SN 1-11-03 ධජග්ග සුත්‍රය

පාලි සජ්ජායනය


සුත්‍ර විවරණය ,


§1  මා විසින් මෙසේ අසනලදී.
එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක.
එකල්හි  භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක.
’’ මහණෙනි, පෙරවූ දෙයක් කියමි. දෙවියන් හා අසුරයන් අතර මහත්වූ යුද්ධයක් විය. මහණෙනි, එවිට ශක්‍ර දේවේන්‍ද්‍රයන්  තව්තිසා වැසි දෙවියන්ට මෙසේ   කීවේය:

  • ’ ඉදින් පින්වතුනි, යුද්ධයට පැමිණි දෙවියන්ට බියක් හෝ තැතිගැන්මක් හෝ ලොමුදැහැගැන්මක් හෝ ඇති වුයේ නම්, එකල මගේ ධජය  දෙස  බලව්.  මගේ ධජය දකින්නාවූ නුඹලාගේ  බිය හෝ තැතිගැනුම හෝ ලොමුදැහැගැනුම  නැතිවන්නේය.’’
  •  ’ඉදින් මගේ ධජය නොපෙනෙන්නේ නම් , ප්‍රජාපති දේව රාජයාගේ ධජය දෙස  බලව්. ප්‍රජාපති දෙව් රජුගේ කොඩිය දකින්නාවූ නුඹලාගේ  බිය හෝ තැතිගැනුම හෝ ලොමුදැහැගැනුම  නැතිවන්නේය.’’ 
  • ’’ඉදින් ප්‍රජාපති දෙව් රජුගේ ධජය නොපෙනෙන්නේ නම්, වරුණ දෙව් රජුහුගේ ධජය දෙස  බලව්. වරුණ දෙව් රජුගේ කොඩිය දකින්නාවූ නුඹලාගේ  බිය හෝ තැතිගැනුම හෝ ලොමුදැහැගැනුම  නැතිවන්නේය.’’
  • ’’ඉදින් වරුණ දෙව් රජහුගේ ධජය නොපෙනෙන්නේ නම්, අනතුරුව ඊසාන දෙව් රජුහුගේ කොඩිය බලව්. ඊසාන දෙව් රජුගේ කොඩිය දකින්නාවූ නුඹලාගේ  බිය හෝ තැතිගැනුම හෝ ලොමුදැහැගැනුම  නැතිවන්නේය.’’

§ 2  ’’මහණෙනි, ශක්‍ර දේවේන්‍ද්‍රයාගේ  කොඩිය බලන්නවුන්ට හෝ ප්‍රජාපති දෙව් රජුගේ  කොඩිය බලන්නවුන්ට හෝ වරුණ දෙව් රජහුගේ  කොඩිය බලන්නවුන්ට හෝ ඊසාන දෙව් රජුගේ කොඩිය බලන්නවුන්ට හෝ  ඔවුනට ඇතිවූ   බියෙක් හෝ තැතිගැනුමෙක් හෝ ලොමුදැහැගැනුමෙක් හෝ වන්නේද, ඒ බිය ආදිය දුරු වන්නටද පිළිවන. දුරු නොවන්නටද පිළිවන.

 එයට කරුණු කිම?
මහණෙනි, ශක්‍ර දේවේන්‍ද්‍රයන්  පහනොවූ රාග ඇත්තේය. පහ නොවූ ද්වේෂ ඇත්තේය, පහ නොවූ මෝහ ඇත්තේය. ඒ දේව රාජයා ද  බියවන ස්වභාව ඇත්තෙකි. තැතිගන්නා ස්වභාව ඇත්තෙකි, පලායන දුවන ස්වභාව ඇත්තෙකි, ( එහෙයිනි. )

§ 3  ’’මහණෙනි, මමද තොපට මෙසේ කියමි:

  • මහණෙනි, ඉදින් වනයට ගියාවූ හෝ මිනිසුන් නොගැවසෙන තැනට ගියාවූ හෝ තොපට බියෙක් හෝ තැතිගැනුමෙක් හෝ ලොමුඩැහැගැනුමෙක් හෝ උපදින්නේ නම් ඒ වේලායෙහි  මෙසේ මා ගැන  සිහිකරව් ’
  • “ඒ  භාග්‍යවතුන් වහන්සේ මේ කාරණයෙන් අරහත් වනසේක, සම්මා සම්බුද්ධ වනසේක, විජ්ජාචරණ සම්පන්න වනසේක, සුගත වන සේක, ලෝකවිදූ වන අනුත්තර පුරිසධම්මසාරථී වනසේක, දෙවි මිනිසුන්ට ශාස්තෘ වන සේක, බුද්‍ධ වනසේක, භාග්‍යවත් වනසේක’(කියායි. )
    මහණෙනි, නුඹලා තුල යම් බියෙක් හෝ තැතිගැනුමෙක් හෝ ලොමුඩැහැගැනුමෙක් හෝ වන්නේ නම් , (මෙසේ) මා සිහි කරනවිට ඒ බිය, තැති ගැනුම, ලොමු ඩෑහැගැන්ම නැතිවන්නේය.’
  • ’’ඉදින් තොපි මා සිහි නොකරන්නහුනම්, අනතුරුව ධර්‍මය (මෙසේ ) සිහිකරව්.
    භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්‍මය යහපත්කොට දේශනා කරන ලද්දේය. (ඒ ධර්‍මය) තමා විසින්ම දැක්ක යුත්තේය, කල් නොයවා විපාක දෙන්නේය, ’එව බලව’ යි කීමට සුදුසුය, (භාවනා වශයෙන්) තම සිත්හි පැමිණවීමට (දරා ගැනීමට) සුදුසුය, නුවණැත්තන් විසින් තම තමා කෙරෙහිලා දැක්ක යුතුය’ ( කියායි, ) මහණෙනි ඉදින් ධර්‍මය සිහිකරන තොපට යම් බියෙක් හෝ තැතිගැන්මෙක් හෝ ලොමුඩැහැගැන්මෙක් හෝ වන්නේද, එය නැතිවන්නේය.’
  • ’’ඉදින් තෙපි ධර්‍මය සිහි නොකරව් නම්, සඞ්ඝයා ( මෙසේ ) සිහි කරව්. ’භගවත්හුගේ ශ්‍රාවක සඞ්ඝතෙම මනා පිළිවෙත්හි පිළිපන්නේය. භගවත්හුගේ ශ්‍රාවක සඞ්ඝතෙම ඎජු පිළිවෙත්හි පිළිපන්නේය. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සඞ්ඝතෙම සත්‍ය මාර්‍ගයෙහි පි්ළිපන්නේය, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සඞ්ඝතෙම සුදුසු පිළිවෙතෙහි පිළිපන්නේය. යම් මේ සතර පුරිසයුගලකෙනෙක් ඇද්ද, පුරිස පුද්ගලයෝ අට දෙනෙක් ඇද්ද, භගවත්හුගේ මේ ශ්‍රාවක සඞ්ඝයා ආහුණෙය්‍යය ( කැඳවා සිවුපසය දීමට සුදුසුය, පාහුණෙය්‍යය ( අමුතු පඬුරු පිළිගැන්වීමට සුදුසුය ), දක්ඛිනෙය්‍යය ( පරලොව අදහා දන් දෙන්නට සුදුසුය ), අඤ්ජලි කරණීයය ( දොහොත් මුදුන්දී නමස්කාරයට සුදුසුය ), සියලු ලෝකයාගේ ඉතා උතුම් පින් කෙතය’ ( යි කියායි. ) මහණෙනි,
    ( මෙසේ ) සඞ්ඝයා සිහිනරන තොපට යම් බියෙක් හෝ තැතිගැනුමෙක් හෝ ලොමුඩැහැගැනුමෙක් හෝ වන්නේද, එය නැතිවන්නේය.’

’’එයට හේතු කුමක්ද ? මහණෙනි, තථාගතවූ, අර්හත්වූ, සම්මා සම්බුද්‍ධයන් වහන්සේ පහවූ රාග ඇතිසේක, පහවූ මෝහ ඇතිසේක, බිය නොවන ස්වභාව ඇතිසේක. තැති නොගන්නා ස්වභාව ඇතිසේක, පලායන ස්වභාව නැතිසේක (එහෙයිනි. ) ’’
භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක. මෙසේ වදාරා සුගතවූ ශාස්තෲන් වහන්සේ නැවත එයම (මෙසේ ) වදාළසේක.
’’මහණෙනි, වන සෙනසුනක හෝ වෘක්‍ෂමූල සෙනසුනක හෝ මිනිසුන් නොගවසෙන තැනක හෝ සේවනය කර තැනක සම්මා සම්බුදුන් සිහි කරව්. තොපට භයක් නොවන්නේය.
’’ඉදින්, ලෝකයට ජ්‍යෙෂ්ඨවූ, නරශ්‍රේෂ්ඨවූ බුදුන් සිහි නොකරන්නහු නම්, එවිට නිවණට පමුණුවන්නාවූ, යහපත්කොට දේශනා කරන ලද්දාවූ, සද්‍ධර්‍මය සිහි කරව්.
’’නිවණට පමුණුවන්නාවූ, හොඳින් දේශනා කරන ලද්දාවූ, ධර්‍මය ඉදින් සිහි නොකරන්නහු නම්, එවිට පින් කෙතවූ, ඉතා උතුම්වූ සඞ්ඝයා සිහි කරව්.
’’මහණෙනි, යම්සේ බුදුන්ද, ධර්‍මයද, සඞ්ඝයාද සිහි කරන්නාවූ තොපට භයෙක් හෝ තැතිගැනීමෙක් හෝ ලොමුඩැහැගැනුමක් හෝ නොවන්නේය.’’

devider

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.