MN-3-1-5. සුනක්ඛත්ත සූත්‍රය

මජ්ඣිම නිකාය
උපරි පණ්ණාසය
1. දේවදහ වර්ගය

Buddha-2


§ 1. මා විසින් මෙසේ අසනලදී.
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ විසාලා මහනුවර මහවනයෙහිවූ කූටාගාර ශාලාවෙහි වැඩ වසන සේක.

§ 2. එකල්හි බොහෝ භික්ෂූන් විසින් භාග්‍යවතුන් වහන්සේගේ සමීපය ට පැමිණ තමන් වහන්තිසේ ජාතිය ක්‍ෂය කරන ලද්දෙමි. නැවත  ඉපදීම නවතා දමන ලද්දෙමි. බ්‍රහ්මචරිය වැසීමෙන් බලාපොරෝත්තුවුන ඵලය ලබන ලද්දෙමි. සතර මාර්ගයෙන් කටයුතු දෙය කරණලදී. “මේ ජීවිතයේදී  කළයුතු අනිකක් නැතයි දනිමු”යයි  රහත්බව ප්‍රකාශ කරණ ලද්දේ වෙයි.

§ 3. සුනක්ඛත්ත නම් ලිච්ඡවි පුත්‍රයාද  ‘බොහෝ භික්ෂූන් විසින් භාග්‍යවතුන් වහන්සේ බඹසර රැකඅර්හත්භාවය ප්‍රකාශ කලන බව අසා දිනක් භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ “ස්වාමීනි, බොහෝ වූ භික්ෂූන්  අර්හත්වය ප්‍රකාශ කරණ ලදැයි, මා විසින් අසන ලදී. ස්වාමීනි,  ඒ සියළු භික්ෂූහු සැබවින්ම තමන් අර්හත්වය සාක්ෂාත් කොටම  එසේ තමන් රහත්බව ප්‍රකාශ කළාහුද නැතිනම් එසේ නොවී  සමහර භික්ෂූහු අධිමානයෙන් (රහත්ය යන හැඟීමෙන්) ප්‍රකාශ කළාහුදැ?”යි ඇසීය.

§ 5. “සුනක්ඛත්තය, යම්  භික්ෂූන් මා සමීපයෙහි ජාතිය ක්ෂය කරණ ලද්දීය, මාර්ග බ්‍රහ්මචර්‍ය්‍යාව වැස නිමවන ලද්දේය. සතර මාර්ගයෙන් කටයුතු දෙය කරණ ලද්දේය. මේ ආත්ම භාවය පිණිස කළයුතු අනිකක් නැතැයි දනිමුයි, රහත්බව ප්‍රකාශ කළාහුද, ඒ අතුරින් සමහරෙක් මනාකොටම ක්ලේශ ආශ්‍රව සිඳ සිය රහත්බව ප්‍රකාශ කළාහු වෙත්. එනමුත් ඇතැම් භික්ෂූහු අධිමානයෙන් යුතුව තමන් නොලද  රහත්බවක්  ප්‍රකාශ කළාහු වෙත්මැයි.

සුනක්ඛත්තය,  යම්  භික්ෂූවක්  මනාකොටම රහත්බව ප්‍රකාශ කළාහුද, ඔවුන්ගේ ඵලය එසේම වෙයි. යම්  භික්ෂූවක්   අධිමානයෙන් රහත්බව ප්‍රකාශ කළාහුද, [තවමත් තමන්  නොලැබූ මුත් තමන් උතුම් ඵලය ලැබූ බව තමන්ගේ මානය සහ මෝහය නිසා සිතා ගෙන ප්‍රකාශ කරන්නෝ වුහ.] තථාගතයන් ඔවුන්ට අනුකම්පාවෙන් ඔවුනගේ ඵල හා අධිගමනය පිලිබඳ වටහා දෙමින් ඔවුනට පුර්ධණ අධිගමය පිනිස නිසි  උපදේශ සහිතව  ධර්මය දෙශනා කරයි, 

එතකුදු වුවත්  ඇතැම් හිස් පුරුෂයෝ තමන්ගේ අවබෝධය  ගැන අනුන්ට පෙනෙන්නට , ප්‍රදර්ශනය පිණිස කලින් සිතා මතාම ගොතාගත් වාදයක් මතයක් තථාගතයන් ඉදිරියට ගෙනවුත් විමසයි.

“සුනක්ඛත්තය,  ඔවුන්ට ද ධර්මය දෙශනා කරන්නෙමි,’යි  තථාගතයන් ට පෙර  අදහසක් වුවත් ඔවුනගේ අභි මානය වෙනස්කොට රහත් ඵලයට පැමිණීමට ඔහුගේ සිත් එලවීමට අපහසුයැ”යි දුටු විට තථාගතයන් පෙර වූ  සිත වෙනස් කර ගනී.

§ 6. භාග්‍යයවතුන් වහන්ස, මේ  අගනේය වූ ධර්මය දේශනා කරන්නට සුදුසු කාලය වේ. සුගතයන් වහන්ස, මෙයම සුදුසු කාලය වේ, භාග්‍යවතුන් වහන්සේ යම් ධර්මයක් දෙශනා කරන්නේද, භාග්‍යවතුන් වහන්සේගෙන් ඒ  අසා භික්ෂූහු දරන්නාහුයයි” කීය.

සුනක්ඛත්තය, එසේවීනම් අසව, මනාකොට මෙනෙහි කරව, කියන්නෙමියි” වදාළේය.
“එසේය ස්වාමීනියි” සුනක්ඛත්ත නම් ලිච්ඡවි පුත්‍ර තෙම භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්නේය. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළේය.

§  7. “සුනක්ඛත්තය,  කාමගුණයෝ පසක් වෙත්. කවර පසක්ද යත්,

  • ඉෂ්ටවූ කැමති වන්නාවූ මන වඩන්නාවූ ප්‍රිය ස්වභාව ඇත්තාවූ කාමය පිණිස පවත්නාවූ ඇළුම් උපදවන්නාවූ ඇසින් දතයුතු රූපයෝය.
  • ඉෂ්ට වූ කැමතිවන්නාවූ මනවඩන්නාවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කාමය පිණිස පවත්නාවූ, ඇළුම් උපදවන්නාවූ, කණින් දතයුතු ශබ්දයෝය.
  • ඉෂ්ටවූ, කැමති වන්නාවූ, මනවඩන්නාවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කාමය පිණිස පවත්නාවූ, ඇළුම් උපදවන්නාවූ, නැහැයෙන් දතයුතු ගන්ධයෝය.
  • ඉෂ්ටවූ, කැමති වන්නාවූ, මනවඩන්නාවූ ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කාමය පිණිස පවත්නාවූ, ඇළුම් උපදවන්නාවූ, දිවෙන් දතයුතු රසයෝය.
  • ඉෂ්ටවූ, කැමති වන්නාවූ, මනවඩන්නාවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කාමය පිණිස පවත්නාවූ, ඇළුම් ඇතිකරන්නාවූ, ශරීරයෙන් දැනගතයුතුවූ ස්පර්ශයෝය. සුනක්ඛත්තය, මොහු වනාහි කාමගුණ පස වෙත්.

§ 8.“සුනක්ඛත්තය, මේ ලොකයෙහි පුද්ගලයෙක් පඤ්චකාම ගුණයන්හි ඇලීමට හේතු ඇත්තේය.

  • සුනක්ඛත්තය, පඤ්චකාම ගුණයෙහි ඇලුණු  පුද්ගලයා  ඊට අදාලවූ  කථා ඇත්තේ වෙයි.
  • පඤ්චකාම ගුණයන්ට අනුකූලවූ කරුණුම නැවත නැවත සිතන්නේ වෙයි.
  • නැවත නැවත කල්පනා කරන්නේ වෙයි.
  • එබඳු පඤ්චකාම ගුණයන් ට රිසි අයම සේවනය කරන්නේය.
  • ඔවුන්  සමගම සතුටට පැමිණෙයි.
  • සංඛාර ප්රහාණයට ආනෙන්ජා ඥාන දර්ශනය  වඩවන ධර්මයක් [ ආනෙන්ජා : යනු සතරවන ධ්‍යානයට අදාළ සුවිසේෂ ඵල විශේෂයකි. මේ ආනේන්ජා ඵල 4 න් ඉහල ඵල දෙක ගැන වෙනම සඳහන් වන නිසා මෙතනදී පහල ධ්‍යාන ඵල දෙක ගැන බව හැඟෙ කථාවක් කියනු ලබන කල්හි එයට ඇහුන්කන් නොදෙයි. කණ යොමු නොකරයි. දැනගැනීම පිණිස සිත නොඑලවයි. එබඳු පුරුෂයාද සේවනය නොකරයි. ඔහු සමග සතුටටද නොපැමිණෙයි.

§ 9. “සුනක්ඛත්තය, සිය උපන් ගමින් හෝ පෙර විසු  නුවරින් බොහෝ කලක්  බැහැරව වෙන නුවරක වසන මිනිසෙකුට, මේ නොබෝ දා සිය දේශයෙන් ආ කෙනෙකු සමු වී යැයි සිතන්න. එවිට ඔහු ආගන්තුකයාගෙන් සිය ආදී ගමේ නුවර තොරතුරු විමසන්නේය. “අපේ ගමේ, අපේ නගරයේ අය විදියේ සිටි අසුවල් අසුවල් ය සනීපයෙන් ඉන්නේද? කරදරයකින් තොරව ඉන්නේදැ, මිල මුදලින්යි අඩුවක් නැතිව, ඉන්නේදැයි ඔහු ඇසුවිට අමුත්තා පිළිතුරු දේ. එවිට ප්‍රශ්නය ඇසු මිනිසා ඒ පිළිතුරු හොඳින් අවධානය දී ඇහුම් කන් දෙන්නේ දැයි ඔබ සිතන්නේද?”
“ස්වාමීනි, එසේය.”

“සුනක්ඛත්තය, එපරිද්දෙන්ම  ඇතැම් පුරුෂ පුද්ගලයෙක් වට්ටකාම ලෝකාමිස සංඛ්‍යාත, පඤ්චකාම ගුණයෙහි ඇලුණු අදහස් ඇත්තෙක් වන්නේ නම් , ඊට හේතු ඇත්තේය.

සුනක්ඛත්තය, ලෝකාමිස පඤ්චකාමයන්හි  කැමැති එහි  ඇලුණු අදහස් ඇත්තාවූ  පුද්ගලයා  ඊට අදාල වූ දේ ගැනම කථා කරයි. ඇහුම්ඊකන්ට දෙයි. ඒ අසන්නට කතා කරන්නට රිසි වෙයි. ඒ  කාම වස්තුන් ඒවායේ ආශ්වාදයන් ගැන කථාවන්හි යෙදෙයි. ඒවා ගැනම  නැවත නැවත කල්පනා කරයි. නැවත නැවත සලකයි. ඒ හා සමාන කැමැත්තක් ඇති අය ම සේවනය කරයි.  ඔවුන් සමග ලෝකාමිස විතර්කයන්හි යෙදෙයි. ඔවුන් සමග සතුටට පැමිණෙයි. යමෙක්  ආනෙන්ඥජ සමාපත්තිය පිළිබඳව කතා කරයි නම් ඒ බඳු කතා අසන්නට නොකැමැත්තේ වෙයි. ඒ ඇසීමට කන් නොනමයි. ඒ දැනීමට සිත නොයොදයි. ඒ බඳු කතා කරන පුද්ගලයා භජනය නොකරයි. එයින් සතුටට නොපැමිණෙයි. හෙතෙම ආනෙන්ඥජ සමාපත්ති සංයෝජනයෙන් දුරස්ථ වූ, (ලොකාමිසයෙහි) පඤ්චකාම ගුණයෙහි ඇලුණු අදහස් ඇති  පුද්ගලයාය’යි දතයුතු වන්නේය.

§ 10. “සුනක්ඛත්තය,  ඇතැම්  පුද්ගලයෙක් ආනෙන්ඥජ සමාපත්තියට කැමති වෙයි. ප්‍රිය කරයි. [ආනෙන්ඥජ සමාපත්තිය යනු සතරවන ධ්‍යානයෙන් ලබන සමාපත්ති සැපය ය. පළමු දෙවන හා තෙවන ධ්යානයන්ගෙන් ලබන සමාපත්ති සුවය මේ දේශනාවේ සඳහන් නොවන්නේ  ඒවා ආනෙන්ඥජ සමාපත්තිය තරම් ඇලීමක් ඇති නොකරන නිසා වෙන්නට පිළිවන.] ආනෙන්ඥජ සමාපත්තියෙන් අධිමුක්තවූ  ඒ පුද්ගලයා  ඊට අදාලවූ සුදුසුවූ කථාම කරයි. ඊට අනුකූලවූ කරුණුම සිතයි. කල්පනා කරයි. එ වැනි ආනෙන්ඥජ සමාපත්තිය රුචි කරන අයම  සේවනය කරයි. ඔහු සමග සතුටටද පැමිණෙයි. පඤ්චකාම ගුණයන් පිළිබඳ කථා කරනු ලබන කල්හි එය අසන්ට කැමැති නොවෙයි. කන් යොමු නොකරයි. ඒවා දැනගැනීම පිණිස සිත නොඑලවයි. එවැනි දේ කැමති අය ද සේවනය නොකරයි. ඔවුන් හා එක්ව     සතුටට නොපැමිණෙයි.

§ 11. “සුනක්ඛත්තය, යම්සේ පඩුවන්  පැහැගෙන, නටුවෙන් ගිලිහුණාවූ,  ඉදුනු කොළය    නැවත කොළ පැහැයට පත් නොවේද, සුනක්ඛත්තය, එපරිද්දෙන්ම ලෞකික දෙයෙහි ආසාව හල කෙලෙස් තෘෂ්ණාවෙන් මිදුනාවූ පුත්ගලයා නැවත ඒ අවාසනාවන්ත ලෞකික ආශාවල නොබැඳේ.

ආනෙන්ඥජ සමාපත්තියෙහි ප්‍රසාදයට පත් එම  පුද්ගලයා, ලෝකාමිස සංයෝජනයෙන් කිලිටි වූ පඤ්චකාම තණ්හාවෙහි  නොඇලුණාවූ, ආනෙන්ඥජ සමාපත්තියෙහි අධිමුක්ත  පුද්ගලයායයි දතයුතු වන්නේය.

§  12. “සුනක්ඛත්තය, ඇතැම්  පුද්ගලයෙක් ආකිඤ්චඤ්ඤායතන සමාධියෙහි  කැමැතිව එහි ඇලුණු සිත් ඇති වන්නේ ඔහු , ඊට අදාල වූ, ඊට සුදුසුවූ දේම විතරක විචාර කරයි. ඊට අනුකූලවූම කරුණු සිතයි. කල්පනා කරයි. ඒ සමාධියෙහි රිසි  පුරුෂයන් සේවනය කරයි. ඔව්හු සමග සතුටට පැමිණෙයි. ආනෙන්ඥජ සමාපත්තිය පිළිබඳ කථා කියනු ලබන කල්හි අසන්ට පෙර මෙන්  කැමැති නොවෙයි. කන් යොමු නොකරයි. දැන ගැනීමට සිත නොඑලවයි. ඒ ආනෙන්ඥජ සමාපත්තියෙහි ඇලුණු  පුරුෂයා සේවනය නොකරයි. ඔහු සමගද සතුටට නොපැමිණෙයි.

§  13.”සුනක්ඛත්තය, යම්සේ දෙකට බිඳුනාවූ මහ ගල් කුලක් හාකළ නොහැක්කේද, සුනක්ඛත්තය, එපරිද්දෙන්ම ආකිඤ්චඤ්ඤායතන සමාධියෙහි ඇලුණු  පුද්ගලයාගේ ආනෙන්ඥජ සමාපත්තියෙහි යම්  ඇලීමක් පෙර වීද, එය බිඳුනේ වෙයි. හෙතෙම ආනෙන්ඥජ සමාපත්තියෙහි නොඇලුණු ආකිඤ්චඤ්ඤායතනයෙහි ඇලුණු  පුද්ගලයායයි දතයුතු වන්නේය.

§ 14. “සුනක්ඛත්තය,    පුද්ගලයෙක් නෙවසඤ්ඤානාසඤ්ඤායතන සමාධියෙහි  කැමැතිව එහි ඇලුණු සිත් ඇති පුද්ගලයෙක් වන්නේ ඔහු , ඊට අදාල වූ, ඊට සුදුසුවූ දේම විතරක විචාර කරයි. ඊට අනුකූලවූම කරුණු සිතයි. කල්පනා කරයි. ඒ නෙවසඤ්ඤානාසඤ්ඤායතන සමාධියෙහි  කැමැති පුරුෂයන් සේවනය කරයි. ඔහු සමග සතුටටද පැමිණෙයි. ආකිඤ්චඤ්ඤායතනය පිළිබඳ කථා කියනු ලබන කල්හි අසන්ට කැමැති නොවෙයි. කන් යොමු නොකරයි. දැන ගැනීමට සිත නොඑලවයි. ඒ ආකිඤ්චඤ්ඤායතනය හි ඇලුණු පුරුෂයන්ද  සේවනය නොකරයි. ඔහු සමගද සතුටටද නොපැමිණෙයි.  

§  15.සුනක්ඛත්තය, යම්සේ පුරුෂයෙක් රසවත් ආහාරයක් වළඳා නිමවූ කල පසු  එය වමනය කොට  හැර දමන්නේද, සුනක්ඛත්තය, ඒ කුමකැයි හඟින්නෙහිද, ඒ පුරුෂයාහට ඒ  වමනය කළ භොජනය  නැවත අනුභව කරන්ට කැමැත්තක් වන්නේද?”
“ස්වාමීනි, එසේ නොවන්නේමැයි.”
“ඊට හෙතු කවරේද?”
“ස්වාමීනි, ඒ වමනය කළ ආහාරය වනාහි පිළිකුල්යයි සම්මත හෙයිනි.”
“සුනක්ඛත්තය, නෙවසඤ්ඤානාසඤ්ඤායතන සමාධියෙහි ඇලුණු අදහස් ඇති  පුද්ගලයාට ආකිඤ්චඤ්ඤායතන සංයොජනය වමනයක් සේමය. හෙතෙම ආකිඤ්චඤ්ඤායතන සංයොජනයෙන් නොබැඳුණු නෙවසඤ්ඤානාසඤ්ඤායතන සමාධියෙහි ඇලුණු පුරුෂ පුද්ගලයා යයි දතයුතු වන්නේය.

§ 16. “සුනක්ඛත්තය,  ඇතැම්  පුද්ගලයෙක්  නිවණෙහි සිත් අලවා නිර්වානයම අපේක්ෂා කරන්නෙක්ම වේද, ඔහු  ඊට සුදුසුවූ දේම කථා කරයි. ඊට අනුකූල කරුණුම සිතයි. කල්පනා කරයි. ඒ නිර්වාණයම අධිමුක්ත කරන්නාවූ අයම  සේවනය කරයි. ඔවුන්  සමග සතුටටද පැමිණෙයි. නෙවසඤ්ඤා-නාසඤ්ඤායතන සමාධිය පිළිබඳ කථාවන්   අසන්ට නොකැමැති වෙයි. දැන ගැනීම පිණිස සිත නොඑළවයි. නෙවසඤ්ඤානාසඤ්ඤායතන සමාධියෙහි ඇලුණු අය සමග සතුටට නොපැමිණෙයි.

§  17. “සුනක්ඛත්තය, යම්සේ මුදුන් මුල සිඳින ලද තල්ගසක්  නැවත හට නොගනීද , සුනක්ඛත්තය, එපරිද්දෙන්ම  නිවණෙහි කැමතිවූ අදහස් ඇති පුද්ගලයා විසින් නෙවසඤ්ඤා-නාසඤ්ඤායතන සමාධියෙහි යම් බැඳීමක් වෙත්ද, එය සිඳින ලදී. සිඳිනලද මුල් ඇති තල්ගසක් මෙන් කරණලදී. විනාශ කරන ලදී. මතු නූපදින බවට පමුණුවන ලදී. හෙතෙම නෙවසඤ්ඤානාසඤ්ඤායතන සංයෝජනයෙන් වෙන්වූ මනාව නිවණෙහි නැමුණු අදහස් ඇති  පුද්ගලයායයි දතයුතු වන්නේය.

§  18. “සුනක්ඛත්තය, මේ සස්නෙහි ඇතැම් භික්ෂුවක්හට තෘෂ්ණාව ඊ හුලකැයි බුද්ධශ්‍රමණයන් වහන්සේ විසින් වදාරණලද්දේයයි සිතයි. අවිද්‍යාව නමැති විෂ දොෂය, ඡන්දරාගය, ව්‍යාපාදය කරණකොටගෙන කිපෙයි. ‘මා විසින් තෘෂ්ණා නමැති හුල පහකරන ලදී. අවිද්‍යා නමැති විෂදොෂය ඉවත්කරණ ලද්දේය. මම  නිවණෙහි නැමුණු අදහස් ඇත්තෙක් වෙමියි, අර්ථයට සමානවූ මෙබඳු හැඟීම් ඇත්තෙක් වන්නේය, යන යමක් වේද ඊට හේතු ඇත්තේය. [මේ දේශනාවේ ආරම්භයේ සඳහන් වූ අධි මානයෙන් තමන් රහත්වී යැයි සිතු භික්ෂුන් මෙසේ විස්තර වේ.] 

හෙතෙම නිවණෙහි කැමැතිවූ සිත් ඇති පුද්ගලයාට නුසුදුසුවූ යම් අරමුණු වෙත්ද, ඒ අරමුණුවල බැඳෙන්නේය. ඇසින් නුසුදුසු රූපයක් දැක බැඳෙන්නේය. කණින් නුසුදුසු ශබ්දයක් අසා බැඳෙන්නේය. නාසයෙන් නුසුදුසු ගන්ධය දැන බැඳෙන්නේය. දිවෙන් නුසුදුසු රසය දැන බැඳෙන්නේය. කයෙන් නුසුදුසු ස්පර්ශය ස්පර්ශකොට බැඳෙන්නේය. සිතින් නුසුදුසුවූ ධර්මාරම්මණ දැන බැඳෙන්නේය. ඇසින් නුසුදුසු රූපයෙහි බැඳුනාවූ, කණින් නුසුදුසු ශබ්දයෙහි බැඳුණාවූ, නාසයෙන් නුසුදුසු ගන්ධයෙහි බැඳුනාවූ, දිවෙන් නුසුදුසු රසයෙහි බැඳුණාවූ, කයින් නුසුදුසු ස්පර්ශයෙහි බැඳුණාවූ, සිතින් නුසුදුසු ධර්මාරම්මණයෙහි බැඳුනාවූ, ඔහුගේ රාගය තෙම සිත වියලන්නේය (නසන්නේය) හෙතෙම රාගයෙන් වියලනලද සිතින් යුක්තව මරණයට හෝ මරණය හා සමාන දුකට හෝ පැමිණෙන්නේය.

§  19. “සුනක්ඛත්තය, යම්  පුරුෂයෙක්  විෂ සහිතවූ, දැඩිකොට විෂ පොවනලද ඊයකින් විදින ලද්දේද,  අසල් වැසියෝ,  සහ ඔහුගේ නෑයෝ ශල්‍යවෛද්‍යවරයෙකු කැදවන්නාහුය. ශල්‍යවෛද්‍යවරයා ‘ආයුධයෙන්’ වණ මුඛය වටා  කපන්නේය. ‘සොයන කටුවෙන්’ වණමුඛය සාරා ඔහු සිරුරෙහි ගිලුණු ඊ හිස  සොයන්නේය. සොයා ඒ ඊ හිස ඇද දමන්නේය. ඉතිරිවූ විෂ දොෂය ද ඉවත් කරන්නේය. එනමුත් ඉතා සුළු විස ප්‍රමාණයක් එසේ ඉවත් කරන්නට නොහැකිව ඔහුගේ තුවාලයේ ඉතිරිවන්නේය. ඒ සුළු ප්‍රමාණයක් වූ විසෙන් ගිලනාට  විෂදොසක් නැතැයි හඟිමින්  වෛද්‍යවරයා මෙසේ කියන්නේය.

“‘පින්වත් පුරුෂය, නුඹට ඇනුණු  ඊ හිස උදුරා දමනලදී. විෂදොෂය ඉතිරි නොකොට ඉවත් කරනලදී. ඔබට මෙය අනතුරක් පිණිස නොවේ. පථ්‍යවූ ආහාර අනුභව කරව, අපථ්‍යවූ ආහාර අනුභව නො කරව, අපථ්‍ය ආහාර ගන්නේ වණය වැගිරීම් සහිත වන්නේය. කලින් කල වණය සේදුව මැනවි. කලින් කල වණ මුඛයෙහි බෙහෙත් ගැල්වුව මැනව, කලින් කල වණය නොසේදීමෙන් කලින් කල වණයෙහි බෙහෙත් නොගැල්වීමෙන් වණයෙහි සැරව හා ලේ බැඳ නොගනීවා. සුලං ඇති තන්හි හා අව්වෙහි නොඇවිදිනු. සුලං ඇති තන්හි හා අව්වෙහි ඇවිදීමෙන් වණයෙහි දූවිලි හා නණ්ඩු වැදීමට ඉඩ නොදේවා. පින්වත් පුරුෂය, වණය රකිමින් වණයෙහි මස් ලියලන අන්දමින් වාසය කරව” යයි,’ කියන්නේය.

§ 20. එසේ ඇසු ඒ රෝගියා මෙසේ සිතයි.  ‘දැන් මට විදුනු ඊය ඉවත් කර ඇත. ඉන් ශරීරගතවූ  විශද ඉවත් කර ඇත. මින් පසු මට කිසි අනතුරක් සිදු නොවන්නේය” යි  සිතන්නේය. මෙසේ සිතන්නාවූ ඔහු  අපථ්‍යවූ ආහාර අනුභව කරන්නේය. අපථ්‍ය ආහාර අනුභව කරන්නාවූ ඔහුගේ වණය වැගිරීම ඇත්තක් වන්නේය. කලින් කල වණය නොසෝදන්නේය. කලින් කල වණයෙහි බෙහෙත් නොගල් වන්නේය. කලින් කල වණය නොසෝදන්නාවූ කලින් කල වණයෙහි බෙහෙත් නොගල්වන්නාවූ ඔහුගේ වණය ලේ සැරව දෙකින් බැඳ ගන්නේය. අව්සුලං ඇතිතන්හි ඇවිදින්නේය. අව්සුලං දෙකෙහි ඇවිදින ඔහුගේ වණයට දූවිලි හා වීනණ්ඩු ආදිය ඇතුල් වන්නේය. වණය රැක ගනිමින් වාසය නොකරන්නේය. මස්ලියලන සේ වාසය නොකරන්නේය. ඔහුගේ මේ අපථ්‍ය කටයුතු කිරීමෙන් සහ අපවිත්‍ර විෂදොෂය සම්පුර්ණයෙන්ම ඉවත් නොකිරීම යන කරුණු දෙකින් වණය පැසවන්නේය. මහත් බවට පැමිණෙන්නේය. හෙතෙම මහත් බවට පැමිණියාවූ වණයෙන් මරණයට හෝ මරණය සමාන දුකට හෝ පැමිණෙන්නේය.

§  21. “සුනක්ඛත්තය, එපරිද්දෙන්ම මේ ශාසනයෙහි ඇතැම් භික්ෂුවක්හට මෙබඳු අදහසක් වන්නේය,  ‘තෘෂ්ණාව වනාහි හුලකැයි බුද්ධශ්‍රමණයන් විසින් වදාරණ ලදී. අවිද්‍යා නැමැති විෂදොෂය ඡන්දරාගය හා ව්‍යාපාදය කරණකොට කිපේ. මා විසින් ඒ තෘෂ්ණා නමැති හුල පහ කරනලදී. අවිද්‍යා නමැති විෂදොෂය දුරුකරනලදී. මම නිවණෙහි නැමුනු අදහස් ඇත්තෙක් වෙයි, අර්ථයට සමානවූ මෙබඳු හැඟීමක් ඇත්තෙක් වන්නේය.’ [ §3 හි සඳහන් වූ තමන් අර්හත්වය සාක්ෂාත් කළා යැයි වරදවා වටහා ගත භික්ෂුව ගැන මේ චේදයෙන් කියැවේ.] මෙසේ සිතන්නාවූ  “හෙතෙම මනාව නිවණෙහි නැමුණු අදහස් ඇත්තහුට නුසුදුසුවූ යම් කිසි කරුණු වෙත්ද, ඒ කරුණුවල යෙදෙන්නේය. ඇසින් දැක්මට නුසුදුසුවූ රූපයක් දැක එහි බැඳෙන්නේය. කණින් නුසුදුසුවූ ශබ්දයක් අසා එහි බැඳෙන්නේය. නාසයෙන් නුසුදුසුවූ ගන්ධයක් ආඝ්‍රානය කොට එහි බැඳෙන්නේය. දිවෙන් නුසුදුසුවූ රසයක් විඳ එහි බැඳෙන්නේය. කයින් නුසුදුසුවූ ස්පර්ශයක් ලබා එහි බැඳෙන්නේය. සිතින් නුසුදුසුවූ ධර්මාරම්මණයන් දැන එහි බැඳෙන්නේය. නුසුදුසුවූ රූපයක් දැක එහි බැඳුනාවූ කණින් නුසුදුසුවූ ශබ්දයක් අසා එහි බැඳුනාවූ නාසයෙන් නුසුදුසුවූ ගඳෙක් ආඝ්‍රානය කොට එහි බැඳුනාවූ දිවෙන් නුසුදුසුවූ රසයක් විඳ එහි බැඳුනාවූ කයින් නුසුදුසුවූ ස්පර්ශයක් ලබා එහි බැඳුනාවූ සිතින් නුසුදුසුවූ ධර්මාරම්මණයක් දැක එහි බැඳුනාවූ  රාගය ඔහුගේ  සිත නසන්නේය. හෙතෙම රාගයෙන් නසනලද සිතින් මරණයට හෝ මරණය තරම් දුකට හෝ පැමිණෙන්නේය.

§ 22. “සුනක්ඛත්තය, ආර්‍ය්‍යවිනයෙහි  මහණකම අතහැර යමෙක් හීනවූ ගිහි බවට පෙරළේද, මේ වනාහි මරණයවේ. සුනක්ඛත්තය, යමෙක් කෙලෙසුන්ගෙන් කිලිටිවූ එක්තරා ඇවතකට පැමිණේද, මේ වනාහි මරණය හා සමාන දුකවේ.

§ 23. “සුනක්ඛත්තය, මේ ශාසනයෙහි ඇතැම් භික්ෂුවක්හට ‘තෘෂ්ණාව වනාහි හුලකැයි බුද්ධ ශ්‍රමණයන් විසින් වදාරණලදී. අවිද්‍යා නමැති විෂ දොෂය ඡන්දරාගය හා ව්‍යාපාදය කරණකොටගෙන කිපෙයි. මා විසින් තෘෂ්ණා නැමැති හුල පහකරණලදී. අවිද්‍යා නැමැති විෂ දොෂය ඉවත් කරණ ලදී. මම නිවණෙහි නැමුණු අදහස් ඇත්තෙක් වෙමි,’ යන අදහස උපදින්නේය. මනාකොටම නිවණෙහි නැමුණු අදහස් ඇත්තාවූ ඔහුට නුසුදුසුවූ යම් කරුණු වෙත්ද, ඒ කරුණුවල නොයෙදෙන්නේය. ඇසින් නුසුදුසුවූ රූපයක් දැක එහි නොබැඳෙන්නේය. කණින් නුසුදුසුවූ ශබ්දයක් අසා එහි නොබැඳෙන්නේය. නාසයෙන් නුසුදුසුවූ ගන්ධයක් ආඝ්‍රාණයකොට එහි නොබැඳෙන්නේය. දිවෙන් නුසුදුසුවූ රසයක් විඳ එහි නොබැඳෙන්නේය. කයින් නුසුදුසුවූ ස්පර්ශයක් ලබා එහි නොබැඳෙන්නේය. සිතින් නුසුදුසුවූ ධර්මාරම්මණයක් දැන එහි නොබැඳෙන්නේය. ඇසින් නුසුදුසු රූපයක් දැක එහි නො බැඳෙන්නාවූ කණින් නුසුදුසු ශබ්දයක් අසා එහි නොබැඳෙන්නාවූ නාසයෙන් නුසුදුසු ගන්ධයක් ආඝ්‍රාණකොට එහි නොබැඳෙන්නාවූ දිවෙන් නුසුදුසු රසක් විඳ එහි නොබැඳෙන්නාවූ කයින් නුසුදුසු ස්පර්ශයක් ලබා එහි නොබැඳෙන්නාවූ සිතින් නුසුදුසු ධර්මාරම්මණයක් දැන එහි නොබැඳෙන්නාවූ ඔහුගේ රාගයතෙම සිත නොනසන්නේය. හෙතෙම රාගයෙන් නොනැසූ සිතින් මරණයට හෝ නොම පැමිණෙන්නේය, මරණය හා සමාන දුකට හෝ නොපැමිණෙන්නේය.

§ 24. “සුනක්ඛත්තය, යම්සේ පුරුෂයෙක් විෂ සහිතවූ දැඩිව විෂ පොවන ලද ඊයෙන්  විදින ලද්දේද, ඔහුගේ අසල්වැසියෝ නෑ සහලේ නෑයෝ ශල්‍යකර්ම කරන්නාවූ වෛද්‍යවරයෙකු කැඳවන්නාහුය. ශල්‍යකර්මය කරන්නාවූ වෛද්‍යවරයා ආයුධයෙන් වණ මුඛය වටා  කපන්නේය. ආයුධයෙන් වණමුඛය සාරා ඔහු සිරුරෙහි ගිලුණු ඊ හිස  සොයන්නේය. සොයා ඒ ඊ හිස ඇද දමන්නේය. ඉතිරිවූ විෂ දොෂය ද ඉවත් කරන්නේය. සුළුවුද විසක් ඉතිරි නොවන සේ තුවාලය අසල වූ සියළු විස ඉවත් කරන්නේය. එසේ කල වෛද්‍යවරයා මෙසේ කියන්නේය. “‘පින්වත් පුරුෂය, නුඹට ඇනුණු  ඊ හිස උදුරා දමනලදී. විෂදොෂය ඉතිරි නොකොට ඉවත් කරනලදී. . පථ්‍යවූ ආහාර අනුභව කරව, අපථ්‍යවූ ආහාර අනුභව නො කරව, අපථ්‍ය ආහාර ගන්නේ වණය වැගිරීම් සහිත වන්නේය. කලින් කල වණය සේදුව මැනවි. කලින් කල වණ මුඛයෙහි බෙහෙත් ගැල්වුව මැනව, කලින් කල වණය නොසේදීමෙන් කලින් කල වණයෙහි බෙහෙත් නොගැල්වීමෙන් වණයෙහි සැරව හා ලේ බැඳ නොගනීවා. සුලං ඇති තන්හි හා අව්වෙහි නොඇවිදිනු. සුලං ඇති තන්හි හා අව්වෙහි ඇවිදීමෙන් වණයෙහි දූවිලි හා නණ්ඩු වැදීමට ඉඩ නොදේවා. පින්වත් පුරුෂය, වණය රකිමින් වණයෙහි මස් ලියලන අන්දමින් වාසය කරව” යයි,’ කියන්නේය.

ඒ ඊ පහර ලත් මිනිසා මෙසේ සිතන්නේය.  “මට වැදුණු ඊය  උදුරා දමනලදී. විෂ දොෂය ඉතිරි නොකොටම බැහැර කරණ ලදී. මාගේ අන්තරායට හෙතුවක් නැතැයි’ සිතන්නේය. හෙතෙම වෛද්‍යවරයාගේ අවවාදය අනුවම පථ්‍යවූ ආහාර පමණක්  අනුභව කරන්නේය. පථ්‍යවූ ආහාර අනුභව කරන්නාවූ ඔහුගේ වණය සැරව වැගිරෙන්නක් නොවන්නේය. කලින් කල වණය සෝදන්නේය. කලින් කල වණයෙහි බෙහෙත් ගල් වන්නේය. කලින් කල වණය සෝදන්නාවූ, කලින් කල වණයෙහි බෙහෙත් ගල්වන්නාවූ ඔහුගේ වණ මුඛය සැරවෙන් හා ලෙයින් බැඳ නොගන්නේය. අවු සුලං දෙකෙහි ගමන් නොකරන්නේය. අවු සුලං දෙකෙහි ගමන් නොකරන්නාවූ ඔහුගේ වණයෙහි දූවිලි හා වීනණ්ඩු ඇතුල් නොවන්නේය. වණය රක්ෂා කරන්නෙක්ව වණයෙහි මස් ලියලවන්නෙක්ව වාසය කරන්නේය. ඔහුගේ මේ පථ්‍ය ක්‍රියා කිරීමෙන්ද අපවිත්‍රවූ විෂදොෂය ඉතිරි නැතිවම බැහැර කිරීම යන  කරුණු දෙක නිසා වණයෙහි මස් වැඩෙන්නේය. හෙතෙම වණය ගොඩවී සිවිය හොඳින් ඇතිවීම නිසා මරණයට හෝ නොපැමිණෙන්නේය. මරණය හා සමාන දුකට හෝ නොපැමිණෙන්නේය.

“සුනක්ඛත්තය, මෙපරිද්දෙන්ම මේ සස්නෙහි ඇතැම් මහණෙකුට තෘෂ්ණාව වනාහි ඊයකැයි  බුද්ධශ්‍රමණයන් විසින් වදාරණ ලදී. අවිද්‍යා නමැති විෂදොෂය ඡන්දරාගය හා ව්‍යාපාද කරණකොට කිපෙයි. ‘මා විසින් ඒ තෘෂ්ණා නමැති ඊ හුල උදුරා දමන ලදී. අවිද්‍යා නමැති විෂදොෂය ඉවත් කරන ලදී. මම නිවණෙහි නැමුණු අදහස් ඇත්තෙක් වෙමියි’ යන මෙබඳු අදහසක් වන්නේ නිවණෙහි නැමුණු අදහස් ඇත්තාවූ ඔහුට නුසුදුසු යම් ඒ කරුණු වෙත්ද, හෙතෙම ඒ කරුණුවල නොබැඳෙන්නේය. ඇසින් නුසුදුසු රූපයක් දැක එහි නොබැඳෙන්නේය. කණින් නුසුදුසු ශබ්දයක් අසා එහි නොබැඳෙන්නේය. නාසයෙන් නුසුදුසුවූ ගන්ධයක් ආඝ්‍රානය කොට එහි නොබැඳෙන්නේය. දිවෙන් නුසුදුසුවූ රසක් විඳ එහි නොබැඳෙන්නේය. කයින් නුසුදුසුවූ ස්පර්ශයක් ස්පර්ශකොට එහි නොබැදෙන්නේය. සිතින් නුසුදුසුවූ ධර්මාරම්මණයක් දැන එහි නොබැඳෙන්නේය. ඇසින් නුසුදුසු රූප දැක එහි නොබැඳුනාවූ, කණින් නුසුදුවූ ශබ්ද අසා එහි නොබැඳුනාවූ, නාසයෙන් නුසුදුසුවූ ගඳ ආඝ්‍රානය කොට එහි නොබැඳුනාවූ, දිවෙන් නුසුදුසුවූ රස විඳ එහි නොබැඳුනාවූ, කයින් නුසුදුසුවූ ස්පර්ශ ස්පර්ශකොට එහි නොබැඳුනාවූ, සිතින් නුසුදුසුවූ ධර්මාරම්මණ දැන එහි නොබැඳුනාවූ ඔහුගේ රාගය තෙම සිත නොනසන්නේය. හෙතෙම රාගයෙන් නොනසනලද සිතින් මරණයට නොපැමිණෙන්නේය. මරණය හා සමාන දුකට හෝ නොපැමිණෙන්නේය.

§  27. “සුනක්ඛත්තය,
මා විසින් අර්ථය හැඟවීම සඳහා මේ උපමාවක් කරණ ලදී. මෙයම මෙහි අර්ථය වේ.
සුනක්ඛත්තය, වණය යනු සවැදෑරුම්වූ ආධ්‍යාත්මිකවූ ආයතනයන්ට නමකි.
සුනක්ඛත්තය, විෂදොෂය යනු අවිද්‍යාවට නමකි.
සුනක්ඛත්තය, ඊ හුල යනු තෘෂ්ණාවට නමකි.
සුනක්ඛත්තය, සොයන කටුව යනු සිහියට නමකි.
සුනක්ඛත්තය, ආයුධය යනු ආර්‍ය්‍යවූ ප්‍රඥාවට නමකි.
ශල්‍ය කර්‍තෘවූ වෛද්‍යවරයා යනු අර්හත් සම්‍යක් සම්බුද්ධවූ තථාගතයන් වහන්සේට නමකි.

§  28. සුනක්ඛත්තය, ඒ මහණ තෙම ඒකාන්තයෙන් සවැදෑරුම්වූ ඵස්සායතනයන්හි සංවර වූයේ ක්ලෙශයෝ දුකට මුලයයි මෙසේ දැන කෙලෙස් රහිතවූයේ කෙලෙස් නැසීමවූ නිවණෙන් මිදුනේ වේද  හෙතෙම කිසිවිටෙක ක්ලෙශයන්හි කය හෝ  සිත හෝ නොඑලවන්නේය. 

§  29. යම්සේ පානය පිණිස තබා ඇති  සිත්කළු වර්ණයන් ගලවා අලංකාර කරන ලද  මිහිරි වූ සුවඳ ගලවන ලද  පැන් භාජනයක, හලාහල විසක් මිශ්‍ර කර ඇත්තේය.  යම්  ජීවත්වනු කැමැති මැරෙනු අකැමැති, සැප කැමැති, දුක් පිළිකුල් කරන්නාවූ පුරුෂයෙක් පිපාසාවෙන් එතැනට එන්නේය. සුනක්ඛත්තය, ඒ කුමකැයි හඟින්නෙහිද? ‘මෙය බීමෙන් මරණයට හෝ පැමිණෙන්නේය. මරණය හා සමාන දුකට හෝ පැමිණෙන්නෙමි’ යන කාරණය යම් හෙයකින් දන්නාවූ ඒ පුරුෂයා  මේ පැන් භාජනය බොන්නේද?”
“ස්වාමීනි, එය නොවේමැයි.”

“සුනක්ඛත්තය, එපරිද්දෙන්ම ඒ මහණතෙම ඒකාන්තයෙන් සවැදෑරුම්වූ ඵස්සායතනයන්හි සංවරවූයේ කෙලෙස් දුකට මුලයයි දැන කෙලෙස් රහිතවූයේ කෙලෙසුන් ගේ නිවණෙන් මිදුනේ වේද, හෙතෙම ඒ ක්ලෙශයන්හි කය හෝ එලවන්නේය. සිත හෝ උපදවන්නේය යන මේ කාරණයට හේතු නැත.

§  30. සුනක්ඛත්තය, යම් දරුණු විෂ ඇත්තාවූ සර්පයෙක් වේද,  ජීවත්වනු කැමැත්තාවූ මැරෙනු නොකැමැත්තාවූ සැප කැමැත්තාවූ දුක් පිළිකුල් කරන්නාවූ පුරුෂයෙක් එතැනට එන්නේය. සුනක්ඛත්තය. ඒ කුමකැයි හඟින්නෙහිද? මේ විසකුරු සර්පයා  විසින් දෂ්ට කළාවූ ‘මම මරණයට හෝ මරණය තරම් දුකට හෝ පැමිණෙන්නෙමියි’ දන්නාවූ ඒ පුරුෂයා  මේ දරුණු විෂ ඇත්තාවූ සර්පයාට අත හෝ ඇඟිල්ලක් හෝ දෙන්නේද?”
“ස්වාමීනි, එය නොවේමැයි.”

“සුනක්ඛත්තය, මෙපරිද්දෙන්ම  භික්ෂුව ඒකාන්තයෙන් සවැදෑරුම් ඵස්සායතනයන්හි සංවරවූයේ ස්කන්ධඋපාධිය කෙලෙස් දුකට මුලයයි දැන, උපධි රහිත වූයේ කෙලෙස් නැසීමවූ නිවණෙන් මිදුනේ, ක්ලෙශයන්හි කය හෝ  සිත හෝ නොඋපදවන්නේය.”

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළේය. සතුටු සිත් ඇති සුනක්ඛත්ත නම් ලිච්ඡවි පුත්‍රයා  භාග්‍යවතුන් වහන්සේගේ දෙශනාව සතුටින් පිළිගත්තේය.

පස්වෙනිවූ සුනක්ඛත්ත සූත්‍රය නිමි. (1-5)

MahaRahatun wadimaga

Pali Version              English Version

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.