MN 3-4-6-මහා කම්මවිභංග සූත්‍රය

See the source image
පුජ්‍ය ඉඳුරුවේ උත්තරානන්ද මහා ස්වාමින්වහන්සේ කල සුත්‍ර විවරණය.

§ 1.  මා විසින් මෙසේ අසනලදී.
එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර කලන්දකනිවාප නම්වූ වෙළුවනාරාමයෙහි වැඩවසනසේක. එකල්හි වනාහි ආයුෂ්මත් සමිද්ධි ස්ථවිරතෙම අරණ්‍ය කුටියෙක්හි වාසය කරයි.

§ 2. එකල්හි පොතලිපුත්ත නම් පරිව්‍රාජකයෙක්  ශරීර ව්‍යායාමය  පිණිස සක්මන් කරන්නේ  ආයුෂ්මත් සමිද්ධි ස්ථවිරයන් සිටිනා  තැනට පැමිණ  සතුටු වියයුතු සිහි කටයුතු කථාව කොට නිමවා එකත්පසෙක හිඳ ආයුෂ්මත් සමිද්ධි ස්ථවිරයන්ට මෙසේ  කීයේය.

“ආයුෂ්මත් සමිද්ධි ස්ථවිරයෙනි, කාය කර්මය හිස්ය. ඵල රහිතය. වාග් කර්මය හිස්ය, ඵල රහිතය. මනො කර්මයම සත්‍යය යන බව මා විසින් ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ගෙන්ම  අසනලදී.  කිසි වේදනාවක් නොවිඳීන නොලබන සමාපත්තියක්  ඇති බවත්  මම ගෞතමයන්  වහන්සේගෙන්ම ඇසීමි.” යි කීය.[ ඇත්තෙන්ම පොටලිපුත්ත මේ කාරණය භාග්‍යවතුන්ගෙන් කිසිදාක නොඇසීය. මනෝ කර්මයම, වාග් කර්මයටත් කාය කර්මයටත් වඩා බලවත් බව දැක්වෙනට උපාලි ගෘහ පතියාට කල දේශනාවත්  (උපාලි සුත්‍රය) සඥා  නිරෝධය ගැන පොට්ටපාද ට කල දේශනයත්  ගැන වෙනකෙකුගෙන් අසා පොතලි පුත්ත මේ ප්‍රකාශය කල බව අටුවාව කියයි.] 

“ඇවැත්නි පොතලිපුත්‍රය, එසේ නොකියව, භාග්‍යවතුන් වහන්සේ ගේ ධර්මය විකුර්ති කිරීමෙන්,  නොකීවක් කීවායි කීමෙන්,  භාග්‍යවතුන් වහන්සේට නින්දා නොකරව.  භාග්‍යවතුන් වහන්සේ කාය කර්මය හිස්ය, ඵල රහිතය. වචී කර්මය හිස්ය, ඵල රහිතය. මනො කර්මය සත්‍යයයි කියා  නොවදාරන්නේය.”

එවිට පොටලිපුත්ත කියන්නේ “ඇවැත්නි, යම් සමාපත්තියකට පැමිණියේ කිසි වේදනාවක් නොවිඳීද, එබඳු සමාපත්තියක් ඇත්තේමැයි.”
“ආයුෂ්මත් සමිද්ධි ස්ථවිරයෙනි, ඔබ පැවිදිව කෙතෙක් කල් වූයෙහිදැ”යි (ඇසිය .)
“ඇවැත්නි, බොහෝ කල් නොවේ. තුන් අවුරුද්දකැ”යි කීය.
මෙසේ ඔබ වැනි නවක භික්ෂූවක්  සිය  ශාස්තෲන් වහන්සේ ආරක්ෂා කළයුතු යැයි  සිතා මෙසේ කියන්නේ නම්   ස්ථවිර භික්ෂූන් ගැන අපි කුමක් කියන්නෙමුද?
“ආයුෂ්මත් සමිද්ධි ස්ථවිරයෙනි, දැන දැන කයින්, වචනයෙන්, සිතින් කර්මයක් සිදුකරන පුත්ගලයෙක්  කිනම් වේදනාවක් විඳීද?”
“ඇවැත් පොතලිපුත්‍රය, දැන දැන කයින්, වචනයෙන්, සිතින් කර්මයක්  කරන පුත්ගලයා ඊට අනුරූප වේදනාව විඳින්නේය.”
ආයුෂ්මත් සමිද්ධි ස්ථවිරයන්ගේ කීම 
පොතලිපුත්‍ර පරිව්‍රාජකයා පිළිගත්තේද  නැතිව  ප්‍රතික්ෂෙප කෙළේද  නැතිව  හුනස්නෙන් නැගිට එතැනින්  නික්ම ගියේය.

§ 3..  පොතලිපුත්‍ර පරිව්‍රාජකයා බැහැර ගිය පසු  ආයුෂ්මත් සමිද්ධි ස්ථවිර යන්  ආයුෂ්මත් ආනන්ද  ස්ථවිරයන් වහන්සේ වෙත ගොස් තමන් වහන්සේ පොතලිපුත්‍ර නම් පරිව්‍රාජකයා සමගවූ කථා සල්ලාපය සම්පුර්ණයෙන්ම  ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේට කීයේය. එසේ කී කල්හි ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙම ආයුෂ්මත් සමිද්ධි ස්ථවිරයන්ට මෙසේ කීයේය.
“ආයුෂ්මත් සමිද්ධි ස්ථවිරයෙනි, මේ කථාව නොවහලා  භාග්‍යවතුන් වහන්සේට දැන්විය යුත්තේය. ආයුෂ්මත් සමිද්ධි ස්ථවිරයෙනි, යමු, භාග්‍යවතුන් වහන්සේ වෙත ගොස්  මේ කාරණය භාග්‍යවතුන් වහන්සේට සැල කරමු. යම්සේ අපට භාග්‍යවතුන් වහන්සේ මේ ගැන ප්‍රකාශ කරන්නේද, එසේ එය දරන්නෙමු” යනුය. “ඇවැත්නි, එසේය,” ආයුෂ්මත් සමිද්ධි ස්ථවිරතෙම ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන්ට පිළිතුරු දුන්නේය.

§. 4. ඉක්බිති ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේද, ආයුෂ්මත් සමිද්ධි ස්ථවිරයන් වහන්සේද, භාග්‍යවතුන් වහන්සේ වෙත  එළඹ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එකත්පසක හුන්නාහුය. එකත්පසක හුන්නාවූ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙම ආයුෂ්මත් සමිද්ධි ස්ථවිරයන් පොතලිපුත්‍ර නම් පරිව්‍රාජකයා සමග කළ කතාබහ යම් පමණක් වීද, ඒ සියල්ල භාග්‍යවතුන් වහන්සේට සැලකෙළේය. එසේ සැලකළ කල්හි භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන්ට මෙසේ වදාළේය.

§. 5.   ‘ආනන්දය, මම පොතලිපුත්‍ර නම් පරිව්‍රාජකයා කිදිනෙක හෝ දැක නැත. එනිසා මෙබඳු කථා බහක් ඔහු සමග  කෙසේ ඇති වන්නේද? එනමුත් ආනන්දය, මේ සමිද්ධි නම් හිස් පුරුෂයා විසින් පොතලිපුත්‍රගේ ප්‍රශ්නයට පිළිතුරු දෙන්නට පෙර ඔහුගේ ප්‍රශ්නය විශ්ලේෂණය කල යුතුව තිබුණි. සමිද්ධි භික්ශුවගේ පිළිතුර ඒක පාර්ශව පිළිතුරක්ය.”

§.6. භාග්‍යවතුන්වහන්සේ මෙසේ වදාළ කල්හි එතන සිටි  ආයුෂ්මත් උදායී ස්ථවිරයන් භාග්‍යවතුන්වහන්සේට මෙසේ කීය. “ස්වාමීනි, ආයුෂ්මත් සමිද්ධි ස්ථවිරයන් විසින් ‘යම්කිසි විඳීමක් වෙයි නම් එය දුකය’ යන පදනම මත පිහිටා  කියන ලද්දක් විය හැකිය” යි කීය. [ සංයුක්ත නිකායේ 36:11 සුත්‍රයේ සඳහන්වන සියළු සංස්කාරයන් ඒවායේ අනිත්‍ය ස්වභාවය නිසා  දුකෙහි පිහිටා ඇති බව සඳහන් වන බව සැබෑ  නමුත්  ආයුෂ්මත්  සමිද්ධි ස්වාමින්වහන්සේ සියළු වේදනා දුකෙහි පිහිටා ඇති බව කීම සාවද්‍ය බව අටුවාව කියයි.]  
එකල්හි භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේට ආමන්ත්‍රණය කළසේක. “ආනන්දය, මේ උදායී නම්  මේ මොඝ පුරුෂයාද  නොමඟ ගොස් ඇති සැටි  බලව. ආනන්දය, මම  මේ උදායී නම් හිස් පුරුෂයා ද  කාරණානුකූලව වටහා  නොගෙන කියවන බව  දැනගතිමි.
“ආනන්දය, මුලදීම පොතලීපුත්‍ර පරිව්‍රාජකයා විසින් වේදනා තුන අසන ලද්දාහ. ආනන්දය, ඉදින් මේ සමිද්ධිනම් හිස් පුරුෂයා  පොතලිපුත්‍ර  පරිව්‍රාජකයාට මෙසේ  ප්‍රකාශ කල යුතුව තිබුණි.
(කෙසේද යත් ?) ‘ඇවැත් පොතලිපුත්‍රය,

  • දැන දැනම, කයින්, වචනයෙන්, සිතින්  මිහිරි සැප විඳියහැකි කර්මයක් කරන තැනැත්තා  සැප වේදනාවක්ම විඳියි.
  • දැන දැනම, කයින්, වචනයෙන්, සිතින් අමිහිරි  දුක් විඳිය යුතුවූ කර්මයක් කරන තැනැත්තා දුක් වේදනාවක්ම විඳියි.
  • දැන දැනම, කයින්, වචනයෙන්, සිතින් දුක්ද නොවූ සැපද නොවූ වේදනා විඳිය යුතුවූ කර්මයක්  කරන තැනැත්තා   දුක්ද නොවූ සැපද නොවූ අදුක්කම සුඛ වේදනාවක්  විඳියයි’

ආනන්දය, මෙසේ පිළිතුරු දුන්නේ නම්  සමිද්ධි භික්ෂුව  පොතලිපුත්‍ර  පරිව්‍රාජකයාට මනාකොට පිළිතුරු දුන්නා වන්නේය.

“ආනන්දය, එතකුදුවුවත් මේ අව්‍යක්තවූ, ඥානයෙන්  බාලවූ, අන්‍ය තීර්ථක පරිව්‍රාජකයෝ,  තථාගතයන්ගේ මහාකර්ම විභාගය කෙසේ නම් වටහා ගන්නේ ද?  ආනන්දය, ඉදින් තෙපි මහා කර්ම විභාගය, කර්මය බෙදා දක්වන්නාවූ තථාගතයන්ගේ (ඒ ධර්මය) අසන්නහුදැයි” (ඇසූහ.)

§7..‘භාග්‍යවතුන් වහන්සේ විසින්  මහා කර්ම විභංගයක් බෙදා වදාරන්නේ නම්, භාග්‍යවතුන් වහන්ස, ඊට මේ සුදුසු කාලය වේ. සුගතයන් වහන්ස, ඊට මේ සුදුසු කාලය වේ. භාග්‍යවතුන් වහන්සේගේ (සමීපයෙන්) අසා භික්ෂූහු දරන්නාහුයයි” (කීය.)
“ආනන්දය, එසේ වීනම්, අසව, යහපත් කොට වටහා ගෙන  මෙනෙහි කරව, කියන්නෙමියි” වදාළේය. “ස්වාමීනි, එසේයයි” කියා ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන්  භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්නේය.

§.8.  භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළේය.[අටුවාව: මේ කර්මය ගැන තථාගතයන්වහන්සේ දන්නා, දැන ගත්තාවූ සියලු කාරනා නොවන බවත්, කර්ම විභාගය කරන්නට අත්  වැලක් ලෙස කරන ලද  හඳුන්වාදීමක් පමනක් බවත් සලකන්න.]

“ආනන්දය,
පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි විද්‍යමාන වන්නාහුය. කවර සතර දෙනෙක්ද යත්, 

  1. මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් පරපන නසන්නේ වේ. අන්සතු දේ ගන්නේ වේ.  කාමයන්හි වරදවා හැසිරෙන්නේ වේ, බොරු කියන්නේ වේ, කේලාම් කියන්නේ වේ, රළු බස් කියන්නේ වේ, හිස්වූ කථා ඇත්තේ වේ, අවිජ්ජා ලොභය බහුලකොට ඇත්තේ වේ, ක්‍රොධ සිත් ඇත්තේ වේ, මිථ්‍යාදෘෂ්ටිය  ඇත්තේ වේ.
    එවන්නෙකු  ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සැපයෙන් තොරවූ, වූ දුක් සහිතවූ භවයක උපත ලබයි. නරකයෙහි පවා  උපදියි.
  2. “ආනන්දය,  ඇතැම් පුද්ගලයෙක් පරපන නසන්නේ වේ. අන්සතු දේ ගන්නේ වේ.   කාමයන්හි  වරදවා හැසිරෙන්නේ වේ, බොරු කියන්නේ වේ, කේලාම් කියන්නේ වේ, රළු බස් කියන්නේ වේ, හිස්වූ කථා ඇත්තේ වේ, අභිජ්ජා ලොභය බහුලකොට ඇත්තේ වේ, ක්‍රොධ සිත් ඇත්තේ වේ, මිථ්‍යාදෘෂ්ටිය  ඇත්තේ වේ.
    එනමුත්  හෙතෙම ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු යහපත් ගති සම්පත් ඇති උපතක් ලබයි. දෙව්ලොව පවා  උපදියි.
  3. “ආනන්දය, ඇතැම් පුද්ගලයෙක්  සතුන් මැරීමෙන් වැළකුනේ වේ, සොරකම් කිරීමෙන් වැළකුනේ වේ, කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළකුනේ වේ, බොරු කීමෙන් වැළකුනේ වේ, කේළාම් කීමෙන් වැළකුනේ වේ, රළු වචන කීමෙන් වැළකුනේ වේ, හිස් කථා කීමෙන් වැළකුනේ වේ, අභිජ්ජා ලොභය බහුලකොට නැත්තේ වේ, ව්‍යාපාද සිත් නැත්තේ වේ, සම්‍යක් දෘෂ්ටික වේද, හෙතෙම ශරීරයාගේ බිඳීමෙන් මරණින් මත්තෙහි යහපත් ගති ඇති සවර්ගලොකයෙහි උපදියි.
  4. “ආනන්දය, ආනන්දය, ඇතැම් පුද්ගලයෙක්  සතුන් මැරීමෙන් වැළකුනේ වේ, සොරකම් කිරීමෙන් වැළකුනේ වේ, කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළකුනේ වේ, බොරු කීමෙන් වැළකුනේ වේ, කේළාම් කීමෙන් වැළකුනේ වේ, රළු වචන කීමෙන් වැළකුනේ වේ, හිස් කථා කීමෙන් වැළකුනේ වේ, අභිජ්ජා ලොභය බහුලකොට නැත්තේ වේ, ව්‍යාපාද සිත් නැත්තේ වේ, සම්‍යක් දෘෂ්ටික වේ.
    එනමුත් ඔහු  ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ දුක් සහිතවූ අකැමැත්තෙන් වැටෙන්නාවූ දුගතියක් උපත ලබයි. සමහරවිට නරකයෙහි පවා උපදියි.

§.9. “ආනන්දය,
යම් ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ  නොමදව  වීර්‍ය්‍යය වඩමින් කෙලෙස් තවන කෙලෙස් තවනට  වීර්‍ය්‍යයට පැමිණ, ප්‍රධාන වීර්‍ය්‍යයට පැමිණ අනුයොග වීර්‍ය්‍යයට පැමිණ අප්‍රමාද වීර්‍ය්‍යයට පැමිණ මනාකොට මෙනෙහි කිරීමට පැමිණ පිරිසිදු නිර්මල සමාධිය ලබා මිනිස් ඇස  ඉක්මවූ දිවැස ලබයි.  එසේ දිවැස් ලබන ඒ ශ්‍රමණයා හෝ බ්‍රාහ්මණයා මෙසේ දකියි.

  •    මේ ලොවදී  ප්‍රාණඝාත කළාවූද, සොරකම් කළාවූද, කාමයන්හි වරදවා හැසුරුණාවූද, බොරු කීවාවූද, කේලාම් කීවාවූද, රළු වචන කීවාවූද, හිස් බස් කීවාවූද, දැඩි ලොභ ඇත්තාවූද, ව්‍යාපාද සිත් ඇත්තාවූද, මිථ්‍යාදෘෂ්ටි ඇත්තාවූද කෙනෙක් ශරීරයාගේ බිඳීමෙන් මරණින් මත්තෙහි, සැප නැත්තාවූ දුක් සහිතවූ නොකැමැත්තෙන් වැටෙන්නාවූ දුගතිගත වන්නාවූ ද නරකයෙහි උපන්නාවුද  යම්  පුද්ගලයන්, සිය එකඟවූ සිත ඇති කල්හි දිව්‍යවූ මිනි’සැස ඉක්මවා  පවත්නාවූ පිරිසිදුවූ ඇසින් ශ්‍රමණයා හෝ බ්‍රාහ්මණයා දකියි,   එසේ දකින්නාවූ හෙතෙම මෙසේ කියයි. 
  • ‘ මේ  ලොකයෙහි සතුන් මරා සොරකම් කොට, කාමයෙහි වරදවා හැසිරී, බොරු කියා කේලාම් කියා, රළු බස් කියා, හිස් බස් කියා, දැඩි ලෝභ බහුලකොට ඇත්තාහු, ව්‍යාපාද සිත් උපදවා, මිථ්‍යා දෘෂ්ටිගෙන ඉන්නාවූ සියල්ලෝම, ශරීරයාගේ බිඳීමෙන් මරණින් මත්තෙහි සැප නැත්තාවූ දුර්ගති වල උපත ලබයි. නරකහිද උපදියි.’ යනුයි.
  • තමා සිය දිවසින් දුටු දෙය දැඩිසේම අල්ලාගත් ඔහු තමන් දුටු දේ විශ්වාසකරමින් එයම පමණක් සත්‍යය යැයි ද අනෙක්  මතයන් සාවද්‍යයයි ද අදහයි.

§.10. “ආනන්දය,
යම් ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ  නොමදව  වීර්‍ය්‍යය වඩමින් කෙලෙස් තවන කෙලෙස් තවනට  වීර්‍ය්‍යයට පැමිණ, ප්‍රධාන වීර්‍ය්‍යයට පැමිණ අනුයොග වීර්‍ය්‍යයට පැමිණ අප්‍රමාද වීර්‍ය්‍යයට පැමිණ මනාකොට මෙනෙහි කිරීමට පැමිණ පිරිසිදු නිර්මල සමාධිය ලබා මිනිස් ඇස  ඉක්මවූ දිවැස ලබයි.  එසේ දිවැස් ලබන ඒ ශ්‍රමණයා හෝ බ්‍රාහ්මණයා මෙසේ දකියි.

  • මේ ලොවදී  ප්‍රාණඝාත කළාවූද, සොරකම් කළාවූද, කාමයන්හි වරදවා හැසුරුණාවූද, බොරු කීවාවූද, කේලාම් කීවාවූද, රළු වචන කීවාවූද, හිස් බස් කීවාවූද, දැඩි ලොභ ඇත්තාවූද, ව්‍යාපාද සිත් ඇත්තාවූද, මිථ්‍යාදෘෂ්ටි ඇත්තාවූද  කෙනෙක් ශරීරයාගේ බිඳීමෙන් මරණින් මත්තෙහි,  යහපත් ගති ඇති සුගති තලවල උපත ලබන බව සිය  මිනි’සැස ඉක්මවා  පවත්නාවූ පිරිසිදුවූ දිව්‍යමය ඇසින් දකියි,   එසේ දකින්නාවූ හෙතෙම මෙසේ කියයි.යි. .
  • “ ලාමකවූ කර්ම නැත්තාහ. දුශ්චරිතයට  නරක විපාකයෙක් නැත්තේය.  මේ ලොකයෙහි ප්‍රාණඝාත කළ, සොරකම් කළ, කාමයන්හි වරදවා හැසුරුණු, බොරු කී, කේළාම් කී, රළු බස් කී, හිස් බස් කී, විෂම ලොභය බහුලකොට ඇති, ව්‍යාපාද සිත් ඇති, මිසදිටු ගත් සියල්ලෝම , ශරීරයාගේ බිඳීමෙන් මරණින් මත්තෙහි යහපත් වූ සුගතිවල උපත ලබයි. දිව්‍යලෝකයෙහි උපදියි.
  • යම් කෙනෙක් මේ ආකාරයෙන් දනිත් නම් ඔව්හු මනාකොට දන්නෝ වෙති.  යම් කෙනෙක් අන් පරිද්දෙකින් මේ ගැන කියත් නම්  ඔවුන්ගේ දැනීම මිථ්‍යා දැනීමයි.’

මෙසේ හෙතෙම යමක් ඔහු විසින් තමන්ම දන්නා ලද්දේද, තමන්ම දක්නා ලද්දේද, තමන්ට ප්‍රකට කෙළේද, එයම දැඩි දෘෂ්ටි අල්වාගෙන ඇතුළත් කොටගෙන මෙයම සත්‍යය, අනික බොරු යැයි තරයේ අදහයි.

§.11“ආනන්දය,
ඇතැම්  ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ  නොමදව  වීර්‍ය්‍යය වඩමින් කෙලෙස් තවන කෙලෙස් තවනට  වීර්‍ය්‍යයට පැමිණ, ප්‍රධාන වීර්‍ය්‍යයට පැමිණ අනුයොග වීර්‍ය්‍යයට පැමිණ අප්‍රමාද වීර්‍ය්‍යයට පැමිණ මනාකොට මෙනෙහි කිරීමට පැමිණ පිරිසිදු නිර්මල සමාධිය ලබා මිනිස් ඇස  ඉක්මවූ දිවැස ලබයි. 

එසේ දිවැස් ලබන ඒ ශ්‍රමණයා හෝ බ්‍රාහ්මණයා මෙසේ දකියි.  ප්‍රාණඝාතයෙන් වැළකුනාවූ, සොරකම් කිරීමෙන් වැළකුනාවූ, කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළකුනාවූ, බොරු කීමෙන් වැළකුනාවූ, කේලාම් කීමෙන් වැළකුනාවූ, රළු බස් කීමෙන් වැළකුනාවූ, හිස් බස් කීමෙන් වැළකුනාවූ, විෂම ලෝභය නැත්තාවූ, ව්‍යාපාද සිත් නැත්තාවූ, සම්‍යක් දෘෂ්ටි ඇත්තාවූ, කෙනෙක්  ශරීරයාගේ භේදයෙන් මරණින් මත්තෙහි සුගති සංඛ්‍යාත දිව්‍යලොකයෙහි ඉපද සිටිනුයි.

  • එසේ දකින්නාවූ ඒ ශ්‍රමණයා මෙසේ කියයි.
    “කුසලකර්මයෝ ඇත්තාහුමය. සුචරිතයට යහපත්  විපාකයෙක් ඇත්තේය. මම මේ ලොකයෙහි සතුන් මැරීමෙන් වැළකුනාවූ, සොරකම් කිරීමෙන් වැළකුනාවූ, කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළකුනාවූ, බොරු කීමෙන් වැළකුනාවූ, කේළාම් කීමෙන් වැළකුනාවූ, රළු බස් කීමෙන් වැළකුනාවූ, හිස් බස් කීමෙන් වැළකුනාවූ, විෂම ලොභය නැත්තාවූ, ව්‍යාපාද සිත් නැත්තාවූ, සම්‍යක් දෘෂ්ටි ඇති පුද්ගලයා ශරීරයාගේ භේදයෙන් මරණින් මත්තෙහි සුගති සංඛ්‍යාත දිව්‍යලොකයෙහි ඉපද සිටිනු දකිමියි’ කියායි.
  • “යමෙක් ප්‍රාණ ඝාතයෙන් වැළකුනේ වේද, සොරකම් කිරීමෙන් වැළකුනේ වේද, කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළකුනේ වේද, බොරු කීමෙන් වැළකුනේ වේද, කේලාම් කීමෙන් වැළකුනේ වේද, රළුබස් කීමෙන් වැළකුනේ වේද, හිස් බස් කීමෙන් වැළකුනේ වේද, විෂම ලොභය නැත්තේ වේද, ව්‍යාපාද සිත් නැත්තේ වේද, සම්‍යක් දෘෂ්ටි ඇත්තේ වේද, ඒ සියලු දෙන ශරීරයාගේ භේදයෙන් මරණින් මතු සුගති සංඛ්‍යාත දිව්‍ය ලොකයෙහි උපදිත්ය”
  • එසේ දැනගත්තාවූ පරිදි “දුශ්චර්යාවෙන් වෙන්ව සිටින්නා සුගතිගාමී වෙතැයි ‘යි යම් කෙනෙක්  දනිත්ද, ඔව්හු මනාකොට දනිත් නිවැරදිව  දනිත්.. යම් කෙනෙක් අන් පරිද්දෙන් දනිත්ද, ඔවුන්ගේ දැනීම මිථ්‍යාදැනීමයි.’

මෙසේ හෙතෙම යමක් තමා විසින්ම දන්නා ලද්දේද, තමා විසින්ම දක්නා ලද්දේද, තමන් විසින්ම ප්‍රකට කරන ලද්දේද, එයම දෘෂ්ටියක්  කොට  තදින් අල්වාගෙන ඇතුළත් කොටගෙන මෙයම සත්‍යයයි මෙයින් අන්‍යයවූ සියල්ල බොරු යැයි  අදහයි.

§.12. “ආනන්දය,
ඇතැම්  ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ  නොමදව  වීර්‍ය්‍යය වඩමින් කෙලෙස් තවන කෙලෙස් තවනට  වීර්‍ය්‍යයට පැමිණ, ප්‍රධාන වීර්‍ය්‍යයට පැමිණ අනුයොග වීර්‍ය්‍යයට පැමිණ අප්‍රමාද වීර්‍ය්‍යයට පැමිණ මනාකොට මෙනෙහි කිරීමට පැමිණ පිරිසිදු නිර්මල සමාධිය ලබා මිනිස් ඇස  ඉක්මවූ දිවැස ලබයි.  එසේ දිවැස් ලබන ඒ ශ්‍රමණයා හෝ බ්‍රාහ්මණයා මෙසේ දකියි.  ප්‍රාණඝාතයෙන් වැළකුනාවූ, සොරකම් කිරීමෙන් වැළකුනාවූ, කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළකුනාවූ, බොරු කීමෙන් වැළකුනාවූ, කේලාම් කීමෙන් වැළකුනාවූ, රළු බස් කීමෙන් වැළකුනාවූ, හිස් බස් කීමෙන් වැළකුනාවූ, විෂම ලෝභය නැත්තාවූ, ව්‍යාපාද සිත් නැත්තාවූ, සම්‍යක් දෘෂ්ටි ඇත්තාවූ, කෙනෙක්  ශරීරයාගේ භේදයෙන් මරණින් මත්තෙහි,  සැප නැත්තාවූ, දුගති තලවල ඉපිද  සිටිනු දකියි. නරකයෙහිද  ඉපිද සිටිනු දකී. එසේ දුටු ඒ ශ්‍රමණයා හෝ බ්‍රාහ්මණයා මෙසේ කියයි.

  • “කුසල කර්මයෝ නැත්තාහුමය. දුශ්චර්යාවෙන් වෙන්වීම නිසා යහපත් විපාකයෙක් නැත්තේය.   සතුන් මැරීමෙන් වැළකුනාවූ, හොරකම් කිරීමෙන් වැළකුනාවූ, කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළකුනාවූ, බොරු කීමෙන් වැළකුනාවූ, කේළාම් කීමෙන් වැළකුනාවූ, රළුබස් කීමෙන් වැළකුනාවූ, හිස්බස් කීමෙන් වැළකුනාවූ, විෂමලෝභය නැත්තාවූ, ව්‍යාපාද සිත් නැත්තාවූ, සම්‍යක් දෘෂ්ටි ඇත්තාවූ සියල්ලෝ  ශරීරයාගේ භේදයෙන් මරණින් මතු සැප නැත්තාවූ දුර්ගතියවූ විනිපාත නම් නරකයෙහි ඉපද සිටිනු දුටුවෙමි.”යි, කියායි.
  • “යමෙක් ප්‍රාණඝාතයෙන් වැළකුනේවේද, නොදුන් දෙය ගැනීමෙන් වැළකුනේවේද, කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළකුනේවේද, බොරු කීමෙන් වැළකුනේවේද, කේලාම් කීමෙන් වැළකුනේවේද, රළු බස් කීමෙන් වැළකුනේවේද, හිස්බස් කීමෙන් වැළකුනේවේද, අභිජ්ජා නම් විෂම ලෝභය නැත්තේවේද, ව්‍යාපාද සිත් නැත්තේවේද, මිථ්‍යාදෘෂ්ටි නැත්තේවේද, ඒ සියලුදෙනා ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සැප නැත්තාවූ දුර්ගතිවූ විනිපාත නම් නරකයෙහි උපදිත්.”
  • “ප්‍රාණඝාතයෙන් වැළකුනේ වේද, නොදුන්………. මිථ්‍යාදෘෂ්ටි නැත්තේ වේද, ඒ සියලුදෙන ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සැප නැත්තාවූ දුර්ගතිවූයි’  දනිත්ද, ඔවූනගේ දැනීම නිවැරදිය. ඔවුහු  මනාකොට දනිත්. යම් කෙනෙක් අන් පරිද්දකින් දනිත්ද ඒ අයගේ දැනීම මිථ්‍යා දැනීමයයි,”

මෙසේ හෙතෙම යමක් තමා විසින්ම දන්නා ලද්දේද, තමා විසින්ම දක්නා ලද්දේද, තමන් විසින්ම ප්‍රකට කරන ලද්දේද, එයම දෘෂ්ටියක්  කොට  තදින් අල්වාගෙන ඇතුළත් කොටගෙන මෙයම සත්‍යයයි මෙයින් අන්‍යයවූ සියල්ල බොරු යැයි  අදහයි.

§ .13.  [අටුවාව: භාග්‍යවතුන්වහන්සේගේ කම්ම විභංගය මේ චෙදයෙන්ද සම්පුර්ණවහයෙන් නොකියවේ. පසුවට දේශනාවන කාර්ම විභංගයට පුර්විකාවක් ලෙස භාග්‍යවතුන්වහන්සේ  මේ  කොටසේදී අන්‍ය තීර්තකයන්ගේ මතයන් හා දේශනාවලින් කවරක් පිළිගත හැකිද කවරක් පිළිගත නොහැකි දැයි  දැක්වේ. සාරාංශ කළහොත් ඒ අන්‍ය ශ්‍රමනයන් හා බ්‍රාහ්මණයන් දිවසින් දුටු දේ එසේ පිළිගත හැකි මුත් ඒ බිරීක්ෂණයෙන් ඔවුන් පොදු නිගමනයකට බැස  කරන කීම් අනුමත කල නොහැකි බව මෙයින් කියවේ. ]

“ආනන්දය,

  • ඒ මහණ බමුණන් අතර යම්  ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ ‘ ලාමකවූ කර්මයෝ ඇත්තාහුමය. දුශ්චරිතයට විපාකයෙක් ඇත්තේයයි කියයි නම් ඔහුගේ ඒ කීම මම අනුදනිමි.
  • එනමුත් යමෙක්,  “සතුන් මරන්නාවූ, සොරකම් කරන්නාවූ කාමයන්හි වරදවා හැසිරෙන්නාවූ, බොරු කියන්නාවූ, කේළාම් කියන්නාවූ, රළුබස් කියන්නාවූ, හිස්බස් කියන්නාවූ, විෂම ලෝභය බහුල කොට ඇත්තාවූ, ව්‍යාපාද සිත් ඇත්තාවූ මිථ්‍යාදෘෂ්ටි ඇත්තාවූ සියළු පුද්ගලයන්, ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සැප නැත්තාවූ දුර්ගතිවූ විනිපාත නම් නරකයෙහි ඉපද සිටිනු දකිමි’යි කියා නම් ඔහුගේ ඒ කීම මම ප්‍රතික්ෂේප කරමි.
  • තමන්ගේ දෘෂ්ඨියවූ “දුශ්චරියාවෙහි යෙදෙන සියල්ලන් දුගති ගාමි වන්නේය” යන මතය පමණක් නිවැරදිය, අනෙක් මතයන් සාවද්‍යය යැයි යන කීම මම ප්‍රතික්ෂේප කරමි. මන්ද යත් ආනන්දය, කර්ම විභංගය ගැන තථාගතයන්ගේ අවබෝධය අන්‍යා කාරවූ බැවිනි. 

 §.14. ආනන්දය,

  • යම්  ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ ‘ ලාමකවූ කර්මයෝ නැත්තාහුය. දුශ්චරිතයට නරක විපාකයෙක් නැත්තේයයි කියයි නම් ඔහුගේ ඒ කීම මම ප්‍රතික්ෂේප කරමි.
  • නමුත්   “සතුන් මරන්නාවූ, සොරකම් කරන්නාවූ කාමයන්හි වරදවා හැසිරෙන්නාවූ, බොරු කියන්නාවූ, කේළාම් කියන්නාවූ, රළුබස් කියන්නාවූ, හිස්බස් කියන්නාවූ, විෂම ලෝභය බහුල කොට ඇත්තාවූ, ව්‍යාපාද සිත් ඇත්තාවූ මිථ්‍යාදෘෂ්ටි ඇත්තාවූ කෙනෙක් සුගතියක උපත ලැබූ බව දුටුවෙමි.”යි ඔහුගේ කීම මම අනුදනිමි.
  • එනමුත්  “සතුන් මරන්නාවූ, සොරකම් කරන්නාවූ කාමයන්හි වරදවා හැසිරෙන්නාවූ, බොරු කියන්නාවූ, කේළාම් කියන්නාවූ, රළුබස් කියන්නාවූ, හිස්බස් කියන්නාවූ, විෂම ලෝභය බහුල කොට ඇත්තාවූ, ව්‍යාපාද සිත් ඇත්තාවූ මිථ්‍යාදෘෂ්ටි ඇත්තාවූ සියළු  දෙනා සුගති ගාමි උපත් ලබතැයි යන කීම මම ප්‍රතික්ෂේප කරමි.
  • ඒ තමන්ගේ  මතය පමණක් නිවැරදිය, අනෙක් මතයන් සාවද්‍යය යැයි යන කීමද  මම ප්‍රතික්ෂේප කරමි. මන්ද යත් ආනන්දය, කර්ම විභංගය ගැන තථාගතයන්ගේ අවබෝධය අන්‍යා කාරවූ බැවිනි.  

§.15.   එසේම ආනන්දය,

  • “කුසල  කර්මයෝ ඇත්තාහුය. සුචරිතයට යහපත් විපාකයෙක් ඇත්තේය” යැ යි, යමක් කියයිද, ඔහුගේ එම කීම මම  අනුදනිමි.
  • හෙතෙම “සතුන් මැරීමෙන් වැළකුනාවූ, හොරකම් කිරීමෙන් වැළකුනාවූ, කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළකුනාවූ, බොරු කීමෙන් වැළකුනාවූ, කේලාම් කීමෙන් වැළකුනාවූ, රළු බස් කීමෙන් වැළකුනාවූ, හිස් බස් කීමෙන් වැළකුනාවූ, විෂම ලෝභය නැත්තාවූ, ව්‍යාපාද සිත් නැත්තාවූ, සම්‍යක් දෘෂ්ටි ඇත්තාවූ, පුද්ගලයෙක්  ශරීරයාගේ භේදයෙන් මරණින් මතු සුගති සංඛ්‍යාත දිව්‍ය ලොකයෙහි ඉපද සිටිනු දකිමි’ යන  ඔහුගේ මේ කීමද මම  අනුදනිමි.
  • යමෙක්  සතුන් මැරීමෙන් වැළකුනේ වේද, හොරකම් කිරීමෙන් වැළකුනේ වේද, කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළකුනේ වේද, බොරු කීමෙන් වැළකුනේ වේද, කේලාම් කීමෙන් වැළකුනේ වේද, රළු බස් කීමෙන් වැළකුනේ වේද, හිස් බස් කීමෙන් වැළකුනේ වේද, විෂම ලෝභය නැත්තේ වේද, ව්‍යාපාද සිත් නැත්තේ වේද, සම්‍යක් දෘෂ්ටි ඇත්තේ වේද, ඒ සියලුදෙන ශරීරයාගේ බිඳීමෙන් මරණින් මත්තෙහි සුගති සංඛ්‍යාත දිව්‍යලොකයෙහි උපදීය’ යන  කීම ම්ම්  ප්‍රතික්ෂේප කරමි. පිලි නොගනිමි.
  • යම් කෙනෙක් මේ ආකාරයෙන් දනිත් නම් ඔව්හු මනාකොට දනිත්. යම් කෙනෙක් අන් පරිද්දෙකින් දනිත් නම් ඔවුන්ගේ දැනීම මිථ්‍යා දැනීමයයි යමෙක් කියා නම් ඔහුගේ ඒ කීමද මම ප්‍රතික්ෂේප කරමි. 
  • හෙතෙම යමක් තමන් විසින් දන්නා ලද්දේද, තමන් විසින් දක්නා ලද්දේද, තමා විසින් ප්‍රකට කරන ලද්දේද, එයම දෘෂ්ටියෙන් තදින් අල්වාගෙන ඇතුළත් කොට ගෙන මෙයම සත්‍යයි, මෙයින් අන්‍ය හිස්යයි ව්‍යවහාර කෙරේද, ඔහුගේ ඒ කීමද මම ප්‍රතික්ෂේප කරමි. නොඅනුදනිමි. ඊට හේතු කවරේද, ආනන්දය, තථාගතයන්ගේ මහා කර්මය බෙදා දැක්වීමෙහි ඥානය අන් පරිද්දෙකින්ම වේ.

§.16. යම්  ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ,

  • “යහපත් ආනිසංස ලැබිය හැක්කාවූ කුසල  කර්මයෝ නැත්තාහුය. දුශ්චර්යාවෙන් වෙන්ව   සුචරිතවත්ව ඉඳීමෙන්  යහපත් විපාකයෙක් නැත්තේය” යැයි,  කියයිද, ඔහුගේ එම කීම මම  පිලිනොගනිමි. ප්‍රතික්ෂේප කරමි. 
  • “සතුන් මැරීමෙන් වැළකුනාවූ, හොරකම් කිරීමෙන් වැළකුනාවූ, කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළකුනාවූ, බොරු කීමෙන් වැළකුනාවූ, කේලාම් කීමෙන් වැළකුනාවූ, රළු බස් කීමෙන් වැළකුනාවූ, හිස් බස් කීමෙන් වැළකුනාවූ, විෂම ලෝභය නැත්තාවූ, ව්‍යාපාද සිත් නැත්තාවූ, සම්‍යක් දෘෂ්ටි ඇති පුද්ගලයෙක් , සිය ශරීරයාගේ භේදයෙන් මරණින් මත්තෙහි සැප නැත්තාවූ දුර්ගතිවූ විනිපාත නම් නරකයෙහි ඉපද සිටිනු දුටුවෙමු ’යි යමෙක් කියයිද ඔහුගේ ඒ කීම මම  අනුදනිමි.
  • සතුන් මැරීමෙන් වැළකුනාවූ, හොරකම් කිරීමෙන් වැළකුනාවූ, කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළකුනාවූ, බොරු කීමෙන් වැළකුනාවූ, කේලාම් කීමෙන් වැළකුනාවූ, රළු බස් කීමෙන් වැළකුනාවූ, හිස් බස් කීමෙන් වැළකුනාවූ, විෂම ලෝභය නැත්තාවූ, ව්‍යාපාද සිත් නැත්තාවූ, සම්‍යක් දෘෂ්ටි ඇති සියල්ලන්ම දුගතියෙහි නිරයෙහි ප්‍රතිසන්ධිය ලබනවාය කියන  කීම මම  පිලිනොගනිමි. ප්‍රතික්ෂේප කරමි. 
  • යම් කෙනෙක් මේ ආකාරයෙන් දනිත් නම් ඔව්හු මනාකොට දනිත්. යම් කෙනෙක් අන් පරිද්දෙකින් දනිත් නම් ඔවුන්ගේ දැනීම මිථ්‍යා දැනීමයයි යමෙක් කියා නම් ඔහුගේ ඒ කීමද මම ප්‍රතික්ෂේප කරමි. ඊට හේතු කවරේද, ආනන්දය, තථාගතයන්ගේ මහා කර්මය බෙදා දැක්වීමෙහි ඥානය අන් පරිද්දෙකින්ම වේ

§.17. [භාග්‍යවතුන්වහන්සේ කර්ම විපාකදීම මින් මතු වන චේදවල විභාග කොට දක්වන සේක.]
එසේම ආනන්දය, 
යමෙක් සතුන් මරන්නේ වේද, සොරකම් කරන්නේ වේද, කාමයන්හි වරදවා හැසිරෙන්නේ වේද, බොරු කියන්නේ වේද, කේලාම් කියන්නේ වේද, රළුබස් කියන්නේ වේද, හිස්බස් කියන්නේ වේද, දැඩි ලෝභය බහුලකොට ඇත්තේ වේද, ව්‍යාපාද සිත් ඇත්තේ වේද, මිථ්‍යාදෘෂ්ටි ඇත්තේ වේද, ඔව්හු   ශරීරයාගේ බිඳීමෙන් මරණින් මත්තෙහි සැප නැත්තාවූ දුර්ගතිවූ විනිපාත නම් නරකයෙහි උපදින්නේ සතුන් මරණ ..ආදී දුෂ්ඨ ක්‍රියා කරන 
මෙම භවයට පෙර භවයකදී ඔහු කල කර්මයක විපාකයක් ලෙස වන්නට පිළිවන. [ අටුවාව: පෙර භවයකදී කල මෙබඳුම අකුසල් ක්‍රියාවල විපාකයක් ලෙස හෝ මේ භවයේ මිච්චා දිශිටිය නිසා අන්තිම චුති සිත අයහපත් වීමෙන් නරකාදී දුගතියක උපත වන්නට පිළිවන් බව අටුවාව කියයි. අටුවාව තව දුරටත් කියන්නේ දුශ්චරිතයේ යෙදෙන් නාගේ  දුගති ගාමි මතු උපත වෙන්නට හේතු මේ භවයේ කරන්නාවූ අකුසල මතම නොව පෙර භවයන්හිදී කරන ලද්දාවූ අකුසලයන් නිසාවුවද වන්නට හැකි බවය. ]

§.18. ආනන්දය,
යමෙක්  සතුන් මරන්නේ, සොරකම් කරන්නේ, කාමයන්හි වරදවා හැසිරෙන්නේ, බොරු කියන්නේ, කේළාම් කියන්නේ, රළුබස් කියන්නේ, හිස් බස් කියන්නේ, විෂමලෝභය බහුලකොට ඇත්තේ, ව්‍යාපාද සිත් ඇත්තේ, මිථ්‍යාදාෂ්ටි ඇත්තේ වුවද ශරීරයාගේ බිඳීමෙන් මරණින් මත්තෙහි සුගති සංඛ්‍යාත දිව්‍යලෝකයෙහි උපදී නම් එසේ වන්නේ ඔහු මේ භාවයේදී කල අකුසල නරක කාර්ම විපාකවල හලයක් නිසා නොව මරණ මොහොතේදී සම්මා දිට්ඨිය ට පත්වීම නිසා හෝ මී භාවයට පෙර කිසියම් භවයකදී කල යහපත් කර්මවල ඵලයක් වශයෙනි. එසේම මේ භවයෙදී කරන්නාවූ අයහපත් කර්මවල අයහපත් ඵලය ඔහුට ඉන්පසු භවයකදී විඳින්නට සිදුවනු ඇත. 

§.19. එසේම ආනන්දය,
යම්  පුද්ගලයෙක් සතුන් මැරීමෙන් වැළකුනේ වේද, සොරකම් කිරීමෙන් වැළකුනේ වේද, කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළකුනේ වේද, බොරු කීමෙන් වැළකුනේ වේද, කේලාම් කීමෙන් වැළකුනේ වේද, රළු බස් කීමෙන් වැළකුනේ වේද, හිස් බස් කීමෙන් වැළකුනේ වේද, අභිජ්ජා නම් විෂම ලෝභය නැත්තේ වේද, ව්‍යාපාද සිත් නැත්තේ වේද, සම්‍යක් දෘෂ්ටියට පත් වූයේ වේද, ඒ  තැනැත්තා සිය  ශරීරයාගේ බිඳීමෙන්   මරණින් මත්තෙහි යහපත් ස්වභාව  ඇති දිව්‍යලොකයෙහි උපදී නම්, එවන් සැප විඳීමට හේතුවූ  කුශල කර්මය ඊට පළමු භවයකදී  කරණ ලද්දක් හෝ විය හැකි වෙයි. මේ භවයේදී පාපයන්ගෙන් වැළකී සම්මා දිට්ඨියට පැමිණීමද හේතුව  විය හැකිය.  මේ භවයේදී කරන ලද කුසලයන්ගේ ඵලය හා සමමා  දිට්ඨියට පත්වීමේ හේතුවෙන් මේ  භාවයේද මතු භවයක ලබයි.

§.20. එසේම ආනන්දය,
සතුන් මැරීමෙන් වැළකුනාවූ,  සොරකම් කිරීමෙන් වැළකුනාවූ,  කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළකුනාවූ,  බොරු කීමෙන් වැළකුනාවූ, කේලාම් කීමෙන් වැළකුනාවූ,  රළු බස් කීමෙන් වැළකුනාවූ, හිස් බස් කීමෙන් වැළකුනාවූ,  විෂම ලෝභය නැත්තාවූ  , ව්‍යාපාද සිත් නැත්තාවූ , සම්‍යක් දෘෂ්ටි ඇත්තා වූ යමෙක්,  ශරීරයාගේ බිඳීමෙන්, මරණින් මතු සැප නැත්තාවූ දුගතියක හෝ  දුර්ගතිවූ විනිපාත නම් නරකයෙහි උපදීනම් එයට හේතුව පෙර අත් භවයක කළාවූ අයහපත් කර්මයක ඵලයක් හෝ, මරණ මොහොතේදී තමා කල යම් නරක කර්මයක් සිහියට ඒම  හෝ ඒ මොහොතෙහිදී සම්මා දිට්ඨියෙන් බැහැරව මිච්චා දිට්ඨියක් ඇතිවීම විය හැක.’

ඒ කර්මයෙන් හෙතෙම ශරීරයාගේ බිඳීමෙන් මරණින් මත්තෙහි සැපයෙන් තොරවූ දුක් ඇත්තාවූ දුගතියක් හෝ  විනිපාත නම් නිරයෙහි උපදියි. එනමුත් ඔහු මෙලොව සතුන් මැරීමෙන් වැළකුනේ හෝ වෙයිද, සොරකම් කිරීමෙන් වැළකුනේ හෝ වෙයිද, සම්‍යක් දෘෂ්ටියට පත්  වූයේ වෙයිද, ඒ කර්මයාගේ විපාකය මේ ආත්මයෙහිම හෝ විඳියි. අනතුරුව (දුගතියෙන් චුතව ලබන වෙනත්) භවයකදී  හෝ විඳියි. අපරපරියායෙහි හෝ විපාකය විඳියි.

§.21. එහෙයින් ආනන්දය,

  1. යහපත්  ඵලයක් නොලැබෙන්නාවූ , ඵල රහිත ලෙස පෙනෙන්නාවූ කර්ම වෙති. 
  2. යහපත්  ඵලයක් නොලැබෙන්නාවූ , ඵල සහිත ලෙස පෙනෙන්නාවූ කර්ම වෙති.
  3. යහපත්  ඵලයක් ලැබෙන්නාවූ , ඵල සහිත ලෙස පෙනෙන්නාවූ කර්ම වෙති
  4. යහපත්  ඵලයක් ලැබෙන්නාවූ , ඵල රහිත ලෙස පෙනෙන්නාවූ කර්ම වෙති

[1: අකුසල් කොට දුගතිගාමී ව උපදින්නා ගැනය. කෙසේද යත් ඔහු කරන්නාවූ අයහපත් කර්ම අකුසල් කර්ම  නිසා ඒවා “යහපත් ඵලයක් නොලැබෙන්නාවූ” කර්ම  වෙති. ඔහු දුගතියක උපත ලබන්නේ මේ භාවයේ කල කර්ම  නිසා නොවීමෙන් ඒවා “ඵල රහිත ලෙස පෙනෙන්නාවූ ” කර්මයෝ වෙති. 2:  අයහපත් දේ කොට සුගතියක උපදින්නා දෙවැනි ඝනයට අයත් වේ. ඔහුගේ ක්‍රියා අකුසල් නිසා ඒවා “යහපත්  ඵලයක් නොලැබෙන්නාවු ” කර්මයෝය. ඔහු සුගතියක උපත ලැබීම නිසා ඒ අයහත්  කර්ම “යහපත් ඵලයක් ගෙනදෙන්නාවූ කර්ම ලෙස පෙනේ. එනමුත් අන්‍ය තීර්ථකයන්  ඔහුගේ මේ අයහපත් කර්මයන් සුගතිගාමී වන්නට හේතුව ලෙස වරදවා දකියි. මෙසේම 3 සහ 4 වන කර්මයන් අවබෝධකර ගන්නට හැක.]english-version-icon

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළේය.
සතුටු සිත් ඇති ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙම භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය සතුටින් පිළිගත්තේය. 

uhumiye

This image has an empty alt attribute; its file name is next.jpg

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.