සච්චක

කොටුගොඩ ධම්මාවාස අනු නා හිමි කල දේශනාවක් ඇසුරෙන්


චතුර කථිකයෙකි. වාදකරුවෙකි. දුටු කෙනෙක් සසල වන පෙනුමක් ඇත්තෙකි. අති පණ්ඩිතකමේ තරම පෙන්වීම සඳහා මහා උදරය හරහා පළදින සම් පටිය ද විශාල ය. එයින් ද දුටු කෙනෙක් තිගැසෙති. නිගණ්ඨ ආගම පිළිගත් කෙනෙකි. ඔහු කියන දේ ම අන් අයට පිළිගැන්වීමට උත්සාහ දරණවා මිස අන් මතයකට ගරු නොකරන්නෙකි. දැන් බුදුරජාණන් වහන්සේ මේ අහංකාර පරවශ පුද්ගයා වෙනුවෙන් දෙවරක් ම සාකච්ඡා කළහ.

සච්චක සහ බුදුරජාණන් වහන්සේ අතර පවතින මේ අලුත ඇතිවී ඇති සම්බන්ධය ගැන භික්ෂූන් වහන්සේලා අතර සාකච්ඡාවක් ඇති වූහ. බුදු පියාණෝ තිලෝගුරු උත්තමයාණ කෙනෙකි. සච්චකතුමා ලිච්ඡවී රජ පවුලක උපත ලද ආචාර්යවරයෙකි. උගතෙකි.

ඔහුගේ දානයට වැඩම කළ ද ඔහු බුදුරදුන් අනුගමනය කරන්නෙක් බව මේ දක්වා ප්‍රකාශ කොට නැත. එවන් දැඩි මතධාරි මිනිසකු වෙනුවෙන් අපේ බුදුරජාණන් වහන්ස් මේ හැටි සම්බන්ධතා පවත්වන සේක්, කවර කරුණක් නිසා ද? පසඟ පිහිටුවා බුදුරජුන්ට නමස්කාර කිරීමක් ද මේ දක්වා සච්චක විසින් සිදු කොට නැත. එබැවින් ඔහු පිළිබඳව බුදුරදුන් දක්වන නිරර්ථක වෑයමේ තේරුම කුමක් ද?

මේ කථාව කා අතරත් කටින් කට පැතිර ගිය පසු බුදුරජාණන් වහන්සේ වදාරණ සේක්. “ඇවත්ති, බුදුවරු ඒ වෙලාවට ම ලැබෙන ප්‍රතිඵලය ගැනම පමණක් නො බලති. කෙනෙකුට අනාගතයේ හෝ යහපතක් වන්නේ නම් එය ද අවධානයට යොමු කොට ගෙන බුදුවරු ක්‍රියා කෙරෙති. ඇවැත්ති, මහණෙනි, ඒ අනුව මම අද සච්චක පඬිවරයා වෙනුවෙන් කාලය ගත කළේ ඔහුට අනාගතයේ සිදුවන යහපත පිළිබඳව සලකා ගෙන ය. මේ සච්චක අනාගතයේ දී ලක්දිව උපත ලබා “කාලබුද්ධරක්ඛිත” නමින් මහ තෙරනමක්ව එසේ ම මහා පඬිවරයෙක් ව, මහ රහතන් බවට පත්ව අපරිමිත සේවයක් කරන්නකු බව මගේ දිවනුවණට දැනුනේ ය.
ඔහුට ඒ සිදුවන යහපතට මඟ සලසනු පිණිස සච්චක කෙලින් ම බෞද්ධයකු නො වුවද ඔහු සමඟ සම්බන්ධතා පවත්වන්නෙමි” යි වදාළ සේක. මහා සච්චක සූත්‍ර අටුවාවෙහි දැක්වෙන ඒ පසුකාලීන කථා ප්‍රවෘත්තිය මෙසේ ය.

කාල බුද්ධරක්ඛිත තෙර

බුදරදුන් පිරිනිවීමෙන් අවුරුදු 375 ටත් 450 ටත් අතර කාලයේ අනුරාධපුර දක්ඛිණ ගිරි විහාරය අසළ ජීවත් වූ ඇමැති පවුලක කාල නමින් කුමරෙක් උපත ලද්දේ ය. ඔහුගේ පියාත්, ඒ පියාගේ පියාත් රජවරුනට සේවය කළ අමාත්‍යය පවුල්වල ඇත්තෝ ය. කාල කුමරුගේ පියාත් අමාත්‍යවරයෙකි. සද්ධාතිස්ස මහ රජුගේ අමාත්‍යය මණ්ඩලයේ ඇමැතිවරයෙකි. (සද්ධාතිස්ස රජු දුටුගැමුණු රජතුමන්ගේ මළණුවෝ ය.) කාල කුමරු දීප්තිමත් කළු පාටින් යුක්ත ය. පුණ්‍යවන්ත පෙනුමක් ඇත්තේ ය. හැඩහුරු ශරීරයකින් පරිමිත ය. ඉගෙනීමට පුදුම දක්ෂතාවයක් දැක්වූ කෙනෙකි.

ඔහුට යමක් එක්වරක් හෝ දෙවරක් කීම ප්‍රමාණවත් ය. හිතට වදින්නේ ය. හිතෙහි තැන්පත් වන්නේ ය. මතක සිටින්නේ ය. කට පාඩමට උපන් හපනෙකි. පෙර පුරුද්ද නිසාදෝ පිනට දහමට කැමැති ය. ළමා වයසේ දී ම මහා විහාරීය භික්ෂූන් වහන්සේලා වෙතින් පැවිද්ද ලද්දේ ය.

භාෂා ශාස්ත්‍ර සහ ත්‍රිපිටක ධර්මය මනා ලෙස හදාරා උසස් අධ්‍යාපනය පිණිස රුහුණට ගොස් තිස්සමහාරාමයෙහි වෙසෙමින් සිතුල්පව් වෙහෙරෙහි මග ඵලලාභී මහතෙරවරුන් ද ඇසුරු කරමින් බුදු දහම පිළිබඳව හසල බුද්ධියක් – දැනුමක් ලබා ගත්තේය. ත්‍රිපිටකය ධර්මයෙහි කවර තැනකින් ප්‍රශ්නයක් නැගුව ද ඒවාට පිළිතුරු දීමට සමත් විය. පැවිද්දෙන් පසු බුද්ධරක්ඛිත” යන නාමය ලැබුව ද පාට නිසා “කාල” යන නාමය ද ගිලිහී නො ගොස් “ කාල බුද්ධරක්ඛිත “ තෙරණුවෝ යැයි ප්‍රසිද්ධියට පත් වූහ. උන්වහන්සේ චතුර දේශකයෙක් වූහ. ගැඹුරු දහම් පැහැදිලිව දේශනා කිරීමේ පුදුමාකාර හපනෙක් වූහ.

එසේ ම සිල්වත් ගුණවත්කමින් ද පිරිපුන් සුපේශල ශික්ෂාකාමී යතිවරයාණකෙනෙක් වූහ. රටවාසි ගිහි පැවිදි කාගේත් සිත් සතන් දිනාගත් මෙතුමෝ දහස් ගණන් බාල තරුණ භික්ෂුන් වහන්සේලාගේ ආචාර්යවරයෙක් ද වූහ.

දැන් ගණාචාර්යවරයෙක් බවට පත් වී ඇති කාල බුද්ධරක්ඛිත තෙරණුවෝ , තමන්ට කුළුපග වූ ත්‍රිපිටකාධාරී ශිෂ්‍ය තෙරුන් වහන්සේලා හැට හැත්තෑ නමක් සමඟ තම ගුරුදේවයන් වහන්සේ වන අනුරාධපුරයේ විසූ නිග්‍රෝධ මහතෙරුන් වහන්සේ වෙත ගියහ. කාල බුද්ධරක්ඛිත තෙරණුවෝ තම ශිෂ්‍ය පිරිස සමඟ නිග්‍රෝධ ගුරුදේවයන් වහන්සේට පත්කඩ එළා වන්දනා කොට තැන්පත්ව වාඩිවූහ. එහෙත් ගුරුදේවයන් වහන්සේ වචනයක්වත් කථාකළේ නැත. මේතරම් දක්ෂ කාල බුද්ධරක්ඛිත ගෝලයා දෙසවත් නොබලා කථා නො කළ බැවින් අර සිටි ශිෂ්‍ය පිරිසට විමතියක් ඇතිවිය. මෙයින් ලජ්ජාවක් ඇති වූ කාල බුද්ධරක්ඛිත තෙරණුවෝ තම පිරිසත් සමඟ නැවත වරක් ගුරුවරයන් වහන්සේට වැඳ එතැනින් පිටව ගියහ.

පසුදා උදේ කාලයේ ද අර ශිෂ්‍ය පිරිසත් සමඟ නැවත ඇදුරුතුමන් බැහැ දැක වන්දනාවට පැමිණ කාල බුද්ධරක්ඛිත තෙරණුවෝ පෙරදා වගේ ම වැඳ සිටිය ද රහත් නමක් වූ නිග්‍රෝධ ඇදුරුවරයාණන් වහන්සේ තමන් ගැන කිසිඳු සැලකිල්ලක් නො දැක්වූ බැවින් කාල බුද්ධරක්ඛිත තෙරුන් ම කථාව පටන්ගෙන “ මාගේ ආචාර්යවරයාණන් වහන්සේ වූ නිග්‍රෝධ මහරහතන් වහන්ස, අද ඔබ වහන්සේ මහරහතන් නමකි. සෘධි බල ඇත්තෙකි.

මව්පියන්ට කරුණු කියා කුඩා දා මා ලබාගෙන පැවිද්දට පත් කළේ ද ඔබ වහන්සේ ම ය. මගේ සියලු කටයුතු සොයා කියා බලා උසස් අයුරින් ම භාෂා ශාස්ත්‍ර ඥානය හා ත්‍රිපිටක ධර්මයත් අනෙකුත් ආගමික ධර්මයන් ගැනත් මට උසස් දැනුමක් ලබා දුන්නේ ය. මම අධ්‍යාපන කටයුතු උසස් අයුරින් නිම කළ පසු රුහුණට ගොස් තිස්සමහාරාම මහ වෙහෙරෙහි වෙසමින් සිතුල් පව් මහාවිහාරීය මගඵල ලාභී තෙරවරුන් ද හඳුන්වා දී වඩාත් මගේ අධ්‍යාපනය දියුණු කරගැනීමට මඟ පෑදු සේක්, ඔබ වහන්සේ ම ය. ඒ සියලු අධ්‍යාපන කටයුතු නිමවා රුහුණේ වසර ගණනාවක් වාසය කොට ආපසු අනුරාධපුරයට පැමිණි පසු අර මූලික සුහදශීලී බව දැන් මා කෙරෙහි වෙනස් ව ඇති බවක් පෙනේ. ඊයේ පැමිණි ෂට කථා කළේ නැත. දැනුදු දෙවැනි වරටත් මගේ ශිෂ්‍ය භික්ෂුන් පිරිසත් සමඟ පැමිණි විට ද නිහඬ භාවයෙන් සිටී. හේතුව කුමක්ද? කරුණු පැහැදිලි කොට දෙන්නැයි කාල බුද්ධරක්ඛිත තෙරණුවෝ ඉල්ලීමක් කළහ.

සෘදධිබල ඇති මහරහත් නමක් වූ නිග්‍රෝධ තෙරණුවෝ දීප්තිමත් අනාගතයක් ඇති එදා බුදුරදුන් දැක පළපුරුද්දක් ද ඇති කාල බුද්ධරක්ඛිත තෙරුන්ට අවවාදයක් දීමට මේ සුදුසු ම අවස්ථාව යැයි දැන “ ඇවැත්නි, බුද්ධරක්ඛිත !, ත්‍රිපිටක ධර්මය පිළිබඳව හසල බුද්ධියක් ඇතිකරගත් පමණින් භාෂා ශාස්ත්‍ර සහ සමයාන්තර දැනුම උච්චස්ථානයෙහි ම ලා හැදැරීමෙන් ම මහණකම සම්පූර්ණ වූයේ දැයි ඔබ සිතන්නෙහි ද? එනිසා ඔය ඇදුරුකම් තාවකාලිකව නතර කොට වාතකසින පබ්බතයට මිහින්තලාව පව්වට ගොස් සුදුසු පරිසරයක නැවතී පැවිදිකම් සම්පූර්ණ කරගන්න” යැ කියා සිටිය හ. මේ උපදේශය පිළිගත් කාල බුද්ධරක්ඛිත හිමියෝ මිහින්තලා පර්වතයට ගොස් එහි වෙසෙමින් රහත්වීමට අවශ්‍ය තම චරිත්‍රානූකූල වූ භාවනාවක් වඩා නොබෝ දිනකින් ම ධ්‍යාන සමාපත්ති සහිතව කෙලෙසුන් නසා උතුම් වූ රහත් ඵලයට වූ සේක.

දැන් කාල බුද්ධරක්ඛිත තෙරණුවෝ සෘÿබල ඇති රහත් නමකි. දේශ දේශාන්තරවල සිට ද ධ්‍යානලාභී සෘÿබල ඇති පැවිදි ශිෂ්‍යවරු පැමිණ ධර්මය හදාරා යන්නෝ ය.

උන්වහන්සේ දැකීමට, උන්වහන්සේගෙන් බණ ඇසීමට, ධර්ම සාකච්ඡා කිරීමට පැමිණේන්නෝ බොහෝ ය. එකල පැවති සිරිතට අනුව අනුරාධපුර රාජ්‍යය විචාරණ රජවරු ද පසළොස්වක් පොහෝ දිනවල, අමාවක් පොහෝ දිනවල මිස්සක පව්වට ගොස් සිල් සමාදන් වෙති. සිල් සමාදන් වන රජතුමාට ඒ දවස ගත කරනු පිණිස “ රාජගිරිය ලෙස” නමින් රක්ෂිත ගල්ලෙනක් වෙන් කොට තිබුණි. සද්ධාතිස්ස රජතුමා ද අමාවක පොහෝ දිනක ඒ මිහින්තලා පව්වට ගොස් සිල් සමාදන් වූයේ ය. එදින බණ පොත් කියැවීමෙන් ධර්ම සාකච්ඡා සහ භාවනාවෙන් ම ගත කළ රජතුමාට මේ දිනවල කාල බුද්ධරක්ඛිත මහරහතන් වහන්සේ ද මිහින්තලේ ම වාසය කරන බව දැනගන්නට ලැබුණි. මහත් සේ සතුටට පත් එතුමෝ කාල බුද්ධරක්ඛිත තෙරුන්ගේ අන්තේවාසික ශිෂ්‍ය නමක් කැඳවා “ අද කවර වේලාවක හෝ මහතෙරුන් ධර්මදේශනා කරන්නේ නම් මා වෙත නො වරදවා ම දන්වනු මැනවැ” යි දැනුම් දුන්නේ ය.

මිස්සක පව්ව
ඒ අමාවක් – මසේ පෝයදා සවස කාල බුද්ධරක්ඛිත තෙරණුවෝ සැන්දැ සමයෙහි ස්වකීය ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලාත් සමඟ අම්බස්ථල චෛත්‍ය රාජයාට සහ මිහින්තලේ පිහිටි අනෙකුත් පූජනීය ස්ථානවලට වන්දනා කොට වත් පිරිත් දේශනා නිමවීමෙන් පසු සියලු දෙනා වහන්සේ ම ඇවැත් ;දසාගෙන තම තන්ගේ කුටිවලට යාමට හැරෙත් ම – දැන උගත් භික්ෂූන් වහන්සේ නමක් “ කාල බුද්ධරක්ඛිතයන් වහන්ස, අනුකම්පා කොට මා වෙත කාලකාරාම සූත්‍රයේ එන කරුණක් පිළිබඳව විමසිය යුතු තැනක් ඇත. එය විසඳා දෙනු මැනවැ”යි ඉල්ලීමක් කළේ ය. ඒ අවස්ථාවේ දී කාල බුද්ධරක්ඛිත තෙරණුවෝ විමසන සේක්, අද අමාවක පොහෝ දිනය යි. මාසේ පොහොය යි. අහස පුරා දැඩි අඳුර ය. තැනින් තැන අහසෙහි තාරකාවෝ බබළති. සිල් සමාදන් වූ විශාල පිරිසක් ද මේ කණ්ඨක සෑමළුවත් අම්බස්ථල චෛත්‍ය මළුවත් පුරා පිරී ඉතිරී සිටිති.

මේ කණ්ඨක වෙහෙරට පහතින් ඇති කළුදිය පොකුණ ළඟ අර පෙනෙන කළුතිබිරිය ගහයට ගල්තලය මත වාඩි වී පිණ්ඩපාතික තෙරුන් විමසන ලද කාලකාරාම සූත්‍රයට අනුව හෙට එළිවන තුරු ධර්මදේශනා කරන්නෙමි. ඒ බව සැමට දන්වනැයි සිසු පිරිසට පවසා කාල බුද්ධරක්ඛිත රහතන් වහන්සේ මේ කළුවර අමාවක පෝදා කළුදිය පොකුණ ළඟ කළුතිඹිරිය ගසයට පිහිටි කලුගල්තලය මත “පල්ලඩ්කං ආභූජිත්වා, උජුං කාය පණීධාය පරිමුඛං සතිං උපට්ඨපෙත්වා” පලඟ බැද (එරමිනය ගොතා තැන්පත්ව – පිට කෙළින් තබා වාඩි වී) දේශනාව ආරම්භ කිරීමට සූදානම් වෙත්ම මිස්සක පව්ව පුරා සිටි තිස් හතළිස් දහසක සෙනඟ ඒ වටපිටාවට එක්රොක් වූහ. ඒ ආරංචිය ලද විගස සද්ධාතිස්ස රජතුමා ද වහා බණ ඇසීමට පැමිනෙත්ම අති විශාල සේනාවක් තැන්පත්ව වාඩි වී සිටියහ. බණ පටන් ගැනීමට දේවතාරාධනාව කොට නමස්කාරය කියද්දී ම රජතුමා සැපත්ව, පිරී ඉතිරී ගිය සෙනඟ නිසා වාඩිවීමට සුදුසු තැනක් නො ලැබ පිරිස කෙළවර පිහිටි ගසකට හේත්තුවී එළිවනතුරුම හිටගෙන ම බණ ඇසුවේ ය. පිරිස අතරින් රජතුමා ගියොත් කවුරුත් කලබල වී රජුට ඉඩදීමට සූදානම් වන විට කාගේත් බණ ඇසීමේ එකඟ සිත චංචල වන බැවින් රජු පිරිස අතරින් යාමට අකමැති විය.

අළුයම ධර්මදේශනාව නිමවෙත්ම සද්ධාතිස්ස රජ තුමා ද බලවත් සැදැහැ සිතින් යුතුව මහත් සේ ශබ්ද නගා ඒ පිරිසත් සමඟ ම සාධුකාර දුන්නේ ය. මහේශාක්‍ය ආනුභාව සම්පන්න රජුගේ කටහඬ මේ සාධුකාර හඬ අතරින් කැපී ඇසෙත් ම රජු ද කොතැනක හෝ සිට බණ අසා සිටි බව කාටත් දැනුනේ එකෙණෙහි ය. මහ සෙනඟ අතර සිටි ජනප්‍රධානින් රජු කොතැනක දැයි සොයා බලද්දී මහා පිරිස කෙළවර ගසක් යට සිටින බව දැක පිරිස එහා මෙහා කරවාගෙන රජතුමා කාල බුද්ධරක්ඛිත තෙරුන් වෙතට කැඳවාගෙන ආහ.

“මහරජතුමනි. ඔබතුමා බණ ඇසීමට පැමිණියේ කවර වෙලාවක දැයි” කාල බුද්ධරක්ඛිත තෙරුන් විමසන ලදුව, ස්වාමිනි, ඊයේ ප්‍රථම යාමයේ ඔබ වහන්සේ මේ සූත්‍ර දේශනාවෙන් ධර්මදේශනාව ආරම්භ කරද්දී ම මාතෘකා ගාථාව වදාරණ විට මම ද පැමිණියෙමි. පිරිස නො සන්සුන් වන බැවිනුත්, මහ පිරිසක් රැස්ව සිටි බැවිනුත් පිරිස කෙළවර පිහිටි ගසක් යට සිටගෙන ම මම ද මේ චතුර ධර්ම දේශනාව ශ්‍රවණය කෙළෙමි.

 “මහරජතුමනි, ඔබතුමා කර අත්තේ දුෂ්කර ක්‍රියාවක් නොවේ ද?”
“ස්වාමිනි, මාගේ දුෂ්කර ක්‍රියාව හිටගෙන ම බණ ඇසීම නොව, එළිවනතුරු ම මාගේ සිත ඔබ වහන්සේ වදාළ සෑම බණ පදයකට ම යොමු වීම ය. එතරම් ම කර්ණරසායන, අර්ථාන්විත, සැදැහැ සිත් වඩවන, හදවතට දැනෙන, අර්ථ රසයෙන් ද, ශබ්ද රසයෙන් ද, ධර්ම රසයෙන් ද, සමන්විතව වදාළ කාලකාරාම සූත්‍ර දේශනාව අතිශයින් ප්‍රශංසනීය ය. මගේ සිත සෑම බණ පදයකට ම යොමු නොවුණි නම් ශ්‍රී ලංකාද්වීප භූමියෙහි කෙවිටි කොණක පොළවට වදින ප්‍රමාණයක් වත් හිමිකමක් ලැබීමට මම සුදුසු නොවන්නේ මය. කාල බුද්ධරක්ඛිත මහරහතන් වහන්ස, මේ දේශනාවට ධර්ම පූජාවක් වශයෙන් මම ඔබ වහන්සේට ශ්‍රී ලංකාද්වීපය ම පූජා කරන්නෙමැ’යි සද්ධාතිස්ස රජතුමා පවසා මහා ජනයා සාධුකාර දෙද්දී ම පැන් කෙණ්ඩියක් ගෙන්වා ගෙන අතපැන් වත් කොට ශ්‍රී ලංකාද්වීපය ම ධර්ම පූජාවක් වශයෙන් කාල බුද්ධරක්ඛිත තෙරුන්ට පූජා කළේ ය.

කාල බුද්ධරක්ඛිත මහරහතන් වහන්සේ අතපැන්වත් කොට පූජා කළ ලංකාද්වීපය ම ධර්ම පූජාවක් සේ පිළිගෙන
“මහරජතුමනි, මට රටක් අවශ්‍ය නැත. ධර්ම පූජාවක් වශයෙන් පූජා කරන ලද මේ රට නැවත ඔබට ම පවරමි. එය පිළිගෙන දැහැමින් සෙමින් රජකම් කරනු මැනවැ” යි කාල බුද්ධරක්ඛිත තෙරණුවෝ ලක්දිව සද්ධාතිස්ස රජුටම නැවත පැවරූ සේක. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ එදා සච්චක පඬිවරයා වෙනුවෙන් විශාල අනුග්‍රහයක් දක්වන ලද සේක්, මේ වැදගත් සිද්ධිය දිවැසින් දැකීමෙනි. කාල බුද්ධරක්ඛිත ස්ථිවරයන් වහන්සේ ද එදා සිටි ලංකාවාසී ගිහි පැවිදි දෙපාර්ශ්වයේ ම සිත් සතන් දිනාගෙන දිගු කලක් මහඟු සේවාවක් සිදු කොට මිහින්තලා පර්වතයේ දී ම පිරිනිවන් පෑ බව සඳහන් වේ.

මේ කතා ප්‍රවෘත්තිය මජ්ඣිමනිකාය මහාසච්චක සූත්‍ර අටුවාවෙහි ද පූජාවලියෙහි පූජා සංග්‍රහ කථා පරිච්ඡේදයේ ද දක්වා තිබේ. මේ කාලකාරාම සූත්‍රය අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයෙහි පඨම පන්නාසකයේ උරවේල වර්ගයෙහි සතර වන සූත්‍රය බව සැලකිය යුතු ය.

ආපසු මහා සච්චක සුත්‍රයට

ආපසු චුල සච්චක සුත්‍රයට

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.