීමය රැහැන් ආදියෙන් බැඳීමය. සැඟවී සිට මං පැහැරීමය, ගම් ආදියට පැන කොල්ලකෑමය, බලහත්කාර කම් කිරීම් යනාදියෙන් වැලකුනේ වෙයි.
§ 40 . “හෙතෙම කයින් පරිහරණය කරන සිවුරෙන්ද, කුසින් පරිහරණය කරණ ආහාරයෙන්ද සතුටුවූයේ වෙයි. හෙතෙම යම් යම් තැනකට යන්නේද, (තමන්ගේ අට පිරිකර පමණක්) අරගෙනම යයි. යම්සේ පියාපත් ඇති පක්ෂියෙක් යම් යම් තැනකට පියාඹන්නේ පියාපත් බර පමණක් ගෙන පියාඹන්නේද, එපරිද්දෙන්ම භික්ෂුව පරිහරණය කරන සිවුරෙන්ද, තමනට ලබන සුළු වූ ආහාරයෙන්ද සතුටු වූයේ වෙයි. යම් යම් තැනකට යන්නේද අවශ්‍ය පිරිකර පමණක් හැරගෙන යයි. හෙතෙම මේ උතුම් සීලයෙන් යුක්තවූයේ අධ්‍යාත්මයෙහි නිවැරදිවූ සුවය විඳියි.
§ 41 . “හෙතෙම ඇසින් රූපයක් දැක එය නිමිති වශයෙන් නොගනියි. නැවත නැවත මතක්වනසේ සිතට නොගනියි. යමක් හේතුකොටගෙන චක්ෂු ඉන්ද්‍රියයෙහි අසංවරව වසන්නහුට ලොභ ද්වෙෂ අකුසල ධර්මයෝ උපදිත්ද, ඒ ඇසෙහි සංවරය පිණිස උපදියි. චක්ෂු ඉන්ද්‍රිය රකියි. චක්ෂු ඉන්ද්‍රියයෙහි සංවරයට පැමිණෙයි. කණින් ශබ්දයක් අසා එය නිමිති වශයෙන් නොගනියි. නැවත නැවත මතක්වනසේ සිතට නොගනියි. යමක් හේතුකොටගෙන සොත ඉන්ද්‍රියයෙහි අසංවරව වසන්නහුට ලොභ ද්වෙෂ අකුසල ධර්මයෝ උපදිත්ද, ඒ කණෙහි සංවරය පිණිස පිළිපදියි. සොත ඉන්ද්‍රියය රකියි. සොත ඉන්ද්‍රියයෙහි සංවරයට පැමිණෙයි. නාසයෙන් ගඳක් ආඝ්‍රාණය කොට එය නිමිති වශයෙන් නොගනියි. නැවත නැවත මතක්වනසේ සිතට නොගනියි. යමක් හේතුකොටගෙන ඝ්‍රාණෙන්ද්‍රියය අසංවරව වසන්නහුට ලොභ ද්වෙෂ අකුශල ධර්මයෝ උපදිද්ද, ඒ ඝ්‍රාණෙන්ද්‍රියයෙහි සංවරය පිණිස පිළිපදියි. ඝ්‍රාණඉන්ද්‍රියය රකියි. ඝ්‍රාණඉන්ද්‍රියයෙහි සංවරයට පැමිණෙයි. දිවෙන් රසයක් විඳ එය නිමිති වශයෙන් නොගනියි. නැවත නැවත මතක්වනසේ සිතට නොගනියි. යමක් හේතුකොට ගෙන දිව අසංවරව වසන්නහුට ලොභ ද්වෙෂ අකුශල ධර්මයෝ උපදිත්ද, ඒ ජීව්හා ඉන්ද්‍රියයෙහි සංවරය පිණිස පිළිපදියි. ජිව්හා ඉන්ද්‍රියය රකියි. ජව්හා ඉන්ද්‍රියයෙහි සංවරයට පැමිණෙයි. කයින් පහසක් ස්පර්ශකොට එය නිමිති වශයෙන් නොගනියි. නැවත නැවත මතක්වනසේ සිතට නොගනියි.
යමක් හේතු කොටගෙන කය අසංවරව වසන්නහුට ලොභ ද්වෙෂ අකුශල ධර්මයෝ උපදිද්ද, ඒ කය සංවරය පිණිස පිළිපදියි. කායෙන්ද්‍රියය රකියි. කායෙන්ද්‍රියයෙහි සංවරයට පැමිණෙයි. සිතින් ධර්ම අරමුණක් දැන එය නිමිති වශයෙන් නොගනියි. නැවත නැවත මතක්වනසේ සිතට නොගනියි. යමක් හේතුකොටගෙන මනින්ද්‍රියයෙහි අසංවරව වසන්නහුට ලොභ ද්වෙෂ අකුශල ධර්මයෝ උපදිද්ද, ඒ මනින්ද්‍රියයෙහි සංවරය පිණිස පිළිපදියි. මනින්ද්‍රිය රකියි. මනින්ද්‍රියයෙහි සංවරයට පැමිණෙයි. හෙතෙම මේ උතුම් ඉන්ද්‍රිය සංවරයෙන් යුක්ත වූයේ තම සන්තානයෙහි කෙලෙසුන්ගෙන් තෙත් නොවූ සැපය විඳයි.
§ 42 . “හෙතෙම ඉදිරියට යාමෙහිද, ආපසු යාමෙහිද, නුවණින් දැන කරන්නේ වෙයි. ඉදිරිය බැලීමෙහිද හැසිරීමෙහිද නුවණින් දැන කරන්නේ වෙයි. අත් පා හැකිලීමෙහිද, දිගු කිරීමෙහිද නුවණින් දැන කරන්නේ වෙයි. සඟල සිවුර හා පාත්‍රා සිවුරු දැරීමෙහිද නුවණින් දැන කරන්නේ වෙයි. ආහාර වැළඳීමෙහිද, බීමෙහිද, රස විඳීමෙහිද නුවණින් දැන කරන්නේ වෙයි. මලමුත්‍ර පහකිරීමෙහිද නුවණින් දැන කරන්නේ වෙයි. යාමෙහිද, සිටීමෙහිද, හිඳීමෙහිද, නිදාගැණීමෙහිද, නිදි දුරුකිරීමෙහිද, කථාකිරීමෙහිද, නිශ්ශබ්දව හිඳීමෙහිද, නුවණින් දැන කරන්නේ වෙයි. හෙතෙම මේ උතුම්වූ ශීල රාශියෙන්ද යුක්තවූයේ මේ ඉන්ද්‍රිය සංවරයෙන්ද යුක්තවූයේ මේ උතුම් සිහි නුවණ දෙකින් යුක්තවූයේ විවේකයට සුදුසුවූ ආරණ්‍යය, වෘක්ෂ මූලය, පර්වතය, කඳුරැලිය පර්වතය, ගුහාය, සොහොනය, දුරවූ වන සේනාසනය, හිස් තැනය, පිදුරු ගොඩවල්ය යන විවේක සේනාසනයක් සේවනය කරයි.
§ 43 . “හෙතෙම බතින් පසු ශරීරය කෙලින් තබා සිත අරමුණෙක පිහිටුවා හිඳගනියි. හෙතෙම ස්කන්ධලොකයෙහි ලොභය දුරුකොට ලොභය නැති සිතින් යුක්තව වාසය කරයි. ලොභයෙන් සිත පිරිසිදු කරයි. සිත විනාශ කරන්නාවූ ක්‍රොධය දුරුකොට ක්‍රොධ රහිත සිත් ඇත්තේ සියලු සත්වයන් කෙරෙහි හිතානුකම්පා ඇත්තේ වාසය කරයි. ක්‍රොධයෙන් සිත පිරිසිදු කරයි. සිතෙහි ගිලන් බවයයි කියන ලද ථීනයද, චෛතසිකයන්ගේ ගිලන්බවයයි කියනලද මිද්ධයද හැර පහවූ ථීනමිද්ධ ඇත්තේ අලොක සංඥා ඇත්තේ සිහිය හා නුවණ ඇත්තේ වාසය කරයි. ථීනමිද්ධයෙන් සිත පිරිසිදුකරයි. නොසන් බව හා පසු තැවීම හැර සන්සුන්වූයේ අධ්‍යාත්මයෙහි සන්සිඳුනු සිත් ඇත්තේ වාසය කරයි. උද්ධච්ච කුක්කුච්චයෙන් සිත පිරිසිදු කරයි. විචිකිච්ඡාව හැර දුරු කරන ලද සැක ඇත්තේ (කුශල ධර්මයන්හි) මෙය කෙසේ කෙසේ වේදැයි පැවත් සැක නැත්තේ වාසය කරයි. විචිකිච්ඡාවෙන් සිත පිරිසිදු කරයි.
§ 44. හෙතෙම සිත කිලිටු කරන්නාවූ ප්‍රඥාව දුර්වල කරන්නාවූ මේ පඤ්ච නීවරණයන් හැර කාමයන්ගෙන් වෙන්වම අකුසල ධර්මයන්ගෙන් වෙන්වම විතර්කසහිතවූ විචාරසහිතවූ විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති පළමුවන ධ්‍යානයට පැමිණ වාසය කරයි. සන්දකය, යම් ශාස්තෘවරයෙකු වෙත ශ්‍රාවක තෙම මෙබඳුවූ මහත්වූ විශෙෂයක් ලබයිද එහි නුවණ ඇති පුරුෂතෙම ඒකාන්තයෙන් බ්‍රහ්මචර්යාවෙහි වසන්නේය. වසන්නේ හෝ කුසල ධර්ම මාර්ගයන් සතුටු වන්නේය.
§ 45 “සන්දකය, නැවත අනිකක්ද කියමි. භික්ෂුව විතර්ක විචාර යන කාර්යයන් නිම කිරීමෙන් ලබන සංසිඳීමෙන් අධ්‍යාත්මයෙහි පැහැදීම ඇති සිතේ එකඟ බව ඇති විතර්ක රහිතවූ විචාර රහිතවූ සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති දෙවන ධ්‍යානයට පැමිණ වාසය කරයි. සන්දකය, යම් ශාස්තෘවරයෙකු සමීපයෙහි වනාහී ශ්‍රාවකතෙම මෙබඳුවූ මහත්වූ විශෙෂයකට පැමිණේද, එහි නුවණ ඇති පුරුෂතෙම ඒකාන්තයෙන් බ්‍රහ්මචර්යාවෙහි වසන්නේය. වසන්නේ හෝ කුසල ධර්ම මාර්ගයයි සතුටු වන්නේය.
§ 46. “සන්දකය, නැවත අනිකක්ද කියමි, භික්ෂුව ප්‍රීතියද වැළැක්මෙන් උපේක්ෂාව ඇත්තේ සතිය හා ඥානය ඇතිව වාසය කරයි. කයින්ද සුවය විඳියි, යමක් උපේක්ෂා ඇත්තේ, සතිය ඇත්තේය සැප විහරණ ඇත්තේයයි ආර්යයෝ කියත්ද ඒ තෘතීය ධ්‍යානයට පැමිණ වාසය කරයි.
සන්දකය, යම් ශාස්තෘවරයෙකු කෙරෙහි ශ්‍රාවකතෙම මෙබඳු මහත්වූ විශෙෂයකට පැමිණේද, එහි නුවණ ඇති පුරුෂයෙක් ඒකාන්තයෙන් බ්‍රහ්මචර්යාවෙහි වසන්නේය.එසේ වසන්නේ හෝ කුසල ධර්ම මාර්ගයයි සතුටු වන්නේය.
§ 47. “සන්දකය, නැවත අනිකක්ද කියමි භික්ෂුව සැපයද දුරු කිරීමෙන් දුකද දුරු කිරීමෙන් පළමුවම සොම්නස් දොම්නස් දෙදෙනාගේ සංසිඳීමෙන් දුක්ද නොවූ සැපද නොවූ උපේක්ෂාවෙන් සතිය හා පිරිසිදු බව ඇති සතරවන ධ්‍යානයට පැමිණ වාසය කරයි.
සන්දකය, යම් ශාස්තෘවරයෙකු කෙරෙහි ශ්‍රාවකයෙක් මෙබඳු මහත් විශෙෂ අවබෝධයකට පැමිණේද, එහිදී නුවණැති පුරුෂයෙක් ඒකාන්තයෙන්ම සැබෑ බ්‍රහ්මචර්යාවෙහි වසන්නේය. එසේ වසන්නේ කුසල ධර්ම මාර්ගයයි සතුටු වන්නේය.
“හෙතෙම මෙසේ සිත එකඟවූ කල්හි පිරිසිදුවූ කල්හි කෙලෙස් රහිතවූ කල්හි, උප ක්ලේශයන් පහව ගිය කල්හි, මෘදුවූ කල්හි, කර්මයට සුදුසුවූ කල්හි, ස්ථිරවූ කල්හි, කම්පා නොවන බවට පැමිණි කල්හි, පෙරවිසූ භව පිළිවෙළ දැනගැණීම පිණිස සිත නමයි.
හෙතෙම නොයෙක් ආකාරවූ පෙර විසීම සිහි කරයි. එනම් ජාති එකක්ද ජාති දෙකක්ද ජාති තුනක්ද ජාති හතරක්ද, ජාති පහක්ද, ජාති දසයක්ද, ජාති විස්සක්ද, ජාති තිහක්ද, ජාති හතළිසක්ද, ජාති පණසක්ද, ජාති සියයක්ද, ජාති දහසක්ද, ජාති ලක්ෂයක්ද, නොයෙක් විනාශ වෙමින් පවතින කල්පයන්ද, නෙයෙක් හැදෙමින් පවතින කල්පයන්ද නොයෙක් විනාශවන හෝ හැදෙන කල්පයන්ද, අසුල් තැන ජීවත් වීමි. එහිදී මෙනම් ඇත්තෙම්, මේ ගොත්‍ර ඇත්තෙම්, මෙබඳු වර්ණ ඇත්තෙම්, මෙබඳු ආහාර ඇත්තෙම්, මෙබඳු සුවදුක් වින්දෙමි. මෙබඳු ආයුෂ කෙළවරකොට ඇත්තෙම් වීමි. ඒ මම එයින් චුත වූයෙම් අසුවල් තැන ඉපදුනෙම් එහිදු මෙනම් ඇත්තෙම්, මේ ගොත්‍ර ඇත්තෙම්, මෙබඳු වර්ණ ඇත්තෙම්, මෙබඳු ආහාර ඇත්තෙම්, මෙබඳු සුවදුක් වින්දෙම්, මෙබඳු ආයුෂ කෙළවරකොට ඇත්තෙම් වීමි. ඒ මම එයින් චුතවූයේ මෙහි උපන්නේ වෙමි”යි මෙසේ ආකාර සහිතවූ, උදෙසීම් සහිතවූ, අනෙක ප්‍රකාරවූ, පෙරවිසීම් සිහි කරයි. සන්දකය, යම් ශාස්තෘවරයෙකු වෙත වනාහි ශ්‍රාවකතෙම මෙබඳු මහත් විශෙෂයකට පැමිණේද, එහි නුවණ ඇති පුරුෂ තෙම ඒකාන්තයෙන් බ්‍රහ්මචර්යාවෙහි වසන්නේය. වසන්නේ හෝ කුසල ධර්ම මාර්ගයයි සතුටු වන්නේය.
§ 48 . “හෙතෙම මෙසේ සිත එකඟවූ කල්හි පිරිසිදුවූ කල්හි නිර්මලවූ කල්හි කෙලෙස් රහිතවූ කල්හි පහව ගිය උපක්ලේශයන් ඇතිකල්හි මෘදුවූ කල්හි කර්මයට සුදුසුවූ කල්හි ස්ථිරවූකල්හි කම්පානොවන බවට පැමිණි කල්හි, සත්වයන්ගේ චුති උත්පත්ති දැනගැණීම පිණිස සිත නමයි.
හෙතෙම පිරිසිදුවූ මිනිස් ඇස ඉක්ම පවත්නාවූ දිව්‍යවූ ඇසින් චුතවනු ලබන්නාවූද, උපදිනු ලබන්නාවූද, ලාමකවූද, උතුම්වූද, යහපත් වර්ණ ඇත්තාවූද, අයහපත් වර්ණ ඇත්තාවූද, හොඳ ලොව ගියාවූද, නරක ලොව ගියාවූද සත්වයන් දකියි. ඒකාන්තයෙන් මේ පින්වත් සත්වයෝ කාය දුශ්චරිතයෙන් යුක්ත වූවෝය. වාග් දුශ්චරිතයෙන් යුක්තවූවෝය, මනො දුශ්චරිතයෙන් යුක්තවූවෝය, ආර්යයන්ට දොස් කීවෝය, මිථ්‍යාදෘෂ්ටි ඇත්තෝවූහ, මිථ්‍යාදෘෂ්ටි කර්ම සමාදන් වූවෝ වූහ. ඔව්හු ශරීරය බිඳීමෙන් මරණින් මත්තෙහි නපුරු ගති ඇති, යටිකුරුව වැටෙන්නාවූ නරකයෙහි උපන්නාහුය. නොහොත් මේ පින්වත් සත්වයෝ කාය සුචරිතයෙන් යුක්තවූහ, වාග් සුචරිතයෙන් යුක්ත වූහ, මනො සුචරිතයෙන් යුක්ත වූහ, ආර්යයන්ට දොස් නොකියන්නෝ වූහ. සම්‍යක් දෘෂ්ටි ඇත්තෝ වූහ, සම්‍යක්දෘෂ්ටි කර්ම සමාදන්වූවෝ වූහ. ඔව්හු කය බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ග ලොකයෙහි උපන්නාහුය. කම්වූ පරිද්දෙන් පැමිණියාවූ සත්වයන් දැන ගණියි. සන්දකය, යම් ශාස්තෘවරයෙකු සමීපයෙහි, වනාහි ශ්‍රාවකතෙම මෙබඳු මහත් විශෙෂයකට පැමිණේද එහි නුවණැති පුරුෂතෙම ඒකාන්තයෙන් බ්‍රහ්මචරියාවෙහි වසන්නේය. වසමින් හෝ කුසල ධර්ම මාර්ගයෙහි සතුටු වන්නේය.
§ 49 . “හෙතෙම මෙසේ සිත එකඟවූ කල්හි පිරිසිදුවූ කල්හි නිර්මලවූ කල්හි කෙලෙස් රහිතවූ කල්හි පහවගිය උපක්ලේශ ඇතිකල්හි මෘදුවූ කල්හි කර්මයට සුදුසුවූ කල්හි ස්ථිරවූකල්හි කම්පා නොවීමට පැමිණි කල්හි ආශ්‍රවයන් (කෙලෙස්) ක්ෂය කරන්නාවූ ඥානය පිණිස සිත නමයි.
හෙතෙම මේ දුකයයි තත්වූ පරිද්දෙන් දැනගණියි. මේ දුක් ඉපදීමට හේතුයයි, තත්වූ පරිද්දෙන් දැනගණියි. මේ දුක් නැතිකිරීමයයි තත්වූ පරිද්දෙන් දැනගණියි, මේ දුක් නැති කිරීම පිණිස පිළිපදින මාර්ගයයි තත්වූ පරිද්දෙන් දැන ගණියි. මේ ආශ්‍රවයන් හට ගැනීමේ හෙතුවයයි තත්වූ පරිද්දෙන් දැන ගණියි. මේ ආශ්‍රවයන් නැති කිරීම යයි තත්වූ පරිද්දෙන් දැන ගණියි. මේ ආශ්‍රවයන් නැති කිරීමේ මාර්ගයයි තත්වූ පරිද්දෙන් දැන ගණියි. මෙසේ දන්නාවූ දක්නාවූ ඔහුගේ සිත කාමාශ්‍රව කෙරෙන්ද මිදෙයි. භවාශ්‍රව කෙරෙන්ද සිත මිදෙයි. අවිද්‍යාශ්‍රව කෙරෙන්ද සිත මිදෙයි.
§ 50 . මිදුනු කල්හි මිදුනේය යන දැනීම වේ. ජාතිය ක්ෂය කරණ ලද්දීය. බ්‍රහ්මචර්යාව වැස නිමවන ලද්දේය. සතර මගින් කළයුතු දෙය කරණ ලදී. මේ ආත්ම භාවය පිණිස අනිකක් නැතැයි දැන ගනියි. සන්දකය, යම් ශාස්තෘවරයෙකු කෙරෙහි වනාහි ශ්‍රාවකතෙම මෙබඳු මහත් විශෙෂයකට පැමිණේද, එහි නුවණැති පුරුෂතෙම ඒකාන්තයෙන් බ්‍රහ්මචර්යාවෙහි වසන්නේය. වසමින් හෝ කුසල ධර්ම මාර්ගයයි සතුටු වන්නේය.
§ 51 . “භවත් ආනන්ද ස්ථවිරයෙනි, මෙසේ රහත්වූයේ (දුරුකළ) ආශ්‍රව ක්ෂය කළ බ්‍රහ්මචර්යාව වැස නිම කල, සතර මගින් කරනලද කටයුතු නිමා කොට බහා තබනලද කෙලෙස් බර ඇති පිළිවෙළින් පැමිණියාවූ අර්හත්වය ඇති නැසුවාවූ භවසංයෝජන (භවයෙහි බැඳීම්) මනාකොට නුවණින් දැන කෙලෙසුන් කෙරෙන් මිදුනාවූ ඔහු ,යලිත් කම්සැප පරිභොග කරන්නේද?”
“සන්දකය, යම් භික්ෂුවක් රහත්වූයේනම්, ආශ්‍රව ක්ෂය කලේ නම්, වැස නිමවනලද බ්‍රහ්මචර්යා ඇත්තේනම්, සතර මගින් කරනලද කටයුතු නිම කොට ඇත්තේනම්, කෙලෙස් බර බිම තබා ඇත්තේ නම්, පිළිවෙළින් පැමිණි රහත් බැව් ඇත්තේ භවසංයෝජන දුරු කලේ නම්, මනාකොට නුවණින් දැන කෙලෙසුන් කෙරෙන් මිදුනේ වේද, හෙතෙම කරුණු පසක් කරන්ට අසමත් වෙයි. ඒ සිදු නොවෙයි.
රහත් භික්ෂුව දැනගෙණ සතෙකු ජීවිතයෙන් තොරකිරී සිදු නොවේ.
රහත් භික්ෂුව නුදුන්දෙය සොරසිතින් ගැනීම සිදු නොවේ.
රහත් භික්ෂුව මෛථුන ධර්මය සේවනය කිරීමට සිදු නොවේ.
රහත් භික්ෂුව දැනගෙන බොරු කීමක් සිදු නොවේ.
රහත් භික්ෂුව පෙර ගිහිව සිටිද්දී මෙන් තැන්පත්කොට තබාගෙන ආහාර පානාදී කාම වස්තු පරිභොග නොකරයි.
සන්දකය, යම් භික්ෂුවක් රහත්වූයේ දුරුකළ ආශ්‍රව ඇත්තේ වැස නිමවූ බ්‍රහ්මචර්යා ඇත්තේ සතර මගින් කරනලද කටයුතු ඇත්තේ බහාතුබූ කෙලෙස බර ඇත්තේ පිළිවෙළින් පැමිණි රහත්බැව් ඇත්තේ දුරුකළ භවසංයෝජන ඇත්තේ මනාකොට නුවණින් දැන කෙලෙසුන් කෙරෙන් මිදුනේ වේද, හෙතෙම මේ කරුණු පස කිරීම සිදු නොවේ. යයි” කීය.
§ 52 . “භවත් ආනන්ද ස්ථවිරයෙනි, යම් භික්ෂුවක් තෙම රහත්වූයේ ක්ෂයවූ ආශ්‍රව ඇත්තේ වැස නිමවන ලද බ්‍රහ්මචර්යා ඇත්තේ සතර මගින් කළ කටයුතු ඇත්තේ බහාතුබූ කෙලෙස් බර ඇත්තේ පිළිවෙළින් පැමිණි රහත්බැව් ඇත්තේ දුරුකළ භවසංයොජන ඇත්තේ මනාකොට නුවණින් දැන කෙලෙසුන් කෙරෙන් මිදුනේ වේද, යන්නාවූද, සිටින්නාවූද, නිදන්නාවූද, නොනිදන්නාවූද ඔහුට මාගේ ආශ්‍රවයෝ දුරු වූවාහුයයි, නිරන්තරයෙන් සියලු ආකාරයෙන් නුවණින් දැකීම එළඹ සිටියේද?”
“සන්දකය, එසේවීනම් තොපට උපමාවක් දක්වන්නෙමි. උපමාවෙන්ද මේ ලොකයෙහි සමහර නුවණැති පුරුෂයෝ කියන ලද්දෙහි අර්ථය දැන ගණිත්.
සන්දකය, යම්සේ පුරුෂයෙකුගේ අත්, පා කපන ලද්දාහු වෙත්ද, යන්නාවූද, සිටින්නාවූද, නිදන්නාවූද, නොනිදන්නාවූද යන තුන් ඉරියව්වේදීම ඔහුට තමන්ගේ අත් පෑ සිඳ දා ඇත්තයි යන හැගීම නොකඩවා සිත තුල පහල නොවේ. ඔහු තමාගේ අත්ගේ පා ගැන සිතත් දී පමණක් සිත යෙදවූ කල පමණක් , මාගේ අත්, පා සිඳින ලද්දාහුයයි, ඔහු දනී, සන්දකය, එපරිද්දෙන්ම යම් භික්ෂුවක් රහත්වූයේ ආශ්‍රව ක්ෂයව ඇත්තේ වැස නිමවූ බ්‍රහ්මචර්යා ඇත්තේ සතර මගින් කළ කටයුතු කර ඇත්තේ, බහාතුබූ කෙලෙස් බර ඇත්තේ පිළිවෙළින් පැමිණි රහත්පල ඇත්තේ ක්ෂය කළාවූ භවසංයෝජන ඇත්තේ මනාකොට නුවණින් දැන කෙලෙසුන්ගෙන් මිදුනේ වේද, යන්නාවූද, සිටින්නාවූද, නිදන්නාවූද, නොනිදන්නාවූද යන තුන් ඉරියව්වේදීම ඔහුගේ ආශ්‍රවයෝ නිරන්තරයෙන් දුරුවූවාහුම වෙත්. එතකුදුවුවත් එය මෙනෙහිකරණු ලබන්නේ ‘මාගේ කෙලෙස් දුරුවූවා හුයයි’ ඔහු දැන ගන්නේය.

§ 53. භවත් ආනන්ද ස්ථවිරයෙනි මේ ශාසනයෙහි එසේ අරහත්එ භාවයට පත් ගිය භික්ෂුන් කොපමණ වෙත්ද?”
“සන්දකය, එක සියයක්ද නොවෙයි, දෙසියයක්ද නොවෙයි, තුන්සියයක්ද නොවෙයි, හාරසියයක්ද නොවෙයි. පන්සියයක්ද නොවෙයි, මේ ශාසනයෙහි එතෙර ගිය අය බොහෝ වූවා වෙත්ය
“භවත් ආනන්ද ස්ථවිරයෙනි, ආශ්චර්යයකි, භවත් ආනන්ද ස්ථවිරයෙනි, පුදුමයකි.
ඔබ වහන්සේ මේ කල දේසනාව , ස්වකීය ධර්මය උසස් කරමින් කල දේශනාවක් නොවන්නේය. අනුන්ගේ ධර්මය පහත් කිරීමක් හෝ නැත්තේය. මේ ධර්ම දේශනාවේදී සියළු සාස්ත්රුන්ගේ ඉගැන්වීම් විමර්ශනය කළා වැන්න. මේ ධර්ම දෙශනාව හෙතු කොටගෙන එපමණ බොහෝ වූ එතර කරන්නෝ පැමිණෙන්නාහුය.
මේ ආජීවකයෝ මළ තැනැත්තෝ වැන්න.760 ඔවුන් සිය ධර්මය උසස් කොට කතා කරමින් අනුන්ගේ ධර්මයන් පහත කොට හෙලා දකිති. මෙපමන දෙනා එතෙරව ගිය විටදීත් ඔවුන් නන්ද වච්ච. කිසා සංකිච්ච, හා මක්ඛලි ගෝසාලයන් පමණක් එතෙර වූ රහතුන් ලෙස කියවති. .”
§ 54. ඉක්බිති සන්දක පරිව්‍රාජක තෙම ස්වකීය පිරිසට ආමන්ත්‍රණය කෙළේය.
“පින්වත් දරුවෙනි , තොප ගොස් ශ්‍රමණ ගෞතමයන් වෙත බ්‍රහ්ම චර්ය වාසය කෙරේවා. දැන් අප විසින් ලාභ සත්කාර ප්‍රශංසාවන් අත්හරින්ට පහසු නොවෙන නිසා අපට ගෞතමයන්ගේ සාසනයට එක් වීම පහසු නොවේ. තොප ශ්‍රම භවත් ගෞතමයන්ගේ සසුනේ බ්‍රහ්මචරියාවේ හැසිරෙව්.”
. මෙසේ කියා සන්දක පරිව්‍රාජක තෙම ස්වකීය පිරිස භාග්‍යවතුන් වහන්සේ වෙත බ්‍රහ්මචර්යාවෙහි යෙදවූයේයි.
